Sunday, November 26, 2017

තොරණ හෙවත් Pandol ඉවරයි


වලියට එක්කහු වෙන සමහරු ඒකට හේතුව දන්නෙත් නෑ. ඒ වුනාට තමුං කාලයක් තිස්සේ 'හොඳවෑං දෙකක් අනින්න' බලං හිටපු එකෙක් එතන ඉන්න එක ඇති. කවුරු දුන්නද කියල හිතාගන්න බැරිවෙන්න සෙනග ගොඩ මැද්දෙ හැංගිලා උගෙ කන පලන්න මෙයිට වඩා වෙලාවක් කොහෙද? ඔය විදිහට රණ්ඩු ජෝඩු එක්කහු වෙලා වලියට සෙනග වැඩිවෙලා වටේට බෝ වෙද්දි මිනිස්සුන්ට එතන ගහගන්න ඉඩ මදිවෙනව. එතකොට ඒ පොදියෙං එලියට විසිවෙන 'වලි ජෝඩු' වෙනම ගහගන්නව. එතකොට සෙනග වැඩි හංදා මහ වලියට නොයා හිටපු අය ඒ සිඟිති වලියට පැනල ඒක ලොකු කරන්න දායක වෙනව. ඔය විදිහට බෝවෙන ලෙඩක් වගේ මහපාර, කාණු, කඩපිල් වහගෙන වලිය පැතිරිලා යද්දි


"පොලිෂ්යෙන් පොලිෂ්යෙන්"

කියල දෙතුං දෙනෙක් කියනව. අසුරු සැනෙං වලියෙ වටේට හිටපු රෑනක්ම සක්කොලක් නැතුව දුවනව. තමුංගෙ ළමයි, ගෑනු එක්ක ඇවිල්ලා හිටපු අය එක තප්පරෙං වලියෙං අහකට පැනලා සරොං පාත දාගෙන තමුන්ගෙ ගෑණිගෙ අතේ හිටිය  ළමයව උදුරලා අරං වඩාගන්නව.  තමුංගෙම ළමයි නැති අයත් ඊළඟ තප්පරේදි තම තමංගෙ හිතවතුන්ගෙ වැඩිපුර ඉන්නා ළමයිංගෙං කෙනෙක්ව ණයට අරං වඩාගන්නව. ඊළඟ තප්පරේදී ඒ අවට ඉන්න අවුරුදු හතේ අටේ දඬු ළමයි පවා කකුල් බිම ගෑවි ගෑවි වඩාගැනිලා ඉවරයි. තමුන්ට ලැබිච්චි මේ අලුත් තාත්තා කවුදැයි කියල ඒ ළමයි බලද්දි අලුත් ගොමගොඩවල්වල පාට කලිසං කමිස ඇඳලා,  කලුම කලුපාට  තොප්පි දාලා, ඉස්සරහට දිලිසෙන තහඩු කෑල්ලක් හයිකරපු කලුපාට පටියකිං තුනටිය වෙං කරපු පොලිස් රාලහාමිලා දෙන්නෙක් විසාල පැටිග්නම් කූරු වගේ පොලු කෑලි දෙකක් අරගෙන එතනට සේන්දු වෙනව. ඒක දකින පොඩි ළමයි රැලක්ම අඬන්න පටංගන්නව.

"වාව අල්ලය්යල්ලෙෆා.... වං වත් කලවා......"


"වංගායි වොල්ටිසෝලි යල්ලැතුව ඉල්ලෑ......"


"වං ආයි එලිවෙං ඉල්ලෙ ලෑ....."


අම්මලා තමුංගෙ ළමයින්ට බත් කවන්න, උංව මොන්ටිසෝරි යවන්න, හෙලුවැල්ලෙං නටනකොට ඇඳුං අන්දන්න වගේ වැඩවලට පොලිසියෙ නම විකුණපු හැටි එළියට එනව. පොලීසියත්, ටවුමෙ ඉන්න පිස්සො කීපදෙනත්, ගමේ ඉන්න බඩවල් තඩි බයානක පාට මිනිස්සු කීපදෙනත්, ග්‍රාමසේකර රාලාමිත්, හග්ගුඩු බිල්ලා, ගොරෝන හප්පා, බ්‍රහ්ම කටක ලොම්බා, ළමයි අල්ලන බිල්ලා වගේ ජීවිතේට කිසිම කෙනෙක් දැකල නැති කීප දෙනාත් නැත්තං අපේ ගමේ ළමයි හාමතේ, හෙලිවැල්ලෙම්ම මැරිල යනව. 


තවමත් වලිය තිවිච්චි හරියෙං අයිං වෙලා වෙස් මාරුකරගන්න බැරිවෙච්ච කීප දෙනෙක්ව රාලහාමිලට අහුවෙනව. රාලහාමිලත් ඒ අස්සෙ ඉන්න ඇඟපත මහතට තියෙන එක්කෙනක් දෙන්නෙක්ට හෙමිහිට මාරුවෙන්න ඉඩ ඇරලා කෙට්ටු අය කීප දෙනෙක් විතරක් අල්ලගන්නවා. ඒ අයට සට පට ගාල කනේ පාරවල් දෙක තුනකුත් වදිනව. 


"අනේ සාලාමි ගාන්නෙපා."

කෙට්ටු අය රාලාමිලට වඳිනව. රාලහමිගෙ ඉනේ තියෙන කූරක් අමුණපු කලුපාට කවකටු පෙට්ටිය බෙරිහන් දෙනව.


"ෂාෂා ෂාෂෂෂාෂාෂා... සොරෝස්."

රාලහාමිත් ඒ පෙට්ටිය අතට ඇරං ඊට වැඩිය සැරෙං පෙට්ටියට කෑ ගහනව. එතකොටම නිල්පාට ගාපු පොලිස් ජිප්පෙකත් එනව. රාලහාමිල දෙන්න ඒකෙ පිටිපස්සෙ දොර ඇරල කෙට්ටු මිනිස්සු ටික පටෝගන්නව. තව එක්කෙනෙක් ඇතුලෙ ඉඳං කෑ ගහනව.


"මෙච්චරද ඉන්නෙ?"


බිම ඉන්න රාලහාමි කෙනෙක් ආයිමත් සෙනග අතරෙ ඉන්න ළමයි වඩංගෙන නැති කෙට්ටු මිනිහෙක්ව ඇදල අරගන්නව.


"අනේ මං මේ මුකුද්දන්නෑ සාලාමි"


එයා පිංසෙන්ඩු වෙනව. ඒ එක්කම ගෑණු කෙනෙක් ළමයෙක්ව වඩාගෙන එතනට පනිනව.


"අනේ රාලාමි මගෙ මිනිහ සණ්ඩුවට ගියෙ නෑ."


රාලහාමි ඒ ගෑනු කෙනාට ඇඟිල්ල උරුක්කරල සැර කරල එළවගන්නව. රාලහාමිල දෙන්නත් ජිප්පෙකට නැගල දොර වහගන්නත් කලිං ජිප්පෙක පොලිසිය දිහාවට ඉගිලෙනව. ඉං පස්සෙ මිනිස්සු තම තමංගෙ ළමයි මාරු ඇරගෙන "යස වැඩේ ඕකුන්ට සණ්ඩුවලට යනවට" කියලා පොලිසියට අහුවෙච්චි අයට බැණ බැණ තොරණ දිහාවට යනව.


අපිත් සෙනග පොදියට අහුවෙලා තොරණ දිහාවට ඇදිල යනව. ඒ අතරමගදි යකෙක්ගෙ කටක් අස්සෙං රිංගලා දිසානායක කඩේ පිළිකන්න පැත්තට යන්න තියෙන "අපාය" කියන එක බලන්න යන්න සමහර අම්මලට ඕන වෙනව. ඒ යක් කට ඉස්සරහ තියෙන බපල් පෙට්ටිවලිං ඇහෙන ලතෝනි සද්ද එක්ක එතනිං අඩියක්වත් ඇතුළට තියන්න කාටවත් හිතෙන්නෙ නෑ. ඒ වුනාට තමුංගෙ ඇට්ටර ළමයි මට්ටු කරන්න ලැබිල තියෙන "අපායෙං" වැඩක් ගන්න හිතාගෙන අම්මලා ළමයිංව ඒකටම ඇදං යන්න හදනව.


"යමං තොට පෙන්නන්න අට්ටරකං කොන්න එවුන්ට වෙන එව්ව පෙන්නන්න."

අපායට යන තැන ටිකට් කඩන මිනිහත් ඒවට උල්පන්දං දෙනව.

"එන්න. ඇට්ටර ළමයි මේක බැලුවහම ආයි කිසියම්ම කිසි දවසක ඇට්ටර වැඩ කරන්නෑ"

සමහර ළමයි එතැනදි 'ඇට්ටර වැඩ කිරීම, රණ්ඩු කිරීම, දෙමව්පියන්ට බැණීම, කුණුහරප කීම, සීනි, උම්බලකඩ හෝ පොල්බෑය හොරෙං කෑම, නහය හෑරීම, ඇද ඇල්ලීම, සෙල්ලං බඩු ඉල්ලීම, කඩචෝරු ඉල්ලීම,' වගේ වැරදි ජීවිතේට නොකරන්නත් ඒ වෙනුවට 'හැමදාම ඉස්කෝලෙ යාම, බඩ පිරෙන්නම දෙන දෙයක එක්ක බත් කෑම, පාන්දරිං ඇහැරීම' වගේ හොඳ දේවල් කරන්නටත් පොරොන්දු වීමෙං එතනිං ගැලවෙනකොට අපායට ටිකට් දෙන යම රජ්ජුරුවන්ගෙ මූණ ඇදවෙනව.


තොරණෙ ආධාර කවි කියන එක නැවතිලා ඒ වෙනුවට ජාතක කතාව කියන්න පටං ඇරගෙන. ඒ අතරෙ දුරාවාරෙ ලැබෙන ආධාරත් රිංගවනව.


"තුන්වෙනි කොටුවෙන් පේන්නේ අප මා බෝසතානං වාන්සේ තමංගෙ යහළු මිත්‍රයින් සමග බඩු භාණ්ඩ පටවාගෙන රුවල් නැව්වල නැගිලා පිටරටවල්වල වෙළඳාමේ යන්ට පිටත් වෙනවා. එහෙම පිටත්වෙන්ට කලින් තමන්ගෙ මෑණියන් වාන්සේ හමුවෙලා මෙහෙම කියනව."

"දට්ටොහ්ටොහ් දට්ටොහ්ටොහ් 
  මගෙ පින්බර මෑණියනේ මා කියනා දේ                 අහන්න..
  මේ බඩු ටික විකුණන්නට පිටරටකට ගිහිං              එන්න...
  නැව් නැග යන්නට තිබෙනව මගෙ මිතුරන් සමග    ඔන්න...
  ඒ ගමනට ගිහිං එන්ට මට ඔබෙ අවසරය                 දෙන්න..
  දබද් දබද් දොක්"

"බෝසතානෝ මෙහෙම කියනකොට.......ඈ... නම කියන්න හා.
  පොතුපිටියේ සිට පැමිණි නොංචි හාමිනේ උපාසිකා මාතාව සිය මියපරලොව ගිය දෙමාපියන්ට සෙත්පතා රැපියල් දහයක් පරිත්‍යාග් කන්නොවා....."


ආච්චි අම්මා කරේ තියෙන සාලුව වැලමිටේ දාගෙන වැඳගෙන බණ කතාව අහනව. උන්දැට ඉලක්කං බැරි හන්දා සැරිං සැරේ කියන ඉලක්කංවලට අදාල කොටුව පෙන්නා දෙන්න අපිට සිද්දවෙනව.

"අර කොණ්ඩෙ උඩට ගෙඩ්ඩ වගේ හිටින්න බැඳපු මිනිහෙකුයි සාරියයි බොඩියයි ඇඳපු ගෑනියෙකුයි ඉන්න එක තමයි ඔය කිව්වෙ ආච්චම්මෙ."


"අර බුදුහාන්දෘවො ඉඳං ඉන්නවට පල්ලෙං මේ පැත්තෙ තියෙන්නෙ"


"ගෑණියෙක් නෙමෙයි ළමයො පව් සිද්ද කොරගන්නැතුව හිටාං. ඒ දේවින්නාංසෙ කෙනෙක්. අර ඉන්නෙ කුමාරය"


ආච්චි අම්මත් මාවයි චන්දරෙ මාමලෑ අයියයි අක්කයි පාපෙං ගලවා ගන්න අපි ලව්වත් වන්දවන් හදනව. අපිත් වැඳගන්නව. හැම කවියක් අන්තිමේදිම රබාන "දබද් දබද් දොක්" කියපු ගමං ආච්චි අම්ම සාදු කියනව. ඉං පස්සෙ සාදු කියන්න කියල අපිවත් බය කරනව. 

"සාදු කියහල්ල. නැහ්නං පව් සිද්දවෙනව"

අපි තුන්දෙනත් පව් නැතිවෙන්න සාධු කියනව. කවිකාරයත් ආධාර ටිකට කවි කියල ආයිමත් ආධාරයක් එනකං ජාතක කතාව කියවනව.


"ඊළඟ පස්වැනි කොටුවෙන් පේන්නෙ මේ පිරිස මහා සාගරයේ වෙළඳාමෙ යද්දි විසාල කුණාටුවකට අසුවෙන අවස්ථාව. 

"සාගරේ කුණකටුවො ඉන්නවද අම්මෙ?"

ඒ අතරෙ නෝනක්කා අහනව.

"කුණකටුවො නෙමෙයි පුතේ කුණාටුව. හයියෙං හුළඟක් එන එකනෙ ඒ කියන්නෙ."

විශාල රළ ගෙඩිවලට නව්කාවන් අසුවෙලා ඒ මේ අත විසිවෙනවා. වෙළෙන්දන් දෙවියන්ගෙන් බේරාගන්න කියා ඉල්ලනව"


"දට්ටොට්ටොහ් දට්ටොට්ටොහ්
  මහ විසාල කුණාටුවක් සාගරයේ                  හටගන්නව...
  මහ නැව් රුවලුත් ඉරමින් මහ විනාසයක්      කරනව..
  දට්ටොට්ටොහ් දට්ටොට්ටොහ්

  මහ රළගෙඩි පෙරලීගෙන ඇවිදින් නැව්වල   හැපෙනව...
  අන්තිමේදී බෝසතුන්ගෙ නැව පෙරලිල        ගිලී යනව..
  දබද් දබද් ටොක්..."


"සාදු සාදු සා.....දු"


පවෙන් බේරෙන්න හිතාගෙන අපිත් සාදු කියනව. වටේ ඉන්න මිනිස්සු අපි දිහා බලල හිනාවෙනව.


වෙනදට බඩට වැටෙන බත් ටික නැතිවීමත්, නිදාගත්ත වෙලාව පහුවීමත්, හිටං ඉඳලා කකුල් කඩිත්තුව හැදීමත්, හංදා කවි හතරක් පහක් ගතවෙද්දි තවදුරටත් කොයි තරං පවු සිද්ධවුනත් වැඳං ඉන්නත් සාදු කියන්නත් බැරි තත්වෙට අපිව පත්වෙනව. එතකොට ඒ හේතුවලට අමතරව ළමයි වඩාගෙන ඉඳීම කියන හේතුවත් එක්කහු වෙලා ලොකු අයටත් තොරං බැලිල්ල එපා වෙනව. ඇට්ටරකමට අල්ලගෙන ඉන්න ආච්චි අම්මටත් හිටං ඉඳලා කකුල් කඩිත්තුව හැදෙද්දි උන්දැම ගෙදර යන්න හේතුවකුත් හොයාගන්නව.


"මේ ගෑනු සැරිං සැරේ සුපියල් දහය විස්ස දික්කොන්නොව අතන ගිහිං. අර මනුස්සයට ජාතක කතාව කියාගන්නවත් දෙන්නෑ. ඔන්නොහෙ යමල්ල යන්න."


හැමෝටම ඒ වචනෙ ඇති. ආච්චි අම්මගෙ හිත වෙනස්වෙන්න කලිං අපි ආපිට හැරෙනව. තව ඩිංගෙං තොරන් පොලෙං යන්න වෙන හන්දා මොනව හරි සෙල්ලම් බඩුවක් ගන්න හිතාගෙන අපි වටපිට බලද්දි ළමයින්ට ඒ කිසිම දෙයක් නොපේන්න බස් එකට නැගගන්න උවමනාවෙං අම්මා මාව වඩාගෙන සෙනග මැදිං විදිලි වේගෙං ආපහු යන්න පටං ගන්නවා. සෙල්ලං බඩු වෙලෙන්දන්ගෙ වාසනාවට ඒ වෙත්දි අපිට යන්න බස් එකක් නැති වෙනවා. බස් එකක් එනකං ඉන්න අතරෙ අත කැපෙන බෙලෙක් ලංගම බස් එකක්, මුද්දෙං අදින නලාවක්, 'පර්ර්ර්ර්ර්' ගාන නලාවක් වගේ සෙල්ලං බඩු කීපෙකුත් අරගන්න චන්දරෙ මාමලගෙ අයියටත් මටත් පුලුවං වෙනව. අපි එහෙම දෙයක් ගන්න හැම වෙලාවකදිම 'හුලං බබා' තරං ඔය කිසිම සෙල්ලම් බඩුවක් ලස්සන නැති බව නෝනක්කට කියන්න අපේ අනික් හැමෝටම සිද්ධ වෙනව. ඒ අතරෙ 

"මිං පස්සෙ තෝව කිසියම්ම කිසි තැනක එක්ක යන්නෑ"

"ආයි කිසිම බඩකඩිත්තුවක් ඉල්ලුවට ඇරං දෙන්නෑ"

වගේ දැඩි තීරණ මට දැනුං දෙන්නත් අපේ අම්මට සිද්ද වෙනව.

එතනම කැරකෙන වඩේ කාරයො, කඩල කාරයො කීප දෙනෙකුත් අපේ අම්මගෙ පොකට් එකේ බර අඩු කරගන්න උදව්වෙනව. 


තවත් පැය ගාණක් බලං, හිටං, ඉඳං, ඇවිද ඇවිද හිටියට පස්සෙ පාං ගෙඩ්ඩක් වගේ බස් එකක් ඇවිල්ල නවත්තනව. කොන්දොස්තරටවත් බහින්න ඉඩ නොදී මිනිස්සු බස් එකට නගිනව. බිම ඉන්න අය පොඩි ළමයින්ව ජනෙල්වලින් බස් එක ඇතුළට දානව. සෙනගට තෙරපිලා නෝනක්කගෙ 'හරි ලස්සන හුලං බබා' පුපුරණව. මිනිස්සු තමුංගෙ කණ ගාව පුපුරපු එක මොකද්දැයි බලද්දි ඒ ඉඩෙං අපිව ඇතුලට තල්ලු වෙනව. ඒ විදිහට බ්ලොක් ගලක් අස්සෙ වැලි කැට හිරවෙනව වගේ තදවෙලා පැය ගානක් හිටං හිටියට පස්සෙ තවත් සෙනග පොදියක් දොරේ එල්ලගෙන, සිංදු කියන, කෑගහන බීපු මිනිස්සු, බෙරිහං දෙන ළමයි, තොරණෙ ඕපදූප කතාවෙන ගෑණු, ආදිය පටෝගෙන බස්සෙක පිටත්වෙනව. ලයිට් නැති ඒ කාලෙ මගක් තොටක් හරියට හොයාගන්න බැරි හංදා තමුං බහින තැනට කලිං නැත්තං පහුවෙලා හරි බැහැගන්න මිනිස්සු නිදිමත බේරිබේරි ගෙවල්වලට යද්දි අපිත් හන්දියෙං බැහැල නිදිමතේ වැනි වැනී ගෙදර එනවා. 


ආච්චි අම්මගෙ 'බැටලියෙ' පිහිටෙං පල්ලම බැහැගන්න අපිට තාත්තව ඇහැරවගන්න තව වෙලාවක් යනව.

"ඒයි"

"බොලේ"

"ඕයි"

"බොලේ"

අම්ම එහෙම කතා කරද්දි නැන්දයි ආච්චි අම්මයි 


"ලොකුවයියේ"

"ලොකුවයියේ"

"ලොකු ළමයෝ"

"ලොකුඑකෝ"

කියල කෑ ගහනව. ඒ අතරෙ අම්ම මගේ අත අඹරෝල මට තර්ජනේ කරනව.

"තාත්තෙ කියහං"

"කියහං යකෝ"

මං කට හොල්ලන්නෙ නෑ. දොරගාවට ගිහිං දොරට ලනුව දාන්න දොර පියන හිල් කරල තියෙන තැනට කිට්ටු කරල මං ගෙනාපු නලාව පිඹිනව.


"පර්ර්ර්....පෑර්ර්ර්"


ගේ ඇතුලෙං දඩිබිඩි සද්දෙකුත් එක්ක දොර ඇරෙනව. මාව පස්සට විසිවෙනව. තාත්තා දොර පොල්ලත් අරං එලියට පනිනව.


"ඔහිටු පර බ්බල්ලා තොගෙ අඬු..."


ආච්චි අම්ම මාව පස්සට අරං උන්දැගෙ කෙසඟ සරීරෙ ඉස්සරහට ගන්නව.

"උඹට මොකා වැහිලද ලොකු එකෝ. කුම්බකරනෙය වගේ බුදි. ගං ඔන්නොය දොරපොල්ල මෙහෙට."


ආච්චි අම්ම මාව බේරල තාත්තගෙ අතේ තියෙන දොරපොල්ල අරගන්නව.


"අම්ම කෑ නොගහ ඉන්න. මුගෙ ඉලන්දාරිකම ගාන්ට වැඩියි."


තාත්තා ආයි ගොරෝනව.

"උඹක් ගිහිං බුදියහං. මුන්දෙන්නටත් බුදියන්න ඇරල. කටවහගෙන"

අම්මයි මායි ගෙට යද්දි තාත්තත් අපිට ඔරෝගෙන ගෙට ඇවිල්ල මගෙ නලාව ඇදල ඇරං බිම දාල පාගනව. නලාවෙ කට චප්පවෙලා යනව. ආච්චි අම්මා එක අතකිං දොර පොල්ලත් අරගෙන පල්ලම බහිද්දි නැන්දා ඊට පස්සෙං ටෝච්චෙක අල්ලගෙන යන්න යනව.





Sunday, October 29, 2017

තොරණ හෙවත් Pandol - 7 වලිය

ලිපෙන් බාපු හැලියකින් පිඟානට බෙදපු මයියොක්කා කෑලි ටිකක් වගේ අපිත් ඇඟේ දාඩිය නිවෙනකං බලාගෙන ඉන්නව. ඒ අතරෙ අපේ පියසේන මාමා විතර උස මිනිහෙක් ඔලුව වටේට ගැටගහපු පටියකිං අංගවිකල වෙච්චි බැලුම් බෝල වගයක් ඔලුව වටේ හයිකරගෙන කෑ ගහනව.

"පොඩි බබාගෙ විනෝදේ.... පොඩි බබාගෙ විනෝදේ.... බබ්බු බබ්බු බබ්බූ...."


මේක ඇහිච්චි ගමං මේ නං අපේ ළමයට අරන් දෙන්න ඕනිම දෙයක් කියල හිතන අම්මලා තමුංගෙ ළමයිංගෙං මෙහෙම අහනව.

"බොට ඕන්ද එකක්"

අපේ අම්මත් ඒක මගෙන් අහනව.

"එපා"

මං කියනව. අනික් ළමයිත් එහෙමම කියනව ඇති.

"අර අනික්වෑං එකක් ඇරං දෙන්නං"

බැලුංකාරය ගාව තියෙන තැඹිලිපාට බැලුං බෝල තුන හතරක් දිගටි බැලුමකිං අමුණපු "තැඹිලි වල්ලක්" කියල කියන තවත් ඒ වගේ බැලුං සුකුරුත්තමක් පෙන්නල අම්ම අහනව. 

"මටේපා ඒ හොරි පොකුර"

මං අඩිය පොලවෙ හප්පල කියනව.

"හිටාං තොට කිසියාම්ම කිසිදෙයක් ඇරං දෙන්නෑ. අම්පා"

අම්මා ආච්චිඅම්මව ඇපේට තියල දිවුරනව.

ළමයි ඉතාම සතුටට පත්වෙන පැනි රහ කෑම ජාති, බීම, අයිස්ක්‍රීම් වගේ කෑමක්වත්, වයිං කරන, බැට්ටි කෑලිවලින් වැඩකරන සෙල්ලං බඩුවක්වත් අරන් දෙන්න මේ වගේ ඇඟිල්ලෙං ඇනල අහන්නෙ නැති මහ අය කිසිම වැඩකට නැති මේ වගේ බහුබූත අරන් දෙන්න නං සෑහෙන මහන්සි වෙනව. ඒ විතරක් නෙවෙයි ඒවා සෙල්ලං බඩු විදිහට පිළිගන්න කියලත් තර්ජනේ කරනව. 

"වෙනිං කිසියම්ම කිසි දෙයක් අරං දෙන්නෑ" කියල තර්ජනය කරල බොහොම අමාරුවෙන් එයිං එකක් අරගන්න නෝනක්කව කැමති කරගන්න චන්දරෙ මාමලෑ නැංදට පුළුවං වෙනව. අපි හැමෝම ගිහිං බැලුංකාරයව වට කරගන්නව.

"ඕකක්කීයද?"

"බබෙද්දායයි, තැඹිලිවල්ලප්පාලවයි"

"බබෙද්දෙන්න"

බැලුංකාරයගෙ ඉන වටේට පැකැට් කීපයක් එල්ලල තියෙනව. බැලුංකාරය කිහිල්ලෙ ගහං ඉන්න හුලං පොම්පෙ අගිස්සට අර පැකැට්ටෙහෙකිං ගත්තු බැලුම් බෝලයක් අරගෙන හයිකරලා හුලං ගහනව. බැලුම්බෝලෙත් ගහ්ලබු ගෙඩියක් වගේ දිගටියට පිම්බෙනව. වෙලෙන්දා බැලුම පොම්පෙං ගලෝල අරං හුලං පිටවෙන්න නොදී කට හිර කරගන්නව. ඊළඟට තව පැකැට්ටෙකකිං ගන්න දියකූඩැල්ලෙක් විතර හීං බැලුමකටත් හුලං ගහනව. හුලං පාරවල් තුනෙං දියකූඩැල්ලා ගැඩවිලෙක් වෙලා, අහරකුක්කෙක් වෙලා, කොහු මිටක් විතර මහත වෙනව. ඒ වගේ දිය කූඩැල්ලො දෙන්නෙක් කොහු මිටි කරලා ගන්න වෙලෙන්දා කලිං පුම්බපු ගස්ලබ්බෙ අගිං ඩිංගක් මෙහා හරියෙං අල්ලල මිරිකලා හීං කරනව. ඊළඟට ඒ හීං වෙච්චි තැනට එක දිගටි බැලුමක මැද හේත්තු කරලා දෙකොන ඒ වටේට පටලවනව. අනික් දිගටි බැලුමත් අරගෙන ගස්ලබ්බෙ හුලං ගහපු කට ගාවටඑක කොනක් තියලා පටලවනව.

බැලුං බබෙක්


අපි බලා ඉන්දැද්දිම වෙලෙන්දා බබෙක් හදල ඉවරයි.


"ආ"


මේ අරුම පුදුම සුකුරුත්තම නෝනක්කගෙ ඇඟේ ගහන වෙලෙන්දා චන්දරෙ මාමගෙ අතේ තියෙන රුපියල් දහය ඇදල ගන්නව. මේ මොන ජාතියෙ සතෙක්ගෙ බබෙක්ද කියල හිතාගන්න බැරුව නෝනක්ක වටපිට බලනව. නෝනක්කා මේ සුකුරුත්තමට අකමැති වෙන බවක් දකින චන්දරෙ මාමලෑ නැන්දා 


"ආනේ..... මේක නං හරිම ලස්සනයි. කාටවත් දෙන්නෙපා."

කියලා තමුං මේ අරං දුන්නෙ ලෝකෙ තියෙන ලස්සනම සෙල්ලං බඩුව බව නෝනක්කට පෙන්නන්න හදනව. අපේ අම්මත් පුලුවං තරං කට ඇරලා පුදුම වෙච්චි බවක් පෙන්නලා ඒ තරං අලංකාර සෙල්ලං බඩුවක් කිසියම්ම කිසි තැනක නැති බවත් "මේ මූට ඒකක් ගන්න පිනක් නැති" බවත් කියලා චන්දරෙ මාමලෑ නැන්දට උදව්වෙනව.

"ඒ උනාට මේකෙ කකුල් නෑනෙ"

මගෙ කට ඇරෙනව. එතකොටම අපේ අම්මා මගෙ කට මිරිකල සද්දෙ වහනව. අන්තිමට මේ තරං අය කියන එකේ තමුන්ට හම්බුවෙලා තියෙන්නෙ ලෝකෙ තියෙන හොඳම සෙල්ලම් බඩුව වෙන්නැති කියල හිත හදාගන්න නෝනක්කට පුළුවං වෙනව.

"අඟහරු ලෝකයෙන් පැමිණි කුරුමිට්ටන්ගේ සංදර්ශනය. එන්න නර්රඹන්න. ප්‍රීතිවන්න"

තව තැනක තියෙන කඩ කාමරයක් ඉස්සරහ බැඳල තියන හතරැස් පීකර කටක් කෑ ගහනව. චන්දරෙ මාමලගෙ නැන්දට බය වෙන්නට තියෙන එකම හේතුව වන හුලං බබා ගැන මගේ අදහස් දැක්වීම හුළඟෙ යනවා. මට කුරුමිට්ටො බලන්න ඕන වෙනව. යන්තං ඉස්කෝලෙං අයිං වෙච්චි ගමං සල්ලි හම්බු කරගෙන දුරදක්නයක් අරං වහලෙ උඩ හයිකරගෙන "කඹරු ඉකෙයා" වගේ වෙන්න හිතා ඉන්න මට, විජය පත්තරේ මැද පිටුවල තිවිච්චි ඇපලෝ රොකට් සනුහරේම පොතක අලෝපු මට, අඟහරු ලෝකෙං ආපු කුරුමිට්ටො බලන්න නොයා ඉන්න පුළුවන්ද?


"අම්මෙ යං අම්මෙ"

"කොහෙද"

"කුරුමිට්ටො බලන්න"

"අනෙක් කටවහං හිටාං."

"අනෙ යංකො. එක පාරක් යංකො."

"මයෙ ගාව සල්ලි නෑ"

"අනෙ තීනොව. අර බැලුංබෝල ඇරං දෙන්නං කිව්වෙ. ඒ සල්ලි ඔලිං යංකො."

"කටවහං"

"මං ලොකු වෙච්චි ගමං සල්ලි හම්බු කොල්ල ඒ සල්ලි දෙන්නං"

අපි දෙන්නගෙ වාදෙ මැද්දට චන්දරෙ මාමලෑ නැන්ද පනිනව.

"මොකදක්කෙ"

"මේ මුට කුරුමිට්ටො බලන්න යන්න"

අම්මට කලිං මං උත්තර දෙනව. මගෙ කට වහන්න නියම වෙලාව මේක බව හිතන චන්දරෙ මාමලෑ නැන්ද මගෙ පැත්තට උදව්වට එනව.

"යං අක්කෙ ඒකත් බලන්න"


මිනී පෙට්ටිවල මිනිය වටේට දාන බලුප් වැල් දෙක තුනක්ම වටේට එල්ලපු දොරක් ගාව ඉන්න මිනිහෙක්  අඟහරු ලෝකෙට යන්න අපෙං සල්ලි ගන්නව.


"හැමෝම දික් කොරන්නෙ සීයෙ කොල, කවුරුවහ්ම මාරු සල්ලි ගේන්නෑ"


මිනිස්සුන්ට බැණ අඬගහන ගමන් ඉතුරු සල්ලි බේරන අඟහරුවා අපිව කඩේ ඇතුලට තල්ලු කරනව.

"දොරකඩ ටැක්ගැහෙන්නැතුව ඇතුල්ට යනවලා."

කඩේ ඇතුළ කිරි නැන්දගෙ දේවාලෙ වගෙයි. කිරිනැන්දගෙ දේවාලෙ ඇතුලෙත් ඉන්න රත්තරං බඩු පැළඳගෙන සාරි ඇඳපු දෙයියො එක්කොමත් තිර රෙද්දකිං වහල ඉන්නෙ. ඒ වගේම මෙතනත් පියං හතරෙ ජනේලයක් විතර කොටහක් තිරේකිං වහල තියෙන්නෙ. දොරකඩ ඉන්න මිනිහා බැන බැනා කඩේ ඇතුලට තල්ලු කරන සෙනග පැන්සල් ඇහිරුවා වගේ පිරිලා ඉඩක් නැතිම වෙනකොට මිනිස්සු කෑ ගහන්න පටං ගන්නව.


"අපික් කුරුමිට්ටො කියල හිතුවදෝයි. මේකස්සෙ වෙන ඉඩ නෑ..."


එතකොට දොරකොඩෙං ඔලුව ඇතුලට දාන අඟහරුවා ඒකට උත්තර දෙනව.


"බැයිනං යනව යන්න. හැබැයි සල්ලි අහපහු දෙන්නෑ"


අන්තිමට දොර උලුවස්සෙං ඇතුලට මනුස්සයෙක්ව රිංගවන්න බැරිවෙන තරම් පිරුණට පස්සෙත් එක මිනිහෙක්ව දොරකඩ වැහෙන්න තියන අඟහරුවා එලියෙ ඉඳං දොර වහනව. දොරකඩ හිටපු මිනිහව මිරිකිලා ඇතුලට විසිවෙනව. ඒ විදිහට සම්පූර්ණයෙං වහපු කාමරේ ඇතුලෙ කසාය මුට්ටියක් ගානට රත්වෙනකොට, පොඩි ළමයි දෙතුන් දෙනෙක් අඬන්න පටං ගන්නකොට එකපාරටම සද්දයක් ඇහෙනව.

"හූ...චු...හූ...චු....හූ...චු..හුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචු"

ඒත් එක්කම තිරේ දෙපැත්තට ඇරෙනව. ඉපදිලා සතියක්වත් නැති පොඩි ළමයි තරං උස මිට්ටො තුන්දෙනෙක් මගෙ කොට කලිසං විතර දිග දික් කලිසනුත් ඒ තරම්ම කොට කමිසත් ඇඳලා දනිස්ස ගාවට විතර උස සපත්තු දාලා ඔලුවටත් හෙල්මට් දාගෙන තිරේ පිටිපස්සෙං මතුවෙනවා. ඒ හෙල්මට්වලිං ඒරියල් කූරු දෙක ගානෙ දික්වෙලා. හෙල්මට් වලයි ඒරියල් කූරුවලයි හැමතැනම අස්සජි හාමුදුරුවො හදාදිපු බුදු රැස්මාලාවෙ ජාතියෙ පාට පාට කලාමැදිරි බලුප් නිවි නිවී පත්තු වෙනව.
කුරුමිට්ටෝ

හුචුහුචුව නැවතිලා සිංදුවක් පටං ගන්නව. ඉස්සරහ ඉන්න අය කුරුමිට්ටංව හොඳටම පෙන්නන්න හිතාගෙන  තමුංගෙ ළමයිංව වඩා ගන්නව. අඩි පහේ දෙමව්පියන්ට අඩියක් දෙකක් උස ළමයගේ උසත් එක්කහු වුනාම පිටිපස්සෙම ඉන්න අයට මොනවත් පේන්නැතුව යනව. එතකොට පිටිපස්සෙ ඉන්න අය කලුපාටිං කෑ ගහනව.


"ඔය ළමයි පාත් කොරල අල්ලගන්නවකො. අපිට පේන්නෑ."


එතකොට ඉස්සරහ ඉන්න අය කොළ පාටිං උත්තර දෙනව


"පේන්නැහ්නං ඉස්සිලා බලනව. අපි මේ පොඩි එවුන්ට පෙන්නන්නෙපෑ"


ඉස්සරහ අය උත්තර දෙනව. ඒ අතරෙ පිරිමි කෙනෙක් නිල්පාටිං සිංදුව පටං ගන්නව.


"පාවෙන පිරිසියක්කුඩ නැගලා පිටසක්කොලකිං මෙහාට වැහැලා ආවේ කුදකට ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ... 
අපිනන්නෑ කවදාවක් දැකලා පුදුමත් හිතෙනව දැක්කම ඔහෙලා පොඩ්ඩක් අහමුද වටපිට බලලා කුරුමිට්ටෝ....
කොයිදේසේ ඉඳලද එන්නේ.....


කුරුමිට්ටොත් එව්වට රතුපාටිං උත්තර දෙනව



"හැච හැච හෑචෑ හැචැ හැචැ හෑ"




"මෙහාට ආවේ කුමකටද"




"හැච හැච හෑචෑ හැචැ හැචැ හෑ"






ඔය විදිහට සිංදුව කියවෙද්දි කුරුමිට්ටො ටික තමුන්ට පණ තියෙන බව පෙන්නන්න ඕන හංදා අතපය හොලවන ගමං මොන්ටිසෝරියෙ ළමයි මල් නැටුමට ඔලුව හොලොවනව වගේ ඔලුවත් හොලවනව. කකුල් හොලවන්නෙ නෑ. ඒ වෙනුවට සපත්තුවෙ අගිස්ස විතරක් යංතං හොලවනව. ඒ අතරේ ඉස්සරහ පේලියෙ ළමයිංගෙ දෙමව්පියොයි පස්සෙ පේලියෙ පිරිමියි අතර වලිය දරුණු වෙනව.


"ගහනව තොපෙයි පැටවුංගෙයි ඔලුකටු කුඩුවෙන්න"


"ගහපියව් බලන්න. තොපිට දෙන්නෙ මොලකැටි විසිවෙන්න"


"තොපි වරෙව්කො තපස්සරකන්දෙං යන්න."


"දවසට පැය කීයක්ද එහේ.......


"හැච හැච හෑ චෑ හැච හැච හෑ"


"නැත්තං අපි උඩින්ද බොල යන්නෙ"


"කටවහගන්නවලකො ඕයි."


"අපිට මේක බලන්න දෙන්නැද්ද තවුසෙල"


"අරූට කට වහගන්න කියනව. අපි නෙමේ ඌනෙ පටංගත්තෙ"


වලිය දරුණුවටම ඇවිලෙද්දි සින්දුවෙ අග හරියට ඇවිල්ල සිංහලෙං කියන කෑලි ටික ඉවරයි. කුරුමිට්ටො විතරක් අන්තිම ටික කියනව.


"වව්වව්වවවවවවව්වව්වව් වව්වව්වවවවවවව්වව්වව් වව්වව්වවවවවවව්වව්වව් වව් වව් වා..."



ඒ ටික ඉවර වෙද්දී පටං ගනිද්දි තිබිච්චි හුචු හුචු සද්දෙ ඇවිල්ලා තිරේ වැහිල යනව. එලියට යන්න තියෙන දොර ඇරිලා හීතල හුලඟක් එක්ක හිරිගඩු පිපෙන සද්දෙං දොරකඩ ඉන්න කෙනා කෑ ගහනව.



"ආ... තව බලාහිිල්ල වැඩහ්නෑ. ඉක්මන්ට එළියටෙන්න. තව පුරාම අය ඉන්නව බලන්න."


රබර් ගෙඩ්ඩක් පිපිරුවහම ඇට දස අතේ විසිවෙනව වගේ අපිව කඩ දොරෙං එලියට විසිවෙනව. එතකොටම පිටිපස්සෙ හිටපු වලිකාරයා සෙනග පෙරලගෙන ඉස්සරහට පැනලා ඉස්සරහ පේලියෙ හිටිය මිනිහගෙ බෙල්ලෙං අල්ලගෙන පොදිය පිටිං මහපාරට විසිවෙනව. ඒ දෙන්නගෙ සරොං කැඩිල වැටෙනව. දෙමල චිත්තරපටිවල වගේ කොයිතරං ගහගත්තත් ලිහෙන්නෙ නැති වෙන්න සරං අඳින්න අපේ අයට බෑ. ඒ හංදා වලියක් පටං ගන්නෙම වලිකාරයංගෙ සරොං ලිහිලා ඉන පල්ලෙ හැලීමෙං. ඒ වෙලාවට තනි අතිං සරම අහුලන ගමං දෙන්නම අනික් අතිං ගහගන්නව. ඒ අතරෙ බැණගන්නවත් එක්ක.


"තෝ...තෝ ....තෝ....තෝ... කිව්ව නේද බොල..ඈ..."

අතිං හරි අතේ තියෙන ආවුදෙං හරි ගහනව ඇරෙන්න පයිං ගැහිල්ලක් කෙරෙන්නෙ නැති තරං. නිසියාකාරව පුහුණුවක් නැති හංදා ඒ අතිං ගහන පාරවල් වදින්නෙත් දුරාවාරෙ. එහෙම පාරක් වැදුනම

"තහ්. තොහ්."

"කිවුහ් තබ් තොක්"

"තක්"

"චක්"

වගේ සද්ද ඇරෙන්න චිත්තරපටිවල වගේ "දෲෂෘ", "බෲහූ" වගේ සද්ද ඇහෙන්නෙ නෑ. ඉඳල හිටල හරි පයිං ගැහුවොත් ඒකෙං වෙන්නෙ පයිං ගහපු කෙනාම බිම ඇදගෙන වැටෙන එක. 

"අනේ කවුරුඅරි මේක බේරන්නකෝ"


"අනේ මේ ළමයිංගෙ තාත්තව බේරගන්නකෝ"


ඉස්සරහ පේලියෙ වලිකාරයගෙ බිරින්දෑ බෙරිහං දෙනව. 

කොයිතරං භයානක වෙලාවක උනත් තමුංගෙ මනුස්සයගෙ නම කියලවත් නැත්තං "මගේ මනුස්සයා", "මගේ ස්වාමිපුරුෂයා", "මගේ ගෙදර එක්කෙනා" කියල තමුන්ගෙ සැමියව හඳුන්වන එක අපේ ගමේ කාන්තාවන්ගෙ සිරිත නෙවෙයි. එහෙම කියනවනං ඒක විලිලැජ්ජ නැතිකමක් කියලයි වයසක ගෑනු අය කියන්නෙ.  ඒ වෙනුවට "ළමීන්ගෙ තාත්තා" , "මුංගෙ තාත්තා" කියල තමයි තමුංගෙ ස්වාමිපුරුෂයව හඳුන්වන්න ඕන.  ඒක තමයි සීලාචාරකම.


ඒ කෑගැහිල්ල තුට්ටුවකටවත් ගනං නොගන්න වලිකාරයො දෙන්න සරොං නැතුව කමිසෙත් බොත්තං කඩාගෙන ලංකට් පිටිං රණ්ඩුවෙනව. තප්පර දෙක තුනෙං ඒගොල්ලංගෙ නෑයො, යාලුවො, අඳුරන අය, ඒ අයගෙ අඳුරන අය, යාලුවො එහෙම එකතුවෙලා මහ ගෝරියක් ඇදෙනව. චන්දරෙ මාමත් සරම කැහැපොට ගහගෙන


"පොඩ්ඩක් බලමු මොකද්ද කියල"


කියාගෙන ලැහැත්ති වෙනව. 


වලියක් යද්දි ඒක ඇහෙන පේන මානෙ ඉන්න පිරිමි හැමෝම ඒකට සහභාගි වෙන එක අපේ සිරිතක්. නැත්තං පස්සෙ දවසක ඒ ගැන වෙනිං තැනක කතාවෙද්දි වලියට නොගිය අයව හෑල්ලුවට ලක්වෙනව.


"අච්චර අර සෙනග ගොඩක් ගෝරියක පැටිල්ලා ඉද්දි සෝමය හිමීට මගෑර්ලදාල ගියා"


"ඕකුං ඔහොම්ම තමයි. ඉස්සෙරිං ඉඳම්ම බයගුල්ලො"


"ඒකනෙ ඕකුන්ට මොකක්වත් වෙච්චිකොට කවුරුවහ්ම නැත්තෙ"


ඒ හංදා වලියක් යද්දි අතට අහුවෙන ලාඩප්ප පොල්ලක්, ටෝච්චෙකක්, ගල් ගෙඩ්ඩක්, කොහුමිටක්, වගේ දෙයක් අරගෙන එහෙම නැත්තං පොල්ලක් ගහකිං කඩාගෙන, වැටකිං ගලෝගෙන හරි පිරිමියෙක් වසයෙන් වලිය මැද්දට පනින්න ඕනි. සමහර වෙලාවට තමුංගෙ අතේ තියෙන වෙනිං උපකරණයක් උනත් මේකට ගන්න පුළුවනි. බොහොම දරුණු චන්ඩි නං මේ වගේ වෙලාවට උල් පිහියක් අරගෙන වලිය මැද්දට පැනලා තමුංගෙ හතුරන්ගෙ බඩගෙඩි හිල් කරනවා. 


එක ගමනක් අපේ ගෙදර අයත් ඈඳලා අපේ ගෙවල් මණ්ඩියෙ පැතිරිලා ගිය කේලමක් හගිස්සවන වෙලාවකදි අපේ තාත්තත් කම්මලට ගිහිං එන ගමං අහම්බෙන් එතැන්ට කඩා වැදුනා. ඒ වෙලාවෙ තාත්තගෙ අතේ තිවුණෙ ඊට කලිං සතියෙ අම්මා ළිඳෙං වතුර ගේන ගමං ගලක් පල්ලෙ වැටිලා බිම වැදිල හිල්වෙච්චි ඇල්මේනියං කලගෙඩිය. ඒක කම්මලේ බාස් උන්නැහැ මොකද්දෝ විපිරියාසයක් කරලා පාහලා අලුතිං තින්ත ඩිංගකුත් ගාලයි දීල තිබුනෙ. හරියටම ඒ අපේ දැතිහුලස් නැන්දා අපේ අම්මට දොරවල් දහයකට කියන නමක් කියලා බැන අඬගහන වෙලාව. අන්න ඒ වෙලාවෙ අලුත පාස්සපු කලගෙඩියත් අරං නැන්දගෙ පිටිපස්සෙං මතුවෙච්චි අපේ තාත්තා කලේ කට දෑත බදල අල්ලගෙන නැන්දගෙ කොන්දට කලගෙඩියෙ බඩෙං පාරක් දුන්නා. ඒ වගේම තැඹිලි ගෙඩි ටික කපාගෙන කඩේ මිදුලෙ අහක විසිකරල තිවිච්චි තැඹිලි ඉත්තක් අරගෙනත් උන්දෑ දවසක් වලියක් මැද්දට පැන්නා.  

Google image - කලයක්

ඒ වුනාට චන්දරෙ මාමලගෙ නැන්දා චන්දරෙ මාමට වලිය මැදට පනින්න දෙන්නෙ නෑ. 


"මෙන්න මේ ළමය තියාගෙන ඉන්නව"

කියලා නෝනක්කව චන්දරෙ මාමගෙ අතට දෙනව. රටේ තියෙන ඕනම පණ නැති දෙයක් අරගෙන වලියක් මැදට පැනලා ඒක ආවුදයක් විදිහට පාවිච්චි කරන්න පුළුවං උණාට අංගවිකල හුලං බබෙක්ව කඩුව වගේ අල්ලගෙන ඉන්න පණ තියෙන ළමයෙක්ව එහෙම පාවිච්චි කරන්න බැරි හංදා චන්දරෙ මාමා සරම පාත දාගෙන නිහඩ වෙනව.





Sunday, October 8, 2017

තොරණ හෙවත් Pandol - 6 ඇස්බැන්දුම

අපි කාණ්ඩෙම ආයිත් සැරයක් හතර අතේ දුවන සෙනග මැද්දට වැටිලා එක පොදියක් විදිහට එක දිහාවකට ඇදිල යනව. “සේරම වාහන පාරෙං එලෝලා දාලා සම්පූර්ණ පාරෙම අයිතිය ගත්තෙ මං තමයි“ කියල හිතාගත්තු මිනිස්සු දකුණෙං යාමේ නීතිය පැත්තක දාලා තමුන්ට ඕන විදිහට පාරෙ යනවා. ඒ හංදා අපිටත් පාරෙ යන්න වෙන්නෙ දාං අදිනව වගේ. දැං කාලෙ නං මොටෝ සයිකල් ටැපික් එකේ යනව වගේ. ඒ හංදා වැඩිවෙලා යන්න කලිං අපේ පොදිය සීසීකඩ යනවා. වෙලාවකට අම්මයි මායි දකුණු පැත්තෙ, අනික් කට්ටිය පාර මැද්දෙ, තවත් වෙලාවක අපිව ඉස්සරහට ඇදිල යත්දි සෙනග පොදියකට අහුවෙලා ආච්චිඅම්මවයි නැංදවයි අපේ ගාවිම්ම ආපස්සට ඇදිල යනව. මිනිස්සුංගෙ කකුල් පෑගිලි, අතපය වැදිලි අනන්තයි. එව්වට වලි ඇදගත්තොත් බේරන්න අහල පහල රටවල පොලිසිත් ගේන්න වෙන හංදා මිනිස්සු එවෙලෙට 

"මක්කොන්නොවදෝයි" 

"පාර බලං යනවකෝයි" 

"බලංතමයියෝයියන්නෙ"

වගේ සරල වචන දෙක තුනකිං සුබ පතාගෙන යන අතකට ඇදිල යනව. ඒ විදිහට දෙතුන් දෙනෙක්ට සුබ පතාගන්නකොට සෙනග පොදිය අම්මවයි මාවයිත් ඇදගෙන ගිහිං මොකද්දෝ එකකට යන පෝලිමකට අමුණල ඉවරයි. වැඩි වෙලා යන්න කලිං එතනිං සෙනගගොඩේ ගසාගෙන යන නැංදවයි, ආච්චි අම්මවයි බේරගෙන පෝලිමට අමුණගන්න අපේ අම්මට පුළුවං වෙනව. ඉං පස්සෙ අපි හැමෝම එකතුවෙලා චන්දරෙ මාමලෑ ගෙදර හතරදෙනාවත් පෝලිමට ඇදගන්නව. හිටපු ගමං මුළු පෝලිමම තල්ලු වෙලා යනව. එතකොට මැද ඉන්න අය හිරවෙලා, මිරිකිලා තුනී වෙලා යනව. ඒ වෙලාවට තෙරපිච්චි අය ඇඟේ තියෙන අන්තිම හුස්ම ටික එක්කහු කරගෙන බෙරිහං දෙනව.


"තල්ලු කරන්නෙපා, මේ පොල්ලමයියී වයසක මිනිස්සුයි ඉන්නොවෝ"


පොඩි ළමයිනුත් බලල්ලු දුසිමකගෙ නැටි එකපාර පෑගුනා වගේ සද්දෙකිං බෙරිහං දෙනව. ඒ වුනාට තල්ලු කරපු කෙනෙක් හොයාගන්න නෑ.


 පෝලිම ඇදිල යන්නෙ කඩයක් අස්සට. හැබැයි දැං ඒක කඩයක් නෙමෙයි. කඩේ ඉස්සරහ ලොකු පින්තූරයක් තියෙනව. ඒක ඉස්කෝලෙ ලොකු පන්තිවල ඉන්න තරං ලොකු අක්ක කෙනෙක්ගෙ රූපයක්. එයා රැලි දාපු හැට්ටෙකුයි මගෙ ඉස්කෝල සූට්ටෙකේ නිල් කලිසම තරං ඇති සායකුයි ඇඳං ආයිබොවං කියාගෙන ඉන්නව. කලිං සැරේ බාප්ප එහෙම මහගෙදර නැවතිල ඉන්න වෙලාවෙ ජෑන්ති අක්කත් ඒ ජාතියෙ සායක් ගෙනැත් තිවිලා නැංදයි, අපේ අම්මයි බැන්නෙ

"බලහං ඕක ඇඳං කඩේකට ගිහිං බඩුවක් මුට්ටුවක් තෝරන්නෙ කොහොමද කියල. නැවිච්චි ගමං තොගෙ රෙද්ද අස්සෙ තියෙන සේරම එලියෙ" 

කියල. අන්තිමට ඒක නෝන ඇරගෙන ඉන හීං වෙන්න හැට්ට කට්ටක් ගහල කාලයක් ඇන්ද. ඒකිට නං ඒක පයට පෑගෙන්නම උසයි.

ඒ පින්තූරෙට උඩිං ලොකු ඉටි රෙද්දක 


ඉන්ද්‍රජාලම් මැජික් බලයෙන් 
අත පය, කඳ නොමැති හිසක් කතා කරයි.

කියලා ලියල තියෙනව.

කඩේ දොර ලැලි දෙකක් ඇරල. එක මිනිහෙක් දොරකඩ ඉඳං සල්ලි ගන්නව.

"කීයද?"

එයා අපෙං අහනව.

"පද්දෙනයි"

අපේ අම්ම කියනව.


"විසිපාක් දෙන්න"


සල්ලි ගන්න මිනිහ අත දික් කරනව. අම්ම පොකට්ටෙක අදිනව.


"අපි දෙන්නංංක්කෙ."

චන්දරෙ මාමලෑ නැංදා අපෙ අම්මට සල්ලි දෙන්න නොදී අතිං අදිනව.

"නෑ නෑ මං දෙන්නං එක්කොටම"

අපේ නැංදත් පොකට්ටෙක අදිනව.

එහෙම තමයි අපේ ගමේ හැටි. රංචුවක් එක්ක ගමනක් යතොත් බස්සෙකේ ටිකට් ගන්න, හෝටලේකිං කෑවොත් සල්ලි දෙන්න, වෙනිං තැනකිං ටිකට් ගන්න ඇතොත් ඒවට සල්ලි දෙන්න පොරකාගන්නව. ඒ විදිහට පොරකාල ඉස්සර වෙලා සල්ලි දෙන එක සිරිතක්. එහෙම සල්ලි දුන්න කෙනා ඒ ගැන වෙනිං අයත් එක්ක කියද්දි

"මං තමා හැවෝටම ටිකැට් ගත්තෙ. අනික් අයගෙං කිසියම්ම කිසි වියදමක් නෑ"

කියලා ආඩම්බර වෙද්දි ඒ විදිහට පිනට ගිය අය ලැජ්ජාවෙං බිම බලාගෙන පොලව හාරනව.

ඔය විදිහට ටිකට් ගැනිල්ල පැත්තක තියෙද්දි දැං තුන්දෙනාම තමුංගෙ සල්ලිය දික්කරන ගමං අනික් දෙන්නගෙ අත්වලිං අදිනව. සල්ලි ගන්න මිනිහ කොයිකෙං සල්ලි ගන්න හැදුවත් අනික් දෙන්නා ඒ අත ඇදල අරං තමුංගෙ සල්ලිය දික් කරනව. මේ 'ආ.... එපා... සෙල්ලම' නිසා සල්ලි ගන්න මිනිහට කේන්ති යනව.

"ඉහ්මන්ට සල්ලි දෙනවල. නැත්තං යනවල යන්න. මොන්න වික්කාරයද්ද මේක."

ඒකට අපේ අම්මටයි, චන්දරෙ මාමලෑ නැංදටයි, අපේ නැංදටයි තුන්දෙනාටම තදවෙනව.

"ඉන්නොව පොඩ්ඩක්. මේ සල්ලි දෙන්න තමා හදන්නෙ."

"සල්ලි අතේ තියං ආවෙ නෑ"

"අපි හොරෙං බලන්නයැ ආවෙ"

අන්තිමට අපේ නැන්දගෙ අතේ තියෙන සල්ලි කොලේ සල්ලි එක්කහු කරන මිනිහට දෙනව. අපි දොරෙං ඇතුල්වෙනකොටම සල්ලි ගන්න මිනිහ ආයි කෑ ගහනව.


"ඔය පොල්ලමයින්ට ටියට්ගන්නැද්ද?"


මේකෙං ආයිමත් අපේ අම්මයි, නැංදයි, ආච්චිඅම්මයි ඇවිස්සෙනව.


"මේ ළමීන්ට බස්සෙකේ යද්දිවක් ටිකැට් ගන්නෑ."


"එහෙම හරියන්නෑ. දෙකයි පනහ ගානෙ දෙන්න"


"මේ ළමයි අනික මේක බලන්නෙත් නෑ"


"අනික අපි මුංව වඩාගෙනනෙ ඉන්නෙ"


සල්ලි ගන්න මිනිහත් දිනුම දෙන්න කැමති නෑ.


"එහෙම හරියන්නෑ. එහෙනං ළමයි එලියෙං තියල යන්න"


මේකෙං අපේ අම්ම තවත් කුපිත වෙනව.


"ළමීංව එලියෙ තියල යතෑද්ද. අනේ අපිට ඕන්නෑ මේ කෙහෙම්මල බලන්න. දෙනව අපේ සල්ලි"


ඒකෙං සල්ලි ගන්න මිනිහ මර්දනය වෙනව.


"හා. හා. යනව යනව. ඇතුල්ට. ඔය ළමයි බිම තියන්නෑ. හොන්ද? වඩාගෙනම ඉන්නව"


අපි හැමෝම කඩේ ඇතුළට රිංගගන්නව. අපිට පිටිපස්සෙන් හිටපු අයත් තල්ලුවෙලා ඇවිල්ලා සල්ලි ගන්න මිනිහා ගාව නතර වෙනව.

කඩ කාමරේ මැදිං වැටක් ගහලා. වැට ඇතුලෙං තිරේකුත් දාලා. බිමට පිදුරු දාලා. ඒ ගමන ආච්චි අම්මා  උරිස්සෙ එල්ලං යන බෑක් එක අැරලා ඒක ඇතුලෙ මොනවද හොයනව.

"මොකද්ද අම්මෙ හොයන්නෙ"

නැන්ද අහනව.

"මයෙ බැටලිය ගෙනාව. ඩිංගක් හිටිං බලන්න."

ආච්චි අම්ම බෑක් එකේ තියෙන සාලුව, කුඩේ, යතුරු කැරැල්ල එහෙම බේරලා ටෝච්චෙක එලියට අරගෙන ඒකෙ අඩිය කරකවල ගලෝනව. ඉං පස්සෙ යටිම්ම තියෙන බැට්ටි කෑල්ල අතට ඇරං අනික් පැත්ත හරෝල ආපහු ටෝච්චෙකට දානව. (ඒ විදිහට එක බැට්ටි කෑල්ලක් නොපිට දාල තියෙද්දි ටෝච්චෙක බෑක්කෙකේ දාගෙන යනවනං හරි නැත්තං ඉනේ ගහගෙන යනවනං හරි ඒකෙ රතුපාට මොට්ටුව ඉබේ එබිලා ටොච්චෙක පත්තු වෙන්නෙ නෑ.) ඊළඟට ටෝච්චෙක පත්තු කරල බිම හැමතැනටම අල්ලල බලනව.

රතු මොට්ටුව තියෙන බැටලියක්


"කෝ බලන්න උඹලගෙත් කකුල් උස්සහල්ල." 

අපිත් සැරේකට එක කකුල ගානෙ උස්සල අපි ඉන්න තැන බිම සම්පූර්ණෙම්ම බලාගන්න ආච්චි අම්මට ඉඩ දෙනව.

"මොකද්ද නැංදම්මෙ හොයන්නෙ? කරාබුවද්ද"

අපේ අම්ම අහනව.

"මොකොවක් හොයනව  නෙමෙයි. මේ පිදුරු කැටි අස්සෙ සත්තු සරපයි ඉන්න ඇහැකි. කෑවොත්තෙහෙම නිකා ඉන්න වෙයි"

බිම අඟලක් ගානෙ බලලා සත්තු සර්පයො නැති බවට තහවුරු කරගන්න ආච්චි අම්මා ආයිමත් ටෝච්චෙකේ අඩිය ගලෝල බැට්ටි කෑල්ල අනික් පැත්ත හරෝලා ආයිත් අඩිය වහලා ටෝච්චෙක බෑක්කෙකට දාගන්නව.

ඒ වුනාට අපිට එක තැනම ඉන්න බැරිවෙනව. සල්ලි එකක්හු කරන මනුස්සයගෙ සල්ලි පොට්ටනිය ලොකු වෙනකොට කඩේ ඇතුලෙ තිරෙං මෙහා පැත්තෙ ඉඩ මදිවෙනව. අපිව ටිකෙං ටික එහාට තල්ලුවෙලා තිරේ ගාවටම යැවෙනව. එහෙම ඉස්සරහට තල්ලුවෙන සැරයක් ගානෙ ආච්චි අම්මා බෑක් එකෙං ටෝච්චෙක අරගෙන බැට්ටි කෑල්ලෙ පැත්ත මාරු කරලා ටෝච්චෙක පත්තු කරලා පොලව පරීක්ෂා කරනව. ආයිමත් බැට්ටි කෑල්ල නොපිට හරෝලා ටෝච්චෙක බෑක්කෙකට දානව.

කාමරේ ඇතුලෙ සෙනග පිරිලා තව එක්කෙනෙක්වත් දාන්න ඉඩක් නැතිවෙනකොට සල්ලි එකතු කරන කෙනා තව තුන් හතර දෙනෙක්ව අමාරුවෙං ඇතුලට තල්ලු කරලා දොර වහනව. එතකොට කාමරේ ඇතුලෙ සෙනග දර මිටිය බැන්ද වගේ හොඳට හිරවෙලා ඉවරයි.

සුදු සරමකුයි කමිසෙකුයි ඇඳපු නිවේදකයෙක් තිරේට ඉස්සරහිං ඉඳලා මයික්කෙකක් අතේ තියාගෙන මිනිස්සුංව පස්සට කරනව.


"කරුණාකරල තව ටිකක් පස්සට යන්න. ඔය පොඩි අයව වඩාගන්න බිම තියන්න එපා."

මිනිස්සු තමුන් හුස්ම ගන්න ප්‍රමාණය අඩු කරල ඇඟ හීං කරගෙන පස්සට වෙනව. අපේ අම්මා මාවත් වඩාගන්නව. චන්දරෙ මාමයි නැංදයි දෙන්නත් අයියවයි නෝනක්කවයි වඩා ගන්නව. එතකොට නිවේදකයා තිරෙං කොටසක් ඇරලා පෙන්නලා මොනවද ටිකක් කියෝනව. තිරේ ඇරපු කොටසින් දොරකඩ තිවුණු පින්තූරෙ ඉන්න ගෑණු ළමය වගේම එක්කෙනෙක් පේනව. නිවේදකයා එයාගෙ නම අහනව.

"මායාදේවි"

ඒ ගෑනු ලමය කියනව. මං කියවපු රජ කතා පොත්වල විතරක් ඒ වගේ නං තියෙන අය හිටියට අපේ අහල ගං හතකවත් ඒ වගේ නමක් තියෙන ගෑනු ළමයෙක් නැති එක ගැන මට පුදුම හිතෙනව. ඒ අතරෙ නිවේදකය අායිමත් කතා කරනව. එයා කියන විදිහට ඊළඟට පෙන්නන්න යන්නෙ අතපය, කඳ, මෙලෝ දෙයක් නැතුව ඔලුවක් විතරක් කතා කරන හැටි. ඉතිං අපි ආවෙත් ඒක බලන්න වෙච්චි මේ කොහෙවත් යන අරුම පුදුම රජකාලෙ නමක් තියෙන ගෑනු ළමයෙක් අපිට පෙන්නන්නෙ මොන කෙහෙම්මලකටද කියල මට හිතෙනව.


ගෑනු ළමයව නොපෙනෙන්න තිරේ වැහෙනව. නිවේදකය විතරක් තිරෙං එලියෙ ඉඳං මයික්කෙකෙං කියෝනව. මේ පෙන්නන්න යන මහා ඉන්ද්‍රජාලය කොයියම්ම විදිහකිංවත් වෙන කා ගාවවත් නැති විදිහෙ අරුම පුදුම දෙයක් බවත්, ආයි අපි ලෝකෙ කොහේ ගිහිං හෙව්වත් මේක බලන්න හම්බුවෙන්නෙ නැති වගත් තවත් ඒ වගේ සෑහෙන ලොකුකං ටිකකුත් නිවේදකය කියනව. ඒ අතරෙ දාඩිය ගඳ එක්ක කලවං වෙච්චි ගඳවල් හත අටක් කාමරේ ඇතුලෙ පිරිල පොඩි ළමයි කීප දෙනෙක්ම අඬන්න පටං ගන්නව. ඒ ළමයිංගෙ අම්මලත් උන්ට කිරි දීල නලෝගන්න මුවාවෙං ළමයිංගෙ මූණු පපුවට තියල හිර කරගෙන ඇඬිල්ලෙ සද්දෙ අඩු කරගන්න හදනව. මිනිස්සුත් කියවන්න පටං ගන්නව.

"මොන ලබ්බද්ද මංද, මේක කියෝනව විතරනෙ."

"පෙන්නන රෙද්දක් විජානියට පෙන්නල ඉවර කොලානං හරිනෙ"

"මේකස්සෙ තැම්බෙනව ඉන්න බැරිවෙන්න"

 එතකොට තිරේට ඇතුල් පැත්තෙං කවුද කෙනෙක් නිවේදකය කිට්ටුවට ඇවිල්ල මොකක්දෝ කියනව. නිවේදකයා පම්පෝරිය නවත්තලා ඊළඟට වෙන්න යන වැඩේ කියනව. එයා කියන විදිහට අපි හැමෝම පුලනවා කියන වැඩේ කරමින් බලාගෙන හිටපු ඔලුවක් කතා කරන ඇස්බැන්දුම පෙන්නන්නයි යන්නෙ. ඉතිං අපි කයිවාරුව නවත්තලා තිරේ දිහාම බලං ඉන්නවා. මං විතරක්

"පුල පුලා කියන්නෙ මොකක් කරනවටද අම්මෙ"

කියල අහන්න ගිහිං අම්ම ලවා කට මිරිකෝගන්නව.


නිවේදකය පැත්තකට වෙද්දි තිරේ ඇරෙනව.

"හ්‍රීඊඊඊඊඊක්"

"අනෙයම්මෙහ්"

"ඔන්න අල්ලනව ඕයි"

"වැටෙයි ළමය වැටෙයි"

අපි ගාවම හිටපු ගෑනු කෙනෙක් ලතෝනි තියල සිහිනැතුව වැටෙනව. කීප දෙනෙක් උන්දැවයි උන්දැගෙ අතේ හිටිය ළමයවයි අල්ලගන්නව.

"මං කිව්වෙ සර්පයි ඇති කියල ඕක තමා"

ආච්චි අම්ම බෑක්කෙකෙං ටෝච්චෙක අදිනව.

"නෑ නෑ සර්පේක් නෙමෙයි. මෙයා බය වෙලා."

සිහි නැතුව වැටිච්ච කෙනාගෙ මනුස්සයා එහෙම කියලා තමුංගෙ ගෑණිවයි, ළමයවයි අරගෙන එළියට යනව. උන්දැ බය වෙච්චි හේතුව බලන්න මම ඉස්සරහ බලනව. කාගෙද ඇඟෙ හැපිල ආච්චි අම්මගෙ ටෝච්චෙකේ අඩිය බිමට වැටෙනව.

"ඉනඩුවයියාවයි බැටලියෙ මූඩිය හැලුන"


තිරෙං එහා පැත්තෙ බැලුවම මගෙ ඇස් උඩ යනව. ටීපෝ එකක් උඩ තියපු අපේ ආතා බත් කන පිඟාන විතර බෙලෙක් පලංගමක් උඩ පිල්ලෑවෙ කුන්දිරා ගහේ ගෙඩියක් තිබ්බ වගේ අර කලිං හිටිය ගෑල්ලමයගෙ ඔලුව බෙල්ල මුලිම්ම කපල අරං කෙලිං හිටෝලා තියල. ඇස් වැහිලා. එතනම බිම දරට කැපුව වගේ උන්දැගෙ කඳ වෙනම. කකුල් වෙනම අත්දෙක වෙනම. එව්ව යංතං වෙව්ලනව. නිවේදකය කතා කළහම අර ඔලුගෙඩිය ඇස් අරිනව.



ඇස්බැන්දුම


නිවේදකය ඒ ඔලුගෙඩියෙං නම අහනව.

"හා. දැං කියන්න බලන්න ඔයාගෙ නම මොකද්ද?"

ඔලුගෙඩිය නම කියනව.

"මායා දේවි"

අපේ ආච්චි අම්ම දෙකට නැමිල බිම අතගානව. ඊළඟට නිවේදකය ඔලුගෙඩියෙං තව මොනවද විස්තර ටිකක් අහනව. ඔලු ගෙඩිය ඒවටත් උත්තර දෙනව. නිවේදකයා ඊළඟට බලං ඉන්න අයටත් ඔලුගෙඩියෙං කැමති දෙයක් අහන්න කියනව. ඒ ගමන පිටිපස්සෙ ඉන්න පිරිමි කීප දෙනෙක් ප්‍රශ්න අහනව.

"වයස කීයද?"

"අවුරුදු දාසයයි"

ඔලු ගෙඩිය උත්තර දෙනව.

"අනේ ළමයො කකුල ඩිංගක් අහට්ට ගන්නකො මයෙ මේ බැටලියෙ අඩිය වැහ්න බිමට"

අපේ ආච්චි අම්ම කාටද පිංසෙන්ඩු වෙනව.


"කසාද බැඳලද?"


තව කෙනෙක් ඔලුගෙඩියෙං අහනව. සද්දෙ හැටියට නං බීපු මිනිහෙක්ද කොහෙද.

"තාම නෑ..."

ඔලු ගෙඩිය ඇස් කරකෝල හිනාවෙලා උත්තර දෙනව.

"මාව බඳිනවද"

ඊට වඩා සද්දෙට තව කෙනෙක් අහනව

ඔලු ගෙඩිය හිනාවෙනව.


"ඔන්න ඔය ඔතන මොකද්ද ළමෙයො දිලිසෙන්නෙ."

අපේ ආච්චි අම්මා කාගෙද කකුලක් මුල ඉඳං තව කෙනෙක්ට කියනව.


නිවේදකය තිරේ වහනව. අපේ ආච්චි අම්මගෙ ටෝච් අඩිය කාගෙද පයට පෑගිලා හොයාගන්නව. ආච්චි අම්ම ඒක අරගෙන ටෝච්චෙකට හයිකරගෙන බෑක්කෙකට දාගන්නව. එතකොටම තිරේ ඩිංගක් ඇරෙනව. කලිං කෑලි ගලෝලා හිටපු ගෑනු ළමයා ආපහු මූට්ටුවෙලා හිටගෙන ඉන්නවා. එයා අත්දෙක එක්කහු කරල ආයුබෝවන් කියනව. නිවේදකයත් "ආයුබෝවන් වාසනාවන්" කියනව. ඒත් එක්කම එලියට යන දොර ඇරෙනව. සල්ලි එකතු කරන මනුස්සයා කෑ ගහනව.

"එන්න එන්න.. ඉක්මන්ට එළියට බයින්න. කවුරුවත් අස්සෙ නවතින්නෙපා."

අපිත් දාඩිය පෙරාගෙන සෙනග පොදිය පිටිං එළියට විසිවෙනව. හුලං රැලක් අපේ ඇඟේ වදිනව.

"නිවං ගියා වගේ"

කීප දෙනෙක්ම කියනව.

කලන්තෙ හැදිල වැටිච්චි ගෑණු කෙනාගෙ මිනිහා කීප දෙනෙක්ට කිය කියා තමුංගෙ ගෑණිට බණිනව.

"මේක අැදගෙන වැහ්නනෙ. අපර්රාදෙ රුපියල් දහය. මටවබ් බලන්න උන්නෑ."


ඒ මනුස්සයගෙ හිතේ අමාරුව අරින්න ආච්චි අම්ම ඉදිරිපත් වෙනව.

"ඒකෙ බලන්න දෙයක් නෑ ළමයො. ඔය ළමයි දොට්ට බැස්සයිං පස්සෙ මයෙ බැටලියෙ අඩිය හැලුන. මං ඒක හොයාගෙන නැකිල්ලා බලනකොට ආයි වංගියක් ආං අර සාය කොටෙයි හැට්ට කෑල්ලයි ඇඳං හිටිය කෙල්ල පෙන්නුව. එතෝටම අර මිනිහා දොර ඇරල හැමෝම දොට්ට දැම්ම. ඕං ඔච්චරයි බලන්න තිවුනෙ."









Saturday, September 23, 2017

තොරණ හෙවත් Pandol - 5

හිඟන්නෙක්ට යමක් දුන්නත් පිං දෙනව ඇහෙන්නෙ අහල පහල ඉන්න අයට විතරයි. පන්සලේ හාමුදුරුවන්ට දුන්නත් සමහර වෙලාවට 'පිංසිද්දෙච්චාවෙ' කියනව විතරයි. එව්වා දිවිය ලෝකෙට ඇහෙනවද කියල ෂුවර් නෑ. හැබැයි  පිනට දීපු ගානත් එක්ක පීකරෙන් නම කියවා ගත්තොත් දිවියලෝකෙට ඇහෙනවම තමයි. ඒ කියන්නේ ගලේ කෙටුවා වගේ පින ෂුවර් කියන එකයි. ඒ හංදා මිනිස්සු පෝලිමේ ඉඳලා ආදහර දීලා පීකරෙං නම කියවා ගන්නවා. ඒ කාලෙ පීකරේකිං නම කියවාගන්න එකත් ලොකු නම්බුවක් වගේම ආඩම්බරයක්.  නිවේදකයයි විරිඳුකාරයයි දෙන්නත් මිනිස්සුංගෙ පොකැට්ටෙකට මයික් එකෙං ඇනලා රබානට සල්ලි හලා ගැනීමේ වැඩේ දිගටම කරගෙන යනවා. විරිඳුව මැදට සල්ලි දුන්නු කෙනාගෙ නම දාන්නම ඕන හිංදා සමහර වෙලාවට කවියෙ තාලෙ පිට පනිනව. එතකොට විරිඳු කාරයා කවියට කිසිම විදිහකින් ගැලපෙන්නෙ නැති අකුරක් හරි සද්දයක් හරි දාලා තාලෙ බේරගන්නවා.


"හඟරංගල සිට පැමිණිය සිරියලතා ආ....... නෝනා
  රුපියල් දහයක් වටිනා ආදාරය ගෙන දුන්නා"


කියල තාලෙ බේරද්දි පහුවදා ඉඳං ඒ ගමේ අය ඒ ගෑනු කෙනාට "සිරියලතා ආ... නෝනා" කියල නමක් පටබඳින්න වුනත් බැරිකමක් නෑ. තමුංගෙ නම කියවෙද්දි ඒ අය මූන පිම්බෙන්න හිනාවෙලා වටපිට බලද්දි ඒ අහල පහල ගෙවල්වල අයගෙ මූණු සවුත්තු වෙනව. එතකොට ඒ අයත් ආදාරයක් දීලා තමුංගෙ නමත් පීකරෙං කියෝල තමුංගෙ අසල්වැසියගෙ ආඩම්බරේ බස්සනව. මේ සේරගෙම්ම තොරංකාරයගෙ සල්ලි ගොඩ ඉස්සෙනව.


රබානට තලන ගමං සල්ලි දෙන කෙනාගෙ නමයි සල්ලි ගානයි දාලා යන්තං ගැටගහලා රිසිට්ටෙකක් වගේ කියන කවි ඇහිල්ල අපිට එපා වෙනවා. එතකොට මිනිස්සු තොරණ දිහා කටබලියං බලා ඉඳීම නවත්තලා වෙන මොනවහරි බලන්න නැත්තං බඩුවක් මුට්ටුවක් ගන්න හරි හිතලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනව. අන්න එතකොට නිවේදකයටයි විරිඳුකාරයටයි ඇස් ඇරෙනව. ඒ ගොල්ලො සල්ලි ගැනිල්ල පොඩ්ඩකට නවත්තලා වෙනම පදයක් ගහනව. ඒ කියන විදිහට තව බොහොම සුළු වෙලාවකින් තොරණේ කතා වස්තුව අහන්න ලැබෙනවා. ඔය විදිහට දෙතුන් පාරක්ම පොරොන්දු වෙලා ආයිමත් සල්ලි ගැරිල්ල පටං ගනිද්දි මිනිස්සුන්ට පීකරෙං කියන එව්වත් විස්වාසෙට නැතුව යනවා. 

වාසනා බේකරියේ ඉස්පන්චි


මෙන්න මේ වෙලාවෙම පොල පිටිපස්සෙ ලැලිවලිං අටෝපු යෝද ඉස්පංචිය අස්සෙං චිංසෝ එහෙකට පීකරයක් හයිකෙරුව වගේ ලතෝනියක් ඇහෙනව.


"රෑඈෑෑෑෑ......ං පට්ටං රෑං රෑං රෑං පට්ටං පට පට"


මං උඩ පැනල අම්මගෙ බෙල්ලෙ එල්ලෙනව. මාව වඩාගන්නව වෙනුවට අම්මා මාව ගසා දාල බිමට හලනව. 


"බලියන්නැතුව හිටහං. ඒ ළිඳේ බයිසිකල පදිනව. ඒක මෙහෙ එන්නෑ"


මං ඒ පැත්ත හැරිල බලනව. ඉස්පංචියට උඩිං ලොකු ටෙන්රෙද්දක් ඇදලා. ඉස්පංචියෙ ගැට්ටට නගින්න පඩිපෙලකුත් අටෝලා. ඒ පඩිපෙල පටං ගන්න තැන කනු දෙකක් හිටෝලා ඒ දෙකට ගැටගහපු රෙද්දක


මාරක ලිඳේ සයිකල් සංදර්ශනය

මාරක ලිඳක් - Art by Suranga MLR


කියලා ලියල තියෙනව. ඉස්පංචියෙ මුදුනේ ගැටගහල තියෙන ඉස්පීකර් දෙක දෙපැත්තක් බලාගෙන එකම දේ කියනව.


"එන්න.... මාර්ර..ක ලිදේ බයිසිකලේ.. පුංචි ර්...රුපියල් දහයකට... මාර්ර...ක ලිඳේ මාර්රාන්තික සංදර්සනය නර්රබන්න.... තවස්සුලුමෝතකින්.... ඒ ම් මාර්රාන්තික මෝටර් බයිසිකල් දහවනය ආර්රම්බ වනවා ඇත්ත."

තොරණ දිහා බලං හිටපු සෙනග අතරින් පව් පින් ගැන වැඩි සැලකිල්ලක් නැති අය ඉස්පන්චිය දිහාවට ඇදෙනව. අපේ අම්මත් මාව දෑත බදලා අදිනව.



"වරෙං යමං ලිඳේ බයිසිකල් බලන්න"


"බෑබ් බෑබ් බෑ.......ඈ...... බම්බයායිඊඊඊ"

පොලොවෙ ගල් ගැලවෙලා හැදිච්ච වලකට විළුඹ තියලා ගැම්ම ගන්න ගමං මං අනික් පැත්තට අදිනව.

"මොකවත් වෙන්නෑ... අර මිනිස්සු පුරාම ඉන්නෙ"

අපේ නැංදයි චන්දරෙ මාමයි දෙන්නත් මගේ කන්දෙක ඇතුලටම කට ඔබලා මගෙ බය අරින්න හදනවා. ඒ වුනාට මං මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ. අන්තිමට අම්මයි මායි දෙන්න ඇර අනෙක් සේරම අය ටිකට් අරගෙන ඉස්පංචිය මුදුනට නගිනව. අපේ අම්මටත් යකා නගිනව. ඉස්පංචියට අරක්ගත්තු අල්රයනු වැඩි නිවේදකයත් තව ඉතා සුළු වේලාවකින් මාර්රක ලිංදේ අත්තිබ්බිහිස්සුනු සයිකල් ධා...වනය ආරම්භ වන බව කිය කියා ඉස්පංචිය වටේට කූඹි වැහුවා වගේ සෙනඟ පටෝනව. මාත් පිටු එකසිය විස්සෙ පොතක් පිරෙන්න තරමට අම්මගෙං බැනුං ඇහුවට පස්සෙ ඉස්පංචිය ඇතුලෙං මෙතෙක් වෙලා ඇහුණු "රෑං පට් පට්" සද්දෙ නැතිවෙලා කුරුමිණියෙක් ඔලුව වටේ කැරකෙනව වගේ සද්දයක් එන්න ගන්නව.

"රෑව්ව්ව්ව්ව්ව්වව්වව්ව්ව්ව්ව්ව් රෑව්ව්ව්ව්ව්ව්වව්ව්ව"

අපේ අම්මගෙ කේන්තිය ඉස් මුදුනටම නගිනව.

"ආං බලහං ලිඳේ බයිසිකලේ පදින්න පටං ගත්ත. අම්ප තොට යන්න බෑ කිව්වනෙ. අර මිනුස්සු සෝක්කෙකට ඉන්නෙ"

අම්මා මගෙ ඉල ඇට දෙකක් අතරට ඇඟිල්ලෙං අනිනව. ඒ වෙනුවට මගෙ කටිං පයින වචනෙ කාටවත් ඇහෙන්නෙ නෑ.

රේඩිවේකෙ හවස ප්‍රවෘත්තිවල සිරස්තල කියලා ඉවරවෙන තරං වෙලාවක් ගතවෙද්දි කුරුමිණි සද්දෙ නවතිනවා. ඒ එක්කම වැට කඩාගෙන කුඹුරට පැන්න හරක් රංචුවක් එළවනව වගේ ඉස්පංචියේ නිවේදකයා ආටෝප මොකවත් නැතුව මිනිස්සු එළවන්න පටංගන්නවා.

"ඔය සංදර්ශනේ බලපු අය සේරම විගහට බැහැල යන්න. කවුරුවත් රැඳීඉන්න එපා. හැමෝම යන්න. ආයෙත් බලන්න ඕනි නං ආපහු ටිකට් අරගෙන එන්න. කර්ණාකල්ල යන්න. අපට එළවන්න ඉඩ තියන්නෙපා."

ඉස්පංචිය මුදුනෙ හිටිය අය තම තමන්ගෙ ළමයින්වත් ඇදගෙන අනුංගෙ කකුල් පාගගෙන, කකුල් පටලවගෙන ආඩපාලි කිය කියා බැහැල එනව.


"ඉදකිං රෙද්ද යාංතං වට පහක් කැරකැවුන්නෑ."


"වෙන්දට ඔය ගැටිය ගාවටම එනවලු. අද යංතං අඩියක් දෙකක්කත් උට්ට ආවෙ නෑ"


"ඒක බයිසිකලෙයක්යැ. හිරමන දණ්ඩක් වගේ එකහ්නෙ."



"මන්නං මේ මුංගෙ වදේට ගියෙ. අපරාදෙ සල්ලි. සටකජු ගොට්ටක් කෑවනං බඩහරි පිරෙනව"



සමහරු තමුං කරපු ගොංකම ළමයින්ගෙ පිට දාල බේරෙනව. මේ ආඩපාලි සේරම හිංදා අපෙ අම්මගෙ කේන්තියත් කේතලේ ලිපට පෙරලුනා වගේ නිමිල යනව. ඒ හංදා උන්දැත්


"මාත් මේ මූ කවදාකත් ඕව දැකල නැති හිංද එක්ක යන්න හැදුවෙ. එකාතකට නොගියෙක හොඳා එහෙනං"

කියලා මාව පෙන්නනව. මාත් මේ අපේ අම්මද වෙනිං කෙනෙක්ද කියල හිතාගන්න බැරුව උඩ බලනව.


මාරක ලිඳේ ලනුව ගිලලා විස්සෝපෙං එන මිනිස්සුගෙ ඔලුවට මරණ බය හලලා පොකට්ටෙකේ තියෙන කීයකට හරි කවියකිං තට්ටුවක් දාලා පිං ටිකක් විකුණගන්න හිතාගෙන විරිඳුකාරයා ආයිමත් විරිඳුවක් අඹරනවා. ඒ විරිඳුවෙ හැටියට විනෝදවෙන්න එක එකාකාරයෙ දේවල් බලබලා පිනට කීයක්වත් නොදී ඉඳලා කොයිවෙලේ හරි හිටිගමං මැරිල ගියොත් අපායෙ උපදින්නයි වෙන්නෙ. ඒ හංදා තනයක් අගිස්සෙ පිනි බිංදුවක් වගේ තියෙන ජීවිතේ තියෙන කාලෙ පිනට දෙන්න ඕනා. ඒ විරිඳුව ඇහුණාම තමුං කරපු පිනක් මතකවත් නැති අය ඉක්මන් පිනක් කරගන්න හිතලා තොරනෙ කාර්යාලෙට දුවනවා. එහෙම නොදුවන කට්ටිය අල්ලගන්න තව කාණ්ඩයක් ඒ කිට්ටුවට එනවා.


"කල්ලගන් කල්ලගන් කල්ල කල්ල කල්ල ගන්. තම්බ්පු කල්ල ගන්. ම්‍රිස් දාපුව තීනව නැතුව තීනව. කල්ලගන්න කල්ල කල්ල..."


රෝද දෙකක් හයිකරපු තේ පෙට්ටියක් විතර එකක් මිනිස්සුංගෙ ඇඟේ හැප්පි හැප්පී තල්ලු කරගෙන එනගමං කඩල කාරයෙක් කෑ ගහනව. අපෙ ආච්චිඅම්මා කුස්සියෙ කබඩ්ඩෙකේ දාල තියං ඉන්න තඩි බෙලෙක් පලඟාන විතර ලොකු පළඟානක් ඒ පෙට්ටිය මැද්දෙ කඩල පුරෝගෙන බලං ඉන්නව. ඒකට පැත්තකිං තොවිල් පන්දමක් විතර පන්දමක් වගේ එකක් පත්තුවෙනව.


මිනිස්සු කඩලකාරයව වටකරගන්නව.


"පාක දෙන්න"


එක්කෙනෙක් රුපියල් පහක් දික්කරනව. කඩලකාරයා රුපියල් පහ ඇදල අරං සරමෙ ඉස්සරහ ඔලොඟුවට දාගෙන හීනි ගොට්ටක් අතට ගන්නව. ඒකෙ අගිස්ස පැන්සලේ තුඩ තරං හීං. කට පැත්ත ඉදල් මිටකට වැඩිය මහත නෑ.

"ම්‍රීස් දාපුවද නැතුවද?"

උත්තරේ ලැබෙන්නත් කලිං කඩලකාරයා මේස හැන්දක් අරං ඒ ගොටුවට කඩල පුරෝනව. තම්බපු කඩල ඇටේකට ඒ ගොට්ටෙ බාගෙක දුරට වඩා යන්න බැරුව හිරවෙන හංදා කඩල ගොට්ට තුංපාරට පිරෙනව. සමහරු කඩල ගොටුවෙ අඩියෙං අල්ලගෙන ඉඳලා ගොටුව දෙකට මැදිං නැමිලා කඩල ටික බිම හැලෙනවා. ඒකෙං කඩලකාරයගෙ වෙළඳාම තවත් වැඩිවෙනව.


"ඉදකිං උගෙ කල්ල ගොට්ට. කල්ලෑට දායක් නෑ. පොල් කෑලි දෙක තුනද්දාල ඉතරයි. රුපියල් පහම්ම ගත්ත."



කඩල කාරයගෙ හීං ගොට්ටෙ වංචාවට අහුවෙච්ච අය ආඩපාලි කියනව.


A deceptive KG - වංචා සහගත කඩල ගොට්ටක්


කඩලකාරයගෙන් ඇතෑරෙන අය අල්ලගන්න ඉන්නෙ රටකජුකාරයා. රටකජුකාරයගෙ ලිපයි තාච්චියයි හින්දා එයාට රටකජු මැස්ස තල්ලු කරගෙන යන්න බෑ. ඒ වෙනුවට සවල්කාරයො තුං හතර දෙනෙක් යකඩ තහඩුවක් උඩ සිමෙන්ති කොට්ටෙක විතර කොන්ක්‍රීට් එකක් අනන තරං සද්දෙට හැන්දෙං රජකජු තාච්චිය කාල්ගාන ගමං


"කජේක් කජේක් කජේක්...ර්රටකජේක්"

කියලා කෑ ගහනව. ඒ සද්දෙට මේ නං ලෝකෙ අන්තිමටම ඉතුරුවෙලා තියෙන රටකජු ටික තමයි කියල හිතන ළමයි, මහ අය රටකජුකාරයව වට කරගෙන. චන්දරෙ මාමත් සාක්කුවෙං කොලපාට සල්ලි කොලයක් ඇදල අරගෙන 

"දායක දෙන්න"

කියල ඉල්ලනව. රටකජුකාරයත් දහයෙ කොලේ ඇදල අරගෙන තමුං ගාව තියෙන සුරුට්ටු පෙට්ටියට දාගන්නව. හැන්දෙන් කාල්ගෑම නවත්තල හැන්ද පුරෝල රටකජු අරගෙන දෙපැත්තට වනනව. එතකොට හැන්දෙ තියෙන හිල් අස්සෙං වැලි ටික හැලිලා රටකජු ටික හැන්දෙ ඉතුරු වෙනව. ඒ ටික වෙනම බෙලෙක් බාජනේකට දානව. ඉං පස්සෙ මාපටැඟිලි දෙකක් විතර මහත බෙලෙකේකෙයක් අරගෙන ඒකෙං දෙකක් බෙහෙත් කවරයක් විතර කඩදාසි කවරෙකට පුරෝනව. ආයිමත් ඇඟිලි තුඩුවලට අහුවෙන තරං රටකජු ඇට දෙක තුනක් කවරෙට දානව. කවරෙ අගිස්ස හීං තීරුවක් දෙකට නමල "ආහ්" කියල දෙනව.


"මෙච්චරද?"


චන්දරේ මාමා පුදුමවෙලා අහනව.


"නැත්තං තමුසෙ කියන්නෙ පිඟාන්ට දාල දෙන්නද"


රටකජුකාරයා හැන්ද උරුක්කරනව. අපි පස්සට වෙනව. අපේ අම්මත් ගිහිං තව රුපියල් විස්සක රටකජු ගෙනාවට පස්සෙ අපි හැමෝටම කන්න ඇතිවෙනව. 


"ඔව්වෑ වැලි තියෙනව. පොත්ත අයිං කරන්නෝනැ"

අපේ ආච්චම්ම කියනව. ඒ කීමට අපි රටකජු ටිකක් අල්ලට හලාගෙන අනික් අල්ල ඊට උඩිං තියලා තදකරලා කරකවනව. එතකොට රටකජු පියලි දෙක වෙංවෙලා පොතු ටිකත් ගැලවෙනව. ඉං පස්සෙ පොතු ටික අයින් කරගන්න ඒ ටික යංතං උඩ විසිකරන ගමං පිඹිනව. රටකජු පොතු වටේ ඉන්න අයගෙ ඔලු, මූණු, අතපය, සාක්කු අස්සෙ රිංගනව. ගෑනියෙක් අපේ ඇඟට කඩා පයිනව.  

"මොකක් කොරනවද? මයෙ හැට්ටෙයස්සෙත් ගියා සටකජු පොතු. අනෙයම්ප"

ඒ වගේ වෙලාවට තමුංගෙ වැරැද්ද පිළි අරගෙන සොරි කියන පුරුද්දක් අපේ ගමේ නෑ.

"ඉතිං අපි මක්කොරන්නද. අපි හිතල දැම්මෑ"


අපේ නැංදා පලවෙනි කස්තිරම අල්ලනව.


"තමිසෙ මොටදැ මේ ඉස්සරහිං ගියෙ. අර අරෙහෙං යන්න තිවුන්නැතෑ"

අපේ අම්මත් තමුංගෙ නෑනට උදව්වෙනව. ඒ වුනාට ඒවට උත්තර හම්බුවෙන්නෑ. රටකජු පොතු හැට්ටෙ අස්සෙ ගිය ගෑනු කෙනා හැට්ටෙ අස්සට පිඹ පිඹ මූණ පුප්පගෙන යන්න යනව. 

අපිත් මිනිස්සුංගෙ ඇඟේ හැප්පි හැප්පී වටේටම රටකජු පොතු විසුරුවන ගමං රටකජු ටික ඉවර කරනව. චන්දරෙ මාම විතරක් රටකජු නොකා ඉන්නව. කඩචෝරු කෑම ළමයින්ගෙයි ගෑණුංගෙයි වැඩක් හැටියටයි අපේ ගමේ සැලකුණේ. පිරිමියෙක් කඩචෝරු කෑවොත්, ගහකිං පළතුරක් කඩාගෙන කෑවොත් ඒක පිරිමිකමට අවනම්බුවක්. ඒ වගේ අවනම්බු විඳින්න කැමති නැති පිරිමින්ට වෙළඳං කරන්නත් කෙනෙක් එනව.


එයාගෙ ඉන හරියෙං බීම බෝතල් කේස් එකක් විතර ලොකු පැතලි පෙට්ටියක් තියෙනව. ඒක පටියකිං බෙල්ලෙ එල්ලලයි තියෙන්නෙ. ඒ පෙට්ටිය පුරෝලා බුලත් ගොටු හදලා. ඒ එක එක ගොටුවල එක එක පාටට පොල් කුඩු වගේ ඒව දාලා. තව පොඩි කුප්පි වගේකුත් පෙට්ටියෙ පැත්තක තියෙනව. ඒ සේරටම උඩිං පුංචි කූරක් තියෙනව. ඒකෙ අග ටෝච් බලුප් එකක් විතර ලොකු එලියක් පත්තු වෙනව. දුමක් නැතුව කහපාටට පත්තුවෙන ඒ එලිය හුළඟටවත් වැනෙන්නෙ නෑ. එයා ටොනික් මූඩි මැදිං හිල්කරලා කම්බියක අමුනපු වලල්ලක් අතේ තියාගෙන සැරිං සැරේ "ඉසල් සල්..... ඉසල් සල්" කියල හොලවනව. 

"අර කවුදම්මෙ"

මං අම්මගෙං අහනව.

"ඒ සාරවිට විකුණ්න මිනිහෙක්"

"අර පත්තුවෙල තියෙන එලිය මොකද්දම්මෙ?"

"මං දන්නෙකහ් නෑ. ගෙදර ගිහිං මහ එකෑං අහගනිං"

අම්ම වෙනුවට චන්දරේ මාම ඒකට උත්තරේ දෙනව.

"ඒ කාබයිට් ලාම්පුවනෙ"

චන්දරෙ මාමත් සාරවිටකාරයගෙං පාට පාට කුඩු පුරෝපු බුලත් ගොට්ටක් ගන්නව. සාරවිටකාරයත් ඒකට පුංචි කුප්පිවලිං තව මොනවද ජාති ටිකක් හලලා බුලත් ගොටුව චන්දරෙ මාමට දෙනව. අපි හැමෝටම ඒක බලන්න ඕනි වෙනව.


"පොඩි උන්ට ඒව හොඳ නෑ"


චන්දරෙ මාමා බුලත්ගොටුව කටේ දාගන්නව. 


"යන්ද ඒයි අන්නර පැත්තට. පොඩියෑයින්ට මොනව හරි පෙන්නන්නවත් දෙයක් තියෙද බලන්න."


චන්දරෙ මාමලෑ නැංදගෙ යෝජනාවට "හුම්" කියල චන්දරේ මාම බිමට කෙලපාරක් ගහනව. එතනිං ගිය මිනිහෙක් බිමට තියන්න ගිය අඩිය නොතියා සරමෙ පොට උඩට උස්සගන චන්දරෙ මාමට රවනව. එයාට බුලත්කෙල ඩිංගක් වදින්න ඇති. ඒ වුනාට ගමේ පිළිවෙලට චන්දරෙ මාමත් ඒ මනුස්සයට ඔරෝනව. දෙන්නට දෙන්න රවාගෙන අයිමත් තමුන් යන ගමන යනව.


තොරණෙ විරිඳු කියන මනුස්සයගෙ කීම ගනං ගන්නෙ නැතුව මිනිස්සු වෙනිං දේවල් බලන්න යද්දි අපිත් ඒ රැල්ලටම තල්ලුවෙලා තොරණිං දුරට යනව. තමුංගෙ නමත් එක්ක කියවෙන කවිය අහන්න මිනිස්සු නැතිබව දැනගෙන තොරණට ආදාර දෙන පෝලිමත් කොටවෙනව. 

Saturday, September 9, 2017

තොරණ හෙවත් Pandol-4




පොල දවසට ටවුමෙ ඉන්න සෙනග වගේ දහ දොලොස් ගුණයක සෙනගක් ටවුමෙ ඉන්නව. වෙනදට පාරෙ අයිං වෙලා පයිං යන මිනිස්සු පාර සම්පූර්ණයෙම්ම වහගෙන. වෙනදට එක හෝන් පාරෙං මිනිස්සුංව පාරෙං අතුගාල දාන වාහනවලට යංතං රෝද හතරට ඉඩ හදාගන්න ඇති වීරියෙං හෝන් එක පිඹලා මිනිස්සුන්ට වැඳ වැටෙන්න සිද්දවෙනව. ඕපීඩී එකේ බෙහෙත් පෝලිම වගේම පෝලිමක් නිව්ටම් පෙරේරගෙ තැබෑරුමේ ඉස්සරහ තියෙනව. ඒ කිට්ටුවම මිනිහෙක් සරමක් දනිහෙ ඉඳං පාතට ඇඳගෙන බිම බුදියගෙන දෙපැත්තට අත දික්කර කර මොනවද කියනවා. තැබෑරුමට යන මිනිස්සුත් ඒ මිනිහට හිනාවෙවී උඩිං පැනල යනව.


 බස් එකෙං බැහැපු මිනිස්සු හැමෝම අනිත් අයව තල්ලු කරගෙන තොරණ දිහාවට යනව. අම්මත් මගෙ වැලමිට ගාවිං අල්ලගෙන පුළුවං තරං ළඟට කිට්ටු කරගෙන ඉන්න හිංදා මගෙ අතේ වැලමිටෙං උඩ ටිකත් කැති මිට වගේ ඉස්සරහට දික්වෙලා තියෙන්නෙ. වැලමිටෙං නමාගන්නත් බෑ. ඒ මදිවට අම්ම ඉස්සරහට තියන හැම අඩියකම දුර යන්න මගෙ කොට කකුල්වලට අඩි දෙකක් තියන්න වෙන හංදා ඒ දෙක අතර මොනයම්ම හෝ ගස්ටනයක් ඇතිවෙලා අම්මට මගෙ කකුල පෑගෙනව. මිනිස්සුත් කලු කූඹි බිත්තිය දිගේ යනව වගේ දෙපැත්තටම යනව. ඒ හංදා හැම අඩි දෙක තුනකටම සැරයක් අසුර වේගෙං අපේ මූනට එන කෙනෙක් දැක්ක ගමං හැප්පෙන් නැතිව බේරෙන්න අම්මා මාවත් ඇදගෙන දකුණට හරි වමට හරි පනිනව. අම්මා වමට අඩියක් තියල බේරිච්චි ගමං ඉස්සරහට එන කෙනාගෙ බඩේ ඇනෙන්නෙ අම්මා කැති මිට වගේ උඩට අල්ලං ඉන්න මගෙ අත. සමහර වෙලාවට මාව දෙන්නෙක් අතර හිරවීම හන්දා අපේ අම්මා නැමති ඔරු කඳට මං නැමති කොල්ලෑවෙං අවහිර වෙනව. ඒ වෙලාවට අපේ අම්මා දෑත බදලා මාව අදින ඇදිල්ලට ඇද්දොත් මාදැලක් උනත් ඔරුව එක්කම ගොඩට විසිවෙනවා.


මේ සේරටම ඉහළිං ටවුම පුරාම තැනින් තැන කණුවල බැඳපු ලයිස්පීකර් රංචුව ටවුමෙ කඩවල්වල තියෙන බඩුමුට්ටු ගැන කියෝනව.


"මහා තොරණ් රාජෙයාට මේ සුභ පැතුම් ගෙන එන්නේ ඔරලෝසු කණුව අසල දිසානායක කඩේ ට්රේඩර්ස් සහ ඉස්ටෝස් වෙතින්. ඔබට අවශ්‍ය අනර්ඝ තත්වයේ හාල්, මිරිස්, තුනපහ, සහ සියළුම පැකැට් බඩු, ඉටිපන්දම්, ගිනිපෙට්ටි, කරවල, සහල් මැස්සන්, සඳුන්කූරු, සබන් වර්ග, රෙදි සෝදන කුඩු, බැටරි කැබලි, ඉන්දිම බීඩි සහ සුදු බීඩි, කැප්ටන් සුරුට්ටු, ශ්‍රීමත් මදන මෝදකය, බිස්ටල් සිගරැට්, කිරිපිටි ආදිය තොග සහ සිල්ලර මිලට ලබාගැනීමට මේ දැන්ම පියනගන්න දිසානායක ඉස්ටෝස්, ඔර්ලෝසු කනුව අසල" 



ඊළඟට පීකරෙන් ඇහෙන්නෙ ගෑණු කෙනෙක්ගෙ කටහඬක්



"යසවද්දන ඉලෙක්රිකල්ස්සායතනයේ තොරණ් රාජයාට ආසිරි පතන්නේ පැරණි බස්නැවතුම අසල හොරණ කඩයේ මුදලාලි මහත්මා, මුදලාලි මැතිණියත් කාර්ය මණ්ඩලයත් විසින්. නිවසට අවශ්‍ය හිරමණ, සැලි වලන්, මුට්ටි, කල, මැටි පහන්, බෙහෙත් පැදුරු ආදිය, පතල් කර්මාන්තයේ යෙදෙන ඔබට අවශ්‍ය ගැරුම් වට්ටි, ඉල්ලම් කූරු, පිචස්, උදලු තල, වැල් කූඩ, කොසු ලණු, කඹ, බාල්දි ආදියත්, තන්ගෝස් නූල්, බිලීකොකු, ඕනෑම වර්ගයක ඇන ආදිය මිලදී ගැනීමට ඔබ පිය නැගිය යුතු එකම තැනයි පැරණි බස් නැවතුම අසල හොරණ කඩය"


හත් අට දෙනෙක්ගෙ ඇඟේ වැදිලා තැලිලා, අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව. තොරණෙ යට කොටස මිනිස්සුන්ට වැහිලා උඩ කොටහ විතරක් මට පේනව. තොරණෙ තවම ලයිට් දාල නෑ. තොරණ ගාව පැත්තක තියෙන මඩුවෙ විතරක් බලුප්පෙකක් පත්තු වෙනව. ඒ මඩුවෙ පැත්තක කාඩ්බෝඩ් කෑල්ලක "කාර්යයාලය" කියලා ලියලා වහලෙ එල්ලලා තියෙනව. ඒක ඇතුලෙ මේසෙයක් උඩ පොත් වගේකුයි කලුපාට පෙට්ටියකුයි කැසට්ටෙහෙකුයි තියෙනව. යකඩෙක උලගහපු මයික්කෙකකුත් තියෙනව. අපේ ගෙදර රේඩිවේකෙ බුරිය රතුපාටට පත්තු වෙනව වගේ ඒ පෙට්ටියෙත් රතුපාට තිත් ටිකක් පත්තුවෙනව.



"මොන සෙද්දද්ද මංද. මෙච්චර ඇඳිරි වැහ්ලත් මේකෙ ලැයිට් දාන්නැත්තෙ"


"ඊයෙ ලැයිද්දාද්දි බච්චන වෙලාවත් පහූනාලු"


"අම්ප, මිනිස්සුන්ට එන්න කියල ලැයිද්දාන්නැතුව මක් කොන්නොවද මංද. තොර්ණ බලන්න වෙන්නෙ චෝට්ටෙක ගහල තමා"


මිනිස්සු තමුන්ට ඇති තරං ආඩපාලි කිව්වට පස්සෙ මිනිස්සු දෙන්නෙක් ඒ ගොල්ලංගෙ කර ගාවට විතර උස පිත්තල පානක් ගෙනත් කාර්යයාලය ඇතුලෙං තියනව. ඒත් එක්කම සරමකුයි අත් දිග කමිසෙකුයි ඇඳපු සිංහල වෙදමහත්තයෙක් වගේ කෙනෙක් මඩුව ඇතුලට ඇවිල්ලා මයික්කෙකෙං කතා කරන්න පටං ගන්නව.  තව 'සුවල්ප වේලාවකිං' තොරං රාජයා විදිලි ආලෝකයෙං බබලන්න පටං ගන්නවා ඇති  කියලා එයා කියනව. ආයිමත් පීකර රංචුව ටවුමෙ තියෙන කඩවල්ඔල ගෝනියක් ගානෙ, බැරල්ලෙකක් ගානෙ, වැලක් ගානෙ, රාක්කයක් ගානෙ, ලාච්චුවක් ගානෙ බඩුමුට්ටුවල වරුණාව කියෝනව. ඒ අතරෙ

"කකුල් සිදෙනොව"


"වඩාගන්නකො"



"අයිස්කීමක් ඕනි"



"සටකජු ඕනි"


ආදී වසයෙං කනිපිංදං කියන්න පටං අරගෙන එයිං එකකට එක ගානෙ කන ඇඹරීමක්, කකුල පෑගීමක්, කොන්දට ගුටියක් ආදිය ලබාගන්න මට පුළුවං වෙනව. කලවානෙ ඉස්කෝලෙ ගාවිං පටංගෙන වැද්දගල පාරෙ, ඉස්පිතාල පාරෙ, මතුගම පාරෙ අහුමුලුවල තියෙන හැම කඩේකම වග විස්තර පීකරෙං කියල ඉවර වෙනකං අපිත් "සුවල්ප වෙලාවක්" බලා හිටියට පස්සෙ ආයිමත් සිංහල වෙද මහත්තය වගේ මනුස්සය මඩුව ඇතුලට එනව. මයික්කෙක තියෙන කණුවට කට දික්කරලා කතා කරනව. එයා කියන විදිහට අපි සෑහෙන වෙලාවක් පුලපුලා බලා සිටි අවස්ථාව උදාවෙන්නයි යන්නෙ. පස්සෙ වෙලාවක තේරුම අහගන්න ඒ වචනෙ මං මතක තියාගන්නව.


"අද දින මෙම දර්සනීය තොරන් රාජයා විවුර්ත කිරීමට පොල්තෙල් පහන දැල්වීමට මෙම ඉස්තානයට සැපත්වන ලෙස පොලිස් ඉස්තානාදිපති ............. මහතාට, ග්‍රාම නිලදාරී ........... මහතාට......................................"


නිවේදකයා දිගටම කියාගෙන යනවා. ඒ විදිහට පුස්කැප් පිටුවක දෙපැත්තක් විතර කියවද්දි තඩි බඩගෙඩි තියෙන මිනිස්සු ඇවිල්ලා මඩුව ඇතුලෙ පිරෙන්න ගන්නව. ඉඩ මදි වෙච්ච අය දෙතුන් දෙනෙක් එලියෙත් පිරෙනව. නිවේදකයවත් පැත්තකට තල්ලු වෙනව. අන්තිම නමත් කියල ඉවර වෙනකොට මඩුව ඇතුලෙ ඉන්න අය අපි ආපු බස්සෙකේ සෙනග හිටියා වගේ හිරවෙනව. ආවතේවකාරයෙක් ඇවිත් ඉටිපන්දමක් පත්තු කරලා මඩුව ඇතුලෙ ඉන්න අයට දෙනව. ඒගොල්ලත් ඉටිපන්දම අරං පානෙ තිර එක ගානෙ පත්තු කරනව. මඩුවෙ ඉන්න සෙනග බාගයක් තරම ඉවරවෙද්දි පානෙ තිර සේරම පත්තුවෙලා ඉවරයි. අනික් අය පත්තුවෙන තිරේකටම ආයිත් පාරක් ඉටිපන්දම අල්ලගෙන ඇති තරං වෙලා ඉඳල හිත හදාගෙන යනව. තාමත් තොරණෙ ලයිට් පත්තු වෙන්නෑ. ඒ ගමන නිවේදකයා මයික්කෙකට කට තියනව.


"ඔව්. දැන් පොල්තෙල් පහන දල්වා අවසානයි. තොරණේ විදිලි ආලෝකය දැන් දැල්වෙනවා ඇති."


ඒත් තොරණෙ බලුප් පත්තු වෙන්නෑ. ආවතේවකාරයෙක් ඇවිල්ලා නිවේදකයගෙ කනට මොනවද කියනව. නිවේදකයත් සරම කැහැපොට ගහගෙන තොරණ පිටිපස්සට දුවනව. 


"මොන බඩකඩිත්තුවද්ද මංද"


"ඒකනෙ."

"මෙවුන්ට මේකෙ බලුප් ටික පත්තු කොරගන්න ඔයි තරං අමාරුද"


තොරණ බලන්න ආපු අය ආයිමත් කටවල් අරිනව. තොරණෙ පින්තූර කොටු පේලි අතරින් ටෝච් එලි දෙක තුනක් එහෙ මෙහෙ හෙලවෙනව. තොරණෙ මොකක් නමුත් අඩුවක් වෙලා ඒක හදන බව තේරුං ගත්තු තොරණ බලන්න ආපු අයත් ඒක හදාගන්න උදව්වක් හැටියට තමුංගෙ අතේ තියෙන ටෝච් පත්තු කරලා තොරණ දිහාවට අල්ලනව. 


"වෑර් සෝට්ටෙකක්ලු"


සමහරු වැඩේ බරපතල කරලා වටේට ප්‍රචාරයක් යවනව. තොරණ හදන එක්කෙනෙක් බුදුපිලිමෙට යටිං තියෙන නෙලුම් මල අස්සෙං ඔලුව එලියට දාලා බෙරිහං දෙනව.


"ඔය ටෝච් ලබ්බවල් මෙහෙට දික් කොරන්නෙපා ඕයි. එළිය මූනට වැදුනහං මෙලෝ ලබ්බක් පේන්නෑ"


මිනිස්සු ටෝච් නිමාගන්නව.


"මුන්ට උදව් කොරන්න ගියත් වැරදියි"


ටෝච් අල්ලපු අය මූණ බෙරි කරගෙන ටෝච් කිහිල්ලෙ ගහගන්නව. 


ටික වෙලාවකිං බුදුරැස්මාලාව පත්තු වෙනව. වැඩිවෙලා යන්න කලිං තොරනෙ අනික් කොටු ටිකත් පත්තුවෙනව. තොරණ ඉස්සරහ බිම කණුවල හිටෝල තියෙන කොටු බලුප් ටිකත් කහපාටට පත්තු වෙලා තොරණෙ පින්තූර ටිකට එළිය දෙනව. 


"සාස් සාස් සාස් සා............හක්"


තොරණ බලන්න අහිල්ල ඉන්න වයසක මිනිස්සු කරේ තියෙන සාලු අතට අරං ඔලුවට උඩිං වැඳගෙන සාදු කියනව. අපේ ආච්චි අම්මත් වැඳගෙන නමස්කාරය කියනව. 


"තොරං ඔල්ට වඳින්නෑ කියල උඹලෑ අම්මට කියහං මැණීකො"

අපේ අම්මා දැතිහුලහ නැංදට කියනව. උන්දැත් ඒක ආච්චි අම්මට කියනව


"අම්මෙ, තොරං ඔල්ට වඳින්නැහ්ලු. පංසලේ තියෙන එව්වට ඉතරලු වඳින්න ඕනි"


"ඉනඩුවයියාවයි මුම් මට පිනක් කොරගන්න දෙන්නැති හැටි."


ආච්චි අම්මා නැන්දට මෙත්වඩලා ආයිමත් ගාතා කියන්න පටං ගන්නව.


"ඔන්නොහෙ ඕනෙකක් කොරගච්චාවෙ"


නැන්දයි අපේ අම්මයි ආච්චම්මව නොමග යන්න ඉඩ අරිනව. 


බුදු පිළිමෙ වටේ තියෙන රැස් වලල්ලෙ බලුප් ටික ඉරි වගේ රවුමට කැරකෙනව. ඒ විදිහට දෙපැත්තටම සෑහෙන වෙලාවක් කැරකිලා මැද ඉඳං වටේට මාලු කොරපොතු වගේ එව්වා විදින්න පටං ගන්නව. ආයිමත් සැරයක් රවුමෙ පිට ඉඳං ඇතුලට තුංහුලස් වගේ එව්වා විදිනව. තුංහුලස් වටේට කරකෝනව. රවුම අටට බෙදලා කුඩේ කරකවනව වගේ කරකවනව. 


පහල තියෙන පින්තූර වටේ බලුප් පේලිත් එ් විදිහට එක එක රටාවට පත්තු වෙනව. ගැරඬි රංචුවක් පින්තූරෙ වටේ යනව වගේ දිලිසෙන්න ගන්නව. ඊළඟට දෙපැත්තෙ ඉඳං මැදට එන එළි ටික මැදදි හැප්පිලා දෙපැත්තට විසිවෙනව. ආයිමත් කොටුවක් ඇර කොටුවක් පත්තු වෙලා කොටු ටික දෙපැත්තට දුවන්න ගන්නව. මේ රටා ටික බලා ඉඳිල්ල බොහොම පොඩි වෙලාවකදි මට එපා වෙනව. ඒ වුනාට අනික් අය ගුණවර්ධන මාමා පත්තරේ බලන තරම්ම උනංදුවෙන් තොරණ දිහා බලං ඉන්නව. 


"සාහ් සාහ් සාහ් සා......හක්"


අපේ ආච්චම්මා දෙයියන්ට පිං දීලා වඳින අන්තිම වැඳිල්ල වඳිනව. 


නිවේදකයා සරම පාත දාගෙන හෙමිං සැරේ කාර්යයාලය ඇතුලට එනව. එයා මයික්කෙකට පිඹලා දෙතුං පාරක් තට්ටු කරනවා. ලයිට් කණුවක් ගානෙ බැඳලා තියෙන ලයිස්පීකර් රංචුවත් පොල්කටු දෙකක් හැප්පෙන සද්දෙං මුළු ටවුමටම ඇහෙන්න "ටොහ් ටොහ්" කියනවා. ඉං පස්සෙ නිවේදකයා මයික්කෙකෙං සෑහෙන වෙලාවක් කියෝනව. එයා කියන හැටියට 


සිදුවූ කාර්මික දෝසය නියා ඇතිවූ අපහසුව ගැන සංවිධායක කමිටුව කියන එක හැමෝගෙම්ම සමාව ඉල්ලනවා. මේ වගේ විසාල අම්ම මුත්තගෙ කාලෙවත් තිවිච්චි නැති තරං පුදුමාකාර ලස්සන තොරණක් හදන්න සෑහෙන විසාල සල්ලියක් වියදං වෙනවා. මැණික් වෙළඳ වියාපාරිකයින්, නගරයේ වියාපාරික වෙළද මහතුන් ආධාර දුන්න හින්ද තමයි මේ තොරණ හදාගන්න පුළුවං වෙලා තියෙන්නෙ. මේ තොරණ පෙන්නන්නෙ සල්ලි ගන්නැතුව නිකං.  ඒ වුනාට රටේ අනික් තැංවල තොරං පෙන්නන්නෙ වහගෙන. සල්ලි දෙන අයට විතරයි පෙන්නන්නෙ. එහෙම නැතුව මේ තොරණ සම්පූර්ණෙංම වහුං ඇරලා නිකම්ම පෙන්නනවා. කැමති කෙනෙක්ට ඕන්නැං මේ කාර්යාලයට ආදහරයක් දීලා තමුංගෙ නමිං කවියක් කියෝලා පිං සිද්ද කරගන්න පුළුවං. එ් විදිහෙ කවි කියලා රබං ගහන්න පුළුවං කෙනෙක් වන අසුවල් කිවිඳුංට මෙතැන් සිට මයික්ර පෝනය බාරයි.


කොණ්ඩෙ උරෙස්ස ගානට වවාගෙන සාක්කු බර ගානක් තියෙන දනිස්ස ගාවට දිග කමිසෙකුයි කලිසමකුයි ඇඳගත්ත කෙනෙක් කාර්යයාලයට ඇතුල්වෙනවා. එයා මයික්කෙක ගාවට කිට්ටු කරලා නිල් පාටිං රබාන ගහන ගමං මේසෙ දිහා බලාගෙන රතු පාටිං කවියක් කියනව. ඒ සද්දෙ පීකර වලින් ටවුම පුරාම ඇහෙනව.


"දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
  මුලු සිරිලක පරසිදු ඒ යසවද්දන ඉලෙක් ටිකල් 
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
  හරි ලක්ෂණ තොරණක් මෙහි සාදා ලන්නෙය හැමකල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
   සැම දෙනටම නොමිලෙම එය පෙන්වන්නෙය නැතිවම ලොල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
   ඔබෙ ආදාරය දෙන්නට මෙහි ඉඩකඩ ඇත සැමකල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබක් ටොක්
  

වැඩිවෙලා යන්න කලිං කාර්යයාලය ඉස්සරහ නිව්ටම් පෙරේරගෙ තැබෑරුම ඉස්සරහ තිවිච්චි පෝලිමට වැඩි පෝලිමක්  හැදෙනව. හුඟක් වෙලාවට අම්මලා තාත්තලා සල්ලි දීලා පොඩි ළමයිංගෙ නං පීකරෙං කියෝනව. තව වැඩිකාලයක් ජීවත්වෙන්න බැරි තරං වයසක අයත් දිවියලෝකෙට ඇහෙන්න තමුංගෙ නම කියෝගන්න හැරමිටි ගගහ පෝලිමට රිංගගන්නව. විරිඳුකාරයගෙ උදව්වට කලිං හිටපු නිවේදකයත් එනවා. නිවේදකයා ආදාරය දෙන කෙනාගෙ නම අහල ලියාගෙන සල්ලි අරගෙන එයාගෙ නමයි විස්තරෙයි දීපු ගානයි පීකරෙං කියනව. 


"වැද්දාගල සිට පැමිණි ඩිංගිරි මැණිකේ උපාසිකා මාතාව තොරන් රාජෙයාට රුපියල් දහයකිං ආදාරයක් කන්නවා. ඇයටත් ඇගේ පවුලේ අයටත් නිදුක් නිරෝගී චිර ජීවනය පාත්තනා කන්නවා. ඇය නමිං මිය පල්ලොව ගිය සීලුම නෑදෑයින්ටත් මේ පිම්බලයෙන් සසර වසනා තුරු නිදුක් නිරෝගි චිරජීවනය පාත්තනා කන්නවා."


එතකොටම විරිඳු කාරයාත් රබානට තට්ටුවක් දාලා විරිඳුව පටං ගන්නව.


"දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
  වැද්දාගල සිට පැමිණිය ඩිංගිරි මැණිකේ අම්මා
  දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
  තොරණට ආසිරි පතමින් රුපියල් දහයක් දුන්නා
  දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
  ආයුස බල සැප සම්පත් තව තව ඇගෙ වැඩිවේවා
  දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
  මෙපින් බලෙන් නෑයොත් ඇගෙ නිවනට ගොස් සැනසේවා
  දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබක් ටොක්"

හමුදාවෙ ඉඳලා මැරිච්ච අයගෙ පවුල්වල අයත් මේ පෝලිමේ ඉන්නවා. විරිඳු කාරයත් ඒ අයට වෙනම රබං පදයක් ගහලා කවි දෙකක්ම කියනවා.

"දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
රට වෙනුවෙන් දිවිපිදු අයියා...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
සිහි කරයි සමන්මලි නංගී...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
අයියාගේ ගුණකඳ සිහිවී...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
දෑසෙහි කඳුලැලි නැංවේවී...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්

දෙව්ලොව සිටිනා මගෙ අයියේ...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
ඔබ වෙනුවෙන් ආදාරය කරමි...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
මේ පින් මගෙ අයියට එවමී...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
මතු නිවනෙන් සැනසෙනු මැනවී...

ඒ කවිය අහගෙන අඬාගෙන යන ගෑනු කෙනා දැකලා අනික් අයටත් තමුංගෙ පවුල්වල මැරිච්ච අය මතක් වෙනවා. ඒ ගොල්ලොත් පෝලිමට එක්කහු වෙලා ලේන්සු ගැට ලිහන්න පටං ගන්නව.