ජන සංනිවේදනය කියලා අමුතුම විෂයක් ඉස්කෝලවල උගන්වන බව මාත් දැක්කේ බුකියෙන්ය. දැං පත්තර නොබලන නිසා කවුරුත් විස්තර දැනගන්නේ බුකියෙන් සහ ගොසිප් වලිනි. සන්නිවේදනය ගැන උගන්වන විට කියාදෙන්නේ මිනිසා මුලින්ම සන්නිවේදනය කලේ දුම් ගැසීම, අඬබෙර ගැසීම ආදී ප්‍රාථමික ක්‍රම වලින් බවයි. අපි පාසල් යන කාලේ වනවිට රචනාවලට ලියුවේ ‘දැනට පවතින සන්නිවේදන ක්‍රම වන්නේ දුරකථනය, රූපවාහිනිය, ගුවන්විදුලි යන්ත්‍රය’ යනාදිය බවයි. නමුත් එවකට ඒවා පට්ට පල් බොරුය. නමුත් ඇත්ත ලියුවොත් රචනාවට ලකුණු අඩු නිසා ලකුණු ලැබෙන බොරුම ලිව්වෙමු. ඒ බොරුවලට හිලව් වන්නට මෙතැන ඇත්තම ලියමි.
දුරකථනයෙන් සන්නිවේදනයක් හෙවත් පණිවිඩයක් අපේ ගමට ලැබෙන්න බොහෝ කලක් ගතවේ. අපේ ගමේ ටෙලිපෝන් තිබුණේ දෙකකි. එකක් තිබුණේ ‘රඹුටන් ආතා’ ගේ ගෙදර තිබූ තැපැල් කන්තෝරුවේය. අපේ ගමේ වෙනත් කිසිම කන්තෝරුවක් නොතිබූ නිසා තැපැල් කන්තෝරුව හැඳින්වුනේ 'කන්තෝරුව' ලෙසය. අනෙක තිබුණේ සිරිසේන මහත්තයාගේ ගෙදරය. අපේ ගමට ටෙලිපෝන් පණිවිඩයක් ආවොත් එන්නේ ඒ තැන් දෙකෙන් එකකට පමණි. සමහර අවස්ථාවලදී ගමේ කාට හෝ ඉතාමත් හදිසි පණිවිඩයක් දැනුම් දෙන්නට තිබුනොත් තැපැල් කන්තෝරුවේ ටෙලිපෝන් නොම්බරේට කතා කර මැණිකේ නැංදාට කී විට එයා දවල් කෑමට ගෙදර එන ගමනේ පණිවිඩය කියයි. නැත්තං අපේ පුංචම්මාට කියා කඩේට එන කෙනෙකු අත පණිවිඩය යවයි.
“මැණිකෙ නංගියෙ හාමිලවත්තෙ අසෝකෙලගෙ ගෙදෙට්ට කෝල්ලෙයක් ආව. අසෝකෙගෙ පවුලගෙ ලොකු මාම නැතිවෙලාලු. අනිද්ද කටයුතු කර්නවලු. පණිවිඩයක් යවන්න පුළුවනෑ”
එව්වාට උත්තර දෙන්නේ ආච්චම්මාය.
“ඕකුං එක්ක අපේ කතාවක් නෑනෙ. පිට පාරෙම යනව. පැත්තවබ්බලන්නෑ. ඕන්නං මං ජෑකොඩිලෑ ගෙදෙරිං ආවොත් කියන්නං. උං කියයි පණිවිඩේ.”
ඒ අහල පහල කෙනෙක් එදා දවසේ කඩේට ආවොත් හොඳය. නැත්තං පණිවිඩේ කියන්න වෙන්නේ එහෙම කෙනෙක් කඩේට ආ දවසකටය. දවස් දෙකකට විතර පස්සේ ලාම්පුතෙල් ගෙනියන්න කඩේට එන ජෑකොඩිලෑ ගෙදර ළමයෙක්ට කියා යවන පණිවිඩය අසෝකෙගේ කනට වැටෙන්නේ හත් දවසේ බණ දවසටය. ඒකත් හත් අට දෙනෙක්ගේ කටින් කට යාම නිසා ගෙවී ගොස් කෑලි හැළුන පණිවිඩයකි.
“අසෝක මල්ලිලෑ ලොකුතාත්ත මැරිල කියන්නෙ. භූමදානෙ අනිද්ද කියල කිව්වලු. කන්තෝරුවෙ ටෙලිපෝන්නෙකට කතා කොල්ල කිව්ව කියන්නෙ පහුණු දාසක. අපේ ළමෙය ඊයෙ කඩේ ගියකොට කඩේ මැණිකෙ තමා උට කියල තියෙන්නෙ. ඊයෙ හැන්දැවෙලා වැඩි හංද මං මේ දැං ආවෙ.”
අන්තිමට හරි පණිවිඩේ දැනගන්නට අසෝකට කන්තෝරුවටම යන්නට වෙයි. අන්තිමට ඔවුන් මළගෙදර නොව හත්දවසෙ දානේ හැලිවලං හෝදන වෙලාවට මළගෙදරක්ව තිබූ ගෙදරට යන්නේ “තොපි දැන්ද එන්නෙ. බොලාට ටෙලිපෝන් කොල්ල කියලත් ආ හැටිද ඔය.” කියා බැනුමත් අසාගෙනමය.
සිරිසේන මහත්තයා ටෙලිපෝන් කෝල් එකක් ගන්නේ මාසෙකට හමාරකට දවසකි. ඒ ගෙදර ටෙලිපෝන් එක විසිතුරු භාණ්ඩයකි. ඉතින් සිරිසේන මහත්තයා ටෙලිපෝන් කෝල් එකක් ගන්න ඕනෑ කියා හිතී රිසීවරය කනේ තබා, ඉලක්කං එබුවාට සද්දයක් නැත. එවිට වෑර් ගලවා හයිකර, පිහදමා, තට්ටු දමා, පිඹ නොයෙක් පිළියම් කළත් ටෙලිපෝන් එක මීක් සද්දයක් නොකියයි. ඒ ගමන, ටෙලිපෝන් එකේ සිට වහලය දිගේ ඇදෙන වෑර් එක බිත්තියට හේත්තුකර තැබූ ඉනිමගක් ආධාරයෙන් අඟලෙං අඟල පරීක්ෂා කර බලයි. එහි කොතනකවත් මීයන් කා නැති තැන අඬුවක්, කතුරක්, වෑර් කෑල්ලක්, කොහු ලනු, වප්පිහියක් ආදිය දැමූ මල්ලක්ද ටෙලිපෝන් කනුවක් තරම උස කෙක්කක්ද රැගෙන උඩ බලාගෙන ගෙදරින් දොට්ට බසියි. ගෙදර වහලයේ සිට ටෙලිපෝන් කනු ඔස්සේ සුදු පාට සැමන් බාග වැනි රවුං වල එති එතී පාර දිගේ කනුවෙන් කනුවට දුවනා ටෙලිපෝන් වයර් දිහා බලාගෙන යන ඔහු සමහර අවස්ථාවල පාරේ ඇති වලවල්, කානු ආදියේ දිග පළලද දැනගන්නේය. සමහර තැනක වැල්ගාලක් ටෙලිපෝන් වයර් බදාගෙන පැටලී සිටී. සිරිසේන මහත්තයා වහාම මල්ල බිම තබා එයින් ගත් පිහිය කෙක්කේ බැඳ වැල් ගාල කපා ඉවත් කරයි. ඒ වැල් ගාලේ කූඩු හදාගෙන සිටින දෙමලිච්චෝ, පොල්කිච්චෝ, බට්ටිච්චෝ, පැණි කුරුල්ලෝ ආදීන් එතුමාගේ මව්ගුණ වයමින් මහා හඬක් නගා පිටවී යයි. එතැන වයරයට අලාභ හානියක් නැතිනම් සිරිසේන මහත්තයා නැවතත් පිහිය ලිහා මල්ලට දමාගෙන කෙක්කත් අතින් ගෙන සිය පාද චාරිකාව අරඹයි. සිය නිවසේ සිට හැතැප්මක් දෙකක් පමණ පයින් යාමෙන් පසු කැඩී ඇති වයර් දෙපොට හොයා ගැනීමට ඔහුට හැකි වෙයි. මෙය බොහෝ විට අතුරුපාරකට හැරෙන තැනක්, හොඳින් ඵල දරා ඇති අඹ, මැංගුස්, රඹුටන් ආදී ගහක් අසලක විය හැකිය. බොහෝ පහතින් ඇති ටෙලිපෝන් වයර් අතුරු පාරවල් වලට හැරෙන දළු ලොරිවල පැටලීම නිසා කැඩී යයි. නැතිනම් ඵල ඇති ගස්වලට වදින පොලු පහරවල් වැරදී වයරයට වැදීම ආදී දේවල් නිසා කැඩී යයි. බොහෝවිට එසේ කැඩී ඇති වයරයේ අත දිග මානයේ ඇති කොටස මේ වනවිටත් ඇත්තේ කාගේ හෝ ගෙදරක රෙදිවැලක් ලෙස, කිතුලේ එල්ලන මුට්ටියේ වරපට ලෙස, වැටක් බැඳි රැහැනක් ලෙස, රේඩියෝවක ඒරියල් එකක් ලෙස හෝ බල්ලෙක් බැඳි රැහැනක් ලෙසය. කැඩී ඇති වයර් පොටෙන් වැඩක් නොකෙරෙන බව දන්නා නිසා එයට අලසකමින් ඉන්නට නොදී එක කැති පහරින් එය මව් වයරයෙන් වෙන්කරගෙන තමුන්ගේ වැඩකට ගෙනයාමට අපේ ගම් වැසියෝ කඩිසර වෙති.
මෙලෙස වයරයේ දිග අඩු අවස්ථාවලදී සිරිසේන මහත්තයා සිය කෙක්කත් මල්ලත් රැගෙන නිවසට ගොස් පිළිවෙලකට හැඳ පැළඳගෙන මොටෝ සයිකලයේ නැගී ටවුමට යන්නේ ටෙලිපෝන් කන්තෝරුවට පණිවිඩය කියා අලුත්වැඩියාව කරවා ගන්නටය. එයිනුත් දවස් කීපයකට පසු එන ටෙලිපෝන් කන්තෝරුවේ ලොරියක් අදාල අලුත්වැඩියාව කරදී යන්නේය. නමුත් සති දෙකතුනක ඇවෑමෙන් වෙනත් තැනකින් වයර් පොටක් කැඩී යන්නේ අසල අඹ ගහක හැදී ඇති අඹ වල්ලක් නිසාය. පසු කාලිනව ටෙලිපෝන් කන්තෝරුවෙන් සිරිසේන මහත්තයාට පොඩි වයර් රෝලක්ද දී තිබුණේ සුදුසු පරිදි අලුත්වැඩියාවන් ඉටුකර ගැනීමටය. ඉන්පසු මදි පාඩුව රෝලෙන් දමා වයර් දෙපොට බිම සිටම පුරුද්දන සිරිසේන මහත්තයා උංචිල්ලාවක් මෙන් පොලවේ සිට අඩි හතර පහක් උඩින් එල්ලෙන වයර් දෙපොට රිටක ආධාරයෙන් ගසක පුළුවන් තරම් උස අත්තක පටලවයි. කලක් යනවිට ටෙලිපෝන් කම්බි කණුවලට වඩා ගස් උඩ රඳවා තිබුනේය. ඒ විදිහට බැලූ කළ සිරිසේන මහත්තයාගේ ටෙලිපෝන් එකෙන්ද පණිවිඩයක් දැනගන්නට ක්‍රමයක් තිබුනේම නැත. එයට ඇමතුමක් දෙන්නට පෙර වයර් කැඩී ඇතිදැයි බලා ටෙලිපෝන් එක සාදාගන්නා ලෙස කියන්නට වෙනම කෙනෙක් යවන්නට සිදුවනවා ඇත. එයින් පණිවිඩයක් යවන්නටද පෙර හැතැක්ම හය හතක් පයිං ගාටන්නත් වැල් ගාල් පාහින්නත්, කම්බි පුරුද්දන්නත් සිදුවීම නිසා ඒ ටෙලිපෝන් එකත් සුදු අලියෙක් නොව ජාති ණයක්ම වී තිබුණේය.
ටීවීයෙකෙන්ද එකල කෙරුනේ රේඩිවේකෙන් කෙරෙන සේවාව වැන්නකි. අපේ ගමට එදා පටන්ම චැනල් අහුනොවීමේ රෝගය දරුණුවටම තිබූ නිසා ටීවී තිබුණු නිවෙස් කිහිපයේ අයගේ විනෝදාංශය වී තිබුණේ වඩා දිගැති උණ ලී ආදියේ මුදුනේ ඇමිණූ ඇන්ටනා වත්තේ පිහිටි උසම ගස්වල මුදුන්වල අමුණා ඒ මේ අත කරකවමින් චැනල් ඇල්ලීමට උත්සාහ කිරීමය. මේ ඇන්ටනා විවිධාකාරය. සමහර ඒවා 'V' අකුරේ හැඩයට ඇන්ටනා කූරු හෝ පතුරු ඇමිණූ ඒවාය. සමහර ඒවා කූරු දොලහේ, පහලොව පමණක් නොව විසි තිස් ගණන්වල යෝධ රේක්ක වැනි ඒවාය. තවත් සමහර ඒවායේ ඉදිරි පැත්තට කුකුල් කූඩුවලට ගන්නා දැල්, රෙද්ද නැතිව නන ටික විහිදාගෙන නිරිවස්තරෙන් සිටිනා කුඩ ආදියද අමුණා නවීකරණය කර තිබුණි. මේ ඇන්ටනා බූස්ටර ඇතුව හෝ නැතුව අමුණමින් නටන මේ නාඩගම් කොයිකත් අවසානයේ බලන්නට ලැබුනේ හොල්මං වැනි ඡායාවන් පමණි. නමුත් කටහඬ නම් අහන්නට ලැබුණි. නාවලවත්තේ මාමාගේ අංජනමෙන් ඊට වඩා පැහැදිලිව පේන බව අපේ ගමේ අයගේ මතය විය. ඒ නිසා මාසෙකට සැරයක් බැට්ටි චාජ් කරන්නට වැඩ සිද්ධ කරන්නාවූද, අකුණු ගහන වෙලාවට අහක යන අකුණුත් ගෙදරට අද්දවා දෙන්නාවූද ටීවියෙකට වඩා බැට්ටි කෑලි කීපයකින් මාසෙකට වැඩි කාලයක් සද්දේ දෙන රේඩිවේක ඉතා හොඳ විය.
රේඩිවේකේ තිබුණු ලොකුම පරහ වනුයේ පවතින ආණ්ඩුවට විරුද්ධ අයට අහන්නට ඒවා නොතිබීමය. සමහරු ‘පිලිපීනයේ වැනිලා නුවර සිට ගෙන එන වෙරිටාස් සිංහල සේවය’ කියා එකක් අමාරුවෙං අල්ලාගෙන ඇසූ අතර අපේ තාත්තාද ‘සමස්ත ඉන්දීය ගුවං විදිලියේ සිංහල සේවය’ කියා එකක් බොහොම අමාරුවෙං අල්ලාගෙන ඒකේ පවුත්ති ඇසූ බව මතකය. නමුත් අකුණු ගහන වෙලාවට තෙල් තාච්චියට වතුර දැම්මාක් මෙන් ‘චරාස්’ ගා සද්දයක් එන බැවින් වහින වෙලාවට එයින් තොරතුරු දැනගැනීමට වඩා තාත්තාගෙන් බැනුං ඇසීමට සිදුවේ.
"ඔය කැවුතු කැටිය වහල දාහං. හෙන ගස්සෝ ගන්නැතුව"
මේ නිසා අපේ ගෙවල් මණ්ඩියේ අය කෙටි දුර ක්ෂණික පණිවිඩ යැවීම සඳහා ක්‍රම දෙකක් යොදාගත්හ. එයින් පළවෙනි ක්‍රමය නම් ‘කෑගැසීමය’. මේ ක්‍රමය ඔස්සේ අපේ ගෙදර සිට චන්දරේ මාමාගේ ගෙදර, හංසනීලාගේ ගෙදර, දැතිහුලස් නිවස, සුදුවලාගේ ගෙදර, ගුනොවද්දන මාමලාගේ ගෙදර, ගනේවිටේ ගෙදර ආදී ගෙවල් අතර සන්නිවේදනය කළ හැකිය. දුර වැඩි ගෙවල් දෙකක් අතර නම් අතරමැදි ගෙයක් හරහා පණිවිඩය යැවිය යුතුය. චන්දරේ මාමලාගේ ගෙදර අයට පොඩිමහත්තෙයා මාමාගේ ගෙදර කෙනෙකුට පනිවිඩයක් කියන්නට ඕනෑ නම්.
“දයක්කේ, දයක්කේ”
කියා අපේ ගෙදර ඇමතීමට සිදුවේ. එවිට මට අපේ ගෙදර සන්නිවේදකයා වශයෙන් මිදුලේ ඉදිරි කොනට පැන.
“ඇයීඊඊ”
කියා අසන්නට සිදුවේ. එවිට
“පුතේ.. පොඩිමහත්තයියලෑ අක්කෑං අහන්නකො අද පංසල් යනවද කියලා”
යනුවෙන් පණිවිඩය ලැබේ. මම එවිට පිළිකන්නට ගොස් පොඩිමහත්තෙ මාමාගේ ගෙදරට අමතමි.
“පොඩිමහත්තෙ මාමලෑ නැංදේ”
කියා කෑගසමි. එවිට
“ඉන්නෝ”
කියා පණිවිඩය ලැබේ. එවිට මම පණිවිඩය බාර දෙමි.
“චන්දරෙ මාමලෑ නැංද ඇහුව පංසල් යනවද කියලාආ..”
“හතරාමාට්ට ඉතර යං කියන්න....”
මම පණිවිඩය රැගෙන මිදුලේ ඉදිරිපසට යමි.
“හතරාමාට්ට යං කිව්වා”
“හා පුතේ මං එන්නං කියන්න එහෙනාං”
මම නැවතත් පිළිකන්නට ගොස් පණිවිඩය බාරදෙමි.
“හාලූඌඌ”
දැන් අපි සමහර ඇමතුම් වලට පිළිතුරු නොදෙන්නාක් මෙන් මේ ඇමතුම්වලටද උත්තර නොදී සිටිය හැකිය. එවිට,
“දයක්කේ, දයක්කේ”
කියා කවුරුන් හෝ අපේ ගෙදර අමතන විට
"සද්ද නොකර හිටහං. ඔය කතා කොරන්නෙ අපිට කොටහළු ගෙදර යන්න අඬගහන්න. ඕවෑ ගිහිං බෑ."
කියා අපේ අම්මා මගේ කට වසාදමයි.
මේ කෑගැසීමේ ක්‍රමයෙන් අහල පහල සිටින කන් ඇහෙන හැම දෙනාමත් මේ පණිවිඩය දැනගන්නා නිසා මේ ක්‍රමය පෝස්කාඩ් යැව්වා වගේය. ඒ නිසා අනික් අය දැනගැනීමට උවමනා නැති පණිවිඩ යැවීමට යොදාගන්නේ පොඩි ළමයින්ය. එවැනි වෙලාවට තමුන්ගේ ගෙදර ඉන්නා පොඩි එකෙක්ට පණිවිඩය කියා පණිවිඩය ලබන ගෙදරට යවන්නේය. අපේ අම්මාද විටින් විට
“කරුම්මාමලෑ ගෙදෙට්ට ගිහිං නැංදෑං අහල වරෙං ................................... කියල”
ආදී ලෙස පණිවිඩ මා අතේ යවයි. සමහර විට ඒ ගෙදර සිටින ළමයි සමග සෙල්ලමට වැටී පණිවිඩය අමතක වීමෙන් වෙනත් යමක් ඇසීමට ඇති අවදානම නිසා කොල කෑල්ලක අදාල පණිවිඩය ලියා යැවීමටද සිදුවේ. මගේ ඉස්කෝලේ පොතක මැද පිටුවෙන් කෑල්ලක් ඉරාගෙන පැන්සලකින් ලොකු අකුරින් අදාල පණිවිඩය ලියා හතරට නවා
“මේග්ගිනිහිං චන්දෙරෙ මාමලෑ නැංදට දීහං”
කියා යවනු ලැබේ. සමහර විට ඒවාට පිළිතුරුද මෙවැනි තුණ්ඩු කෑලි ලෙසම ලැබේ.
අපි දුර සිටින නෑයින් සමග විස්තර හුවමාරු කරගන්නේ ලියුං වලිනි. ලියුමක් අපේ නමට ලැබෙන්නේ තැපැල් කන්තෝරුවට හෝ ලිපිනයේ ලියා ඇති ****** ස්ටෝර්ස් බාරේ නම් කඩයටය. ලියුමක් ඇවිත් ඇති බවට කාගෙන් හෝ ලැබෙන පණිවිඩය අනුව කන්තෝරුවට හෝ අදාල කඩයට ගොස් එම ලියුම බාරගත යුතුය. ඒ නිසා ලියුමටද ටෙලිපෝන් පණිවිඩයකට තරම්ම දින ගණනක් ගතවේ.
අද මාර්තු 27 බදාදා,
නිවසේදී,
බුදු සරණයි!
ලොකු අයියා වෙත,
.........................................................................
.........................................................................................................
කියා පටං ගැනෙන මේ ලියුංවලින් බොහෝවිට කියවෙන්නේ තමුන්ට ඇති හිඟපාඩු ගැනත් පුළුවන්නං සල්ලි කීයක් හරි දෙන්න කියා ඉල්ලීමත්ය. එහෙමත් නැතිනම් අපේ වෙනත් නෑයෙක් අපට විරුද්ධව කියූ කළ දෙයක් පිළිබඳ කේලමක්ය. මෙවැනි ලියුමක් ලැබුනොත් කේලම හගිස්සවීමට ගොස් පොලිස් පොතට ඇන්ටරියක් හෝ ගෙදර ගෝරියක් සුවර්ය. එවැනි අවුරුදු ගානක් පරණ ලියුං අල්මාරි, කොට්ට උර ආදියේ හංගාගෙන සිට උවමනා වෙලාවන් වලදී ඉදිරිපත් කර ගෝරියක් පටං ගැනීම ලියුම ලැබූ අයගේ සිරිතකි.
තවත් ලියුං එවන කොට්ඨාසයක් වන්නේ අපේ හතුරෝය. එළිපිට මුහුණට මුහුණලා කාකොටා ගැනීමට බැරි අය අමු තිත්ත කුණුහරුප සහිතව පුස්කැප් කොල පුරවා පෑනේ තින්ත ඉවරවන තුරු බැනුම් ලියා එවන එවැනි ලියුම්ද කෙලවර වන්නේ පොලිස් පොතෙනි. අපේ තාත්තාගේ ලොකු අක්කා කෙනෙක් එවැනි ලියුම් ලියා ප්‍රසිද්ධියට පත්වී තිබූ බව මට මතකය. උන්දෑ එවූ එවැනි අමු තිත්ත කතා සහිත ලියුම් වගයක් අපේ ගෙදර අල්මාරියේ ලාච්චුවක අඩියේ හංගා තිබී නෑදෑයන් අතර ගෝරියක් ඇතිවූ අවස්ථාවකදී අම්මා විසින් එහි සමහර කොටස් උපුටා දක්වන ලද බව මට මතකය.
මේ හැරුණු විට අපට යහපත් යමක් ලියුම්වලින් නොලැබුණි. කලාතුරකින් හෝ රස්සාවකට කැඳවීමක් ලැබෙන, යම් ප්‍රතිළාභයක් හෝ තෑග්ගක් ලැබෙන බවට ලියුමක් අප නමට ලැබුණහොත් ඒවා කන්තෝරුවේදී හෝ අදාල ***** ස්ටෝස් කඩයේදී අතුරුදහන් වන්නේය.