සති දෙකක් තිස්සෙ හරිහමං දෙයක් ලියාගන්න බැරි උනේ මේ කොම්පීටර් දෙකම ලෙඩ දෙන හිංදායි. කීප විටක් හැදෙව්වත් හරිගියෙනෑ. අංතිමට අම්බලන්ගොඩ කතා ලියන අම්බලංගොඩ “මොකෑ බොට වෙලා තියෙන්නෙ කරදරයක්නං කියහං“ කියලා කියාපු හිංදත් මොකුත් නොලිය ඉන්න බෑ වගේ හිංදත් ඔන්න පිස්සු කෙලින කී බෝඩ් සහිත ලැට්ටොප්පෙකෙංම ලියනව යංතං එකක්. ඒ එක්කම කසාද ජීවිතයට පිලිපන්න ජී.ඒ.එස්. ලබ්බා මහතා සහ එම මැතිනියටත් එකම ගස්ලබ්බේ පලු දෙක වගේ ඉන්නට වරම් ලැබේවායි කියා පතමින්, අද දවසට යෙදෙන අම්බලංගොඩ කතා ලියන අම්බලංගොඩගේ උපන්දිනේටත් සුභ පතමු.
ළමයා රටේ අනාගතයයි කියා කවුදෝ කෙනෙක් ඡන්ද රැස්සීමකදීද කොහෙද කියා තියෙනවලු. හරියටම දන්නෑ, හැබැයි ඔහොම එකක් කොහේහරි තිවුන මට මතකයි. ඒක ඇත්ත වෙන්න පුලුවං. මොකද ඉතිං ළමයිනෙ බත් කාල ලොකුවෙන්නෙ. ආං හරි පොඩි ළමයින්ට බත් ගිල්ලන්න ෂෝක් තුරුම්පුව තමයි ඉක්මන්ට ලොකු වෙන්න බත්කන්න ඕනෑ කීම. හැබැයි ලමයිංව ඇන්දිල්ල නරක වැඩක්. නරක වැඩක් උනාට මාත් දෙපාරක් විතර ළමයිංට අන්දලා තියෙනව. හැබැයි ළමයි ඊට වැඩි වාර ගනනක් මට අන්නලා තියෙනව. අද කතාව ළමයි සහ ඇන්දිලි ගැන.
පළමුවෙංම මට මතක ඇති කාලෙ ඇන්දුවෙ අපේ තාත්තගෙ නංගිගෙ දූ හෙවත් මගේ නැංදගෙ බාල දෝනියැන්දැව. ඔය නැංදගෙ උඩු ඇන්දෙ දත් කුට්ටම තියෙන්නෙ පොලවට සමාන්තරව. උංදැව රෑකට කුප්පි ලාම්පු එලියෙං දැක්කොත් හරිම සිරියාවන්තයි. එහෙම දැකපු කීප දෙනෙක් එදාරෑම පීටර ආතට කියල තෙල් මතුරවගන්නව. ගමේ අනික් අය උන්දැට ‘බොල්ලෑවි‘ කියා කියතත් ඔය නැංදට මං කියන්නෙ ඩ්‍රැකියුලා නැංද කියල. ඔව් උංදැ නැති තැන තමා. දවසක් ඔය නම වැරදීමෙං මගෙ අතිං අපෙ ආච්චම්ම (ඔව් ඔව් බොලා උඩ තියං ඉන්න ඒ වන්දනා ගිය ආච්චම්ම තමා. අපේ අම්මෑ අම්ම) එක්ක කියවූනා. චීනා දාපු දත් කුට්ටමෙං හරිහැටි වචන කියවෙන්නැති හිංදා උංදැට ඒ වචනෙ සද්ද කරන්න බෑ. ඒ උනාට උංදැ ඒක අපූරුවට තමුංගෙ බාසාවට හැරෙව්ව.
“ආං උඹලෑ නැංද අද රාලහමිගෙ දලු කඩනව“
“මොන නැංදද?“
“වෙන කවුදැ. බොගෙ තාත්තගෙ නගා. අර දැති හුලහ කියන එකී“
ආං එහෙමයි උංදැගෙ බාසාවෙං ඩ්‍රැකියුලා හඳුන්වන්නෙ .
ඕං ඔය කියාපු නැංදගෙ දූල දෙන්නයි. ලොකු ළමය මට වඩා අවුරුදු හතරක් තරම බාලයි. බාල ලමය මට අවුරුදු අටක් තරම බාලයි. ඔයිං ලොකු ළමය ඉපදිච්චි ගමං ගෙදෙට්ට දාපු නම තමයි ‘චූටි‘. එයිං පස්සෙ කාලෙක බාල ළමෙය ඉපදුනහම ඒ ළමයටත් දාපු නම ‘චූටි‘. චූටිල දෙන්නෙක් ඉන්න හිංද අපි ඒ දෙන්නට ‘ලොකු චූටි‘ සහ ‘පොඩි චූටි‘ කියල නාම විශේෂණ දැම්ම. ඔය ‘ලොකු චූටි‘ හිතං ඉන්නෙ ඕනැම ගහක අත්තක් ගෙනැත් හිටෙව්වම පැළ වෙනව කියල. ඒ හංදා කොහෙදි හරි දකින ලස්සන ගහක අත්තක් අඹරෝල බල්ලන්ට ගහන්න පොල්ලක් කඩන ආකාරෙට කඩාගෙන ඇවිත් හිටෝනව. ගේ වටේට තියෙන පරන පාත්තිවල පොලව කාලයක් තිස්සෙ වල්පැල විතරක් වැවීමෙන් තදවෙලා හිංද ඒ පොලව හාරන්න අමාරුයි. ඒ හිංද පැල හිටවන්න ක්‍රම කීපයක් තියෙනව. පලවෙනි ක්‍රමේ තමයි ඇති වීරියෙං අර මල් අත්තෙ මුල පැත්ත පොලවෙ අනින එක. මේ වැඩේ සාර්ථක වෙන්නෙ අනෝරා වැහි කාලවලට විතරයි. නැත්තං පොලවෙ හයියට පරදින මල් අත්තෙ මුල පැත්තෙ දණ්ඩ හපල අයිං කරපු උක්ගස් කෑල්ලක් වගේ වෙනව. එහෙමත් නැත්තං ඒ කියාපු මල් අත්තෙ මුල් පැත්ත පැංසලේ වගේ උල් කරල පොලවෙ අනින්න පුලුවං. ඒත් ඒ උල් හරිය දෙකට නැවෙනව විතරයි. තව සමහර වෙලාවට ඔය උල් කරපු පැත්ත පොලවට තදකරල දෙපැත්තට කරකෝනව. ඔය මොකක් හරි උලකිං ටිකක් තද දේක සිදුරක් විදින විදිහට. ඒත් හරියන්නැත්තං පිහිය තලෙංම පොලවෙ බිංකුන්ඩංගෙ වලක් තරම එකක් හාරල ඒකෙං අර මල් අත්ත හිටෝල පස් දාල තද කරනව. ලයිට් කනුවක් පෝච්චියක හිටෙව්ව වගේ හිටෝපු වලට ඔරොත්තු නොදෙන අත්තෙ උසට දරාගන්න බැරුව අත්ත පෙරලෙනව. එතකොට ආයිත් අතිං පොලව හූරල ගන්න පස් ඩිංගක් අර අත්ත වටේට තියල තද කරනව. ආයිත් පෙරලෙනව. ආයිත් පස් දාල තදකරනව. ඔය විදිහට කීප විටක් කලාම ගහ වටේට අඟල් කීපයක් උස කෝම්පිට්ටුවක් වගේ පස් කන්දක් හැදෙනව. ඒ පස් කන්දෙ බලේට යංතං කෙලිං ඉන්න අත්තට පුලුවං වෙනව. ආයිමත් වරිං වර එන හුළඟ නිසාත්, වතුර දාද්දි කඩේ තේවක්කරන්න වගේ හිටගෙන වතුර දැමීමෙං පස් සෝදාගෙන යාමත් නිසා ඔය මල් අත්ත වැටෙනව. ඒ ඒ අවස්ථාවලදි දුටු වහාම ආපහු අත්ත කෙලිං කරල කෝම්පිට්ටුව තර කරන්න ඕනෑ. රැයක් එලිවෙද්දි ඔය සේරම හෝ බහුතරයක් තැංවල පස් කෝම්පිට්ටුව සුන්නද්දූලි වෙලා මල් අත්තත් යාර දෙක තුනක් දුරිං හතරගාතෙං වැටෙන්නෙ තමුංගෙ යහනාව වෙනුවෙං පස බුරුල් තැං හොයමින් වලවල් හාරන බිංදුවාගේ වැඩක් විදිහටයි. ඒ වගෙ දවස් වලට බිංදුවාගෙ තුං වේලම අපේ ගෙදරිං. ආච්චම්ම (මේ කියන්නෙ තාත්තගෙ අම්ම හොඳේ) මිදුල අතුගාද්දි ඉලපතේ ඉරටු අස්සෙ හැංගිලා හෙලපල්ලම බලා යන මල් අතුත් ආපහු එන්නෙ නෑ. කොහොමිං හරි තවත් කීප දවසක් යද්දි ඔය කොයි කොයි වර්ගෙ මල් අතුත් කොළ හැලිල එකම වර්ගයෙ ඉපල් බවට පත්වෙද්දි අලුත් මල් අතු ටිකක් ඒ තැන ගන්නව.
ඉතිං ඔය ලොකු දුවනිය දවසක් කොහෙංදෝ හොයාගත්ත වයිවාරන්න මල්පැල ටිකක් මිදුල වටේ හිටෝල තිවුන. කොල වෙනුවට කෙඳි තියෙන මල් අත්තක්, පිපෙන්න ඔන්න මෙන්න තරම පොහොට්ටු තියෙන මල් අත්තක්, තුංකිඤ්ඤ කොල වගේ කොල තියෙන ඒ කියන විදිහෙ ‘හරීඊඊඊ ලස්සන මල් පිපෙන‘ ගහක් වෙන්න කී්‍යටවත් බැරි පෙනුමක් තියෙන ගහක් ඇතුලු අතු ලංදක්ම පාත්තිවල තැන තැන පස් කෝම්පිට්ටු අස්සෙ හිරවෙලා බිම බලාගෙන හිටියෙ තමුංව බලහත්කාරෙං උදුරං ආපු කේන්තියට වගෙයි. අඟුරු කෑල්ලකිං දත මදින ගමං මූන හෝදන්න දොලට යනකොට ඒ කිට්ටුවම තියෙන නැංදලගෙ ගෙදට්ට ගොඩවෙලා එහෙ තියෙන ඕපදූප ටිකත් බලල බිංදුවත් එක්ක ටිකක් නටල බලු කෙලත් නාගෙනම දොලට යන්න මං ඇබ්බැහි වෙලා හිටියෙ. ඉතිං එහෙව් මල් අතු බිම බලාගෙන තෙමිච්චි කුකුල්ලුංගෙ පිහාටු වගේ කොලත් බිමට නමාගෙන හිටිය අති සුන්දර උදෑසනක මං ඒ ගෙදර මිදුලට ගොඩවුනා. නැන්දයි මාමයි දෙන්නා වැඩට ගිහිං, ‘ලොකු චූටි‘ හැමදාම කෙරෙන පරිදි එ් දෙන්නගෙ පස්සෙං ගිහිං හිංද එවෙලෙ ගෙදර හිටියෙ ආච්චම්මත් ‘පොඩි චූටිත්‘ විතරයි.
“මොකෝ බං මේ කැලෑ අතු හිටෝල මිදුල පුරාම. උඹල සෙල්ලං වත්තක් හැදුවද?“
මං පොඩි චූටිගෙං ඇහුව.
“ඤෑෑ චූචියක්ක සාලාමි මාමලෑ ගෙදෙං ගෙනැහ්හිටෙව්වෙ මල්ලතු“
“ඉතිං බං මෙව්ව මේ දෙකට නැමිල තියෙන්නෙ මොකදැ? අද හවස්සෙනකොට මැරෙයි.“
“ඤෑෑ“
“ඤෑ නෙමෙයි. මෙව්ව හිටෝන හැටි නෙදැන හිටෙව්වං හැදේයැ“
“එ්ඤං කෝමජ“
“ඔය අතු හිටොවන්නෙ උඩ යට මාරු කොරල. අගිස්ස යටට හිටින්න.“
“එචකොච මල් හැජෙයිජ“
“බලහංකො මං කිව්ව හැටියට හිටෝල. දවස් දෙකෙං මල් හැදෙනව.“
එසැනිං මැලවුනු මල් අතු සේරම උඩයට මාරුවෙලා කලින්ටත් වඩා උස කෝම්පිට්ටු අතරෙ හිටවෙන්න ගියෙ එක මොහොතයි.
එදා හවස් වෙනකොට නැංදලගෙ ගෙවල් පැත්තෙං ඇහිච්ච මර ලතෝනියෙං කියාපෑවෙ පොඩි චූටිගෙ කංකෙටිය අනික් පැත්තට කැරකැවිච්ච බවයි.