Sunday, December 25, 2016

සා.පෙ

සාමාන්‍ය පෙළ විභාගය ලියා ඉවරය. මේ ගමන අපේ මස්සිනාද සියළු බාධක ජයගෙන විබාගේ ලිව්වා. කවුද බෝයිට නිකං ඉන්න නොදෙන අයියලා කණ්ඩායම වගේ අපේ මලයාටත් විභාගෙට කචල් අදින්නට මාර දූතිකාවෝ සහ දූතයෝ රංචුවක්ම හිටියා. පළමුවෙන්ම විභාගෙට සති දෙකක් තියා ගෙදරට කඩා වැදුනු සාමාන්‍ය පෙළත් අසමත් දූතිකාවක් 

“පුතේ මේ සටහන් පොත්වල අසුවල් අසුවල් ජාති අඩුයි. අපේ ජූචඥං උගංඥලා චිබුඥා”

කියා අපේ මලයාගේ ඔලුවට හැට්ටකට්ටෙන් ඇනලා තිබුණා. ඉං අනතුරුව උන්දෑගේ දියණියද නේවාසිකවම කඩා පත්වී 

“මල්ලිලට මැත්ස් වලට සිලබස් කව කරල නෑනේ”

කියා සටහන් පොත් පෙරලන විටම අපේ මලයා තමුංගේ අක්කාට මිස්කෝල් එකක් ගසා ඇමතුමක් ගෙන්නා ගත්තා. පවුලේ විභාග කොමසාරිස්වරු ඇවිල්ලා විෂය නිර්දේශයේ අවුල් නිරවුල් කරන්න හදන බවත් කාරුණිකව දැනුං දුන්නා. නත්තලට කලිං රතිඥ්ඥා පත්තු වුනා. පැයකට අධික අඛණ්ඩ දුරකතන සංවාදෙකින් පස්සේ සියලුම පවුලේ විභාග උපදේශකවරුන්ට අපේ මලයා වසන නිවස අතහැර යාමට නියෝග කෙරුනා. ඒ වගේම විභාගය අවසන් වනතෙක් මලයා සමග කිසිම සෘජු හෝ වක්‍ර සන්නිවේදනයක්  පැවැත්වීමත් තහනම් කෙරුනා. 


"හුහ්, උන්දලාට මං කිව්ව ඕනි හරිය."


චූටි මැණිකේ කනෙං අයිං කරපු පෝන් එකෙන් මං කමිසයක් මැදගත්තා.


විභාගෙට විනාඩි දහයක් තරම තියා විභාග සාලාවට ගියහම ඇති බවත්, එයිට කලිං ගිහිං එක එකා කියන විකාර අහලා ඔලුව අවුල් කරගන්න ඕනා නැති බවත්, විභාගේ ලියලා ඉවර උනගමන් ගෙදර එන ගමන්ම ප්‍රශ්ණ පත්තරේ අටට නමලා ගඟටම විසිකරලා ආවත් කමක් නැති බවත් මගෙනුත් අවවාදයක් විදිහට මලයාට දුන්නේ යුතුකමක් හැටියටය. කී හැටියටම ඒ අවවාද අකුරටම පිලිපැද්දත් විභාගේ අතර මැද දවසකදී එදා තිබූ ගනං ප්‍රශ්ණ පත්තරේ හෙනටම අමාරු බවත්, එහෙම ගනං ජාති දැක්කෙම එදා බවත් කියා මලයා නාහෙන් අඬන්න පටං ගත්විට නම් පවුලේ කාටවත් ඒකට උත්තර නැතිවිය. 

හැමෝම එකතු වී, විභාගෙ ආයි පාරක් කරන්න පුලුවං බවත්, පුතා පාස්සුනත් නැතත් අපි නොබනින බවත්, ඔය දැං අසුවල් අසුවල් අය සාමාන්‍ය පෙල පාස් නැතත් ලස්සෙට කොඩිය දමා, කෝටිය රිටේ අමුණගෙන ඉන්නා හැටි බලා පුතාට හිත හදාගන්න පුලුවන් බවත්, මේ ගේදොර වතුපිටි, ඉඩ කඩං හරකබාන (මේ බාන මාත් දැක නැත) පුතාට තියෙන බවත්, කියා නලවා ගන්න බැරිවුනා. ඒ හිංදා මං පැනලා මයික්කෙක අරගත්තා.

“මොකද යකෝ කෙල්ලෙක් වගේ නාහෙං අඬන්නේ. හනේ මංදා මෙහෙමත් පිරිමි. මං දැක්කමයි කොල්ලෙක් අඬනව විබාගෙ අමාරුයි කියල.”

කියා කී විට ඇඬිල්ල එතකින්ම නතර වූ අතර පහුවදා පටන්ම 

“මේ විභාගෙ පේල් වුනත් මිනිහෙක්ට ගොඩ යන්න තව ඕනෑ තරං ක්‍රම තියෙනවා. බලහං මටත් බෑ තමයි. ඒ වුනාට මං මේ පුල්ලාතල් එකේ ඉන්නේ. හිටාල්ලකො කොල්ලො වගේ”

කියමින් මලයා තමුංගේ යාළුවන්ගේ දුක් ගැනවිලිද විසඳූ බව විස්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුනා. ඒ වනවිටත් විභාග භීතිකාව නිසා රින්සෝ, දීවා, ආදී රෙදි සෝදන ද්‍රව්‍යද, හාපික් ආදී වැසිකිලි පවිත්‍රකාරකද පානය කොට සිය ආහාර මාර්ගය සහ මූත්තරා බොක්කද සුද්ද කරගත් විභාග අපේක්ෂකයන් හත් අට දෙනෙක්ම ඊළඟ ප්‍රශ්ණ පත්‍ර දෙක තුනකටත් සුද්ද ලෙසම "ඒ බී" අරගෙන තිබුනා. 

දෙදාස් දෙක අවුරුද්දේ අන්තිම කාලය වනවිට මාත් ප්‍රශ්ණ පෙළ විබාගේ ලියා අහවරයි. එතෙක් කල් “ඉගෙන ගනිං”, “පාඩං කොරහං, කියා මාමාගෙන් තිබූ තර්ජනද නැතිවී යාමත් සමගම මට අවලංගු කාසියක් තත්වයට වැටෙන්නට සිද්ධ වුනා. අපේ මාමා හිතාගෙන හිටිය හැටියට පාඩං කරන ලමයි පැය විසි හතරම ඇහැරගෙන සිටිය යුතුය. මාමා රෑ දොලහට හෝ ඇහැරුනොත් මං ඇහැරිලා පාඩං කරමින් ඉන්න ඕනෑ. 

ඒ විදිහේ හිරේ වැටිලා ඉඳලා එක පාරටම මං යන එන තැනක් කවුරුවත් හොයන්නේ නැති වීමත්, හොරෙන් නොව එලිපිටම දවල් දවසම නිදන්න පුලුවන් වීමත්, ටීවියෙකේ චිත්තරපටි කොයි තරම් බැලුවත් කවුරුවත් එපා නොකීමත් නිසා ඇතිවූ මානසික කලකිරීමෙන් ඉන්න හිටින්න බැරිවිය. 

මේ වනවිටත් මම ලොකු පුංචම්මාගේ ඉඩමේ දලු කඩා දීම අතිරේක ආදායමක් ලෙස කරගෙන ගියත් අතට ලැබෙන ගාන මදිවීම නිසා වෙනත් ආදායමක් ලැබෙන වැඩක් කරන්නට ඕනෑ විය. ඒ කාලයේ අපේ තාත්තාගේ දුරින් නෑදෑයෙක් වන මල්ලී කෙනෙක් කොළඹ පැත්තේ ලොකු බිල්ඩිමක් හදන බව මගේ කනට වැටුනා. සතිගානක් බලා හිටීමෙන් පස්සේ ඒ බාප්පා ගෙදර එන වෙලාවක් බලා උන්දෑට පින්සෙන්ඩු වීමෙන් මටත් 

“එතන රස්සාවක් දෙන්න පුළුවංද බලන්නං” 

බවට පොරොන්දුවක් ලැබුණා. සතියකට විතර පස්සේ මට රස්සාවට එන්න කියා පණිවිඩය ලැබුණා. අතේ එක්කහු කරගෙන තිවුන ගානත් සාක්කුවට දාගෙන, තියෙන රෙදි පාංකඩ ටිකත් බෑග් එහෙකට දාගෙන බස් එකට නැග්ගේ පාර කියන්න හිටපු තුණ්ඩු කෑල්ලකුත් එක්ක. ගෙදර ගාවින් බස් එකට නැගලා මතුගමිං බැහැලා කොළඹ යන බස් එකක නැග්ගා. දෙහිවල කියන්නේ කොතන තියෙන එකක්දැයි නොදැන පාර දිගේ කඩවල්වල බෝඩ් එකක් ගානේ කියව කියවා, කොයි වෙලේ බහින්න වෙයිද දන්නැති හිංදා පණ බයේ බාගෙට ඉඳගෙනයි හිටියේ. පළවෙනියටම “ගාලු පාර, දෙහිවල” කියලා කඩේක බෝඩ් එකක් දැකපු තැනින් බැහැලා ලොතරැයි කූඩුවල ඉන්න අයගෙං පාර අහගෙන මහරගමට යන බස් එකට නැග්ගා. එතැනිං මහරගමට ඇවිත් ආපහු හත් අට දෙනෙක්ගෙන් පාර අහගෙන මාළඹේ යන බස් එකට නැංගා. අන්තිමට අදාල හංදියෙන් බැහැලා අලුතිං හදන බිල්ඩිම අයිති කෙනාගේ පොටෝ සාප්පුවෙන් ඇහුවම මාව **සිරි බාප්ප වැඩ කරන තැනට ගෙනැවිත් දැම්මා.

එදා පටං මමත් අත්වැඩකාරයෙක් විදිහට රස්සාව පටංගත්තා. ගිනියං වුන කොළඹ අව්වේ කරකුට්ටං වෙච්ච පොලවේ යකඩෙන් ඇනලා බවුන්ඩේසම් කැපිල්ලත්, ගල් වැලි, සිමෙන්ති, වතුර, බදාම ඇදිල්ලත්, කොන්ක්‍රී සහ බදාම ඇනිල්ලත්, ඒ ඔක්කොටම වඩා බැනුං ඇහිල්ලත් පුරුදු වෙන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. කොන්ත්‍රාත්කාරයා වුන **සිරි බාප්පත්, මමත්, අපේ ගම් පලාතෙංම එතන වැඩට ගිහිං හිටපු චූටිඅයියත් යන අපි තුන්දෙනා බාගෙට හදපු බිල්ඩිමේම නතර වෙලා උයාපිහාගෙන කාලා හිටියා. හැමදාම රෑට නිදාගන්න යද්දී “හෙට නං යනව යන්න.” කියලා හිතාගෙන නිංදට වැටුනත් පහුවදාට ආයිමත් නැගිටලා වැඩ කරන්න හිතෙනවා.  වෙන මොනවත් නිසා නෙමෙයි දවසට රුපියල් තුන්සීයක් ලැබෙන හිංදා. අපේ ගෙදර කාටත් වඩා සල්ලියක් මට ලැබෙන හිංදා මට උජාරුවෙන් ඉන්න පුලුවං. 


ඒ විතරක් නෙමෙයි “කෝපි කඩේ” පොඩ්ඩෙ විදිහට රඟපාන නලුවා අපි වැඩකරන තැන කිට්ටුවෙන්ම කඩෙයක් දාගෙන ඉන්න නිසා මට කඩෙං බඩු ගන්න ගියහම නලුවෙක් එක්ක කතා කරන්නත් පුලුවං. ඒ විතරක් නෙවෙයි, “කෝපි කඩේ” ඩිංගි මහත්තයගේ පැල තවාන තිවුනෙත් එතන නොවැ. මට ගමේ ගිහිං කියන්න පුරාජේරු සෑහෙන තියෙනවා.
මේ අතරේ තමුංගේ ලොකු දුව කොටහලු වෙච්චි ආරංචිය ලැබුණු දවසෙ හවසම **සිරි  බාප්පා මටත්, චූටි අයියටත් තුණ්ඩුවක් දුන්නා.

“මේං බොල දෙන්නගෙ පඩි ගණං. හෙට හවසට මහත්තයට මේ තුණ්ඩුව දීලා ඒ සල්ලි ඉල්ලගෙන වරෙල්ල ගමේ”

පහුවදා බිල්ඩිම අයිති මහත්තයා ආවෙ නැති හංදා අපි දෙන්නට ඉං පහුවදා වෙනකං ඉන්න සිද්දවුනා. එදා හවස එතුමා ආවා. අපි දෙන්නව පැත්තකට අඬගහලා අපි හීනෙකිං අහන්නවත් නොහිතපු කතාවක් කිව්වා.

“මල්ලිලා **සිරි අයියා මට ලොකු පොල්ලක් තියල පැනලනෙ. හාඩ්වෙයාර් එකෙං මං කිව්වා කියල සෑහෙන බඩු ප්‍රමාණයක් අරං. මගෙන් වැඩ කරපුවට වැඩිපුර සල්ලිත් අරං. දැං එයා ආපහු වැඩට එන්නෙත් නැතිලු.”

අපි දෙන්නා අපිට බාප්පගෙන් ලැබුණු තුණ්ඩුව ඉදිරිපත් කළා.

“මං ඔයාලගෙ පඩි ගෙවන්නං. ඔයාලට පුළුවංද දිගටම වැඩ කරලා මේ වැඩටික ඉවර කරන්න?”

මහත්තයා අපේ ඊළඟට හිටපු හෙඩ් බාස් වන පියරත්න අයියගෙනුත්, අපෙනුත් ඇහුවා. අන්තිමට අපි දිගටම එතන වැඩ කරන්න පොරොන්දු වුනා. 

ඒ අතරේ **සිරි  බාප්පගේ ලොකු දුවගේ කොටහළු මගුල් ගෙදර ගිය අපේ අම්මව

“ඒ හරියෙ කුඩ්ඩො ඉන්නව, උං රුපියල් දහයටත් මිනී මරණවා. රෑට ඇහිල්ලා දැලි පිහියෙං බෙල්ල කපල කරේ තියෙන චේන් උස්සනවා. ඒකයි මං කිව්වෙ එන්න කියලා. ඔන්න මං එහෙම දන්නෑ ආවෙ නැතුව මොකක් හරි උනාට.”

ආදී වශයෙන් කියා බය කරන්නත් බාප්පා කටයුතු කරල තිබුණා. ඒ හංදා මට සාමාන්‍ය පෙල වෙනකං ජපන් සිස්සත්වෙ දීපු ජපන්නු මාව බලන්න එනවාලු යැයි පණිවිඩයක් එවලා අපේ අම්මා මාව ගෙදර ගෙන්නුවා. ජපන්නු බලන්න ගෙදර ආපු මට තමුං කිව්වේ බොරුවක් බවත් එහෙම කරන්න සිද්දවුනේ බාප්පා මේ මේ ආදී වසයෙන් එව්වා කියා බය කරපු හිංදා බවත් අම්මා කියා හිටියා. ඒ හංදා බාප්පා කරලා තිබුණු හොරකම් වංචා ආදියත් අම්මගෙ කනේ තියලා පහුවදාම මං ආපහු වැඩට ගියා. කට්ටිය මදි වෙනකොට චූටි අයියා උගේ මල්ලිලා පවා වැඩට ගෙන්න ගත්තා. 

අපි හදාපු බිල්ඩිම. අද

අන්තිම දවස් කීපයේ රෑ දවල් නැතුව වැඩ කරලා නියමිත දවසට බිල්ඩිම අංගසම්පූර්ණ කරලා බාර දෙන්න අපිට පුලුවං උනා. කහවත්තේ ගුරුගේ මුදලාලි ඇතුළු සම්භාවනීය අමුත්තෝ නැකතට පීත්ත පටිය කපලා බිල්ඩිම විවෘත කරද්දි චූටි අයියයි, උගේ මල්ලිලා ටිකයි, මමයි බිල්ඩිම පිටිපස්සේ බිම කාඩ්බෝඩ් ටිකක් එලාගෙන දවස් ගානක් නැතිවෙච්ච නින්ද පොලියත් එක්ක අරගත්තා. කන්න බොන්න අඩු නැතුව දීලා අපිට සංග්‍රහ කරන්න බිල්ඩිම අයිති මහත්තයා කටයුතු කලා. ඒ අතරෙම මට විතරක් මෙහෙම කිව්වා.


“සුරංග කැමති නං මෙතන වැඩ කරන්න. ස්ටුඩියෝ එකේ පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න පුලුවං. ලොකු පඩියක් නම් දෙන්න බැරි වෙයි. වෙඩින් තියෙන කාලෙට නම් හොඳ ගානක් හොයාගන්න පුලුවන්”


ආපසු ස්ටුඩියෝ එකේ වැඩට එන පොරොන්දුව පිට මාසක් තුනක් තිස්සේ හම්බ කරපු සල්ලිත් අරං මං ගෙදර ආවා. රුපියල් විසි හතර දාහක් විතර මගෙ අතේ තිබුණා. මං මහරගම ටවුමෙ හැමතැනම ඇවිදලා කමිස දුසිමක්ම ගත්තා. දෙහිවල ටවුමෙත් ඇවිදලා තවත් ඇඳුං ගත්තා. ජීවිත කාලෙට හම්බ කරපු ලොකුම සල්ලියෙන් හරි හමං අඳින්න ඇඳුං ටිකක් අරගෙන, හොටලේකින් බඩ පිරෙන්න කාලා වේටර්ටත් රුපියල් විස්සක්ම දුන්නා. ගෙවල්වලටත් ඇපල්, දොඩං, මිදි, නාරං, පුහුල්දෝසි ආදිය අරගෙන ගමේ ආවා. දවස් දෙක තුනක් ආඩම්බරකමෙන් කොළඹ විස්තර කිය කියා ඇවිද්දා. කෝපි කඩේ ටෙලිනාට්ටියෙ පොඩ්ඩෙයි, ඩිංගි මහත්තයයි දෙන්නම මං අඳුරන අය බව කියද්දි ආතයි, ගුනොවද්දන මාමයි දෙන්නම

“හැබෑඈඈට...”

කියලා බොහොම ලොකු විස්සාසෙකිං මයෙ දිහා බැලුවා.

ඒ අතරේ පුංචම්මා මං නොදන්නා රහසක් කිව්වා.

“උඹලෑ අම්මා තාත්තට හොරෙං නංගිගෙ චේන්නෙක උගස් තියලා. දැං සින්න වෙන්න යන්නෙ. ඒක නැතිවුනොත් නං උඹලෑ තාත්තා අම්මව මරයි.”

අන්තිමට අම්මගෙත් එක්ක කීප විටක් රණ්ඩු කරලා ඒක ඇත්ත බව මං තහවුරු කරගත්තා. අපෙ අම්මා ඒක උගස් කරලා කහන්තැන්නේ දානෙ ගෙදරට ලොකු ඉස්කෝතු පෙට්ටියක් ගිනිච්චලු. ඉතුරු සල්ලි වියදං උනාලු. උගස් තියපු රිසිට් එකත් නැතිවෙලාලු.

“මං ඒක බේරලා දෙන්නං. උඹ ගාව තියෙන සල්ලි දීහං. උකස් කඩේ මනුස්සයා මං අඳුරනව. රිසිට්ටෙක නැතුව මට ගත්තැකි”

අන්තිමට පුංචම්මා මගෙ අතේ ඉතුරුවෙලා තිබුණු රුපියල් විසිදාස් ගානම ඉල්ලගත්තා. පන්තියකට රුපියල් තුන්සීය ගානේ උසස් පෙළ විෂය තුනට අවුරුදු දෙකකට පන්ති යන්න ඒ ගාන තිබුණ නං හොඳටම ඇති. අම්මව මරණෙන් බේරගන්න මාස තුනක දාඩිය මහන්සිය පුංචම්මගෙ අතේ ගුලිකලත් අන්තිමට මාසෙකින් විතර අහද්දි චේන් එකවත්, සල්ලිවත් මට ලැබුනෙ නෑ. 

“චේන්නෙක සින්න වෙලා. දැං දෙන්නැහ්ලු. උඹේ සල්ලි මං පස්සෙ දෙන්නං”

මං කට වහගත්තා. මට වෙන ඉන්න හිටින්න තැනක් තිබුනෙ නෑ. මට ඉන්න හිටින්න තැනක් හදාගන්නකං පුංචම්මා හිටපු අම්මගේ මහ ගෙදරත්, මාමගෙ ගෙදරත් විතරයි මට ඉතුරු වුනේ. පුංචම්මගේ කටේ බලය පාවිච්චි කරලා මේ තැං වලින් මාව දොට්ට දාන්න පුළුවං කියලා මං දැනගෙන හිටියා. පුංචම්මා මගේ අසරණ කමෙන් මාව ගැටගැහුවා, කටත් වැහෙන්නම.


මං ආපහු කොළඹ ආවා. උසස් පෙළට ඉස්කෝලෙ පටං ගන්නකං මං ස්ටුඩියෝ එකේ වැඩ කලා. මාසෙට රුපියල් දෙතුං දාහක් හම්බ කරගත්තා. උසස් පෙළ පටං ගත්තට පස්සෙත් මගුල් ගෙවල් වැඩි කාලෙට මට පණිවිඩයක් ලැබෙනවා. එතකොට ඉස්කෝලෙ යාම බල්ලට දාලා මං කොළඹ යනවා. එක මගුල් ගෙදරක වීඩියෝ කරන්න ලයිට් ඇල්ලුවම රුපියල් පන්සීයක් ලැබෙනවා. 


ඒ අතරේ මං අපේ ගෙදර අය වැටකට නොගෙන අතෑරලා දාලා තිබුණු අක්කර කාලක විතර තේ ඉඩමක් සුද්ද කරලා ඒකේ කනාටු ගැහිලා තිබුණු ගස් ටිකේ දලු කඩන්නත් පටං ගත්ත හින්දා මගෙ ඉස්කෝලෙ යාම කෙරුනේ සතියට දවස් දෙක තුනක් වගෙයි. ඒ ඉඩමෙත් ආදායම මට කලිං අම්මා මග රැකගෙන ඉඳලා දලු ලොරියෙ මහත්තයගෙං ඉල්ලගත්ත මාස බොහොමයි. අන්තිමටම තේ ඉඩමත් අම්මටම දීලා මං නිකං හිටියා. අම්මා ආයෙමත් ඒ ඉඩම කැලේටම යන්න ඇරියා.

පළවෙනි පාර මං උසස්පෙළ පේල්. මට ඉගෙනීමත්, සල්ලිත් දෙකම නැතිව ගියා. පලවෙනි පාර වගේ නෙවෙයි, දෙවෙනි පාර ඉස්කෝලෙ යන්න ඕනි නැති නිසා විෂයන් තුනටම පන්ති ගියා. ඒ නිසා මං උසස් පෙල පාස්. හැබැයි ප්‍රතිඵල එද්දි මං තේ පැට්ටේරියේ රස්සාව පටං අරගෙන ඉවරයි. මං පැට්ටේරි යද්දි මගෙ යාලුවො තුංවෙනි පාර උසස්පෙල ලියල කැම්පස් ගියා. මට ආයිමත් තුන්වෙනි පාරක් ඉගෙනගන්න ඕනකමක් තිබුනෙ නෑ. සල්ලි අතේ ගැවසෙන්න පටං අරං ඒක නැතිවුනොත් ජීවත් වෙන්න අමාරු බව මං දැනගෙන හිටියා.

පුංචම්මා ඒ වෙනකොට තමුංගෙ සේසතම නාස්ති කරගෙන ඉවරයි. පවුලෙ අයගෙ රත්තරං බඩු පවා හොරකං කරලා උගස් තියලා රටට ණයවෙලා තිබුණා. අන්තිමට එයා බාප්පයි, ළමයි දෙන්නයි එක්ක මහගෙදරින් අයින් වෙලා ටිකක් දුරකින් වෙනම ගෙයක් අටවගෙන පදිංචි වුනා. ගේ ඉස්සරහම කඩ කෑල්ලක් අටවගෙන අහල පහල වතුවල දෙමල මිනිස්සුන්ට වෙළඳාමකුත් කරගත්තා. 

ඒ කාලෙ වෙනකොට තමයි මට මොටෝ බයිසිකලයක් ඕනි වෙලා තිබුණේ. රෑට වැඩ ඉවරවෙලා එන්න බස් නැති හංදත්, අනික් අය හැමෝම බයිසිකල් අරගෙන තිබුණ හංදත්, ඒ ඔක්කොටම වඩා කෙල්ලෙක් යාලු කරගන්න බයිසිකලයක් ඕනි හිංදත් රුපියල් අසූ දාහකට බයිසිකලයක් හොයාගත්තා. ඒ වෙනකොට මගෙ අතේ තිබුණු සල්ලි ටිකට තව විසිදාහක් එකතු වුනානං මදි පාඩුව පොලියට ගන්න ක්රනමයක් මට තිබුණා. ඒ හංදා මං අවුරුදු පහක් පරණ මගේ ණය මුදල වන රුපියල් විසිදාහ පුංචම්මගෙං ඉල්ලුවා. උන්දෑ මට බැනලා එලෙව්වා. නමුත් මං හිටියෙ බැනුං අහලා කට වහගන්න වයසක නෙමෙයි. 


ඒ වෙනකොට පුංචම්මා කලක් තිස්සේ මුලු පවුලෙම සල්ලි මකර කටේ ගිල්ලලා කරපු විජ්ජාව මොකද්ද කියන්න කවුරුත් දැනං හිටියෙ නෑ. මමත් ඒ ගැන දැනං හිටියෙ නෑ. හැබැයි “මුන්දෑ ඔය සල්ලි වලට කලේ මෙන්න මේකයි” කියලා කවුරු හරි බොරුවක් උනත් ගොතලා කිව්වනං මුළු පවුලම එකහෙලාම පිළිගන්න තත්වයක් තිබුණා.

මං ඒ සැකේ ප්‍රයෝජනයට ගත්තා. වස්තු බීජය විදිහට පුංචම්මගේ දිනපොතක තිවුනාය කියලා බාප්පම සනාථ කරපු පුංචම්මගේ පරණ ප්‍රේම සම්බන්ධයක් අරගෙන කතාවක් ගෙතුවා. ගොතලා අපේ අම්මගෙ කනේ තිව්වා.

“ඔන්න අම්මේ අම්මගෙ නංගිට ගිහිං කියන්න. මගෙ සල්ලි නුදුන්නොත් පුංචම්මා හැමෝගෙම සල්ලි හොරකං කරලා ***දසිරි මහත්තයට දුන්නයි කියලා මං බාප්පට කියනවා. මට ***දසිරි මහත්තයා පහුගිය දවසක් හම්බවුනා. මිනිහා මාව අඳුරන්නෑ. හැබැයි මිනිහා පුංචිගෙං සල්ලි අරං වාහනේකුත් ඇරං. මට සාක්කි ඇතුව පෙන්නන්න පුලුවං. පිහි ඇනුමක් යන වැඩක් වෙන්න යන්නෙ. අම්මගෙ නංගි බේරගන්න ඕනි නං මගෙ සල්ලි තව සතියෙං ඕනි”

අම්මා මට බල්ලෝ, හරකෝ කියා බැන්නත් මං මගේ තීරණේ වෙනස් කලේ නෑ. 

“තොට සහගහයි. ඒකිට දැං මේ වෙලාවෙ සල්ලි නැතුව ඉන්නෙ. ඇට විකුල්ලා සල්ලි දෙන්නද? රට වටේටම නයයි. තොට ඉස්සර ඒකි ඇඳුං කැඩුං හිට අරන්දීල තියෙනව. තොට ඒ ගුණේවත් නෑ”

අම්මා මට දහ අතේ බැන්නත් මගේ තීරණේ වෙනස් උනේ නෑ. අන්තිමට සතියෙං සතිය පුංචම්මා අපේ අම්ම අතේ රුපියල් දහදාහ, පන්දාහ ආදී කොටස් වලිං රුපියල් විසිදාහ එව්වා. අන්තිම පන්දාහෙ වැඩිපුරම තිබුනෙ දහයෙ, විස්සෙ කොල, කිලෝ එකක විතර කාසි ගොඩකුත් තිබුණා. දාහෙ කොලේ පටං සත පනහ වෙනකං ලංකාවෙ පාවිච්චි වුන සේරම සල්ලි ඒ පන්දාහ ඇතුලෙ තිබුණා. පුංචම්මා ඒ සල්ලි ටික දෙන්න ළමයිංගෙ කැට පවා කඩන්න ඇති. මට දුකක් හිතුනෙ නෑ. මගෙ හිත ඇතුලෙ හිටපු අවුරුදු දාසයේ කොල්ලා හිනාවුනා. ඌ අවුරුදු පහක් ඉවසලා දිනුවා. පහුවදාම පැළෑඳ ලොරියෙ සුමින්දයා මට තව තිස්දාහක් පොලියට දුන්නා. ඒ සල්ලි සේරම එකතු කරලා මං බයිසිකලේ ගත්තා. 



Sunday, December 4, 2016

Tea and Tamils හෙවත් තේ සහ දෙමළු




සිංහලුන් ගාවට අපේ රටේ වැඩිම ජනවර්ගය දෙමළුය. මේක ඕනිනං ‘සිංහල ජනවර්ගය හැර අපගේ රටෙහි මීළඟට වැඩිම ජන වර්ගය ද්‍රවිඩ ජනතාවයි‘ කියා ලියන්නත් පුළුවන. ඒ වුනාට අපි ඇත්තටම භාවිතා කරන්නේ දෙමළු කියා නොවේද? මං අද ලියන්නේ තේ ගහට ආත්මය බද්ධ කරගත් දෙමළු ගැනයි.


ලංකාවේ දෙමළ ජනතාව කොටස් කීපයකට බෙදේ. උතුරු නැගෙනහිර පලාත්වල ඉන්නේ ගොවිතැනක් බතක් කරගෙන, රස්සාවක් කරගෙන, සමාජයේ ඔලුව කෙලින් තියාගෙන ඉන්නා නම්බුකාර දෙමළ මිනිස්සුය. කොළඹ සහ තදාසන්න නගරවල ජීවත්වන දෙමළ මිනිස්සුද බහුතරයක් ව්‍යාපාර හිමි පෝසතුන්ය. ඊළඟට සමාජ තත්වය මදක් අඩු කොටස ජීවත්වන්නේ උඩරට වතුකරයේය. ඔවුන්ගේ බහුතරය තේ වතුවල ජීවත් වුවද, වත්තේ වැඩ කරන්නේ පවුලේ දෙමව්පියන් පමණි. දරුවන් වෙනත් රැකියා කරති. ඒ අතරින් උගත් අය රජයේ රැකියාද, පෞද්ගලික අංශයේ මධ්‍යම මට්ටමේ රැකියාද, ව්‍යාපාරද කරති. ඔවුන්ගේ පවුල්වලට වත්තේම ඉඩම් කොටසක සාදාගත් ගෙයක්ද හිමිය. ඔවුන්ට ඒ නිවසට හිමිකාරීත්වය ඇත. ඒ සියල්ලටම වඩා වටිනා ඡන්ද බලය ඇත.


මේ කොටස් එකකටවත් අසු නොවුනු දෙමළ ප්‍රජාවක් ලංකාවේ වෙසෙන බව ඔබ සමහර විට අසා නැතිවන්නට පුළුවන. ලන්ඩනයේ තේ වෙන්දේසිවල විකිණෙන තේ වර්ගවලින් අඩක් පමණ නිපදවීමට අවශ්‍ය දළු නෙලන්නේ ඔවුන් බව ඒ අවට උද්‍යානවල ‘ලාංකීය ද්‍රවිඩයින්ගේ විමුක්තිය වෙනුවෙන් උද්ඝෝෂණය කරන උගත් ද්‍රවිඩයින්‘ දන්නේද නැත. නමුත් පහතරට තෙත් කලාපයේ එවැනි දෙමළ ජනතාවක් වෙසෙති. ඔවුන් අපේ ගමේ හැඳින්වෙන්නේ දෙමළු නමිනි. සිංහල මිනිස්සු 'සිංහලුන්' ලෙස හඳුන්වන ලෙසම මෙතැන් පටන් මොවුන්ව හැඳින්වීමට මං 'දෙමළු' යන වදන යොදාගන්නේ ඔවුන්ව හැඳින්වුනේ එලෙස බැවිනි. 



දෙමළු ඉන්නේ ලැයිං වලය. ලැයිං යනු අපේ රටේ ඉස්කෝල හෝල් එකක් තරං දිග එයිං බාගයක පමණ පළලින් යුත් ටකරං සෙවිලි කල ගොඩනැගිලිය. මේවා අඩි දොලහක පමණ පළලැතිව කාමරවලට බෙදා ඇත. එවැනි කාමරයක පවුලේ අට දෙනෙක් පමණ සිටීම සුළභය. ගොම මැටි ගෑ පොලවේ එක පැත්තක බිම බැඳි ලිපක උයාගෙන කෑමත් එම කාමරයේම බිම එලූ පෝරකවර කීපයක් මත එක පොදියට නිදාගැනීමත් ඔවුන්ට උරුමය. සිය එකම සේසත වන ඇඳුං කඩමාලු ටික කාඩ්බෝඩ් පෙට්ටියකත්, හැලිවලං ටික ගෙබිම මතත්, තබාගන්නා ඔවුන්ගෙන් කලාතුරකින් අයෙක් සතුව ඉඳහිට රේඩියෝ කැසට් යන්ත්‍රයක් තිබෙනු මා දැක ඇත. රාත්‍රී කාලයේ එක කුප්පි ලාම්පුවෙන් මුළු ලැයිං කාමරයම එළිය කෙරේ. බොහෝවිට ඔවුන්ගේ පොඩි ළමයි රෑ නින්දෙන් ඇහැරී ගොස් කුප්පි ලාම්පුව පෙරලාගෙන ගිනි ඇවිලී අබ්බගාත වූවෝය. නැත්නම් මිය ගියෝය.



ඔවුන්ගේ එකම ජීවනෝපාය තමුන් සිටිනා වත්තේ වැඩ කිරීමය. සමහරුන් සුළුවෙන් කුකුළන්, එළුවන් ඇති කළහ. නමුත් දෙමලුන්ගේ කුකුල් බිත්තරද අපට හිරිකිත විය. ඉඳහිට ගමේ අය ඔවුන්ගෙන් කුකුලෙක් මරවා ගත්හ. සිංහල අවුරුද්දට ඔවුන්ගෙන් එළුමස් මිලදී ගත්හ. ඔවුහු ඉඳහිට වත්තේ වැඩ නැති විට ගමේ සිංහළුන්ගේ කුලීවැඩද කළහ. සමහරු වත්තේ වැඩ මගහැර පිටස්තර තැන්වල වැඩට ගොස් හවසට වත්තෙ මහත්තයාගෙන් පිටපුරා ලාඩප්පා පොළු පාර කෑවෝය. උදේට 'මහ ජෝඩුව' වැඩට යාමත් අවුරුදු අටේ දහයේ ලොකු ළමයි සහ වැඩ කළ නොහැකි මහළු අය ගෙදරට වී අත දරුවන් බලාගැනීමත් කළහ. ඔවුන්ගේ නිසි වයස සපිරූ ළමයි පාසල් නොගියහ. සමහරු යන්තම් එක දෙක වසරවල් වලට පමණක් ගියහ. ඔවුන්ට දෙමළ භාෂාවෙන් පාසල් අපේ අහල ගං හතකවත් නොතිබිණි. මට මතක ඇති පරිදි මා පාසල් යන විට 1 වසරේ සිිටයේ එක දෙමළ කෙල්ලක පමණි. කරුණාවතී මිස් විමසූ විට සිය නම 'මාරි කූරි' යැයි ඇය කීවාය. 


"මේ ලමයගෙ නම මාලු කූරිලු"


කියා ඇයත් අනෙක් ගුරුවරියෝත් අපිත් සිනාසුනෙමු. මාරි වැඩිකලක් පාසල් නොආවාය. නමුත් 'කරුපයියා නන්දකුමාර්' නම් තවත් සිසුවෙක් නම් හතර වසර වනතෙක් පාසල් පැමිණියේය. අපි සැමවිටම දෙමළුන් සමග එක ඩෙස් එකේ වාඩිවීමට නොකැමති වීමු. බස් එකේදිවත් අප සමග එක අසුනේ ඉඳ ගැනීමට දෙමළුන්ට ඉඩ නැත. එනිසා 'කරුපයියා' පිටුපස මේසයක තනිවම සිටියේය. කුණුහරුප ගැන හසල දැනුමැත්තෝ ඔහුගේ නමෙහි ඇති 'කරුව' ඉවත් කලෝය. අනෙක් දෙමළ ළමයි මෙන්ම කරුපයියාද අවුරුදු දොලහෙන් පමණ ඉස්කෝලේ අතහැර කුලී වැඩට යන්නට පටන්ගෙන, කසිප්පු බීමටද හුරුවී රැවුල වැඩෙන විටම ලැයිමේ කෙල්ලෙක් සමග වෙනත් වත්තකට පැන යන්නට ඇත.


මේ අතරින් සමහර දෙමළු ජංගම ජීවිතයක් ගතකළහ. තේ අක්කර තුන හතරක් පමණ ඇති ගම්වැසි සිංහලයෝ සිය ඉඩමේ කොනක පෙට්ටියක් වැනි කුඩා ගෙවල් ඉදිකර එහි දෙමල පවුල් නවත්තා ගත්හ. එවැනි දෙමල පවුල් ඉඩම් හිමියාගේ තේ ඉඩමේ වැඩද, ගෙදර වැඩද කරමින් ජීවත් වූහ. මෙවැනි දෙමළ පවුලක් වැඩට තියාගන්නා තැනැත්තා කලක් යාමේදී ඔවුන්ව එළවා දමා වෙනත් පවුලක් ගෙන්වා ගනී. බොහෝවිට එල්ල වන චෝදනා වන්නේ 'තේ ගස් නාස්ති කිරීම', 'හොරකම් කිරීම', බීගෙන කුණුහරුප කියාගෙන ගෑනියි මිනිහයි මරාගැනීම ආදියයි. නමුත් බොහෝවිට එසේ එළවන්නේ ඔවුන්ගෙන් වැඩ කරවාගෙන මාසයක් එකහමාරක පමණ පඩිය නොදී තබාගෙන එය ඉල්ලූවිට බව තතු දත්තෝ දනිති. ඒ සියල්ලේ පාඩුව විඳගන්නට වන්නේ ඒ පවුලට ණයට බඩු දුන් කඩේ මුදලාලිටය. හිටිගමන් පළවාහැරෙන මෙවැනි දෙමළ පවුල් නවතින්නේ වෙනත් ගමක එවැනිම ඉඩම් හිමියෙක් ළඟය. මෙම දෙමළ පවුල්වල කාන්තාවන්ට ඉඩම් හිමියාගෙන් අතවර නොවන්නේ දෙමළු යනු හිරිකිත ජාතියක් බව කුඩාකළ පටන් කාවද්දා ඇති නිසාය. නමුත් මා දන්නා එක්තරා ඉඩම්හිමියකු සිය ඉඩමේ වැඩ කරන දෙමළ කාන්තාවකට සිය හැඩ රුවේම දරු සම්පතක් ලබාදී ඇත. එය තමුන්ට වූ අසාධාරණයක් බව ඒ දෙමළ කාන්තාව නොසිතීමම ඔවුන්ගේ ජීවිත කතාවේ එක් පාර්ශවයක් පෙන්නුම් කරයි. 


ඉහත දැක්වූ පරිදිම 'දෙමළු' උපතින්ම ණය වන්නෝය. ඔවුන් කෑමට අවශ්‍ය පිටි, සීනි, හාල් ආදිය මිලදී ගන්නේ අවට ඇති කඩවලින්ය. ණය පොතක ලියවෙන ඒ ණය ගෙවෙන්නේ වත්තේ පඩි දෙන දවසටය. මුලින්ම මුදලටත් ඉන්පසු රුපියල් දාහක ණය සීමාවකට යටත්වත්, ඉන් පසුව ඊට වැඩි ණය සීමාවකටත් කඩෙන් ණයට ගන්නා ඔවුන් සමහර විටෙක ලැබෙන පඩියෙන් ණය නොගෙවා වෙනත් කඩයකින් බඩු ගනිති. මේ ආකාරයට වංචා කිරීම ඔවුන්ගේ සිරිතකි.


ඔවුන්ගේ ප්‍රධාන ආහාරය රොටීය. දෙමළුන් කළු වන්නේ රොටි කෑම නිසා යැයි අපේ ආච්චම්මා කියයි. අපේ ගෙවල්වලට පාං පිටි ගෙනියන්නේ එහෙමත් වෙලාවක වුවත් දෙමළු එකවර පිටි කිලෝ දෙකක් තුනක් ගෙනියති.


අපේ ගමේ සිටින කවුරුත් එකිනෙකාට අමතන්නේ අයියෙ, අක්කේ, නංගියෙ, මල්ලියෙ, මාමෙ නැන්දේ, ආතෙ ආච්චම්මේ වශයෙනි. සමහර විට නම සමගම ඉහත ඇමතුම යෙදේ. නමුත් ගොවිගම කුලයට වඩා පහත් කුළවල අයටත්, දෙමළුන්ටත් නෑකම කීමක් නැත. රත්නෙ බාප්පාට 'රත්නෙ බාප්පේ' කියතත් ඒ වයසේම සිටින දෙමළ මිනිහෙක් වන 'සංකර'ට අපි 'සංකරයෝ' කියා අමතමු. වැඩිහිටියෝද අප වැනි පොඩි අයට 'පුතේ' කියතත් අපේ වයසේම සිටින සංකරගේ පුත්‍රයාට 'රාමුවෝ' කියා අමතති. අපව හැඳින්වීමේදී 'පංසල ගාවා සොම්පාලගෙ ලමයා' ආදී වශයෙන් කියතත් දෙමළ ළමයෙක් දුටුවිට 'කාගෙද මංද දෙමළ පැටියෙක්' කියා කියති. වයසක දෙමළ මිනිසුන් 'කංකානම' නමින්ද, දෙමළ ගෑනු කවුරුත් 'ආච්චි' නමින්ද හැඳින්වේ. එබැවින් අපේ ආච්චම්මා තමුන්ට 'ආච්චි' යනුවෙන් අමතනු ලැබීමට නොකැමතිය. අපි කෙසේ ඇමතුවත් දෙමළුන් වැඩිහිටි සිංහල අයට 'මාතියා', 'නෝනා' යනුවෙන්ද, අපේ ආච්චම්මාට 'ලොකු මෙනිකේ' ලෙසද, කුඩා ළමුන්ට 'චූටි මාතියා', 'චූටි මැණිකේ' යනුවෙන්ද ඇමතිය යුතුය. අපි පාරේ යනවිට දෙමළුන් ඉඩ දිය යුතුය. 


ලැයිං කාමරවල ඉන්නා පවුල් හිටි ගමන් රණ්ඩු වී කපා කොටා ගනිති. ඒවා බේරන්නේ වත්තේ මහත්තයාය. බොහෝවිට අඩුවෙන් තුවාල ලැබූ එකාට කොන්ද හරහට ලාඩප්පා පොල්ලකින් තැලීමෙන් දඬුවම් දෙනු ලැබේ. වරක් අපේ පුංචම්මාගේ කඩෙන් ණයට ගෙන ණය නොගෙවූ දෙමළෙක්ව පුංචම්මා විසින් රඹුටං ගහේ බැඳ ලාඩප්පා පොල්ලෙන් තලන ලදී. කඩේ ළඟ වටවූ සෑහෙන පිරිසක් ඉදිරියේ තැලුම් කෑ ඔහුව හදිසියේ කඩාවැදුනු අපේ මාමා විසින් නිදහස් කර යවන ලද්දේ පුංචම්මාව පොලීසි ගෙනියන බවට තර්ජනය කිරීමෙන් පසුවය. නිදහස ලැබූ මිනිහා තමුන් ලැබූ පොලු පාරවල්වල වාඩුව ගත්තේ තමුන් ගුටිකන තෙක් පැත්තකට වී බලාසිටි සිය බිරිඳ සහ ළමයින්ට තැලීමෙනි. නමුත් මේ කිසිවිටකත් දෙමළුන් පොලීසියට ගොස් 'ඇන්ටරියක්' දැමීමට තරම් නිර්භය නොවීය.


ඔවුන්ගේ ආගමික උත්සවයක් කියා ඇත්තේ එකකි. ඒ කුඩා දේව රූපයක් ඔවුන් විසින් සාදාගත් කුඩා දෝලාවක තබා ගෙනයන උත්සවයයි. එය දෙමළ පෙරහැර නම් වේ. මහ රෑ නවයට පමණ වත්ත පාරදිගේ ප්‍රධාන පාරට පැමිණ මහපාරේත් ටික දුරක් යන මේ පෙරහැරේ කාවඩි නටන්නෝ කීප දෙනෙක් සිටිති. දේව පිලිමයට ඉහලින් වත්තේ සිටින එකම ධනවතා වන 'රාජා'ගේ ගෙදර තිබෙන ඩියුබ් ලයිට් එක එල්ලා ඇත. එයට කරන්ටෙක දෙන බැට්ටිය ඔහු විසින් සිය පාපැදියේ තබාගෙන තල්ලු කරගෙන යයි. ඔවුන්ගේ පෙරහැරේ ගෙනයන ටිං බෙලෙක් කැටයට අපි කවුරුත් සත පනහක් රුපියලක් දමමු. එයට වැඩි ගානක් නොදමන්නේ 'දෙමළ දෙයියන්ට' පඬුරු දැම්මාට පිං නොලැබෙන නිසාය.


පසුගිය යුද්ධ කාලයේදී දෙමළුන්ට නිතර ගුටි කන්නට සිදුවිය. සමහර ප්‍රදේශවල ග්‍රාමීය දේශප්‍රේමියෝ සිය ගමට හමුදාවේ කෙනෙකුගේ මෘත දේහයක් ගෙනෙන සැම විටම අසල පිහිටි වතුවලට කඩාපැන දෙමළුන්ගේ හට්ටි මුට්ටි පොලවේ ගසා දෙමළුන්ට ගුටි ඇන්නෝය. ඔවුන්ගේ කුකුළු කූඩුවල සිටි කුකුළන් මරාගෙන කෑවෝය.


දෙමළ පවුල්වල වැඩියෙන් දුක් විඳින්නේ ගැහැණුය. යන්තම් අවුරුදු දොළහ දහතුන වනවිටම කුවුරන් හෝ 'දෙමල' මිනිහෙක් සමග පැනගොස් වෙනත් වත්තක ලැයිමක නවතින ඔවුන් වැඩි කල් නොයාම ළමයින් පෝලිමක් හදාගන්නේ උපත් පාලන ක්‍රම ගැන නොදන්නා නිසා විය යුතුය. මෙයින් ළමයින් කීප දෙනෙක්ම කුප්පි ලාම්පුවට පිලිස්සීම, ඇලක දොලක වැටීම, ලෙඩ හැදීම ආදිය නිසා අඩු වයසින්ම මියයති. ඉතුරු ළමයින්ද අතපය හතර හයිවනවිටම කුලීවැඩට ගොස් ඇටෙං පොත්තෙන් එලියට එන කාලයේදීම කා සමග හෝ පැනයති. ඔවුන්ගේ කසාද ජීවිතද මාස දෙකතුනක්, අවුරුද්දක් දෙකකට වඩා වැඩි කාලයක් රඳන්නේ නැත. එවැනි විටක ළමයින්ද සැමියාද දමා අලුත් 'මිනිහා' සමග පැනයාම 'දෙමළ' ගෑහැණුන්ට අරුමයක් නොවේ. 


'ඉංගනේසන්ගේ ගෑනි' වන 'රානි' හැමදාම වත්තේ හෝ ගමේ අයගේ කුලී වැඩ කරද්දී ඉංගනේසන් කිසි වැඩක් නොකර සිය බිරිඳගේ අතේ ඇති මුදල පැහැර ගනිමින් එයින් කසිප්පු බී ඇයටම තඩිගැසුවේය. මේ නිසා 'රානි' අලුත් සැමියෙක් හොයාගෙන ඔහුත් සමග පැන ගියාය. 'ඉංගනේසන්' තවත් ගෑනියෙක් ගෙනාවේය. දවල් දවසේ වැඩ කිරීමත්, නොකඩවා ළමයින් වැදීමත්, රාත්‍රියට ගුටිකෑමත් නිසා මට මතක ඇති කිසිඳු 'දෙමළ' ගැහැනියක් මෝල් ගහක් තරංවත් මහත නැත.


දෙමළුන්ගේ ගෙවල්වල කොටහළුවක්, මගුලක් හෝ අවමගුලක් වූ විට උත්සවයක් ගත් බවක් මා දැක නැත. සමහර අවස්ථාවල කලක් තිස්සේ අපි දන්නා දෙමළ මිනිහෙක් දකින්නට නොමැති විට කවුරුන් හෝ ඔහු ගැන විමසයි.


"කෝ රාජො අර උඹලෑ ලැයිමෙ හිටිය බීඩි බොන වයසක කංකානම?"

"යේ එපේ මමානේ මෙනෙිකේ. ගිය ෂුමානෙ මෙරුනා. වත්තෙම් වල්දැම්ම"


වයසට ගොස් මැරුණද, කුඩා කාලයේදී මැරුණද, ළමයි හම්බුවෙන්නට ගොස් මැරුණද, ඔවුන්ව රෙදි කඩමාල්ලක ඔතා වත්තේ පහල කොටසේ තේ ගස් නැති මූකලානක වල දමනු ලැබේ. ඒ තේ ගස් ඇති තැනක හෝ වතු ඉඩමේ ඉහලක වල දැමුවහොත් මළ මිනිය දිරායන සාරය තේ ගහට උරාගැනීමට ඉඩ ඇති නිසාදැයි මම නොදනිමි. 


ඔවුන් ගැන යන්තම් හෝ කියවෙන සිංදුවක් ඇත්තේ මෙපමණය. අවාසනාවකට ඒ සිංදුවටද දෙමළුන්ගේ ජීවිතවලට වුනු දේම සිදුවී ඇත. 




Sunday, November 27, 2016

ජනසන්නිවේදනය නොහොත් කෑගැසීම





ජන සංනිවේදනය කියලා අමුතුම විෂයක් ඉස්කෝලවල උගන්වන බව මාත් දැක්කේ බුකියෙන්ය. දැං පත්තර නොබලන නිසා කවුරුත් විස්තර දැනගන්නේ බුකියෙන් සහ ගොසිප් වලිනි. සන්නිවේදනය ගැන උගන්වන විට කියාදෙන්නේ මිනිසා මුලින්ම සන්නිවේදනය කලේ දුම් ගැසීම, අඬබෙර ගැසීම ආදී ප්‍රාථමික ක්‍රම වලින් බවයි. අපි පාසල් යන කාලේ වනවිට රචනාවලට ලියුවේ ‘දැනට පවතින සන්නිවේදන ක්‍රම වන්නේ දුරකථනය, රූපවාහිනිය, ගුවන්විදුලි යන්ත්‍රය’ යනාදිය බවයි. නමුත් එවකට ඒවා පට්ට පල් බොරුය. නමුත් ඇත්ත ලියුවොත් රචනාවට ලකුණු අඩු නිසා ලකුණු ලැබෙන බොරුම ලිව්වෙමු. ඒ බොරුවලට හිලව් වන්නට මෙතැන ඇත්තම ලියමි.


දුරකථනයෙන් සන්නිවේදනයක් හෙවත් පණිවිඩයක් අපේ ගමට ලැබෙන්න බොහෝ කලක් ගතවේ.  අපේ ගමේ ටෙලිපෝන් තිබුණේ දෙකකි. එකක් තිබුණේ ‘රඹුටන් ආතා’ ගේ ගෙදර තිබූ තැපැල් කන්තෝරුවේය. අපේ ගමේ වෙනත් කිසිම කන්තෝරුවක් නොතිබූ නිසා තැපැල් කන්තෝරුව හැඳින්වුනේ 'කන්තෝරුව' ලෙසය. අනෙක තිබුණේ සිරිසේන මහත්තයාගේ ගෙදරය. අපේ ගමට ටෙලිපෝන් පණිවිඩයක් ආවොත් එන්නේ ඒ තැන් දෙකෙන් එකකට පමණි. සමහර අවස්ථාවලදී ගමේ කාට හෝ ඉතාමත් හදිසි පණිවිඩයක් දැනුම් දෙන්නට තිබුනොත් තැපැල් කන්තෝරුවේ ටෙලිපෝන් නොම්බරේට කතා කර මැණිකේ නැංදාට කී විට එයා දවල් කෑමට ගෙදර එන ගමනේ පණිවිඩය කියයි. නැත්තං අපේ පුංචම්මාට කියා කඩේට එන කෙනෙකු අත පණිවිඩය යවයි. 


“මැණිකෙ නංගියෙ හාමිලවත්තෙ අසෝකෙලගෙ ගෙදෙට්ට කෝල්ලෙයක් ආව. අසෝකෙගෙ පවුලගෙ ලොකු මාම නැතිවෙලාලු. අනිද්ද කටයුතු කර්නවලු. පණිවිඩයක් යවන්න පුළුවනෑ”


එව්වාට උත්තර දෙන්නේ ආච්චම්මාය.


“ඕකුං එක්ක අපේ කතාවක් නෑනෙ. පිට පාරෙම යනව. පැත්තවබ්බලන්නෑ. ඕන්නං මං ජෑකොඩිලෑ ගෙදෙරිං ආවොත් කියන්නං. උං කියයි පණිවිඩේ.”


ඒ අහල පහල කෙනෙක් එදා දවසේ කඩේට ආවොත් හොඳය. නැත්තං පණිවිඩේ කියන්න වෙන්නේ එහෙම කෙනෙක් කඩේට ආ දවසකටය. දවස් දෙකකට විතර පස්සේ ලාම්පුතෙල් ගෙනියන්න කඩේට එන ජෑකොඩිලෑ ගෙදර ළමයෙක්ට කියා යවන පණිවිඩය අසෝකෙගේ කනට වැටෙන්නේ හත් දවසේ බණ දවසටය. ඒකත් හත් අට දෙනෙක්ගේ කටින් කට යාම නිසා ගෙවී ගොස් කෑලි හැළුන පණිවිඩයකි. 


“අසෝක මල්ලිලෑ ලොකුතාත්ත මැරිල කියන්නෙ. භූමදානෙ අනිද්ද කියල කිව්වලු. කන්තෝරුවෙ ටෙලිපෝන්නෙකට කතා කොල්ල කිව්ව කියන්නෙ පහුණු දාසක. අපේ ළමෙය ඊයෙ කඩේ ගියකොට කඩේ මැණිකෙ තමා උට කියල තියෙන්නෙ. ඊයෙ හැන්දැවෙලා වැඩි හංද මං මේ දැං ආවෙ.”


අන්තිමට හරි පණිවිඩේ දැනගන්නට අසෝකට කන්තෝරුවටම යන්නට වෙයි. අන්තිමට ඔවුන් මළගෙදර නොව හත්දවසෙ දානේ හැලිවලං හෝදන වෙලාවට මළගෙදරක්ව තිබූ ගෙදරට යන්නේ “තොපි දැන්ද එන්නෙ. බොලාට ටෙලිපෝන් කොල්ල කියලත් ආ හැටිද ඔය.” කියා බැනුමත් අසාගෙනමය.


සිරිසේන මහත්තයා ටෙලිපෝන් කෝල් එකක් ගන්නේ මාසෙකට හමාරකට දවසකි. ඒ ගෙදර ටෙලිපෝන් එක විසිතුරු භාණ්ඩයකි. ඉතින් සිරිසේන මහත්තයා ටෙලිපෝන් කෝල් එකක් ගන්න ඕනෑ කියා හිතී රිසීවරය කනේ තබා, ඉලක්කං එබුවාට සද්දයක් නැත. එවිට වෑර් ගලවා හයිකර, පිහදමා, තට්ටු දමා, පිඹ නොයෙක් පිළියම් කළත් ටෙලිපෝන් එක මීක් සද්දයක් නොකියයි. ඒ ගමන, ටෙලිපෝන් එකේ සිට වහලය දිගේ ඇදෙන වෑර් එක බිත්තියට හේත්තුකර තැබූ ඉනිමගක් ආධාරයෙන් අඟලෙං අඟල පරීක්ෂා කර බලයි. එහි කොතනකවත් මීයන් කා නැති තැන අඬුවක්, කතුරක්, වෑර් කෑල්ලක්, කොහු ලනු, වප්පිහියක් ආදිය දැමූ මල්ලක්ද ටෙලිපෝන් කනුවක් තරම උස කෙක්කක්ද රැගෙන උඩ බලාගෙන ගෙදරින් දොට්ට බසියි. ගෙදර වහලයේ සිට ටෙලිපෝන් කනු ඔස්සේ සුදු පාට සැමන් බාග වැනි රවුං වල එති එතී පාර දිගේ කනුවෙන් කනුවට දුවනා ටෙලිපෝන් වයර් දිහා බලාගෙන යන ඔහු සමහර අවස්ථාවල පාරේ ඇති වලවල්, කානු ආදියේ දිග පළලද දැනගන්නේය. සමහර තැනක වැල්ගාලක් ටෙලිපෝන් වයර් බදාගෙන පැටලී සිටී. සිරිසේන මහත්තයා වහාම මල්ල බිම තබා එයින් ගත් පිහිය කෙක්කේ බැඳ වැල් ගාල කපා ඉවත් කරයි. ඒ වැල් ගාලේ කූඩු හදාගෙන සිටින දෙමලිච්චෝ, පොල්කිච්චෝ, බට්ටිච්චෝ, පැණි කුරුල්ලෝ ආදීන් එතුමාගේ මව්ගුණ වයමින් මහා හඬක් නගා පිටවී යයි. එතැන වයරයට අලාභ හානියක් නැතිනම් සිරිසේන මහත්තයා නැවතත් පිහිය ලිහා මල්ලට දමාගෙන කෙක්කත් අතින් ගෙන සිය පාද චාරිකාව අරඹයි. සිය නිවසේ සිට හැතැප්මක් දෙකක් පමණ පයින් යාමෙන් පසු කැඩී ඇති වයර් දෙපොට හොයා ගැනීමට ඔහුට හැකි වෙයි. මෙය බොහෝ විට අතුරුපාරකට හැරෙන තැනක්, හොඳින් ඵල දරා ඇති අඹ, මැංගුස්, රඹුටන් ආදී ගහක් අසලක විය හැකිය. බොහෝ පහතින් ඇති ටෙලිපෝන් වයර් අතුරු පාරවල් වලට හැරෙන දළු ලොරිවල පැටලීම නිසා කැඩී යයි. නැතිනම් ඵල ඇති ගස්වලට වදින පොලු පහරවල් වැරදී වයරයට වැදීම ආදී දේවල් නිසා කැඩී යයි. බොහෝවිට එසේ කැඩී ඇති වයරයේ අත දිග මානයේ ඇති කොටස මේ වනවිටත් ඇත්තේ කාගේ හෝ ගෙදරක රෙදිවැලක් ලෙස, කිතුලේ එල්ලන මුට්ටියේ වරපට ලෙස, වැටක් බැඳි රැහැනක් ලෙස, රේඩියෝවක ඒරියල් එකක් ලෙස හෝ බල්ලෙක් බැඳි රැහැනක් ලෙසය. කැඩී ඇති වයර් පොටෙන් වැඩක් නොකෙරෙන බව දන්නා නිසා එයට අලසකමින් ඉන්නට නොදී එක කැති පහරින් එය මව් වයරයෙන් වෙන්කරගෙන තමුන්ගේ වැඩකට ගෙනයාමට අපේ ගම් වැසියෝ කඩිසර වෙති.


මෙලෙස වයරයේ දිග අඩු අවස්ථාවලදී සිරිසේන මහත්තයා සිය කෙක්කත් මල්ලත් රැගෙන නිවසට ගොස් පිළිවෙලකට හැඳ පැළඳගෙන මොටෝ සයිකලයේ නැගී ටවුමට යන්නේ ටෙලිපෝන් කන්තෝරුවට පණිවිඩය කියා අලුත්වැඩියාව කරවා ගන්නටය. එයිනුත් දවස් කීපයකට පසු එන ටෙලිපෝන් කන්තෝරුවේ ලොරියක් අදාල අලුත්වැඩියාව කරදී යන්නේය. නමුත් සති දෙකතුනක ඇවෑමෙන් වෙනත් තැනකින් වයර් පොටක් කැඩී යන්නේ අසල අඹ ගහක හැදී ඇති අඹ වල්ලක් නිසාය. පසු කාලිනව ටෙලිපෝන් කන්තෝරුවෙන් සිරිසේන මහත්තයාට පොඩි වයර් රෝලක්ද දී තිබුණේ සුදුසු පරිදි අලුත්වැඩියාවන් ඉටුකර ගැනීමටය. ඉන්පසු මදි පාඩුව රෝලෙන් දමා වයර් දෙපොට බිම සිටම පුරුද්දන සිරිසේන මහත්තයා උංචිල්ලාවක් මෙන් පොලවේ සිට අඩි හතර පහක් උඩින් එල්ලෙන වයර් දෙපොට රිටක ආධාරයෙන් ගසක පුළුවන් තරම් උස අත්තක පටලවයි. කලක් යනවිට ටෙලිපෝන් කම්බි කණුවලට වඩා ගස් උඩ රඳවා තිබුනේය. ඒ විදිහට බැලූ කළ සිරිසේන මහත්තයාගේ ටෙලිපෝන් එකෙන්ද පණිවිඩයක් දැනගන්නට ක්‍රමයක් තිබුනේම නැත. එයට ඇමතුමක් දෙන්නට පෙර වයර් කැඩී ඇතිදැයි බලා ටෙලිපෝන් එක සාදාගන්නා ලෙස කියන්නට වෙනම කෙනෙක් යවන්නට සිදුවනවා ඇත. එයින් පණිවිඩයක් යවන්නටද පෙර හැතැක්ම හය හතක් පයිං ගාටන්නත් වැල් ගාල් පාහින්නත්, කම්බි පුරුද්දන්නත් සිදුවීම නිසා ඒ ටෙලිපෝන් එකත් සුදු අලියෙක් නොව ජාති ණයක්ම වී තිබුණේය. 


ටීවීයෙකෙන්ද එකල කෙරුනේ රේඩිවේකෙන් කෙරෙන සේවාව වැන්නකි. අපේ ගමට එදා පටන්ම චැනල් අහුනොවීමේ රෝගය දරුණුවටම තිබූ නිසා ටීවී තිබුණු නිවෙස් කිහිපයේ අයගේ විනෝදාංශය වී තිබුණේ වඩා දිගැති උණ ලී ආදියේ මුදුනේ ඇමිණූ ඇන්ටනා වත්තේ පිහිටි උසම ගස්වල මුදුන්වල අමුණා ඒ මේ අත කරකවමින් චැනල් ඇල්ලීමට උත්සාහ කිරීමය. මේ ඇන්ටනා විවිධාකාරය. සමහර ඒවා 'V' අකුරේ හැඩයට ඇන්ටනා කූරු හෝ පතුරු ඇමිණූ ඒවාය. සමහර ඒවා කූරු දොලහේ, පහලොව පමණක් නොව විසි තිස් ගණන්වල යෝධ රේක්ක වැනි ඒවාය. තවත් සමහර ඒවායේ ඉදිරි පැත්තට කුකුල් කූඩුවලට ගන්නා දැල්, රෙද්ද නැතිව නන ටික විහිදාගෙන නිරිවස්තරෙන් සිටිනා කුඩ ආදියද අමුණා නවීකරණය කර තිබුණි. මේ ඇන්ටනා බූස්ටර ඇතුව හෝ නැතුව අමුණමින් නටන මේ නාඩගම් කොයිකත් අවසානයේ බලන්නට ලැබුනේ හොල්මං වැනි ඡායාවන් පමණි. නමුත් කටහඬ නම් අහන්නට ලැබුණි. නාවලවත්තේ මාමාගේ අංජනමෙන් ඊට වඩා පැහැදිලිව පේන බව අපේ ගමේ අයගේ මතය විය. ඒ නිසා මාසෙකට සැරයක් බැට්ටි චාජ් කරන්නට වැඩ සිද්ධ කරන්නාවූද, අකුණු ගහන වෙලාවට අහක යන අකුණුත් ගෙදරට අද්දවා දෙන්නාවූද ටීවියෙකට වඩා බැට්ටි කෑලි කීපයකින් මාසෙකට වැඩි කාලයක් සද්දේ දෙන රේඩිවේක ඉතා හොඳ විය. 


රේඩිවේකේ තිබුණු ලොකුම පරහ වනුයේ පවතින ආණ්ඩුවට විරුද්ධ අයට අහන්නට ඒවා නොතිබීමය. සමහරු ‘පිලිපීනයේ වැනිලා නුවර සිට ගෙන එන වෙරිටාස් සිංහල සේවය’ කියා එකක් අමාරුවෙං අල්ලාගෙන ඇසූ අතර අපේ තාත්තාද ‘සමස්ත ඉන්දීය ගුවං විදිලියේ සිංහල සේවය’ කියා එකක් බොහොම අමාරුවෙං අල්ලාගෙන ඒකේ පවුත්ති ඇසූ බව මතකය. නමුත් අකුණු ගහන වෙලාවට තෙල් තාච්චියට වතුර දැම්මාක් මෙන් ‘චරාස්’ ගා සද්දයක් එන බැවින් වහින වෙලාවට එයින් තොරතුරු දැනගැනීමට වඩා තාත්තාගෙන් බැනුං ඇසීමට සිදුවේ. 


"ඔය කැවුතු කැටිය වහල දාහං. හෙන ගස්සෝ ගන්නැතුව"


මේ නිසා අපේ ගෙවල් මණ්ඩියේ අය කෙටි දුර ක්ෂණික පණිවිඩ යැවීම සඳහා ක්‍රම දෙකක් යොදාගත්හ. එයින් පළවෙනි ක්‍රමය නම් ‘කෑගැසීමය’. මේ ක්‍රමය ඔස්සේ අපේ ගෙදර සිට චන්දරේ මාමාගේ ගෙදර, හංසනීලාගේ ගෙදර, දැතිහුලස් නිවස, සුදුවලාගේ ගෙදර, ගුනොවද්දන මාමලාගේ ගෙදර, ගනේවිටේ ගෙදර ආදී ගෙවල් අතර සන්නිවේදනය කළ හැකිය. දුර වැඩි ගෙවල් දෙකක් අතර නම් අතරමැදි ගෙයක් හරහා පණිවිඩය යැවිය යුතුය. චන්දරේ මාමලාගේ ගෙදර අයට පොඩිමහත්තෙයා මාමාගේ ගෙදර කෙනෙකුට පනිවිඩයක් කියන්නට ඕනෑ නම්.

“දයක්කේ, දයක්කේ”

කියා අපේ ගෙදර ඇමතීමට සිදුවේ. එවිට මට අපේ ගෙදර සන්නිවේදකයා වශයෙන් මිදුලේ ඉදිරි කොනට පැන.

“ඇයීඊඊ”

කියා අසන්නට සිදුවේ. එවිට

“පුතේ.. පොඩිමහත්තයියලෑ අක්කෑං අහන්නකො අද පංසල් යනවද කියලා”

යනුවෙන් පණිවිඩය ලැබේ. මම එවිට පිළිකන්නට ගොස් පොඩිමහත්තෙ මාමාගේ ගෙදරට අමතමි.

“පොඩිමහත්තෙ මාමලෑ නැංදේ”

කියා කෑගසමි. එවිට 

“ඉන්නෝ”

කියා පණිවිඩය ලැබේ. එවිට මම පණිවිඩය බාර දෙමි.

“චන්දරෙ මාමලෑ නැංද ඇහුව පංසල් යනවද කියලාආ..”

“හතරාමාට්ට ඉතර යං කියන්න....”

මම පණිවිඩය රැගෙන මිදුලේ ඉදිරිපසට යමි.

“හතරාමාට්ට යං කිව්වා”

“හා පුතේ මං එන්නං කියන්න එහෙනාං”

මම නැවතත් පිළිකන්නට ගොස් පණිවිඩය බාරදෙමි.

“හාලූඌඌ”

දැන් අපි සමහර ඇමතුම් වලට පිළිතුරු නොදෙන්නාක් මෙන් මේ ඇමතුම්වලටද උත්තර නොදී සිටිය හැකිය. එවිට,

“දයක්කේ, දයක්කේ”

 කියා කවුරුන් හෝ අපේ ගෙදර අමතන විට

"සද්ද නොකර හිටහං. ඔය කතා කොරන්නෙ අපිට කොටහළු ගෙදර යන්න අඬගහන්න. ඕවෑ ගිහිං බෑ."

කියා අපේ අම්මා මගේ කට වසාදමයි.

 මේ කෑගැසීමේ ක්‍රමයෙන් අහල පහල සිටින කන් ඇහෙන හැම දෙනාමත් මේ පණිවිඩය දැනගන්නා නිසා මේ ක්‍රමය පෝස්කාඩ් යැව්වා වගේය. ඒ නිසා අනික් අය දැනගැනීමට උවමනා නැති පණිවිඩ යැවීමට යොදාගන්නේ පොඩි ළමයින්ය. එවැනි වෙලාවට තමුන්ගේ ගෙදර ඉන්නා පොඩි එකෙක්ට පණිවිඩය කියා පණිවිඩය ලබන ගෙදරට යවන්නේය. අපේ අම්මාද විටින් විට 

“කරුම්මාමලෑ ගෙදෙට්ට ගිහිං නැංදෑං අහල වරෙං ................................... කියල”

ආදී ලෙස පණිවිඩ මා අතේ යවයි. සමහර විට ඒ ගෙදර සිටින ළමයි සමග සෙල්ලමට වැටී පණිවිඩය අමතක වීමෙන් වෙනත් යමක් ඇසීමට ඇති අවදානම නිසා කොල කෑල්ලක අදාල පණිවිඩය ලියා යැවීමටද සිදුවේ. මගේ ඉස්කෝලේ පොතක මැද පිටුවෙන් කෑල්ලක් ඉරාගෙන පැන්සලකින් ලොකු අකුරින් අදාල පණිවිඩය ලියා හතරට නවා 


“මේග්ගිනිහිං චන්දෙරෙ මාමලෑ නැංදට දීහං”


කියා යවනු ලැබේ. සමහර විට ඒවාට පිළිතුරුද මෙවැනි තුණ්ඩු කෑලි ලෙසම ලැබේ.


අපි දුර සිටින නෑයින් සමග විස්තර හුවමාරු කරගන්නේ ලියුං වලිනි. ලියුමක් අපේ නමට ලැබෙන්නේ තැපැල් කන්තෝරුවට හෝ ලිපිනයේ ලියා ඇති ****** ස්ටෝර්ස් බාරේ නම් කඩයටය. ලියුමක් ඇවිත් ඇති බවට කාගෙන් හෝ ලැබෙන පණිවිඩය අනුව කන්තෝරුවට හෝ අදාල කඩයට ගොස් එම ලියුම බාරගත යුතුය. ඒ නිසා ලියුමටද ටෙලිපෝන් පණිවිඩයකට තරම්ම දින ගණනක් ගතවේ.

අද මාර්තු 27 බදාදා,
නිවසේදී,
බුදු සරණයි!
ලොකු අයියා වෙත,
.........................................................................
.........................................................................................................
කියා පටං ගැනෙන මේ ලියුංවලින් බොහෝවිට කියවෙන්නේ තමුන්ට ඇති හිඟපාඩු ගැනත් පුළුවන්නං සල්ලි කීයක් හරි දෙන්න කියා ඉල්ලීමත්ය. එහෙමත් නැතිනම් අපේ වෙනත් නෑයෙක් අපට විරුද්ධව කියූ කළ දෙයක් පිළිබඳ කේලමක්ය. මෙවැනි ලියුමක් ලැබුනොත් කේලම හගිස්සවීමට ගොස් පොලිස් පොතට ඇන්ටරියක් හෝ ගෙදර ගෝරියක් සුවර්ය. එවැනි අවුරුදු ගානක් පරණ ලියුං අල්මාරි, කොට්ට උර ආදියේ හංගාගෙන සිට උවමනා වෙලාවන් වලදී ඉදිරිපත් කර ගෝරියක් පටං ගැනීම ලියුම ලැබූ අයගේ සිරිතකි.


තවත් ලියුං එවන කොට්ඨාසයක් වන්නේ අපේ හතුරෝය. එළිපිට මුහුණට මුහුණලා කාකොටා ගැනීමට බැරි අය අමු තිත්ත කුණුහරුප සහිතව පුස්කැප් කොල පුරවා පෑනේ තින්ත ඉවරවන තුරු බැනුම් ලියා එවන එවැනි ලියුම්ද කෙලවර වන්නේ පොලිස් පොතෙනි. අපේ තාත්තාගේ ලොකු අක්කා කෙනෙක් එවැනි ලියුම් ලියා ප්‍රසිද්ධියට පත්වී තිබූ බව මට මතකය. උන්දෑ එවූ එවැනි අමු තිත්ත කතා සහිත ලියුම් වගයක් අපේ ගෙදර අල්මාරියේ ලාච්චුවක අඩියේ හංගා තිබී නෑදෑයන් අතර ගෝරියක් ඇතිවූ අවස්ථාවකදී අම්මා විසින් එහි සමහර කොටස් උපුටා දක්වන ලද බව මට මතකය.


මේ හැරුණු විට අපට යහපත් යමක් ලියුම්වලින් නොලැබුණි. කලාතුරකින් හෝ රස්සාවකට කැඳවීමක් ලැබෙන, යම් ප්‍රතිළාභයක් හෝ තෑග්ගක් ලැබෙන බවට ලියුමක් අප නමට ලැබුණහොත් ඒවා කන්තෝරුවේදී හෝ අදාල ***** ස්ටෝස් කඩයේදී අතුරුදහන් වන්නේය.

Sunday, November 20, 2016

ගොඩ වෙදකම් හෙවත් Land healthcare

කුඩා කාලයේදී බෙහෙත් ගෙනෙන්න යන්නට අපි පුදුමාකාර ලෙස කම්මැලියෝ වෙමු. බල්ලාට නිදාගැනීමට පෙර වට තුනක් කැරකී වකුටුවීමට උගන්වන්න ඕනෑ නැතුවාක් මෙන්ම අපිටද උප්පත්තියෙන්ම බෙහෙත් සමග ජම්මාන්තර වෛරක්කාර වීමට උගන්වන්න උවමනා නැත. මෙයිනුත් අපි දොස්තර බෙහෙත් වලට විශේෂයෙන්ම අකමැති වන්නේ හැම බෙහෙත් පෙත්තක්ම හල්කඳුරු තිත්ත බැවිනි. එනමුත් අපේ අම්මලා කැමතිම ඉතාමත් තිත්ත බෙහෙත් වලටය. අපට ලෙඩක් හැදුනවිට බලෙන් ඇදගෙන ගොස් බෙහෙත් ගෙනාවත් එයිට අමාරු කරුණක් වන්නේ බෙහෙත් පෙවීමය.  මුල්ම කාලයේ අම්මා බෙහෙත් ටික කුඩුකර එය මේස හැන්දට දමා දියකර ගෙන එයින් බිඳක් ඇඟිල්ලට ගෙන තොලගා බලයි. ඉන්පසු ලෙමන් පප් ඇඩ් එකේ ඉන්නා ගෑනි එයින් ඉස්කෝත්තක මුල්ලක් ලෙවකා 'ම්ම්ම්ම්ම" කියන්නාක් මෙන් මා රවටන්නට


"පැනීම පැනි රහයි"


කියා චාටුවෙන් ළඟට ඇවිත් අසුරු සැනින් බෙහෙත් හැන්ද මගේ ගිරියේ ඔබන්නීය. නමුත් මේ කූට වැඩය දෙතුන් පාරකට වඩා කරන්නට නොහැකි වූයේ කිසිම බෙහෙතක් පැණි රහ නොමැති බව මගේ අත්දැකීම් මට කියාදුන් බැවින්. බෙහෙත් පැණි වර්ග අතරින්ද කිහිපයක් හැරුණු විට අනෙක්වා තිත්ත රසමය. ඔබ එහි තද රතුපාටට හෝ පැණි පාටට කිසිවිටකත් රැවටිය යුතු නොවේ. ඒවා පැන්ටා පාට, නෙක්ටෝ පාට ආදී කුමන පාටින් වෙස්වලාගෙන පැමිණියද බෙහෙත් පැමිණෙන්නේ සීනි හොරෙන් කන අපට තිත්ත රසින් දඬුවම් කිරීමටය. පාමසිවල ඇති එකම පැණිරස බෙහෙත මෝරගුලි පමණි.


මා කුඩා කාලයේ මට බෙහෙත් පෙවීමට වී කුරුණි හත අටක ගොයම් කපන්නට තරං සෙනගක් අවශ්‍ය වේ. පළමුවෙන්ම බෙහෙත් පෙවීමට පෙර මා කැලේ පැනීමෙන් වලක්වා ගැනීමට කෙනෙක් අවශ්‍ය වේ. නැතිනම් බෙහෙත් පෙති බාග, තුංකාල් සියල්ල කඩදාසියකට දමා පිහියේ මිටේ ආධාරයෙන් කුඩුකරන විට මං පල්ලම බැස ගොස් දොලෙන්ද එගොඩ වී හමාරය. ඇඳයට හැංගී බේරෙන්නට බැරි බව මා දන්නේ එක් දිනක් එසේ සැඟවී ඇඳ යට සිටි මට අම්මා කොස්සෙන් ඇන එළියට ගන්නට උත්සාහ කර එයිනුත් බැරි තැන ඇඳේ පැදුර, කාඩ්බෝඩ් ආදිය ඉවත්කර ඇඳ පොලු තුනක්ද ගලවා මා එළියට ඇදගත් බැවිනි. එබැවින් බෙහෙත් පෙවීමට පෙර අම්මා හදිසියේම මාව කාගේ හෝ අත්අඩංගුවට පත්කරයි. තාත්තා ගෙදර හිටියොත් ඔහුට එය භාර වෙයි.


"ඔන්නොය කොලු අල්ලගන්නව බොලේ"


"හා මංඅල්ලගන්නං තමිසෙ බෙහෙට්ටික්කුඩු කොන්නොවකො"


අම්මා බෙහෙත් ටික කුඩු කරන විට තාත්තාගේ අත්අඩංගුවේ සිටින මා ගෙයි උලු උඩ ගොස් පරාල රීප්ප ආදිය යටලීත් ඔසවාගෙනම ඉගිලෙන තරම් සද්දෙන් බලියන්නට පටං ගන්නා නිසා අම්මාට අවශ්‍ය අනෙක් සෙනග පහසුවෙන්ම සොයාගත හැක්කේ "ළමයා කෑගහන්නේ මොකදැයි" බැලීමට අවට අය එක් රොක් වන බැවිනි. එවිට සියළු දෙනාම එකතුවී මගේ ශරීරයේ හෙලවිය හැකි හැම අංගයක්ම අල්ලාගෙන අම්මාට සහය වේ. අම්මා මේස හැන්දට දැමූ බෙහෙත් කුඩු ටික යංතං ඇල්වතුරෙන් දියකර එක අතකින් රැගෙන මට පිටුපසින් පැමිණ අනෙක් අතේ වැලමිටෙන් මාගේ බෙල්ල මුලින්ම හිර කරගෙන අල්ලා ගන්නේ මට හෙලවීමට හැකි අවසාන අංගය වන ඔලුවත් නිශ්චල වස්තුවක් බවට පත්කරමිනි. මේවා වසර ගණනාවක අත්දැකීම් තුලින් අපේ අම්මා උගත් කාරණාය.

"ඕං මැයිකො අල්ලහං ඕකෑ අත්කෙටි දෙකෙං"

"නංගියෙ උඹ අල්ලහං අඬු දෙකෙං. නැත්තං උඩ පයිනව"

"බොලේ තවුසෙත්තෙනවකො මේ මූවාම්බං කොරගන්න"

දැන් මට ඇති එකම අවස්ථාව කට ඇරීම ප්‍රතික්ෂේප කර දත් කුට්ටම පූට්ටුකර ගැනීම පමණි. නමුත් හසල අත්දැකීම් ඇති අපේ අම්මා නොසැලෙන්නීය. උන්දෑ හැන්දේ අග කොටස මගේ දත් කුට්ටම වෙන්වන සිහින් සරල රේඛාවට තබා හැන්ද ලීවරයක් ලෙස භාවිතා කරමින් අලවංගුවකින් කිරි අල පඳුරක අල උලුප්පන්නාක් මෙන් මගේ දත් කුට්ටම වෙන් කරන්නට උත්සාහ දරන්නීය. කිහිප වරක්ම හැන්ද විදුරුමහේ ඇනීමෙන් පසු සිය උත්සාහය සාර්ථක කරගන්නා උන්දෑ දත් කුට්ටම අතරින් යන්තම් හැන්දේ තුඩ රිංගවා ගනී. මෙය ප්‍රමාණවත් බව දන්නා අම්මා ඒ හිඩසෙන් හැන්ද ඇලකර බෙහෙත් සියල්ල මගේ කටට ඔබන්නීය. හැන්දේ අඩියේ ඇති බෙහෙත් ඩිංගද මාපටැඟිල්ලෙන්ම හූරා හැන්ද ඔස්සේම යවන්නීය. දැන් මට බෙහෙත් වලින් පලිය ගත හැක්කේ ඒවා නොගිල සිට නිදහසක් ලද විගසම ඒවා දොට්ට විසික් කිරීමෙනි. නමුත් ඊට ඉඩ නොදෙමින් අම්මා මගේ නහය මිරිකන්නීය. එවිට මට මගේ කටින්ම හුස්ම ගන්නට වෙයි. එවිට කට ඇරෙනවා නොවැ. මාරුවෙන් මාරුවට නහය මිරිකීමෙන් සහ හැන්ද ගිරියේ ඇනීමෙන් බෙහෙත ගිරියෙං පල්ලට දොක්කං කිරීමට අම්මාට ඒ ඉඩ ප්‍රමාණවත්ය. 

අම්මා පමණක් ගෙදර ඉන්නා දවස්වලට වඩාත් ඥානවන්තව කටයුතු කිරීමට ඇයට සිදුවේ. එවිට ඇය මාව කොහේට හෝ ගාල් කරයි. 

"කන්ද උට්ට ගිහිං බල්ල වරෙං කරුම්මාමලෑ කඩේ ඇල්ලද කියල"

"පල්ලමට ගිහිං බල්ල වරෙං කුන්දු ගහත්තීනවද කියල"

මම එවැනි ගමනක් ගොස් එන කාලය අම්මාට ප්‍රමාණවත්ය. ඇය එවිට බෙහෙත් කුඩු කර දියකරගෙන හැන්දට දමාගෙන සූදානම්ව සිටී. මම ගෙට එනවිට දොර මුල්ලේ සැඟවී සිටින ඇය එකවරම මට පිටුපසින් ඇවිත් මගේ බෙල්ල හිරකරගෙන අල්ලා හැන්ද ගිරියේ ගසන්නීය. මෙය සමහර විට අති සාර්ථක වන අතර සමහර විට අන්තිම අසාර්ථක වේ. කෙසේ නමුත් බෙහෙත් ටික ගිරියෙං පහලට යාමෙන් පසු සිංහ වෙස් ගන්නා මම සීනි හැඳි හත කටක්ම කටේ ඔබාගෙන අඬමින්, මට බෙහෙත් පෙවීමට ආ සියළු දෙනාටම පලු විසිවෙන්න බනිමින් පැය බාගයක් පමණ අඬන්නෙමි.


බෙහෙතේ හොඳකම මැනගන්නේ බෙහෙත් බොන කෙනා දක්වන ප්‍රතිචාරයෙනි. සමහර බෙහෙත් වර්ග බීමේදී මම එතරම් විරෝධයක් නොපෑවොත් අපේ අම්මාට ඒ බෙහෙත අල්ලන්නේ නැතිය.


"වැඩහ්නෑ නංගියෙ ඒ බෙහෙත්. සෙඩ්ඩෙග්ගාව මහත්තයැං ගෙනාවෙ. මේ මූ නිකම්ම බොනව ඒවනං. ඩිංගක්වත් තිත්ත නෑ. ලෙඩේ එහෙම්මොමයි."


එවිට චන්දරේ මාමලෑ නැංදා හොඳ බෙහෙත් ජාති ගැන කියන්නේය.


"අපේ නෝනට ගෙනාව බෙහෙත් කුමුදු මැඩම්ගෙන්. කැස්සට. එ් බෙහෙත් නං නියමයි. අපෙ නෝන කෙල්ලට ඒවයිං බෙහෙත් පොවන්න අපි දෙන්නයි සුවර්ණ නංගියි තුන්දෙනාම ඕනි. ඒ තරං තිත්තයි. හැබ්බැයි ටග්ගානකොට දෙවේලෙං සනීපයි."


අපේ තාත්තාද දොස්තර බෙහෙත් වර්ජනය කරන්නෙකි. දිනපතා කසිප්පු පානය කිරීමෙන් ඇඟේ පවතින ලෙඩ රෝග පුච්චා අරින බව ඔහුගේ මතයයි. එමෙන්ම ඔහු ඇඟේ ඇති අපද්‍රව්‍ය ඉවත්වීමට මාස දෙකකට තුනකට වතාවක් අරලු පෙති කිහිපයක් බී බඩ එළියට ඇර දමයි. හිතුනොත් මාස හය හතකට වතාවක් නහයේ පොල් කෙන්දක් ගසාගෙන අවට කඳු බොකලං දෙදරවන තරම් කිඹුහුම් විසි පහක් තිහක් යවා ඇඟේ ඇති 'හෙම්බිරිස්සා ගතිය' ඉවත් කරයි. මා දන්නා පරිදි ඔහු ලෙඩ වී ඇත්තේ කිහිප වතාවක් පමණි. ඒ දිනවලට ඔහුට ගොක් කොල පමණක් නොව තැඹිලි වලුද පේන තරම් අසාධ්‍ය වේ. එවැනි අවස්ථාවලදී බෙහෙත් ලෙස පාවිච්චි කරන්නේ් කඩෙන් ගෙනෙන පස් පංගුව පැකට්ටෙකක් පමණි. ඔහු කියනා ආකාරයට අපි ලෙඩවන්නේ පොලෙන් ගෙනෙනා එළවලූ කෑමෙන්ය. තාත්තා කියන විදිහට ඔහුට අසාධ්‍ය තත්වයේ සිටින විට ලෙඩෙන් ගොඩ ඒමට නොහැක්කේ කසිප්පු ඩිංගක් බීමට යන්නට තරම්වත් ඇඟට පණක් නොමැති බැවිනි.


මේ ආකාරයෙන් ඉංගිරිසි බෙහෙත් හෙවත් දොස්තර බෙහෙත්වලට අකමැති අයට අපේ ගම සහ අවට ගම්වල විකල්ප වෙද්දු සිටිති. මේ අය ගොඩ වෙද්දු නම්වේ. දැන් එක එක වර්ගයේ රෝගවලට විශේෂඥ දොස්තරවරු සිටින්නාක් මෙන් එක එක ලෙඩේට අදාල ගොඩ වෙද්දු හෝ ගොඩ වෙදකම් තිබේ.


අත පය හෝ සර්වාංගයම හෝ පිච්චුනොත් වහාම කළ යුත්තේ එය සීතල වතුරට හෝ අයිස් වලට අල්ලා සිසිල් කිරීම බව වර්තමානයේ දොස්තරු පවසති. නමුත් ඔබ ඒ පට්ට බේගල් පිළිගත යුතු නැත. අතක් පයක් පිලිස්සුන විට වතුරට ඇල්ලුවොත් දිය පට්ටා මතුවන බවත් ඒ නිසා පිච්චුන තැනකට වතුර කිට්ටු කරන්නවත් හොඳ නැති බව අපේ ගමේ මතයයි. එබැවින් අතක් පයක් පිලිස්සුනු අපේ ගමේ අයෙක් කරන්නේ කා සමගවත් කතා නොකර පිලිකන්නට දිවීමයි. එසේ හනිකට දිවයන්නේ පිළිස්සුනු කොටසට මුත්‍රා කර ගැනීමටයි. එය කෙමකි. එවිට දිය පට්ටා එන්නේ නැත. ඕනෑ නම් කෝමාරිකා පිල්ලක් කඩා පිච්චුනු තැන ගාගත හැකිය. පිලිස්සීම බරපතල නම් පියදාස ආතා සොයාගෙන යා යුතුය. මෙවිට තමුන්ට සෑහෙන සද්දෙට කතා කිරීමට නොහැකි නම් එවැනි 'හයියෙන් බලියන්න' පුළුවන් අයෙක්ද කැටුව යා යුතුය. එසේ ගොස් පියදාස ආතාගේ කනේ මයිල් අපේ කට ඇතුළට රිංගන තරම් ආසන්නව ඔහුගේ කනට අපේ කට කිට්ටු කර අසල ගම් හතකට ඇසෙන පරිදි හඬනගා ලෙඩේ කිවයුතුය. එවිට පියදාස ආතා කොල වර්ග, මල්, අතු, පොතු, දඬු, මුල් ආදිය කඩාගෙන අවුත් බෙහෙත් සාදා තුවාලයේ බැඳ, සිය බෝතල් රාක්කයේ තිබෙනා කැරපොතු පාට බෙහෙත් තෙල් ගා ලෙඩා ගොඩ දමන්නේය. ගමේ මිනිස්සුන්ගෙන් මොනයම් විදිහකින්වත් සල්ලි නොගන්නා නිසා ගුරු පඬුරු වශයෙන් දුංකලයක්, හුණු, බුලත් ආදිය ටිකක් පමණක් ප්‍රමාණවත් වේ. මා දන්නා කාලයේ එසේ ගොඩ දැමුනේ අපේ ගෙවල් ලඟ නැන්දෙකි. උන්දෑ කුස්සියේ වැඩපලෙහි යෙදී සිටියදී සිදුවූ අත්වැරදීමක් නිසා උරණ වූ නොසන්ඩාල කුප්පි ලාම්පුව වංගෙඩිය මත සිට උන්දෑගේ තට්ටමක් උඩට පැන එය සම්පූර්ණයෙන්ම පුච්චා දැමුවේය. අන්තිමට පියදාස ආතා උන්දෑගේ තට්ටම ගොඩ දැම්මේ දවසට දෙවරක් කුකුල් පිහාට්ටෙන් තෙල් ගෑමෙනි.


සර්පයින් දෂ්ඨ කල විට හෝ බල්ලන් කෑ විටද බෙහෙත් කරන අය අනෙක් ප්‍රදේශවල සිටියද අපේ ගමේ සිටියේ නැත. පණිවිඩය කියන්නාට ටොක්කක් ඇන කාපු සතා මොකාදැයි කියන ජාතියේ ඉසිවරු නම් හිටියේම නැත. අපේ තාත්තාවද වරක් බල්ලෙක් සපාකෑ නමුත් ඔහු බෙහෙත් ගත්තේ නැත. ඔහුට පිස්සු බලු රෝගය හැදුනේද නැත. තාත්තා කියන ආකාරයට කසිප්පු වලින් බලු විෂ මර්දනය වන්නේලු. අපේ අඬන පුංචම්මාද කුඩා කාලයේදී බල්ලෙක් විසින් සපාකනු ලදුව බල්ලෙක් මෙන් බුරන්නටත් දුටු දුටුවන් සපා කන්නටත් පටන්ගත් බවත් පසුව 'පුරාම ඈත' පන්සලක හාමුදුරු කෙනෙක් උන්දෑව සුවපත් කල බවත් අපේ ආතා කියා ඇත. නමුත් කල්ගතවී බෙහෙත් කළ නිසා ලෙඩේ අහුකොන් ඉතුරුව ඇති බවත් දැනටත් උන්දෑ නිතරම චුරු චුරු ගාන්නේ එනිසා බවත් ආතා කීීවේය.


මෙවැනි ගොඩ වෙද්දුන්ගෙන් සමහරු ප්‍රසිද්ධ එක් එක් ලෙඩ සඳහා පමණි. ඒ අය සතුව ඇත්තේ එක බෙහෙත් වට්ටෝරුවක් පමණි. මේ වට්ටෝරුව රහසක්ව තබා ගනිමින් සිය පට්ටම ආරක්ෂා කරගන්නා ඔවුන් කෑල්ලක් කෑවත් එය පරම්පරාවෙන් පිට නොදෙති.


සමහර ලෙඩ සඳහා බෙහෙත් කවුරුත් දනී. නමුත් ඒවාට අවශ්‍ය අඩුමකුඩුම තිබෙන්නේ කිහිප දෙනෙකු ළඟ පමණි. අලි හක්කක් ඇත්තේ මහවැලියේ වැඩ කළ පියදාස මාමා ළඟ පමණි. එබැවින් කම්බුල්ගාය හැදුනොත් උරච්චි කර ගා ගැනීම සඳහා අලි හක්ක ඉල්ලාගෙන ඒමට එහිම යා යුතුය. නැතිනම් දෙහි කලවම් කළ නිල් කුඩු ගා ගත යුතුය.


රෝහලෙන් සනීප කළ නොහැකි ලෙඩ සඳහාද බෙහෙත් අපේ ගමේ තිබේ. ඔබ සිහිනෙන් බිය වන්නේ නම්, බල්ලෙකුට හෝ හොල්මනකට බය වුනේ නම් දොස්තරලා ළඟ ඒවාට බෙහෙත් නැත. එවැනි ලෙඩ වලට බෙහෙත් තිබේදැයි විමසිමටවත් කවුරුත් දොස්තරු වෙත යන්නේද නැත. එවැනි අවස්ථාවල පිහිටට ඉන්නේ පීටර ආතාය. පීටර ආතා යනු හංසනීගේ සීයාය. මාස දෙක තුනකට වතාවක් හීනෙන් බයවීමද, බල්ලන්ට බයවීමද, ගොම්මං වෙලාවට හෙලවෙන ගස්වැල් අතු ඉති වලට බයවීමද, බඩේ අජීර්ණ අතිවීමද නිසා මට පීටර් ආතාගේ ප්‍රතිකාර අවශ්‍ය වේ. අපේ අම්මාගේ ඉල්ලීම පරිදි හැන්දෑ වරුවක අපේ ගෙදරට ගොඩවදින පීටර ආතා සිය ඉනේ එල්ලා ඇති ටින් එක නොපෙරලෙන පරිදි පුටුවේ කොනක වාඩිවී මට ඇති අසනීපය අනුව බයවීමක් නම් තෙල්ද, අජීරණයක් නම් දෙහිද මතුරා දෙයි. අම්මා කුස්සියේ තිබෙන පොල්තෙල් කුප්පියෙන් තෙල් ඩිංගක් පීරිසියකට දමා කහ පොඩ්ඩක් මිශ්‍ර කර සාදාදෙන තෙල් ටිකට රහසින් මතුරමින් වරින් වර "හක්"සහ "පොහ්" කියමින් එයට පිඹින පීටර ආතා අවසානයේ එයින් ටිකක් මගේ ඔලුවේ තවරයි. මේ ආකාරයටම "හක්"සහ "පොහ්" කියා පිඹිමින් අජීරණ සඳහා දෙහිද මතුරා දෙයි. ඒ හැම "හක්"සහ "පොහ්" එකකින්ම විදුරුවේ ඇති ද්‍රාවණ ප්‍රමාණය ඉහල යන බවද කිව යුතුමය. පීටර ආතාටද පුවක් ගෙඩි හත අටක් සමග දුංකල ඉරුවක්, බුලත් ටිකක් පමණක් දීම සෑහේ.


මේ අතරේ අරුම පුදුම වෙදකම්ද ඇත්තේය. ඩැයිබර මාමාගේ වෙදකම්ද මෙයින් එක් අරුම පුදුමයකි. අතක පයක තුවාලයක් වූ විට ඔහු එයට දමන්නේ පෙට්ටල් හෝ බ්‍රේක් ඔයිල්ය. ඒ වෙදකම පත්තියං වන්නේ ඔහුටම පමණක් වන අතර අනෙක් අයට ඒ වෙදකම දොයිත්තකටවත් විශ්වාස නැත. අපේ පවුලේ වැඩිමහලු අය තුවාල බෙහෙත් ලෙස යොදන්නේ කෝපි දළු හෝ ලෝකපාලු දළුය. නමුත් මා වැනි බාලයන් කුඩා කාලයේ දනිස් හමගහගන්නා හැමවිටම පුංචම්මා විසින් හත් අට දෙනෙකු එකතු කොටගෙන මා සම්පූර්ණයෙන් නිශ්චල වන පරිදි ශරීරයේ එක් එක් කොටස භාරව එක් එක් අය පත්කර 'සර්ජිකල් ඉස්පීට්' නමැති අහස පොළව නුහුලන ද්‍රාවණයෙන් තුවාලයේ ඇටකට්ට දක්වාම සෙමින් සෙමින් සුද්ද කරන්නේ මගේ භාෂා හැකියාව මොනවට විදහා දක්වමිනි. ඉන්පසු තවත් ගම්මිරිස් හා සමාන දැවිල්ල ගන්නා ක්‍රීම් වර්ගයකින් තුවාලය පුරවා පුළුන්වලින් වසා ප්ලාස්ටර් කෑලි හතරක්ද ගසන්නේ ඊළඟ වතාවේ බෙහෙත් දැමීමට ප්ලාස්ටරය ගැලවීමේදී තුවාලය පුරා මුල් ඇද ඇති පුළුන් කෙඳි වලින් වැඩි ත්‍රාසයක් සමග උපරිම වින්දනයක් ලබාදීමටය.


දත් කැක්කුමට අරක්කු තැබීම නිර්දේශ කෙරේ. තවත් සමහරු එහි දත්බෙහෙත් පුරවති. නමුත් අපේ මාමාගේ බිරිඳගේ පාර්ශවයේ අය කරන්නේ ඇදුම් දෙන දත් කෝම්බ ඇතුලට දැල්වූ ගිනිකූරක් ඇතුල් කිරීමයි. මෙයින් ක්ෂණික සහනය ලැබෙන බව කියතත් එය මෙතෙක් මා විසින් අත්හදා බලා නැත. ඒ වෙනුවට කුරුඳු තෙල් හෝ සිද්ධාලේප ආලේප කිරීම නම් බොහෝ දෙනෙක් කරති.


මෙලෙසම සමහර සුළභ ලෙඩ වලට බෙහෙත් කඩෙන් මිලදී ගැනීමට හැකියාව තිබුණි. උණ, හෙම්බිරිස්සා කොයිකටත් පැන්ඩෝල්ය. නැත්තං පස්පංගුවය. කැක්කුං සියල්ලට ඩිස්ප්‍රීන්ය. බඩේ අමාරුවලට කිරිමරාජ ගුලි හෝ අසමෝදගම්ය. නමුත් පොඩි අයගේ බඩේ අමාරුවට මොරිසන්ස් ග්‍රයිප් මිශ්‍රය. මොරවක මෙඩිටෝ කියා සැරැති බීම ජාතියක්ද තිබුණු නමුත් එය බෙහෙතක්ද කියා මතක නැත.




කිසිදා නොවෙනස්ව පවතින ක්‍රීම්රාජ පැකැට්ටුව


කලින් කලට අපේ තාත්තා නම් දශමුලාරිෂ්ඨය නම් බීමක් ගෙනැවිත් කෑමට පෙර එයින් වීදුරු කාලක් පමණ ගිල දමයි. තැලුං, ඇඹරුං, කෙටුං, උලුක්කු සියල්ලට 'කැක්කුං ඔක්කොම නස්නාලේපේ' හෙවත් 'සිත්තං දක්වන සිද්ධාලේපේ' ය. කැස්සට නිවාරන් 90 ය. ඒවා නිකං ජොලියටත් බොන්නට පුළුවන. තුවාලවලට පුළුං කෑල්ලක් සමග එන දෑකැත්ත ලකුණ දරණ 'නාහල්ලේ තෛලය'ය. මෙතැන සඳහන් කළේ කලක් තිස්සේ පාවිච්චි වන හොර බෙහෙතක් යැයි කිව නොහැකි වර්ගයේ ඒවාය. නමුත් කලින් කලට මතුවී පසුව හොයාගන්නටවත් නැතිවන බෙහෙත් ගුලි, තෙල්, ආලේප, පෙති ආදිය නැතුවා නොවේ. කලක් 'සීතාරාම ගුලිය' නම් බඩේ කැක්කුං ගුලි විශේෂයක් අපේ පුංචම්මාගේ කඩේ තිබුණු නමුත් එයින් එකක්වත් විකුණුනේ නැත.






මෙයිට අමතරව පොල දවසට විටින් විට කඩාපාත්වන තෙල් බෙහෙත් වෙලෙන්දන් නොයෙක් බෙහෙත් වර්ග, තෙල් වර්ග විකුණූහ. මහා බලැති, මහා අනුහස් ඇති ලෙස සඳහන් එම තෛල රාජයන් කුඩා කුප්පිවල දමා කිරල ඇබ ගසා තිබෙන අතර බෙහෙත් ගුලි සහ කල්ක රාජයන් කඩදාසි පැකැට්වල දමා අලවා ඇත. තමුන් වෙලෙන්දෙකු නොව වෙද මහත්මයෙකු බවත්, සමාජ සේවයක් ලෙස සලකා බෙහෙත් වර්ග ගම් නියම්ගම් වල බෙදාහරින බවත්, තමුන් ගෙනා මේ වටිනා බෙහෙත නැවතත් කල්ප කාලාන්තරයකට ඇහැටවත් දකින්නට නොලැබෙන බවත් "වාසනාවන්තයන් බොහොම ටික දෙනෙකුට" පමණක් ලබාදීමට එයින් ස්වල්පයක් පමණක් තමුන් ළඟ ඇති බවත් පවසා තව කයිවාරුවකුත් ගැසීමෙන් සෙනග රැස් කර ගැනීමට මේ වෙලඳුන් සමත්ය. මේ දිව්‍ය අවුසදයෙන් එකක් හෝ සිය නිවසටත් ගෙනයමියි සිතාගෙන පොරකන සෙනග අතර තෛල රාජයන් සහ කල්ක රාජයන් සැනෙකින් අලෙවි කර දමන වෙලෙන්දා සැනෙකින් අතුරුදහන් වෙයි. රටක් රාජ්‍යයක් ලද්දාක් මෙන් ඒවා ගෙදර ගෙන එන අය ලෙඩක් දුකකදී ඒවා පාවිච්චි කිරීමෙන් එහි ඇති අමුතු බලයක් නැති බව වටහා ගනී. සමහරු ඒවා බොහොම උජාරුවෙන් අනුන්ට දී සිය නමද සවුත්තු කර ගනී. අන්තිමට බෙහෙත විකුණූ වෙදාද සොයාගත නොහැකි නිසා


"අනේ මක් වෙනවෑ. රුපියල් විස්සනෙ."

කියා හිත හදාගනී.

තවත් ක්‍රමයක් බස්වලට නගිනා පොත් වෙළඳුන් ළඟ ඇත. පොත් තුනම රුපියල් පනහට දෙන මොවුන් ළඟ එක එක ලෙඩට අත් බෙහෙත් වර්ග දැක්වෙන පිටු විස්සේ තිහේ පොත් පිංචවල් ඇත. කැඩුම් බිඳුං, වසංගත, සර්ප දෂ්ඨ, සුවකිරීමට කල්ගතවන ලෙඩ ආදිය උලුප්පා දක්වා ඇති එවැනි එකිනෙකට වෙනස් පොත් පහක් හයක් හොයාගත්විට ඕනෑම දරුණු ලෙඩකට වුව බෙහෙත් කිරීමට පුළුවන. අනුන්ට ලෙඩක් දුකක් වූ විට සිය නිවසේ ඇති එවැනි අක් බෙහෙත් පොතක එම ලෙඩේට පිළියම සඳහන් පිටුව පෙරලාගෙන වෙදකම් කරන්නට යන වෙදහාමිනේලාද අපේ ගමේ විරල නැත. නමුත් ඔවුන් එම පොත්වල සඳහන් අත් බෙහෙත් තමුන්ට හෝ පවුලේ අයට සිදුකරගන්නේ නැත.

Saturday, November 12, 2016

How to go to temple හෙවත් පන්සල් යන හැටි

ඔබත් පන්සල් යාමට කැමතිද? වයසට ගොස් හැරමිට්ටෙං ඇන ඇන පන්සල් යනවාට වඩා, ‘මාව පන්සල් ඇරං පලෙයාං‘ කියා ළමයින්ට කරදර කරනවාට වඩා පුළුවං කාලේ පන්සල් යාම හොඳය. එබැවින් තරුණ වයසේ ඉන්න පන්සල් යන්ට කැමති ඔබට පරිශීලක අත්පොතයි මේ.


පන්සල් යාමට හොඳ ඉරිදාය. සෙනසුරාදාට පන්සල පැත්ත පලාතේවත් යාම නොකළ යුතුය. එදාට පන්සලේ බෝධිපූජා බහුලය. එබැවින් මල් ගනං වැඩිය. රුපියල් සීයකට ලැබෙන්නේ මල් හයක් හෝ හතකි. එබැවින් පන්සල් යාමට ගැලපෙන දවස ඉරිදාය. ඉරිදාට පොලේ යාම නිසා ඉතුරුවන මාරු සල්ලි පන්සල් යාමට යොදාගත හැකිය. මල් කඩේ අය සෙනසුරාදාට මල්වලින් අධික ලාභ ලබා ඇති නිසා සේල් මිලට මල් ලබාගත හැකිය, අනෙක් හේතු පසුවට වැටහෙනවා ඇත.


ඉරිදා දවල් පොලේ ගොස් ආපසු කහට ඩිංගක් බී ඔබගේ ප්‍රියතම යකඩ කෑලී කැඩෑලීම, නව නිර්මාණ නිපදවීම, පොත් කියවීම, පත්තරේ බැලීම, ආදී ඕනෑ දෙයක් කළ හැකිය.


“බත් කන්නැද්ද? මටනං හොඳටෝම බඩගිනියි. ඔන්න මං නං කනවා. බත්තෙක බෙදලා මේසෙ උඩ. මේ සූකිරිය මේසෙ උට්ට පයින්න කලිං කන්න. මට බෑ මේක පරිස්සං කරන්න.“


කියා කැඳවීමක් ලැබෙනු ඇත. එවිට ඔබ ලියූ දේ පබ්ලිස් කර දමා ඇවිත් බත් ටික කෑ යුතුය. ඒ අතර ස්වප්නාගේ ගෙදර අය පසුගිය සඳුදා සිට සිකුරාදා වෙනතෙක් කළ කීදේ, පුස්කර් පොලීසියේ අයගේ විස්තර සහ හනුමන්තා පාරේ ඕපාදූපද බැලිය හැක. බත් කෑ විගසම ඔබේ බිරිඳ

“උදේ හිටං වැඩකල්ල හරිම්මහංසියි“

කියා ඇඳ උඩට වැටී මොහොතින් ග්‍රිස්ලි හිම වලසා මෙන් නිදන්නට වෙයි. එවිට ඔබද ඒ අසලට වී සිටිය යුතුය. ඔබේ ඇස පියවී තප්පර දහයක් යන්නට මත්තෙන් ඔබ උඩ විසික් වී ඇහැරී ටෙලිපෝනය ගෙන වෙලාව බැලූ විට හවස හතරට වී ඇත. අපට නින්ද යනතෙක් බලාසිට වේගයෙන් සිය කටු කරකැවීමට මෙලොව පවතින සියළු ඉරිසියාකාර ඔරලෝසු ක්‍රියාකරති. දැන්  පන්සල් යන්නට හොඳටෝම පරක්කු වී ඇත. ඉතින් ඔබ පෙම්වතෙක්ව සිටි අවදියට සිතින් සහ වචනයෙන් යා යුතුය.


“සුදූඌඌඌඌඋ... නැයිටින්න... පන්සල් යමු නේද?“


“ඤ්හ්ක්“


“මැණිකේ.... නැයිටින්න..... පන්සල් යන්න ඕනි නේද දැං“


“හල්වල් ලිංඤ්හ්“


“යං අනේ යං අදවත් නැත්තං හෙට යන්න වෙන්නෑ“


“ඥිඩාගල්ඩෙල්කොවනෙ. තාං හත්රුනෙහ් නැහ්ං“


“හතර පහුවෙලා දැං. හතරයි දහයයි.“


“බොර්නොක්යං“


“මේ.“


ඔබ දුරකථනයේ තිරය ඇගේ එක ඇහැක ඇහිපිහාට්ට අස්සෙං රිංගවා ඇයට වෙලාව පෙන්විය යුතුය. ඇය ලාම්පුතෙල් වැදුනු ශිවන්‍යා මෙන් උඩ විසිවී අවදි වනු ඇත.


“ඇයියනේ මට ඇහැරෙව්වෙ නැත්තෙ.“



“මං කොච්චෙල්ල කතා කෙරුවද? ඔයානෙ සංඥක දයන්න වගේ වකුටු ගැහිල නිදාගත්තෙ“


“අනෙප් කටවහං ඉන්න. මට ඇහෙන්නෙපෑ කතා කෙරුවනං. ඔන්න එහාට වෙන්න මට මගෙ කොණ්ඩ බූල හොයාගන්න“


දැං ඇය දුම්මල වරම අතට ගෙන හැසිරෙනු ඇත. ටැංකියට වතුර පිරෙන වෑල්එක ඇරීම, නාන්නට නාන කාමරයට යාම, ආපහු දිය රෙද්ද පිටිං ඇවිත් වලං හේදීම. පන්සල් ගෙනියන මල්ල හොයාගෙන පොල්තෙල් ගන්න බෝතලයක්, ගිනි පෙට්ටියක්, කඩදාසියක්, කුඩයක් ආදිය එයට දමාගැනීම, හොරෙං ගෙට පනින්න හදන චියනාට කෝටුවක් උරුක්කර එලවීම, ටිකිරිව ගෙදර ගෙන්වීමට


“ටිකි සේසේසේසේසේසේසේසේ..ඒඒඒඒඒඑ“


කියා කෑ ගැසීම. ඒ අතර නිංදෙං ඇහැරී කෑ ගසනා සූකිරියාට නිල්පාට හාල්මැස්සන් කැවීම ආදී දහසකුත් එකක් වැඩ කරන අතර ඔබට ඇත්තේ ඇය කියනා දේකට කීකරු වීම පමණි.


"මගෙ රෙදිටික වැලේ ඇති ඇරං එන්නකො"

"මේ මගෙ හැට්ටෙ මැද දෙන්නකො මං සූකිරිට කේපී එකක් තියන කං"

"මතකැතුව ලයිසන්නිංසුවරන්ස් ටික ගන්න"


අන්තිමට ඔබ දෙදෙනා ගෙදර තිබෙනා හද්දාම කබල් සෙරෙප්පු කුට්ටම දාගෙන බයිසිකලයට නැගී ගේට්ටුවෙන් පිටවනු ඇත. ඔබේ පළමු නැවතුම වන්නේ පහළ වීදියේ පොල්තෙල් කඩේය. එතැන

රන් රිදී ආලේ-
ප කරනු ලැබේ

කියා ලියා ඇති තැනින් බයිසිකලය නවතා ගත්විට ඔබට දඩ වදින්නේ නැත. එතැනදී ඔබ පාර අවහිර වන පරිදි නැවැත්තුවා කියතොත් එයිට වඩා උදය රජ්ජුරුවන්ගේ සිංහාසනය මහපාරට පැන තිබෙන බව පොලිසියට පෙන්වාදීමට ඔබට පුළුවන. එවිට ඔබට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දඩ ගැසිය යුතුය. ඔබ සියළු පූජා බඩු ගත යුත්තේ පොල්තෙල් කඩයෙනි. නැතිනම් පන්සලේ ගේට්ටුව ළඟ පොල්තෙල් විකුණන්නා පොල්තෙල් කාලකට වැඩිපුර රුපියල් පහලොවක් ඔබෙන් විදගන්නවා ඇත. පොල්තෙල් කඩේ රුපියල් විස්සක් වන හඳුන්කූරු පැකැට්ටුව වෙනුවට පන්සලේ ගේට්ටුව ගාව වෙලෙන්දා රුපියල් පනහට විකුණන්නේ කොලය ලිහද්දීම කුඩු හැලෙන අංගවිකල හඳුන්කූරු ජාතියකි. පොල්තෙල් කඩේ ඇති කඹයක් තරම් විසාල පහන්තිර වෙනුවට ඔහු ළඟ ඇත්තේ පැරණි යට සායවල්, ජංගි රෙදි, බැනියං, ආදිය ඉරා රෝල්කර සැකසූ නූල් ඇදෙන සුරුණ්ඩං විශේෂයකි.


එතැනින් නික්ම කෙලින්ම පන්සලේ ගේට්ටුව ගාවටය. එතැනදී ඔබ බිරිඳව බිමට බස්වා තව ටිකක් එහායින් ඉඩ ඇති තැනක් බයිසිකලය නැවැත්විය යුතුය. බොහෝවිට රටකජුකාරයාට පිටුපසින් බෝඩ් ලෑල්ල ගාව බයිසිකලය නැවැත්වීමෙන් පොලිසියෙන් දඩ කොලයක් ලැබීමේ අවදානම මගහැරේ. එතෙක් රුපියල් සීයක් දී ඔබේ බිරිඳව දකුණු පස පිහිටි මල් කඩේට යැවිය යුතුය. එවිට අප හිතවත් ‘මල් මල්ලී‘ බලෙන් පුප්පන ලද මල් විස්සකට වැඩි පොදියක් වතුර බේසමේ ඔබා ඇය අතට දෙනු ඇත. වැව් වතුරටත්, ඉර එළියටත් පැය ගානක් ගතවන මල් පුබුදන වැඩය මල් මල්ලීට තත්පර ගානක වැඩකි. බේසමක ඔබා තිබෙන මල් පොහොට්ටුවක් නටුවෙන් අල්ලා කරකවමින් තත්පර දෙකක් අතගෑමෙන් පෙති හයක් සහ මැදින් කෙහෙල්මුවක් වැනි එකක් ඇති දර්ශීය මලක් ලැබේ. මේ බලහත්කාරකමට නිල් මානෙල් මල අකමැති නිසා එහි හොම්බ ටිකක් තැලීමට මල් මල්ලීට සිදුවේ. ඔබේ බිරිඳට නිදහස පිණිස මල් මිටිය ඇගේ අතට දී හෙල්මට් දෙක සහ අඩුම කුඩුම මල්ල ඔබේ අතට ගන්න. දැන් පන්සල වෙත ඇදෙන සෙනගට එකතුවන්න. මුර කුටියට පෙර ඇති මල් පඳුරු යටින් ඔබේ සෙරෙප්පු දෙක දමා යන්න. ඒවා හොරකම් කරතොත් පිටසක්වලින් පැමිණෙන්නෝ පමණි. 


ඔබ කිසිවිටකත් වන්දනා නඩ පිටුපස නොයා යුතුය. වන්දනා නඩවල සිටින අයට බොහෝ අවම පහසුකමක් නම් වැසිකිලිය. එබැවින් ඔවුන් සැමවිටම මෙවැනි නිදහස් ස්ථාන ආහාර මාර්ගික වායු නිදහස් කර ආන්ත්‍රික ඉඩ නිදහස් කරගැනීමට අවස්ථාවක් කර ගනී. එය ඔබේ නාසයට අහිතකරය. එමෙන්ම කිසිවිටකත් සුදු පැහැ සායවල් ඇඳි කාන්තාවන්ගේ ඇඳුම්වල පිටුපසින් ලාපැහැතිවට පෙනෙන දේදුනු වර්ණ බැලීම, හිර ඩෙනිම් ඇඳි ළඳුන්ගේ කලිසම්වල පිටුපස ලාංඡනය දෙස බැලීම, ඔවුන්ගේ කොණ්ඩාවල දිග පළල බැලීම, ආදිය නොකළ යුතුය. 


ඔබේ බිරිඳ මල් දෝවකයෙන් නැවතත් මල්වලට පැන් ගසාගනු ඇත. එතෙක් ඔබට අවශ්‍ය නම් පන්සලේ උඩමලුවට යන තොරණ ගාව පඩිපෙළ උඩ පොටෝ ගසන සෙනග නැරඹිය හැකිය. එවැනි රංචුවක සිටිනා ගැටිස්සියන් දෙසත් ඔවුන්ගේ අඟර දඟර දෙසත් කිසිවිටකත් නොබැලිය යුතුය. එක දුරකථනයක කැමරාවකින් ගන්නා ඡායාරූපය 'නිල් දත්' හෝ වෙනයම් ආකාරයකින් බෙදාගැනීමට හැකියාව තිබියදීත් එක එකා වෙන වෙනම ගොස් තම තමන්ගේ දුරකථනයෙන් පොටෝ ගහගන්නා ආකාරය දැක ඔබට 'සැනෙළි සංවේග' උපදවා ගත හැකිය. එවිට ඔබගේ බිරිඳ ඔබේ ඉළඇට කූඩුවට ඇඟිල්ලෙන් ඇන

"තාම කෙල්ලො දිහා බැලිල්ලෙ අඩුවක් නෑ නේද? පුදුම පැණියෙක් ඔආනං"

කියනු ඇත. එවිට 


"මොන කෙල්ලොද අනේ. අර පෙනේද අර රොත්ත පිටිං පඩිපෙළ වහගෙන මිනිහෙක්ට උට්ට යන්නවත් පල්ලෙහට යන්නවත් ඉඩක් නෑ"

කියා ජාමය බේරාගෙන

"යං අනේ අපි පරණ පඩිපෙලෙං."

කියා ඇගේ අතින් අල්ලාගෙන සුජීව ප්‍රසන්න ආරච්චිගේ ආත්මීය නවකතාවේ ඉන්නා අයියයි නංගියි යනුවෙන් අමතා ගන්නා පෙම්යුවල මෙන් උඩ මළුවට ගොඩවන්න. දැන් ඔබ පිවිසෙන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළ, නිකාය බේදයෙන් ඉහළ කළාපයකටයි. එය කෙසේද යන්න ඉදිරියේදී අවබෝධ වනු ඇත. එලෙසම ඔබ මෙතැන් පටන් දුර දක්නා නුවනින් සීල් භටයකු මෙන් ක්‍රියාකල යුතුය. ඔබට යාර සියයක් පමණ දුර සිට ඔබ දෙසට මුහුණලා චීත්තයක් සහ හැට්ටයක් හෝ සිල් ඇඳුමකින් වෙස්වලාගෙන කුඩා පොතක් අත දරාගෙන එන්නේ ඔබගේ සාක්කුවට විදිනා ස්නයිපර්කාරිය විය හැකිය. එවැනි අවස්ථාවක ඔබගේ බිරිඳවද රැගෙන සෙනග අතරේ සැඟවීම සුදුසුය. නොඑසේනම් ස්නයිපර්කාරිය ඔබ ළඟට පැමිණ.


"පිංවත් දරුවෝ, කැමතිනම් මේ අසරණ වෙලා ඉන්න මට සුළු ආධාරයක් දෙන්න"


කියා ඔබට අර පොත් පිංච දිගුකරනු ඇත. එහි මුදුනේම 

ආර්.ඇම්. කුසුමාවතී උපාසිකා මාතාවට දඹදිව වන්දනාව සඳහා ආධාර

කියා ලියා තිබෙන අතර එයට පහලින් ඇගේ ගොදුරු බවට පත්වූ අයගේ නම් ඉදිරියෙන් රුපියල් 500, 1000 වැනි ඉලක්කම් ලියවී තිබෙනු ඔබට දකින්නට ලැබෙනු ඇත.


පළමුව ඔබ ඇතුල්වන්නේ බුදුමැදුරටය. ඔබගේ් බිරිඳ දැනටමත් මල් පොකුරේ ඇති මල් ගණන ගණන් කර එයින් එක් ස්ථානයකට පූජා කළ හැකි මල් ගණන කීයක්දැයි තීරණය කර ඇත. එබැවින් ඇය විසින් බුදු මැදුරේ දොරකඩදීම බුදු මැදුර සඳහා නිර්දේශීත මල් ගණන ඒවායේ කර මුලින් අඹරා නැටි කඩා නැටි පෙට්ටියට විසිකර ඔබට හිමි මල් ගණන ඔබේ අතට දෙනු ඇත. ඒ අතරේ ඔබට අවශ්‍ය නම් "වීඩියෝ කිරීම සහ ඡායාරූප ගත කිරීම තහනම්" යැයි ලියා ඇති බෝඩ් එකට යටින් ඇති "අද ආලෝක පූජාවට දායකත්වය දක්වන පිංවතුන්" ගේ නම් කියවිය හැකිය. මේ නම් කිසිවිටකත් කටින් කියවීමට උත්සාහ නොකළ යුතුය. අහුබුදුවානෝ  මේ නම් දමා ඇත්තේ එනම් හිමි දරුවන්නේ මතු ආරක්ෂාව පතා පන්ති භාර ටීචර්ට අමතක වන ආකාරයෙන්ය. එවිට එම දරුවන්ට ඕනෑම අලුගුත්තේරු වැඩක් කර ගැලවීයාමට හැකිය. එම නම් කෙතරම් බලසම්පන්නදැයි කිවහොත් ඒවා කියවන ජනයාගේ දිව දත් කුට්ටම වටේ පටලැවී රදනක දතෙන් හිල්වන්නේය.


වම් අත් දණ්ඩේ එල්ලාගත් හෙල්මට් දෙක සහ බෑග් මල්ලද, දකුණතින් ගත් බලහත්කාරකමට ලක්වූ මලද සහිතව හොඳ සිහියෙන් යුතුව බුදු මැදුරට ඇතුල් වන්න. බුදු මැදුරේ බිම සිය කෙලිබිම කොටගත් බිළිඳු දරුවෝ තලගොයින් මෙන් බිම බඩගාති, කාන්තාවෝ දරුවන් බිම තබා නළලද බිම තබා කඩින්ගේ මෙන් වටකුරු සිය පශ්චාත් භාග උඩ තබා වඳිති. ඔබගේ අත්වැරදීමකින් කුඩා දරුවන්ට අනතුරක් විය හැකිය. නැතහොත් ඉහළ නැගුණු හට්ටියක් වැනි පශ්චාත්භාගයක වැදී ඔබ ඇද වැටිය හැකිය. ඔබ පින් කරගැනීමට ආ ගමනක් බැවින් දෙකට නැවී වඳින අයගේ පහත ගිය යටිකය ඇඳුම්ද, ඉහල ගිය උඩුකය ඇඳුම්ද අතර ඇත්තේ කුමක්දැයි නොබැලිය යුතුය. ඔබ ගෙනගිය මල දෝතින් අල්ලා මල් අසුන මත තබන්න. වම් අත දකුණතේ වැලමිටේ ස්පර්ශ වීම මෙහිදී ප්‍රමාණවත්ය. නැතිනම් හෙල්මට් දෙක සමග මල්ලද අත් දණ්ඩ දිගේ රූටාගෙන විත් මල් අසුන මතට කඩා පනිනු ඇත. 


ඊළඟට ඔබ යායුත්තේ චෛත්‍ය මළුව වෙතය. ගල් ඇතිරූ චෛත්‍ය මළුවේ සමහර තැන්වල ගල් එක මට්ටමකට නොමැති බැවින් ප්‍රවේශම් වන්න. හැම විටම චෛත්‍යයට ආසන්නව ගමන් කර ඉඩ ඇති මලසුන්ගෙයක් තුළ ඔබ ගෙනගිය මල තබන්න. මුදුනෙහි පටන් අඩිය දක්වාම ගමන් කරන අකුණු සන්නායක පටියකින්ද, මුදුනෙහි පටන් පාදම දක්වා අඩි බාගයෙන් බාගය ලණු පැදුරක් මෙන් ඇදි එල් ඊ ඩී බල්බ් වැල් දැලකින් ද, අටකොන සවිකර ඇති ප්ලෑෂර් ද, පාදමේ සිට අඩියක් පමණ උසින් අන්දවා ඇති බෞද්ධ කොඩි සහිත රෙදි වලින්ද සමන්විත චෛත්‍ය රාජයා වන්දනා කරන ගාථාව කියා වඳින්න. දැන් චෛතය මලුවෙන් පිටවන්න. මෙහිදී ප්‍රවේශම් නොවුනහොත් චෛත්‍යයේ අගසිට මුල දක්වාම එක ඡායාරූපයකට ගැනීමේ අභිලාශයෙන් කැමරා මානාගෙන සිටින පිරිසගෙන් අයෙක්ගේ ඇඟේ වැදීමේ සම්භාවිතාව ඇත.


මීළඟට ඔබ ඇතුල්වන්නේ පිරිනිවන් මංචකය සහිත විහාරයටයි. මෙයට ප්‍රවේශම් සහගතව ඇතුල් නොවුනහොත් මල් ආසනය යට සිය පැටවුන් සමග සිටින සුනඛ ධේනුව "පොත පොත" යනුවෙන් කියමින් ඔබව බෝධි මලුව වෙතම එලවා දමනු ඇත. එබැවින් එම විහාරය වෙත යන්නේ නම් පළමුව යන්නන්ට ඉඩ හැර ඔවුන් පිටුපසින් ඇතුල්වීම නුවනට හුරුය.


එතැනින් පසුව බෝධීන් තුනටත් සස්සති විහාරයටත් මල් තැබිය යුතුය. සස්සති විහාරය තුළ පන්සල්වලට ආවේනික සතුන් විශේෂයක් වන කොබෙයියන් සිටින බැවින් හැකි ඉක්මනින් එයින් පිටට ආ යුතුය. මේ වනවිට ඔබගේ මල් සංචිතය අවසන් බැවින් අතේ ඉතිරිව ඇති මල් නැටි සියල්ල අසල ඇති කුණු බක්කියට දමන්න. බෝධීන් වහන්සේලා වටා ගමන් කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. බෝධි පූජා සඳහා පැමිණි අය මැටි කල, ඉටි කල, හට්ටි, මුට්ටි, වීදුරු බෝතල්, මෙගා බෝතල්, සොපිං කවර ආදියට පුරවා ගත් ජලය සහිතව බෝධීන් වහන්සේලා වටා වට හත සම්පූර්ණ කරන අතර ඔබේ ඇඟේ වැදීමට ඉඩ ඇත. එමෙන්ම විභාග ආදියට ආසන්න දවසක් නම් විශේෂ කණ්ඩායම් බෝධී පූජා ආදිය පැවැත්වෙන කලාපයන් හරහා යාමට ඔබට කිසිසේත් අවසර නැත. පොල් අත්තේ රටාවට වැලි මලුව අතුගානා අයගේ මෛත්‍රියට ඔබව ලක්විය හැකිය.


දැං ඔබ සතුව සෙල්පි රිටක් තිබේ නම් ඔබේ දුරකථනය එහි අමුනා ගන්න. පසුබිමට පන්සලේ කොටසක් පෙනෙන ලෙස සකසා ගන්න. වමතේ දබරැගිල්ලත් මැදගිල්ලත් කරුවක් ආකාරයට දිගහැර පින්තූරයට පෙනෙන පරිදි අල්ලාගෙන අනෙක් ඇඟිලි තුන නවාගෙන ඔබේ බිරිඳ සමග සෙල්පියක් ගන්න. එය එසැනින් 'ෆේස්බුක්' වෙත උඩුගත කර Feeling relaxed කියා දමා ඔබේ බිරිඳද Tag කරන්න.


පහන් දැල්වීම සඳහා අලුතින් තැනූ වීදුරුවලින් ආවරණය කළ පහන් කුටියට යන්න. නැතිනම් පහන් දැල්වීම යනු ඔබගේ ඉවසීම කෙළවර වන තැනකි. පහන් කුටියට ඇතුල්වන තැන පාපිස්ස මත බල්ලන් සිටින බැවින් ඔවුන් නොපෑගෙන පරිදි ඇතුල්වන්න. පොල්තෙල් කාලකින් එහි ඇති පහන් නවයක් පත්තු කළ හැකිය. පහන් තිර දැමීමේදී එහි අන්තිම සෙන්ටිමීටර් භාගයක පමණ කොටස තෙල් නොගෑවෙන පරිදි දැමීමෙන් එක් ගිනිකූරකින් පහන් පහකට වඩා දැල්වීමට හැකිය. මේ අතරේ 


"ගිනිපෙට්ටිය චිට්ටකට දෙන්න පුලාන්ද?"


කියා අසන නංගිලාට ස්ව කැමැත්තෙන්ම ගිනිපෙට්ටිය පරිත්‍යාග කරන්න. පිං අතේ වැඩකට බැවින් ඔබට බැනුම් ඇසීමට නොලැබේ. 


දැන් මල්ලේ ඇති කඩදාසිය ගෙන ඔබේ අතේ ගැවී ඇති තෙල් සහ දැලි පිසගෙන එය නැවතත් මල්ලට දමා ගන්න. හඳුන්කූරු පැකැට්ටුව ගෙන එහි ඇති හඳුන්කූරු දහය පත්තු කරගෙන එයින් අඩක් ඔබගේ බිරිඳට දෙන්න. 


"පන්සිල් ගන්න කොතනටද එන්නේ"


යනුවෙන් විමසන්න.


"අර පොඩි බෝධිය ගාවට යං"


කියා ඇය කියනු ඇත. නැතිනම් චෛත්‍ය මළුවට එන ලෙස ඔබට කියනු ඇත.


"ඔයා යං එහෙනං මං මේ නංගිලාගෙං ගිනි පෙට්ටියත් අරං අනික් පැත්තෙන් එතන්ට එන්නං"


කියා ඇයව පිටත් කරන්න. මද වෙලාවකින් මද සිනහවක් සමග ඔබට ගිනි පෙට්ටිය ලැබෙනු ඇත.


"තෑංකූඌඌඋ"


පළමුවෙනි හඳුන්කූර බෝධිය ළඟද, දෙවැනි හඳුන් කූර එහි අනෙක් කොනේද, තවත් එකක් දේවාලය ඉදිරිපිටද, අනෙක් දෙක චෛත්‍යය ඉදිරිපිටද ඇති හඳුන් කූරු භාජනවල සවි කරන්න. ඔබ විසින් හඳුන්කූරු භාජනවල හඳුන්කූරු හිටවීමේදී ඇතිවන යම් හැලහැප්පීම් නිසා එයට පෙර හිටවා ඇති හඳුන්කූරු පෙරලී ඔබගේ අතපය පිලිස්සීමට ඉඩ ඇත. එබැවින් මෙය ඉත්තෑවාගේ පිටේ කූරු හිටවීම මෙන් ප්‍රවේශමෙන් සිදුකළ යුතුය. 


දැන් ඔබ පෙර ගිවිසගත් ස්ථානයට ගොස් සුදුසු තැනක් බලා ඔබේ බිරිඳ සමග හිඳගන්න. පෙර සිහිපත් කළ පරිදි පන්සල ජෛව විවිධත්වය අතින් ඉහළ තැනක් බැවින් ඔබ අඩිය තබන ඕනෑම වැලි සහිත ස්ථානයක් මින් පෙර සුනඛයන් විසින් යමක් නිදන් කළ තැනක් විය හැකිය. ඔබ හිඳගන්නා තැනක් අසබඩ තෙල්කූඹින්ගේ තිප්පොලක් හෝ කඩිගුලක් වීමට ඉඩ ඇත. එසේත් නැතහොත් ගමනක් යාමට සුනඛයෙක් එනතුරු බලා සිටින මැක්කන් සහ කිනිතුල්ලන් රැඳී සිටින හෝල්ට් එකක් විය හැක. එවැනි තැනක හිඳගතහොත් ඔබට නමස්කාරය තෙවරක් කියා ගැනීමටවත් ඉසිඹුවක් නොලැබෙනු ඇත. එසේ නොවන යහපත් තැනක් ලදහොත් ඔබට නෙත් පියාගෙන සැනසිල්ලේ වන්දනා කළ හැකිය. නෙත් විවර කරගෙන වන්දනා කිරීම අසීරු වන්නේ ඔබට ඉදිරියෙන් ඇති විහාරගෙයි පාදම මත හිඳගෙන ඔබ සිටිනා දෙසට හැරී සිටිනා ලලනාවන් නිසාවෙනි. 


චෛත්‍ය මලුවේ සිට වන්දනා කිරීම මෙයට වඩා ආරක්ෂිත නමුත් පිරිස වැඩි නිසා අසීරුතාවට පත්විය හැකිය. තැනක බිම හිඳගත් උවැසියක් ඇය ඉදිරිපිට පියන නවාගත්වනම සිටිමින් අලුත්ම කවි වර්ගයක් ගායනා කරනා ලැප්ටොප් පරිගණකයට අනුව  ගයමින් වන්දනා කරන්නීය. තවත් තරුණ වයසේ උවැසියක් සිය දුරකථනයට අමුනාගත් කන්බනු දෙකක් කනෙහි ගසාගෙන ඒ අනුව යමින් උස් හඬින් ගායනා කරන්නීය. තවත් උපාසකයෙක් චෛත්‍යරාජයානන් වහන්සේට දානය පිනිස බන්දේසියක තැබූ පෙති පාන් රාත්තලක් සහ මූඩිය විවෘත කර එතුළට හැන්දක්ද දැමූ ජෑම් බෝතලයක් පූජා කරන්නේය. තවත් අයෙක් කුඩා නමුත් කන පැලෙන්න නාදෙ දිය හැකි කැසට් යන්ත්‍රයක් ගෙනවුත් තමා අසල තබාගෙන ඒ අනුව නොනවත්වාම 'නමෝ බුද්ධාය' කියමින් වන්දනා කරයි. සෑම විනාඩි පහකටම වරක් චෛත්‍ය මලුවේ ඇද වැටීමෙන් පොඩි දරුවෙක් බෙරිහන් දෙයි. ඒ අතර ඔබට අනෙක් පසින් කුණු බක්කියට මුවාවී සිටින සරසවි පෙම්වතුන් යුවලක් 


"උයා මං නෑ කියල පිස්ෂු කරන්නෙපා අනේ."


"මං ගැන බලන්නෙපා... මට මොනව උණත් ඔයාට ප්‍රශ්ණයක් නෑනෙ. එයා එක්ක සතුටින් ඉන්න"


ආදී වශයෙන් සිය පෙම්මාලිගාවේ ගඩොල් එකින්නෙක ගලවයි. ඒ අතරේ තවත් අයෙක් ස්කයිප් මගින් එතෙර සිටින සිය නෑදෑ හිතවතුන්ට චෛත්‍යය වන්දවයි.


"මේ තියෙන්නෙ චයිත්තිය. වඳින්න පුතේ."


"නෑ නෑ... තව ටිකයි.. බෝධිය වන්දනා කරවන්න පොඩ්ඩක් ඉන්නකො"


"හරි හරී.. ඔයාගෙ එක්සෑම් එකටනෙ මේවත් සේරම කරන්නෙ."


අසපුවාසී හිමිගේ කණ්ඩායමේ අයගේ සිංහල ගාථාද, පාරම්පරික බෞද්ධයින්ගේ පාලි ගාථාද, නිසා ඔබ කිවයුතු ගාථාවද පටලැවෙයි. අන්තිමට මොකක් හෝ ටිකක් කියා අහවර කර භාවනාව පටන්ගත යුතුය. ඔබ ඉදිරියෙන් ගමන් කරනා නංගිලාගේ තොදොල් හඬින්ද, ඔවුන්ගේ පාද සළඹ නටන හඬන්ද, ඔබේ දෑස් විටින් විට අවදි වුවද ගැටළුවක් නැත. මක්නිසාද යත් ඔබේ බිරිඳ දෑස පියාගෙන භාවනාවේ යෙදෙන බැවිනි.


දැන් ඔබේ පන්සල් යාම අවසන්ය. ගෙනගිය අඩුම කුඩුම වලින් ඉතිරියද රැගෙන නැගිට සැහැල්ලු සිතින් චෛත්‍ය මලුවෙන් පහලට බසින්න. පොලිස් මුරපොල අසලින් එනවිට පන්සල් ඉඩම මායිමෙන් එහා පාරෙන් අනෙක් පස ලොතරැයි කූඩුව අසල වඩේ විකුණන්නා සිටීදැයි දුරදක්නා නුවණින් විමසා බලන්න. එසේනම් ඔබේ බිරිඳගේ අතෙහි රුපියල් පනහක් තබන්න. ඇගේ මුහුණේ සිනා මලක් පිපී ගොස් ඔබට මෙසේ කියනු ඇත.


"ඔයා එහෙනං වඩේ කඩේ ගාවට එන්න. මං එතන ඉන්නං. බේකරියෙං පාං ගෙඩියකුත් අරගෙනම එන්න අනේ. අද රෑට උයන්න බෑ"


සැ.යු: මෙහි නම්, ගම්, ස්ථාන ආදිය මන:කල්පිතයි.