කඩෙයක් |
මගෙ පොලේ ගමන
ගැන මං කියල ඇතිනෙ. ඒ වග ආයි මොටද? අද කියන්න යන්නෙ කඩ කෙරුවාව හා ළමයි බලාගැනීම
ගැන. ඒකත් බලන්නකො.
මං ඉස්කෝලෙ අට
වසරට විතර එනකං කරපු පොලේ යාමට කණකොකා ඇඬුවෙ පුංචිගෙ නාස්තියත් එක්ක සිදුවෙච්චි
බාප්පගෙ පිරිහීමත් සමගයි. ඒ කාලෙ වෙනකොට අතපය ටිකක් උස මහත වෙලා කටහඬත් අමුතුම
ආකාරෙක එකක් වෙලා තිවුනු මට පොලේ යාම මදිකමක් වෙලයි තිවුනෙ. ඉස්කෝලෙ එවුං පොලේ
එනකොට මං හැංගෙන තැනට වැඩේ සිද්දවෙලා තිවුන. මගෙ කියවීමේ පිපාසාව හිංද හාල්මැස්සො
ගොටු ගහන පත්තර එකක් නෑර කියවීමෙං මගෙ කාර්යක්ෂමතාව පහල බැහැල බාප්පගෙං ටොකු කන්න
වෙලා තිවුන. එයිට අමතරව මං පොලේ බඩු ගන්න එන ගෑනු දිහා බලං ඉන්නව කියල අසත්තක
කතාවකුත් පුංචම්ම ගොතෝල තිවුන. ඒ ඔක්කොම එකතුවෙලා මගෙ පොලේ යාම කැපිල ඒ රස්සාව
පුංචම්ම කරන්නත් ඒ වෙනුවට මං පුංචම්මගෙ කඩේ ඉන්නත් වැඩ කටයුතු යෙදුනා. ඉබ්බ දියේ
දැම්මට ඇන්නෑවෙ කිව්වලු. මාත් එක පයිං වැඩේට කැමති වුනා.
පහුවදා උදේට
පුංචි පොලේ යන හිංද සිකුරාදා රෑට මං ඉන්නෙ මහගෙදර. එදා රෑට හොඳට කන්නත්, සාලෙ
පැදුරක දිගෑරිල කනක් ඇහිල නිදාගන්නත් චාන්සෙක ලැබෙනව. පහුවදා උදේට තියෙන
ගාලගෝට්ටිය විඳින්න ඉතිං කන්න බොන්න නිදන්න එහෙම එපායැ හොඳට. කොහොමටත් පහුවදාටත්
එක්ක එදා රෑට කන්න ඕන.
ඒ දවස්වල
පුංචිගෙ ලමයගෙ වයස අවුරුදු තුනක් විතර ඇති. සෙනසුරාද උදේ පහට වෙද්දි පුංචම්ම ළමයව ඇහැරෙන්නෙ
නැති වෙන්න ඇඳ උඩ තියල නැකිටිනව. ඉං පස්සෙ දඩබඩ ගාල ලැහැත්ති වෙනව. පුංචම්මගෙ
බාසාවෙං ලැහැත්ති වෙන්නෙ එහෙමයි. එතකොට මාත් නැකිටින්න ඕන. ඒ එදා දවසෙ වැඩ සටහන
අහගන්න. පුංචම්ම ලැහැත්තිවෙන ගමංම මට උපදෙස් දෙනව.
“සුරංගෝ“
“ඇයී.
මේ එනෝ“
“කෑගහන්නෙපා
බොල. ලමෙය ඇහැරෙයි“
මං පිලිකන්නෙ
ටැප්පෙක ගාව ඉන්න පුංචි ලඟට යනව
“උලේල
ආං එලි හාක් අලිං. අඔක්. අඹ්ඹ්ක්“
පුංචම්ම දත්
මදින ගමං බුරුසුව ගිරිය අස්සෙ ගහගෙන දත් මදින ගමං කියල වාක්ය අවසානෙට දෙපාරක්
කාරනව.
“මොකද්ද
කිව්වෙ පුංචියේ.“
“පාං
හයක් ගනිං“
“හා“
“සල්ලි
තිවුනොත් හවසට දීහං. නැත්තං හෙට දෙන්නං කියාං“
“හා“
පුංචි ගෙට
ඇවිත් ඇඳුං අඳිනව.
“නාලවත්තෙ
නැංද හරි, වෙනිං කවුරුවක් හරි සල්ලි ඉල්ලං ආවොත් නෑ කියහං. පුංචිගෙං ඉල්ලගන්න
කියහං“
“හා“
“නංගි ඇහැරුනාට පස්සෙ බලාගනිං. අරහෙ මෙහෙ යන්න දෙන්නෙපා.
අර මගෙ කහපාට හැට්ටෙ සාලෙ රෙදි ගොඩෙං ගෙත් දියං“
“හා“
මං උංදැගෙ
හැට්ටෙ හොයල ගෙනත් දෙනව. අංතිමට එයා ඇඳල ඉවරවෙනව. ඉං පස්සෙ බෑක්කෙකයි කුඩෙයි අතට
අරං ආච්චම්ම නිදං ඉන්න ඇඳ ළඟට ගිහිං කතා කරනව.
“අම්මෙ
මං යනවා.“
“ඈ....
මොකද්ද? පාංකාරෙය ඇහිල්ලද“
ආච්චම්ම මෙලෝ
විකාරෙං එලෝ ඉඳං අහනව.
“නෑ.
නෑ මං යනව“
“උඹ
කොහෙද යන්නෙ“
“ඇයි අම්මෙ. අද සෙනසුරාදනෙ. පොලේ යන්න එපෑ“
“ආ....
ඒක මිසක්ක.“
“අම්ම
එහෙනං මැනික් බලා ගන්න. මං යනව.“
“කෝ
කෙල්ල“
“තාම
නිදි. ඇහැරුනාම මොනවහරි දෙන්නකො. දැම්ම ඇහැරවන්න එපා හොඳේ.“
පුංචිගෙ ළමය
ඇහැරුනොත් පුංචිට දොට්ට බහින්න නොදී මරහඬ දෙන විත්තිය ආයෙ කියන්න දෙයක්යැ. තමුංගෙ
අම්ම ගමනක් යනව කියපු ගමං උංදැගෙ බෙල්ල බලාගෙන බිමට නොබැහැ ඉන්න එකත් බැරිවෙලාවත්
තමුංව අම්මගෙං ඇදල අරං තියාගත්තොත් එහෙම ගත්ත එකාගෙ ඉහේ කෙස්ටික හිඳින ගමං ලතෝනි
දීමත් ඒ ළමය උප්පත්තියෙංම ගෙනා සහජ හැකියාවක්.
“උඹ
පලෙයං. මං බලාගන්නං ළමෙය. උඹ භයවෙන්නෙපා“
ආච්චම්ම ඇඳෙං
නැකිටල “හාආආආක්“ කියල ඈනුමක් ඇරල උඩු ඇංදෙ දත් කුට්ටමත් හරියට හදාගෙන
වැනි වැනී එනව. එතකොට පුංචම්ම ගෙයිං එළියට බහින්න දොරකඩ. ළමය ඇහැරවන්න එපා කියන්න පුංචම්ම
කට අරින්න කලිං ආච්චම්ම නිදං ඉන්න ළමෙයව වදෙං පොරෙං උස්සගෙන කිහිල්ලෙ ගහගන්නව.
ආච්චම්මගෙ කිහිල්ලෙදි නිංදෙන ඇහැරෙන ළමෙය ආතබූත නැතුව වටපිට බලනව. තමුං මේ ඉන්නෙ
කොහෙද යන්නවත්, තමුංට එකපාරටම වඩාගත්තෙ මොන කෙහෙල්මලකටද යන්නවත්, තවම රෑද දවල්ද
කියන එකවත් නොදැනගෙන හෝන්දුමාන්දුවෙං ඉන්න ළමයට අවස්ථාව වටහා ගන්න උපකාර පිනිස
ආච්චම්ම පැහැදිලි කිරීමක් කරනව.
“උඹ
නාඩ හිටිං. අම්ම පොලේ ගියාට හවහට එනවනෙ. මං බෝ බලාගන්නං. අම්ම එක දාසක් නැතිවුනහං
මොකදැ“
තමුං ළමෙයව
හරියටම බලාගන්නා බවට ඇස්පනාපිටම සාක්කි වසයෙං පුංචම්මට පෙන්නීමට ආච්චම්ම එහෙම
කරද්දි තමුංගෙ අම්මා පොලේ යන වගත්, උංදෑ අද දවසටම ගෙදර නැති වගත් දැං තමුංගේ
යුතුකම වන්නේ මරහඬ දී මෙතන දෙකක් කිරීම වගත් දැනගන්නා ළමෙයා සංගුව පිඹින්න පටං
ගන්නව.
“බුහප්
බුහුප් බුහුප් පූඌඌඌඌආආආහ් ....ආක්..ආක්................... බ්රෑඈඈඈඈඈඈඈග්..........
මච අව්ව එග්ග යල්ල ලීවාආආආආආග්..........“
මේ අවසං ‘ආග්‘ එකත්
සමගම ළමයා හුස්ම හිර උනා වගේ කට ඇරිල සද්ද නැතිව කකුල් අතපය සේරම ගසමින් දඟලනව. මේ
වෙලාවට ළමයත් එක්ක ආච්චම්මත් වැටෙන්න පුළුවං හිංද මං ඒ ළඟම ඉන්නව.
“ඔය
ඉතිං නාඩ හිටිංකො. බොගෙ දැඟලිල්ලට මගෙ සෙද්දත් කැන්න“
ඒ එක්කම ළමය
ආයිත් ඇඬිල්ල පටං ගෙන “උඹ. තෝ“ ආදියෙන් බැනවදින්න පටං ගන්නව. මේ සියල්ල විඳ
දරාගනිමින් කුටු කුටු ගගා මොනවද කියමින් පුංචම්මා බස්සෙකට නගිනවා. උංදැ බස්සෙකට
නගිනවිට ළමයා සිය ජවනිකාවේ උච්චතම අගය පෙන්වමින් ආච්චම්මගෙ ඔලුවට දෑත බදා ගුටි
අනිමින් “ගෑනියේ මට යන්න දීපාං“ කියා බනිනව.
පුංචම්මා
නැග්ග බස්සෙක පිටත් වෙනවත් සමගම සිය ඇඬීම පලක් නැති බව දැනගන්නා ළමයා ඇඬීම
නවත්තනව. ඒත්තෙක්කම සිය සංදර්ශනයේ පළමු කොටහ නිමා කරන ආච්චම්මා තමුං සෑහෙන්න මහංසි
වෙලා මේ ළමයා බලා ගන්නා බව සිය දියණියට පෙන්වූයේ යැයි සෑහීමකට පත්ව
“බැහැපං
බිමට මට සෙද්ද ඇඳගන්න“
කියා ළමයාව
බිමිං තියනවා. තමුංගෙ කැඩිච්චි ‘සෙද්ද‘ ඇඳගෙන ‘කහඩ්ඩිංගක්‘ බොන්න කේතලේ ලිපෙං
තියන්න කුස්සියට යනව. වැස්සක් වැහැල පෑව්වා වගේ නිසලතාව බිඳෙන්නෙ ආත ඉඳහිට පිටකරන
නලා නාදෙං විතරයි. ආච්චම්ම කේතලේ ලිපෙං තියල ලිප ළඟ තනි රකින අතරෙ මං සාලෙට වෙලා
පාර බලන්නෙ පාංකාරය එනකං. වැඩිවෙලා නොගිහිං පාං කාරය එනව. දෙපාර හෝන්නෙක ගහනකොට මං
බයිසිකලේ ගාව.
“පාං
කියද්ද “
“හයක්“
පාං පෙට්ටිය
වහපු ඉටිරෙද්ද පාං පෙට්ටියට තදවෙන්න දාපු ටියුප්පටිය පන්නල ඉටි රෙද්දෙ පැත්තක්
උස්සල පාං හයක් අරං ගඩොල් අහුරනව වගේ දෙකක් එක පැත්තටත් අනික් දෙක ඊට උඩිං හරස්
අතටත් වසයෙං හිටින්න අහුරල මගෙ අතට දීල එයා යනව. මං පාංටික අරං ගෙට යනකොට ආච්චම්ම
ගෙයි ඉඳං කෑ ගහනව.
“සු***,
බලහං අන්න පාංකාරය බීග්ගහනව“
“හරිහරි
මං ගත්තා“
“විගහට
පලෙයං. නැත්තං යයි“
“මං
ගත්තෝ.“
“ආ
එහෙනං කමහ්නෑ. මං හිතුව බොගෙ කන ඇහෙන්නෑනෙ“
මං පොතක්
පත්තරයක් කියවනකොට කවුරුවත් කතා කලත් දැනෙන්නෙ නැති හිංද මගෙ කන ඇහෙන්නෑ කියල
කතාවකුත් ආච්චම්මයි පුංචියි ගොතල තිවුන.
තව වැඩිවෙලා
නොගිහිං කඩේට මිනිස්සු එන බව දන්න හිංද මං මල් හතරක් කඩං ඇවිල්ල පොල්තෙල් ගැලුමෙං
තෙල් ඩිංගක් පානට දාල පාන පත්තු කරල හඳුංකූරු දෙකක් පත්තු කරල බුදුං වැඳල කඩේ ලැලි
ටික අරිනව. තවත් හඳුංකූරක් පත්තු කරල හාල් ගෝනියෙ හිටෝනව. ඒ ටික ඉවර වෙනකං පුංචිගෙ
ලමෙය මගෙ පස්සෙං කැරකෙනව. උගෙං කඩේ තියෙන බඩුමුට්ටු බේරගන්න අමාරුයි. වෙනදට
ආච්චම්ම මට කඩේ ලැලි එකකට වඩා අරින්න දෙන්නෑ. උංදැ හිතන විදිහට පුංචම්මවත්,
බාප්පවත් කඩේ නැතිවෙච්ච ගමං මේ කඩේට පනින්න හොරු රංචුවක්ම ඉන්නව. ඒ වුනාට ඇඳිරි
නීතිය දවසට හොරෙං බඩු විකුණනව වගේ යංතං එක ලැල්ලක් අස්සෙං බඩු දෙන්න බැරි හිංද මං
පුංචිට කියල ඒ නීතිය අයිං කරගත්ත.
ඒ ටික ඉවර
වෙනකොටම ආච්චම්ම කඩේට එනව.
“මොටදැ
දැම්ම කඩේ ඇරියෙ. දැම්ම මිනිස්සු එන්නෑ“
එතකොටත් මං පළවෙනි
පාංගෙඩිය නාලවත්තෙ බාල ලමයට විකුණල ඉවරයි.
“පුංචි
කියල ගියෙ උදෙංම කඩේ ඇරහං කියල“
“එහෙනං
ඕනැ එකක්. අද පාං කරවෙලා නෑ. ඊයෙනං
අඟුරු වෙලා තිවුන“
ආච්චම්ම පාං
ගෙඩියක් ගානෙ මිරිකල ඒකෙ වහල්ල “කරස්“ ගානවද බලනව. ඊළඟට හාල් අහුරක් කටේ
දාගෙන යනව. ආච්චම්මට පාණ්ඩුව හැදිලයි කියල පුංචි කියන්නෙ මේ හාල් කෑම නිසා. උදේ අට
විතර වෙනකොට කඩේ ගාව සෙනග එකතු වෙනව. වැඩි දෙනෙක් පොලේ යන අය. ආං එතකොට ආච්චම්මගෙ
ස්වර්ණමය කාල සීමාව උදාවෙනව. උංදැ රෙද්ද වරක් තද කරල ඇඳගෙන පාරට බහිනව.
“ආ.
හුනුවොල ලමෙයො. මොකෝ බෝ අද පාංදරම පොලේ යන්නෙ?“
“අද
දලු කඩන්න දෙමලු දෙන්නෙක් ආව. උංට දවල්ට බතුද්දෙන්නෙපෑ. වියන්න පරක්කු වෙන හිංද
කලිං යනව“
“ආ...
ඒක මිසක්ක. ඉතිං බොලෑ ලොකු එකීට පුලුවන්නෙ උයාතියන්න“
“ඒකිට
අද පන්තිනෙ. ඔය ආවෙ මා එක්කම. අර ඉන්නෙ“
හුනුවල නැංද,
මැංගුස් ගහ යට හෙවනෙ ඉන්න තමුංගෙ දෝනියැංදව පෙන්නනව. ආච්චම්ම ඇස් කරකෝල ඒ දිහා
බලනව.
“බොගෙ
තව මොකක් කලු වෙන්නද? ඔය ඉන්නෙ මහඑකා වගේම කලුවට. අව්වෙ හිටියහං ටිකක් මක් වෙනවද?“
ආච්චම්ම
සඳමාලි අක්කට ආඩපාලි කියනව. මා එක්කවත් වැඩිය කතා නොකරන එයා ලේංසුවෙන් මූණ
පිහදාගෙන විරිත්තනව. කලුපාට මූනෙ සුදුපාට දට්ටික පැහැදිලිව පේනව.
“ඕනැ
එහෙකට විරිත්තන්නෙපා දන්නවද? බොගෙ ඔය විරිත්තිල්ල විනාසෙකට මුල වෙන්න පුලුවං“
සඳමාලි
අක්කාගේ හිනාව බෝම්බෙයක් ගැහුව හා සමාන බවට පෙන්වමින් ආච්චම්ම එයාට දොස් පවරනව. ඒ
කියන විදිහට පවුලක ගෑනු ලමයෙක්ගෙ හිනාව හිංද ඒ ළමයගෙ පවුලෙ දෙමව්පියං කවිකොල ගහන්න
දරං දරුනු විදිහෙ සාහසික විදිහට මැරෙන්න පුලුවං.
ඒ අතරෙ කඩේට සැරිං සැරේ එන සෙනගට බඩු දෙන්නත්, ඒ
ගමංම පුංචිගෙ ලමෙය කොහෙද ගියේ කියල බලන්නත්, විඩිං විඩේ ආච්චම්ම, “ළමෙය කොහෙද
බලපං“ කියනකොට ළමයා අසුවල් තැන අසුවල් වැඩේ කරමින් ඉන්න බව කියන්නත් යාම නිසා
මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ වෙනව. පුංචිගෙ ළමයත් විටින් විට ටැප්පෙක ලඟ ‘වතුරෙ
නැටීම‘, පිහියක් අරං ‘ගස්වලට කෙටීම‘, ගෙයි බඩුමුට්ටු පෙරලීම, පාර
දිහාවට යාම ආදී නොයෙක් ‘ඇට්ටර වැඩ‘ කරමින් මාව ඒ තැංවලට ගෙන්වා තමුංව ආපහු ගෙට
ඇදගෙන ගෙන්වාගනු ලබනව.
පැය බාගෙයක්
තරම ගත වෙද්දි ආච්චම්මගෙ වාග් ප්රහාර වලිං බැටකෑ මිනිස්සු රැල බස්සෙහෙකට නැගල
පිටත්වෙනව. ආච්චම්මත් පාරෙ දෙපැත්තමත් බලල තවත් කිසිදු මනුස්ස පුලුටක් නැති බව
සැකහැර දැනගෙන කනගාටුවෙන් ආයිත් රෙද්ද ලිහල ඇඳං ගෙට එන්න පිටත් වෙනකොටම තවත් දෙතුං
දෙනෙක් පාරට එනව.
“බොලා
ටිකක් පය ඉක්මං කල්ල ආවනං යන්න තිවුන. බස්සෙක දැං ගියෙ. තාම ඇති නිකෝඩ හංදියටත්
පල්ලෙ. ආයි වරුවකටත් බස්සෙකක් තියෙයිද විස්සාස නෑ“
“යේකනෙ
මෙනිකේ. සීසේන මාතිය අම්බෙලා කානු කපන්න යෙන්න කීල විත්තරැව්වනෙ. නැත්තං යෙන්න
තිවුන“
පෝරකවරෙයක්
කිහිල්ලෙ ගහගෙන පොලේ යන්න ඇහිල්ල හිටපු සුප්පරමනියං පාරෙ අයිනට බුලත් කෙල පාරක්
එහෙම ගහල ආච්චම්මට කියනව.
“උඹෙ
ගෑනි නේද අර සංකරෙයත් එක්ක පැල්ල ගියෙ“
“නේ
මෙනිකේ. ඒ පෙනියගෙ පවුල“
“එහෙනං
අර කනක්කපුල්ලෙගෙ ගෑනි කිව්වෙ උඹේ ගෑනියි පැල්ල ගියෙ කියල“
“නේ
මැනිකෙ. ඒ පොරු. පෙනියගෙ පවුල තමා පැල්ල ගියෙ. දෙං දෙෂියපනා වත්තෙ යින්නෙ“
ඒ දවස්වල අපේ
ගමේ වතු දෙමල මිනිස්සුංගෙ පුද්ගලිකත්වයට තිවුනෙ ඒ වගේ තැනක්. සිංහල හැම මිනිහටම
මාත්තියා, මෙනිකේ, නෝනා කියන්නත් පෙරලා තමුන් විසිං උඹ, තෝ ආදියෙන් ඇමතුම් ලබන්නත්
ඔවුන්ට සිදුවුනා.
ඔය විදිහට
ආච්චම්මගෙ අධීක්ෂණය යටතේ නඩ හතරක් පහක් බස්සෙකේ නැගල, ආතත් ඇඳෙං නැකිටල ඇවිල්ල
බුලත්විටක් කද්දි, ඔරලෝසුවෙත් වෙලාව දහය විතර වෙනව. මගෙ බඩේ බඩවැල් එකට ගැටගැහිල
ඇඹරෙද්දි පුංචිගෙ ළමය විටිං විට ඇවිල්ල ඉස්කෝතු පැකට්, චොකලට්, බනිස් ආදිය අරං
යන්න හදනව. ඔව්ව අරං කැඩුවට කන්න බැරුව විසිකරන විත්තිය මම දන්න හිංද මං ඒවත්
වලක්වනව. ඒකිටනං උදේට කිරි බෝතලෙයක්ම පොවනවනෙ. අන්තිමට ආච්චම්මට තවදුරටත් ‘පොලේ
යන ගොදුරු‘ නැතුව උන්දැ ගෙට එනව. පොඩි ඒකී බඩගිනියි කියල මරහඬ දෙද්දි ආච්චම්ම
“ටිකක්
හිටහං. තාම උදේට කිරි බීපු ගමංනෙ. ඔයහැටි මොකද්ද බඩකින්නක්. මේ කහට ඩිංගක් ඉතරක්
බීල මං යසට ඉන්නෙ“
කියල ඒකිගෙ කට
වහනව. අන්තිමට ආච්චම්ම උදේට උයන්න ලිප ලඟිං ඉඳගන්නකොට උදේ එකොලහට විතර ඇති.