Thursday, September 29, 2016

තේ සහ මම හෙවත් Tea and Me


ගූගල් සමාගම

කවිඳු ජයසිංහ මහතා

 අපිට බොහොම ලෙංගතු සමාජ සේවකයන් දෙදෙනෙක් මේ සතියේ සිය උපන්දින සැමරුවා. පලමුවැනියා GOOGLE සමාගම. දෙවැනියා අපේ හිතවත් කවිඳු ජයසිංහ මහතා. ඔහු තමයි සොඳුරු අතීතයෙන් බිඳක්  ලියන්නෙ. ඔබ දෙපලටම සුභ උපන්දිනයක් වේවායි පතමු.

තේ ගහ ගැන මූලික වැටහිමක් දුන්නට පස්සෙ මං හිතුවා මමයි තේ ගහයි ගැන ලියන්න. මගේ ජීවිතෙන් සෑහෙන කොටසක් ගොඩනැගීමට උරදුන්නේ තේ ගහ. ඒ නිසා මමත් තේ ගහත් අතර බැඳීම අවුරුදු විසිගානක් පරණයි. අදටත් තේ ගහක් දැක්කම ළපටි තේ දල්ලක් කඩාගෙන ඒකේ කොලටික කඩා දාලා නාරටියෙ පොත්ත අයින් කරලා කටේ දාගෙන හපන එක මගේ පුරුද්දක්.

අපේ තාත්තා තේ ගහ සම්බන්ධ සකල කලාවම දැන උගත් කෙනෙක් උනත් එයා දන්න කිසිම කර්මාන්තයක් අද වෙනකං මට කියාදීලා නෑ. ඒ හංදා මට තේ ගහ ගැන හුඟක් දේවල් ඉගෙන ගන්න වුනේ පළපුරුද්දෙන්. නමුත් මට දළු කැඩිල්ල කියල දුන්නෙ අපේ ආච්චම්මා. එහෙව් මගේ තේ ගුරුතුමියගේ පොටෝවක් මගේ පරණ කොම්පියුටරේ හාඩ් එකේ තිබිලා හම්බවුනා.


ආච්චම්මා සමග ලොකු නංගී 2009 අවුරුද්දේදී
අවුරුදු හතරේ පහේ කාලයේ පටන් මගේ දවල් දවසම ගතවුනේ ආච්චම්මා, ආතා, මාමා, පුංචම්මා ආදීන් ජීවත් වුණ මහ ගෙදරයි. පුංචම්මාගෙන සහ ආච්චම්මාගෙන් නොයෙක්වර ලැබෙන විරුදාවලි ලබමින්, "පණ්ඩිතකං" වලට බැනුම් අසමින් එහිම රැඳී සිටියේ අම්මාත්, තාත්තාත් දෙදෙනාද හවස්වරුව එතැන ගෙවන නිසාත්, මගේ සාක්කුවට සහ බඩට එතැනින් බොහෝ යහපතක් උදාවුන නිසාත්ය. ඒ කාලයේ මම "දර පලන්න", "ගස් නගින්න" බැරි, කණ ඇහෙන්නේ නැති, පත්තරෙයක් අතට ගත්තහං මෙලෝ සීයක් නැති "ගොනෙක්" හෝ "බූරුවෙක්" යන විරුදාවලිය බොහොම වැර වෑයමෙන් ලබාගෙන තිබුණා. 


අඩිපාර


ආච්චම්මගේ තේ කෑල්ලට ප්‍රධාන පාරෙ ඉඳං මේ වගේ අඩිපාරක් දිගේ හැතැක්මක විතර දුරක් යන්න තියෙනවා. ගොඩක් අය දළු කඩල ගෝනිවල දාලා අරං එන්නේ කරේ තියාගෙන. ඒ වුනත් මේ පාරෙ යන්න පුලුවං තව වාහන දෙකක් තියෙනවා. එකක් පුබ්බයිසිකලේ. අනික විල්බැරැක්කේ. 


විචක්ෂණ ඥාණයක් ඇති 'දුනුකෙයියා ගලෙං එහා' කාන්තාවක් වුනු අපේ ආච්චම්මා මට අවුරුදු දහතුනක් විතර වෙද්දි මගේ එක් 'පොරෝජනයක්' අඳුරගත්තා. ඒ තමයි 'පුබ්බයිසිකල් පැදීමේ' හැකියාව. මාමටත්, පුංචම්මාටත් පුබ්බයිසිකල් දෙකක්ම තිබුණත් ආච්චම්මට ඕනි වෙලාවට ඒ දෙන්නගෙං කෙනෙක්ව බයිසිකලෙං ගමනක් යවාගන්න හරි අමාරුයි.

"මට දැං වැඩත්තීනව"

"මං මේ ඉස්කෝලෙ හිල්ල ආගමං. හුස්මක් කටක් ගන්න දෙන්නකො අම්මෙ."

ඔය වගේ මොකක් හරි කියල, තව පැයක් විතර ඉඳල තමයි ඒ දෙන්නා බයිසිකලෙං ගමං යවන්න පුළුවං. ඒ වුනත් ආච්චම්මගෙ වචනෙට කීකරු මං ඒ වැඩේට ගැළපෙනවා. ඒ හංදා ආච්චම්මා පුංචම්මටත් මාමටත් ආක්ඥාවක් දැම්මා.

"බොලාට බැයිනං නිකා හිටාල්ල. සු***ට මං කියන වෙලාවට බයිසිකල්ලෙක ගෙනියන්න දියල්ල"

"හා ඒකට මක්වෙනවෑ"

කියල පුංචම්මයි දෙන්නම දෙපයිං උත්තර දුන්නා.

සන්දා, අඟහරුවාදා, බදාදා, බුරහස්පතින්දා යන දවස් ටික පහුවෙනකං මට පොඩ්ඩ ඇතිනං සැල්ලෙක අරින ආච්චම්මා සිකුරාදාට ඉර පායද්දි සෑහෙන හොඳ වෙනවා. සිකුරාද හවස් වෙද්දි තවත් හොඳයි.

"බොට හෙට පංතියන්න තීනවෑ?"

"හෙට නෑ අනිද්ද උදේට සේනයියෑ පංති තියෙන්නෙ."

"හා එහෙනං හොඳා. මං 'කිරි ගෑනිට' පණිවිඩේ අරින්නං හෙට එන්න කියල. එබෝවිටේ දලුඩිංග කඩාගන්න."

සෙනසුරාදා උදේම ආච්චම්ම ගෙදරිං පිටත්වෙන්නෙ 

"උඹ එහෙනං තව ටිහිකිං කහට ඩිංගත් ඇරං, බයිසිකලෙත් ඇරං වරෙං"

කියාගෙනයි. දළු දාල ගොනියයි, දළු කඩන කවරෙයි, ‘වතර බෝතලෙ‘යි එයා අරං යනවා. තව පැයකට විතර පස්සෙ පුංචම්ම හදල දෙන කෑම බීම, කහට පුරෝපු උණුවතුර බෝතලේ, සීනි පුරෝපු මාමයිට් කුප්පිය ආදිය පොලේ ගෙනියන බෑක්කෙහෙකට දාගෙන මං බයිසිකලේකට නගිනවා. ඔය බයිසිකල් දෙකෙං පුංචි ගාව තියෙන බයිසිකලේ ටිකක් හොඳ තත්වෙ තියෙනවා. ඒත් ඒකෙ තියෙන සීට්ටෙක පොල්ලෙලි සීට් එකක්. බයිසිකලේ පාර හරහ තියෙන 'සබර මුලක්' උඩින් පනිද්දි ඉහමොලත් උඩ පනිනවා. වලක එහෙම වැටුනොත් මොලෙත් ගෙඩි දානවා. ඒ වුනාට අනික් පහසුකං අතිං ඒ බයිසිකලේ හොඳයි. ලොකු 'ලැකිජ්ජෙකක්' වගේම ඩබල් ඉස්ටෑන්ඩෙකක් තියෙනවා. වීදුරු බෝතලේට පහේ කාසියෙං තලනව වගේ සද්දෙ එන බැල්ලෙහෙකුත් තියෙනව. ලැකිජ්ජෙකේ තියෙන නයිලෝන් ලණු දෙපටිං 'හරකෙක් දිගේලි කරන්න පුළුවං'. චේන්නෙකට තෙල් ඩිංගක් දාල ගත්තං මල් මසුරං වාහනේ.

රබර් මුල් උඩිං පැනගෙන, වලවල් බේරගෙන, හීං බෝවිටිය, වැරනිය අතුවල වැදීගෙන මං බයිසිකලේ පාගනව. ඇංජිමක් නැති අඩුව බයිසිකලේට නොදැනෙන්න

හ'ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............... 

කියල කටිං සද්ද කරනව.

කන්දක් එහෙම අදිද්දි

"ව්රැං ව්රෑං..... ජිශ්...........රෑඈෑෑං"

කියල ජියර් මාරු කරනව. සමහර වෙලාවට පන්ති යන ලමයි කූඩැල්ලංගෙනුයි, තුත්තිරිගස්වල පින්නෙනුයි බේරෙන්න සායවල් කැටි කරගෙන පොලවෙ තෙතට ලිස්සනවට සෙරෙප්පු අතේ අරං එනව මට මුණගැහෙනවා. ඉතිං මං මගේ වාහනේ කැසට්ටෙක දානවා.


“අං
ජනං දේවි ඔන්න 
වඩිනවා ආාාා...
හ්...හ හ්....හ
හනු
මංත වලිගෙ 
වන වන 
හෙනවා.“


බයිසිකලේ පදින ගමං එන්ජිමේ සද්දෙත් පවත්තගෙන සින්දුවකුත් කියාගෙන යන එක ලේසි නෑ. සේරටම එක කටයිනෙ තියෙන්නෙ.

ආච්චම්මගෙ ඉඩම ගාවට ගිහිං බයිසිකලේ ඩබල් ඉස්ටෑන්ඩ්ඩෙක ගහල නවත්තපු ගමං මං අඩුම කුඩුම මල්ල අතට අරං බලනව කවරෙ ඇතුලෙ තේ වතුර හැලිලද කියලා. එහෙම හැලිල තිබ්බොත් ආච්චම්ම දකින්න කලිං කවරෙ තියෙන බඩු ටික එලියට අරං කවරෙ ගසල වතුර ටික හලනව. ඉං පස්සෙ තමයි බයිසිකලේ බෙල්ලෙක ගහල මං ආපු බව දන්වල ඉඩමට ඇතුල්වෙන්නෙ. 


"ආච්චම්මෙ මං ආවෝ"


ආච්චම්මත් කිරි නැංදත් දෙන්නම දළු කවරෙ ඔලුවෙ එල්ලගෙන දළු කඩනවා. ආච්චම්මට මං ආපු සද්දෙ ඇහුනෙ නෑ වගේ එයා දළු කඩනවා. මං ආයි පාරක් කෑගහනවා.


"ආච්චම්මේ,....... කිර්නැංදේ....... මං ආවෝ"


"ආන්නැංදෙ සුරම්පුතා ඇහිල්ලා"


ආච්චම්මා ආපහු හැරිලා ඉඩමෙ මායිම දිහා බලනව.


"කොඕ....... මට පේන්නෑනෙ"


"අරින්නෙයර පරගහගාව"


"ආ....... සු*** උඹ ආවද?"


"හිටහං අපි මේ පේලියෙ ඩිංගිත්ත ඉවර කරල එන්නං."


කිරි නැංද ආයිමත් අකමැත්තෙං දළු කඩනවා. ඒ දෙන්න එනකං මං දළුවල අරිම්බුවෙ මැද කූර අයිංකරල දාල අරං නලා පිඹිනවා. එප්පොලේ මාලුන්ට කන්න පරගෙඩි විසිකරනවා. ඇඹිල්ල කොල කඩාගෙන කනවා. තේ ගෙඩි කඩල අරං ඉලක්කෙට විසි කරනවා. ඉඩමෙ තැනිං තැන තියෙන පොල්ගස් යට පොල් තියෙනවද බලනවා. ඒ අතරෙ ආච්චම්මයි කිරි නැංදයි ඉඩමෙ කොනක තියෙන කොටේ ගාවට එනව. එතන තමයි කඩං ආපු දළු ටික හලන්නෙ. කිරි නැංදට කලිං ආච්චම්ම එතන්ට එනව. ඇවිත් මගෙ කනගාවට කරල කුටු කුටු ගානව.


"ආපු ගාං කෑගහන්නෙපා බොල. අරුංදැ හදිස්සිකොරල කඩපු පේලිියත් මගදාල එන්න හදනව"


"හා"

ඊළඟ සිකුරාද වෙනකං මට ඒ ටික මතකයි. සෙනසුරාද උදේ වෙද්දි තමයි අමතක වෙන්නෙ.


බිමට එලපු ඉටිකොලයක් උඩට දලු ටික හලලා ඒ දෙන්නා පාං කනවා. ආච්චම්ම මටත් පාං කෑල්ලක් දීලා

"මේ මගෙ හොඳියෙකේ ගාගෙන කාහං"

කියනවා. ආච්චම්ම කන පිඟානෙං හොඳි කන්න හිරිකිත හංදා මං ඒව කන්නෙ නෑ.

"මංකාලාවෙ"

ඉතිං ආච්චම්මා මගෙ ගුණ වර්ණනා කරනව.

"කිල්ලමෙයො හොඳේ මේ මූ හිටියට මුගෙ ආනාදිකම සුළුපටු නෑ. මූ කවුරුවක්කක් අතිං අල්ලපු කිසියං දෙයක් කන්නෑනෙ. ඒකට අපේ ජෝකපාලගෙ ජුවයි, පුචයි. මං මේ කට අස්සෙ තියෙන දෙයක් උනත් ඔහොක්කොල්ල ඇදල දුංනත් අපෙයාච්චම්ම අපිට කැත නෑ කියල හිට කනව ඒක. ඒකට මූ. මුගෙ ආනාදිකම ඉහටත් උඩිං"

ඒ දෙන්න පාංකාල කහට බීල ඉවරවෙලා ආපහු දළු කඩන්න යනව.

"හිටහං තව දළු මඩි දෙකක් කඩපුවහං අරං යන්න. උඹට කම්මැලිනං වරෙං අපි ඉන්න හරියට."

මාත් ආච්චම්ම කඩන දළු පේලිය දිගේ එයාගෙ පස්සෙංම යනව. ආච්චම්මයි කිරි නැංදයි දෙන්න තරඟෙට ගමේ ඕපදූප බෙදාහදාගන්නව.

"ලිවේරිස්ගෙ එකී ආයි මිනිහෙක්කෙක්ක ගිහිං කියන්නෙ ඇත්තද කිල්ලමෙයො"

"අනෙන්නැංද මේ බනකතාකොන්නොව. ඒකි මිනිහෙක් ඇරං ගෙදර ඇහිල්ල. අර ඉන්නෙ ජෝඩුදාල යස මහිමට"

"හැබෑ...ට...... අර මිනිහයි ළමයි දෙන්නයි මැරිල තුංමාසෙ ගියෙත් නෑ නේද?"


ඔය විදිහට ගමේ ඕපදූප බුරුතු පිටිං හුවමාරු වෙද්දි ආච්චම්මා ඒක විවිධප්‍රසංගයක් කරන්න මහන්සි ගන්නවා.


"ඔන්න කිල්ලමයො මං කියනව කයියක්."


ඉතිං ආච්චම්මා මං හැමදාම අහල පුරුදු ඒ කයිය කියනව.


සටපට ගගා පොඩි තේ දළු               නෙළනවද....
වටපිට බලනකොට පොඩි දළු          කැඩෙනවද....
එතකොට අනේ කංකානම               බණිනවද....
නැත්තං අනේ මං අමතක                 වෙනවාද...

පතල් කවි, පාරු කවි, පැල් කවි, ආදී නොයෙක් ජන කවි තිබුනට. මේ තමයි මං අහල තියෙන එකම 'දළු කැඩිලි' කයිය.





Friday, September 23, 2016

ලෙඩ්ඩු බැලීම හෙවත් Patient watching

ලෙඩක් නැතුව ඉස්පිතාලෙ යනවා නං ඒ හෙදියෝ, සාත්තු සේවිකාවෝ, දොස්තරලා සහ ලෙඩ්ඩු බලන්න යන අයයි. අනෙක් හැමෝම ඉස්පිරිතාලෙ යන්නේ ලෙඩකට බෙහෙත් ගන්නටය.


ඉස්පිතාලෙ, ස්ප්‍රිතාලෙ, ඉස්සිතාලෙ ආදී නොයෙක් නං වලින් හඳුන්වන්නේ රෝගී හල හෙවත් රෝහලම තමයි. සාමාන්‍යෙයං කට වහරට ලේසි වචනය “ඉස්පිතාලෙ“  වුනාට දැං හැමෝම ඒකට කියන්නෙ “හොස්පිට්ල් එක“ කියාය. ඕනෑම ඉංග්‍රීසි නාම පදයකට “එක“ යොදා ඒක සිංහලට හරවන්න පුලුවන්. ඒ වගේම ඉංග්‍රීසි ක්‍රියා පදයකට “කරනවා“ යොදා ඒකත් සිංහලට හරවන්න පුලුවන්. ඒත් මදිනං ඉංග්‍රීසි නාම පදයට “-ලයිස් කරනවා“ කියා යොදා ඒකේ ක්‍රියා පදයත් හදන්න පුලුවන්. ඒ විදිහට ඉංග්‍රීසියෙන් “හොස්පිට්ල් ඇඩ්මිට්“ කියන එක සිංහලට “හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරනවා“ කියා හෙළ බසට හරවන්න පුළුවන්. ඒත් නැත්තං “හොස්පිට්ල්“ යන නාම පදය “ලයිස් කර“ සිංහලෙන් “හොස්පිට්ලයිස් කරනවා“ කියා ක්‍රියාපදයක් හදන්නත් පුළුවන. මේ හංදා දැං කවුරුවත් ඉස්පිතාලෙ නොනැවතී “හොස්පිටලයිස්“ම කරන්නේය.


මිනිස්සු ඉස්පිතාලේ නවතින්න අකමැතිය. ඒ හංදා ලෙඩක් හැදුනහම කරන්නේ “පයිවෙට් බෙහෙත් දෙන“ තැනකට ගිහිං බෙහෙත් ගන්නා එකය. එතැනදී දොස්තර මහත්තයා ලෙඩාව “ඉස්පිතාලෙ නවත්තන්න“ හැදුවත්


“අනේ නවතින්න නං බෑ. මේ ටික බීලා අඩුවක් නූනොත් හෙටත් ආයිමත් එන්නං“


කියලා බේරෙන්නට පුළුවන. නැත්තං මිනිස්සු හිතාගෙන ඉන්නේ නොමිලේ බෙහෙත් දෙන ඉස්පිතාලෙට යන මිනිස්සු දුටුවිට දොස්තරවරු


“මේ මොන කරදරයක්ද? මුන්ට බැයිද හවසට සල්ලි දීල බෙහෙත් ගන්න එන්න? හිටු තොපිට ආයිමත් ඉස්පිතාලෙ නොඑන්න ගුලියක් අඹරන්න.“


කියා හිතලා ලෙඩාව නිකරුනේ ඉස්පිතාලෙ වාට්ටුවක නවත්වා පැයෙං පැයට ඉංජෙක්ෂන් ඇන, පැය බාගෙං බාගෙට ලේ ගෙන, හැම වේලකටම බෙහෙත් පෙති සේරුවක් පමණ පොවා දස වද දී ලෙඩාව හපයක් කොට ආයි ඒ පැත්ත පලාතෙ නොඑන තත්වෙට පත් කරන බවයි.


ඒ වුනාට මාරාන්තික අවස්ථාවකදී, ළමෙක් හම්බුවීමකදී ඉස්පිතාලෙ නවතින්නම වන්නේය.  එක්දාස් නමසිය පනස් ගනන්වලදීද ළමයි හම්බුවීමට ඉස්පිතාලෙ නැවැත්තූ බව අපේ තාත්තාගේ උප්පැන්නෙ බැලුවහම පැහැදිලි වන්නේය. එහි තිබෙන ආකාරයට ළමයා උපන් බව දැනුං දෙන්නේ කලවානේ ග්‍රාමීය ආරෝග්‍ය සාලාවේ ප්‍රධාන වෛද්‍ය මුලාදෑනිතැන වන දොන් හැක්ටර් සීබල් ප්‍රනාන්දුය.


අපිට නිතරම ඉස්පිතාලෙ යන්න වෙන්නේ “ලෙඩ්ඩු බැලීමට“ය. සාමාන්‍යයෙං ලෙඩ්ඩු බලන්නේ දොස්තර කෙනෙකි. අපි කරන්නේ අපේ හිතවත් එක ලෙඩෙක් බලන්නට යාමයි. ලෙඩ්ඩු බලන්නට හැම තිස්සෙම යන්නට බැරිය. ඒකට වෙලාවක් ඇත. උදේ පහාමාරෙ ඉඳං හයාමාර වෙනකං වගේ වෙලාවක්ද, දවල්ට සහ හවසටත් ඒ වගේ වෙලාවල්ද තිබේ. ඒ වෙලාව වෙනකං ඉස්පිතාලෙ ගේට්ටුව ගාව පොදිකන මිනිස්සු රෑනත්, ගේට්ටුව ගාව මුරකරන කෙනාත් අතර හටන බලා ඉන්නට ආසා හිතේ. මිනිස් සේනාවේ පිටිපස්සෙං එන තල්ලුවට ගේට්ටුව ඉස්සරහම ඉන්න අයව ගේට්ටුවට හිරවී ගේට්ටුව “ජිරි බිරි“ නාදය දෙයි. ඒත් එක්කම ගේට්ටුව ඉස්සරහම පේලියේ අය ලතෝනි දෙයි.


“තල්ලු කරන්නෙපා.... මරන්නද හදන්නෙ තල්ලුකොල්ලා....?“


එතකොට ගේට්ටුව මුරට ඉන්නා සුදු සරම කමිස ඇඳපු කෙනා බිමට බුලත්කෙල පාරක් ගසා “සැල්ලෙක“ දමයි.


“පොඩ්ඩක් ඉන්නවලකො. නැත්තං තමුසෙලවත් වාට්ටුවෙ නවත්තන්න වෙනව අතපය කඩාගෙන“


ඒ අතරෙ මුරකාරයාගේ කනට කුටු කුටු ගා එක්කෙනෙක් දෙන්නෙක් ගේට්ටුව අයිනේ තියෙන කපොල්ලෙං රිංගන්නේ මුරකාරයාගේ අතට තමුංගේ අත තියාගෙනමයි. ඒ වෙලාවට මුරකාරයා සෙනගට පිටුපාලා කමිස සාක්කුවට අත දාගෙන ආපහු හැරෙනවා.


 හරියටම වෙලාවට ගේට්ටුවේ අගුල පන්නද්දිම එතෙක් වෙලා ගේට්ටුව ගාව තෙරපෙමින් හිටි සෙනග සේනාව, උණුවතුර බෝතල්, මිරිස් හොදි බෝතල්, හිස් බීම බෝතල්වලට පුරවපු කහට බෝතල්, බත්මුල්, බනිස් ද පියන් රෝල් ද ආප්ප ද ඉඳියප්ප ද පිරවූ කඩදාසි කවරද, අලුතෙං හොදා වේලා ගෙනාපු රෙදි පොදි ද ආදී කොට ඇති ආම්පන්න පෙරදැරිව මුරකාරයාවත් පෙරලාගෙන, ගේට්ටුවත් අඹරාගෙන, සෙරෙප්පුවල පටි කඩාගෙන, බෑක්වල අඬු ගේට්ටුවේ උල්වල පටලාගෙන, සාරි පොටවල් පාගාගෙන “හැකි තරං වෙලා අපේ ලෙඩාගේ රූ සපුව බලාගන්නෙමු“යි යන ඒකායන අරමුණෙං ඉස්පිරිතාලෙ ඇතුලට කඩා වදිනවා.


මේ විදිහට කඩා පනින සේනාව තමුංගෙ වේගෙ අඩු කරන්නෙ ගේට්ටුවෙං සෑහෙන දුරක් ගියාට පස්සෙ මුරකාරයාට තමුංව අල්ලගන්න බැරි වග තහවුරු කරගෙනයි. ඉං පස්සෙ තියෙන්නෙ වාට්ටු හොයන සෙල්ලම. ඉස්පිතාලෙ වාට්ටු තියෙන්නෙ එක පිලිවෙලකට නෙමෙයි. පලවෙනි වාට්ටුවෙං පස්සෙ තුං වෙනි වාට්ටුවට. ඊළඟට හත. ආයි දකුණට හැරුණහං දෙක. ඉතිං මුළු ඉස්පිරිතාලෙම වාට්ටුවක් ගානෙ ඇවිදලා, තව හත් අට දෙනෙක්ගෙං අහලා තමයි වාට්ටුව හොයාගන්නෙ.


සමහර ප්‍රසිද්ධ අය ලෙඩ්ඩු වුනහම ඒ අයව බලන්න පෝලිමේ ඉන්න ඕනි. ඒ නිසා අනික් ලෙඩ්ඩුන්ට කරදරයි. විශේෂයෙන්ම ගමේ ප්‍රසිද්ධ ගුරුවරයෙක්, ග්‍රාම සේවක කෙනෙක්, මුදලාලි කෙනෙක් එහෙම ඉස්පිතාලෙ නැවතුනොත් මේ වැඩේ වෙනවමයි. ඒක ලෙඩාගෙත් හොඳ පන යන කාරනාවක්. මුලිම්ම යන කෙනා තමුං ගෙනාපු පාර්සලේ ලෙඩාගෙ අතට දෙනවා. අතපය හොල්ලන්න බැරි කෙනෙක් වුනත් අතට කටු ගහල, සේලයිං දීල තිවුනත් ඒක අතට ගන්නම ඕනි. සමහරු නං ඒක ලෙඩාගෙ ඇඟේ  පුළුවං තරං ගෑවෙන්න බඩ උඩිං හරි තියනවා. ඉතිං අත හොල්ලන්න බැරි ලෙඩා හොම්බෙං හරි අර පාර්සලේට අත ගහනවා. නැත්තං ඒක ලොකු කමක් හැටියටයි සලකන්නෙ. ඉතිං ඒ පාර්සලේ ලෙඩාට රඳවගන්න බැරුව රූටලා වැටෙන්න යනකොට “ලෙඩා ලඟ ඉන්න කෙනා“ සුටුස් ගාලා අර පාර්සලේ අරං ඇඳගාව තියෙන කබට්ටෙකේ ලාච්චුවට දානවා. හුඟක් වෙලාවට මේ පාර්සලේ තියෙන්නෙ ක්‍රීම් කැකර් පැකට්ටෙකක්, හෝර්ලිස්, නෙස්ටමෝල්, වීවා වගේ කිරි ජාති වලිං පැකැට්ටෙකක්, කෙහෙල් ඇවරියක් වගේ දෙයක්. ලෙඩෙක් බලන්න යන වට්ටෝරුවෙ තියෙන්නම ඕනි ජාති තමයි ක්‍රීම් කැකර්, මාමයිට්, හෝරලිස් නැත්තං වීවා.  සමහර අය “සල්ලිකාරකම“ පේන්න මිදි එහෙමත් ගෙනියනවා. ඒ වගේ වෙලාවටනං ඒ කවරෙ කබට්ටෙකට දාන්න “ලෙඩ්ඩු බලන්නා“ ඉඩ දෙන්නෑ.


“හා හා ඕක තැලෙයි තැලෙයි. ඕක දෙන්න දැං කන්න. පහුවෙද්දි නරක් වෙන්න පුලුවං“


ඉතිං අනෙක් “ලෙඩා බලන්න“ ආපු අය කෙළ ගිල ගිල බලං හිටිද්දි අමාරුවෙං හරි අර මිදි වල්ලම කන්න ලෙඩාට සිද්දවෙනවා. නැත්තං ඒක ලොකුකමක් හැටියට තමයි සැලකෙන්නේ. ඒ අතරෙ තමුං ගෙනාවෙ ඉතා මිල අධික ජාතියක් වන “මිදි“ බව අනික් හැමෝම දැනගත්තාදැයි තහවුරු කරගන්න මිදි ගෙනාපු ලෙඩ්ඩු බලන්නා බොහොම උජාරුවෙං වටපිට බලනවා. ඔය එන හැමෝම ලෙඩාට වෙච්චි සන්තෑසිය අකුරක් නෑරම විසි තිස් වතාවක්ම පවුලෙ අයගෙං අහල දැනගෙනයි එන්නෙ. ඒ වුනාට සහසුද්දෙම්ම දැන දැනත් ආයිමත් මුල ඉඳලම විස්තරේ අහනවා.


“හැබෑට ඉතිං මොකද්ද උනාය කියන්නෙ“


තමුං ලෙඩාට මිදි වැනි වටිනා කියන දෙයක් ගෙනැත්දීලා දැං ඒක කවලාත් ඉවර නිසා ලෙඩා තමුන්ට උත්තර දෙන්නට ණයයි කියා හිතාගෙන ලෙඩ්ඩු බලන්නා අහනවා. අසරණ ලෙඩාත් බොහොම අමාරුවෙං විස්තරේ මුල හිටංම කියනවා.


“හනෙහ්... ඔන්න ... මං ... ඈට කාල.... හේම ..... නිදංඉන්න කොට.... මයෙමේ... පපුව හිර..... හිරවීගෙන ..................“

ඒකෙං තෘප්තියට පත් නොවෙන ලෙඩ්ඩු බලන්නා විස්තර කිරීම අතරතුර ප්‍රශ්ණ අහනවා. ඒවටත් උත්තර දෙන්න ඕනි. ඒ මදිවට උපදෙසුත් දෙනව.


“ඇයි ගෙදර අයට කිව්වෙ නැද්ද?“

“යංතං හැදීගෙන එනකොට ඉස්පිතාලෙ එන්නනෙ තිවුනෙ“

“සිද්දාර්ත තෙල් ටිකක්කත් ගාගන්න එපෑ“

“ඔය ඔක්කොටම වඩා හොඳා තෙල් ඩිංගක් මතුරෝ ගත්තනං“


ඒ අතරෙ ඇඳගාව තියෙන දොස්තර ලියාපු කොල පවා අරං බලනවා. තමුන්ට තේරෙනවා වගේ. ඇස්රේ ගත්තු කාඩ් තිබුනොත් ඒවත් උඩට කරලා අල්ලලා බලල


“මෙන්න මෙතන තමයි මේ තියෙන්නෙ ගුලියක් වගේ හැදිල.“


කියලා රෝග විනිශ්චයත් කරනවා. ඔය සේරම කරලා බලල


“එහෙනං මං යන්නං. තව පුරාම වැඩ තියෙනව. මේ නෑවිල්ල බැරිකමට ආවෙ“

කියලා යන්න ලෑස්තිවෙනවා. අන්න එතකොට ලෙඩා තමුන්ට බැරි අමාරුකං කොයිතරං තිබුණත් ඇඳෙං පොඩ්ඩක් උඩට ඉස්සිලා හරි ගරුසරු දක්වලා

“අනේ බොහොම පිං මේ තරං වියදමක් කරගෙන මාව බලන්න ආවට“

කියලා දීර්ඝ පිංදීමක් කරන්න ඕනි. එතකොට ලෙඩ්ඩු බලන්නා


“ඒව නං මොනවද? මං කොහොමටත් ඕන කෙනෙක්ගෙ දුකකදි පිහිටට එනවා“


කියලා අනෙක් ලෙඩ්ඩු බලන්නන්ට පේන්න උජාරුවට පුම්බගෙන යන්න යනවා. ඒ ගමන අනික් ලෙඩ්ඩු බලන්නොත් කුපිත වෙනවා. ඒ අයත් තමුං ගෙනාපු තෑගි ලෙඩාගෙ ඇඟේ ගහලා තමුං ගෙනාපු ඒවත් ලෙඩාට කවන්න හදනවා. කලිං ලෙඩ්ඩු බලන්නාට කියපු විස්තරේ ඇහුනෙ නෑ වගේ ආයිමත් විස්තරේ අහනවා. තමුන්ගෙ හිතට හරියන තරං ලෙඩාට වද දුන්නට පස්සෙ ඒ අයත් යන්න යනවා. අන්තිමට ලෙඩාගෙ ගෙදරිං එන අය ලෙඩාට හම්බුවෙච්ච කවර ටික දිගෑරලා බලල ඒවා වර්ගීකරණය කරනවා. ආප්ප, ඉඳියාප්ප, බනිස්, කෙහෙල්ගෙඩි ආදිය කුණු ගොඩට හරි බල්ලෙක්ට හරි දානවා. ක්‍රීම් කැකර් පැකට් එහෙම අනික් ඇඳංවල ඉන්න ලෙඩ්ඩුන්ට දෙන්න අහනවා. නැත්තං වෙනිං කාගෙහරි ඇඟේ ගහනවා. කිරි පැකට්, හොඳ විස්කෝතු, ඇපල්, දොඩං ආදිය විතරක් ගෙදර ගෙනියනවා.


බබ්බු හම්බෙච්ච අම්මලාටත් එහෙමයි. එයාලා බලන්න යන අය වැඩියක්ම බලන්නේ ළමයගෙ අම්ම ගැන නෙමෙයි ළමය ගැන. සමහර වයසක අය ළමය වඩාගන්න හදනවා, තව අය ළමයගෙ කකුල්, අතපය, නහය එහෙම ඇද කියලා ඒවා දැම්ම හදන්න ඕනි කියනවා. තවත් අය ළමයගෙත්, දෙමව්පියංගෙත් සමානකං බලනවා. ළමයා ගෑණු දරුවෙක් නං “කෙල්ලෙද්ද ඉන්නෙ“ කියලා අහනවා. ඒ අතරෙ ළමයා ලැබුණ කාන්තාවට මිරිස් හොදි පොවනවා. අන්තිමට ළමයටත්, අම්මටත් ඇති පදං වද දීලා ඒ අයත් යන්න යනවා.


මේ හිංදා දැං ඉස්පිරිතාලවල ලෙඩෙක් බලන්න යන්න දෙන්නෙ දෙන්නෙක්ට විතරයි. ඒ වුනත් අපේ ඔපීස් එකේ ඉඳලා ඉස්පිතාලෙට මාරුවක් හදං ගිය සුමතිපාල අයියා හිංදා අපේ එවුන් නං ඕන වෙලාවක ලෙඩෙක් බලන්න යන්න හොර පාරක් හදාගෙන තියෙන්නේ.


කාලෙකට ඉහතදි අපි දෙන්නත් අපේ අම්මගෙ මල්ලිව බලන්න රත්නපුර ඉස්පිතාලෙට ගියා. වාට්ටුව හොයාගෙන ඇඳත් ගොයාගත්තත් අපේ මාම ඇඳේ නෑ. ඉං පස්සෙ අහල පහල ඇඳංවල හිටපු ලෙඩ්ඩු බලාගත්ත අයගෙනුත් ඇහුවම


“අර කෙට්ටු එක්කෙනා නේද? දැං හිටියනෙ“


කියලා උත්තර ලැබුනා. විනාඩි පහක් හයකට පස්සෙ අපේ මාමා අපි දෙන්නටත් වඩා නීරෝගිමත් විදිහට එයාගෙ ඇඳගාවට ආවා.


“ආ... මං මේ ගියා අර අපේ ඉස්කෝලෙ මිස් කෙනෙක්ගෙ යාලුවෙක්ගෙ මල්ලිගෙ ළමය නවත්තල ඉන්නව ළමා වාට්ටුවෙ. ඒ ළමය බලන්න ගියෙ. ඒ ළමයෑ නහයෙ................. වෙලා.“


“දැං කොහොමද මාමෙ මාමගෙ ලෙඩේ.“


“තව ඉතිං චුට්ටක් චුට්ටක් ඉතර තියෙනව. ඒක වැඩියෙ ගානක් නෑ. නමුත් මේ කලන්තෙ වගේ හැදෙන එක තවම එතරම්ම අඩුවක් නෑ“


“කෑම එහෙම මොනවද කන්න කිව්වෙ“


“ආ..... කෑම මං ඕනි දෙයක් කනව. අර ඩයබිඩිස් තියෙන හංද දෙන්නෙ ටිකක් අමුතු කෑම. ඒව නං කන්න බෑ. මිසීලගෙ හිත රිද්දන්න බැරි නිසා මං ඒව වෙනමම අරං තියල බලන්න එන කෙනෙක් අතේ යවනව විසික් කරන්න. බඩගිනි වෙනකොට මං හිමීට කැන්ටිමට ගිහිං  ලෙඩෙක් බලාගන්න කෙනෙක් වගේ මට ඕනි ජාති කාල එනව. හැබැයි ඉස්පිතාලෙං ගහ්ලබු පලුවක් දෙනව මෙන්න මෙච්චර හිටී එක කෑල්ල. ඒකනං මං කනව එහෙම්පිටිම්ම“


මාමා බඹයක් විතර දිගක් අත් දෙක දෙපැත්තට කරල පෙන්නුවා. ඒ තරං දිගට ගස්ලබ්බක් තියා පතෝල කරලක්වත් හැදෙන්නැති නිසා අපි දෙන්නට ඒක විස්සාස නැති වග අපේ මූනෙං පේන්න තිබුනම මාමා ඒක රියනක් විතර අඩු කරල පෙන්නුව.


“එච්චර කොහොමත් මෙන්න මෙච්චරනං හිටී කොහොම හරි. ඔව් මීට නං පොඩි නෑ“


අන්තිමට ඉස්පිතාලෙං දෙන්නෙ අඩි එකහමාරක් විතර දිග පරාක්‍රමබාහු වර්ගයේ ගහ්ලබු පලුවක් බව අපිට ඒත්තු ගන්වන්න මාමට පුළුවං උනා. ඉතිං මාමට කිඹුහුමක් තරංවත් අසනීපයක් නැති බව සහසුද්දෙම්ම දැනගෙන මාමට වැඳල එන්න හදනකොට මාම අපිට මෙහෙම කිව්වා.


“හා හොඳයි යන්න එහෙනං. අද දවල්ට මගෙත් ටිකට් කපයි. මං අදත් ඉඳල හෙටම යනව.“


මට මේ කතාව මතක්වුනේ චූටි මැණිකෙගෙ පුංචම්මගෙ පුතා බලන්න ගිය වෙලාවෙදි. මිනිහ තාමත් රත්නපුරේ මහ ඉස්පිරිතාලෙ.


ලෙඩෙක් ඉස්පිතාලෙ නිකං වාට්ටුවක නවත්තනවට වඩා නම්බුවක් වෙන්නෙ “අයිසියු එකේ“ දැම්ම කිව්වම. 


“නිකං වාට්ටුවකද ඉන්නෙ“


කියල ගමේ අය සවුත්තුවට වගේ අහද්දි


“නෑ........ඈෑෑෑෑ . අයිසියු එකේ. දැඩිසත් කාරෙ. ඔක්කොටම බට දාලා. ටීවී හිටං හයිකල්ලා“


කිව්වම තමයි


“හාාාානේඒඒඒඒඑ..... ඇත්තද“


කියලා කාන්තාවංගෙ අත් කම්මුලට එන්නෙ. ඉතිං අපේ මලයත් ඒ නම්බුව අපිට අරං දුන්නා. මිනිහා සිහියක් පතක් නැතුව නව දොරටම බට දාලා මැසිං හයිකරලා අයිසියු එකේ දාලා ඉන්න බව මුළු පවුල පුරාම විදිලි වේගෙං පැතිරිලා ගියා. එදා මොබිටෙල් කොම්පැනියට සරුයි. සිය මුණුබුරා ගැන තමුංගෙ ශෝකය අනෙක් අයට වඩා වැඩි බව පෙන්නීමට චූටි මැණිකෙගේ ආච්චම්මා “කොලුව නැතුව මගෙ උගුරෙං පල්ලට මොකවක් ගිලෙන්නෑ“ කියලා ආහාර වර්ජනේ පටං ගත්තා. සිය මෑණියන්ට නොදෙවෙනි අපෙ නැංදම්මාත් “අනේ අසරණ කොලුව ගැන මට දුකේ බෑ“ කියලා තමුංගෙ නගාගෙ කොලුවා වෙනුවෙං ආහාර වර්ජනේ පටංගත්තා. ඒ විතරක් නෙමෙයි. “මං දැං වේල් තුනකිං වතුර ඩිංගක්වත් බිව්වෙ නෑ. මේ කොලුට වෙච්චි දේ හිංදා“ කියලා නිතරම අනික් අයව දුරකථනයෙං දැනුවත් කළා. මේ යන විදිහට ගියොත් ආහාර වර්ජන රැල්ලේ අතුරු විපාක තමුන්ටත් බලපානු ඇති බවට ඇතිවූ සැකය නිසා දුරදක්නා නුවනින් යුතු චූටි මැණිකෙගේ මලයා වහාම සිය ඥාති නැන්දෙක්ව නිවසේ නවත්තා ගත්තේ අම්මට උදව්වට හොඳයි කියා වුවත් එහි අරමුණ වුනේ ඉදිරියේ පැමිණිය හැකි සාගතයෙන් මිදීම වන්නට පුළුවන්. ඒ අතරේ ලෙඩාගෙ තාත්තාට පපුවෙ අමාරුවක් හැදුනා. ලෙඩාගෙ නංගී තමුංගේ සියලුම දෛනික රූපලාවන්‍ය කටයුතු අතෑරියා. අන්තිමට අපිට දුක පෙන්නන්න ක්‍රමයක් නැත්තටම නැතිවුනා.


දවසට වේලකට ලෙඩා බලන්න යන්න දෙන්නේ දෙන්නෙක්ට විතරක් වුනත් ඇතිවුණ තදබදය හමුවේ වේලකට ලෙඩා බලන්න අට දෙනෙක්ට වඩා හිටිය නිසා ලෙඩා බලන්න දවස් දෙකකටවත් කලින් ඇපොයිමන්ට් දාන්න වුනා. අන්තිමට අපි දෙන්නගෙං එක්කෙනෙකුටත් සෙනසුරාදා දවල්ට ලෙඩා බලන්න පුලුවං කම ලැබුනා. අන්තිමට එදාට යෙදුනු හිතවත් බ්ලොග්කරු රවීන්ද්‍ර බණ්ඩාරයන්ගේ ප්‍රත්‍යාවලෝකන උත්සවයටත් නොඉඳ අපි ලෙඩා බලන්න ගියා.


එතැන බලන්න වටිනා දර්ශනයකි. අපි ජීවිතේට නොදැක්ක ඥාතින් එතනය. සමහරුන්ට අඩු ටයි එක පමණි. අත් දිගට ඇඳ සපත්තු දමා චාලි චැප්ලින් වගේ ඇවිදින මාමලා, ඩෙනිම් ඇඳ ජපං ක්‍රමයට ඇවිදින නැන්දලා ආදීන් මගේ හිතේ තිබූ දුක සැනෙකිං තුනී කලේ ගෝදම්බ රොටියක් වගේයි. ඒ අතරේ සමහරු තමුංගේ ගමේ කෙනෙක්ගේ නංගි කෙනෙක් බැඳපු ගමේ ඉස්කෝලෙ මහත්තයගෙ පුතා වන කොහෙදෝ ඉස්පිතාලෙක දොස්තර මහත්තයෙක් ලවා අයිසියූ එකේ දොස්තර මහත්තයාට කතා කරවන්නට හදයි. ඒ අය හිතන විදිහට එහෙම කතා කළ විට අයිසියූ එකේ දොස්තර මහත්තයා හංගාගෙන සිටින මහා ආශ්චර්ය සම්පන්න බෙහෙතක් විද ලෙඩාව නිංදෙං ඇහැරියා මෙන් සනීප කරවා අද හවසම ගෙදර යවනවා ඇත. තවත් මාමෙක් ඒ විදිහට කවුදෝ කෙනෙක් ලවා රසායනාගාරයට කතා කරවා දවස් ගනනක් තිස්සේ කළ යුතු ලේ පරීක්ෂාවක්ද පැයෙං කරවන්න හදයි. එයා හිතන විදිහට දවස් ගනන් ගතවන අවක්ෂේපවීම් අදාල රසායන ද්‍රව්‍යවලට තර්ජනය කර එක මිනිත්තුවෙං කරවාගත හැකිය. තවත් කෙනෙක් කියන පරිදි මේ ඉස්පිතාලෙ හරියට වෙදකං කරන්නේ නැත. එයාගේ ගමේ යස අගේට හිටපු කෙනෙකුත් මේ ඉස්පිතාලෙ ගෙනැත් නවත්තලා බොහොම අමාරුවෙලා බලෙං ටිකැට් කප්පවාගෙන ‘නවලෝකෙ‘ ගෙනිහිං සනීප කරගෙන ඇත. යස අගේට හිටපු මිනිහෙක් නං ඉස්පිතාලෙ නැවැත්තුවේ මොකදැයි ඇහුවානං එයත් එක්කත් තරහ වෙන්න තිබුණා.  ඒ අතරේ පැරණි එදිරිවාදිකං නිසා එකිනෙකා නුරුස්සන කාන්තාවෝ එකිනෙකාට ඉහලිං යන්නට පුරාජේරු විකාශනය කරනවා.


“අපේ එක්කෙනාට අද වෙඩින් එකකට යන්න තිබුනෙ. දැනුත් මනමාල ජෝඩුවම කතා කළා. කොහොම හරි එන්න කියලා.“


“අපිටත් අද හදීඊඊසි ගමං දෙකක්ම තිබුනා“


“අද අපේ දුවට එක්සෑම්මෙකක්. ඒකයි මාත් දවල්ටම බලන්න ආවෙ. එයා ...................... ඩිග්‍රිය කරනවනෙ“


“මං අද බස්සෙකේ ආවෙ. හරි අමාරුයි. අපේ දෝනි හිටියනං මාව ගෙනත්දානවා. එයාට දැං ඉස්කූටර් ඩ්‍රයිව් කරන්න පුළුවං.“


ඒ අතරේ ලෙඩ්ඩු බලන්නන් ඇතුලත් කරගැනීමේ යුද්දෙ ඇරඹුනා. අනික් අය කටුව ගහන්න හැදුවත් අපි කලිං වෙන්කරවං හිටපු අවස්ථාව උදුරගන්න ඒ අයට බැරිවුනා. ලෙඩෙක් බලන්න අපි ගියා කියලා අමුතුවෙන් වෙන සෙතක් නැති හංදා චූටි මැණිකේ විතරක් පුංචම්මා එක්ක යවලා මං ඉස්පිරිතාලෙ ඉස්සරහ ලෙඩ්ඩු බලන අය වෙලාව එනකං බලං ඉන්න කොටසේ ඉඳගෙන අවට සිරි නරඹමින් හිටියා. ටිකකිං පුංචම්මාත්, නංගීත්, චූටිමැණීකේත් මං ඉන්න පැත්තට එනවා මං දැක්කා. මාත් ඒ අයත් අතර දුර අඩුවන වේගයට සමාන වේගයකිං ඒ අයගේ මූණූ බ්‍රේක් ලයිනරයක හැඩය ගන්නවා මට පෙනුනා.


“ඉහි ඉහි ඉහි ඉහි ඉහිග් ගිග්ගිග්“


ඩිමෝ බට්ටෙක් ඉස්ටාට් කලා වගේ එක පාරටම දෙනෝදාහක් ඉස්සරහ පුංචම්මා මාව බදාගෙන අඬන්න පටංගත්තා. වටේ පිටේ හිටපු මිනිස්සු දරුණු අපරාදකාරයෙක් දිහා බලනවා වගේ මට ඔරවන්න පටංගත්තා. ඒ අයගෙ හිතේ මා ගැන ඇතිවුණු සිතුවිලි මොනවාදැයි අදටත් මං දන්නෑ. පුංචම්මගේ දුවත් තමුංගේ අම්මට සහයට ‘අත්වැල් ගායනයක්‘ ආරම්භ කරන්න හැදුවත් මං එකපාරක් ඔරවා බැලීමෙං ඒ කටයුත්ත අසාර්ථක වුනා. පුංචම්මා විතරක් තමුංගෙ ගායනය කරගෙන ගියා.


“අලේ එහෙ එහෙ හේ.....ය්ක්...... අලෙ වයෙ වුතා“


“ඇයි පුංචම්මෙ මොකද, වෙලා තියෙන්නෙ“


“ගතා ගොලල්ලෑ....ඇහැ ඇහැ ඇහැ...ඌෟෟෟ....“


බැරිම තැන මං චූටි මැණිකෙගෙං ඇහුවා


“මොකද වෙලා තියෙන්නෙ“


“මොකවත් නෑ. පුංචිට දුක හිතිලා.“


ඔය විදිහක විනාඩි හත අටක සාර්ථක ඇඬීමකින් පස්සෙ හවස එක වෙද්දි පුංචම්මගෙ ටෙලිපෝන් එක නාද වෙන්න  පටං ගත්තා. එයා ඒවට උත්තර දුන්නා. එකක් ඉවර වෙන්න එකක් ආදී වසයෙන් සංවාද ගනනාවකට පස්සෙ අපිට ඒ කතාබහවල සාරාංශයක් ලැබුණා. පැය දෙකෙං ඉස්පිතාලෙට එන්න පුලුවං දුරකින් ඉන්න එක නෑදෑයෙක් ‘මේ දරුවගෙ ලෙඩේ වෙනුවෙං බොහෝම දුර දේවාලෙක පූජාවක් තියන්න ගිය නිසා බලන්න එන්න බැරිවුන‘ බව කියා තිබුනා. ඒ විදිහටම තවත් අය නොයෙක් විදිහෙ පුද පූජා, බෝධි පූජා ආදිය තියලා තිබුනා. ඒ වගේම සමහර අය එයාලා ඉන්න හරියෙ ඉස්පිරිතාලෙට ලෙඩා මාරුකරගන්න බලන්න කියලත් තිබුනා. එතකොට එයාලට බලන්න එන්න කිට්ටු බවත්, ඒ අය අඳුරන දොස්තරලා ලවා ලෙඩාව හොඳට බලවන්න පුළුවන් බවත් කියලා තිබුනා. 


හවස මුරේට ලෙඩා බලන්න ඉන්න අයට ඉඩ දීලා තව පැයකිං විතර අපි දෙන්නා එන්න ආවා. ලෙඩා බලන්න ආපු අය මහ මගට වියදං කරපු සල්ලියි, ටෙලිපෝන් කෝල් වලට වියදං කරපු සල්ලියි සේරම එක්කහු කරලා ඒ පවුලෙ අයට දුන්නනං ‘නවලෝකෙ‘ නවත්තන්න තිබුණ තමයි. අපි ලෙඩා බලන්න ගියා කියලා අමුතු වෙදකමක්වත්, සුවයක්වත් වෙන්නෙත් නෑනෙ. ඒ උණාට “අපිත් බලන්න ගියා“ කියන නම්බුව නෑනේ. ඒ හංදා තව කෙනෙක් ලෙඩ වුනත් අපි ලෙඩ්ඩු බලන්න යනව.











Saturday, September 17, 2016

තේ ගස යට හෙවත් Under the tea tree - 3 (බෙහෙත් ගැහිල්ල, දළු කැඩිල්ල)



දැං තේ පැලේ පැලවෙලා ටිකෙන් ටික උස්වෙන කාලෙ. තේ ගහට උදව්වට කෙනෙක් ඉන්න ඕනි. හරිනං මේ වෙනකොටත් එයා මෙතන ඉන්න ඕනෑ. ඒ තමයි ලාඩප්ප ගහ. දන්නෑ නේද? එහෙනම් "නංචි"? ආ ඒක දෙමළ නමක්නෙ? එහෙනං "ග්ලිරිසීඩිය", "වැටමාර"? ඔය කොයි නමින් කිව්වත් ඒ ලාඩප්ප ගහ තමයි. ඔය ලාඩප්ප ගහ හිටවන්නෙ තේ ගහට හෙවනක් වෙන්නලු. ඒ වුනාට එක ලාඩප්ප ගහක ඉඳං අනික් ගහට අඩි පහලොවක් විස්සක් දුර හිංදා ඒ හැටි හෙවනක් ගන්න අමාරුයි. ඒක හරියට වැස්සෙං බේරෙන්න ඔලුවට උඩිං අත ඇල්ලුව වගේ වැඩක්. හැබැයි ලාඩප්ප ගහෙන් වෙනිං ප්‍රයෝජන තියෙනවා. දලු කඩන්න යද්දි ගෙනියන කැම ජාති කවරෙක දාලා එල්ලල තියන්න පුළුවං ලාඩප්ප ගහේ කරුවක. නැත්තං පොඩි ලමයින්ගෙනුයි බල්ලංගෙනුයි එවා බේරගන්න අමාරුයි. හැබැයි ඒවෙනුවට ලේන්නුයි, කුරුල්ලොයි ඒවාට වහ වැටෙනවා. පිහියක් එහෙම ගහේ උලගහල තියාගන්න පුලුවන්. ඒ වගේම වලියක් වෙලාවට බොහොම ලේසියෙන් පොල්ලක් කඩාගන්න පුලුවං ගහක්. කලින් කලට ගහ උස යනකොට කපලා දාන ලාඩප්පා අතු දරට ගන්න පුලුවං. එහෙම කපල තේ ගහයට දාපු ලාඩප්ප පොලු සමහර වෙලාවට කකුලෙ පැටලිලා හොස්ස කට තැලෙන්න "දෙරි ගහන්නත්" පුලුවං.

තේ පැලේ තේ ගහ බවට පත් කරගන්න තව බොහොම ආවතේව කරන්න තියෙනවා. නමුත් එව්වා එකින් එක කියන්න මට මතකත් නෑ. අනික එව්වා ඒ තරං ලියන එක තේ වවන්නෙක්ට මිසක වෙනිං කෙනෙක්ට වැදගත් වෙන්නෙත් නෑ. ඒ හංදා අපි තරුණ වසයෙ තේ ගහ වෙත යොමුවෙමු. 

අවුරුදු තුනෙං පස්සෙ තේ ගහේ දළු කඩන්න පුලුවං. දළු කඩන්න පටංගත්ත ගමං හැකි ඉක්මනට තේ ගස් ටික එකට යා කරගන්න ඕනි. ඒ කියන්නේ තේ ගස් අතර හිඩැසක් නැතිවෙන්න, තේ ගහ යට පොලවට ඉර එලිය නොවැටෙන්න තියෙන්න ඕනි. එයිං ඇතිවෙන ලොකුම ප්‍රයෝජනය වල්පැල හැදෙන එක පාලනය වීම. ඉර එලිය වැටුනෙ නැතුවහම වල්පැල වර්ධනය බාල වෙනවනෙ. ඒත් මාස හය හතකට සැරයක් තේ ගස් යට “උදුලුගාන්න“ ඕනි. තේ ගහ යට උදැල්ලෙන් වැඩ කරන්න අමාරුයි. අනෙක් ගස්වල වදිනවා. ගහ මුල සුද්ද කරද්දි තේ ගහේ මුල් කැපෙනවා. ඒ හිංදා ‘සොරඬිය‘ කියලා ආවුදයක් තමයි වතුවල පාවිච්චි කරන්නෙ. මම නං දන්න හොඳම ක්‍රමය තමයි වල් පැල අතිං ගැලවීම. ඒ වුනාට සේවක කුලිය වැඩි නිසා අපේ අය හුඟක් දෙනා කරන්නෙ ‘බෙහෙත් ගැහිල්ල‘.  තේ අක්කරේක විතර එක දවසින් බෙහෙත් ගහල ඉවර කරන්න පුලුවං. නමුත් තේ අක්කරයක් අතින් සුද්ද කරන්න ගියොත් දවස් පහකටත් වඩා යනවා. ඒ හංදා බෙහෙත් ගැහිල්ල ලාබයි. බෙහෙත් ගහන්නෙ ටැංකියෙන්. ටැංකි හැමෝටම නෑ. කුඩා තේ වතු සමිතිවල තියෙනව ටැංකි. සමිතියෙ අයට කුලියට දෙන්න. තව ගමේ පෝසත් අය ගාවත් තියෙනවා. එව්වා දෙන්නෙ තෝරාගත්ත කීප දෙනෙකුට විතරයි. ජාතුංගම බාප්පලෑ ටැංකිය දෙන්නෙ හේමිචන්දර මාමටයි, අපේ ගෙදරටයි විතරයි. වෙනිං කෙනෙක් ගිහිං ඇහුවොත්


“නිපල්ලෙක කැල්ල. කෑල්ලක් දාන්න වෙනව අලුතෙං“

“අර මද්ද ගිනිහිං බිම ඇතෑරල පැත්තක් තැල්ල. පොම්පෙ හිරවෙලා තියෙන්නෙ“

“ලෙදර්රෙක උනුවෙලා. බෙහෙත් වදින්නෑ. නැහ්නං නොදී ඉන්නෑ. ඕන්නැං ගිනිහිං බලන්නකො. අපරාදෙ බෙහෙට්ටික අහක ඉතිං“

වගේ මොකක් හරි කියල නොදී යවනව. එහෙම නැත්තං ටැංකිය ගෙයි හංගල තියල 

“ඔන්න ඊයෙ පියදාසයිය ඉල්ලං ගියා. ෂෙක් අම්ප ඊයෙ ආවනං ගිනියන්න තිබ්බ ඉල්ලුවහං නොදී බෑනෙ

කියල වෙනිං කවුරුහරි ගෙනිච්ච විදිහට නොදී අරිනව. ඒ වගේම තමයි බෙහෙත් ගැහුවට පස්සෙ ටැංකිය හොඳට හෝදල, වේලල, පොම්පෙ ලෙදර් කෑල්ලට ඔයිල් ටිකක් එහෙම දාලා ගිහිං දෙන්න ඕනි. නැත්තං 

“ආයිනං කිසියම්ම කිසි දවසක ඕකලට දෙන්නෑ ටැංකිය.“

කියලා ටැංකිය අයිතිකාරය වෙනිං මිනිස්සු එක්ක කියනවා. ඒ වගෙම තමා ආයි ඉල්ලුවට ටැංකිය හම්බුවෙන්නෙත් නෑ. ඒ අතරෙ සමහර ටැංකිහිමියො ටැංකිය දෙන්නෑ. එයාට කිව්වහම එයාම ඇවිල්ල ටැංකියෙං බෙහෙට්ටික ගහල දෙනවා. හැබැයි එයාගෙ දවසෙ කුලිය දෙන්න ඕනි. ඒක මේසන් බාස් කෙනෙක්ගෙ කුලිය තරම්ම ලොකු ගානක්.
ටැංකියක්


බෙහෙත් ගැහිල්ලෙං පස්සෙ එක වතාවක් හොඳට දලුත් ඇදෙනවා. මැරිච්ච තණකොළ ගස්වල සාරෙත් උරාගෙන. හැබැයි මේ හිංදා තේ ගහේ දළුවල අතරින් පතර වෙනස් විදිහෙ කොල හැදෙනවා. සාමාන්‍ය තේ දල්ලක කොලේට වඩා දිග, එයිං කාලක් විතර පළල කොල තියෙන දල්ලක් ගහක හැදිල තිවුනොත් ඉස්තිරේටම කියන්න පුලුවං

“මේ කෑල්ලට සර්පාස් ගහල තියෙන්නෙ“

කියලා. 

බෙහෙත් ගැහිල්ල වගේ නෙමෙයි දලු කැඩිල්ල. ඒක සතියක් ගානෙ කෙරෙන්න ඕනි වැඩක් නෙ. තේ කොල විකුණන දැන්වීම් වල ඕන හැටියෙ තියෙනවා දලු කඩන විදිහ. හරියට කොල දෙකයි අරිම්බුවයි තියෙන්න තේ ගහෙන් උඩට මලක් වගේ මතුවෙලා “ඉඳා කඩාගනිං“ කියල ඉන්න තේ දල්ල මාලු ලැල්ලෙ විකුනන්න තියෙන දැල්ලංගෙ පාට රෝසම රෝස ඇඟිලි වලින් අල්ලල යන්තං අංශක තුනක් නමපු ගමං පුඩ් සිටියෙ තියෙන බෝංචි කරලක් කැඩෙනව වගේ “ටික්“ ගාල කැඩෙනව. දල්ලෙ අග තිවුන පිනි බිංදු කීපයක් හඳේ ගුරුත්වාකර්ශණයට අහුවුනා වගේ හිමීට පාවෙලා යනව. ආං එහෙමයි දලු කඩන්නෙ. හැබැයි ඒ මහ පොලොවෙ නෙමෙයි හඳේ.

දලු කඩන්න ඉගෙනගන්නවනං ඊට කලිං ඉවසීම ප්‍රගුණ කරන්න ඕනි. නැත්තං දලු කඩනවාට වඩා තේ ගස් උගුල්ලා දැමීම සිද්දවෙන්න පුලුවන්. තේ ගහේ දලු හැදෙන්නෙ වැවේ මානෙල් පිපෙනව වගේ කොලවලට වඩා උසින් නෙමෙයි. ගහේ කොලවල මට්ටමෙන්මයි. ඒ නිසා කොල නොකඩා දලු විතරක් තෝරලා කඩන්න ඕනැ. ඒකයි තවමත් දලු කඩන්න යන්ත්‍රයක් හරියාකාරව හදන්න බැරි. ටික දවසක් යනකං දල්ලෙන් දල්ල තෝරලා කඩන්න ගියහම දවසටම දලු කිලෝ දහයක්වත් කඩන්න බෑ. බලන්නකො මේ පින්තූරෙ. එතකොට තේරෙයි දලු කැඩිල්ල මොලේ කොලොප්පං වෙන වැඩක් කියලා.  




මේ රතු පාටිං ලකුණු කරල තියෙන ඒවා තවම ඇදිල මදි. ඒවා කඩන්න හොඳ නෑ. නිල් පාට එක කඩන්න ඕනි. ඒක නියම ගානට ඇදිලා. හැබැයි ඒක කඩන්නෙ ගහේ මට්ටමට. එතකොට තමයි ඊළඟට දලු ඇදෙද්දි එක මට්ටමට ඇදෙන්නෙ. එතකොට කහපාට ඒවා? හොඳින් බැලුවොත් පෙනෙයි ඒවයෙ අරිම්බුව නෑ. ඒ කියන්නෙ මෙතනිං එහාට කොලයක් ඇදෙන්නෙ නෑ. එ් නිසා මේවා කඩලා අයින් කරන්නම ඕනි. හැබැයි මේවා මෝරලා නං කඩලා අහක දානව මිසක් දලු කවරෙට දාගන්නෙ නෑ. සාමාන්‍යෙයං දලු කඩන්නෙක් තප්පරේට දලු දෙකක්වත් කඩනවා. එතකොට මෙතන තියෙන වැදගත්ම කාරනාව තමයි මේවා කඩනවද? කඩන්නෙ කොතනින්ද? කඩල කවරෙට දානවද? අහක දානවද? කියන කාරණා හිතල තීරණය කරන්න තියෙන්නෙ තත්පරෙන් තුනෙං පංගුවක විතර කාලයයි. ආං ඒ හන්දා දළු කඩන කෙනාටත් වේගවත් මොළයක් තියෙන බව තේරුම් ගන්න ඕනි. ඒ වගේම තමයි තේ ගහේ අස්වැන්න තීරණය කරන තීරණාත්මක සාධකයක් වෙන්නෙත් දළු කඩන කෙනාගෙ “හොඳකම“.


තේ අක්කරයක් හමාරක් විතර තියෙන පවුලක නම් “මහ ජෝඩුවට“ පුළුවං ඉඩමෙ දළු ටික කඩාගෙන, නඩත්තු කරගන්න. නමුත් අක්කර දෙක තුනට වඩා තියෙනකොට “දළු කඩන අය“ හොයාගන්න වෙනවා. ඉස්සර නං අපේ ගමේ ඕන තරං දළු කඩන අය හිටියා. ඒ දවස්වල එතරං තේ ඉඩං තිවුනෙත් නෑ. නමුත් පස්සෙං පහු හැමතැනම තේ වැවිල්ල පටං ගනිද්දි  දළු කඩන අය මදිවුනා. ඒ හංදා කලිං “කියල තියන්න“ වුනා. 
දළු කඩන අය අතරිං අපේ “දැතිහුලහ“ නැන්දයි, එයාගෙ මනුස්සයයි ඒ අවට ප්‍රසිද්ධයි. ඒ දෙන්නව හොයාගෙන හැන්දෑවට ඉඩං අයිතිකාරයො එනව. අපේ ගේ ගාව කන්ද උඩට ඇවිත් කෑගහනව. අපේ ගෙවල් මණ්ඩියෙ එක සන්නිවේදන ක්‍රමයක් තමයි කෑගැහිල්ල.

“පීසේන මල්ලී..... පීසේන මල්ලී.... චන්දරා නංගියේ..... චංදරා නංගියේ“

මෙහා කන්දෙ ඉඳං නැංදා උත්තර දෙනව

“ඕ ඕ රාලාමි අයියේ... මේ ඉන්නෝ....“


ආයිත් රාලහාමි මාමා කෑගහනව

“හෙට අපේ දළුටික කඩන්න ආවැක්ද දෙන්නටම. ඈ...“

නැංද උත්තර දෙනව

“හා හා... එන්නං එන්නං“

“ඔන්නෙහෙනං නොවරද්දම එන්න ඕනී. මයියනව එහෙනං“

පෝස්කාඩ්ඩෙක දැම්ම වගේ ඒ සංවාදෙං අපි හැමෝම දැනගන්නව හෙට “දැතිහුලස්“ ජෝඩුව දළු කඩන්න යන්නෙ රාලාමිගෙ කියල. 
ඔන්න ආයි ටිකකිං කන්ද උඩිං ආයිමත් කෙනෙක් කතා කරනව ඇහෙනවා.

“පියසේන..... පියසේන.......“

ඒ ඇහෙන්නෙ කනත්තෙ පත්මසිරි මහත්තයගෙ කටහඬ. එයාගෙ සද්දෙ නැන්දලගෙ ගෙදෙට්ට ඇහෙන්න තරං ප්‍රබල නෑ. ඒ හංදා මට මැදිහත් වෙන්න සිද්දවෙනවා. පත්මසිරි මහත්තයගෙ සද්දෙ රතු පාටයි, නැංදගෙ සද්දෙ නිල් පාටයි, මගේ සද්දෙ කොලපාටයි.


“නැංදේ..... නැංදේ.... මෙන්න කවුද කතාකොන්නෝ.....“

“කවුදෑඈ..“

“මම් මම් මේ මං“

“ඈ......“

 “කනත්තෙ පත්නසිරි මහත්තෙයා“

“ආ.... මට ඇහුන්නෑනෙ“

“හෙට අපේ ගෙදර වත්තේ දළු ටික කඩලා දෙන්න එන්න පුළුවන් වෙයිද?“

“හෙට ඒගොල්ලංගෙ දළු කඩල දෙන්න එන්න පුලුවංද අහනව“

“දෙන්නටම කියන්න“

“දෙන්නටමලුඌ“

“හා හා.... එන්නං එන්නං.. අපි දෙන්නම එන්නං“

නැංද වැඩේ බාරගන්නවා. පහුවදා උදේ නැංදයි මාමයි අපේ මිදුල උඩිං යනගමං අපෙ අම්මට කතාකරගෙන යනව.

“ජයක්කේ....... ජයක්කේ....... අපි කුසුංසිරි අයියෑ දලුඩිංග කඩාදෙන්න යනව. චූටිට කියන්න ඉස්කෝලෙ ඇරුනහං පොඩි චූටිවත් එක්කං එහෙට එන්න කියල“

“ඈ මැණිකො උඹල ඊයෙ කනත්තෙ මහත්තයටයි, රාලාමිටයි දෙන්නටම පොරොන්දූනා නේද අද දලු කඩා දෙන්න එන්නං කියල?“

 “අද උදේ එලිය වැටෙන්න කලිං කුසුංසිරි අයිය ඇහිල්ල කිව්ව දල්ටික දඩා දෙන්න එන්නම කියල. ඉතිං නොගිහිං හරිනෑනෙ. “


ඒ දෙන්නට කෑම බීම හදාගෙන, කහට උණුකරගෙන දලු ගෝනි තුනකුත් අරගෙන රාලහාමි මාමා තමුංගෙ ඉඩමට වෙලා ඉන්දැද්දි, පත්මසිරි මහත්තයගෙ නෝනත් ඒ දෙන්නට කෑම බීම හදාගෙන බලං ඉන්නව. අන්තිමට ඒ සේරමත් අහක විසි කරන්න වෙනව. එදා හවසටත් ආපහු ඉඩං හිමියො ඇවිත් කන්ද උඩ ඉඳං කතා කරනවා. රාලහාමිටයි, කනත්තෙ මහත්තයටයි ලැබෙන්නෙ මෙහෙම උත්තර


“මගෙ කකුලෙ උලක් ඇනිල අද දවසෙම ගෙදර හිටියෙ. ඒකයි ආවෙ නැත්තෙ නෙවැරදීම හෙට එන්නං.“


“මේ චූටිට උනක් හැදිල ඉස්සිතාලෙ ගියා බෙහෙග්ගේන්න. හෙට එන්නං.“

ඔය විදිහට මාසයකට වැඩිම ආපදා ගණනකට ලක්වෙන පවුල හැටියට ගිනස් වාර්තා පොතට යන්න තරං හැකියාවක් “දැතිහුලස්“ පවුලට තියෙනවා.


අන්තිමට තවත් දවස් දෙකකට විතර පස්සෙ තමයි ඒ දෙන්න රාලහාමිගෙත්, පත්මසිරි මහත්තයගෙත් දළු කඩන්න යන්නෙ. එතකොට දළු කොල දෙකහමාර වෙනුවට අඩි දෙකහමාරක් තරං උසට ඇදිලා. පුංචි කොලේ ගාවින් කැඩුවොත් සමහර දළුවල කොල හතරටත් එහා. ඒ නිසා අතට පහසු හරියෙං කඩල දානව. ඉතුරු ටික ගහේ තියෙන්න අරිනවා. රාලහාමි ළඟම හිටියොත් විතරක් ඒ කොටස කඩල දානවා. අන්තිමට දළු වෙනුවට අතු වගේ ජාතියක් පැට්ටේරියට යැවෙනවා. තේ කෑලිවල දලු කඩන වාර ගාන මාසෙට දෙපාරක් හෝ තුං පාරක් වෙනවා. ඒ වගේම තමයි අවුරුදු දෙකෙං තේ ගස් කරවටක් උස් වෙනවා. 
   
දලු කඩන අයගෙ ප්‍රධාන හතුරා තමයි කූඩැල්ලා. වැස්සක් ඇතොත් නිමක් නැති පෑව්වොත් පොඩ්ඩක් අඩු වෙන කූඩැල්ලො නිසා තේ ඉඩමකට ඇතුල්වෙන කෙනෙක් ආපහු ඒකෙං පිටවෙන්නෙ පිහි ඇනුමකට ලක්වෙච්ච කෙනෙක් වගේ ලේ පෙරාගෙන. සමහරු ලුණු වතුර, නිල් සබං ආදිය ඇඟේ ගාගෙන යන්නෙ ඒවා කූඩැල්ලට විසයි කියන හින්දයි. ඒ වුනත් කූඩැල්ලංගෙ බේරිලා තේ ඉඩමකට ගිහිං ආපු කෙනෙක් මම තාමත් දැකලා නෑ. කකුල දිගේ නැගගෙන යන කූඩැල්ලා ඔබේ ඇඟේ ඔබට හිතාගන්න පුලුවං ඕනිම අස්සක රිංගලා කන්න පුලුවං. එක වැහි දවසක මගේ කටේ උඩුතල්ලෙත් කූඩැල්ලෙක් හිටියා. ඕනිම කූඩැල්ලෙක් අතිං අරං දාන්න අපේ ගමේ මිනිස්සුන්ට පුලුවං. කූඩැල්ලා අපිට හිරිකිත සතෙක් නෙමෙයි. ඒ වුනත් චාරිත්‍රයක් වසයෙං නිල් සබං කැල්ලක් හරි සල්ලයිට් කෑල්ලක් හරි දලු කඩන අයගෙ කවරෙ තියෙනවමයි.
දළු නෙලන්නෙක්
දලු කඩන්න යද්දි ඇඳං යන ඇඳුමෙන් දළු කඩන්න බෑ. ඇඳුං සවුත්තු වෙනවා. ඒ නිසා  ඒකට වෙනමම “හඩු ඇඳුමක්“ දළු කඩන අය ගාව තියෙනවා. බොහෝවිට මේවා ගෙදරට ඇඳලත් අහක විසි කරන “පාංකඩ“ වර්ගයේ, වැරහැලි වෙලා ඉරිලා ගිය කුණු තට්ටු කීපයකින් වැහිච්ච සුගන්ධවත් ගොමස්කඩ විශේෂයක්. තව ඉටිරෙදි කීපයකුත් කොහු ලණුවකුත් ගෙනියන්නේ වතුරෙන් බේරෙන්න. එයින් එකක් ඉන වටේට ඇඳගන්නවා. තේ ගස්වල තියෙන පින්නෙන් තෙතබරි වීමෙන් වලකින්න. තව එකක් වැස්ස වෙලාවට ඔලුවෙ හිටං වැහෙන්න කුල්ලක් වගේ හදලා දාගන්නවා. මේ කොයිකත් ඇඟට තියල ගැටගහගන්නෙ කොහු ලණුවෙන්.


“උඩරට කඳුකර සිරියා පරදන“ ලඳුන් හොඳ ලස්සන වේවැල් කූඩයකට දලු කැඩුවට ඇත්තටම දලු කඩන්නේ කවරෙකට. පෝර දාපු කවරයක් හෝදලා අරගෙන ඒක ඔලුවෙ දාගන්න රෙදි පටියක් හරි ලනුවක් හරි දාගත්තම දළු කඩන්න කවරයක් හදාගන්න පුලුවන්.
දළු කඩන අයගෙ ප්‍රධාන බයිට් එක තමයි බුලත්විට. ගෙවල්වලට ගේන කිරිපිටි පැකැට් එකකින් හදාගන්න “විට මල්ල“ දුංකල ඉරුවක්, බුලත් කොළ අටක් දහයක්, හතරට පලාපු පුවක් ගෙඩ්ඩක් දෙකක්, හුණු පැකැට් බාගයක් ආදියෙං පුරවපු වතුර නොවදින්න හොඳින් නවපු වටිනා දෙයක්. දළු කඩන අයගෙ කටේ බුලත් විටක් නැත්තෙ ඒ අයගේ  ප්‍රධාන පානය වන “කහට“ බොන වෙලාවටත්, ප්‍රධාන ආහාරය වන “සොටි“ හරි “පාං“ හරි කන වෙලාවටත් විතරයි. 
  
http://www.laurelleaffarm.com/item-photos/big-old-tinned-copper-tea-kettle-vintage-Revere-Laurel-Leaf-Farm-item-no-w42449t.jpg
මෙන්න මෙහෙම පෝච්චියක් පුරවලා තේ කහට ගෙනිච්චොත් යංතං දෙන්නෙක්ට ඇති.
කවරයක් පිරෙන්න දලු කැඩුවයින් පස්සෙ ඒ ටික ගෙනත් ඉඩමෙ තියෙන පැලේ බිම ඉටිකොලයක් උඩට හලනවා. එහෙම හලන හැම සැරයකම අල්ලට හලාගන්න සීනි ටිකක් එක්ක කහට පොල් කට්ටක් හිස් කරලා බුලත්විටක් කටේ ඔබාගත්තම ඊළඟ “දළු මඩියට“ බලය, ජවය, ශක්තිය ලැබෙනවා. උදේ හතට විතර පටන්ගන්න මේ රස්සාව හවස තුන විතර වෙද්දි අවසන් වෙනවා. ඒ හංදා දළු කඩන අය දවල්ට කන්නේ ගෙදර ගිහිං.


දළු කඩන අයට ගෙවන්නෙ දවස් කුලිය. නැත්නම් කඩන දළු කිලෝ ගානට. දවස් කුලියට නං දැන් දවසට රුපියල් පන්සීයක් විතර ලැබෙනවා. එතකොට දළු කඩන කෙනාට ටාගට් නෑ. ඒ නිසා කඩන දළු ප්‍රමාණය කිලෝ දහ අටක් විස්සක් විතර වෙනවා. හැබැයි වැඩේ පිලිවෙලට කෙරෙනවා. කිලෝ ගානට කඩන කෙනාගෙ අරමුණ කඩන දළු කිලෝ ගාන වැඩිකර ගැනීමයි. ඒ හිංදා එක පොකුරට අහුවෙන තරමක් දළු බුරුතු පිටිං කඩලා තේ ගහ හූරලා ඉදලක් වගේ කරන්නත්, ආයි සති දෙකකටවත් දල්ලක් ඇහැට නොදකින්න වැඩ සිද්ද කරන්නත් ඒ අය රුසියෝ.


මේ කොහොම වැඩ කලත් දළු කඩන කෙනෙක්ට දවසට ලැබෙන උපරිම වැටුප රුපියල් හත්සීයට අඩුයි. බහුතරයක් දෙනාට තවම ලැබෙන්නෙ රුපියල් පන්සීයකට අඩු ගානක්. ඒ එක්කම බෝනස් හැටියට මෝරපු දළු වලට පැලිලා කළු වෙලා ගොරෝසු වුන ඇඟිලිත්, බුලත් කහටට කළු වෙලා වලවල් හෑරුණු දතුත්, දළු කවරෙ එල්ලගෙන ඉඳලා හැදුනු කොන්දෙ අමාරුවත් හැමෝටම අඩු නැතුව ලැබෙනවා.
  
 

Monday, September 12, 2016

තේ ගස යට හෙවත් Under the tea tree - 2 (තවන් දැමීම)

 පසුගියදා සිය ජීවන ගමනේ කීවැනි දශකයද මංදා පසුකළ අපේ කො.කා සංගමේ සභාපති තුමාට සුභ උපන්දිනයක් වේවායි පතමි. බ්ලොග් වලට ඔබෙන් ලැබෙන සහය අමරණීයයි. අපේ කොමෙන්ට් මල්ල පුරවා අපව දිරිමත් කරන්නේ උඹම තමයි අයියේ.



ඒ වගේම ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙලේ සම්මානයට පාත්‍ර වුනු අපේ හිතවත් යශෝධා සම්මානීටත් ඔබ ලද ඇගයීම ගැන බ්ලොග් එකක් ලියන්නෙක් හැටියට සුභාශීංසනය කරමි. තව තවත් මෙවැනි සම්මානනීය නිර්මාණ එලිදක්වන්නට ඔබට හැකියාව ලැබේවා.


තේ වගාව ගැන කොටින් කියාපු පලවෙනි පෝස්ට් ඒන් පස්සෙ ගොඩක් දෙනෙක් කිව්වා "ලියාපං උඹ දන්න එක්කොම ටික" කියලා. ඔන්න ඒ ගමං මං පහතරට තේ ගහේ මුල හිටං ලියනවා.

තේ ගහ පැලවෙන්න ක්‍රම දෙකයි. එකක් ඇට මගින් පැලවීම. අනික රිකිලි මගින් පැල කිරීම. මෙයින් ඇට තේ ගස් තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒකට හේතුව තමයි ඇට තේ ගහ අස්වැන්න අඩුවෙන් ලබාදීම. හැබැයි ඒකට එතරම් සාත්තුවක් ඕනි නෑ. පෝර දාන්නෙ අවුරුද්දකට ඉතර සැරෙයක්. හැබැයි ගහ වටේ පොලව හාරලා පෝර දාන්න ඕනි. ඒ තරමට යටින් තමයි මුල් තියෙන්නෙ. ඇට තේ ගහේ කොල වටේට තියෙන දැති ටිකක් ඝණකමයි. ඇට තේ ගස් තියෙන වතු බොහොම අල්ප නිසා අපි ඒ ගැන කතාව අහක විසික්කරමු.
රිකිලි තේ එහෙම නෙවෙයි. දළු වැඩියි. ඵලදාව එළ. මාස තුනෙන් තුනට පෝර දැම්මම කඩාගන්න බැරි තරම් දලු. ඒහින්දා අපේ මිනිස්සු නිකම්ම රිකිලි තේ වලට හැරුනා.

පලා පැහැය හැම තැනකම රැඳී තියෙන පොලොවේ....
ඉවත දමන දඬුව උවද දළුලා යළි පැලවේ....

ඒ වුනාට තේ ගහේ දඬු කෑල්ලක් නිකම් පැළකරන්න බෑ. ඒකට ගන්න නියම අත්තක් තියෙනවා. ආං ඒ අත්ත හෙවිල්ලයි මේ.

සාමාන්‍යයෙං එක ඉඩමක සම්පූර්ණයෙන්ම තියෙන්නෙ එකම වර්ගෙ තේ ගස්. ඒ කියන්නෙ එකම ක්ලෝනය. නැත්තං නිවුන් සහෝදර සහෝදරියො. ඒ හංදා තේ ගස් ජාති කලවං වීමක් වෙන්නෙ නෑ. ඒත් ඉතිං තමුංට තේ පැල ටිකක් හදාගන්න ඕනිනං තමුංට අවශ්‍ය වර්ගයේ තේ ගස් ඇති තරං තමුන්ට තියෙන්න ඕනි. ඒ වගේම ඒවා කපන්නත් ඕන. මේ කියන්නෙ ගහ මුලින්ම පාහින එක නෙමෙයි. හුඟක්ම උස ගිහිං දළු කඩාගන්න බැරි තරමට උස ගිහින් තියෙන ගහක් කප්පාදු කිරීමයි. මෙහෙම කප්පාදු කරයින් පස්සෙ ඇදෙන දළු මෝරලා අතු බවට පත්වෙලා ඒ අතු අඩි දෙකක් විතර උසට ඇදිලා ඒ අත්තෙ දණ්ඩෙ පහල කොටස දුඹුරුපාට වෙනකොට තමයි තේ රිකිලි ගන්න ඒ අත්ත කපන නියම වයස. තේ ගහක් කප්පාදු කරන්නේ අවුරුදු තුන හතරකට වතාවයි. ඒ කියන්නෙ තමුංගෙම ගහකිං රිකිලි අරගෙන තේ පැල වවා ගැනීම ඔලිම්පික් යනවා වගේ වැඩක්. ඒ හංදා මේකට නියම විසඳුමක් තියෙනවා. ඒ තමයි අපිට තේ රිකිලි ඕනැ කාලෙදි ඒ කාලෙට තේ කප්පාදු කරල තියෙන කෙනෙක්ගෙන් රිකිලි ඉල්ලා ගැනීම.

ඒකට ඉතිං නිතර ගමේ ගොඩේ ඇවිදින කෙනෙක් නං වැඩේ ලේසියි. නැත්තං කඩේ ගාවට හැන්දෑවට එක්කහු වෙන කාණ්ඩෙගෙන් අහන්න වෙනවා.

“පොඩිමහත්තයියෙ, කාගෙවක් කප්පාදු කපාපු කෑල්ලක් එහෙම තිවුන්නැද්ද?“

“මට නං මතක නෑ මල්ලියෙ. අර මද්දෑ කෑල්ලනං කපල තිවුනා. ඒවනං දැං මට්ටං කපල දලුත් කඩනව. මොකෝ තවානක්කත් දාන්නද?“


“ඔව්මේ පාලු ඩිංගක් හිටොවන්න“

එතකොට තව කවුරුහරි කෙනෙක් කියනව හරියටම ඔත්තුවක්.

“මං දැක්ක දිහාවක තියෙනව ෂෝක්කෙකට ඇදිච්චි කප්පාදු කෑල්ලක්. තවං දාන්න නොම්බරේකයි අම්ප“

“ඒ කොහෙ“

“හුඟක් ඉපිටහ යන්න ඕනි හැබැයි“

“කමහ්නෑ. කියහංකො බලන්න“

“දෙයිද්දන්නෑ“

“උඹෙප්පැහිච්චකං තියල කියහංකො තැන“ 

“කර්නාවතී ස්කෝලෙ හාමිනේගෙ බෑන දන්නවද? අර කඩේ දාං ඉන්නෙ?“

“ඉතිං“

“ආං මිනිහගෙ කෑල්ලෙ තියෙනව ඕන හැටියෙ අතු කපාගන්නවනං. දුන්නොත්“ 


ඔන්න ඔය විදිහට හොයල තමයි අතු හොයාගන්න වෙන්නෙ. මේ අතු සල්ලිවලට දෙන දෙයක් නෙවෙයි උනත් ඒවා ගන්න නං මූලික සුදුසුකං තියෙන්න ඕනි. ඒ කියන්නෙ අතුහිමියා එක්ක වලියක් තිවුනෙ නැති, මගුලට මරනෙට උදව්වට ආපු, කෙලෙහිගුණ දන්න, කට සවුත්තු නැති, කටවහ නැති, ආදී ගුණාංග. මේවා ඇදක් පලුද්දක් තිවුනොත් අතු ඉල්ලන්න ගිහිං අහගන්න වෙන්නෙ මේං මේ වගේ කතා.


පල්ලැහැ සුදාට දෙන්න පොරොංදු උනානෙ“

“මං මේ ටික කැපුවෙම මට පැල ඩිංගක් හදාගන්න. අර කුඹුරයිනෙ පාත්තිත් හැදුව“

“කලිං ඉල්ලුවනං දෙන්න තිබ්බ. එක්නෙක්ට දෙන්නං කිව්ව ඊයෙ හවස“

ඔය විදිහෙං බොරු කියල නොදී ඉඳල අන්තිමට මට්ටං කපද්දි අතුටික කපල ගස්යටට දානව දිරන්න.  

හැබැයි ඉතිං බැරිවෙලාවත් අර සුදුසුකම් සම්පූර්ණ කරල තිබුනොත් 

“හා දෙන්නං. මං අතු කපනදාට කියන්නංකො පණිවිඩේ“

කියලා  උත්තරේ ලැබෙනවා. ආං එතකොට ගෙදර ඇවිත් පටංගන්න ඕනි හිටවන්න තැනක් ලැහැත්ති කිරිල්ල. තේ රිකිලි හිටවන්න එක්කොත් පාත්තියක් තියෙන්න ඕනෑ. නැත්තං පැකට් තියෙන්න ඕනෑ. පාත්තියෙ හිටෝල පැල හැදුනහම එව්ව “බිම්පැල“. පැකැට්ටෙකේ හිටෝල පැලවුනහම එව්ව “බකට් පැල“. ඉස්සරම කාලෙ නං රිකිලි කපල කෙලින්ම වලවල්වලත් හිටෙව්වා. දැන් හිටවන්නෙ පාත්තිවල හරි, පැකට්වල හරි විතරයි. 

පැකැට් කියන්නේ උණ බම්බුවක් විතර මහත කලු ඉටි කවර වලින් අඟල් පහක් විතර  උසට පස් පුරවලා හදාගන්න එකක්. ඔය දැං සමහරු එලෝලු වවන්නෙත් ඒ වගෙ පනිට්ටු සයිස් කවර වලනෙ. ඒවාට පුරවන්නේ කලු පස. “රතු ලැටරයිට්“ පස, “ලෝම පස“ ආදී නොයෙක් පස් වර්ග ගැන කියතත් අපේ ගමේ නං තියෙන්නේ මැටි පස් සහ කලු පස් විතරයි. ‘මැටි පස‘ කියන්නේ කහ පාට එකට. ඒක ගන්නේ ගෙවල්වල වරිච්චි බඳින්න විතරයි. පොලවෙ තියෙන සාරවත්ම පස තමයි ‘කලු පස‘. එනිසා කලු පසේ තමයි ඕනි දෙයක් හරියන්නේ. ආං ඒ නිසයි කලු පසම පැකැට් වලට පුරවන්නේ. 


එහෙම නැත්තං අනික් ක්‍රමය තමයි පාත්ති හැදීම. පාත්ති හදන්නෙත් කලු පස් තියෙන තැනක තමයි. ඒක ඉතින් සාමාන්‍ය පාත්තියක් වගේම තමයි. අඩි දෙකක් විතර පළලට, ගවු ගානක් උනත් දිගට පාත්ති හදාගන්න පුලුවන්. එතකොට රිකිල්ල හිටවන්නේ පාත්තියේ. පාත්ති දෙකක් අතර එහාට මෙහාට යන්න අඩියක් හමාරක් විතර ඉඩ තියන්න ඕනි. බොහෝ වෙලාවට කුඹුරු අද්දර, ගෙවල්වල මිදුල් වටේ, ආදී දිගටි බිම් තීරුවල පාත්ති හදන නිසා පාත්ති අතර ඉඩ තැබීමක් වෙන්නෙත් නෑ. සමහරු ගෙදර මිදුලෙ කොනකිං පටංගන්න පාත්තිය ගේ වටේ පිලිකන්න දක්වාම යනවා.


හරියටම තේ අතු කපන දවසට පණිවිඩේ ලැබෙනවා. එදාට ගිහිං ඒ කැපෙන අතු ටික අරගෙන එන්න ඕනෑ. ඒ කියන්නෙ කැපෙන කැපෙන අත්ත එක්කහු කරගෙන තමුන්ට ඇති පදං එක්කහු වෙච්චි ගමං අරං එන්න ඕනෑ. ගොඩක් වෙලා අවුවෙ තියෙන්න අරින්න නරකයි. ඔය අතු පිටිං එහෙම්මම හිටවන්න බෑ. ඒ කියන්නෙ ඉවත දමන දඬුව එහෙම්මම පැලවෙන්නේ නෑ. ඒක ආයිමත් කපන්න ඕනි. ගිණිකූරු එකහමාරක් විතර දිගට දණ්ඩයි කොළ බාගෙකුයි ඉතුරු වෙන්න. අත්තකිං ඒ වගේ කෑලි පහක් හයක් කැපියැහැකි. මේ වැඩේට ලොකු වතුර බේසමක්, රිකිලි කපන පිහියක්, ඉටි කොලයක්, බුලත්විට වට්ටියක්, පුටුවක්, නිතරම ‘කහඩ්ඩිංගක්‘ උණුකර දෙන්න කෙනෙක් ආදිය ඕනෑ කරනවා. 
රිකිලි කපන  පිහිය


ගෙදර ඉස්තෝප්පුව තමයි මේ වැඩේට කදිම. තේ අතු ටික පැත්තකින් තියාගෙන, පුටුවෙන් ඉඳගෙන බුලත්විටක් කන ගමන් තේ රිකිලි කපන එක තමයි සිරිත. තේ අත්තේ පහලම තියෙන දණ්ඩ දුඹුරු පාට කොටසත්, ඉහලම තියෙන හුඟක්ම ළපටි කොටසත් අතහැරියම ඉතුරු ටික තමයි පැල කිරීමට හොඳ. තේ කොලය කඳට හයිවෙන තැනට මිලිමීටර් දෙක තුනක් උඩිං තියෙන කඳ කොටස කපලා අයින් කරනවා. කොලේට යටින් ගිනිකූරු එකහමාරක විතර දිගක් දණ්ඩෙන් ඉතුරුවෙද්දි අනෙක් ටික කපලා අයින් කරනවා. ඊළඟට කොලෙනුත් අග බාගෙ කපල දානවා. ඒ ඉතුරු වෙන කොඩිය වගේ එක තමයි හිටවන්නේ. හිටවනකං ඒ කොඩිය වතුර බේසමට වෙලා ඉන්නවා. ඔය විදිහට රැයක් දවාලක් නැතුව කහට බොමින්, විට කමින්, ඒ අතරෙ පොඩ්ඩක් එහෙට මෙහෙට වීමෙං පිහියෙං කැපිච්ච ඇඟිලි රෙදි පටියෙන් ඔතාගෙන අර අතු සේරම කපල ඉවර කරන්න ඕනි. එහෙම කපාගත්තු කෑලි ටික පහුවදාම වතුර බේසමෙන් ගොඩ අරගෙන වතුර බහින්න ඉටිකොලේට දාලා තියලා උදෙන්ම හිටවගන්න ඕනි.පස් පුරෝපු පැකට්වල නං එයින් නටු දෙකක් හිටවන්න පුලුවං. පාත්තියෙ නම් මේ පින්තූරෙ තියෙන විදිහට එක යාවට හිටවනවා.


මෙන්න මෙහෙම හිටෝනව

ඒත් එක්කම මේවට හෙවන තියෙන්නත් ඕනෑ. පාත්තියට නං හරියටම හරියන්නේ ‘කැකිල්ල‘. අපේ ගම්වල ඉවුරු කඩාගෙන යන්න නොදී අල්ලං ඉන්නෙ කැකිල්ල ගස් තමයි.
කැකිල්ල ටිකක් ඕනැම ඉවුරකින් කඩා ගන්න පුලුවන්. ඒකට ඕනැ වෙන්නේ කැකිල්ල කූරු ඇඟිලිවල ඇනුනහම මල නොපනින ගුණය විතරයි. පාත්තිය වැහෙන්න එක යාවට කැකිල්ල හිටෙව්වහම වතුර දැමීමෙදි පොලව හෑරෙනවත් අඩුයි. පැකට්වලට කැකිල්ල හිටවන්න බැරි හින්දා පන්දලමක් බැඳලා පුවක් අතු, පොල්ලතු වලින් හෙවනක් හදන්න ඕනි. හැමදාම හවසට මල් බාල්දියෙං වතුර දාන්න ඕනි. දැං නම් මේ පන්දලම වහන්නේ ඒකටම හදපු වැස්මකිං.



ඔය විදිහට ටික කලක් යනකොට හිටවපු රිකිලිවල කඳත් කොලෙත් අතරින් හෙමිහිට කොළ ලියලන්න ගන්නවා. ඒ විදිහට කොල දෙක තුනක් හැදෙනකොට එව්වා ‘තේ පැල‘ බවට පත්වෙනවා. එතකොට වැස්ම අයින්කරලා අව්ව වැටෙන්න තියන්න ඕනැ. කොල පහක් විතර වෙනකොට පොලවෙ හිටවන්න නියම ප්‍රමාණය. මේවයින් පැකට් පැල නං වැඩි මිලටත්, පාත්තිවල තියෙන බිම් පැල නම් අඩු මිලටත් විකිණෙනවා. 
පැකට් පැල තවානක්
පැකට් පැල ප්‍රවාහනය අමාරුයි. පැල දාහක් හමාරක් ගෙනියන්න වෙනම ලොරියක් ඕනි. ප්‍රවාහනය අන්තිම අමාරුයි. හිටවන්න ගියහමත් පොලිතින් කවරෙ ගලෝල හිටවන්න ඕනි. ගානත් වැඩියි. හැබැයි, මුල් කැඩෙන්නෙ නැති හින්දා පැලයක් හිටෙව්වොත් පැලවෙනවාම තමයි.  



බිම් පැල හෙවත් තවන් පැල එහෙම නෙවෙයි. එව්වා මුල් නොකැඩෙන්න ගලවන්න ඕනි. නිකං තම්පලා ගලෝනව වගේ ගැලෙව්වොත් ඉවරයි. හැබැයි ඉතිං ගෙනියන්න ලේසියි. ලොරියක ගෙනියන බකට් පැල ප්‍රමා‍ණය තීවිල්ලෙහෙක ගෙනියන්න පුළුවනි. පැකට් පැල වගේ එක එක ගිනිහිං වලක් ගානෙ හිටවන්න ඕනි නෑ. පැල මිටියක් අරගෙන එක පේලියක්ම හිටවන්න පුලුවන්. පැකැට් පැල එකක ගානට බිම් පැල තුනක් විතර ගන්න ඕනි. එකම පාඩුව තමයි පැල මැරීයාමේ ලෙඩේ. ඒකට හොඳම වැඩේ තමයි  ‘කාශ්ඨක‘ වෙච්චි පැල හිටවන එක. පෝර නොදා හදන බිම් පැල තමයි ඔය ‘කාස්ටක‘ වෙච්චි පැල කියන්නේ. ඒවට හරි හමං පෝර ඩිංගක් වතුර කඳුලක් නැති හංදා ‘තියෙන හැටියට පන රැකගන්න‘ පුරුදු වෙලයි තියෙන්නේ. ඉතිං ඒ වගේ පැලයක් ලේසියට මරාගන්න අමාරුයි.

මේ වගේ ලොකු පැල හොඳයි ලොකු තේ ගස් අතර මැරීගිය ගස් වෙනුවට අලුතින් හිටවන්න

 ඔය වග එච්චර විස්සාස නැති අපේ ගම්වල අය ගන්නෙම පෝර දාලා හදන පොලේ තියෙන ‘සැපට හැදෙන‘ පැල. එව්වා ගොම ගොඩවල්වල තියලා ගත්තම හොඳ කොල පාටට තියෙනවා. ඒ වුනාට ගෙනැත් හිටෙව්වම මැරෙනවා. ඔය කොයි විදියෙන් හරි ගන්න පැල හිටවන්න කියන්නේ අඩි හතරෙන් හතරට ඉඩ තියලා. අඩියක් විතර වලක් හාරලා..................... කියලයි ‘තේ මහත්තයා‘ තේ වගාකරුවන්ට උපදෙස් දෙන්නේ. තේ වවන්න ඉඩම සකස් කිරීමෙදිත් ගල්වැටි, කාණු යෙදීම. මුඩු හෝ වෙනත් වගා කරපු ඉඩමක නම් ‘ගෝතමාලා‘ කියල අපේ ගමේ අය හඳුන්වන උග්ගස් කොලේ වගේ කොලයක් තියෙන ගස් ජාතිය අවුරුදු දෙකකවත් වවලා පොලව බුරුල් කරගැනීම, ආදී නොයෙක් වතාවත් තිබුණත් දැං අපේ ගම්වල තේ ගස් අතර දුර අඩි දෙකහමාරයි. කාණු, ගල්වැටි, ආදිය අතුරුදහං. පෙති යකඩෙං දෙපාරක් ඇනල පොලවෙ මී ගුලක් තරමට වලක් හාරගෙන ඒකට තේ පැලයක් රිංගවීම විතරයි දැං අපේ ගම්වල තේ වගාවේ එකම තියරිය. ඒ හංදා

“ඉතුරු නම් අඩි දෙකක්
හිටවපන් තේ ගහක්“

තේ පැල තවන් දැමීමත් හොඳ රස්සාවක්. තේ පැල තවානෙන් හොඳට හම්බුකරන කෙනෙක්ගෙ තේ පැල තවානක් තමයි මේ.


මේව ඔක්කොම පැකට් පැල
 පර්චස් දහයක් විර ඉඩමක් මේ වගේ තවානක් දමාගෙන හොඳ ආදායමක් ගන්න පුලුවන්. ඒ වුනාට ගමේ අයට, අඳුරන අයට එහෙම දුන්නොත් සල්ලි ගන්න අමාරුයි. සමහරු ඇවිත්


“තේ පැල පනහක් දියං. දලු පඩි ගත්තං සල්ලි දෙන්නං“


කියලා ඉල්ලං යන පැල එකකට වත් සල්ලි හම්බුවෙන්නෙ නෑ. ආං ඒ වගේ අයට “බෑ“ නොකියා ණයට නොදී ඉන්න නං මේන් මේ වගේ බෝඩ් කෑල්ලක් එල්ලන්න වෙනවා.



 
ඉතිං ඔය විදිහට පොලවෙ හිටවන තේ පැලේ අව්වට මැරෙන්න නොදී, වැස්සට හෝදගෙන යන්න නොදී, කලාමැදිරින්ට කපන්න නොදී, ඉත්තෑවුන්ට හාවුන්ට විනාස කරන්න නොදී, ඌරන්ට පාගන්න නොදී රැකගත්තොත් අවුරුදු දෙකහමාරක් තුනක් යද්දි ආදායමක් ගන්න පුලුවං. හැබැයි ඉතිං ඒකට කාලයක් බලා ඉන්න වෙනවා. ඉතිං ඊළඟ පෝස්ට් එක ලියනකං බලං ඉන්න එක මහ ලොකු කජ්ජක් නෙමෙයි නේද?