Sunday, November 26, 2017

තොරණ හෙවත් Pandol ඉවරයි


වලියට එක්කහු වෙන සමහරු ඒකට හේතුව දන්නෙත් නෑ. ඒ වුනාට තමුං කාලයක් තිස්සේ 'හොඳවෑං දෙකක් අනින්න' බලං හිටපු එකෙක් එතන ඉන්න එක ඇති. කවුරු දුන්නද කියල හිතාගන්න බැරිවෙන්න සෙනග ගොඩ මැද්දෙ හැංගිලා උගෙ කන පලන්න මෙයිට වඩා වෙලාවක් කොහෙද? ඔය විදිහට රණ්ඩු ජෝඩු එක්කහු වෙලා වලියට සෙනග වැඩිවෙලා වටේට බෝ වෙද්දි මිනිස්සුන්ට එතන ගහගන්න ඉඩ මදිවෙනව. එතකොට ඒ පොදියෙං එලියට විසිවෙන 'වලි ජෝඩු' වෙනම ගහගන්නව. එතකොට සෙනග වැඩි හංදා මහ වලියට නොයා හිටපු අය ඒ සිඟිති වලියට පැනල ඒක ලොකු කරන්න දායක වෙනව. ඔය විදිහට බෝවෙන ලෙඩක් වගේ මහපාර, කාණු, කඩපිල් වහගෙන වලිය පැතිරිලා යද්දි


"පොලිෂ්යෙන් පොලිෂ්යෙන්"

කියල දෙතුං දෙනෙක් කියනව. අසුරු සැනෙං වලියෙ වටේට හිටපු රෑනක්ම සක්කොලක් නැතුව දුවනව. තමුංගෙ ළමයි, ගෑනු එක්ක ඇවිල්ලා හිටපු අය එක තප්පරෙං වලියෙං අහකට පැනලා සරොං පාත දාගෙන තමුන්ගෙ ගෑණිගෙ අතේ හිටිය  ළමයව උදුරලා අරං වඩාගන්නව.  තමුංගෙම ළමයි නැති අයත් ඊළඟ තප්පරේදි තම තමංගෙ හිතවතුන්ගෙ වැඩිපුර ඉන්නා ළමයිංගෙං කෙනෙක්ව ණයට අරං වඩාගන්නව. ඊළඟ තප්පරේදී ඒ අවට ඉන්න අවුරුදු හතේ අටේ දඬු ළමයි පවා කකුල් බිම ගෑවි ගෑවි වඩාගැනිලා ඉවරයි. තමුන්ට ලැබිච්චි මේ අලුත් තාත්තා කවුදැයි කියල ඒ ළමයි බලද්දි අලුත් ගොමගොඩවල්වල පාට කලිසං කමිස ඇඳලා,  කලුම කලුපාට  තොප්පි දාලා, ඉස්සරහට දිලිසෙන තහඩු කෑල්ලක් හයිකරපු කලුපාට පටියකිං තුනටිය වෙං කරපු පොලිස් රාලහාමිලා දෙන්නෙක් විසාල පැටිග්නම් කූරු වගේ පොලු කෑලි දෙකක් අරගෙන එතනට සේන්දු වෙනව. ඒක දකින පොඩි ළමයි රැලක්ම අඬන්න පටංගන්නව.

"වාව අල්ලය්යල්ලෙෆා.... වං වත් කලවා......"


"වංගායි වොල්ටිසෝලි යල්ලැතුව ඉල්ලෑ......"


"වං ආයි එලිවෙං ඉල්ලෙ ලෑ....."


අම්මලා තමුංගෙ ළමයින්ට බත් කවන්න, උංව මොන්ටිසෝරි යවන්න, හෙලුවැල්ලෙං නටනකොට ඇඳුං අන්දන්න වගේ වැඩවලට පොලිසියෙ නම විකුණපු හැටි එළියට එනව. පොලීසියත්, ටවුමෙ ඉන්න පිස්සො කීපදෙනත්, ගමේ ඉන්න බඩවල් තඩි බයානක පාට මිනිස්සු කීපදෙනත්, ග්‍රාමසේකර රාලාමිත්, හග්ගුඩු බිල්ලා, ගොරෝන හප්පා, බ්‍රහ්ම කටක ලොම්බා, ළමයි අල්ලන බිල්ලා වගේ ජීවිතේට කිසිම කෙනෙක් දැකල නැති කීප දෙනාත් නැත්තං අපේ ගමේ ළමයි හාමතේ, හෙලිවැල්ලෙම්ම මැරිල යනව. 


තවමත් වලිය තිවිච්චි හරියෙං අයිං වෙලා වෙස් මාරුකරගන්න බැරිවෙච්ච කීප දෙනෙක්ව රාලහාමිලට අහුවෙනව. රාලහාමිලත් ඒ අස්සෙ ඉන්න ඇඟපත මහතට තියෙන එක්කෙනක් දෙන්නෙක්ට හෙමිහිට මාරුවෙන්න ඉඩ ඇරලා කෙට්ටු අය කීප දෙනෙක් විතරක් අල්ලගන්නවා. ඒ අයට සට පට ගාල කනේ පාරවල් දෙක තුනකුත් වදිනව. 


"අනේ සාලාමි ගාන්නෙපා."

කෙට්ටු අය රාලාමිලට වඳිනව. රාලහමිගෙ ඉනේ තියෙන කූරක් අමුණපු කලුපාට කවකටු පෙට්ටිය බෙරිහන් දෙනව.


"ෂාෂා ෂාෂෂෂාෂාෂා... සොරෝස්."

රාලහාමිත් ඒ පෙට්ටිය අතට ඇරං ඊට වැඩිය සැරෙං පෙට්ටියට කෑ ගහනව. එතකොටම නිල්පාට ගාපු පොලිස් ජිප්පෙකත් එනව. රාලහාමිල දෙන්න ඒකෙ පිටිපස්සෙ දොර ඇරල කෙට්ටු මිනිස්සු ටික පටෝගන්නව. තව එක්කෙනෙක් ඇතුලෙ ඉඳං කෑ ගහනව.


"මෙච්චරද ඉන්නෙ?"


බිම ඉන්න රාලහාමි කෙනෙක් ආයිමත් සෙනග අතරෙ ඉන්න ළමයි වඩංගෙන නැති කෙට්ටු මිනිහෙක්ව ඇදල අරගන්නව.


"අනේ මං මේ මුකුද්දන්නෑ සාලාමි"


එයා පිංසෙන්ඩු වෙනව. ඒ එක්කම ගෑණු කෙනෙක් ළමයෙක්ව වඩාගෙන එතනට පනිනව.


"අනේ රාලාමි මගෙ මිනිහ සණ්ඩුවට ගියෙ නෑ."


රාලහාමි ඒ ගෑනු කෙනාට ඇඟිල්ල උරුක්කරල සැර කරල එළවගන්නව. රාලහාමිල දෙන්නත් ජිප්පෙකට නැගල දොර වහගන්නත් කලිං ජිප්පෙක පොලිසිය දිහාවට ඉගිලෙනව. ඉං පස්සෙ මිනිස්සු තම තමංගෙ ළමයි මාරු ඇරගෙන "යස වැඩේ ඕකුන්ට සණ්ඩුවලට යනවට" කියලා පොලිසියට අහුවෙච්චි අයට බැණ බැණ තොරණ දිහාවට යනව.


අපිත් සෙනග පොදියට අහුවෙලා තොරණ දිහාවට ඇදිල යනව. ඒ අතරමගදි යකෙක්ගෙ කටක් අස්සෙං රිංගලා දිසානායක කඩේ පිළිකන්න පැත්තට යන්න තියෙන "අපාය" කියන එක බලන්න යන්න සමහර අම්මලට ඕන වෙනව. ඒ යක් කට ඉස්සරහ තියෙන බපල් පෙට්ටිවලිං ඇහෙන ලතෝනි සද්ද එක්ක එතනිං අඩියක්වත් ඇතුළට තියන්න කාටවත් හිතෙන්නෙ නෑ. ඒ වුනාට තමුංගෙ ඇට්ටර ළමයි මට්ටු කරන්න ලැබිල තියෙන "අපායෙං" වැඩක් ගන්න හිතාගෙන අම්මලා ළමයිංව ඒකටම ඇදං යන්න හදනව.


"යමං තොට පෙන්නන්න අට්ටරකං කොන්න එවුන්ට වෙන එව්ව පෙන්නන්න."

අපායට යන තැන ටිකට් කඩන මිනිහත් ඒවට උල්පන්දං දෙනව.

"එන්න. ඇට්ටර ළමයි මේක බැලුවහම ආයි කිසියම්ම කිසි දවසක ඇට්ටර වැඩ කරන්නෑ"

සමහර ළමයි එතැනදි 'ඇට්ටර වැඩ කිරීම, රණ්ඩු කිරීම, දෙමව්පියන්ට බැණීම, කුණුහරප කීම, සීනි, උම්බලකඩ හෝ පොල්බෑය හොරෙං කෑම, නහය හෑරීම, ඇද ඇල්ලීම, සෙල්ලං බඩු ඉල්ලීම, කඩචෝරු ඉල්ලීම,' වගේ වැරදි ජීවිතේට නොකරන්නත් ඒ වෙනුවට 'හැමදාම ඉස්කෝලෙ යාම, බඩ පිරෙන්නම දෙන දෙයක එක්ක බත් කෑම, පාන්දරිං ඇහැරීම' වගේ හොඳ දේවල් කරන්නටත් පොරොන්දු වීමෙං එතනිං ගැලවෙනකොට අපායට ටිකට් දෙන යම රජ්ජුරුවන්ගෙ මූණ ඇදවෙනව.


තොරණෙ ආධාර කවි කියන එක නැවතිලා ඒ වෙනුවට ජාතක කතාව කියන්න පටං ඇරගෙන. ඒ අතරෙ දුරාවාරෙ ලැබෙන ආධාරත් රිංගවනව.


"තුන්වෙනි කොටුවෙන් පේන්නේ අප මා බෝසතානං වාන්සේ තමංගෙ යහළු මිත්‍රයින් සමග බඩු භාණ්ඩ පටවාගෙන රුවල් නැව්වල නැගිලා පිටරටවල්වල වෙළඳාමේ යන්ට පිටත් වෙනවා. එහෙම පිටත්වෙන්ට කලින් තමන්ගෙ මෑණියන් වාන්සේ හමුවෙලා මෙහෙම කියනව."

"දට්ටොහ්ටොහ් දට්ටොහ්ටොහ් 
  මගෙ පින්බර මෑණියනේ මා කියනා දේ                 අහන්න..
  මේ බඩු ටික විකුණන්නට පිටරටකට ගිහිං              එන්න...
  නැව් නැග යන්නට තිබෙනව මගෙ මිතුරන් සමග    ඔන්න...
  ඒ ගමනට ගිහිං එන්ට මට ඔබෙ අවසරය                 දෙන්න..
  දබද් දබද් දොක්"

"බෝසතානෝ මෙහෙම කියනකොට.......ඈ... නම කියන්න හා.
  පොතුපිටියේ සිට පැමිණි නොංචි හාමිනේ උපාසිකා මාතාව සිය මියපරලොව ගිය දෙමාපියන්ට සෙත්පතා රැපියල් දහයක් පරිත්‍යාග් කන්නොවා....."


ආච්චි අම්මා කරේ තියෙන සාලුව වැලමිටේ දාගෙන වැඳගෙන බණ කතාව අහනව. උන්දැට ඉලක්කං බැරි හන්දා සැරිං සැරේ කියන ඉලක්කංවලට අදාල කොටුව පෙන්නා දෙන්න අපිට සිද්දවෙනව.

"අර කොණ්ඩෙ උඩට ගෙඩ්ඩ වගේ හිටින්න බැඳපු මිනිහෙකුයි සාරියයි බොඩියයි ඇඳපු ගෑනියෙකුයි ඉන්න එක තමයි ඔය කිව්වෙ ආච්චම්මෙ."


"අර බුදුහාන්දෘවො ඉඳං ඉන්නවට පල්ලෙං මේ පැත්තෙ තියෙන්නෙ"


"ගෑණියෙක් නෙමෙයි ළමයො පව් සිද්ද කොරගන්නැතුව හිටාං. ඒ දේවින්නාංසෙ කෙනෙක්. අර ඉන්නෙ කුමාරය"


ආච්චි අම්මත් මාවයි චන්දරෙ මාමලෑ අයියයි අක්කයි පාපෙං ගලවා ගන්න අපි ලව්වත් වන්දවන් හදනව. අපිත් වැඳගන්නව. හැම කවියක් අන්තිමේදිම රබාන "දබද් දබද් දොක්" කියපු ගමං ආච්චි අම්ම සාදු කියනව. ඉං පස්සෙ සාදු කියන්න කියල අපිවත් බය කරනව. 

"සාදු කියහල්ල. නැහ්නං පව් සිද්දවෙනව"

අපි තුන්දෙනත් පව් නැතිවෙන්න සාධු කියනව. කවිකාරයත් ආධාර ටිකට කවි කියල ආයිමත් ආධාරයක් එනකං ජාතක කතාව කියවනව.


"ඊළඟ පස්වැනි කොටුවෙන් පේන්නෙ මේ පිරිස මහා සාගරයේ වෙළඳාමෙ යද්දි විසාල කුණාටුවකට අසුවෙන අවස්ථාව. 

"සාගරේ කුණකටුවො ඉන්නවද අම්මෙ?"

ඒ අතරෙ නෝනක්කා අහනව.

"කුණකටුවො නෙමෙයි පුතේ කුණාටුව. හයියෙං හුළඟක් එන එකනෙ ඒ කියන්නෙ."

විශාල රළ ගෙඩිවලට නව්කාවන් අසුවෙලා ඒ මේ අත විසිවෙනවා. වෙළෙන්දන් දෙවියන්ගෙන් බේරාගන්න කියා ඉල්ලනව"


"දට්ටොට්ටොහ් දට්ටොට්ටොහ්
  මහ විසාල කුණාටුවක් සාගරයේ                  හටගන්නව...
  මහ නැව් රුවලුත් ඉරමින් මහ විනාසයක්      කරනව..
  දට්ටොට්ටොහ් දට්ටොට්ටොහ්

  මහ රළගෙඩි පෙරලීගෙන ඇවිදින් නැව්වල   හැපෙනව...
  අන්තිමේදී බෝසතුන්ගෙ නැව පෙරලිල        ගිලී යනව..
  දබද් දබද් ටොක්..."


"සාදු සාදු සා.....දු"


පවෙන් බේරෙන්න හිතාගෙන අපිත් සාදු කියනව. වටේ ඉන්න මිනිස්සු අපි දිහා බලල හිනාවෙනව.


වෙනදට බඩට වැටෙන බත් ටික නැතිවීමත්, නිදාගත්ත වෙලාව පහුවීමත්, හිටං ඉඳලා කකුල් කඩිත්තුව හැදීමත්, හංදා කවි හතරක් පහක් ගතවෙද්දි තවදුරටත් කොයි තරං පවු සිද්ධවුනත් වැඳං ඉන්නත් සාදු කියන්නත් බැරි තත්වෙට අපිව පත්වෙනව. එතකොට ඒ හේතුවලට අමතරව ළමයි වඩාගෙන ඉඳීම කියන හේතුවත් එක්කහු වෙලා ලොකු අයටත් තොරං බැලිල්ල එපා වෙනව. ඇට්ටරකමට අල්ලගෙන ඉන්න ආච්චි අම්මටත් හිටං ඉඳලා කකුල් කඩිත්තුව හැදෙද්දි උන්දැම ගෙදර යන්න හේතුවකුත් හොයාගන්නව.


"මේ ගෑනු සැරිං සැරේ සුපියල් දහය විස්ස දික්කොන්නොව අතන ගිහිං. අර මනුස්සයට ජාතක කතාව කියාගන්නවත් දෙන්නෑ. ඔන්නොහෙ යමල්ල යන්න."


හැමෝටම ඒ වචනෙ ඇති. ආච්චි අම්මගෙ හිත වෙනස්වෙන්න කලිං අපි ආපිට හැරෙනව. තව ඩිංගෙං තොරන් පොලෙං යන්න වෙන හන්දා මොනව හරි සෙල්ලම් බඩුවක් ගන්න හිතාගෙන අපි වටපිට බලද්දි ළමයින්ට ඒ කිසිම දෙයක් නොපේන්න බස් එකට නැගගන්න උවමනාවෙං අම්මා මාව වඩාගෙන සෙනග මැදිං විදිලි වේගෙං ආපහු යන්න පටං ගන්නවා. සෙල්ලං බඩු වෙලෙන්දන්ගෙ වාසනාවට ඒ වෙත්දි අපිට යන්න බස් එකක් නැති වෙනවා. බස් එකක් එනකං ඉන්න අතරෙ අත කැපෙන බෙලෙක් ලංගම බස් එකක්, මුද්දෙං අදින නලාවක්, 'පර්ර්ර්ර්ර්' ගාන නලාවක් වගේ සෙල්ලං බඩු කීපෙකුත් අරගන්න චන්දරෙ මාමලගෙ අයියටත් මටත් පුලුවං වෙනව. අපි එහෙම දෙයක් ගන්න හැම වෙලාවකදිම 'හුලං බබා' තරං ඔය කිසිම සෙල්ලම් බඩුවක් ලස්සන නැති බව නෝනක්කට කියන්න අපේ අනික් හැමෝටම සිද්ධ වෙනව. ඒ අතරෙ 

"මිං පස්සෙ තෝව කිසියම්ම කිසි තැනක එක්ක යන්නෑ"

"ආයි කිසිම බඩකඩිත්තුවක් ඉල්ලුවට ඇරං දෙන්නෑ"

වගේ දැඩි තීරණ මට දැනුං දෙන්නත් අපේ අම්මට සිද්ද වෙනව.

එතනම කැරකෙන වඩේ කාරයො, කඩල කාරයො කීප දෙනෙකුත් අපේ අම්මගෙ පොකට් එකේ බර අඩු කරගන්න උදව්වෙනව. 


තවත් පැය ගාණක් බලං, හිටං, ඉඳං, ඇවිද ඇවිද හිටියට පස්සෙ පාං ගෙඩ්ඩක් වගේ බස් එකක් ඇවිල්ල නවත්තනව. කොන්දොස්තරටවත් බහින්න ඉඩ නොදී මිනිස්සු බස් එකට නගිනව. බිම ඉන්න අය පොඩි ළමයින්ව ජනෙල්වලින් බස් එක ඇතුළට දානව. සෙනගට තෙරපිලා නෝනක්කගෙ 'හරි ලස්සන හුලං බබා' පුපුරණව. මිනිස්සු තමුංගෙ කණ ගාව පුපුරපු එක මොකද්දැයි බලද්දි ඒ ඉඩෙං අපිව ඇතුලට තල්ලු වෙනව. ඒ විදිහට බ්ලොක් ගලක් අස්සෙ වැලි කැට හිරවෙනව වගේ තදවෙලා පැය ගානක් හිටං හිටියට පස්සෙ තවත් සෙනග පොදියක් දොරේ එල්ලගෙන, සිංදු කියන, කෑගහන බීපු මිනිස්සු, බෙරිහං දෙන ළමයි, තොරණෙ ඕපදූප කතාවෙන ගෑණු, ආදිය පටෝගෙන බස්සෙක පිටත්වෙනව. ලයිට් නැති ඒ කාලෙ මගක් තොටක් හරියට හොයාගන්න බැරි හංදා තමුං බහින තැනට කලිං නැත්තං පහුවෙලා හරි බැහැගන්න මිනිස්සු නිදිමත බේරිබේරි ගෙවල්වලට යද්දි අපිත් හන්දියෙං බැහැල නිදිමතේ වැනි වැනී ගෙදර එනවා. 


ආච්චි අම්මගෙ 'බැටලියෙ' පිහිටෙං පල්ලම බැහැගන්න අපිට තාත්තව ඇහැරවගන්න තව වෙලාවක් යනව.

"ඒයි"

"බොලේ"

"ඕයි"

"බොලේ"

අම්ම එහෙම කතා කරද්දි නැන්දයි ආච්චි අම්මයි 


"ලොකුවයියේ"

"ලොකුවයියේ"

"ලොකු ළමයෝ"

"ලොකුඑකෝ"

කියල කෑ ගහනව. ඒ අතරෙ අම්ම මගේ අත අඹරෝල මට තර්ජනේ කරනව.

"තාත්තෙ කියහං"

"කියහං යකෝ"

මං කට හොල්ලන්නෙ නෑ. දොරගාවට ගිහිං දොරට ලනුව දාන්න දොර පියන හිල් කරල තියෙන තැනට කිට්ටු කරල මං ගෙනාපු නලාව පිඹිනව.


"පර්ර්ර්....පෑර්ර්ර්"


ගේ ඇතුලෙං දඩිබිඩි සද්දෙකුත් එක්ක දොර ඇරෙනව. මාව පස්සට විසිවෙනව. තාත්තා දොර පොල්ලත් අරං එලියට පනිනව.


"ඔහිටු පර බ්බල්ලා තොගෙ අඬු..."


ආච්චි අම්ම මාව පස්සට අරං උන්දැගෙ කෙසඟ සරීරෙ ඉස්සරහට ගන්නව.

"උඹට මොකා වැහිලද ලොකු එකෝ. කුම්බකරනෙය වගේ බුදි. ගං ඔන්නොය දොරපොල්ල මෙහෙට."


ආච්චි අම්ම මාව බේරල තාත්තගෙ අතේ තියෙන දොරපොල්ල අරගන්නව.


"අම්ම කෑ නොගහ ඉන්න. මුගෙ ඉලන්දාරිකම ගාන්ට වැඩියි."


තාත්තා ආයි ගොරෝනව.

"උඹක් ගිහිං බුදියහං. මුන්දෙන්නටත් බුදියන්න ඇරල. කටවහගෙන"

අම්මයි මායි ගෙට යද්දි තාත්තත් අපිට ඔරෝගෙන ගෙට ඇවිල්ල මගෙ නලාව ඇදල ඇරං බිම දාල පාගනව. නලාවෙ කට චප්පවෙලා යනව. ආච්චි අම්මා එක අතකිං දොර පොල්ලත් අරගෙන පල්ලම බහිද්දි නැන්දා ඊට පස්සෙං ටෝච්චෙක අල්ලගෙන යන්න යනව.





67 comments:

  1. යන්තන් ඉවරයි !!

    ReplyDelete
  2. "වං ආයි එලිවෙං ඉල්ලෙ ලෑ....."
    මෙය පුංචි සුරංග විසින් කරන ලද ප්‍රකාශයකි...

    ReplyDelete
  3. දට්ටොහ්ටොහ්.... දට්ටොහ්ටොහ්.... ආස හිතෙන විදියට...තොරනක් ගැන කිව්වට....පින් පුරවා ගන්නට...මල්ල අල්ලන්නකො විගහට...දබද් දබද් ටොක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතිය. අද තමයි කට්ටකාඩුව රෝලෙ එල්ලුවෙ.

      Delete
  4. මට උඹ කියන එව්ව මැවිල පේනව බං, දිගටම ලියපං පොතකට දේවල් තයනව !

    ReplyDelete
    Replies
    1. පොතක් කියන්නේ ඉතිං e-book තමයි.

      Delete
  5. අන්තිම ටික කියවලා හිනාවෙ පන ගියා. මට මැවිලා පෙනුනා දොර අස්සෙන් නලාව පිඹින හැටි.
    ඒ උනාට ඒක කැඩුණු එක නම් අපරාදෙ.

    බොහොම ස්තුතියි මෙහෙම රසවත් කතාවක් ලිවුවට. ඊළඟට ලියන්නේ මොකක්ද සුරංග?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා. මොකක් ලියන්දෝ කියල හිතනව තවම.

      Delete
    2. කඩේ පුංචිහේ වීර ක්‍රියාව ලියමු.(කෙටි කලබල හින)

      Delete
  6. / පොතුපිටියේ සිට පැමිණි නොංචි හාමිනේ උපාසිකා මාතාව සිය මියපරලොව ගිය දෙමාපියන්ට සෙත්පතා රැපියල් දහයක් පරිත්‍යාග් කන්නොවා....."/

    මේක දැක්කහම මට මතක් උනේ... දවසක් මට ඒ පැත්තෙ ප්‍රාදේශීය සභා මැම්බර කෙනෙක් කිව්ව “රැයිපියල් තෙන්නකෝන් මාවත“ කියල බෝඩ් එකක් අඳින්න. ඒ මාවත අද්දර ගහල තිබ්බ “රෑනගල පාර“ මකල අඳින්න තිබ්බෙ. ඉතිං මං ඕක ඇඳ ඇඳ ඉද්දි අයියෙක් ඇවිත් බලං ඉඳල කියනව... “මල්ලි ඕකෙ “ර“ යන්නෙ ඇදේ හරියට අඳින්ඩ. නැත්තං ඕක රුපියල් තෙන්නකෝන් වෙයි“ කියල.

    ReplyDelete
    Replies
    1. හපොයි මට පේන්න බැරි මිනිහෙක් ඔය.
      නටනසැ ඇංජැමැක් බැසැයැකැ ගැමැනැ සැදූ...

      කියල ඇදේට ලියන මිනිහා නේද ඔය.

      Delete
    2. පොතක ලියල තියෙන දෙයක්කියවනව වගේද, ඔය ඇකාර බාසාවෙං ලියපු සිංදු කියනවයි කියන එක?

      “අතු අගැ දිලි වන මල් - දිලෙන්නා විඳැ විඳැ සඳ සිහිලැල්
      මසිත් ඔබ හද සිහිලැල් - ලබාලා පරයයි ඒ හැමැ මල්...“

      රචනය අරීසෙන් අහුබුදු
      ගායනය අමරදේව

      Delete
  7. මොකක්ද අනේ පොල්ලෙන් ගැහුවා වගේ ආයිත් ලියන්නෑ කියු කතාව. අලේ අර හංගුඩු බිල්ලා, ගොරවන හප්පා වගේම මං තාමත් සොයනවා අබිමානා කියන එකා. ඒක වික්ටර් රත්නායකයන්ගේ සිංදුවක පදයක්. පුංචි කාලේ ඕක හොඳටම මතකයි. අබිමානා.කතාව උපරිමයි. අපරාදෙ පුංචි අම්මලවයි ආච්චි අම්මවයි ගෙනියන්න තිබුණේ.

    ReplyDelete
    Replies
    1. අපේ මාමා තව සීන පුම්බා, චූචිකුචියා වගේ එවුනුත් පාවිච්චි කෙරුවා....

      Delete
    2. ලිඳ ළඟටා යන්ට එපා දියබරියා කයි..
      වැට ළඟටා යන්ට එපා කබරගොයා එයි..
      ගඟ ළඟටා යන්න එපා අබිමානා එයි..
      උඹ නොලියා ඉන්ට එපා අපි මෙහි තනිවෙයි.. :)

      Delete
  8. අපසාදෙ උඹෙ නලාව. ඒත් කමක් නෑ බං තාත්තට කරපු දේ එක්ක බැලුවම.

    ReplyDelete
    Replies
    1. ඒක වීරක්‍රියාවක්. මොකද මපියාණන් කියන්නේ තනිකරම වසවර්ති මාරයගෙ ක්ලාස්මේට්.

      Delete
  9. තොරන් දෙකක් ගැහුවොත් අවුරුද්ද ඉවරයි..!

    ReplyDelete
    Replies
    1. ඔව්. මේකටත් මාස පහක් විතර ගියානෙ

      Delete
  10. තොරණෙ ලයිට් නිමන්න ඉස්සර උඹ තොරණෙ විස්තරේ ඉවර කරපු එක හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. ලයිට් නිමනකං ඉන්න බැරිවිය.

      Delete
  11. මදෑ බොලා සෙට් එකෙ අතක් පයක් කඩාගන්නැතුව පැන්ඩෝලෙ බලල යහතිං ගෙදර ආව වෙලා තියෙන දේවල් වල හැටියට.
    වට්ට නයිස් ඉස්ටෝරි ඈ...

    ReplyDelete
    Replies
    1. අයි තෝට් ඉට් මේ නොට් බී ගුඩ්. හව්වෙවර් යූ හැව් පවුන්ඩ් ඉට්.

      Delete
  12. okakoma hodayi.. thaththa nalawa kaduwa eka thama duka hithena siddiya...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි. වෙච්චි දේ කිය්නන එපෑ.

      Delete
  13. ඔය තොරණ බලන්නට අම්මලා, නැන්දලා සහ ආච්චිලා එක්ක ගිය පෝරිසාද කොල්ලෝ ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා කරන්නට ඇතියයි සිතිය හැකි විස්තර ටිකත් ඕකටම ඈඳුවානම් තව ටිකක් දික් කර ගන්න තිබුණා.

    ReplyDelete
  14. අවුරුදු උත්සව ගැන ලිව්වද?

    ReplyDelete
  15. පට්ට සුරංගයියා පට්ට...!

    ReplyDelete
  16. ඇයි සුරංග අයියේ පොලෙසියෙන් කෙටිටු උන්ම අල්ලාගෙන යන්නෙ......?

    නලාව තලාගෙන බෙිරැනා මදැයි ?

    එක හොදදදදදදදදදදයි....ඒවගෙම සාසසසසසයි...

    ReplyDelete
  17. හස්බන්ඩ් = බොලේ

    ReplyDelete
  18. "පර්ර්ර්....පෑර්ර්ර්" කියලා පොඩි එකා නලාව පිබිද්දි තාත්තා අහරිනවිට තමයි මරෑ...හහ්...හහ්... හහ්...හාා...හිිකි හිිකිස්...

    ReplyDelete
  19. ඇයි දැන් මේකට පැනඩෝල් කියලා කෑල්ලක් ආවේ??

    ReplyDelete
  20. ඒ උනාට අපරාදේ.. ආච්චම්මට එළිවෙනකම් ජාතක කතාව අහන්න දෙන්න තිබ්බ..

    ඒකෙන් මේකෙන් කාරී නෑ.. මහන්සියට බුදියගෙන නැගිටලා අනිත්ව ලියපං.

    ReplyDelete
  21. ඉවරද බන්? :-D :-D

    ආයේ එකක් ඉක්මනට ලියපන් අපිට කියවන්න.

    ReplyDelete
  22. අර පුංචිඅම්ම ණය ගත්ත කතාවෙ ඉතුරු ටික දැම්ම නම් නේද හොඳ කොලුවෝ.....

    ReplyDelete
    Replies
    1. ඔව් බං....... අර ඉතා කෙටි කලබල හීන 2 දාපංකෝ.......

      Delete
    2. එකේ උච්චතම කොටසක් මේ දවස්වල රඟ දැක්වෙනවා. කතාව අවුරුදු දෙකකිං මෙහා ඉවර වෙයි වගේ.

      Delete
  23. හපයි මං කොටස් 4යි කියවලා තියෙන්නේ. ඉතුරු ටිකත් කිව්යවලාම එනම්

    ReplyDelete
  24. ඒකත් ඉවරයි දැං?

    ReplyDelete
  25. හෙන සැපක් නේ බං ඒ කතාව..
    කලින් ටික බැලුවෙ නැහැ..

    ඒත් මරු !

    ReplyDelete
  26. //"වාව අල්ලය්යල්ලෙෆා.... වං වත් කලවා......"// මේ බත කනවා කියලනේ කියල තියෙන්නේ. හපොයි උඹ නම්. නියමයි. එක දිගට හිනා වේවි කියෙව්ව්චා. ඉරිදටම ගැලපෙනවා.

    ReplyDelete
  27. ආයි ලියන්නෑ අතියන්තම් දෙවිසරණයි බඩු පිහිටයි අපේ ඩේටා ඉතිරි කරනවට

    ReplyDelete
  28. උඹේ නලාව පාගලා ඉවරවුනා ඇති. ආච්චම්ම නොහිටින්න අද යාන්හෑල්ලක් නෑ...

    ReplyDelete
  29. සුරා මාතියාාා කෝ අලුත් එක....?

    ReplyDelete
  30. What's up mates, how is all, and what you want to say concerning this
    paragraph, in my view its in fact amazing in favor of me.

    ReplyDelete
  31. ලියපංකො රෙද්ද......

    ReplyDelete
  32. සත්ගුණවත් මහා දානපති සුරංග ම.ල.ර. මහතා වෙත,

    උඹ ඔය කාර් කෑල්ල අරගෙන පූ‍සො ටිකත් දාගෙන පින්තූරු අල්ල අල්ල පංසල් ගානෙ හක්කලං කොරාට කාරි නෑ. වහාම මේක ලියහං.

    කො.කා. සංගමය මගින් කෙරෙන අකාරුණික දැනුම් දීමකි.

    ReplyDelete
  33. කවුඩ දෝ මේකට ආප්ප අැප්රූවල් දැම්මෙ ආයෙත්.

    ReplyDelete