Saturday, September 17, 2016

තේ ගස යට හෙවත් Under the tea tree - 3 (බෙහෙත් ගැහිල්ල, දළු කැඩිල්ල)



දැං තේ පැලේ පැලවෙලා ටිකෙන් ටික උස්වෙන කාලෙ. තේ ගහට උදව්වට කෙනෙක් ඉන්න ඕනි. හරිනං මේ වෙනකොටත් එයා මෙතන ඉන්න ඕනෑ. ඒ තමයි ලාඩප්ප ගහ. දන්නෑ නේද? එහෙනම් "නංචි"? ආ ඒක දෙමළ නමක්නෙ? එහෙනං "ග්ලිරිසීඩිය", "වැටමාර"? ඔය කොයි නමින් කිව්වත් ඒ ලාඩප්ප ගහ තමයි. ඔය ලාඩප්ප ගහ හිටවන්නෙ තේ ගහට හෙවනක් වෙන්නලු. ඒ වුනාට එක ලාඩප්ප ගහක ඉඳං අනික් ගහට අඩි පහලොවක් විස්සක් දුර හිංදා ඒ හැටි හෙවනක් ගන්න අමාරුයි. ඒක හරියට වැස්සෙං බේරෙන්න ඔලුවට උඩිං අත ඇල්ලුව වගේ වැඩක්. හැබැයි ලාඩප්ප ගහෙන් වෙනිං ප්‍රයෝජන තියෙනවා. දලු කඩන්න යද්දි ගෙනියන කැම ජාති කවරෙක දාලා එල්ලල තියන්න පුළුවං ලාඩප්ප ගහේ කරුවක. නැත්තං පොඩි ලමයින්ගෙනුයි බල්ලංගෙනුයි එවා බේරගන්න අමාරුයි. හැබැයි ඒවෙනුවට ලේන්නුයි, කුරුල්ලොයි ඒවාට වහ වැටෙනවා. පිහියක් එහෙම ගහේ උලගහල තියාගන්න පුලුවන්. ඒ වගේම වලියක් වෙලාවට බොහොම ලේසියෙන් පොල්ලක් කඩාගන්න පුලුවං ගහක්. කලින් කලට ගහ උස යනකොට කපලා දාන ලාඩප්පා අතු දරට ගන්න පුලුවං. එහෙම කපල තේ ගහයට දාපු ලාඩප්ප පොලු සමහර වෙලාවට කකුලෙ පැටලිලා හොස්ස කට තැලෙන්න "දෙරි ගහන්නත්" පුලුවං.

තේ පැලේ තේ ගහ බවට පත් කරගන්න තව බොහොම ආවතේව කරන්න තියෙනවා. නමුත් එව්වා එකින් එක කියන්න මට මතකත් නෑ. අනික එව්වා ඒ තරං ලියන එක තේ වවන්නෙක්ට මිසක වෙනිං කෙනෙක්ට වැදගත් වෙන්නෙත් නෑ. ඒ හංදා අපි තරුණ වසයෙ තේ ගහ වෙත යොමුවෙමු. 

අවුරුදු තුනෙං පස්සෙ තේ ගහේ දළු කඩන්න පුලුවං. දළු කඩන්න පටංගත්ත ගමං හැකි ඉක්මනට තේ ගස් ටික එකට යා කරගන්න ඕනි. ඒ කියන්නේ තේ ගස් අතර හිඩැසක් නැතිවෙන්න, තේ ගහ යට පොලවට ඉර එලිය නොවැටෙන්න තියෙන්න ඕනි. එයිං ඇතිවෙන ලොකුම ප්‍රයෝජනය වල්පැල හැදෙන එක පාලනය වීම. ඉර එලිය වැටුනෙ නැතුවහම වල්පැල වර්ධනය බාල වෙනවනෙ. ඒත් මාස හය හතකට සැරයක් තේ ගස් යට “උදුලුගාන්න“ ඕනි. තේ ගහ යට උදැල්ලෙන් වැඩ කරන්න අමාරුයි. අනෙක් ගස්වල වදිනවා. ගහ මුල සුද්ද කරද්දි තේ ගහේ මුල් කැපෙනවා. ඒ හිංදා ‘සොරඬිය‘ කියලා ආවුදයක් තමයි වතුවල පාවිච්චි කරන්නෙ. මම නං දන්න හොඳම ක්‍රමය තමයි වල් පැල අතිං ගැලවීම. ඒ වුනාට සේවක කුලිය වැඩි නිසා අපේ අය හුඟක් දෙනා කරන්නෙ ‘බෙහෙත් ගැහිල්ල‘.  තේ අක්කරේක විතර එක දවසින් බෙහෙත් ගහල ඉවර කරන්න පුලුවං. නමුත් තේ අක්කරයක් අතින් සුද්ද කරන්න ගියොත් දවස් පහකටත් වඩා යනවා. ඒ හංදා බෙහෙත් ගැහිල්ල ලාබයි. බෙහෙත් ගහන්නෙ ටැංකියෙන්. ටැංකි හැමෝටම නෑ. කුඩා තේ වතු සමිතිවල තියෙනව ටැංකි. සමිතියෙ අයට කුලියට දෙන්න. තව ගමේ පෝසත් අය ගාවත් තියෙනවා. එව්වා දෙන්නෙ තෝරාගත්ත කීප දෙනෙකුට විතරයි. ජාතුංගම බාප්පලෑ ටැංකිය දෙන්නෙ හේමිචන්දර මාමටයි, අපේ ගෙදරටයි විතරයි. වෙනිං කෙනෙක් ගිහිං ඇහුවොත්


“නිපල්ලෙක කැල්ල. කෑල්ලක් දාන්න වෙනව අලුතෙං“

“අර මද්ද ගිනිහිං බිම ඇතෑරල පැත්තක් තැල්ල. පොම්පෙ හිරවෙලා තියෙන්නෙ“

“ලෙදර්රෙක උනුවෙලා. බෙහෙත් වදින්නෑ. නැහ්නං නොදී ඉන්නෑ. ඕන්නැං ගිනිහිං බලන්නකො. අපරාදෙ බෙහෙට්ටික අහක ඉතිං“

වගේ මොකක් හරි කියල නොදී යවනව. එහෙම නැත්තං ටැංකිය ගෙයි හංගල තියල 

“ඔන්න ඊයෙ පියදාසයිය ඉල්ලං ගියා. ෂෙක් අම්ප ඊයෙ ආවනං ගිනියන්න තිබ්බ ඉල්ලුවහං නොදී බෑනෙ

කියල වෙනිං කවුරුහරි ගෙනිච්ච විදිහට නොදී අරිනව. ඒ වගේම තමයි බෙහෙත් ගැහුවට පස්සෙ ටැංකිය හොඳට හෝදල, වේලල, පොම්පෙ ලෙදර් කෑල්ලට ඔයිල් ටිකක් එහෙම දාලා ගිහිං දෙන්න ඕනි. නැත්තං 

“ආයිනං කිසියම්ම කිසි දවසක ඕකලට දෙන්නෑ ටැංකිය.“

කියලා ටැංකිය අයිතිකාරය වෙනිං මිනිස්සු එක්ක කියනවා. ඒ වගෙම තමා ආයි ඉල්ලුවට ටැංකිය හම්බුවෙන්නෙත් නෑ. ඒ අතරෙ සමහර ටැංකිහිමියො ටැංකිය දෙන්නෑ. එයාට කිව්වහම එයාම ඇවිල්ල ටැංකියෙං බෙහෙට්ටික ගහල දෙනවා. හැබැයි එයාගෙ දවසෙ කුලිය දෙන්න ඕනි. ඒක මේසන් බාස් කෙනෙක්ගෙ කුලිය තරම්ම ලොකු ගානක්.
ටැංකියක්


බෙහෙත් ගැහිල්ලෙං පස්සෙ එක වතාවක් හොඳට දලුත් ඇදෙනවා. මැරිච්ච තණකොළ ගස්වල සාරෙත් උරාගෙන. හැබැයි මේ හිංදා තේ ගහේ දළුවල අතරින් පතර වෙනස් විදිහෙ කොල හැදෙනවා. සාමාන්‍ය තේ දල්ලක කොලේට වඩා දිග, එයිං කාලක් විතර පළල කොල තියෙන දල්ලක් ගහක හැදිල තිවුනොත් ඉස්තිරේටම කියන්න පුලුවං

“මේ කෑල්ලට සර්පාස් ගහල තියෙන්නෙ“

කියලා. 

බෙහෙත් ගැහිල්ල වගේ නෙමෙයි දලු කැඩිල්ල. ඒක සතියක් ගානෙ කෙරෙන්න ඕනි වැඩක් නෙ. තේ කොල විකුණන දැන්වීම් වල ඕන හැටියෙ තියෙනවා දලු කඩන විදිහ. හරියට කොල දෙකයි අරිම්බුවයි තියෙන්න තේ ගහෙන් උඩට මලක් වගේ මතුවෙලා “ඉඳා කඩාගනිං“ කියල ඉන්න තේ දල්ල මාලු ලැල්ලෙ විකුනන්න තියෙන දැල්ලංගෙ පාට රෝසම රෝස ඇඟිලි වලින් අල්ලල යන්තං අංශක තුනක් නමපු ගමං පුඩ් සිටියෙ තියෙන බෝංචි කරලක් කැඩෙනව වගේ “ටික්“ ගාල කැඩෙනව. දල්ලෙ අග තිවුන පිනි බිංදු කීපයක් හඳේ ගුරුත්වාකර්ශණයට අහුවුනා වගේ හිමීට පාවෙලා යනව. ආං එහෙමයි දලු කඩන්නෙ. හැබැයි ඒ මහ පොලොවෙ නෙමෙයි හඳේ.

දලු කඩන්න ඉගෙනගන්නවනං ඊට කලිං ඉවසීම ප්‍රගුණ කරන්න ඕනි. නැත්තං දලු කඩනවාට වඩා තේ ගස් උගුල්ලා දැමීම සිද්දවෙන්න පුලුවන්. තේ ගහේ දලු හැදෙන්නෙ වැවේ මානෙල් පිපෙනව වගේ කොලවලට වඩා උසින් නෙමෙයි. ගහේ කොලවල මට්ටමෙන්මයි. ඒ නිසා කොල නොකඩා දලු විතරක් තෝරලා කඩන්න ඕනැ. ඒකයි තවමත් දලු කඩන්න යන්ත්‍රයක් හරියාකාරව හදන්න බැරි. ටික දවසක් යනකං දල්ලෙන් දල්ල තෝරලා කඩන්න ගියහම දවසටම දලු කිලෝ දහයක්වත් කඩන්න බෑ. බලන්නකො මේ පින්තූරෙ. එතකොට තේරෙයි දලු කැඩිල්ල මොලේ කොලොප්පං වෙන වැඩක් කියලා.  




මේ රතු පාටිං ලකුණු කරල තියෙන ඒවා තවම ඇදිල මදි. ඒවා කඩන්න හොඳ නෑ. නිල් පාට එක කඩන්න ඕනි. ඒක නියම ගානට ඇදිලා. හැබැයි ඒක කඩන්නෙ ගහේ මට්ටමට. එතකොට තමයි ඊළඟට දලු ඇදෙද්දි එක මට්ටමට ඇදෙන්නෙ. එතකොට කහපාට ඒවා? හොඳින් බැලුවොත් පෙනෙයි ඒවයෙ අරිම්බුව නෑ. ඒ කියන්නෙ මෙතනිං එහාට කොලයක් ඇදෙන්නෙ නෑ. එ් නිසා මේවා කඩලා අයින් කරන්නම ඕනි. හැබැයි මේවා මෝරලා නං කඩලා අහක දානව මිසක් දලු කවරෙට දාගන්නෙ නෑ. සාමාන්‍යෙයං දලු කඩන්නෙක් තප්පරේට දලු දෙකක්වත් කඩනවා. එතකොට මෙතන තියෙන වැදගත්ම කාරනාව තමයි මේවා කඩනවද? කඩන්නෙ කොතනින්ද? කඩල කවරෙට දානවද? අහක දානවද? කියන කාරණා හිතල තීරණය කරන්න තියෙන්නෙ තත්පරෙන් තුනෙං පංගුවක විතර කාලයයි. ආං ඒ හන්දා දළු කඩන කෙනාටත් වේගවත් මොළයක් තියෙන බව තේරුම් ගන්න ඕනි. ඒ වගේම තමයි තේ ගහේ අස්වැන්න තීරණය කරන තීරණාත්මක සාධකයක් වෙන්නෙත් දළු කඩන කෙනාගෙ “හොඳකම“.


තේ අක්කරයක් හමාරක් විතර තියෙන පවුලක නම් “මහ ජෝඩුවට“ පුළුවං ඉඩමෙ දළු ටික කඩාගෙන, නඩත්තු කරගන්න. නමුත් අක්කර දෙක තුනට වඩා තියෙනකොට “දළු කඩන අය“ හොයාගන්න වෙනවා. ඉස්සර නං අපේ ගමේ ඕන තරං දළු කඩන අය හිටියා. ඒ දවස්වල එතරං තේ ඉඩං තිවුනෙත් නෑ. නමුත් පස්සෙං පහු හැමතැනම තේ වැවිල්ල පටං ගනිද්දි  දළු කඩන අය මදිවුනා. ඒ හංදා කලිං “කියල තියන්න“ වුනා. 
දළු කඩන අය අතරිං අපේ “දැතිහුලහ“ නැන්දයි, එයාගෙ මනුස්සයයි ඒ අවට ප්‍රසිද්ධයි. ඒ දෙන්නව හොයාගෙන හැන්දෑවට ඉඩං අයිතිකාරයො එනව. අපේ ගේ ගාව කන්ද උඩට ඇවිත් කෑගහනව. අපේ ගෙවල් මණ්ඩියෙ එක සන්නිවේදන ක්‍රමයක් තමයි කෑගැහිල්ල.

“පීසේන මල්ලී..... පීසේන මල්ලී.... චන්දරා නංගියේ..... චංදරා නංගියේ“

මෙහා කන්දෙ ඉඳං නැංදා උත්තර දෙනව

“ඕ ඕ රාලාමි අයියේ... මේ ඉන්නෝ....“


ආයිත් රාලහාමි මාමා කෑගහනව

“හෙට අපේ දළුටික කඩන්න ආවැක්ද දෙන්නටම. ඈ...“

නැංද උත්තර දෙනව

“හා හා... එන්නං එන්නං“

“ඔන්නෙහෙනං නොවරද්දම එන්න ඕනී. මයියනව එහෙනං“

පෝස්කාඩ්ඩෙක දැම්ම වගේ ඒ සංවාදෙං අපි හැමෝම දැනගන්නව හෙට “දැතිහුලස්“ ජෝඩුව දළු කඩන්න යන්නෙ රාලාමිගෙ කියල. 
ඔන්න ආයි ටිකකිං කන්ද උඩිං ආයිමත් කෙනෙක් කතා කරනව ඇහෙනවා.

“පියසේන..... පියසේන.......“

ඒ ඇහෙන්නෙ කනත්තෙ පත්මසිරි මහත්තයගෙ කටහඬ. එයාගෙ සද්දෙ නැන්දලගෙ ගෙදෙට්ට ඇහෙන්න තරං ප්‍රබල නෑ. ඒ හංදා මට මැදිහත් වෙන්න සිද්දවෙනවා. පත්මසිරි මහත්තයගෙ සද්දෙ රතු පාටයි, නැංදගෙ සද්දෙ නිල් පාටයි, මගේ සද්දෙ කොලපාටයි.


“නැංදේ..... නැංදේ.... මෙන්න කවුද කතාකොන්නෝ.....“

“කවුදෑඈ..“

“මම් මම් මේ මං“

“ඈ......“

 “කනත්තෙ පත්නසිරි මහත්තෙයා“

“ආ.... මට ඇහුන්නෑනෙ“

“හෙට අපේ ගෙදර වත්තේ දළු ටික කඩලා දෙන්න එන්න පුළුවන් වෙයිද?“

“හෙට ඒගොල්ලංගෙ දළු කඩල දෙන්න එන්න පුලුවංද අහනව“

“දෙන්නටම කියන්න“

“දෙන්නටමලුඌ“

“හා හා.... එන්නං එන්නං.. අපි දෙන්නම එන්නං“

නැංද වැඩේ බාරගන්නවා. පහුවදා උදේ නැංදයි මාමයි අපේ මිදුල උඩිං යනගමං අපෙ අම්මට කතාකරගෙන යනව.

“ජයක්කේ....... ජයක්කේ....... අපි කුසුංසිරි අයියෑ දලුඩිංග කඩාදෙන්න යනව. චූටිට කියන්න ඉස්කෝලෙ ඇරුනහං පොඩි චූටිවත් එක්කං එහෙට එන්න කියල“

“ඈ මැණිකො උඹල ඊයෙ කනත්තෙ මහත්තයටයි, රාලාමිටයි දෙන්නටම පොරොන්දූනා නේද අද දලු කඩා දෙන්න එන්නං කියල?“

 “අද උදේ එලිය වැටෙන්න කලිං කුසුංසිරි අයිය ඇහිල්ල කිව්ව දල්ටික දඩා දෙන්න එන්නම කියල. ඉතිං නොගිහිං හරිනෑනෙ. “


ඒ දෙන්නට කෑම බීම හදාගෙන, කහට උණුකරගෙන දලු ගෝනි තුනකුත් අරගෙන රාලහාමි මාමා තමුංගෙ ඉඩමට වෙලා ඉන්දැද්දි, පත්මසිරි මහත්තයගෙ නෝනත් ඒ දෙන්නට කෑම බීම හදාගෙන බලං ඉන්නව. අන්තිමට ඒ සේරමත් අහක විසි කරන්න වෙනව. එදා හවසටත් ආපහු ඉඩං හිමියො ඇවිත් කන්ද උඩ ඉඳං කතා කරනවා. රාලහාමිටයි, කනත්තෙ මහත්තයටයි ලැබෙන්නෙ මෙහෙම උත්තර


“මගෙ කකුලෙ උලක් ඇනිල අද දවසෙම ගෙදර හිටියෙ. ඒකයි ආවෙ නැත්තෙ නෙවැරදීම හෙට එන්නං.“


“මේ චූටිට උනක් හැදිල ඉස්සිතාලෙ ගියා බෙහෙග්ගේන්න. හෙට එන්නං.“

ඔය විදිහට මාසයකට වැඩිම ආපදා ගණනකට ලක්වෙන පවුල හැටියට ගිනස් වාර්තා පොතට යන්න තරං හැකියාවක් “දැතිහුලස්“ පවුලට තියෙනවා.


අන්තිමට තවත් දවස් දෙකකට විතර පස්සෙ තමයි ඒ දෙන්න රාලහාමිගෙත්, පත්මසිරි මහත්තයගෙත් දළු කඩන්න යන්නෙ. එතකොට දළු කොල දෙකහමාර වෙනුවට අඩි දෙකහමාරක් තරං උසට ඇදිලා. පුංචි කොලේ ගාවින් කැඩුවොත් සමහර දළුවල කොල හතරටත් එහා. ඒ නිසා අතට පහසු හරියෙං කඩල දානව. ඉතුරු ටික ගහේ තියෙන්න අරිනවා. රාලහාමි ළඟම හිටියොත් විතරක් ඒ කොටස කඩල දානවා. අන්තිමට දළු වෙනුවට අතු වගේ ජාතියක් පැට්ටේරියට යැවෙනවා. තේ කෑලිවල දලු කඩන වාර ගාන මාසෙට දෙපාරක් හෝ තුං පාරක් වෙනවා. ඒ වගේම තමයි අවුරුදු දෙකෙං තේ ගස් කරවටක් උස් වෙනවා. 
   
දලු කඩන අයගෙ ප්‍රධාන හතුරා තමයි කූඩැල්ලා. වැස්සක් ඇතොත් නිමක් නැති පෑව්වොත් පොඩ්ඩක් අඩු වෙන කූඩැල්ලො නිසා තේ ඉඩමකට ඇතුල්වෙන කෙනෙක් ආපහු ඒකෙං පිටවෙන්නෙ පිහි ඇනුමකට ලක්වෙච්ච කෙනෙක් වගේ ලේ පෙරාගෙන. සමහරු ලුණු වතුර, නිල් සබං ආදිය ඇඟේ ගාගෙන යන්නෙ ඒවා කූඩැල්ලට විසයි කියන හින්දයි. ඒ වුනත් කූඩැල්ලංගෙ බේරිලා තේ ඉඩමකට ගිහිං ආපු කෙනෙක් මම තාමත් දැකලා නෑ. කකුල දිගේ නැගගෙන යන කූඩැල්ලා ඔබේ ඇඟේ ඔබට හිතාගන්න පුලුවං ඕනිම අස්සක රිංගලා කන්න පුලුවං. එක වැහි දවසක මගේ කටේ උඩුතල්ලෙත් කූඩැල්ලෙක් හිටියා. ඕනිම කූඩැල්ලෙක් අතිං අරං දාන්න අපේ ගමේ මිනිස්සුන්ට පුලුවං. කූඩැල්ලා අපිට හිරිකිත සතෙක් නෙමෙයි. ඒ වුනත් චාරිත්‍රයක් වසයෙං නිල් සබං කැල්ලක් හරි සල්ලයිට් කෑල්ලක් හරි දලු කඩන අයගෙ කවරෙ තියෙනවමයි.
දළු නෙලන්නෙක්
දලු කඩන්න යද්දි ඇඳං යන ඇඳුමෙන් දළු කඩන්න බෑ. ඇඳුං සවුත්තු වෙනවා. ඒ නිසා  ඒකට වෙනමම “හඩු ඇඳුමක්“ දළු කඩන අය ගාව තියෙනවා. බොහෝවිට මේවා ගෙදරට ඇඳලත් අහක විසි කරන “පාංකඩ“ වර්ගයේ, වැරහැලි වෙලා ඉරිලා ගිය කුණු තට්ටු කීපයකින් වැහිච්ච සුගන්ධවත් ගොමස්කඩ විශේෂයක්. තව ඉටිරෙදි කීපයකුත් කොහු ලණුවකුත් ගෙනියන්නේ වතුරෙන් බේරෙන්න. එයින් එකක් ඉන වටේට ඇඳගන්නවා. තේ ගස්වල තියෙන පින්නෙන් තෙතබරි වීමෙන් වලකින්න. තව එකක් වැස්ස වෙලාවට ඔලුවෙ හිටං වැහෙන්න කුල්ලක් වගේ හදලා දාගන්නවා. මේ කොයිකත් ඇඟට තියල ගැටගහගන්නෙ කොහු ලණුවෙන්.


“උඩරට කඳුකර සිරියා පරදන“ ලඳුන් හොඳ ලස්සන වේවැල් කූඩයකට දලු කැඩුවට ඇත්තටම දලු කඩන්නේ කවරෙකට. පෝර දාපු කවරයක් හෝදලා අරගෙන ඒක ඔලුවෙ දාගන්න රෙදි පටියක් හරි ලනුවක් හරි දාගත්තම දළු කඩන්න කවරයක් හදාගන්න පුලුවන්.
දළු කඩන අයගෙ ප්‍රධාන බයිට් එක තමයි බුලත්විට. ගෙවල්වලට ගේන කිරිපිටි පැකැට් එකකින් හදාගන්න “විට මල්ල“ දුංකල ඉරුවක්, බුලත් කොළ අටක් දහයක්, හතරට පලාපු පුවක් ගෙඩ්ඩක් දෙකක්, හුණු පැකැට් බාගයක් ආදියෙං පුරවපු වතුර නොවදින්න හොඳින් නවපු වටිනා දෙයක්. දළු කඩන අයගෙ කටේ බුලත් විටක් නැත්තෙ ඒ අයගේ  ප්‍රධාන පානය වන “කහට“ බොන වෙලාවටත්, ප්‍රධාන ආහාරය වන “සොටි“ හරි “පාං“ හරි කන වෙලාවටත් විතරයි. 
  
http://www.laurelleaffarm.com/item-photos/big-old-tinned-copper-tea-kettle-vintage-Revere-Laurel-Leaf-Farm-item-no-w42449t.jpg
මෙන්න මෙහෙම පෝච්චියක් පුරවලා තේ කහට ගෙනිච්චොත් යංතං දෙන්නෙක්ට ඇති.
කවරයක් පිරෙන්න දලු කැඩුවයින් පස්සෙ ඒ ටික ගෙනත් ඉඩමෙ තියෙන පැලේ බිම ඉටිකොලයක් උඩට හලනවා. එහෙම හලන හැම සැරයකම අල්ලට හලාගන්න සීනි ටිකක් එක්ක කහට පොල් කට්ටක් හිස් කරලා බුලත්විටක් කටේ ඔබාගත්තම ඊළඟ “දළු මඩියට“ බලය, ජවය, ශක්තිය ලැබෙනවා. උදේ හතට විතර පටන්ගන්න මේ රස්සාව හවස තුන විතර වෙද්දි අවසන් වෙනවා. ඒ හංදා දළු කඩන අය දවල්ට කන්නේ ගෙදර ගිහිං.


දළු කඩන අයට ගෙවන්නෙ දවස් කුලිය. නැත්නම් කඩන දළු කිලෝ ගානට. දවස් කුලියට නං දැන් දවසට රුපියල් පන්සීයක් විතර ලැබෙනවා. එතකොට දළු කඩන කෙනාට ටාගට් නෑ. ඒ නිසා කඩන දළු ප්‍රමාණය කිලෝ දහ අටක් විස්සක් විතර වෙනවා. හැබැයි වැඩේ පිලිවෙලට කෙරෙනවා. කිලෝ ගානට කඩන කෙනාගෙ අරමුණ කඩන දළු කිලෝ ගාන වැඩිකර ගැනීමයි. ඒ හිංදා එක පොකුරට අහුවෙන තරමක් දළු බුරුතු පිටිං කඩලා තේ ගහ හූරලා ඉදලක් වගේ කරන්නත්, ආයි සති දෙකකටවත් දල්ලක් ඇහැට නොදකින්න වැඩ සිද්ද කරන්නත් ඒ අය රුසියෝ.


මේ කොහොම වැඩ කලත් දළු කඩන කෙනෙක්ට දවසට ලැබෙන උපරිම වැටුප රුපියල් හත්සීයට අඩුයි. බහුතරයක් දෙනාට තවම ලැබෙන්නෙ රුපියල් පන්සීයකට අඩු ගානක්. ඒ එක්කම බෝනස් හැටියට මෝරපු දළු වලට පැලිලා කළු වෙලා ගොරෝසු වුන ඇඟිලිත්, බුලත් කහටට කළු වෙලා වලවල් හෑරුණු දතුත්, දළු කවරෙ එල්ලගෙන ඉඳලා හැදුනු කොන්දෙ අමාරුවත් හැමෝටම අඩු නැතුව ලැබෙනවා.
  
 

66 comments:

  1. කුකුළේ කඳුකර සිරියා පරදන තේ දළු නෙළන....

    ReplyDelete
    Replies
    1. කොලූ....
      අතැඟිලි දිගුකර දළු කරටිය සිඳ
      කවරෙට දමන කොළු...

      Delete
  2. What is අරිම්බුව?

    ReplyDelete
    Replies
    1. දල්ලෙ මුදුනෙම තියෙන තවම දිගෑරිලා නැති කූරක් වගේ තියෙන කොලේට තමයි අරිම්බුව කියන්නෙ

      Delete
  3. අපේ වත්තෙ ගම්මිරිස් වලට ඔහොම ලාඩප්ප හිටෝල දැං ඒවයින් ලී ඉරන්න පුලුවං තරමට අරටුව තියෙනව.

    ReplyDelete
    Replies
    1. අපේ ඔපිස්සෙකේ තියෙනව ලාඩප්ප ගහක් මං වෙලාවක ඒකෙ පොටෝ එකක් දාන්නං. අවුරුදු සීයට වඩා පරණයි. ඒක කැපුවොත් යතු කැට පනහක් හැටක් හැදියැකි.

      Delete
  4. තප්පරෙන් තුනෙං පංගුවක කාලෙකදි වැඩි තීරණ ප්‍රමාණයක් ගන්න දළු නෙලන්නංගෙ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක සහ මෙමරි කැපෑසිටි එක, බස් ස්පීඩ් එක වැඩි කරන ක්‍රමයක් සොයාගන්න තවම කාටවත් බැරි උනාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය විදිහටම තේ කොලවල නැටි තෝරණ මැසිමක් තියෙනව. ඒක කෝටි ගානක් වටිනවා.

      Delete
    2. ඔය කියන්නෙ කලර් සෝටර් එක වෙන්න ඇති.

      Delete
    3. හා හා එව්ව දැංම කියන්න එපා.

      Delete
  5. අර දළු නෙලන්නෙක් ෆොටෝ එකේ දාල ඉන්න නෙලන්නනං පරණ 80286 මැෂිමක ස්පීඩ් එකට වැඩකරන බුවෙක් කියලයි පේන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. මේ අපේ නැන්දම්මගෙ ඉඩමෙ “මාරක දළු කැඩීමේ“ නියැලෙන බෑණා.

      Delete
  6. ඔය නංචි ගස් අපේ ගේ ළඟ තේ කෑල්ලෙත් හදලා තිබ්බා . අපි ඒවා තක්කාලි කෝටුවලටත් ගන්නවා ඔය අවුරුදු පතා ඇදෙන අලුත් රිකිලි වලින් එන අතු කපලා . ග්ලිරිසිඩියා කොළ වල හරියට නයිට්‍රජන් තියෙනවා. ගස් මුල දිරන්න දාන්න විද්‍යාත්මක හේතුව ඒකයි.

    ReplyDelete
    Replies
    1. එව්වා එළුවංගේ ප්‍රියතම කෑමක්. අපේ වත්තෙ වැටේ තියෙන ඒවත් සමහර මිනිස්සු කපාගෙන යනවා වැහි කාලෙට එළුවන්ට කන්න දෙන්න.

      Delete
  7. අරිම්බු පුපුරනවා කියලා යෙදුමක් අපේ පැත්තේ පාවිච්චි වෙනවා ?

    ReplyDelete
    Replies
    1. දල්ලක් ඇදෙන්න අංකුරයක් මුලිංම ඇදෙන එකට තමයි එහෙම කියනව ඇත්තෙ .

      Delete
  8. එතෙක් කියෝපු ඔක්කොම වැදගත් දේවල් අමතක වුණා අර කන්ද උඩ ඉඳන් කතාකරන එකාගේ ඩයග්‍රම් දැකලා... :D

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව බෑනෙ. යමක් කියා දෙනකොට රූප සටහං ඇතුව කියා දුන්නහම තමා මතක හිටින්නෙ. හරිනං ඕකට යටිං දාන්න ඕනි ‘1.8 රූපය - කන්ද උඩ සිට නැන්දලාගේ ගෙදරට සන්නිවේදනය දැක්වෙන සටහන‘ කියලා.

      Delete
  9. අර දළු නෙලන්නෙක්ගෙ පින්තූරෙ ඉන්න එකාට උඹෙ මුහුනුවර තියෙන්නේ උඹ ගැටය සන්දියේ ඒ ගෙවල් වලට රිංගුවාද?

    ReplyDelete
    Replies
    1. ඔය 2012 අවුරුද්දෙ. දැනටත් ඉතිං මං ගැටය වගේ බොහොම ලස්සනට “රූප රජ්ජුරු (රූප රාජිනිය කියන එකේ පිරිමි පදය)“ කෙනෙක් හැටියට ඉන්නව. ඒ හංදා අහක ඉන්න නැගනියො කරේ යන අවස්ථාද විරල වන්නේ යැයි සඳහන් කිරීමට හැකියාවක් නොමැත්තේය. හෙක්....

      Delete
  10. / එහෙනම් "නංචි"? ආ ඒක දෙමළ නමක්නෙ? එහෙනං "ග්ලිරිසීඩිය", "වැටමාර"? ඔය කොයි නමින් කිව්වත් ඒ ලාඩප්ප ගහ තමයි./

    කෑගල්ල පැත්තෙ කියන්නෙ වැටහිර...අනුරාජපුරේ පැත්තෙ ගිනිසීරියා

    උඩරට වතුවල ඒ කාලෙ ඔය හෙවනට හිටෙව්වයි කියන්නෙ සබුක්කු කියල ගස් ජාතියක්...

    / ජාතුංගම බාප්පලෑ ටැංකිය දෙන්නෙ හේමිචන්දර මාමටයි, අපේ ගෙදරටයි විතරයි. වෙනිං කෙනෙක් ගිහිං ඇහුවොත්…/

    බාප්ප මෙහෙම කියන්නෙ නැත?

    " අනේ බාල්ල අර ශ්‍රංග කොලුව උගෙ නැන්දම්මගෙ අර මහ ගිරි දබේ වගෙ තියන තේ කෑල්ලෙ බේත් ගහන්ට කියල ටැංකිය ඉල්ලගෙන ගිහිල්ල ටැංකියත් එක්කම ඒකා අර කන්දෙං පල්ලට දෙරි ගහල. ටැංකිය නිකං උගෙ පවුලගෙ කට වගෙ ඇබරිල ගිහිල්ලනෙ. ගන්ටම දෙයක් නෑ."

    / මේ රතු පාටිං ලකුණු කරල තියෙන ඒවා තවම ඇදිල මදි. ඒවා කඩන්න හොඳ නෑ. නිල් පාට එක කඩන්න ඕනි. ඒක නියම ගානට ඇදිලා. හැබැයි ඒක කඩන්නෙ ගහේ මට්ටමට. එතකොට තමයි ඊළඟට දලු ඇදෙද්දි එක මට්ටමට ඇදෙන්නෙ. එතකොට කහපාට ඒවා? හොඳින් බැලුවොත් පෙනෙයි ඒවයෙ අරිම්බුව නෑ. /

    ඉතිං බොල ඔහොම තේ පඳුරුවල පාට ගගා ඉන්න වෙලාවෙ කෙලිම්ම කඩන්ට ඕන දල්ල කඩාහංකො. පාට වලට වෙනම වියදමක් ආය පාට කරන්ටත් වෙනම වෙලාවක් යනවනෙ. තේ කරුමාන්තෙං පාඩු වෙන්නෙ නැතුව තියෙයියැ මෙහූ විගඩං කරනකොට? අම්මප උඹලගෙ මොලෙත් කොහාට බැහැලද මන්ද අර ආන්ඩුවෙ ජොස්තරලගෙ වගෙ. මට පේන්නෙ සිතියං අඳිනව සිතියං අඳිනව කිව්වට උඹත් ජොස්තර කෙනෙක්ද කොහෙද..

    / සාමාන්‍යෙයං දලු කඩන්නෙක් තප්පරේට දලු දෙකක්වත් කඩනවා. එතකොට මෙතන තියෙන වැදගත්ම කාරනාව තමයි මේවා කඩනවද? කඩන්නෙ කොතනින්ද? කඩල කවරෙට දානවද? අහක දානවද? කියන කාරණා හිතල තීරණය කරන්න තියෙන්නෙ තත්පරෙන් තුනෙං පංගුවක විතර කාලයයි. /

    උසේන් බෝල්ට් ගොයිය ගෙන්න ගනිං දලු කඩන්ට. ඒ යකා මීටර් සීය තප්පර නමයයි ගානකිං දුවන එකේ දලු කඩයි තප්පරේට දහය ගානෙ.නැන්දම්මට කියපං මං කිව්වයි කියල

    / එක වැහි දවසක මගේ කටේ උඩුතල්ලෙත් කූඩැල්ලෙක් හිටියා. /

    උඩුතල්ල කිව්වම ආය මගේ කටේ කියල වෙනම කියන්ටත් ඕනද කොලුවො? මොකෝ ආය කිරිපල්ලෙත් උඩුතල්ලක් තියනවය?

    අනික මගේ කෑල්ල නම් ඕනම නෑ. මොකෝ උඹේ කටේ නැතුව අපේ කටේ කූඩැල්ලො ගියාය?

    අර කන්දෙං කන්දට කෑගහන රූප සටහනේ චන්දරේ මාමගෙ කුඹුර දැම්මෙ මොහොකටද? ඒක කිසිම අදාලත්වයක් නෑනෙ.

    අනික අර දලු නෙලන පොටෝ එකේනං උඹ ගොමස්කඩ ඇඳගෙන නෑනෙ. ඔය ඉන්නෙ අර කවුද නලුවෙක් වාගෙ. කවුද මේ? හරි රොඩ්නි වර්ණකුල වාගෙ...:)

    දලු නෙලන්නගෙ පොටෝ එක ගත්තෙ නැන්දම්මද?

    ReplyDelete
    Replies
    1. මේ රවී අයියෙ මේක ඔහෙගෙ බ්ලොග නෙමෙයි. මෙතන කරන්නෙ මට ඕන ඒව මිසක්ක කොහෙවත් ඉන්න හෝතඹුවෙකුට ඕන දේ නෙමෙයි. ආවනං කියෝල පාඩුවෙ යන එකයි තියෙන්නෙ.
      - සුරංගම්ලර් -

      Delete
    2. චැහ්.. ඇනෝ දාන්න හිටපු කොමෙන්ටුව ප්‍රෝපයිලෙන්ම වැටිලනෙ. දැං ඉතිං මක්කැයි කරන්නෙ.

      Delete
    3. නයින්ට කොහොමත් හෝතඹෙයො එක්ක ඇරියස් තියෙනවනෙ...

      Delete
    4. //අර කන්දෙං කන්දට කෑගහන රූප සටහනේ චන්දරේ මාමගෙ කුඹුර දැම්මෙ මොහොකටද? ඒක කිසිම අදාලත්වයක් නෑනෙ.//

      කියල තියන කෙනා බ්ලොග් එකේ කතන්දර වල ලියන්නේ අදාළ දේවල්ම විතරක් නිසා මේ උපදෙස් පිළිපදින්න සුරංග :D

      Delete
    5. චැහ්.. මොනා උනත් රවී අයියට හෝතඹුව කියන එක හරි මදි නේද.

      Delete
    6. මානවිකා
      අනේද කියන්නෙ අක්කේ (නැත්තං නගේ). ඔය රවි උන්නැහැ ලියන එව්ව කියෝලා මටත් අර ආදිත්‍යගෙ ගෑනිට වගේ කෝමාවක් හැදෙයි

      ප්‍රසන්නයි
      ඇත්ත සම්පූරනෙං ඇත්ත. හෝතඹයා බොහොම ලක්ෂණ සතෙක්

      Delete
    7. https://en.wikipedia.org/wiki/Ruddy_mongoose
      රවි වගේ ලස්සනයි ඒත් ඌට තට්ටෙ තාම නෑ

      Delete
  11. /ටැංකිය නිකං උගෙ පවුලගෙ කට වගෙ ඇබරිල ගිහිල්ලනෙ. ගන්ටම දෙයක් නෑ./
    අපේ ගෙදර ඉන්න අනික් එක්කෙනා: හුහ් මයෙ කටේ හැටි කියාදෙන්න යංකො ඔය උන්නැහැ ආයි මෙරට ආ වෙලාවක පැණිදෙනියෙ.

    /මට පේන්නෙ සිතියං අඳිනව සිතියං අඳිනව කිව්වට උඹත් ජොස්තර කෙනෙක්ද කොහෙද../
    මට හොඳට පුළුවං බලල් වෙදකම. ඔව් බලලුංගෙ සර්වාංග රෝගවලට නිට්ටාවට බෙහෙත් කලෑකි.

    /උසේන් බෝල්ට් ගොයිය ගෙන්න ගනිං දලු කඩන්ට. ඒ යකා මීටර් සීය තප්පර නමයයි ගානකිං දුවන එකේ දලු කඩයි තප්පරේට දහය ගානෙ.නැන්දම්මට කියපං මං කිව්වයි කියල/
    නැන්දම්මගෙ උත්තරේ: උසේන් බෝල්ට් හොඳයි චූං පාං කාරය අල්ලන්න, දළු ලොරියෙං ගෝනි ගන්න වගේ වැඩවලට

    /උඩුතල්ල කිව්වම ආය මගේ කටේ කියල වෙනම කියන්ටත් ඕනද කොලුවො? මොකෝ ආය කිරිපල්ලෙත් උඩුතල්ලක් තියනවය?

    අනික මගේ කෑල්ල නම් ඕනම නෑ. මොකෝ උඹේ කටේ නැතුව අපේ කටේ කූඩැල්ලො ගියාය?/
    ඒ වුනාට කතෘ හිමිකම තියාගන්න ඔහොම ලියාගන්නම වෙනවා.

    /අර කන්දෙං කන්දට කෑගහන රූප සටහනේ චන්දරේ මාමගෙ කුඹුර දැම්මෙ මොහොකටද? ඒක කිසිම අදාලත්වයක් නෑනෙ./
    කඳු දෙක එකට සම්බන්ධ වෙන්නෙ චංදරෙ මාමගෙ කුඹුරෙන්නෙ. ඒකයි.

    /අනික අර දලු නෙලන පොටෝ එකේනං උඹ ගොමස්කඩ ඇඳගෙන නෑනෙ. ඔය ඉන්නෙ අර කවුද නලුවෙක් වාගෙ. කවුද මේ? හරි රොඩ්නි වර්ණකුල වාගෙ...:)/

    හෙහ් හෙහ්... රොඩ්නි අයියා මගේ ගුරෙක්. එයා තමයි මට ෆොටෝ ලැබ් එකේ වැඩ කොටසක් කියල දුන්නෙ. මිනිහ දවසක් මාවයි තව අක්කෙක්වයි ඩාක් රූම් එකට දාලා දොරත් වැහුව. අපේ බැජ් එක තමයි එයා උගන්නපු අවසන් බැජ් එක.

    /දලු නෙලන්නගෙ පොටෝ එක ගත්තෙ නැන්දම්මද?/
    නෑ අපේ මස්සිනා

    ReplyDelete
  12. එක පඳුරකින් දවස් කීයකට විතර සැරයක් දලු කඩන්න පුලුවන්ද සුරංග?

    ReplyDelete
    Replies
    1. ක්ලෝන් එක අනුව වෙන්ස වෙනවා 2027 නම් දළු වැඩියි. පොහොර බොයි. දවස් 5 න් මෝරනවා. බහුතරය 2023 දවිස් 07යි දවස් 06 නම් ඉති හොඳයි.දළු කැඩිම පයිලක්‍රෝන් එක ුනව වෙන්ස විය යුතුය.ඒ කියන්නේ දල්ලක් දිග හැරෙන්න යන කාලය අනුව. ඒක වැස්ස / තෙතමනය අත්නම් දින ගණන අඩු වන අතර පෑවිල්ල ඇති විට දින ගනන අඩුවේ. කොහොම උන්ත අපේ අයියලා පොතේ ක්‍රමය කොහොම උනත් දවස් 07න් 07ට දළු කඩයි

      Delete
    2. ඒක මිසක්. මම කල්පනා කලේ රනර් කිරි කපනවා වාගේ දවස ගානේ කරන්න පුලුවන් වැඩක්ද කියලා ඕක. ස්තුතියි මහානාම

      Delete
    3. සුරංග, දැන් හරියට පිලිවෙලට දලු කඩනව කියමු. එහෙම උනොත් ගහේ දලු ඉතුරුවෙන්නෙම නෑ නෙ. එතකොට කොහොමද ගහ නොමැරි වැඩෙන්නෙ?

      Delete
    4. පඳුරකිං ගාන නෙමෙයි අක්කරේට ගාන තමයි සාමානයෙං කියන්නෙ පාතරට අක්කරේකට දළු කිලෝ හයසී්‍යක්ලු ගාන මාසෙකට. වැඩේ කියන්නෙ සමහරු කියනව ඕක අටසීයලු, දාහලු. ඒක නෙමෙයි වැඩේ. ඒ අයට අක්කරේ දිග පලල හොයාගන්න බෑ. හැබැයි දවස් 7 න් 7 ට තමයි නියම ගාන දළු කඩන්න. මෝරන්නෙ නැති නියම දල්ල.

      ගහේ දල්ලනෙ කඩන්නෙ. එතකොට ගහ මට්ටමට එද්දි සමහර දලු කඩන්නෙ පහලින් කොලයක් දෙකක් තියලා. ඒ විදිහට ගහට ඉතුරු කරන කොල මෝරලා තද කොල පාටට ඉතුරු වෙනවා. ඒවා තමයි ගහට ජීවත්වෙන්න උධව්වෙන්නෙ.

      Delete
  13. නියම ලිපිය. තේ දළු වන්දනාවේ හොඳම එක. අර රවියට ඉරිසියාව. ඕව ගණන් ගන්න එපා. සුරංග ඇත්තටම ගස් ගැන කියන කොට පින්තුරයක් දානවා නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. ///අර රවියට ඉරිසියාව./// හෙහ් හෙහ්...

      Delete
  14. උඹේ තේ වගා තුනම කියෙව්ව. මොකුත් ලියාගන්ඩ ඉස්පාසුවක් තිබුන් නෑ. අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔපිසර මහත්තය අර අයිටී ලමිස්සි එක්ක කොම්පිවුටරේ හදාගන්නව කිව්ව නේද? කොම්පිවුටරේ කෙසේ වෙතත්.........

      Delete
  15. අර ටැංකිය දැක්කම මට මතක් උනේ, දවසක් ජයලත් මනෝරත්න එනව ක්ලීටස් මෙන්ඩිස් ලෑ දිහෑ, ටංකියක් ඉල්ලගන්ඩ. එතකොට ක්ලීටා කියනව මං වගේ හේස්ප්‍රේ ටැංකියක් ගන්ඩෙයි කියල. පස්සෙ ජයල තමංගෙ කුඹුරෙ තෙල් ඉහ ඉහ ඉන්න ගමං මුකවාඩම පාත්කරල "හේස්ප්‍රේ" කියනව.

    කාට හරි මතකද එහෙම සීන් එකක්?

    ReplyDelete
    Replies
    1. සුදු යකඩ කොහෙද මලකඩ කන්නෙ සිරිසේන.

      Delete
    2. අඩේ... එහෙම කෑල්ලකුත් තිබ්බ නේන්නං...

      Delete
    3. සුදු යකඩ කෑල්ලක්ද?

      Delete
  16. ඇත්තට බං, ගොඩක්ම අපේ හිතේ ඇදිල තියෙන්නෙ ඔසරි ඇදගත්තු, වේවැල් කූඩෙ පිටේ බැද ගත්තු තේ නෙලන උදවිය. අර ෆ්‍රෙඩී ගමගේගෙ සිංදුවෙ, කලාවතී ඉන්නෙත් එහෙම ඇදගෙන. ඩ්‍රැකියානිලෑ ගමේදි තමයි මාත් දැක්කෙ ඔය කියන ගොමස්කඩ ලන්දු.

    ReplyDelete
    Replies
    1. හරිනං අන්න ඒ සින්දු තමයි තහනං කරනන් ඕනි

      Delete
  17. ඉස්සර ඩ්‍රැකියානි කියනව, එයාගෙ අප්පච්චි උදේ තේ එක බීල, සුදු සරමයි ජර්සියයි දාගෙන යනවලු වත්තට, හරියට වත්ත අනිප්පැත්ත පෙරලන්ඩ වගේ. දවල් බතට ගෙදර එද්දි හරියට අප්පච්චි වත්තෙ පෙරලිළ වගේ, ඇදුං ඔක්කොම දුඹුරු පාට වෙලාලු.

    ReplyDelete
    Replies
    1. තේ ගස්වල තියෙන පිනි එක්ක මඩ ගැවිලා.

      Delete
  18. අර ඩාක් රූම් එකේ කතාවත් ලියහංකො සුරංග මල්ලි මේ ගමංම. (අපේ ජිනදාස මහත්තෙයගෙ වචනෙං කියනවනං, "ඔය අතිම්ම")

    ReplyDelete
    Replies
    1. ආයි එච්චරයි. මං කෑගැහුව “මේක ඇරපියෝ. මාත් මේක අස්සෙ ඉන්නෝ“ කියල.

      Delete
  19. තේ පැල ඔලට පායන කාකෙ වතුර ඇදිල්ල ගැන ලියන්ඩ මිස් වෙලා වගෙ

    ReplyDelete
    Replies
    1. ඔය ඇති යකෝ. මෙහෙම කමෙන්ට් දැම්මම අපිත් ඔක්කොම කියවන්න එපැයි.

      Delete
    2. කාක්කො කොහෙද බොල වතුර අදින්නෙ.

      Delete
    3. එතකොට, පතුලෙ වතුර ජුන්ඩක් තිබ්බ කලේට ගල්කැට පිරෙව්වෙ නයෙක් වෙන්ඩැති?

      Delete
  20. මේක කියන්න ඕන. උඹ පුතේ අන්තිමට කියපු දේට න්ම එකඟ වන්න බැහැ කියලා.උඹ කියන්නේ දළු කඩන්නනෙකුට දවසකට ගෙවිය යුතු මුදල කියක් විය යුතුයි කියලාද. මතුගම පැලවත්ත නම් දළු කඩන්නේකුට දවසකට රු 600ක් විත ගෙවන්න ඕන කිලෝ 25ක් කඩනවාට. පළ පලපුරුදු දළු කඩන්නේකුට 35ක් කඩන්න පුළුවන්.අත්රේක හැම කිලොවකටම රු20.00-25.00 අතර මුදලක් ගෙවන්න ඕන. උඹ එය කියලා තියෙන වේගේන් දළු කඩනවානම් දවසකට කිලො පනුහ පහසුවෙන්ම ඉක්මවන්න පුළුවන්. මොකද දළු 525-550 ක් අතර ප්‍රමාණයක් තමයි කිලෝවක් හද්න්න යන්නේ. දළු නෙලන අයෙක් සාමාන්‍ය ආන්ඩුවේ දෙවන ශ්‍රේණ්යේ ක්ලාක් කෙනෙක්ට වඩා උපයනවා.කෑම බිමත් ලැබෙනවා . ආණ්ඩුවේ රස්සාවේන නම්බුව නැමැති බම්බුව විතරයි.
    කිලෝ 18 කඩන්නේ වතු සමාගම් වල විතරයි. කුඩා තේවතු නම් කිලො 25ක් වත් කැඩිය යුතුයි. ඒ වේලාවට තම්යි දළු කඩන උන් නහයෙන් අඩන්නේ දළු බර නැහැ කියලා. අතවල කහට බැඳිම ගැන දුක් වෙලා න්ම පළක් නැහැ. මොකද බුකියේ තියෙනවා මම දැක්කා dirty hands are sign of clean money කියලා.

    ReplyDelete
  21. හැබෑට ඔහොම තේ දැල්ලක් කඩාගෙන ඉන්න එක හරි ආතල් ජනක වැඩක් නේ. මේ රස්සා වල තියෙන දාහක් ප්‍රශ්න එක්ක උදේ හවස ජිවත් වෙනවට වඩා.. සතියකට සැරයක් දළු කඩන ගමන් තව ඔය පොඩි ස්වයං රැකියාවක් කරන්නත් පුළුවන්..

    ReplyDelete
  22. මම තේ ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක්. නමුත් මේක කියවල අලුත් දෙයක් ඉගෙන ගත්ත. බොහොම ස්තුතියි සුරංග.

    ReplyDelete
  23. තේගස් යට බිමට එලිය වැටෙන්නෙ නැති කළුවරෙන් ඇති වෙනත් ප්‍රයෝජන කවරේද?

    ඔය නන්චි කියලා කියන්නෙම බදුල්ලෙ උං ඉතරද කොහෙද?

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් බ්ලොග් ලියන්නෙත් බදුල්ලෙ එවුන් විතරක් වෙයිද?

      Delete
    2. ඉංදික උංට කොපු ඕනෙත් නෑ අප්සැට් එකකුත් නෑ

      ප්‍රා ඉතිං දැනුත් එහෙමනෙ

      Delete
    3. ඉංදික උංට කොපු ඕනෙත් නෑ අප්සැට් එකකුත් නෑ

      ප්‍රා ඉතිං දැනුත් එහෙමනෙ

      Delete
  24. අතේ තිබුණු සේසතම යටකරලා මාත් තේ අක්කර 02 ක් වැව්වා. තාම නඩත්තුව විතරමයි. අවුරුදු 03 කටත් වැඩිය බලන් ඉන්න වෙලා. ගිනිසැරට නියඟයක් එද්දි ඒ ගින්නටත් පිච්චෙනවා. ඕං ඕක තමා කුඩා තේ වතු හිමියාගේ ඉරණම. කොහොම වුණත් මේ ලියවිල්ල වටිිනාම එකක්.

    ReplyDelete
  25. මාතර පැත්තෙ 'මකුලත' කියන්නෙත් ගිණිසීරියා වලටමයි නේද බං? ඔව්වගෙන් තේ වලට අමුතු රසයක් ලැබෙනවයි කියනවානෙ.
    කූඩැල්ල නම් සමහරුන්ට ඇලජික් වෙන සතෙක්.නිකන්ම කඩල දාපුවාම තුවාලෙ හොඳවෙන්නෑ.
    ලක්සපතියාට සුභ පැතුම්..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි. මුගේ ලස්සෙ පැනල නේද.

      Delete
  26. තේ දළු කඩන එකේ රඟ මාත් හොඳට දන්නවා. ගිනි අව්වෙ වේලීගෙන, මහ වැස්සෙ තෙමීගෙන, තේ උල් ඇනගෙන කඩන්න ඕනි හවස දළු ලොරිය එන්න කලින්. ඊට පස්සෙ වතුර වලටයි කවරෙ බරටයි කියල අඩු කරන කොට තමයි මළ පනින්නෙ. ඒ මදිවට උංගෙ තරාදිය අපේ දළු වල බරට ඇදෙන්නෑනෙ...

    ReplyDelete
  27. මාතර පැත්තෙ සොරඩිවලට කියන්නේ කරඬි ගානවා කියලයි. හැබැයි මේ කෘෂිරසායනික යෙදීම නම් කොහෙත්ම අනුමත කරන්න බෑ. අපේ පැත්තේ කාබනික පොහොර යොදා තේ වගා කිරිමේ ව්‍යාපෘතියක් තියෙනවා. ඒවගෙන් නෙලන අමුදළු කිලෝවක් රු. 100/- කට අලෙවි වනවා.

    ReplyDelete