Saturday, November 14, 2026

සිව භූමි කෞතුකාගාරය

මේක





























යාපනේ නගරයට ටිකක් කලින් ඒ9 පාර අයිනෙ නාවට්කුලියෙ තියෙන කෞතුකාගාරයක්. කලින් දෙවතාවෙම මට මෙතැන මග හැරුණා. මෙදා සැරේ නම් අපි මුලතිව් නගරෙං උදේම පිටත්වුන නිසා හවස් වෙන්න කලින් මෙතැනට එන්න පුළුවං වුනා.


වැඩිහිටියන්ට ටිකට් එකට රුපියල් 100 යි. පාකිං පාර අයිනෙ.


ඇතුල්වෙච්චි තැනම පොඩි කාමරේක ඉන්නෙ දවල්ට කෑම කන්න අත හෝදගත්තු මුර මාමෙක්. එයා අපිට තෙත අතිංම ඇඟිල්ලක් අරං ප්‍රධාන ගොඩනැගිල්ල පැත්තට දික් කරලා "ටිකට් අංගේ" ගත හැකි බව කියනව. එතැන හිටං ඒ ප්‍රධාන ගොඩනැගිල්ල දක්වා යන පාරෙ අයිනෙ තියෙන්නෙ යාපනේ අර්ධද්වීපෙ තැනිතලා පාරවල්වල තල්ගස් යටිං අවුරුදු ගානක් තිස්සෙ මුහුදු හුලං වැදි වැදී දුව දුවා ඉඳලා වයසට ගිය වාහන. එව්වා තමංගෙ ඇක්සල් වැලමිටි කොන්ක්‍රීට් කට්ට දෙකක් උඩ තියාගෙන "හඥේ අඥිච්චං" ලීලාවෙන් දූවිලි කකා වතුර නොදැක බලං ඉන්නව.


ඒ වාහන පෝලිං දෙක අතරෙ මැද දිය සිඳී ගිය පොකුනක් වටේට "කාලිංඝ මාගගෙ" ඉඳං, උඩරට රජජුරුවන්ගෙන් බඩු මුට්ටු හයර් එකට අරං ඉංග්‍රීසින්ට කචල් ඇදපු බණ්ඩාර වන්නියන් වෙනකං සෙට් එකම කඩු, හෙලි, පොලු, කෝටු අරං රත්තරං ටිකට බැබලි බැබලි ඉන්නව.


ඒ සේරම පහුකරගෙන කෞතුකාගාරෙට ඇතුල් වුනහම නැටුං ජින්ස් එකකුයි ඇන්ටි හැට්ටෙකුයි ඇඳපු තරුණ ළමිස්සියෙකුයි, ඔ්නැවුනොත් වැඩට ගන්න වගේ ඉන්න කොල්ලෙකුයි, පැංසන් යන්න කිට්ටු ගුරුවරියක් වගේ පේන සාරියක් ඇන්ද මිස් කෙනෙකුයි ඉන්නව. යාපනේ ක්‍රමයට "රෙන්ඩු ටිකට් තාංගෝ" කිව්වම අර ජින්ස් එක ඇඳපු තරුණ ළමිස්සි "හිටගෙන ඉන්න මේසෙයක්" ළඟට ගිහිං ඒකෙන් අපිට ටිකට් දෙකක් අරං දෙනව. 


ඒ අතරෙ අර ගුරුතුමී "කරන්ට් ඉල්ලෙ" බැවින් අපිට එතැන තියෙන බඩු මුට්ටු හොඳින් පේන්නන්න බැරිවීම ගැන කාරුණිකව සඳහන් කරනව. අපිට ඒ පේන ටික හොඳටම ඇති බැවින් "අදු පරවායිලෛ" බව කියලා මං ඇයට උත්තර දෙනව.


ඒ බිම්මහලෙම තියෙන්නෙ පරණ බඩු. අපෙ ආතලා ගෑනු ගේන කාලෙ තිබ්බ ගිරැංපෝන්, අපෙ දෙමව්පියො මගුලක් කරගන්න කාලෙ තියෙන්න ඇතියි කියල හිතෙන රේඩියෝ, අපි පොඩි කාල තිබ්බ රේඩියෝ කැටස්, අපි ඉස්කෝලෙ යන කාලෙ තිබ්බ ඇම්පී3 ප්ලේයර්, අපි පොඩි කාලෙ තිබ්බ කලු සුදු ටීවී, අපි ඉස්කෝලෙං දොට්ට වැටෙන්න කිට්ටු කාලෙ තිබ්බ කලර් ගෙඩි ටීවී, පරණ චිත්‍රපටිවල තිබ්බ ඇඟිල්ල ගහලා වයින් කරලා කෝල් ගන්න ටෙලිපෝන්, බොත්තං ඔබන ටෙලිපෝන්, කොටිය ලකුණ කෑලි දෙකේ තුනේ ටෝච්, අඩි දෙකේ විතර දිග ටෝච් පොලු, පිත්තල බඩු, මැටි බඩු, ලී බඩු වගේ ජාති. කොටින්ම කිව්වොත් නාඩාර් කෙනෙක් එතෙන්ට ගිහිං දැම්මොත් සංතෝසෙට ඉස්පීකරේ හපාගෙන "අලුත් බේසමක් ඔලුවෙ නමාගෙන" මැරෙන ජාතියෙ බඩු ලන්දක් එතැන තියෙනව. එතැන පොටෝ ගහන්න තියා පෝන්නෙක අතට ගන්නවත් තහනං. ඒ හංදා දැං මට එතැන තවත් තිවිච්ච මතක නැති බව පෙනී යනව.


ඒ ඔක්කොම බැලුවට පස්සෙ "මේලෙයි පෝහලාම්" බව අර ජීන්ස් ඇත්ති කියනව. අපිත් දෙවෙනි තට්ටුවට නගිනව. ඒක නිකං පුස්ප නැන්දගෙ මොන්ටිසෝරියෙ 1998 අවුරුද්දෙ ප්‍රදර්සනේ වගෙ. බලන්න තියෙන්නෙ ඔක්කොම වගෙ පත්තරවලිං කපාගත්තු කෑලි. සමහර ඒවයෙ නං ඉංග්‍රිසියෙන් විස්තරයක් තියෙනව. අනික්ව සේරම දෙමළ. ඉන්දියාවෙ අසුවල් විස්සවිජ්ජාලෙං දොස්තර වෙච්චි යාපනේ පළමුවැන්නා, යාපනේ අහවල් දේ කරාපු අසවලා, යාපනේට මුලින්ම ගෙනා අහවල් එක, යාපනේ අහවල් එක ලෝකෙට ගිනිච්ච අහවලා, අහවලාගෙ අහවල් එක යාපනේට ගෙනා වෙලාව වගේ යාපනේට ගැවිච්චි පත්තර කෑලි බෝඩ්වල අලෝලා බලන්න තියල තියෙනව. ඒවා ගැන අපි දෙන්නටම "අපිට මේවයිං ඇති වැඩේ මොකක්ද" වගෙ හිතුනට පස්සෙ දැං ඇති බවට අපි තීරණය කරනව. ඒත් එතැන ඉන්න අයගෙ හිත නරක් වෙයි කියල හිතුන හන්දා අපි දෙන්නම ඒ බලන්න තියෙන පත්තර කෑලි ටික ඉතා හොඳින් බලාගන්න ඇතැයි කියල අර ජින්ස් ඇත්ති ඇතුලු පිරිසට හිතෙන තරං වෙලාවක් ඔහේ බලං ඉඳල පහළට බහිනව.


සිව භූමි පදනමට ආධාර පිණිස එතැන කීටැග් විකුණන බව පේන්න තියෙනව. ඒ හංදා "කීටැග් රෙන්ඩුම් තාංගලේ" කියල අර තංගච්චි නගාගෙන් මං ඉල්ලා හිටිනව. "අයිනූරු රුපා" ප්‍රමාණයක් දීලා කීටැග් දෙකත් අරං එන්න පිටත් වෙත්දි අර ගුරුතුමීට මා ගැන විස්තර දැන ගන්න හිතෙනව. මං අසුවල් "මාවට්ටෙයි" ඉඳං ආ බවත් කලින් "නිල අලවෙයි" කාර්යාලෙ වැඩ කළ බවත් "නිල අලවෙයාලර් කෙනෙක්" නෙවෙයි බවත් "ඉප්ප වේල සෙයිය ඉල්ලෙයි" බවත්. මං ඈට කියනව. දෙමළ හොඳට පුළුවන්ද ඇහුවං "කොන්ජම් තාන් මුඩියුම්" බවත්, "තමුල් කදෙයික්ක විරුප්පම්" නමුත් "කොන්ජම් වර්ඩ්ස් තාන් තෙරියුම්" බවත් උත්තර හැටියට දෙනකොට අපි දොරකඩටම ඇවිල්ල. "වෙලියේ ඉරුක්කු වන්ඩි" ටික "පොටෝ" ගැනීම සම්පූර්ණයෙන්ම "පරවායිල්ලෛ" බවට ඇය සහතික වුනාට පස්සෙ අපි "පොයිට්ටු වාරේන්" කියල දොට්ට බැහැලා හිතේ හැටියට රජ පොටෝ සහ කාර් පොටෝ ටික ගහගෙන පාරට බැහැලා ඉතුරු කිලෝමීටර් කීපෙ ගෙවාගෙන යාල්පානං බලා පිටත් වෙනවා. ජීන්ස් කාරි ඈත ඉඳං අපේ පොටෝ කීපයක් ගන්නා හැටි මං දුටු බව මට මතක් වෙනව.


රුපියල් 100 ක් වගේ සුළු ගානකට මේකත් ඉතිං නරකම නෑ.