ළමයා ජාතියේ මොකක්දෝ එකක් බවට කවුද මංදා
ලොක්කෙක් කියා තිබේ. අපේ අම්මානං ඉස්සර කියන්නේ "මුං හදාගත්තට වඩා හොඳයි ගඟට විසික්කෙරුවනං" කියාය. අනවශ්ය ඕනෑ දෙයක් කුකුලේ ඟගට
විසිකරන එක අපේ ගමේ සිරිතකි. ගඟට මොනවා විසි කෙරුවත් ගඟෙං ගොඩගන්න නං මාලුවෙක්, මැණික් ගලක්, වැලි කූඩයක්, කට්ට කඳක් හෝ මළ මිනියක් වෙන්න ඕනෑය.
ළමයෙක් අළුත උපන්නොත් චිත්රපටි වල ඉන්න
ගැමියෝ අහන්නේ “සරමක්ද කම්බායක්ද“ කියාය. ඒ වුනාට අපේ ගමේ
අය අහන්නෙ "කොල්ලෙද්ද කෙල්ලෙද්ද" කියලාය. කොල්ලෙක් නං "පරම්පරාව ගෙනියන්න එකෙක් ඉන්නවා ඇති යංතං" කියා ප්රතිචාර ලැබෙන අතර. කෙල්ලෙක්නං "දැම්ම හිටං දෑවැදි හදා තියහල්ලා" කියා උපදෙස් ලැබේ. අපේ ආච්චම්මා කියන
විදියට නං කොල්ලෙක් උපන්නොත් කුරුල්ලෝ පවා සංතෝෂ වෙනවලු. "අපිටත් වී කරලක් කන්න ගොවිතැං කරන්න
එකෙක් උපන්නා"
කියලා. උන්දෑ කියාදීපු කවි දෙපදයක් තියෙනවා. ඔලුව වනවනා පොලවෙ වලවල් හාරන ගමං කටුස්සො
කියන්නෙ මේ දෙපදයලු.
"කොල්ලං වලලං
කෙල්ලං ගෙටගං"
මේකට හේතුව කොල්ලො කටුස්සන්ට කරදර කරන
හින්දලු. නැට්ටෙං අල්ලල විසික් කිරීම වගේ සෑහෙන අකටයුතුකං කොල්ලංගෙං කටුස්සන්ට
වෙනව කියනවනෙ.
අපි උප්පැත්තියෙන්ම “බලන්න යන්න“ රුසියෝ. කාගෙ හරි, මොකක් හරි වැදගත් දෙයක් සිද්ධවුන ගමං අපි සේරම දේවල්
පැත්තක දාලා ඒක “බලන්න“ යන්නේ පැටිපැටවු අතිං
කටිං එල්ලගෙනයි. “බෝම්බයක් පිපිරිච්චි එකක්, මිනියක් මැරිච්ච එකක්, වහබීමක්, පිහියා ඇනගැනීමක්, ගුටිකෙලියක්, ඇක්සිඩමක් හැප්පිච්ච එකක් (අපෙ ආතගෙ ශබ්දකෝෂයෙනි), සිද්ධවෙච්ච ගමං අපේ ගමේ අය එතැන වටකරගන්නේ ගෝල්දේශෙ අය
අරිෂ්ටෙ බොන්න දුවනවා වගේය.
ඒ ඇරුණම වැඩි කලබලයක් නැතුව හීංසැරේ හවස්සතේ
ගිහිං බලා එන්න යන කාරණාත් තිබේ. ගෙදරකට අලුතිං පිට කවුරුහරි ඇවිල්ල නැවතීම, කැබිනට්ටෙකක්, පුටු සැට්ටෙකක්, කැසට්ටෙකක්, ටීවියෙකක් ගෙන ඒම ආදිය
එයින් සමහරක්. ඒ වගේ දේවල් සිද්ධවුන විට ඒ ගැන අහගෙනම යන්ට නරකයි. නොදන්නා තාලෙට
වෙනිං උවමනාවකට වගේ ඒ ගෙදරට ගිහිං ගෙදර අයගෙ කටිංම වචනෙ එළියට අරගෙන,
“ආ... එහෙමත් එකක් උනාද? අපි
කවුරුවහ්ම දන්නෑ ඔය වගක්. මං මේ දෙහිගෙඩ්ඩක් ඉල්ලං යන්න ආගමං. ඉතිං කියංකො නංගියෙ
විස්තරේ“
කියා ඕපාදූපේ මුලහිට දැනගෙන, ඒ ගෙදර දෙහි
ගහේ සන්තකේටම තියෙන දෙහි ගැට දෙකත් හිඳගෙන ඇහිල්ලා ගම වටේම විස්තරේ පතුරවන්නත්
පුලුවන.
“ඒ ඇහිල්ල ඉන්න හාදය මට පේන හැටියටනං නෝන කෙල්ල යාළුවෙලා
ඉන්න එකාද කොහෙද? දෙන්නම එක තැනමයි බාන පිටිං. උං දෙන්න
නාන්න යන්නෙ හිටං එකට“
ඒක අහන අනෙක් අයත් පාවට්ට කොළ, ඉඟුරු ඉත්තක්, කහ අලෙයක්, කරපිංච ඉත්තක්, සම්ප කොලෙයක්, එඬරු කොළ මිටක් ආදී නොයෙක් ජාති හොයන්න යන විදිහට ඒ
ගෙදරට ගිහිං ඒකෙ අලුත්ම විස්තරේ හොයං එනවා.
මේ කාරණා දෙකටම තෑගිබෝග ඇරං යන්න ඕන නැත.
ඇඳං ඉන්න වස්තරේ පිටිං යන්න පුළුවන.
ඔය වගේ නැතුව තෑගිබෝග අරං බොහොම පිලිවෙලකට
යන්න ඕන තැනක් තමයි අපෙ අම්ම කියන විදිහට“බබ්බු
බලන්න යාම“, “ළමයි බලන්න යාම“, ආච්චම්මගෙ බාසාවෙං
කියතොත් “පැටිය බලන්න යාම“, නැත්තං චූටි මැණිකෙ කියන හැටියට කියතොත් “පොඩි
එක්කෙනා බලන්න යාම“. අලුත උපං ළමයෙක් බලන්න මුලින්ම ඉස්පිතාලෙට
යන්නේ ළමයාගෙ අම්මගෙ අම්මාය. ඒ යන්නේ තමුංගෙ දුවට කන්න කිවුලෙං බත් මුලක් බැඳගෙන
තව හෝරලිස් බෝතලයක් පිරෙන්න මිරිස්සොදි හදාගෙනය. ළමයා හම්බුවීම
හිංදා පාං කියාගන්න බැරුව ඉන්න සිය දෝනියැන්දැට අර මිරිස්හොදි බෝතලෙං බාගයක් පොවා
ඉතුරු ටික බත් මුලට දමා ගිල්ලවන්න වෙන කවුරු ගියත් බැරිය.
අපේ ගෙවල් කිට්ටුව ඉන්නා *** බාප්පාගෙ
පවුලට(මේ කියන්නෙ Wife මිස Family නොවේ) බාලම ළමයා හම්බුවුන
වෙලාවෙ ඒ වගේ ‘මිරිස්සොදි පොවන්න‘ යන්න
කෙනෙක් හිටියේ නැත. *** බාප්පා සිය බිරින්දෑව පන්නගෙන ඇහිල්ලා තිවුනේ ගිනිමඩු බලන්න
ආපු ගමන්ය. ඒ හංදා ‘දෑවැද්ද නැතුව දූව ගෙන ගිය‘ බෑනාට
කළගුණ සැලකීමක් වශයෙන් ඒ දෙමාපියෝ ‘උං
දෙන්න ඉන්න දිහා බලාගෙන බත් කෑවෙත්‘ නැත.
එයිට දෙවෙනි වීමට අකමැති වුන *** බාප්පගෙ
දෙමාපියෝ ‘අපිත් උං ඉන්න තැනක පස් පාගන්නෑ‘ කියා
දැනුං දුන්නෝය. මේ විදිහට තමුංගේම උත්සාහයෙන් දියුණුවූ *** බාප්පාගේ පවුලට සිය
තුංවෙනි දරු උපතේදී ‘මිරිස්හොදි‘ බොන්නම වුනේ අපෙ
ආච්චම්මගෙනි.
“*** මල්ලිගෙ පවුලට ළමෙය හම්බුනා. අද පාංදර“
කියා පණිවුඩේ ගෙනාවේ ඉස්පිරිතාලේ වින්නඹු
නෝනෙක් වන ‘තෝර නැන්දා‘ය. එදා දවල්ට සිය බිරින්දෑත්, අලුත උපන් දියණියත් බලන්න යාමේ අරමුණ ඇතිව ‘විජහට මොනව හරි උයාගන්න‘ ගෙදර
දුවන්න හැදූ *** බාප්පාගේ කනට මීපැණි වක්කලේ අපේ ආච්චම්මාය.
“හිටාං
*** පුතේ. මං එන්නං බෝත්තෙක්ක කෙල්ල බලන්න යන්න. මං එක්කොම ලැහැත්ති කොරගන්නං. උඹ
මොකවක් ගෙනියන්න ඌමනා නෑ,
පස්වනක් ප්රීතියට මේකත් එකතු කොට හයවනක් ප්රීතියෙන්ම
පිනාගිය *** බාප්පා ඉර දෙයියෝ රත්නෙ බාප්පලෑ මුදුං වහලෙ කෙලිං ආච්චම්ලෑ
එලිපත්ත දිහා බලනකොටත් බස්සෙකට නගින්න පාරට ඇවිල්ලාය. අපෙ ආච්චම්මාත්
“දැම්ම
ගියා කියල වැඩහ්නෑ *** ළමෙයො. ලෙඩ්ඩු බලන්න දෙන්නෙ දොලහටනෙ“
ආදී වසයෙං කියමින් පවුඩර උලමින්, සාරි පොට හදමින් බස් කීපයක්ම ටවුම බලා යනතෙක් හැඩවැඩ
වුනේ මටත් නොයෙක් විට සැරවැර කරමින්ය. ඒ අතරේ *** බාප්පා ඉස්තෝප්පුවේ ඉඳ ආතගේ ‘කෙබර‘ වලට
‘හ්ං‘ කියමින්ද, ඒවාට
කිසිසේත් නොගැලපෙන උත්තර දෙමින්ද නොයිවසිල්ලෙන් පාරට දත නියවා උන්නේය.
අන්තිමට මහා රෙදි බරක් දාන බෑක්කෙකක්
කරගහගත් *** බාප්පාත්, ‘රහ්නෙ පිට‘ යන
විශේෂණ පදය සහිත බත්මුලක්, මිරිස්හොදි සහ ‘වතර බෝතලේ‘ ආදිය දැමූ ඉස්තිරික්කයක් මෙන් රත්වූ බෑක්කෙකක් ටිකක්
දුරට වෙන්න අතේ එල්ලාගත් ආච්චම්මාත් ‘පිටිගලකන්ද‘ බස්සෙකට නගිනවා අපි බලාගෙනය. සිය ‘රහ්නෙපිට ජාති‘ අඩංගු
බෑක්කෙකෙං කීප දෙනෙකුගේ ඇඟවල් පුච්චා දමා සෙනග ටික එහාට මෙහාට කර, මුහුද දෙබෑකොට ඉන්දියාවට පයිං ගිය නීල මහා යෝදයාගේ ලොකු
අම්මා මෙන් සීට්ටෙකක් අද්දර ඉඩ ඇති තැනකට ගිය ආච්චම්මා
“මේක
ටිකක් අල්ලගනිං ළමෙයො“
කියා සිය රක්තතප්ත බෑක්කෙක ඉඳං හිටි කෙල්ලකගේ
ඔඩොක්කුවට දමා ඇයවත් “උයීයීයී“ කියා පුච්චා දමා ඒ සීට්ටෙකද දිනාගත්තේ අසුරු
සැනේටය. එතැනිං එහාට කතාව මට කිව්වේ *** බාප්පාමය.
*** බාප්පාත් ආච්චම්මාත් ඉස්පිරිතාලෙට වෙලාවට යන්නට ඇත. අපේ ආච්චම්මාගේ ‘කට කැඩිච්ච‘ කතා නිසා නොයෙක් වර පීඩාවට පත්ව සිටියත්, උන්දෑගෙන් නොයෙක්විට ‘ඇදකුද‘ ඇහුවත්, ඒ සියළුම නරක මේ හොඳට හිලව්කළ *** බාප්පා, සන්තෝසෙං හිටියේ කොල්ලො දෙන්න හම්බුවෙච්ච වෙලාවෙ වගේ නැතුව මේ වතාවෙ අනික් අයට පේන්න හරි සිය බිරිඳට ‘තාවකාලික අම්මෙක්‘ ලැබීම නිසාලු.
ආ.... කියන්න අමතක වුනානෙ. ළමයෙක් බලන්න
ගියහං ළමයගෙ හැඩහුරුකම් බලා අම්මගෙං, තාත්තගෙං ආව කොටස්
මොනවදැයි කීම සිරිතක්.
“ඔය තියෙන්නෙ තාත්තගෙ නහය ඒ විදිහටම“
“අම්මගෙ විදිහමයි ඔලුව. දිගටියට“
ආදී විදිහට බැලූ බැල්මට කීම වගේම, තව හොඳට හොයල බලල දිග පළල මැනල පරිමාණයට අනුව සමමිතියත් බලපු අය කියන්නෙ.
“තාත්තගෙ කපාපු පළුව“
කියලයි.
මෙහෙම කිව්වහම දෙමව්පියන්ගෙ හිත සන්තෝසයි. සිය බිරිඳට ‘හොර මිනිහෙක්‘(මේකට වෙනිං හොඳ වචනයක් අපේ ගමේ තිබ්බෙ නෑ) හිටිය කියල හිතපු සැමියෙක් උනත් ඒ වගේ කතාවකින් හිත හදාගන්නවා. ඒ බව දන්න සමහර බිරින්දෑවො,
“බලන්නකො අම්මෙ මේ චූටියගෙ නහය අපේ මෙයාගෙ වගේමයි තුංහුලැස් නේඒඒද....“
කියලා කියෝගන්නවත් එක්කලු.
ඉතිං අපෙ ආච්චම්මත් ගිහිං සිය බාගෙට නිවිච්චි මල්ලත් පෙල්ලෙන්නැති වෙන්න පැත්තකිං තියලා අලුත උපං බිළිඳියව හීංසැරේ අත්තඩංගුවට ගත්තලු. ඉං පස්සෙ සිරිත ක්රියාත්මක කලාලු. ඒ කියන්නෙ අම්මගෙයි, තාත්තගෙයි ගැජමැටික් ළමයට සමාන කිරීම. ළමයව හරෝල කරල බලල අපේ ආච්චම්මට සමානකමක් හොයාගන්නම බැරිවුනාලු. ඉස්සර මේ සිරිතේ ඉතිහාසයෙ හැම තැනකම අලුත උපන් ළමයා සහ දෙමව්පියන්ගෙ මොකක් නමුත් සමානකම් කීපයක්ම හමුවෙලා තියෙනවා. ඒත් කොතනකවත් නොවිච්ච මේ කිසිම සමානකමක් හොයන්න බැරි අවස්ථාවට කොහොම මූණ දෙන්නද හිතාගන්න බැරුව දෙගිඩියාවට පත්වෙලා හිටපු අපෙ ආච්චම්මා අන්තිමට ඇත්තට මූල් තැන දීල තීන්දුව දුන්නලු.
“මේඒඒඒඒ නං *** පුතේ උඹෙ ළමෙක් නෙමෙයි. උඹෙ ළඟිංවත් ගිහිං නෑ. නහයත් උඹෙ වගේ නෙමෙයි මුක්කංනෙ“
ළමයි හම්බුවෙච්චි ගෑනු අයට ‘මිරිස්සොදි‘ දකිනකොටත්, බලල්ලුන්ට සිද්දාලේප දුන්නා වගේ අප්පිරියයි. හැබැයි **** බාප්පගෙ පවුල එක හුස්මට ‘මිරිස්සොදි‘ එක බිව්වෙ අපෙ ආච්චම්ම දියරයක් නොවන හින්දලු. තමුංගෙ බිරිඳ ගැන හොඳ අවබෝධයක් තිවුන හිංදා *** බාප්පා අපේ ආච්චම්මගෙ ‘කට කැඩිච්චි කතාව‘ කනකට ගත්තෙ නෑ. හැබැයි එයිං මතුවට අපේ ආච්චම්මට ගමේ කාගෙවත් ළමයි බලන්න යන්න සිද්දවුනේ නෑ.
ළමයි බලන්න යද්දි තෑගි තෝරන්න කලිං කවුරුත් හොයන්නෙ ළමයා පිරිමිද, ගෑනුද කියල විතරයි. ඒ ඇඳුං සූට්, සාලු, පැනල් රෙදි වගේ ඒව තෝරද්දි ගෑනු ලමෙක්නං රෝස පාට, කොල්ලෙක්නං නිල් පාට එව්වගෙං ගන්න ඕන හිංදයි. සමහරු ළමයගෙ ඇඳට උඩිං එල්ලල තියන “ට්රීරූම් ට්රීරූම්“ කියල කැරකෙන සෙල්ලං බඩුත් ගිහිං දෙනවා. නැත්තං ටිකක් ලොකුවට පේන්න තියෙන “බේබි සෙට්“ එකක් අරං යනවා. ලේසිම ජාතිය තමයි සබං පවුඩර්. අම්ම තාත්තගෙ හිතවත් කං අනුව ළමයා ඉස්කෝලෙට බාරදෙන කාලෙ වෙනකං ගාන්නයි උලන්නයි තරම සබං පවුඩර් හම්බුවෙනවා. අපෙ මාමගෙ බාල ලමයට හම්බුවෙච්චි සබං පවුඩර ටිකත් ඒ විදිහට ළමයගෙ ඇඳගාව ජනෙල් පඩිය උඩ අට්ටි ගහල තිවිලා ඒක උස වැඩිකමට ළමයගෙ ඇඟට පෙරලිලා ඒ කාලෙ හරි හෙයියම්මාරුවකුත් උනා.
අපේ නංගි උපන්නෙ මට අවුරුදු නමයෙදි. ඒ දවස්වල හැමෝම නංගිට තෑගි ගෙනාවට මට මොනවත් ලැබෙන්නෙ නෑ. ඒ හංදම මං පුදුම තරහකිං හිටියෙ. ඇයි යකෝ මටත් ගෙනකො ‘විජේ‘ පත්තරයක් තරම. නැත්තං හූණු බිත්තර පැකැට්ටෙකක් ගෙනාවත් රුපියල් පහයිනෙ. අන්තිමට “මට තෑගි මොකවක්කත් නොගේන එකෙට්ටවත් කහට වක්කොරන්න මං එහෙම වතුර පෝච්චිය ලිපේ තියන්නෑ“ කියල ප්රකාශයක් නිකුත් කරල මං ගුටිත් කෑව.
ඒ හංදා මං කාගෙ හරි බබෙක් බලන්න යන්න කලිං බබාගෙ අම්මට හරි තාත්තට හරි කතාකරලා තොරතුරු ගන්නවා. මං රතුපාටිං, දරුවගෙ පියා නිල් පාටිං සහ නිගමනය වරහං ඇතුලෙ.
“මේ කීවෙනි බබාද බං හයවැනියද?“
“නෑ යකෝ තොට පිස්සුද? මේ තුංවැනියා“
(ඒ කියන්නෙ තව දෙන්නෙක් ඉන්නවා)
“හරි හරි වැරදුනා මචං. ලොකු එක්කෙනා දුවනෙ. පහේ ඉන්නව කිව්වෙ නේද?“
“බොට මංඥංද ලොකු එකා කොල්ලා. ඌ තුනේ“
(ලොකු දරුවා තුන වසරෙ පිරිමි දරුවෙක්)
“හරිනෙ. අර දවසක් උඹ හරහට වඩංගියෙ දුවනෙ නේද, බෙහෙත් විදින්න ඇහිල්ල“
“යකෝ ගෑනිට ඇහෙන්න කියන්නෙපා. අපේ කෙල්ල දැං මෝන්ටිසෝරියෙ“
(දෙවැනි දරුවා මොන්ටිසෝරි යන දියණියකි)
“හරි හරි මට පැටලුනා. ඒ අර අපේ පියන්තෙයගෙ ළමයනෙ. ඉතිං කියහංකො මේ ගමනත් කෙල්ලෙක්ද?“
“නෑ බං කොල්ලෙක් කොල්ලෙක්“
(අලුත උපන් දරුවා නිල් පාට තෑගි ලබන්නෙකි)
“ඉරිද දවල්ට අපි එනවා එහෙනං තිබ්බා.“
ඔය විදිහට දත්ත ගත්තහම තාත්ත දන්නෙත් නැතුව සිය පවුලෙම විස්තර ගන්න පුළුවනි. ඉං පස්සේ තෑගි ගන්නා විට මුලින්ම ලොකු දරුවො දෙන්නට තෑගි අරංගන ඉතුරු සල්ලි වලින් අලුත උපන් දරුවාට ගන්නවා. අලුත උපන් දරුවාට හැමෝම තෑගි දෙතත් එයාට ඒවා ගැන වගක් නැත. නමුත් ලොකු දරුවන්ට කවුරුත් තෑගි නොදුන්නට එයාලාට තමුන්ට තෑගි නොලැබුන බව හිතට දැනේ. ඒ හංදා මම මුලින්ම කරන්නේ ලොකු දරුවන්ට තෑගි දීලා එයාලත් එක්ක වැඩි වෙලාවක් කතා කරන එකයි. ඒ වගේ මගෙත් එක්ක හිතවත් වුණු දරුවො කීපදෙනෙක්ට අදටත් මාසෙකට වතාවක් දෙකක් කාටුන් චිත්රපටි යවන්න මං බැඳිලා ඉන්නවා. ඔය විදිහට තෑගි දීමෙන් මං මගේ කුඩා කාලයටත් සලකාගන්නවා.
හැබැයි ඉතිං අර පරණ සිරිත, ඒ කියන්නෙ දරුවාගෙ හැඩරුවේ දෙමව්පියන්ට ඇති සමානකං කියන සිරිත අමතක කරන්න හොඳනෑ. ඒ හංදා මාත් “බොරුවට“ ඒ වගේ හැඩහුරුකං කියනවා.
කාලෙකට ඉහත අපි දෙන්නා ඒ වගේ ගෙදරක ගියා “පොඩි එක්කෙනෙක්“ බලන්න. එදා තව කීප දෙනෙකුත් එහෙ හිටියා. දරුවගෙ තාත්තා වන අපේ හිතවතා ඇඟපත උස මහතට තියෙන පෙනුමට ඉන්න කෙනෙක්. ඕං ඉතිං ටිකකිං මිනිහා කාමරේ ඉඳං වඩාගෙන ආවා ජම්බල ගෙඩ්ඩක් වගේ (ඇස්වහක් කටවහක් නෑ) දරුවෙක්. ඕං නියම අවස්ථාව කියන්න උදාන වාක්යයක්. ඉතිං මං කිව්වා කටට ආපු වාක්ය.
“තාත්තගෙ සයිස්ම වෙයි ලොකු වෙනකොට උඹ වගේම තමයි මූණූවර එහෙම“
අපේ හිතවතා ඒකට ප්රති උත්තර දුන්නා.
“මේ පහළ ගෙදර පොඩි එකා බං. අපේ එක්කෙනාට වයිෆ් කාමරේ කිරිපෝනව“
හදිසි වැඩක් තිවිච්චි හිංදා අපි ඉක්මනට ගෙදර ආවා.


