Saturday, May 20, 2017

කුණු කඳු තුනී කරන හැටි

කුණු ගැන කතාබහ ඉවරය. දැං කුණු ගොඩේ කතාවත් කුණු ගොඩට දමා අහවරය. ඒ හංදා කුණු ගැන කතාව කුණුගොඩෙං ඇදගෙන තලු ගහන්නට මට වෙලාව ඇවිල්ලාය. මේ කියන්නට යන්නේ මහා කුණු කඳු ඇතිවීම එදා අපේ ගම්වාසීන් වලක්වා ගත්ත විදිහය.


හුඟක් ගෙවල්වලින් අහක දාන ජාතියක් වන්නේ කෑම ජාතිය. අපේ ගෙදරත් එක වේලකට හය හත් දෙනෙක්ගේ ප්‍රමාණයට කෑම උයන බැවින් සෑහෙන කෑම ප්‍රමාණයක් දවසකට ඉතිරි වන්නේය. ඒ වුනාට අපේ ගෙදරිං කෑම කුණු හැටියට විසි කරන්නේ නැත.


හැන්දේ නොපිටිං තද කර මහා මැටිකෝප්පයක් පුරවා දෙන තාත්තාගේ බත් පිඟානත්, අනික් අයගේ බත් පිඟන්වලත් තියෙන කෑම වලින් බාගයක් විතර අපිට කාගන්නට බැරුව ඉතුරු වන්නේය. ඒ වෙලාවට අපි කරන්නේ මිදුලට බැස මෙලෙස කෑ ගැසීමයි.


"බිංදු ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ්.... කලුව ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ්"


විනාඩියක් යන්න කලිං බිංදුවාත්, කලුවාත්, බන්ටියාත් නගුටු වනමින් අපේ මිදුලට කඩාපාත් වන්නේය. එවිට ගෙයි ඉතිරුව ඇති හොදි මාලුපිනි ඇත්නං ඒවාද ඉතුරු කෑම පංගුවටම දමා අනා තුන්දෙනාට කොලපත් කෑලි තුනකට දමා දෙන බත් පංගු තුන විගසින් අතුරුදහන් වන්නේය. සමහර වෙලාවට බිංදුවා, කලුවා, බන්ටියා, හංකඩයා ආදී සියලු දෙනාම දුර ගමනක් ගිහිං ඇතිවිට හෝ කා වැටීම සඳහා වෙනත් බලු වැයික්කියකට  ගිහිං ඇති විටක අපි ඉතුරු වුනු කෑම සියල්ල අනා පිලිකන්නේ ගල උඩ විසාල බත්පතක් ගොඩගසන්නෙමු. එවිට කපුටෝද, දෙමලිච්චෝද, බට්ටිච්චෝද, ලේන්නුද, ආදී ගස් උඩ යන හැම සතෙක්ම ඇවිත් එයිං බඩ පුරවා ගන්නේය. එතනිං යන ගමං ලේනෙක්, දෙමලිච්චෙක් අල්ලාගන්නට එන සම්බෝල පූසාද, කං බාගයක් නැති පූසාද, ඉබාගාතේ යන තලගොයාද එයිම්ම බඩ පුරවා ගන්නේය. බිංදුවා හම්බුවෙන්නට අපේ ගෙදරට එන වෙනත් බලු නගුටෝද බින්දුවා නැති තැන ආගන්තුක සත්කාරයක් වශයෙං එතනිං බත්කටක් කා යන්නේය. ඒ හංදා අපි කාලා ඉතුරු වන කෑම වේලක් පැය දෙක තුනක් යද්දී අවසන් වන්නේය.


වළඳේ අඩියේ ඉතුරුවන් දංකුඩ ටික ගොඩ සතුන් කන්නේ නැත. ඒ හංදා අම්මා වලං ටික හෝදන්න දොලට ගෙනගිය විට වළඳ අඩියේ තියෙන දංකුඩ ටික හූරා දොලේ ගල්වැටියෙං පහලට දාන්නේ මාලුන්ට කන්නටය. කොස් දෙල් ආදිය උනත් ඒ විදිහය. බල්ලන්ට ඉඦෝ කිව්වා මෙන් මාළුන්ට වෙනිං යමක් කියා අඬගහන්නට උවමනා නැත. වතුරට මොකක් වැටුනත් ඒක වටේ රැස්වී ඒක කන්නට පුළුවන්දැයි බැලීම මාළුංගේ සිරිතය. තිත්තයෝ ඇරුණම ගල්පාඬින්ට නං අපේ කකුලක් උනත් මෙලෙකට අහුවුනොත් කෑලි කඩං කන්නේය. කන්න පුලුවං දෙයක් නං බඩ පිරෙනකං ඒක ගිල දැමීමටත්, කන්න බැරි දෙයක්නම් "මේක මොන මගුලක්දැ"යි කියා පුප්පාගෙන යන්නටත් මාලුන්ගේ දෙමව්පියෝ උන්ට උගන්වා ඇත. අන්තිමට ගෙදර බත් හැලියත් හොදි හැලියත් කුණුවන්නට ඉතුරු වන්නේ නැත.


කඩෙන් ගේන ඇඟිලි විස්කෝතු, බුල්ටෝ, බබානයිස්, ටොපි, ආදී කැවිලි නං ඉතුරු වෙන්නේම නැත. ඒ වුනත් අපේ නැන්දා පාංපිටිවලට කුරහං පිටි ඇඹින්දක් කලවං කර සීනි කළඳක් තරම් මුහු කර කැන්ද කොලේ ඔතා හැලප ලෙස වෙස් ගන්නා තම්බා එවන පාප්ප ගුලි, සීනි පිට්ටු ලෙස වෙස්ගන්වා එවන යන්තම් පැණි රහ හාල් පිටි ගොඩවල්, වැනි සමහර “බලු හත්බල්ලෙකුට  (dog 7 dog) කන්න බැරි“ කෑම ජාති බිංදුවාගේ හතුරෙක්ටවත් දෙන්නේ නැත. ඒවාගේ වෙලාවට එව්වා ඔතා ඇති කඩදහිය විතරක් හතරට නමා කුස්සියේ බට පැලැල්ලේ රඳවන අපි ඒ කෑම ජාතිය සාමාන්‍ය වේගයෙන් හෙලපල්ලට විසිකරමු. එවිට ඒ පිටිගුලිය හෙලපල්ලේ තේ පේලි දෙක තුනක් පසුකරගෙන ගොස් “සාස්“ කියා ගස් අතරට වැටෙන්නේය.


ඉඳ හිට ගෙදරට ලැබෙන ඉස්කෝතු පෙට්ටියක් ආදී දුර්ලභ කෑමක් නං බොහෝ වෙලාවට ඉතුරුවෙන්නේ නැත. හැබැයි මැලිබන් ලෙමන් පප් එකේ නං මැද ක්‍රීම් ටික හූරාගෙන කා දෙපැත්තෙ පියං දෙක බල්ලට දාන්නෙමු. මේ කොයිකත් දමා තියෙන සොපිං කවරේ බට පැලැල්ලටත්, ඔතා තියෙන බවුම්පේපර් කවරෙ මේසෙ කොලේ යටටත් එයිට අස්සෙං තියෙන කාඩ්බෝඩ් පෙට්ටිය ආයිමත් බට පැලැල්ලටත් දමා ඉතුරු ඉටි කවර කෑලි ටික සුබ මොහොතින් ලිපට දාන්නෙමු. එයිනුත් ඉස්කෝතු අහුරා තියෙන ඉටි අච්චුව අරගෙන තියාගන්නේ ඒකේ ඉස්කෝතු අහුරා තිබූ කුහර අස්සේ එව්වා මෙව්වා (මෙතනට අයිති වන්නේ මංචාඩි ඇට, පාට කෑලි, පැන්සල් කොට, පාරෙං අහුලං එන ඇන, පරණ සතේ දෙකේ කාසි, බොත්තං, ඉඳිකටු, හැට්ටකටු, මකන කෑලි, ඉටිපංදං කොට, පාරෙ වැටිල තියෙන සමහර අරුමෝසං කෑලි, හූනු බිත්තර පැකැට්ටෙකේ තියෙන හමුදාකාරයො, කුරුල්ලෝ, වාහන වගේ ඉටි සෙල්ලම් බඩු වගේ ජාතිය) අහුරලා මේසෙ උඩිං තියන්න පුළුවං හිංදාය. මාසෙකට සැරයක් ගේන කිරි පෙට්ටියේ ඇතුලෙ තියෙන ඉටිකවරේ අපේ තාත්තාට පොරෝජං වන්නේ බුලත්විට කන ජාති දැමීමටය. බුලත් කොල හතරක් පහකුත්, දුංකල ඉරු බාගෙකුත්, සිද්දාලේප කුප්පියකට පුරෝපු හුණු ටිකකුත් හතරට පැලූ පුවක් ගෙඩි දෙකක් විතරත් දැමූ වරුවකට සෑහෙන විට සලාකයක් වැස්සට නොතෙමී තියාගන්නට මේ කවරෙට පුළුවංය. කිරි පෙට්ටියෙං පත්තරවලිං කපාගත් පිංතූර අලවා හදාගන්නා පිංතූර රෝලක් දාන ටීවියෙකක් හදාගන්නටත් එහෙමත් නැත්තං පියසේන මාමා වෙසක්කෙකට හදනා වර්ගයේ කුප්පි ලාම්පුවෙං වැඩකරන තොරණක් හදාගන්නටත් පුළුවන.


ගෙදරිං අයිං කෙරෙන බැට්ටි කෑලි, කැඩිච්ච පනා, හිල් වෙච්ච හෝ පැලිච්ච බාජන, කැඩිච්ච ටෝච්, ආදී ගෙදර පාවිච්චියෙං අයිං කෙරෙන එක බඩුවක්වත් අහක යන්නේ නැත. අපි එව්වා සේරම අපේ සෙල්ලං ගෙවල්වලට ගන්නෙමු. ටෝච් එකේ මැද බටේ විතරක් තිබුනොත් ඒකෙන් අපිට ටෝච් එකේ සිට සෙල්ලං කෝච්චියක ඉස්සරහ ලයිට්ටෙක දක්වා ඕනෑම එකක් මවාගන්නට පුළුවන. අඩිය හිල්වෙච්ච බාජනේක උනත් සෙල්ලං බත යසට ඉදෙන්නේය. මේ බඩු නැතිවෙන්නේ තවත් කලක් ගිහිං බල්ලන් උස්සාගෙන යාමෙං හෝ අම්මා මිදුල අතුගානකොට


"ගේ වටේටම ගුබ්බෑයං අටෝල අතුගාන්න විදිහක් නෑ. මොන අටමංගල්ලද මංද මෙව්ව අස්සෙ"


කියා අපේ විලාප මැද්දේ අසරණ සෙල්ලං ගෙවල් බවුන්ඩේසම පිටිං මුලිං උදුරා හෙලපල්ලට විසිකිරීමෙන්ය. ඔය විදිහට ගෙදරි අයිං කෙරෙන සේරම බඩුමුට්ටු කාලයක් ගිහිං සෙල්ලං ගේ හරහා හෙලපල්ලට විසි වෙන්නේය. ඒවායෙනුත් සමහර රෝල් වෙන්නට උපං හපංකං ඇති බැට්ටි කෑලි වගේ ඒවා හෙලපල්ලත් පහුකරගෙන රත්නෙ බාප්පගේ කුඹුරටම යන්නේය. රත්නෙ බාප්පා ඊළඟ පාර කුඹුර පුරං කොටද්දී "ටං" කියා උදැල්ලේ වදින්නේ ඒවාය. කුස්සියෙං එදිනෙදා අහක්වෙන ජාතිත් යන්නේ මේ පාරෙං හෙලපල්ලටමය. මේ හිංදා අපේ ගෙදර හෙලපල්ලේ තියෙන තේ ගස්වලට මාස හය හතකට පාරක් පෝර දැම්මාම ඇතිය.


අපේ දෙවෙනි පුංචම්මා නං කිසිම දෙයක් අහක දාන්නේ නැත. ගෙදරට ගේන පත්තරයේ පටං කාඩ්බෝඩ් පෙට්ටි, ඉටිකවර ආදී හැමදේම එක පිලිවෙලකට එක්කහු කර මිටි බඳින්නේය. කිරිපිටි පෙට්ටි, විස්කෝතු කවර, ටොපි කොල, සිකරැට් ඊයං කොල, තෑගි ඔතන කොල ආදී පුදුමාකාර එකතුවක් ඒ ගෙදර ඇත්තේය. තව කාගේ හෝ ගෙදරකට පත්තර පලුවක ඔතා හෝ කවරෙක දමා මොනවා හෝ යවන්නේ නම් ඒ පත්තර පලුව හෝ කවරේ ගේන්නට හැතැක්ම බාගෙ හමාර ගෙවාගෙන පුංචම්මා ඒ ගෙදරට යන්නේය. බීම මූඩි, බීම බට, ටොපි කොල, ආදී ඒවායිං හැදූ එක එක සුකුරුත්තං ඒ ගෙදර සාලේ බිත්තිවල දකින්නට පුළුවන. ගෙදරින් කැඩී බිඳී අයිංවෙන විදුරු, බාජන ආදියටත් කොල කෑලි, පීන්තූර, පබුලු ආදිය අලවා අමුතුම ආකාරයේ ඇටවුම් හදා "ලස්සනට" සාලේ කැබිනට්, ටීපෝ ආදිය උඩ තියන්නට පුංචම්මා දක්සය. උන්දෑට එව්වාට මග පෙන්වන්නේ සිරිකත පත්තරෙන්ය. අපේ අතක් පයක් ඒ ගෙදර ටීපෝවක, කබඩ්ඩෙහෙක වැදුනොත් පෙරලෙන්නට මාන බලාගෙන ඉන්නා ඒ "අලංකාර" ද්‍රව්‍ය නිසා අපි ඒ ගෙදරට ඇතුල්වෙන්නේ ඉස්කෝලේ පින්සිබල්ගේ ඔපිස්සෙකට යන්නා හා සමානව පුදුමාකාර බයකින්ය. බැරිවෙලාවත් අපේ අතක් පයක් වැදී එයිං අලංකාර වස්තු දුසිමක්වත් බිම වැටී කැඩී ගියොත් පුංචම්මා සතියක පමණ ශෝක කාලයක් පවත්වමින් දෙවෙනි වරටත් කැඩී ගිය ඒ බඩුමුට්ටු වෙනුවෙං අඬා දොඩා වැලපෙන්නේය. ඉං පස්සේ ඒ දෙවෙනි මට්ටමේ සුංබුං ගොඩෙං කලින් තිවුනාටත් වඩා 'අලංකාර' වගේම හුළඟටත් 'පෙරලෙන සුලු' ලස්සන ජාති හදන්නේය. ඒ හංදා පුංචම්මා පවුලක් පන්සලක් උනායින් පස්සේ ගෙදරට ගෙනා වීදුරු බඩු සේරම තවමත් ගෙදර තියෙන්නේය.


අපේ ගෙදර වීදුරු බඩුවක් බිඳුනොත් ඒක අස් කරනකං ඉන්න බැරුව ඒක උඩිං එහා මෙහා යන්න ගිහිං කකුල කපාගන්නවා ඇරෙන්නට වෙනිං වැඩක් ගන්නට බැරිය. ඒ වගේ වෙලාවට ඉතුරු වෙච්ච ලොකුම කෑල්ල උඩට අනික් වීදුරු කටු ටිකත් පුරවා ඒ සේරම ගිහිං දමන්නේ වැසිකිලිවලටය. අපේ ගෙදර තිවුනේ වල වැසිකිලියක් හිංදා මේ වැඩේ ලේසිය. පෝච්චි වැසිකිලි තියෙන ගෙවල්වල වීදුරු කටු වැසිකිලියේ වලට  දාන්නට බැරි හංදා වැසිකිලියේ වහලෙ උඩ එව්වා ගොඩ ගහන්නේය.


අපේ ගමේ කුණු ප්‍රතිචක්‍රීයකරණයට උදව්වෙන්නේ පුස්ප නැන්දගේ මොන්ටිසෝරියයි. පුස්ප නැන්දා උන්හිටිගමන් මොන්ටිසෝරියේ ළමයින්ට නියෝග නිකුත් කරන්නේය.


"හෙට එනකොට එක්කෙනා බීම බට තුනකුයි පාට පාට ටොපි කොල විස්සකුයි ගේන්න ඕනි. තේරුණාද?"


ඒ වගේ වෙලාවට ළමයි සේරම


"ඔවූඌ"


කියන්නේය.


එදා හවසට මුළු ගමම එකම ජංජාලයක්ය. සමහර දෙමව්පියෝ බීම බට විස්සකුත් ටොපි කොල තුනකුයි හොයන විට තවත් සමහරු ටොපි කොල විතරක් හොයන්නේය. තව කොටසක් හොයන්නේ බීම බට විතරය. ළමයිංගේ ගනං මතක තියාගැනීම එහෙමය. ඒ කාලේ බීම බෝතලයක් බොනකොට බීම බටයක් දෙනවා ඇරෙන්නට පැකට් පිටිං විකුණන්නට බීම බට කඩවල්වල තිබුනේ නැත. කඩේක බීම බෝතලයක් විකිනෙන්නේ සතියකට හමාරකට සැරයක් හිංදා කඩ මිදුලේ බීම බටයක් දෙකකට වැඩියෙං තියෙන්නට විදිහක් නැත. ඒ හංදා බීම බට හොයන අය කඩේ මිදුලේ හොයා බලා බීම බට නැති වුනොත් මිදුල අතුගා කොලගොඩවල් ගිහිං දාන හෙලපල්ලට වෙනකම්ම යන්නේය. එතන කොලගොඩවල් හාරගෙන අවුස්සං කන රත්නෙ බාප්පගේ කුකුල් රංචුවත් කලුකුං ජෝඩුවත් "ෂෝ" කියා එළවා දමා කොල ගොඩවල් අවුස්ස අවුස්සා බීම බට හොයන්නේය. බීම බට විස්සක් හොයන ළමයාගේ අම්මා එතනට කඩා වැදුනොත් අනික් අයට ඉතුරුවක් වෙන්නේම නැත. සමහරු එතන පොලව පාදා හාරා බලන්නේ මැතිනිගෙ කාලෙ බීම බටයක්වත් තියේදැයි බලන්නටය. සමහර වෙලාවට අපේ ආච්චම්මා හෝඩුවාවල් දෙන්නේය.


"ගිය සුමානෙ මහතුල්ලෑ ගෙදෙට්ට බීම්බෝතලෙයක් ගිනිච්චා. ආං එහෙ ගියොත් සමහර විට ඒක ඉල්ලගත්තැහැකි."


ආච්චි අම්මාගේ ඔත්තුවට ළමයිංගේ අම්මලා දුසිං ගානක් මහතුං මාමලගෙ ගෙදර යන්නේ එක බීම බටයක් ඉල්ලා ගන්නටය. ඒ වෙනකොට ඒක කලිං ආපු කෙනෙක් ඩැහැගෙන ගිහිං ඉවරය. මේ හංදා ළමයිංගේ අම්මලා නිකගොඩ හංදියේ දරුමසේන මාමගේ කඩේ පටං එගොඩහ ගොඩේ කරුණාවතී ඉස්කෝලෙ හාමිනේගේ කඩේ දක්වාම යන්නේ බීම බට එක්කහු කරන්නටය. සමහර අම්මලා රුපියල් තුනක් වියදං කරගෙන ටවුමට යන්නේ ටවුමේ කඩවල් ඉස්සරහ තියෙන බීම බට අහුලං එන්නටය. වැඩි වෙලාවක් යන්නට පෙර හදිසියේ සිහිමුර්ජා වෙච්ච ලෙඩෙක්ට බෙහෙතක් හදන්නටවත් ටොපි කොලයක් අහල ගං හතක නැති වන්නේය. කොහෙං හෝ හොයාගන්නා මේ බීම බටත්, ටොපි කොලත් මොන්ටිසෝරියට ගෙනගිය විට ඒ ටොපි කොල රැලි හිටින්නට නැමී තුනටියටත් පොඩි බීම බට කෑල්ලක් පලන්දාගෙන දෙකොන විහිදාගෙන නූලක එල්ලෙන්නේය. ඒවා සමනල්ලු බව පොඩි ළමයින්ට තේරුං කරන්නට පුස්ප නැංදාට සිද්දවෙන අතර ඒ ළමයිනුත් තමුංගේ අත්කම් නිර්මාණය ගෙදර අයට පෙන්වා එව්වා සමනල්ලු බව හය හතර නොදත් දෙමව්පියන්ට තේරුං කරන්නේය.


ඒ විදිහටම සමහර කාලවලදී නොයෙක් රූප, කාඩ්බෝඩ් පෙට්ටි, ආදී කඩදහි ජාතිද ගේන්නටද පුස්ප නැංදා කියන්නේය. එතකොට අපිත් එක්ක වැඩි කතාබහක් නැති අයත් අපේ ගෙදරට ඇවිත් චාටුවට කතා කර අපේ අම්මා බට පැලැල්ලේ පතුරු අතරේ හිරකරගෙන තියෙන කාඩ්බෝඩ් පෙට්ටි ඩැහැගෙන යන්නේය. මොන්ටිසෝරියට වේලාපු පොල් කුඩු ඕනෑ කී විට හොද්දට කිරි ටික මිරිකනකං බලා ඉඳලා පොල් රොඩු ටික ගෙනියන්නට අම්මලා එන්නේය.


මේ විදිහටම තව කෙනෙක් ප්‍රතිචක්‍රීකරණයට හවුල් වන්නේය. ඒ අවුරුද්දකට විතර සැරයක් පෝර කවරයක් අරගෙන එන තවත් මනුස්සයෙකි. එයා


"පරණ බෝතල්, ඇල්මේනියං එහෙම තියෙනවද"


කියා බොහොම සද්දෙට අහන්නේය. ගෙදර පිරිමියෙක් නොහිටියොත් බලෙම්ම වගේ තියෙන දෙයක් අරගෙන යන්නේය. අපේ ආච්චම්මාත් (මේ කියන්නේ තාත්තගෙ අම්මාය) මාත් හිටි දවසක එහෙම කඩා පැන්න මිනිහෙක්


"මොන රෙද්දකට මෙව්ව ගොඩගහං ඉන්නවද. ගේ වටේම සර්පයි බෝවෙනව. අනික්ගමන කාපිනං වෙදකමේ යන්න වෙනව."


කියා අපිටත් බැණ අඬගසා අපේ පිලිකන්නේ තිවුණු වීදුරු බෝතල් සේරමත් කවරෙට දමාගෙන ආච්චම්මා වැසිකිලියට ගෙනියන ඇල්මේනියං කෝප්පෙත් පයිං පාගා තලා ඒ කවරෙටම දාගෙන ආච්චම්මාට රුපියල් එකයි හැත්ත පහක් දීලා ගියේ "මෙතන වැඩියත් එක්ක තියෙනවා" කියාගෙනය. ඒ මනුස්සයාම කරුණෙ මාමලගෙ පිලිකන්නේ තිවුණු බෝතල් ගොඩත් අරගෙන ගිහිං තිබුණේ ඒ අස්සේ හංගා තිබූ කසිප්පු ඉස්පීට් බෝතලෙත් එක්කමය.


පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත කුණු ගොඩවල් හිංදා රටේ ඇතිවුුනු කුණු ගොඩවල් දැක්කම හිතුනේ හැම ගෙදරකටම හෙලපල්ලක් වගේම සෙල්ලං ගෙයකුත් තියෙන්නට ඕනෑ බවය. සෙනසුරාදා ඉරිදා පන්ති නවත්තා ළමයි සෙල්ලං ගෙවල්වලට යොමුකරනවා වගේම සතියේ දවස්වල බඩේ අමාරු, දතේ අමාරු හැදී ගෙදර නවතින ළමයින්ටත් එදා දවසේ ඒ සෙල්ලං ගෙවල්වල සෙල්ලං කරන්න පුළුවං බව දෙමව්පියෝ අවබෝධ කරගන්නටත් ඕනාය. ඒ වගේම අපේ පුංචම්මා වගේ කැඩෙන බිඳෙන බඩුමුට්ටු ගේ ඇතුලෙම තියාගෙන ඉන්නට එව්වා නොයෙක් විදිහෙන් වෙස්ගන්වා "ලස්සනට තියන බඩු" බවට පත්කරන්නට පුළුවං ඇස්බැන්දුංකාරියන් තව වැඩිකරන්නටත් ඕනෑය. ඒ අතරම ගෙවල් මණ්ඩියට හත් අට දෙනෙක්ගෙන් යුතු බලු රංචුවක්, බලල් නරි කීප දෙනෙක් වගේම තලගොයි කීප දෙනෙකුත් ඇතිකරන්නටත් කටයුතු කරන්නට ඕනෑය. පුස්ප නැංදාගේ මොන්ටිසෝරිය වගේ පොල් කුඩු, තේ රොඩු, ටොපි කොළ, බීම බට, සිකරැට් කොට ආදී හැම දේකින්ම අත්කම් හදන්නට පුළුවං මොන්ටිසෝරි ඇති කරන්නට ඕනෑය. ගෙවල්වල උයන පිහන වලං, ඇතිලි, තාච්චි ආදිය හෝදන්නට සබං කොම්පැණිවල අනුග්‍රහයෙං තොටුපලවල් ඇති කර එව්වායේ මාලුද ඇති කරන්නට පුළුවන. එතකොට කඳුගහන්නට කුණක් ඉතුරු වන්නේ නැත.

Saturday, May 13, 2017

දානේ....

මේ වෙසක් මාසේ පිං කරගන්න ඕනෑ. පිං කරන හොඳම ක්‍රමේ නං දාන දීම. ගෙදරක සාංඝික දානයක් දෙනවා කියන්නේ තව ඉඩමක් ඇරං ගෙදරක් හදන්න තරං වියදං යන වැඩක්. ඒ හංදා ගල් බාගයක් ගන්න තරං ගානකිං දානයක් දෙනහැටියි මේ කියල දෙන්න හදන්නෙ.

දානේ පටං ගන්නේ 

“අපි මේ මාසෙ පිනට වෙං කරපු සල්ලිඔලිං දානෙයක් දෙමුද අනේ?“

කියලා චූටිමැණීකේ අහන එකෙං. ආං එතකොට මං

“හා“ 

කියනවා. මේ වැඩේට ගැලපෙන දවස ඉරිදා. ඒ හංදා ඉරිදාට කලිං අවශ්‍ය දාන කලමනා ගෙනැත් තියාගන්න ඕනෑ. ඒ හංදා චූටි මැණිකේගෙ ප්‍රධානත්වයෙන් කුස්සියෙ පැවැත්වෙන සාකච්ඡාවෙන් මෙහෙම කියවෙනව.

“හාල් ගෙනාපුව තියෙනවනෙ. අර බාගෙට තම්බපු හාල් ජාතිය තාම ඉඳුල් කෙරුවෙ නෑනෙ. ඒක ගත්තැකි. එතකොට අර කංකුං මිටියත් තියෙනව පිජ්ජෙකේ. ඒක ඉන්න බලන්න පොඩ්ඩක්............................. ඔය ඉතිං සූකිරී කකුල අරෙහෙට ගන්නකො මට මේ කංකුං මිටිය තියෙද බලන්න දොර අරින්න. ඔන්න මං දන්නෑ නැට්ටහුවෙයි. මොකද්ද සුදු නෝනා මේ ඔයාගෙ ළමය කරන වැඩ.......... මට මෙලව දෙයක් කරගන්න දෙන්නෑ....නේ.....  ආ මේ තියෙන්නෙ. ඒක හොඳයි. කෝ අහකට වෙන්න දොර වහන්න. අනේ ඕකෙ ඔයාට බලන්න දෙයක් නෑ සූ....කිරී... හරි එතකොට පොල්තෙල් තමයි වැඩේ. පොල්තෙල් කාලක්වත් නෑ. පොල්තෙල්නං ගේන්න වෙනව. එහෙනං අපි බත්තුයල, පපඩං බැදල, පරිප්පු තෙලට හදල, අල බැදල, ආ... තවෝන්නං මිරිසුත් බැදල. මේ කංකුං මිටියත් බැදල මේ... පිලී ජාති ඔලට සැමන්නෙකක් ගේමු. අර චීන සැමන්නෙක නං හරිනෑ. ඒව මේ අපේ සූකිරි කන්නෙත් නෑ, සුදු නෝන කන්නෙත් නෑ. ඒ ටික හදල දෙමු නේද? ඇතිනෙ. ඔන්න මං කිව්ව වෙනස් කරන්න තියෙනං කියන්න“

මං එතකොට ‘හා එහෙම හොඳා‘ කියනවා. ඊට පස්සෙ ඕක දෙන්නටම අමතක වෙලා යනව. ආයිමත් මතක් වෙන්නෙ සෙනසුරාදා හවස හතරට විතර.

“මේ.. ඇහුනද? ඈ... ඕකම ඔබ ඔබා ඉන්නෙ ඔය පෝන්නෙක මං දැං හංගනව කොට්ටෙයට. මේ අහන්නකො. හෙට දානෙයක් දෙමු කියල කතාඋනා නේද? බඩු ගේන්නැද්ද?“

අන්න එතකොට මං උඩ විසිවෙලා ඇහැරෙනව.

“අප්පට සිරි.“

“මට හොඳ වෙලාවට මතක්කුනේ. එහෙනං දැම්ම ගිහිං බඩුටික අරං එන්න. තම්බියෑ කඩෙං ඇරං එන්න. ඒකෙ ගානාඩුයි. ඉන්න මං තුණ්ඩුවක් ලියා දෙන්න“

ඒ තුණ්ඩුවත් අරං ටවුමට ගිහිං බයිසිකලේ කොහේ හරි ඉඩ ඇති තැනක නවත්තල ‘අසුවල් පුපර් මාට්‘ එකට ගිහිං බඩුටික ගන්නව. ආං එතකොට කෝල් එකක් එනව.

“අනේ මට ඔය කුණ්ඩුවෙ ලියන්න බැරි උනා. කුන්දු මිටියකුත් ගේන්න. සැමන්නොලට කුන්දු දාන්නෝන.“

එතකොට මං ආයිමත් “හා“ කියල කුරුඳු මිටියක් සාක්කුවට දාගෙන පෝන්නෙක බඩු කූඩෙට දානව. ඊළඟට පපඩං පැකට් එක එක ජාතිය අතට අරං ඒ එක එක ජාතියෙ පපඩං රවුං කීයක් තියෙනවද කියල කවරෙට පිටිං ගනං කරකර ඉන්නකොට ආයිමත් ඔන්න පෝන්නෙක වදිනව.

අවිඤ්ඤානිකව සාක්කුවට අතදාල පෝන්නෙක එලියට ගන්න බැලුවට සාක්කුවෙ තියෙන්නෙ ඉටිකවරයක්. එලියට ඇදල ගත්තම කුරුඳු පොතු පැකට්ටක. එතකොට කොහෙද බොලේ පෝන්නෙක කියල හොයද්දි ඒක කූඩෙ ඇතුලෙ පරිප්පු කවරෙට යටවෙලා හුස්ම හිරවෙලා. ඒක අස්සෙ ඉඳං එඩ්වඩ් මායා කෑ ගහනව.

“අතිකනා හම්මේකිට්මයාට්...නීක්කි නිකිනිං නිකිනිං නිකිනිං නාක්“

ආන්න එතකොට මං කුරුඳු පැකට්ටෙක කූඩෙට දාලා කූඩෙං පෝන්නෙක අතට අරං “හලෝ“ කියනව.

“අනේ මේ.. ඔයා ගාව දානෙට වෙංකරපු සල්ලි ඇර තව සල්ලි තියෙද“

ඒකට “ඔව්“ කිව්වහම

“අනේ එහෙනං එනගමං පාං ගෙඩ්ඩක් ගේන්නකො. සූකිරිටයි සුදුනෝනටයි බනිස් ගෙඩ්ඩකුත් ගේන්න හොන්ද“

ඒකටත් “හා“ කියල පෝන්නෙක සාක්කුවට දාගන්නව. මෙතනිං ගන්න බඩු ටික අරගෙන ඊළගට බේකරියට ගිහිං පානුයි බනිසුයි අරගෙන සිරිපාලගෙ කඩේ ලගිං පුස්තකාල පාරට හැරෙනකොටම අදුරන කවුරු හරි හම්බුවෙනව.

“ආ.. සුරාමාතය කොහෙද මේ අතිං කටිං එල්ලගෙන“

“ආ.. නෑ.. මේ බඩු ඩිංගක් ඇරං යන්නාව තිලකෙ. අද මොකක් වැඩේ?“

“මොකොවහ් නෑ ඉතිං. ඔය පොඩි පොඩි මොනව හරි තමා“

ආං එහෙම කයිවාරුවක් ගහගෙන ඉදල 

“මයියන්නං තිලකෙ“

කියල එන්න එනකොට එයා

“හෙල්මට්ටෙක අතේ මොකෝ. කෝ බයිසියලේ?“

කියල අහනව. ආං එතකොට මට මතක් වෙනව බයිසිකලේනෙ ආවෙ කියල. ඉං පස්සෙ ආපහු ගිහිං බසාර්රෙක දිගේ පහලට ගිහං දෙතුං පාරක් පහල වීදියෙ එහාට මෙහාට ඇවිද්දහම අලුත්ම ඩොල්පින් වෑන් එකකුයි කෝටියක් විතර වටින, යංතං හීරුනත් පේන තරමෙ දිලිසෙන කාර් එකකුයි අතරෙ ගැවෙන නොගෑවෙන තරමිං අඩි එකහමාරක විතර පලල තීරුවක හිරවෙලා ඉන්න බයිසිකලේ හොයාගන්න පුලුවං. ඉං පස්සෙ තියෙන්නෙ අර රටක් වටින වාහන දෙකේ බයිසිකලේවත්, බඩු මලු දෙකවත් නොගෑවෙන්න බොහොම වැර වෑයමෙං පරිස්සමෙං මිලි මීටරෙං මිලි මීටරේට හතර වටේ බල බලා බයිසිකලේ එතනිං එලියට ගන්න එක. කපීර් යානාවකට වඩා ආරක්ෂක උපක්‍රම හයිකරල තියෙන ඔය වාහනේකට වෙනිං වාහනේක හුස්ම වැදුනත් අර වාරියපොල ලමිස්සි වගේ සයිරන් එක ගහනව නෙවැ. විනාඩි දහයක් විතර මහන්සි වෙලා ඒ මර උගුලෙං බයිසිකලේ එලියට ගත්ත ගමං අර දෙපැත්තෙම තිවුණ රටක් වටින වාහන දෙකමත් යන්න යනව. ආං එතකොට මොහිදීන් බෙග් මාස්ටර් කියන සිංදුවක් මතක් වෙනව. 

“එමවිට පවසනු මුවින් ඔබේ.... මුංගෙ #%@6 %^$&“

පහල වීදිය දිගේ දෙපැත්තටම වාහන යන්න බැරි හංදා ඊළඟට එන හතරමං හන්දිය වෙනකං ඉස්සරහට ගිහිං ආපහු උඩහට නැත්තං පහලට හරෝගෙන තමයි ගෙදර එන්න වෙන්නෙ. එහෙම ගෙදර ආවහම 

“අනේ හැබෑට ඔයා බනිස් පුච්චනකං හිටියද“

කියලා පිළිගැනීමක් ලැබෙනවා. 

දැං ඉඳං මෙතන පිං අතේ වැඩක් සහසුද්දෙම්ම කෙරෙන්න යන වග සකල ලෝක වාසී සියළුම බූතයන්ට, යක්කුන්ට, පෙරේතයන්ට, බාල්දි, තොප්පි තොරොට්ටං වලට පේන හිංද අපි බොහොම පරිස්සං වෙන්න ඕනැ. ඒ කියන්නෙ එතන ඉඳං සේරම දේවල් සිද්ද වෙන්නෙ අපිට හුලහට හිටින්න. එව්වා ඉදිරියෙදි විස්තර කෙරෙනවා.

පහුවදා ඉරිදා හිමිදිරි පාන්දර හතහමාරට විතර ඇහැරිච්චි ගමං මං කොට්ටෙ යටිං ටෙලිපෝන් එක අරං ඒකෙ තිරෙං වෙලාව බලල 

“හුටාපරිජාලං හාමාරයි වෙලාව. දානෙ උයන්නත් තියෙනව නේද?“

කියලා බිරුසන් දෙනව. එතකොට චූටි මැණිකෙ 

“ඇයි අනේ කෑගහන්නෙ සූකිරියා මොකක් හරි ඇඟට පෙල්ලගෙනද? ඈයනේ.. කියන්නකො“

කියල බයවෙලා අහනවා. ආං එතකොට තලෙයා තාමත් නකුට කටේ ගහගෙන තැටිය උඩ නිදාගෙන ඉන්න වගත් උට ආංතරාවක් නැති වගත් දැං හතහමාරත් පහුවෙලා හිංදා දානෙ වියන්න පරක්කු වෙන බවත් කිව්වහම,

“ආ... ඒකට ඒ හැටි වෙලා යන්නෑ. ඔයාට තියෙන්නෙ පොල්ටික ගාල කොල්ටික කපල සැමන්ටිං එක කඩල දෙන්න ඉතරයි. මං ඉතුරු ටික කරන්නං. ආ... කොල කපන්නත් නෑනෙ. කංකුංනං මට කැපියැහැකි.“

කියලා උත්තර ලැබෙනවා. 

වෙනදට උදේට දොර ඇරපු ගමං දඩාවතේ යන බලල්ලු දෙන්නා දානෙට සම්මාදං වෙන්න ඕනැ හංදා එදා දවසේ කොහෙවත් නොයා ගෙදර රැඳෙනවා. ඒ කියන්නේ හරියටම කුස්සිය මැද වලිග දෙකත් එලාගෙන ඉඳගන්නවා. එතකොට කුස්සියෙ ඇවිදින හැම අඩියක්ම පරිස්සමට අඩිය තියන්න වෙනවා. නැත්නං “ඥෑහුග්“ කියන සද්දෙත් එක්ක මොකක් හෝ බලල් අවයවයක් අපිට පෑගෙනවා. ඒ හංදා හාල්මැස්සො, චොකලට් විස්කෝතු, කිරි ආදී නොයෙක් කප්පම් දීලා බලල්ලු දෙන්නව පිජ්ජෙක උඩට ගාල් කරගන්න ඕනි.

ගෙදර තියෙන බත් උයන්නාව (Rice Cooker) පොඩි හංදා බත් උයන්න වෙන්නෙ දෙපාරකට. ඒ අතරෙ 
“ඔයා මේ කොල මිටිය සුද්ද කොරන්නකො“

කියලා කංකුං මිටියක් එක්ක ඇතුල්පතක් අතට ලැබෙනව. කංකුංවල ඉදිච්චි කොල, මෝරච්ච කොටස් එහෙම බිමට දාද්දි එව්වා මොනවදැයි බලන්න බලල්ලු දෙන්නට ඕනැ වෙනව. ඉතිං උං දෙන්නා පිජ්ජෙකෙං බිමට පනිනව. ඔඩොක්කුවෙ තියෙන ජාතිය මොකක්දැයි බලන්න තලයා කලිසමෙත් එල්ලෙනවා. එතකොට

“අපෝයි.... මේකා මාව හීරුවා....“

කියලා බිරුසන් දුන්නහම

“ඔයාට ඉතිං ඔය පූසව පේන්න බෑනෙ. උට වෙනස්කංමයි කරන්නෙ.“

කියලා උත්තර ලැබෙනවා. කොල ටික සුද්ද කලාට පස්සෙ බලල්ලු දෙන්නා අරං පිජ්ජෙක උඩිං තියලා ආයිමත් අත හෝදගෙන පොල් ගාන්න ඕනැ. මේක දානයක් හිංදා අලුත් පොල් ගෙඩියක් බිඳලා ගන්න ඕනැ. ඒ කියන්නෙ කලිං දවසෙ ඉතුරු පොල් බෑය ගන්නෙ නෑ. දැං බිඳින පොල් ගෙඩියෙ වතුර ටිකත් සින්ක් එකටම හලලා අහක දානව මිසක් බොන්න හොඳ නෑ. පොල් බෑ දෙක පැත්තක තියලා හිරමනේ හයිකරපු මේසෙ ළඟ තියෙන පුටුව මේසෙ ඉඳන් බලල් පැනුමකට වඩා දුරින් තියන්න ඕනෑ. ඉං පස්සෙ හිරමන තලේ ගලවලා අරං හෝදලා ආපහු හිරමනේට හයි කරන්න ඕනෑ. ඉං පස්සෙ පොල් බෑය හිරමනේට තියලා වට දෙකක් කරකවනකොටම “දඩිස් තොස්“ කියලා බලල්ලු දෙන්නා පිජ්ජෙකෙං බිමට පැනලා පුටුව උඩට නගින්නෙ එතනිං මේසෙට පනින්න බලාගෙන. ඒ හංදා තමයි පුටුව බලල් පැනුමකට වඩා දුරකින් තියන්නෙ. එතකොට බලලා පුටුවෙ ඉඳං මේසෙට කිට්ටුම කෙලවරට ඇවිල්ලා බලල් අණ්ඩ දික්කරලා මේසෙට පනින්න දුර වැඩි බව දැනගෙන උද්ඝෝෂනේ පටං ගන්නව. එතකොට කුස්සියෙං ඇහෙන ගාලගෝට්ටිය මේ වගෙයි.
ඒ වුනාට බලල්ලුන්ට මේ ගාන පොල් රැලක්වත් දෙන්න හොද නෑ. පොල් ටික ගාලා ඉවරවෙලා එතනිං අහකට ගනිද්දි මළගෙදරක මිනිය උස්සන වෙලාවට ගෑනු අය විලාප තියනව වගේ බලල්ලු දෙන්නා කෑ ගහනව. එතකොට

“අනේ අර ඊයෙ ඉතුරු පොල් බෑයෙං ටිකක් මේ දෙන්නට ගාල දෙන්න. පවුනෙ“

කියලා උපදෙස් ලැබෙනවා. එතකොට ආයිමත් හිරමනේ පිහදාලා අරං බලලුන්ට වෙනම පොල් ගාලා දෙන්න ඕනැ. එයිං පස්සෙ ආපහු බලල්ලු දෙන්නා පිජ්ජෙක උඩිං තියල අතහෝදගන්නව. මේ වෙනකොට අල තැම්බිලා බත ඉදිලා. චූටි මැණිකෙ පරිප්පු හොද්දක් එක්ක ඔට්ටු වෙද්දිමං තැම්බුණු අල ටික සුද්ද කරනව. කොල ටිකත් කපල දෙනව. ඊළඟට තමයි බැරෑරුම් අවස්ථාව වෙන සැමන්ටින් කැඩිල්ල යෙදෙන්නෙ. මෙතනදි මුලිම්ම බලල්ලු දෙන්නව කුස්සියෙන් එළියට දාලා කුස්සියෙ දොර තද වෙන්න වහගන්න ඕනි. ඉං පස්සෙ මිටියයි වප්පිහියයි අරගෙන පිහියෙ තුඩ ටින් එකේ පියනෙ දාරෙට තියලා පිහියට මිටියෙං ගහන්න ඕනැ. මේ විදිහට මිටි පාරවල් දෙකක් වදිද්දි කුස්සියෙං පිට ඉන්න බලල්ලු දෙන්නට සත්‍යාවබෝධය ලැබෙනවා. එතකොට බලල්ලු දෙන්නා ස්පාඤ්ඤ බාසාවෙ තියෙන සේරම නරක වචන කියන ගමං “දොර ඇරපියාව්“ කියලා කුස්සියෙ දොරේ එලිය පැත්තේ දොර බෝලෙ එල්ලෙනව. මෙතනදි ඉඳුල් නොකිරීම කියන සිල් පදය අතාරින්න අපිට සිද්දවෙනව. 

“පව්නෙ නේද?“

කියලා කල්පනා කරලා සැමන් ටින් එකේ තියෙන මහා වතුර කඳත් එක්කම සැමන් කුට්ටියකුත් දෙකට කඩලා බලල් පිඟං දෙකට දාලා බලල්ලු දෙන්නට දෙනවා. ඉං පස්සෙ තියෙන්නෙ කෑම ඔතන්න කොල කැපිල්ල. මේකට කෙක්කක් තියෙන රිටකුත් පිහියකුත් ඕනැ වෙනවා. කෙක්ක පටලවලා පාත් කරන කෙහෙල් අත්තෙ මැද පීල්ලෙ තියෙන වතුර ටික ඇඟට හැලෙන්නෙ නැතිවෙන්න අගිස්ස කපාගෙන අත්ත අතාරිනවා. සමහර කෙහෙල් අතු නං උඩ පැනලා දෙන එක පිහි පාරෙං කැපෙනවා. කාලයක් තිස්සෙ මෙහෙම කෙහෙල් අතු කපන හංදා අපේ වත්තෙ කෙහෙල් ගස් සේරම අතු බාග තියෙන ගස්.

මේ විදිහට කෙහෙල් අතු කපද්දි අල්ලපු වතුවල අය අපිට ආභරණ විදිහට තෑගි දීපු බෝතල් කටු, කම්බි, යකඩ ඇන එහෙමත් කකුලෙ පළඳගන්න වාසනාව ලැබෙනව. මෙහෙම කපාගන්න කෙහෙල් කොල ඉරෙන්නෙ නැතුව පරිස්සං කරන එක ලේසි නෑ. ඒ හංදා කොල හයක වැඩේට කොල දහයක් විතර කපන්න ඕනෑ. ඒ කෙහෙල් අගිස් ගෙනත් ඒවයෙ දෙපැත්තෙම විම් සබං ගාල හෝදද්දි තවත් කොල එකක් දෙකක් ඉරෙනවා. 


කෙහෙල් කොල

මේ වෙනකොට උයලා ඉවරයි. බලල්ලු දෙන්නත් තමුංගෙ කප්පම අරගෙන දොරකඩට වෙලා මූන අතපය හෝදනවා. ඊළඟට පොල් කටු හත අටක් තලලා අරගෙන දර ලිපේ විසාල ගිනි ජාලාවක් පත්තු කරගන්නවා. ඒ ගින්දරට කෙහෙල් කොලේ යටි පැත්ත අල්ලලා තවාගන්නවා. මෙතනදිත් අඩුම වසයෙන් එක කෙහෙල් කොලයක්වත් හරියටම මැදකිං ඉරිල යනවා. සමහර වෙලාවට කෙහෙල් කොල තවලා ඉවර වෙද්දි ආයෙමත් කොල කපන්න යන්නත් වෙනවා.

බත් මුල් බැඳෙන්නෙ මේ විදිහට. 





මෙතනදි පපඩං, මිරිස් එහෙම වෙනම කවරෙකට දාල තියන්නෙ එව්වා පොඟනවට.


මෙහෙම බැඳෙන බත් මුල් සේරම කවරෙක අඩුක් කරගන්නවා. 







යාචකයින්ගෙ ප්‍රධාන අරමුණ සල්ලිනෙ. ඒ කාටත් සතුටු හිතෙන්නෙ සල්ලි ලැබුණහම. ඒ හංදා බැඳිච්චි බත් මුල් ගානටම සල්ලිත් ගන්න ඕනැ.

මේවා බෙදන්න යන වැඩේට හොඳම වාහනේ මොටෝ සයිකලේ. නිතර බයිසිකලේට නගින්න බහින්න වෙන හංදා මේ ගමනට දෙන්නටම ගැලපෙන ඇඳුම කලිසම. 



හැබැයි කමිසෙට සාක්කුවක් තියෙන්නම ඕනැ. කලිං කියපු සල්ලි කොල ටික එක එකක් වෙන වෙනම නවලා ඒ සාක්කුවෙ දාගන්න ඕනි. ඊළඟට පාරෙ යන වාහනවලින් අතුරු ආන්තරාවක් නොවෙන්න කියලා හිතාගෙන සුභ මොහොතින් පාරට බහින්නයි තියෙන්නෙ. පළවෙනියටම යන්නෙ සේනානායක පිට්ටනියෙ කෙලවරට. ඒ යන ඩිංගට වමෙං ඉස්සර කරන බයිසිකල්, මූනට පනින බස්, ඇඟට කපන ත්‍රීවිල් වල අයට එහෙම මොනවත් කියන්න නරකයි. ඒ ගමංම කච්චේරිය ඉස්සරහ ඉන්න යාචක පිරිසත් ගනං කරගෙන යන්න ඕනැ.  පිට්ටනියෙ අයිනෙ අතුරු පාරෙං නීත්‍යානුකූල විදිහට බයිසිකලේ නවත්තලා ආපහු ප්‍රධාන පාරට ආවම පලවෙනි දානෙ ලබන්නා පාර අයිනෙ ඉන්නවා. එයාට බත් පාර්සලයක් දුන්නම


“අපෙයම්මට ගීං දෙන්න තව පාර්සලයක් දෙනවද නෝනා“

කියලා එයා චූටි මැණිකෙගෙං අහනව. එයාට පාර්සල් දෙකක් දීලා සල්ලිත් දීලා ආපහු හැරෙනවා. ඉං පස්සෙ එයා ඒක කනවද, විසිකරනවද, විකුණනවද කියන එක හොයන්න හොඳ නෑ. ඒ මිනිස්සුංගෙ පොටෝ ගහලා ෆේස්බුක් එකේ එහෙම දාන එකත් ඒ තරං හොඳ දෙයක් නෙවෙයි. වට පිටේ ඉන්න මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන එකවත් බලන්න හොඳ නෑ. ආපහු අතුරු පාරෙං බයිසිකලේ අරගෙන කච්චේරිය ඉස්සරහ ඉන්න යාචක පිරිස හොයාගෙන යනවා. එතන වාහන නවත්තන්න තහනං හින්දා බයිසිකලේ පුස්තකාලෙ ඉස්සරහ දාලා කහ ඉරක් හොයාගෙන තව ටික දුරක් ගිහිල්ලා එතනිං පාර පැනලා පාරෙ අනෙක් පැත්ත දිගේ කච්චේරිය ගාවට ගිහිං එතන ඉන්න දෙතුන් දෙනාටත් දානෙ දීලා ආපහු කහ ඉර හොයාගෙන ඇවිත් පාර පැනලා බයිසිකලේ තියෙන තැනට ගිහිං ඒකෙ නැගිලා මුතියංගණය පන්සල ගාවට යනවා. එතනත් කඩ ලෑලි ටික පහුකරලා එහාට ගිහිං ඉඩ තියෙන තැනක බයිසිකලේ නවත්තල ඇවිත් පන්සල ඉස්සරහ ඉන්න දෙන්නට ඉතුරු පාර්සල් දෙකත් සල්ලිත් දෙනවා. සමහර වෙලාවට කට්ටිය වැඩිවෙලා කෑම පාර්සල් මදිවෙනවා. එතකොට ඉතිරි අයට කෑම කඩෙං ගන්න කියලා සල්ලි දෙනවා. ආපහු හැරෙනකොට ලොතරැයිකාරයා.

“පිං කරගෙන යන ගමං වාසනාව උරගා බලන්න.“

කියලා ටිකට් පොතක් අපේ ඇඟේ ගහන්න හදනවා. ඒකට අහුවෙන්නෙ නැතුව අපි ආපහු ගෙදර එනවා. එතකොට උදේ දහයත් පහුවෙලා. ඊළඟට පොලේ යන්න තියෙන හංදා බයිසිකලේ මිදුලෙම නවත්තලා බඩගින්නේ දියවෙන්න යන බඩට මොනව හරි දාගන්න කුස්සියට යනවා. එතකොට කුස්සියෙං එලියෙ ඉඳං චියනයි, බෑණයි “ඥියව්“ කියනවා. 

“මට නං දැන් සැමන් කන්න බෑ“

චූටි මැණිකෙ කියනවා.

“මටත් බෑ වගේ අනේ“

මාත් කියනවා. අපි දෙන්නට දෙන්නා එහෙම රැවටිලා

“එහෙනං ඔය ඇතිලියෙ ඉතුරු ටික අනලා අර දෙන්නට දෙමු“

කියල තීරණය කරගන්නවා. ඒ විදිහටම ඒ දානෙ පංගුවත් හදලා දෙකට බෙදලා කොල දෙකකට දාලා රණ්ඩු කර නොගන්නා දුරකින් තියලා චියනාටත්, බෑණටත් දෙනවා. ඒ දෙන්නා “ලාබු ලාබු“ කියලා තමුංගෙ කොටස ඉටුකරද්දි අපි දෙන්නත් ඉතුරු හරියක් බඩට දාගෙන පොලේ යනවා. එදා හවසට පන්සලට ගිහිං මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා පිං අනුමෝදන් කරලා දානෙ අවසන් කරනවා.

****************************************************