Thursday, March 30, 2017

ඉතා කෙටි කලබල හීන - Extreamely short busy dreams - 1

අපේ ගමේ මිනිස්සු හුඟ දෙනෙක් වී කුන්නියක දෙහෙක ගොයිතැංබත් කරගෙන, දල්ලක් දෙකක් අහුලගෙන, සබර ගහක් දෙකක් හූරගෙන, කුරුඳු පැලැහැට්ටක් දෙකක් තලාගෙන එදා වේල පිරිමහගෙන ජීවත් වෙච්චි අය. ඒ උනාට ඉක්මනිං පෝසත් වෙන්න හදපු උත්සාහවන්තයොත් හිටියා. කහට වතුරෙං කලවං කරපු අරක්කු විකුණපු කලු මාමගෙ පවුල, ගොඩ පෙරකදෝරුකං කරපු ගෙපලෙ අජිත්, මාසෙට සීනි මිටියෙ හමාරෙ පෙරන සූරියසේන, සීට්ටු දාන අතුල වගේ කීප දෙනෙකුත්, කුම්මැහි කඩකාරයො කීප දෙනෙකුත් ඒ උත්සාහවන්තයො ගොඩට අයිතියි. ඒ ඇරුනම කලිං කලට එන "ගර්කිං වගාව", "වැලි ගොඩදැමිල්ල", "වීයෝසී බඩු හෙවිල්ල", "කිඹුල් හූනො, කලු බලල්ලු, ආදී සත්තු හෙවිල්ල", "තඹ සත හෙවිල්ල", "ගල්පොත්තක් ගානෙ නිදං හෙවිල්ල", "දඬු ලේං හං වේලිල්ල" වගේ ඉක්මනිං පෝසත් වෙන ක්‍රමත් ගමට කඩා වැදෙද්දි ඒවා දෝතිං බදල අල්ලගන්න කොටසකුත් ගමේ හිටියා.  එක ජාවාරමක් ඇවිල්ල ගිහිං අනෙක එනකං ඒ අය පතල් කැපුවා, ටිකට් හීරුවා නැත්තං දිනුං ටොපි ඇද්දා. අදටත් මේ ජාවාරංවලට අහුවෙච්ච අයගෙං ගොඩගිය කෙනෙක් නැති තරං.

"අදික තහ්නාව විනාසෙට මුලයි."

අපෙ අම්ම ඉස්සර මට කියන්නෙ එහෙම. ඒ හංදා අපේ අම්මා අපිට තහ්නාවෙං ගොඩ ගහන්න දුන්නෑ. තමුංගෙ අතට එන සේරමත් ඉවර කරලා තහ්නාව නැති කලා. මගේ පොත් අස්සෙ, අහුමුලුවල තිවුණු තහ්නාවත් ඒ පාරෙම ඇරල දැම්මා. ගමේ අනික් ගෑනු අය සීට්ටු දාලා සල්ලි ඉතුරු කරද්දි අපෙ අම්මට අහුවෙන සල්ලි ඉතුරු උනේ කඩවල්වල ලාච්චුවෙ. කඩවල්වල ණය පොත් අස්සෙ අපෙ අම්මගෙ නම උස්සගෙන හිටපු ඉලක්කම් බලං හිටියෙත් අපේ ගෙදර කවුරුහරි ඇවිල්ලා මුදලාලිට සල්ලි දීලා තමුංව නිදහස් කරයි කියලයි. ඒ හංදා අපේ අම්මා පවුලෙ නාස්තිකාරම ළමයා හැටියට ඔටුන්න දාගෙනයි හිටියෙ.


"බොලෑ අම්මට්නං ලස්සයෙද්දුන්නක් මෙහෙක් කොන්නොකොට ඉවර කොන්නොව"

ආතා ඉඳං ඉන්න පුටුවෙං බාගෙට නැගිටලා මගෙ මූණටම මූන කිට්ටු කරලා දකුණු අතේ මැදැගිල්ලයි මහත ඇඟිල්ලයි එක උඩ එක ලිස්සෝලා බල්ලන්ට "ඉජුහ්" කියන විදිහ කරන ගමං කියනව.


"තවුසෙට සල්ලියද් දැක්කං ඒක වියදං කොන්නකං නින්දෙයන්නෑ නේදෝයි.. ක්හ්ං"

අපේ තාත්තා බීගෙන ඇහිල්ල කියනව. ඒ උනාට බුදු බණේ වාසියට හරවගන්න අපෙ අම්මා දෙන්නෙ වෙනම උත්තරයක්

"අපියදහිල්ල හෙටමැරෙද්දන්නෑ. මහ්නංඕන්නෑ ගොඩගහං ඉන්න. මැරිච්චහං ගිනියන්නයැ"


ඒ හංදා තාත්තා හම්බු කරන සල්ලි පැදුරු, කොට්ට, කමිස අත, වී කවර අස්සේ, දුමේ, ලැයිට්ටෙකේ පෙට්ටියේ, බට පැලැල්ලේ වගේ ඉතා රහසිගත තැංවල හැංගිල්ලත් අපේ අම්මා එව්වා හොයාගෙන වියදං කෙරිල්ලත් සතියකට දෙකකට සැරයක් ඒ හිංදා ඇතිවන මහ වලිත් එක්ක අපේ ගෙදර දියුණුවක් කියා එකක් තිබුණෙම නෑ.


අපෙ අම්මගෙ බාල නංගි වෙච්චි පුංචම්මා, ආතා, ආච්චම්මා, අපේ තාත්තා, අඬන පුංචම්මා, ලෝකපාලු බාප්පා, අනික් පුංචම්මා, ගුණපාල බාප්පා, ගමේ අය, අහල පහල අය සේරම අපෙ අම්මට මේ ගැන දොස් කිව්වා.


"එපා ලොක්කක්කෙ නහත්ති කොරන්න"


"ලොකුජුවේ නහත්තිකොරන්නෙපා"


"ඕ තරං නහත්තිකොරන්නෙපා ජයක්කෙ"


ඒ හැමෝම එකම පද හතර මාරුකර කර කිව්වට අපෙ අම්මට නහත්තියෙං ගැලවෙන්න විදිහක් කිව්වෙ නෑ. ඒ හංදා අපෙ අම්මා ඒ හැමෝටම කිව්වෙත් එක සමාන උත්තර.


"අනෙක් කටවහං හිටං මැයිකෙ"


"උඹොලට වැඩහ්නෑනෙ මයෙ වැඩ"


"නහත්තියම්මොකද්දැ කඩෙම්බඩු ගෙනාවහං"


මේ වගේ අපේ අම්මාට විරුද්දව රැස්වෙන කමිටුවෙ පළවෙනි තැන ගන්නෙ බාල පුංචම්මා. සමහර වෙලාවට කඩේ බඩුදීමත් ටික වෙලාවකට ඇන හිටිනවා. මේ කමිටු හැමදාම රැස්වෙලා, එකම කතාව කට රිදෙනකං කියෝල අවසං කෙරුවා. අපේ අම්මත් තමුංගෙ නාස්තිය දිගටම කරගෙන ගියා. අපේ තාත්තත් සල්ලි ගෙදෙට්ට ගේන්නැතුවම ඇරියා. ඒ හිංදා දෙපැත්තෙම්ම කටු රැහැලා ඉතුරුවෙන පං ගහ වගේ මගේ ආර්ථිකෙත් හීං වෙලා ගියා.


කාලයක් යද්දි බාල පුංචම්මා කසාද බැන්දා. ඒ කසාද බැන්දෙත් පොලේ වෙළඳං කරන වෙළෙංදෙක්ව. පුංචම්මගෙ කඩෙත්, බාප්පගෙ පොලේ වෙළඳාමත්, තේ ඉඩංවලින් එන ආදායමත් එක්කහු වුනාම ඒ දෙන්නට සෑහෙන සල්ලියක් තිවුනා. ඒ හංදා කේටියෙස්සෙකේ වැඩ කරපු විජේ මාමා හොරකං කරල අහුවෙලා රස්සාවෙං දොට්ට වැටිච්ච වෙලාවෙ  එයාගෙ තැපැල් නයින්ටිය සල්ලිවලට ගත්තෙත් අපේ පුංචම්මා.


ඒ ගෙවල් මණ්ඩියෙ මිනිස්සුංට දළු ලොරිය එනකං පාර බලාගෙන ඉන්න බැරි හංදා මාසෙ මුල දළු පඩි දෙන දවසට අවට ගෙවල් දහයක පහලොවක දළු පඩි ගන්න බාර වෙන්නෙ අපේ පුංචම්මට. දවල්ට ලොරියෙං දෙන දළු පඩිය හවසට ඒකෙ අයිිතිකාරයගෙ අතේ තියන හිංදා මිනිස්සු අපේ පුංචම්මව විස්සාස කලා.


"මැණිකෙ කවදාක්කත් මිනිහෙට්ට සුපියලක්කත් අඩුවෙං දෙන්නෑ වැඩිය දුන්නොත් මිසක්ක"


"මට අපේ ගෙදරෙවුන්ට වැඩියෙං මැණිකෙ නංගි විස්සාසයි"


පුංචම්මා ගෙදර නැති දවසට හදිස්සියෙවත් දළු පඩි ගෙව්වොත් එදාට ඒව ගන්නෙ මම. ලොරියෙ ඉස්සරහ සීට්ටෙක උඩ තියල තියෙන දළු පඩි කොලේ පහල කෙරෝලෙ STAMP කියල ලියල තියෙන තැන ඉංග්‍රීසියෙං නම ලියල දළු පඩි කොලෙත් සල්ලි දාපු ලියුං කවර ටිකත් ගන්න එක පුංචම්ම මට පවරලයි තිබුණෙ. එතැන ඉඳං හවසට පුංචම්මා එනකං සල්ලි දාපු ලියුංකවර ටික උම්බලකඩ කෑල්ලක් වගේ පරිස්සං කරන එකත් මගෙ රාජකාරිය.


දැහැමෙං සෙමෙං වෙච්චි මේ කටයුත්ත එක පාරටම හයියෙං වෙනස් උනා. මුලිම්ම සිද්දවුනේ මිනිස්සුංගෙ දළු පඩිය පුංචම්මගෙ අතිං ඒ අයගෙ අතට ලැබෙන්න දවස් දෙක තුනක් ගතවෙන එක. දළු පඩි ලැබිච්ච බව නොකියා පුංචම්මා ඒ සල්ලි තියාගත්තා. වෙනදට වඩා දළු පඩිය පරක්කු වෙත්දි මිනිස්සු ලොරියෙ මහත්තයගෙ තුනටියට පය තියලා කරට නගින්න හැදුවා.


"කෝ මහත්තය දලු සල්ලි?"


"කලිං හිිටිය ආනංද මහත්තෙයත් අපේ සල්ලි ඇරිය පිල්ලි"


තමුංගෙ කරේ යන්න ආපු එවුංව කොන්ද නමලා බිමට දාපු ලොරියෙ මහත්තයා ඒවට උත්තර දුන්නා.


"මැණිකෙගෙ අතට දුන්නා."


මිනිස්සු ලොරියෙ මහත්තයා සැක කලාට පුංචම්මව සැක කලේ නෑ.


"අනේ යන්න මහත්තය. මැණිකෙයපිට බොරු කොරන්නෑ."


අන්තිමට කතාව හගිස්සද්දි පුංචම්මා දළු පඩි ටික නොදී තියාගත්තු බවට ඔප්පු උනා.


"මේක හැමදාම මං ගන්න එකයි වරද. දවසක් පරක්කු වුනහං කළ හොඳ සේරම ඉවරයි. ආයිගන්නෑ කාගෙවත් පඩි"


පුංචම්මා සැරෙං කෑගහල මිනිස්සුංට සල්ලි ටික දුන්නා. මිනිස්සුත් බයාදුකමට වචනයක් කියල සල්ලි ඇරං ගියා.


"අපි මැණිකෙ සැකකොලා නෙමී"


"අපි හිතුවෙ ලොරියෙ මහත්තය හොරකං කොලා කියල"


ආයෙ කාගෙවත් දළුපඩි නොගන්න බවට කිරිටොපි බෝතලේ මූඩියට අත තියලා "අම්ප" කියල දිවුරපු පුංචම්මා ඊළඟ මාසවලදිත් අනික් අයගෙ දළු පඩි ගත්තා. ඒ පාර මිනිස්සුංගෙ දළු පඩි බේරන්න සතියක් විතර ගියා. අනික් මාසෙ ගමේ අයගෙ දළු පඩි අරගත්තෙ මම. එදාම පුංචම්මගෙ අතට සල්ලි කවර ටික දුන්නත් දවස් දෙක යද්දි කට්ටඩි මාමගෙ පවුල මගෙ ඇඟට ගොඩවුනා.


"මොකද්ද ළමයො ඔය ලමය අපෙ දළු පඩි ඇරං කොලේ. අපි මැණිකෙගෙං ඇහුවං කිව්වෙ ඔය ළමය දළු සල්ලි ඇරං මැණිකෙට දුන්නෑ කියල."


මං බඹ දෙකක් උඩ ගිහිං බිම වැටුනා.


"මං පෙරේද දවල්ම පුංචිගෙ අතට දුන්නා."


මං මගේ නිදොස් බව ලොවට හඬ නගා කිව්වා. අන්තිමට කට්ටඩි මාමගෙ බිරින්දෑවත් අරගන පුංචම්ම ගාවට ගියහම පුංචම්මා ඊට ලොකු බොරුවක් ගෙතුවා.


"ආ... මං හිතුවා ඒ අපේ සල්ලි කියල. මූ මට ඒක කිව්වෙ නෑනෙ."


වැරැද්ද මගෙ පිට පටෝලා පුංචම්මා එයාගෙ සල්ලි ආපහු දුන්නා. මං පුංචම්මට උත්තර බඳින්න කට අරින්න යද්දි "කට වහප්" කියලා මගෙ කට වැහුවා. ඉං පස්සෙ මාසවලදිත් පුංචම්මා ලොරියෙන් දළු සල්ලි ගන්න මාව යවන්න හැදුවෙ මාව බිල්ලට දෙන්න වග තේරුණ හිංදා මං වැඩේ මගෑරියා.


තව ටික දවසක් යද්දි බාප්පා පොලට බඩු ගේන සල්ලිත් ටිකෙං ටික කේඬෑරි වෙලා ගිහිං නැත්තටම නැති උනා. ඒ වෙනුවට බ්‍රහස්පතින්ද හවසට ***ගම බාප්පලගෙ ගෙදරිං සල්ලි ඉල්ලගෙන බාප්පට දෙන්නත් ආයෙමත් සඳුදා හවසට ඒ සල්ලිය ***ගම බාප්පට දෙන්නත් රෝලක් පුංචම්මා හදාගත්තා. ඒ අතරෙම ආතගෙ දිලිසෙන අල්ලු දෙකක් තියෙන ලාච්චුවෙ ඉස්කෝතු බෙලෙක්කෙ ඇතුලෙ තියෙන ඉටි බුජමෙ දාල තිවුනු පංකොල පෝස් එක අස්සෙ තිවුන මැණික් ගලක් අල්ලපු මුද්ද නැතිවුනා. ඒකට අපේ අම්මව අල්ලන්න පුංචම්මා බොහොම ලොකු උත්සාහයක් දැරුවත් ඒ වෙනකොට පුංචම්මා කියන දේවල්වලට තිවුනෙ අඩු සැලකිල්ලක්. හැමදාම හැන්දෑවට ඉස්තෝප්පුවෙදි ආතගෙ කයිවාරුවට අහුවෙන ඕනැම කෙනෙක්ට ආතගෙ මුද්දෙ තිවුන මැණික් ගලේ වග විස්තර එක්කම අහන්න ලැබුනා.


ඊළඟට ගෙදර තිවුන අනික් රත්තරං බඩුත් අතුරුදහං වුනා. සුදුපාට වෙසක් කොලවල ඔතල රතුපාට පෙට්ටිවල දාල තිවුන මාල, මුදු, රෙදිපොටවල්වල ඔතල තිවුන වළලු අතුරුදහං වුනා. බාප්පගෙ කරේ තිවුණ චේන්නෙක රැයක් එලිවෙද්දි අතුරුදහං වුනා. එදා දවසේම කොට්ට, පැදුරු, ඇඳං, මෙට්ට, පත්තර, රෙදි ගොඩවල් ඇද ඇද අපි බාප්පගෙ චේන්නෙක හෙව්වා. හම්බුන්නෑ. එයිට දවස් දෙකකට පස්සෙ මාමාලගෙ ගෙදර අල්මාරියෙ තිබුණ නැන්දගෙ මගුල් මුද්දත් අතුරුදහන් වෙලා තිබුණා. 


තමුංගෙ කේන්දරේ නරක බව දැනිච්ච ආච්චම්මත්, බාප්පත් පුංචම්මගෙ කබඩ්ඩෙකේ පරිස්සමට තියල තිවුණ තමුංගෙ රත්තරං බඩු ඉල්ලද්දි එව්වා කබට්ටෙකේ ලාච්චුවෙ තියෙන බවත්, ඒ ලාච්චුවෙ යතුර නැතිවෙලා බවත් පුංචම්මා කිව්වා. වැඩි දවස් යන්න කලිං කොහෙ හරි තිවිලා යතුර හම්බුවුනහං ඒ සේරම දීල දාන බවත් ආයි කිසියම්ම දවසක කාගෙවත් ඉටිගෙඩියක් පරිස්සං කරන්න බාරගන්නෙ නැති බවත් පුංචම්මා හැමෝටම ගොරවලා කිව්වා. 


දෙවෙනි පුංචම්මගෙ රත්තරං බඩු ටික ඉල්ලාගන්න අපේ පුංචම්මා හොයාගත්තෙ වෙනමම ක්‍රමයක්.


"චූටියක්කෙ උඹේ රත්තරං බඩුටික දියකො මට මගුල් ගෙදරක දාං යන්න. ජෝකෙ අයියෑ චේන්නෙකත් දියංකො. **ටත් දාංයන්න. අපේ රත්තරං බඩු සේරම ලොකු කල්ල හදවන්න දුන්න මතුගම සමම්පැලස්සෙකට. තාම හම්බුන්නෑ. මේ මගුල් ගෙදර නොයත් බෑනෙ. **රලෑ ළඟම නෑයො"


හිත උණුවෙන දෙවෙනි පුංචම්මා තමුංගෙ රත්තරං බඩු සේරම පොට්ටනි කරලා පුංචම්මට දුන්නා. සති දෙකකට විතර පස්සෙ ඒ රත්තරං බඩු ටික පොට්ටනිය පිටිං ආපහු බාරදුන්න පුංචම්මා 


"අපිට ඒ ගමන යන්න බැරිඋනා. මේං උඹේ බඩුටික"


කියලා ආපහු ආවා.


ටික දවසකිං පුංචම්මා ස්නයිපර්කාරයෙක් වගේ උනා. ගෙදර පැත්තට හැරෙන සමහර මිනිස්සුංගෙ මූණු දැක්ක ගමං 


"මං ගෙදර්නෑකියං"


කියලා ගෙට පැනලා ගෙදර පිලිකන්නේ, වත්තෙ කොහේ හරි හැංගෙන්න පටං ගත්තා. එහෙම පුංචම්මා හැංගෙන සැරයක් ගානෙ ඒ හැංගිල්ලට හේතු වෙච්චි අය ගෙදර ඉස්තෝප්පුවෙ පේන්න ඉන්න ගෙදර කෙනෙක් අල්ලගෙන පුංචම්මා ගැන නෝක්කාඩු කිව්වා.


"නංගි මගෙ චේන්නෙකයි බේස්ලට්ටෙකයි ඉල්ලගත්තා මගුල් ගෙදරක යන්න. තාම දුන්නෑ"


"ගිය මාසෙ මගෙ වලලු ජෝඩුවයි රුපියල් පංසීයකුයි ඉල්ලගත්තා මතුගමෙං වතුරෙ දම්මල ගෙනත් දෙන්නං කියල. තාම දුන්නෑ"


"ගිය පාර මගෙ සීට්ටුව ගත්තා තාම මගෙ සල්ලි දුන්නෑ"


වැඩිකල් නොගිහිං බැංකු, උකස් කඩ වලිං දවසට ලියුං දෙක තුනත් එන්න පටං ගත්තා. මේ සේරටම හේතු අහන අයට හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා වගේ උත්තර පුංචම්මගෙං ලැබුනා. වැඩි දවස් නොගිහිං දෙවෙනි පුංචම්මත් දෙබර කූඩුවක් වගේ මූණ හදාගෙන මහගෙදර ගාවිං බස්සෙකෙං බැස්සා. මළ ගෙදරකට ගොඩවෙන්නා වගේ මහගෙදර ඉස්තෝප්පුවට පැන්නා.


"අලේයව්වේ... චාච්චේ.... එහෙග් එහෙග් එහෙග්.... අවි ඉවලයියව්වේ..."


"මොකෝ චූටියෙ. කොලුට මොකක්කක් කරදරෙයද්ද?"


ආච්චම්මා චීත්තෙ ගැටේ සුටුස් ගාල තදකරන ගමං ඇහුවා.


"මොකෝ කෙල්ලට උනේ"


කොන්ද දිගාරින්නැතුවම පුටුවෙං නැගිට්ට ආත ඇහුවා. පැය කාලක් විතර වද හිරිහැර කරලා, ගසල, පිඹලා, තර්ජනේ කරායින් පස්සෙ අපිට විස්තරේ අහන්න ලැබුනා.


"වැනිකෙයෆෙං ඉල්ලංඟාපු සත්තලං බඩු මාලුකොල්ලා...ආ..ආ.ආා"
"වට ගෙලද්දුල්ලෙව්වා එග්ගොම ඉවිතේසංඥෙව්වා ...ආ ...ආා"
"ෆාත වෙලස්සිද්දා සැගේත වැංගුවත ෆෙල්ලුවා... ආ ...ආ ...ආා"
"වැංගුවෙං තවා ගිව්වේ වේවා සෝල්ගෝද් ගියලා ... ආ ...ආ ...ආා"


පවුලේ අය එක්කහු වෙලා බලද්දි පුංචම්මා වෙලා තිවුණු ණය කන්දරාවෙ දිග පළල දැනගන්න ලැබුණා. සමහර බඩු මුට්ටු නැතිවීම ගැන වැරදිකාරයා විදිහට තීන්දු කරල තිබුණු අපේ අම්මට ඒවයෙං ගැලවීමක් ලැබුණා. අන්තිමට පවුලේ ඇති හැකි අය පුංචම්මා රටට වෙලා තිබුණු ණය ගෙව්වා. ආච්චම්මා බදුරලියෙ ටවුමෙ තිවුණු තමුංගෙ ඉඩං දෙකක් විකුණුවා. පුංචම්මගෙ ණය ටිකක් ගෙවලා හිත හැදෙන්න ඉතුරු සල්ලිි වලිං ගෑස් ලිපකුයි සිලින්ඩරේකුයි ගෙනාවා.  බාප්පත් පොලේ කඩ කාමර දෙක විකුණලා දාලා සිකුරුටි රස්සාවකට ගියා. දෙවෙනි පුංචම්මා තමුංගෙ ටිං බෙලෙක්කවල, අල්මාරියෙ, සීට්ටුවල, බැංකුවෙ තිවුණ සල්ලි සේරම යොදවලා තමුංගෙ රත්තරං බඩු බේරගත්තා. පවුලෙ අනික් අයගෙ රත්තරං බඩු හුඟක් බැංකුවට සින්න වෙලා වෙන්දේසියෙ ගියා. පුංචම්මගෙ හොඳ නම හේදිලම ගියා. 


එක දෙයක් ඉතුරු උනා. 


පුංචම්මා ඒ විදිහට සල්ලි දාලා කලේ මොකක්ද කියන්න කාටවත් හොයාගන්න බැරිවුනා. මටත් ඒ ගැන ඉඟියක් දැනගන්න අවුරුදු දොලහක් විතර බලං ඉන්න සිද්දවුනා. අවුරුදු දොලහකට වැඩි කාලෙකට පස්සෙ ඉතිහාසෙ ආයිමත් සිද්දවුනා.





Sunday, March 26, 2017

නෙලුං යායට පසුවදනක් A back word for lotus field

මේ ගමන නෙලුං සම්මාන උස්සවේට මාව යවන්නේද නැද්ද යන්න ගැන අපේ ගෙදර හතර දෙනාගේ කමිටුව රැස්වීමක් තිබ්බේය. කරුණාරත්නගේ ස්ථාන මාරුවත් එක්කම බලලුන්ගේ රැකවල් කටයුතුවලට කෙනෙක් නැතිවීම නිසා කමිටුව අසීරුතාවකට මූණ දුන්නේය. ඒ හංදා මේ ආකාරයේ යෝජනාවලියක් සභාගත කරන්නට සිද්දවිය.

බලලුන්ට දවල් වේලටද සරිලන පරිදි උදේ කෑම වේල දෙගුණකොට ලබාදීමටත්, දවල් සහ හවස වේල් වෙනුවෙන් Rice-flies දෙසිය පනහක් සහ කිරි පිඟං දෙකකුත් එවෙලේම හදා තියන්නටත්, කහපාට බාජනේ පිරෙන්නට වතුර පුරවා තියන්නටත්, අනෙකුත් දෛනික අවශ්‍යතා සදහා වැලි පිරවූ KP හතරක් තියන්නටත්  බලලුන්ගේ යහපත තකා ජනෙල් දොරවල් වසා තැබිමටත් සංවිධායක මණ්ඩලය යෝජනා කරන්නේය. ඒ අනුව සෘජු හෝ වක්‍රාකාරයකින් බලල් අණ්ඩ හෝ හොස්ස යොදාගෙන ජනෙල් පියං ඇරගෙන පැනයාමක්, ලැටිස් පේලියේ ලී අතරිං රිංගීමක්, ගෙදර බඩුමුට්ටු ආසනාසි කිරීමක්, නැංදාගේ කොණ්ඩබූල් සෙල්ලම පිරිස යොදාගැනීමක් (දැනටමත් කොන්ඩ බූල් තුන හතරක්ම සෙල්ලම් කිරීම සඳහා බලලුන්ට නිකුත් කර ඇත), පිටතට ශබ්දය ඇසෙන පරිදි කා ගැනීම පිඹගැනීම හෝ වලිග පුප්පා ගැනීමක්, හෑන්ඩ්ෆ්‍රී, වයර්, ඩේටා කේබල් ආදිය හැපීම හෝ සෙල්ලම් පිණිස යොදාගැනීමක්, පුටු කොට්ටාවල නියපොතු මැදීමක්, මේසය උඩ තබා ඇති මැටි බුජම හෝ අනෙකුත් ස්ථානවල අලංකාරය පිණිස තබා ඇති බිඳෙන සුළු ඔලු බක්කන්, බබ්බුන්, වලස් ගෙඩියන් ආදිය පෙරලීමක්, සබ්බූපරේ කට ඇතුලින් හොස්ස දැමීමට උත්සාහ කිරීම හෝ බලල් අණ්ඩ දමා එතුල ඇත්තේ මොන කෙංගෙඩියදැයි බැලීමට උත්සාහ කිරීමක්, නිවස තුළ හුදෙකලාව ගමන් යන කඩියන් හෝ වොක්වාගන් වර්ගයේ කැරපොත්තන් අතින් වැසීම, පෙරලීම, ඉව කිරීම හෝ ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් කිරීම නැතහොත් පරාණය හානිවන පරිදි ඔවුන්ගේ ශරීර මත ඉඳගැනීම වැනි මාර්ග නීති කඩ කිරීමක් නොකිරීමට බලලුන් මෙයින් එකඟ වන්නේය.


ටිකිරී සඳමාලි මහත්මිය ප්‍රකාශ කලේ මාමයි නැංදයි දෙන්නම ඕනෑ දිබ්බාගයක ගියාට කමක්නැති බවත් ජනේලය ඇරදා යන්නේ නම් තමුන්ට ඕනෑ හැටියට රස්තියාදුවේ යමින් ජීවත්වන්නට පුළුවං බවත්ය. නමුත් මෙයට එකහෙලාම විරුද්ද වූ තල් සූකිරි පැණියා කියා හිටියේ මේ තමුංගේ සරීරේ හැදෙන කාලය බවත් මේ කාලයට කොච්චරවත්ම කන්ට ඕනෑ බවත් පැය දෙකක් යන්න මත්තෙන් ගෘහස්ත එක්සත් කුහුඹුවන්ගේ ඒකාබද්ද සංගමේ පැමිණ කෑම ජාති සේරම ඇදගෙන යන හංදා දවල්ට කන්න ලහඳුවත් ඉතුරු නොවන බවත් එහෙම හීතල වෙච්චි, කූඹි කාපු, හුලං වැදිච්චි එව්වා කන්න ලොං දිග ඉතාමත් ලක්සන පූසෙක් වන තමුන්ට බැරි බවත්ය. වහළය උඩ සිට ඇමතූ චියං බාප්පා සහ බෑනාද පැවසුවේ මේ ක්‍රමය යටතේ ටිකිරී සහ සූකිරි විසින් තමන්ට ඉතුරු කරන ආහාර සලාකය නොලැබී යාමට ඉඩ ඇති නිසා ඒකාබද්ධ ඕ අකුර පාඩං කරන්නංගේ සංගමය වශයෙං  තමුන්ද මේ යෝජනාවට විරුද්ධවන බවයි.


තලේ අදහස් දක්වමින්. ටිකිරී සඳමාලි පසෙකින් සිටී.



ඒ අනුව මේ පාරත් නෙලුං උස්සවේට මාමාව  තනියම යවන එක සුදුසු බව අතක් සහ වලිග දෙකක් ඔසවා තීරණය කරන ලදී. ඉන් පසුව විසඳීමට තිබුණේ ප්‍රවාහන මාධ්‍ය පිළිබඳ ගැටළුවය. හනුමාන් කියා සිටියේ තමුන්ට ඉලෙක්ට්‍රික් වසයෙන් පිස්සු කෙලින්නට ඇති හංදා ගමන එන්නට බැරි බවය. සොයාගැනීම කියා හිටියේ වැස්සොත් එහෙම තමුන් නොදන්නා බවත් වැස්සෙ නැතත් දූවිලි කන්නට සිද්ද වෙනු ඇති බවත්ය. අන්තිමට තීරණය කෙරුනේ හොඳම ක්‍රමය බස්සෙකේ තනියම යන එක බවත්ය. සිකුරාදා හැංදෑවේ අටං අයියා තර්ජනය කරමින් කියා හිටියේ "තෝ නෑවිත් පොල්ල තිබ්බොත් බලාගමු" බවය.


පහුගිය පාර බස්සෙකේදී සිද්දවූ හරිය මතක හිංදා ටීවීයෙකක්, කැසට්ටෙකක්, බපල් එකක් තියා ඉස්පීකරයක් අමුනන්න වහලේ හිලක් හෝ වෑර් දෙපොටක්වත් නැති බස් එකක් තෝරාගන්නට මට සිද්දවිය. දුර ගමන් යාමේදී මනුස්සයෙක්ට බලපාන ලොකුම අබග්ගය වන ටෙලිපෝන් එකේ බැට්ටි බැහිල්ලට පිලියමක් ලෙස අන්දිරිස් පෝන් එක නිදිකර තැබීමටත් ඉෂානි නංගිගෙන් නිකං ලැබුනාවූ ජනේල ටෙලිපෝන් එක විතරක් ඇහැරවා තියාගන්නටත් කටයුතු කරන ලදී. බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල, බලංගොඩ කඳු අතරින් අඹරා රත්තපුර, කරවිට අවිස්සාවේල්ල තැනිතලාවේ පොලා, කොස්ගම, මීපේ හුළගෙං හුලං කර ගොඩගමිං මාව බිමට ඇදදාන ලදී. ජනේල දුරකථනයේ සිතියම ටක්කෙටම හරි බව පෙන්නමින් කාගෙංවත් අහන්නේ නැතිව ගොඩගම හංදියෙන් බැස හරි බස්සෙකට නගින්නට මට පුළුවං විය. ඊළඟ පාර හරියටම දිය මුල්ලට (Waters edge) හැරෙන තැනට කිට්ටුම හෝල්ටෙකෙං මාව බිමට බස්සවන්නටද ටෙලිපෝන් එකට පුළුවං උනේය. මට හෙනම සන්තෝසයක් ඇති උනේය. ඒ හංදා ටෙලිපෝන් එක ගැන ඇති අචල, අකලංක, හදබැඳි විස්සාසය උඩ එතැන ඉඳං පාරත් ටෙලිපෝන් එකෙම්ම ඇසූ අතර ටෙලිපෝන් එක කියා හිටියේ එහෙම්මම දිගට ගිහිං කරෝලිස් මාවතෙං හැරී පහලට ගිහිං තව කොහෙංදෝ රිංගන්න කියාය. අනුංගේ පිලිකන්නක් අස්සෙං යන්න ඔන්න මෙන්න කියා තියෙද්දී කොතනක හෝ වැරැද්දක් වී ඇති බව පෙනෙන්නට තිවු නිසා පාර අයිනේ ඉස්තෝප්පුවක සිටි කෙනෙක්ගෙං ඇසූ විට කියා හිටියේ 


"කංද උඩට නැගලා කෙලීඊඊඊඊම්ම පහලට බැහැලා අරෙහට යන්න"


කියලාය. අන්තිමට ටෙලිපෝන්නෙකට එරෙහිව යාමෙන් යන්තම් පාර හොයාගෙන දිය මුල්ලේ පිලිකන්න පැත්තෙං ඇතුල්වී දාඩිය පෙරාගෙන සාලාව ඇතුළට යාගන්නට මට පුළුවං විය. 


උස්සවය ගැන වැඩි යමක් නොකියන්නේ ඒක කෙරෙන්න ඕනෑ හැටියට සිද්දවුන නිසාත් එතන සංවිධාන කටයුතු ආදිය ගැන විචාරන්නට තබා කන්නට බොන්නට දුන් ජාතිවල නං දැනගෙන ඉන්නට තරංවත් දැනුමක් මට නොතිබූ නිසාය. මට කියන්නට තියෙන්නේ කවුරු නමුත් විය පැහැදං කර හරි අපූරු උස්සවයක් සංවිධානය කර තිබුනු බවය. තිලකසිරි මහතා, තමුංගේ හැටි ලියන දොස්තර මහතා, දහඅට සන්නියේ පොල්වත්ත මලෙයා, කාර් පිස්සා, බුකියේ ක්‍රිකට් ගහන නිශාන්ත ආදී කොට ඇති අලුත් කාණ්ඩයක් හම්බෙන්නට ලැබුණ එක වටින්නේය. 


සම්මාන දීමේදී ආකාස කසුන්ගේ හිතවතිය සත්‍යාට සම්මාන දෙකක්ම ලැබීම ගැන මට හරි සතුටුය. ගියවර සම්මාන උස්සවේ අගදී ලියූ පෝස්ට් එකේ අගට කසුන් ගැන ලියූ දේ මේ අවුරුද්දේ උත්සවේදී ඵලදරා තිබීම ගැන මට සතුටුය. මං හැමදාම කියෝන නිදහස් සිතිවිලි බ්ලොග් එකට වසරේ හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානෙ ලැබීමත් හෙනම සතුටක්ය. ඒ අතරේ චාමරලෑ පන්ති බාර ගුරුතුමීටත් මටත් දෙවෙනි තැන හම්බෙච්ච එක ගැනත් සතුටුය. කොටිම්ම සම්මාන උස්සවේ පුරාවට හෙනම සතුටක්ය.



සම්මාන උස්සවේ අහවර වී ගෙදර එන අතරමග "මං එරන්දි" අක්කාටත් "මං එයාගෙ හස්බන්ඩ්" අයියාටත් "මං එයාලගෙ බබා" දුවටත් අපි හිංදා කරදර වන්නට විය. අපිට මගිං කන්න බොන්නටත් අරං දී කුරුවිටට ගෙනත් දාගන්නටත් ඒ අයට සිද්දවිය. ඒ ගැන ඊයෙ රැයේම කැලේ පිපුණ මලේ වස්සලා ලියා තිබුණේය. අන්තිමට අපිට තවත් හොඳ යාළුවෝ ජෝඩුවක්ම හංම්බුවුනේය. ළඟදීම ඒ දෙන්නා බලන්නට යන්න හිතා ඉන්නා හිංදා ඒ පවුල ගැන වෙනමම ලිපියක් ලියන්නට ඕනාය.


ඉතිං මං ලියන යාංහෑලි කියවන හිතවතුනි, බුකියෙන්, දුරකථනයෙන්, ඊමේල්, වයිබර්, ස්කයිප්, ආදී එක එක ආකාරවලින් මට කතා කර දිරිගන්වන කොමෙන්ට් කරන හිතවතුනි, අපිව ආණ්ඩු මට්ටු කරන අටං අයියේ, ප්‍රසන්නයියේ, සින්ඩිකේටර්, බ්ලොග් රෝල්, පේස්බුක් පිටු, කටකතා, සංවාද, කතාබහ, ආදී හැම දෙයකින්ම මං ලියන දේවල් අනික් අයටත් බෙදාහරින හිතවතුනි, නෙළුම්යාය සම්මාන උත්සවය සංවිධානය කළ මං නොදන්නා හිතවතුනි, ඒ වෙනුවෙන් වියපැහැදම් කල අනුග්‍රාහක භවතුනි, නෙළුම් යාය වෙනුවෙන් අපිට පෙනෙන මානේ සිටිනා සුමිත් කළණසිරි, අජිත් ධර්මකීර්ති, ලක්මාල් කන්දෙවිදාන මහත්වරුණි, යාංහෑල්ලේ ලියන්නා වශයෙන් මට දුන්නා වූ වටිනාකම වෙනුවෙන් ඔබට ස්තූති කරමි. ඒ වගේම යාංහෑල්ල වෙනදා වගේම සැලකිල්ලෙං ලියාගෙන යන බවට ඔබට පොරොන්දු වෙමි.


Saturday, March 11, 2017

පොජෙට්ටෙක - අන්තිම කොටහ

මිනිහෙක්ගෙ ජීවිතේ හරියාකාරව හැදෙන්නෙ ගහෙං ගෙඩි එන්නා වගේ පිළිවෙලකට හීංසීරුවෙ ඉහළට ආවොත් විතරයි.  ගහ පීදිලා, මල් හැදිලා, එව්වයෙං සූටි ගැටයක් හැදිලා, ඒ ගැටේ ඩිංග ඩිංග තරුවක් වෙලා, ඒ තරුව ඩිංග ඩිංග ලොකු වෙලා මහ ගෙඩියක් වෙලා පැහිලා කන්න පුළුවං ගානට ඉදෙන්න සෑහෙන කාලයක් යනවා. මනුස්සයෙක්ට යමක් ලැබෙන්න ඕනැත් ඒ විදිහට කාලයක් ගතවෙලා හීංසැරේ ඩිංගෙං ඩිංග. එතකොට තමයි තමුන්ට ලැබෙන දේක අගයක් තියෙන්නේ. නැත්තං ඉස්පෙක්ටර් ලකී අහසට වෙඩි තිබ්බම පොල් වැටෙනව වගේ එක පාරිං ලැබෙන දේ දරාගන්න අමාරුයි. ඒකෙ අගෙත් ටික දවසකිං නැතිවෙලා යනව.


අපේ ගමෙං පෙජෙට්ටෙකේ වැඩට ගිය අයට කිව්වෙ පෙජෙට්කාරයො කියලා. කවුරුහරි එක දෙයක් දිගටම කරගෙන යනවනං එයා ඒ වැඩේට අදාල "-කාරයෙක්" බවට පත්වෙනවා. පෙජෙට්කාරයො වැඩ ඇරිලා ආපහු එන්නෙ ඇඳිරිවැටීගෙන එනකොට. පෙජෙට්කාරයෙක් බහින තැන ලංවුනාම එයා ඉන්නෙ දොරේ යටම පඩියෙ. බස්සෙක යාංතං වේගෙ අඩුකරනකොටම බිමට පැනලා ටිකදුරක් දුවගෙන ගිහිං නොවැටී බේරෙන්න පුළුවං. පෙජෙට්කාරයා බිමට පැන්නගමං පුට්බෝඩ්ඩෙකේ ඉන්න රංචුවම එකපාර කෑගහනව.

"හරෙයං හරේ"

ඔය විදිහටම ලොරියෙං එන අයත් එක අතක ගමං මල්ලත් එල්ලගෙන ලොරිය පල්ලෙ "තග්" ගාලා පනිද්දි ලොරි තට්ටුවෙ ඉන්න අනික් අයත් කෑ ගහනව. කාලයක් සරම ඇඳලා සරමෙ පළලට අඩිය තියන්න පුරුදුවෙලා හිටපු අය පෙජෙට්ටෙකේ වැඩට යද්දි කලිසං ඇන්ද හිංදා සරමෙන් නිදහස් වෙච්චි කකුල් දෙක හුඟක් දුරිං තියල නුහුරට ඇවිදින්න පුරුදු වුනා. ඒ විදිහට දුරිං අඩිය තියල ගියත් ඒ හැමෝම ගෙවල්වලට යද්දි ඉර මිටියකුලං කන්දෙ වැරනිය ගස්, දංගස් පල්ලෙං කැකිල්ල ගාල අස්සට වැටිල ඉවරයි. ගෙදරට ගිහිං වතුර ඩිංගක් නාගෙන බඩ්ඩිංගක් කනගමං පෙවුත්ති ඩිංගක් බලලා පිඟාන හෝදනකොට රෑ අට නමය වෙලා ඉවරයි. පහුවදා පාංදරිං වැඩට යන්න තියෙන හංදා ඇඳට වැටිලා බුදියනව ඇරෙන්න වෙන කොහෙටවත් යන්න වෙන්නනෙ නෑ.


මේ හිංදා ලොකුම පාඩුව උනේ පෙරන අයට. අපේ තාත්තා ඇතුළු කීප දෙනෙක් ඇරෙන්න අනික් හැමෝම පෙජෙට්ටෙකේ වැඩට ගිහිං මහ රෑ වෙද්දි ආපහු එන හිංදා ගනුදෙනු කරන්න යන්න ඒ අයට බැරිවුනා. වැඩට යන අයගෙ කටිං බීපු සුවඳ ආවොත් ආපහු එවන හිංදා වෙලාව තිවුනත් බොන්න නොයන්න ඒ අය පුරුදු උනා. පෙරන තරමට විකිනෙන්නෙ නැති හංදා නිෂ්පාදකයො වැඩේ අතෑරියා. කරුණාවතී ආච්චිටයි, කලු මාමටයි, සූරියසේනටයි හතලිස් නමේ වැදුනා. අපේ තාත්තා ඇතුළු සෙසු පාරිභෝගික නඩේට සිද්ද වුනේ වැඩිමිලට කලු මාමලෑ කඩේ පිටිපස්සෙ විකුණන අරක්කු ඩිංගක් බීලා හිත හදාගන්නයි. ඒකටත් කලු මාමලෑ නැංදා අනුපානෙට කහට කලවං කරලා සැන්ඩි කරන හංදා අපේ ගමේ බහුතරයක් කාන්තාවන්ගෙ දත් ඇඳි, කකුල් අතපය ආදිය තව ටිකක් කල් රුකුනා.


කුලී වැඩට ගියහම වගේ දවසෙ ආදායමක් නොලැබෙන හිංදා බොහොම අසීරුවෙන් මාසයක් ගෙවුනට පස්සෙ පෙජෙට්කාරයින්ට පඩි ලැබුනා.


පළවෙනි පඩිය අරගත්තු දවසෙ විමලසේන මාමා පුංචම්මලෑ කඩේ ගාවිං ලොරියෙං බිමට පැන්නෙ සිකරැට්ටෙහෙකුත් කටේ ගහගෙනමයි. කහපාට ඉටි තොප්පියත් ඔලුවෙ දාගෙනම බෑක් මල්ලත් වනාගෙනම පුංචම්මගෙ කඩේ එලිපත්තට අඩි දෙකට ගොඩවෙලා වටේ හිටපු කීප දෙනාවම උඩ යන තරං සද්දෙට කෑ ගැහුවා.


"බලන්න මැණිකෙයක්කෙ අපේ ණය. අර පර්නෙව්වත්තෙක්කම බාන්න. එක්කොම දැං ගෙවනොව."


"දැංනං වෙලාවක්නෑ විමලෙයයියෙ. හෙට බලා තියන්නං."


"නෑ...න්නෑ නෑ  නෑ දැම් බ..ල.. න්න දැං බලන්න.. මේ.....ද්දැං ගෙවල වියරෙයක් කොන්නොව"


නොලැබෙන ගොඩට වැටෙන්න තිවිච්චි ණය ගොඩ ලැබෙන්න යන බව ඉවෙං වගේ දැනිච්චි හංදා පුංචම්ම කඩේ මේසෙ කොලේ යට තියෙන ණය පොතේ ගානත්, කරඳමුංගු, නිල්, කුකුලුසායං, ආදිය එල්ලපු කාඩ්වල පිටිපස්සෙ "දෙහි ගෙදර නැංදා", "විමලෙගෙ ගෑනි" කියන නං යටතේ තිවුනු ගණනුත් එක්කහු කරල අන්තිමට ආච්චම්මට මතක තිවුන පොතේ නොලියපු ගණනුත් එක්කහු කරල ගාන කිව්වා.


"*දාස් ** සිය ****පහයි"


"ආං එච්චරයි."


විමලසේන මාමා සාක්කුවෙං ගත්තු සුදුපාට කොලේ ඔතපු සල්ලි මිටිය කඩේ ලැල්ල උඩ හැමෝටම පේන්න දිගෑරියා. දාහෙ කොල පන්සීයෙ කොල දෙසීයෙ කොල ඇරෙන්න සීයෙං පාත කොලයක් ඒකෙ තිබුණෙ නෑ.


"මට දෙන්න මැණිකෙ තව සිකෑට් පෑට්ටෙයයි කුකූමස් කිලෝඑහෙක්ට වැඩියෙං තියෙනෙහෙකුයි. පොඩියෙවුන්ට හොඳට්ට කන්න දෙන්න."


ඒ බඩු සේරමත් අරගෙන අන්තිමට විමලසේන මාමා කඩේ ගාව ඉන්න ළමයින්ටත් අයිස් ඇරං දීල සිකරැට්ටෙහෙකුත් පත්තු කරගෙන ගෙදර ගියෙ උදාන වාක්‍යකුත් කියලා ඒකෙ තිත හැටියට කඩේ ලැල්ලට අල්ලෙං පාරකුත් ගහලයි.


"ආයි මේ සම්මජ්ජාතියෙ මංවක් මයෙ ගෑනිවක් මයෙ පැටියෙක්කක් කාටවක්ම ණය වෙන් නෑ නෑ නෑමයි ඩං"


පහුවදා ඉඳං අපේ ගම වෙනස් උනා. වෙනදට රුපියලේ අයිස්සෙක අරං මැදිං අඹරලා දෙකට කඩාගෙන කාපු ළමයි හැමෝම දෙකේ අයිස් දෙක දෙක අරං ගියා. වෙනදට අලි මාමත්, ඩීසල් උපසේනත් විතරක් ගනිපු "යෝගට්" හැමෝම ගත්තා. පාං ගෙනියන්න ආපු ළමයි ජෑම් බෝතලෙයි, මාගිරිං පැකැට්ටෙකයිත් ගෙනිච්චා. වෙනදට මාසෙට දෙපාරක් ආපු කුකුලුමස් ලොරියට දවස් තුනකට පාරක්වත් එන්න කියලා කියන්න පුංචම්මට සිද්දවුනා. සමහර ගෙවල්වල අයට ගමේ කඩවල්වල "ගන්න හරිහමං බඩුවක් මුට්ටුවක් නැති"වුනා. ඒ වගේ අය ටවුමට ගිහිං ආපහු ආවෙ බඩු පුරවපු තීවිල්ලෙහෙක බිම දාපු හාල් මිටිය උඩ කකුල් තියාගෙන.


සමහර පෙජෙට්කාරයො පලවෙනි පඩියෙං පස්සෙ දවසක් දෙකක් ගෙදර නැවතුනා. විමලසේන මාමා "හැමෝටම සලකන්න ඕනි" කියලා ටවුමට ගිහිං අරක්කු බෝතල් දෙකතුනක්ම අරං ඇවිත් දන්න අඳුරන හැමෝටම බොන්න දුන්න බව ඒ බෝතලේකිංම දෙකක් දාගෙන ඇවිත් අම්මත් එක්ක වලියක් ඇදගත්තු තාත්ත කිව්වා.


පළවෙනි පඩියෙං වියදම ටිකක් සැරවෙච්චි හංදා මහ දවසක් යන්න කලිං ඒ තරම්ම සුද්දෙට වියදං කරන්න නරක බව සමහර අයට තේරුනා. ඒ හිංදා දෙවෙනි පඩිය ඒ තරමටම සමරන්නෙ නැතුව ඉන්න පෙජෙට්කාරයො ඉගෙනගත්තා. ඒත් ගෙවල්වල ගෑනු අයවත් ළමයිවත් ආපසුසට අඩිය තියන්න කැමති උනේ නෑ. ඒ හංදා ඊළඟ පඩි ටිකටත් පරණ පාරෙම යන්න උනා.


ගමේ පිරිමි කරපු රස්සාවලුත් ගොඩක් ගෑණු අයටම කරන්න වූනා. කුඹුරු ගොවිතැනට ඉතුරු උනේ අපේ තාත්තා ඇතුළු කීප දෙනෙක් විතරයි. ඒ හංදා දළු කැඩිල්ල, උදුලුගෑම, ගොයං කැපිල්ල, ගොයං කොල ගැහිල්ල, සේරම කෙරුනේ ගෑනු අය අතිං. කිතුල් මල් කැපිල්ල, තේ ගස් කප්පාදුව, ගෙවල් බැඳිල්ල, ගස් කැපිල්ල, වඩුවැඩ වගේ පිරිමිං විතරක්ම කරපු රස්සාවල් කරන්න කෙනෙක් නැත්තටම නැතිවෙලා ගියා. කුඹුරු පුරං වෙද්දි සමහර තේ ඉඩං කැලේට අත්තැරුණා. සමහර පෙජෙට්කාරයින්ගෙ ගෑණු තේ ඉඩං කුණුකොල්ලෙට විකුණල රත්තරං බඩු හදාගත්තා.


"අපේ මිනිහ ඇත්තරං හම්බු කොන්නොවනෙ. මං මොටද නිකං නහින්නෙ. මේ පොඩියෙවුංගෙ වැට්ටික කරගෙන ඉන්නොව මිසක්"


පෙජෙට්ටෙකේ රෑ වැඩ කරන්න යන කීප දෙනෙකුත් හිටියා. එයිං එක්කෙනෙක් අහල පහල හිටිය ගෑනු අය ගැන සෑහෙන්න විස්තර හොයන්න ගත්තා. කඩේ ගාවට ඇවිත් මගෙත් එක්ක කයිවාරුවක් පිට ඉන්න ගමං කඩේට එන ගෑනු අයගෙ වග විස්තර හීන් නූලෙං මගෙම්ම අහගත්තා. 

"ඒ කවුද දැං අර බිස්කට්ටෙකක් අරං ගියෙ?"


"ඒ අර *** මාමගෙ නැංදනෙ. ඒ මාම වැඩට යන්නෙ රද්දැල්ලෙ බාසුන්නැහැගෙ පුතා එලෝන බස්සෙකේනෙ"


"ගෙදර කවුද ඉන්නෙ?"


"මල්ලියි නංගියි ඉන්නව තව"


"ඉස්කෝලෙ යනවද?"


"ඔව් ඌ සමහර දාස්සොලටනං යන්නෑ. මහ ඇට්ටරයෙක්. නංගි නං මොන්ටිසෝරියෙනෙ"


ඉං පස්සේ දවල් දවසෙ ගමේ සමහර පාරවල්වල ඒ මනුස්සය යන එනව කීප දෙනෙක් දැකලා තිබුනා. ටික දවසකට පස්සෙ එයා අනික් පාරවල්වල නොගිහිං එක පාරක් දිගේ විතරක් යන්න පටං ගත්තා. ඒ පාර කෙළවරේ ගෙදර තිබුණු *නිල් මාමලගෙ ගෙදර නැංදා ඇරෙන්න අනික් හැමෝම කිව්වෙ ඒ මනුස්සයට දවල් දවසෙ ඇවිදින්න පිස්සුවක් තියෙනව කියලයි.


*** මාමලගෙ ගෙදර නැන්දත් "පෙජෙට්කාරයෙක්" එක්ක ඉඳල අහුවුනා කියල හදිසි ප්‍රවුත්තියක් ගම හරහා යද්දි *** මාමලගෙ නැංදගෙ දත් දෙකකුත් අඩුවෙලා *** මාමාට බෝඩිං කාරයෙකුත් අඩුවුනා. තවදුරටත් නිහඬව ඉන්න එකේ තේරුමක් නෑ කියල ගමේ ගෑනු ලමයි තේරුං ගත්තා. නියමිත දිග පළලට හැදී වැඩුණු සෑහෙන්න ඉල්ලුමක් තියෙන ගෑනු ළමයි තමුන්ට දැනට ඉන්න "හමුදාවෙ අයියා", "ත්‍රීවිල්ලෙකේ අයියා", "කොළඹ වැඩ කරන අයියා" අතෑරලා ඩෝසරේක වැඩ තරන අයියා කෙනෙක් එක්ක එක්කහු වුනා. ඩෝසරේක පැයක කුලිය රුපියල් දහක් බව දැනගත්තු ගමං ගෙවල්වල අයගෙනුත් තිවුනු අකමැත්ත නැතිවුනා. දත් ඇන්දෙ පරහක් තියෙන, හමේ පාට ටිකක් අඩු, කොණ්ඩෙ දිග අඩු, නැටුං කරලා කකුල් දෙක ඇදවෙච්චි, කකුල්වල කඩි කකුල් වගේ ලොං තියෙන, කෙල්ලන්ට ලැබුනෙ දෙවෙනි තැන. වෙනිං අඩුවක් නැති හංදා ඒ වගේ කෙල්ලන්ට ලොරියක්, කැබ්බෙකක් එහෙම එළවන කෙනෙක් අල්ලගන්න පුළුවං උනා. ඉතුරුවෙලා හිටිය තුංවෙනි මට්ටමේ අයත් අහුවෙච්චි පළවෙනි පොජෙට්කාරයටම හා කිව්වා. 


බැම්ම බැඳල ඉවර උනහං වතුර යහමිං පිරෙන්න කියලා ඩෝසර් වලිං ජාතුවංගොඩ යායෙ වලවල් හෑරුවා. සමහර ඒවයෙ ඉල්ලං මතුවුනා. ඉස්කෝලෙ යන කොල්ලො ඒවා පිටවේල්ලට දාලා ගරාගෙන ගානක් හොයාගත්තා. සමහර ඩෝසර් කාරයොත් එයිං අමතර ගානක් හෙව්වා. ගොයිතැං කරපු කුඹුරු ටිකත් ඉවරයි කියලා අපි හීල්ලුවා. ගඟට වැටෙන දොලපාරවල්වල තැනිං තැන අඩි ගාන ලකුණු කරපු කණු හිටවුනා. එව්වායෙ මුදුනටම පිරුණත් ගමම යටවෙන්නැති බව පෙනිච්ච හිංදා මොකද්දෝ පරහක් තියෙන බව අපිට පේන්න තිබුණා. ඒ වුනාට කාටවත් ඒ ගැන කතා කරන්න ගානක් තිවුනෙ නෑ. 


පෙජෙට්ටෙකේ වැඩ අහවර උනා. සුද්දො පෙජෙට්ටෙක වහනකොට සේරම බඩුමුට්ටු ගිනි තිබ්බලු.


"කොම්පිවුටර් පෙට්ටි, කොම්පිවුටර් ටීවී එහෙම දෝයි ගාල පොලේ ගහල තැලුව"

"මේස, පුටු ගිනිතිබ්බ"


"ගිනිතියපු කඩදහි ගොඩවල්ලොලටම දැම්ම කැලිකිවුලේටර්රෙහෙම"


"කිසිම කෙනෙට්ට ගන්න දුන්නෑ කිසි දෙයක්"


පෙජෙට්ටෙකේ වැඩ කරපු අය කිව්වා.


"ඔය ඇස්සහ කටවා දෝස යන්න වෙන්නැති. ඒකනෙ ඔය කොටහලු ගෙවල්ලොල කලේ බිඳින්නෙත්"

ගුනවද්දන මාමා ඒකට හේතුව කිව්වා.


පෙජෙට්ටෙක විවුර්ත කරන්න ආවෙ "රනිම්මහත්තයා". ඔව් ඒ කියන්නෙ ඔය ඉන්න අගමැත්තුමා තමා.  මිනිස්සුන්ට පෙජෙට්ටෙක බලන්න යන්න අවට හැම ඩිපෝ එහෙකිම්ම ඇති පදං බස් ගෙනැත්දාලා තිවුනා. වෙනදට පැයකට හමාරකට සැරයක් බස් යන පාරෙ විනාඩි පහෙං පහට බස් යන්න පටං ගත්තා. පහලවත්තෙ පෙදීපයයි, මංජුලෙයයි, ගල්කොටුවෙ ආනංදෙයයි, මහෙන්දරයයි මායි පස්දෙනත් පෙජෙට්ටෙක බලන්න යන්න එක්කහු උනා. අපේ ගම යටවෙලා යන මේ වගේ සෝක දිනයක ඒ උස්සවේට මෙහෙම්මම යන්න බැරි බව අපිට කල්පනා උනා. ඒ හංදා අපි අපේ තැම්පතු ධනය එකට එක්කහු කෙරුවා. ඒ එක්කොමත් එක්ක ඝනකම ටියුලිප් කවරෙයක් දීලා මංජුලෙයව ටවුමට ඇරියා. මංජුලෙයා සෑහෙන අරපරිස්සමිං තෝරලා ගනං අඩුම එව්වයෙං පුළුවං තරං ගෙනැත් තිබුනා. මදි පාඩුවට උම්බලකඩ කෑල්ලක්, පොල් බෑයක්, රතුළූණු ගෙඩ්ඩක් එහෙම පෙදීප්ලෑ කුස්සියෙං හොයාගෙන අපි අපේ පිපාසෙ නිමාගත්තා.


මට කෙලිං යන්න පුරුදුවෙන්න කියලා ආනංදෙයා ප්‍රදීපෙයලෑ මිදුලෙ දෑකැත්තක හැඩේ ඉරක් ඇංදා. ඒක දිගේ යන්න ගිහිං මට කකුල් පැටලුනා. අපි හතර දෙනා පාරෙ තියෙන ගස්ගල් වලට පවා හිනාවෙවී මහපාරට ආවා. කොහෙන්දෝ දුර පලාතකිං ආපු බස්සෙහෙක දොරේ එල්ලුනා. පෙජෙට්පාරෙ ඉගිල්ලෙන බස්සෙකේ දොරේ හිටපු අපිට ටයිටැනික් නැවේ හොම්බෙ ඉන්න ජෝඩුවට වඩා පාවෙන ගතියක් දැනුනා. ටිකට් දෙන්න ආපු කොන්දොස්තරට අපෙං සල්ලි ඉල්ලන්න හිත හදාගන්න බැරිවුනා. එයා අපිට කිව්වෙ එක දෙයයි.


"මල්ලිලා ටිකට් නොගත්තට කමහ්නෑ. බස්සෙක පල්ලෙ වැටෙන්නනං එපා"


අපි පෙජෙට්ටෙක බලන්න ගිහිං වැස්සෙ තෙමුණලු. හමුදාවෙ අයට සැලියුට් ගැහුවලු. ආනංදෙයයි මායි ඉවුරක් පල්ලෙත් පැන්නලු. අපේ ගම ගැන ග්‍රාමාභිමානී සිංදුවක් හදලා එතනදිම ගායනා කෙරුවලු. මං පෙජෙට්ටෙක හදපු සුද්දන්ට විරුද්දව ඉංග්‍රීසියෙං කතාවකුත් පැවැත්තුවලු. දහඅට පිරිච්ච ගමං හමුදාවට ගිහිං පුළුවං තරං බෝම්බ ටිකක් ඇරගෙන පනින්න ප්ලෑන් එහෙකුත් ගැහුවලු. ගම යටවෙන්න නොදී බේරගන්න බැම්ම පුපුරුවන්න පුළුවං වෙන්න බෝම්බ තියන්න හොඳ තැනුත් ලකුණු කෙරුවලු.  එදා දවසෙ වෙන මොනව උනාද කියලා කියන්න මං දන්නැති හිංදා අදටත් මට මතක පෙජෙට්ටෙක බලන්න යන්න අපි හතර දෙනා බස්සෙකේ පුට්බෝඩ්ඩෙකට නැගපු හැටි විතරයි.


********************************************************************

අපි බලං හිටියට අපේ ගම යටවුනේ නෑ. ගඟේ වතුර මට්ටම වැඩිවුනා විතරයි. වෙනදට ලා කහ ලාටට ගලන ගඟ දැං අළු පාටයි. සමහර වෙලාවට ගඟේ වතුර ගලනවද කියලා පේන්නෙත් නෑ. ගඟේ වතුර වැඩිවුන හිංදා වැලි ගොඩදාන අයට ටිකක් වැඩ අමාරු උනා. ඒ හිංදා ඒගොල්ලෝ දිග යකඩ බටේකට පනිට්ටුවක් හයි කරලා බෝට්ටුවෙ ඉඳංම වැලි ගොඩදාන ක්‍රමයක් හදාගත්තා. හැබැයි වතුර වැඩිවෙච්ච හිංදා ගඟ දෙපැත්තෙ තියෙන තේ ඉඩං වලට නරක කාලයක් ලැබුවා. වෙනදට වඩා තේ ගස්වල දළු අඩුවුනා. සති ගානක් බලං හිටියට පස්සෙ අපේ ගම යටවෙන්න තරං විසාලෙට පෙජෙට්ටෙක හැදුනෙ නැති බව අපිට තේරුණා. 


පෙජෙට්ටෙකේ වැඩකරපු පිටගංකාරයො යන්න ගියා. *** මාමලගෙ නැංදත් එයිං එක්කෙනෙක් එක්ක පැනල ගියා. **න්ති අක්කා ගුනොවද්දන මාමවයි, හීම්මැණිකෙ නැංදවයි ආපහු මහ ගෙදරටම එලෙව්වා. මහතුං මාමත් ලැලිගේ අතෑරලා තමුංගෙ ගෙදරට ආවා. ඩෝසර්කාරයො, ලොරිකාරයො, අනික් පෙජෙට්කාරයොත් යන්න ගියා. ඒගොල්ලො එක්ක රවුං ගහපු, චිත්තර පටි බලන්න ගියපු, ගෑනු ලමයි ටිකට යන එනමං නැතිවුනා. ඒ ගොල්ලොංගෙං සමහර අය පරණ "හමුදාවෙ අයියා", "කොළඹ වැඩ කරන අයියා" එක්කම ලැහැත්ති වුනා. 


අපේ ගමෙං බිහිවෙච්චි පෙජෙට්කාරයො ටික අතරමං උනා. ගමෙං තුනෙං පංගුවකට වඩා මේසන් බාස්ලා, වඩු බාස්ලා, වෑරිං බාස්ලා, ඩැයිබරලා වෙලා තිබුණා. පෙජෙට්ටෙකෙං හම්බුවෙච්චි දෙයක් ඉතුරුකරගත්තෙ නැති හංදා ආපහු කුලී වැඩට යන්න ඒ අයට සිද්දවුනා. වෙනද තරං පඩියක් හම්බුවෙන්නෙ නැති හංදා ඒකත් මදිවෙච්චි සමහරු පෙජෙට්ටෙකේදි දැනහැඳුනුංකං හදාගත්ත විදියට කොළඹ රස්සාවල් වලට ගියා. මහතුං මාමගෙ බෑන විතරක් තමුන්ට කියල ගෙයක් හදාගෙන තිබුනා. **පාල මාමගෙ බෑනා ඩැයිබර රස්සාවෙං හොයපු සල්ලිවලිං චයිනීස් ලොරියක් ගෙනාවා. 


පුංචම්මගෙ කඩේ වෙළඳාම ආපහු ණය පොතට බැස්සා. වැඩි කලක් නොගිහිං "රොටි කුමාරි" බස්සෙකත් බඩ මැද්දෙං කරකැවෙන පොල්ලත් ඒකට අමුණපු අනික් අවයව ටිකත් කඩාගෙන මහපාර මැද්දෙ හිරවුනා. ඊළඟ සැරේ ඉඳං හමුදාවට බැඳෙන්න ඉන්න පෝලිම හැතැම්මකට වඩා දිගට තිබුණා. "හමුදාකරයින්ට" ආයිමත් ගමේ තැනක් ලැබුනා. 


සුද්දන්ට ඉන්න හදපු ගෙවල්ටික kukuleganga holiday resort බවට පත්වුනා. අපේ ගමේ තිවුනු සුද්දංගෙ ගෙවල්ටික විදුලිබල මණ්ඩලේට ගත්තා. එතනත් විදුලිබල මණ්ඩලේ සංචාරක නිවාසයක් හැදුනා.



කුකුලේගග හොලිඩේ රිසෝට්


අපේ ගමට ප්‍රජට් හන්දිය කියලා අලුතිං හන්දියක් එකතු වුනා. ඒ එක්කම පෙජෙට්ටෙකට යන පාර දිගේ ගම්මානයක් බිහිවුනා.

පෙජෙට් හංදිය



පෙජෙට්පාරෙ අග හරිය දැනටත් පාලුයි. ඒ හංදා අපේ ගමේ අය ටීවිල් පදින්න, වාහන පදින්න පුරුදු වෙන්නෙ ඒ පාරෙ. ගමෙං වහංවෙලා අඩියක් ගහන්න ඕනි උනාමත් අවශ්‍ය අඩුම කුඩුම ටීවිල්ලෙහෙක පටවං යන්නෙ පෙජෙට්පාරෙ ඉංදොල හරියට. චිත්තරපටි හෝල් එහෙකට, කාමරේකට යන්න බැරි පෙම්වතුන් ජෝඩු හදිසි කටයුතුවලට යන්නෙත් ඒ හරියට. ගමේ වෙන කොතනකවත් නැති නිදහසක් එතන තියෙනවා.


පෙජෙට්ටෙකේ නෂ්ටාවසේස විදිහට ඉතුරුවෙලා තිබුණු කහපාට ඉටි තොප්පියක් කාලයක් අපේ ආතා තියාගෙන හිටියෙ කැරෑ මණ්ඩියෙ පුවක් ගාලෙ පුවක් එක්කහු කරන්න. දැං ඒ තොප්පියවත්, ආතවත් නෑ. ප්‍රෙජෙට්ටෙක හැදෙන කාලෙ ඉපදිච්චි කිරිදරුවො දැං ඉස්කෝලෙ ඉහල පංතිවල.


තව කාලයක් ගියත් පෙජෙට් හංදිය තියෙයි. මහපාලම හදපු විදිහ ගැන ගුණවර්ධන මාමා කයිවාරු කියනව වගේ අපිත් වයසට ගිය කාලෙක පෙජෙට්ටෙක ගැන කයිවාරු ගහයි.