අද අප්ප්‍රේල් නව වැනිදා. හරිනං මේ කාලෙට හැමදාම හවසට වහින්න ඕනාය. දැං වහින්නේ මං ඔපීසියට යද්දී කුඩේ ගෙනිච්චේ
නැතොත් විතරය. ඒ වගේම අප්‍රේල් මාසේ මේ වනවිට කොහා කෑ
ගහන්න ඕනාය. කොහාට ගිය අවුරුද්දෙ කෑ ගැහූ එකටවත් තාම
වවුචරේ ගෙවා නැතුවාද කොහෙද ඌ කෑ ගහන්නේත් නැතිය. සමහර විට මේ ගමන නගර සභාව හෝ ප්‍රාදේශීය
සභාව ගානේ පීකර් බැඳපු වාහන කීපයක් ගම්වලට යවා කොහෝ නද පතුරවන්න වෙනවා ඇත. සතිඤ්ඤා නං පත්තු වෙනවා ඇසේ. ඒත් ඇහෙන්නේ මුස්ලිම් මිනිස්සුංගෙ ගෙවල්
පැත්තෙංය. ටවුමේ හරි හමං සේල් තට්ටු ටිකක්වත් නැතුවා
වගේය.
ඔය විදිහට මේ දවස් වෙනකොට වෙන්න ඕනෑ තවත් දෙයක්
වන්නේ උංචිල්ලා බැඳීමය. ටීවියෙකේ, රේඩිවේකේ, පත්තරවල ආදියේ මේකට ‘ඔන්චිල්ලා’ කියා ගාම්භීර ලෙස කියතත් සඤ්ඤක නැති
මයියොක්කා වගේ අපේ ගමට නම් මේක උංචිල්ලාවය.
ඔංචිල්ලා වර්ග ගනනාවක් තියෙනවාලු. වැල් ඔංචිල්ලා, කතුරු ඔංචිල්ලා ආදී ලෙස මේවා වර්ග කරන බව එක
දවසක් අවුරුද්දට ටීවියෙකේ තිවිච්චි සාකච්චාවක කිව්වා මට මතකයි. උංචිල්ලාවල හැටි සොබාවත්, ඒවාට ආවේනික ලක්ෂණත් තවත් ඕනෑ පදං ඒ ගැන
විස්තරත් මුලින්ම ඔන්චිල්ලාවක් බැන්ද කෙනාටත් වැඩිය හොඳට සාර සුබාවට විස්තර කරන්නට
ඔය අවුරුදු දාට ටීවියෙකේ අවුරුදු උත්සව වල “විධ්වථ් ඛථිඛා” වලට එන ආචාර්ය, මහාචාර්යවරු දනී. ඒ අය දැනටමත් ඕවාට අවශ්‍ය බේගල් ගොතමින්, එව්වා එකිනෙකට හගිස්සවන්න බැරි විදිහට
ආටෝපවත් කරමින් ඉන්නවා ඇත. නැත්තං මේ
නිවේදකයන්ට ඇසිය යුතු ප්‍රශ්ණ පාඩං කරවමින් ඉන්නවා ඇත.
වැල් ඔංචිල්ලා, කතුරු ඔංචිල්ලා ආදිය දැක නැති අය එව්වා
පෙන්නන්න කියා තමුංගේ ළමයිං වහනවල පටවාගෙන ගංවලට යන්න හිතං ඉන්නවනං අපේ ගමටනං යන්න
එපාය. ඇත්තම කියතොත් මගේ ජීවිතේටමත් හැබැහිං දැක
ඇත්තේත් කතුරු ඔංචිල්ලා දෙකකි. එව්වාත් මට
යංතං අවුරුදු හතරෙ පහේ කාලෙදිය. ඒ හංදා ඔය
වයිවාරන්න උංචිල්ලා බලනවනං හොදම තැන ටීවියෙක තමයි. වැල් ඔංචිල්ලා ගැන බැලුවොත් කැලේ තියෙන
මදුවැල්, පෝටවැල්, වේවැල්, පුස්වැල් ආදී මොකකිං හෝ වැලකිං බැදපු මොකක්ම
හෝ වැල් ඔංචිල්ලාවක් කියා එකක් තිවුනොත් ඒක වැඩි වෙලා යන්න කලිං ලීයටම මැදිලා
ගෙවිලා පදින එකාව හොස්ස කට තලාගෙන පස්සත් බිම ඇනගන්නා විදිහට කැඩී යනවා සිකුරුය. .
ඉස්කෝලෙ යන ලමයින්ට අප්‍රේල් නිවාඩුව
ලැබෙන්නේ දෙමව්පියන්ට හෝ වෙනයම් කෙනෙක්ට කියා උංචිල්ලාවක් බන්දවා ගන්නටය. අපේ ගමේ ළමයින් ඉන්නා ගෙවල් කොයිකෙත්
උංචිල්ලාවක් නොබැඳ ඒ ගෙදර වසනවා බොරුය. දවස් ගානක් හොරනෑව පිඹීමෙංද, අම්මලා එක්ක ගුස්ති ඇල්ලීමෙං හා උන්දැලාව
කොනිත්තීමෙන්ද, කනිපින්දං කීමෙන්ද, බත් නොකා ඉඳීමෙන්ද, අම්මලාගේ ලය උණුකරවාගෙන ඒ අය ලවා තාත්තලාට කියවලා උංචිල්ලාවක්
බන්දවා ගන්නට වෙනමම කුසලතාවක් අපේ ගම්වල දරුවෝ උප්පැත්තියෙංම ගෙනැත් ඇත. ගුටිදීමෙන්, බැනිල්ලෙන්, කං අනික් පැත්තට කරකැවීමෙන් හෝ උංගේ කටවල්
වහනවා බොරුය.
ටීවියෙකේ පෙන්වන ඔංචිල්ලාවන් බැදලා තියෙන්නේ
විසාල ගහක නැගියත් දෙකක් විතර උසිං හැදිලා පොලවට සමාන්තරව සෑහෙන දුරක් ගිය අත්තකය. ඒ ගහ අහලක වෙනයම් කිසිම ගහක් කොලක් නැත. ඒ වුනාට ඒ වගේ ගස් තමුංගේ ගෙදර වත්තේ තියෙන වාසනාවන්ත
ළමයිං ඉන්නේ බොහොම අඩුවෙංය. අපේ ගෙවතුවල පෙලක්
ගස්වල අතු තිබුනත් එව්වා පොලවට සමාන්තර නැත. ඒ අතු ගහෙං පිටට ඇවිල්ලා තියෙන්නේ උඩ බලා
යන්නය. ඒවායේ උංචිල්ලා බැංදොත් වෙන්නේ ගහ වටේ
කැරකෙන්න හෝ ගහේ හැපෙන්නය. හරි හමං
අත්තක් තියෙන ගහක් හොයාගත්තත් එව්වා වටේටම බාදාවල්ය. අපේ ගෙදර ‘ආත’ ගහේ උංචිල්ලාව බැංදොත් වේගෙ වැඩිවෙච්චි ගමං
කොන්ද වදින්නේ පොල් ගහේය. මායිමේ කොස්
ගහේ උංචිල්ලාව බැන්දොත් ගුන්තිලක මාමාගේ කම්බි වැටේ ඇමිනිලා ඉන්න පුලුවන. ඔය විදිහට මොනයම්ම හෝ බාදාවක් තියෙන්නේය. ඒ හංදා ඉඩ ඇති තැනක උංචිල්ලාව බදින්න ඕනෑය. අපේ ගෙදර ඒකට ගැලපෙන පලවැනි තැන කරාබු ගස්
දෙකය. කරාබු ගස් දෙකේ එක සමාන උසිං හරහට බැඳ ගන්නා
උණලීයක මගේ උංචිල්ලාව ගැට ගැසේ. කාලයක් ගිහිං එක කරාබු
ගහක් මැරුනාට පස්සේ උංචිල්ලාව එතැනිං තැඹිලි ගස් දෙකට මාරු වුනි. අඩි දොලහකට වඩා උස නැති එක ළඟ තියෙන තැඹිලි
ගස් දෙක මේ වැඩේට අපූරුය. ගඟ අද්දරින්
කපාගෙන එන අලුත් උණ ලීය ගස් දෙකේම පොල් අත්තක් කඳට හයිවෙන තැන කරුවට තියලා ලනුවකිං
තදට ගැටගැහුවාම හරස් අතට තියෙන අත්ත වෙනුවට ගන්න පුලුවන.
අපේ ගෙදර ඔය විදිහට උංචිල්ලා බඳින්න තැඹිලි ගස් තිවුනත්
අනික් ගෙවල්වල එහෙමටවත් තැනක් නැත. ඒ වගේ ගෙවල්වල පුවක් කොටං වලින් කතිර දෙකක්
හිටෝලා ඒවායේ හරහට උණලීයක් දමා හදාගන්න ඕනෑය. අපේ දැතිහුලහ නැංදගේ ගෙදර ළමයින්ට
හදාදෙන්නේ ඒ වගේ ඒවාය. පොඩි එවුං දෙන්නාට උංචිල්ලාවේ උස අඩි අටක් විතර වෙන්න ඕනෑ
හිංදා කතිර දෙකටත් මාමා අඩි අටක් උසට පුවක් කොට හතරක් කපාගෙන එන්නේය. එව්වා පොලවේ
අඩියකට වඩා යටට හිටවන්න ඕනෑය. එතකොට ඉතුරු අඩි හතකටත් අඩුවෙනි. කතිරේ හැදෙන්න කණු
දෙක ඇලේට හිටෝන හිංදා තවත් ටිකක් උස අඩු වෙන්නේය. පුවක් කොට දෙක කතිර වැටෙන තැන
තියෙන්නේ මුදුනට තවත් අඩි බාගයක්වත් පහලින්ය. අන්තිමට හරස් උණලීය එන්නේ පොලවෙ ඉඳං
යංතං අඩි හයටත් අඩු උසින්ය. උංචිල්ලාව පැදලා නැගිටිනකොට ඔලුව හරස් උණගහේ වදින ඒ
උංචිල්ලාව පැදිල්ලට වඩා ඔරලෝසු බට්ටෙක් පැදිල්ල ලෙහෙසි වන්නට පුළුවන.
දැතිහුලස් නිවසේ උංචිල්ලාව |
ඔය හරස් ලීය බැන්දායිං පස්සේ තියෙන්නේ ලණුවක් දමා
උංචිල්ලාව බැඳීමය. ඒකත් ලේසිවට කරන්න පුලුවං වැඩක් නෙවෙයි. ලණුව උණලීය වටේ
තොණ්ඩුවක් විදිහට බුරුලට ගැටගැහුවොත් උංචිල්ලාව පදිද්දී උණ ලීය වටේ ලණුව ඇතිල්ලිලා
ගෙවිලා ගිහිං කැඩෙන්න පුලුවන. ඒ හංදා උණලීයට පරන පුබ්බයිසිකල් ටෑර් දෙකක් වලලු
විදිහට දාලා ඒකට ලනුව ගැටගහන්න ඕනෑය. ඒත් එහෙම ටෑර් හැමෝටම නැති හංදා ලේසිම ක්‍රමේ
ලණුවේ දෙකොන උණලීය වටේ ලිස්සන්නෙ නැති වෙන්නම තදට ගැට ගැහිල්ලය.
උංචිල්ලා බඳින්න ගන්නේ කොහු කඹයක්ය. අපේ ගෙදර උංචිල්ලා
බඳින්නේ දුමේ තියෙන පරණ කඹයකිනි. සමහර ගෙවල්වල නයිලෝං ලණුවලිංද උංචිල්ලා බඳී.
වසන්තලෑ ගෙදර විමලසේන මාමා ගස් කපන හිංදා එයා ගාව ඕනැ හැටියේ කඹ තිබේ. එයාගෙං පරණ
කඹෙයක් ඉල්ලා ගන්නත් පුලුවන. නැත්තං හොඳ කඹෙයක් “පස්සෙ
ගෙනැත් දෙන්නං” කියා ඉල්ලා ගන්නත් පුලුවන. හැබැයි මේ ඔක්කෝටම වඩා අපූරු
ජාතියක් එක කාලෙකදී අපේ ගමට කඩා පාත් විය. ඒ ‘ගාමන්ට් පටි’ කියන රෙදි පටි
ජාතියයි. අපේ ගමේ ‘පෙජෙට්ටෙක’ හිංදා ‘බෝරවෑර්’ වසංගතේ පටං ගත්තා
වගේම මේ කියන ‘ගාමන්ට් පටි’ කියන යකාටවත් කඩන්න බැරි තරං හයිය රෙදි පටි වර්ගෙත්
රෙදි වැල් බඳින්න, වරිච්චි බිත්තිවලට මැටිපා බඳින්න, ගෝනි ගැට ගහන්න, වැටවල්
බඳින්න වගේම උංචිල්ලා බඳින්නත් යොදාගත්තා.
ගෙවල්වල ළමයින්ට වගේම ගමේ රැකියා විරහිත අතපයධාරී (ආච්චම්මා
කියන විදිහට අතපය හතර තියං වැඩප්පලක් නොකරන) තරුණ පරම්පරාවත් පොදු තැනක විසාල
උංචිල්ලාවක් බැඳගනී. පහලවත්තේ කලුමහත්තෙයාගෙ වත්ත කොනක මේ ආකාරයේ හත් අට දෙනෙක්ගෙ
උසට උංචිල්ලාවක් බැඳේ. කරේ කඹයක් නැතිව හිටි ගමන් අනුංගේ කුඹුරුවලට කඩා පනින උංකුං
මහත්තයාගේ හරක් නඩය ගමට දැනුං දෙන්නේ ඒ ආකාරයේ විසාල උංචිල්ලාවක් ගමේ කොහේ හෝ බැඳ
ඇති බවයි. ඔය විසාල උංචිල්ලාව පදින්නේ ලොකු කොල්ලන් හා වැඩිහිටි පිරිමි අය විතරකි.
උංචිල්ලාව බැන්දාට ඒකේ ඉඳගන්න ආසනයකුත් හරිහමං තියෙන්න
ඕනෑය. නැත්තං කඹේට පස්ස කැපෙන්න පුලුවන. ඒ හංදා අඩියක් ඉතර දිග පොල් පිති කෑල්ලක්
ගෙන, කඹේ දෙපොට හිරවෙන්න දෙකොනේ කට්ට දෙකක් කපා උංචිල්ලාවේ ඉඳගන්නා කොටසට තියා
ගන්න ඕනෑය. සමහරු ලේසිවට නිදාගන්නා කොට්ටය ගෙනත් ලණුවට තියා ඉඳගත්තත් උංචිල්ලාව
පාත් උනොත් කොට්ටේ දෙකොන බිම ගැවෙන්ට පුලුවන. ලණු දෙපොට දාපු උංචිල්ලා වලට දෙකොනේ
කට්ට දෙක ගානෙ කපාපු පලල ලැල්ලක්ද තියන්ට පුලුවනි.
ටීවියෙකේ පෙන්නන ආකාරයට නං උංචිල්ලාව පදින්නේ රෙද්ද
හැට්ටෙ ඇඳ, පෙති පහේ මලක් කනේ ගසාගත් හිකි හිකි ගා හිනැහෙන ගෑනු ලමයි ඉතරය. ඒවායේ එක්කෙනෙක්
ඉඳගත් විට තව දෙන්නෙක් තල්ලු කරන්නටත් තවත් රෑනක් උංචිලි වාරං කවි කියන්නටත් ඉඳී.
ඉතිං උංචිල්ලාවේ ඉඳගත් ගෑනු ලමයාට ඇත්තේ හීල් හුලං වැදි වැදී පැද්දෙන්නට පමනි.
නමුත් අපේ උංචිල්ලා පැදිල්ල මෙයිට වඩා අසරණ, පණයන සහ
අම්මලාට ත්‍රාසජනක ක්‍රමයකි. දෙතුන් දෙනෙක් හිටියොත් එක්කෙනාට වාර දහයක් හෝ
පහලොවක් ලැබේ. ඊළඟට අනික් කෙනාටය. අපිට උංචිලි වාරං කියන්නට තබා තල්ලුවක් දම්මවා
ගන්ටවත් එකෙක් හොයාගන්න අමාරුය. හැබැයි උංචිල්ලාව දෙපැත්තට පැද්දෙන වාර ගනන ගනං කර
පදින එකාගේ වාර ගනන අවසන් වෙනවත් එක්කම උංචිල්ලාවේ එල්ලීගෙන හෝ නවත්තා ඌව බිමට ඇද
දමන්නට නම් සෑහෙන පොදියක් අහල පහල හිඳී. ඒ හංදා උංචිල්ලාව තමුං විසින්ම පැදගන්නට
දැනගත යුතුය. ඒ ක්‍රමය ‘පැදුං ගැනීම’ කියා
හැඳින්වේ. බයිසිකල් පදින්න පුරුදු වෙන හැටි ලියන්න බැරුවා වගේම ‘පැදුං ගැනිල්ලත්’ ලියා පැහැදිලි කරන්න අමාරුය.
හිටගෙන පැදීමෙන් ඉක්මනින්ම උංචිල්ලාව උපරිම වේගයට සහ උපරිම උසට ගන්න පුලුවන. ඒ
එක්කම උංචිල්ලාගේ ඉඳගෙන පැදුං ගැනීමෙන් ඒ වේගය රඳවා ගන්නට පුලුවන. ඒ හංදා උංචිල්ලා පැදිල්ල සැප පහසු වැඩක් නොවන
අතර ඉහිං කනිං දාඩිය පෙරන වැඩකි. උංචිලි පදින වෙලාවට කියන්න ‘උංචිලි වාරම්’ කියා කවි තිබෙන බවට කියතත් කවි
කියන්නට ගියොත් උංචිලි පදින එකාට හුස්ම හිරවෙනවා ඇත. ඉස්කෝලේ රැස්වීමෙදිවත් කවියක්
කියන්න ඉදිරිපත් නොවන අපි උංචිලි පැදීමෙන් මිසක කවි කීමෙන් සතුටක් ලබන විදිහ
නොදනිමු. කවි කියා සතුටුවන පොඩි ලමයින් කලාතුරකින් ටෙලිනාට්ටිවල දකින්න පුලුවන. ඒ
උනත් අපේ ආච්චම්මා පුංචම්මාගේ ළමයාට කියා දුන් පද දෙකේ උංචිලි වාරමක් මට මතක ඇත.
“උංචිල්ලාවට දෙන්න නැගිච්චෝ
දෙන්නගෙ කෝලම කඩා හැලිච්චෝ”
එකෙක් උංචිල්ලා ලැල්ලේ ඉඳගෙන හිටිද්දී අනික් කෙනා ලැල්ලේ
දෙකොනිං කකුල් දෙක තියා හිටගෙන පැදිල්ල ත්‍රාසජනක ‘ඩබොල්
දමා පැදිල්ල’යි. මෙතැනදී ඉඳගෙන ඉන්නා කෙනාට මහන්සියක් නැත. හිටං ඉන්න කෙනාට
හොඳ ගනංය. ඒ වගේම වැඩිහිටියෙක් දුටුවොත් “තොපි බෙල්ල
කඩාගන්න දඟලනවද“ යනුවෙන් දිරිගන්වන වදන්ද ලැබේ.
වැඩිමහල් ගෑනු ලමයි උංචිල්ලාවක් පදින්නට එන්නේ
කලාතුරකිනි. එන්නේම නැති තරම්ය. ආවත් තමුංගේ කකුල් දෙක දික්වෙන දිහාව කෙලිං කිසිම
මනුස්ස පුලුටක් ඉන්න දෙන්නේ නැත. ඒ හංදා පොඩි ළමයින්ට උංචිල්ලාවේ අයිතිය නිතැතින්ම
අයිතිවේ. සමහර වෙලාවට ඇට්ටර ලමයි අපේ ගෙවල් වලට ආ විට උංචිල්ලාව නිසා අපට කරදරද
ඇතිවේ. ඒ ළමයි පලමුව තමුංගේ මවගේ මූණ කොනහමින් “කුහුක්
කුහුක්” ගා බොරුවට අඬන්නටත් රහසිං මොනවද කියන්නත් පටං ගනී. එවිට උංගේ අම්මා
“කට වහං ඉදහං පිට තැංඔල ආවං ඉන්න හැටි කියල
තියෙනව නේද”
කියා තමුංගේ ළමයාගේ කට මිරිකයි. ආං එතකොට ළමයා මරහඩ දී
අඬයි. මේ වෙලාවට අපෙ අම්මා එතැන්ට ඇවිත්
“මොකද
නංගියෙ ළමය අඬන්නෙ”
කියා අසයි.
“මුට මේ උංචිල්ලා පද්දන්නලු අක්කෙ. කියන්දේ
අහන්නෑනෙ ඇට්ටර කම”
එතකොට මට මහජන සම්පත
ඇදේ. අම්මා මට අණ දෙයි.
“ළමෙයො. මේ දරුවව ඩිංගක් පද්දහං
උංචිල්ලාවෙ.”
“මච බෑ.”
මං විරෝධය පළකරමි.
“ඕන්නෑ අක්කෙ. කරදර කරන්නෙ මොටදැ. මේ අපේ
එකාගෙ ඇට්ටර කමනෙ”
ඒ අම්මා තමුංගෙ ඇට්ටර ළමයා පිට වරද පටවයි. අපෙ අම්මා
එව්වා අහන්නේ නැත
“බැයිද? හා හිටහං තාත්ත ආවහං මං ඕක ගලෝල
දම්මන්න”
අම්මා මට කඩා පනී.
“නෑ නෑ පද්දනව. යං යං”
ඉතිං මට ඇට්ටරයාව උංචිල්ලාවේ පද්දන්නට සිද්ද වෙයි. තල්ලු
කිරීම නැවැත්තුවොත් ඌ මරහඩ තලන්න හදන බැවිං නොනවත්වාම තල්ලු කරන්නට වෙයි. උණ ලීය
ජරබර ගානා සද්දෙ උංචිල්ලාව කඩා වැටෙන්න යන සද්දය බවට කියා රවට්ටන්න හැදුවත්, හයියෙංම
තල්ලු කරලා බයකරන්න හැදුවත්, ඇදේට තල්ලු කරලා කැරකැවෙන්න ඇරියත් උගෙං ගැලවෙන්න
බැරිය. සිය ඇට්ටර ළමයාගෙං ගැලවුනු හිංදා උන්ගේ අම්මාද නිදහසේ වැල් වටාරං දොඩවනවා
මිසක යන්නට වගේ වගක් නැත. අන්තිමට මගේ පණ බාගෙට හිඳෙන විට උං යන්නට යන්නේ ‘ආයිත් දවසක එන්නං’ කියාගෙනය.
මෙදා ගමනත් ටීවියෙකේ අවුරුද උස්සවේදී “විධ්වථුන්” මෙසේ කියා සිටිනු ඇත.
“ගසන්ත මහත්යෝ ඔය ඔංචිල්ලාව කියන්නෙ අපේ
ශිෂ්ටාචාරයෙ මුදුං මුල. ඔංචිල්ලාවෙ කඹේ කියන්නෙ නිකංම කොහු කඹයක් නෙවෙයි. ඔය ලණු
දෙපොටිං සංකේතවත් කරන්නෙ මව් පිය දෙන්නා. ඔංචිල්ලාවෙ ඉඳගන්න ලැල්ල කියන්නෙ ඒ
දෙදෙනගෙ එකතු වීම. ආං එතනින් තමයි ඔංචිල්ලාව පදින දරුවා බිහිවන්නෙ. ඒකෙං මේ
මුලුමහත් සමාජෙට දෙන ඒ උතුම් ආදර්ශෙ මොකද්ද ගසන්ත මහත්යෝ? ඒ... තමයි..
දෙ....මව්පිය දෙන්නා නැතුව.... දරුවෙක් නැත. ඒක හංදා උංචිල්ලාව කියන්නේ අපේ පවුල.
පවුල කියන්නෙ අපේ රට. ඒ කියන්නෙ අපේ මේ උතුම් මාතෘබූමියම මේ ඔංචිල්ලාව ඇතුලෙ
තියෙනව ගසන්ත මහත්තයෝ.”
මෙව්වා අහලා ඔලුව කුරුවල් කරගන්නේ නැතුව ඒ වෙලාවේ
උංචිල්ලාවක් පදින්න කියා ඉල්ලා සිටිමි.