ඉස්සර ඉඳං මං සමහර දේවල් වලට මාස ගානක් කලිං ඉඳං ලැහැත්ති වෙනවා. ඒක අදටත් මගෙ හැටියක්. හැබැයි ඒ මං කැමතිම දේවල් වලට විතරයි. විභාග වගේ ඒවට ලැහැත්තිවීම ඒකෙ අනික් පැත්ත. හරියටම කිසි අඩුවක් පාඩුවක් නොවෙන්න ඒ අවස්ථාව උපරිමෙන් පාවිච්චි කරන්නත්, කලිං ඔය විදිහට කෙලවෙච්චි අවස්ථා නැති කරගන්නත් තමයි මං ඔය වැඩේ කරන්නෙ.
සිංහල අවුරුද්ද, වෙසක් උත්සවේ, ඇසල උත්සවේ, සමං දේවාලෙ පෙරහැර ආදී අවුරුද්දකට සැරෙයක් එන ඒවට එයිට මාස තුන හතරක් ඉඳල ලැහැත්ති වෙනව වගේම මාසෙ සීසන් එක ගන්න එක ආදී මාස් පතා යෙදෙන ඒවට දවස් විස්සකට විතර කලිං ලැහැත්ති වෙනව. ඔය ලැහැත්ති වෙනව කියන්නෙ කොටිම්ම කියතොත් ගානක් අතේ එක්කහු කරගන්න එකයි. එයිට අමතර වසයෙං ඇඳුං පැළඳුං ඕන්නං ඒවත් එක්කහු කරගන්නව.
ඔයිං වැදගත්ම වැඩේ තමයි සිංහල අවුරුද්ද. තව අවුරුද්දක් තියෙනව තමයි. ඒ ජනවාරි පලවැනිදා. එදාට නිකං කිරිබත් ඩිංගක් හදනව ඉතරයි. නෑගං යන්නෙ නෑ. අනික එදා සතියෙ දවසක්නං නිමාඩු නෑ. ඉස්කෝලෙ යන්න වෙනව. අලුත් ඇඳුං මොනවත් ඇත්තෙත් නෑ. රතිඤ්ඤ නං එකක් දෙකක් පත්තු වෙනව. නිලා, බඹර චක්කර එහෙමත් නෑනෙ. ඒ හංදා කොයියංම හැටියකිංවත් ජනවාරි පලවැන්දා අපිට අවුරුද්දක් නෙමෙයි. හැබැයි ඒකෙං මතක් කරනවා ‘තව මාස තුනක් ඉවර උනහං සිංහල අවුරුද්ද එනවා‘ කියලා.
මේ කියන්න හදන්නෙ ඒ සිංහල අවුරුද්දට ලැහැත්ති වීම ගැන. සිංහල අවුරුද්දට ගෙදරිං ඇඳුං සූට්ටෙකක් හම්බු වෙනවා. එතකොට කෑම බීමත් ඕනැ තරං. මට හම්බු වෙන්නෙ නැත්තෙ සතිඤ්ඤ, නිලා කූරු, බඹර චක්කර ඉතරයි. අවුරුද්දට සතියකට කලිංවත් ගෙදරකට සතිඤ්ඤ ගේන්න ඕන. ඒ උනාට “නිකං පුච්චල විසික් කරන්න“ සල්ලි හම්බුවෙන්නෙ නෑ.
ඔය ඉස්සරහිං තියෙන්නෙ සතිඤ්ඤ රෝල් |
මට අවුරුදු නමයක් තරම වෙනකොට සතිඤ්ඤ පත්තු කරන හැටි මං ඉගෙන ගත්තා. ඉතිං එදයිං පස්සෙ ආපු පලවෙනි සිංහල අවුරුද්දටම මට සතිඤ්ඤ ඕනැ උනා. ලොකු සතිඤ්ඤ රෝලක් රුපියල් හැත්ත පහක් විතර වෙන ඒ කාලෙ තේ දළු කඩන කෙනෙක්ට දවසෙ කුලිය රුපියල් හැට පහයි. ඉතිං සතිඤ්ඤ රෝලක් ගන්න සල්ලි කියන්නෙ දවසක කුලියටත් වැඩියි. ඔය හිංදම තාත්තගෙං කොහොමත් ගාන කපාගන්නව බොරු. ඕක ඇහුව ගමං
“මොකද්දෑ....“
කියල සද්දෙට අහනව. ඉං පස්සෙ
“ර්රතිංඤ?... හුහ්, බොට ර්රතිංඤම තමයි ගෙනැත් දෙන්න වටින්නෙ......“
ඕං ඔහොම යන පාලිය කෙලවර වෙන්නෙ සමහර වෙලාවට මගෙ කනිං අල්ලන්න පැනීමෙං. ඒ හංදා මං සල්ලි ඉල්ලුවෙ අම්මගෙං.
“අම්මෙයම්මෙ..“
“මොකදැහ්“
“මට සතිඤ්ඤ රෝලක් ඕනැ“
“අර උඹලෑ මහ එකා ඉන්නෙ ඉල්ල ගනිං“
“අනෙ ඉල්ල දෙන්නකො. මං ඉල්ලුවට දෙන්නෑ“
“කටවහං හිටහං. බොට සතිඤ්ඤ තමයි තව අඩු“
“අනෙයම්මෙ“
“පලයං යන්න. මං දර පොල්ලක් ගත්තොත් දෙනව බොට සතිඤ්ඤ“
මං එතනිං යන්න යනව. මේ ගොල්ලන්ට තමුංගෙ ලමෙය ලොකු නෑ. මට කවුරුවත් සලකන්නෑ. නැත්තං අනික් එවුං සතිඤ්ඤ පත්තු කරද්දි මං කොලපත් තඩි ගහන්නද. ඇහෙන් වැටෙන කඳුළු බිඳුව තුරුම්පුවක් ගහනව.
“ඉචාල්ලකො වං ලොගුවෙලා ජල්ලි අම්බුගොල්ල ගල්ලව සතිල්ල. වොලාඩ ඩෙල්ලෑෑෑෑ“
“තෝ ඒ ගමන ලැහැත්ති උණාද සංගුව පිඹින්න හිටහං දෙන්න මං තොට දෙකක්“
අම්ම එන පොට හොඳ නෑ. පොල්පිති පාරක් සුවර්. මං අම්මට අහු නොවෙන්න ටිකක් දුරට දුවනව. දැං වැඩේ හරියන්නෙම නැති පාටයි. ඒ හංද මං ගමටම ඇහෙන්න මරහඬ දීල අඬනව.
“ඉටාල්ල වං වොලා ලාකිඋලාං වතුල උගුලද්දෙල්ලෑ. උවල එතකොල ඉඟා ගාල්ල. තවුංගෙ ලවයිඩ්ඩ සතිල්ල සෝලග් ඇලං දෙල්ල වැලි අව්වල. හිග් හිග්.“
දෙමව්පියො ළමයි හදන්නෙ ලොකු උණහං සැලකුං ගන්න බව එතකොට මං දැනගෙන හිටියෙ. තමුන්ට වයසට ගියහං සලකන්නෙ නැතිවෙයි කියල හරි මට සතිඤ්ඤ රෝලක් ඇරං දෙයි කියල හිතං මං ගහපු අන්තිම තුරුම්පුව මට තව පොඩ්ඩෙං ඉලපත් පාරක් ඇරං දෙනව.
ඕං ඔය වෙලාවෙ තමයි මට මතක් වෙන්නෙ පුංචම්මව. ඒ කියන්නෙ අම්මගෙ බාල නංගි. මං සැරිං සැරේ එක්කහු කරන සල්ලි තියන එක තැනක් තමයි පුංචම්ම ළඟ. මාමගෙ බයිසිකලේ හෝදන්න වතුර ඇදලා දීම, ඒ කාලෙ මගෙ අලුත්ම රස්සාව වන පුංචම්මගෙ බ්ලොක්ගල් ගහන විජේසේන මාමට බදාම ගෙනැත්දීම, ආදී වැඩවලින් උපයාගන්න සල්ලි මං තියාගන්න තැං ගානක් තිවුනා. එක තැනක් තමයි පොත් අස්සට දැමීම. පොත් අස්සෙ දාන වැඩේ අසාර්ථක උනේ දවසක් දෙකක් අම්මට අහුවුන එකෙං. ඒ විදිහට එයාට අහුවුනොත් ගන්නවා. රුපියල් ලස්සයක් උනත් දවසිං ඉවර කරන්න අපෙ අම්මා හරි දස්සයි. ඩිපෝ එකේ වැඩකරන ජෝකපාල බාප්පට වඩා වැඩියෙං ආදායං තියෙන අපේ ගෙදර අය දුප්පත් ඒකලු. පොත අස්සෙ හංගන වැඩේ හරි නොගියහම මං පොතේ පිටකවරෙ බවුම්පේපර් කොලේ අස්සෙං සල්ලි දාල තියන්න පටං ගත්තා. ඒකත් පිටකවරෙ පිම්බිලා තිවිල අම්මට අහුවුනා. එයිං පස්සෙ රෙදි දාන කාඩ්බෝඩ් පෙට්ටිය යට, බිත්ති ඔරලෝසුව පිටිපස්සෙ, අල්මාරිය උඩ ආදී තැංවලත් හැංගුවට අම්මට අහුවෙනව. ගත්ත බව කියන්නෙ කවදහරි ඇහුව දාට ඉතරයි. සල්ලි සැමැන්ටිං එහෙක දාල වල දාපු ගමං කාසි මලකඩ කනව. සල්ලි කොල තෙත අල්ලල වේයො කනව. බැංකු පොතේ දැම්මොත් ආපහු ගන්න අවුරුදු දහඅට වෙනකං ඉන්න වෙනවලු. ඒ හිංද මං අන්තිමට පුංචම්ම ගාව සල්ලි තියා තියන්න ගත්තා. ඒක කාටවත් ගන්න බෑනෙ. ඉතිං මං ඔය විදිහට එක්කහු කරපු රුපියල් තිහක්ද කොහෙද එයා ළඟ තිවුනා. මං ගිහිං එයාගෙං ඒ සල්ලි ඉල්ලුවා. සතිංඤ රෝලෙං බාගෙයක්වත් ගන්න පුලුවන්නෙ.
“ඇයි දැං මාසෙකට ඉතර කලිං උඹලෑ අම්ම මගෙං ඒ සල්ලි ඉල්ලගත්තෙ උඹ ගන්න කිව්ව කියල“
“නෑ පුංචියෙ මං කිව්වෙ නෑ“
“එහෙනං උඹලගෙ අම්ම ඉල්ලගත්තෙ. මං දන්නෑ මං දුන්න“
මට මිරිස් කාපු මිනිහගෙ වගේ ඔලුව දැවිල්ලත් එක්ක ඇහිං කඳුලු පැන්නා. යකා ආවේස උණා වගේ මං ගෙදර දිව්වා.
“අම්මෙ.. පුංචි ගාව තිවිච්ච මගෙ සල්ලි ගත්තද?“
කුස්සියට කඩා පැනල මං ඇහුව.
“අනෙ මං ගත්තෙකක් නෑ“
“අර පුංචි කිව්වෙ ඉල්ලගත්ත කියල“
“ආ ඔව් ගත්ත තමයි“
අපෙ අම්මා සාක්කි නැතුව යමක් පිළිගන්නේ නැත.
“ මට ඒ සල්ලි ඕන. දැං ඕන“
“දැං දෙන්න මා ගාව නෑ.“
“මට සතිඤ්ඤ පෙට්ටියක් ගන්න ඒ සල්ලි ටික දීහාං...“
“තොට දෙනව මං සතිඤ්ඤයක් ගිනිපෙල්ලක් ඇරං. දූපිය කිව්වෙ“
අම්ම ගිනි පෙනෙල්ලක් ඇරං ලිප ගාවින් නැගිිටිනකොට මං කුස්සියෙං එලියට පැනල ඉවරයි.
එයිං පස්සෙ මගෙ ඔලුවෙ වැඩ කරන්නෙම සතිඤ්ඤ ගන්න විදිහක්. ඒ දවස්වල අප්‍රේල් මාසෙ පටං ගන්නකොටම සතිඤ්ඤ එක දෙක පත්තු වෙන්න පටං ගන්නවා. කොහොම කලත් විනාඩි දහයකට විතර සැරයක් සතිඤ්ඤ සද්දයක් ඇහෙනවමයි. එහෙම ඇහෙන වෙලාවක් ගානේ මට සතිඤ්ඤ මතක් වෙනවා. ඒත් එක්කම සල්ලි නැතිව මං පත්වෙලා තියෙන තත්වෙ මතක් වෙලා ඇඬෙනවා. ඔය විදිහට වරුවක් විතර ඇඬුවං පස්සෙ ඇඬිල්ල නතර වෙලා කේන්තිය ඉතරක් ඉතුරු වුනා. අවුරුද්ද ලබන්න දවස් තුනක් විතර තියෙනකං ගමේ පිපිරෙන හැම සතිඤ්ඤයක්ම මගේ ඔලුව ඇතුලෙත් පිපිරුවා.
දවස් ගානක් තිස්සෙ සල්ලි හොයන නොයෙක් විදි මං කල්පනා කෙරුවා. තේ ගහක දලු කඩන්නවත් උස නැති හංද කුලියට දලු කඩන්නත් යන්න බෑ. නැත්තං දවසට රුපියල් පහලොවක් දෙන්න කියලා රාලහාමි මාමගෙ දලු කඩාදෙන්න යන්න පුලුවනි. කුලී වැඩ හම්බුවෙන්නෙත් ලොකු මිනිස්සුන්ට ඉතරයි. පොඩි ළමයින්ට පුලුවං රස්සාවක් කියල තියෙන්නෙ හිඟාකෑම ඉතරයි. පොල දවසට පොලේ හිඟාකන ළමයි දෙතුං දෙනෙක්ම ඉන්නව. ඒකනං හොඳ වැඩක් තමයි. හැබැයි හිඟාකනවනං ටවුමටම යන්න ඕනි. ඒත් අපේ ගමේ අය ටවුමට යනවනෙ. එතකොට මට හිනාවෙයි. ඒ හංදා ඒ වැඩෙත් හරියන්නේ නැත. හොරකං කලොත් පව් සිද්ද වෙලා අපායෙ යන්න වෙනවා. නැත්තං මාමගෙ සල්ලි පෝස් එක තියෙන තැන මං දන්නවා. මං ගාව විකුණන්න වටිනා කියන දෙයකුත් නෑනෙ.
ඔය විදිහට කල්පනා කරගෙන කුස්සියට යද්දි තමයි මට මගෙ ඇස් දෙක නලලට එන වැඩක් උනේ. කුස්සියෙ ලිපට උඩිං තියෙන දුම් මැස්සෙ ලොකු ගෝනි දෙකකට අයිනට වෙන්න හේත්තුවෙලා තියෙන බාගෙට පිරිච්ච පරණ පොලේ ගෙනියන කවරෙ අස්සෙ තියෙන්නෙ මං ගිය ගමන එක්කහු කරාපු කෝපි ටික නෙ. අම්මට කියලා ඒක බිමට බාගන්න ඕන.
“අම්මෙ අම්මෙ“
“මොකදැ. “
අම්මගෙ කේන්තිය නිමිල වගේ
“අර කවරෙ ඇරං දෙන්නකො“
“දුම උඩ ඇදලන්නැතුව හිටහං හොද්දට දැලි වැටෙනව“
ලිපේ තියෙන හොද්ද බිමට බානකං ඉඳල අම්මට කනිපිංදං කියල මං ඒ කවරෙ බිමට බාගත්තා.
“ඉඳා තොගෙ සෙද්ද. වදේ“
ලිප ගාවිං පුටුවක් තියලා ඒකට නැගපු අම්මා මට මගෙ නිදානෙ බිමට බාලා දුන්නා. මං විගහට කවරෙ ඇරං මිදුලට ගියා. මාසගානක් තිස්සෙ කවරෙ පුරා බැඳිච්ච දැළි දුඹුලු සේරම මගෙ ඇඟේ ගැවෙද්දි කරකුට්ටං වෙන්න වේලිච්ච කෝපි ඇට අස්සෙ ඉඳල කරදලි හතර පස් දෙනෙක් පැනල ගියා. දැං තියෙන්නෙ මේක කොටාගන්න එකයි.
“අම්මෙ මට මේක කොටල පොලල දෙන්නකො“
“මට දැම්බෑ.“
“අනෙයම්මෙ“
ඔය විදිහට දවසම කනිපිංදං කියලා, අඩලා, බැනුං අහලා පහුවදා වෙනකොට අම්ම ලව්වා මගෙ කෝපි ටික කොටවාගෙන, කුල්ලෙං පොලලා පොතු අයිං කරවාගෙන එකලාසයක් කරගන්න පුලුවං උනා. පුංචි කුරුමිණියො වගේ කෝපි ඇට ටික සොපිං කවරෙකට දාලා ගැටගහලා වැඩි පරිස්සමට ඒ ටික පොලේ ගිනියන බෑක්කෙකට දාලා තිව්වා. ගොම මැටිගෑ පොලොවෙ එලාපු පැදුරෙ නිදාගෙන ඉන්දැද්දි කෝපි කවරෙ මගෙ දකුණු පැත්තෙ අතදිග මානෙං හිටියා.
පහුවදා උදේ දහය වෙද්දි මං ඉස්කෝලෙ අඳින නිල්පාට කොට කලිසමයි, සුදු කමිසෙයි ඇඳගෙන ඉස්කෝලෙ යද්දි දාන සෙරෙප්පු දෙකත් දාගෙන මගෙ කෝපි මල්ලත් ඇරං නිකගොඩ හංදියට ගියා. එතැනිං බස්සෙකට නැගලා කොන්දොස්තරට එකයි සත විසිපහක් දුන්නා.
“මානාන්ට බාගෙයක්“
“බාගෙයක්?“
කොන්දොස්තරට සැකයි.
“ඔය ලමයට වයස කී්‍යද?“
“අවුරුදු නමෙයයි“
කොන්දොස්තරට ඒකත් සැකයි. එයාගෙ හිතේ මං බොරු කියනව කියල.
“ඉස්කෝලෙ කීයෙද?“
පස්ස පැත්ත සීට්ටෙකේ පොල්ලට හේත්තු කරගෙන එයා මගෙං ඇහුවා.
“හතර ඒ පංතියෙ. නිලංති මිස්ගෙ පංතියෙ“
කොන්දොස්තර මට ටිකැට්ටෙක දුන්නා.
මානානෙ ඔරලෝසු කනුව ගාවිං බැහැලා බැලුවහම මුලිංම තියෙන්නෙ පැසං සුනිල්ගෙ කඩේ. ඒක ඉස්සරහ ලොකුවට ලියල තියෙනව.
කසුන්
ට්‍රේඩර්ස්
කෝපි, කරුංකා, කුරුඳු,
ගම්මිරිස්, පැෂන් ආදී දේශීය ද්‍රව්‍ය වැඩිම මිලට ගනු
ලැබේ.
කොණ්ඩෙ කැරලි තියෙන මනුස්සයෙක් ඒ කඩේ ඉස්සරහ මේසෙ ගාවිං පුටුවක් තියාගෙන ඉඳං ඉන්නවා. මං මගෙ බෑක්කෙකත් ඇරං එයා ගාවට ගියා.
“කෝපි සල්ලිඔලට ගන්නවද?“
එයා මගෙ දිහා බැලුවා.
“ඔව් ගන්නව. කෝ ගෙනාවද?“
“ඔව්. මේ“
මං මගෙ කවරෙ දෑතිංම එයාගෙ අතට දුන්නා. එයා මගෙ මූනත් කවරෙ දිහාත් දෙපාරක් ඉතර බැලුවා.
“කොහෙංද මේ?“
“මගෙ. අපේ ගෙදර තීච්ච.“
එයා පොලේ ගිනියන කවරෙං සොපිං කවරෙ එලියට ඇරං ඒකත් ලිහලා කෝපි ඇට අහුරක් අතට අරං බැලුවා. මෙයාට සැකයි වගේ මාව හොරෙක් කියලා පොලිසියට අල්ලල දෙයිද දන්නෑ. එතකොට සතිඤ්ඤා ගන්න වෙන්නෑ. ඊට කලිං කට අරින්න ඕනැ.
“හොරකං කරපුව නෙමෙයි. මං කඩාපු ඒව. අපේ තේ කෑල්ලෙ ගස් අටක්ම තියෙනව“
එයා රැවුල දෙපැත්තට යන්න හිනාවෙලා කෝපි කවරෙ තරාදියෙ එල්ලුවා. මට හරියට මතක නැතත් කිලෝ එකක් හෝ දෙකකට වඩා ටිකක් වැඩියෙන් තියෙන්න ඇති.
“කිලෝ ***යි දෙසිය පනහක් විතර තියෙනව. ඇයි චුට්ටක් ගෙනාවෙ.“
“ඔච්චරයි තිවුනෙ.“
එයා සොපිං කවරෙ එක්කම කෝපි ටික ඇරං තියාගත්තා. ඊළඟට ලොකු කැල්කිවුලේටරයක් ඇරං ඒකෙං ගානක් හැදුවා. ලාච්චුවට අත දාලා සල්ලි ගත්තා.
“හැත්ත දෙකයි ගාන. මෙතන අසූවක්ම තියෙනවා. අවුරුද්දට මගෙ ගානෙ. පරිස්සං කරගන්න. සල්ලි හලාගන්නෙහෙම එපා.“
මං අත් දෙකෙම්ම සල්ලි ගත්තා.
“මොකටද මේ සල්ලි“
එයා මගෙං ඇහුවා.
“සතිඤ්ඤා රෝලක් ගන්න“
එයා ආයි පාරක් රැවුල දෙපැත්තට යන්න හිනා වෙලා මේසෙ උඩ තිවිච්චි සතිඤ්ඤ පෙට්ටි බන්ඩලෙං සතිඤ්ඤ පෙට්ටියක් ඇදල ගත්තා. එයිං එකක් ඒ කාලෙ රුපියල් දාහතරක් වෙනව.
“ආ... පුතා මේක ඇරං යන්න මගෙ ගානෙ අවුරුද්දට පත්තු කරන්න. “
![]() |
සතිඤ්ඤ පෙට්ටියක් |
මං ඒක දෑතිම්ම ඇරං කෝපි ගෙනාපු කවරෙ අස්සට දාගත්තා. අවුරුද්දට තෑගි දුන්නම වඳින්න ඕනි. ඒ හංදා එයාට දනගහලා වැඳලා මං කඩෙං එලියට බැස්සා. සන්තෝසෙට පොරොන්දුවකුත් එක්ක.
“ඊළඟ පාර කෝපි කැඩුවහං ඇරං එන්නං මාමේ“
මං සතිඤ්ඤ රෝලකුයි, නිලාකූරු පෙට්ටියකුයි අරං මානානෙං බස්සෙකට නැග්ගෙ හිතපුරා සතුටෙං. ඒ අවුරුද්දෙ අන්තිමටම සතිඤ්ඤ ඉවර උනේ මගෙ. පැසං සුනිල් මාමා දීපු සතිඤ්ඤ පෙට්ටියම මං අවුරුදු නැකතට පත්තු කෙරුවා. එදා මං වැදගත් පාඩමක් ඉගෙන ගත්තා. සල්ලි එකතු කරන ලේසිම ක්‍රමය කෝපි, කරුංකා වගේ ජාති එකතු කරලා තියාගැනීම. නිතරම පේන හිංදා කාටවත් හොරෙං ගන්න බෑ. ඕන වෙලාවට විකුණලා සල්ලි ගන්න පුලුවං.
පොරොන්දු වෙච්ච විදිහටම හැම අවුරුද්දෙම මං එක්කහු කරපු කෝපි, කරුංකා සේරම මං දුන්නෙ පැසං සුනිල් මාමාට.
![]() |
Google Street View එකෙන් පැසං සුනිල් මාමාගෙ කඩේ |
අවුරුදු විස්සකට පස්සෙ මට මතක් වෙච්චි ගමං මං එයාගෙ කඩේ දිහා බැලුවා. Google Street View එකෙං. එදා පෝසත්ව හිටපු මනුස්සයා අද කෙහෙකනක්, පොල් ටිකක්, ගස්ලබු ගෙඩ්ඩක් විකුණ තත්වෙට වැටිලද? මේ ගමන ගමේ යමිං ගමං බලන්න ඕනැ.
පුංචි කාලෙ රතිඥ්ඥ වලට හෙණම කැමතියි..
ReplyDeleteදැං එච්චර ආසාවක් නෑ.. අම්ම මට බැණල බලෙන්ම තමයි නැකැත් වෙලාවට රතිඥ්ඤ දම්මවන්නෙ
ගිනිපෙනෙල්ල උඩින් රතිඤ්ඤාවෙ නැට්ට හිටින්න තියලා දුවන්නයි තියෙන්නේ.
Deleteඅපිත් ඔය ගේමම දුන්නා නත්තලට.. අපේ පැත්තේ කොලු කුරොට්ටො නඩයක් හිටියා, උන් ඔට්‍ටුවට රතිඤ්ඥා දාන්නෙ. එහෙන් එකක් දැම්මම, මෙහෙනුත් එකක් නොදැම්මොත් වස නිංගිරාවයි...
ReplyDeleteඅපිටනම් සල්ලි හම්බ කරන්න හොඳ ක්‍රමයක් තිබුනා.. අම්මා ලක්සලට දැම්මා පන්වලින් හදන කාර්පට්.. ඒවා මහන්න පටි ගොතලා දීපුවම අම්මා අපිට දුන්නා යාරෙට සත පහක් ඒ දවස්වල.. අපි ඕවා යාර ගනන් ගොතලා පොත්වල ලියාගෙන ඉඳලා නත්තල කිට්‍ටුව ඕඩර් එකක් ගියාම සල්ලි ඉල්ල ගත්තා පුච්චන්න...
අර මනුස්සයා අද දියුණු වෙලා නැත්නම් ඒකෙ මහ පුදුමයක් නෑ... මිනිහා හිත හොඳ කෙනෙක් පාටයි...
පොඩි ලමයින්ටත් ගනුදෙනු කරන්න පුලුවන් බැංකු ගිණුම් තිබුනානං, පොඩි ලමයින්ටත් කරන්න රස්සාවල් තිබුනානං මරු. එහෙනම් මාත් ඉස්කොලේ යද්දිම සල්ලිකාරයෙක්.
Deleteඕක මටත් ඔය විදියටම හිතිලා තියෙනවා බං. මටත් මාර ඔලුවක් තිබුණා ගනුදෙනු වලට හෙනම පොඩි කාලෙදිත්.
Deleteඒකට කියන්නෙ සහජ වානිජ බුද්ධිය.
Deleteමමත් බිස්නස් කලානේ බොලේ.. වැඩිය නැහැ තුනේ පංතියේදී.. අම්මෝ එහෙම නොලැබෙන එක ගැන මම සන්තෝස වෙනවා. නැත්තම් මේ වෙනකොට මම මොකෙක් වෙලා ඉඳීද දන්නේ නැහැ.
Deleteදැන් පුළුවන් නේද?
Deleteඅන්තිමටනං ඇස්දෙකට කඳුලු ආව ශ්‍රංගයො. වැඩියෙංම අර පැසං සුනිල් මාම බොට දක්වපු කරුණාවට.
ReplyDeleteමට පේන්නෙ සුනිල් මාම පිත්තල බිස්නස් එකට බැහැල වගෙයි.
"අන්තිමටනං ඇස්දෙකට කඳුලු ආව ශ්‍රංගයො. වැඩියෙංම අර පැසං සුනිල් මාම බොට දක්වපු කරුණාවට."
Deleteමටත්.
ඔය මනුස්සය නොමිලේ පැල ලක්ශයක් බෙදන ව්‍යාපෘතියක් එහෙමත් කලා. එක ගමනක් ස්වාධීන පක්ෂයක් හදාගෙන චන්දෙත් ඉල්ලුවා. හොඳ මනුස්සයෙක්. අපේ ගංවලට ඕනෑ චන්ඩි මිසක් මිනිස්සු නෙවෙයිනේ
Deleteසමහර විට ඡන්දෙ නිසාම බංකොළොත් උනාද දන්නෑ?
Deleteසිරාවට ඒ මාම පොඩි දරුවෙක්ට දක්වපු කරුණාව නං උඹෙ කාන්තාරයක් වගේ වියළි ලිපියෙ අග තිබ්බ ක්ෂේම භූමියක් වගේ. ඒ කාලෙ සමහර මුදලාලිල හිටිය බං ඔය වගේ.
ඕකෙං කියවෙන්නෙ අපේ ගම් පළාත්වල මහජනයාගේ ආහාර සහ අධ්‍යාපන මට්ටම.
Delete"නිමාඩු"
ReplyDelete-අපේ පැත්තෙත් (කෑගල්ලෙ) නිවාඩු වලට කියන්නෙ නිමාඩු කියල
ඕක ඉස්කෝලේ පොඩි පන්ති වලදි හැදිච්ච නමක් . කටවහරෙං එනවා
Deleteඔන්න අපිත් ආවා....
ReplyDeleteකියවගෙන යන කොට සංවේදී උනා... අද නම් ළමයිට ඔහොම අඬන්න ඕනේ නැ... ඉල්ලන දේවල් ඉක්මනින් ලැබෙනවානේ...
සංතින්ඥා වලට තාමත් ඒ වගේ කැමතිද යාන්???
පැසන් සුනිල් මාමා බලන්න ගියොත් ඒ කතාවත් ලියන්න.
ආවට පිං සිද්ද වෙනවා . දැං රතිඤ්ඤා ගේන්නෑ. අපේ ටිකිරි බයයි.
Deleteපැසන් සුනිල් මාමා බලන්න ගියොත් ඒකත් ලියන්න....
Deleteගමේ යතොත් අනිවාරෙං යනව. මේ ගමන ගමේ යතොත් දත් ඉතරක් නෙමෙයි විදුරුමහත් ඉවර වෙනව. සා.පෙ පාස්වෙච්චි ලමින්ගෙ රැස් විහිදන පාටිවලට හිටං ආරාධනා. දැංකාලෙ ලමින්ට දහක්කත් වටින තෑග්ගක් දෙන්නත් එපෑ.
Deleteමුලින්ම මාතෘකාව දැක්ක ගමන් මම කල්පනා කළා කොපි වලයි රතිඤ්ඤා වලයි තියන සම්බන්ධෙ. ඇයි ඒක නිකම් බටර් කේක් සහ කිරිහොදි වගේ නේ.. කතාව කියෙව්වම තමයි තේරුනේ.
ReplyDeleteමේ කතාව කියවද්දී දැනුනු දේවල් ලැයිස්තුගත කලොත්,
දුකක් දැනුන, අමාරුවෙන් හරි හම්බ කරල එකතු කරපු සල්ලි අම්ම ගනිපු එකට
තරහක් දැනුන, පුංචි ළඟ තිබුණු සල්ලි ඉල්ලගනිපු එකට
අනුකම්පාවක් දැනුන, අම්ම කෝපි ටික පොලල කොටල දෙන්න මහන්සි උනු එකට (අපේ අම්මත් වත්තෙ හැදෙන කෝපි ඔය වගේම කොටල, ගෙදර අපට බොන්න කෝපි හදනවා. මට මේක කියවද්දී අපේ අම්මව මතක් උනා)
පුදුමයක් දැනුන, බස් කොන්දොස්තර වයස ගැන හොයන තරමට
සතුටක් දැනුන, කෝපි වලට හොඳ මිලක් ලැබුණු එකට
ලොකු සතුටක් දැනුන, රතිඤ්ඤ පෙට්ටියක් නොමිලේම ලැබුණු එකට
සැකයක් දැනුන, සුරංග තුමා ඒ කාලේ පොඩි ළමයෙක් නිසා, මුදලාලි බොරුවක් වත් කලාද දන්නේ නැහැ කියල.. ඊට වඩා වටින කෝපි ටිකක් ද දන්නේ නැහැ නේ අඩු මුදලට ගත්තෙ කියලත් හිතුන.
කොහොමින් හරි කමක් නෑ, ආපස්සට හැරිල ජීවිතේ දිහා බලද්දි, හොරකමක් වංචාවක් නොකර, දහසක් අසාධාරනකම් වලට ලක් වී උනත්, ඔබ ආ දුර ගැන හිතනකොට, ඒ දුකට තරහට සැකයට හා පුදුමයට හේතු වූ දේ ගැන උනත් සතුටින් අනුකම්පාවෙන් බලන්න පුළුවන්, මට හිතෙන විදියට.
අම්ම ඒ සල්ලි ගත්ත එකේ වන්දිය විදිහට කෝපි කොටල හිත හදාගන්න ඇති කියලා මට හිතුනා
Deleteමමනං ඔය සමහර එවුවො පෝස්ට් එකට දාල තියෙන මාතෘකා කීයටවත් කියවන්නෙ නෑ. හැක්..
Deleteඒක් මානවිකා- සෑහෙන දිගට විචාරයක් ලියා තිබීම ගැන ස්තූතියි. සමහර අය ඉන්නවා යමක් කියල දීල ඒත්තුගන්නන්න බැරි අය. ආං ඒ වගේ හිතුවක්කාර චරිතයක් තමයි අපෙ අම්මා. අපි පොඩිකාලෙ අපේ ගමේ ළමයෙක් වෙනව කියන්නෙ අමූලික දුකක් තමා. මොනව කරන්නද? මං මෙව්ව ලියන්නෙ වෙනිං ළමයෙක්ට මේක නොවෙන්න අනික් අයගෙ ඇස් ඇරෙන්න විතරයි.
Deleteගසේ- ඒ ගොල්ලංට දුක හිතෙනවා බොහොම අඩුයි. ඒක පුදුම සමාජයක්. කාටවත් ඒක තේරුංගන්න බෑ.
පෙසන්න- මාතෘකාවෙ තියෙන දේ ලියවෙන්නෙත් අඩුවෙන්නෙව.
මගෙත් ශිෂ්‍යත්වෙ රු 70 ගන්න අප්පච්චි ඉස්කෝලෙට ගිහින් ගෙදර එනකොට බාගයක් බුරුව ගහල පැරදිල එන්නෙ.
ReplyDeleteමම පොත් ගන්න , සීසන් ගන්න ඉල්ලනකොට "මොන සුල්ලියක්ද ගස් වලින් කඩනවද බොලව්" කියල ඇඟට එනවා.
මටත් ශ්‍රංගට වගේ ලියන්න ටැලන්ට් එකක් තියෙනවනම්... ඔයිට වඩා දේවල් තියෙනව ලියන්න.
මේ කමෙන්ට් එකේ හැටියටනම් ලියන්න ටැලන්ට් එකක් තියනවා වගේ...පුළුවන් හැටියකට පටන් ගත්තොත් මොකද ?
Deleteඅර කියුවත් වගේ බං අනේ ලියහං , එය ලියල තියෙන්නේ අපුරුවට , මම ලියන්ඩ පටන් ගන්නකොට ...අටම්පහුර කියල ලියාගන්ඩත් බැ , ඒක මං ලියුවේ ...අර්‍ටම්පහුර කියල ..සෙන්නා උඹට මතකද මම බ්ලොග් එකේ නම ඒ විදිහට ලියල තිබුනා
Deleteආයෙත් අහලා...මට හොඳට මතකයි අටමෝ...
Deleteඇනෝ... ඔයා ලියපු කමෙන්ට් එකේ හැටියට ඔයාට ලියන්න බැරි වෙන්න බැහැ.. මෙතන කව්රුත් ව්‍යාකරණ වලට ලකුණු කපන්නෙත් නැහැ වැරදුනාට හිනා වෙන්නෙත් නැහැ.. මේක බොහොම නිදහස් අවකාශයක්..ලොක්කොත් නැහැ පොඩ්ඩොත් නැහැ.. ඒ හින්ද පුළුවන් විදිහකට ලියල මේ නොමිලේ ලැබෙන වින්දනය ලෝභ නැතුව විඳගන්න.. අපේ අටම ඇතුළු සින්ඩි වලින් ඔයා ලියන එව්වා ලෝකේ පුරා කියවන අය අතරේ නොමිලේ බෙදා දේයි කිසිම කුහක කමක් නැතුව..
Deleteඇනෝ,
Deleteමෙතන ටැලන්ට් තියාගෙන ලියන්න පටං ගත්ත අය ඉන්නෙ බොහොම සුලු දෙනෙක් විතරයි. අනික තමං ලියන දේ රසවත්නං කියවන්න ඕන තරං කට්ටිය ඉඳී. බ්ලොග් ලෝකෙ ලොකු පොඩි, උස් මිටිකම් නෑ. අම්බලං කියල තියෙනව වගේ වැරදුනාට හිනාවෙන කට්ටිය නෑ. අනික ලියන්න පටංගත්තොත් උදව් වෙන්නත් මෙතන ඕන තරං කට්ටිය ඉන්නව. ඒ හින්ද බය නැතුව ලියන්න පටංගමු.
-ජය-
ඒත් මොකටද මං මගේ හිඟනකම ලෝකෙට කියන්නෙ කියලත් හිතෙනවා.
Deleteඇනෝ- ලියනවනං ඔය ලියා තියෙන විදිහ හොඳටම ඇති. ඔයාට ඕනිනං අන්වර්ත නමකිං ඉඳං ලියන්නත් පුලුවං. එතකොට සම්මානයක් එහෙම හම්බවුනොත් වෙස්මූනක් දාං හරි ඇහිල්ල ගන්න බැරියැ. නැද්ද?
Deleteඔයාගෙ ඔය ‘හිඟනකම‘ කියලා ඔයාම කියාගන්න මොකක් හරි දේට හිනාවෙයි කියලා හිතං ඉන්න ලෝකෙත් මේ බ්ලොග් කියවන ලෝකෙ ඉන්න එවුනුත් වෙනස්. ඉස්කෝලෙ උසස්පෙල පන්තියෙ එකාගෙ පටං රැකියාවෙන් විශ්‍රාම ගිය මනුස්සයා දක්වාත්, දවසට රුපියල් පන්සීයට වැඩ කරන එකාගෙ පටං සමාගම් අයිති මිලියනපතියා දක්වාත් එකාට එකා ‘මචං‘ කියාගෙන ඉන්න මේ බ්ලොග් ලෝකෙ ඇතුලෙ එවුන්නං ඔයාට හිනාවෙන්නෙ නෑ. ඒක මට සහතිකයි.
ඇනෝ, අපි හැමෝ මොනයම්ම දේකින් හරි හිගන්නෝ තමා.
Deleteඉතින් පටන් ගමු....
ඕනිනම් බොගත් අටෝල දෙන්නම් ඇනෝ... ඕනි සප් එකක් දෙන්නම්...
Deleteසුරංග විදපු කටුක ළමා කාලය තමයි දැන් අපි රසට කියවන්නෙ, ඇනෝ බය නැතිව ලියන්න
Deleteඇනෝ,
Deleteසමහර බ්ලොග් වල ශෛලි අපි අමාරුවෙං කියවන්නෙ. එහෙවි එකේ ඔයාට ඒ බාධාව නැති වෙයි. ඒක එක කමෙන්ට් එකෙම්ම තේරෙනව. අපි කවුරුවත් රත්තරං හැන්ද කටේ ගහං ඉපදිච්ච එවුං නෙවෙයි. ඒකයි සුරංගය වටේ අපි එකා වගේ එකතු වෙන්නෙ.
මං කියන්නෙ නං ලියන්ඩ...!
ඇනෝ
Deleteඅඩෝ. ලියල අහුවෙන්නෙපා හරිද? අටං අයියයි, මාතලං අයියයි දෙන්න බෝව එල්ලයි ගිහිං සින්ඩියෙ.
ලියමු ලියමු ඇනෝ....මමත් ආවේ බ්ලොගක් අටව ගන්නත් බැරුව..හැමෝම උදවු කරනවා....
Deleteගස්ලබ්බා ජයටම රතිඤ්ඤා පත්තු කලේ එක අවුරුද්දක් රිකිල්ලගස්කඩ නෑයෙකුගෙ ගෙදර අවුරුද්ද ගත කරපු කාලෙ.මව් පිය දෙපාර්ශවේම රජයේ රැකියා කොරපු නිසා අපට කවුරුත් රතිඤ්ඤා දුන්නෙ නෑ.ඒත් ඒ කාලෙ පොඩිම රතිඤ්ඤා පෙට්ටියක් කියන්නෙත් මහ මෙරක් වගේ වටින දෙයක් වෙලා තිබුනෙ.. අල්ල නං ඉල්ලල ඇඬුව මතකයි.
ReplyDeleteකොහොම වෙතත් ගෙදර ඇති කරපු බල්ලා චූ යන තරමට රතිඤ්ඤා සද්දෙට බය නිසාත්,සපයා ගැනීමේ ගැටලුව නිසාත් ගස්ලබ්බා ඕකට එච්චර ප්‍රිය කලේ නෑ..
උඹ පුළුවන් නම් අවුරුද්දට මුදලාලි මහත්තයා හම්බෙන්න යමන්.එයාට ජීවිතේ ලස්සනම අවුරුද්ද උදාකරන අවුරුදු කුමාරයා උඹ වෙයි.
එතුමාට ආචාරය.
ජයවේවා..!!
//අවුරුද්දට මුදලාලි මහත්තයා හම්බෙන්න යමන්.එයාට ජීවිතේ ලස්සනම අවුරුද්ද උදාකරන අවුරුදු කුමාරයා උඹ වෙයි.//
Deleteඑකෙන්ම.
මේ ගමන අවුරුද්දට ගමේ යන්නෑ කියල හිතං ඉන්නෙ. පුලුහං උනොත් යනවා. එතකොට මේ මුදලාලි හම්බෙන්න යන්න ඕන.
Deleteඅද නම් හිනා ගියේ නෑ බං... ඇස් වල තෙත ගතිය වැඩි වෙලා... ඇඟ ඇතුලේ මොකක්ද වෙලා ගියා... මේ පාර අවුරුද්දට පලයන් තෑග්ගකුත් අරගෙන.... මේ කතාවත් මුදලාලිට කියපන්...
ReplyDelete// දෙමව්පියො ළමයි හදන්නෙ ලොකු උණහං සැලකුං ගන්න බව එතකොට මං දැනගෙන හිටියෙ. තමුන්ට වයසට ගියහං සලකන්නෙ නැතිවෙයි කියල හරි මට සතිඤ්ඤ රෝලක් ඇරං දෙයි කියල හිතං මං ගහපු අන්තිම තුරුම්පුව මට තව පොඩ්ඩෙං ඉලපත් පාරක් ඇරං දෙනව.//
ආයි ගම පැත්තෙ ගිය දවසක යන්න ඕනැ. ඔය මං කියාපු කතාව බොරුද? දෙමව්පියො ළමයි හදන්නෙ තමුංගෙ හිතේ තියෙන හීන හැබෑ කරගන්නයි වයසට ගියාම සැලකුං ගන්නයි නේද? ඒකනෙ අනුංගෙ ළමයින්ට, අනාථ නිවාසවල ඉන්න ළමයින්ට එහෙම නොසලකා තමුංගෙ එකාටම විතරක් සලකන්නෙ.
Delete/දෙමව්පියො ළමයි හදන්නෙ තමුංගෙ හිතේ තියෙන හීන හැබෑ කරගන්නයි වයසට ගියාම සැලකුං ගන්නයි නේද? ඒකනෙ අනුංගෙ ළමයින්ට, අනාථ නිවාසවල ඉන්න ළමයින්ට එහෙම නොසලකා තමුංගෙ එකාටම විතරක් සලකන්නෙ./
Delete+++++++++++
මේ ඇත්ත සමාජගත කරන්න ගියොත් මගෙ බෙල්ලත් හිල් කරයි හැට්ට කට්ටෙං.
Deleteඅප්පේ උඹ රතිඤ්ඤයක් පත්තු කරන්න විඳලා තියන දුකක්.
ReplyDeleteඉස්සර අවුරුදු කිට්ටු වෙනකොට රතිඤ්ඤ පත්තු කරන්න පටන් ගන්නේ මාර්තු මාසේ ඉදලමයි. ඉස්සර වගේ දැන් ඕවා ගානක් නැති වෙලයි තියෙන්නේ බං.
ඒකනෙ කියන්නෙ. මනෝ මං මේ අහන්නෙ ඔය රතිඤ්ඤ පත්තු කරන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්, පේස්බුක් ගේමක් වගේ හැදුවොත්නං කට්ටිය රතිඤ්ඤ පත්තු කරයි.
Deleteමේක නම් කියවලා සතුටුවෙන්න පුළුවන් කතාවක් නෙවි. පුංචි දඩබ්බර කොලු ගැටයෙක්ගේ ධෛර්යමත් බවයි මට පෙනුනේ. තමන්ට අවශ්‍ය දේ යහපත් ආකාරයෙන් ලබා ගැනීමට ගත් උත්සාහය.ඒවා අතිවිශිෂ්ටයි. අවුරුද්දටවත් කිසිම දවසකවත් මං රතිඤ්ඤා පත්තු කරන්නේ නැත. අපේ ගෙදර ඉන්න බල්ලො දෙන්නයි පූස් මල්ලිියි ආතක් පාතක් නැතිව අසරණ වෙලා ඉන්නවා බලන්න බැරි නිසාවෙන්.
ReplyDeleteඒක ඇත්ත. ඔය සත්තුන්ට රතිඤ්ඤ සද්දෙ හරිම අගුනයි. අපේ මාම ගාව හිටපු පැටියා කියන බල්ලත් අවුරුදු දවස් ටිකට ඉන්නෙ දොරමුල්ලෙ. ඔය හංදම අපේ ටිකිරි ගැන හිතලා මාත් ‘රතිකද්කදා‘ ගේන්නෑ.
Deleteයාංං. මං මේ පෝස්ට් එක මූණු පොතට අදිනවා.
ReplyDeleteමං මේ ලියන ඕනම එකක් ඕන තැනක ගිහිං පෙන්නන්න, ප්‍රසිද්ධ කරන්න යාංහෑල්ලේ උරුමකරුවන් වන සියළු කියවන්නන්ට අයිතිය තිිබේ. මට කිය කියා ඉන්න ඕනෑ නෑ.
Deleteසුරංගගෙ එක කතාවෙං, සුජීගෙ කණ්නාඩි දෙක ගැළවිලා...
Deleteඇත්ත කියතොත් මං හිතං හිටියෙ මේ ‘සුජීව අබේගුණවර්ධන‘ කියන්නෙ ගැටයෙක් කියලා. මං කීප විටක් මචං කියලා හිට තියෙයි. පස්සෙනෙ දන්නෙ ‘ගෑල්ලමෙක්‘ කියලා. පරණ කොමෙන්ට් මකන්නයැ ඉතිිං
Deleteමාත් හිතං හිටියෙ සුවිට් මල්ලියෙක් කියල. පස්සෙ සුජියට ඒක තේරිලාද කොහෙද, මයෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා, යටිං සිංහලෙං ලියල තිබ්බ, "අජීවී සුජීවා ඇබේ ගුණවර්ධන" කියල.
Deleteඅපිට කෝපි තිබ්බෙත් නෑ.. සුනිල් මාමලා හිටියෙත් නෑ.. :(
ReplyDeleteඅනේද කියන්නේ , අපි මුට වැඩිය පව්
Deleteකලනෙ, ඒ උනාට උඹලට රතිඤ්ඤ තිබුණනෙ. හැක්.. හැක්..
Deleteඅටමා.. සිරාවට බං.. මට අදටත් රතිඤ්ඤා පත්තු කරන්න (සල්ලි පුච්චන්න) හිතෙන්නේ නෑ.. ඒත් පොඩි උන් ඉල්ලන තරමක් අරන් දෙනවා ගෙදර උන්දෑගෙන් බැනුම් අහ අහ.. ඇරියස් කවර කරන්න.
Deleteහිටිං අටං අයියෙ මං ලබන සැරේට කෝපි ටිකකුයි, සුනිල් මාමෙකුයි හොයල කුරිඤ්ඤං සේවිස් එකකිං එවන්නං බොලයි අහට. කලන මිතුරුට නං ගෙදෙට්ටම ගෙහුං දෙන්න බැරියැ.
Deleteඇත්තටම බං අපි පොඩි එවුන්ට දේවල් අරං දෙන්නෙ ගොඩක් වෙලාවට අපිට නොතිබුන ඒවට ඇරියස් කවර් කරන්න.. පොඩි එවුන් මඩ වලක් හදාගෙන සෙල්ලම් කරද්දි මම තමයි රිමෝට් කාර් සෙල්ලම් කරන්නෙ
Deleteසුරංග, කෝපිත් එපා, සුනිල් මාමෙකුත් එපා අර කියපු කරිංඤ්ඤං ටික විතරක් අටමට ඇරහං...
Deleteඅටං? අපොයි මගෙ කොන්ද?
Deleteසුනිල් මුදලාලි ගේ මනුස්සකම. මාතෙ කිව්ව වගේ මේ කථාව මතක කරා දීලා කීයක් හරි දීපන්.
ReplyDeleteසල්ලි දෙන එක හොද දෙයක් නෙමෙයි , ගන්න එකකුත් නැ , දුකක් සහ ලැජ්ජාවක් හිතෙයි
Deleteඉයන්- මේ කඩකෑල්ලම ලක්ස හැට හැත්තෑවක් වටිනවා. ඔය මානාන ටවුමෙ හිටිය සල්ලිකාරයෙක් තමා. මං හිතන්නෙ කඩ කෙරුවාව නැතුවට වෙනිං ආදායං ඇති. නැතත් ඔය මනුස්සයා අදටත් මට වඩා හය හත් ගුණයක් හොයනව ඇති. හැබැයි මේ කතාව කියලා එන්නම යන්න ඕනැ.
Deleteඋබලගේ අම්මනම් මාරයිනේ බං ... මමත් ඉස්සර කෝපි කඩල විකුණලා සල්ලි හෙව්වා. සල්ලි හදිස්සිනම් අපි කරන්නේ අමු කෝපි තම්බනවා වී තම්බනවා වගේ , ඊට පස්සේ වන්ගේඩියෙන් කොටලා වේලෙන්ඩ දානවා.එතකොට ඉක්මනට වේලෙනවා.අර සතින්න පෙට්ටිය මටත් මතකයි.
ReplyDeleteඅපි කෝපි වික්කේ රුවන්වැල්ලේ සදාසරණ ස්ටෝස් එකට, එකත් දැන් බංකොලොත්...
අඩෝ අපේ ටල්අම්මයි මාත් යන්නේ ඒකටම තමා , නැත්තං වීටී කඩේට , අර ගිනි තිබිබේ
Deleteයකෝ උඹල කෝපි දීපු කඩ ඔක්කොම බංකොලොත් ද?
Deleteඕකට ප්‍රදානම හේතුව වෙනව ඇත්තෙ ඒ මිනිස්සුංගෙ ළමයි ඔය බිස්නස් වලට යොමු නෙවෙන එක වෙන්න ඇති. මේ පැත්තෙත් තිබ්බ හොඳට කරගෙන ගිය සිල්ලර බඩු කඩේකටත් ගස්ලබු ගෙඩියක් කෙහෙල් කැනක් විකුණන තත්වෙට පත්වෙන්න වෙලා තියෙන්නෙ ඒ හින්ද.
ලලිත්- ඔය ක්‍රෙම්ට කෝපිවල බර වැඩිවෙනව ඇති නේද?
Deleteඇටොං අයියෙ - ඕක ටල්අම්මා නෙමෙයි ටල්ලම්මා කියල සංදි කරාම තමයි හරිම වචනෙ සද්ද වෙන්නෙ
ප්‍රසන්න - සම්පූරනෙං ඇත්ත, තාත්ත කල වෙළඳාම පුතා කරගෙන යන තැං තියෙන්නෙ බොහොම ටිකයි. අනික්ව සේරම බංකොලොත්.
සුනිල් මාම ගැන මහ දුකක් ඇතිවුනා බං...සෙන්නා කිව්වත් වගෙ ඒ වගෙ හිත උණුවෙන මිනිස්සුංට බිස්නස් යාදෙන්නෙ නෑ.
ReplyDeleteආං ඒකයි වැඩේ. හැබැයි ඒ මිනිස්සු මාර විදිහට අනුංගෙ හිත්වල ජීවත් වෙනව.
Deleteඋඹටම උරුමවුණු උඹේම ශෛලිය ආරක්ෂා කරගෙන මේ ලියපු පොස්ට් එක බොහොම සංවේදියි සුරංග..
ReplyDeleteඅපි කව්රුවත් සඳුන් ගැටයක් අතේ ගුලිකරගෙන උපන් එවුන් නොවෙන හින්ද කාලයට සාපේක්ෂව මමත් එව්වා මෙව්වා ඉල්ලලා අඩලා තියනව අපේ තාත්තාගෙන්.. මට තිබ්බ එකම චෑන්ස් එක තමයි අම්ම මගේ පැත්තේ වීම.. ඒත් විධායකයට ඉහලින් යන්න බැරි නිසා ඉහල ආණ්ඩුවෙන් අනුමත නොවෙන පර්චසින් වෙනුවෙන් මටත් හැමදාම සිද්දවුනේ අඬන්න සහ හූල්ලන්න.. ඒ පැත්තෙන් බැලුවාම උඹට වඩා මම අවාසනාවන්තයි.. නාගරික පරිසරයක අපිට විකුණලා සල්ලි කරන්න දෙයක් තිබුනානම් ඒ හුලං විතරයි මචන්..
සුරංගට ආච්චම්මගෙන් තොරව ලියන්න යමක් නැහැ කියල කිව්ව උදවියගෙන් මම අහනවා මේ පොස්ට් එක කියෙව්වාමත් හිතෙන්නෙ ඒ සිතුවිල්ලමද කියන ප්‍රශ්නය.....
අච්චර ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙද්දිත් මූ ආච්චම්මගෙන් ගැලවිච්ච එක හොඳයි. නැත්තං මේ වගේ සිද්ධි මුගේ අතින් ලියවෙන්නෙ නෑ.
Deleteදැං මේ කෝපි, කරුංකා නිපදවීම ගැනත් කියතොත් ආච්චම්ම මුලටම එනව. හැබැයි ඉතිං උංදැ ඇර තවත් චරිත බරගානකුත් තියෙනව. ආච්චම්ම නැතුවා කියල උන්දැව අත්ඇරලම දැම්මත් ලියන්න ජාතිද නැත්තෙ.
Deleteසහතික ඇත්ත ප්‍රසා...👍
Deleteසහතික ඇත්ත ප්‍රසා...👍
Deleteමේ ගමන රතිඤ්ඤ වල අඩුවක් තියෙන්නෙ මේ පැත්තෙ විතරද? වෙනදට මේ වෙනකොට රතිඤ්ඤ ලොරි පෝලිමේ ඇවිල්ල කඩවල් වලට කරදරේ. මේ ගමන තව වෙනකල් එහෙම දෙයක් නෑ ඔය ඉඳල හිටල ලොරියක් එනව ඇරෙන්න.
ReplyDeleteඇයි උඹ දන්නැද්ද ? රතිඤ්ඤා පැට්ටේරිය ගිනි අරන් තුන්දෙනෙක් මලා.. මෙදා පාර නෝ රතිඤ්ඤා.. ගහපල්ලා උණ වෙඩි...
Deleteඅර අවුරුදු නැකතට පත්තු කොරන්න ගෙනා එකක් පහුගිය කාලෙ පොලිසියෙං අල්ලලා තිවුනෙ. ඉතිං මිනිස්සු බයයි. මාත් අද පොලේවත් සතිඤ්ඤ දැක්කෙ නෑ. ලබන සතියෙ තියෙයි මං හිතන්නෙ.
Deleteහිත කීරි ගැහෙන්න ලියලා. පුංචි සංදියෙ රතිඤ්ඤ පිස්සුව මතක් වුණා. පල්ලියෙ මංගල්ලලෙටයි, නත්තලටයි. රතිඤ්ඤම තමයි ඉතිං.
ReplyDeleteමගුල්ගෙවල්වල මනමාලයා ආවම පත්තු කරනව, මරන ගෙවල්වලත් එහෙමනෙ. මෙතන හංදියෙ පල්ලියෙත් නත්තලට රතිඤ්ඤ පත්තුවෙනව නැතිවෙන්නම.
Deleteමරණ ගෙවල් වලට මනමාලයෝ එනව කියල මම මේ ඇහුවමයි
Deleteහිහ් ....😃
Deleteඅම්බලන්ගොඩයගේ ලින්ක් එකකින් තමයි මේ පැත්තට ආවේ... රතිඥ්ඥා ගැන මට තියෙන මතකත් ඔය වගේ තමයි තමයි... රජයේ රැකියාවක් කරපු තාත්තට මහ ලොකු පඩියක් ලැබුනේ නෑ.. එයා අපි පොඩි කාලේ අවුරුද්දට අපිට ඇඳුමක් අරන් දීලා එයාගේ පරණ සරමම අඳිනවා... ඉතිං කවදාවත් මට රතිඥ්ඥා ගන්න සල්ලි ලැබුනේ නෑ.. මට මතකයි එක අවුරුද්දක මම නැකතට රතිඥ්ඥා පත්තු වෙන වෙලාවේ කටින් "ඩෝං..ඩෝං" ගාලා සද්ද කරා.. එහෙම කරේ හිත යටින් අඬන ගමන්.. ඊට පස්සේ අවුරුද්දේ ස්පෝක් කම්බියකට ගිනිකූරු ඔලු කඩලා දාලා බීරංකයක් හදන් ගැහුවා.. පස්සේ එහෙම්මම ඒ අසාව ගියා.. මේක දැකලා ඒ මතකේ හිතට ඇවිල්ලා පොඩි කඳුලක් ඇහැට ආවා ...
ReplyDeleteඇත්තටම සුනිල් මාමා නම් හිත හොඳ මනුස්සයෙක්... පුලුවන්නම් ඒ මනුස්සයව බලන්න යන්න මචං.. අපි මේ කියලා තියෙන ඒවත් එයාට කියන්න.. එයාට ගොඩක් සතුටු හිතෙයි...
එහෙව් තාත්තෙක් හම්බුවෙච්චි එක වාසනාවක්. ඉල්ලන දේ ඇරං දෙන්න බැරි උනත් ඒක පහදලා දීල ලමයව සතුටින් තියන්න පුලුවන් තාත්තලා අඩුුුයි.
Deleteහරිම සංවේදී ලියමනක්. ඇස් තෙත් උනේ ඉබේටම.අර අඬන පොඩි එකාව මැවිල පෙනුන. හරිම අව්‍යාජ ගැමි සුන්දරත්වය මං මේ කතාවෙන් වින්ද..
ReplyDeleteවිහිලුවට කියවගෙන ගියාට ඒ අස්සේ හැංගිලා තියෙන කතන්දරය ගොඩක් දේවල් කියනවා බං....... සුපිරියි...
ReplyDelete//“ඉටාල්ල වං වොලා ලාකිඋලාං වතුල උගුලද්දෙල්ලෑ. උවල එතකොල ඉඟා ගාල්ල. තවුංගෙ ලවයිඩ්ඩ සතිල්ල සෝලග් ඇලං දෙල්ල වැලි අව්වල. හිග් හිග්.“
ReplyDelete//
---සුරන්ගයෝ..මෙන්න මේ ටික කියෝ ගන්න්න මට විනාඩි දෙකක් විතර ගියා කියහන්කෝ...
මේ වගේ දේවල් බුකියේ නොදා බ්ලොගේ ම දාන එකට උඹට මල් තියලා වඳින්න හිතෙනවා...
---හිනාවෙවී කතාව කියෝගෙන ගියාට යටින් තියෙන පණිවිඩේ ත් බොහොම වැදගත්...
මේ අපේ මහත්තය බඩ අල්ලං හිනා වෙනව මං ඔය ටික හයියෙන් කියෙව්වම... මොකද හලෝ ඔය හොටු පෙරන්නෙ කියල.... මං හොටු පෙරන්නෙ කතාව කියවල මිසක් ඔය වාක්කෙට නෙවෙයි කියල කොහොමද කියල දෙන්නෙ ඉතිං...
Deleteකෞෂි යෝ..
Deleteඋඹ දන්නවා ද මම මුගේ බ්ලොග් එක කියෝනකොට පුදුම අමාරුවෙන් හිනාව නවත්තගන්නේ.අයි බන් ගෙදර මිනිස්සු හිතනවා නේ මට අහවල් එව්වා කවිලාය කියාලා.
.කියෝලා ඉවරවෙනකොට මුළු ඇඟම රිදෙනවා..
ඕං මාව විහිලුවට ගත්තනෙ. මෙව්ව සීරියස් කතා ඈ. ඔය නෝනල කේක් ඔලට අයිසිං වැඩිපුර දානව නෙමේ මෙව්ව බල බලා ඉඳල.
Deleteඅපෝ සතිඤ්ඤා මම බයයි ඕවට.තාමත් සතිඤ්ඤයක් පත්තු කරගන්න බෑ.මම ආසයි නිලා කූරූ වලට ^_^ ... අර සුනිල් මාම නම් හිත හොඳ මනුස්සයෙක් බැරිද අවුරුද්දට සරමක් කමිසයක් ගෙනිහින් දෙන්න මට දැනටම මැවෙනව සතුටින් හිනාවෙන මූණක් :)
ReplyDeleteසතිඤ්ඤයක් පත්තු කරගන්න බැරි නම් වැඩක් තියෙනවද හලෝ...
Deleteඅනේ බයයි හලෝ ...අපේ අය්යකාරය මං පොඩි කාලෙ මගේ ගාවට රතිඤ්ඤයක් විසික්කොලා එදා ඉඳන්ද මන්ද මම හෙන බයයි :/
Deleteඅපේ පැත්තෙ උන්න ගල් වෙඩි දාන පොරක්. උන්දැ කර්නෙ මිදුලෙ බොරලු එකතු කරල පොඩි දාගැබක් වගේ හදල, ඒකෙ රතිඤ්ඤෙ හිටෝනව. පස්සෙ ඒකෙ නූලට ගිණි තියල, පණ එපා කියල දුවනව...
Deleteටිං එකක් / පොල් කටුවක් උඩ යන්න පත්තු කිරීම
Deleteබම්බුවක කාලතුවක්කුවක් වගේ උණ්ඩයක් උඩ යන්න පත්තු කිරීම
මං එක ගමනක් අපේ නගා පොඩිකාලෙ ඌව අන්දල ලිපට සතිඤ්ඤයක් දැම්මුවා හට්ටියක් උඩ යන්න.
Deleteපට්ට වැඩේ. මැටි හට්ටියක් උනානං බඩුම තමා...
Deleteනොදකින් සුරන්ගයා... අපේ අය්යත් මාව එකපාරක් අන්දන්න ගියා. හැබැයි මිනිහා නම් පුපුරනකල් හිටියේ නැහැ. මාව ඇදගෙන දිව්වා මිසක්. අපේ අය්යාගේ 'හමුදාවත්' ඉස්සර ඔය පොල්කටු ඇතුලේ, ගස් බෙන ඇතුලේ සතිඤ්ඤ පුපුරෝනවා. ගොන්කම කියන්නේ එකපාරක් තාප්පේ හිලක් විදලා මු සතිඤ්ඤ දැම්මනේ!
Deleteඅපි කොලා නම් බලාගන්න තිබ්බ. පුත්‍ර රත්නය නිසා බේරුනා මහා උසාවියෙන්.
රතිඤ්ඤා ගන්න ඕනි උනාම මම ශේප් එකේ උදේ වැඩට යනකොට අම්ම්ට හොරෙන් අප්පච්චිට අයිඩියා එක දානවා... හවස එනකොට ගේනවා.. එතකොට අම්මගෙන් කේස් එන්නෙ නෑ...!
ReplyDeleteඉස්සර අපේ ගෙදර තිබුණ පරණ බැරල් එකක්. ඕක අස්සට දාල තමයි පත්තු කරන්නෙ.. ෆට්ට සද්දයක් එන්නෙ!! සුනිල් මාම වගේ කට්ටිය ගොඩක් ගම් වල හිටියා... දැං ඒ වගේ අය ටිකක් විරලයි...
මලේ. උඹ අන්තර්ජංජාලෙම ඉඳල විභාගෙ ඇනගනී වත්ද? බයයි බං. බොලයි අම්ම නෙලයි අපිට නෙලුං ඇට කටිං පයින්න.
Deleteහැක්...! නෑ නෑ එහෙම වෙන්නෑ... දැං ටයිම් ටේබල් එකක් ගහගෙන තියෙන්නෙ!
Deleteඅලුත් අවුරුද්දට ඒ මාමා බලන්න ගියොත් හොඳයි නේද? ඒ ගමනත් පෝස්ට් එකක් විදියට දාන්න...
ReplyDeleteඅදමයි මේ පැත්තට ආවෙ.. ආයෙත් එන්නම්..
කියු ලෙසටම කොරඤ්ඤං. ආයි එන්ට. ආයි එන්ට.
Deleteවෙනසක් නෑ බං. අපේ කාලේදී 'සතින්නා' පෙට්ටියක් සත 10 යි. (කරල් 24) රෝලක් 1.50 යි. (කරල් 75) දැන් 400 යි. ඒ කාලේ අපිත් ඇඬුවා ඔව්වා ඉල්ලලා. බොහොම කලාතුරකින් තමා ඉල්ලීම් ඉටුවුණේ.
ReplyDeleteඒ කාලේ හොඳම වර්ගය ගෝණා ලකුණ රතිඤ්ඤ
අලිඅලිඩොං , අලිඩොං ඔහොම තමයි රතිඤ්ඤ විකුනන්නෙ.
Deleteඅපි දන්න කාලෙ "අලිඩොං "තමයි සද්දෙ. ඊට පස්සෙ "හනුම" කියල එකක් ආව.
ගෝණා ලකුණ තිබුනේ 1960 ගණන් වල. ඒ රතිඤ්ඤා කරල් හැම එකකම සේවා නූල, වර්ණ ටිෂූ කඩදාසියකින් ඔතලා තිබුනා. හැම රතිඤ්ඤා කරලකම, සමාගමේ නම සහ ලියාපදිංචි අංකය මුද්‍රණය කර තිබුණා. 'බිම තබා ගිනි දල්වා ඉවත්වනු' යන වාක්‍යය මම මුලින්ම දැක්කේ ඒ රතිඤ්ඤා වලයි. ඒ වගේම තිබුනා, චීනයේ නිෂ්පාදිත, අපි 'කොච්චි රතිඤ්ඤා' කියලා හඳුන්වපු වර්ගයක්. අර සුදුපාට ලොකු කොච්චි කරලක් තරම් ඇති. ඒවා පොල් ඉරටුවක අගට හයි කරලා, අතේ තියාගෙන පත්තු කරන්නේ. නිකම් පටාස් ගානවා විතරයි. අලිඩොන් සහ හනුමා ආවේ 1970 දශකයේ අග. දැනට සමහර වර්ගවල තහනම් වෙඩිබෙහෙත් දමා අධික පිපිරීමක් ඇතිකරනවා. ඒවා භයානකයි.
Deleteමට මතක ජාති ‘ටාසන්‘, ‘කදිරා‘, ‘අලි ඩොං‘ තමා. අනේ වැඩේ කියන්නෙ දැං සතිඤ්ඤ හරිම අඩුයිනෙ. වෙනද මෙහෙමද? අනේ මංද?
Deleteළඟදි තමයි ඔබේ බ්ලොග් එක කියවන්න ගත්තෙ. මාර විදිහටම රහයි බ්ලොග් එක නම්. මාත් ඔය ගන්පළාතෙ අවුරුදු ගාණක් ජීවත් උනා වගේම, ඔබ ඉගෙන ගත් පාසලේ 6 වසරට වෙනකන් ඉගෙන ගත්ත. ඔබ ගැන නම් මතකයක් නැ. ඒත් ඔබේ පොලේ යාම කතාවේ ඉන්න ගීතිකාගේ එහා පන්තියේ හිටිය වග මතකයි. සුබ පැතුම් වගෙම ස්තුත්යි මේ වගෙ මතකයන් අවුස්සනවට.
ReplyDeleteමං උන්නේ ඩී පංතියෙ. අර ‘සංජීව ගුණසේකර‘ සර් තමා අපේ පන්තිය බාරව හිටියෙ. ඉස්කෝලෙදි මං කැපී පෙනිච්ච චරිතයක් නෙමෙයි කොහොමත්. ආවට ඉස්තූතියි.
Deleteමටත් පොඩි කාලේ ඔයවගේ ආසාවල් තිබ්බ. එකක් දෙකක් නෙවෙයි. ගොඩාක්.මම හිතන්නේ ඉල්ලපු ගමන් හම්බ උනා නම් අද ඒ ආසාවල් ගැන මෙච්චර සුන්දර මතක තියෙන එකක් නෑය කියල.
ReplyDeleteඅපි ඉස්සර කැමති දෙයක් ගන්න සල්ලි එකතු කරන්න කොච්චර මහන්සි උණාද.. දැන් ඉන්න ගොඩක් ළමයින්ට කිසිම දේක අගයක් නැත්තේ ඉල්ලන පරක්කුවෙන් ඔක්කොම ලැබෙන නිසාදෝ කියල මට හිතෙනවා. මට පොඩි එකෙක් ඉන්න දවසක මම ඒකට නම් ඉල්ලන ඉල්ලන ඔක්කොම අරන් දෙන්නේ නැතිවෙයි
අම්මල කියල කොච්චර නං දේවල් කරන්නද.. සල්ලි ගන්න එක හරිය කියන්නේ නැහැ. ඒත් ඒ වෙලාවේ කරන්න තියෙන එකම දේ කරන තරමට අම්මත් අසරණ වෙන්න ඇති. අම්මගේ අම්ම ගැන (අර උඹ ලියන ආච්චි අම්ම තමයි) බලද්දී උඹේ අම්මා ගොඩක් හොඳයිනේ මචං. අම්ම කොහොම දුකක් විදින්න ඇතිද අම්මගේ අම්මත් එක්ක
අවුරුද්දට ගමේ ගිහින් සුනිල් මාමට කියහන් දැන් ලෝකෙ හතර වටේම සුනිල් මාමා ගැන දන්න බව.
සල්ලි හම්බුකරන්න දුක් වින්දෙ නැත්තං සල්ලිවල අගේ දැනෙන්නෙ නෑ. හැබැයි ගෙදර තියෙද්දි අතට කීයක්වත් නොදෙනවනං ඒකත් දුකක්. ඔක්කොම දෙන්න ඕන නෑ. ළමයගෙ හිත නොරිදෙන්න තේරුං කලාම ඇති. මං දන්න බෝසත් දරුවො දෙන්නෙක් ඉන්නව. උං දෙන්නා ඉස්සරහිං කට ඇරිච්ච සපත්තු දෙක තාත්තට නොපෙනෙන්න හංගල තියෙන්නෙ. ඒ දෙන්න දන්නව සපත්තු දෙකක් අරං දෙන්න තාත්තට සල්ලි නෑ කියලා. අවබෝධය හා ආදරය ඉදිරියෙ අගහිඟකම පරාදයි.
Deleteඅද තමයි පළමු වතාවට මේ පැත්තේ ආවේ. දැන් ඉතිං පරණ එව්වා සේරම හිමි හිමිට වෙලාව තියෙන හැටියට කියවන්න ඕනෑ.
ReplyDelete/මං එතනිං යන්න යනව. මේ ගොල්ලන්ට තමුංගෙ ලමෙය ලොකු නෑ. මට කවුරුවත් සලකන්නෑ. නැත්තං අනික් එවුං සතිඤ්ඤ පත්තු කරද්දි මං කොලපත් තඩි ගහන්නද. ඇහෙන් වැටෙන කඳුළු බිඳුව තුරුම්පුවක් ගහනව./
මොන තරම් පව්ද පොඩි දරුවා? පපුව හිර වෙනවා ඒ ගැන හිතෙද්දි.
හැබැයි අර අඬ අඬා කියන දෙබස් ටික නම් මාත් අඬනවා වගේ කට හදාගෙන තමයි කියවලා තේරුම් ගත්තේ :D
රන්දිල් නෝනා මේ මං ලියන්නෙ බෝම ඩිංගයි. මං එව්ව එකිං එක එලියට දාන්නෙ සීරුවට. සමහර එව්වා විස්සාස කරන්න අමාරුයි තමා. ඔය ඇඬිල්ලට නං දරාපු එකා අපෙ තාත්තගෙ මලයගෙ පුතා.
Deleteරතිඤ්ඤ ඉල්ලල අඩපු විදිහට පුදුමයි අම්ම ගඩොල් බාගෙකින්වත් ගැහුවෙ නැති එක යකෝ ඒක මාර ඇඩියාවක්නෙ කියවද්දි මටත් ඇඩුන.
ReplyDeleteසුනිල් මාමව අවුරුදු කාලෙම බලල කතාව කියල ආවනම් තමයි අගේ වැඩි.
එහෙම තමා. අපි අඬන්නෙ ඊළඟ කන්දෙ තියෙන ගෙවල් ඔලටත් ඇහෙන්න. ගඩොල් නං අපේ ගමේ නෑ. ඔක්කොම මැටි බිත්ති නැත්තං බොග්ගල්.
Deleteකියවලා හිනා වෙන්න ආවත් අදනම් කියෙවුවම හිත කීරි ගැහුණා. කඩේ සුනිල් මාමා හම්බවෙන්න යන එක තමයි මේ පාර ලොකුම අවුරුදු තෑග්ග.
ReplyDeleteඔව්වොව්... සුනිල් මාමා එක්ක ඉඳලා ගත්ත සෙල්පියක් දකින්න අපි මග බලා ඉන්න බව මතක බැරීස් කරන්න එපා. :)
Deleteවට් ඉස් ඩ මීනින්ග් ඔෆ් බැරීස්
Deleteනොට් ඔන්ලි බැරීස්, ඉට් ඉස් මතක බැරීස් :D
Deleteඅමතක යන්නට යෙදෙන මොඩර්න් සිංහල වචනයක් ඇනෝ :v
සෙල්පි නැතත් අඩුම ගානෙ මූනවත් බලන්න බැරියැ.
Delete/“ඉටාල්ල වං වොලා ලාකිඋලාං වතුල උගුලද්දෙල්ලෑ. උවල එතකොල ඉඟා ගාල්ල. තවුංගෙ ලවයිඩ්ඩ සතිල්ල සෝලග් ඇලං දෙල්ල වැලි අව්වල. හිග් හිග්.“/
ReplyDeleteසිරාවට බං...!
වොට තේලුලාලේල.
Deleteතේලුලා තේලුලා... හඤේ...!
Delete/“ඇයි දැං මාසෙකට ඉතර කලිං උඹලෑ අම්ම මගෙං ඒ සල්ලි ඉල්ලගත්තෙ උඹ ගන්න කිව්ව කියල“/
ReplyDeleteබොලගෙ අම්ම මේ වගේ බලු වැඩත් කළාද බං?
ගොඩක් අග හිඟකම් තියෙන්න ඇති. අර මනෝ විද්‍යාව මේ මනෝ විද්‍යාව ගැන හිත හිතා ඉන්නවාට වඩා බඩේ විජ්ජාව ගැන හිතන්න වෙලා තියෙන්න ඇති
Deleteනෑ මං කියන්නෙ...
Deleteගං වතුර ආධාර දෙන්ඩ කොළඹිං කට්ටිය ගිය වෙලාවෙ, සුරංග හිටියෙ කොළඹ පොඩි රස්සාවක් කරමින්. ඒත් අම්ම අර ආධාර කණ්ඩායම් වලට කියල, "හොඳට ඉගෙන ගන්ඩ පුළුවන් පුතෙක් ඉන්නව" කියල, සුරංගට ආධාර පොදියක් අරං, සුරංග ගෙදර එනකල් තියල තියපු අම්මා, ඔය වගේ වැඩක් කරයිද කියල හිතුණ.
ඩැකී- කොලා බං කොලා. තව කොරාපුව කියතොත් කාලෙයක් යයි. එදාට බැරියැ.
Deleteඒ හැමෙකක්ම කියවන්නැතුව විශ්වාස කරන්ඩත් අමාරුයි බං...
Deleteඅවුරුදු එනකොට ඇලි ඩොන් එනවා !!! අලිඩොන් එනකොට අවුරුදු එනවා....!!!
ReplyDeleteඔය අලිඩොං කියන්නෙ අර තුංහුලැස් රතිඤ්ඤ වෙන්නැති. ඒව පිපිරුහම වලක් හෑරෙනවලු.
Deleteඅලිඩොන් වල තුන් හුලස් ඒවා වගේම කූරු වගේ කෙලින් ඒවත් තිබුනා... මට දැති හුළහ මතක් වුනා ඕයි...
Deleteවොට වෙල මුකොවල් මතක් උලේ ලැද්ද? බුහෑ බුහෑ...
Deleteඇති යන්තන් මම හිටියේ අර හින්දි ටෙලියේ හිරවෙලා යාන්හැල්ල අමතක වෙයිද කියලා... මතකද චැම්පියන් රතින්නා, විදුලි නිලා සහ බඹර චක්‍ර..??/
ReplyDeleteඒක මේ ටිවියෙක ලගිං යද්දි දැක්ක දෙයකට ඇදපු කොක්කක්.
Deleteඔය විදුලි නිලාවල ඉරට්ටෙ අලෝපු හඳුංකූරු වගේ ජාතියකුත් තියෙනව. ඔයිං හොඳම එක කම්බි නිලා. ඒක කෝට්ටක ගහල පත්තු කරලා ඉහලට කරලා අල්ලං ඉන්න ඕනැ.
අයියෝ පෝස්ට් ගානක් මිස් වෙලානෙ සම්මානෙටයි සුරංගටයි
ReplyDeleteබ්ලොග් එකටයි ඔක්කොටම සුබපැතුම් ජයවේවා !!
සුලන්ග අයියේ මටත් සතින්න පෙට්ටියක් ඕනේ....හික් හික්...
ReplyDeleteකමෙන්ට් එකක් දාන්න අරක්කු උනා...
ReplyDeleteඅපිටත් පොඩි කාලේ උතුරන්න සැප සම්පත් තිබුනේ නැහැ...
සෙල්ලම් බඩුවක් ලැබෙන්නේ අවුරුද්දකට වතාවයි, ඒත් බැලුම් බෝලයක් හයි කරපු හුවෑ නලාවක් වගේ දෙයක්...
ඒ ලෙවල් වෙනකල් පාඩම් කලෙත් කුප්පි ලාම්බු වලින්, අපේ ගෙදර තියෙන වැඩ වලට උදව් කලාම අපිට ගානක් එන විදිහට ක්‍රමයක් අපේ ගෙදර සමහර කාලවල තිබුනා...
තේ දාන්න ඉඩම එළි කරලා ගල් කඩලා විකුණන කාලේ පොඩි ගල් පතුරු වලින් අපි කොන්ක්‍රීට් දාන්න ගන්න සයිස් එකේ පොඩි ගල් කඩනවා දෙමළ ගෑණු එක්ක හරි හරියට...
ගල් තාච්චියක් කැඩුවම රු.5/- ක්ද කොහෙද ලැබුනේ...
ඉස්කෝලේ ඇරිලා ඇවිත් බත් කාපු ගමන් පටන් ගන්නේ ගල් කැඩිල්ල...
ඊට පස්සේ කාලෙක බුලත් වැලක් වවලා ඒකෙන් ගානක් හම්බු කලා...
ඔහොම ඔහොම ගිහින් දැන් ඉන්න තැන ඉන්නවා...
ඒ පොඩි කාලෙට මම තාම ආදරෙයි...
උඹේ කතාව අපේ කතා වලට වඩා දුක්බර බව දැනෙනවා, ඒ දුක කීප වතාවක් ඇස්දෙක තෙත් කලත් එක්ක...
ඒ එක්කම පැසන් සුනිල් මාමාගේ දයාබරත්වය ඔක්කොටම වඩා හිතට දැනුනා බං...
සුරංග මාතා කිව්වා වගේම ඇස දෙක තෙත් කරන කතාවක් ලියල තියෙන්නේ.
ReplyDelete"සටපට චුස්බුස් ඩොං පටෝරිං කියාලා
ReplyDeleteපුපුරවති රතිඤ්ඤා
පුංචි කොල්ලෝ කුරුට්ටෝ"
- පුංච කාලෙ ඉගනගත්ත කවිය මුලදිම මතක් වෙලා කියවන්න ගත්තට අන්තිමට ඒ සතුට මටත් නැතිවුනා
වෙනදා සුරංගගෙ පෝස්ට් කියවලා හිනාවුනාට අද හිත උඩ ඉතිරි වුනේ ලොකු බරක්. මේ පෝස්ට් එක ඉස්තරම්!
ReplyDeleteඅති සාර්ථක ලියවීමක්.....අතීතය කොතරම් කටුක වුනත් අපූර්වත්වයක් තියෙනවා....නෙල්ලි වගෙ.
ReplyDelete