Saturday, December 29, 2018

චිත්‍රපටි හෙවත් drawings tapes - 1

ඉස්සර වාරෙකට එකක් විතර අපේ තාත්තා මාරාන්තික ලෙස වලි ඇදගෙන අපිව ගෙදරින් එලෝලා දවසක් දෙකක් අපිට ගේ පැත්ත පලාතෙ යන්නට නොදෙන කාලයක් එනවා. ඒ කාලෙට අම්මගෙයි මගෙයි අහිකුන්ටක ජීවිතේ තැනින් තැන. එයින් දවසක අම්මා මාවත් ඇරං තාත්තගෙ මහ ගෙදරට ගියහම දොස් කියන්නෙ ආච්චි අම්මට.

"නැංදම්මටේදාස්සොල ඕකව හරියටදෙකද්දීල හදාගංබැරිවිච්චෙකේ කර්දරේ තමා මේ උගෙපැටියයිමායිමේ විඳොවන්නෙ"

ආං ඒ වෙලාවට ආච්චි අම්මත් ඡන්ද රැස්සීමක කෑ ගහන්නා වගේ අත් දණ්ඩ උඩට උස්සලා අතේ තියෙන ඇලමේනියං වළලු දෙක "සල සල" කියල සද්ද වෙන්න හොලෝලා අපෙ අම්මට කඩා පනිනව.

"අනේ කටවැහැගනිං ජයෝ. ඒ දාස්සොල උඹලමනෙයැ ඕක එක්ක ජෝඩු දමං අයිසෙ පොඩිමහත්තයෑ චිත්තරපටි හෝල්ලෙකේ රිංගුවෙ චුජු ඥංගි බලංඤ යඤව කිය කියා. මං මෙතන ඕකට ඉලපච් කැඩෙනකං තඩිගැහුවට ඇහුවෑ"

ඒ වෙලාවට තමුන්ගෙ සායම බේරගන්න අපේ අම්ම ආච්චිඅම්මගෙ කට වහන්න නොවඳිනා වැඳුං වඳිනව.

"ඇතිඇතිනැංදම්මෙ මේ මුං නරක්කෙනව ඕව ඇහුවං. ඔයෑති ඕක නවත්තගන්නකො. බොරුකියෝනොව ඉඳං."

ඒ උනාට ආච්චිඅම්මගෙ කට වහනව බොරු.

"හිටාං මං මෙතැංදිම හගිස්සන්න. මේ මැණික එහෙම හිටියනෙ ඒදාස්සොල. උන්ට මතක නැතෑ. ඉනඩුවයියාවෙ මේ හැමේකාම නාකි මයෙ ඇටටිකනෙ සූප්පු කොරන්න හදන්නෙ"

ඔය විදිහට චිත්තරපටි ගැන ඇහෙන හැම වෙලාවකම මං

"මොකද්ද අම්මෙ චිත්තරපටි කියන්නෙ?"

කියල ඇහුවම

"චිත්තරපටි කියන්නෙ චිත්තරපටි ඔල්ට"

කියල අම්ම උත්තර දෙනව.

"ඒවෑ හැටි කොහොමද?"

"ඒවෑ හැටි අහගං තොපෙ මහ එකා ආවං"

"ඇයි ඉස්සර අම්මත් චිත්තරපටි බලන්න ගියා කිව්වෙ"

"කවුද තොට කිව්වෙ"

"ඇයි පහුනු සැරේට කලිං සැරේ තාත්ත අපිව ගහල පැන්නුව වෙලේ ආච්චි අම්ම එදා කිව්වෙ. අම්ම තාත්තවත් ඇරං ගියා කියල මේ සුදු නංගි ද කවුද එකියක් බලන්න යනව කියල."

"අම්පා තොපෙයාච්චියම්මගෙ කට තමා බොල්ලෑව ඉස්සරහට දාං හැමසෙද්දටම. පොඩියෙවුං ඉස්සරා කියන කතාද අම්ප කියන්නෙ"

අම්ම ආච්චි අම්මගෙ කට හදන්න කතාව.

"එහෙනං ඉතිං බලන්න ගිය එකේ ඒකෙ හැටිත් දන්න එකේ කියන්නකො. ඉස්කෝලෙ ගියදාක ඇහුවං දන්නෑ කිව්වං මං එපෑ ගුරුඔරුංගෙං ඒකටත් ගුටිකන්න."

මං අධ්‍යාපනේ ඉස්සරහට දාල අම්මගෙං අහනව.

"හිටපිය මං තොට දෙන්න හොඳ චිත්තරපටියක්. දැං සැරෙයක් කිව්ව දෙකක් කිව්වහන්නෑ"

අම්ම ඉඳගෙන හිටි තැනිං නැගිටින්නෙ වැලමිටත් මේස කකුලෙ ඇනගෙන. මේ වෙලාවට ඉලපත්, කොහු මිට, දර පොලු, හැඳිමිට, දුමේ තියෙන පුවක් පටි, වගේ අත් ආවුද වගේම ලුණු පොල්කට්ට, පොල් බෑය, මැටි කෝප්ප වගේ දමා ගහන ආවුද මොකක් හරි මාව හොයාගෙන එන්න කලිං මං ගෙයිං දොට්ට පනිනව. ඉං පස්සෙ කනේ කලාඳුරු සුද්ද වෙන්නත් එක්ක මගෙ පස්සෙං එළවන්නෙ උන්දැගෙ කටේ සැර ඉතරයි.

"තෝ වරකො කොයි වෙලේ හරි ගෙට. ඇහ්දෙකේයිඳං පට්ට ගහන්නෙ තෝව මං."

********************************************************************************

ඔය විදිහට චිත්තරපටි කලාව වෙනුවෙන් ජීවිතේ පරදුවට තියපු මට චිත්‍රපටියක් බලන්න පොටක් පෑදෙන්නෙ ආණ්ඩුව හින්දා.

 ඒ කාලෙදි අපේ පුංචම්මා ඇතුලු ගමේ කොලු කෙළි රෑන එක්කහු වෙලා යවුවන සමාජෙ කියල එකක් හදං තිවුනා. ඒකෙ ඉන්න හැමෝම සතියක් හමාරකට සැරයක් යවුවන සමාජ හෝල්ලෙකේ රැස්සීමක් තියලා මහ හයියෙං කෑ ගගහ, හිනා වෙවී ඉඳල අල්මාරියෙ හංගන ජාතියෙ කතා පොතකුත් ඇරං ගෙදර එනවා. එන ගමනුත් පාර අයිනෙ ගස්වල ඉන්න කුරුල්ලො රංචු පිටිං බයවෙලා ඉගිල්ලෙන තරං සද්දෙට කෑ ගගහ හිනා වෙනව. ඒ රංචුවෙ ඉන්න කොලු නඩේ පාරෙ යන බල්ලන්ට ගල් ගහනව. කටුස්සො අල්ලල තමුන්ගෙ රංචුවෙ ඉන්න කෙල්ලංගෙ පිටේ එල්ලනව. උං ගිරි යටිං හූ තියාගෙන දුවනව. ඒ පිටිපස්සෙං එන බයිසිකල්කාරයො පන්සලේ හාමුදුරුවො බණට කියන එව්වා මතක් කරනව.

“මොක්කුන්ට ජාතක වෙච්චි හැත්තක්ද මන්ද“


 ඔය ගමන ගිහිං එන හැමදවසකම පුංචම්මා ගෙදර හැමෝගෙම්ම බැනුං අහනව.

"මොකද්ද බං ඔය කෙහෙම්මලෙං ඇති සෙතේ"

"පැදුරක් මල්ලක් වියාගන්න ඉගෙනගංකො ඔය මගුලෙ යනකං"

"අර කරෝලිස්ලෑ එකීලත් බොට නම කියල අඬගහනව මං අහගෙන. කොහොම හරි බාල්දු වෙයංකො ඕකුන්ට"


ඔය විදිහට නවනිංගිරාවිඳපු යවුවන සමාජෙ නම්බුව බේරන්න ඒ කාලෙ ආණ්ඩුව ගානෙ ගමේ අයට චිත්තරපටියක් පෙන්නන්න ලැහැත්ති කෙරුවා. ඒ ගැන මුලිම්ම දැනගත්තෙ යවුවන සමාජෙ අය. ඒගොල්ලො පවුලෙ අයටයි හිතවත්ම අයටයි විතරක් ඒක බලන්න එන්න පණිවිඩේ කිව්වෙ පැත්තකට අඬගහල රහසිං.

"ජාතුංගං අයියෙ අපේයවුවන සමාජෙං චික්රපටියක් පෙන්නනව බලන්නෙන්නෝන හොඳේ. වෙන කාටවක් කියන්නෙපා. ඒ හරියෙංම කිව්වෙ එහෙටයි හේමිචංදරයියටයි ඉතරයි."

"දහාටේ ගෙදර එවුන්ට එහෙම කියන්නෙපා මැණිකෙ. ඕකුං මෙතෙන බල බලා ගුන්සේකර කඩෙං බඩුගේන්න යන්නෙ"

ආච්චම්මා පුංචම්මට දැනමුතුකං දුන්නා.

“චික්රපටි කියන්නෙ ඇත්තවසයෙම්ම පුග්ගලයෙක්ට බලන්න සුදුසු දේවල් නෙවේ.“

ඉස්කෝල මහත්තේක් වසයෙන් අපේ මාමා ඒකෙ ඇති බැරෑරුංකම පැහැදිලි කෙරුවා.

“අනෙයයියෙ මේ උඹ කටවහං හිටහං“

පුංචම්මා ඒක අනුමත කෙරුවා.

ඔය හිංදා යවුවන සමාජෙ ඉන්න අයගෙ හතුරන්ටයි ඒ ගොල්ලො ඉරිසියාකං කරන අයටයි, ආණ්ඩුවට විරුද්ද පැත්තෙ අයටයි, පුංචම්මගෙ කඩෙං බඩු නොගන්න අයටයි චිත්තරපටිය ගැන දැනගන්න ඉඩ නොතියා රහසක් හැටියටම තියාගත්තා. කොයිතරංද කියතොත් කීපවලියක්ම මගෙ කටිං “චික්රපටිය“ කියල කියවෙනකොටම ආච්චිඅම්මා මගෙ කටත් මිරිකුවා.


හැබැයි චිත්‍රපටිය පෙන්නීම යවුවන සමාජෙ අය විතරක් දන්න රහසක් බව ආණ්ඩුව දැනං හිටියෙ නෑ. ඒ හංදා ලොතරැයි, තෙල් බෙහෙත් එහෙම විකුණන්න ගන්න සද්දෙ අඩු තැප්ප වෙච්චි ලයිස්පීකර් දෙකක් බැඳපු කිරි පාට වෑංඑකක් ආණ්ඩුව ගානෙ ගමට එවලා වැඩි සද්දයක් නැතුව චිත්තරපටිය තියෙන තැනයි වෙලාවයි ගැන මුක්කං කට හඬකිං ගම පුරා කියා ඇවිද්දෙව්වා. ඒ ගමන යවුවන සමාජෙ අයගෙ ගෙවල්ඔල අය ඉස්තෝප්පුවට බැහැලා ආණ්ඩුවට තිත්ත කතාවෙං බැන්නා.


"අපේ එවුං මාංසිවෙලා කට කැඩෙනකං කියල ගෙන්නගත්ත එක"

"අම්ප මේ ආණ්ඩුවට බැරියුනානෙ සද්ද නැතුව පෙන්නන බම්බුවක් පෙන්නන්න"

"දැං පුටු කාරයොත් එක්කොම එයි"

"අපිට චිත්තරයක් ඇඳගෙන තමා බලන්න වෙන්නෙ"

"උන්ටම පෙන්නගන්න කියල අපි නොගිහිං හිටිය නං ඉවරයියොන්න"

"ඕක තමා මේයාන්ඩුවට චන්දෙ දෙන්න නාකයි කිව්වෙ"

"ආයි නං මගෙ බල්ලවත් දෙන්නෑ මුංට චන්දෙයක්"

"අම්ප ඔය වෙලේ මං හිටියනං ලැයිස්පීකර කටු දෙක චැප්ප වෙන්න දෙන්නෙ ගල් ගෙඩ්ඩකිං පාරක්"
තැප්ප වෙච්චි ලයිස්පීකරයක්

ඒ ලයිස්පීකරේ කේලම අහපු සමහරු තමුන්ගෙ අසල්වාසීන්ටත් පණිවිඩේ කිව්වා.

"චිත්තරපටියක් පෙන්නනව කියල එලවුස්සෙකක් ගියා කියන්නෙ ඊයෙ"

"ආ... ඔව් මේ අපිටත් දෙහි ගෙදර බාල එකී කිව්වෙ දැං මාසෙකට ඉතර උඩදිං. අපිට නං නෙවැරදීම බලන්න එන්නත් කිව්ව. උංගෙ අර යවුවන සමාජෙද මොකද්ද කෙහෙංමලෙන්නෙ ගෙන්නනව කියන්නෙ."

"හැබෑද.... දැනගෙනද හිටියෙ. අපිට කිව්වෙ නෑ නේද එතකොට?"

"ඔව් ඉතිං අපේයාණ්ඩුවෙං කෙරෙන දේ අපි දැනං ඉන්නෙපෑ. තමිසෙලෑ ආණ්ඩුවක් ආ කාලෙක තමිසෙලටත් කියනව නැතෑ."

"අනෙ මගෙ බල්ලවත් යනේකක් නෑ ඔය ලබ්බ බලන්න. අපි වේල කාල පැටව්වෙක්ක බුදියගන්නව මිසක්"

"&*% 98&(*(^&^&**( ද?"

"&^%^ ද %^&(*(* ද කියල අහං තොපෙ TUYI ගෙං"

අන්තිමට වැට පොලු තුන හතරක් ගැලවිලා, උළු කැට පනහක් හැටක් කැඩිලා පොලිස් පොතට ඇන්ටරි දෙක තුනකුත් වැටුනා.

****************************************************************************

චිත්තරපටිය පෙන්නන්න ලැහැත්ති කරල තිවුනෙ නිකෝඩ හන්දියෙ ජෑන්තියෙ පාර අයිනෙ මිදුල් කෑල්ලෙ.
(මේ ජෑන්තිය කියන්නෙ අපේ ගමේ ඉස්කෝලෙට. ගනේවිටේ ඉස්කෝලෙ මහත්තය හිටපු කාලෙ ඒකෙ පෝච්චි හයිකොරපු වැසිකිලි හදෝපු හන්දා ගමේ අය ඒකට කිව්වෙ 'කක්කුසි ඉස්කෝලෙ' කියලලු. ඊටත් පස්සෙ කාලෙක එච්චෙස්සී එස්සෙස්සී පංතිඔල කෙල්ලො කොල්ලො ඉස්කෝලෙ යාම ඉවර වෙන්නත් කලින්ම යාලුවෙලා හොරෙං පැනල යන්න පටං ගත්තං ඒක 'පේමජයන්තිය' බවට පත්වුනා.)

පාර අයිනෙ පොල් ගහ යට චීත්තයක් විතර ලොකු සුදු රෙද්දක් එල්ලල. ඉස්කෝලෙ ලොකු පන්තිවල තියෙන ඩෙස් දෙක තුනක් ඊට ඉස්සරහිං තියල. අර කේලං කියපු ලයිස්පීකර කටු දෙක ගැටගහපු වෑන්නෙක පාරෙ අනික් පැත්තෙ. හැබැයි ඒකට තාම කවුරුවත් ගලකින් ගහල නෑ. ඡන්ද රැස්වීං වලට ගන්න ලොකු පීකර දෙකක් පොල්ගහේ බැඳලා. මිනිස්සු පාරෙ ඉඳං බලං ඉන්නව. පාරෙ යන වාහන හෝන් එක ගහල යන්තං ඉඩ ඉල්ලගන්නව. ගුනසේකර මාමගෙ බාරෙක ඇරල ඒක ඇතුලෙ ලාම්පුවක් පත්තු වෙනව. (මේ බාරෙක කියන්නෙ තැබෑරුමක් නෙමෙයි. සිල්ලර බඩු කඩයක්.) යවුවන සමාජෙ අය නයෙක් ගහපු මිනිහෙක්ට බෙහෙත් හොයන්න තරං කලබලෙං එහෙ මෙහෙ දුවනව. මිනිස්සු ආණ්ඩුවට බනිනව.

"මේක පෙන්නන්නැද්ද මංද."

"අපරාදෙ තව ටිකක් රෑ වෙලා එන්න තිවුනෙ"

"මං බුදුපාන තිබ්බෙත් නෑ"

"මං හිතුවෙ විජානියට පෙන්නල ඉවර කරයි කියල."


ඒ විදිහට පැය ගානක් බලං ඉඳල හොඳටම ඇඳිරි වෙත්දි ඉස්කෝලෙ හෝල් එක අස්සෙං ලැයිට් ඇංජිමක් ලතෝනි දෙන්න පටං ගත්තා. ඒ එක්කම පොල් ගහේ එල්ලපු මැන්ටලේ වගේ බලුප් එකකුත් පත්තු වුනා. එතන හිටපු මහත්තුරු සැරෙං කිව්වම තව දෙන්නෙක් ගිහිං පන්සලේ තියෙන ජාතියෙ ලොකු පිත්තල පානක් උස්සගෙන ඇහිල්ලා පොල් ගහ යටිං තිබ්බා. ඒ ගමන ගෙපලෙ අජිත් ඉස්සරහට පැනලා මොකද්ද එකක් කිව්වා. ඒ ගමන තව දෙන්නෙක් ඩෙස් එකක් උස්සං ආවා. පාන ඩෙස්සෙක උඩිං තිබ්බා. එතකොට පානෙ මුදුනෙ තිර ටික මිනිස්සුංගෙ ඉහටත් උඩිං. ඒ ගමන ආයි පාන බිමිං තිබ්බා. ඩෙස්සෙක පැත්තකට විසික් කෙරුවා. තව එක්කෙනෙක් පාපිස්සක් ගෙනාවා. පාන ඒක උඩ තිබ්බා.

"තව ඩිංගක් මෙහෙට"

"වැඩියි වැඩියි"

"පේන්නෑ"

අන්තිමට යන්තං පාන එක තැනක තැන්පත් වුනා.  පාන මුදුනෙ ඉන්න කොකා ලයිට් එලියට දිලිසුනා. පාන ඉව කරන්න ආපු සම්බෝල පාට බල්ලට යවුවන සමාජෙ ලොක්කා පයිං එකක් ගැහුවා. බල්ල "කැව් කැවුක් කැව් කැවුක්" කියාගෙන අඬු තුනෙං දිව්වා.

චිත්තර පටිය පෙන්නන්න ආපු මහත්තයෙක්  පීකරෙං කතාව පටං ගත්තා. එයා කියපු දේවල් මට ඒ තරං තේරුනේ නෑ. එයා කොලයක් බලාගෙන කියපු නං ලැයිස්තුවෙ පිලිවෙලට පත ග්‍රාම සේවක රාලහාමි, පොලිස් ලොක්කෙක්, බෙල්ල හිරවෙන්න රෙදි පටියක් ගැටගහපු ලොකු මහත්තයෙක්, තව මහත්තයෙක්, තව මහත්තයෙක්, තව මහත්තයෙක්, ආයි තව මහත්තයෙක්, කරෝලිස්  බාසුන්නැහැගෙ බාල කෙල්ල, අන්තිමට පිත්තල පාන දීපු කිතුල්ගොඩ මුදලාලිගෙ පවුල ගිහිල්ලා පොල්තෙල් පාන පත්තු කෙරුවා. මිනිස්සු වැඳගෙන හිටියා.

ඊළඟට ග්‍රාම සේවක රාලහාමි පීකරෙං කතා කෙරුවා. එයාට කියන්න තියෙන ජාති සේරම කිව්වට පස්සෙ පොලිස්සියෙ ලොක්ක පීකරෙං කතා කෙරුවා. එයා කිව්ව කතාවෙං මට තේරුනේ

"ගුටිකෙලගත්තොත් අල්ලල බලු කූඩුවෙ දාන"

කතාව විතරයි. ඊළඟට යවුවන සමාජ හදන තැන ලොකු මහත්තයෙක් කතා කෙරුවා. එයා කියන එව්ව සිංහල බාසාව කියල විතරක් මට තේරුණා. ඊළඟට තවත් ලොකු මහත්තයෙක් කතා කෙරුවා. ඒ හැමෝම ඇති වෙනකං කියෙව්වට පස්සෙ ආයිමත් මුලිංම පීකරෙං කතා කරපු මහත්තයා චිත්තරපටිය පෙන්නන්න හදන්නෙ කියල පීකරෙංම කිව්වා. එයා කිව්ව විදිහට අත් දෙක නැතුව කකුල් දෙකෙං විතරක් වැඩ කරන හැටි පෙන්නන චිත්තර පටියක්ලු පෙන්නන්නෙ.

අම්ම මාව වඩාගත්තා. පොල් ගහේ ලයිට් එක නිමුනා. ඒත් චිත්තර ඇඳපු පටිය පේන්න නෑ. ලයිස් පීකරෙං සිංදුවක් නැතුව සංගීත බාන්ඩ වලිං එන සද්දෙ විතරක් ඇහෙන්න පටං ගත්තා.

"අන්න බලහං. අර"

චිත්තර ඇඳපු පටියක් කොහෙං හෝ පාත් වෙනකං බලං හිටපු මගෙ හොස්සෙං අල්ලපු අම්මා මාව පොල් ගහ දිහාවට හැරෙව්වා. පොල් ගහ යට තිවිච්ච සුදු රෙද්ද කහ පාට වුනා.

"අම්මට උඩු"

මට කියවුනා. ඒ රෙද්දෙ කලිසං ඇඳපු සුද්දියෙක් මතුවුනා. එක යමරෙයයි. උන්දැගෙ අත් දෙක නෑ. සුද්දි රෙද්දෙ ඇවිදිනව. නෑ. ගෙයක්. ගේයි, ගෙයි බඩු මුට්ටුයි සුද්දියි ඔක්කොම රෙද්දෙ. ඒ අහුඅස්සෙ සුද්දෙක් පීකරෙං කියෝනව. හැබැයි සුද්ද පේන්න නෑ. මිනිස්සු සුද්දිට කයි කතන්දර කියනව. ගෑනු හූල්ලනව.
සුද්දි මැසිමෙං රෙදි මහනව. රෙද්ද අල්ලන්නෙ කකුලෙං.

“හා....නේ..... පව්“

“අද්දෙකම නෑනේද?“

“මැසිමකට අහුවෙලා වෙන්නැති“

“සුද්ද ගහන්නැති කැත්තකිංවත් කොහොවක්“

ඒ ගමං බීදුරුවකිං වතුරත් බොනව. බීදුරුව අල්ලන්නෙත් කකුලෙ ලොකු ඇඟිල්ලයි ඊළඟට තියෙන පොඩි ඇඟිල්ලයි දෙකෙං.

“කවුරුවක් වක්කොල්ල දුන්නොත් බොතැහැකි ඉතිං“

“බඩ්ඩිංගක් අනල කන්නෙ කොහොමෙයි ඔහොම“

“සුද්ද කවනව ඇති“

ඊළඟට සුද්දි පාං පෙති වගයක් කකුලෙං අරං කනව.


“හොදි ඩිංගක් පොඟෝගන්න නෑ ඉතිං“

“මං හිතන්නෙ පාං කෑලි දෙක අස්සට හොදි දාල ඇත්තෙ“

“ඒ උනාට ඉතිං ඉස්ම හොද්දක් එක්ක නං කන්න වෙන්නෑ“

“තුං වේලම පාං තමා මාහිතේ“

ආයි බාජනේක තියෙන මොනවද හැන්දකිං අරං කනව

“ඇට ජාතියක් මා හිතේ“

“නෑ බත්තුනත් කෑහැකි හැංදෙං. ඔය පහුනුදාස්සොල මගෙ ඇඟිල්ල මන්නෙට කැපිල තීද්දි මං කෑවෙ හැංදෙං. නැත්තං මිරිස් ගෑවෙද්දි උඩ විසික්වෙනව.“

“සුද්දො බත්කන්නෑ මාහිතේ. උන්ට මිරිස් තුනපහ සැරයිනෙ“

ඊළඟට සුද්දි පනිට්ටුවක් උරිස් කොටේ එල්ලගෙන මිදුලට බහිනව. පාත්තියක් ගාව බිම ඉඳගෙන පනිට්ටුව බිම තියල ඒකෙං හැන්දක් වගේ එකක් ගන්නව. හැන්ද කකුලෙ ඇඟිලිවලිං අල්ලගෙන පොලොව හාරල කොල දෙක තුනක් තියෙන පැල වගයක් හිටෝනව.

“අම්ප. මේ ඉන්න දෙමල්ලුන්ට බෑ ඒ තරං විජානියට තේ පැලයක් හිටොවන්න“

“ඔය හැටි නහින වෙලේ හිඟාකෑවනං සල්ලි හම්බවෙනව“

“සුද්දොන්ට සල්ලි තියෙනවනෙ. උං හිඟාකන්නෑ“

“මං හිතන්නෙ කසාදෙයක් නං කරගන්න වෙන එකක් නෑ.“

“හැබෑට ඉතිං කසාද බඳින සුද්දට තමයි කන්න උයන්නයි කක්කුස්සි ගියහං $% හෝදන්නයි වෙන්නෙ“

ඒ සුද්දි කඩේ යන හැටි, බඩු ගේන හැටි, මූන හෝදන හැටි බලං ඉන්න ගෑනු හූල්ලනව. කොල්ලො අනං මනං කියනව. අන්තිමට සුද්දි ටටා කියල නොපෙනී යනව. පීකරෙං කියෝපු සුද්දගෙ කතාවත් නැවතුනා. රෙද්ද ආයිමත් සුදු පාටටම හැරුනා. අපෙ අම්මත් උරිස්සෙ මූන පිහල මාව බිමින් තිව්ව.

ඊළඟට ආයිමත් පීකරෙං කතා කරන මහත්තය මොනවද ටිකක් කියෙව්වා. ඊළඟට තවත් චිත්තර පටියක් පෙන්නන බව ඉතරක් මට ඒකෙං තේරුණා.

ආයිමත් රෙද්දෙ සුදු පාට නැතිවුනා. අම්ම මාව ආයිමත් වඩාගත්තා. පීකරෙං සංගීත බාන්ඩවල සද්දෙ ඇහෙන්න ගත්තා. සුද්දියෙක් රෙද්දෙං මතු වුනා. ඒ සුද්දිගෙ නං අතපය මොකවත් අඩු නෑ. හැබැයි සුද්දිගෙ හැට්ටෙ බොත්තං නෑ. ඒක අඳිනව ඇත්තෙ ඔලුවෙං දාල. ඇඳං ඉන්න සායත් මගෙ කොට කලිසමකට වැඩිය දිග නෑ. මිනිස්සුංගෙ කියවිල්ල නැවතුනා. සුද්දි ගෙදරිං දොට්ට බැහැල මිදුලෙ තියෙන පුස්සයිකලේට නැග්ග. ඒක සුදු පාටයි හැඩල්ලෙකේ කූඩෙකුත් එල්ලලා. පුංචම්මගෙ බයිසිකලේ වගේ මැද පොල්ලකුත් නෑ. සුද්දි බයිසිකලේ පැදං පිට්ටනියකට ගියා. ඒක උදුලුගාපු නැති පිට්ටනියක්. හැමතැනම තනකොළ. පිට්ටනියෙ තව සුද්දෙක් ඉන්නව. සුද්ද ගමනක් යන්න වගේ දිග කලිසමකුයි කමිසෙකුයි ඇඳල. සුද්දව දැකල සුද්දි බයිසිකලේ නවත්තනව. සුද්ද සුද්දි ගාවට එනව. සුද්දිගෙ අතිං අල්ලගන්නව. සුද්දි බයිසිකලෙං බිමට බහිනව.

“මේ ළමයට බඩකිනිලු. අපි යනවක්කෙ“

අපි ළඟ හිටපු අපෙ අම්මගෙ යාලු නැංදෙක් එහෙම කියල තමුන්ගෙ ළමයවත් අරං එතනිං පැනගත්තා. සුද්දා උඩ පැනල එතන තියෙන ගහකින් මලක් කඩල සුද්දිට දෙනව...

“ආ........... හරි හරි හරීඊඊඊඊඊ“

පාරෙං අනික් පැත්තෙ හිටපු කොල්ලො ටිකක් කෑ ගැහුව.

“රෑ වෙනව යං.“

“නිදාගන්න වෙන්නෑ මේක බලා හිටියොත්. යං“

“හෙට පන්සලට දානෙ උයන්නත් තීනවනෙ යං“

කියල තව කීප දෙනෙක් තම තමන්ගෙ ළමයි කිහිල්ලෙ ගහගෙන යන්න ගියා.

“උඹටත් බඩකිනි නං යමං ගෙදර.“

අම්ම මට කිව්ව. ඒ උනාට මට යන්න ඕනි කමක් නෑ.

“මට බඩකිනි නෑ.“

සුද්දි මල අරගෙන ඉඹල බලනව. එතකොට සුද්දගෙයි සුද්දිගෙයි මූනු දෙක රෙද්ද පිරෙන තරං ලොකු වෙනව. සුද්ද සුද්දිගෙ  මූන යටි පැත්තෙ අල්ලල එක පැත්තක් ඉඹිනව. පාරෙ අනික් පැත්තෙ හිටපු කොලු රෑන

“හූ.......................................................“

කිව්වා. අම්ම මාවත් වඩාගෙන සෙනග මැද්දෙං රිංගගෙන අපේ ගෙවල් පැත්තට යන්න හැරුණා.

“මට බඩිකිනි නෑයම්මෙ“

“කටවහක් යමං“

 තව ගෑනු දෙන්නෙක් තමුංගෙ ලමයි අත්කෙටි ඔලිං ඇදගෙන අපේ පස්සෙං වැටුනා.

“මල විපිරියාස.“

“කුණුහරප පෙන්නනව ඉඳං.“

ඒ දෙන්න තනියම බැන්නෙ කාටද කියල මට තේරුනේ නෑ. අපි දෙසිය පනහෙ වත්ත ගාවට එද්දි ආයිමත් හූවක් ඇහුනා.

“අන්න ආයි සැරයක් සුද්දිගෙ මූන ඉඹින්න ඇති“

මට කියවුනා.

අම්ම මාව බිමින් තියල කොන්දට එකක් තැලුවා. අපේ තාත්ත බලපු චිත්තරපටිඔල හුඟක් සැරයක් මූන ඉඹින එව්ව තියෙන්න ඇති. ආච්චි අම්ම තාත්තට ඉලපත් කැඩෙනකං ගැහුවෙ ඒක හන්ද වෙන්නැති.

Sunday, July 8, 2018

ඉඩං හෙවිල්ල - බ්‍රොකර්ලා



Add caption


“ෂෝක් ඉඩමක් තියෙනවලු පොතුපිටි දිහාවෙ, තේයක්කරයයි ගේයි.“


“කීයක් කියනවද?“


“ගානක් නං කිව්වෙ නැහ්ලු“

“කාගෙද ඉඩම?“


“මට කිව්වෙ මේ අපේ ගෙවල්ගාවයිය කෙනෙක්. ඒ ගොල්ලංගෙ මල්ලිගෙ පවුලගෙ මහ ගෙදරට අල්ලපු ගෙදර මනුස්සයගෙ නෑයෙක්ට පණිවිඩේ කියල තියෙන්නෙ ඉඩම අයිතිකාරයගෙ ළඟම හිතවතෙක්“


“මේ අයියලෑ මල්ලිගෙ පවුලලෑ මහගෙදර අල්ලපු ගෙදර එක්කෙනාට කිව්වං එක්කං යයි. ගනුදෙනුව කතා කරගත්තැකිලු ඉඩම බලල.“


“ඒ වුනාට අහල බලන්නකො කීයක් ඉල්ලනවද කියල?“

“හා මං අහල බලන්නං. හෙට කියන්නං“

අපි දෙන්නටත් පැලක් අටෝගෙන වැහ්ල ඉන්න ඉඩං කෑල්ලක් හොයා දෙන්න කියල චූටි මැණීකෙගෙ අම්මා දීපු කොන්තරත් එකෙ හැටියට ගැලපෙන ඉඩමක් හොයාගත්තු චූටි මැණිකෙගේ බාප්පා තමයි ඒ කතා කලේ. ඊටත් දවස් දෙක තුනකට පස්සෙ ඒ කතාවෙ ඉතුරු කොටහ.


“අර ඉඩමෙ ගාන ඇහුව“

“කීයක් කියනවද?“


“ඒකෙං දලු කිලෝ දහක් විතර කඩනවලු. දැං දලුත් සීයට කිට්ටුනෙ. ගේත් කාමර පහක එකක්. විසාල එකක්. දැනට ගෙයි කාමරේකුයි කුස්සියකුයි බැඳල වහලෙත් ගහලලු තියෙන්නෙ. තව කාමර හතරයි සාලෙයි විතරයි හදන්න තියෙන්නෙ.“


ඒ වෙත්දි මගෙ කනෙං දුං දාන්න පටං අරං ඉවරයි.

“ඉතිං ඕකෙ ගාන කීයලුද?“

“තිස් දෙකක් තමා කියන්නෙ“


මගෙ ඉස් මුදුනෙං ගින්දර පිටවෙද්දි අන්තිම විස්තරෙත් ඇහුවා.


“එතකොට ඔප්පු“


“ඔප්පුවක් ඕන්නැහ්ලු. ගරාම සේවක ළඟ ලියලලු තියෙන්නෙ“


එතනිං එහාට කියවෙන ටික කියන්න ටෙලිපෝන් එක මගෙ කණ ගාව හිටියෙ නෑ.

පස්සෙ දවසක ඒ ඉඩමෙ විස්තරේ හරියටම මගෙ කනට වැටුනා. ආණ්ඩුවෙ වන වගාව කපලා තේ හිටෝලා ඒකෙම ගේ කෑල්ලකුත් අටවද්දි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒකට විරුද්දව නඩුවක් දාලා. නඩුවෙං බේරිලා ගානක් සාක්කුවෙ දාගන්න හිතාගත්තු ඉඩං අයිතිකාරයා තමුන්ගෙ ඉඩම අක්කරයක් හැටියට අක්කරේට අලුත් බිම් ප්‍රමාණෙකුත් දාගෙන එක මනුස්සයෙක්ට විකුණන්න හදලා. ඔය ඉඩම අවට ඉන්න මිනිස්සුත් ඉඩම බලන්න ආ ගැනුංකාරයට අනුකම්පා කරලා ඉඩමෙ සුල මුල ඔක්කොම කනේ තියලා. ගැනුංකාරයා ඊට වැඩිය අංකූරෙක්. මිනිහා ඒ විස්තර ටික තමුන් දන්න බව ඉඩම අයිතිකාරයට කියලා ඉඩමෙ ගාන බොහොම අඩුවට හෙට්ටු කරගෙන. එතනිං පස්සෙ තමයි මේක දංවැල වගේ වෙන්නෙ. ගැනුංකාරයාත් එදිනෙදා වැඩ ටික කරගන්න තරං මොලයක් ඇති මිනිහෙක්. ඒ හංදා කීයටවත් ඒ ඉඩම තමුන්ගෙ සල්ලි දීල ගන්නෙ නෑ. ඒ හංදා මිනිහා ඉඩම තීරණය වෙච්ච ගානට වඩා ටිකක් වැඩි ගානකට ඒ ඉඩම විකුණන විත්තිය වෙනිං කෙනෙක්ට කිව්වා. එතකොට තමුන්ට මැදිං ගානක් කඩාගත්තැකි නෙ. එයාටත් මොලේ කලං ගානක් තියෙන හිංදා එයත් තමුන්ට ගානක් තියාගෙන තවත් කෙනෙක්ට පණිවිඩේ කිව්වා. ඔය විදිහට ඉඩම බලන්න යන හැම කෙනාම ඉඩම අවට අසල්වාසින්ගෙන් විස්තරේ දැනගෙන ඉඩම සල්ලි වලට ගැනීමෙ වැඩේ පැත්තක දාලා තමුන්ට වඩා මොලේ අඩු මැට්ටෙක්ට මේ ඉඩම විකුණා ගානක් සාක්කුවෙ දාගැනීමේ අරමුණෙං අර බ්‍රෝකර්ලගෙ වැලේ අගට එක්කහු වුනා. ඔය විදිහට අපේ බාප්පගෙ ගෙවල් ගාව අයියගෙං බාප්පගෙ කනට ආවෙ ලක්ස තිස් එකක ලංසුවක්. අපේ කනට එත්දි ඒක ලක්ස තිස් දෙක වුනා.


තවත් ටික දවසක් යත්දි අපි ඉඩමක් හොයන විත්තිය අහල ගං හත අටකම ප්‍රසිද්ද වුනා. ඒ ගංවල ඉන්න සේරම බ්‍රොකර්ල අපිට උපකාරෙට හිටිය. මෙතෙනදි විසේසෙන්ම ඔය බ්‍රෝකර්ල කියන අය අඳුරල දෙන්න ඕන.

ඉස්සර පතලක් ගානෙ මැණික් හම්බුවෙන කාලයක් අපේ ගංවල තිබුණා. ඒ දවස්වල පතලක් බැහැලා, ඉල්ලම පාදගෙන, හොරුංගෙං බේරන්න රෑට මුර කරගෙන, පොලිස්සියෙන් බේරිලා ගරලා යන්තං වාසියක් පාදගෙන ඒක මුදලාලි කෙනෙක්ට විකුණනවා. මුදලාලි ඒ ගල පනස් දහට අරගෙන බේරුවලට ගෙනිහිං ලක්ස ගානකට විකුණනවා. ඔය විදිහට බලත්දි මඩ නාගෙන බඩට නොකා නහින එකාලට වඩා සුදු සරමයි දැල් කමිසෙයි ඇඳං ටෝච් කඳ ඉනේ ගහං ඉන්න එකාලා වැඩි ගානක් හොයනවා. ඒ ගමන සුදු සරමයි, දැල් බැනියමයි, අස්ස පේන කමිසෙයි, අලුත් ටොච් එකයි, බැට්ටි කෑලි තුනයි, සෙරෙප්පු කුට්ටමයි ගන්න පුළුවං හැම එකාම මැණික් මුදලාලිලා උනා. අන්තිමට ටවුමෙං බාගයක් පිරෙන්න මැණික් මුදලාලිල.

කලකදී ඒ සේරම ඉවරවුනා. කුඹුරු ඉඩං, ගොඩ ඉඩං, ඇල දොලවල්, සේරම හෑරුවා. ගඟේ අඩියත් හෑරුවා. මහපාර යටිනුත් දෝනා ගියා. හාරන්න තැනක් නැතිවෙන්නම හෑරුවට පස්සෙ පතල් රස්සාවත් ඉවර වුනා. අන්න එතකොට අර මැණික් මුදලාලිලට කරන්න දෙයක් නැතුව ගියා. සමහරු නං බඩගිනි වෙත්දි සුදු සූට් එකෙන් මඩ සූට් එකට බැහැල කුලියක් කරන්න පටං ගත්තා. තව කීප දෙනෙක් ආණ්ඩුවෙ කන්තෝරුවලින් වැඩක් කරවා දෙන්නො බවට පත්වෙලා ග්‍රාම සේකර රාලහාමි එක්ක එක්කහු වෙලා ගමට ලැබෙන දේ ගසාකන්න පටං ගත්තා. ගමේ අයගෙනුත් ගාන කපා ගත්තා. තව කීප දෙනෙක් ත්‍රීවිල් කටුවක් අරගෙන හන්දියෙ රස්තියාදුව පටං ගත්තා. තව කොටසක් ගෙදර තියෙන සල්ලි කීය හරි නැති බංගස්තාන වෙන විදිහෙ බිස්නස් කරන්න පටං ගත්තා. ඔය විදිහට නන්නත්තාර ජීවිත ගත කරන අය අන්තිම වල්ල පට්ට ගහත් කපලා මුල් ටිකත් පැලුවට පස්සෙ, අන්තිම කිඹුල් හූණත් ඇල්ලුවට පස්සෙ, කලු බලල්ලු, අකුණු තැටි හෙවිල්ලත් යටිගං ගියාට පස්සෙ අතගැහුව වැඩේ තමයි බ්‍රෝකරකම.

මළ ගෙදරක කැරම් ගහන තැනක කට පියාගෙන ඉන්න බැරුවට


"මේ පැත්තෙ නැද්ද තේ කෑල්ලක් එහෙම ගන්න"

කියල අහපු ගමං කැරම් බෝඩ් එක වටේ හිටපු සේරම ටික


"තියෙනව. මං ඒ බිස්නස් තමා කරන්නෙ"

"තැනක තියෙනව ඉඩමක් අන්න ඉඩං. යං බලන්න."

"කොයි තරං එකද්ද හොයන්නෙ"


කියාගෙන අපිව වටකරගන්නව. ඒ බ්‍රෝකර්ලත් එක එක විදිහට වෙස් ගන්න පුළුවං අය. කොස් ගෙඩ්ඩක් කොලපතේ තියාගෙන බෝඹු කෝට්ටකිං දත්වහල්ල මැද මැද එන මිනිහෙක්ගෙං

"නැද්ද අයියෙ මේ හරියෙං අඩුවට කාර් එකක් හොයාගන්න"

කියල අහපු ගමං අර මනුස්සයා කොස් ගෙඩ්ඩ බිම දාලා බෝඹු කෝට්ට අකුලකට විසික් කරල සරම පාත දාගෙන තප්පර දෙකෙං කාර් සේල් කාරයෙක් වෙනව.

"තියෙනව. ගිය සතියෙත් මං කාර් හතරක් දුන්න. පස්ස තියෙන එකද්ද නැති එකද්ද හොයන්නෙ. තැනක තියෙනව මැණික් මුදලාලි කෙනෙක් පාවිච්චි කරපු ලාන්ස්‍රේකක් හීරිලවත් නෑ. අඩුවට දෙනව. ආයි නෑ ටොප්පෙකටම තියෙනව. දැං සල්ලි තියෙනවනං අද ගත්තැකි. හයිවේකෙත් යනව. දිර්ල නෑ. පැට්ටල් ලීටරෙං විස්සට එහා දුවනව. පොත එහෙමත් තියෙනව. මට පනහෙ කාඩ්ඩෙකක් ඇරං දෙන්න මං දැං කෝල් කොල්ල ගෙන්න දෙන්න. "

ඒ විදිහට කිතුල් හකුරු, මී පැණි, කිතුල් පිටි, ඔරිජිනල් කිතුල් පැණි, ලී, වල ඉඳං වාහන, ඉඩං විතරක් නෙවෙයි නැවක් උනත් හොයා දෙන්න මේ බ්‍රෝකර්ලට පුළුවං. ඒ්ක කොයිතරම් දුර දිග ගිහින්ද කියෙතාත් ඉඩමක දලු ටික කඩාගන්න කෙනෙක් නැති වුනාට හැම මිනිහම ඉඩම් බ්‍රෝකර්ලා, වාහනේකට හුලං ටිකක් ගහගන්න වින්කලයක් නැති වුනාට වාහන බ්‍රෝකර්ලා තුං හතරදෙනා එක ගෙදර, කපන්න කෙනෙක් නැතුව කිතුල් මල් නිකම්ම ඇරිල ගියාට හොඳ කිතුල් හකුරු තියෙන තැනකිං අඩු ගානට අරං දෙන බ්‍රෝකර්ලා ඕන තරම්. කොටිම්ම අපේ ගම් පලාතෙ ඉන්න හැම මනුස්සයම බ්‍රෝකර් කෙනෙක්. ඒ හැමෝගෙම අරමුණ කාගෙ හරි මරාලයක් තව කාගෙ හරි කරේ එල්ලලා අතර මැද නිකං ඉඳල ගානක් කඩාගන්න එක.


ඒ වගේ තමුං හෙනම කපටි බව හිතාගෙන ඉන්න බ්‍රෝකර්ල කීප දෙනෙක්ම අපිව තම්බන්න වතුර හැලි උණු කලා. තව දවසක් එහෙම එක්කෙනක් අහුවෙච්ච ගමං අපේ මාමණ්ඩි අපිට කතා කළා.


"මේ බලන්න මෙන්න මෙයා දන්න තැනක ඉඩමක් තියෙනවලු."

"හා"

ඊළඟට ඇහෙන්නෙ බ්‍රෝකර්ගෙ හිවල් හඬ

"මේ.... හලෝ....හලෝ...ඇහෙනවද?"

එතකොට මං බීරෙක් නොවන බව එයාට කියනව.

"ඇහෙනව ඇහෙනව"

"ආ....... මේ ඉඩමක් තියෙනව ෂෝක් එකක් ගන්නවද?"

"කියන්නකො විස්තරේ"

"මේ ටවුම කිට්ටුවම තියෙනව ඉඩමක්. ටවුමට විනාඩි දහයෙං එතෑකි. වතුර ලැයිට් තියෙනව. ඉඩමටම පාර තියෙනව. පාර කාපට් කරන්න සල්ලිත් පාස්වෙලා තියෙන්නෙ. ගන්නවද?"

"ගන්න කලිං ඉඩම බලන්න එපායැ. කොහෙද ඕක තියෙන්නෙ"

"ඕගොල්ලො කිව්වට දන්නෑ. බලන්න යනව නං මා එක්ක යතහැකි. ගන්නවනං තමා ඉතිං. දැං කීප දෙනෙක්ම ඇහිල්ල බලල ගියා. ගන්නවම කියල."

"ඉඩම තියෙන පාර කියන්නකො මට මෙහෙ ඉඳං ඉන්ටනෙට් එකෙං සිතියමේ බලන්න පුලුවං එතකොට"

"ගන්නවනං ඇහිල්ලම බලන්නකො. ගාන අඩු කරන්න පුළුවං."

"කවුද ඉඩමෙ අයිතිකාරය"

"මේ පැත්තෙ එක්කෙනෙක්. ඔයා දන්නෑ කිව්වට. ඒ දෙන්නට දැං වයසයි. ළමයි ඔක්කොම කොළඹ. තව කොටසක් ලන්ඩන් ගිහින් ඉන්නෙ. මේ දෙන්නත් ඉඩං විකුණල ළමයි ගාවට යන්න හදන්නෙ. ගන්නවනං කියන්න."

"එතකොට ඔප්පු එහෙම"

"ඉඩම ගන්නවනං ඔප්පුව බලතැහැකි. බලපත්තර ඔප්පු තියෙන්නෙ"


"එහෙම ජාතියක් නෑනෙ. බලපත්‍ර කියන්නෙ ආණ්ඩුවෙ ඉඩං වවාගන්න දෙන ඒව. ඔප්පු කියන්නෙ තව ජාතියක්. එතකොට ඔය ඉඩම අයිති රජයටනෙ."

"එව්ව තමා මෙහෙ හැමෝම ගාව තියෙන්නෙ. ඕන්නං නොතාරිස් ගාව ඔප්පුවක් ලියල දෙන්න පුළුවං. වෙන කවුරුවත් අයිතිය කියන්න එන්නෑ."

"ඕක ආණ්ඩුවෙ ඉඩමක් නෙ. ආණ්ඩුවෙ ඉඩං විකුණන්න තහනං නෙ."

අන්න එතකොට බ්‍රෝකරට මල් ගස් පිටිං පනිනව.

"මේ ඔයා ගන්නැත්තං කියන්න තව ඕන තරං ඉන්නව ඉඩං ගන්න අය. මේකට අල්ලපු ඉඩමත් බලපත්තර ඔප්පු තමා. ගිය සතියෙ ඉස්කෝලෙ මහත්තෙක් ගත්තෙ පේචස්සෙක අසූදාහ ගානෙ. ඒකත් මං අරං දුන්නෙ."

"ඔයා ඔය විකුණන ඉඩං ගැන ඔයාට වැඩිය මං දන්නව. බලපත්‍ර ඉඩං එහෙම විකුණන්න බෑ. හරිද?"

මේ අතරෙ අපේ මාමණ්ඩි බ්‍රෝකර්ට උත්තර දෙනව.

"ඔය අපේ ළමය අහුවල් දෙපාර්තමේන්තුවෙ වැඩ. එයා ඉඩං ගැන දන්නව"

එතකොට බ්‍රෝකර්ගෙ කට සද්දෙ බහිනව.

"ආ.... එහෙමද? මේ ඔයාට කවුරු හරි හම්බුනොත් කියන්නකො. මේ.... මගෙ ගාන පේචෙස්සෙක හැටයි. ඔයාටත් ගානක් තියාගෙන හැත්තෑව ගානෙ කාට හරි කතා කරන්නකො"


ඔය විදිහට තව බ්‍රෝකර්ල කීප දෙනෙක් ගින්දර වැඩි කරල, ලුණු ගොරක පදම වෙනස් කරල අපිව තම්බන්න හැදුවත් ඒවගෙන් හොඳටම තෙම්පරාදු වෙච්ච අපි දෙන්නා ඉඩං ගැන බොහොම වැදගත් පාඩං කීපයක් ඉගෙනගත්තා. එයින් වැදගත්ම එක තමයි බ්‍රෝකර් කියන දේ අහං ඉඳල ඒකෙ හැංගිච්ච ඇත්ත තේරුං ගැනීම. ඒ මේං මේ විදිහට.


"ටවුමට විනාඩි දහයෙං එතෑකි" (මේ විනාඩි දහය ගතවෙන්නෙ ජෙට් එකක ආවොත් තමයි. බයිසිකලේක තනියම ආවත් පැයකට වඩා ගතවෙනව - ගෙදර පොලිසියත් එක්ක එනව නං පැය දෙකටත් වැඩියි)

"මායිං මොනවත් ආරවුල් නෑ" (මේකට අල්ලපු ඉඩමෙ එකා නඩුවකුත් දාල තියෙන්නෙ)

"ඕන දෙයක් වවන්න පුළුවං. නියම පස" (අක්කපාන පැලයක්වත් හිටවන්න බැරි ගල් ගොඩක්)

"ගේ ගාවිං බස් යන්නෙ" (අධ්‍යාපන චාරිකාවක් හරි වන්දනා ගමනක් හරි ගිය එකක් තමා)

"ඉස්කෝලෙට හැතැක්ම කාලක් නෑ. ළමයි දාගන්න කිසි කරදරයක් නෑ" (හෙට අනිද්ද වැහෙන්න යන කනිෂ්ඨ විද්‍යාලයක්)

"පිරිසිදු ඔප්පු. දෙකට නමලවත් නෑ. ලැමනේට් කරලත් තියෙන්නෙ" (ආණ්ඩුවෙ ඉඩමකට හොර ඔප්පුවක් ලියපු එකක්. ණය ගන්න ගිය තැනදි අහුවෙනව)

"හෝටලයක් හදන්න නියම තැන. හොඳ ආදායමක් ගත්තැකි. ඉඩමෙ මායිමෙං දොලක් ගලනව. හරිම ලස්සන කැලේකුත් තියෙනව. සිරීපාදෙත් පේනව" (මිනිස්සු හෝටල්වලට එන්නෙ ගෑනියි ළමයි ටිකයි අරගෙන දනක්වත් වතුර නැති දොල පාරවල්වල පැනල දිය බුං ගහන්නයි; කැලේ රිංගලා හැකරැල්ලො, දෙපත් නයි, මුකටි, ගැරඬි, හාල් දණ්ඩො, කබරයි වගේ සත්තුයි තුංකිඤ්ඤ, වැරනියා පඳුරු, වල් හබරල, නං නොදන්න ගස් ජාතියි බල බලා කිනිතුල්ලන්ටයි හෝ හපුටුවන්ටයි කූඩැල්ලන්ටයි කියල කවෝගන්නයි; ඈතිං පේන තුංහුලස් කන්දක් දිහා බලල "අන්න සිරීපාදේ" කියල උඩ පැන පැන අප්පුඩි ගහල සතුටු වෙන්නයි; ඒ එක්කොමත් කරල එක සැරේ ලස්ස ගානක් හෝටලේ අයිතිකාරයට දීල පිං අනුමෝදං වෙන්නයි කියල හිතන බ්‍රෝකර්ල වෙනුවෙං සදාකාලික නිශ්ශබ්දතාවය)

"ඉඩමෙ කොටසක් වවල තියෙන්නෙ" (ආදායමක් ගන්න නං හිතන්න එපා. සමහර විට මේ කියන වැවිල්ල මාස දෙකක්වත් නැති තේපැල පනහක් හැටක්, නාරං පැලයක්, තැඹිලි ගස් දෙකක් වෙන්නත් පුළුවං)

"ඔප්පුවෙ පර්චස් හතලිහයි. රිසිවේසම තියෙනව තව හතලිහකට වඩා. එක්කොම අසූවක්" (ආණ්ඩුවෙ රක්ෂිත ආපහු දෙන්න වෙච්ච දවසට සනීප වෙයි)

"තේ වැව්වොත් හොඳ ආදායමක් ගන්න පුළුවං" (ඉතිං තොපි වවාගෙන ආදායම ගනිල්ලකො. තේ ගහක් වවල ආදායමක් ගන්න අවුරුදු දෙක තුනක් විතර කාලෙකුත් ඒ වගෙම වියදමකුත් යන බව අපි නොදන්නවැයි)


"ගංවතුරට අහුවෙන්නෑ. නාය යන්නෙත් නෑ" (ආණ්ඩුවෙන් වන්දිත් ගෙවල ඉඩමෙං අයින් වෙන්න කියල රතු දැන්වීමත් දීල ඇති)


"කීප දෙනෙක්ම ඉල්ලල තියෙන්නෙ. දැංම ගත්තොත් තමයි. නැත්තං කොයි මොහොතෙ විකිණෙයිද දන්නෑ" (ඒ පරම්පරා ගානක් තිස්සෙ විකුණන්න බැරුව තියෙන එකක්)


"අයිති එක්කෙනා රට ඉන්නෙ. මට තමයි බලාගන්න කියල තියෙන්නෙ. ඉඩම බලනව නං මං එක්කං ගිහිං පෙන්නන්නං" (ඉඩමෙ අයිතිකාරයා කියන ගාන වගේ හත් අට ගුණයක් වැඩි ගානක් බ්‍රෝකර්ගෙ අතරමැදි ගාන)

"අයිතිකාරය හම්බවුනොත් ගාන වැඩිකරනව. මං ගනුදෙනුව අඩුවට කරල දෙන්නං මට ගන්න විදිහට. ඉඩමට කැමති නං ගාන මගෙ අතට ගෙනත් දෙන්නකො. එදාම ඔප්පුව ලියමු" (නාල වරෙං. ඕන්නං මගෙ ගානෙ සල්ලයිට් බාගෙයක් අරං දෙන්නං. සල්ලි ටික අරං පනින්න ඔයිට ලේසි ක්‍රම ඕනිනං මං කියල දෙන්නං.)


අන්තිමට ඉඩමක් විකුණන්න තියෙනව කියල කවුරු හරි කියත්දිම මගෙ ඉස්සරහ දත් ඇන්ද ගාව නරක වචන පොරකන්න පටං ගත්තා. ඇත්තෙන්ම කවුරු හරි ඉඩමක් විකුණන්නෙ ඒකෙං මෙලෝ විදිහක වැඩක් ගන්න බැරි වුනහම කාගෙ හරි ඇඟේ ගහල ගානක් කඩාගන්න කියන එක අපිට උගන්නපු ඒ බ්‍රෝකර් මහත්තුරුන්ට ඒ විදිහට නරක වචන ඇහෙන්න දෙන එක හරි නැති හංදා අපිට ඉඩං එපා බවට නිවේදනයක් නිකුත් කරන්න මට සිද්දවුනා.

Saturday, June 23, 2018

නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං

නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ ඒ විද්‍යාඥයින්ගෙ උවමනාව මේ ලංකාවෙ සේරම ළමයින් පන්තියේ අන්තිමයා කරල, සිස්සත්වෙ පාස් එකෙක් බේතකටවත් හොයාගන්නට නැති කරල, සාමාන්‍ය පෙළ, උසස් පෙළ පාස් එකෙක් සිංහල බෙහෙත් බඩු කඩේකිංවත් ගන්නට නැති කරල එංගලන්තේ ඉඳල ආසියා මහද්වීපය හරහා අපිට

"හූ.. ඇද්ද තොපිට.... දැං පාස්ද? (Who enough for yous..........now pass?)"

කියා කෝචොක් දාන එක කියලයි. ඒ අතරෙ ප්‍රංශය, ඉතාලිය, ජරමනිය, ආදී රටවල සුද්දො, ඕමාන් කුවේට් අඩුබාබි සවුදියරාබි ආදී මැදපෙරදිග රටවල්වලට ගෘහ සේවිකා ඇබෑර්තු වගේ රටවල ඉන්න ඔලුවෙ කඩවැස්ම බැඳගත් තම්බි, පකිස්තානේ හෙරොයින් වවන තම්බි, ඇෆ්ගනිස්තානේ බෙලි කපන තම්බි, නේපාලේ කඳු නගිනා ෂරපා නාටාමිලා, ඉන්දියාවේ පරිප්පු හේං ගොවියෝ, මාල දිවයිනේ කරෝල වාඩිවල එව්වෝ සේරමත් තම තමන්ගෙ බාසාවෙන් කෝචොක් දාලා අපේ රටට අනුරාධපුරෙං පහලට වස්තරයක් අඳින්න නැතිකර පුත්තලමෙන් උඩ හරියේ දැලි ගාන්නත් පුළුවං.

ඒ නිසා ඉස්කෝලෙ යන, ඉගෙනගන්නා ළමයින් දවසේ පැය විසිහතරෙම ඇස් දෙක ඇරගෙන අච්චු පොත් ටිකටත් ලියන පොත් ටිකටත් අනිමිස ලෝචන පූජාව කරන්න ඕන. ඒ පූජාව කරන වෙලාව වැඩිවන තරමට වාර විභාගයේ ලකුණු වැඩිවෙනවා. එක වාරයක් ඩිංගක්වත් ඇහැ පියවන්නෙ නැතුව පොත්ම පාඩං කලොත් පන්තියේ පලවෙනියා නොවෙයි බාගවෙනියා නැත්තං බින්දු වෙනියා වෙන්නත් පුළුවං.

උපන්දා ඉඳං මේ වෙනකං මට නිදාගන්න හම්බවෙලා තියෙන පැය ගාණ බැලුවම මට හිතෙන්නේ මං පහුගිය ආත්මෙක කාගේ හරි නින්දට බාධා වෙන අකුසලයක් කරල තියෙනව කියල. සමහර විට තනි බැට්ටි කෑල්ලෙං වැඩ කරන

"කිඤි කිඤික් කිඤි කිඤික්"

කියා මහ පාන්දර කැකිරි පලමින් මිනිස්සුන් ඇහැරවන රුපියල් හැටේ එලාම් ඔරලෝසුව හදන්නට ඇත්තේ මං වෙන්න ඇති. එහෙමත් නැත්තං එළිවෙන පාන්දර වෙනකං තියෙන සංගීත ප්‍රසංග සංවිධායකයෙක් වෙන්න ඇති. එහෙමත් නැත්තං සිකුරුටි මහත්තුරුන්ට නිදාගන්නට නොදී රෑ මැදියමේ ඇහැරවන ඕඅයිසීයෙක් වෙන්න ඇති. ඇඳ මකුණෙක්, සයිලන්සරය ගලෝලා බීට් එක තියෙන කටක් අමුණා ගත් ටූ ස්ට්‍රොක් මදුරුවෙක් වෙලා හිටියා වෙන්නත් පුළුවන්. ඒ කොයිහැටි වෙතත් මට මතක ඇති කාලේ ඉඳං නින්දයි මායි අතර සම්බන්දෙ බළලෙකුයි වතුරයි අතර සම්බන්ධෙටත් වඩා දුරයි.

මට වයස අවුරුදු දහයක් විතර වෙනකං මගේ නින්දට කෙලින්ම බලපෑවේ කලු මාමාගේ කසිප්පු වඩියේ සාන්ද්‍රණය. හැන්දෑවේ තුන හතර වෙද්දි තාත්තා ගෙදරින් දොට්ට බැහැල යනවත් එක්කම අම්මගෙයි මගෙයි පෙර සූදානම පටං ගන්නව. අම්මා විගහට බතක් හොද්දක් හදන අතරේ මං පහුවදාට ඉස්කෝලෙ ගෙනියන්න තියෙන පොත්ටික පොත් බෑක් එකකට දාගෙන ඉස්කෝලෙ අඳින කලිසමත් කමිසෙත් පත්තර පිටුවක ඔතල ඒකටම දාගෙන ඊටත් උඩිං සපත්තු කබල් දෙකත් තියල හිර කරල බෑක් එක වහල ගෙනිහිං ගෙට උඩු පැත්තේ කැකිල්ල ගාලේ හංගනව. ඉටිපන්දං කොට කෑල්ලකුයි, පොල්කට්ටකුයි, ගිනිපෙට්ටියකුත් ඒ කිට්ටුවම හංගනව. අපේ තාත්තට දෙපයට තාර පෑගෙන්න බැරි හේතුවක් තිවුන හින්ද උන්දැ වැඩිමනක් ගමන් ගියේ අඩි පාරවල්වල විතරයි. ඒ හංදා තාත්තා මහපාරෙන් ඇවිත් ගෙට උඩු පැත්තෙං කන්ද දිගේ පහලට එන්නෑ. ඒ කියන්නෙ අපි බඩු හංගන පාරෙ තාත්ත එන්නෑ.

උයාගන්නා හොද්දයි බතයි මොකක් වුනත් ඇඳිරි වැටෙන්න කලින්ම එයිං පුලුවං තරං අපේ බඩට ගිල්ලන අම්මා ඊළඟට රැක්මේ බලා ඉන්නෙ තාත්තා එනකං. ගුණතිලක මාමලාගේ කොස් ගහ යටින් උන්දෑ මතුවෙන හැටි බලා ඉන්නා අපිට පළවෙනි දැක්මෙන්ම තාත්තා ගිලල තියෙන කසිප්පු ප්‍රමාණෙ හිතාගන්න පුළුවං. සරම හරියක් වගේ උඩට උස්සාගෙන නයික් ලාංඡනේ හදාගෙන මඩේ යනව වගේ එනව නං එදාට අම්මට බඩ කට පුරා හම්බවෙනව. ඒ වගේ දවසට ඉඩක් ලැබිච්චි ගමං නංගිවත් කිහිල්ලෙ ගහගන්න අම්මා මාවත් අරගෙන ගෙදරින් පැනගන්නව. ඒ ගමංම කලිං මග තියපු පොත් බෑක් එක, ඉටිපන්දං, පොල්කටු, ගිනිපෙට්ටියත් කැකිල්ල ගාලෙං ඇදගන්නව. එහෙම පැනගන්න අපි අම්මගෙ මහගෙදරට, චන්දරේ මාමලාගේ ගෙදරට, හාමිලවත්තෙ පේම නැන්දලාගේ ගෙදරට, හංසනීලගෙ ගෙදරට හරි අපිට හොඳයි කියල හිතෙනා ගමේ වෙනිං ගෙදරකට හරි යනව. ඒ වගේ ගෙදරකට ගිහිං දොරට තට්ටු කරල හරියන් නෑ.

"නංගියේ."

"සුනිල් මල්ලියේ"

"පේමක්කේ"

ආදී වසයෙන් දහ පාලොස් ගමනක් හරි කෑගහන්න ඕන. එහෙම කෑ ගහන අතරේ ගෙදර අය මේ කතා කරන්නෙ කවුද කියල රහසෙං සාකච්ඡා කරනව. එතකං අපි කෑ ගහනව. ඒ අතරෙ අම්මා මං ලව්වත් කෑ ගස්සනව.

"නැංදේ,

"සුනී මාමේ"

"පේම නැංදේ"

ආං එතකොට ගෙදර කවුරු හරි දොර පොල්ලක් හරි කැපෙන ආවුදයක් හරි අරගෙන දොර ගාවට ඇවිල්ල ගේ ඇතුලෙ ඉඳං මෙහෙම අහනව.

"කවුද?"

එතකොට අපෙ අම්මා උත්තර දෙනව.

"අපි අපි මේ අපි"

"අපි කියන්නෙ කවුද?"

"අපි මේ අපි අපි"

ආයිමත් ගේ ඇතුලෙ කට්ටිය රහසිං කතා වෙනව. ඒ අතරෙ අම්මා මගෙ කොන්දට ඇඟිල්ලෙං අනිනව.

"කතා කරපිය භූරුවො. අපි කියහං"

මට යකා වැහෙනව.

"අපි කියල හරියන්නෑ. අපි කවුද කියල නම කියන්න ඕනි"

"ඉතිං තෝ කියහංකො"

"මට බෑ අම්ම කියන්න"

"මං තොගෙ බෙල්ල මිරිකන්න කලිං කියපිය"

අන්තිමට මං අපේ නං ගං ඇතුවම කියනව.

"නැන්දෙ අපි මේ සෝම්පාලලෑ ගෙදර සුරංගයියම්මයි"

ආං එතකොට ගෙදර අය හිරෙං නිදහස් වුනා වගේ දොර ඇරල දොර පොලු, පිහිය, කිනිසි එහෙම හංගගන්නව. අපි ගෙට ඇතුල්වෙනව.

ටික වෙලාවක් වැල්වටාරං කියවල ඉවසං ඉන්න බැරිම තැන ගෙදර අය අපි ආපු කාරනේ අහනව.

"මොකද අක්කෙ මේ රෑවෙලා."

ඒ වගෙ වෙලාවට අපේ අම්මා දෙන්නෙ එකම එක උත්තරයයි.

"මොකවක් නෑ අපි මේ නිකං ආවා"

මහ රෑ ජාමේ අත දරුවෙකුත් වඩාගෙන, නීල් ආම්ස්ට්‍රෝං එක්ක හඳට ගොඩබැස්ස තරං විසාල බෑග් එකක් පිටේ එල්ලාගත්තු ළමයෙකුත් අතිං ඇදගෙන ගෑනියෙක් ගෙයින් දොට්ට බහින්නේ නිකං නෙවෙයි කියල ඕන කෙනෙක්ට තේරුං යනව. ඒ වුනාට අපේ අම්මා කටේ තොලේ නොගෑවී බොරු කියන්නේ 'ගෙදර මිනිහගෙ නම්බුව' බේරගන්න. අම්මා හිතන හැටියට එහෙම කීවාම ඒ ගෙදර අයත් "මේ නං ඇත්තම තමා" කියල හිතාගෙන තාත්තගෙ නම්බුව බේරනවා. ඒ වුනාට වැඩිකල් නොගිහින් අපි තුන්දෙනා මහ රෑ ජාමේ ගෙවල්වලට කඩාවදින්නේ 'මහ එකා' බීගෙන ඇවිත් හිංදා කියල හැමෝම දැනගත්තා.

මේ වගේ මහ රෑට නිකං යන ගමන්වලදී අම්මගෙ මහගෙදරට ගියොත් එදාට

"තොට ඕනමයි කියල කොරගත්ත මගුල තමා ඔය"

කියල ආතගෙන් බැනුං අහගන්න පුළුවං. අනික් ගෙවල්වල අය නං අම්මාට 'ඔය මිනිහා අතෑරලා ආණ්ඩුවෙ ඉඩමක පැලක් අටවං ජීවත් වෙන්න' කියලා උපදෙස් දෙනව. මේ කාගෙන් නමුත් අවවාද උපදෙස් අරගෙන තියෙන හැටියට පැදුරු කඩමල්ලක් එලාගෙන නිදාගන්න කොට රෑ දහයත් පහු වෙනවා. පස්සෙ කාලෙදි මේ විදිහට යන්න තැනක් නැතුව ග්‍රාමසේවක කාර්යාලෙ ඉස්තෝප්පුවෙ රෑ එලිවෙනකං නිදාගත්ත මං පහුවදා උදේ ඉස්කෝලෙට ගිහින් ශිෂ්‍යත්ව විභාගේ ලියල ලකුණු එකසිය හැටක් ගත්තෙ දෛවයේ සරදමකින්ද, ඉරණමේ කෝචොක් එකකින්දැයි මට තේරුං ගන්න අමාරුයි.

සමහර දවස්වලට තාත්තගෙන් බේරිලා ගෙදරිං පැනගන්න වෙන්නෙ අම්මට උන්දැගෙං ගුටි හත අටක් ලැබිලා දතක් දෙකක් කැඩිලා මූණත් ඉදිමුණාට පස්සෙ. ඒ වගේ දවස්වලට තඩිස්සි මූණක්, ලේ හැලෙන කටක් පේන්න තියෙද්දි ගෙදරකට ගිහිං

"අපි මේ නිකං ආවෙ"

කියා අමුවෙන්ම බොරු කියන්න බැරි හන්දා අපි පාර අයිනේ වහල දාපු කඩ පිලක, ගහක් යට, කාගේ හරි ඉඩමක හදපු මඩුවක, එහෙමත් නැතිනම් නිකම්ම එළිමහනේ ඉඳගෙන උඩ බලාගෙන ඉර පායනකං බලා ඉන්නවා. නංගිට හීතල හැදෙනවට අම්මාගේ සාය ඒකිට පෙරෝල අම්මා යට සාය පිටින් ඉන්නව. පැදුරක් වෙනුවට පිටේ ඇනෙන ගල්, කොට්ටෙ වෙනුවට පොත් බෑග් එක ඔලුවට තියාගෙන උඩ බලාගෙන හිටියත් ඒ වෙලාවට හිතේ බයක් නෑ. ඒත් ඒ වගේ දවස්වලට පින්නත් එක්ක එන හීතලයි, මැසි මදුරුවො ඉහ ඉද්දර කවි කිය කියා කොනිත්තන හින්දයි, අම්මා සැරෙන් සැරේ

"ඔය මිනිහගෙ අඬු හතර කැඩෙන්නෑනෙ දෙයියම්පල්ල"

"ඔය හුජ්ජ පෙරන ගස් බල්ලන්ට හොඳස්සිද්දවෙන්නෙපා"

වගේ පුපුරා හැලෙන ගමං

"හනී.... සිදෙනෝ"

කියල බෙරිහන් දෙන හන්දයි මගේ නින්ද ඉස්කෝලෙ ඉන්ටෝල් එකටත් වඩා කොට වෙනව.

පහුවදා එළිවෙන පාන්දරට දොලකින්, පිටවේල්ලකින්, කාණුවකින් නැත්තං මොකක් හරි දිය වලකින් මූණ අතපය හෝදගෙන, වැලි ටිකකිං, කෝටු කෑල්ලකිං දත මැදගෙන, ඉස්කෝලෙ ඇඳුම ඇඳගන්න මං ඉස්කෝලෙට යද්දී අම්මා මගේ කලිසමයි කමිසෙයි දෙකත් ඔතාගෙන නංගිවත් වඩාගෙන ගෙදර යනවා. ඒ වෙලාවට තාත්තගෙ වෙරි බැහැල. එදාට උදේට බඩට මොනවත් නැති හින්දත්, දවල්ට දත්මිටි වගේ බර ආහාරයක් ගැනීම හින්දත් දවාලට නින්ද මගේ අහලකටවත් එන්නෙ නෑ.

සමහර දවස්වලට තාත්තගෙ වෙරි අඩුයි. එදාට ගෙදරින් පැනල යන්න තරං අවදානමක් නෑ. ඒත් එදාටත් අපිට නින්දක් නිදාගන්නට බැරි වෙන්නෙ තාත්තගෙ කියවිල්ල අහං ඉන්න වෙන හින්ද‍. දම්ම පදයෙ එක ගාතාවකිං පැයක් හමාරක බණක් කියන්න හාමුදුරුවන්ට පුළුවං වෙනව වගේම අපේ තාත්තටත් යක්කු ගස් නගිනකං කියවන්න එක වචනයක් වැරදුනහම ඇති. හේතුවක් නැති වුනත් හේතුවක් හැදෙන කං තාත්තා අම්මගෙ පවුලෙ අයට බණිනවා.

"තොපේ පවුලෙ හැත්ත වගේ එවුන්ට තමා බොල හාමුදුරුවො බණටත් කියන්නෙ "හොන්තු ඥාතියො" කියල.  ක්හ්ං. ආ...න්නේකයි හේතුව. අර තොපේ පවුලෙ උගතෙක් ඉන්නෙ ගුරෙක්. අහං උගෙං ඌ දන්නවද කියල ඒකවත්. ක්හ්ං. ආ...න්නේකයි හේතුව."


ඒ කියවිල්ල ඉවර වෙන්නෙ තාත්තා ඉඳගෙන ඉන්න පුටුව උඩම නින්ද ගිහින් ඇදගෙන වැටෙන්න ගියාට පස්සෙ. ඒ වගේ වෙලාවට උන්දෑ අපේ ඇඟට කඩා පනිනව

"තොපි මං මේ පුටුව පල්ලෙ වැහ්ල බෙල්ල කැල්ල මැර්ල යනකංද බලා හිටියෙ"


සමහර දවස්වලට තාත්තාගේ වාසනාවට වලියට හොඳ හේතුවක් හම්බුවෙනව. එදාට අපේ අහල පහල මිනිස්සුත් වසලා හමාරයි. තාත්තා අම්මාගේ බෙල්ලෙං අල්ලා ලිප උඩට තල්ලු කරල කැත්තෙන් කොටන්න හදනකොට නංගිත් මාත් අඬු හතර හතර අතට විහිදගෙන ගිරියටින් බෙරිහන් දෙනව. ඒ සද්දෙට වලිය නැවතුනේ නැතොත් ගේ ඇතුලේ සද්ද පූජාව නංගිට බාරදීල ගෙදරින් දොට්ට බහින මං යටිගිරියෙන් කෑ ගහගෙන හෙලපල්ලට දුවනව

"වීසේල වාවේ... වෙල්ල චාච්චා අව්වාව වලලෝ"

ඒ සද්දෙට අහල පහල ගෙවල්වල මිනිස්සු තමුන්ගේ ගේ ඇතුලේ පත්තුවෙන එකම කුප්පි ලාම්පුවත් නිමලා 'ඒ අය දුර ගමනක් ගිහින්. ගෙදර කවුරුවත් නැති' බව පෙන්නනව. ඒ වුනාට තමුන්ගේ ලොකු එකා මිනියක් මරණ බව ඇහෙනකොට ආච්චි අම්මා තිරේ උඩට උස්සල එලිය වැඩි කරපු කුප්පි ලාම්පුවත් අරගෙන මහගෙදර දොර ඇරගෙන එළියට පනින්නේ නැන්දාටත් පියසේන මාමාටත් බැණගෙන

"වරෙව් බොල. අර පොඩියෙකා කෑ ගහන්නෙ මොකද බලපිය"

නැන්දත් කුස්සියෙ තියෙන ලාම්පු කුප්පිය අරගෙන ඇවිත් ආච්චි අම්මගෙ ලාම්පුවෙ දැල්ලෙං ටිකක් ණයට අරගෙන ආච්චි අම්ම එක්කම ගෙයින් දොට්ට බහිනව. මෙලහට අම්මගෙ බෙල්ලයි කඳයි වෙන්වෙලා ඇති කියල හිතාගෙන සිහිය නැතිවෙන තරමට බය වෙලා ආපහු ගෙදරට දුවන මගෙ පිටිපස්සෙං ආච්චි අම්මයි නැන්දයි දුවනව. නැන්දයි ආච්චි අම්මයි අපේ මිදුලට ගොඩ වෙද්දි අම්මා නංගිවත් ඇදගෙන ගෙයින් දොට්ට පනිනව. ඒ පස්සෙං දොට්ට බහින තාත්තව ආච්චි අම්මට අහුවෙනව.


"මොකද්ද ලොකු එකෝ තෝ මේ කොරන අලජ්ජ වැඩේ"


"අම්මට වැඩහ්නෑ අම්මෙ මං මුංව මට්ටු කොන්නේව ක්හ්ං.."


"තෝ මෙතන මිනී මරාගත්තං අර පැටවු බලන්නෙ කවුද බොල"

නැන්දත් මැද්දට පනිනව.

"ලොකුවයියෙ උඹට මේ හොඳිං කියන්නෙ අරකිට ගහන්නෙපා"

"තෝ කවුද බොල මට චන්ඩිකං දාන්න  ක්හ්ං.."

"ඉනඩුවයියාවයි මේ බල්ලෙක් හැදුවනෙ මාත්"

"ඉතිං උඹ මා උපංකොටම බෙල්ල මිරිකන්නෙපෑ  ක්හ්ං.."

"දැං උනක් වප්පිහියක් තියේ නං තොගෙ බොකු දොට්ට අදිනව තමා බොල"

 ඒ වලිය අතරෙ අම්මයි මායි නංගියි ඔලුව හැරිච්ච අතේ පුලුවං තරං දුවනව. එදාටත් අපේ රෑ ගෙවෙන්නෙ අගුපිලක නැත්තං ගහක් යට. එදාට බය යට කරගෙන නැගිටින කේන්තිය එක්ක මං අම්මට පොරොන්දුවක් දෙනව.

"අම්ම මට දිප්පිහිය මැද දෙන්න. මං හෙට ඕකා බුදියපු ගමං හොරෙම්ම බෙල්ල කපන්නං. ඊට පස්සෙ අම්මටයි නංගිටයි දලු ටිකක් කඩාගෙන කාල බීල හිටියැකි"

"උඹ හිටහං පුතේ මං ඕකට වහ ටිකක් දෙන්නං මැරිල යන්න. උඹ ඉගෙන ගනිං"

"අම්ම හිරේ යන්න ඕන්නෑ. මං ඕකව මරල පිහියත් ඇරං ගිහිං පොලිසියට කියන්නං මහ එකා අම්මට තඩිගහන හංද මං ඌ මැරුව කියල."

"එහෙම නැත්තං අර ගාතාවෙ 'පීතු පාදං නමාමහං' කියල තියෙනව වගේ ඕකගෙ කකුල නමල මැහුව නං හරි"

ඒ විදිහට සංසාරෙ කැරකෙනව වගේ අවුරුදු ගානක් ගුටි කකා නිදි මරාගෙන ගස් ගල් යට ජීවත් වුනත් මට තාත්තට පිහියෙං අනින්න බැරිවුනා. අම්මත් හැමදාම බොරු කිය කියා 'මිනිහගෙ නම්බුව' බේරුව. එක පාරක් විතරක් ඇවිදගන්න බැරිවෙන්න ගුටි කාපු අම්මව ඉස්පිරිතාලෙ නවත්තන්න වෙච්ච හන්දා පොලිස්සියෙ ඇන්ටරියක් වැටුනා. අම්මා ඉස්පිරිතාලෙං ගෙදර ආපු ගමං පොලිස්සියට ගිහිං

"මට කිසි අමාරුවක් නෑ."

කියල පොලිස්සියෙ රාලහාමිලගෙනුයි ඇන්ටරි ලියන පොලිස් හාමිනේගෙනුයි බැනුං අහගෙන ඇන්ටරිය අයිං කරගත්තා. අපිව ආයිමත් ගුටි කන චක්කරේ මුලට වැටුනා. ඒ කාලෙ වෙද්දි සිස්සත්වෙ පාස් වෙච්ච උෂ්නෙ ඔලුවට ගහපු මම ජයන්තියෙං ජාතික පාසලට මාරු වුනා. එතනදි හම්බුවෙච්ච එක යාලුවෙක් මාව තමුන්ගෙ ගෙදර නවත්තගත්තා. එදා ඉඳං අවුරුදු තුනක් යනකං රෑ නමයෙ ඉඳං උදේ පහට වෙනකං එක පිම්මෙ නිදාගන්න මගෙ නින්ද කැඩුනෙ හීනෙං බය වුනොත් විතරයි. ඒත් එක්කම අපේ තාත්තත් බීගෙන ඇහිල්ලා රණ්ඩු කරන එක නැති වුනාලු.



Sunday, May 20, 2018

දානෙ 3

ඊළඟ වටේ පටං ගත්තෙ රෑ අටට විතර.

“අම්මෙ මට ලොකු තාච්චියක් එහෙම ඕනි“

චූටි මැණීකේ තමුංගෙ මෑණියන්දෑ ඇමතුවා.

“දැං මොකටෙයි සුදු පුතේ තාච්චි? උදේට තිවුනං මදෑ“

“දැං ඕනි. කට්ලිස් හදන්න එපෑ“

“දැං ඔව්ව හදා තිව්වම පොඟනවනෙ සුදු පුතේ. අනික පින්නි වෙයි හෙට දවල් වෙත්දි. කඩවල්ලොල කරන්නා වගේ අපිට ලේසිවට සවුත්තුවට දෙන්න නරකයි. දානයක්නෙ.“

මේ වගේ වෙලාවට මට කට පියාගෙන ඉන්න අමාරුයි. ඒ හින්දා කට ඇරියා.

"අපි එව්ව සේරම බැදල අරං එවලෙම ලැමිනේට් කරනව. එතකොට පොඟන් නෑ"

ඒ හරුපෙ මොකද්ද තේරුං ගන්න බැරුව නැන්දම්මා උඩ බිම බලද්දි චූටි මැණිකේ මට දුන්නු අවවාදය ඉංග්‍රීසියෙන් ලියන්නෙ මෙහෙමයි.

"Man, close your mouth" (මෙතැන Man = මනුස්සයෝ, Your = තමුන්නෙ, mouth = හැකර කට වෙන්න ඕනැ)

ඉං පස්සෙ තව ටිකක් පැහැදිලිවට කාරණාව කිව්වා. 

“නෑ නෑ අම්මෙ දැං ඒ ටික හදල තියල උදේටයි තෙලේ දාල බදින්නෙ“

“අනේ මංද. මං ඔය විපිරියාස කෑම හදන්න දන්නෑනෙ. ආං අර මේසෙ යට ඇති තාච්චියක්. මේ ලිප ගාව යටත් ඇති ඕන්තරං. එයිටත් ලොකු එකක් ඕන්නැං අටුවෙත් ඇති. ඕන එකක් ගන්නකො. මං යනව විස්නු දෙයියංගෙ කතාව බලන්න“

නැන්දම්මා බත් පිඟානත් අරගෙන අඩි තුනට සාලෙට පැනගත්තා. මං මේසෙ යට තිබුණු විසාල තාච්චිය එලියට ඇද්දා. බල්ලෙක් නාවන්න ගෙනියන තරං වෙර වීරියෙං ඇද්දට පස්සෙ තාච්චිය එලියට ආවා. ඒක පුරෝල තිබුණු දේ දකින ඕන කූඹියෙක්ට සන්තෝසෙට සිහි නැතිවෙනව.

“ආ... ඒකෙ පැණි“

ආයිමත් අපි කුස්සියෙ ඉඳං කෑ ගැහුවා. ඒ අතරේ මං මේස හැන්දක් තාච්චියට ඔබලා පැනි ඩිංගක් අරං කටට හලාගත්තා...///// කිතුල් පැණි කොච්චර කෑවත් දයබිඩිස් හැදෙන්නෑ. සීනි වගේ නෙමෙයි.

“අම්මේ...“

“ඇයි ළමීනේ“

උත්තරේ සාලෙං ලැබුණා.

“මේකෙ පැණිනේ.“

“එහෙනං ඉතිං වෙනිං එකක් ගන්න“

අපි ලිප ගාව යට තිබුණ හැලි වලං ගාල ඇදල බැලුවත් එතන තිබුණෙ ආප්ප තාච්චියක් විතර පොඩි එකක්. ඒක ඇතුලෙ හිටපු යන්තං රැවුල ඇදිච්චි, සාමාන්‍ය පෙළ ලියන වයසෙ කරදලි ටිකකුත් අපිව දැකල ලැජ්ජාවෙන් හට්ටියක් අස්සෙ රිංගල හැංගෙද්දි උං අතර හිටපු ගුවන් දලියෙක් ඉගිලිලා ගියා. අපි ආයිමත් කෑ ගැහුවා.

“මේක මදි.“

“අනේ ඉතිං ළමයො ඔය එකක් හොයා බලල ගන්නකො. හැම දේම මං අතට දෙන්න ඕනද? පිට ගෙදරක වගේනෙ හැසිරෙන්නෙ“

ගේ වටේ රවුමක් ඔතන්න තරං දිග නෝක්කාඩුවක් සාලෙං ගලාගෙන ආවා. 

“අටුවෙ තියෙනව කියපු එකවත් බලමුද“

දිගං නැන්දා මගෙ දිහා බලල කිව්වා. ඕං පිරිමියෙක් වෙන එකේ අවාසිය.

"ටෝච්චෙකක් නැතුව කොහොමද මේක උඩට නගින්නෙ. තිත්තපල් කරුවලයි."

මං ගැලවීමට කරුනු ඉදිරිපත් කලා.

"මල්ලී... ඔය ටෝට්චෙකක් ගෙනත් දෙනවකෝ.."

චූටි මැණිකේ පිඟං රාක්කෙ දෙදරවන තරං සද්දෙට කෑ ගැහුවා.

"මේ තියෙන්නෙ අරං යනවකො ඕනි එකක්."

ඒ අක්කගෙ මල්ලිම බව තහවුරු කරන්න ජනෙල් වීදුරු දෙදරන තරං සද්දයක් සාලෙං ඇහුනා. දිගං නැන්දා සාලෙට ගිහිං ඒ සේරම ගෙනාවා. නැවක හෙඩ් ලයිට් එකට ගැලපෙන තරං ලොකු චාජ් කරන ටෝච්චෙකක්, ගිලින්නට පහසු හැඩයෙං හදාපු රානී සඳුන් සබන් කැටයක් වගේ ටෝච් එකක්, පටියකිං ඔලුවෙ පළඳන්න පුළුවං විදිහෙ පතල් ටෝච් එකක්, කීටැග් එකක් විදිහට අමුණන්න හදාපු ගිනිපෙට්ටි සයිස් ටෝච් එකක් ඒ අතර තිබුණා. ඒවා පත්තු කරල බලන තැන පරණ කොටියා ලකුණ ටෝච් එකක් එහෙම හිටියා නං ලිපට පැනලා බැට්ටිකෑලි ටික පුපුරුවගෙන දිවිනහ ගන්න තිබුණා. නැව් ටෝච් එකේ සුවිච්චෙක ඉස්සරහට දාන්න අලවංගුවක් ඕන. ඒ සුවිච්චෙක ආපස්සට ගන්න විදිහ ඒ වෙද්දි හොයාගෙන තිබුණෙ නෑ. එහෙම තල්ලු කරල පත්තු කලත් ඒකෙ එලියෙං යන්තමට හරි පේන්නෙ ටෝච් එකේ බලුප් එක තියෙන තැන විතරයි. සබං හැඩේ ටෝච් එක ඊට හපං. ඒක උඩට හැරුණම පත්තු වෙනව බිමට හැරුණම නිමෙනවා. හොර පොල් කැඩිල්ලට, රෑට ආත ගහට එන වවුල්ලු, මාකඹයි එලවිල්ලට, අමාවක දවසට හඳ බලාගන්න ඇරෙන්න මට හිතෙන හැටියට ඒකෙං ගන්න පුළුවං එකම ප්‍රයෝජනේ සාමාන්‍ය පෙළට සම්භාවිතාව උගන්නන එක විතරයි. කීටැග් ටෝච්චෙක අතට ගන්නකොටම පියං දෙක දෙපැත්තට ඇරිලා ඒක ඇතුලෙ තිබුණු බොත්තං සයිස් ඔරලෝසු බැට්ටි දෙක, ඉස්ප්‍රීන්නෙකක්, තව ඉටි කෑලි ටිකක් වංගෙඩිය අස්සට, මිරිස් ගල යටට ආදී සොයාගන්න ඉතාමත් පහසු තැංවලට විසිවුනා. පතල් ටෝච් එක ඒ වෙත්දි තමුන්ගෙ බැට්ටි කෑලි ටික ඔරලෝසුවටයි, රිමෝට් එකටයි උගස් තියලා එව්වා සින්නවෙලා ඉවරයි. ඒ හංදා සමස්ත මහජන චීන සමූහාණ්ඩුවටම පිං අනුමෝදං කරන්න මං ඒක අවස්ථාවක් කරගත්තා. චීන්නුන්ට සම්බන්ධයක් නැතත් ඒ පිං අනුමෝදනාවෙ අපර කොටසට ගෙදර ඉන්න පිරිමි දෙන්නවත් ඇතුළත් උනා.

"තාත්තල පුතාල දෙන්නගෙං එක්කෙනෙට්ටවත් බැයිද අම්ප හරිහමං ටෝච්චෙයක් ගෙනත් තියාගන්න"

සාලෙට ඇහෙන්නෙ නැති ගානට නිර්භීත විදිහට අදහස් පළ කරපු මට අවසානෙට පිහිටට හිටියේ අපේ නැන්දම්මගෙ ටෙලිපෝන් එක. එකපාරක් චාජ් කරහම ඊළඟ පුර පසලොස්වක වෙනකංම චාජ් එක අල්ල හිටින, ඕන බොකලමක් අස්සට සිග්නල් ඇදගැනීමේ ආකර්ශන බලයක් තියෙන, බහුබූත සිංහල වචනවලිං හදපු මෙනුවක් තියෙන ඒ පෝන් එකේ ඉහ මුදුනෙං එලිය පිටවෙන කොටුවක්  හදලා ඒක විදුලි පන්දම හැටියට මෙනුවටත් ඇතුලත් කරල තිබුණා. හතර පැත්තටම එබෙන මැද බොත්තම උඩු අතට තප්පර දෙක තුනක් ඔබාගෙන හිටියම තිරේ ඉටු කලා කියල හරියක් දාලා පෙන්නුවා. එතකොට පෝන් එකේ ඉස් මුදුනෙං කලාමැදිරි බල දෙක හමාරක විතර එලියක් දකින්න තිබුණා.

මං පුටුවක් උඩට නැගලා අටුවෙ ලැල්ලක එල්ලිලා  ජනේලෙ ග්‍රිල් එකකට අඩිය තියාගෙන අටුව පුරාවට කට හරවලා බැලුවා. අතපය හතරින්ම උඩ එල්ලිලා හිටපු හන්දා ඒ වෙලාවෙ ටෝච්චෙක විදිහට වෙස්මාරු කරපු පෝන් එක තිබුණෙ මගෙ කටේ ඉස්සරහ දත් හතර පහට හිරවෙලා. විසාල සාස්පාං, විසි තිස් නමකට දෙන දානෙකට එක පාර මාලු පිනි හදන්න තරං විසාල ඇතිලියක්, එක්දාස් නමසිය අසූ ගනංවල ළමයි නාවපු පරණ යකඩ බේසමක්, කඹ රෝල්, ගැරුං වට්ටියක්, චිමිනි ලාම්පුවක්, පරණ ලයිට් එකක්, දෙපැත්ත කලු වෙච්චි ටියුබ් ලයිට් මිටියක්, කොලපත්, වයර් කෑලි, වීදුරු බෝතල්, බෙහෙත් තෙල් කුප්පි, හිස් දසමුලාරිස්ට බෝතල්, බට පොතු කූඩ, කුඹුරු උදලු තලයක්, උලුවහු කඳං දෙක තුනක්, රීප්ප හත අටක්, බණ්ඩි කියතක්, වෑයක්, පරණ වෙසක් කූඩු වගේ සෑහෙන දේවල් තිබුණත් ඒ අතරෙ තාච්චියක් තිබුණෙ නෑ. මං කට පහලට හරවලා අටුව උඩ විස්තර විචාරෙ බිම ඉන්න අයට ඉදිරිපත් කලා.


“ඒහ අඅ ආහ් ඉඅහ් ඈ“

“කට ඇරල කියන්නකො අනේ. මොකද්ද කිව්වෙ“

“ංඒ ඕහ් එහ අංඅ ංඈ“

“මොකක් කියනවද මංද“

අන්න ඒ වෙලාව වෙද්දි අපේ නැන්දම්මගෙ නෑයෙක්ට, නැත්තං යාලුවෙක්ට උන්දැට කතා කරන්න ඕන වෙලා අපේ නැන්දම්මට කෝල් එකක් ගත්තා. නමුත් අවාසනාවට ටෝච් එක හිටියෙ උන්දැගෙ බෑනගෙ කටේ. ඒ වගේම ඒ පෝන් එකේ බාසාවෙංම කියතොත් පැතිකඩ අස්සෙ හඬ නාදය කියන එක නාද හා කම්ප. බවට හරෝල තිබුණෙ. ඒ හංදා නොකියා සමාගමේ තේමා නාදය

“ඉටිපන්දං.. ඉටිපන්දං ... ඉටිපන්දං කෝ“

කියල මගේ දිවත් උඩුතල්ලත් අතර නින්නාද දෙද්දි, මගෙ නහයට හරි කෙලිං යටිං තිරය එලිය ඔටෝමැටික් කරමිං එන. ඇම. කියලා පෙන්නද්දි ජල සන්නිය හැදිච්ච මිනිහෙක් වෙව්ලන තරං තදිං මගෙ දත් කුට්ටම දෙදරවාගෙන උඩුතල්ල කිචිකවාපු ටෙලිපෝන් එක ලිස්සලා බිමට වැටුනා. පියන පින්ලන්තෙ දිහාවටත්, මූනතේ ඉලක්කං ටිකත් එක්ක පට්ටම ගැලවිලා පිඟං රාක්කෙ යටටත්, බැට්ටිය ගැලවිලා MADE IN CHINA කියන අකුරු ටික උඩට හිටින්න දොරකඩ දිහාවටත් විසිවෙද්දි අමතන්නා එක්ක අපේ නැන්දම්මගෙ තියෙන හොඳ හිතටත් කනකොකා ඇඬුවා. එන ඇමතුමක් විසන්ධි කිරීම කියන්නෙ අපේ ගම්පලාත්වල මූනට මුලිච්චි වුනත් කතා නොකර යන්න තරං වටින වරදක්.


“අර ඒකත් කැඩුව.“


“ඔය දහිරපට්ටම කටේ තියං ආයි වචනයක් කීහැක්ද. ඕං ඔය පුටුව අල්ලන්න මට බහින්න“

“ඉතිං කිව්වනං හරිනෙ ටෝච්චෙක ගන්න කියල. අපි ගන්නවනෙ.“

“ඒක කියන්න කට අරින්න එපෑ. එතෝට කොහොමත් ඕක බිම තමා“

“කෝ චාච්චිය“

“ඔහෙ ඇති චාච්චියක් නෑ.“

“එහෙනං වෙනිං මොනවද තියෙන්නෙ“

“ඒක ඇර අනික් එක්කොම ජාති තියෙනව.“

ඒ ගමන දිගං නැන්දා කුස්සියෙ ඉඳලා සාලෙ දිහාවට බෙරිහං දුන්නා.

“අක්කෙ. අටුවෙත් නෑ“

ඒ අතරෙ මං ටෙලිපෝන් එකේ කෑලි ටික එක්කහු කරලා අමුණලා සම්පූර්ණ ටෙලිපෝන් එකක් බවට පත්කලා.

“අනේ මන්දා මේ ළමයින්ට මං නැතිදාක කිසිම දෙයක් තනියම කරගන්න බැරි වෙනව.“

ඒ වාක්‍යෙය අන්තිම තිතේ නැගලා නැන්දම්මත් කුස්සියට ආවා. පරණ චිත්තරපටියක සිංදුවක් බෙලෙක් පිඟානෙං නව ආරට සංගීතවත් කරමින් ඒ පිටිපස්සෙං මාමණ්ඩිත් ආවා. 

“මේ ඒයි ඔයාවත් බලන්නකො අටුවෙ අර ලොකු චාච්චිය තියෙද කියල. මේ ලමයින්ට ඒක හොයාගන්න බැරිවෙලා.“

“ඒ චාත්තිය නෙ ඕගොල්ලංගෙ ඩොම්පි නැන්ද ඇරංගියෙ උන්දෑ පුතෑ ලොකු කෙල්ලගෙ කොටහලුවට දොදොල් හැඳිගාන්න කියල“

“ඒක ගෙනැත් දුන්නැද්ද“

“කොහෙ ගෙනත් දෙන්නද? දැං උං මගදි දැක්කං අහක බලං යන්නෙ එදා අපේ ලකිය උංගෙ පොඩි කොල්ලව කන්න එලවං ගියාට පස්සෙ“

“ඉතිං ඒයි බලන්න.................. මේ මිනිස්සුන්ට බඩුවක් මුට්ටුවක් දුන්නං ගෙනත්දෙන්න මතක නැති හැටීඊඊඊඊ..... ආයි නං ඉල්ලුවට දෙන්න නාකයි“


“ආයි දෙන්න ඉතිං තීන්නෙපෑ“

"ඕක කලිං කියන්න තිබුන්නැද්ද. අපරාදෙ මං දැලි නාගෙන අටුවෙ නැග්ග"

මාත් මගෙ නෝක්කාඩුව ඒ මැද්දට දමා ගැහුව. කවුරුවත් ඒක ගනං ගත්තෙ නෑ.

“කෝ අම්මෙ එතකොට අර අම්ම සීට්ටුවක් දාල ගත්ත චීනච්චට්ටි චාත්තිය“

“ඒක අර රෝල්මඩුවෙ ලිපේ පුතේ. ඒකෙත් එහෙම් පිටිම්ම තෙල්දිය එකක්. ඔයා මට මතක් කල එක හොඳයි. ඒකට ගින්දර දාන්න බැරිවුනා.“

“එහෙනං මේ පැණි ටික අස්කරල මේ චාත්තිය වත් දෙන්න“

එතකොටම දිගං මාමා සාලෙ ඉඳං කෑගැහුවා.

“අක්කේ, එන්ඩෝ. මෙන්න පටං ගත්තා“

ඒ එක්කම ටීවී එකෙං ටිංකිරි කට හඬක් ඇහෙන්න ගත්තා.

“රාධා ඉන්න සමග මා. එන්නම් සමග ඔබ මා.“

ඒ සද්දෙත් එක්ක කන් දෙක කෙලිං කරගත්තු නැන්දම්මා අතේ තිබුණු පිඟාන සින්ක් එකට අතෑරලා යන්තං අත හෝදගෙන වතුර කෝප්පෙත් අරං සාලෙට දුවන ගමං අපිටත් උපදෙසක් හලාගෙන ගියා.

“ඕක මොහොකට හරි දාල ගන්නකො.“

අපි තුන්දෙනා පුස්කර් නගරෙ හනුමන්තා පාරෙ සන්තෝස් රාටිගේ ගෙදර අය වගේ මූනෙං මූණ බලාගත්තා. ඊළඟට තිබුණෙ පැනි හැලිය පිටුවහල් කිරීම. ඒ ගැන විස්තර කරන එක සෙල්ටික් බාසාවෙ වචන කියෝන තරං අමාරු වැඩක්. අන්තිමේදි කුල්ලෙ තිබුණු මිරිස් කරල් ටික සොපිං කවරෙකට දාලා, පෝර කවරෙ තිබුණු දෙල් අටුකොස් ටික කුල්ලට දාලා, පෝර කවරෙට පනිට්ටුවෙ තියෙන හාල් ටික දාලා, ඒ පනිට්ටුවෙ අඩිය පැලිලා බව දැකලා වෙනිං පනිට්ටුවක තිබුණු සිල්ලර තුනපහ, කොත්තමල්ලි, සූදුරු, උම්බලකඩ, සුදුළූණු වගේ ජාති ටික අඩිය පැලිච්ච පනිට්ටුවට දාලා බේරගත්තු පනිට්ටුව හෝදල අරං ඒකට තාච්චියෙ තිබුණු පැණි ටික දැම්මා. ඒ වෙත්දි ආයිමත් ටීවී එකේ වෙළඳ දැන්වීම් පෙන්නන්න පටං අරං. ප්‍රේක්ෂකයො ටික කුස්සියට ආවා.

“ඉතිං ඕකනෙ ළමෙයෝ මං කිව්වෙ. අර දරුවත් අටුවෙ ඇරල දුඹුලු නාවන්නැතුව පළවෙනිවැම්ම ඔය තාච්චිය ගත්තනං අහවරනෙ.“

නැන්දම්මා ඉනට අත්දෙක ගහගෙන දොස් පැවරුවා.

“අනෙයම්මෙ කෑනොගහ ඉන්න.“

චූටි මැණිකෙ පිපිරුවා.

“ඕං පේනවද. ළමයින්ට යමක් පැහැදිලි කර දෙන්න බෑ. අපි වයසට යද්දි කොහොම බැණ අඬගහයිද?“

ඊළඟට සාලෙං කැඳවීම ලැබෙනකං නැන්දම්මා කලුතර දිස්ත්‍රික්කයෙ පහුගිය අවුරුදු ගානක් ඇතුළත ළමයි දෙමාපියන්ට නොසැලකීම ගැන සුවර්ණවාහනේ පෙන්නපු කතන්දර එකිං එක දිගාරින්න පටං ගත්තා. ඒ අතරෙ මං පිහියෙයි පොල් ගෙඩියෙයි උදව්වෙං සාඩිං ටිං කඩද්දි, චූටි මැණිකේ දෑසින් රූරා හැලෙන කඳුලැලි සහිතව බොහොම දුකින් ලූණු කැපුවා, දිගං නැන්දා ලිපෙං බාගත්තු අර්තාපල් හැලියක් බේසමට හලාගෙන සැරිං සැරේ

“හුයි..“

“පිච්චෙනවා“ 

  කියන ගමං එව්වයෙ පොතු ඇරියා.

අනික් අය සාලෙට වෙලා නිදිකිරා වැටෙන ගමං රාත්‍රී ඉංග්‍රීසි පුවත් ප්‍රකාශයට තනි රකිද්දි අපි තුන්දෙනා ඒ සේරම ජාති තෙලේ දාලා බැදලා, තලලා, චොප්ප කරලා අරං කට්ලස් බෝල හදලා ගෙදර තියෙන තරමක් තැටි, පිඟං ආදියේ අහුරලා පිජ්ජෙකට දැම්මා. බෝංචිවල මැහුං කපලා දෙපැත්තෙ නූල් ඇරලා හුස්ම ගන්න බැරිවෙන්න කවරෙකට දාල ගැටගැහුවා, ලීස් ගස් කොලෙන් කොලේට පතුරු ගහලා සුද්ද කරල හෝදද්දි මධ්‍යම කඳුකරේ සාරවත් පස ඛාදනය වෙලා ගිහිං කොරහෙ අඩියෙ තැන්පත් වුනා. ඒ සේරම ඉවර වෙලා අන්තිමට ඇස් පිහාටු තුනටිය ගාවටම පාත් වෙද්දි අපිත් බිත්තිවල වැදි වැදී ගිහින් ඇඳංවලට ඇදං වැටුනා.


Thursday, April 26, 2018

දානෙ 2 හෙවත් දර හෙවිල්ල

දිගංචියා අපිට ලොකු කං පෙන්නපු බව ඇත්ත. උගෙ ලොකු කං අපිට දිරෝපු නැති එකත් ඇත්ත. ඒ උනාට මිනිහෙක්ට තමුංගෙ ජීවිතේ හීනවලට කිට්ටු වෙන්න බැරි උනහම සෑහෙන දුක ඇති. ටිකෙං ටික මෝරලා ලොකුවෙලා මල් පූදින්න යන ගහක් එක පාරම කඩා වැටුනා වගේ ජීවිතේ බිඳවැටිලා කවදාවත් නොහිතපු රස්සාවක් හිතේ අකමැත්තෙන් කරන්න වෙනකොට ඒක කාල ඉන්න අමාරු තත්වයක්. ඒ හංදා දිගංචියා ගැන මට තියෙන්නෙ දුකක්. අනේ පස්සෙ කාලෙක හරි දිගංචියාට කොම්පියුටරේ සම්බන්ධ රස්සාවක් ලැබෙනවනං හොඳා.

අත්වැල්තොට සමන් දේවාලෙ ගාව නැවතිලා දෙයියන්ට පිං දීලා ඊළඟට තව කඩේකිං බනිස් ජෝඩුවකුත් අරගෙන අපි ගේ ගාවට කිට්ටු උනා. දලු ලොරි කාරයන්ට පිං සිද්ද වෙන්න චූටිමැණිකෙලගෙ ගෙදරට යන පාර සෑහෙන හොඳයි. ඒ හංදා අපි ගෙනාපු බඩුමුට්ටු ටික අරං යන්න ගෙදර තෙසක් රිය මගට ගෙන්නා ගත්තා. (ලංකාවෙ පාවිච්චි වෙන තෙසක් රිය කියන්නෙ off road (පිට පාරෙ) වාහනයක්).

එතන ඉඳං අපිව ගෙදරට එක්කං යාමෙ වගකීම ගත්තෙ ලකියා. අපි ගෙදරට ගොඩවෙනකොට මලෙයා තෙසක් රියෙ තිවුණු සේරම බඩු ටික බිමට බාලා ඉවරයි.

"අනේ ළමයිනෙ හැබෑට මෙයාකාර බාස්කැට්, පයිට්ටු මොකට ගෙනාවද? අර ගෙයි ඕන තරං බාජන තියෙන්නෙ"


"මෙයාකාර බඩු මුට්ටු මොකටද? අර ගෙයි ගොඩගහල තියෙන්නෙ"

"මේ පිහිය හිට ගෙනැත් තියෙන්නෙ. මොනව ලියාලන්නද සුදු පුතේ ඔයාකාර. අර ඕනහැටියෙ පිහි තියෙන්නෙ ගෙයි."

“මේ ඉටි තහඩුවක් මොකද්ද?“

ආදී වශයෙන් අපි ගෙනත් තියෙන බඩු මුට්ටු ජාති කිසිම එකක් නැතුවට දානෙ වැඩ ටික කරන්න පුළුවන් බවට දිවුරමින් අපේ නැන්දම්මා අපිව පිළිගත්තා.


"අක්ක කිව්වට හොයන්න ගිය තැන්දි තමා කිසිම දෙයක් නැත්තෙ"

දිගං නැන්දා වචන ස්වල්පයකින් උත්තර දුන්නා. මේ අතරේ තමුන්ගෙ හයර් එක ගෙවන්න මෙච්චර පරක්කු මොකදැයි දිව දොට්ට දාගෙන නගුට වන වනා බලං හිටපු ලකියාට තමුන්ට හිමි බනිස් ඩබලත් ලැබුණා.

එදා හැන්දෑවෙ සතොසෙන් ගෙනා සලාක මල්ලත් අරගෙන, පාරෙ පඳුරක් ගානෙ දිය තුවක්කුවෙන් වතුර විදින ලකියවත් පෙරටු කරගෙන අපි දෙන්නා කුඹුරෙන් එගොඩහ ගොඩේ තියෙන මූකලාන මැද ගෙදර බලා පිටත්වුනා.

"මේ ගොම්මං වෙලාවෙ ඔය නියරවල් පල්ලෙ නයි පොලොංගුත් ඇති. ඇහැ කන පේන වෙලාවක ගියං මොකද"

“ඔය නියර දිගේ කුණකටු විමානෙ“

අපේ නැන්දම්මාත් මාමණ්ඩිත් අපේ ගමනට ආශිර්වාද කළා. නියරවල්වල හාරපු අනවසර කක්කුටු බෙන සේරම පරීක්ෂා කරමින් ලකියා කමුන්ගෙ රාජකාරියට ඉස්සර වුනා. ඒ පිටි පස්සෙන් යන්තම් තියෙන අඩිපාර දිගේ අපි දෙන්නත් අඩිය ඉක්මන් කලා.

ඒ මූකලාන මැද ගෙදර ඉන්නෙ 'සෝම්පාල' මාමා. දැං අවුරුදු හැත්තෑවත් පහු කරලා. කසාදයක් කරගෙනත් නෑ. ජීවත්වෙන්නෙ තනියම. ආණ්ඩුවෙ ඉඩමෙං අක්කර දෙකක විතර කොටහක් අල්ලගෙන ඒකෙ පදිංචි වෙලා රබර් ගස් ටිකකුත් වවාගෙන තියෙනව. දැං රබර් රොටි තලාගන්න හයිය ගාය නැති හංදා රබර් කිරි පොල්කටුවලම මිදෙන්න ඇරල පොල්කටු පාලු ටිකක් හදල වේලල විකුණගන්නව. එයිං හාල් කිලෝ දෙක තුනක් ගෙනත් බතක් උයාගෙන වටේ පිටෙං හොයාගන්න මොනව හරි ජාති ටිකකට පොල්කිරි ටිකක් දාලා වේලලා හොද්දක් හදාගෙන ගිල දානව. හුඟක් වෙලාවට ඒ හොද්ද හැදෙන්නෙ කොහිල අල, කොහිල දලු කියන ජාති දෙකෙං. වැහි කාලෙට රබර් කැපිල්ල බැරි වුනහම මනුස්සයා දවස් ගානක් බඩගින්නෙ ඉන්නව.  අපි දැනගත්තු විදිහට ඒ වෙනකොටත් සෝම්පාල මාමට ලබල තිබුණෙ ඒ වගේ සාගත කාලයක්.


අපි යත්දි උන්දැ ගෙයි ඉස්සරහ කොටසෙ ලිපේ ලොකු වතුර මුට්ටියක් උණු කරනවා. ඉස්සර වෙලාම ගිය ලකියා ආගිය කතා බහ පටං ගත්තා.


"ව් රැව් රැව් බැහ්.. බව්වව්වව්ව් වහ්"


"අපොයි ඔන්න ඔය බල්ලා. අල්ලගන්න. හරි විසයි. ඕකා. කනව. මිනිස්සුංව"

සෝම්පාල මාමා උඩ පැන්නා. මං ලකියගෙ බෙල්ලෙං අල්ලලා ඉස්සරහ අඬු දෙක උස්සලා වට බාගයක් කරකවලා බිමිං තියලා තරවටු කෙරුවා.

"යන්න කිව්වෙ ගෙදර. තැනකට ගියං හැසිරෙන්න දන්නැද්ද"

"කූහ්... කූ..... (මුංට හොඳක් කොරන්න ගිහිං බැනුං අහන්න වෙච්චි හැටි. මං යනව)"

කියල ලකියා ආපහු හැරුණා.

අපි ගෙනිච්ච සලාක මල්ල සෝම්පාල මාමාට දුන්නා.




 සෝම්පාල මාමා මල්ල අතට අරං අපි දිහා සැකෙන් බැලුවා. 

"මේ මොනවටද මේ?"

"අපි මේ කාලෙකිං ගෙදර ආ හංදා මාමව බලන්න ආවෙ"

අපි බොරුවක් කිව්වා. සෝම්පාල මාමා මල්ල දිගෑරල බැලුවා. 

"ආ... මේකෙ පුරාම ජාති තියෙනවනෙ. මේ සෝයාමිට් මෙහෙ සීය ................ යි. ......"

සෝම්පාල මාමා රටේ තොටේ ආහාර ජාතිවල ගනං හිලව් කියද්දි මං වටපිට විස්තරේ බලාගත්තා. ලිපේ වතුර මුට්ටියක් රත්වෙනව. ලිප වටේට පොල්කටු, පොල් ලෙලි, පොල් පිති, කොළපත්, ටිං බෙලෙක්ක. කාලයක් තිස්සෙ ඒ විදිහට ගොඩගහපු සුංබුං එතනම දිරල පස් වෙලා ලිප වටේට උසට ගොඩගැහිලා. ඒ උඩත් ආපහු පරණ ලැයිස්තුවම ගොඩගහල. ලොකු පොල් ඉති, ලී කෑලි, ලී කඳං, පරණ ජනෙල් රාමුවකුයි පියනකුයි ආදී සුං බුං බිත්තියට හේත්තු කරල. ගේ වටකරගෙන කැලේ වහලෙට නගින්න හදනව.



 පොල් කටු තුනක් උඩ නග්ගපු ඇතිලියක වතුර පුරෝල මිදුලෙන් තියල. මොකටද මන්දා. 



මනුස්සයා නිදාගන්නෙ මේක ඇතුලෙලු. මේ ගේ ඇතුලෙ අලියෙක් තරං උසට පොල් ලෙලි ගොඩක් තියෙනව. එව්වා දිරල පස් වෙද්දි ඒ උඩ තවත් පොල් ලෙලි ගොඩ ගැහෙනව. දැනට පරිනාමය නොවිච්ච සමහර සර්පයො පවා ඒක ඇතුලෙ ඉන්න පුළුවං. ගෙදරට එන අයට ඉඳගන්න දෙන්නෙ මේ පේන්න තියෙන පෝර කවරෙ එලාපු ගල් ගෙඩිය උඩ. ඒ වෙලේ ඒ ගල් ගෙඩිය උඩ තිබුණෙ කොරහක්.

"ඉතිං ඇයි මට මේව ගෙනාවෙ?"

"මොනවද මගෙං ඕනැ?"

සෝම්පාල මාමා කීප සැරයක්ම ඇහුවා.

"අපි මාමව බලල යන්න ආවෙ. අපිට මොනවත් එපා. අපි යන්නං වහින්නත් එනවනෙ"

කියාගෙන අපි දෙන්නා එතනිං පිටවෙලා ආවා. අපි එනකං ලකියා පොල් ගහක් යට පිදුරු ගොඩක ලැගගෙන හිටියා. අපි කුඹුරෙන් එගොඩ වෙනකං සෝම්පාල මාමා මිදුලට වෙලා බලාගෙන හිටියා.

එදා හවස උන්දැ ගැන තවත් කතා බොහොමයක් අපේ කනට වැටුනා.

"ඉඳුනිලා එහෙම එක්කහු වෙලා ඔය මිනිහට ඉඩම සුද්ද කරල තේ පැල ටිකක් හිටෝ දෙන්න ඇහුවම බැනල එලෙව්වනෙ"

"ඔය දෙන්නා එනකං බලා හිටියෙ මොකවත් නෙමෙයි. ඔය ගහක තියෙන ගෙඩියක්වත් කඩාගනියි කියල සැකේට."

"මිනිහට හරි සැකයි ගමේ මිනිස්සු මිනිහව ඔය ඉඩමෙං එලවන්න හදනව කියල."


මේ ගමන සිංහල අවුරුද්දට ගමේ ගිය වෙලාවෙ ඒ ගමේ තව ගෙදරකිං සෝම්පාල මාමා ගැන අපිට තව ආරංචියක් ලැබුණා.

"මේ ළමයි ගෙනත් දුන්න බඩු මුට්ටු සේරම ඒ මනුස්සයා වංගුවෙ කඩේට දීලා වෙනිං ජාතිවලට මාරු කරගෙන තිබුණා."


ඒ අරුම පුදුම මාරුවට හේතුවත් එයාම අපිට කිව්වා.

"මිනිහ හිතන්නෙ මේ ළමයි ගුරුකමක් කරපු දෙයක් මිනිහට ගෙනැත් දීල ඒක මනුස්සයට ගිල්ලෝලා ඔය ඉඩමෙං මිනිහව පන්නයි කියල. මයෙනුත් ඇහුවා මේ ළමයා මිනිංදෝරුවෙ වැඩ කොරන හාදයෙක් නේද කියල. ඒකෙං තවත් සැක ඇති."


"දෙන එක අපේ වැඩක්. ඒක ඕන හැටියකට පිළිගන්නා එක එයාගෙ වැඩක්. ඕන එකක් කරගත්තාවෙ."

අපි දෙන්නා අපේ අවසන් නිගමනය දුන්නා. 


අසරණ වෙච්චි කාගෙවත් පින්තූර ප්‍රසිද්ධ කරන එක හොඳ මදි වුනත් මේ වගේ ජීවිතත් මේ රටේ තියෙන බව තහවුරු කරන්න මේ පොටෝ ටික මෙතන දාන්න සිද්ද වෙනව. ඒ වගේම කාට හරි උදව් කරන්න කලින් ඒ මනුස්සයගෙ චරිත සොබාව දැනගන ඉන්න එක තමන්ට යහපතක් වගේම නැති කරදරවලින් බේරෙන්න උදව්වකුත් වෙන බවත් කියන්නම ඕන.


*******************************************************************************

ආපහු දානෙට කලින් දා හවසට එමු. 

රටේ ආර්ථිකේ, බඩු මිල, පවුලේ ළමයින්ගෙ අධ්‍යාපනය, අලුතිං දාපු ප්ලාස්ටික් බඩු කඩවල්, අහවල් ගෙදර අහවල් අයගෙ කෙරුවාව, දිගං නැන්දගෙ කකුලෙ දෙහි කට්ටක් ඇනීම, දෙහි කටු ඇනිලා හැදෙන්න පුළුවං ලෙඩ, දෙහි කටු ඇනිලා මැරිච්ච අය, මැරිච්ච අය ගැන කතා, කතා කරපු අය මැරිච්ච හැටි, මැරිච්ච අයට දෙහි ගෙඩ්ඩෙං කරන වෙදකං. අපි එන පාරෙ වෙන්න ගිය අනතුරු, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට රතුළූණු මිලේ උච්චාවචනය, වගේ කියන්න තියෙන සේරම ජාති කුස්සියෙ බිමට හලා දැම්මට පස්සෙ තවදුරටත් කාටවත්ම කතා කරන්න දෙයක් නැති වෙනකොට මං කට ඇරියා.


"දැං මේ දානෙට දර එහෙම."

මගෙ කටිං වචනෙ එළියට පනින්න කලින්ම අපේ නැන්දම්ම ඉස්සර වුනා.


"දර නැතෑ ළමෙයො ඕන තරං. ඕගොල්ලං බයවෙන්නෙපා දර ගැන. දර තීනව ඕං තරං."

උන්දෑ කියන හැටියට ලිඳේ වතුර වගේම ගෙදර දර ෂුවර්ය. ඒ ගැන ඇහීමෙන් මං කර ඇත්තේ මහත් මදි කමක්. ඒ වුනාට කාගෙවත් සූදානමක් නැති කම මට මහා බයක්.

"එතකොට හැලි වලං හෙම"

මාමණ්ඩී මගේ කෘන්තක දතේ ගෑවෙන්නම ඉස්සරහට පැන්නා.

"අර අටුවෙ තියෙන්නෙ ඕං තරං හැලි වළං. බත්තුයන්න වෙනම ලොකු රහත්පානකුත් ඇති."

"මේ එතකොට.... පොල්"


"අනෙඅම්මාපල් සුදු පුතේ මේ ළමයෑ බය. ඔය ඔක්කොම තියෙනව ළමයෝ.... ඔය කවුරුවත් නැතුවට මට තනියම උනත් ඔය ටික හැදියැකි පැයෙං. ඉස්සර මං ඉස්කෝලෙ ළමයි එක්කෝටම කෑම හදන්නෙ තනියෙං. අර පිනක් දහමක් කරද්දි කාගෙත් සම්මාදමෙං කලාමනෙ කාටත් පිං. ඒකවෑං එන්න කිව්ව මිසක් ඔය එක්කොම මට කෙරියැකි."


නැන්දම්මා කියන හැටියට හෙට උදේ වෙනකං ගෙදර කිසියම්ම කිසි කෙනෙක් දානෙ ගැන හිතන්නවත් ඕනි නෑ. අපි හෙට උදේ ට ඇහැරෙන විට හිරු කුමරා බිත්තියෙ හුලං කවුලුවලිං කාමරේට එලිය පොලු රිංගවනවා ෂුවර් වගේම, මිදුලෙ තිබුණු සෙරෙප්පු ජෝඩුවලිං එකකවත් පටි ලකියාගේ දත් වහල්ලෙං හප ගැහී තිබීම ෂුවර් වගේම හෙට උදේට කුස්සියේ මේසෙ උඩ එක පෙළට නොයෙක් හට්ටිවල, සාස්පාංවල දැමූ දානේ පිළියෙල වී තියෙද්දී ඒ මැද අපේ නැන්දම්මා එක කිරි පැකැට්ටෙකෙං කිරි බීදුරු අසූවක් හැදූ මිසිස් පෙරේරා මෙන් විරාජමානව හිටගෙන ඉන්නවා බලන්න පුළුවං.

"කෝ අක්කෙ දර කොහෙද තියෙන්නෙ? මේ ගැටපොලොස් මුට්ටිය තම්බන්න දර ටිකද්දෙන්නකො"

රෑට උයන්න පෙරමුණ ගත්තු දිගං නැන්දා අපේ නැන්දම්මව ඇමතුවා.

"ඔය කොංකීට් ලැල්ල යට බිම ඇති ඕන්තරං නංගියෙ"

"ඒ ටික මදි. එතන තියෙන්නෙ දර කෑලි හතරයි පහයි"

"ඔය එළියෙත් තියෙන්නෙ බිත්තිය අයිනෙ හේත්තු කරල තව ඕන්නං"

"එළියෙ නං බිත්තියට හේත්තු කොරල තියෙන්නෙ කැත්ත ඉතරයි. කැති මිට තමා ගන්න වෙන්නෙ"

"ඇයි බොලේ ඔතන තීච්ච දර ගොඩ මොකක් උනාද"

"රහත් වෙන්නැති. මෙතනනං ඇති එකක් නෑ"

මේ සංවාදෙං සිව් පදයක් විතර යත්දි මාත් කුස්සියට ගියා. ලිපේ තියලා නෑඹිලියෙං වහපු මුට්ටියක් තුං කාංසියෙං වතුර බේරි බේරි ලිපට ගින්දර වැටෙන කං බලං ඉන්නව. දිගං නැන්ද අතේ පැන්සලක් තරං මහත දර කෑලි දෙක තුනක් තියාගෙන තනියෙං කියවනව.

“වෙන්න බෑනෙ. මං පෙරේද හවස මහා දර ගොඩක් වේලුවනෙ. ඒ ටික කොහෙට උනාද...“

නැන්දම්මා අහස දිහා බලාගෙන කල්පනා කරනව. බලා ඉඳීම රුස්සන්නෙ නැති දිගං නැංදා කැති කොටයක් අරං මිදුලට බැහැල දිගං මාමාට කතා කෙරුවා.

“වරෙං මල්ලියො යන්න දර ඩිංගක් හොයං එන්න.“

“පොඩින්න තව ඩිංගයි“

දිගං මාමා ටීවී එකෙං ඇස් දෙක ගලෝගන්න අමාරු කමට සාලෙ ඉඳං කෑගැහුවා.

“ඔය ගුටි කෙලි බල බලා ඉන්න වෙලා වරෙං යන්න දර කෑල්ලක් හොයං එන්න.“

දිගං නැංදා කැති කොටේ උරුක් කරගෙන සාලෙට කඩා පැන්නා. දිගං මාමා නැගිට්ටුනා. ටීවී එකේ රෙස්ලිං කාරයෙක් අනික් එකාව උස්සලා පොලවෙ ගැහුවා.

“දර නෑ“ කියන පණිවිඩේ ගෙදර හැමෝගෙම ඔලුවලට ඇතුල්වෙලා යකා නටද්දි අපි හැමෝම අතට අහුවෙන ආවුදේ අරගෙන දර හොයන්න එළියට බැස්සා. දිගං මාමා ලොකු සබර කොටයක් උස්සං ඇවිත් පැලුවා. ඒකෙ හිටපු වේයො සීසීකඩ ගියා, දිගං නැන්දයි චූටි මැණීකෙයි සබර ගස් යට වැටිල තිබුණු දර කෝටු ඇහින්දා. මල්ලියි මායි පොල්ගස්වල තියෙන වේලිච්ච අතු කෙක්කෙං ඇදලා බිම දැම්මා. එ්වගෙ හිටපු කිඹුල් හූනො පස්සෙං ලකියා එලෙව්වා.

“ඒයි, මේ අපි දෙන්න යංද අර ළිඳ ගාව තියෙන අංකෙංද ගහ කපං එන්න.“

නැන්දම්මත් මාමණ්ඩිට අඬගැහුවා.

ළඟ ඉන්න කෙනා නොපේන ගානට ඇඳිරි වැටෙද්දි දානෙට ඇතිවෙන තරමට දර ගොඩක් කුස්සිය ඇතුලෙ ගොඩ ගැහුනා.

“ඒකනෙ මං කිව්වෙ ඕං තරං දර තියෙනව කියල“

වප්පිහියෙං පිට කහන ගමං නැන්දම්මා කිව්වා. 

Saturday, April 7, 2018

දානෙට යාම, ට්‍රැපික් පෙරහැර, මාර්ග නීති සහ දිගංචියා අතුරුදහන් වීම (Attending to alms giving, traffic Perahera, traffic law and disappeared tall man)

දං දීම සෑහෙන පින් සිදුවන දෙයක් බව දහම් පාසලේ දී අපට කියා දී තිබුණත් මේ දං දීම කියන්නේ ලඳු කැලෑ වල හැදෙනා දං ගහෙන් කඩාගන්නා දං ගෙඩි දීම ද, පාට පෙට්ටියේ තියෙන අපි කැමතිම පාට වන දං පාට කෑල්ල කාට හරි දීම ද යන්න හරි හැටි වටහාගන්න මට ඉස්කෝලෙ හතරෙ පන්තියටම යන්නට සිදු විය.

පහුගියදාක අපේ නැන්දම්මාට ද දනක් දෙන්නට හිතුනේය. සාංගික දනක් දෙන්නට නං හක්කේ දතක් විදුරුමහ පිටින්ම යන බැවින් මේ දන සැර බාල කොට දීම යුක්ති සහගත බව මට සිතුනේය. ඒ වුනත් එ් බව අම්මලා දූලාට පහදා දීම සෑහෙන්න අමාරුය. ඒ

"ඔය අනික් මිනිස්සුත් ඕන හැටියෙ දෙන්නෙ. අපිට බැරි වෙන්නෙ මොකෝ"

කියා අහන හන්දාය. ඒ නිසා කරුණු පැහැදිලි කරන්න ඕනෑ මෙන්න මෙහෙමය.

 සාංගික දනක් දෙන්ට ගිය විට හැම එකම හොඳම එකෙන් ඕනෑය. මාලු ලැල්ලෙං මාලු නොගෙනත් බේරුවල වැල්ලටම යන්ට ඕනෑය. ඒකටත් වෙනම බාජනයක් හරි රිජිපෝං පෙට්ටියක් හරි ගන්ට ඕනාය. රිජිපෝම් පෙට්ටි හෙන ගනං ය. පනිට්ටුවක දාගෙන ආවොත් පියන හුළඟෙ යන්නට පුළුවන්ය. අල, බෝංචි, කැරට් ආදී 'ඉංගිරිස් එලෝලු' නුවර එලියේ පාත්ති වලින්ම ගේන්න ඕනෑය. උයන්නට විසාල රාස්පාන්, හැඳි, චාච්චි, ගේන්ට ඕනාය. ඒ රාස්පාන් තියන්ට ලොකු ලිප් හදන්ට ගල්වැටි පෙරල පෙරලා ගිජ්ජකූට වර්ගේ ගල් ගේන්ට ඕනාය. ඒ ගල්වලින් හදන ලිප්වලට පුරවන්ට දරට ගන්නට මහ සබර ගස් පෙරලා පලන්ට ඕනාය. නෑයන්ට, ගමේ අයට, යාලුවන්ට දානෙ බලන්නට එන්න කියා ආරාධනා කරන්න ඕනාය. දානෙ බලන්ට එන අයට ඉන්ට හට් ගහන්ට ඕනාය. හට් ඇතුලෙ ඉඳගන්න පුටු ඕනාය. පුටුවෙ ඉඳං ඉන්න ගමං කන්න බුලත් විට ඕනාය. එව්වා දා තියන්ට ඉලත්තට්ටුවක් ඕනාය. බුලත් විට කන අය මිදුලේ මුළු වසම්ම බුලත් කෙළ ගහනවාය. එව්වා සුද්ද වෙන්ට මුරුගසං වරුසාවක්ම වහින්න ඕනෑය.

ඒ මදිවාට දානෙට පිඟං, කෝප්ප, පීරිසි, හැඳි, බුජං, පළඟාං, පඩික්කං ආදී පාරිභෝජ්‍ය භාජන ඕනාය. දං බෙදංන කෙහෙල් කොල කපන්න ඕනාය. කෙහෙල් කොල රවුං කපන්න අච්චුවට පිඟං ඕනාය. පිහි ඕනාය. ස්වාමීන් වහන්සේලා වඩම්මන්න වෑන් ඕනාය. සමහර පන්සල්වලට යන පාරවල් සවුත්තු හංදා ඒවායේ යවන්ට වෑං කාරයාට වඳින්ට ඕනාය. කුඩා පන්සල්වලින් දෙතුන් නම වඩම්මන්න කොලපත්ගොටු යවන්ට ඕනාය. උයන්ට කෝකිං ඕනාය. කෝකින්ට බොන්ට ගල් නැත්තං ඕල්ඩ් ඕනාය. කෝකින්ට ඒවා දෙනවානං දානෙ බලන්න එන අයටත් දෙන්න ඕනාය. එව්වා අන්තිමට යංකිසි විදියකින් බෑනාටත් ගෙදර මහ මිනිහාටත් පෙවෙන්නට පුළුවන. ඒ විදිහට ගෙදර මිනිස්සු බීගත් විට දෙන දානෙ මොන ආනිසංසද? (අපේ නැන්දම්මාගේත් උන්දැගේ දෝණියැන්දාගේත් දණ්ඩ නීති සංග්‍රහයේ හැටියට ලාවට දෙකක් දා ගැනීම ආනන්තරීය පාප කර්මය X දහයෙ අටවැනි බලය වන්නේය) 

මේ ආදී හැටහුටාමාරක් ගැටළු එක්ක සංඝගත දක්ෂිණාවක් කියන බරසාර නමින් හැඳින්වෙන උත්සවයක් පවත්වන්ට අපි කීපදෙනාට බැරි බව අපේ නැන්දම්මාට පෙන්නා දෙන්නට මට පුළුවන් විය. ඒ හන්දා අපට වෙනත් විකල්පයක් උවමනා විය. මේ වතාවේ අපට උපකාරෙට හිටියේ ගමේ පන්සලය. චූටි මැණිකේ විතරක් නොව අපේ නැන්දම්මාද දාංපාසල් ගොස් ඇත්තේ ඒ පන්සලටමය. එදා අපේ නැන්දම්මා ඇතුළු 'නංගිලාට' ලොකු හාමුදුරුවන්ට හොරෙන් පන්සලේ ගස්වලින් අඹ කඩාදුන් ඉහළ පන්තියේ අයියා කෙනෙක් අද මහන දම් පුරමින් ඒ පන්සලේම විහාරාධිපති කම හොබවන්නේ දෛවයේ කෝචොක් එකකට වාගේය. මෙදා පොටේ අපේ පිහිටට හිටි උන්වහන්සේ

"ඉතිං බෝම ලේසියෙං මේ දාම්පාසලේ ලමයින්ට දානයක් දෙතෑකි නෙවැ"

කියා අපට මග පෙන්වූ සේක. උන්වහන්සේ වැඩිදුරටත් වදාරා ඇති ආකාරයට පොඩි ළමයින්ට දෙන දේ උනත් පිරියක් ඇති දෙයක් දෙන්න ඕනාය. ගමේ අනික් අය කරන්නාක් මෙන් බාර හාර වලිං ගැලවෙන්නට, අපල වලට බයිපාස් කරන්නට හතරට පැලූ බෝංචි දිය කිරෙං තම්බා හැදූ හොදිත්, අතංගු දමා හාල්මැස්සං ඇල්ලිය යුතු විසිතුරු මාලු ටැංකි වැනි හාල්මැස්සන් හොදිත්, බෙරි බතුත්, පපඩං කුඩුත් ළමයින්ගේ පිඟං වලට බෙදා එය දානයක් යැයි නම් කිරීම නියම දානයක් නොවේය. අඩුම ගානේ 'කටලිස්' බෝලයක් තරමවත් ලැබුනොත් ළමයි සංතෝස වනු ඇත. 

දහම් පාසලේ ඉන්නා ළමයි විසිපහක් වැනි 'සුට්ටං ගානකට' දානයක් ඉවීම 'මහ කජ්ජක්' නොවන බවත් ඒ වැඩේ 'එළ'ටම කර දෙන්නට හැකි බවත් කියා අපේ මාමණ්ඩී දානෙට දින වෙන්කරගෙන ඇත.

ඒ අනුව 'මහ කජ්ජක්' නොවන මේ දානෙට අපේ ගෙදරින් අපි දෙන්නාත්, මහ ගෙදරින් නැන්දම්මා, මාමණ්ඩිය සහ මලෙයාත්, පවුලේ හැම දේකටම ගෙන්නාගන්නා දිගං මාමා සහ නැන්දා යන අක්කයි මල්ලියි දෙදෙනාත් එක්කාසු වුනෝය. දානයක් දුන්නහම පිරිකරකුත් දෙන්ට ඕනා නිසා ළමයින්ගේ ජීවිතයට ගහට චේන්සෝ එක මෙන් ද, ගුරුවරයාට ඇගයීම් වාර්තා මෙන් ද, හාමුදුරුවන්ට වටාපොත මෙන් ද බැඳී පවතින පොත් සහ පෑන්ම දෙන්නට සකස් කර ගත්තෙමු.



දිගං නැන්දා සහ දිගං මාමා (අක්කයි මල්ලියි)


දානෙට උවමනා බඩු මුට්ටු ප්‍රමාණ ගනං හදන්නට සිද්දවුනේ මටය. වැඩි වෙලා අහක දාන්න වුනොත්   

"ඒකනෙ අපි කිව්වෙ ඔය හැටි ඕන්නෑ කියල. අපරාදෙ ඉව්වෑං බාගෙයක්ම අහක"

යනුවෙන්ද, මදි වුනොත්

"තව ටිකක් වැඩියෙං හදන්නෙපෑ. කොහෙද ඉතිං අපි කිව්වට ඇහුවෑ"

කියාද, දොස් අහන්න අකමැති හංදා හැමෝම 

"ඒවා හැමෝටම වැඩිය දැනුං තේරුං ඇති කෙනාම ගනං හැදුවොත් තමා හොඳ"

කියා මාව මුරුංගා අත්තේ තබා ඒ වගකීම මගේ කරේ තියා බේරුනෝය.


මේ ගනං හැදිල්ලෙ දී අපි දෙන්නගෙන් කාගෙ නමුත් පිඟානට වේලකට බෙදන නමුනුකුල වර්ගයේ කෑම වේලක් දහම් පාසලේ ඕනෑම දරුවෙකුට පරිභෝජනය කළ හැකි බවට උපකල්පනය කර ගනං හැදීම සිද්ද විය. උදාහරණයක් කියතොත් බෝංචි දෙසිය පනහක් හොදි හැදුවොත් එයින් අපි දෙන්නාට වේල් දෙකක් කෑ හැකිය. ඒ අනුව බෝංචි දෙසිය පනහක් හතර දෙනෙකුට වේලකට සෑහේ. අනික් එලෝලු මාලු ආදියද ඒ විදිහටම ගණනය කරන්නට විය. මේ සූත්‍රය හරි නොගියේ හාල් වලටය. අපේ ගෙදර දෙවේලකට හාල් බෙලෙක්ක දෙකකුත් ටිකක් උයන්ට ඕනාය. ඒ හාල් ප්‍රමාණය කොච්චරක්දැයි අපේ නැන්දම්මාගේ එකම දෝනියන්දාගෙන් ඇහූවිට උත්තරේ ලැබුනේ හුණ්ඩු X සංඛ්‍යාවක් කියාය. ඒ කොච්චරක් දැයි ඇසූවිට කිව්වේ හුණ්ඩු X සංඛ්‍යාවක් සේරු Y සංඛ්‍යාවක් කියාය. හාල් හුණුඩුවෙං, සේරුවෙං මැනලා දෙන්ට ඇත්තේ මැතිණිගෙ කාලෙ සංපකාරෙන් බවත්, දැං කඩේ හාල් දෙන්නේ කිලෝ ගාන්ට බැවින් ඔය හුණ්ඩු සේරු මෙට්‍රික් ක්‍රමේට හරවා කියන ලෙසත් කාරුණිකව ඉල්ලූ විට

"හාල් කිලෝ ගාන්ට මැනල උයන්න තරාදි තියෙනවැයි කුස්සියෙ. ඕන විදිහකට ගනං හදාගන්න එකයි ඇත්තෙ"

කියා උත්තරය ලැබුණි. ඒ අනුව ලඝු ගණක වගුවක් ද, හාල් මනින බෙලෙක්කයක් සහ හාල් දාන පනිට්ටුව ද යොදාගෙන සිදුකළ අසීරු ගණනය කිරීම් වලින් අනතුරුව සොයාගත්තේ මේ වැඩේ හරියන්නැති බවත් හාල් මිටියක් ගෙනගොස් ඔය කියන්නාවූ හුණ්ඩුවෙන් එවෙලෙට මැන අවශ්‍ය ප්‍රමාණය ගැනීම ගෙදරින් ලැබෙන බත්පත රැකගැනීමට ඇති හොඳම විසඳුම බවත්ය.

දානෙට කලින් දවසේ සුන්දර සෙනසුරාදා උදේ ඉර මුදුන්වෙන වෙලාවට අපි දෙන්නාත් 'ගමේ යන්න' පිටත් වුනෙමු. අපේ වෙලාවට හපුතලේ එලෝලු තොග කඩේක වැල් පිටින් උදුරාගෙන ආපු බෝංචිත්, ඉහිං කනින් මඩ නාගත්තු කැරට් අලත් ඒ වගේම මඩ නාගත් උණ ගස් විතර මහත ලීස් ගසුත් තිබුණේය. ඔය කියන අංග ලක්ෂණ ඇති එලෝලු සැලකෙන්නේ "අලුත්ම එලෝලු" හැටියටය. ඒවා අපේ ගම් පලාතට අයිසිං කේක් පෙට්ටියකට වඩා වටින්නේය. (එක් වරක් අපි ගමේ යන විට කැරට් කොළ එක්ක ගස් පිටිං ගලවාගෙන ගිහින් දුන් විට ඒ කැරට් ගස් ටික කුණු වී යන තෙක්ම ගෙදරට කවුරු ආවත් 

"මල්ලි/අයියා/අක්කා/නංගි/නැන්දා/මාමා/උඹ/ඔය ළමයා/තමුසෙ කැරට් ගස් දැකල තියෙනවද?"

කියා අසා

"ඤැක්"

යන උත්තරය ලද සැනින් එයිං එකක් සාලෙට ගෙන ගොස් පෙන්වා 

"මේක සංබෝලෙ බෝම රසයි. මේ ළමයි එද්දි ගෙනත් තිවුනෙ."

කියා උජෝ වඩන ලදී.)

ඒ කඩෙන් එලෝලු ඇති තරමක් අරගෙන අන්තිමට ඉතුරු සල්ලි අරං ගනං කරල බලලා 

"සරි, නන්රි, පොයිටි වාරන්" 

කියා දන්න දෙමළ වචන දෙක තුන වනා කඩේ මුදලාලි ඩබල ටකරමේ වදින්න උඩ අරින්නට ද පුළුවන් විය. දෙමළ කඩවල්වලින් බඩු අරගෙන අන්තිමට ඔවැනි වචන තුන හතරක් දෙමළෙන් කියූ විට කඩේ මුදලාලි හිතන්නේ එතෙක් වෙලා කඩේ මුදලාලිත් ගෝලයිනුත් දෙමළෙන් කතා කළ සේරම මේ මනුස්සයාට තේරුං යන්නට ඇතැයි කියාය.

එතැනින් පැල්මඩුල්ලට සේන්දු වුනායින් පසු තියෙන්නේ මහපාරේ මාරක ධාවන තරඟයයි. සැරින් සැරේ වැලි ටිපර්, කොටං ලොරි, ළඟ කොටන බස් ලඩි, ඕටී මවන ඇම්බියුලන්ස්, කුදු ගැහුණු 21 නොම්බරේ ත්‍රීවිල්, ලෑන්මහත්තුරු, බුල්ඩෝසර්, එක තැන නැවතුනත් පෙරලෙන්නෙ නැති ට්‍රැෆික් පොලිස් බයිසිකලේ, බවුසර, හාල් ලොරි, හයිබ්‍රිඩ්, පණ අදින ඩිමෝ බට්ටො ආදී වාහනයක් පෙරටුකොටගත් වාහන පෙරහරවල්වලට අහුවී ඒවායින් මේ කල්පෙදි එතෙර වෙන්න කඩ ඉරක් හොයාගන්න කොට අනික් පැත්තෙනුත් ඒ වගේම පෝලිමක් ඇවිත් ඉවසීමේ සැනසීම ලබා දෙන්නේය. ඉඩක් හම්බුවෙන්නේ ඉරි දෙක තියෙන තැංවලදි වුනත් එයිට අඩි දහයක් එහායින් සුදු ඉරි ධාරී ගොම පාට සූට් ඇඳි අය පොත දිගෑරගෙන, යටින් කාබන් කොලේ තියාගෙන පෑනත් අතට අරන් රැකගෙන ඉන්නා බැවින් ඉස්සර කරන්ට හොඳ නැත.


 තිරිවානාකැටිය හන්දියේ පටං ඒ කරදරේ නැතත් එතැන් පටං පහුකරන හැම ගමකම මිනිස්සුන්ට යටත් වෙලා වාහන එලොවන්ට ඕනාය. පාරේ මං තීරු බාගෙක වී වේලනකොට, හන්දිවල පාර මැදට වී ගම්වැසියන් සාකච්ඡා තියනවිට, පාපිසි, ලණු පැදුරු ආදිය වේලාගන්නට පාරේ එලා ඇති විට, ගෙවල්වල තාප්ප බඳින්න පාරෙ තියාගෙන බදාම අනනා විට, ගෙවල්වල හදන බල්ලන් නගුටත් උඩට තියාගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාහන මෙන් පාරේ ගමන් යනවිට, සිස්සත්වෙ ලියන වයසෙ ළමයි සීට් එක උඩ කොට්ට ඩබොලක් තියා ඉඳගෙන පල්සර්, ටීවිල්, ඩිමෝ බට්ටො එලෝන විට, අතුරු පාරවල්, නියරවල්, දෙපාවල්, වැට කඩොලු අස්ස‍ෙ බයිසිකල්, ටීවිල් ආදිය එක විටම මහපාරට පනින විට අපි අයිං වෙලා මැදිං යා යුතුය. කනගාවින් දමා ඉස්සර කරද්දී බ්‍රේක් පාගාගෙන අයිං කරගත යුතුය. නැත්තං ගමේ සීමාව පනින්නට පෙර වැට පොලු පාරවල් දෙන්නට තරං ඒ ගම්වල ග්‍රාම සංවර්ධන සමිති ප්‍රබල වෙති.

ඒ කිසිම ගමකිං අතුරු ආන්තරාවට ලක් නොවී මානානෙ ටවුමට යනවිට දිගං මාමාත් නැන්දාත් අපි එනකං පැය හතරක් තිස්සේ බලා හිටියෝය. පත්තර කඩේට වී පත්තර කියවන්නට හැකි වීම නිසා දිගං මාමාට නං ඒ වෙලාව මහ වෙලාවක් නොවුනත් දිගං මාමා පත්තරේ අකුරු ගණින දිහා බලං ඉන්නට වීම නිසා දිගං නැන්දා හිටියේ මූන දනිස්සේ වදින්නට එල්ලාගෙනය.

ටවුමේ සතොසෙන් ඇට හීං හාලක් තෝරන්නට ගිය විට දිගං මාමා මැදිහත් වී කියා හිටියේ එයිට වඩා හීං තුත්තිරි ඇට වගේ බොහොම ලස්සන හාලක් එහා කඩේක තියෙනා බවත් මේ හාලට වඩා ඒක හොඳ බවත්ය. ඒ හංදා අපි සතොසෙන් වෙනිං සලාක මල්ලක් පමණක් ගෙන හාල් ගැනීමට 'ඒ' කඩේට ගියෙමු. දිගං මාමාත් නැන්දාත් 'ඒ' කඩේට ඇතුල් වෙන අතරේ 'ඒ' කඩේ දොරකඩ හිටි 'දිගංචියා' දැකීමෙන් මට මගේ අතීතය මතක් විය. දිගංචියා ඒ කාලේ අපිට අවුරුද්දක් ඉහලිං 13 වසරේ සෑන්ස් පන්තියේ හිටි අනාගත 'ලදුපත් ගේට්ටුවා (Bill Gates)' විය. කොම්පිවුටරේ ඇණ මුරිච්චියක්, වෑර් පොටක්, බලුප් එකක්, තැටියක් කොටුවක් ගානේ දැන සිටි 'දිගංචියා'ට ඉස්කෝලේ ගුරුවරු පවා බය වූයේ ඌට කොම්පිවුටරේ බලයෙන් ඒ හැමෝගේම ජීවිත එක මොහොතෙන් සුන්නද්දූලි කරන්ට පුළුවන් වනු ඇතැයි හිතාගෙනය. අපි පරිගණක විද්‍යාගාරෙට අධිගෘහිත සුමේදා අක්කාගේ අණ දීම් ("ඩෙස්ටොප්පෙකේ සේව් කරන්නෙපා, පුටු කරකවන්නෙපා, ගේම් ගහන්නෙපා, කී බෝඩ් එකට හයියෙං අනින්නෙපා, ප්‍රෝගෑම් පයිල් මකන්නෙපා") යටතේ ක්ෂූද්‍රමෘදු තීන්ත, ක්ෂූද්‍රමෘදු වදන, ක්ෂූද්‍රමෘදු බල තුඩුව, වාගේ දේවල් අරින, වහන විදිහ ඉගෙන ගනිද්දී  දිගංචියා ඒ දිහා බැලුවේ කට කොනිං 'පුහුක්' කියා ලීක් වෙන නක්කල් හිනාවකින් යුක්තවය. අපිට කොම්පිවුටර් ලැබ්බෙක නම් දේවාලයට ඇතුල්වෙන්නට නියමිත පීරියඩ් එකක් සහ සපත්තු ගැලවීම වැනි පිළිවෙත් රැසක්ද තිබූ අතර දිගංචියා එහි කපුවා වූ බැවින් ඒ කිසිවක් ඌට අදාල වූයේ නැත. ඕනෑම වෙලාවක ඉස්කෝලේ ගේට්ටුවෙන් ප්‍රසිද්දියේ පිටවන්නට බලය තිබූ දිගංචියාගේ පරිගණක දැනුම පිළිබඳව පැහැදිලි කරන විට දිගංචියා අපිට කිව්වේ

"උඹල මොනාද මල්ලි දන්නෙ. මං කියන වචන ටිකවත් උඹලට තේරුං යනවද කියහල්ලකො"

කියාය. දිගංචියාගේ කතා වලින් අපි තේරුං ගත්තේ අපි ඉස්කෝලෙන දොට්ට විසික්වන කාලය වන විට එදිනෙදා ජන ජීවිතයේ සියලු අත්‍යාවශ්‍ය වැඩ, එනම් දෑළ කඩේ රෝල්ස් හැදීම, සුරාජ්ගෙ ටේලර් සොප් එකේ කලිසං කමිස මැහීම, රත්නපුරේ ජෝති එක ළඟ කාදර්ගෙ කඩේ පරාටි දෙකක් කපා පිඟානට දමා හොදි හැඳි දෙකක් වැක්කෙරීම, බස් එකේ සීසන් එක කැපීම, ඉස්ටෑන්ඩ් එකේ තාප්පෙ අයිනෙ රටකජු බැදීම, ආදිය පවා 'කම්පියුට' වලින් සිද්දවෙනු ඇති බැවින් අපි කොයි තරං ඉගෙනගත්තත් අපිට 'කම්පියුට' බැරි හංදා අපේ අනාගතේ 'උජාලා' වැඩි වූ පාසල් නිල ඇඳුමක් මෙන් නරි නාටකයක් වනු ඇති බවය. 

 ඉස්කෝලෙ යන කාලෙදිම හවස්වරුවේ ටවුමේ එකම කොමිනිකේසන් එකේ පොටෝ කැපීම සහ ඉන්ටනෙට්ටෙකෙං විභාග ප්‍රතිපල බැලීමත් කළ දිගංචියා ඒ කාලයේ දී තමුන් තරම්ම දිග උණ ගහක් වැනි කෙල්ලක් යාලු කරගත්තේය. ඒ කෙල්ලගේ කකුල් දෙකේම දනිස්සෙනුත් අඟලක් විතර උසට (අපි දැක්කෙ එතැන්ට විතරයි) දුං ගසා ඉදවූ කෝලිකුට්ටු ගෙඩියක වගේ කලු ලප පිහිටීම නිසා ("යස ඕකට හොඳ වැඩේ කියා") අපි හිත යටින් සතුටු උනෙමු. 

දැං මේ දිගංචියා කඩේ ඉස්සරහ හිටං ඉන්නා හැටියට පේන්ට තියෙන්නේ මිනිහා කොම්පියුටර් දැනුමෙන් සෑහෙන්ට හම්බුකරගෙන අවසානයේ දී මේ තට්ටු දෙකේ මහා බඩු කඩේ දමාගෙන ඇති බවය. ඒ තරං මහා වියාපාරිකයෙක් අපේ ඉස්කෝලේ ගිය, මං අඳුරන කෙනෙක් බව පෙන්නීම අනික් අය ඉස්සරහ මටත් ලකුණු වැටෙන වැඩක් හංදා මම දිගංචියා හමුවී මාව මතක දැයි අහන්න යන්නට දොර ඇරගෙන බිමට බැස්සෙමි. ඒ වනවිටත් දිගංචියා කඩේ අස්සේ අතුරුදහන් වෙලාය. ඒ හංදා මට දිගංචියා හම්බවෙන්නට නොහැකි විය.

එතැනින් ගත් බඩුමුට්ටුත් පටවාගෙන ටවුමෙන් පිටවීමෙන් පසුව මම දිගං මාමාගෙන් 'දිගංචියා' පිළිබඳ විමසුවෙමි.

"මාමෙ ඔය කඩේ අයිතිකාරය එළාර ඉස්කොලෙ සෑන්ස් කරද්දි අපිට ඉහළ පංතියෙ හිටියෙ"

"හෑහ්.. හහ් හහ් හහ් හා..."

"හිචි හිචි හිචි හිචි"

"ඇයි මොකෝ"

"ගාමිණි මුදාලිට දැං පනහත් පැනල. ඕගොල්ලෑ පංතියට කලිං පන්තියෙ ඉන්නෙ කොහොමද ඒ මිනිහ"

"ඇයි ඒ කඩේ අර දිගංචියෑ නෙමෙයි ද?"

"හෑහ්.... හහ් හහ් හහ් හා...."

"හිචි හිචි හිචි හිචි කැහ් කොහ් කොහ්"

"ආයිත් පිපිඤ්ඤ පලන්න තියාගත්තෙ කියාල්ලකො රෙද්ද"

"හිහ් හිහ් ... දිගංචිය ඒකෙ අයිතිකාරය නෙමෙයි"

"එහෙනං"

"මිනිහ ඒකෙ බඩු කිරනව"

තුනෙං හතරට දාන්න ගිය ජියර් එක දෙකට වැටුනි. ඒටීඑම් මැසිමෙං සල්ලි ගනිද්දි පෑං ඉරි ඇඳපු දාහෙ කොලයක් අතට ආවා වගේ මගෙ කට ඇරුනි.........

Sunday, March 11, 2018

මගේ ලිවිල්ල, වාසගම ආ හැටි හා ඊජිප්තුවේ මැටි පුවරු

කාලෙකින් මොකවත් ලියන්නට බැරිවීමත්, ලියන එව්වා මටම එපාවීමත් හංදා කාලයක් තිස්සේ හරි හමං ලිපියක් පළ කරන්න බැරිවුනා. අද ලියන එකවත් අවසන් කරන්න පුළුවං වෙයිද බලමුකො.


ලිවිල්ල මගේ වාසගමෙන්ම මට උරුම වෙච්චි එකක්. අපේ තාත්තගේ තාත්තා හෙවත් අපේ ආතා මොකද්දෝ ආරෝවකට ගමේ එකෙක් කොස් ගහක බැඳ තලා මෙලොවෙන් තොලොන්ජි කර ගම්පහෙන් පැනලා අපේ ගමට එත්දි උන්දැගෙ අයිඩිං කාඩ්ඩෙකේ පටලැවිලා ඒ වාසගමත් ආවා. 'ලියනගේ' කියා වාසගමක් තිබුණත් උන්දෑ මැල්ලුමක් වත් ලියන්නට දැනගෙන හිටියේ නෑ. මට හිතෙන හැටියට මේ වාසගම 'නලියනගේ' කියා ලියා තිවිලා පසුව 'න' යන්න හැලීයාමෙන් ඉතිරි වූ නටඹුනක් වෙන්ට ඇති. අාතාගේ පුතාලා, දූලා, මුණුබුරු, මිනිබිරි හැත්ත බුරුත්තටම නලියන ගතිය ඇති හන්දා ඒ තර්කය ඕනෑම විද්වතෙක්ට ඔප්පු කර පෙන්වන්න පුළුවං.

පසුකලක චූටි මැණිකේ මගේ ඇදයක් හොයා පදයක් හදන්නට අල්ලා ගත්තේ මගේ වාසගම.


"ඕගොල්ලංගෙ වාසගම ගත්තු ආදිකාලෙ මුත්තා මොකද්ද අනේ ඔය මඩවලේ ලිව්වෙ?"


මේ වගේ වෙලාවට ගේම දෙන්ට ඕනා හිතා බලා බැවින් මං මුසාවාදා යකාට දමා ටොංපචයක් ගෙතුවා.


"බොහොම ඉස්සර අපේ මුත්තෙක් රජ්ජුරුවන්නෙ වැඩකට ඊජීප්තුවෙ නගරෙකට ගිහිං තියෙනව"


"පයින්ද?"

"පයින්නැතුව ඉන්නකො. පයිං හරි කොලපතේ හරි. ඒක මෙතන්ට වැඩක් නෑනෙ...... ඕං ඉතිං අපෙ මුත්තා එහෙ යන කාලෙ ඒ මිනිස්සුන්ට හරි ප්‍රශ්නයක්ලු ලිවීම ගැන. ඒ මිනිස්සුන්ට බාසාවයි, අකුරුයි සේරමත් තිබිලා ලියන්න ක්‍රමයක් නැහ්ලු."


"ඒ මොකද ඒ."

"මොකක්වත් නෙමෙයි. ඒ මිනිස්සු දහ අතේ කල්පනා කරනවලු අපි මොකේදෑ මේ අකුරු ගනං හිලව් ලියන්නේ කියල. ලොකු මුදලාලිල එහෙම මිනිස්සු පනහ හැට කුලියට අරං තියාගෙන ඉන්නවලු ගනං හිලවු මතක තියාගන්න. එවුන්ට කන්ට බොන්ටත් දෙන්න එපෑ වෙනම. පුස්තකාලවල රාක්කවලත් ඉන්නෙ පොත් කටපාඩං කරපු මිනිස්සු ලු. ඒ හංද හුඟක් අය ගෙදර ගිහිං කියවන්න අරං යන්නැතුව පුස්තකාලෙදිම කියෝල යනවලු. ඇයි ඉතිං පොත් දෙකක් අරං ගියොත් සති දෙකක් යනකං කන්න බොන්න දෙන්න එපෑ පොත් දෙකටම. ඩික්සනරි එහෙම කට පාඩං කරං ඉන්නෙ එක ගමක්ම එක්කහු වෙලාලු. ලියුංකාරය ලියුං අරං එන්නෙ අස්පයො දෙන්න බැඳපු මහ කරත්තෙකලු. ඇයි ඉතිං ලියුම කියල එවන්නෙත් ඒක කටපාඩං කරපු මිනිහෙක්නෙ. අතිං දාලා වෙනස් කරල කියන හංදා ගෑනුංව ලේඛන විදිහට යවන්නෙ නැහ්ලු. ඔය පොඩි පොඩි වචන හතරෙ පහේ රිසිට්, තුණ්ඩු, ටෙලිකරං පණිවිඩ එහෙම වෙනුවට දෙන්නෙ ඒක කට පාඩං කරවපු ගිරා පොඩ්ඩෙක් හරි මයිනෙක් හරිලු.

"හිකි හිකි හිකි හිකි.... ඔන්න ඔතන පොලොව පැලීගෙනත් යනව"


"හා.. මං එහාට වෙන්නංකො. හරිද. ඔන්න ඉතිං ඔය නාටකේ දැකපු අපේ මුත්තා ඔයාගෙ ඔය කැකිරි පැලිල්ල වගේ නෙමෙයි සැටයොදුන් රක්ගල්තලා මස්තකයේ සිංහනාද කරන සිංහ රාජයෙක් වගේ හං හං හං හං හා..... කියල හිනාවෙලා ඒ මිනිස්සුන්ට මේං මෙහෙම කිව්වලු"


"මං ඔය ඇහුවමයි හං හං කියල මිනිස්සු හිනාවෙන බවක්"


"එහෙම තමා ඒ හිනාවෙ ගාම්බීරකම ලියන්න අකුරු නෑ. ඒකයි. නැත්තං ඕක එන්න ඕන විසාල ඝංටාරෙකිං එනව වගේ සද්දයක්... ඕං අපේ මුත්තා ඒ මිනිස්සුන්ට කියනවලු.. බොලල්ලා ඔය විදිහට කටපාඩං කරන්න ගියොත් බොලාට කාලෙකදි පිටරටිනුත් මිනිස්සු ගේන්ට වෙනව. ඔව්වා පාඩං කෙරුවාව වෙනුවට මොහොක හරි ලියා තියපල්ලා කියල. එතකොට ඒ මිනිස්සු කිව්වලු, තමුන්නැහැ කිව්වට අපි මොකේද ලියන්නෙ. හා කියමු බලන්න. කියල. ඒ ගමන අපේ මුත්තා එතන තිවිච්චි කුඹුරු ලියැද්දකිං මඩ ටිකක් අරං සාස්පාං පියනක තුනී කරල ඒ මඩ ටිකේ මතුපිට සිනිදු වෙන්ට කෙහෙල් කොලේකිං මට්ටං කරල හොඳ සමතලාවට හදාගත්තලු. ඉං පස්සෙ ඒ අහල පහල තිවිච්චි බෝඹු ගහකින් කෝට්ටක් කඩල අරං ඒ ළඟ හිටපු දෙතුං දෙනෙක්ගෙම නං ඒකෙං අර මඩ තට්ටුව උඩ ලිව්වලු. එයිං පස්සෙ එයිං එකෙට්ට දුන්නලු මේක ගෙහුං අව්වෙ තියල වේලන්න කියල. ඕං ටික වෙලාවක් රටතොට විස්තර කියෝ කියෝ කහට ඩිංගක් එහෙම බීල ඉවර වෙලා පැයක් දෙකක් ගිය තැනදි අපේ මුත්තා කලිං අව්වෙ තියෝපු මඩ තට්ටුව ගෙන්නුවලු. එතකොට ඒක හොඳට වේලිලා. අකුරු ටිකත් ගලේ කෙටුව වගේ බොහොම හයියට තියෙනවලු. ඒ ගමන මුත්තා ඒ මැටි පුවරුව සාස්පාං පියනෙං ගලෝල අරං ඒ මිනිස්සුන්ට දීලා කිව්වලු මේං මේ ආකාරයට ලියා තියාගන්න ඕන දේවල් මැටි පුවරුවල ලියා වේලලා තියාගනිල්ලා කියල. ඔය පහුගිය කාලවල ඊජිප්තුවෙං පුරාවස්තු හැටියට හම්බුවෙච්චි සේරම මැටි පුවරුවල ලියාපු ලේඛන අපේ මුත්තා කියා දුන්නු සාත්තරේට අනුව ඒ කාලෙ මිනිස්සු ලියපුව තමා."



"හිචි හිචි හිචි හිචි...."


"හිචි හිචි ගාන්න දෙයක් නෑ. ඒ බව දැනගත්ත ඒකාලෙ ඊජිප්තුවෙ රැජින වෙච්චි ක්ලියෝ පැට්රා මහ රැජින 'ඔය කොකිස් අච්චුව වගේ රටෙං ආපු උන්නැහැට රජ වාසලට එන්ට කියව' කියලා පණිවිඩයක් කටපාඩං කරවපු ගිරවෙක්ව කූඩුවක දාලා අපේ මුත්තා ගාවට යවලා මුත්තව රජ වාසලට ගෙන්නාගත්තලු. ඉංපස්සෙ ඒ රජවාසලේ සේවෙටත් බඳෝගෙන මඩ වල ලියූ බැවින් 'මඩවල ලියනගේ' කියල නම්බු නාමයකුත් දුන්නලු.


"හිචි හිචි හිචි හිචි. මොකද දන්නෑ ඉතිං උන්දැ ආපහු ලංකාවට ආවෙ. එහෙ හිටියනං එහෙම ඉන්න එපෑ."


"පස්සෙ කාලෙක මුත්ත එන්න පරක්කු හංදත්, යවපු එක මැටි පුවරුවකටවත් උත්තර ලියල ආපහු පුවරුවක් ආවෙ නැති හංදත් මේ මනුස්සයට මොකද උනේ කියල බලන්න මුත්තගෙ පවුල ගියාලු ඊජිප්තුවට."


"හැබෑට ඊට පස්සෙ"


"එයිට පස්සෙ වෙච්ච හරිය ඇලෙක්සැන්ඩ්‍රියාවෙ පුස්තකාලෙ මැටි පුවරුවක ලියල තිවුනලු. පහුකාලෙක පුස්තකාලෙ වහලෙ අබලං වෙලා වැහි වතුර වැටිලා ඒ මැටි පුවරුව දියවෙලා ගිහිං. ඒ හංදා මොකක් වුනාද දන්නෑ."


"මොනව වෙන්නද? කොහෙ හරි යන කාපීරි ගෑනියෙක්ටවත් දපනෙ වැහ්ලා එහෙම තප්පලං ගහගෙන ඉඳල අරුන්දැට අතට අහුවෙන්නැති. එවුන්දැත් ඉලපත් පාර දෙකක් දීල කනෙං ඇදගෙන එන්නැති ආපහු ලංකාවට. පේන්නැතෑ මේ මුණුබුරාගෙත් පේස්බුක් එකවුන්ටෙකේ අප්‍රිකාවෙ කාපීරි ගෑනුයි, ඉංදියාවෙ පඟර නැට්ටියොයි ගොඩ ගහං ඉන්න හැටි"


"ඒක නෙමෙයි කාරනාව. ඔය කලිං පොත් පාඩං කරගෙන අනුංගෙන් කකා බිබී හිටිය ලේඛන පවුල් වලට අපේ මුත්තා හිංද රස්සාව නැතිවුනානෙ. ඒ හංදා උං අපේ මුත්ත එක්ක තරහෙං ඉඳල තියෙන්නෙ. පස්සෙ උං අපේ මුත්තට ඔය ක්ලියෝ පැට්රා රැජිනිව ජෝඩු කොරල කටකතාවක් හදල තියෙනව. ඒ කටකතාව ඊජිප්තුවෙ වෙළඳාමෙ ගිය චීනෙක් මාර්ගෙං ලංකාවටත් ඇහිල්ලා. අපේ මුත්තා බොහොම රූප සම්පත්තිය තියෙන මිනිහ හංදා මුත්තගෙ පවුලත් ඒක විස්සාස කරන්නැති. අන්තිමට කොහොම හරි ඊජිප්තුවට රටක් වටින මිනිහෙක් නැතිවුනා. එයිං පස්සෙ තමා සීසර් ඊජිප්තුව අල්ලගත්තෙ. අපෙ මුත්ත හිටියනං ඊජිප්තුව....."


"ඔව් ඔව් හිටියනං සීසර්ට මඩ ගහල තමයි ආපහු අරින්නෙ...හුහ්.. මයෙ කට නිකං"

ඔය විදිහට වාසගමෙන් පටංගත්තු මගෙ ලිවිල්ල කඩදහියක ලියන එක දක්වා දියුණු කළේ අපේ මාමා. මට අවුරුදු තුන හතරක් විතර වෙද්දි අපේ මාමා වැඩකෙරුවෙ බොහොම දුෂ්කර ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ ළමයින්ට බෙදන්න ගෙනා අච්චු පොත් වලින් එක සිංහල අච්චු පොතක් අපේ මාමා මටත් ගෙනැල්ල දුන්නා. ඒ මදිවට කොහෙන්දෝ ගෙනා හෝඩි පොතකුත් අපේ ගෙදර තිබුණා. ඔය දෙකේම උදව්වෙං අපේ අම්මා තමුං දන්න විදිහට මට අකුරු කියෝන හැටියි ලියන හැටියි කියාදුන්නා. ඒ කාලෙ අපේ ගෙදර අපි තුන්දෙනා ඇරුණම අපේ තාත්තගෙ මල්ලිගෙ පවුලෙ කට්ටියත් පදිංචි වෙලා හිටියෙ. එතකොට අපි ඔක්කොම නම දෙනෙක්. බාප්පගෙ ළමයින්ට අකුරු කියෙව්වෙ අපේ තාත්තයි කුකුළු වැලකුයි. ඒ පවුලෙ ළමයින්ට පොඩි කාලෙ 'ර'යනු උෟනතාවයක් තිබුණා. ඒ හංදා මට අවුරුද්දක් විතර වැඩිමල් ජනක අයියට 'ර' යන්න වෙනුවට 'ස' යන්න වැළඳිලා තිබුණා. අපේ තාත්තා මේසෙ අයිනෙ පුටුවක ඉඳගෙන වං අතිං එක වසරෙ සිංහල පොත චිමිනි ලාම්පුවට කිට්ටු කරල අල්ලගෙන අනික් අතිං කුකුළු වැලත් අමෝරාගෙන ජනක අයියට අකුරු කියෝනව.

"හා ජනක ඕං මං කිව්වහම උඹ කියහං හොංද"

"හොලයි ලොකු චාච්චෙ"

"අයන්න"

"අයඤ්ඤ"

"මයන්න"

"මයඤ්ඤ"

"ර්රයන්න"

"සයඤ්ඤ"

"සයන්න නෙමෙයි බොල රයන්න. ර් ර් කියල සද්ද කරහං"

"ල් ල්"

"පොඩි මැණීකො. මේ කොල්ලෑ නාහෙ පිහදාහං. මුට හෙම්බිරිස්සාව හංද අකුරු කියවෙන්නෑ"

එතකොට කුඩම්මා තමුංගෙ සාය කොනකිං ජනක අයියගෙ නාහෙ හූරල ගන්නව.

"හා දැං කියහං ර යන්න"

"ස්රයන්න"

"ආ.. හරි එහෙනං එක පාර කියහං. අයන්න මයන්න රයන්න අ-ම-ර"

"අයංන මයංන සයන්න අ-ම-ල"

ඒ ගමන තාත්තගෙ අතේ තියෙන කුකුලු වැලෙං ජනක අයියට එකක් වදිනව.

"ව්යවු"

"අන්න හරි ලොකුඅයියෙ. ඕකුන්ට තලල මිසක්ක හදන්න බෑ. තවේකක් ගහන්න"

කුඩම්මයි බාප්පයි දෙන්නම අපේ තාත්තට තල්ලුවක් දෙනව. ඇඬුවොත් තව වදින හංදා ජනක අයියා ඇඟ අඹරෝලා ගුටිය ඇඟ පුරා බෙදා හරිනව. මේ වෙලාවට මං මගෙ ලොකුකම පෙන්නන්න හෝඩි පොත අතට ඇරං එක හුස්මට මහ හයියෙං කියෝගෙන යනව. එතකොට බාප්පයි කුඩම්මයි දෙන්නම තව හයියෙං බැනුම පටං ගන්නව.

"පෙනේද, පුතා තාම මොන්ටසෝරි යන්නෙවත් නැතුව පොත එක හුස්මට කියෝනව. මුට බෑ තාම. තවේකක් ගහන්න තියෙන්නෙ."

මේ වෙලාවට අපේ අම්ම මාව කුස්සියට ගෙන්නෝනව.

"උඹ කටවහගෙන හිටහං ජනකෙයට තව ගුටි ගස්සන්නැතුව"

ඒ විදිහට අකුරු කියවිල්ල පටං ගත්තු මට මොන්ටිසෝරි යන්න කලිං ජෑන්ති අක්කගෙ ඉස්කෝල පොත් ටිකත් කියවන්න පුළුවං උනා. එදා අපේ තාත්තගෙ අකුරු කියවිල්ල හරි නොගිය ජනක අයියට අද සිංහල, දෙමළ, ඉංග්‍රීසි බාසා තුනමත් මැලේසියාවෙ බාසාවත් පවුලගෙ බාසාව වන ඉන්දුනීසියන් බාසාවත් එක්ක ඔක්කොම බාසා පහක් විතර පුළුවං ලු.

ඊළඟට ඉස්කෝලෙ යන කාලෙ එකේ දෙකේ පන්තිවලදි කරුණාවතී මිස්ගෙන් එහෙම මගෙ අකුරුවලට බොහොම වටිනාකමක් ලැබුණා.

"ළමයො, මෙයිට වඩා හොඳයි ලොකුවිතානෙ වෙදමහත්තයෑ අකුරු. බේස්සීට්ටු ලිව්ව වගේනෙ"

"තයන්නයි, නයන්නයි, කයන්නයි එක්කොම එක වගේනෙ"

"අනිද් දවසෙ මෙහෙම ලිව්වොත් විසික්කරනව පොත පිටිම්ම දොට්ට"

"සොරොස් ..... තක් (පොත පන්තියෙං එලියට විසිවී බිම වැටෙන හඬ)"

යන්තං තුන වසරට එද්දි කයන්නට යටි පැත්තට තට්ටං දෙකක් තියෙන්න ලියන්න ඕන බවත්, තයන්නේ බඩ පිරෙන්නට ඕන බවත්, නයන්නේ පස්ස උඩ ගිහිං දිමියා වගේ වෙන්න ඕන බවත්, යයන්නේ දකුණු පැත්තට විතරක් කණක් තියෙන්න ඕන බවත්, පයන්න බත් මුට්ටිය වගේ අඳින්න ඕන බවත්, සයන්නට යයන්නෙ වගේම තට්ටං දෙකක් එක්කම දෙපැත්තටම කං තියෙන බවත්, වයන්නේ ඔලුව ඇවිත් කට අස්සෙ රිංගන්න ඕන නැති බවත් ආදී අකුරු සම්බන්ධ බව වල් ටික දැනගන්නට මට පුළුවං උනා. පොඩි කාලෙ බාප්පගෙ ළමයින්ට ලොකු කං පෙන්නපු පව මට පළදුන්නෙ එහෙමයි.

මගෙ ලිවිල්ලකට මුලින්ම නම්බුවක් දුන්නෙ හතර පහ වසරවලදි අපේ පන්තිය බාරව හිටපු නිලන්ති මිස්. බුකිය පැත්තෙ යන්න හැටියක් නැති හංදා එතුමිගෙ පොටෝ එකක් මෙතෙන්ට ගේන්න හැටියක් නෑ. ඒ කාලෙදි ශිෂ්‍යත්ව විභාගෙට අනුමාන ප්‍රශ්න පත්තර බරගානක් හදවලා කොහොම හරි අපිව ගොඩදාන්න උත්සහ කරපු එතුමිය ඒ හැම ප්‍රශ්න පත්තරේකම අගට රචනාවකුත් ලියෙව්වා. එක දවසක් මාතෘකාව තිබුණේ 'මගේ රට රැකගන්නට යුධ බිමට යන්නට ලැබුනොත්' වගේ මොකක් හරි එකක්. ඒකට ලියපු රචනාවට මට ලකුණු විස්සෙං විස්සම ලැබුණා. මයෙ රචනාව එදා එතුමිය මුළු පන්තියටම ඇහෙන්න කියවල වර්ණනාවක් කළා. අනික් පහේ පන්තියෙ චන්ද්‍රා මිස් මයෙ පොත ගෙනිහිං එයාගෙ පන්තියෙත් කියෙව්වා. සිකුරාදා සාහිත්‍ය සමිතියෙදිත් ඒක කියවන්න මට සිද්දවුනා. නිලන්ති මිස්ට පිං සිද්දවෙන්ට ටියුෂන් පංති නොගිය මායි, දිමුතුයි දෙන්නම සිස්සත්වෙ පාස් වුනා. අවුරුදු දහයකට වැඩි කාලයක් නිකගොඩ හංදියෙ ජයන්ති මහ විද්‍යාලෙ පහ වසරෙ ළමයින්ට අපේ සිස්සත්වෙ පාස් වීමේ වාර්තාව පහුකරන්න බැරි වුනා.

ඊළඟට මං කලවානේ ජාතික පාසලට මාරු වුනා. අපේ තාත්තට ආයිමත් මාව දෑහැට පේන්න බැරි කාලයක් උදාවුනා. ඒ ගමන මයෙ පිහිටට හිටියෙ මගේ කල්‍යාන මිත්‍ර තුසිත ධර්මප්‍රිය. කොල්ලො තුං දෙනෙක් හිටිය ඒ ගෙදර හතර වැනි ළමයා වෙන්න මට පුළුවං උනා. කියවන්න පොත් ඕන තරං තියෙන, තුං වේලට කෑම බීම ඕන හැටියෙ තියෙන, කියවන්න ඕන තරං පොත් තියෙන ඒ ගෙදර මට කවි කතන්දර ලියන්න ඕන තරං නිදහස තිබුණා. ගෙදර දෙවෙනි ළමයා වන 'දේශප්‍රිය'ත් මමත් හාප්සීට් කොළවල ලියලා, බ්‍රිස්ටල් බෝඩ් වලින් පිටකවරෙ දාපු කතන්දර පොත්, කවි පොත් ගණනාවක් හැදුවා. ඒවා නාස්තියක් හැටියට නොසලකපු තුසිතගෙ තාත්තා වැඩ ඇරිලා ගෙදර එත්දි අපිට ඕන ලිපි ද්‍රව්‍ය ගෙනත් දුන්නා. ඒ පොතක් අච්චු ගහන්න ඕන කිව්වම රෝනියෝ ස්ටෙන්සිල් කොළ පවා කොහෙන්දෝ හොයල ගෙනැල්ලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, අපේ පොත් අකුරක් නෑර කියවලා එව්වාට විචාරයකුත් දුන්නා. උපාධිධාරී ගුරුවරියක් වෙච්චි තුසිතගෙ අම්මත් අපේ පොත්වල අකුරක් නෑර කියෙව්වා. වාසනාවට පහුගිය මාසෙ තිබුණු දේශප්‍රියගෙ විවාහ උත්සවේ වෙලාවෙදි තුසිතගෙ අම්මගෙත් තාත්තගෙත් පොටෝ දෙකක් ගන්න මට පුළුවන් උනා. ඔය පහළ පොටෝ දෙකේ මං එක්ක ඉන්නෙ ඒ දෙන්නා.

මැණිකේ මොලමුරේ මැතිණිය
හින්නිමහත්මයා නරසිංහ මහතා


අවුරුදු ගානක් මාව තමුන්ගේ ළමයෙක් වගේ රැක බලාගෙන, තැපැල් නයින්ටියේ තියාගෙන අපි හතර දෙනාවම ඉස්කෝලෙ ගෙනිහිං, ඇල්පෙනෙත්තක දෙයක් අඩුපාඩු නොකර මට ඉගෙනගන්න පාර කපා දුන්නා වගේම ආගම දහමට යොමු කරලා දහම් පාසල් යවලා යහපත් මිනිහෙක් කරලා යහපත් සමාජ ඇසුරක් ලබාදීලා මාව හදාවඩාගත් පිනෙන් එතුමාටත් එතුමියටත් තව චිරාත් කාලයක් කිසි ලෙඩක් දුකක් නැතුව බොහොම සතුටින් ජීවත් වෙන්ට වරම් ලැබේවා!


ඒ කාලෙන් පස්සෙ ආයෙමත් මට ලියන්නට කාලයක් ආවෙ බ්ලොග් කියවීමෙන්. රන්දිකා රණවීර අක්කාට අයිති නමුත් රවී වීරසිංහ උන්නැහැ විසිං අඳේට ලියාගෙන යන නිදහස් සිතුවිලි බ්ලොග් එකේ මං දාපු කොමෙන්ට් එකක මොකක් නමුත් හොඳක් දැකපු ඉන්දික කොඩිතුවක්කු අයියා මට 'ලියාපං' කියලා ඊමේල් එකක් එවා තිබුණා. ඒ වගේම තව කීප දෙනෙක්ගෙ තල්ලුව එක්ක පටං ගත්තු බ්ලොග් ලිවිල්ලට වටිනාකමක් එකතු කරල දුන්නේ අටං අයියාගෙ අටං පහුර සහ මාතලන්ගෙ සින්ඩිය. යන්තම් දෙතුන් සීයක් දෙනා කියවපු ලිපි දාහක් දෙනා කියවන තැනට ප්‍රසිද්ධ කරල දුන්නෙ ඒ දෙන්නා. අද වෙත්දි තවත් සින්ඩිකේටර් ගණනාවක මේ ලියවිල්ල පේන්න තියෙනවා. බුකියට යන්ට විදිහක් නැති හංදා මාතලං සහ අටං වරුන්ගේ පොටෝ මෙතැනට අමුණාගන්නට හැටියක් නැතුවා වගම ඒ දෙන්නා පෙනී සිටිනා මගේ ලඟ ඇති පින්තූරද දෙනෝ දහක් බලන තැනකට දාන්ට සුදුසු තත්වයේ නැත.


බොහොම කාලයක් ලියවෙන්නැතුව තිබිලා අද ආයිමත් පටන් ගත්තු මේ ලියවිල්ලට නිකං ඉන්න වෙලාවට තනිකං දෝසෙ හදනා බුකි කුමාරයාගෙං වන දෝස ඇත්නං, යූටියුබ් යස්සයාගෙං වන බන්ධන ඇත්නං, හුලංකියා (airtel) සමාගං පෙරේතයාගෙං වන දත්ත මන්දගාමී හූනියං ඇත්නං, මේ ආතුරයාගේ පින්තූර දැක "හානේ හරිම ලස්සන බෝයි කෙනෙක්" කියා කාන්තාවන්ගෙන් වන ඇස්වහ කටවහ හෝවහ දෝසාන්දකාර ඇත්නං, ඒ සියල්ලම දූරිංභූත වී හැම ඉරිදාටම එක ලිපිය ගානේ ලියන්නට හැකියාව ලැබේවා!, ලියනා ලිපි "මොන හජ්ජරාවක්දැ" යි කියා සිතා මකා දාන්නට නොසිතේවා!, ස්වස්ථි සිද්ධම්.