පහුගිය සති කිහිපයේ නිහැඬියාව තුල “මුට මක්වුනාදැයි” මා ගැන සෙවූ, බුකියෙන් මා ඇමතූ, ඊමේල් මගින් විමසූ, දුරකථන ඇමතුම්
ලබාදුන් සහ සිහිනෙන් පෙනුන සියළු දෙනාට මාගේ උත්තමාචාරය. ඔය විදිහට මං ගැන හොයනකොට
නොලියා කොහොමද?
ඉස්සර කාලේ හාමුදුරුවනේ කියා ඇත්තේ සංඝයා වහන්සේලාට විතරක් නෙවෙයිලු.
ජැක්සන් ඇන්තනී නම් මහා විද්වතාගේ අස්සහාය සිනමා කුරුත්තීන් අනුවත්, වෙනත්
විද්වතුන්ගේ පව්රානික විශ්ලේෂණ අනුවත් රජකාලේ රජ්ජුරුවන්ගෙ පටං රජවාසල ගෙම්බා
කැරපොත්තා දක්වාත් යටත් විජිත සමයේ ආණ්ඩුකාර උන්නාන්සේගේ පටං සුද්දාගේ ගෙදර
වැඩකාරයා දක්වාත් මෑතක් වනතුරු නඩුකාර උන්නාන්සේත් එක්කොම අය හාමුදුරුවෝ ය. ඒ අයට
ඇමතිය යුතුව තිවුනේ “පිං කරන හාංදුරුවනේ” කියා
දෙකට නැවී සාලුව අතට අරගෙනය.
එ උනාට මං කියන යන්නෙ මේ ගොල්ලං ගැන නොව පන්සලේ ඉන්නා හාමුදුරුවෝ
ගැනය. මට මතක තියෙන මුල්ම හාමුදුරුවෝ අපේ ගමේ පන්සලේ අස්සජි හාමුදුරුවෝය.
බුදුරජාණන් වහන්සේගේ දහමට වඩා ඉස්පීකර් සැට්ටෙකටත් කාර් බැට්ටි වලටත්, පිරිත් නූළට
වඩා වැර් පොටවල් වලටත් උන්වහන්සේ ඇලුම් කල සේක. ඒ හංදා දවල් දවසේමත් පනිට්ටු කටවල්
වගේ ඉස්පීකර් වලින් ඇහෙන ‘කූඌඌ........
කුහ්....හූහූඌඌඌඌඋ චරක් චරක්’ නාදය අපේ ගමේ අයට කම්මලේ
බල්ලාට හෙනේ වගේමය. බැරිවෙලාවත් දවල් දවසට මේ සද්දය නෑසුනොත් හැන්දෑවට ගමේ පිරිමි
කීපදෙනෙක් පන්සලට යන්නේ "හාමුදුරුවන්ට කරදරයක්
වෙලාවත්දැයි"? බැලීමටය.
මදේ අයිංකරලා ඇතුලට පස් පුරෝලා එක යාවට මල් හිටෝපු, කාර් බැට්ටි
බරගානකින් වටවෙච්චි ආවාස ගේ ඇතුලට වෙලා හිතේ හැටියට වෑර් කෑලි, පීකර්
කෑලි අමුන අමුන හිටියට උන්නාන්සෙ කවදාකත් බණක් පිරිතක් තියා බෝදිපූජාවක්කත්
පැවැත්තුවයි කියලා මට නං මතක නෑ. හැබැයි කාටවත් කරදරයක් හිරිහැරයක් කලා කියලා
කතාවක් හැදුනෙත් නෑ. ඒ කාලෙ අපේ ගමේ කරන්ටෙක තිවුනෙ නෑ. හැබැයි බැට්ටි වලිං පත්තු
කරන ටියුබ් බලුප් ගෙවල් කිපෙක විතරක් තිබුනා. එව්වා ඒ ගෙවල්වල කාමර වලට පවා
හයිකරලා වෑර් ඇදලා දුන්නේ උන්වහන්සේ තමයි. අපේ අම්මලෑ මහගෙදරටත් ටියුබ් බලුප් වලට
වෑර් ඇදල දුන්නෙ උන්වහන්සේ තමයි. ඒ වෙනුවෙන් උන්වහන්සේ අටුවට පවා වැඩියා. ඒ අතින්
ආගමික සේවාවකට වඩා කාර්මික සේවාවක් උන්වහන්සේ ගමට සිද්ද කරලා දුන්නා. අන්තිමට
උන්වහන්සේ අපවත් උනේ මිමැස්මුරේ හැදිලා ගිනිගොඩකට වැටීමෙන්.
එයිං පස්සේ වෙනිං පන්සලක ලොකු හාමුදුරුනමක් අපේ ගමේ පන්සලේ වැඩබලන
තනතුරට පත්වුනා. උන්නාන්සේ පන්සලේ දායක සබාවත්, දහම්පාසලත් ගොඩදාන්න සෑහෙන උනන්දු වුනා.
උන්නාන්සෙගෙ උනන්දුව යටතේ දහම්පාසලත් එක විදිහකට ගොඩනැගීගෙන ආවා. එතකොට ඉස්සර
හාමුදුරුවන්ටත් ඉහලින් සිටිමින් පන්සලම හසුරවාගෙන ඒ අනුව ගමත් හොල්ලගෙන හිටපු
පැන්සන් ගත්තු හාමුදුරුකෙනෙක් විච්චි *** ආතට ආතක් පාතක් නැතිවුනා. ඒ හංදා
සුබරත්මැණිකේ උපාසිකා මාතාව ඇතුලු පන්සල්පාලු නඩේ විසින් කැරැල්ලක් ගහලා පන්සලේ
හිටිය වැඩබලන හාමුදුරුවන්ව බලයෙන් පහ කෙරුවා. උන්වහන්සෙගෙන් ගමට ඉතුරු වුනේ වත්තෙං
එහා පැත්තෙ ගෙවල් මණ්ඩියට දාපු ‘කොරියං කන්ද’ කියන නම ඉතරයි.
එයිං පස්සෙ *** ආතා ඇතුලු නඩේ විසින් වෙනිං හාමුදුරු නමක් පන්සලට
කැන්දං ආවා. ඒ හාමුදුරුවන්ට කේන්ති යන්නෙ නෑ. කවුරු කිව්වත් කියන දේ අහං
ඉන්නවා. දායක සභාවට ඕනෑ හැටියකට පන්සලේ වැඩ කරන්න ඉඩ තියලා උන්නාන්සේ පටං
ගත්තෙ බෝධිපූජා තැබිල්ල. කාලයක් තිස්සේ පන්සලේ නොකෙරිච්ච හරියට පොලියත් එක්කම
අල්ලලා බෝධි පූජා තැබිල්ල ගමේ අයට අල්ලලා ගියා. රෑට බීලා ගෙදර එන මිනිස්සුංගෙං
ගුටි කන ගෑනු අය ගෙදර මිනිහාට නින්ද යනකන් ඉන්නත්, ගෑනු ලමින්ට ලියුං දීගන්න
ඕනෑ කං තිවුන කොල්ලො ඒ කටයුත්ත කරගන්නත්, කොල්ලෙක් හොයාගන්න හිතේ උනන්දුව තිවිච්චි ඇටකෝටු කෙල්ලො
ඒ සඳහා ඉලංදාරියෙක් තමුං පස්සේ ගෙන්නාගන්නත්, හොඳටම වයසට ගිය අය තමුංගෙ ලමයින්ට වද කරලා ජොලියක්
ගන්නත්, අම්මලාගෙං ඉරටු, කොහුමිටි
පාරවල් කන්න බැරි හංදා පොඩි ලමයිනුත් මේකට සහභාගි වුනා.
කාලයක් යද්දි පැණිත් එපා වෙනව වගේ තමුන්ට කිසිම කරදරයක් නැති මේ
හාමුදුරුවන්වත් අපේ *** ආතා ඇතුළු දායක සභාවෙ නඩේට සහ උපාසිකා නඩේට එපා වුනා. ඒ
ගමන සුබරත් මැණිකේ ආච්චිගේ අධික්ෂණය යටතේ වෙනත් නැගී එන උපාසිකාවක් විසින් කරාපු
මොකක් හෝ විගඩමක් හංදා ඒ හාමුදුරුවොත් පන්සල දාලා තමුං හිටපු පන්සලටම ආපහු වැඩියා.
එයිං පස්සේ *** ආතා ඇතුලු නඩේ වඩම්මවාගත්තේ ඒ පන්සලේම හිටපු වෙනිං
හාමුදුරු නමක්. දැකපු දවසෙම “එක විදිහක හාමුදුරු නමක්“ විදිහට අපේ ආතාගෙං විරුදාවලියක් ගත්තු උන්වහන්සේ ටික කාලෙකිං පන්සලේ, දායක
සභාවේ, දහම් පාසලේ වගේම පෝය දවසට විතරක් පන්සලේ දාන ලයිස්පීකරේ මයික් එකේ
හිමිකාරීත්වයත් තමුංගෙ අතට ගත්තා. ඒ විතරක් නෙවෙයි පන්සලේ වැඩ වලට උදව් නොකරන
කාගෙවත් පාංසකූලෙකට තමන්වහන්සේ නොවඩින බවත් “පුලුවන්නං වෙනිං පන්සල් ඔලිං උන්නාන්සෙලා ගෙන්නල කොරං බලමු“ බවත් උන් වහන්සේ වදාලා.
තමුං මැරිච්චි දවසට තමුං වෙනුවෙං ඉදිරිපත් වෙලා නැති ගුණයක් හරි වර්ණනා
කරලා අපායට යන ටිකට්ටෙක කැන්සල් කරවලා දෙන්න හාමුදුරු කෙනෙක් නැතිවුනොත් සුනේසුං
කියලා හිතපු ගම්මු හැමෝමත් ඒ දේශනාවට බයවුනා. අපේ ගමේ අය හිතන විදිහට පාංසකූලෙට
වඩින ගමේ ලොකු හාමුදුරුවො තමයි ඊළඟ ආත්මෙට බලපත්තරේ දෙන්නෙ. ඒ විදිහට ගමම
බයගද්දාගෙන හැම කෙනාගෙම හැඹිලි හූරපු උන්නාන්සේ පන්සලට අංග සම්පූර්ණ ඝන්ටාර
කුළුනකුත් හදවලා, ලොකු බුදුමැදුරකුත් හදවලා මදිපාඩුවට ආවාස ගේකුත් හැදෙව්වා. ඒ සේරම විවෘත කරන්න මහා
පිංකමකුත් උන්වහන්සේ සංවිධානය කෙරෙව්වා. ඒ සේරටෝම යන වියදං ගනං හදලා පන්සලේ දායකත්වය තියෙන
එක පවුලකිං මේන් මෙච්චරක් මේ පිංකම සඳහා
දියයුතු බවත්, නොදුන්නොත් එහෙම මෙච්චරකල් පන්සලට දුන්න ආදාර සියල්ලත් නොසලකා හරින
බවත්, නොදුන් අයගේ නං මුලු ගමටම ඇහෙන්න පීකරෙං කියන බවටත් ගමපුරා ප්රචාරය
කෙරෙව්වා. ඒ කාලෙ හැටියට පවුලකට හොඳහැටි සති තුනක් කන්න බඩුමුට්ටු ගේන්න තරං ගානක්
එක දායක පවුලකිං මේ සඳහා එක්කහු කෙරෙව්වා. මාසෙට කන්න බොන්න ගේන්න තිවිච්චි සල්ලි,
ළමයින්ට පොතක් පැන්සලක් අරං දෙන්න තිවිච්චි සල්ලි ආදිය එක්කහු කරලත් මදිවුනාම කණකර
පවා උගස් තියලා මේ සල්ලි දෙන්න අපේ ගමේ අයට සිද්ධවුනා. ඒවා එකතු කරන්නත් අලුතෙන්ම
තරුණ නඩයක් හාමුදුරුවෝ පත්කරලා තිවුනා. හාමුදුරුවොත් උන්වහන්සෙගේ කප්පංකාර නඩයත්
දුටුතැන ගමේ අය හැංඟෙන තත්වයටම මේ වැඩේ පත්වුනා.
අන්තිමට කොහොමින් හරි සෑහෙන මුදලක් එක්කාසු කරගෙන පන්සලේ පිංකම සිද්ද
කලා. ගමේ හේවිසි නඩේ වෙනුවට හාමුදුරුවෝ වෙනිං දිහාවකිං හේවිසි කණ්ඩායමක් ගෙන්නුවා.
ඒ කණ්ඩායම පෙරටුව හැමදාම ගමේ එක එක පාරවල්වල පෙරහරවලුත් ගියා. අපේ ගමේ හේවිසි
කණ්ඩායමේ අය හේවිසි ගැහුවෙ “දංකුඩ කොලුවට දංකුඩ කොලුවට” කියන තාලෙට. ඒ උනාට මේ හේවිසි කණ්ඩායම හේවිසි ගැහුවෙ “සමුදෙන්න සමුගන්නනම්” කියන සිංදුවෙ තාලෙට.
හැන්දෑවට පන්සලේ මිදුලේ ඒ කණ්ඩායම වෙනම සංදර්ශනයකුත් තිවුවා. එතැන්දි
තම්මැට්ටංකාරයා පිනුං ගගහා වැලමිටෙං තම්මැට්ටං ගහද්දි දවුල් කාරයා වටේ කැරකි කැරකි
දවුල ගැහුවා. හොරණෑකාරයාගෙ හොරනෑවෙත් රතුපාට බලුප් එකක් පත්තු වුනා. හාමුදුරුවෝ මේ
පිංකමේ තත්වෙ ඉහලට ගන්න “කුල දරුවන් පැවිදිකිරීම” කියලා සුදුවැලිපොත ගමේ කොල්ලෙක්ව අල්ලගෙන මහන කෙරෙව්වා. (එයිට මාස
දෙකකට විතර පස්සෙ මිනිහා සිවුර ඇරලා ඇවිල්ලා පුබ්බයිසිකලයක් පැදගෙන බෝල ගහන්න යනවා
මං දැක්කා.). මේ පිංකමට අදාසි හේනෙමාමා ලවා හාමුදුරුවෝ පන්සල් මිදුලේ “වංකගිරිය” කියලා එකක් හැදෙව්වා. ඒක
අඩිදෙකක් ඉතර පළලට පාර ඉතුරුවෙන්න දෙපැත්ත පොල්ලතුවලිං වහපු රවුං රවුං පාරක්.
හරියට මදුරු කොයිල් එකක් වගේ. ඇතුල්වෙන තැන ඉන්න කෙනාට රුපියලක් දීලා ඇතුල්වෙලා
කකුල් කඩිත්තුව හැදෙනකං එකතැන වටේ ගිහිං ගිහිං අන්තිමට වංකගිරියෙ මැදට ගියහම එතන
ඉන්න ආදාසි හෙනෙ උන්දෑ තමුංගෙ පැත්තකිං තියං ඉන්න පෝරකවරෙකිං අඹ ගෙඩියක් ඇරං
රැහැලා හීං තීරු කපලා එක්කෙනාට එක කෑල්ල ගානෙ දෙනවා. අපිත් ඒක කාලා ආපහු අර රවුමම
ගෙවාගෙන එළියට එන්නෙ නීල කතාවෙං බැනගෙන.
පෝය දවසට දවල්ට දානෙං පස්සෙ පැය බාගයක් ඉතර හාමුදුරුවො ගම අමතනවා.
ලයිස්පීකරේ යනු තමුංගෙ කටහඬ ගමටම ඇහෙන්න සද්දෙ වැඩිකරන උපකරණයක් මිසක මහජනයා
ඇමතීමේ ශිෂ්ට ක්රමයක් නොවන බව හිතං ඉන්න උන්වහන්සේ මාසයක් පුරා හිතේ තියං හිටපු
සේරම ලට්ටලොට්ට දුනුකෙයියා ගලෙනුත් එහාට ඇහෙන්න කියනවා. තමුංට කේලමකිං දැනගන්නට
ලැබුනු ආකාරයට කවුදෝ උපාසිකාවක් “හාමුදුරුවන්ට ළමයිත් ඉන්නවා” යැයි කටකතාවක් ප්රචාරය කර තිබීම සම්බන්ධයෙන් උන්වහන්සේ ගමටම අදහස්
දැක්වූ හැටි මට තවම මතකයි.
“හාමිල්ලවත්තෙ ගෙදර නිමලෙගෙ පවුල කීප දෙනෙක් එක්ක කියල තියෙනවා මට
ළමයි ඉන්නවා, ගෑනු ඉන්නවා කියලා. ඔය කියන හැටියට මටනං ලමයි නෑ. හැබැයි නිමලෙගෙ
පවුලට ඕන්නැං හොඳට නාගෙන පිරිසිදුවෙලා ඇවිල්ලා මගෙ ගාවට ආවොත් ළමෙක් නෙමෙයි
දුසිමක් උනත් හදා දෙන්න පුලුවං. ඒ බව මේ කොයි උපාසකම්මටත් මං කියනව. ආ...
ඒත්තෙක්කම කියන්න ඕන පහුගිය පිංකමට මං කිව්වා හැමෝටම සල්ලි දෙන්න කියලා. ඒ උනාට මේ
ගමේ අසමජ්ජාතියො කීප දෙනෙක් ඒක දුන්නෙත් නෑ. පිල්ලෑවෙ ගෙදර දරමසේනගෙ ගෙදරිං සල්ලි
දීල නෑ. දරමසේනට තේයක්කර දෙක තුනක් තිවිලත් මේ සල්ලි දුන්නැත්තේ දරමසේනට වෙනිං
පවුලකුත් නඩත්තු කරන්න තියෙනවද දන්නෑ. ආයි පහල ගෙදර කලුවගෙනුත් සල්ලි දීල නෑ.
කසිප්පු බිබී ඇවිදින්න සල්ලි තිවුනට මේ වගෙ පිනකට දෙන්න බෑ මුංට......”
පහුගියදා ගමේ යද්දි පන්සල තියෙන කන්ද මුදුනේ කෙහෙල්මුවක් උඩු අතට
හිටෙව්ව වගේ අමුතුම ආකාරෙක චෛත්ති පොඩ්ඩක් පේන්ට තිවුනා. ඒ කියන්නෙ තවමත්
හාමුදුරුවෝ ගම්වාසීන්ගෙ පාංසකූලෙ ඇපේට තියලා ඉදිකිරීම් කරනවා වෙන්ට ඕනෑ.
ඔය අතරේ අපේ ගමට අල්ලපු ගමේ ‘මහ එපාම
කරපු’ ගෙවල් මණ්ඩියකට හිටිගමං හාමුදුරු නමක් පහලවුනා. ඒ ගම්මණ්ඩියට යාබදව
කැලේට ගිය අක්කර පහක ඉඩමෙ කොනක උන්වහන්සෙ පොඩි පැලක් ඇටෙව්වා. ඒ ඉඩම උන්වහන්සෙට
දුන්නේ කලිං පොලිස්කාරයෙක් වෙලා හිටලා පස්සෙ කාලෙක තමුංගෙ හාමිනේගෙ වැඩකාරකමට
පත්වුන අබේකෝන් රාලහාමි. හැතැම්ම පහ හය පයිං යන කට්ටකලු පාටිං යුතු මේ හාමුදුරුවෝ
අරුම පුදුම යන්තරයක් වන ඩෝසරයක් ගෙන්නගෙන අර ඉඩමේ විසාල ගෙපලක් කැප්පෙව්වා. ගෙපල
කපන්න ආපු ඩෝසරේ එතැන්ට වෙනකං පාරත් කපාගෙනම ආවා. මේ අරුම පුදුම යන්තරේ බලන්න අහල
ගංවල හිටපු අයත් ආවා. ටික දවසකිං උස්සවයක් එහෙම තියලා අර ගෙපලේ ලොකු ගොඩනැගිල්ලක්
හදන්න මුල්ගල තිබ්බා. එදා උස්සවේට ආපු සුද්දො කීපදෙනා හිංදා ගමේ අයත් ටික ටික
හාමුදුරුවන්ට කිට්ටු කලා. කොරියං අකුරු ලියාපු ලියන පොත්, පැංසල් එහෙම හාමුදුරුවංගෙං
ඒ අවට ලමයින්ට තෑගි ලැබුනා. හාමුදුරුවන්ගෙ කටුමැටි ආවාසගෙට යන හැම ලමයටම ඒ වගෙ
මොකක් හෝ දෙයක් ලැබුනා. හාමුදුරුවො හදන්න යන්නෙ වැඩිහිටි නිවාසයක්ය කියන ආරංචිය
ගමේ පැතිරුනේ එහෙම ගිය අයගෙන්.
අහල පහල අයටත් රැකියා අවස්ථා ලබාදෙමින් උන්වහන්සේ වැඩිහිටි නිවාසේ
ගොඩනැගුවා. ඒ ගොඩනැගිල්ලට ගෙනා සිමෙන්ති, කම්බි ආදිය සැදැහැසිතින් පිං පිණිස
තමුංගේ ගෙදරට ගෙනයාමටත් ඒ ගම්මණ්ඩියේ සැදැහැවතුන් කිහිපවිටක් කටයුතු කළා. ඒ ආකාරයේ
අය වගේම හැබෑවටම සැදැහැවතුන් අතලොස්සකුත් හාමුදුරුවන්ට උපකාර පිණිස එක්කහු වෙලා
හිටියා.
මේ ගොඩනැගිල්ල හදා වැඩිහිටි නිවාසය විවෘත කලායින් පස්සේ සිය ගෙවල්වල
සිටින නාකි උන්දැලා ටිකත් ගෙනැත් දැමීමට බලාපොරොත්තුවෙන් සිටි අයගේ ඉහේ මල්
පරවීගියේ වැඩිහිටි නිවාසෙට ගන්නේ කාත්කවුරුවත් නැති අසරණ දෙමව්පියන් පමණක් බව ප්රසිද්ධ
වීමෙන්. එයිං පස්සේ කාගෙත් දොස් හාමුදුරුවන්ට එල්ලවුනේ “වයසක උන්දැලට ලමයින්ගෙං සැලකුං ගන්න තියෙන එකත්
නැතිකරනවා.” කියමින්. ඒ වුනත් ඒවා පැවතුනේ ටික දවසයි.
තමුංගේ ස්ථානය අවට සිටින මිනිස්සුන්ට යම් තරමිං හෝ උදව්වක් කලයුතුයයි
හිතපු හාමුදුරුවෝ නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීමේ කඳවුරක් පැවැත්තුවා. අන්තිමට
දොස්තරලවත් පෙරලගෙන පොරකාපු මිනිස්සු එතන තිවුන කණ්ණාඩි කුට්ටං අහුරු පිටිං බෑග්වල
දාගෙන ගිහිං තිවුනා. පස්සෙ තමුන්ට හරියන එව්ව තියාගෙන අනික්වා ළමයින්ට සෙල්ලං
කරන්න දීලා තිවුනා.
තවත් සැරයක් හාමුදුරුවෝ අවට ගෙවල්වල කාන්තාවන්ට රෙදි මැහීමෙන්
ආදායමක් උපයාගන්න ක්රමයක් හදාදෙන්න කියලා හිතාගෙන පුද්ගලික සමාගමකින් පහසු ගෙවීමේ
ක්රමයට මහන මැෂින් ඇරන් දුන්නා. බොහොම ටික දවසකින් ඒ ගෙවල්වල පිරිමි අය මහන මැෂිම
විකුනලා ඒ සල්ලිවලින් කසිප්පු වෙනුවට ටවුමටම ගිහින් අරක්කුම බිව්වා.
මේ විදිහට උණ්වහන්සේ නොයෙක් ක්රම වලින් ගමේ අයට උදව් කලත් තමුන්ට
ඉන්න හිටින්න ආවාස කුටියක් තරමවත් හදාගත්තේ නෑ. අන්තිමට උන්වහන්සේ වටේ හිටිය සැබෑ
සැදැහැවතුන් හාමුදුරුවන්ගේ කටුමැටි පැල අලුත්වැඩියා නොකර බිමට සමතලා වෙන්න
ඉඩහැරියා. ඉතින් අකමැත්තෙන් උනත් උන්වහන්සේට අලුත් ගොඩනැගිල්ලේ පදිංචි වෙන්න වුනා.
මේ වනවිට එතැන ළමා නිවාසයක්, පුස්තකාලයක්, රෝහලක්, ධර්ම ශාලාවක් ඇතුලු විශාල
ගොඩනැගිලි සංකීර්ණයක්. මේ මොනවා කලත් උන්වහන්සේ තමුංගෙ ක්රමය වෙනස් කරන කෙනෙක්
නෙවෙයි.
![]() |
| වැඩිහිටි නිවාසෙට යන පාර (ගූගල් වීදි පෙනුමෙන්) |
අදටත් එතැනට යන හැමෝටම වෙලාව අනුව කෑම බීම ලැබෙනවා. ඒ වගේම තමයි ජාති
භේදයක් නැතුව එතැනින් දෙන ආධාරයක් සුදුසුකම් ඇති ඕන කෙනෙකුට ගන්න පුලුවන්. 2002
වසරේ උන්වහන්සේ මහා උපසම්පදා උත්සවයකුත් පැවැත්වුවා සති ගණනාවක් තිස්සේ. ඒ කාලය
තුල ආපු හැමෝටම විශාල දන්සැල් තුනකින් කෑම බීම දුන්නා. හැබැයි කාටත් එකම සැලකිල්ල.
හාමුදුරුවන්ගේ අම්මත් අනෙක් පිරිස අතරෙම බිම ඉඳගෙන බණ ඇහුවා, එයාටත් කෑම දන්සලෙන්.
කාටවත් විශේෂ සැලකිලි නෑ. ඒ වගේම තරාතිරම නොබලා වැරැද්දට වැරැද්ද කීම. මොකද්දෝ
රැස්වීමකට පරක්කුවෙලා ආපු එවකට අපේ පලාතෙ ප්රබල මන්ත්රීවරියකට ඒ ගැන ප්රසිද්ධියෙම
උන්වහන්සේ දොස් පැවරුවා. ඒ විදිහටම වැඩිහිටි නිවාසෙට යන පාර දිගේ ගස් අතරෙ
පෙම්කෙලින්න හදාපු ජෝඩු කීපෙකුත් උන්වහන්සේ එලවා දැම්මා. මෙයිට අවුරුදු ගානකට
කලින් චූටිමැණිකෙයි මායි දෙන්නා එතැන පුස්තකාලෙට පොත් කීපයක් දුන්න අවස්ථාවෙ තමයි
මම අන්තිමට උන්වහන්සේ දැක්කේ. නමුත් මේ මෑතකදී මට උන්වහන්සේ ගැන අහන්න ලැබුනා. ඒ අවුරුදු
දවසට දවස් දෙකකට විතර කලින් මට දුරකථන ඇමතුමක් ගත්තු මං අඳුරන නැන්දා කෙනෙක්.
“පුතේ මං ** මාමලෑ ගෙදර නැංදා. මට අද තමයි පුතාගෙ ටෙලිපෝන් නොම්මරේ
හම්බවුනේ. පුතේ අපේ ලොකු දරුව කැම්පස් යන්න පාස්වුනා. වයිද්ය විදයාලෙට යන්න පුලුවං
වෙයි දිස්තික්කෙං විසි** වැනියා. ඒ දවස්වල පුතා අපිට උදව් කරපු හිංද තමයි මයෙ දරුව
පාස්වුනේ. මං කතාකෙරුවේ පුතාට පිං දෙන්න.”
(ඔවුන්ගේ අනන්යතාවය හැංගුවේ අනාගතයේ දොස්තර මහත්තයෙක් වෙන්න ඉන්නා ඔහුගේ ජීවිතයට
මතු දවසක බලපෑමක් විය හැකි නිසායි.)
සිය සැමියා මිය යාමත්, සැමියාගේ පවුලේ අයගේ හිරිහැරත් නිසා අසරණ වූ ඒ
නැන්දා පොඩි ලෑලි ගෙයක සිය දරුවන් තිදෙනා සමග බඩගින්නේ හිටිය හැටි මට මතක්වුනේ
එවිටයි.
“දැං කොහෙද නැන්දෙ ඔයගොල්ලං ඉන්නෙ”
මං එහෙම ඇහුවේ ඒ කාලෙත් හරියකට නොතිබූ ඒ ලැලි ගෙය අද වනවිට පොලවට
සමතලාවී ඇතුවා නිසැක නිසයි.
“අනේ පුතේ අපිට වැඩිහිටි නිවාසෙ හාමුදුරුවො ගෙයක් හදා දුන්නා. ගෙට
ලැයිට් වතුර හිටං ඇරං දුන්නා. නැත්තං ඉතිං අපිට මහපාර තමයි”
උන්වහන්සේ තවමත් වැඩසිටිමින් සමාජයට වැඩ කරනවා. උන්වහන්සේ මේ වනවිට
නිසැකවම වෙබ් අඩවියක් එහෙම හදාගෙන ටිකක් ප්රසිද්ධියට පත්වී ඉන්නවා ඇතැයි මට
හිතුනා. උන්වහන්සේ ගැන මං නිකමට අන්තර්ජාලයේ සොයා බැලුවත් මට හමුවුනේ මෙන්න මෙච්චරයි. අසපු ඇටවූ රත්තරං එක්කහු කරන පිංවත්
ස්වාමීන් වහන්සේලා උඩ එද්දී රටට වැඩක් කළ හාමුදුරුවරු යට ගිහිල්ලා.


