දැං ඉන්නා
ලමයින් දැක්කාම පුදුමත් හිතෙනව. ඒ අය පන්සල් යන්නට, දහම් පාසල් යන්නට හරිම ආසයිනෙ.
ඉස්සර මාවනං (අපේ අහල පහල එවුනුත් එහෙම තමා) දහම් පාසල් ගෙනියන්න ලේසිවට බෑ. අම්මා
තියා ලොකු අම්මාගෙං ගුටි කෑවත් දහම් පාසල යනු මටනං යන්න බැරිම තැනක්. සතියේ දවස්
පහක් ඉස්කෝලෙ ගියාම නිවාඩු දී ඇති දවස් දෙකෙනුත් එකකට කෙලින්න දහම් පාසල් ඇතිකල
එකාට හොඳවෑං දෙකක් කියයුතු බව මගේ හිතේ තිවුන.
ඔය කොයිහැටි
වෙතත් පන්සල් යාමට අපේ ගමේ තැනක් ලැබෙන්නේ වෙසක්, පොසොන් , ඇසල ආදී ප්‍රධාන පෝයවල්
හා කටින කාලෙට විතරයි. කටින පිංකං පැවැත්වෙන කාලෙට හැමදාම හැන්දෑවට සොපිංකවරෙකට
මල් කඩාගෙන කුස්සියෙ තියෙන පොල්තෙල් බෝතලෙං ටිකක් කුප්පියකට දාගෙන (ඒකෙංම ටිකක්
ඔලුවෙත් ගාගෙන) පරණ රෙද්දකිං පාංතිර දෙහෙකුත් අඹරගෙන සල්ලි තිවුනොත් රුපියල්
පහේ බොබී හඳුංකූරු පැකැට්ටෙකකුත් කඩෙං අරං
නංගිවත් කිහිල්ලෙ ගහගෙන පන්සල් යාම අම්මාගේත් මගේත් දිනචරියාවෙ කොටහක්. ආපහු එන්න
රෑවෙන හිංදා ටෝච්චෙකක් නැත්තං ඉටිපන්දමකුයි පොල්කට්ටකුයි හරි ඇරං යන්න ඕනෑ. ඒ යන
ගමනේ අරමුණ අපේ ඉඩමේ කොටහක් බලෙං අල්ලං ඉන්න සූරියසේනගෙ ගෑනි එලවාගෙන ඒ කොටසත්
ආපහු ගැනීමත්, තාත්තාගේ බීම නැවැත්වීමත් යන දෙකයි.
අපි වගේම අහල
පහල අයටත් ටීවී බැලිමේ පහසුකමක් නොතිබූ ඒ කාලේ කටින බෝදිපූජාවට පන්සලේ බණසාලාව
පිරෙන්න සෙනග (වැඩියක්ම ගෑනු අය සහ ළමයි)
වරදින්නේ නෑ. රේඩිවේකේ ‘මුවං පැලැස්ස‘ හෝ ‘සිපෙක්කෝ
මහත්තෙයා‘ කතාව තියෙන දාට විතරක් එයිං කොටසක් අඩුවෙනව.
පන්සල් යාම
සඳහා ඉස්කෝලෙ ඇරිල ආපු ගමං ලැහැත්ති වෙන්න ඕනි. අම්මා උයනකං නංගිව බලාගන්න ඕන.
නැත්තං දරපොලු පාරක් හෝ කොහුපාරක් ලැබීමේ භාග්‍ය උදාවෙනව. උයාල ඉවර වෙනකොට
ලාම්පුතෙල් සහ සිනි ගේන්න ‘ගුණසේකර මාමගෙ
බාර්රෙකට‘ යන්න ඕන. අපේ ගෙදරට දවසට
සීනි දෙසිය පනහක් හා ලාම්පුතෙල් බෝතලයක් ඕන. ඒ ටික ගෙනත් තියන කොටම
“විජහට
ගිහිං මල් ටිකක් කඩං වර“
කියා අණක් ලැබෙනව.
එවිට සොපිං කවරයක් තියේනම් අරගෙන මල් හොයන්න යන්න ඕන.
‘සිරිපාල මාමගෙ තේ කෑල්ලේ‘ පිච්චමල්, අපේ ගෙදර හෙලපල්ලමේ රතු අරලිය (මේ
ගහ උස අඩු නිසා කෙක්කෙන් මල් කඩන්න පුලුවං), සුනිල් මාමලගෙ ගෙදර සුදු අරලිය
(මෙව්වා කඩන්න මට ගහේ යන්න බැරි හංදා හංසනීට කියා කඩවා ගන්න ඕන), වේල්ල අද්දර
කහමල් ආදිය සොපිං කවරෙ නැත්තං පරකොල ගොට්ටක නැගල ගෙදර එනව. එතකොට
“විජහට
ලැහැත්තිවැනිං“
කියා අනක් ලැබෙනව.
අමුතු ලැහැත්තියක් නෑ. ගෙදෙට්ට අඳින අනික් කොට කලිසමයි කමිසෙයි ඇඳගෙන මල්,
පොල්තෙල් ආදිය අරං ගෙයි දොර වසා කුස්සිය පැත්තෙ ලෑලි පලු දොරෙං එලියට බැස එයට
ඉබ්බා දමා යතුර දෙහිගහ යට ගලක් යටින් තැබීමෙන් වැඩේ අවසන්.
“උඹ
ඉටිපංදමක් ගත්තද“
“නෑ“
“එහෙනං
ගං. හනේ තොගෙත්තෙක්ක ගමනක් යන්න ගිහාං එයිට ලේසියි අලියෙක් බලනව“
ආයි ගල යටිං
යතුර අරං දොර ඇරල ඉටිපංදං කොටෙයක්
ගුරුලේත්තුව අස්සෙං අරගෙන, ලිප මුල්ලෙං පොල්කට්ටකුත් ගන්නව. ආපහු දොර වහල දෙහිගහයට
ගලක් යටිං යතුර තියනව.
නංගිව
කිහිල්ලෙ ගහගෙන යන අම්මා පෙරටුව පිටිපස්සෙං මල් කවරෙත් පොල්කට්ටත්, පොල්තෙල්
කුප්පියත් අරං මං යනව. ඉටිපංදං කොටේ සාක්කුවෙ. පන්සලට අඩි දහයක් පාලොවක් මෙහායිං
කානුවෙ මුනිං අතට පොල්කට්ට නමල තියල අපි පන්සලට යනව. එතකොට දෙතුන් දෙනෙක්ට වඩා
ඇවිල්ල නෑ. මල් වට්ටිවලට මල් අහුරන්න අරක්ගත්තු කොන්ඩෙය විතරක් බණසාලාවෙ ඉන්නව. මං
එතන්ට යනකොටම මගෙ මල් කවරෙ එයා උදුරල ගන්නව.
“මල්
වට්ටිය ගන්න කියනකං මේ පැත්ත පලාතෙ එන්නෑ තේරුනා ද?“
“හා“
මං පන්සලේ
මිදුල කෙරෝලකට යනව. එතන ඉඳං බලා හිටියාම නාරගල්පිටියට යන අඩිපාරෙ යන මිනිස්සු හොඳට
පේනව. ටිකකිං අපේ තාත්තත් සරම දෙකට නමල ඇඳගෙන ඒ පාර දිගේ යනව.
“ආං
අදත් ගියා බොන්න“
මූණ බිමට
පාත්කරගෙන ආපහු විහාරගේ පැත්තට එනගමං මං අම්මට කියනව.
“
අනෙ අම්ප මේ මිනිහට මේ හු** නොබී ඉන්න බැරි හැටි“
අම්ම දෙස්
දෙවොල් තියනව.
ඔය අතරෙ සෙනග
එකා දෙන්න පිරෙනව පන්සලට. සමහර වෙලාවට කලිසං පවා අඳින සිසිර බාප්පගෙ පවුල එයාගෙ
බෝනික්කො වගේ එකම විදිහෙ ළමයි දෙන්නවත් අත් දෙකෙං අල්ලගෙන පන්සලට එනව. ගමේ කසිප්පු
පාරිභෝගිකයින් නොවූ අතලොස්ස අතරින් කීප දෙනෙකුත් සිය අඹු දරුවන් එක්ක එනව. ඒ අතරෙ
අපේ පුංචම්මලගෙ වයසෙ තරුණ අයත් එකා දෙන්න එනව. ඒ තරුණ පිරිමි අය කලුවර තියෙන
හරියෙං ඉඳං තමුංගෙ මඩ්ගාඩ් ගලෝපු පුබ්බයිසිකල් උඩ නැගගෙන, නැත්තං ඒවට හේත්තුවෙලා
වටවෙලා කතා වෙනව. කසාද බැඳපු නැති තරුණ
ගෑනු අයත් හත් අට වතාවක් රෙක්සෝන සබං ගාල නාගෙන පොලට යන්න තරං සුදුසු හොඳ දිගම දිග
ඇඳුං ඇඳල පැරිස් පවුඩර් ගාගෙන හැඩවෙලා ඇහිල්ල කට්ටියත් එක්ක පහන් එලිය තියෙන
හරියෙං වටවෙලා රහසිං මොන මොනවාද කතා කරකර ඉඳල එක පාරටම සද්දෙට
“ඉහිහ්හීහී
ඉහිහ්හීහී ඉහි ඉහි ඉහි ඉහි“
කියල හිනාවෙලා
කටිං අත වහගෙන දෙකට නැමිල අමුතු ඇඹරීමක් ඇඹරෙනව. මේ හිනාවෙ සද්දෙ වැඩි උනොත් සමහර
වෙලාවට ආච්චම්මලගෙං බැනුං අහන්නත් වෙනව.
“කච
කච කච. මී පන්සලට ඇහිල්ල තියෙන්නෙ. නිස්සද්දව හිටාල්ල“
හැබැයි
කවදාවත් අඳුරෙ බයිසිකල්වල නැගල ඉන්න අය පාං එළිය ගාවටවත්, පාං එලිය ගාව ඉන්න අය
අඳුරටවත් යන්නෙ නෑ.
ඒ අතරෙ පන්සල්
මිදුලෙ කෙලවරේ ඉන්න මට අපේ තාත්තා කලිං ගිය පාර දිගේම ආපහු එනව පේනව. ගමනෙ හැටියට
අදනං හොඳටම බීල නෑ. අද කනක් ඇහිල නිදාගන්න පුලුවං වෙයි. බණ සාලාව පැත්තෙ එකම
ගාලගෝට්ට්යියි. ළමයිංගෙං මල්වට්ටි බේරගන්න කොන්ඩය කෑගහනව.
“මෙතන
වටවෙලා කෑගහන්නෙපා. මල්වලට කෙල වීසිවෙනව.“
කටෙං කෙළ බෝල පිම්බෙන කොණ්ඩෙය කියනව. ළමයි ටිකක්
එහාට වෙලා ඉඳල ආයි කිට්ටු වෙනව. ඒ අහලකම එක්කෙනෙක් බිම ඉඳගෙන “චුහු චුහු චුහු චුහු“ කියන සද්දෙට ලැයිට්ටෙකට
හුලං ගහනව. ඒවගෙ ලැයිට් තුනක් හතරක් පන්සලේ තියෙනව. ලාම්පුතෙල් දාල හුලං ගහල
පත්තුකරල එව්වයිං එකක් බණමඩුවෙත්, එකක් බෝධිය ගාවත්, එකක් මිදුලෙත් එල්ලනව. ඒ
එලියෙං ලමයි මිදුලෙ ඔට්ටු තියනව. ලොකු අයගෙං බැනුං ඇහුවට, ගුටිකෑවට ඒ සෙල්ලම
නවතින්නෑ.
ඔය අතරෙ තව
තැනක කට්ටිය එක්කෙනෙක් වටේ පොරකනව. මාත් කිට්ටු කරනව. මද්දුම්මහත්තෙ ආතලගෙ ගෙදර
පොඩි මාම අරුම පුදුම හතු ජාතියක් ගෙනැහ්ල. ඒව කලුවරට දිලිසෙනව. මාත් පොරකාල එයිං
කෑල්ලක් කඩාගන්නව. ඉං පස්සෙ හැමෝම තිත්තපල් කලුවරට ගිහිල්ල ඒ හතුකෑලි දිහා බලනව.
ඒව රෑ බදුල්ලො වගේ දිලිසෙනව.
දැං මල්වට්ටි
හදල පහං වලට තෙල් දාල, ඔක්කොම ඉවරයි. මේ වෙලාවෙ කොණ්ඩෙයව පෙරලන්න තරං ලමයි මල්
වට්ටි ටික වටේට කිට්ටු වෙලා.
“හැමෝම
පෝලිං හැදෙන්න. බණසාලාවෙ ඉදං විහාරගෙට යනකං“
හීං ආතගෙ
දැනුං දීමෙං හැමෝම පේලියට හිටගද්දි අපි කොණ්ඩයව පෙරලගෙන මල්වට්ටිටික ගන්නව.
ගිලංපස, දැහැත් ආදී වට්ටි ගත්ත අය ඉස්සරහිංම, ඊළඟට පහං ගත්ත අය. එයිට පස්සෙ අන්ඩ
කැඩිච්චි පීරිසි කෝප්පෙකට වැලි පුරෝල ඒක වටේට හඳුංකූරු පත්තු කරල හිටෝල අරං යන කෙනා.
එයිට පස්සෙ මල්වට්ටිය අරං පෝලිමේ ඉස්සරහිංම ඉන්න පොරකන අපි. පේලි හැදිල ඉවරවෙනකොටම
එක්කෙනෙක් පංසලේ මිදුලෙ මහෝගනී ගස් දෙකක් අතරෙ ගැටගහපු ලීයක එල්ලපු ගන්ටාරෙ ගහනව.
ටාං
ටාං ටාං ටාං
අපි හැමෝම හීං
ආතගෙ නායකත්වය යටතෙ
සාදු
සාදු සාදු සාදු සා...ආ...දු
සාදු
සාදු සාදු සාදු සා...ආ...දු
සාදු
සාදු සාදු සාදු සා...ආ...දු
සාදු
සාදු සාදු සාදු සා...ආ...දු
කියන ගමං පෝලිමට ඉන්න අයට අපේ අතේ තියෙන ඒව
අතගස්සමින් විහාරගෙට යනව. මම මගෙ මල් වට්ටිය හයියෙං අල්ලගෙන සෙනග දිහා ඕනැකමිං
බලනව. ගල්කොටුවෙ ආනංදෙය හරි මගෙ වෙනිං තරහ කාරයෙක් හරි හිටියොත් උං මගෙ මල්
වට්ටියට අතිං ගහල බිම දාන්න පුළුවං. දැහැත් ගිලංපස වට්ටි වලට පොරකකා අතගහන අය
හඳුංකූරු බාජනේ අරං එනකොට පස්සට වෙනව. හැමෝම ඒකට ඉත්තෑවෙක්ට වගේ බයයි. කොහෙං
ගැවුනත් පිච්චෙනවනෙ. කවුරුත් ඒක අරං යන්නත් බයයි. හැමදාම ඒක ගිනිච්චෙ ලොකු
එක්කෙනෙක්.
අන්තිම මල්
වට්ටියට අතගහපු ගමංම හැමෝම ගමට කොටිය පැන්න වගේ බණ සාලාවට දුවනව. තමුංගෙ පැදුර
අල්ලගන්න. බිත්තියට හේත්තුවෙලා ඉඳගන්න තියෙන තැන් අල්ලගන්න. සමහර වෙලාවට වලිත්
ඇතිවෙනව.
ඉං පස්සෙ
හාමුදුරුවො පංසිල් දීල එහෙම බෝධි පූජාව කරගෙන යනව. මේ වෙලාවට පිරිමි කිසි කෙනෙක්
බණසාලාවෙ නෑ. හැමෝම ටෝච් අතේ තියාගෙන කලුවරට වෙලා කයිවාරු ගගහ ඉන්නව. සමහර ගෑනු අය
නිදිකිරා වැටෙනව. එක දවසක් හාමුදුරුවො ගාතා කියන අතරෙ කරුනෙ මාමගෙ පවුල හීනෙං
බයවෙලා ගිරියටිං කෑගහපු හැටි මතක්වෙලා මට හිනා යන්න එනව. ඒ අතරෙ මට කකුල් නමං ඉන්න
බැරුව එක කකුලක් දිගෑරියහම ඒක ගිහිං කලුමාමගෙ පවුලගෙ තුනටියෙ වදිනව.
“හුත්“
කියල ඒ නැංද
මට ප්‍රසංසාව පල කරනව. එයාට ඩිංග ඇහ්නං කිචි. නිංදෙං ඇහැරිච්ච පොඩි එකෙක් මරහඩ දීල
අඬනව. උගෙ අම්ම උට හැට්ටෙ අස්සෙං කිරි පොවල නලවගන්න හැදුවට උට ගෙදර යන්න ඕනෑම
කියනව. ඒ හිංද ඒ ගෑනුකෙනා තමුංගෙ අම්මත් එක්ක යන්න යනව. හාමුදුරුවො මං නොදන්න
ගාතාවක් කියනව.
“සුපටිට්ටිත
රට්ටනුරාදපුරේ“
මට ඒ ගාතාව
කියාදෙන්න කෙනෙක් නෑ. මට කේංති යනව. මං ඒ ගාතාව කියන්නෑ. නවග්‍රහ සාන්තිය විතරක්
හයියෙං කියනව. අම්ම කියන විදිහට අපිට අපල හිංදලු තාත්ත බොන්නෙ. ඒ අපලෙ ගෙවාගන්න
ගාතාව හරියට කියන්න ඕන.
ඊළඟට තියෙන්නෙ
භාවනා කිරීම. මාගල් පනහක් හැටක් සිමෙන්තියෙ ඇදගෙන යනව වගේ
“සීඊඊඊඊස් සාආආආස්“ සද්දෙකිං හැමෝම තම තමංගෙ කකුල් පැදුර දිගේ අද්දල
එහාට මෙහාට නමල බාවනා කරන්න හදාගන්නව. හාමුදුරුවො බාවනාව කියනව. අපිත් ඒකම කියනව.
වාර ගානක් කියල ඉං පස්සෙ නිස්සද්දව බාවනාව කරන්න කියනව. අපි නිස්සද්ද වෙනව. අපිට
පිටිපස්සෙං බිත්තියට හේත්තුවෙලා ඉන්න කෙනෙක් “ග්‍රාආආ
ගර්ර්ර්ර්ර“ කියල ගොරෝනව. හිනාව
තදකරං ඉන්න බැරි පාර මට “චිහුම්ප්“ කියල හිනා යනව. අම්ම මට හිල්වෙන්න ටොක්කක් අයිනව. ඒ
එක්කම වටේ ඉන්න කීප දෙනෙක්ටම හිනා යනව. හිනාව පැතිරෙන්න කලිං හාමුදුරුවො
“හා
හොඳයි සාදු කියන්න“
කියල බාවනාව
අවසං කරනව. ඉං පස්සෙ පොඩ්ඩ වෙලාවකිං බෝධිපූජාව ඉවරයි. හැමෝම ගෙදර යන්න කලබලේ
නැකිටිනව.
“ආ..
බෝධිපූජාව ඉවරයිද“
කියල අහගෙන
නිදං හිටි අයත් නැකිටිනව.
“ඔය
තම තමං ඉඳං හිටි පැදුරු අකුලල අර මේස පෙට්ටියට දාන්න. අපිට ඉතුරු කරන්නෙහෙම එපා“
හීං ආත හයියෙං
කියනව. අපි හිටපු පැදුර මං අකුලනව. ඒ ගමන මිනිස්සු පෝලිමට හාමුදුරුවන්ට වඳිනව.
හාමුදුරුවන්ටත් හැමෝටම ‘සුවපත් වේවා‘ කියන්න
බැරි හිංද ඔහේ හිටගෙන ඉඳං සුගත් ආතත් එක්ක කතා කරනව. සමහර අය විතරක් වැංදම
“ආ
මෙයත් ආවද? හොඳා හොඳා“
කියල කියනව.
අපිත් නිදිමතේ
ගෙදර එන්න පංසලෙන් දොට්ට බහිනව. කරුවලේ අතගාල කානුවෙං පොල්කට්ට හොයා ගන්නව. ඊළඟට කාගෙං
හරි ගින්දර ටිකක් ඉල්ලගෙන ඉටිපංදං කොටේ පත්තු කරගෙන පාරට බහිනව. සමහර වෙලාවට
පිරිමි අය පොල්කට්ට ටිකකට ඉල්ලගෙන ඒකෙං සිකරැට්ටෙකක් පත්තුකරගන්නව.
අපේ ගෙවල්
පැත්තට එන අය සෑහෙන පිරිසක් ඉන්නව. අපි සේරම චරෝ බරෝ ගගා කියෝ කියෝ එනව. ඒ අතරෙ
බයිසිකල්කාරයො ටික ‘ටිං ටිං ටිං ටිං‘ ගාල බෙල්ලෙක ගහගෙන කරුවලේම මහ හයියෙං බයිසිකලේ
පැදගෙන අපිව පහුකරං යනව. අපි පාරෙං පිටට පැනල පන බේරගන්නව.
“මොන
වේ** පුත්තුද මංද ඇහැකන පේන වෙලාවකද මේ රේස් පදින්නෙ“
ආදී වසයෙං පිං
අනුමෝදං කරන හඩත් ඒ අතරෙ ඇහෙනව.
චන්දරෙ මාමගෙ
පුතත්, මාත්, නෝනක්කත් ඇතුලු තව කීප දෙනෙක් කලාමැදිරියො අල්ලගෙන පන්සල් යද්දි මල්
ගෙනියපු සොපිං එකට දාල ඒකෙ කට ගැටගහල අතේ තියාගෙන වනනව. ඒක දැකල වැඩැහිටියො අපිට
ආශිර්වාද කරනව.
“හනේ
තොපි පංසල් ගිහිං එනගමං කරන වැඩද ඔය. අතෑරපියව් ඔය අහිංසකයො ටික උංට යන තැනක යන්න.
තොපි දන්නවද ඕකුං කෑවොත් හොඳ කරන්න අහසෙ තරුයි, මුහුදෙ මඩයි ඕනැලු“
අතර මග තියෙන
අතුරු පාරවල් වලිං එකා දෙන්න වෙං වෙලා ගිහිං අංතිමට අපි හතර පස්දෙනෙක් විතරක්
ඉතුරු වෙනව.
“සෝංපාලයියේ
සෝංපාලයියේ“
කියල මහ
හයියෙං කෑගහල අපේ පියානංව ඇහැරෝල අපිට ගෙට යන්න අවස්ථාව හදල දීල චන්දරෙ මාමලගෙ
ගෙදර අය තනියම එයාලගෙ ගෙදෙට්ට යනව. මං ඉටිපන්දං කොටේ නිමල ගුරුලේත්තුව ඇතුලට දානව.