“මෙවර බ්ලොග් වසන්තය සම්මානලාභී සියළු සහෘදයින්ට මගේත් චූටිමැණිකේගේත් උණුසුම් සුභ පැතුම්. ඔබ සියළු දෙනාට තවත් යතුරු ලියනය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.“
මාත් මේ රස්සාවට එනකං මහජන සම්බන්ධතා පවත්වන ක්‍රමය ගැන දැනං හිටියෙ අල්ප වශයෙං. සේවක පරිපාලනය ගැන දැනගෙන හිටිත් කාර්යාලයකට එන මිනිහෙක්ට සලකන විදිහ දැනං හිටියෙ නෑ. ඒ හංදා මං අකරතැබ්බ ගානකට මුහුණදීලත් තියෙනවා. අද කියන්න යන්නෙ මං හදාගත්තු කාර්යාල ක්‍රමය ගැනයි. මේක ආයතන සංග්‍රහයෙ නෑ. අලුතින් පත්වෙච්චි ඔපිසර මහත්තුරුන්ට හෙම මෙව්වා වැදගත් වෙයි.
මාත් මේ රස්සාවට එනකං මහජන සම්බන්ධතා පවත්වන ක්‍රමය ගැන දැනං හිටියෙ අල්ප වශයෙං. සේවක පරිපාලනය ගැන දැනගෙන හිටිත් කාර්යාලයකට එන මිනිහෙක්ට සලකන විදිහ දැනං හිටියෙ නෑ. ඒ හංදා මං අකරතැබ්බ ගානකට මුහුණදීලත් තියෙනවා. අද කියන්න යන්නෙ මං හදාගත්තු කාර්යාල ක්‍රමය ගැනයි. මේක ආයතන සංග්‍රහයෙ නෑ. අලුතින් පත්වෙච්චි ඔපිසර මහත්තුරුන්ට හෙම මෙව්වා වැදගත් වෙයි.
2010 අවුරුද්දෙ මැයි මාසෙක මං මේ පලාතට ආවෙම මල් පාත්ති, පෝච්චි, වතු පිටිං පැනගෙන. ඇයි කියල අහන්නෙ? ඇයි යකෝ තදවෙන්නෙ නැද්ද? රත්නපුරේට හදල තිවුණ මගෙ පත්වීම දාං ඇදල වගේ එකක් කරල මාව මෙහාට දැම්මහං, කුළුඳුල් ** වැනි ප්‍රේමය තියලා කිලෝමීටර එකසිය අසූගානක් (වන් හන්ඩ්‍රන් එයිටි කිලෝමීටර්ස්) දුරකට යන්න වුනහං එපා වෙන්නැද්ද? මං ඉස්සර ඉඳංම බලහත්කාරෙං මාව මෙහෙයවනවට මං කැමති නෑ. ඒ හංදා මං මෙහාට ආවෙම වෙසමුණි වරමෙං.
ඇවිල්ල වැඩ බාරගෙන මගෙ අතිජාත මිත්‍රයගෙ ගෙදර නැවතුනා. මටයි තව එකෙකුටයි දවසක් දෙකක් යද්දි දෙවෙනි ලොක්කගෙ නිල නිවාසෙ දුන්න “හිටපල්ලා“ කියලා. ඒ ලොක්කා ගෙදර ඉඳං වැඩට එන හංදා නිකං මාසෙයක් ගානෙ කැපෙන ගෙවල් කුලී ගාන අපෙං අයකරගැනීම තමයි එතන “අභ්‍යන්තරේ“. ඉතිං අපි ඒ භූත වාසෙ නඩත්තු කරගෙන හැකරැල්ලන්ගෙං බේරෙන්න කඳවුරු මේස උඩ නිදාගෙන, මීයො එක්ක ජීවිතේ පටං ගත්තා.
![]() |
මේ තියෙන්නෙ ඒ වාස භවන ඔය පොළවට ගැළපෙන ඇඳුමක් ඇඳං ඉන්නෙ මං තමා |
ප්‍රියයන්ගෙන් වෙන්වීමත් (“ප්රේමේහි විප්‍රයෝගෝ“) අප්‍රියයන්ට අහුවීමත් (“මීයෝ, කංකුන්ඩෝ) නිසා මං තවත් ඇට්ටරයෙක් වෙලයි හිටියෙ.
මාත් ඉතිං රස්සාව කරගෙන ගියා. අපරාදෙ කියන්න බෑ ඉන්න අය සේරම මට සෑහෙන උදව්කලා වැඩ ඉගෙනගන්න. මගේ ජීවිතේට එහෙම එකක් උනාමද කොහෙද ඒ. ඒ කිව්වෙ හැමෝම මට උදව් කිරීම. මං බාරගත්තෙ මාස ගානක් තිස්සේ කටයුතු නොකරපු මහා ලියුං කන්දක්. කන්දක් කිව්වට කන්දක්ම නෙමෙයි කහල ගොඩක්. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හත අටක වැඩ. මට කලින් ඒක කරපු එකා දවල් දවසෙම ටවුමෙ කරක්ගගහ හිටපු එකෙක්. වැඩක් කරලා නෑ.
මුලින්ම වැඩ බාරගෙන දවස් කීපයක් යනකං ආපු අයට උත්තර දුන්නේ කලිං වැඩ කරපු කෙනා. සතියක් විතර යද්දි ඒ වැඩේ මටම පැවරුනා. පරණ ලියුම් වලට පිලිවෙලකට උත්තර ලියාගෙන, මැනුම් ඉල්ලීම් ටික අදාල තැංවලට යවාගෙන, ලස්සනට වැඩ ටික කරගෙන යන්න හිතුවට ඒක දවස් දෙකෙං හබක්. මුලින් ආපුදේට මුලින්ම ක්‍රියා කිරීමට වඩා කරදරයක් වෙන්න පුලුවන් දේ ඉක්මනින් කොහෙට හරි යවන්න කියන එකයි ඉහළ නියෝගය වුනේ. ඒ හංදා සමහර වැඩ නිකංම යට ගියා.
ඒ වුනාට මිනිස්සුන්ට එව්වා මතකයි. හැමදාම උදේට හය හත් දෙනෙක් කඩාගෙන පාත්වෙනවා.
"මහත්තයා අපේ ඉඩං කෑල්ල මන්නෝගන්න ලියුමක් එව්වා තාම මයින්න ආවෙ නෑ. ඒක බලන්න ආවෙ."
උදේ පාන්දර නමය වෙන්න කලිං කඩාපාත්වෙන මනුස්සයෙක් තමයි ඒ.
"කෝ ඒක මනින්න එවපු මැනුම් ඉල්ලිමක විස්තරයක් එහෙම තියෙනවද?"
මාත් ඒකෙ කොනක් පාදගන්න උත්සාහ කරනවා.
"එහෙම එකක් නං නෑ. ගාමසේවක මහත්තෙය තමයි කිව්වෙ අපේ ඉඩං මයින්න ඒජියෝපිස්සෙකෙං මෙහාට එවල තියෙනව කියල"
"එහෙම කිව්වට හරියන්නෑනෙ. අපිට ඒක එවලද නැද්ද කියල බලන්න එහෙං එවාපු ලියුමක විස්තරයක්වත් ඕනි."
"මහත්තය, බලන්නකො අඹගස්වැව වසම කියලා තියෙද කියලා. අපේ ඉඩං තියෙන්නෙ තැපැල් කන්තෝරුවට වංගු දෙකක් එහායිං අස්සට තියෙන පාරෙ කුඹුරු යාය අද්දරමයි."
ඔය කියන දීපංකරවල නං ගං වත් අහල නැති මට පොහොට්ටුවක් පනිනව. ඒ කියන්නෙ මලේ බබා අවස්ථාව.
"එහෙම කිව්වට හොයන්න බෑ. අනික අපේ ප්ලෑන්වල තැපැල් කංතෝරු, අනං මනං ලකුණු කරල නෑනෙ. ඒ හංදා මනින්න ඉල්ලල එවපු මැනුං ඉල්ලීමෙ අංකෙයි දිනෙයි ලියල අරං එන්න. එතකොට හොයල කියන්නං"
ඔන්න ඔය ගමන මිනිස්සු ආයිත් වැරදි පොටෙං අල්ල ගන්නවා. ඒ ගොල්ලං හිතන්නෙ මං පුලුවං වැඩක් නොකර අරිනවා කියලයි.
"එහෙම නෙමෙයි මහත්තයා. මං මහත්තයට සලකන්නං. මට මේක කොල්ල දෙන්න."
අන්න පිංවතුනි පුෂ්ප පිපී මකරන්ද දිලෙන කතාව. මං පුල් වොලියුම් දාලා සභාවෙං අවසර ගන්නවා.
"ඔයාට පිස්සුද? මට ආණ්ඩුවෙං පඩියක් ගෙවනවා. ඔයාගෙං පගාව කන්න මං මොකෙක් කියල හිතුවද? අල්ල දෙනව පොලිසියට. අපිව හොරු ගාන්ට ගත්තද?"
අන්තිම වචන ටික අහන්න මිනිහා එතන නෑ.
ඔය සමහරු එන්නෙ උදේට ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙට ආපු ගමං. ඒ වගේ අයගෙං මැනුමට අදාල ලියුං කියුං ගැන ඇහුවං කියන්නෙ වෙනිං උත්තර.
"මං මේ ඉස්පිතාලෙට ආ ගමං ලෙඩෙක් බලන්න. මේකත් ඒ ගාං බලායන්න ආවෙ. ලිවුමක්නං හම්බුවෙලා තිවුනා. මං ඒකනං ගෙනාවෙ නෑ."
ඒකටත් මට දෙන්න තියෙන්නෙ පරණ උත්තරයමයි.
"ඒක නැතුව මං කොහොමද ඔයාගෙ මැනුම ගැන බලන්නෙ. ආයිත් ඒ ලියුමත් ඇරං එන්න. නැතුව හොයන්න බෑනෙ"
ඒත් ඒ මනුස්සය වැඩේ අතාරින්නෙ නෑ.
"අපිට ඇහිල්ල තිවුනෙ කොපිය. මෙහෙට මුල් පිටපත ඇහිල්ල ඇත්තෙ. බලන්නකො මගෙ නම ඇති ආර්රැම් පේමදාස කියලා. කවුඩුමුල්ල වසම"
"එහෙම හොයන්න බෑනෙ දවසකට එක ප්‍රාදේශීය ලේකං කොට්ඨාශෙකිං ලියුං අටක් දහයක් එනව. ඉතිං කවද ආවද නොදැන කොහොමද හොයන්නෙ."
ඒ ගමන එයා වෙනිං පාරකිං එන්න හදනවා.
"මහත්තය දන්නව ඇති අර අලවත්තෙ ඉන්නෙ ඕසියර් කෙනෙක් කරුණාපාල කියල, කලිං මෙහෙ වැඩ කලේ. එයා මගෙ හොඳ යාලුවෙක්. බැයිද පොඩ්ඩක් මේක උනංදුවෙං හොයල බලන්න."
අවුරුදු ගානක් තිස්සෙ අපේ කාර්යාලයට ආපු ලියුං දාස් ගානක් අතරිං එයාගෙ ලියුම ආවද නැද්ද කියල හොයන එක මාසයක් විතර යන වැඩක් කියලා එයාට අවබෝධ කරල දෙන්න කොයි තරං උත්සාහ කරත් බෑ. මිනිහා හිතන්නෙ මං කම්මැලිකමට මගාරිනව කියලා. ආයිත් පුෂ්ප පිපී මකරන්ද දිලේ.
"ඔයා එහෙනං ඒ කරුණාපාලටම එන්න කියන්න. ඇහිල්ල හොයන්න කියන්න."
සමහර වෙලාවට ඔපිස්සෙකේ පරණ අය මට උපදෙස් දෙනව.
"ඔන්නොහෙ මොකක් හරි කියල යවහං මල්ලි. නිකං කෑ ගහල ලෙඩ දාගන්න එපා. තාම උඹ ප්‍රොබේෂන් පිටනෙ ඉන්නෙ."
"ඔය පොරවල්ලට කියල තේරුං කරන්න බෑ මල්ලි. බොරුවක් කියල යවාං"
ඔෆිස්සෙකේ හිටපු අක්ක කෙනෙක් එයා ගාවට එන අයට උත්තර දුන්නෙ මෙහෙම.
"මෙහෙමයි අංකල්, ඔයාගෙ ඉඩමට රික්වීශන් එකක් එවල තියෙනං ඒකෙ නම්බ එකයි ඩේට් එකයි අරං එන්න. නැත්නම් එෆ්වීපී නම්බ එකයි ලොට් නම්බ එකයි හොයං එන්න."
ඒ අමුතු ඉංගිරිස් වචන පත්තියං නොවුන අයං අංදුංකුන්දුං වෙලා ආපහු ගියා මිසක ආවෙම නෑ.
හුඟක් මිනිස්සු ආව ගියා. සමහරු සතිපතා ආව ගියා. කලාතුරකින් සමහරු බැනලත් ගියා. ඒත් ප්‍රශ්ණ එක තැනමයි. සමහර ප්‍රශ්ණ එක තැනම කරකැවෙන බව පේන්න තිබුනා. ආයතන අතර සුළු අනවබෝධයක් නිසා හුඟක් ගැටළු අවුරුදු ගනං ඇදිලා තිවුනා. මිනිස්සු තමුංගෙ ජීවිතේ සහ මුදල් අතර මගට, බස් වලට ගෙවලා දැම්මා. දෑහැට පේන ගැටළුවලට දෙන්න පුළුවං විසඳුම් වලට මගක් නැතුව ඔහේ කාලය නාස්ති වෙනවා බලං ඉන්න අපි කාටත් සිද්දවුනා.
ඒ අතරෙ ඔය ක්රමයේ කූට ප්‍රාප්තිය යෙදුනා. මොකද්දෝ කේන්තියක් පිට ආපු මිනිහෙක් සහ එයාගෙ බිරිඳ මගේ මේසය පිටිපස්සෙ මට අවහිර වෙන විදිහට හිටගෙන උන්නා. එයාලට අහකට වෙන්න (අනුන්ට කරදරයක් නොවෙන්න ඉන්න දන්නැද්ද?) කියලා කියපු මට අර මනුස්සයා "ගුටි පූජාවක්" දෙන්න ආවා. මූනට මූන "ඇයි" කියාගෙන ආවත් 'මුගෙං දෙකක් කෑවොත් මට ඉස්පිතාලෙ ලගින්න වෙන' බවට සත්‍යාවබෝධයක් මට ලැබුන නිසා වලියක් නො ඇදි බේරුනා. කියන්න සංතෝෂයි පිංවත්නි කාර්යාලයෙ එකෙක්වත් ඒ වෙලාවෙ මගෙ පිහිටට හිටියෙ නෑ. හරි පුදුමයි නේද?
එදා හවස ඔය ගැන මං අපේ බොස්ට දොස් කිව්වා.
"බලන්න බොස්. ඒකා මට නෙලුවනං එහෙම කවුරුවත් නෑනෙ. හරිනං බොස් ඌ මට බැන්න එකට ඇක්ෂන් එකක් ගන්න ඕනි."
එයා මට කිව්වෙ මේන් මෙහෙම කතාවක්
"මිනිස්සු මෙතනට එන්නෙ එක එක කුණු ගොඩවල් ඔලුවෙ තියාගෙන. ඒ නිසා අපි කියන දෙයක් ඒ මිනිස්සුන්ගෙ ඔලුවට වැටෙන්නෙ නෑ."
"ඉතිං ඒකට අපි මක්කොරන්නද බොස්. ආයි අපි මෙතන.............."
"ඉන්නකො පොඩ්ඩක් කියනකං. මේ මිනිස්සුංගෙ ඔලුවල තියෙන කුණු අහක් කලොත් ඉඩක් හිස් වෙනවා. ආං එතකොට අපි කියන දේ ඒ මිනිස්සුංගෙ ඔලුවට වැටෙනවා"
"ඉතිං අපි මොනව කරන්නද බොස් ඒකට"
"ඒකට ඔයා ක්‍රමයක් හදාගන්න. හැමෝටම එකම බෙහෙත පත්තියං වෙන්නෙ නෑ. ඒ එන මනුස්සයගෙ පැත්තෙන් හිතුවහම ඔයාට ඒකට ලේසි ක්‍රමයක් ලැබෙයි."
මෙන්න මේ වෙලාවෙදි තමයි මට මගෙ කලින් රස්සාවෙදි "නවක කෙල්ලන් රෑනක්" සඳහා යොදාගත් ක්‍රමය සිහියට ආවෙ. මං එ්ක ආපහු යොදාගන්න තීරණය කළා.
මුලින්ම මගෙ මේසෙ ඉස්සරහිං 'අමුත්තාගේ පුටුවක්' තියාගත්තා. එන අයට ඉඳගන්න.
"එන අයව ඉක්මනට යවන්නෙ නැතුව ඉස්සරහිං තව ඉන්දවල තියා ගත්තම ඒ මිනිස්සු රටේ නැති ප්‍රශ්ණත් කියවන්න පටං ගනියි"
එක්කෙනෙක් කකුලෙං ඇද්දා. අවුලක් නෑ. මං තව පරණ කඩදාසි ටිකකුයි පෑනකුයි තියාගත්තා.
"එක එක ඒව ලියල දෙන්න එපා. ඔය මිනිස්සු ඕවා තැන තැන ගිහිං පෙන්නුවම අපිට කේස් වැටෙන්න පුලුවං"
මගෙ අනික් කකුලෙනුත් ඇද්දා. මං ඇහුනෙ නෑ වගේ හිටියා. ඒ අතරෙ මගෙ 'කුකුල් කේන්තියට' මනෝ විද්‍යාත්මක බෙහෙතක් ලැබුනා. ඒ හංදා මං 'වෙනදා වගේ නෙවෙයි. වැඩි සද්දයක් නෑ' කියලා කීප දෙනෙක්ම මගේ මූනටම කිව්වා. අන්තිමට මං මගේ 'කාර්යාල ක්‍රමය' පටං ගත්තා.
මිනිස්සු දෙතුන් දෙනෙක් ආවොත් මුලින්ම ආ කෙනාව 'අමුත්තාගෙ පුටුවෙ' ඉන්දවා ගත්තා. අනික් අයට "ඔය මහත්තුරු පොඩ්ඩක් අර ඉස්සරහ තියෙන පුටුවලිං ඉඳං ඉන්නවද? තරහ නැතුව" කියලා කිව්වා. දැං මගෙ ළඟ ඉතුරු එක්කෙනයි. එයාට තමයි මගෙ සම්පූර්ණ අවධානය. වටේ දෙතුන් දෙනෙක් හිටියම අමාරුයි. ඒ අය කරන කියන දේවලුත් බලන්න වෙනවා. දැං තියෙන්නෙ යතුර කරකවන්න.
"ආ.. කියන්නකො බලන්න මහත්තය ආපු කාරණාව"
ගහපු ගමං ස්ටාට්. මෙව්වට බැට්රි නැතත් මෝටරේ වදිනවා.
"මහත්තයා මං එක සියවලියකට වඩා ආණ්ඩුවෙ කන්තෝරු ගානෙ ඇවිදල ඇති මගෙ මේ ඉඩං ඩිංගට ඔප්පුවක් හදාගන්න. දැං මං වයසක මිනිහා. මට දැං වයස අසූවටත් වැඩියි. දරුවො එක්කොම ලොකුමහත් වෙච්චි අය. ලොකු දුව බැඳල ලමයි තුං දෙනයි. අනික් අයත් කසාද බැඳල පදිංචිය මහගෙදර ඉඩමෙමයි. දැං අපේ කාලෙත් හරි. මගෙ හුලංටික යන්න කලිං මේ ඉඩම බෙදල එකලාසයක් කරගන්න ඕනි. නැත්තං මං නැති කාලෙක මේ ළමයි ටික ඉඩං වලට කාකොටා ගත්තං අපිට මැරිලවත් සැනසීමෙං ඉන්න නෑ දරුවෝ..........................."
මේ සේරම මං අහගෙන ඉන්නව. මේවා රාජකාරියට අදාල දේවල් නෙවෙයි. එයාගෙ ඉඩම මැනීමේ කටයුත්තට මේ කියවෙන කිසිම දෙයක් අදාල නෑ. නමුත් මේ මනුස්සයාගෙ ඔලුවෙ තියෙන සේරම දේවල් කලත්තලා දැම්මම අපිට අවශ්‍ය දේවල් තියෙන්නෙ අවක්ෂේප වෙලා අඩියේ. උඩ තියෙන්නෙ ඔක්කොම පාවෙන රොඩු. ආයතන සංග්‍රහයට මනුස්සයගෙ හැඟීම් දැනීම් ගැන පරිච්ඡේදයක් අඩංගු නැතුවට ඒවා සමග ප්‍රතික්‍රියා නොකර ගැටළු විසඳන්න බෑ. ඒ හංදා විනාඩි දහයක් විතර දුන්නම මිනිස්සු තමුංගෙ ඔලුවෙ තියෙන රොඩු සේරම මගෙ මේසෙ උඩට ටිපර් කරනවා. මාත් "ඇත්තද", "එහෙමද", "ඉතිං" ආදී වචන සවල්වලින් එයාට උදව් කරනවා. එයා හලන කඳුළු ගොඩේ අහුලගන්න යමක් තිවුනොත් ඒ එයාගෙ වයස, ළමයි ගාන වගේ දේවල් විතරයි. අන්තිමට එයා කියල ඉවර වෙනවා. ඉං පස්සෙ මම හිමීට කූඩෙයි උදැල්ලයි අරං එයාගෙ ඔලුවට බහිනවා.
"එහෙනං මාමෙ (මේක තමයි වයසක අයට නියම වචනෙ. අංකල් කියන්න නරකයි.) අපි මේක විසඳන්න බලමු. මට මුලින්ම කියන්නකො ඉඩම මැනල දෙන්න කියලා කාටද ලියුමක් දුන්නේ."
"මං කීපවිටක් කිව්වා ග්‍රාම සේවක රාලාමිට. මේ අපේ ගමේ ළමයෙක්. ඒ ළමයා හරිම හොඳා. මට පස්සෙ දවසක් මළගෙදරකදි හම්බුවෙච්චි වෙලාවෙ මං ඇහුවං කිව්වා වැඩේ කෙරෙයි මයින්න යවල තියෙන්නෙ කියලත්"
"එහෙමද, එතකොට ඔය ඉඩම මනින්න මෙහාට බාරදුන්නයි කියලා ලියුමක් එහෙම ඔය මාමට එව්වද ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙං"
"එහෙම එකක් නං ආවෙ නෑ. ඉතිං අපි අර ග්‍රාමසේවක ළමයව අඳුරන හංදා ලියුං එවන්න නැතුව ඇති."
ඔන්න දැං මට අවබෝධ කරගන්න පුලුවනි මේ වැඩේ පටං අරගෙනවත් නෑ කියලා. ඒ වුනාට මේක තවත් සහසුද්දෙටම හොයල බලන්නෙ නැතුව යමක් කියලා ඒත්තුගන්වන්න බෑ. මේ වෙලාවෙ මට පිහිටට එන්නෙ "උපහාරෙ". ඔව්, ආණ්ඩුවෙ රස්සා කරන අයට දුන්න එක තමා. ඉස්සර මං ඒක ගත්තෙ මල් කඩන්න. ඒ කාලෙ ඒක ‘පුෂ්පෝපහාරය‘. කරකාරෙං පස්සෙ දැං ඒක රාජකාරි වැඩවලට විතරයි. මං ඒකෙං ගන්නව ඇමතුමක් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.
"මං අහවල් කාර්යාලයෙ අහවල් ශිල්පී අසුවලා කතා කරන්නෙ. මේ මගෙ ගාව ඉන්නවා අසුවල් ග්‍රාම නිලධාරි වසමෙ කෙනෙක් ගැටළුවක් විසඳගන්න ඇවිල්ලා. මට මේ සබ්ජෙක්ට් එක කරන කෙනාට කතා කරන්න ඕන."
ටිකකිං කවුරුහරි උත්තර දෙනවා. බොහෝවිට කාන්තාවක්
"අව්ව්... මොක්ද්ද ම'හත්තයා දැනගන්න ඕනීඊ"
දැං එහෙමනෙ ගෑනු ළමයින්ගෙ උච්චාරණය. වීනාවක් පීරෙං ගානව වගේ. මාත් ඉතිං එයාට මේ මනුස්සයගෙ විස්තරේ කියනවා. එයත් එයා ගාව තියෙන ලිපිගොනු බලලා මට උත්තර දෙනවා. සමහර වෙලාවට විනාඩි දහය පහලොව ගතවුනත් වෙලා තියෙන දේ හරියාකාරව හොයාගන්න පුලුවං වෙනවා. සමහර වෙලාවට මේ ඇමතුම් ආයතන ප්‍රධානියා දක්වාම යනවා. හැබැයි අවසානෙට ලියුං පනහක් හැටක් ලියලවත් කරන්න බැරි විදිහට ගැටළුව ලිහල විසඳුමක් ලැබෙනවා. මේ කටයුත්ත හිංදා ආයතන අතර හිතවත්කම් එහෙමත් ගොඩනැගෙනවා. මං ඇමතුම හමාර කරන්නෙ උත්තරයක් අතේ තියාගෙන.
"ඔබතුමාගෙ ඉඩම මැනල දෙන්න කියලා ඉල්ලීමක් ඒ කාර්යාලෙට ගිහිල්ල නෑ."
"වෙන්න බෑනෙ මහත්තයා. අර දරුවා කිව්වනෙ එයා කිව්වයි කියලා. අපේ නම ලැයිස්තුවෙ මුලටමලු දැම්මෙ"
අලුත දැකපු මට වඩා ගමේ ඉන්න එදා ඉඳං දන්න ග්‍රාම නිලධාරී එයාට විශ්වාසයි. ඒ හංදා උත්තර දෙන්න ඕන ඒ හිතවත්කම නොබිඳෙන්න.
"මේකනෙ වැඩේ. එයාට ලියුමකිං ඉල්ලීමක් කරන්නෙ නැතුව මොකුත් කරන්න බෑ. ඉතිං හිතවත්කම හිංදා 'ඔය වැඩේට ලියුමක් ලියල දෙන්න' කියල කරදර කරන්නෙත් නැතුව ඇති. නේද?"
"ආ... ඒක වෙන්නැති. ඒ ළමයා හරි අහිංසක ළමයෙක්. අපිව දැක්කං අදටත් පුටුවෙන් නැගිට්ටෙනවා"
"ඒකනෙ මං කිව්වෙ මාමෙ. දැං එහෙනං ඉස්සෙල්ලම එයාට ලියුමක් දෙන්න ඉඩම මැනලා දෙන්න කියලා. ඒකටම අමුනලා බලපත්තරේ කොපියකුත් දෙන්න."
"ලියුං ලියන එක තමා වැඩේ. මට බෑනොවැ ඔය ලියුං ලියන්න. දැං ඇහැ පේනව හොරයි. මං දෙකෙං එහාට ඉස්කෝලෙ ගිහිං නෑනෙ."
"ළමයෙක්ට කියල ලියවන්න පුලුවංනෙ"
"උං ඉගෙනගත්තෙ නෑ නෙවැ. එකෙක්වත් හරියට. එහෙම කොලානං මටම මේවට දුවෑවවිදින්න වෙන්නෑනෙ"
"එහෙනං මං ලියුමක් අතිං ලියලා දෙන්නං. ඒක ලියුං ටයිප් ගහන තැනකට දීලා ටයිප් ගහගන්න පුලුවන්නෙ"
"අනේ ලොකු දෙයක් දරුවෝ"
මං එයාගෙ ඉඩම් බලපත්‍රයෙන් විස්තර අරගෙන, පරණ කඩදාසියක ලියුම ලියනව පැන්සලෙං. යටිං ලියනවා කාර්යාලෙ දුරකථන අංකයත්. හැබැයි කාටවත් මගෙ පුද්ගලික දුරකථන අංකෙ දුන්නෙ නෑ. අපේ බොස් ඒ උපදේසෙ කලින්ම දීලයි තිවුනෙ.
"එහෙනං මේ ලියුම ඒ විදිහට හරිගස්සෝලා බලපත්තරේ කොපියකුත් එක්ක ග්‍රාම නිලධාරි මහත්තයට දෙන්න. ඉං පස්සෙ සති දෙහෙකිං ඉතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිං **** කියලා නම තියෙන මිස් කෙනෙක් ඉන්නවා. එයාගෙං අහන්න ඒ ගැන විස්තරේ. ආයි මොනව හරි දැනගන්න තිවුනොත් මේ කොලේ යටිං තියෙන ටෙලිපෝන් නොම්මරේට මෙහාට කෝල්ලෙකක් ඇරං මගෙ නම කියල අහන්නකො. ආයි එන්න ඕනි නෑ."
"ආනේ.... හොඳා දරුවෝ. එහෙනං මං එහෙම කොරන්නං. ඔය ළමයට බොහොම්පිං."
එහෙම කියලා එයා නැගිටිනවා. මං ඊළඟ කෙනාට එන්න කියනවා. ඒත් අර පලවැනියා යන්නෙ නෑ. වටේ කැරකෙනවා. මං එයා දිහාට හැරෙනවා ආයිමත්..
එයා පුලුවං තරං මයෙ දිහාට නැමෙනවා. ඉං පස්සෙ සෑහෙන අඩු හඬකිං මෙහෙම කියනවා.
"මහත්තයාගෙ ටැලිපෝන් එකෙනුත් සෑහෙන වියදමක් ගියා. ඒකට මොකවක්කත් සැලකීමක්......"
වෙනදට කියන වචන සැට්ටෙක කටට ආවත් මං ඒක වෙනස් කරනවා.
"මට පඩිය ගෙවනවානෙ ආණ්ඩුවෙං. ටෙලිපෝන්නෙකට විනාඩි දාහක් නිකං හම්බුවෙනවා මාසෙට. ඒ හංදා මට වියදමක් නෑ. මාමා ආණ්ඩුවෙ වැඩවලට කාටවත්ම සල්ලි දෙන්න යන්නෙපා. ඒක වැරැද්දක්. ඔය මං කියාදුන් පිලිවෙලට වැඩ කරලා ඔප්පුව හදාගන්න. තව කාටහරි ඕනැ උනොත් ඔය ක්‍රමේ කියල දෙන්න."
එයාට ආයුබෝවන් කියලා මං දෙවෙනියාට ඉඳගන්න කියනවා. එයාගෙත් හිතහැදෙන්න වචනයක් කියාගෙනම
"ඉඳගන්න මහත්තයා, ටිකක් පරක්කු වෙන්න වුනා නේද?"
ඔය විදිහට මං පටං ගත්තු වැඩේ සාර්ථක වුනා. කාර්යාලෙට එන පිරිස අඩුවුනා. දුරකථන ඇමතුම් වැඩිවුනා. තමුංගෙ වගාවෙ, ගෙදර වැඩපොල කරගන්න ගමංම මිනිස්සු රාජකාරි වැඩත් ගෙදර ඉඳගෙනම කරගත්තා. නිකං ටෙලිපෝන් ඇඩ්ඩෙකක් වගේ. ඇමතුමට අවටිං ඇහෙන සද්ද අනුව ඒ අය තමුංගෙ වගාබිමේ, වැඩපලේ, ගෙදර ආදී තැන්වල ඉන්න බව මට දැනුනා. සමහර සත්පුරුෂයො තමුං ඉගෙනගත්තු රාජකාරි ක්‍රම අනෙක් අයටත් කියල දුන්නා. ඒ අතරිං සමහරු කාර්යාලයට කතා කරලා මගෙ නම කියලා මගෙන්ම උපදෙස් ගත්තා. මං මගේ රාජකාරිය හරියට ඉෂ්ටකරලා ඒකෙං කාටහරි යහපතක් වුනහම මට සෑහෙන සතුටුයි. රැකියාවෙන් සතුටු වීම නිසා මං ගන්නා පඩියත් මට යාදුන්නා. දැං මම කරන රාජකාරිය මහජන සම්බන්ධතා නැති එකක්. ඒ හංදා දැං මට ඒ සතුට විඳින්න ක්‍රමයක් නෑ.
මේ ළඟදි දවසක් කාර්යාලෙදි වැඩක් කරගන්න ආව කෙනෙක් මා එක්ක කතා කෙරුවා.
"මහත්තයද **** කියන්නෙ"
"ඔව්. මොකද්ද දන්නෑ කාරනාව"
පරණ පුරුද්දට මං ඇහුවා.
"මං ආවෙ අපේ ඉඩමෙ ප්ලෑනෙ පිට කොපියක් ගන්න. අපේ තාත්තා මහත්තය ගැන කියලා තියෙනව අපිට අපේ ඉඩම මනින්න ක්‍රමේ කියල දුන්නෙ මහත්තයයි කියලා. අපිට ඔප්පු හම්බුනා. දැං අවුරුද්දකට ඉතර උඩදි“
“මට මතක නෑ. ඉතිං හුඟක් අය එනවනෙ.“
ඒ ගමන එයා සාක්කුවෙන් ඇදල ගත්තා හතරට පහට නමපු කොලයක්
“මේ කොලේ තාත්තා ගාව තිවුනෙ. ගමේ අයට ඔප්පු හදාගන්න ඕන උනහං තාත්තා මේක දෙනව ‘මේං මේ විදිහට බොලෑ නං ගං දාලා ලිවුමක් හදලා බලපත්තරේ කොපියක් එක්ක ග්‍රාම සේවක ලමයට ගිහිං දියල්ලා. මේ කොලේ පරිස්සං කරලා මට ගෙනැත් දියල්ලා‘ කියලා“
ඒ තමයි මං පැන්සලෙං ලියල දීපු ලියුම. මට ඒ මනුස්සයව මතක් වුනා. මට හරිම සන්තෝෂයක් දැනුනා
“ දැං කෝ තාත්තා. සනීපෙං ඉන්නවද?“
“තාත්තා ගිය මාසෙ ආන්තරා උනා. ඊට කලිං මට මේ කොලේ දීල කිව්වා පරිස්සං කරල ඇරං තියාගෙන ඕනැ කොරන කෙනෙකුට දෙන්න කියලා.“