නාවන නැකතත්
එක්කම ලමයාට අන්දන්න ඕනැ ඇඳුමේ පාටත් කියවෙනවා. ඒ මොනපාට උනත් අදාල පාටිං තට්ටු
තට්ටු බරගානක් තියෙන සිලික් ගවුමක් තමයි අංදන්නෙ. ඒක ගන්නත් ලමයව එක්කං යන්න බැරි
හංදා ඒ හා සමාන දිග පලල ඇති ඇට්ටරකං නැති ලමයෙක් අරගෙන ගිහිං ගැලපෙන ඇඳුමක් තෝරං
එනවා. ආදර්ශනයට ගත්ත ලමයා ඇට්ටරයෙක් උනොත් ඒ ලමයටත් වෙනමම ඇඳුමක් අරං දෙනතෙක්
සාප්පුවෙං දොට්ට ගන්නවා බොරුය. සමහර වෙලාවට ගෙනා ඇඳුම කොටහලු වෙච්චි ලමයාට දිග පලල
මදි වුනොත් ආයිති ගිනිහිං මාරුකරං එන්න වෙනවා. ඔය විදිහට තුං හතර වලියක් සාප්පුවට
ගාටලා යංතං ගැලපෙන ඇඳුමක් තෝරාගන්න පුලුවනි.
මගුල් මඩුව
හැදීම වෙනමම වැඩක්. මගුල් මඩුව හදන්න ගන්නෙ පුවක් ගස්. අක්කරයක් විතර පුවක් අරඹක
හිමිකරු වෙච්චි අපේ ආතව මිනිස්සුංට ඕනැ වෙන්නෙ මේ වෙලාවට.
“පොඩිමහත්තෙය
මාමෙ. පුවක් පැලහැටි දෙක තුනක් කපාගන්න අහන්න ආවෙ.“
කියල
ඉස්තෝප්පුවට ගොඩවෙන එකාලගෙ හොඳ වෙලාවට ආච්චම්මයි පුංචියි ගෙදර නොහිටියොත් පුවක්ගස්
දෙකතුනක් අනිවාරයෙංම හම්බෙනව. හැබැයි ඉතිං අම්මල දූල දෙන්න හිටියොත්නං කොහොමිං හරි
ඒ වැඩේ වලක්වනව.
පුවක් ගස්
පෙරලල කරටිය කපල දාල පුවක් කොට ටික මගුල් ගෙදෙට්ට ගෙනාවයිං පස්සෙ වැඩේ ටිකක්
අහවරයි. ඊළඟට ටකරං. ගෙදර අය මරනාදාර සමිතියෙ සාමාජිකනං ඒකෙං ටකරං ගත්තැකි. නැත්තං
අහලපහල වටේ පිටේ ගෙවල්වලිං ටකරං හිඟාකන්න වෙනව. කොහොමිං හරි ඒකත් හොයාගන්න ඕනැ.
ඒත් එක්කම ගඟ ඉවුරෙං උණ ලී දෙකකුත් කපං එන්න ඕනැ. ගඟ ඉවුරෙ තියෙන උණ
පඳුරු එක එකට ඊට යාබද ඉඩංවල අය අයිතිවාසිකං කියතත්, උන්ට කුදගහගන්න කියා බලෙං හෝ
උණ ගහක් කපාගන්න පුලුවන.
මඩුව හැදිල්ල
වෙනම වැඩකි. බොහෝ විට මඩුව හැදෙන්නේ ගෙයි ඉස්සරහ පැත්තේ පලේටම අල්ලලා වහලෙං එන
වතුර ටික මඩුවේ ටකරං උඩට වැටෙන විදිහට තනි පලේටයි. කනු විදිහට ගන්නේ පුවක් කොටංමය.
ගෙයි වහලෙ මට්ටමට ටිකක් පාතිං හිටින විදිහට එක සමාන උස පුවක් කොට දෙකක් කපාගෙන ඒ
දෙක ගෙයි ඉස්සරහ පැත්තේ බිත්තියට අඩියක් තරම දුරිං බිත්තියට සමාන්තරව මඩුවෙ දිග
අතට හිටෝනව. හිටවන්න ගිය තැනදි තමයි තේරෙන්නෙ පොලව යටට බහින ප්‍රමානෙ මනින්නෙ
නැතුව කනුව කපල හිංද හිටෙව්වම කනුව කොට වැඩියි කියල. ඉතිං ඒ කනු දෙක පාත පැත්තට
දානව කියල ආයිමත් කනු දෙකක් උසට කපල හිටෝනව. ඒ කනු දෙක හිටෝල ඉවර උනාට පස්සෙ තමයි
තේරෙන්නෙ කනුවල උඩිං තියන ලීය රඳවන්න කනුවෙ උඩ පැත්තෙ මැදිං හාරල කට්ටෙයක් නැපුවෙ
නෑ කියල. ඉතිං මඩුව හදන නඩේ එක එකාට දොස් කියාගන්නව. ඒ ගමන තව කෙනෙක් කනුව ගාවිං
මේසෙයක් ගෙනත් තියාගෙන ඒකෙ නැගල ලොකු මන්නෙකිං කනුවෙ කට්ටෙ හාරනව. ඒ අතරෙ අනිත් අය
බුලත්විට කනව. තේ බොනව. ආයිමත් මඩුවෙ මිටි පැත්තට කලිං කපාපු කනු දෙක හිටෝනව.
එතෙන්දිනං මතක ඇතුවම කට්ටෙ කපනව. ඉං පස්සෙ කනු උඩිං දිග පුවක් ලී දෙකක් තියල
බඳිනව. ඒ ගමන බඳින්න ලනු නෑ. ආයි සල්ලි දීල පොඩි එකෙක්ව කඩේ යවනව. ලනුටික එනකං
කට්ටිය තේ බොනව. බුලත්විට කනව. කියෝ කියෝ ඉන්නව. ලනු ගෙනාවං හරස් ලී ටික බඳිනව.
ඊළඟට ටකරං හෙවිල්ලනව. ආං එතෙන්දි මඩුවෙ උස පැත්තෙං පහත පැත්තට ටකරං එකකට වඩා දිග
තියෙන බව අහුවෙනව. ඒ හිංද මැදිං තව කනු දෙකක් හිටෙවන්න ඕනැ. ආයිමත් හත් අට දෙනෙක්
ලී කපන්න යනව. අනික් අය තේ බොනව. බුලත්විට කනව. කියෝ කියෝ ඉන්නව. ආයිමත් ලීටික ආවම
මැදට කනු දෙකක් හිටෝල හරස් ලීයක් දාල ටකරං හෙවිල්ලනව. ඒ අතරෙ ටකරං මදි වෙනව. ආයිමත්
කට්ටියක් ටකරං හොයන්න යනව. ඉතුරු අය තේ බොනව. බුලත්විට කනව. කියෝ කියෝ ඉන්නව. ටකරං
ටික ගෙනාවම ඒ ටිකත් හෙවිල්ලනව. ටකරං හුළගෙ යනවට ටකරං පේලිවලට උඩිං උණ ලී තියල
ගැටගහනව. එතකොටම බතුත් හම්බුවෙනව. බත් කාල එහෙම ආපහු බුලත්විට කනව. ටිකක් වෙලා කියෝල ආයිමත් ඉතුරු පුවක් කොට කෑලි
හයකට වගේ පලල වෑයෙං රැහැල අරං ඒ පුවක් පටි මඩුවෙ කනු අතර කනුවල උසටම අඩි දෙකෙං
දෙකට වගේ හිටෝනව. එව්වගෙ සව් ශක්තියට හරස් අතටත් දිග පුවක් පටි හෝ උණ ලී පටි
බඳිනව. මේ වැටේ කරද්දි මඩුවට ඇතුල් වෙන්න දොරක් ඉතුරු කරනව. ඒක ඉතුරු වෙන්නෙ මඩුවෙ
පලල් පැත්තෙං. මේ මඩුවෙ ඉතුරු වැඩටික ඉවර වෙන්නෙ මගුලට කලිංදා රෑට.
මගුලට එන අයට
තේ බොන්න දෙන්නෙ ගෙදර කාමරේක. ඒ කාමරේ තියෙන බඩු සේරම එලියට දානව. ඒ වගේම කාමරේට
සොල්දරයක් හෝ අටුවක් තිබීම අනිවාර්ය දෙයක්. මගුලට කලිං දවසෙ සේරම කැවිලි පෙවිලි
ආදිය කාඩ්බෝඩ් පෙට්ටිවල දාල ගෙනැත් අහුරන්නෙ අර කියන අටුවෙ හෝ සොල්දරේ. එතනට නිතර
යන්න එන්න ඉනිමගකුත් හේත්තු කරලම තියෙනව. තේ බොන්න දෙන මේසෙ පිරෙන්න කෑම ජාති තියන
හිංද ලොකු මේසයක් ඕනැ. බොහෝ වෙලාවට ඒ මේසෙත් ඉල්ලං එන්න වෙන්නෙ පිට තැනකිං. අපෙ
ආච්චම්ම ගාව තිවිච්ච පෝමිකා ලැල්ලක් දාපු යකඩ මේසෙ මේ වැඩේට ඉස්තරං උනත් ඒක දුන්නෙ
ඩැයිබර මාමලෑ ගෙදර ගංගානි අක්කගෙ මගුලට විතරයි. කොයියම්ම හෝ තැනකිං ගේන මේසෙට උඩිං
ඉටිරෙද්දක් දාන්න ඕනැ. මේකට වෙනම ඉටිරෙදි ජාතියක්
තියෙනව. ඒවගෙ පළතුරු, එලෝලු ආදියේ පිංතූර තියෙනව. ඒ මේසෙ වටේට පුලුවං තරං
කිට්ටුවෙං පුටු තියනව. මේ වැඩේට ලී පුටු මදිනං මරණාධාර සිමිතියෙං ගේන ඇලමේනියං
පුටු තියන්නත් පුලුවං.
මගුලට කලිං
දවසෙ කෙහෙකං දාපු වල ගොඩදාල කෙහෙල් ඇවරි ටික ගන්නව. දුං වැදිච්ච නැති සමහර ඇවරි
කොල පාටටත්, දුං වැදිල වැඩි සමහර එව්ව කලු පැල්ලං හිටින, ගෙඩි හැලෙන ගාන්ටත්
තියෙද්දි නියම ගානට ඉදිච්චත් තියෙනව. ඒ ඇවරිවල පස් තිවුනොත් හෝදල එව්වත් සේරම
ගිහිං තේ මේස කාමරේ අටුවෙම තියනව.
සමහර කෑම
ජාතිවලිං කොටසකුත් කලිං හදල තියනව. අච්චාරු එහෙම සතියකටත් කලිං හදල තියන්න පුලුවං.
මස් මාලු ආදිය උයන්නෙත් මගුලට කලිං දවසෙ. කුකුලුමස් උයන්නෙ පිරිමි කෙනෙක්. එයා
පෝරකවරෙං අරගන්න කුකුලු පලු ලොකු කොටේයක් උඩ තියල කෑලි කපල කොරහට දාද්දි වටේ
කැරකෙන බල්ලො, පූසො ආදිය එළවන මුවාවෙං එතෙන්ට එක්කහු වෙන ලමයි රැල වරිං වර අර කොරහෙ
තියෙන කෑලි වලට ඇඟිල්ලෙං ඇනල අනික් එවුන්ට මෙහෙම කියනව.
“මේ
තියෙන්නෙ කුකුලගෙ බිත්තල“
“මේ
තීන්නෙ කුකුළගෙ හචුං කූල්ල“
එතකොට උයන
මනුස්සය උන්ට කඩා පනිනව.
“එහාට
වෙලා ඉන්න නේද කිව්වෙ. මේව කන්න හදන දේවල්. විසබීජ ගෑවෙන්න හොඳ නෑ.“
ළමයි ටික
අඩියක් දෙකක් පස්සට විසික් වෙනව. බිම වැටිච්චි මස් කෑල්ලක් අහුලල කොරහට දාල උයන්නා
නැවතත් වැඩ පටං ගන්නව.
මාලු හට්ටියත්
ඒ විදිහටම උයනව. ඒ දෙකම කුස්සියෙ කොනක තියල වහල හංගනව. පහුවදා මගුලට මිසක් ඒව ගන්න
තහනං. ඒ උනත් මගුලට කලිංදා රෑට බත් කද්දි කුස්සියෙ ගැවසෙන ගෑනු අය තම තමුංගෙ
ලමයින්ගෙ පංගුවලට අනිත් ගෑනුන්ට හොරෙං මස් කෑලි දෙක තුන බෙදල දීල
“මේක
බප්පිඟානෙ අඩියෙ හංගගෙන කාහං“
කියනව.
කල්පනාවෙං හිටියෙ නැත්තං සමහර ළමයි කටු උගුරෙ හිරකරගෙන වැඩේ අහුවෙන තැනට කාරනා
සිද්ද කරනව.
කුමනාකාරයේ
මගුලකට උනත් නැතුවම බැරි දෙයක් තමයි සාරි. මගුලට ඇඳගෙන යන්න නෙවෙයි. වියං බඳින්න.
කෑම මේසවලට උඩිං අදින්න මගුල් මඩුවෙ වටේට අදින්න එහෙම ගන්නෙ සාරි. අපේ ආච්චම්ම
ගාවත් මේ වගේ වැඩවලට ගන්න ‘සාරි කබල්‘ ටිකක් වෙනමම තියෙනව. ඒ වගේ උස්සවේකට සාරි
හොයන්න එන ඕනෑම කෙනෙක්ට ආච්චම්මගෙ පැයගානක සාරි සම්බන්ධ දේසනාව අවසානයේදී සාරිවලට
ඇන නොගහන පොරොංදුව පිට සාරි දහයක් දොලහක් අරං යන්න පුලුවං. සාරියෙ මුල්ලට ගල්
කැටයක් තියල ඒ ගල්කැටෙත් එක්ක අහුවෙන්න සාරි කොන වටේට ලනුවකිං ගැටයක් දාල වහලෙ
ලීයකට තදින් ඇද බැඳීම සාරි ගැටගැසීමේ සම්මත ක්‍රමය උනත් ඒ විදිහෙං සාරි බඩවැල්
වගේ එල්ලා හැලෙන හිංදත්, ලනුකොං පෙනීම කැත හිංදත් ලීයකට තබා ඇනගැසීමේ ක්‍රමය යොදා
ගන්නව. ඒ හිංදා අපේ ආච්චම්ම වැඩිහරියක්ම ඔය මගුල් ගෙවල්වලට යන්නේ තමුංගෙ සාරි ටික
‘හිල් කොරල‘දැයි බලන්නමයි. මගුල් මඩුවෙත් කෑම මේසවලට උඩිනුත් සාරිවලිං වියන්
බැඳීමෙං වහලෙ තියෙන කුනු රොඩු වැටීමේ අවදානම නැතිවෙනව.
මගුල් මඩුව
සරසන වැඩේට ඉස්තරම් මනුස්සයා කලු මහතුං මාමා. එයා ගාව ඒවට වෙනම නියං සැට්ටෙකක් හිට
තියෙනව. වෙසක් කොල හෝ ඉටිකොල වලිං කැටයං කපල මගුල් මඩුව සරසන වැඩේට අනාරාධනයෙන්ම
එයා එනව. ගෙපලෙ අජිත්, ජගත්සිරි ඇතුළු ගමේ සමිතිවල තානාංතර හොබවන, ආණ්ඩුවෙ
නිලදාරිං සහ ගමේ මිනිස්සු අතර පුරුක විදිහට ක්‍රියාකරන පිරිස ඇවිත් මහතුං මාමාව
කුලප්පු කරවා මිනිහාගෙ ඉනේ තියෙන මල්පිහිය එලියට ඇද්දෙව්වෙ නැතොත් ඒ වැඩේ ලස්සනට
කෙරෙනවා.
මඩුවට හිටෝපු
කනු සේරම නොපෙනෙන්න ඒව වටේට සුදු හෝ වෙනයම් පාටක ඉටිකොල ඔතන්න ඕනැ. ඒ වැඩේට කීප දෙනෙක්
පුහුණු කරල යොදවන මහතුං මාම එක සමාන කොටු විදිහට කපාපු ඉටි කොල හෝ සව්කොල එක උඩ එක
දහයක් දොලහක් තියල චිංටස් ඇන වලිං ලැල්ලකට අමුනනව. ඉං පස්සේ උඩම කොලේ ඇඳගන්න රටාව
බේඩ් තලෙං හෝ නියං තලෙං මතුකරනව. මහතුං මාමා කපල දෙන හැඩතල මගුල් මඩුවේ ඉහල සිට
මැදක් වෙනකං කොටසේ වටේට අලවන්නත් වෙනම පිරිසක් ඉන්නව. ඉටි කොළ අලවන්න බැරි හිංදා
චිංටස් ඇන වලිං පුවක් පටිවලට තියල ඇන ගහනව. ඒ අතරෙ පොලව මට්ටමේ ඉඳං මැදක් වෙනකං උස
ප්‍රමානෙ ආවරණය වෙන්න එක පාටකිං ඉටිකොල අදිනව. මඩුවෙ ඉහලිං සාරිවලිං වියන් බැන්දට
පස්සෙ බැලුං බෝල හය හතක් පුම්බල එක පොකුරක් වෙන්න හදල මඩුව මැදිං එල්ලනව. ඒ
බැලුබෝල පොකුරෙ ඉඳං පිටට වෙසක් කොල වගේ ජාතියකිං හදපු පාට පාට පටි වගයක් දඟර
වැටෙන්න අඹරල ඇදල තියනව. හුලං වදිනකොට ඒ පටි දෙපැත්තට ඇඹරෙනව. මේ බැලුං හා පටි
සැරසිල්ල සාලෙත් තේ දෙන තැනත් හදල එල්ලනව.
අපේ ගමට
ලැයිට් නැති කාලෙ විසේස අවස්ථා වලට ගෙනාවෙ මරනාදාර සමිතියෙ ලැයිට් ඇංජිම. සමිතියෙ
යාවජීව සාමාජිකයෙක් වීමත්, රැයකට ලාම්පුතෙල් ගැලුං හය හතක් වියදං කරන්න පුලුවං
වීමත්, ඒකෙ වැඩකරන්න එන එකාට ගානක් අත මිටමොලවන්න හැකි වීමත් යන කාරනා සම්පූර්ණ
කරන්න බැරිනං ඒක හීනයක්. ඒ හිංදා හොඳම වැඩේ ගමේ ගෙවල් කීපෙක තියෙන ‘ලැයිට්‘ එකතු
කර ගැනීම. කුප්පි හෝ චිමිනි ලාම්පුවත් බැට්ටියෙං පත්තු කරන ටියුබ් ලැයිට්ටෙකත් පරද්දන එලියකින් යුතු දෙයක් වගේම බොහෝ ගෙවල්වලිං ඉල්ලගන්න අමාරු දෙයක් උනත් නාලවත්තෙ ජයකොඩි ඇරෙන්න කිසියාම්ම
කිසි දෙනෙකුට අල්ලන්නවත් නොදෙන බවටත්, ඒව මේවගෙං ඇනල මැකෑනිස් වැඩේ නොකරන බවටත්,
ලැයිට් එකේ පිඟාන හෙඩ්ඩෙක හරි පොම්පෙ හරි මාරු නොකරන බවටත් දහ අතේ පොරොන්දු වෙලා
ලැයිට් කීපයක් එකතු කරගන්න පුලුවං. එහෙම ගේන ලැයිට් පත්තු කරන්න නාවලවත්තෙ ජයකොඩි
ගෙන්නගෙන එන්නත් ඕනැ. එක ලැයිට් එකකට ලාම්පු තෙල් බෝතල් දෙක ගානෙවත් ගෙනත්
තියාගන්නත් ඕනැ. මගුලට කලිං දවසෙ හවසට ලැයිට් ටික එක්කහු කරල ගෙනැහ්ල දුන්නම
ජයකොඩි මාමා ඒව සේරම පරික්සා කරල බලනව. ඉං පස්සෙ ගෙදර අයිති කෙනා ගෙන්නල තමුන්ට ඕන
බඩු කියනව.
“මේං
මේකෙ නිපල්ලෙක කැල්ල. අලුතිං නිපල්ලෙකක් දාන්න ඕනි. මේ තුනේම මැංටල් කැඩිල.
මැන්ටල් දෙක තුනකුත් ගේනව. හැබැයි ගොයියෝ ලාම්පු තෙල්නං ගැලුං දෙකක්කත් ඕනැ.“
ඒ බඩුටික
ගෙනැත් දෙනකං ජයකොඩි මාමා ලැයිට්වල හෙඩ්ඩෙක ගලෝලා වීදුරුව අරං පිහදානව. ඒක ඇතුලෙ
මැරිල ඉන්න ඉපියො, මැස්සො, මෙරු ආදීං අරං දානව. කැඩිච්ච මැන්ටල් කෑලි ‘වහ‘ හිංද
ඒවත් එකතු කරල කඩදහියකට දාල අතිංවත් අල්ලන් නැතුව එපිටහකට ගිනිහිං හලනව. හුලං ගහන
පොම්ප ගලෝල බලනව. ටැංකියට පිඹිනව. පොඩි ලමයිනුත් ඒ වටේට ඉඳං ඔලුගෙඩි එකට වැදිවැදි
බලං ඉන්නව. ජයකොඩි මාමා විටිං විටේ ළමයිංව එලෝනව.
“මේ
ලමයි එහාට වෙනවකො. මට වැඩක් කොරගන්න දීල. මේ ඇන එහෙම නැතිඋනොත් මට හොයන්නත් බෑ.
කරුවලේ ඇහැකන පේන්නෙත් නෑ“
තමුං ඉල්ලපු
බඩු ටික ලැබුනට පස්සෙ නිපල් අලුත් ඒව දාල, පිරිමිංගෙ *** වගේ තියෙන පරණ මැංටල්
ගලෝල, තේ මඩි වගේ දිග ලාම්පුතෙල් පොඟවපු මැන්ටල් හයිකරල එකිං එක පත්තු කරන්න ගන්නව.
ටැංකියට ලාම්පුතෙල් දාල ටැංකියෙම තියෙන පොම්පෙං ‘ජොහු ජොහු ජොහු ජොහු‘ කියල හුලං
ගහනව. එතකොට ටැංකියෙ අනිත් කොනේ තියෙන මීටරේ කට්ට එකේ ඉලක්කම ගාවට එනව. ආං එතකොට
බලං හිටපු ලමයි සේරම කෑ ගහනව.
“ආං
එකට ආවෝ“
“බෙරිහං
දෙන්නෙපා මගෙ කං බීරිවෙලා නෑ“
ඊළඟට රතුපාට
රවුම කරකෝල තෙල් අරිනව. ඒ එන තෙල්පාරට හෙඩ්ඩෙකේ කට ගාවදි ගිනි තියනව. එතකොට ඒ
ගිංදර සහිත ලාම්පුතෙල් ගිහිං මැන්ටලේ පත්තු කරනව. මැන්ටලේ ගිනි අරං මහා ගින්දර
ජාලාවක් එනව. වටේ ඉන්න ලමයි බයේ දුරට යනව. ටික වෙලාවකිං තේ මඩිය වගේ තිවිච්ච මැන්ටලේ
පත්තුවෙලා පුංචි වෙලා පිරිමිංගෙ *** වගේ වෙනව. ඒ එක්කම රතුපාට ගින්දර නැතිවෙලා
සුදුපාට සැර එලියක් එනව. ජයකොඩි මාමා ආයිමත් ‘ජොහු ජොහු ජොහු ජොහු‘ කියන සද්දෙට
හුලං ගහලා කටුව රතුපාට ඉර ගාවටම ගන්නව. ඉං පස්සෙ බොහොම ආඩම්බරෙං ලැයිට්ටෙක දිහා
බලං ඉන්නව. ඒකෙ එලියට ඉර පෑව්ව වගේ. වටේ හිටිය ලමයි හරිම සන්තෝසෙං කලිං කලුවරට
තිවිච්ච තැංවලටත් යනව. දැං ඒ තැංවල හොල්මං හිටින්න විදිහක් නැත. ගෙදර ගෘහ මූලිකය
ඇවිත්
“හරිද
ජෑකොඩි මල්ලියෙ වැඩේ“
කියල අහනව
“යංතං ගොඩගත්තා. මේක කාලෙකිං
පත්තු කොල්ල නෑ. වීයැට හිට තිවුන ඇතුලෙ. මං හිතන්නෙ ගොයං පෑගිල්ලකට ගිනිහිං ගෙනා
ගමං එහෙමම තිවිලද කොහෙද. මං හිංදම ගොඩදා ගත්ත“
එහෙනං
අනේ මල්ලියෙ අර මඩුවෙ ටීපෝ එක උඩිංවත් තියහං ඕක. මහතුංට කැටයං කපන්න පේන්නැහ්ලු“
ටික වෙලාවකිං
අනික් ලැයිටුත් එකිං එක පත්තු වෙනවා. කුස්සියෙ වහලෙ, සාලෙ කැබිනට්ටෙක උඩ ආදී තැංවල
ලැගුම් ගන්න ඒවයිං ගෙදර අහුමුලුවල තියෙන කුණු රොඩු, මකුලු දැල් ආදිය පෙන්නල දෙනව. පොම්ප
වැඩ කරන්නෙ ලැයිට් දෙහෙක විතරක් හිංද ඒ වැඩ කරන පොම්ප ගලෝල ඇරං එළිය අඩුවෙන
සැරෙයක් ගානෙ අනික් ලැයිට් වලට හුලං ගහන්න ඕනැ. ඒ හිංදා ජයකොඩි මාමා මගුල ඉවර
වෙනකං හැමදාම හැන්දෑවෙ ඉඳං එලිවෙනකං මගුල් ගෙදර.