ටෙලි නාට්‍ය. මේ වචනෙ දකින කොටත් සමහරුන්ට “ඔවෑක්“ කියා වමනෙ යන්න එනවා ඇත.
තවත් සමහර අය “අලුත්තෙකක් දැ“ යි සිතෙන්නට පුළුවන. ඒ කෙසේ උවත් ටෙලිනාට්‍ය අපේ ජන
ජීවිතයට මිරිස් තුනපහ තරම්ම සමිපයි.
එකදාස් නවසිය අනූ එක වසරේ දිනක හැන්දෑවක මහගෙදර මිදුලේ තිබූ හොඳ රඹුටං ගහේ
මුදුනට වෙන්නට ගැටගැසූ උණ ගහක කරටියේ රැඳවූ දෙපැත්තටම උල් තියෙන රේක්කයක් වගේ එකක්
සහ ගේ ඇතුලේ තැබූ සුදුපාට බුබුලු පේන පෙට්ටියක් අතර රෙදි වැලක් වගේ පටියකිං
සම්බන්ධයක් ඇති කිරීමෙන් අපේ පවුලට ‘තෙල්නාට්ටි‘ කියන වර්ගය කඩාපාත් වුනා. එවකට
කරන්ටෙක කියා දෙයක් නොතිබූ අපේ ගමේ මේ අරුම පුදුම පෙට්ටියෙං රූප (වැඩිහරියක්ම
බුබුලු) බලන්ට බැට්ටියක් තිබුනා. ඒ බැට්ටියේ සාරය උරාගන්ට වෑර් දෙකකිං ටීවියෙකට
සම්බන්ධ කිඹුල් කටවල් දෙකක් සිය දත්වලිං බැට්ටියේ දෙකොන තනපුඩු දෙක විකාගෙන හිටියා.
ඒ කාලෙ එතැනට පෙනුනෙ ජාතික රූපවාහිනිය විතරයි. ඒකත් යාන්තමට. සතියකට වතාවක්
අලුත් උණ ගහක් කපාගෙන ඇවිත් ඇන්ටනාව වඩා උස තැනක බැඳල අලුතිං චැනල් ඇල්ලීමේ නාඩගම
නැටීමට මාමත්, පුංචම්මත්, අප පියානෝත් ක්‍රියා කලා.
“ආං හරි සෝම්පාලයියෙ තව ඩිංගක් එහාට ගිනියන්න“
“නෑ නෑ. අනික් අතට“
“ආ...ආං යංතං මොකද්ද පේනව. අයිටියෙන්නෙක වගේ.. තව
පෝඩ්ඩක් කරකවන්න. ආං නැති උනා“
ඔය ආදී වසයෙං එපා වෙනකං ඇවිදල ඇවිදල අන්තිමට එක තැනක ඇන්ටනාව හිටවනව. ඒ
කොහොම කරත් කඳුවලිං වටවෙච්චි එතැනට හැමදාම අහුවෙන්නෙ ජාතිකේ විතරයි. ඒකත් සුදුරුදු
පරිදි සුළඟේ ලෙලදෙන කොඩි වාගේ නැත්තං පසෙං උඩට ආපු ගැඩවිල්ලු වගේ සර්වාංගෙම ලෙලදෙන
පින්තූර, පෝලිමට උඩයන පිංතූර එක්ක. ඒවත් පේන්නෙ බුබුලු ගොඩක් මැද යාංතං
ඉස්මතුවෙලා. ඉතිං සමහර වෙලාවට ගෙදර කට්ටිය වාද විවාද පවා කරගන්නව කවුද ඒ චරිතෙ
කියල හොයාගන්න.
“ඒ දීප්ති නෙ අම්මෙ“
“මොන ජීප්පියද්ද. අර නාකි ගෑනිනෙ. සරුවාලෙයක් වගෙ ගවුමක්
ඇඳං ඉන්නෙ“
“ඒ අම්මට පේන හැටි“
“බොල කටවහගෙන බලහල්ලකො. කියන එකක්වත් ඇහෙන්නෑ“
බොහෝ වෙලාවට කටහඬිං ඒ කවුද කියල අඳුරගන්න පුළුවං හිංද වැඩේ ගොඩිං බේරෙනව. ඒ
වුනාට මනුස්සයෙක් අඳුරගන්නවත්, වාහනේ කාර්රෙකද්ද බස්සෙකද්ද කියල හිතාගන්නවත්.
අමාරුයි. වාහනේක සද්දෙත් එක්ක හතරැස් හෝ වලාකුලක් වගේ පැල්ලමක් තිරේ හරහ යනවනං ඒක
වාහනයක්. ඒ පැල්ලම නැවතිල තවත් උස ඉටිපන්දමක් වගේ පැල්ලමක් ඒකෙං වෙංවෙලා ඒත් එක්කම
“ටිං ටිං“ කියල බෙල් සද්දෙයක් හෝ “හරියං හරි“ කිව්වොත් ආන්න ඒ පෙරකී පැල්ලම
බස්සෙකක්. අර ඉටිපංදම වගේ එක මිනිහෙක්. එහෙම නැතුව “එහෙනං මං ගිහිං එන්නං“ කියල
“දොක්“ කියල දොරක් වහන සද්දෙයක් ආවොත් ඒක කාර්රෙකක්. “දොක්“ සද්දෙ වෙනුවට “රාආආස්
දොක්“ කියල සද්දෙයක් ආවොත් ඒක වෑන්එකක්. ආං එහෙමයි නිරීක්ෂණයෙං නිගමනයට එළබෙන්නෙ.
ඒ දවස්වල හැමදාම ටෙලිනාට්ටි නෑ. දවසගානෙ පත්තරේ අග පිටුවට පිටු දෙකක් මෙහා
පිටුවක රූපවාහිනියෙ වැඩසටහන් විස්තරේ තියෙනවනෙ. එක නාට්ටියක් සතියට එක පාරයි
තියෙන්නෙ. දවසට එක ටෙලිනාට්ටියක් විතරයි තියෙන්නෙත්. ඒ හිංද හැමෝටම අනිවාර්යෙංම
ටෙලිනාට්ටිය තියෙන වෙලාවට ඒක බලන්න පුළුවං. හැබැයි වෙළඳ දැන්නීම් දාන වෙලාවට
ඇරෙන්න අනික් වෙලාවට ‘මීක්‘ සද්දෙයක් කරන්න තහනං. ආතා පිටකරන වායු නාදෙට පිළිතුරු
වායු නාදය පිට කරන්න ආච්චම්මට ඒක බාදාවක් වුනේ නැ.
ඒ කාලෙ තිවුන ටෙලි නාට්ටි වලිං මට මතක ‘දූ දරුවො‘ නාට්ටිය. ඊළඟට
‘දඬුබස්නාමානය‘. දූ දරුවො එකේනං මොනව තිවුනද මතක නැතත් දඬුබස්නාමානය නම් මතකයි.
ඒකෙ තියෙන අංගම්පොර සටං කලාවට මං හරිම ආසාවෙං හිටියෙ. ඒ වගේ උඩිං පිනුමක් ගහල
ගිහිං අනික් එකාට පයිං පාරක් දෙන්න.
පස්සෙං පහු කාලෙක ගමට ලැයිට් ආවත් එක්කම අපේ ආච්චම්මත් ‘කලර් ටීවී‘ එකක්
ගෙනාව. ඒ වෙනකොට චැනල් දෙක තුනක් දක්වා බලන්න පුලුවං තරමට වටේ පිටේ කලඑලි වෙලා
තිවුන. ඒ කාලෙත් රෑට ටීවී බලද්දි අපේ ආත ටීවීයෙක කෙලිංම අඩි තුනක් විතර දුරිං
පුටුවක් තියල ඉඳගන්නව. ඉං පස්සෙ තව ටිකක් ඉස්සරහට නැමිල ටීවියෙක දිහා බලනව. හරියට
දැන්වීමක් දිහා බලනව වගේ. එතකොට අනික් අයට ඒක බලන්න වෙන්නෙ එබිකං කරල. ඔය ප්‍රශ්ණෙට
විසඳුමක් විදිහට දෙයියෙක් වගේ දොස්තර කෙනෙක් දවසක් ටීවි එකේ වැඩසටහනකදි කිව්ව
ටීවියෙකේ තිරේ වගේ හත් ගුණයක් දුරිං ඉඳ මිසක ඒක බලන්න එපාය කියල. මං ඒක ආතට පෙන්නල
අනුමැතිය අරං අඟල් එකසිය හතලිස් හතක් ටීවී
එකේ ඉඳං දුර මැනල බිම සිමෙංතිය යකඩ ඇනේකිං හූරල ලකුණු කරල දුන්න. එයිං පස්සෙ ආත
ටීවී බලන්න එනකොට ප්ලාස්ටික් පුටුව පස්සට තියල අල්ලගෙන බිම බලාගෙන එනව අර ලකුණ
හොයාගන්න හරියට බිම වැට්චි කරාබුවක පස්ස බෝලෙ හොයන්න වගේ. හරියටම අර ලකුණ
හොයාගත්තට පස්සෙ පුටුව එතනිං තියල ඉඳගන්නව. ඒ ප්‍රශ්ණෙ විසඳුව කියමුකො. තව ප්‍රශ්ණයක්
නිකම්ම ඇතිවෙනව. හරියටම අඟල් එකසිය හතලිස් හත එන්නෙ සාලෙට ඇතුල්වෙන දොරකොඩට. ආත
දොරකොඩිං පුටුව තියාගත්තම එතනිං යන අයට යන්න වෙන්නෙ හරහට.
ඔය කාලෙදි තමයි ටෙලි නාට්ටි වැහිවහින්න පටං ගත්තෙ. “ආදර වැස්ස, සෙනේ වැස්ස,
මුරුගසං වැස්ස“ ආදී වැසි, යායවල්, පිනි සංයෝගයෙන් ඇතිවුනු සල්ලි ඇති හා එදාවේල
හොයං කන පවුල්වල ගාලගෝට්ටිවලිං පිරීගිය ඒ නාට්ටි දිරවාගන්න අපේ ආතගෙත් ආච්චිගෙත්
මොළකැටි සිත්වලට බැරිවුනා. එකම නලුවා, නිලිය එකවර ටෙලිනාට්ටි දෙකතුනක රඟපාද්දි ඒ
දෙන්න මංඥං වෙලා ගියා. එක දවසක් චතුරිකා පීරිස් ඉන්න මොකද්දෝ ටෙලිනාට්ටියක් බලන
ගමං ආච්චම්ම චතුරිකාට පලුවිසිවෙන්න බයිනව.
“නිද්දකිං විතරක් මේ දැං හැදෙන පට්ට වේ* ගෑනුංගෙ හැටි.
මේ ගෑනි ඊයෙ අර ටීවිලියක් එලෝන එකා එක්ක පවුල්කෑව. අද බලහංකො තට්ටං දෙක හිරවෙන්න
කලිසමකුං ගහං මේ කාරකාරයෙකුත් එක්ක රෝංදෙ යනව. ඕං අදකාලෙ ගෑනු.“
එකම නිලිය හිටියට ඒ ටෙලිනාට්ටි දෙකක් කියල කියා දෙන්න කතාවෙ කොටස් දෙකක්ම
කැප කරන්න ගෙදර අයට සිද්දවුනා.
ඔය කාලෙදි හුඟක්ම ටෙලිනාට්ටිවල දුප්පත්, පෝසත් පවුල් අතර ආදර අන්දර මගිං
නාලන් මෙන්ඩිස් ඇතුළු තවත් පිරිසක් සෑහෙන හම්බකෙරුමක් කරගන්න ඇති. ඒ අතරෙම මට මතක
තවත් එක් පරන නිලියක් ටෙලිනාට්ටි කරන්න පටං ගත්තා. එයාගෙ ටෙලිනාට්ටි පිටරට රූගත
කරපු ඒව. එහෙමයි දැන්වීමෙ දාන්නෙ. “අසුවල් නිලිය විසින් සීතල ඉතියෝපියාවේ දී රූගත
කළ නවතම ටෙලි අන්දරය“ කියල. බොහෝ වෙලාවට කාමර අස්සෙ, ගෙවල් අස්සෙ කතා කරන එව්ව
විතරයි ඒවගෙ තියෙන්නෙ. සමහර වෙලාවට ඒ ලංකාවෙම වෙන්නත් පුලුවං කියල මට හිතෙනව.
කලාතුරකිං පිටරටක ගෙයක් වගේ පේන ගෙයක් ඉස්සරහ තියෙන වාහනයක් පිටත්වෙලා යනව වගේ
දර්ශනයක් පෙන්නල ඒ නාට්ටිය ‘පිටරටක කරපු එකක්ම තමා‘ කියල පෙන්වන්න උත්සාහ කරනව.
කොහොම කලත් ලංකාවෙ ටෙලිනාට්ටිවලට ආවේනික ලක්ෂණ කීපයක් තියෙනව. මටනං එව්ව
අස්වාභාවිකයි. මුල්ම දේ තමයි බොහෝ වෙලාවට දෙන්නෙක් කතාකරනව නං ඒ දෙන්නම කතා කරන්නෙ
ඉස්සරහ කැමරාව දිහා බලාගෙන. මූනට මූන බලාගෙන කතා කරනව අඩුයි. හරියට නිකං වේදිකා
නාට්ටිවල වගෙයි. ගොඩක් වෙලාවට එහෙම කතා කරන්නෙ ගෙදර සාලෙ, නැත්තං ඉස්තෝප්පුවෙ.
තවත් වැදගත්ම ලක්ෂණයක් තමයි වචනෙං වචනෙ බොහොම හෙමීට කියන්නෙ. සාමාන්‍ය මිනිස්සු
කතා කරන තරං වේගෙං කතා කරන්නෙම නෑ. ඒ වගේම තමයි ඒ කියන දේවල් හරියටම ගලපල කියනව,
ප්‍රශ්ණ පත්තරේකට උත්තර ලියනව වගේ හරියටම. පොඩ්ඩක්කත් වරදින්නෑ. ඒකත් හෙනම
අස්වාභාවිකයි. අනික් අස්වාභාවිකම දේ වලියකදි උනත් එකෙක් කියල ඉවරවෙනකං අනික්
එක්කෙනා කටවහගෙන බොහොම ඉවසීමෙන් අහගෙන ඉන්න එක. ඒ ඔක්කොමත් අතරෙ අස්වාභාවිකම ලකුණ
හෙවත් හලානොගත් වල්ගය තමයි කාන්තාවො ගෙදරට ඔසරි ඇඳීම. මගෙ ජීවිතේට හැබැහිං දැකල නෑ
ලංකාවෙ කාන්තාවො කවුරුවත් ගෙදර ඉන්නකොට සාරි අඳිනව. ඒ නැට්ටනං හලන්නම ඕන.
මේ සේරටම වඩා එපාවෙන දේ තමයි ඉංදියාවෙන් ගෙනාපු වහුකුනු නාට්ටි. එව්වයෙ
ඉන්න එවුන්ට වචනයක් කියාගන්න සෑහෙන වෙලාවක් යනව. එව්වයෙ දෙබස් කියන්නෙ මේං මේ
ආකාරයට. අතරමැදි කාලය තත්පර වලිං දක්වන්නං
“ඔයා..(තත්පර 2).. මගේ ..(තත්පර 2).. දරුවෙක් කියල ..(තත්පර
4).. කියන්නත් ලැජ්ජයි ..(තත්පර 4)..
සායිල් ..(තත්පර 2).. ගොයිං කා.“
මේක කියන ගමං වචනයක් ගානෙ ඒ සීන් එකේ ඉන්න හැමෝගෙම මූනු පෙන්නනව. එකෙක්
හැරුනොත් ඒකටත් තප්පර තුනක් විතර ගන්නව. කතාවෙ මොකක්හරි තීරනාත්මක දෙයක් ගැන කියනවනං
එහෙම “චාල් චාල් චාල් චාල්“ කියල මහා විනාසකාරී සංගීතයක් එක්ක වටේපිටේ ඉන්න සේරගෙම
මූනු, අතපය, ඇඳුං පැළඳුං ආදී සේරම පෙන්නනව. අන්තිමට කියන්න තියෙන දේ ඊළඟ දවසෙ තමයි
කියන්නෙ.
ඒව කොපි කරල හදන ලංකාවෙ ටෙලිනාට්ටි ඔක්කොටම එහා. එව්වයෙත් ඔය ඉහතකී අංග
ලක්ෂණ සේරම තියෙනව. ඒ අතරෙ කතාව ඇදගෙන යන්න ඕනෑවට චරිත සේරම වටේ යනව. එව්වයෙ තියෙන
සිංදුත් ඒවගේ මට හොඳටම මතක සිංදුවක් තියෙනව. ඒකෙ එක පදයක් මට ඇහෙන්නෙ “සුළැඟිලි
පවා හැ**ය හැකී“ කියලයි. බලන්නකො බොරුද කියල.
දැං ඔය සූරියවාහිනියෙ තියෙනව එක ගම්බද මන්තර ගුරුකං තියෙන කතාවක් ඒකෙ
තියෙන්නෙ තනිකර හැංගිමුත්තං සෙල්ලමක්. ඕං ඒකෙ එකෙක් බෝම අමාරුවෙං හොයල ගෙනත්
තියාගෙන අනික් පැත්ත බලනකොට අනික් එකී කැලේ පැනල. ඉතිං ඒ කැලේ පැනපු එකී හොයන්න
යනකොට මේ ගෙනාපු එකාව වෙනිං එකෙක් උස්සල. ඔය අතරෙ සමහර චරිත ඉන්නව උං මහ මෝඩ මැටි
හරක් විදිහට හැසිරෙන. සමහර ප්‍රශ්ණ විසඳන්න තමුං දන්න දේ එක වචන දහයෙං කියල ඉවර
කරන්න පුලුවංකම තියෙද්දි උං පැය ගනං වෙන වැල්වටාරං කියෝනව. සමහර ටෙලිනාට්ටි තවත්
ඇදගෙන යන්න බැරුව අවසං කරන්නම ඕන තැනට වැඩ යෙදෙනව. ඒ කියන්නෙ මෙතෙක් කල් හොයපු
තමුංට හොයාගන්න බැරිව නැතිවෙලා හිටපු ආදරවන්ති දැං මේ මූනට හම්බු වෙන්නයි යන්නෙ.
එතකොට තව එක කොටසිං දෙන්න බැන්ද වැඩේ ඉවරයි. ආං ඒ වගේ වෙලාවට උං දෙන්න අඳ, ගොලු,
බීරො වගේ හැසිරිල දෙන්නට දෙන්න නොපෙනෙන්න ඇඟේ හැප්පෙන නොහැප්පෙන ගානට පත්තරේකටවත්
මුවාවෙලා දෙපැත්තට මාරුවෙලා ආයිත් හම්බ නොවෙන්නම දුරස් වෙනව. තව කොටස් ගානකට වැඩේ
ඇදෙන්න.
මේ කොයික උනත් මේ නාට්ටි බලන්න කොටසක් හැදිල ඉවරයි. ඒ අය මෙව්ව බලනවමයි.
එහෙව් අයට ගානක් අතට දීල “අහුවල් එක බැලුවත් සල්ලි තමයි“ කියල කියෝල තවත් ටිකක්
ගොඩ වැඩිකරගන්න හරිම ලේසියි.
ඒ වගේ අය චැනල් තුනක විතර ටෙලිනාට්ටි නවයක් විතර දවසකට බලනව. එකක වෙළඳ
දැන්වීම් යද්දි අනිකට ආදී වසයෙං දුරස්ථ පාලකයට දැඩි දඬුවං දෙමින් කොහොමහරි එක
කොටසක්වත් අතනෑරි බලන්න ඒ අය තනි අතිං බත්පංගුව අල්ලගෙන හෙන ගේමක් දෙනව. එක කොටසක්
හරි මගහැරුනොත් පහුවදාට ඔෆීසියට ගිහිං ඒ කොටස අන්තර්ජාලෙං බලාගන්නත් පුළුවං.
ඇත්තටම මිනිස්සුංගෙ කේන්ති අවුස්සන එක ඇරෙන්න වෙනිං වැඩක් නොකරන මේ
ටෙලිනාට්ටි වලට වඩා බලන්න හොඳ දේවල් නැද්ද? මට එහෙම හිතිල තියෙනව. ආං ඒකට මං හොඳ
දෙයක් හොයාගත්තා බලන්ඩ. මොනවද? මොනවත් නෙමෙයි වෙළඳ දැන්නීම්? ආං බලන්නකො
නිර්මාණශීලීත්වය උපරිමයි. නංගිට ක්‍රීම් කැකර් ගන්න බස්සෙක ආපහු ගාල්ලට ගෙනියන
සී.ටී.බී කොන්දොස්තර, සුපර් ක්‍රීම්කැකර්
ගැන කියන සුපර් මෑන් ආදී නිර්මාණශීලී දැන්වීම්
එයිං කීපයක් විතරයි. ඔය අතර ඩෙල්මා හැපිබෝයි කැටේ දැං තිස්පායි කියල තුං පාරක්
කියෝල කටපාඩං කරවන එක ආදී එපාකරපු ඒවත් තියෙනව. ඒ කොයිහැටි වෙතත් බත්කන වෙලාවට
හාපික් ඇඩ්ඩෙක නොපෙන්නා ඉන්නවනං හොඳයි කියල විතරයි මට කියන්න තියෙන්නෙ.