සිංදුව නවත්තන්න කියල මට වම් පැත්තෙං තියෙන හාංසි පුටුවෙ
ඉඳං ඉන්න බාප්පගෙං වදින අප්පුඩිය වෙනුවට
දකුණු පැත්තෙ කනට වැදිච්ච හෙන ගෙඩිය මොකද්දැයි කියල බලන්නවත් සිහියක් එන්න
කලිං ‘ආර්ටිඇස්‘ එකේ දළු ලොරිය කන්ද අදින්නා වාගෙ ඇහිච්ච මහා ගෝරනාඩුව මගෙ අනික්
කනෙත් අගුලු දානව.
“පෙනේද මුගෙ වයසට කියන කතාද මේව. තාම දැලි
රැවුල ඇදිලත් නෑ. කියන්නෙ තිත්ත කුණුහරුප. ආයි හැදෙන්න දෙයක් නෑ. මූව හෙට උදේට
පොලිසියට අල්ලල දෙන්න ඕනි. “
මගෙ කනට දුන්න පාරට හේතුව විග්‍රහ කරමින් ගෙදර ඉන්න බාල
පුංචම්ම බැනවැදුනත් ඒකෙ අගක් මුලක් තේරුං ගන්න බැරුව මං වටේ බලනව. වටේම ඉන්න අයගෙ
ඇස් මයෙ දිහාට යොමුවෙලා තියෙනව. ඒ අයගෙ ඇස්වල කුප්පි ලාංපුවෙ දැල්ල පුංචියට
දිලිසෙනව. ඔය සද්දෙ ඇහිල ආච්චම්මත් කුප්පි ලාංපුවක් දික්කරං එතැන්ට එනව.
“මොකෝ මැණිකෙ උනේ. මූ සුදු මාත්තෙයට ගැහුවද?
ලාංපු කුප්පිය පෙල්ලුවද? “
මගෙං වෙන්න පුලුවං යැයි එවෙලෙට සිතෙන චෝදනා දෙකක්
ඉදිරිපත් කරමින් ආච්චම්ම අහනව. මං කරපු වැරැද්ද මොකද්ද කියල කියන්න කාගෙවත් කට
ඇරුන්නෑ. ඒ වුනාට බැනිල්ල නං අඩුඋනේ නෑ.
“අච්චර බොන්න යන මුගෙ තාත්තවත් ඔහොම එව්ව
කියන්නෑ“
“ඉස්කෝලෙ යනව කියල හොහෙ යනවද දංනෑ. මූ මේව
ඉගෙන ගන්නෙ කොහෙංද නැහ්නං“
“පොලිස්සියට අල්ල දුන්නනං මූව අරියි පරිවාසෙට
හැදිල එන්න“
පේන විදිහට මං කරල තියෙන වැරැද්ද ‘කසිප්පු පෙරිල්ල‘,
‘හොරෙං දලු කැඩිල්ල‘, ‘රණ්ඩු කර ගැනිල්ල‘ වගේ දේවල් වලටත් එහාගිය වරදක් වගේ.
“හරි හරි මැනිකෙ. දැං ඔය කතාව නවත්තමු. මට
පේන්නෙ සුරංග දැනගෙන කියපු එකක් නෙමෙයි ඒක.“
මං තක්කුමුක්කු වෙලා වටේ බලද්දිම මට වෙච්ච දේ මංවත්
නොදන්න බව බාප්පට වැටහෙන්න ඇති. අනික් අයටත් ඒ බව තේරිලද කොහෙද බැනිල්ල හිමීට
නැවතුනා. මං කියපු සිංදුව කැසප්පීස්සෙහෙක තිවුන එකක්. ඉතිං ඒක කිව්ව එක වැරැද්දක්
වෙන්නෙ කොහොමද? ඊළඟට සිංදුව කියන්න තිවුනෙ මට නොවෙයි වත්ද? මට ඒ ගැන කිසි
කල්පනාවක් ඔලුවට එන්නෑ. මං ඔය විදිහට හිතද්දි මං වටේ ඉන්න අයගෙං මා කෙරෙහි
අනුකම්පාවක් ඇතිවීගෙන එන බව මට දැනෙනව. ආං එතකොට මට මං ගැන දුක හිතෙනව. එතකොටම ‘මුහුහ්‘ ගාල එක පාරටම ඇඬුමක් පයිනව. මං එතනිං නැකිටල
ගිහිං සාලෙ වී ගෝනි ගොඩගහල තියෙන අතරෙ ඉඩක බිම ඉඳගෙන, දනිස්ස අස්සෙ ඔලුව ගහගෙන
අඩනව. වී ගෝනි ටික මාව වටකරගෙන හිංද මට එතන අමුතු ආරක්සාවක් දැනෙනව. ඒ අස්සෙං
විඩිං විඩේ එකිං එක්කෙනා ඇහිල්ල මට කතා කරනව.
“සු**යෝ, නැකිටාං. බොට ඔතන බුදියන්න බෑනෙ. ආං
අර පැදුට්ට ගිහිං බුදිය ගං“
ආච්චම්ම මගෙ මූනට කුප්පි ලාංපුව කිට්ටු කොල්ල අල්ලගෙන කියනව. මං අඬන සද්දෙ
පිටට ඇහෙංන ඩිංගක් වැඩි කරනව.
“බොට බැයිනං නිකා හිටහං. අනෙ අපිට මොටද“ ආච්චම්ම කුප්පියත් අරං යනව.
“හූ.. හූ.. සු*** අඬනවෝ“ අක්කයි අයියයි මාරුවෙං මාරුවට ඇහිල්ල මං මූන වහං ඉන්න එක
අතක් ඇදල දාල දුවනව. මං උංට පයිං ගහනව. ඔය කාටත් මාව වී ගෝනි ටික අස්සෙං එළියට ගංන
බැරි වෙනව.
අංතිමේදී බාප්ප පුටුවෙං නැකිටල මං ගාවට එනව.
ස්‍රංග... ඕක ගනං ගන්නෙපා.. ඇහුනද? ආ... මං
කියනදේ ආලා නැකිල්ලා ගිහිං අර පැදුරෙං නිදාගන්න. හෙට ඉඳං ලැහැත්ති වෙන්න අපිත්තෙක්ක ටිප්පෙක යන්න.
මට අනික් මොනවත් නොතේරුනත් බාප්ප කහපාටිං මතුකරල කියපු ටික මට
හොඳටම වැටහෙනව. ඒකෙං මගෙ මූන වහගෙන ඉන්න අත් දෙකම පහලට වැටෙනව. කට ඇරෙනව. ඇඬුම
වැහෙනව. බාප්ප නං දෙයියෙක්. ඇස් ඇරල බලනකොට මහා විසාල බඩ ගෙඩියක් තියෙන බාප්ප මං
ඉස්සරහ හිටගෙන හිනහවෙනව.
ඕං ඔය විදිහට මටත් ඔය ගමන යන්න අවස්තාව ලැබෙනව. ආච්චම්ම
මේ ගැ න එච්චර කැමැත්තක් නෑ. මොකද එයාට මේ ගමනට නාට්ටාමියෙක් ඕනි නෑනෙ. ඒ හිංද මට
ඕනි අඩුමකුඩුම එක්කොම මං හොයාගන්න ඕනි. හීතලට අහුවෙන්නැති හිංද ආයි ‘බූල් ඇඳුං‘
හොයන්න ඕනිත් නෑ. දවස් පහක් හිංද ඇඳුං විතරක් යහමිං ඕනි. ඒ හිංද මං අහල පහල ගෙවල්
ගානෙ අම්මව යවල ‘පස්සෙ ගෙනත් දෙන්නං‘ කියල ඇඳුං සූට් දෙකක් ගෙන්න ගන්නව. ඔය අතරට
මගෙ ඉස්කෝලෙ අඳින කලිසමි කමිස දෙකත් ගත්තහම ඇඳුං සූට් හතරක් හරි. ඒ ටික දවස් පහට
මාරුවෙං මාරුවට ඇංදැහැකි. ඔය අතරෙ මගෙ සිස්සත්තෙ සල්ලිත් ලැබෙනව. ඒක ගන්න අම්ම
ඉස්කෝලෙට යන්න ඕනි. අම්ම අස්සං කලැයිං පස්සෙ සල්ලි හම්බෙන්නෙ අම්මගෙ අතට. මං
ඉස්කෝලෙ ඇරිල ගෙදර ආපු ගමං අම්මගෙං ඒ සල්ලි ටික ඉල්ලනව. ඉස්කෝලෙං රුපියල් පංසිය
ගානක් දුන්න බව මට මතකයි. එයිං තුංසීසක් අම්මගාව තිවිල මට හම්බුවෙනව. අනික් ටික
ඉල්ලුවහම.
“ඒව ඉවරයි“
අම්ම කියනව. ඒ කියන්නෙ එයා ඒ ටික කොහෙ හරි කඩේකට ‘පූජ
කල්ල‘.
ඔය අතරෙ ආච්චම්මට තියෙනව ලොකු රාජකාරියක්. ඒ තමයි දර
පැලීම. අපි ගෙනාපුවයිං ලොකු කොට ටික හීං වෙන්න පලාගන්න ඕනි. ඒක ආච්චම්මගෙ
රාජකාරිය. අපෙ ආච්චම්ම හිතන හැටියට දර නැතුව ඔය ටිප්පෙක යන්න තියා හිතන්නවත්
නාකයි. දර කියන්නෙ ටිප්පෙකේ ප්‍රාණ වායුව හැටියට පෙන්නා දෙන්න උණ්දැ හැමවිඩේම
උත්සහ කරනව.
මහතට තියෙන ගහේ මුලම හරියෙ කොට ටික පළාගන්න ආච්චම්මට අපෙ
පියානංගෙ උදව් ඕනිවෙනව. එයා හවසට දෙකක් දාගන්න කලිං ‘සිහියෙං ඉන්න‘ වෙලාවක් බලල
ආච්චම්ම ඒ පිළිබඳව කියනව.
“සෝංපාල, අර මුල කුට්ටි දෙක තුන මට ඩිංගක් හීං
කොරල දෙන්නකො“
තමුංගෙ බෑනලට දුවේ, පුතේ කියල කතා කරන පුරුද්දක් අපේ
ආච්චම්මලට නෑ. ඒක හිංද සිය බෑනාවරුං වූ සියලුම ‘පාල‘ලාට නමිං තමයි ආතයි, ආච්චම්මයි
ඇමතුවේ. “ගුණපාල, ජෝකපාල, සෝමපාල“ ආදී
‘පාල‘වරුංගෙං කෙනෙක් බැඳගංන බැරිවුනේ බාල පුංචම්මට විතරයි.
“බැරියැ“
ආං එහෙමයි අපේ පියානෝ වැඩක් ‘හා‘ කියල බාරගන්නෙ. නොබී
ඉන්න වෙලාවට වැඩි කතාවක් නෑ. එහෙම බාරගත්ත වැඩේ පහුවදා ඉඳං එයා කරල දෙනව. පොරවෙං
පලන්න බැරි ලොකු කොටවලට මැදිං යකඩ උලක් තියල කුලු ගෙඩියෙං ගැහුවහම කොටේ දෙකට
පැලීගෙන යනව. ඒ විදිහට කොටේ යංතං හතරට පලාගන්නකොටම ආච්චම්ම කෑ ගහනව.
“හා. ඔයෑති ඔයෑති. මං ඉතුරු ටික පලාගංනං. ඔය
හැටි හීං කරන්නෝන්නෑ“
ආච්චම්ම කැමති නෑ දර පැලීමේ තියෙන අයිතිවාසිකමෙං
ටිකක්වත් තමුංගෙං අහක යනවට. සම්පූරණෙංම දර කොටේ පලල දුන්නොත් ‘ඒක සෝංපාල පලපු
කොටේ‘ බවට පත්වෙනව. එතකොට ආච්චම්මට “මේ දර සේරම මං
සංපූරණෙං පළාදුන්නෙ“ කියල කියන්න බැරි වෙනවනෙ. ඔය විදිහට ආච්චම්ම කරදර
කරනකොට ඒ වගේ දෙකට පලාපු එක දර පලුවක් ආච්චම්මට හම්බුවෙනව. එයා ඒක අරං එක පැත්තක්
කොටෙයක් උඩ තියල අනික් පැත්ත බිමට හිටින්න තියල කොටේ උඩිං තියපු කොනට දෑත බදල
පාරක් දෙනව පොරවෙං. ඒ පාර කොටේ කාගෙන ගිහිං
හිරවෙනව. ආච්චම්ම පොරවෙ මිටෙං අදිනව. දෙපැත්තට හොලවන්න බලනව. කොටේ පාගගෙන
පොරව ගලවගන්න බලනව. පොරව නෙමෙයි හෙල්ලෙන්නෙවත්. උංදැ වටපිට බලනව. කියංදෝ නොකියංදෝ
කියල හිතල අංතිමට කට අරිනව.
“සෝංපාල, මේ පොරොව හිරඋනානෙ. මේ කම්මලෙ බාස
මේක පනපෝල නැද්ද කොහෙද හරියට නැත්තං මේක මෙයාකාර හිරවේයැ“
මීට මාස ගානකට කලිං පොරව පනපෝල දීපු කම්මලේ බාසුන්නැහැගෙ
පිට වැරැද්ද තියල ආච්චම්ම තමුංගෙ මෝඩ වැඩේ වහගන්නව. කීප විටක් ඔය විදිහට කියවන්න
ඇරල පොරව ගලෝල දෙන්න අපේ පියානං කටයුතු කරනව.
“ඕක තමා මං කිව්වෙ. ඔය පොරෝකෙටි ඔලිං මේක
පලන්න බෑ“
ඔය ආදීකොට ඇති අලකලංචි රැසක් මැදිං දර පැලීම කෙරීගෙන
යනව. අවසානයේ දවස් තුනක් විතර ගිහිං ආච්චම්ම දර පැලීම කරල ඉවර කරනව. ඉං පස්සෙ ඒව
වේලන්න ඕනි. උදෙංම පලාපු දරටික මිදුලෙ පේලියට අහුරල අව්වෙං තියල හැන්දෑවට බිත්තිය
අයිනෙං අඩුක්කරන එක ආච්චම්මගෙ චාරිත්‍රයක් බවට පත්වෙනව. ඒ අතරෙ වටේ පිටේ කවුරුහරි
හිටියොත් කලිං ගමං වලදි වැඳගත්ත ‘සිද්දස්තාන‘ සහ එව්වයෙ පිං කැට වලට දාපු ගනං සහ
‘පිං පත්තර‘ වලට දීපු ගනං එහෙම උජාරුවෙං කියනව. අංතිමට එක් එක් සිද්දස්තානෙට දීපු
ගනං හිලව් එක්කහු කරල මේං මෙහෙම කියනව.
“ගිය වලියෙ මං ඔය කවටයමුනෙ විහාරෙ පිංකැටේට
දැංම සුපියල් අටක් - දෙකේ කට්ට තුනයි සුපියලේ එව්ව දෙකයි, එතකොට පිං පත්තරේට සුපියල් විස්සක්. බලහං එතකොට සුපියල්
විසියටක් නේද? ඔය විදිහට හැම තැනටම මං දීල තියෙනව. ආයි උඹලෑ ආත වගේ (මෙතන ආත
කියන්නෙ ආච්චම්මගෙ හස්බන්ඩ්) සිල් රෙද්ද *කේ ඔතාගෙන හතර පෝයටම රිංගන්න නොගියට මං ඒ
අතිං යන තැනට වැඩ කොරගෙන තියෙන්නෙ. ම්චප්“
මෙහිදී ආච්චම්ම තලු මරල රෙද්ද ආයි පාරක් ලිහල අඳිනව.
ආයිත් කරමින් හිටපු වැඩේම යෙදෙමින් කතාව පටං ගන්නව.
“උඹලෑ ආත දුන්නට මං ඔය මෙහෙ පංසලේ ඉන්න
ගනෙයටනං සත පහක් දෙන්නෑ. උන්නාංසෙ දන්නෑ ආදාරෙයක් ගන්න. පෝය දාසටවත් පීකරෙයක්
බැඳල, පිං පත්තරෙයක් අච්චු ගහල ගෙනත් තියල පිලිවෙලකට යමක් කරන්න එපායැ. උංනාංසෙ
දන්නෑ එහෙම වැඩක්වක් කරන්න“
ආච්චම්ම කියන විදිහට පිනක් සම්පූර්ණ වෙන්නනං ආදාරෙයක්
දුන්න කියල ගානත් එක්ක තමුංගෙ නම සද්දෙට කියවන්න ඕනි පීකරෙං. උංදැ හිතන්නෙ එතකොට
දිවිය ලෝකෙට ඇහිල පිං පොතේ නමයි ගානයි ලියාගන්නව කියල වෙන්නැති. ඊට අමතරව ආදාරෙයක්
දුන්න බව පස්සෙං පහු හරි ඔප්පු කරන්න ඕනි උනොත් කියල පිං පත්තරේකුත් ගන්න ඕනි. නැත්තං එවෙලෙ ලියාගන්න අමතක වෙලා බැරිවෙලාවත් මලායිං පස්සෙ දිවියලෝකෙට වැද්ද නොගත්තොත් ඉදිරිපත් කරන්න හරි අර
පිංපත්තර ටික තියෙන්න එපායැ. එව්ව තියෙන්නෙ ආච්චම්මගෙ අල්මාරියෙ.
ඔය අතරෙ ගේ ඉස්සරහ හංදියෙ සෙනග ටිකක් යහමිං හිටියොත් ප්‍රේක්ෂක
ප්‍රතිචාර ලබාගැනීමේ අරමුනිං මහන්සි නොබලා දර ටිකක් ගෙනැත් පාර අයිනෙ තියෙන
පුංචම්මගෙ කඩේ මිදුලෙත් අඩුක් කරනව. එතකොට කවුරුහරි අවාසනාවංතයෙක්
“මොකටෙයි නැංදම්මෙ මෙයාකාර දර?“
කියල අහනව. අහපු සැනිං ඉතාමත් තෘප්තියට පත්වෙන ආච්චම්ම
අතේ තියෙන දර ටිකත් බිමට අතෑරල රෙද්දත් ආයි පාරක් ලිහල ඇඳල “ම්චප්“ කියල තලුමරල, වංදනා ගමනෙ වංහුං කියන්න පටං
ගන්නව. ගමන ලැහැත්ති කොරන්නෙ ‘ජෝකපාල‘ බවත්, ඩිපෝකෙ අසුවල් අසුවල් මහත්තුරු ගමන යන
බවත්, ඒ ගමනට ‘මෙහෙං යන්නෙ මං‘ විතර බවත්, තවත් ගමේ කීප දෙනෙක්ම එන්න අහල ‘පොරකෑ‘
බවත් (මේකනං පට්ට බේගලයකි), ඒ උනාට ඒක එහෙම එක එකාලව එක්ක යන ගමනක් නොවන බවත්, ජෝකපාලට ‘පව්‘ කියල
හිතිච්ච හිංද ‘චූටි මහත්තෙයව‘ බලාගන්නත් එක්කල ‘මූවත්‘ එක්ක යන බවත්, ‘මූ‘ පහුගියදාක
රෑ කුණුහරපෙයක් කියල මැණිකෙගෙං ‘කට සැල්වෙන්න‘ ගුටිකෑ බවත් කියනව.
ඔය වගපල විස්තරේ අහගෙන ඉන්න බැරිම තැන අදාල අසන්නා,
“හරක් බඳින්න යන්න තියෙන“ බව, “දං සීට්ටුව ඉල්ලං එන්න යමිං ගමං“ බව, “බෙහෙත් බඩුවක්
හොයන්න යන්න තියෙන“ බව හෝ වෙනිං මොකක් හරි ‘තියෙන බව‘ කියල “ගිහිං එන්න“ හදනකොටම
“ආ.. උඹ ඇහුවට මට ඒක කියන්න බැරි උනානෙ. උඹ
ඇහුවෙ මේ දර මක්කරන්නද කියලනෙ“
කියල ආයිත් කතාවට බහින ආච්චම්ම, මේ දර ගහ ‘සංපූරනෙංම
පැලුවෙ‘ තමුං බවත්, හරියටම දවස් තුනකුත් ටිකක් මේ වැඩේට ගතවුන බවත්, ඒකට තමංගෙ
‘හොඳ පන‘ ගියබවත්, වෙනිං එකෙක්වත් ‘මෙහෙම කියල ඩිංගක් (මෙතනදි ආච්චම්මා සිය අතේ ඇඟිල්ලක අග පුරුකෙං අංතිම ප්‍රමාණය දක්වයි)‘ උදව්වක් නොකල බවත්, කියනව.
උන්දැ කියන විදිහට එතකොට බාප්පත්, අපේ පියානනුත්, මමත් දර කෑල්ලක් අල්ලලාවත් නැත.
ඉතිං අසන්නත් ආයිත් විඩෙයක් “ගිහිං එන්න“ හදද්දි,
“කෝ ඉතිං තාම මට උඹ අහපු එකට උත්තරේ දීගන්න
බැරි උනානෙ. මේ වැල්වටාරං හිංද“
කියල, මේ දර තියෙන්නෙ ඉහතිං විස්තර කළ ‘වංදනාවෙ‘ යන දවස්
ටිකට උයාගෙන කන්න බවත්, මෙම ගමනේ මූලිකම අවශ්‍යතාව වන දර සපයන්නෙ තමුං බවත්, ඒ
ටිප්පෙකට දර සපයන්නෙ තමුං වීම නිසා “ජෝකපාලට“ ඩිපෝකෙ සෑහෙන්ට සැලකිලි තියෙන බවත්,
තමුං සපයන දර ටික නැත්තං ‘වන්දනා ගමං‘ ගිහිං හමාර බවත්, යන්න හැරෙන අසන්නාගෙ
පස්සෙං එලවං ගිහිං කියනව.
ආච්චම්ම කියන විදිහට උන්දැගෙ දර නැත්තං මිනිස්සු වංදනා
ගමං යන්න විදිහක් නැතිව හාමතේ මහ මග හාමතේ මියැදෙනු ඇත.
ඔය විදිහට පනවගේ රැකගෙන තියෙන දර ගොඩෙං දිනපතා දර කෑලි
දෙක තුන බැගිං අඩුවී සතියක් පමණ යත්දී ඇස ගැටෙනා පමන වෙනසක් ඇතිවන බැවිං ආච්චම්ම
“දර කෑලි ටික හොරකං කොරන එකා“ හොයන්නත් කටයුතු කරනව. ඒ වෙන කවුරුවක් නොව ගෙදර
ඉන්නා සිය ‘බාල දෝනියැංදා‘ දර කෑල්ලක් හොයාගන්න තියෙන කම්මැලි කමට කරන වැඩක් බව
ලිපේ පත්තුවෙලා ඉතුරු වෙච්ච දර කෑල්ලකිං ආච්චම්ම හොයා ගන්නව.
සතියකටත් දවස් දෙක තුනක් වැඩියෙං කල් අව්වෙ වේලිලා,
කරකුට්ටං වෙලා, ආච්චම්ම අතින් වර්ණනාවට ලක්වෙලා පදං වෙන දර ටික ‘වංදනා ගමනට‘ දවස්
දෙකකට විතර කලිං, දලු ගෝනි වලිං ගලෝගත්ත කොහු ලනුවලිං අපේ පියානං අතින් මිටි බැඳිල
‘දර මිටි‘ බවට පත්වෙනව. ඒ දරමිටි වංදනාවෙ යන බස්සෙකට නගින්න බලාපොරොත්තුවෙං
පුංචම්මගෙ කඩේ අගුවෙ කොනක තැංපත්වෙලා ඉටිරෙද්දකිං මුවා වෙලා බලං ඉන්නව.