සෙල්ලං බඩු, තොප්පි, තොරොම්බල් ගත්තු අය
එව්වයෙ හැඩ බල බල එද්දි, සෙල්ලං බඩු ගොඩක් හිතේ පුරවගත්තු මාත් ඒ පස්සෙන් ඇදිල
එනව. මගේ මග සලකුණ වෙච්චි තැඹිලි පාට කමිසෙට උඩිං තියෙන ඔලුවටත් ඉඳකොළ තොප්පියක්
දාල තියෙනව.
අපි විශ්‍රාම සාලාවට එනවත් එක්කම අපි එනකං
නැවතිල හිටිය අපේ නඩේ අනික් අයත් එක්ක බාප්පත් වැඳපුදාගෙන එන්න පිටත් වෙනව. අපි
කට්ටිය ආයිමත් සාලාවෙ ඉඳගෙන “චරෝ බරෝ“ කියල කයිවාරු කියවන අතරෙ බාප්පත් එක්ක ගිය
කට්ටියත් ආපහු එනව. එයිං පස්සෙ ඇරඹෙනව කෑම බෙදීමේ අවස්තාව.
කවුරු කවුරුත් තම තමංගෙ පිඟං අරගෙන කුස්සියට
යනව. එතැන එක් එක් සාස්පානට අධිගෘහිතව හැංදක් අතිං ගත්ත එක්කෙනා ගානෙ ඉන්නව. මුලිංම
කට්ටියම බත් සාස්පාන ගාව වටවෙලා පිඟං දික් කරනව. බෙලෙක් පිඟං, නිල්, රතු, කහ, කොළ
ආදී ඉටි පිඟං, කලාතුරකිං මල් වැලක් ඇඳපු හොඳ පිඟං ආදී පිඟං රැසක් සාස් පාන වටේට
බත් දෙනකං බලං ඉන්නව. බත් සාස්පානට අරක්ගත්තු එක්කෙනාව මට පේන්නෙ සංගීත කන්ඩායංවල
ඉන්න “ඩංසැට්“ කාරය වගේ. මැද මහ බෙරෙයක් වගේ සාස්පාන, ඒක වටේට පොඩි පොඩි ඩංසැට්
වගේ පිඟං ගොඩයි.
බත් බෙදන්නාට කලබලෙයක් නෑ. එයා සරම ටිකක්
කෙටියට ඇඳගෙන හබලක් වගේ ‘පත්තකිං‘ බත් සාස්පාන කාල්ගානව කැට පොඩිවෙන්න. ඉං පස්සෙ පත්තෙ අග ඇලිල තියෙන බත් ටික සාස්පානෙ ගැට්ටෙ
උලල සූරල සාස්පානටම දානව. අංතිමට පත්තෙං සාස්පානෙ ගැට්ටට “ටල්
ටල්“ ගාල දෙකක් ගහනව. ඒ කාල්ගෑම අවසං කරන්න. ඊළඟට ලොකු පොල්කටු හැංදක් අරං
ඒකෙං තමුං වටේට තියෙන පිඟං වලට බත් බෙදන්න පටං ගන්නව. බෙදද්දි හැන්දෙ අඩියෙ ඇලෙන
බත් ගුලි පත්තෙං හූරල පිඟානට දානව. ගෙදෙද්දිනං ඒකට කරන්නෙ හැංදෙ මිටේ මැද හරිය වං
අතේ අල්ලට වැදෙන විදිහට හැංදෙං අල්ලට ගහන එක.
“හා ඇති අයියෙ ඇති“
“ඔය වැඩී හැංදෙං කාලක් දැම්මනං
ඇති. අපෙ පොඩියෙකා වැඩිය කංනෑ“
පිඟානට බත් බෙදනකොට පිඟාන අල්ලං ඉන්න අත
අයිති එක්කෙනා එහෙම කියනව. මාත් ඒ අතරෙ මගෙ බෙලෙක් පිඟාන අල්ලං ඉන්නව. බත් හැඳි
දෙකක් පිඟාන පිරෙන්න වැටෙනකොට “ඇති“ කියල ඊළඟ සාස්පාන ගාවට යනව. එතනත් අර වගේම ඉඳල
බෙදෝගන්නව. මුලිංම අල කෑල්ලක් දානව. ඉං පස්සෙ හොදි දානව. සමහර අය “හොදි එපා“ කියනව. ඔය විදිහට තැං තුනකට ගියයිං පස්සෙ බෙදිල්ල
ඉවරයි. ගෙදර උයන බත වගේ නෙමෙයි මේ බත් කුට්ටි වසයෙං එකට ඇලිල තියෙන්නෙ. දවලුත් හරි
හමං කෑමක් නැති හිංද කවුරුවත් නැති ටිකක් දුරිං තැනක බිමිං ඉඳගෙන මං කන්න පටං
ගන්නව. ගෙදෙද්දි කන තරං රහට නැති උනත් කාගෙංවත් හිරිහැරයක් නැති හිංද බඩ පිරෙන්න කැවෙනව. අනික් අයත් තැං තැංවල ඉඳං
කනව. සමහරු ගිහිං ආපහු බෙදාගෙන එනව. අපිට බෙදාදීපු අයත් කුස්සියෙම ඉඳං කනව.
කෑමෙං පස්සෙ වැසිකිලි, වතුර ටැප් ගාව ආයිත්
පෝලිමක් හැදෙනව. ආයිමත් ගමනක් යන්න වගේ
කට්ටියම මූනු හෝදනව, දත් මදිනව, වැසිකිලි යනව එක විකාරෙයයි. මම නං කරන්නෙ රෑට කෑමෙං
පස්සෙ වැටිච්චි තැනක බුදියන එකයි.
පුංචම්මලගෙ ගෙදර හැමෝමනං කෑමෙං පස්සෙ තුං
වේලටම දත් මදිනව. අයියයි අක්කයි ගෙදෙද්දි රෑට නිදාගන්න කලිං දත් මැදල මූණ හෝදල
ආයිත් පංසිල් අරං ඇඳට නගිනව. ඉං පස්සෙ ඇඳ උඩ දණගහගෙන නළල කොට්ටෙට තියාගෙන පස්සවල්
උඩ තියාගෙන ඇඳේ ඔලුව තියන පැත්තෙ උස ලැල්ලට වැඳගෙන දෙන්නම එකවර අම්මට වඳින ගාතාව
කියනව.
“දසමාසේ
උරේකත්තා...................
............................................
මාතු පාදං නමා මහං.... අම්මෙ සාදූ“
එතකොට රෑට කාල ඉවරවෙලා සාලෙ පුටුවක ඉඳගෙන
මොකක්හරි මහන ගමං නැත්තං ‘සිරිකත‘ පත්තරේ කියෝන ගමං ඉන්න පුංචම්මත්.
“හොඳායි... මගේ චූචි මාච්චෙයච
බුජු ශලඥයි“ කියල එයාලට ඇහෙන්න කියනව.
ඒත් එක්කම ආයිමත් අයියයි අක්කයි කියනව
“උද්දිකාරෝ අලිං ගිත්තා
තුම්බිත්තා පිය පුත්තකං.........................
...............................................
පීතු පාදං නමා මහං... තාත්ති සාදු
“හොඳයි... තෙරුවං සර්ණයි
දෙන්නටම...“
සාලෙ පුටුවක් උඩට වෙලා ටීවියෙකේ දේසපාලන
සාකච්ඡාවක් හරි, චිත්තර පටියක් හරි බලන ගමං නිදි කිරාවැටෙමිං ඉන්න බාප්පත්
ආසිර්වාද කරනව. එතකොටම අක්කයි අයියයි උඩ තියං ඉන්න පස්සවල් පැත්තකට වැටෙන පරිදි එක
පැත්තකට පෙරලිලා නිදා ගන්නව.
අංතිමේදි කීප දෙනෙක් ඇරෙන්න හැමෝම සාලාවට
ගාල්වෙනව. කීප දෙනෙක් ඇරෙන්නෙ උදේට කෑම
උයන වැඩ ටිකෙං කොටසක් කලිං කරන්න ඕන නිසයි. ඒ අය රෑ ඉතුරු කෑම එක්කොම බල්ලංට දාල,
බාජන හෝදල පහුවදා උදේ, දවල් කෑමට වැංජංවලට අඩු පාඩු හදනව. බෝංචි කැඩීම, පොල් ගෑම,
හාල්වල වී ඇහිලීම වගේ කටයුතු ඉවර කරලයි ඒ අය නිදාගන්නෙ. එතකොට පහුවදාට උයන අයට
ලේසියි.
මමත් මගෙ බෑක්කෙක තියල තිවුන ආච්චම්මගෙ
ඉටිකොලේ ගාවිංම මගෙ ඉටිකොලෙත් එලාගන්නව. ගෙදර මේසෙට පෝර කවර තුනක් දාල මේසෙට එළල
තිවුන ඉටි රෙද්ද තමයි මං අරං ඇවිත් තියෙන්නෙ. ආයිත් ගෙදර ගියහම මේක මේසෙට එළන්න
පුළුවං. එදා රෑට අයියයි අක්කයි පුංචම්මට වැඳල, බාප්පව හොයං යනව එයාටත් වඳින්න.
“අනෙ හරි හොඳ ලමයි දෙන්න“
“හ.... ඒක තමයි අපෙ ලමයිංට නං
කියලවත් වංදගන්න බෑ“
“අපෙ එක්කෙනානං ඉස්කෝලෙ යද්දි
සමහර දවස්වල්ට වඳිනව. මේ දරුවො දෙන්න
වගේනං නෑ“
“දැං දාම්පාසල් යවලත් ඒව
කියාදෙන්නෑ වගේ නේද...?“
ඒ දිහා බලං ඉන්න ගෑනු අය කීපදෙනෙක් කතා
වෙනව. අපෙ ආච්චම්මගෙත් කට ඇරෙන්න ඒක හොඳටම ඇති. සිය කුසෙං වදාපු ළමයි දෙන්න ගැන
කියනව වගේ ආච්චම්මත් ඇලවෙලා ඉන්න ඉටි රෙද්දෙං ඔලුව ටිකක් උස්සල ඒ දෙන්නගෙ වර්ණනාව
පටං ගන්නව.
“එහෙම තමා. ඔය ලමයි දෙන්න ගුණ
යහපත් කමට හැදිල තියෙන්නෙ. අපෙ ගෙදෙර ආවහං
මං ඔය දෙන්නටම එව්ව කියාදීල තියෙන්නෙ. පුංචි කාලෙ ඉඳං කියාදීල තමා ඔය තත්තෙට
ගත්තෙ. නැහ්නං දැං කාලෙ මහ දෙන්නට වඳින එවුං හරි අඩුයි. මට නං අම්ම තාත්තට වඳිං
නැති එවුං කෝටියක් හම්බුකොළත් වැඩක් ඇතෑ“
බාප්පත්, පුංචම්මත් තමංගෙ ලමයි දෙන්නට පුංචි
කාලෙ ඉඳල උගන්නල තියෙන සියළුම හොඳ සිරිත් තමුංගෙ බූදලේට පවරා ගනිමිං ආච්චම්ම උඩ
යන්න පටං ගන්නව. ආච්චම්මටයි ආතටයි මේ
පුංචම්ම ඇරෙන්න ඒගොල්ලංගෙ අනික් ලමයි වඳින්නෙ අවුරුද්දට තෑගි දීල ඉතරයි. අපෙ
අම්මනං කවදාකත් ආතටයි ආච්චම්මටයි තෑග්ගක් දෙන්නැති හිංද ඒගොල්ලංට වඳින්නෑ.
“ඒකට මෙ මූ. මූනං බැරිවෙලාක්වත්
මහ එවුවො දෙන්නයෙං එක්කෙනෙට්ටවත් වඳින්නෑ. අපෙ මැණිකෙයි, පුතයි දෙන්නමත් මුට කියනව
වැඳහං වැඳහං කියල. මුගෙ ඇට්ටර කම කියන්නෙ එව්ව තඹ සතේකට මායිං කොරන්නෑනොවැ. මුට
පෙන්නන්න ඕනැ විහාරගෙවල් ඔල තියෙන අම්මට තාත්තට වැංද නැති එවුං අපායෙ ගිහිං තියෙන
පිංතූර“
ආච්චම්ම මා ගැනත් වචන කීපයක් ඉදිරිපත් කරනව.
හැමෝම මා දිහා බලල හිනා වෙනව.
“ඔයාටත් තියෙන්නෙ අම්මටයි
තාත්තටයි වඳිංනනෙ“
“ඒකනෙ ඔයාටත් අයියටයි, අක්කටයි
වගේ හොඳ වෙන්න පුළුවං එතකොට“
ඒ අය මට අවවාද කරනව. මං ඒ මොනවත් නෑහිච්ච
ගානට ‘ගල්බිල්ල‘ වගේ ඉන්නව. ඒ අතරෙ බාප්පට වඳින්න ගිය අයියයි අක්කයි එනව. ඒ දෙන්න
එන දිහාව හැමෝම බලනව උස්සවේකට පරක්කු වෙලා එන අමුත්තො දිහා බලනව වගේ.
“ම්චප් ආ.... ඔය එන්නෙ අපෙ ජුවයි
පුචයි. තාත්තට වැංදද දෙන්නම“
ඊළඟට මේ දෙන්න ලවා පිරිස ඉදිරියේ වංදගන්න
හිතාගන ආච්චම්ම අහනව. උංදැගෙ මූන උජාරුවෙං දිලිසෙනව.
“ඔව්වාච්චියෙ“
කියාගෙන ඒ දෙන්න පුංචම්ම නිදං ඉන්න ඉටි කොලේ
උඩට පැනල දෙන්නම එක බෙස්සීට් එකක් ඇතුලට රිංගගන්නව. ආච්චම්ම “තාත්තට වැංදද“ කියල
ඇහුවෙ තමන්ටත් වංදගන්න කියන එක ඒ දෙන්නට තේරුනේ නෑ. ‘ආච්චි
අම්ම‘ කියන්නෙ නැතුව ‘ආච්චියෙ‘ කිව්ව
එක ගැනත් උංදැට හිතට හරි නෑ. අපේ ගම් පලාතෙ ‘ආච්චි‘ කියන්නෙ
වතුවල ඉන්න දෙමළ ගෑනු අයට. අංතිමට ආච්චම්මගෙ බොරු වර්ණනාව අතේ පැලවෙද්දි උංදැ හීං
සීරුවෙ බෙස්සීට්ටෙක අස්සට රිංගගන්නව. අහල පහල බෙස්සීට් අස්සෙනුත් ‘කුටු කුටු‘ සහ ‘හිකි
හිකි‘ නාද කිපයක් ඇහෙනව. මං හිතන්නෙ අනික් අය ආච්චම්මට හිනාවෙනව වෙන්නැති.
එකපාරටම කකුල මිටියකිං තැලුව වගේ වෙලා මං උඩ
විසිවෙලා ඇහැරෙනව.
“අනේ මං දැක්කෙනෑ ඔයාගෙ කකුල.
අමාරුයිද?“
මගෙ කකුල පටලවං ගිය එක්කෙනා අහනව.
‘ඥැහ්“
මං කියනව.
ටික වෙලාවක් යනකං ඇඟිල්ල ඒ ගානටම රිදිල අඩුවෙලා යනව. ඉර එළිය වැටෙන්න කලිං
හැමෝම නැගිටල ආයිත් මූන හෝදනව, ළමයිංව ඇහැරෝනව, කිරි හදල දෙනව. එකම ගාලගෝටිටියයි.
මාත් නැකිටල වැනි වැනී ‘කුස්සියට‘ යනව. බාප්පත් තව කීප දෙනෙකුත් දුං දාන හැලි වලං
ටිකක් එක්ක කුස්සියට වෙලා උයනව. ටිකකිං දෙන්නෙක් එක්ක ලිපෙං බාපු තඩි බත්
සාස්පානක් එතැන බිම එළල තියෙන පැදුරට හලනව. ඉං පස්සෙ ඒකට පත්තකින් ඇනල කැට ලිහනව. පත්තෙං
ඇනල තුනී කරද්දි ඒ බත් ගොඩෙං දුං පිටවෙනව. හැකිතරං කුඩා වෙන්න පොඩි කරපු බත් ටික
නිවෙන්න ටිකක් වෙලා එහෙමම තියල නිවුනයිං පස්සෙ පිඟානකිං අරං වෙනිං සාස්පානකට දානව.
අන්තිම බත් ටික පැදුර දෙපැත්තෙං ගසල මැදට එකතු කරල සාස්පානටම හලනව. ඒක දවල්ට කන
බත් එක. ඒ අතරෙම ආයිමත් තව විසාල බත් සාස්පානක් ලිපෙං තියනව. ඒක උදේට. ඔය විදිහට
උදේ දවල් දෙවේලම වෙන වෙනම උයනව.
මාත් ළිප ගාවිං අඟුරු කෑල්ලක් අරං ඒක ටැප්පෙක ලඟ
සිමෙන්ති බැම්මෙ අතුල්ලල ඒකෙං එන කුඩු ටික ඇඟිල්ලට අරං දත් මදිනව. ඒක දැකපු නඩේ
එක්කෙනෙක්
“ආ දබ්බෙහෙත්තෙක. මේකෙං අරං
මැදගන්න“
කියල මට එයාගෙ දබ්බෙහෙත් එක දෙනව.
“බුලුතුවග් ගෙලාවෙ ලෑ“
ඇඟිල්ල කටේ තියෙද්දිම කියල මං එයාගෙ දත්
බෙහෙත් එකෙං වැඩක් ගන්න බැරි හේතුව කියනව.
අපේ ගෙදර කාටවත් දබ්බුරුසු නෑ. තාත්ත දත්
මදින්නෙ ඇඟිල්ලෙනුයි, බෝඹු කෝටුවලිනුයි. ඉඳල හිටල පොලෙං ගේන ‘දත්වල කහට අරින‘ දෙකයි
පනහෙ කුඩු ජාතියෙං දත්ටික මැදල සුදුපාට මතුකරගන්නව. අම්මත් දත් මදින්නෙ ඇඟිල්ලෙං.
මං දත් මදින්නෙත් ඇඟිල්ලෙං අඟුරු වලිං. මට දවසක් පංසලේ හාමුදුරුවංගෙං හරි වෙනිං
කාගෙංහරි දබ්බුරුසුවක් හම්බුවුනා. මං ඒකට ‘පැරකුට්බා‘
හරි ‘දන්තමුක්ත‘ හරි පැකැට්ටෙකක් ගෙනත්
ටික කාලෙයක් දත් මැද්ද. ටික දවසකිං අපෙ අම්මත් ගමනක් යනකොට ඒකෙං දත් මදින බව
දබ්බුරුසුවෙ කෙඳිවල රතු පාටිං තේරුන හිංද ආයිමත් මං ඇඟිල්ලටම මාරු උනා.
එක්කෙනෙක් කකුල හෝදනකොට තව එක්කෙනෙක් ඊට
උඩිං ජොග්ගුවක් ටැප්පෙකට අල්ලල වතුර ටිකක් ගන්නව. ඒ එක්කම තව එක්කෙනෙක් මැදල ඉවර
දබ්බුරුසුව වතුරට අල්ලනව. ටැප්පෙකෙං එන වතුරෙං දබ්බුරුසුවෙ පෙන ටිකත් හේදිල අනික්
කෙනාගෙ කකුලත් හෝදගෙන යනව. ඔය විදිහට හැමෝම හේදිල ඉවර වෙලා ඇඳුං අඳිනව. ඒ අතරෙ
උයපු අය දැලි දුං යන්න කියල නාගන්නව. තව කීප දෙනෙක් කෑම බීම බස්සෙකට පටෝනව. දවල්ට
කන්න උයාපුව තියෙන සාස්පාං ටික බස්සෙකේ පිට වම් පැත්තෙ බැටරි පෙට්ටිය ගාවිංම
විසේසයෙංම හදල තියෙන ලොකු කවුලුව ඇතුලට දානව. උදේ කෑම බස්සෙක ඇතුලෙ ඉඩ තියෙන
තැනකිං තියාගන්නව.
අංතිමට බඩු මුට්ටු, බෑග් ආදිය අරගෙන හැමෝම
බස්සෙකට නැගල තම තමං හිටපු සීට් වලිංම ඉඳගන්නව. මාත් මගෙ කෝටු දෙක සීට්ටෙක අස්සෙං
ඇදල ගන්නව. බාප්ප ආයිමත් ගිහිං අපි හිටපු සාලාව හෝදිසි කරනව අමතක වෙච්චි දේවල්
තියෙනවද බලන්න. ටිකකිං එයා සෙරෙප්පු
කුට්ටමක් උස්සං එනව.
“මේ දෙක කාගෙද?“
බාප්ප ඒකෙ අයිතිකාරය හොයාගන්න හැමෝටම ඇහෙන්න
අහනව.
“ආ... ජෝකපාල මහත්තෙය. ඒක මයෙ.
අමතක උනානෙ“
අයිතිකාරය කියනව.
“හෙහ් හෙහ්.... මං දැක්ක හිංද
හොඳා. ආ.. අරං තියාගන්න“
බාප්ප ආයිමත් ගිහිං අපි එතන නවාතැං ගත්තට
සල්ලි ගෙවල කොලේකුත් අරං එනව. ආයිත් පාරක් කාංඩෙ හරිද බලල හයියෙං සාදුකාරයක් දීල
ගමන පිටත් වෙනව.
“සාදු ... සාදු .. සා........දු“
//“හොඳයි... තෙරුවං සර්ණයි දෙන්නටම...“//
ReplyDeleteඋඹේ ලියැවිල්ලේ මං දකින විශේෂත්වය මේකයි.. ඒ තුළට බැහැලා ලියලා තියෙනවා.... මේවා අපි කියන විදිහට ම ලියලා තියෙන ඒකයි වැදගත්.... ඒකයි මේ ලියැවිල්ල මේ තරම් රස...
විස්සාසෙට ගන්න කුරුටූ මං හිතුවෙ මේ කොටහ කාටත් එපාම වෙයි කියලයි. මේක ලිව්වේ පැය තුනකිංනෙ.
Deleteතෝ නම් කොලුවො අර අහින්සකයො දෙන්න එක්ක තියෙන්නෙ එසේ මෙසේ වයිරයක් එහෙම නෙවෙයි...ජම්මාන්තර වයිරයක්..ජම්මාන්තර වයිරයක්....මම්මේ කිව්වෙ අර පුන්චම්මගෙ ජුවයි පුචයි ගැන.
ReplyDeleteඅම්මාපල්ල වෙලාවක යන්ට හිතෙනව බොලයි ගමේ ඒ මනුස්සයට මේ උඹ කොරන ආනාදි වැඩේ ගැන සහසුද්දෙම්ම කියාල දෙන්ට.තිරිවීල්ලෙකක් නේද එලෝනව කිව්වෙ? උඹ හොයාගෙන එයි ඔන්න තිරිවීල්ලෙකේම බදුල්ලට උල්පිහේකුත් ඉනේ ගහගෙන....හෙහ්,හෙහ්,
රවි අයියෙ මේ මනුස්සයව බය කරන්න එපා. මේ ඊයෙ පෙරේදත් බදුල්ලෙ මොකක්ද පිහි හරඹයක් ගියා නේද.
Deleteආ... ඔය ඇවිත් තියෙන්නෙ. හැබෑට රවි මහත්තෙයා තමුන්නැහැ අර පැංසොං පලච්චි අප්පච්චිව පට්ට ගහනව ඇරෙන්ට පහුගිය ටිකේ මේ පැත්තෙ පලාතෙ ආවෙනෑ නොවෙද? මං බලං හිටල අංතිමට හිතාගත්ත මුන්නැහැට තව ටික දොහකිං විද්‍යුත් තැපැල් ලිපියක්වත් අරිනව කියල.
Delete//උඹ හොයාගෙන එයි ඔන්න තිරිවීල්ලෙකේම බදුල්ලට උල්පිහේකුත් ඉනේ ගහගෙන//
අනෙ උංගෙ ඒම. විස්සාසෙට ගන්න මං කසාද බැඳල මේ බදුල්ලට ආවයිං පස්සෙ මා බලන්න කියල ආවෙ, මට අවුරුදු තුනක් තමුංගෙ ගෙදර තියං කන්න බොන්න දීල සලකාපු මගෙ අතිජාත මිත්‍රයා සහ මිනිහගෙ පවුලෙ අයත්, මගෙ පොටෝ යාලුවත්, අපි දෙන්නගෙ ගෙවල් දෙකේ මහ අයත් (අපෙ ගෙදර අයනං ආවෙ දෙගමනයි), චූටි මැනිකෙගෙ පුංචම්ම ඇතුළු ඒ පවුලෙ හතර දෙනත් විතරමයි. අනික් එවුං සේරම කිව්වෙ.
“සුවල්ප දුරක්ද ඉතිං ඈ.. ඔය දෙන්න මාරුවක් හදාගෙන ළඟකට ආපු කාලෙක අපිත් එන්නංකො“ කියලයි.
@ප්‍රසන්න
ඔය පිහි ඇනුම වෙලා විනාඩි දෙකක් යනකොට මං එතන. සීන් එකනං දැක්කෙ නෑ. වටවෙලා උන්නු සෙනගනං දැක්ක. සීන් එක දැකපු අපෙ ඔපිස්සෙකේ කාකාස උන්දැට රෑට නිංද ගියෙත් නැහ්ලු.
a bola suranchiyo tho unta apahasa karanne threweel abyasalaabi kiyala ethakota tho karanne anduwe maha disapathi kamada asamjjathiya ekada anadi ballo abyasalaabi duwa thawa tika dawasakin sanwardana niladari unama tho ita yatai neda bola
Deletemeeta
aachchamma
Bota be ape aachchammage shyliya anugamanaya karanna
Deleteමට හිතෙන්නෙ අර උයන සෙට් එකට වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ වගෙයි. ඔය උයල ඉවර උනාට පස්සෙ අර කළු බෑග් එකේ කලමනා එහෙමත් පාවිච්චි වෙනව ඇති මයෙ හිතේ.
ReplyDeleteපිඟානෙන් අනුං අතදාල කනවට වැඩිය දත් බුරුසුවෙන් වෙන කෙනෙක් මදිනව කියල දැනගත්තම බොලාට අජීරණයක් හැඳුනෙ නැති එක පුදුමයි.
එව්වනං මංද. ඉවිල්ල කියන්නෙ එවුං ඒ අතිං යෝදයො. අපෙ බාප්පත් ඔය හැම දේකටම ඔට්ටුවෙනවනෙ.
Deleteදත් බුරුසුව එක දවසිංම අතෑරුනෙ ඒකනෙ බොලේ.
ශ්‍රංගයෝ උඹලගේ ආච්චිඅම්මගෙ කලවයස හරිනං අපේ ඉවානයට බන්දල දෙමුකො බං... යන සම්පූර්ණ වියදම මං ගෙවනවා හිඟාකාල හරි. ඕ යේස් !!!
ReplyDeleteදත් ගැන කියවනකොට මට ඒ මහත්තයව මතක්වුනා PM.
Delete@ ප.ම.
Deleteහිඟාකෑම නරක නෑ. ඕං චීනෙනුත් ඇහිල්ල හිඟාකාල තිවුනෙ කොටුවෙ.
මොන මහත්තැංද ?
අඩෝ වල්පත්ත්රයා .. ආච්චිගේ කලවයස හරි වුනාට මම තාම හිච්චි එකා බං, කටේ කිරිසුවඳ නොගිය , අම්මප ..
Deleteප්‍රාජේ ... සිනා බෝවේවා .. හැක
Ado iwânayo, tho muge âchchiwa bendagena apê gam palâthata enna hithannawath epâ...
DeleteMama âye gamê pas pâganne naha tho ehe âwoth ehema
Mona nawa ningirâwakda apê gam palâthata wenna yanne... 😠
ඔන්න ඉතිං ආච්චියි ඉවානයයි බැඳල හනිමූං කාරිය ගිහිල්ල එලිවෙන්න කිට්ටුව ඉවරවෙලා ඉවානය අහනවලු මෙහෙම....
Delete" ආච්චියෙ මහන්සිත් ඇතිනෙ … බොමුද සීතල වතුර විදුරුවක් "
අනේද කියන්නෙ. වයසට ගීං ඔන්න මලා මෙන්න මලා ඉන්න උන්දැලට කියන කතා.
Deleteදන්තමුක්ත - කියන්නෙ දත් ගැලවිල වැටෙන (දන්ත + මුක්ත) එකට නේද ?
ReplyDeleteදන්තමුක්ත කියල ඉස්සර දත්බෙහෙත් කුඩු ජාතියක් තිවුන. මට මතක හැටියට ඔය තිඹිරිගස්යාය නැත්තං කිරිබත්ගොඩ දිහාවෙ හැදුවෙ. බුලත්විට කහට එහෙම යනව ඒකට. ආයි වැලි කඩදාසියෙං ඇල්ලුව වගෙ.
Deleteරහායි....... වැරදිිම වැරදි ආදර්ශයක් නෙව අක්කයි අයියයි දීල තියෙන්නෙ. නිදාගන්න ගිහින් කොට්ටෙ නළල තියන් ඇඳ විට්ටමට වඳින එක.උන්ට මක් වෙනවද අම්මා තාත්තා ලඟට ගිහින් ගාථා කියලා වැඳලා ඇවිත් නිදාගත්තම. අලේ... නසරානි ආච්චිම්මගෙ මුණුබුරු පිණිබිරියො වෙව්වි කොට......හැබැයි හොඳ වැඩේ එදා ආච්චම්මට උන් දෙන්නා වැන්දෙ නැති එක.
ReplyDeleteඋං දෙන්න කරන කෝලං වෙනමම ලියන්නං. නැත්තං ඉඩ මදි.
Deleteමේක කියවද්දි ආපහු සැරයක් ගමේ උන් සෙට් එකක් එක්ක බස් එකක් පුරවලා වන්දනාවෙ යන්න හිතෙනවා බං. අවුරුදු පහකට විතර උඩදි යාපනේ ගියාට පස්සෙ යන්න බැරි උනා ඒ වගේ. උඹ ආපහු ඒ ආසාව වැඩි කලා මේක ලියලා.....
ReplyDeleteආයිනං ඒවගෙ ගමං යන්න එපා. යන්නම එපා. දැං කාලෙ එපාම කරපු වැඩක්. අතේ තියෙන සේසතම ඉවර වෙන වැඩක්. අනික දැං ඒවගෙ ආතල් එවුං නෑ, එක්කොම පෝන් ඔබන එවුනුයි, සෙල්පි ගහන එවුනුයි විතරයි.
Deleteඅපෙ ඉන්නවා බං හැට පැනපු ඉලන්දාරි ටිකක්. උන් ටික දැන් ඉන්න ඉලන්දාරින්ට වැඩිය හොඳයි. දැන් ඉන්න උන් ෆෝන් ඔබ ඔබ ඉද්දි අරුන් ටික බස් එක දෙක වෙන්න සින්දු කිය කිය නටනවා. නැන්දලා සෙට් එකත් එහෙමයි.
Deleteසෝවියට් ප්‍රකාශනයක් වන "මගේ හපන්කම් " ( ලිව්වෙ සෝවියට් මධ්‍යම ආසියානු මුස්ලිම් ලේඛකයෙක් - නම මතක නෑ ) මේකට සමානයි කියල කවුද කමෙන්ට්කරල තිබුන ඉස්සර. ඒක ඇත්ත. මට කියවන හැමදාම මතක්වෙනව.
ReplyDeleteඒ වගේම "රොමාගෙ වාසනාව" ත් මතක් වෙනව.
මේ වගේ තිත්ත අර්ථයක් යටින් ගලායන කොමිකල් ලිවීමේ කලාවක් තියනව. බ්ලැක් කොමෙඩි හෝ ට්‍රැජි-කොමෙඩිමත් නෙමෙයි. තිත්ත ගතියත් කොමෙඩි ගතියත් එන්නේ ඊට වඩා සියුම්ව subtly, මට ඒක නම් කරන්න හෝ විස්තර කරන්න තරම් සාහිත්‍ය දැනුමක් නෑ. (රවි, තිස්ස, චෙෆ්-ආර්කි, ඉවාන්, බස්සි සහ තවත් ඒවගේ සාහිත්‍ය හැකියාවන් ඇති අයට පුලුවන් වෙයි විස්තර කරන්න) හැබැයි ඒ වර්ගයේ මං කියවල තියන හොඳම ලිවීම මේක කියල කියන්න පුලුවන්.
මේවගේම නොවුනත් අපි හැමෝගෙම ලමාකාලය ගැන තියන ට්‍රැජික් හා කොමික් මතකයනුත් ඇවදිකරනව.
ප්‍රා,
Delete/ සෝවියට් ප්‍රකාශනයක් වන "මගේ හපන්කම් " ( ලිව්වෙ සෝවියට් මධ්‍යම ආසියානු මුස්ලිම් ලේඛකයෙක් - නම මතක නෑ ) /
ගෆූර් ගුල්යාම් ප්‍රා ගෆූර් ගුල්යාම්....හෙහ්,හෙහ්,...මගෙ අතිජාත මිත්ත්‍රයෙක්....:)
මම එක පාරක් මාකේස් වල කජ්ජ ගහපු වෙලාවෙ උන්දැ ගැන සමරු සටහනක් ලියද්දි ගුල්යාම් ගැනත් සුට්ටි පඳුරක් තැලුව. ඒ ගමන පැතුම් මලය කිව්ව ගපූර් ගුල්යාම්ගෙ පොත් කියවපු කෙනෙක් ඔය හම්බුනාමයි කියල. ගපූර් ඇවිල්ල හිට උස්බෙකිස්ථාන්. තෂ්කෙන්ට් නගරෙ මනුස්සය වෙනුවෙන් කෞතුකාගාරයක් සහ උද්‍යානයකුත් තියනව.
@රවි, ඒ පොතේ sequel එකක් තියනවද?
Deleteප්‍රා,
Deleteමම ගුල්යාම්ගෙ පරිවර්තන දෙකක් කියෙව්ව මතකයක් තියනව. හැබැයි ඒ ගුල්යාම්ගෙ එකම පොතේ පරිවර්තන දෙකක්ද කියලනම් මතක නැත.
@Pra Jay
Deleteඅඩෙ මං ඒ තරං කෘත හස්ත ලේඛඛයෙඛ්ධ?
උජාරුයි. ආඩංබරයි. පංකාදුයි. සංතෝසයි.
මට මතක් වෙන්නෙ පිස්සු පූස කාටුන් එකේ පිස්සු පූස ඉබ්බංට පිංසල් හයිකරල උංව කැන්වස් උඩ දුවවල ඇඳෙන බලි රූප හෙන ගනංවලට වෙන්දේසියෙ විකුණනව.
ඔය ‘මගෙ හපංකම්‘ එකේ නේද මිනිහ ගෙදරිං පැනල ගිහිං විකාර නටන්නෙ. එක තැනක මිනිහයි හොර පූජකයෙකුයි එහෙම මිනියක් එම්බාං කරන්න ගිහිං මැරුං නොකා බේරෙන්නෙ.
ප්‍රාජේ කීවට පස්සේ තමයි මටත් මතක් වුනේ රොමාගේ වාසනාව , ඉතාම විචක්ෂණශීලීව සහ සූක්ෂමව ගලායන වෙනත් අර්ථයක් යටින් දිවෙන කතාන්තර දකින්ට ලැබෙනවා, නමුත් tragedy(ශෝඛාන්තයක්) යක්ම නොවී සුඛාන්තයක් වෙන්නත් පුළුවන් , රොමාගේ වාසනාවේ වගේම .
Deleteආයේ මතක් වුනේ මේ වගේම හාස්‍යය මතුවෙමින් ශෝකාකුල කතාවක් ගලා යන චිත්‍රපටියක් තමයි "සැමීගේ කතාව" , කතාවේ ආකෘතිය මේ රටාවට සමාන නිසා මෙතන සඳහන කලත් , සිනමානුරුපී ඇසකින් බලද්දිනම් සාර්ථක චිත්‍රපටියක් නොවෙයි කියලා තමයි කියන්න වෙන්නේ
DeleteYes it was me! we have a big circle of friends who read enjoyed and lived through the experience of Gafur Gulom's novel.
DeleteKoluwa
මුල ඉදල ලිපි කීපයක් කියවගෙන ආව.තව තියනවා.මමත අලුත් බිලොග් එකක් පටන් ගත්තා.දනට මෙි ලිපි කීපය පල කරලා තියනවා.ඇවිත් බලන්න
ReplyDelete#පලමු_සටහන
#ඔබත්_ලිංගිකත්වය_සමිබන්ධ_මානසි_ගැටලුවලින්_පෙලෙනවද
මමත් ගිහිං ආවා
Deleteදැන් මමත් මේ කතාව ඇතුලේ ජීවත් වෙනව වගේ දැනෙනවා. මේකා හේතුව සමහර අත්දැකීම් කියවන අපිටත් පොදුවීමද කියලත් හිතෙනවා. දැන් අර ටැප් එකෙන් කකුල හෝදන කොට ඊට උඩින් තව මොනවා හරි හෝදන්න අල්ලන එක මමත් අත්දැකලා තියෙනවා.
ReplyDeleteඅනිකා ගැන නොහිතා උඩිිං අල්ලල පුරවා ගැනීම අපේ සිරිතනෙ.
Deleteඑකඟයි. වෙනද වගේම මරු
Deleteසෙල්ලං බඩු, තොප්පි, තොරොම්බල් ගත්තු අය එව්වයෙ හැඩ බල බල එද්දි, සෙල්ලං බඩු ගොඩක් හිතේ පුරවගත්තු මාත් ඒ පස්සෙන් ඇදිල එනව.
ReplyDeleteදුක හිතුනා ශ්‍රන්ගයෝ .
“ම්චප් ආ.... ඔය එන්නෙ අපෙ ජුවයි පුචයි. තාත්තට වැංදද දෙන්නම“
අත්තම්මා දත මැදගන ඉන්ට ඇති නේ පොඩි දෙන්න වැඳලා යනකල්.
එහෙනං එහෙනං. ඔය නාකි උංදලට හරි අගෙයි කාටහරි කියල වංදගැනිල්ල.
DeleteAde athal 60k shrangayo. Matath tip ekak yanta hithuna hitan. Mageth palaweni catch eka badulle spring valley hitan. Kella lassanai ratak watiy. Koheda man pin korala ne hitan ube liwilla choz choz choz baraaaz baraaaZ.. Pasta athal 80k. Puka pelenta rooos paaaan..
ReplyDeleteස්ප්‍රිංවැලි, බුලත්වත්ත කියන අහ වෙන්ටැ. අනේ කීවං මොකද මං මෙහෙ වැඩිය ගංබිං ගැන දන්නෑ.
Deleteඅතෑරිච්ච එක අතෑරිච්චාවයි බං. දැං වයස තිස් පහක් වෙච්චි පරණ කෑලි මොටදෑ?
බුලත්වත්ත අයිති වෙන්නේ කඳනට..
DeleteAdo mata mathak une "Mal Gudi Dawasa" ban.. Appata bola. Athal 60k
ReplyDeleteමල්ගුඩි දවස් නං කියවන්න බැරිඋනා. ස්වාමි සහ යාලුවෝ නං කියෙව්ව. නාරායන් මහත්තැංගෙ පොත් නෙ.
Deleteඅඩෝ ශ්‍රංග තෝ හොර ගෙඩිය... අද ආරුලු බුරුලු නෙල්ලි මල් ලියකං උරුට්‍ටු දංවැල් මුකුත්නෑ.....උඹේ ලියවිල්ල ඉතිං කොහොමත් සුපිරි නෙව... ඒත් උඹේ අර කැටයං දැමිලි තමයි උත්කුරුස්ට...... එව්වනැති උනාම නිකං මෙවුව නැති මෙවුව එක වගේ...
ReplyDeleteඅර මොකද්ද මිරිකන්නැතුව මොකද්ද ගැහුව වගේ කියල ලියා තිවුනෙ
Deleteමට නම් ඔහොම ඉව්වම කන්න බැහැ. මොකක් හරි ශේප් එකක් දාගෙන ඉන්නවා මිසක්.
ReplyDeleteටැප් පාවිච්චි කරද්දී උඩින් අල්ලන එක නම් මට පේන්න බැරි වැඩක්. යකා වැහෙනවා එතකොට නම්.
මේ 'ටිප්' එක දැන් දවස් කීයද බොලේ?
මේ... මට දැන් පට්ට අවුල් වගේ. අපිත් රෑට නිදියන්න කලින් අම්මටයි, අප්පච්චිටයි ගථා කියල වැඳලා නිදාගත්තේ. ( දැන් නම් නැහැ ) ඒක කොමිටල් වගේ වෙන්නේ මම හිතන්නේ උලෙයි පිලෙයි, තැනයි නොතැනයි බලන්නේ නැතුව කරන එක මිසක්, වැඩේ අවුලක් කියල මට හිතෙන්නේ නැහැ.
ඔය කෙනෙක් කරපු හොඳක් දැක්කහම, අහල පහල ඉන්නවා නම් '... ඒකට මේකා....' කියල දොස් අහන්න වෙන එක නම් මගෙත් පොතේ තියෙනවා. අපේ අත්තම්ම නම් ඔතරම්ම අවුල් නැහැ. ( ඒ උනාට අවුල් ඈ .. හි හි) එයාට හැමෝම වගේ ගරු කළා. මට ඇරෙන්න වෙන කාටවත් සැර කරනවා දැකලා තිබ්බේ නැහැ. මගෙත් තිබ්බ නස්පුක් ගතියට ( අනාදිකොම?) උන්දැ කියන දේවල් වැඩිය කනකට ගත්තේ නැහැ ඒ දවස් වලම.
දැන් ඉතින් මට අපේ අත්තම්ම ගැන ලියන්න හිතිලා තියෙන්නේ.... අනේ මන්ද රට යන අතද මන්ද
ආනාදිකම=උඩඟකම
Deleteඔය එකෙල මෙකෙල වෙවී ඉන්නකං මේි සතියට මොකක්හරි එකක් ලියා දාන්ට බලන්නැද්ද? මගුලෙ යාම 3 = හනිමූන් කියල ලියමු බලන්න.
Deleteමේ 'ටිප්' එක දැන් දවස් කීයද බොලේ? පිස්සු නම් කෙලින්න එපා බන් උපේක්ශො අපිනම් මාර කෑමතියි ටිප් එකේ දවස් ගාන වෑඩිවෙන තරමට.
surangamlr: ආන්න හරි එහෙනම් ඒක තමයි වචනේ... අනාදිකොම තමයි මටත් තිබ්බේ. කවුරුහරි අණක් විදියට කියන දෙයක්නම් කරන්නම හිතෙන්නේ නැහැ මට. අපේ අත්තම්ම කොහොමත් අණදෙන නිලධාරියා තමයි. බඩුවක් මුට්ටුවක් උනත් එහාට මෙහාට කරවන්නේ අන දීල. මට නේද ඇඟේ මාළු ගඟේ නටනවා... ඉතින් බැනුම් අහනවා ඒකට !
Deleteමගුලේ යාම 3 නම් ලිව්වැකි, ඒ උනාට අර කියාපු එක ලියන්න නම් හැටියක් නැහැ.
Lalith:
නෑ මම්මේ නිකමට වගේ ඇහුවේ. එක දවසකට ඔයාකාර දේවල් සිද්ද වෙනවා නම්, මුගේ වන්දනාව කියන්නේ අපේ ජීවිතෙන් බාගයක් ගතවෙන වැඩක් නොවැ. මම හිතන්නේ ඔය ආච්චම්ම අපේ අත්තම්ම මට මතක් කරවන හින්ද වෙන්න ඇති මට නිකන් අවුල් වගේ දැනෙන්නේ. කැසිල්ල වැඩි වෙනවා එතකොට එයා ගැන ලියන්න. බෝවෙන රෝගයක්ද මන්ද..
@ උපේක්ශා
Deleteඔන්න ඔහේ ලියල දාමු බං, මොකෝ ආච්චම්මා ඕවා කියවන එකක් යෑ.. අපි වගේ ප්‍රේක්ශකයො සුරංගගේ ආච්චම්ම ඉස්ටාර් කෙනෙක් කලා වගේ බොලාගෙ ආච්චම්මත් ඉස්ටාර් කෙනෙක් උනාම බොලාට නේද ආඩම්බර. ( මට බොලාගෙ නම ලියන්න ප යනු ස යන්න ලියන්න දන්නෙ නෑ.. මේ මගුලේ ඒ ලෙටර් එක නෑද්ද කොහෙද. ඒ නිසයි ශා යන්න ලියන්නෙ. සොරි වෙන්න ඔනේ ඈ..
අපි තාම කතරගමද? අතරමගද? :P
ReplyDeleteමහමග. මහමග
Deleteමේ ලිවිල්ල පණ පිහිටවල ලියන්න උඹට තියෙන හැකියාව අපුරුයි ශ්‍රංග.
ReplyDeleteලොකු කමෙන්ට් එකක් නොදැම්මට ලිපිය ගැන උපරිම මනාපයක් හිතේ තියෙනවා.
කොමෙන්ටුවක දිග පලල නෙවෙයි වටිනාකම. අදහසයි.
Deleteයං යං.....යාං හැල්ල කවදත් වගේ අදත් සුපිරි
ReplyDeleteඅහන්න සංතෝසායි.
Deleteඈ බං අසංක, එතකොට අර ආච්චම්මට මළ පන්නපු තට්ටම් නටවපු ඉසකුඩිච්චි දෙක එහෙම ඈඩ් දුන්නෑද්ද ඔය අතරෙ.
ReplyDeleteඅම්ප මට උංව අමමතක වෙලා ගියා. අමමතකවෙලා ගියා.
ReplyDeleteබොලගේ අච්චම්මා නිසා අනෙක් උන්ට පාළුවක් දැනුනේ නැතිද ?නැතිනම් උන්ට අච්චම්මා හිස කුඩිච්චියක් උනාද දන්නේ නැහැ නේ.
ReplyDeleteහීං සීරුවේ ගමන යං එහෙනං,
ReplyDelete//කියාගෙන ඒ දෙන්න පුංචම්ම නිදං ඉන්න ඉටි කොලේ උඩට පැනල දෙන්නම එක බෙස්සීට් එකක් ඇතුලට රිංගගන්නව. ආච්චම්ම “තාත්තට වැංදද“ කියල ඇහුවෙ තමන්ටත් වංදගන්න කියන එක ඒ දෙන්නට තේරුනේ නෑ.// අනේ බන් මගේ දරුවෝ මට වඳින්නෙත් නැහැ. මන් උන්ට කියන්නෙත් නැහැ. මන් කැමති නැහැ ඒකට. හැබැයි අපේ අම්මට ඒ කියන්නේ උන්ගේ කිරි අම්මට දන ගහල වඳින්න කියල තියෙන්නේ ලංකාවට ගිය වෙලාවට. උන් ඒක නම් කරනවා. නැත්නම් අම්මගේ හිත හරි නැති නිසා. හැබැයි ලංකාවේ පොඩි එවුන් ඔක්කොම මගේ ඉස්සරහට තල්ලු කරනවා මාමට වැඳපන් කියල. උන් දන ගහල වඳිනවා මට නම් හරිම අපහසුයි. මම අකමැති චාරිත්‍රයක්. මම වඳින්න කියල තියෙන්නේ හාමුදුරුවරුන්ට සහ බුදු හාමුදුරුවන් ගේ පිළිමෙට විතරයි. කතාව එළ තම නැවතත්. විවාදයක් නැහැ.
ReplyDeletehttp://nelumyaya.com/?p=3925
ReplyDeleteela. .....
ReplyDelete