Follow by Email

Wednesday, August 17, 2016

රට යෑම හෙවත් The country going

“ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය“ කියා කවුදෝ කියා ඇත. ඉන්දියන් සාගරයේ ප්‍රමාණයත් මුතු ඇටයක ප්‍රමාණයත් සැසඳු කල අපේ රටට ඒ කියමනෙන් දී ඇති සොච්චම් තත්වය බලා හරිනං ඒ කියමන කියූ කෙනාට විරුද්ධව නඩු දාන්ට ඕනෑය. එහෙව් නොයෙක් ආකාරයෙන් නම්බු නාම දෙමින් පවත්වාගෙන යන මේ රට අස්සේ කෝටි ගණනක් ඉපදී මැරී යන්නේය. ඒ අතරින් කීප දෙනෙක් පමණක් ‘කරිජ්ජ වලල්ලෙං‘ එලියට යන්නේය.


මං පුංචිම කාලේ හිතාගෙන හිටි හැටියට ‘අපේ රට‘ මුහුදේ එක ඉවුරක තියෙන අතර මුහුදෙං එගොඩහ ගොඩේ තියෙන්නේ ‘පිටරට‘ය. ඒ රටේ ඉන්නේ සුද්දෝය. අපේ ගමේ තියෙන ගඟට වඩා මුහුද ‘හුඟාරියක්‘ විසාල හිංදා පිටරට ඉන්න සුද්දෝ ලංකාවට එන්නේ ‘නැවේ‘ නැත්තං ‘ආස්යාන්තරාවේ‘ය. මේ භූගෝල විද්‍යා දැනුම ලබාගැනීමටත් මට සෑහෙන වතාවක් පවුලේ අයගෙන් ලද “පන්ඩිතකං කියොවන්නැතුව වහක්කට“ යනාදී දිරිගැන්වීම් මහෝපකාරී විය.


පස්සෙං පහු කාලෙක රට යාම ගැන මං දැනගත්තේ ‘රේඩිවේකෙන්‘ ය.


“ඩුබායි යබුඩාබි සවුදියාරාබි දෝහාකටාර් ලෙබනන් මැදපෙරදිග යන රටවල්වලට විදේස රැකියා ඇබෑර්තු රැසක්. වහාම පැමිනෙන්න. දනාමෑන්පවර් විදේස රැකියායතනය අංක..................“


ඔන්න ඔහොම ඉරිදා දවල්ට රේඩිවේකේ යන දැන්නීමක් මට හොඳට මතකයි. ඒ කියන වෙලඳ දැන්වීම ඇහෙන කාලෙ වෙනකොටම අපේ ගමෙත් එක කාන්තාවක් කොහොමටවත් දකින්න නැතුව අතුරුදහන් වුනා. අපේ ආච්චම්මගෙ තීක්‍ෂණ නුවනට මේ අඩුව අහුවෙන්න වැඩි දවසක් ගියේ නෑ.


“කෝ මේ බුලත්හප උන්දැගෙ ලොකු එකී කාලෙකිං දැක්කෙ නෑනෙ. ආයි පාරක් මිනිහෙක් එක්ක පැල්ල ගිහිල්ලවත්ද“


“මොනප් පිස්සුද නැංදම්මෙ.... දැං සුමාන දෙකක් වෙනව රට ගිහිල්ලා.“


“අනෙප් පලෙයං පොඩිමැණිකෙ කෙබර කියොවන්නැතුව. ඒකිට පුලුවං රටයෑම. උංට කොයිංද ඒ තරං සල්ලියක්“



“ඒකනං මංද. බුලත්හප ගෑනි දැං කුලියට යන්නෙත් නෑ. කෙල්ල රට ඉඳං සල්ලි එවනව කියන්නෙ“


ඒ කතාව ඇත්තක්ම බවට තහවුරු වෙමින් බොහොම ටික දවසකින් ඒ ගෙදර අය බොහොම ලකේට ජීවත් වෙන්න පටංගත්තා. කඩෙන් නයට බඩු ගැනීම වෙනුවට හාල් මිටි ගනං ටවුමෙං ගෙනාවා. පුංචම්මගෙ කඩේ තියෙන සැමැන් ටිං, බීම බෝතල් සේරම වගේ ඒ ගෙදර අය සැරිං සැරේ අරං ගියා. රුපියල් දහය පහලොව වගේ නයට දීපු 'සුළු සුළු ගනං' ආපහු ගත්තෙ නෑ. කල දුටු වලවල් ඉසින්නෝ බාල්දි, පනිට්ටු, පොල්කටු, ටොනික් පියං ආදියද රැගෙන ඇවිත් වල ඉසින්න පටං ගත්තා. ඒ ගෙදර ළමයිනුත් වයිවාරන බඩුමුට්ටු ඉස්කෝලෙ ගෙනාවා. සුවඳ ගහන මකන, වතුර පුරෝපු අඩිරූල්, අකුරු අඳින අච්චු, සුවඳ පැන්සල්, පැණි රහ කෑම සුවඳක් එන මකන කෑලි, කටර්, පාට පාට පෑන්, පාට ජාති බරගානක් තියෙන පාට පෙට්ටි, ඒ අරුමෝසම් සේරම දාන්න පුලුවන් කවකටු පෙට්ටි (මේ කවකටු පෙට්ටියෙ පියන වැහෙන්නෙ කාන්දමකිං. ඒ අතරෙ එක එක සුයිච් ඔබලා කටර් එක, මකන කෑල්ල එහෙම එලියට ගන්නත් පුලුවං), තට්ටු දෙකේ බත් පෙට්ටි, සුයිච්චෙකෙං අරින වතුර බෝතල් එයිං සමහරක්. හාමුදුරුගොල්ලං ගැන කියද්දි 'අතිපූජ්‍ය' කියලා කොටසක් මුලට එක්කහු කරන්නා වගේ මේ සුකුරුත්තං ගැන කියද්දි මුලට 'රට' කියලා කොටසක් එක්කහු කරන්න ඕනෑ. එතකොට 'රට පැන්සල', 'රට මකනෙ' ආදී විදිහටයි කියවෙන්නේ.


ළමයින්ට දෙවෙනි නෑ ගෙදර අයත්. කවුරුවත් රස්සාවල් වලට ගියේ නෑ. කරපු රස්සාවල් නැවැත්තුවා. කලිං කාගෙ ගාව හරි වැඩ කලා නං "ඕකුංගෙ වාල් වැඩට ආයියන්නෑ" කියලා ඒ අයටත් ලොකුකං කියෝලා තරහ වුනා. රට ඉන්න කෙනා එවන සල්ලිවලිංම ජීවත් වුනා. ඒ ගොල්ලන්ගෙ නෑදෑයො වෙන දුප්පත් පවුලකුත් ඇවිත් ඒ ගෙදර පදිංචි වුනා. ගෙදර අයත් ඒ ගොල්ලන්ට කන්න බොන්න ටික දීලා වැඩකාරකමට තියා ගත්තා. හැමෝම ඇන්දෙ අලුත් ඇඳුං. ගෑනු අය දිලිසෙන 'ඇස් කඩාගෙන යන තරං දිස්නෙ පාටවල් තියෙන, ලොකු ලොකු පාට බෝල ඇඳපු' සිලික් ඇඳුං ඇන්දා. ඒ අය මාස දෙක තුනකට සැරයක්වත් "රටිං බඩු පෙට්ටියක් එවලා තිවුනා" කියලා කොහෙදෝ මන්දා ගිහිං විසාල පෙට්ටියක් අරං එනවා. ඒ ගමන ආයිත් අරුමෝසං ඇඳුං, බඩු මුට්ටු කල එළි බහිනවා. ගමේ අනික් ගෙවල් වලට "ජම්බල ගෙදර", "හාමිලවත්තෙ ගෙදර", "තෝර ගෙදර" ආදී නම් දැම්මා වගේ මේ ගෙදරට ගමේ මිනිස්සු දාපු නම තමයි "ඩුබායි ගෙදර". ඒ නම තමුන්ට දීපු නම්බුවක් හැටියටයි "ඩුබයි ගෙදර" අය සැලකුවේ.


තවත් කාලයක් යද්දි අර රටගිය කාන්තාව ආපහු ආවා. සති ගානක් යනතෙක් ඒ අවට ගෙවල්වල ලමයින්ට ටොපි, චොකලට් හිඟපාඩු උනේ නෑ. ඒ ගෙදරට ගිය අය කිව්වේ මහ විසාල බපල් සැට්ටෙකක් එහෙමත් ගෙනැත් තියෙන බවයි. විස්තර හෙවීමේ උවමනාවෙන් "ඩුබායි ගෙදර" පැත්තේ 'නිකං ආපු' උදවියට උත්තර දුන්නේ ඒ ගෙදර අය. 'රට ගිය' කෙනා ගෙදර තියෙන හොඳම කාමරේට වෙලා 'මහන්සි අරින' බවට ප්‍රකාශයක් නිකුත් කරන ගෙදර අය 'ආස්යන්තරාවේ එද්දි කන්න බොන්න හිටං හම්බුවෙන බවත්, කාපු බීපුවත්, ආදී සම්පූර්ණ ගමං විස්තර ඇතුලත් වාර්තාවක් දුන්නා. තමුංගේ දුව ගිහිං හිටියේ ඒ රටේ 'පුරාම පෝසත්' ගෙදරක වැඩට බවත්, ඒ මිනිස්සු තමුංගෙ කෙනෙට්ට වගේ සලකා ඇති බවත්, එව්වෑ සේරම වැඩ කෙරෙන්නේ මැසිං වලිං බවත්, දුවට කරන්න තිවුනේ මැසිමේ සුයිච්චෙක දමා බලං හිටීම පමණක් බවත්, තව තව ඒවා බවත් ඇතුලත් විස්තරයක් ගමේ සෑම මාධ්‍ය ඒජන්සියකටම පොදුවේ දැනුං දුන්නා. අන්තිමට ගමේ මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය එකක් බවට පත්වුනා.

බලහල්ලකො ඒකිගෙ උද්දච්ඡ කම

එයා ගමං බිමං ගියේ සෙනග අඩු බස්වල විතරයි. අත්වල, කංවල අරුමෝසං පිරිලා. 

"ඔය ඩුබයි සත්තරං බාලයි."

ගමේ ගෑනු අය කිව්වා. 

ඇන්දෙත් ඇස් කඩං යන තරං පාට ඇඳුං

"ඒ රටවල්ලොල ගෑනු ඇඳපුවා ඔය."

තව කොටසක් කිව්වා.

ගහගෙන ගියේ අහලගං හතකට දැනෙන සැං ජාති.

"නාහෙ කඩං යන ගඳක්. මට නං ඔක්කාරෙට එනව"

සුවඳ අල්ලපු අය කිව්වා.

ගමේ කා එක්කවත් කතා කලේ නෑ.

"හිතං ඉන්නව ඇත්තෙ මහ රජ්ජුරුවංගෙ බිසවුන්නාංසෙ කියලා"

කීප වතාවක් කතාවට පැටලෙන්න උත්සාහ කරපු අය කිව්වා.

ඔය විදිහට මාසයක් විතර යද්දි කනිං කොනිං ඇහෙන්න ගත්තේ කණු වේයො කන කතන්දර

"ඩුබයි ගෙදර උංගෙං රුපියල් දහයක් ගන්න බෑනෙ නයට."

කියලා කෙනෙක් කිව්වා.

"මං කාලෙකට ඉස්සර ගනිපු සල්ලි වගේකුත් ඉල්ලුව"

තව කෙනෙක් කිව්වා.


එයිටත් මාසයක් විතර යද්දී "ඩුබයි ගෙදර" නැවතිලා හිටපු වැඩකාර දුප්පත් නෑයොත් 'උං එක්ක ඉන්න බෑ' කියලා රණ්ඩු කරගෙන යන්න ගියා. එයිනුත් සති දෙක තුනක් ගියාට පස්සෙ ආච්චම්මගෙ සහාය වාර්තාකාරිනියක් දුංදාන ප්‍රවෘත්තියක් කොලේකින් වහලා අරගෙනාවා ආච්චම්මට දෙන්න.


"ආං නැංදම්මෙ අර රටගිය එකී උංගෙ අම්මත් එක්ක ආයිත් කුලියට දලු කඩනවලු. නරින්දරලෑ ඉඩමෙ විතරයිලු හැබැයි යන්නෙ. අපි කිව්වෙ නැද්ද නැංදම්මෙ ඔය සෙතේ වෙයි කියලා ඕකිගෙ උද්දච්ච කමට"


රට ගිහිං හම්බුකරපු සල්ලි නියමාකාරයෙං වැඩකට ගත්තෙ නැති හංදා අන්තිමට ‘ඩුබයි ගෙදර අය‘ හිටපු තැනටම වැටුනා. පුලුවං කාලෙ ප්‍රයෝජන ගත්ත අය "උංගෙ උද්දච්චකමට වෙච්චි දේ. යසම යස" කියලා වගකීමෙන් නිදහස් වුනා.


මේ විදිහට රට ගිහිං වලේ වැටිච්ච අය අපේ ගමේ හිටියත් රට ගිහිං දියුණු වෙච්චි අයගෙ කතන්දරත් මම අහලා තිබුනා. ඒ හංදා මගේ ඔලුවෙත් 'රට යන්න ඕනෑ' කියන කල්පනාව තදිංම කාවැදිලා තිබුනා. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම දළු කඩද්දී, කරේ තියාගෙන දළු ගෝනි ගෙනෙද්දි, වෙනයම් මොකක් හෝ අමාරු වැඩක් කරද්දි මගේ ඔලුවට ආවෙ 'රට ගිිහිංම ගොඩ යනවා' කියන එකයි. මගෙ වයසෙ අනික් අය උසස් පෙළට පන්ති යද්දි, මගෙ දැනුම මදි හිංදා විභාගෙ ඇනෙන බව දැනෙද්දි මං හිත හදාගත්තෙ “ඕවට වැඩිය ලේසියි රට ගිහිං අවුරුදු පහක් දහයක් ඉන්න එක“ කියලයි.

ඊශ්‍රායලේ ගිහිං 'වයසක මිනිස්සු බලාගෙන' සල්ලි හම්බුකරගෙන ආපු කෙනෙක් බොහොම ජයට ඉන්නවා දැකීමෙං මටත් ඒ රටට යන්න හිතුනා. බොහොම වටකුරු දියණියන් දෙන්නෙක් සහ එයිටත් වඩා ගෝලාකාර බිරිඳක්, අලුත්ම වෑන්නෙකක්, විසාල ගෙයක්, දවසට සිකරට් පැකැට්ටෙකක් දෙකක් පුච්චා දැමීමක් නිසා එයාගේ 'සල්ලිකාරකම' බොහොම ලේසියෙං දකින්න පුලුවං. මං මගේ පලවැනි 'පඩි කොලයක්' ලැබෙන රස්සාවට ගියේ ඊශ්‍රායල් යන්න සල්ලි හොයාගන්න. නමුත් ඒ අතරේ මේ රස්සාවට පාර කැපුන නිසාත්, රට ගියා වගේ නෙමෙයි ආංඩුවෙ රස්සාව, කියන නම්බුව ලැබුන නිසා මගේ රට හීනේ යට ගියා.


ඒ වුනාට දැනට මට ලැබෙන පඩියෙන් ජීවත්වෙනවා ඇරෙන්න වෙනිං දෙයක් කරන්න බැරි බව මට කාලයක් තිස්සේ දැනෙන්න ගත්තා. මගෙ පඩියෙ හැටියට ගන්න පුළුවන් උපරිම ණය මුදල ගත්තත් ගෙයක් හදාගන්න ඉඩමක්වත් ගන්න බැරි බවත්, එහෙම ගත්තොත් ජීවිතේටම වෙනිං දෙයක් කරන්න බැරිවෙන බවත් මගේ සාමාන්‍ය පෙළ ගණිතය දැනුම මට අවබෝධ කරලා දුන්නා. දවල්ට කන්තෝරුවේ වැඩ කරලා හවසට ත්‍රීවිල් හයර් දුවලා, වඩේ බැදලා, කඩල විකුණලා මුදලක් හොයන්න මහන්සි වුනොත් මට රෙද්දක් ඇඳගෙන පාරෙ යන්න ලාංකික සමාජයෙ ඉඩක් නෑ. එතකොට ඉතුරු පගාව සහ හොරා කෑම විතරයි. නමුත් මගෙ කලින් රස්සාවෙදි 'යටි මඩි ගැසීමේ' කුළුඳුල් මෙහෙයුම සාර්ථක කරගෙන ගත්ත රුපියල් අටදාහම එයිට සතියක් යන්න මත්තෙන් බයිසිකලේ ෂොක්ඇබ්සෝබර් දෙක වෙනුවෙන් යට කරන්න වීමෙන්ම මගේ 'හොරාකෑම' අත්හැරුනා. ලොකු සමාගමකින් වුනත්, දුප්පත් මනුස්සයෙක්ගෙන් වුනත් වංචා කලොත්, පගාව ගත්තොත් එව්වා යන්නේ පොලියත් අරගෙනයි කියන ධර්මය මං අත්දැකීමෙන්ම දැනගත්තා. ඒ හංදා මේ රස්සාවෙං මං අයුතු විදිහට එක රුපියලක්වත් උපයන්න ගියේ නෑ. පඩිය විතරයි. නමුත් මේ ඉන්න තැනින් වෙනින් තැනකට මාරුවක් ලැබිලා නිල නිවසක් නැතුව කුලී ගෙයක ඉන්න වුනොත් ළඟම තියෙන සිද්ධස්ථානය ඉස්සරහා ඉටිකොලයක් එලාගෙන හවසට පාට් ටයිම් කරන්න වෙන අවදානමක් මගේ ඉස්සරහ තියෙනවා.


මගේ රට යන හීනේ ආයිමත් පෑදුනේ සොඳුරු අතීතයෙන් බිඳක් ලියන කවිඳු දොස්තර මහත්තයගේ ලිපි කීපයක් හිංදයි. ඒ ලිපිවල තියෙන කරුණු හොයා බැලුවහං ලංකාවෙ මනුස්සයෙක්ගෙ දවසෙ පඩිය ඕස්ට්‍රේලියාවෙ එක පැයට හොයන්න පුලුවන් බව පෙනෙන්න තිබුනා. අපි දෙන්නා අවුරුදු ගානක් තිස්සේ හීන මවපු ‘ඉන්දියාවෙ  මං කවිඳු මහත්තයා ලියපු පාරවල් දිගේ යන්න පටං ගත්තා. මුලින්ම මගේ විස්තරේ දාලා අයදුම්පත්‍රයක් දැම්මා ඕස්ට්‍රේලියාවෙ රජයේ හැකියාවන් තක්සේරු කරන වෙබ් අඩවියට.


"ඔබට ඔබගේ රැකියාව සඳහා උපාධියක් තිබිය යුතුයි. ඩිප්ලෝමාව මදි."


කියලා උත්තරය ලැබුනා. ඒ ගමන මගෙ රස්සාවට අදාල උපාධියක් කරන්න තැනක් හෙව්වා. හම්බවුනේ නෑ. ලංකාවෙ එහෙම උපාධියක් බාහිරව හදාරන්න දෙන්නෑ කියලයි හුඟක් අය කිව්වේ. ඒ හංදා කැන්ගරු රටේ යන්න හිතන අය මේ රැකියා සඳහා අදාල උපාධිය හරි වැඩ කරපු බවට සුදුසුකම් හරි හදාගන්න ඕනෑ.


ඒ ගමන දෙවැනි ක්‍රමයට පය තිබ්බා. ඒ තමයි කවිඳු මහත්තයා තමුන්ගෙ නෑයොන්ට උගන්නපු 'මේසන් පාඨමාලාව' හැදෑරීම. නමුත් ඒකටත් බාධාවක් තිබ්බා. රජයට බදු, ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්, ගෙවන තැනක අවුරුදු දෙකකවත් මං වැඩකලා කියලා සහතිකයත්, පඩිකොලත් ඕනෑ වෙනවා සුදුසුකම් ඔප්පු කරන්න. ඒ පාරත් උපන්ගෙයිම මියැදුනා. මට මේ රස්සාව අතෑරලා මේසන් වැඩ අවුරුදු දෙකක් කරන්න හිතත්, ආර්ථිකයත් හදාගන්න බෑ.


ඒ ගමන මට තවත් පාරක් අහුවුනා. ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙ කෙනෙක් මට එයාගෙ සේවා ආයතනයෙ රස්සාව දෙන්න කැමති වුනා. එතනටත් හරහට හිටියේ සුදුසුකම් ඔප්පු කරන්න රජයට බදු, ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්, ගෙවන තැනක අවුරුදු දෙකකවත් සේවා සහතිකය සහ පඩි කොළ. අකමැත්තෙන් වුනත් එතනිං ආපහු හැරෙන්න මට සිද්ධවුනා. ඒ හංදා ඕස්ට්‍රේලියාවට යන්න හිතං ඉන්න අනික් අයත් තමුන්ගෙ රස්සාව අවුරුදු දෙකක්වත් ලංකාවෙ තියෙන පිළිගත් ආයතනයක කරන්න ඕනෑ.


එතකොටම තමයි මට ආරංචිය ලැබුනේ මගේ රස්සාවට අදාල උපාධිය පේරාදෙනියෙ සරසවියේ බාහිර උපාධියක් හැටියට දෙනවා කියලා. මං අවුරුදු තුනෙන් කැන්ගරු දේශයට යන හීනෙ හිතේ තියාගෙන එතැනට කතා කලා.


"ඔව් ඔයාට කාටොග්‍රෆි වලට අමතරව තව සබ්ජෙක්ට්ස් දෙකක් කරන්න වෙනවා. නෝමල් බී.ඒ ඩිග්‍රී එකක් තමයි දෙන්නේ. ක්ලාසස් අපි කරන්නෙ නෑ. අපි ඒ ක්ලාසස් තියෙන තැන් සෙමිනා එකේදි ඉන්ට්‍රඩියුස් කරනවා. බුක්ස් ඔක්කොම ඔයලා ගන්න ඕනි"


පන්තිවලටයි, ගමන් ගාස්තුවලටයි යන වියදමත්, වැයවන කාලෙත් එක්ක මට කොහොමටවත් ඒ උපාධිය කරන්න බැරි නිසාත්, ඒකට අදාල පිළිගැනීම ලැබේ යැයි විශ්වාස නැති හිංදත් මං ඒ වැඩේ අතහැරලා දැම්මා. 


අන්තිමට මං මගේ ගැටළුව ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට වීසා හදලා දෙන 'ඇත්තම' ඒජන්සිකරුවෙක්ට යොමුකලා. එයා මට හරියටම හරියන මාර්ගයක් තෝරලා දුන්නා.


"ඔයාට පුළුවන් ස්ටුඩන්ට් හැටියට යන්න. IELTS අදාල ලකුණු ගාන ගත්තනම් හරි. එහෙ ගිහින් ඩිග්‍රිය කරලා ජොබ් එක පුරුදු වෙන්න ආපහු වර්කින් වීසා ඉල්ලන්නත් පුලුවනි."


අන්තිමට මට හරිපාර අහුවුනා. සෑහෙන සතුටක් හිතට දැනුනා. අනික් අයටත් දැනගන්න බ්ලොග් එකේ ලියන්න ඕනෑ කියලාත් මට හිතුනා. එයා අන්තිමට පුංචි කොටස් එකතු කලා.


"හැබැයි ඉතිං ඔයාට ලක්ෂ තිහක් විතර වත්කම් පෙන්වන්න වෙනවා."


ගුරුත්වාකර්ශණය සිතුවිලිවලටත් අදාලයි. ලක්ෂ තිහ විසින් මගේ හීනේ මහ පොලවට ඇද දැම්මා. ලක්ෂ හතරක් පහක් නං හොයන්න පුළුවන් කියමුකෝ. තුනයි බිංදු හයක් හොයන්නෙ කොහොමද? මං වැඩේ අතෑරියා කියලද හිතන්නෙ? නෑ. මං ඒ ගමන ඒ සල්ලි පස්සෙ එළවන්න ගත්තා. පත්තරේ, ඉන්ටනෙට් එකේ, අතන මෙතන තියෙන හැම මූල්‍ය සේවා ඇඩ් එකකටම කතා කළා. 


“ලක්ෂ තිහට වැඩි වටිනාකමක් තියෙන දේපලක් ඇප තියන්න ඕන“


“මන්ත්ලි ****** ලැක්ස් විතර සැලරි එකක් තියෙන දෙන්නෙක් ඕන“


මනුස්සයෙක්ට ලක්ෂ තිහක් ණයට ගන්න ලක්ෂ හැටකවත් දේපල තියෙන්න ඕනෑ. ඒ වැඩෙත් අතෑරියා. අපිට කවුද ලක්ෂ තිහකට ඇප තියන්න ඉන්නේ. බැංකුවෙනුත් මට හම්බවුනේ බඩගින්නට මාරියක් වගේ උත්තරයක්. මගේ මාසික පඩිය එහෙම්මම ඉතුරු කරත් ලක්ෂ තිහක් හොයන්න අවුරුදු අටක් යනවා. අවුරුදු අටක් යද්දි මං නාකි වෙලා ඉවරයි. එහෙනම් දැන් කරන්න තියෙන්නෙ මාසෙට ලක්ෂයක් හමාරක් හොයන්න පුළුවන් රටකට යන එක. අවුරුදු දෙකෙං ගාන හොයාගන්න පුළුවන්.


මං ලක්ෂ එකහමාරෙ පඩියක් දෙන රස්සා හෙව්වා. ඒකටත් රට යන්නම වෙනවා. පළමුවෙන්ම මතකෙට ආවෙ මැලේසියාව. එහෙ ඉන්න හිතවතෙක්ට බුකිය හරහා මගේ අවශ්‍යතාව කිව්වා.


"Ha ha haaa.baha mehe baha ...ekahamarak hoyanna baha.ITkenekutath,ganna baha accounter kenekuta ekahamaarak gatahaki.nattam amaruyi"


ඉතුරුවුනේ මගේ පොඩිකාලෙ ඉඳන් හීනෙ විතරයි. 


“ඊශ්‍රායලය සඳහා සාත්තු සේවක සේවිකාවන් අවශ්‍යයි“


අන්තර්ජාලය හරහා දැකපු දැන්වීමෙ තිවුන ආයතනයට කතා කළා. 


“අවුරුද්දකවත් කෙයා ගිවින් කෝස් එකක් ෆලෝ කරලා තියෙන්න ඕනි. එඩල්ට්ස් හෝම් එකකවත් ටූ ඉයර්ස් වර්ක් කරල තියෙන්න ඕන. ඒක චෙක් කරලා බලනවා. ෆෝටි ෆයිව් මිනිට්ස් අපේ ක්ලයන්ට් එක්ක ඉංග්ලිෂ් වලින් ස්පීක් කරන්න ඕන.“


ඉංග්‍රීසි නං බැරියැ. කෝස් එකක් කරලා වැඩිහිටි නිවාසෙක අවුරුදු දෙකක් වැඩ කරන්න ගියොත් මට ඉන්න වෙන්නෙ මහ පාරෙනෙ. ඒ අතරෙ මේ නීතිය වෙනස් වුනොත් මට අතු දෙකම නෑ. මං ඒ වැඩෙත් අතෑරියා. 


කොරියාවට, ඉතාලියට යවන  රස්සා ගැන දැන්වීම් තිබුනත් එව්වයෙ රස්සාවට යන්න වීසා එන්නත් කලිං ලක්ෂ පහක්, හයක් ඉල්ලනවා. ඒ හංදා ඒ පාර අතෑරලම දැම්මා. අන්තිමට මං මුලටම වැටුනා. මුලටම වැටිලා මුල ඉඳං උඩ බලාගෙන කල්පනා කලා. අන්න එතකොට මට මතක් වුනා බ්ලොග් එක. ලියන්න දෙයක් නැතුව උඩ බලාගෙන හිටපු මං මගේ ප්‍රශ්නෙ ගෙඩිය පිටිං ගෙනැත් මෙතන අතෑරියා.


ඉතිං නෝනාවරුනේ, මහත්තුරුනේ තමුන්නැහැලා දන්න ක්‍රමයක් තියෙනං මට පාරක් හදලා දෙන්න. මේ වෑයම ගෙයක් දොරක් හදාගන්න, වයසට ගියහම පණ කෙන්ද ගැටගහ ගන්න ක්‍රමයක් හදාගන්න, පිනක් දහමක් කරගෙන කාටවත් කරදරයක් නොවී ජීවත්වෙන්නයි. සතෙක්ටවත් මනුස්සයෙක්ටවත් හානියක් කරදරයක් නැතුව කරන්න තියෙන ඕනිම රස්සාවක් මට කරන්න පුළුවනි. 


හැබැයි, මට ඔබට දෙන්න පුලුවන් වෙන්නෙ ඔබේ නම්බුව කාබාසිනියා නොකරන පොරොන්දුවත්, පිං අනුමෝදනා කිරීමත් විතරයි. ඉස්තූතියි.










Sunday, August 7, 2016

මොටෝ සයිකල් හෙවත් for what cycles

මහන්සියක් නැතුව ගමනක් යන්න නං ගන්න තියෙන මිල අඩුම වාහනේ මෝටර් සයිකල් එක. ඕක ලියන කොට ලියන්නෙ යතුරු පැදිය කියලා. ඒ වුනාට එතැන සිංහලේ වැරදියි වගේ නේද? පයින් පදින එක පාපැදිය නං එන්ජිමෙන් පදින එක එන්ජින් පැදිය මිස යතුරු පැදිය වුනේ කොහොමද? අනේ මංදා නේද? 

ඕකට මෝටර් සයිකලය, මෝට සයිකලය,  මොටෝ සයිකලය, කියලා කිව්වට අපේ ආච්චම්මා කියන්නේ "හුටු හුටුව"කියලා. 


"ආං අර බෙහෙත්තෙල් පියදාසලෑ ලොකු එකත් හුටු හුටුවක් කකුල් දෙක අස්සෙ ගහං ගියෙ  පල්ලැහැ  පැත්තෙ. ආණ්ඩුව පෙල්ලුනත් හරි ඌනං සස්සාවකුත් හදං හුටු හුටුවකුත් ගත්තා "


අපේ ආච්චම්මා කියන්නෙ අහස් කූරක් උඩ ගියා වගේ පුපුරා හැලෙමින් (පුපුරා හැලෙන්න නං උඩදි පුපුරන්න ඕනෑ). ඒ වුනාට අපේ ගමේ මෝට සයිකල් තිවුනෙ කිපයයි. එකක් තිවුනා වසන්ත බාප්පා ගාව. එයා මැණික්කාරයෙක්. එයා ගාව තමයි අපේ ගමේ තිවිච්චි විසාලම බයිසිකලේ තිවුනෙ. ඒකෙ දුං පිටවෙන්න සයිලන්සර දෙකයි. බයිසිකලේ කලුම කලුයි. දෙපැත්තෙ රත්තරං පාට අකුරු ලියල තියෙනවා. 125 කියල ඉලක්කමකුත් ලියලා තියෙනවා.  ඒක ඉස්ටාක් කරන්න කකුලෙං අනින්න ඕන්නෑ. එයාට යන්න ඕනැ කියලා හිතිලා "එහෙනං මං යනව" කියල අනික් අයට කියලා හෝන්නෙක ගහන මොට්ටුව ඔබපු ගමංම බයිසිකලේ ඉස්ටාක් වෙනව. හරියට චංදරෙ මාමලෑ නැන්ද අඬන්න පටං ගන්නවා වගේ "හුරු හුරු හුරු හුරු හුටුස්" කියලා. ඒකෙ සද්දෙත් ගෑනු කෙනෙක් තමුං මිනිහගෙං ගුටි කන හැටි තවත් ගෑනියෙක් එක්ක කිය කියා අඬනවා වගේ. ලොකු පෙනුමක් තිවිච්චි ඒ බයිසිකලේ හදපු ඈයො ඒකට ගෑනු සද්දයක් හයි කෙරුවෙ මොකද කියන එක මට හරිම ගැටළුවක්.




එ් වගේම සුදු සරං කමිස ඇඳල ඔලුව නැති ටෝච්චෙක ඉනේ ගහගෙන ඉන්න මැණික්කාරයෙක් වෙච්චි නාවලවත්තෙ රාජ මාමා ගාව තිවුනෙ බංකුවක් ඉතර උස හිරමනේකට වඩා ඩිංගක් දිග බයිසිකලෙයක්. ඒකෙ රෝද මං පොඩි කාලෙ පැදපු රෝද තුනේ බයිසිකලේ රෝදෙයක් ඉතර පොඩියි. ඒකෙ සයිලන්සරේ අග බොහොම පුංචියි. ලිපට පිඹින බටේටත් වැඩිය පුංචියි. ඒකෙ පිටිපස්සෙ තිවිච්ච ලැගිජ් කෑල්ලෙ කොස් කොලයක් ඉතර පොඩි සීට්ටෙකක් තිවුනට කවුරුවත් ඒකෙ නැගිලා ගියේ නෑ.



අනික් බයිසිකල් ටික තිවුනේ කනත්තෙ ගෙදර අය ගාව. එයාලා ඔක්කොම ඉස්කෝලෙ මහත්තුරු. ඒ ගොල්ලං කසාද බැඳල හිටියෙත් ඉස්කෝලෙ නෝනලා. කනත්තෙ වැඩිමල්ම ඉස්කෝලේ මහත්තයා ගාව තිවුනෙ මජ්ගාඩ් දෙක අලුත් සැමන් ටිං එකේ කොලේ ගැලේව්වහං තියෙන පාටට දිස්නෙ ගහන පාටක් තියෙන බයිසිකලයක්. ඒකෙ ඉස්සරහ නොම්මරේ ගහල තිවුනෙ කුකුලගෙ ඔලුවට උඩිං කරමලේ හයිකලා වගේ මජ්ගාඩ් එකේ දිග අතට. ඒ බයිසිකලේටත් හයිකරල තිවුනෙ වැරදි සද්දයක්. කුරුමිනියෙක්ගෙ සද්දෙ වගේ එකක්. හැබැයි මට නං ඒ සද්දෙට මතක්වෙන්නේ අපේ ආච්චම්මගෙ ආහාර මාර්ගෙ පහල කෙලවරිං පිඹින නලා හඬ. එයිටම ගැලපෙන නිල්පාට දුං පාර සයිලන්සරෙං කට පුරෝලා විදිනවා. ඒ කියන්නෙ වසන්ත බාප්පගෙ සයිලංසර දෙකේ බයිසිකලේට වඩා මේ බයිසිකලේ හයිය ගාය වැඩියි. ඒකනෙ හොඳට දුං දාන්නෙ. ඒ බයිසිකලේ යන වේගෙට පස්සෙං එලවලා අල්ලන්න මටත් පුලුවං.



ඒ මහත්තයගෙ මල්ලි ගාව තිවුනේ ඒ වගේම සද්දෙ වෙනස් බයිසිකලයක්. ඒකෙ දුං අඩුයි. සද්දෙ වැඩියි. ඒකෙ සද්දෙ එන්නෙ "කිරි පිටි පිටි පිටි පිටි" කියලයි. ඒ වගේම තමයි හුඟක් දුර තියා සද්දෙ ඇහෙනවා.



වත්ත පාරෙ එහා කොනේ කොරියං කන්දෙ ඉන්න ඩැයිබර මාමා ගාව තිවුනේ රතුපාට බයිසිකලයක්. ඒකෙ ඉස්සරහ කූඩයක් තියෙනවා. පදින එක්කෙනාට ඉස්සරහිනුත් ලැකිජ්ජෙකක්. පිටිපස්සෙනුත් ලැකිජ් එකක්. ඒක පාං බයිසිකලයක්. එයා ගෙදර ඉඳං පුංචම්මලගෙ ගේ ගාවට වෙනකං බයිසිකලේ ඇහිල්ලා එතනිං බයිසිකලේ දා තියලා බස්සෙකට ගොඩවෙනවා. ඒ කාලෙ හැටියට අනුංගෙ බයිසිකලෙයක් උනත් තමුංගෙ ගෙදර තියෙන එක නම්බුවක්. ඉතිං අපේ ආච්චම්මයි ආතයි දෙන්නා ඒකට අව්ව වැටෙන්න නොදී හෙවන කරනවා. ලොකු පං පැදුරක් ගෙනත් බයිසිකලේ සම්පූර්ණෙංම වහනවා. සමහර වෙලාවට ඉටි කොල වලිනුත් වහනවා. ඉර දෙයියොත් ලේසියෙං අරින්නෑ. ටිකෙන් ටික ඉර එලිය එවන දිහාව වෙනස් කරනවා.  ආතයි ආච්චම්මයි දෙන්නත් ලේසියෙං අරින්නෙ නෑ. පැදුරු, ඉටිකොල, කොලපත් ආදිය ගෙනැත්, ලයිට්, අංක තහඩු, සයිලන්සර්, සීට් ඇන්ජිං ආදී සේරම අවයව වැහෙන්න ඒ ඒ අතට බයිසිකලේ වහනවා. ඔන්න එතකොට ඉර දෙයියට සපෝට් එකට හුලං කුමාරයත් එනවා. එයා අර සේරම වැහුං එක හුලං පාරෙං වට්ටලා දානවා. ඒත් අඹුසැමි ශක්තියට සොබාව දර්මෙ යටයි. ආතා පැදුරට උඩිං කොටයක් තියනවා, ආච්චම්මා පොල් පිති දෙක තුනක් ගෙනැත් පැත්තෙන් තියෙන ඉටිකොලේට රුකුල්ලනවා. ආතා ඉස්සරහ ලැයිට් එක වැහෙන්න දෙකට නමල දාපු කොලපතට බර හිටින්න වේග මීටරේ උඩිං බොලොක්ගල් බාගයක් තියනවා. මජ්ගාඩ්ඩෙක වහපු ඉටිකොලේ සොකට් දෙකට තියලා කොහු ලනුවකින් බඳිනවා. අන්තිමට ඉරත් හුළඟත් පරදිනවා. පැටියා ඇහිල්ලා එතන ඉව කරලා මේ අරුම පුදුම පරුවතේ මොකද්දැයි බලනකොට ආතා උටත් කෝටුව උරුක් කරනවා.


"දාබ්බල්ලා දාබ්.... ජිප් කිව්වං අහල"


එතැං පටං කඩේ ගාවට එන හැමෝටම ආතගෙං හරි ආච්චම්මගෙං හරි අහන්න ප්‍රශ්ණයක් තියෙනව. ඒ වගේම ඒකට ලැබෙන උත්තරත් තියෙනව.


"මොකද්ද මාමෙ මේ කවර කෑලි ඔලිං වහල තියෙන්නෙ. දල්ලොරියෙං පෝර ගෙනබ්බෑවද?"



සමහරු ඒ අරුම පුදුම පොදියට ඇනලත් බලනවා.


"යූරියද, ඩොලමයිද්ද?"


"මෙච්චර ගොඩත්තියෙන්නෙ නාරගල්පිටියෙ ඇයගෙව්වත් එක්කද?"


තමුන්නෙ ආරස්සාව යටතෙ තියෙන වාහනේට එක එකා කියන කයි කතන්දර ඒ දෙන්නට අල්ලන්නෑ.


"කෙහ්හෙම්මල් පෝරෙයක් නෙමෙයි. ඔය ඩැයිබර ලමයෑ මොටෝ සයිකලේ"


මේ තරං විසාලෙට වහල තියෙන පොදිය බයිසිකලයක් බව පිලිගන්න ඒ ගොල්ලො කොහෙත්ම කැමති නෑ.


"මෙයාකාරෙට වහල තියෙන්නෙ එහෙනං"


"වහ තියන්නැතුව කොහොමෙයි. අව්ව සැර වැදුනහං ඉහ්මන්ට සවුත්තු වෙනවනෙ. අනික ඩැයිබර ලමය විස්සාසවන්තකමට මෙතන දාල යන දේ පරිස්සං කරන්න එපෑ. අපේ ගෙදර මිසක්ක වෙන තැංඔල දාල යන්නෙත් නැත්තෙ ඒකනෙ."


අන්තිමට හවස් වෙලා ඩැයිබර මාමා එනකොට එයාගෙ බයිසිකලේ පැදුරු, ඉටිකොළ, කොලපත් පෙරෝගෙන බුදි. කොහුලනු කපලා, කවර ලිහලා, පොල්පිති අහක් කරලා බයිසිකලේ බේරගන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ අතරෙ කොලපතට උඩිං තියපු ගල් ගෙඩිය මැද ලැගිජ්ජෙක උඩට වැටෙනවා. ඒ වගේ බර තියාපු කොට කෑලි, ගල් ගෙඩි කකුල උඩට වැටෙන එකත් සාමාන්‍ය දෙයක්. 


ඔය බයිසිකලෙන් තමයි අපේ මාමත් බයිසිකල් පැදිල්ල පුරුදු වුනේ. අපේ තාත්තත් සමහර වෙලාවට කවුරුවත් නැතුවං සතපහේ කාසියක් හරි හැට්ට කට්ටක් හරි ඔය බයිසිකලේ යතුරු සිදුරට දාලා කරකෝලා ඒක ඉස්ටාක් කරගෙන කෙටි දුර ධාවනයේ යෙදෙනවා. හැඩල්ලෙක කරකෝපු ගමං ලාම්පුතෙල් පාර කාපු ගැරඬියා වගේ සුරුස් ගාලා ඇදෙන බයිසිකලේ හැඬල් එකේ එල්ලීගෙන අපේ තාත්තත් ඇදිලා යනවා. ඔය සූත්තරේ දැනං හිටිය මම දවසක් සත පහක් දාලා බයිසිකලේ කොලපාට බලුප් එක පත්තු කරාට නිවාගන්න බැරිවෙලා ඒ හොර වැඩේට කන කොකා ඇඬුවා.


ඉං පස්සෙ අපේ මාමත් රතුපාට බයිසිකලයක් ගෙනාවා. ඒක ගෙනාවෙත් ඩැයිබර මාමත් එක්ක ගිහිල්ලා. බයිසිකලේ ඉස්සරහයි පිටිපස්සෙයි ලොකු කාඩ්බෝඩ් කෑලි දෙහෙක රතු පාටිං 


චන්දිම ට්‍රේඩි සෙන්ටර්
ඇඹිලිපිටිය


කියලා ලියලා තිවුනා. ඒක ගෙනා පලවෙනි දවසෙම මහ සෙනගක් කඩේ ඉස්සරහ හිටියා. මාමාගෙ බයිසිකලේ බලන්න. ඒ සෙනගට පෙන්නන්න හංදා මාමා අලුත් බයිසිකලේ ගෙයිං එලියට ගත්තා.


"ඉස්කෝලෙ මහත්තයට ඕක පදින්න බැරියැ."


"ඔව්වයියෙ ජිංගක් ඉස්ටාක්කොල්ල වටෙයක් ගිහිං එන්නකො"


"එහෙනං. හැමදාම ඩැයිබර උන්නැහැට කරදර කලහැක්කැ"


ඉතිං අපේ මාමත් මහ සෙනග ඉස්සරහ අලුත ගෙනා මනමාලිගෙ අතිං අල්ලනවා හා සමාන විලි බියකිං බයිසිකලේට නැගලා යතුර කරකෝලා කොලපාට බලුප්පෙක පත්තු කරලා දකුණු කකුල ඉස්සුවා. බයිසිකලේ ඉස්ටාක් කරන අණ්ඩට ඒ කකුල තියලා උඩ පැන්නා. මාමා පහලට එනකොට ඉස්ටාක් කරන අණ්ඩත් පහලට ආවා මාමව ඥක් ගාලා සීට්ටෙකේ ඇනුනා. කකුල් දෙකම උඩ හිංදා පෙල්ලෙන්න ගියා. වටේ හිටපු දුසිමක් විතර පැනලා මාමගේ ඇඟෙයි බයිසිකලෙයි අහුවෙන හැම කෑල්ලෙමයි එල්ලිලා එයාව බේරගත්තා. 


"ඩැයිබර ලමෙයත් කිව්වා මුට මුලිම්ම බයිසිකලේ ඉස්ටාක් කොරන්න දැනගන හිට කියලා. මූ ඇහුවෙ නෑනෙ."


ආතා මාමව වරදකරු කෙරුවා.


"අනෙයන්තාත්තෙයන්න. මට බැරුව නෙමෙයි. මේක අලුත් පිට හංදා ඩිංගක් අමාරුයි"


මාමත් ආතට එක වචනෙං කාරනේ පැහැදිලි කලා. ඔය විදිහට වටේ හිටපු පනහක් විතර කට්ටිය මාමවත් බයිසිකලෙත් අල්ලං හිටිද්දි දහ දොලොස් වතාවක් උඩ පැන පැන ඒ සමාන වාර ගනනක් පස්සත් සීට් එකේ ඇනගෙන අන්තිමේදි බයිසිකලේ ඉස්ටාක් කරගත්තා. මාම අතිං හැඩල්ලෙක කැරකිලා වැඩිවෙලා බයිසිකලේ 'රේසිං බයිසිකලයක්' වගේ මරහඬ දුන්නා. වටේ හිටිය අය ඔලුව හැරිච්ච අතේ දිව්වා. ලැකිජ්ජෙකෙං අල්ලං හිටිය අපේ තාත්තා විතරක් ඉතුරු උනා. එයාට හොඳට හරක් ආංබාං කරන්න පුලුවං.


මාමා හැඩල්ලෙක ආපස්සට කැරකෙව්වා. ඒ ගමන සද්දෙ අඩුවුනා. 


"බබබබබය වෙන්නෙපා. එහෙම යන්නෑ. ඉස්ටාක් කොලාට. ජියර් දාන්නැතුව යන්නෑ"


මාමා වෙව්ල වෙවුලා කරුණු පැහැදිලි කරා. ජනතාව ආපහු ඒකරාශී වුනා.


"දැං පොඩ්ඩක් රවුමක් ගියානං හරි. මල්ලියෙ"


"ඔව්වොව් "


කීප දෙනෙක් මාමව උසිගැන්නුවා.


"කොහෙ කියලා යන්නද. දැං යන්න ගමනක් නෑනෙ."


මාමා වැඩෙං මගාරින්න හැදුවා.


"නිකං පාරෙ ඩිංගක් දුර ගියානං හරි"


ජනතාව එක හඬිං කියා හිටියා.


"වත්ත පාරෙ යන්න. වාහන ඇත්තෙම නෑනෙ"

කොටසක් අය කිව්වා.


"මහ පාර දිගේ අතුලගෙ කඩේ ගාවට ගියානං හරි"


තව කොටසක් කිව්වා. මාමා සෑහෙන වෙලාවක් හිතලා ජියර් එකට කකුල තිබ්බා. අම්මලා ලමයි වඩාගත්තා. 


"චකස්"


මාමා ජියර්රෙක දැම්මා. බයිසිකලේ ගැස්සුනා. මාමා හැඩල්ලෙක මිරිකලා අල්ගත්තා. හැඩල්ලෙක කරකැවුනා. පැටියා නාටු බල්ලන්ට පනිනව වගේ බයිසිකලෙත් මිනිස්සු ඉස්සරහට පැන්නා. මාම තව හයියෙං හැඩල්ලෙකේ එල්ලුනා. බයිසිකලේ සීට්ටෙකේ අග මොල්ලිය වගේ කෑල්ල මාමගෙ සරමෙ මැදට ඇන්නා. ඒ ගමන මාමව සීට්ටෙක උඩට වැටුනා. ගෑනු ලතෝනි තියාගෙන දිව්වා, පිරිමි සරොං කැහැපොට ගහගෙන දිව්වා. අපේ තාත්තා ලැගිජ්ජෙකේ එල්ලුනා. බයිසිකලේ කෝපි පඳුර දිහාවට පැන්නා.


"මල්ලියේ හරෝපාාාාාාං"


ලොකු පුංචම්මා ලතෝනි දුන්නා. 


"බේක්කල්ලහං යකෝ"


ගුණපාල බාප්පා බත් පංගුව අතේ තියාගෙන සාලෙ ඉඳං බෙරිහං දුන්නා. කවදත් වැඩිහිටි උපදෙස් ගරුකරන අපෙ මාමා ඒ උපදෙස් අනුගමනය කලා. බයිසිකලේ හැඩල්ලෙකේ ඉස්සරහ උඩ ගියා. මාමව ආපස්සට වැටුනා. අපේ තාත්තා මාමව ඔඩොක්කුවෙ තියාගෙන බිම වැහ්නා. බයිසිකලේ පැත්තකට පෙරලිලා පස්සෙ රෝදෙ කැරකුනා. මං ආච්චම්මගෙ කාමරේ ඇඳ උඩට නැගලා ඉඳං ජනේලෙං බලං හිටියා. තමුංගෙ මස්සිනා නැගිට්ටං පස්සෙ නැගිටලා ගිය අපේ තාත්තා බයිසිකලේ යතුර ආපස්සට කරකෝලා ඒකෙ ඉස්ටාක් එක නැවැත්තුවා. මාමා ගෙට වැදුනා. රැස්ව සිටි පිරිස



"ඉස්කෝලෙ මහත්තයා අලුතිං බයිසිකලෙයක් ගෙනැත් පාර මැද්දෙ දෙරි ගැහුවා"


කියන පණිවිඩේ ප්‍රචාරය කිරීමේ අරමුණින් විසිර ගියා. අසරණ බයිසිකලේ පාර මැද ඉතුරු උනා. මේ තරං හපංකමක් කරපු බයිසිකලෙයාට කිට්ටු කරන්න කවුරුත් කැමති උනේ නෑ. මාමා ඒක ගෙට ඇරං දානු ඇතැයි හිතලා අනික් අය තම තමංගෙ ගෙවල්වලට ගියා. අනික් අය ඒ වැඩේ කරනු ඇතැයි කියලා හිතලා මාමා ලැජ්ජාව වහගන්න එයාගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා. අන්තිමට බයිසිකලේ රැයක් එලිවෙනකං ගෙදර මිදුලේ වැටිලා තිවුනා. අන්තිමට පහුවදා උදේ අපේ තාත්තා දලු කඩන්න යන ගමං දැකලා බයිසිකලේ ඇරං ගෙට දාලා තිවුනා.


අදටත් අපේ මාමට හරි හමං විදිහට මොනම වාහනයක්වත් එළවගන්න බෑ කියලා මට හිතෙනවා. මීට අවුරුදු දෙක තුනකට කලිනුත් දෙවෙනි ජියර් එකේ අදින්නෙ නැති කඳුවලදි අපේ මාමා තුංවැනි ජියර්රෙක දාලා පයිං පොලවට ඇන ඇන යනවා මං දැකලා තියෙනවා. ඒවගෙ වෙලාවට


"ඕක පස්ටෙකට දැම්මනං අදිනවනෙ"


කියලා කවුරුහරි කිව්වොත්


"ඕන්නෑ මේ ඩිංග යන්න මොකටෙයි ආයි ජියර් මාරු කොල්ලා."


අපේ මාමා උත්තර දෙනවා.




Sunday, July 24, 2016

කාර්යාල ක්‍රමය

 “මෙවර බ්ලොග් වසන්තය සම්මානලාභී සියළු සහෘදයින්ට මගේත් චූටිමැණිකේගේත් උණුසුම් සුභ පැතුම්. ඔබ සියළු දෙනාට තවත් යතුරු ලියනය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.“

මාත් මේ රස්සාවට එනකං මහජන සම්බන්ධතා පවත්වන ක්‍රමය ගැන දැනං හිටියෙ අල්ප වශයෙං. සේවක පරිපාලනය ගැන දැනගෙන හිටිත් කාර්යාලයකට එන මිනිහෙක්ට සලකන විදිහ දැනං හිටියෙ නෑ. ඒ හංදා මං අකරතැබ්බ ගානකට මුහුණදීලත් තියෙනවා. අද කියන්න යන්නෙ මං හදාගත්තු කාර්යාල ක්‍රමය ගැනයි. මේක ආයතන සංග්‍රහයෙ නෑ. අලුතින් පත්වෙච්චි ඔපිසර මහත්තුරුන්ට හෙම මෙව්වා වැදගත් වෙයි.


2010 අවුරුද්දෙ මැයි මාසෙක මං මේ පලාතට ආවෙම මල් පාත්ති, පෝච්චි, වතු පිටිං පැනගෙන. ඇයි කියල අහන්නෙ? ඇයි යකෝ තදවෙන්නෙ නැද්ද? රත්නපුරේට හදල තිවුණ මගෙ පත්වීම දාං ඇදල වගේ එකක් කරල මාව මෙහාට දැම්මහං, කුළුඳුල් ** වැනි ප්‍රේමය තියලා කිලෝමීටර එකසිය අසූගානක් (වන් හන්ඩ්‍රන් එයිටි කිලෝමීටර්ස්) දුරකට යන්න වුනහං එපා වෙන්නැද්ද? මං ඉස්සර ඉඳංම බලහත්කාරෙං මාව මෙහෙයවනවට මං කැමති නෑ. ඒ හංදා මං මෙහාට ආවෙම වෙසමුණි වරමෙං.


ඇවිල්ල වැඩ බාරගෙන මගෙ අතිජාත මිත්‍රයගෙ ගෙදර නැවතුනා. මටයි තව එකෙකුටයි දවසක් දෙකක් යද්දි දෙවෙනි ලොක්කගෙ නිල නිවාසෙ දුන්න  “හිටපල්ලා“ කියලා. ඒ ලොක්කා ගෙදර ඉඳං වැඩට එන හංදා නිකං මාසෙයක් ගානෙ කැපෙන ගෙවල් කුලී ගාන අපෙං අයකරගැනීම තමයි එතන “අභ්‍යන්තරේ“. ඉතිං අපි ඒ භූත වාසෙ නඩත්තු කරගෙන හැකරැල්ලන්ගෙං බේරෙන්න කඳවුරු මේස උඩ නිදාගෙන, මීයො එක්ක ජීවිතේ පටං ගත්තා.


මේ තියෙන්නෙ ඒ වාස භවන ඔය පොළවට ගැළපෙන ඇඳුමක් ඇඳං ඉන්නෙ මං තමා



ප්‍රියයන්ගෙන් වෙන්වීමත් (“ප්‍රේමේහි විප්‍රයෝගෝ“) අප්‍රියයන්ට අහුවීමත් (“මීයෝ, කංකුන්ඩෝ) නිසා මං තවත් ඇට්ටරයෙක් වෙලයි හිටියෙ.


මාත් ඉතිං රස්සාව කරගෙන ගියා. අපරාදෙ කියන්න බෑ ඉන්න අය සේරම මට සෑහෙන උදව්කලා වැඩ ඉගෙනගන්න. මගේ ජීවිතේට එහෙම එකක් උනාමද කොහෙද ඒ. ඒ කිව්වෙ හැමෝම මට උදව් කිරීම. මං බාරගත්තෙ මාස ගානක් තිස්සේ කටයුතු නොකරපු මහා ලියුං කන්දක්. කන්දක් කිව්වට කන්දක්ම නෙමෙයි කහල ගොඩක්. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හත අටක වැඩ. මට කලින් ඒක කරපු එකා දවල් දවසෙම ටවුමෙ කරක්ගගහ හිටපු එකෙක්. වැඩක් කරලා නෑ.


මුලින්ම වැඩ බාරගෙන දවස් කීපයක් යනකං ආපු අයට උත්තර දුන්නේ කලිං වැඩ කරපු කෙනා. සතියක් විතර යද්දි ඒ වැඩේ මටම පැවරුනා. පරණ ලියුම් වලට පිලිවෙලකට උත්තර ලියාගෙන, මැනුම් ඉල්ලීම් ටික අදාල තැංවලට යවාගෙන, ලස්සනට වැඩ ටික කරගෙන යන්න හිතුවට ඒක දවස් දෙකෙං හබක්. මුලින් ආපුදේට මුලින්ම ක්‍රියා කිරීමට වඩා කරදරයක් වෙන්න පුලුවන් දේ ඉක්මනින් කොහෙට හරි යවන්න කියන එකයි ඉහළ නියෝගය වුනේ. ඒ හංදා සමහර වැඩ නිකංම යට ගියා.


ඒ වුනාට මිනිස්සුන්ට එව්වා මතකයි. හැමදාම උදේට හය හත් දෙනෙක් කඩාගෙන පාත්වෙනවා.


"මහත්තයා අපේ ඉඩං කෑල්ල මන්නෝගන්න ලියුමක් එව්වා තාම මයින්න ආවෙ නෑ. ඒක බලන්න ආවෙ."


උදේ පාන්දර නමය වෙන්න කලිං කඩාපාත්වෙන මනුස්සයෙක් තමයි ඒ.


"කෝ ඒක මනින්න එවපු මැනුම් ඉල්ලිමක විස්තරයක් එහෙම තියෙනවද?"


මාත් ඒකෙ කොනක් පාදගන්න උත්සාහ කරනවා.


"එහෙම එකක් නං නෑ. ගාමසේවක මහත්තෙය තමයි කිව්වෙ අපේ ඉඩං මයින්න ඒජියෝපිස්සෙකෙං මෙහාට එවල තියෙනව කියල"


"එහෙම කිව්වට හරියන්නෑනෙ. අපිට ඒක එවලද නැද්ද කියල බලන්න එහෙං එවාපු ලියුමක විස්තරයක්වත් ඕනි."


"මහත්තය, බලන්නකො අඹගස්වැව වසම කියලා තියෙද කියලා. අපේ ඉඩං තියෙන්නෙ තැපැල් කන්තෝරුවට වංගු දෙකක් එහායිං අස්සට තියෙන පාරෙ කුඹුරු යාය අද්දරමයි."


ඔය කියන දීපංකරවල නං ගං වත් අහල නැති මට පොහොට්ටුවක් පනිනව. ඒ කියන්නෙ මලේ බබා අවස්ථාව.


"එහෙම කිව්වට හොයන්න බෑ. අනික අපේ ප්ලෑන්වල තැපැල් කංතෝරු, අනං මනං ලකුණු කරල නෑනෙ. ඒ හංදා මනින්න ඉල්ලල එවපු මැනුං ඉල්ලීමෙ අංකෙයි දිනෙයි ලියල අරං එන්න. එතකොට හොයල කියන්නං"


ඔන්න ඔය ගමන මිනිස්සු ආයිත් වැරදි පොටෙං අල්ල ගන්නවා. ඒ ගොල්ලං හිතන්නෙ මං පුලුවං වැඩක් නොකර අරිනවා කියලයි.


"එහෙම නෙමෙයි මහත්තයා. මං මහත්තයට සලකන්නං. මට මේක කොල්ල දෙන්න."


අන්න පිංවතුනි පුෂ්ප පිපී මකරන්ද දිලෙන කතාව. මං පුල් වොලියුම් දාලා සභාවෙං අවසර ගන්නවා.


"ඔයාට පිස්සුද? මට ආණ්ඩුවෙං පඩියක් ගෙවනවා. ඔයාගෙං පගාව කන්න මං මොකෙක් කියල හිතුවද? අල්ල දෙනව පොලිසියට. අපිව හොරු ගාන්ට ගත්තද?"



අන්තිම වචන ටික අහන්න මිනිහා එතන නෑ.


ඔය සමහරු එන්නෙ උදේට  ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙට ආපු ගමං. ඒ වගේ අයගෙං මැනුමට අදාල ලියුං කියුං ගැන ඇහුවං කියන්නෙ වෙනිං උත්තර.


"මං මේ ඉස්පිතාලෙට ආ ගමං ලෙඩෙක් බලන්න. මේකත් ඒ ගාං බලායන්න ආවෙ. ලිවුමක්නං හම්බුවෙලා තිවුනා. මං ඒකනං ගෙනාවෙ නෑ."


ඒකටත් මට දෙන්න තියෙන්නෙ පරණ උත්තරයමයි.


"ඒක නැතුව මං කොහොමද ඔයාගෙ මැනුම ගැන බලන්නෙ. ආයිත් ඒ ලියුමත් ඇරං එන්න. නැතුව හොයන්න බෑනෙ"


ඒත් ඒ මනුස්සය වැඩේ අතාරින්නෙ නෑ.


"අපිට ඇහිල්ල තිවුනෙ කොපිය. මෙහෙට මුල් පිටපත ඇහිල්ල ඇත්තෙ. බලන්නකො මගෙ නම ඇති ආර්රැම් පේමදාස කියලා. කවුඩුමුල්ල වසම"


"එහෙම හොයන්න බෑනෙ දවසකට එක ප්‍රාදේශීය ලේකං කොට්ඨාශෙකිං ලියුං අටක් දහයක් එනව. ඉතිං කවද ආවද නොදැන කොහොමද හොයන්නෙ."


ඒ ගමන එයා වෙනිං පාරකිං එන්න හදනවා.


"මහත්තය දන්නව ඇති අර අලවත්තෙ ඉන්නෙ ඕසියර් කෙනෙක් කරුණාපාල කියල, කලිං මෙහෙ වැඩ කලේ. එයා මගෙ හොඳ යාලුවෙක්. බැයිද පොඩ්ඩක් මේක උනංදුවෙං හොයල බලන්න."


අවුරුදු ගානක් තිස්සෙ අපේ කාර්යාලයට ආපු ලියුං දාස් ගානක් අතරිං එයාගෙ ලියුම ආවද නැද්ද කියල හොයන එක මාසයක් විතර යන වැඩක් කියලා එයාට අවබෝධ කරල දෙන්න කොයි තරං උත්සාහ කරත් බෑ. මිනිහා හිතන්නෙ මං කම්මැලිකමට මගාරිනව කියලා. ආයිත් පුෂ්ප පිපී මකරන්ද දිලේ.


"ඔයා එහෙනං ඒ කරුණාපාලටම එන්න කියන්න. ඇහිල්ල හොයන්න කියන්න."


සමහර වෙලාවට ඔපිස්සෙකේ පරණ අය මට උපදෙස් දෙනව.


"ඔන්නොහෙ මොකක් හරි කියල යවහං මල්ලි. නිකං කෑ ගහල ලෙඩ දාගන්න එපා. තාම උඹ ප්‍රොබේෂන් පිටනෙ ඉන්නෙ."


"ඔය පොරවල්ලට කියල තේරුං කරන්න බෑ මල්ලි. බොරුවක් කියල යවාං"



ඔෆිස්සෙකේ හිටපු අක්ක කෙනෙක් එයා ගාවට එන අයට උත්තර දුන්නෙ මෙහෙම.


"මෙහෙමයි අංකල්, ඔයාගෙ ඉඩමට රික්වීශන් එකක් එවල තියෙනං ඒකෙ නම්බ එකයි ඩේට් එකයි අරං එන්න. නැත්නම් එෆ්වීපී නම්බ එකයි ලොට් නම්බ එකයි හොයං එන්න."


ඒ අමුතු ඉංගිරිස් වචන පත්තියං නොවුන අයං අංදුංකුන්දුං වෙලා ආපහු ගියා මිසක ආවෙම නෑ.


හුඟක් මිනිස්සු ආව ගියා. සමහරු සතිපතා ආව ගියා. කලාතුරකින් සමහරු බැනලත් ගියා. ඒත් ප්‍රශ්ණ එක තැනමයි. සමහර ප්‍රශ්ණ එක තැනම කරකැවෙන බව පේන්න තිබුනා. ආයතන අතර සුළු අනවබෝධයක් නිසා හුඟක් ගැටළු අවුරුදු ගනං ඇදිලා තිවුනා. මිනිස්සු තමුංගෙ ජීවිතේ සහ මුදල් අතර මගට, බස් වලට ගෙවලා දැම්මා. දෑහැට පේන ගැටළුවලට දෙන්න පුළුවං විසඳුම් වලට මගක් නැතුව ඔහේ කාලය නාස්ති වෙනවා බලං ඉන්න අපි කාටත් සිද්දවුනා.



ඒ අතරෙ ඔය ක්‍රමයේ කූට ප්‍රාප්තිය යෙදුනා. මොකද්දෝ කේන්තියක් පිට ආපු මිනිහෙක් සහ එයාගෙ බිරිඳ මගේ මේසය පිටිපස්සෙ මට අවහිර වෙන විදිහට හිටගෙන උන්නා. එයාලට අහකට වෙන්න (අනුන්ට කරදරයක් නොවෙන්න ඉන්න දන්නැද්ද?) කියලා කියපු මට අර මනුස්සයා "ගුටි පූජාවක්" දෙන්න ආවා. මූනට මූන "ඇයි" කියාගෙන ආවත් 'මුගෙං දෙකක් කෑවොත් මට ඉස්පිතාලෙ ලගින්න වෙන' බවට සත්‍යාවබෝධයක් මට ලැබුන නිසා වලියක් නො ඇදි බේරුනා. කියන්න සංතෝෂයි පිංවත්නි කාර්යාලයෙ එකෙක්වත් ඒ වෙලාවෙ මගෙ පිහිටට හිටියෙ නෑ. හරි පුදුමයි නේද? 


එදා හවස ඔය ගැන මං අපේ බොස්ට දොස් කිව්වා.


"බලන්න බොස්. ඒකා මට නෙලුවනං එහෙම කවුරුවත් නෑනෙ. හරිනං බොස් ඌ මට බැන්න එකට ඇක්ෂන් එකක් ගන්න ඕනි."


එයා මට කිව්වෙ මේන් මෙහෙම කතාවක්



"මිනිස්සු මෙතනට එන්නෙ එක එක කුණු ගොඩවල් ඔලුවෙ තියාගෙන. ඒ නිසා අපි කියන දෙයක් ඒ මිනිස්සුන්ගෙ ඔලුවට වැටෙන්නෙ නෑ."


"ඉතිං ඒකට අපි මක්කොරන්නද බොස්. ආයි අපි මෙතන.............."



"ඉන්නකො පොඩ්ඩක් කියනකං. මේ මිනිස්සුංගෙ ඔලුවල තියෙන කුණු අහක් කලොත් ඉඩක් හිස් වෙනවා. ආං එතකොට අපි කියන දේ ඒ මිනිස්සුංගෙ ඔලුවට වැටෙනවා"



"ඉතිං අපි මොනව කරන්නද බොස් ඒකට"



"ඒකට ඔයා ක්‍රමයක් හදාගන්න. හැමෝටම එකම බෙහෙත පත්තියං වෙන්නෙ නෑ. ඒ එන මනුස්සයගෙ පැත්තෙන් හිතුවහම ඔයාට ඒකට ලේසි ක්‍රමයක් ලැබෙයි."



මෙන්න මේ වෙලාවෙදි තමයි මට මගෙ කලින් රස්සාවෙදි "නවක කෙල්ලන් රෑනක්" සඳහා යොදාගත් ක්‍රමය සිහියට ආවෙ. මං එ්ක ආපහු යොදාගන්න තීරණය කළා. 


මුලින්ම මගෙ මේසෙ ඉස්සරහිං 'අමුත්තාගේ පුටුවක්' තියාගත්තා. එන අයට ඉඳගන්න.


"එන අයව ඉක්මනට යවන්නෙ නැතුව ඉස්සරහිං තව ඉන්දවල තියා ගත්තම ඒ මිනිස්සු රටේ නැති ප්‍රශ්ණත් කියවන්න පටං ගනියි"


එක්කෙනෙක් කකුලෙං ඇද්දා. අවුලක් නෑ. මං තව පරණ කඩදාසි ටිකකුයි පෑනකුයි තියාගත්තා. 



"එක එක ඒව ලියල දෙන්න එපා. ඔය මිනිස්සු ඕවා තැන තැන ගිහිං පෙන්නුවම අපිට කේස් වැටෙන්න පුලුවං"


මගෙ අනික් කකුලෙනුත් ඇද්දා. මං ඇහුනෙ නෑ වගේ හිටියා. ඒ අතරෙ මගෙ 'කුකුල් කේන්තියට' මනෝ විද්‍යාත්මක බෙහෙතක් ලැබුනා. ඒ හංදා මං 'වෙනදා වගේ නෙවෙයි. වැඩි සද්දයක් නෑ' කියලා කීප දෙනෙක්ම මගේ මූනටම කිව්වා. අන්තිමට මං මගේ 'කාර්යාල ක්‍රමය' පටං ගත්තා.


මිනිස්සු දෙතුන් දෙනෙක් ආවොත් මුලින්ම ආ කෙනාව 'අමුත්තාගෙ පුටුවෙ' ඉන්දවා ගත්තා. අනික් අයට "ඔය මහත්තුරු පොඩ්ඩක් අර ඉස්සරහ තියෙන පුටුවලිං ඉඳං ඉන්නවද? තරහ නැතුව" කියලා කිව්වා. දැං මගෙ ළඟ ඉතුරු එක්කෙනයි. එයාට තමයි මගෙ සම්පූර්ණ අවධානය. වටේ දෙතුන් දෙනෙක් හිටියම අමාරුයි. ඒ අය කරන කියන දේවලුත් බලන්න වෙනවා. දැං තියෙන්නෙ යතුර කරකවන්න.


"ආ.. කියන්නකො බලන්න මහත්තය ආපු කාරණාව"



ගහපු ගමං ස්ටාට්. මෙව්වට බැට්රි නැතත් මෝටරේ වදිනවා.



"මහත්තයා මං එක සියවලියකට වඩා ආණ්ඩුවෙ කන්තෝරු ගානෙ ඇවිදල ඇති මගෙ මේ ඉඩං ඩිංගට ඔප්පුවක් හදාගන්න. දැං මං වයසක මිනිහා. මට දැං වයස අසූවටත් වැඩියි. දරුවො එක්කොම ලොකුමහත් වෙච්චි අය. ලොකු දුව බැඳල ලමයි තුං දෙනයි. අනික් අයත් කසාද බැඳල පදිංචිය මහගෙදර ඉඩමෙමයි. දැං අපේ කාලෙත් හරි. මගෙ හුලංටික යන්න කලිං මේ ඉඩම බෙදල එකලාසයක්  කරගන්න ඕනි. නැත්තං මං නැති කාලෙක මේ ළමයි ටික ඉඩං වලට කාකොටා ගත්තං අපිට මැරිලවත් සැනසීමෙං ඉන්න නෑ දරුවෝ..........................."



මේ සේරම මං අහගෙන ඉන්නව. මේවා රාජකාරියට අදාල දේවල් නෙවෙයි. එයාගෙ ඉඩම මැනීමේ කටයුත්තට මේ කියවෙන කිසිම දෙයක් අදාල නෑ. නමුත් මේ මනුස්සයාගෙ ඔලුවෙ තියෙන සේරම දේවල් කලත්තලා දැම්මම අපිට අවශ්‍ය දේවල් තියෙන්නෙ අවක්ෂේප වෙලා අඩියේ. උඩ තියෙන්නෙ ඔක්කොම පාවෙන රොඩු. ආයතන සංග්‍රහයට මනුස්සයගෙ හැඟීම් දැනීම් ගැන පරිච්ඡේදයක් අඩංගු නැතුවට ඒවා සමග ප්‍රතික්‍රියා නොකර ගැටළු විසඳන්න බෑ. ඒ හංදා විනාඩි දහයක් විතර දුන්නම මිනිස්සු තමුංගෙ ඔලුවෙ තියෙන රොඩු සේරම මගෙ මේසෙ උඩට ටිපර් කරනවා. මාත් "ඇත්තද", "එහෙමද", "ඉතිං" ආදී වචන සවල්වලින් එයාට උදව් කරනවා. එයා හලන කඳුළු ගොඩේ අහුලගන්න යමක් තිවුනොත් ඒ එයාගෙ වයස, ළමයි ගාන වගේ දේවල් විතරයි. අන්තිමට එයා කියල ඉවර වෙනවා. ඉං පස්සෙ මම හිමීට කූඩෙයි උදැල්ලයි අරං එයාගෙ ඔලුවට බහිනවා.



"එහෙනං මාමෙ (මේක තමයි වයසක අයට නියම වචනෙ. අංකල් කියන්න නරකයි.) අපි මේක විසඳන්න බලමු. මට මුලින්ම කියන්නකො ඉඩම මැනල දෙන්න කියලා කාටද ලියුමක් දුන්නේ."



"මං කීපවිටක් කිව්වා ග්‍රාම සේවක රාලාමිට. මේ අපේ ගමේ ළමයෙක්. ඒ ළමයා හරිම හොඳා. මට පස්සෙ දවසක් මළගෙදරකදි හම්බුවෙච්චි වෙලාවෙ මං ඇහුවං කිව්වා වැඩේ කෙරෙයි මයින්න යවල තියෙන්නෙ කියලත්"



"එහෙමද, එතකොට ඔය ඉඩම මනින්න මෙහාට බාරදුන්නයි කියලා ලියුමක් එහෙම ඔය මාමට එව්වද ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙං"



"එහෙම එකක් නං ආවෙ නෑ. ඉතිං අපි අර ග්‍රාමසේවක ළමයව අඳුරන හංදා ලියුං එවන්න නැතුව ඇති."



ඔන්න දැං මට අවබෝධ කරගන්න පුලුවනි මේ වැඩේ පටං අරගෙනවත් නෑ කියලා. ඒ වුනාට මේක තවත් සහසුද්දෙටම හොයල බලන්නෙ නැතුව යමක් කියලා ඒත්තුගන්වන්න බෑ. මේ වෙලාවෙ මට පිහිටට එන්නෙ "උපහාරෙ". ඔව්, ආණ්ඩුවෙ රස්සා කරන අයට දුන්න එක තමා. ඉස්සර මං ඒක ගත්තෙ මල් කඩන්න. ඒ කාලෙ ඒක ‘පුෂ්පෝපහාරය‘. කරකාරෙං පස්සෙ දැං ඒක රාජකාරි වැඩවලට විතරයි. මං ඒකෙං ගන්නව ඇමතුමක් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.



"මං අහවල් කාර්යාලයෙ අහවල් ශිල්පී අසුවලා කතා කරන්නෙ. මේ මගෙ ගාව ඉන්නවා අසුවල් ග්‍රාම නිලධාරි වසමෙ කෙනෙක් ගැටළුවක් විසඳගන්න ඇවිල්ලා. මට මේ සබ්ජෙක්ට් එක කරන කෙනාට කතා කරන්න ඕන."



ටිකකිං කවුරුහරි උත්තර දෙනවා. බොහෝවිට කාන්තාවක්



"අව්ව්... මොක්ද්ද ම'හත්තයා දැනගන්න ඕනීඊ"


දැං එහෙමනෙ ගෑනු ළමයින්ගෙ උච්චාරණය. වීනාවක් පීරෙං ගානව වගේ. මාත් ඉතිං එයාට මේ මනුස්සයගෙ විස්තරේ කියනවා. එයත් එයා ගාව තියෙන ලිපිගොනු බලලා මට උත්තර දෙනවා. සමහර වෙලාවට විනාඩි දහය පහලොව ගතවුනත් වෙලා තියෙන දේ හරියාකාරව හොයාගන්න පුලුවං වෙනවා. සමහර වෙලාවට මේ ඇමතුම් ආයතන ප්‍රධානියා දක්වාම යනවා. හැබැයි අවසානෙට ලියුං පනහක් හැටක් ලියලවත් කරන්න බැරි විදිහට ගැටළුව ලිහල විසඳුමක් ලැබෙනවා. මේ කටයුත්ත හිංදා ආයතන අතර හිතවත්කම් එහෙමත් ගොඩනැගෙනවා. මං ඇමතුම හමාර කරන්නෙ උත්තරයක් අතේ තියාගෙන.


"ඔබතුමාගෙ ඉඩම මැනල දෙන්න කියලා ඉල්ලීමක් ඒ කාර්යාලෙට ගිහිල්ල නෑ."



"වෙන්න බෑනෙ මහත්තයා. අර දරුවා කිව්වනෙ එයා කිව්වයි කියලා. අපේ නම ලැයිස්තුවෙ මුලටමලු දැම්මෙ"



අලුත දැකපු මට වඩා ගමේ ඉන්න එදා ඉඳං දන්න ග්‍රාම නිලධාරී එයාට විශ්වාසයි. ඒ හංදා උත්තර දෙන්න ඕන ඒ හිතවත්කම නොබිඳෙන්න.


"මේකනෙ වැඩේ. එයාට ලියුමකිං ඉල්ලීමක් කරන්නෙ නැතුව මොකුත් කරන්න බෑ. ඉතිං හිතවත්කම හිංදා 'ඔය වැඩේට ලියුමක් ලියල දෙන්න' කියල කරදර කරන්නෙත් නැතුව ඇති. නේද?"



"ආ... ඒක වෙන්නැති. ඒ ළමයා හරි අහිංසක ළමයෙක්. අපිව දැක්කං අදටත් පුටුවෙන් නැගිට්ටෙනවා"



"ඒකනෙ මං කිව්වෙ මාමෙ. දැං එහෙනං ඉස්සෙල්ලම එයාට ලියුමක් දෙන්න ඉඩම මැනලා දෙන්න කියලා. ඒකටම අමුනලා බලපත්තරේ  කොපියකුත් දෙන්න."



"ලියුං ලියන එක තමා වැඩේ. මට බෑනොවැ ඔය ලියුං ලියන්න. දැං ඇහැ පේනව හොරයි. මං දෙකෙං එහාට ඉස්කෝලෙ ගිහිං නෑනෙ."


"ළමයෙක්ට කියල ලියවන්න පුලුවංනෙ"


"උං ඉගෙනගත්තෙ නෑ නෙවැ. එකෙක්වත් හරියට. එහෙම කොලානං මටම මේවට දුවෑවවිදින්න වෙන්නෑනෙ"


"එහෙනං මං ලියුමක් අතිං ලියලා දෙන්නං. ඒක ලියුං ටයිප් ගහන තැනකට දීලා ටයිප් ගහගන්න පුලුවන්නෙ"



"අනේ ලොකු දෙයක් දරුවෝ"


මං එයාගෙ ඉඩම් බලපත්‍රයෙන් විස්තර අරගෙන, පරණ කඩදාසියක ලියුම ලියනව පැන්සලෙං. යටිං ලියනවා කාර්යාලෙ දුරකථන අංකයත්. හැබැයි කාටවත් මගෙ පුද්ගලික දුරකථන අංකෙ දුන්නෙ නෑ. අපේ බොස් ඒ උපදේසෙ කලින්ම දීලයි තිවුනෙ.



"එහෙනං මේ ලියුම ඒ විදිහට හරිගස්සෝලා බලපත්තරේ කොපියකුත් එක්ක ග්‍රාම නිලධාරි මහත්තයට දෙන්න. ඉං පස්සෙ සති දෙහෙකිං ඉතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිං **** කියලා නම තියෙන මිස් කෙනෙක් ඉන්නවා. එයාගෙං අහන්න ඒ ගැන විස්තරේ. ආයි මොනව හරි දැනගන්න තිවුනොත් මේ කොලේ යටිං තියෙන ටෙලිපෝන් නොම්මරේට මෙහාට කෝල්ලෙකක් ඇරං මගෙ නම කියල අහන්නකො. ආයි එන්න ඕනි නෑ."


"ආනේ.... හොඳා දරුවෝ. එහෙනං මං එහෙම කොරන්නං. ඔය ළමයට බොහොම්පිං."



එහෙම කියලා එයා නැගිටිනවා. මං ඊළඟ කෙනාට එන්න කියනවා. ඒත් අර පලවැනියා යන්නෙ නෑ. වටේ කැරකෙනවා. මං එයා දිහාට හැරෙනවා ආයිමත්..



"මොකද මාමා. තව ප්‍රශ්ණ තියෙනවද?"



එයා පුලුවං තරං මයෙ දිහාට නැමෙනවා. ඉං පස්සෙ සෑහෙන අඩු හඬකිං මෙහෙම කියනවා.



"මහත්තයාගෙ ටැලිපෝන් එකෙනුත් සෑහෙන වියදමක් ගියා. ඒකට මොකවක්කත් සැලකීමක්......"



වෙනදට කියන වචන සැට්ටෙක කටට ආවත් මං ඒක වෙනස් කරනවා.



"මට පඩිය ගෙවනවානෙ ආණ්ඩුවෙං. ටෙලිපෝන්නෙකට විනාඩි දාහක් නිකං හම්බුවෙනවා මාසෙට. ඒ හංදා මට වියදමක් නෑ. මාමා ආණ්ඩුවෙ වැඩවලට කාටවත්ම සල්ලි දෙන්න යන්නෙපා. ඒක වැරැද්දක්. ඔය මං කියාදුන් පිලිවෙලට වැඩ කරලා ඔප්පුව හදාගන්න. තව කාටහරි ඕනැ උනොත් ඔය ක්‍රමේ කියල දෙන්න."



එයාට ආයුබෝවන් කියලා මං දෙවෙනියාට ඉඳගන්න කියනවා. එයාගෙත් හිතහැදෙන්න වචනයක් කියාගෙනම



"ඉඳගන්න මහත්තයා, ටිකක් පරක්කු වෙන්න වුනා නේද?"



ඔය විදිහට මං පටං ගත්තු වැඩේ සාර්ථක වුනා. කාර්යාලෙට එන පිරිස අඩුවුනා. දුරකථන ඇමතුම් වැඩිවුනා. තමුංගෙ වගාවෙ, ගෙදර වැඩපොල කරගන්න ගමංම මිනිස්සු රාජකාරි වැඩත් ගෙදර ඉඳගෙනම කරගත්තා. නිකං ටෙලිපෝන් ඇඩ්ඩෙකක් වගේ. ඇමතුමට අවටිං ඇහෙන සද්ද අනුව ඒ අය තමුංගෙ වගාබිමේ, වැඩපලේ, ගෙදර ආදී තැන්වල ඉන්න බව මට දැනුනා. සමහර සත්පුරුෂයො තමුං ඉගෙනගත්තු රාජකාරි ක්‍රම අනෙක් අයටත් කියල දුන්නා. ඒ අතරිං සමහරු කාර්යාලයට කතා කරලා මගෙ නම කියලා මගෙන්ම උපදෙස් ගත්තා. මං මගේ රාජකාරිය හරියට ඉෂ්ටකරලා ඒකෙං කාටහරි යහපතක් වුනහම මට සෑහෙන සතුටුයි. රැකියාවෙන් සතුටු වීම නිසා මං ගන්නා පඩියත් මට යාදුන්නා. දැං මම කරන රාජකාරිය මහජන සම්බන්ධතා නැති එකක්. ඒ හංදා දැං මට ඒ සතුට විඳින්න ක්‍රමයක් නෑ.




මේ ළඟදි දවසක් කාර්යාලෙදි වැඩක් කරගන්න ආව කෙනෙක් මා එක්ක කතා කෙරුවා.



"මහත්තයද **** කියන්නෙ"



"ඔව්. මොකද්ද දන්නෑ කාරනාව"



පරණ පුරුද්දට මං ඇහුවා.



"මං ආවෙ අපේ ඉඩමෙ ප්ලෑනෙ පිට කොපියක් ගන්න. අපේ තාත්තා මහත්තය ගැන කියලා තියෙනව අපිට අපේ ඉඩම මනින්න ක්‍රමේ කියල දුන්නෙ මහත්තයයි කියලා. අපිට ඔප්පු හම්බුනා. දැං අවුරුද්දකට ඉතර උඩදි“



“මට මතක නෑ. ඉතිං හුඟක් අය එනවනෙ.“


ඒ ගමන එයා සාක්කුවෙන් ඇදල ගත්තා හතරට පහට නමපු කොලයක්


“මේ කොලේ තාත්තා ගාව තිවුනෙ. ගමේ අයට ඔප්පු හදාගන්න ඕන උනහං තාත්තා මේක දෙනව ‘මේං මේ විදිහට බොලෑ නං ගං දාලා ලිවුමක් හදලා බලපත්තරේ කොපියක් එක්ක ග්‍රාම සේවක ලමයට ගිහිං දියල්ලා. මේ කොලේ පරිස්සං කරලා මට ගෙනැත් දියල්ලා‘ කියලා“


ඒ තමයි මං පැන්සලෙං ලියල දීපු ලියුම. මට ඒ මනුස්සයව මතක් වුනා. මට හරිම සන්තෝෂයක් දැනුනා



“ දැං කෝ තාත්තා. සනීපෙං ඉන්නවද?“ 



“තාත්තා ගිය මාසෙ ආන්තරා උනා. ඊට කලිං මට මේ කොලේ දීල කිව්වා පරිස්සං කරල ඇරං තියාගෙන ඕනැ කොරන කෙනෙකුට දෙන්න කියලා.“















Monday, July 11, 2016

බබ්බු බැලිල්ල හෙවත් පොඩි එක්කෙනා බලන්න යාම

ළමයා ජාතියේ මොකක්දෝ එකක් බවට කවුද මංදා ලොක්කෙක් කියා තිබේ. අපේ අම්මානං ඉස්සර කියන්නේ "මුං හදාගත්තට වඩා හොඳයි ගඟට විසික්කෙරුවනං" කියාය. අනවශ්‍ය ඕනෑ දෙයක් කුකුලේ ඟගට විසිකරන එක අපේ ගමේ සිරිතකි. ගඟට මොනවා විසි කෙරුවත් ගඟෙං ගොඩගන්න නං මාලුවෙක්, මැණික් ගලක්, වැලි කූඩයක්, කට්ට කඳක් හෝ මළ මිනියක් වෙන්න ඕනෑය.



ළමයෙක් අළුත උපන්නොත් චිත්‍රපටි වල ඉන්න ගැමියෝ අහන්නේ සරමක්ද කම්බායක්ද කියාය. ඒ වුනාට අපේ ගමේ අය අහන්නෙ "කොල්ලෙද්ද කෙල්ලෙද්ද" කියලාය. කොල්ලෙක් නං "පරම්පරාව ගෙනියන්න එකෙක් ඉන්නවා ඇති යංතං" කියා ප්‍රතිචාර ලැබෙන අතර. කෙල්ලෙක්නං "දැම්ම හිටං දෑවැදි හදා තියහල්ලා" කියා උපදෙස් ලැබේ. අපේ ආච්චම්මා කියන විදියට නං කොල්ලෙක් උපන්නොත් කුරුල්ලෝ පවා සංතෝෂ වෙනවලු. "අපිටත් වී කරලක් කන්න ගොවිතැං කරන්න එකෙක් උපන්නා" කියලා. උන්දෑ කියාදීපු කවි දෙපදයක් තියෙනවා. ඔලුව වනවනා පොලවෙ වලවල් හාරන ගමං කටුස්සො කියන්නෙ මේ දෙපදයලු.



"කොල්ලං වලලං
කෙල්ලං ගෙටගං"



මේකට හේතුව කොල්ලො කටුස්සන්ට කරදර කරන හින්දලු. නැට්ටෙං අල්ලල විසික් කිරීම වගේ සෑහෙන අකටයුතුකං කොල්ලංගෙං කටුස්සන්ට වෙනව කියනවනෙ. 



අපි උප්පැත්තියෙන්ම බලන්න යන්න රුසියෝ. කාගෙ හරි, මොකක් හරි වැදගත් දෙයක් සිද්ධවුන ගමං අපි සේරම දේවල් පැත්තක දාලා ඒක බලන්න යන්නේ පැටිපැටවු අතිං කටිං එල්ලගෙනයි. බෝම්බයක් පිපිරිච්චි එකක්, මිනියක් මැරිච්ච එකක්, වහබීමක්, පිහියා ඇනගැනීමක්, ගුටිකෙලියක්, ඇක්සිඩමක් හැප්පිච්ච එකක් (අපෙ ආතගෙ ශබ්දකෝෂයෙනි), සිද්ධවෙච්ච ගමං අපේ ගමේ අය එතැන වටකරගන්නේ ගෝල්දේශෙ අය අරිෂ්ටෙ බොන්න දුවනවා වගේය.

  

ඒ ඇරුණම වැඩි කලබලයක් නැතුව හීංසැරේ හවස්සතේ ගිහිං බලා එන්න යන කාරණාත් තිබේ. ගෙදරකට අලුතිං පිට කවුරුහරි ඇවිල්ල නැවතීම, කැබිනට්ටෙකක්, පුටු සැට්ටෙකක්, කැසට්ටෙකක්, ටීවියෙකක් ගෙන ඒම ආදිය එයින් සමහරක්. ඒ වගේ දේවල් සිද්ධවුන විට ඒ ගැන අහගෙනම යන්ට නරකයි. නොදන්නා තාලෙට වෙනිං උවමනාවකට වගේ ඒ ගෙදරට ගිහිං ගෙදර අයගෙ කටිංම වචනෙ එළියට අරගෙන,



ආ... එහෙමත් එකක් උනාද? අපි කවුරුවහ්ම දන්නෑ ඔය වගක්. මං මේ දෙහිගෙඩ්ඩක් ඉල්ලං යන්න ආගමං. ඉතිං කියංකො නංගියෙ විස්තරේ



කියා ඕපාදූපේ මුලහිට දැනගෙන, ඒ ගෙදර දෙහි ගහේ සන්තකේටම තියෙන දෙහි ගැට දෙකත් හිඳගෙන ඇහිල්ලා ගම වටේම විස්තරේ පතුරවන්නත් පුලුවන.



ඒ ඇහිල්ල ඉන්න හාදය මට පේන හැටියටනං නෝන කෙල්ල යාළුවෙලා ඉන්න එකාද කොහෙද? දෙන්නම එක තැනමයි බාන පිටිං. උං දෙන්න නාන්න යන්නෙ හිටං එකට



ඒක අහන අනෙක් අයත් පාවට්ට කොළ, ඉඟුරු ඉත්තක්, කහ අලෙයක්, කරපිංච ඉත්තක්, සම්ප කොලෙයක්, එඬරු කොළ මිටක් ආදී නොයෙක් ජාති හොයන්න යන විදිහට ඒ ගෙදරට ගිහිං ඒකෙ අලුත්ම විස්තරේ හොයං එනවා.


මේ කාරණා දෙකටම තෑගිබෝග ඇරං යන්න ඕන නැත. ඇඳං ඉන්න වස්තරේ පිටිං යන්න පුළුවන.



ඔය වගේ නැතුව තෑගිබෝග අරං බොහොම පිලිවෙලකට යන්න ඕන තැනක් තමයි  අපෙ අම්ම කියන විදිහටබබ්බු බලන්න යාම“, “ළමයි බලන්න යාම, ආච්චම්මගෙ බාසාවෙං කියතොත් පැටිය බලන්න යාම, නැත්තං චූටි මැණිකෙ කියන හැටියට කියතොත් පොඩි එක්කෙනා බලන්න යාම. අලුත උපං ළමයෙක් බලන්න මුලින්ම ඉස්පිතාලෙට යන්නේ ළමයාගෙ අම්මගෙ අම්මාය. ඒ යන්නේ තමුංගෙ දුවට කන්න කිවුලෙං බත් මුලක් බැඳගෙන තව හෝරලිස් බෝතලයක් පිරෙන්න මිරිස්සොදි හදාගෙනය. ළමයා හම්බුවීම හිංදා පාං කියාගන්න බැරුව ඉන්න සිය දෝනියැන්දැට අර මිරිස්හොදි බෝතලෙං බාගයක් පොවා ඉතුරු ටික බත් මුලට දමා ගිල්ලවන්න වෙන කවුරු ගියත් බැරිය.



අපේ ගෙවල් කිට්ටුව ඉන්නා *** බාප්පාගෙ පවුලට(මේ කියන්නෙ Wife මිස Family නොවේ) බාලම ළමයා හම්බුවුන වෙලාවෙ ඒ වගේ මිරිස්සොදි පොවන්නයන්න කෙනෙක් හිටියේ නැත. *** බාප්පා සිය බිරින්දෑව පන්නගෙන ඇහිල්ලා තිවුනේ ගිනිමඩු බලන්න ආපු ගමන්ය. ඒ හංදා දෑවැද්ද නැතුව දූව ගෙන ගිය බෑනාට කළගුණ සැලකීමක් වශයෙන් ඒ දෙමාපියෝ උං දෙන්න ඉන්න දිහා බලාගෙන බත් කෑවෙත්‘ නැත. එයිට දෙවෙනි වීමට අකමැති වුන *** බාප්පගෙ දෙමාපියෝ අපිත් උං ඉන්න තැනක පස් පාගන්නෑ කියා දැනුං දුන්නෝය. මේ විදිහට තමුංගේම උත්සාහයෙන් දියුණුවූ *** බාප්පාගේ පවුලට සිය තුංවෙනි දරු උපතේදී මිරිස්හොදිබොන්නම වුනේ අපෙ ආච්චම්මගෙනි. 



“*** මල්ලිගෙ පවුලට ළමෙය හම්බුනා. අද පාංදර



කියා පණිවුඩේ ගෙනාවේ ඉස්පිරිතාලේ වින්නඹු නෝනෙක් වන තෝර නැන්දාය. එදා දවල්ට සිය බිරින්දෑත්, අලුත උපන් දියණියත් බලන්න යාමේ අරමුණ ඇතිව විජහට මොනව හරි උයාගන්න ගෙදර දුවන්න හැදූ *** බාප්පාගේ කනට මීපැණි වක්කලේ අපේ ආච්චම්මාය.



හිටාං *** පුතේ. මං එන්නං බෝත්තෙක්ක කෙල්ල බලන්න යන්න. මං එක්කොම ලැහැත්ති කොරගන්නං. උඹ මොකවක් ගෙනියන්න ඌමනා නෑ,



පස්වනක් ප්‍රීතියට මේකත් එකතු කොට හයවනක් ප්‍රීතියෙන්ම පිනාගිය *** බාප්පා ඉර දෙයියෝ රත්නෙ බාප්පලෑ  මුදුං වහලෙ කෙලිං ආච්චම්ලෑ එලිපත්ත දිහා බලනකොටත් බස්සෙකට නගින්න පාරට ඇවිල්ලාය. අපෙ ආච්චම්මාත්


දැම්ම ගියා කියල වැඩහ්නෑ *** ළමෙයො. ලෙඩ්ඩු බලන්න දෙන්නෙ දොලහටනෙ



ආදී වසයෙං කියමින් පවුඩර උලමින්, සාරි පොට හදමින් බස් කීපයක්ම ටවුම බලා යනතෙක් හැඩවැඩ වුනේ මටත් නොයෙක් විට සැරවැර කරමින්ය. ඒ අතරේ *** බාප්පා ඉස්තෝප්පුවේ ඉඳ ආතගේ කෙබරවලට හ්ංකියමින්ද, ඒවාට කිසිසේත් නොගැලපෙන උත්තර දෙමින්ද නොයිවසිල්ලෙන් පාරට දත නියවා උන්නේය.




අන්තිමට මහා රෙදි බරක් දාන බෑක්කෙකක් කරගහගත් *** බාප්පාත්, රහ්නෙ පිට යන විශේෂණ පදය සහිත බත්මුලක්, මිරිස්හොදි සහ ‘වතර බෝතලේ‘ ආදිය දැමූ ඉස්තිරික්කයක් මෙන් රත්වූ බෑක්කෙකක් ටිකක් දුරට වෙන්න අතේ එල්ලාගත් ආච්චම්මාත් පිටිගලකන්ද බස්සෙකට නගිනවා අපි බලාගෙනය. සිය රහ්නෙපිට ජාති අඩංගු බෑක්කෙකෙං කීප දෙනෙකුගේ ඇඟවල් පුච්චා දමා සෙනග ටික එහාට මෙහාට කර, මුහුද දෙබෑකොට ඉන්දියාවට පයිං ගිය නීල මහා යෝදයාගේ ලොකු අම්මා මෙන් සීට්ටෙකක් අද්දර ඉඩ ඇති තැනකට ගිය ආච්චම්මා 



මේක ටිකක් අල්ලගනිං ළමෙයො



කියා සිය රක්තතප්ත බෑක්කෙක ඉඳං හිටි කෙල්ලකගේ ඔඩොක්කුවට දමා ඇයවත් උයීයීයීකියා පුච්චා දමා ඒ සීට්ටෙකද දිනාගත්තේ අසුරු සැනේටය. එතැනිං එහාට කතාව මට කිව්වේ *** බාප්පාමය.



***
බාප්පාත් ආච්චම්මාත් ඉස්පිරිතාලෙට වෙලාවට යන්නට ඇත. අපේ ආච්චම්මාගේ කට කැඩිච්චකතා නිසා නොයෙක් වර පීඩාවට පත්ව සිටියත්, උන්දෑගෙන් නොයෙක්විට ඇදකුද ඇහුවත්, ඒ සියළුම නරක මේ හොඳට හිලව්කළ *** බාප්පා, සන්තෝසෙං හිටියේ කොල්ලො දෙන්න හම්බුවෙච්ච වෙලාවෙ වගේ නැතුව මේ වතාවෙ අනික් අයට පේන්න හරි සිය බිරිඳට තාවකාලික අම්මෙක් ලැබීම නිසාලු.



ආ.... කියන්න අමතක වුනානෙ. ළමයෙක් බලන්න ගියහං ළමයගෙ හැඩහුරුකම් බලා අම්මගෙං, තාත්තගෙං ආව කොටස් මොනවදැයි කීම සිරිතක්.


ඔය තියෙන්නෙ තාත්තගෙ නහය ඒ විදිහටම


අම්මගෙ විදිහමයි ඔලුව. දිගටියට


ආදී විදිහට බැලූ බැල්මට කීම වගේම, තව හොඳට හොයල බලල දිග පළල මැනල පරිමාණයට අනුව සමමිතියත් බලපු අය කියන්නෙ.


තාත්තගෙ කපාපු පළුව


කියලයි.


මෙහෙම කිව්වහම දෙමව්පියන්ගෙ හිත සන්තෝසයි. සිය බිරිඳට හොර මිනිහෙක්(මේකට වෙනිං හොඳ වචනයක් අපේ ගමේ තිබ්බෙ නෑ)  හිටිය කියල හිතපු සැමියෙක් උනත් ඒ වගේ කතාවකින් හිත හදාගන්නවා. ඒ බව දන්න සමහර බිරින්දෑවො,



බලන්නකො අම්මෙ මේ චූටියගෙ නහය අපේ මෙයාගෙ වගේමයි තුංහුලැස් නේඒඒද....


කියලා කියෝගන්නවත් එක්කලු.


ඉතිං අපෙ ආච්චම්මත් ගිහිං සිය බාගෙට නිවිච්චි මල්ලත් පෙල්ලෙන්නැති වෙන්න පැත්තකිං තියලා අලුත උපං බිළිඳියව හීංසැරේ අත්තඩංගුවට ගත්තලු. ඉං පස්සෙ සිරිත ක්‍රියාත්මක කලාලු. ඒ කියන්නෙ අම්මගෙයි, තාත්තගෙයි ගැජමැටික් ළමයට සමාන කිරීම. ළමයව හරෝල කරල බලල අපේ ආච්චම්මට සමානකමක් හොයාගන්නම බැරිවුනාලු. ඉස්සර මේ සිරිතේ ඉතිහාසයෙ හැම තැනකම අලුත උපන් ළමයා සහ දෙමව්පියන්ගෙ මොකක් නමුත් සමානකම් කීපයක්ම හමුවෙලා තියෙනවා. ඒත් කොතනකවත් නොවිච්ච මේ කිසිම සමානකමක් හොයන්න බැරි අවස්ථාවට කොහොම මූණ දෙන්නද හිතාගන්න බැරුව දෙගිඩියාවට පත්වෙලා හිටපු අපෙ ආච්චම්මා  අන්තිමට ඇත්තට මූල් තැන දීල තීන්දුව දුන්නලු.



මේඒඒඒඒ නං *** පුතේ උඹෙ ළමෙක් නෙමෙයි. උඹෙ ළඟිංවත් ගිහිං නෑ. නහයත් උඹෙ වගේ නෙමෙයි මුක්කංනෙ



ළමයි හම්බුවෙච්චි ගෑනු අයට මිරිස්සොදිදකිනකොටත්, බලල්ලුන්ට සිද්දාලේප දුන්නා වගේ අප්පිරියයි. හැබැයි **** බාප්පගෙ පවුල එක හුස්මට මිරිස්සොදි එක බිව්වෙ අපෙ ආච්චම්ම දියරයක් නොවන හින්දලු. තමුංගෙ බිරිඳ ගැන හොඳ අවබෝධයක් තිවුන හිංදා *** බාප්පා අපේ ආච්චම්මගෙ ‘කට කැඩිච්චි කතාව‘  කනකට ගත්තෙ නෑ. හැබැයි එයිං මතුවට අපේ ආච්චම්මට ගමේ කාගෙවත් ළමයි බලන්න යන්න සිද්දවුනේ නෑ.



ළමයි බලන්න යද්දි තෑගි තෝරන්න කලිං කවුරුත් හොයන්නෙ ළමයා පිරිමිද, ගෑනුද කියල විතරයි. ඒ ඇඳුං සූට්, සාලු, පැනල් රෙදි වගේ ඒව තෝරද්දි ගෑනු ලමෙක්නං රෝස පාට, කොල්ලෙක්නං නිල් පාට එව්වගෙං ගන්න ඕන හිංදයි. සමහරු ළමයගෙ ඇඳට උඩිං එල්ලල තියන ට්‍රීරූම් ට්‍රීරූම් කියල කැරකෙන සෙල්ලං බඩුත් ගිහිං දෙනවා. නැත්තං ටිකක් ලොකුවට පේන්න තියෙන බේබි සෙට් එකක් අරං යනවා.  ලේසිම ජාතිය තමයි සබං පවුඩර්. අම්ම තාත්තගෙ හිතවත් කං අනුව ළමයා ඉස්කෝලෙට බාරදෙන කාලෙ වෙනකං ගාන්නයි උලන්නයි තරම සබං පවුඩර් හම්බුවෙනවා. අපෙ මාමගෙ බාල ලමයට හම්බුවෙච්චි සබං පවුඩර ටිකත් ඒ විදිහට ළමයගෙ ඇඳගාව ජනෙල් පඩිය උඩ අට්ටි ගහල තිවිලා ඒක උස වැඩිකමට ළමයගෙ ඇඟට පෙරලිලා ඒ කාලෙ හරි හෙයියම්මාරුවකුත් උනා.



අපේ නංගි උපන්නෙ මට අවුරුදු නමයෙදි. ඒ දවස්වල හැමෝම නංගිට තෑගි ගෙනාවට මට මොනවත් ලැබෙන්නෙ නෑ. ඒ හංදම මං පුදුම තරහකිං හිටියෙ. ඇයි යකෝ මටත් ගෙනකො විජේ පත්තරයක් තරම. නැත්තං හූණු බිත්තර පැකැට්ටෙකක් ගෙනාවත් රුපියල් පහයිනෙ. අන්තිමට මට තෑගි මොකවක්කත් නොගේන එකෙට්ටවත් කහට වක්කොරන්න මං එහෙම වතුර පෝච්චිය ලිපේ තියන්නෑ කියල ප්‍රකාශයක් නිකුත් කරල මං ගුටිත් කෑව.




ඒ හංදා මං කාගෙ හරි බබෙක් බලන්න යන්න කලිං බබාගෙ අම්මට හරි තාත්තට හරි කතාකරලා තොරතුරු ගන්නවා. මං රතුපාටිං, දරුවගෙ පියා නිල් පාටිං සහ නිගමනය වරහං ඇතුලෙ.


මේ කීවෙනි බබාද බං හයවැනියද?“


නෑ යකෝ තොට පිස්සුද? මේ තුංවැනියා


(
ඒ කියන්නෙ තව දෙන්නෙක් ඉන්නවා)


හරි හරි වැරදුනා මචං. ලොකු එක්කෙනා දුවනෙ. පහේ ඉන්නව කිව්වෙ නේද?“


බොට මංඥංද ලොකු එකා කොල්ලා. ඌ තුනේ


(
ලොකු දරුවා තුන වසරෙ පිරිමි දරුවෙක්)


හරිනෙ. අර දවසක් උඹ හරහට වඩංගියෙ දුවනෙ නේද, බෙහෙත් විදින්න ඇහිල්ල


යකෝ ගෑනිට ඇහෙන්න කියන්නෙපා. අපේ කෙල්ල දැං මෝන්ටිසෝරියෙ

(
දෙවැනි දරුවා මොන්ටිසෝරි යන දියණියකි)


හරි හරි මට පැටලුනා. ඒ අර අපේ පියන්තෙයගෙ ළමයනෙ. ඉතිං කියහංකො මේ ගමනත් කෙල්ලෙක්ද?“


නෑ බං කොල්ලෙක් කොල්ලෙක්


(
අලුත උපන් දරුවා නිල් පාට තෑගි ලබන්නෙකි)


ඉරිද දවල්ට අපි එනවා එහෙනං තිබ්බා.


ඔය විදිහට දත්ත ගත්තහම තාත්ත දන්නෙත් නැතුව සිය පවුලෙම විස්තර ගන්න පුළුවනි. ඉං පස්සේ තෑගි ගන්නා විට මුලින්ම ලොකු දරුවො දෙන්නට තෑගි අරංගන ඉතුරු සල්ලි වලින් අලුත උපන් දරුවාට ගන්නවා. අලුත උපන් දරුවාට හැමෝම තෑගි දෙතත් එයාට ඒවා ගැන වගක් නැත. නමුත් ලොකු දරුවන්ට කවුරුත් තෑගි නොදුන්නට එයාලාට තමුන්ට තෑගි නොලැබුන බව හිතට දැනේ.  ඒ හංදා මම මුලින්ම කරන්නේ ලොකු දරුවන්ට තෑගි දීලා එයාලත් එක්ක වැඩි වෙලාවක් කතා කරන එකයි. ඒ වගේ මගෙත් එක්ක හිතවත් වුණු දරුවො කීපදෙනෙක්ට අදටත් මාසෙකට වතාවක් දෙකක් කාටුන් චිත්‍රපටි යවන්න මං බැඳිලා ඉන්නවා. ඔය විදිහට තෑගි දීමෙන් මං මගේ කුඩා කාලයටත් සලකාගන්නවා.



හැබැයි ඉතිං අර පරණ සිරිත, ඒ කියන්නෙ දරුවාගෙ හැඩරුවේ දෙමව්පියන්ට ඇති සමානකං කියන සිරිත අමතක කරන්න හොඳනෑ. ඒ හංදා මාත් බොරුවටඒ වගේ හැඩහුරුකං කියනවා. 



කාලෙකට ඉහත අපි දෙන්නා ඒ වගේ ගෙදරක ගියා පොඩි එක්කෙනෙක් බලන්න. එදා තව කීප දෙනෙකුත් එහෙ හිටියා. දරුවගෙ තාත්තා වන අපේ හිතවතා ඇඟපත උස මහතට තියෙන පෙනුමට ඉන්න කෙනෙක්. ඕං ඉතිං ටිකකිං මිනිහා කාමරේ ඉඳං වඩාගෙන ආවා ජම්බල ගෙඩ්ඩක් වගේ (ඇස්වහක් කටවහක් නෑ) දරුවෙක්. ඕං නියම අවස්ථාව කියන්න උදාන වාක්‍යයක්. ඉතිං මං කිව්වා කටට ආපු වාක්‍ය.



තාත්තගෙ සයිස්ම වෙයි ලොකු වෙනකොට උඹ වගේම තමයි මූණූවර එහෙම



අපේ හිතවතා ඒකට ප්‍රති උත්තර දුන්නා.



මේ පහළ ගෙදර පොඩි එකා බං. අපේ එක්කෙනාට වයිෆ් කාමරේ කිරිපෝනව



හදිසි වැඩක් තිවිච්චි හිංදා අපි ඉක්මනට ගෙදර ආවා.