Tuesday, August 25, 2015

මොකවත් කිරීම, සූටි ඇඟිලි පාට කිරීම නොහොත් ඡන්ද විමසීම



ඕං බලන්න අපි ඡංදෙයක් තියල එව්වයෙ රාජකාරිත් අකුරටම ඉටු කරල අන්තිමට ප්‍රතිපලෙත් දුන්න. ඊයෙ උදේ මැතිවරණ කොමසාරිස් තුමා රාජකාරිවලට ගිය අයට ගතමනාව දෙන්න ඕන මේ මේ ආකාරයටය ආදී වසයෙං දක්වා තියෙන චක්‍රලේඛයත් එව්ව. ඒ උනාට තාම ඇමති මණ්ඩලේ එක්කාසු කරගෙන ආණ්ඩුවක් පිහිටුවගන්න මේ කට්ටියට බැරි උනානෙ.


එව්වයෙං කාරි නෑ. මැතිවරණෙ ගැන කිව්වට මැතිවරණෙ කෙරෙන හැටිය කියන්ට බැරි උනානෙ. සතියක්ම ගෙවුනත් ඒ ගැනත් කියල හිටින්නං. අනේ හැබැයි මෙතනත් අරවාදීන්, මේ වාදීන් කුලල් කාගන්නව එහෙම නෙමෙයි.


මැතිවරණ රාජකාරිය කියන්නෙ සමහරුන්ට මරණව වගේ වැඩක් උනාට බහුතරයක් අය මැතිවරණ වැඩට යන්නෙ හරිම ආසාවෙං. හරියට කුළුඳුලේම තමංගෙ හිත ගත්තු ගැටිස්සි බලන්න යනවා හා සමාන චීත්ත ප්‍රීතියෙං. ගෙදර උන්දැගෙං වහං වෙලා “මල් පැං පොදක්“ පාවිච්චි කරන්න ලැබෙන්නෙ මේ වෙලාවෙ විතරනෙ. මැතිවරණ රාජකාරි වලට නාවොත් නඩුත් දාල දඩත් ගහනව කියල මැතිවරණ කොමසාරිස් තුමා නිවේදනය කරල තියෙන හිංද කවුරුත් මැතිවරණ රාජකාරි අයදුං කරනව. ඔය විදිහට මමත් අයදුම්පත්‍රයක් දානව. ඡංදෙට සතියකට විතර කලිං ඒකට උත්තර එනව එනව ලියුමකිං ඔබව මෙවර මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට තෝරාගෙන ඇති බව සතුටින් දන්වමි කියල. සතුටු නැත්තෙ කාටද.


එදා ඉඳං ඡන්ද ස්ථානාධිපති සහ ඉහළ තනතුරු ලැබිච්චි අය පන්ති යනව ඡන්දෙ කරන්න ඉගෙන ගන්න. ඊට පහල තනතුරු ලැබිච්ච මං වගේ අයට තමුන්ට වැඩ කරන්න තියෙන මධ්‍යස්ථානෙ අහවල් තැන බවත් එතැනට මේං මේ මග සලකුණු අනුව අසුවල් දින මේ වෙලාවට පෙර වාර්තා කරන ලෙසත් එතැංදි බොලාට කියාදෙන්න ඕනි හරිය කියාදෙනු ඇති බවත් පෙර කී ලිවුමෙම තියෙනව.


ඡංදෙ දවසට කලිං දවසටත් කලිං දවසෙ ටවුමෙ පිට්ටනි දෙහෙක වාහන සියගානක් වෑං, ජිප් ආදිය ගාල් කරල තියෙනව. ඒ පහුවදා උදේම ඡංද පෙට්ටිත් අරං ඡන්ද මධ්‍යස්ථානෙට යන්න. පහුවදාට ඡංද වැඩට යන්න නියමිත අය ඒ තැංවලට ඇවිල්ල තමන්ට යන්න නියමිත මධ්‍යස්ථානෙට යන වාහනේ හොයනව. පහුවදාට ඒකෙම යන්න ගමං පහසුව සලසා ගන්න. එදා රෑට මැතිවරණ කොමසාරිස්තුමා බොහොම ඉහලිං කතාවකුත් පවත්තනව ටීවියෙකේ. ආයි මොකා ආවත් බය වෙන්ඩ හොඳනැති බවත්. ඒ වෙලාවට කොරන්ඩ ඕනැ මේං මේ දේ බවත් කියල එතුමා අපේ ඉළඇට කූඩුව අස්සෙ තියෙන එක උද්දාමෙං පුරවනව


එයිට පසුදා, ඒ කියන්නෙ ඡංදෙට පෙරදා උදේ දහය විතර වෙනකොට මාත් පිටත්වෙනව. ඡංද මධ්‍යස්ථානෙට යන වාහනේ ඉඩ මදි වෙයි කියන සැකේත්, බස් ගමනාගමනය විස්වාසයක් නැති හිංදත් මං යන්නෙ මගේ බයිසිකලේ. පහුවදා අඳින සූට්ටෙක, බෙස්සීට්, දවල් බත් මුල, ප්‍රථමාධාර පෙට්ටියකට තරං බෙහෙත්, ඉස්තිරික්කෙ ආදී සියල්ල දාපු මහා බෑග්ගෙකකුත් බැඳගෙන මං පිටත්වෙද්දි චූටි මැණිකෙ මට අවවාද දෙනව.


“අතරමග එහෙ මෙහෙ නොයා කෙලිංම යන තැනට යන්න.“

“වතුර හීතලනං නාන්නෙපා.“

“රෑ වෙලා ඇවිදින්නෙපා“

“හෙමීට යන්න. වැස්සට තෙමෙන්නෙපා“

මං ඒ කීම අහල අතරමග නොරැඳි දිගටම ඡන්ද මධ්‍යස්ථානෙට යනව. වතුර සීතල හිංද රත් වෙන්න “ධූමකේතු“ කීපයක් මගිං ගන්න විතරක් නවතිනව. ඒකත් අත්‍යවශ්‍ය හිංද. පත්වීම් ලියුමෙ කොයි තරං මග විස්තර කියල තිවුනත් මග දිගේ එක එක්කෙනාගෙං අහගෙන තමයි යන්න තියෙන්නෙ. මිනිස්සුංගෙං පාර ඇහුවාම ඒ අය අහන එව්වට වෙනම උත්තර දෙන්න ඕනි.

“අයියෙ මේ බල්ලපැන්න හංදිය තව ඉස්සරහද“

“ඇයි මල්ලි කොහෙටද යන්න ඕනි.“

“ඒ හංදියට තමයි යන්න ඕනි“

“එතැන කොහෙටද“

“ආ... මේ එතනිං දකුණට යන්න ඕනි.“

“දකුණට කොහෙද. කිඹුලනැටුවගමද?“

“එච්චරනං දන්නෑ අයියෙ. මේ ලියුමෙ මට කියල තිවුනෙ ඒ හංදියෙං හැරිල එන්න කියල“

“කොහෙද මළ ගෙයක්ද? හොයන්නෙ“

“නෑ.. මේ ඡංද වැඩට එන්න කියල තියෙනව“

“ආ... මේ ඡංද වැඩට. ඔය පැත්තෙ ඡංදෙ ඉල්ලන අයනං කවුරුවත් නෑ. මල්ලි මොන පස්සෙද?“

“නෑ. අයියෙ මේ ඡංද මද්යස්තානෙ චංද වැඩට.“

“ආ... එහෙම කියන්නෙපෑ. මොකද්ද හරියටම තැන කියන්නකො“

එයා නැට්ට උඩිං කකුල අහකට ගන්නව.

“මේ............  බා ඉඩම්පහුව සිරි ගජබා ප්‍රාථමික විද්‍යාලය“

“ආ..... ඒකනෙ. කලිං කියන්න එපායැ. හරි ඔහොම්මම යන්න තව කිලෝමීටර හතරක් ඉතර. එතකොට හම්බෙනව බල්ලපැන්න හංදිය. එතනිං උඩට යන්න.“

“උඩට කිව්වෙ අයියෙ දකුණටද වමටද?“

“වං අත පැත්තට“

“මේ ලිවුමෙ තියෙන්නෙ දකුණට කියලනෙ“

“ආ.. හරි ඔයා යන පැත්ත ගත්තං පස්සෙ ඒක හරි. මං කිව්වෙ මයෙ වං අත“

“එහෙම හැරිල ?“

“එහෙංම කෙලීඊඊඊංම යන්න කිලෝමීටර තුනක් ඉතර. ඉං පස්සෙ කාගෙං හරි අහන්නකො“

“හා. හරි අයියෙ හොඳයි. ඉස්තූතියි මං යන්නං“

ඒ අයියගෙ මව ප්‍රමුඛ කොට හතර වරිගෙට පිං දීල මං පිටත් වෙනව. අන්තිමට හතර වටේ ඇවිදල. අහල පහල ගං වලටත් ගිහිල්ල අදාල තැන හොයාගන්න පුළුවං වෙනව. එයිං පස්සෙ තියෙන්නෙ අදාල කොළවල අස්සං කිරීම. හැටහුටාමාරක් කඩදාසිවල එකම දේ ලිවීම වගේ වැඩ. ගෑනු, පිරිමි දෙකොට්ටාසෙම නිලධාරීං හැමෝම ආවයිං පස්සෙ “පෙරහුරුව“ පැවැත්වෙනව. එතෙංදි ඡන්ද මධ්‍යස්ථානාධිපති විසිං අපිට කළ යුතු වැඩ පිළිබඳ දේසනාවක් දෙනව. ඉං පස්සෙ ඡංද වැඩට ආපු කාන්තාවො ටික ආපහු යනව. ඒ අය එන්නෙ පහුවදා උදේ. ඊට පස්සෙ හැමෝම දවල් කෑම කාල වටපිටේ ඇවිද ඇවිද කල්මරනව. වග විස්තර කතා කරනව. දැනහැඳුනුංකං කියනව. සමහරු කතන්දරත් කියනව. ඒ ඔක්කොම ඡන්දපොල නිරීක්ෂණය කරන නිලධාරිය එනකං. ඕං ටිකකිං එතුමත් ඇහිල්ල. හැමෝම ආවද? කවුරුත් අඩුද? කෑමබීම හරිද? ආදී වසයෙං විස්තර අහල කොලයක් පුරවගෙන එයත් යනව.

ඉං පස්සෙ ඡන්ද මධ්‍යස්ථානාධිපති මෙහෙම අහනව.

“කට්ටිය මොනවත් කරනව එහෙම නේද? හිමීට“

“ආ.. ඔව් සර් දැංම මොනවත් ඕනි ජාති ගේන්න වෙයි නේද? තවටිකකිං වහයිද දන්නෑ“

“මමනං එනකොට බල්ලන්ට ගහන එව්වයෙං එකක් ගෙනාව. මදිපාඩු බලල දැංම ගිහිං ගේන්න“

“ආ.. හරි සර්. “

වැඩේ අකුරටම ඉස්ට සිද්ද කරන්න බාරගත්ත අපේ ටිකක් වැඩිමහල් එකෙක් එක එකා ගාවට ගිහිං කනට කිට්ටු කරල රහසෙං වගේ මේං මෙහෙම කියනව.

“මේ මොනවත් ගේන්න කියල බැලුවෙ. එනව නේද“

“ආ. ඔව්. ඔව් ගේනවද එහෙනං.“

කන අයිතිකාරය සාක්කුවෙං පසුම්බිය අදිනව

“ඔව්. පංසීයක් දියං“

පසුම්බිවල හිටපු නැට්ටුවො, බෙරකාරයො සේරම පිළිවෙලිං සම්මාදංකරන කෙනාගෙ අතට එකතු වෙනව සැඳෑ පෙරහරට එකතු වෙන්න. තව මොහොතකිං හිස් බෑග්ගෙකක් ගත්ත දෙන්නෙක් බයිසිකලේක නැගල ඡංද මධ්‍යස්ථානෙං පිට වෙනව. ඒ අතරෙ ග්‍රාමසේවකගෙ ගෝලය ඇවිල්ල තුංවේලට අවශ්‍ය කෑම බීම ප්‍රමාණ අහගෙන යනව. සංමාදංකාරය එයාව පැත්තකට අඬගහල කනට කරල යමක් කිව්වහම

“හොඳා සර් හයාමාට්ට කලිං ගේන්නං“

කියනව. මැතිවරණ කොමසාරිස් තුමා නිකුත් කරපු පොතෙත් තියෙනවනෙ “අවශ්‍ය අමතර වෙනත් ආහාර වර්ග වෙතොත් ග්‍රාම නිලධාරී වෙතින් පමණක් විමසා ලබාගත යුතුය“ කියල. ඉතිං පිටතැංවලිං අරං කොහොමද?

හිස් බෑග්ගෙක අරංගිය දෙන්න ඒක පුරෝල අරං එනකං අපිත් නාගෙන එහෙම ඇවිල්ල ඩෙස් බංකු ටිකක් එකට යා කරල ඉඩක් හදාගෙන පරණ කයි කතන්දර කියව කියවා මග බලමින් ඉන්නව. විටිං විට

“මුං දෙන්න කොයි ගියාද“

“මෙහෙ හතරැස් නැතුව වද්ද“

“අපිට කියන්න තිබ්බෙ තියෙන එකක් ගේන්න කියල“
ආදී වසයෙං කතාවෙනව. ඉවසීමක් නැති අය එහෙ මෙහෙ සක්මන් කරනව. අංතිමේදී ඒ දෙන්න එනව

“බඩු නැතුව ...........වත්තටම යන්න උනා“

කියාගෙන.

සැඳෑ අඳුර ගලාගෙන එනකොට අපි කලිං ඩෙස් බංකුවලිං හදාගත් රඟ මඩල වටේට රැස්වෙනව ඒ මැද්දෙං බෑග්ගෙකේ තියෙන දේවල් පරිස්සමට තියනව. ග්‍රාම සේවකගෙ ගෝලයත් ලොකු පළඟානක් ඒ අතරෙං තියනව. ඒක දැකල මට කවි පදයක් මතක් වෙනව. ‘මින් රල වුත් පළඟානට රැස්වූ ‘. එක් එක් අය තම තමංගෙ තරාතිරමට ගැලපෙන කුසලාන වන පීරිසි කෝප්ප, වතුර බොන වීදුරු, ඉවත දමන ඉටි කෝප්ප, ආදියත් ප්ලාස්ටික් වතුර බෝතල් මැදින් කැපීමෙන් හදාගත් තාවකාලික භාජන ආදියත් භාවිතා කරමින් “මොනවත් කරන්න“ පටං ගන්නව.


ද්‍රව භාජනවල පරිමාව පහල වැටෙද්දි ඒ හා සමානුපාතිකව අපේ අයගෙ භාෂාඥානය, සාමූහිකත්වය, සහෝදරත්වය, එඩිතරබව, කථිකත්වය, සමාජ විද්‍යාත්මක දැනුම, දේශපාලන දැනුම, භෞමික අඛණ්ඩතාවය ආදිය ඉහල නගින්න පටං ගන්නව. ඒ මොහොත වඩාත් සුන්දර කරමින් මිහිදුම් වලාකුළක් මෙන් රැළි නංවන “ධූමකේතු“ අතරිං පතර දැල්වෙනව. එක් එක් අය තම තමංගෙ ගෙදර, කාර්යාලෙ, මගතොටේ සිදුවෙච්ච සිදුවීම්, කවුරුත් දන්න ඉහළ කෙනෙක්ගෙ කෙරුවාවල් ආදිය කියවනව. ඒ අතරෙ ක්‍රීඩාශීලීත්වය ඔප මට්ටම් කරගැනීමට මෙය කදිම අවස්ථාවක් කරගත් එක් අයෙක් සිය ගමං මල්ලෙං Donkey pair එකක් අරගන්නව. මද වෙලාවක්  Donkey Game ක්‍රීඩා කිරීමෙන් පසු සංගීතලෝලීන් සුවහසක් පිනවීම සඳහා “ඔක්කොම ගායක ඔක්කොම වාදක“ ආකාරයේ සංගීත සැඳෑවක් ආරම්භ වෙනව.


රෑ එකොළහ පහුවෙද්දී “කෑම හීතල වෙන“ බවට ග්‍රාමනිලධාරීගේ ගෝලයාගේ අඬවැඩියාව හමුවේ සියලු දෙනාම රෑ කෑම ගන්නව. සමහර අය කටත් කණත් මාරුකරගෙන කනව. අන්තිමට ඩෙස් බංකු කීපයක් එකතු කරල හදාගත්තු “තාවකාලික ඇඳේ“ පැදුරු එලාගෙන මදුරුවන්ගේ ප්‍රචණඩ ක්‍රියාවන්ට හැකි විදිහෙං ප්‍රති ප්‍රහාර දක්වමින් අපි අඩ නිංදට වැටෙනව. නිංදෙං “ලී ඉරන“ අය යංතං පිටපලු කෑලි හතර ඉරල ඉවර වෙනකොට පාන්දර හතර වෙලා ඉවරයි. ආයිමත් වැසිකිලි, මූණ හේදිලි, තේ, රෙදි මැදිලි, ආදී පෝලිං පටං ගන්නව. පාන්දර පහයි තිහ වෙද්දි සේරම රාජකාරියට ලැහැත්තියි. කොටසක් අය ඡන්ද විමසන තැන පිලියෙල කරද්දි අනෙක් කට්ටිය අවට ප්‍රදර්ශනය කලයුතු දැන්වීම් ආදිය අලවනව. ඒ අතරෙ කාන්තා නිලධාරිනියො ටිකත් එනව. පක්ෂවලිං යොදවපු ඡංදපොල නියෝජිතයො, නිරීක්ෂකයො සියලු දෙනාමත් එනව. පාන්දරම මුලිංම තමුංගෙ පක්සෙට ඡන්දෙ දාන්න හිතාගෙන පෝලිමට එකට එන අය දොරකඩ තෙරපෙනව.

සේරම අහවර කරල හරියටම හතට ඡංදෙ පටං ගන්නව. පෝලිං දෙකයි. දොරකඩ ඉන්න පොලිසියෙ රාලහාමි එක එක්කෙනාව ඇතුළට එවනව. මුලිංම ඉන්න නිලධාරියට තියෙන්නෙ ඡංද දායකයගෙ හැඳුනුංපතයි, ඡංද කාඩ්ඩෙකයි අරං “මේ ඉන්නෙ ඇත්තටම මූමදැයි“බැලීමයි. අපරාදෙ කියන්න බෑ ගොඩක් අය එහෙම මූන බලාපු ගමං කටපුරා ‘හායි‘ ගාල හිනාවෙනව. ඉතිං කොරහංකො. මේ උන්නැහැ හිනා උනහම කොහොමෙයි පොටෝ එකෙයි මේකෙයි සමානකං බලන්නෙ. වසර හතලිස් ගානක් තිස්සෙ නිකුත් වෙච්ච අයිඩෙන්ටි කාඩ්වල පොටෝ බලන එකම එක්තරා ආකාරෙක ජොලියක්. හැත්තෑවෙ දසකෙ විතර දීපු බොහොමයක් අයිඩිං කාඩ්වල ඉන්න පිරිමි අය රැවුල වවල, කොන්ඩෙ දෙපැත්තෙං සපත්තු කට්ටෙක තියල මල් කමිස ඇඳං ඉන්න අයියල. ඒ කාලෙයි දැනට හැබෑවටම මං ඉස්සරහ ඉන්න අංකලුයි අහසට පොලව වගේ. ඒ උනාට හිතෙං ඒ පොටෝ එකේ රැවුල කපල, කොන්ඩෙත් ටිකක් අඩු කලහම මේ අංකල් සහ ඒ අයිය ටිකක් සමානයි වගේ. කාන්තාවොත් ඔලුව මුදුනෙං යගුලියක් විතර කොන්ඩෙයක් බැඳල බටු ගෙඩි විතර ඇට තියෙන මාලෙයක් දාල, අත් නැති හෝ අත් බොඩි බිල්ඩර්ලගෙ වගේ පුංබපු සාරි හැට්ට ඇඳල හිනාවකුත් දාගෙනයි පොටෝ එකේ ඉන්නෙ. ඒ අක්කත් මා ඉදිරියෙ හැබැහිං හිටං ඉන්න ඇන්ටිත් මනසිං සමාන කරල ගත්තම එක වගේ. සමහර අයගෙ කටේ ඇදයක්, නහයෙ හැඩේ අනුව සමාන කං හොයන්නත් පුලුවං. එක එක අය එක එක විදිහට තමයි පොටෝ එකට ඉඳල තියෙන්නෙත්. සමහරු උඩ බලං. සමහරු හිනා වේගෙනත් ඉන්නව.


එතනිං තවත් දෙයක් පේනව. නවසිය හතලිස් ගනංවල අග පනහෙ දසකෙ මුල වගේ උපං අය ඔන්න මලා මෙන්න මලා සයිස් එකෙං ඉන්නකොට තිහේ දසකෙ වගේ උපං අය තවම යසට හිටං ඉන්නව. ඒකටනං හේතුව තවමත් මට හිතාගන්න බෑ.


එයිං පස්සෙ ඡන්දදායකයව යවන්නෙ ඊළඟ නිලධාරියා වන නම කියවන තැනැත්තා ගාවට. එයාට තියෙන්නෙ ඡංදදායකයගෙ නම හයියෙං කියවන එක.


“පිටියග්ගල විදානෙ අප්පුහාමි රාළහාමිලාගේ දොන් පැට්‍රික් සිරිවර්ධන මුදියන්සේ “


එහෙම කිව්වම ඡංදපොල නියෝජිතයො තමුංගෙ විරුද්ධත්වයක් තියෙනං කියන්න ඕනි. නැත්තං ‘හරි‘ කියන්න ඕන. මෙහෙම නම කියද්දි සමහරු කැමතිත් නෑ. අඩු කුලේ කියල සම්මත අයගෙ නමිං ඒක අහුවෙන හිංද වෙන්නැති. සමහර වෙලාවට දෙමළ, මුස්ලිම් අයගෙ නං කියද්දි නිකං කියන්න බෑ බෑ වගේ. “කරුපයියා නන්දකුමාර්“ වගේ නමක් කොහොමෙයි මනුස්සයෙක්ගෙ මූණ බලාගෙන කියන්නෙ. ආයි ගෑනු කෙනෙක් දිහා බලං “පාතිමා උම්මා“ කියල කියන්න බයයි වගේ නැද්ද මං අහන්නෙ.


මෙන්න මේක තමයි පාට කරන්නෙ
එයිං පස්සෙ  ඇඟිලි පාට කිරීම. කාගෙ උනත් වං අතේ සුළැඟිල්ල තීන්තෙන් පාට කරන්න ඕනි. වයස යංතං දහඅට සම්පූර්ණ කරාපු කුළුඳුල් ඡංදෙ දාන්න එන සුට්ටිම සුට්ටි සාය කොටං ඇඳපු, සබං සුවඳ, ක්‍රීම් සුවඳ, පවුඩර් සුවඳ, සෙන්ට් සුවඳ හා කිරි සුවඳ යන පංචවිධ සුගන්ධයන්ගෙන් යුතු ළලනාවියංගෙ පැංසල් කූරු වගේ සිහිං, හීතලම හීතල, කහම කහපාට ඇඟිලිවල කියුටෙක්ස් තට්ටුවලට උඩිං තිංත ගාන්න සිද්දවෙන එක හරිම ශෝචනීයයි. ඒ වෙලාවට එයාල කට උල්කරල ‘අනීඊඊඊ“ කියද්දි අක්මාව කිලිපොලා යනව. මක් කොරන්නද ඉතිං ගාන්නම එපායැ. හරියට ඇඟිල්ල හරවල ඩෙස්සෙක උඩිං තියාගන්න එයාල දන්නැති හංද අතිං අල්ලල හරවල අනික් ඇඟිලි වලිං අල්ලගෙන ඉන්නත් වෙනව. සාමාන්‍යයෙං මේ වැඩේ බාරදෙන්නෙ හිරිමල් යොවුන් වියේ ගැටයෙක්ට තමා හිරි ඇරගං කියල.


එයිං පස්සෙ දෙන ඡංද කොලේ අරං කාඩ්බෝඩ් කූඩුව ඇතුලට ගිහිල්ල තමුං කැමති සතෙක්, කොළයක්, වාහනයක් මොකක් හරි එකකට ඡංදෙ ලකුණු කරල ඡංද පෙට්ටියට දාන්න ඕනි. සමහරු ඡංද කොලේ පෙට්ටියට දාල වඳිනව. කලාතුරකින් කෙනෙක් ඡන්දෙ දාල ඉවරවෙලා


“................................ පක්ෂයට ජයවේවා“


කියල කෑගහල විකාරත් නටනව.


 පෙට්ටිය ගාව ඉන්න තවත් නිලදාරියෙක් අඩිරූලකිං ඇනල ඡංද කොලේ පෙට්ටිය ඇතුලටම ඔබනව. ඔය විදිහට උදේ වරුවට සෑහෙන පිරිසක් ඡන්දෙ දානව. හවස් වරුවටත් විටිං විට කෙනා දෙන්න ඇවිල්ල ඡන්දෙ දානව. සමහර අය හරියටම හවස හතරට ඡංදෙ දාන්න එනව. එයිං බොහෝ අය මල් පැන් පොදක් තොලගාගෙන එන්නෙ ‘ඡංදෙ දාන්න නොදුන්නොත් බලාගමු‘ කියන සයිස් එකෙං.


අවසානෙට හරියටම හවස හතරට ඡංද පෙට්ටිය වහනව. ඒ එක්කම කඩිගුල ඇවිස්සෙනව. පෝම් පුරවන්න, මලු ගැට ගහන්න, එකතු හදන්න ආදී වැඩ ගොඩයි. ඒ සේරටමත් විනාඩි විස්සක් විතර යනව. අංතිමට ඡන්ද ස්ථානාධිපති අපිට පැමිණිමේ සහතික දෙනව. ස්තූති කතාවකුත් කරනව. අවසානෙට ඡංද පෙට්ටියත් අනෙක් ලිපි ලේඛණත් වාහනේට පටවනව.


ඒ එක්කම අපිත් අපේ බඩු මුට්ටු, බෑක් ආදිය අරං ආපහු එන්න පිටත් වෙනව. ඡන්ද පෙට්ටිය පටවාපු ගමන් වාහනේ ඩැයිවරට අමුතුම දෙයක් වෙනව. එයා ගුවන් නියමුවෙක් බවට පත්වෙනව. වාහනේ තියෙන තරමක් සේරම ලයිට් පත්තු කරගන්නව. හෝන් එක උඩට නැගගන්නව. ඇංජිම ‘මරෝඕඕ‘ කියල හඬදෙන විදිහට ලැල්ලටම පාගනව. අසාධ්‍ය ලෙඩෙක් ගෙනියන ගිලන් රථයක්, බැංකුවක් මංකොල්ලකාල පැනල යන හොරුංගෙ වාහනයක්, මිනිහෙක් යට කරල පලායන වාහනයක්, ආදී ඕනෑම වාහනයක් යැයි සිතෙන ආකාරයට දුම්දාගෙන වංගු, පල්ලං, කඳු, වාහන, මිනිස්සු කිසිවක් නොතකමින් එයාට යන්න ඇරල අපි පහුවෙනව. ඔය අතරෙ උග්‍ර දේසපාලනයෙහි යෙදී සිටින ගම්වැසියන් මග දිගට මේ වාහනේ එන පෙරමගට රතිඤ්ඤ පත්තු කරල දානව.  මං ඉස්සර උනොත් රතිඤ්ඤෙ වැටෙන්නෙ මගෙ ඉස්සරහට. ඒ හිංද කෝකටත් හොඳා පහුවෙන එක. ඒ උනත් මගට එද්දි එකතු වෙන මැතිවරණ වාහන පෝලිමට මැදට වැටිල මමත් ඉබේම හැටට හැටපහට වේගෙ වැඩිකරගන්නව. බිං කරුවල වැටෙද්දි මං ගෙදර.


මේකෙ හොඳම හරිය එන්නෙ ගමං වියදම් ඉල්ලුම්පත්‍රය ලිවීමෙදි. වැඩේට ගතවුනේ දවස් දෙක වුනත් ගිය වියදම පියවගන්න දවස් හතරකවත් සංයුක්ත දීමනාව ගන්න වෙනව. ඒ හිංද ගමං වියදම් පෝරමේ පුරවන්නෙ මෙහෙමයි.


15 වැනි දින - ඡංද මධ්‍යස්ථානය පිහිටි ............ ගමෙහි තාවකාලික නවාතැනට යාම
16 වැනි දින - ඡංද මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීම සහ රාත්‍රිය එහි රැඳී සිටීම
17 වැනි දින - ඡංද විමසීමේ රාජකාරිවල යෙදීම සහ එම ගමේ පිහිටි තාවකාලික නවාතැනෙහි ලැගුම් ගැනීම
18 වැනි දින - ආපසු නිවස බලා පිටත්වීම.


මේ ආකාරයට ගමන් කරන බස් ගණන වැඩි කිරීම, බසයේ වේගය අඩු කිරීම, ඊළඟ බසය එනතෙක් බස් නැවතුමේ රැඳී සිටින කාලය වැඩිකිරීම මගින් පැය ගණන වැඩිකරල මේ දවස් ගාන හදාගන්න පුළුවං බව පැරණි දක්ෂ ගමන් වියදම් සකස් කරන්නෝ අපිට කියාදීල තියෙනව. තව සතියකිං විතර මෙයිං කැපිල කෙටිල ඉතුරුවෙන ගාන මගෙ අතට ලැබෙයි.

65 comments:

  1. අම්මපා චන්ද පොලක වැඩ කොරා වගේම දැනුනානේ බං...චෝයී...!!

    ReplyDelete
    Replies
    1. දැනෙන්න ලියන්න. ආං ඒක තමයි විශිෂ්ඨත්වය. හික්

      Delete
  2. ටොප් ටොප් සුරංග.කතාව පණ පිහිටවල ලියල තියෙනවා.අතීත මතක රැසක් අවදිවුනා.

    ReplyDelete
    Replies
    1. තමුන්නැහැත් එහෙනං කාලෙයක් ආණ්ඩුවෙ රස්සාව කරපු කෙනෙක්නෙ

      Delete
  3. යකෝ මුන් තමයි දවසකටවත් මිනිස්සු. පාර්ලිමේන්තුවට යන ගැහිලි කාරයිට වැඩිය ගැහිලි කාරයො ටිකක්නෙ. බස් එකේ වේගෙ අඩු කරලත් ගාන කපනවනෙ. අනේ කියන තැනකට වඳින්නම් ඡන්දෙ නම් ඉල්ලන්න එපා පුතෝ.....

    ReplyDelete
    Replies
    1. මගුලක් කියනව. චූටි මැණිකෙ මට කියල තියෙන්නෙ “ඡංදෙ ඉල්ලන්න. මහ මැතිවරණෙට තියා සම්පකාරෙ මැම්බර් කමටවත් ඉල්ලුවොත් බලාගෙනයි“ කියල

      Delete
  4. වන්දනා හැලි වලට වඩා ‍ෙමෙේ රහයි බං

    ReplyDelete
    Replies
    1. Kata wahapiya...
      Ul pigiyak dâla anô comment ekak dânawa... Hariya...
      Wandanâwa honday macho...

      Delete
    2. Moka liwwatth rahai macho

      Delete
    3. මටත් ඒක තේරුංයනකොට වැඩේ කොටස් දහයක් තරම දිග ඇදිල

      Delete
    4. උඹ අටමා බීලා ඉන්නකොට කියන ඒවා කනකට ගන්න එපා. වන්දනා කතාවලුත් මාර රහයි.

      Delete
  5. වන්දනා ගමන් වගේ උඹේ මේ කතාත් මරුනේ බං..

    ReplyDelete
    Replies
    1. වන්දනා ගමන ඇඳුන දිග වැඩි හිංද සවුත්තු උනානේද? චූටි මැණීකෙත් මට කිව්ව ඒක අප්සට් ගියේ කොටස් ගාන වැඩි හිංද කියල

      Delete
  6. සුරංග මේ වගේ පෝස්ට් එකක් ලියනකම් බලාගෙන හිටියෙ. පන පිහිටුවල ලියල තියන විදිහට චන්දපොලේ වැඩකලා වගේ. නියමයි

    ReplyDelete
    Replies
    1. තව සෑහෙන කොටස් අඩුයි. සමහර දේවල් තියෙනව පිටට දෙන්න හොඳනැති දේවල්. අපි එව්ව ආරක්සා කරන්න ගිවිසුමකිං බැඳිල ඉන්නෙ.

      Delete
  7. මචං මම දැන් ටිකකට කලින් ගමන් වියදම් ඉල්ලුම් පත් පිරෙව්වේ...... ඒත් 15 වෙනිදා ගැන පටන් ගත්ත කියා දැම්මේ නෑ . අපරාදේ 500.00 ඒත් එහෙම දැම්මත් කපනවනේ මොකටද බොරු දාන්නේ. කොහොම උනත් චන්ද රාජකාරි කියන්නේ උඹ ලියන විදියටම ඒකාකාරී යාන්ත්‍රික වැඩක් බං

    ReplyDelete
    Replies
    1. මමත් 15 දැම්මෙ නෑ. ඒක දාල ඕන්නං තව 350ක් ගන්න තිවුන. ඒත් ඒක ලියවෙන්නෑ. අතෑරල දැම්ම.

      Delete
  8. අරූ පාර කියපු හැටි තමයි මරු.

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහරු කියනව තව කිලෝමීටර දෙහෙකට වඩා නෑ කියල. පස්සෙ බැලුවහම 4කටත් වැඩියි. දුර කියල තියෙන්නෙ ඉලස්ටික් කිලෝමීටර (EKM) වලිං.

      Delete
  9. /“මේ............ බා ඉඩම්පහුව සිරි ගජබා ප්‍රාථමික විද්‍යාලය“/

    මට නං කවදාවත්ම ඡන්ද කොමසාරිස් ලියල එවන ඉස්කෝලෙ හම්බවෙලා නෑ. මොකද, එතෙන්ට ගියාම තියෙන්නෙ වෙන බෝඩ් එකක්. (උදාහරණ - කිරිබත්ගොඩ රාමසිංහ විද්‍යාලෙ හොයගෙන ගියාම එතන තියෙන්නෙ, කැළ/ඩී. ඒ. රාජපක්ෂ ජාතික විද්‍යාලය)

    ReplyDelete
    Replies
    1. මෙහෙනං හරියටම තියෙනව. දිස්ත්‍රික්කෙම ඉස්කෝල 600ක් විතරනෙ තියෙන්නෙ

      Delete
  10. හැක්... නියමයිනෙ සුරං. අපිත් එතන හිටිය වගේ දැනෙන්න ලියල තියෙනව.
    අයිඩී බලල මූමද හොයාගන්න එක තමයි නියම.

    (ඡන්ද රාජකාරි කරන රජයේ සේවකයන්ට කිසිම හේතුවක් නිසා හෝ ඡන්දය ඉල්ලීමට නොදිය යුතුය යන්න ප්‍රකාශ කරන්න ඕන)

    ReplyDelete
    Replies
    1. තමුංගෙ පවුලෙ එකෙක් හරි ඡන්දෙ ඉල්ලුවොත් ආයි ඡන්ද වැඩට යන්න බෑ.

      Delete
  11. සුරංගගේ ලිවීමට වඩා හොඳ memoirs මංනම් කවදාවත් කියවා නැත.
    අන්තර්ගතයේ කිසිම සම්බන්ධයක් නැතත් මට ජෙරල්ඩ් ඩරල් ගේ පොත් මතක් වුනා.'
    සුරංගට මීට වඩා වයසනම් මීට වඩා කොයිතරම් අත් දැකීම් මේ ලස්සන ස්ටයිල් එකෙන් ලියන්න පුලුවන් වෙයිද කියලත් හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඩරල්ගෙ පොත්වලනම් නියම විහිළු. ඒවගෙ ලියන්න පුළුවං ආයෙ ජෙරෝම් කේ ජෙරෝම්ට විතරයි.

      Delete
    2. සිංහලෙන් නම් ........... සුරංග !!!!!!!!

      ත්‍රී මෙන් ඉන් එ බෝට් වලට වඩා මයි ෆැමිලි ඇන්ඩ් අදර් ඇනිමල්ස් හොඳ නැද්ද? බර්ඩ්ස් බීස්ට්ස් ඇන්ඩ් රෙලටිව්ස්, මැරීන් ඕෆ් මදර් වුනත්

      Delete
  12. හොද වෙලාවට ගමන් වියදම දැක්කේ - ඔන්න එහෙනම් මම 14 ඉදන්ම වැඩ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං තියෙන **ත් අහුරගන්න හදන්නෙ. 14 ඉඳන් වැඩ තියෙයි මැතිවරණ කාර්යාලෙ අයට. අපිවගේ උන්ට කොහෙද එව්ව.

      Delete
  13. සිරාවටම එතන ඉන්නවා වගේම දැනුන.අපි වගේ private sector එකට ලැබෙන්නේ නැති අත්දැකීමක් මෙහෙම හරි දැන ගන්න ලැබෙන එක නම් සැහෙන වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒකටනම් මක් වෙනවද. මේක ඇවිල්ල අතිං කාල හරක් බැලිල්ලක්. වියදමට සාපේක්ෂව ලැබෙන්නෙ සොච්චමයි. අර ඉතිං මධුලෝලී බව සහ නම්බුව හිංද යනව ඇරෙන්න වෙන මොකක්ද?

      නැත්තං මට හම්බුවෙන්නෙ රුපියල් තුන්දාස් ගානයි. ඒ උනාට වියදම එයිං ඩබලක්.

      Delete
  14. //වයස යංතං දහඅට සම්පූර්ණ කරාපු කුළුඳුල් ඡංදෙ දාන්න එන සුට්ටිම සුට්ටි සාය කොටං ඇඳපු, සබං සුවඳ, ක්‍රීම් සුවඳ, පවුඩර් සුවඳ, සෙන්ට් සුවඳ හා කිරි සුවඳ යන පංචවිධ සුගන්ධයන්ගෙන් යුතු ළලනාවියංගෙ පැංසල් කූරු වගේ සිහිං, හීතලම හීතල, කහම කහපාට ඇඟිලිවල කියුටෙක්ස් තට්ටුවලට උඩිං තිංත ගාන්න සිද්දවෙන එක හරිම ශෝචනීයයි.//

    ඇත්ත කියන්ට . මේ ඇඟිලි පාට කලේ ඔයා නේ? :D

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමිනේ මේ Family firing වැඩ කරන්ටෙපා. චූටි මැණිකෙ මෙයිං අකුරක් ගානෙ කියෝනව. බත්පතයි මෙට්ටෙයි තල පරිගණකෙයි නැතිකොරන්ට එපා. මමනං ඔය කෙලි ඇඟිලි ඇල්ලුව එකක් නෑ. මං මොකටෙයි කාගෙවත් ඇඟිලි අල්ලන්නෙ. අඩුමගානෙ එතන දොරකඩ හිටං ඉන්න ගෑනුලමයිංගෙ ඇඳුං විනිවිද එන ඉර එලිය පෙන්වාදෙන අභ්‍යන්තර දර්ශනේ දිහාවත් මං බැලුවෙ නෑ නෑ නෑමයි

      Delete
  15. සුරංගට මේ විදියට ඔක්කොම විස්තර මතක හිටින එකම ලොකු දෙයක්. ඒවා ඒ විදියටම ලියන එකත් අපුරු හැකියාවක් තමයි .

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනං මට අනුංගෙ ඇදකුද හරියට පේනව. එව්ව විතරනෙ මං මේකෙ ලියල තියෙන්නෙ.

      Delete
  16. පස්ට විස්තරේ මචං, අපිට කවදාවත් කරන්න නොලැබෙන වැඩක් නිසාද මන්ද ගොඩක් ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. තමුන්ට නැති දේ ගැන හැමෝටම එහෙම හිතෙනව ලොක්කයියෙ. ඒ වුනාට ඔයා අර කවුද මාමා කෙනෙක්ගෙ පැල් කොටේට ගිහිං රා කට්ටක් ගහල ගත්ත ආතල් එක කියද්දි මට ඉහිලුං නෑ. මගෙත් හරි ආසාවක් තමයි එහෙම ගැමි පරිසරයක දවසක් දෙකක් ගතකරන එක. ඉතිං කොයි එහෙම චාන්සෙකක්.

      Delete
  17. අඩෝ ශ්‍රංග.. බොලා කෙසේ වෙතත් බොලාලෑ ආච්චම්ම ඡංද රාජකාරි වලට ගිහිල්ල වගේ කියල බං මට දැනුනෙ...

    "අතරමග එහෙ මෙහෙ නොයා කෙලිංම යන තැනට යන්න" - බොලා කලිං අතරමග කට්ටි පැනල මාට්‍ටු වෙලා වගේ..

    බා ඉඩම්පහුව සිරි ගජබා ප්‍රාථමික විද්‍යාලය - කෝ මහින්ද විද්‍යාලය

    මට අල්ලල ගියෙම අර පාර කියපු එක. බොලාත් අහලතියෙන්නෙ මඤ්ඤං කරලනෙ. කෙලිංම ඉස්කෝලෙ නමිං අහන්න එපාය. නෑ.. එක්කො මෙහෙම අහපු එක හොඳා. නැත්තං අපිට මේ ආතල් එක හම්බෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඇස්පෝටර්
      අපි කොහොම කීවත් උං කියන්නෙ උන්ට ඕනි දේ. සමහරු ඒ ගමේ තමුං අඳුරන අය හිටං කිව්ව. ඒ උනාට පාර ගැන හරියට කිව්වෙ නෑ.

      Delete
    2. අපි දවසක් අනුරාධපුරේ විජයාරාමෙ හොයං ගිහිං, පාරෙ හිටිය නැන්දෙක්ගෙන් පාර ඇහුවා. එයා කිව්වා "අර අපි ඒ කාලෙ දර කඩන්ඩ යන්නෙ. එහෙනෙ ඔය කියන්නෙ..." කියලා. හැබැයි පාර කිව්වෙ නෑ.

      Delete
  18. ඡන්ද පොළක රාජකාරිය ශ්‍රංග ලස්සනට විස්තර කරලා තියනවා. ඇත්තම ඒක පෞද්ගලික අංශයේ අයට නොලැබෙන රසවත් අත්දැකීමක්. ඒත් ඡන්ද ගනින දවසේ රාජකාරිය නම් හරිම අපපහසුයි. වටින්ම කොළ අලවල සීල් කරපු පන්ති කාමරේක සීයකට වැඩ පිරිසක් එක්ක මුළු රැයක් එක දිගට වැඩ කිරිල්ල මට නම් දැන් තිත්ත වෙලා.

    තියන රාජකාරි අතරින් දුෂ්කරම රාජකාරිය විදිහට මම දකින්නේ ඡන්ද පොළ ස්ථානාධිපතිගේ රාජකාරිය. කරන්න තියන වැඩ කොටසි, දරන්න තියන වගකීමයි, පුරවන්න තියන කොළ ගොඩයි ගැන හිතල එහෙම කියන්නේ. අනික එයාල ගනින වෙලාවේ ඉන්නත් ඕන. මම නම් ගොඩක් වෙලාවට තමන්ගේ Box Count ඉවර උන ගමන් අදාළ ඡන්ද ස්ථානාධිපති නිදහස් කරනවා ගිහින් නිදා ගෙන උදේ අය එන්න කියල. එයාල දවස් දෙකක් කටු කාල එන්නේ.

    ලස්සනම කෑල්ල ශ්‍රුරංග කිව්වා විදිහට ගමන් වියදම් ඉල්ලීම... අපේ ඔපීසියේ ක්ලාර්ක් නෝනලා ලියන්නේ මේ විදිහට..

    නිවසේ සිට බස් නැවතුමට (පයින්) පියවර 1600යි ...රු. 20
    බසයෙන් ...සිට දක්වා..රු 40යි.
    බසයෙන් ...සිට දක්වා..රු 23යි
    බස් නැවතුමේ සිට ඡන්ද මද්යස්ථානයට (පයින්) පියවර 900යි ...රු. 15
    ....

    අල්ලපු ගමේ තියන ඡන්ද මද්යස්ථානයට වැඩට ගිහින් ආපහු එන්නත් දවස් 3ක් විතර ගිහින්..

    එත් ඉතින් මහා උන් කරන හොරකන් හැටියට මේවා චූටි අහිංසක හොරකන් කියලත්, ඡන්දයක් එන්නේ අවරුදු ගානකට පස්සේ නිසාත් "නිර්දේශ කරමි" කියල අස්සන ගහල යවන මිසක මොකුත් අහන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇතුගල මහත්තෙයා
      ඔබතුමාගෙ තත්වෙ හැටියට මං ඔබතුමාට කියන්න ඕනෙ සර් කියල වෙන්ට ඕනෙ. කොහොමත් ඔබතුමා වගෙ CCO වරු හරිම අඩුයි. දවල් දවසෙ ඩියුටි කරල රෑටත් කවුන්ටින් ඉන්නව කියන්නෙ අමර දුකක්. ඒ අතිං ඔබතුමා මල් මසුරං. පිළිගන්න මගේ උත්තමාචාරය.

      කවුන්ටින් නං එපාවෙනව. රස්නෙ එක්ක තැම්බෙනකොට එපාවෙනව. එක ගමනක් කොළඹ ඩී.එස් එකේ අපි හිටපු කාමරේ පොලවෙ බිම තෙත මතුවුනා ආර්ද්‍රතාව වැඩිකමට. ඒක හිංද මමනං කවුන්ටින් වලට කැමති නෑ.

      මෙව්ව හොරකං නෙවෙයි හානි පියවා ගැනීම. මං අද ගනං හදල බැලුවහම මට මුළු ගාස්තුව විදිහට ලැබෙන්නෙ රුපියල් තුන්දාස්ගානක්. මට ගිය වියදම එයිට වඩා වැඩියි. ඉතිං ඇත්තටම ඒ වගෙ වියදමක් දරල ඒක පියවගන්න මොකක් හරි උප්පරවැට්ටියක් දැම්මට ඒක හොරකමක් නෙවෙයි නේද සර්?

      Delete
    2. අනේ ශ්‍රංගයෝ, උඹ මට සර් කියන්න අපි එකට රාජකාරී කොරන වැයි..
      මේ බ්ලොග් අවකාසේ, උඹ රචකයා, මම රසිකයා..
      ග්‍රාම නිලධාරී තුමා සහන මිලට කෑම දීලත් උඹට වියදම 3000 පැන්නේ අර හතරැස් බෝතලෙටත් එක්ක වෙන්ටැති ..යකෝ රජයේ අරමුදලින් මද්‍යසාර වියදම ප්‍රතිපුර්ණය කරන්නේ නෑ..

      Delete
    3. නොකරන හිංද නේන්නං ඒක හොයාගන්න මේ සෙරම දහංගැට දාන්නෙ.

      Delete
  19. මමත් කවදාවත් ආණ්ඩුවෙ රාජකාරියක් නොකරපු හින්ද චන්ද රාජකාරි ගිහිල්ල නෑ. ඒත් අපි කාලයක් හිටපු ඉස්කෝලෙ චන්ද මධ්‍යස්ථානයක් හින්ද ඔය චන්දෙට කලින් දවසෙ සීන් ගැන යම් අත්දැකීමක් තියනව.

    ඒයි උඹේ බටා ක්ලේම් එක නම් හොඳටම මදි බොල..( යැපීම් දීමනා වලට උඹලත් බටා කියල නේද කියන්නෙ? අපි නම් කිව්වෙ එහෙමයි ) ඔහොමද කොල්ලො ක්ලේම් ලියන්නෙ? තව දවස් දෙකක්වත් දෙපැත්තට දානව මම එහෙම ඔය රාජකාරිය කරානම්..මෙන්න මෙහෙම...

    1. අගෝ. 14 වැනි දින - නියමිත විදිවිධානවලට අනුකූලව ඡන්දය පැවැත්වීමට බාධා කිරීම උදෙසා සන්විධානය වන්නන් පිළිබඳව සොයාබලනු පිණිස ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ගමට යාම සහ එහි තාවකාලික නැවතුම් පලෙහි රාත්‍රී නවාතැන් ගැනීම

    2. අගෝ. 15 වැනි දින - එම කඩාකප්පල් කාරීන් පිළිබඳව තොරතුරු සොයා බැලීම සහ රාත්‍රී කාලය යලි තාවකාලික ලැගුම්පලෙහි නවාතැන්.

    3. අගෝ. 16 වැනි දින - ඡංද මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීම සහ රාත්‍රිය එහි රැඳී සිටීම

    4. අගෝ. 17 වැනි දින - ඡංද විමසීමේ රාජකාරිවල යෙදීම සහ එම ගමේ පිහිටි තාවකාලික නවාතැනෙහි ලැගුම් ගැනීම

    5. අගෝ 18 වැනි දින - කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විභවයක් ඇතැයි හඳුනාගත්තවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරමින් ඡන්ද මධ්‍යස්ථානය අවට රැඳී සිටීම සහ රාති නවාතැන් තවකාලික නැවතුම් පළෙහි.

    6. අගෝ 19 වැනි දින - ආපසු නිවස බලා පිටත්වීම.

    ආන්න බලාපන් කොහොමද ආතල් එක? කෙලින්ම කතා දෙකක් නෑ...දවස් හයයි.හෙහ්..අපිඇවිල්ල ඔය බටා ක්ලේම් සකස් කිරීමේ විසේසග්නයො...:)

    සික් අපරාදෙ..ඔය මන් කිව්ව ආකාරෙට ක්ලේම් එක ලිව්වනම් බොට සුට්ටි අලි පැටියෙක් ඉන්න පැන්ඩන් එකක් හදවල දෙන්ට තිබ්බ චූටි මැණිකෙට...:(

    අපි බටා ගත්තු විදිහ ගැන වෙනම වෙලාවක ලියන්නම්කො...එදවස බටා මතක කියල...:)

    පලි - අර මැකො උතුමා අරම පෙන්නන්නෙ බාන් චින්ත ගාන්ට ඕන ඇඟිල්ල ගැන නෙවෙයි. ඕක බොලා අපි හැමෝම දන්නව නෙව. ඔතන එතුමා කිව්වෙ මෙහෙමයි.." කිසිදේකට බය වෙන්ට එපල්ල.හොර චන්ද දාන්ට ආවොත් එහෙම ඒ හොර චන්ද පත්‍රිකාව රෝල් කරල එවුන්ගෙ ගහපල්ල අර අහවල්තැන මෙන්න මෙහෙම. පුරස්නයක් වුනොත් මම බලා ගන්නම් "

    ReplyDelete
    Replies
    1. අප්පෙයි මේ ඉන්නෙ මෙතුම. මොකෑ තමුන්නැහැ පශ්චාත් මැතිවරණ සමය පිළිබඳ කිසිම සමයමක් නොලිව්වෙ. හරියට නිකං අච්චාරුවට විනාකිරි නෑ වගේ. මේ කියල තියෙන හැටියට ට්‍රැ.ක් (TC) හෙවත් ගමන් වියදම් ලිව්වොත් අපේ ලොකු නෝන මහත්තැං කියයි මේං මෙහෙම.

      “සුරංග.... ඔයාට යන්න කිව්වෙ ඡන්ද විමසීමට මිසක් ඒ ගමේ බින්න බහින්න නෙවෙයිනෙ. ඇත්ත කියල පිලිගන්න පුලුවං විදියෙ එකක් ලියල දෙන්න“

      Delete
    2. /" කිසිදේකට බය වෙන්ට එපල්ල.හොර චන්ද දාන්ට ආවොත් එහෙම ඒ හොර චන්ද පත්‍රිකාව රෝල් කරල එවුන්ගෙ ගහපල්ල අර අහවල්තැන මෙන්න මෙහෙම. පුරස්නයක් වුනොත් මම බලා ගන්නම් "/

      කියලා පොර දත් හතළිහක් විතර පෙන්නලා හිනා වුනා, මං දැක්කා නයිටීඑන් එකේ...

      Delete
  20. ඉතින් බලහන්.... මහ උන් හොර වැඩ කරන ඒවට උඹලට කටේ කෙල බින්දුවක් හෙලන්න පුලුවනෑ....

    ReplyDelete
    Replies
    1. ඇයි බැරි. මට කීයැහැකි මේං මෙහෙම.

      “තමුන්නැහැලට යමක් හරියට කරන්න තෙරුමක් නෑ. යමක් කරනකොට ඒක අහු නොවෙන්න පිළිගන්න පුළුහං විදිහට කරන්න. දැං බලන්න මගෙ මේ ගමං වියදං ඉල්ලුං පත්තරේ. කාටවත් පුලුවංද මේක හොරකමක් කියන්න? බෑනේ. ඒ වගේ පිළිවෙලට ගසා කන්නකො. ඇඟේ ඉහිරවාගන්නැතුව“

      Delete
  21. මහත්තයො මේක දාන්ට කළේ කෝ වගේ පුරස්න ඇහුවෙ නැතිය?

    ReplyDelete
  22. ඔය කියන්නෙ ලාම්පු කලගෙඩි සෙල්ලම කාලෙ වෙන්ටැ. දැං එහෙම නෑ ඡංද දායකයො හරිම දියුණුයි. දැං ඒ අය ඡන්දෙ ලකුණු කරල, ඒ ඡන්ද ලකුණු කිරීමට යොදාගත් කූඩුව හයිකරපු ඩෙස්සෙකේ ලැලි අතර කපොල්ලෙං දාන්න බලනව. ඒකට පිලියමක් විදිහට වෙනමම මැනිලා කොලයක් ඒ ඩෙස්සෙකට එලනව. සමහරු ඡන්ද කොලේ අරං යන්නත් බලනව. එකක් හරි ගෙනිච්චොත් නිලදාරි මණ්ඩලේම වඳයි.

    ReplyDelete
  23. මට සෙට් වුණේ අර ඇතුගල මහත්තයා කිව්වැහේ ගණං කොරංට... අපෝ අර සුට්ටං කාමරේක නියෝජිතයොත් එක්ක සීයකට වැඩියි සෙනග. ජනෙලුත් සීල් කරලා, ෆෑන් එකකුත් නැතිව ඒ කාපු කට්ට නං හරි සනීපයි.
    එකම සැනසිල්ලකට තිබුණෙ අලුත් සංවර්ධන නිලධාරී සූටි කෙල්ලො ටිකක් කවුන්ටින් වලට ඇවිත් සිටීම පමණයි. පළවෙනි ඡන්ද රාජකාරිය හන්දා උං වැඩේ සිරාවටම අරං කරා. රීකවුන්ට් මුකුත් නෑ. පළවෙනි පාරෙන්ම ඔක්කොම ටැලි වුණා

    ReplyDelete
    Replies
    1. හරී සුවඳ ඇති අලුත් සංවර්ධන නිලධාරී සූටි කෙල්ලෝ දාඩිය පෙරාගෙන ඉන්නකොට.

      Delete
  24. ඒකනෙ. කෝමදැ දාඩිය පොල්ල සහෝදරයාව තෙමාගෙන පල්ලං බහිනකොට කැහිල්ල.

    ReplyDelete
  25. ලමිස්සියන්ගෙ ඇඟිලි කහ පාට ඇයි ? උන් ඔක්කොටොම අක්මාවෙ අවුල් ද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම කහ පාටක් නෙවෙයි. රංවංපාට.

      Delete
  26. උඹ ලියන කතාවලට හැමදාම. මරු කතාව. එල ඉස්ටෝරිය කියලා කමෙන්ට් කරන එක මහ අප්සෙට් වැඩක්. නමුත් මරු කතාවට එල ඉස්ටෝරියට එහෙම නොකියා මොනවා කියන්නද බං.

    ReplyDelete
    Replies
    1. තව පුලුවන් පංකාදු පහයි, අපූරුයි වගේ එව්වත්.

      Delete
  27. Ayish appadaaa... Mennoo puka dige rooos paaan... Ela ela shrangayo. Matath mathak une issara bankuwe rassawa karanakota api samarha mandale yanawa. Ethanath wayasaka porawal ekka hiti gaman set wunama me athal ma thama. Pattai ban ube liwilla. Kohomada achchi amma?? Hah ha.. Circle pilgrims ekath ohommama liyahan. Jaya wewa..

    ReplyDelete
  28. //සේරම අහවර කරල හරියටම හතට ඡංදෙ පටං ගන්නව.// ඔන්න ඔතනින් එහා කතාව විතරයි අපි දනන් උන්නේ.. මුල් ටික සැහෙන්න ඉන්ටෙරෙස්ටින් නේ..

    ReplyDelete
  29. අද නම් කතාව මාරම රහයි. තමුන්නැහැගේ වාග් කෝෂය නම් එළ කිරි " නැට්ටුවො, බෙරකාරයො, " ඇයි මොනරු?.. අනේ මන්දා සූටි ඇඟිල්ලේ තීන්ත ගෑවුනා විතරයි. මේ කරත්තෙත් ගොන්නු මාරු උනාට යන්නෙ පරණ පාරෙමයි.. අපෝයි රටකට යන කලක්.

    ReplyDelete
  30. නෙද්දකින් විතරක්. මේ පාර මගේ ඇඟිල්ලේ තීන්ත ගෑවේ KKK එකක්. (KKK = කළු කැත කොට) ඡන්දේ නොදැම්මත් තීන්ත ගෑවිල්ල ලස්සනට තියෙන්න එපායැ. නැද්ද මං අහන්නේ.

    ReplyDelete
  31. මෙදා පාර ආාච්චම්මගෙ මනාපෙ කාටද දුන්නෙ? පයිත්තරා නෝනට නම් වෙන්න බෑ .පවු අනේ ආච්චම්මා. දැන් ඔයා ලයින් එකෙන් හිමීට හිමීට ආච්චම්මා අයින් කරනවා නේද?

    ReplyDelete
  32. බත් එකට වෙන අය අත දානකොට කන්න බැරි සුරා අයියා කොහොමද බොනකොට හැමෝම අත දාන බයිට් කන්නේ...???

    ReplyDelete