හැන්දෑවට
වැඩ ඇරිල යන ගමං අද රෑටයි හෙට උදේටයි කන්න තරමට උයාගන්න මොනව හරි දෙකක් මාකට් එකෙං
හරි ............සිටියකිං හරි අරං යන අද දවසේ දෙමාපියන්ගේ දරුවො පොළක් දෑහැට දැකල
නැතුව ඇති. එහෙව් අයටත් එක්ක දැන කියාගන්න ලියන්නං පොළ ගැන. මේ මට අවුරුදු හත අට කාලෙ විස්තරයක්. මං පොලේ වෙළඳං කල හැටි හා පොළේ ගිය පුංචම්මගෙ ළමයි බලාගත් හැටි පස්සෙං පහු කියන්නං.
අපේ ගමේ අයට
සෙනසුරාදට තියෙන අනිවාර්ය වැඩක් තමයි පොලේ යාම. අපේ ගමේ ඉඳං හැතැක්ම හතරක් තරමෙ
දුරිං පිහිටි ‘මානාන‘ ටවුම තමයි පොළ පැවැත්වෙන තැන. එහෙම නැතිනම් හැතැක්ම පහලොවක්
විතර දුරිං තියෙන ‘බදුරලියෙ‘ පොලට යන්න ඕනි. හාල්, සීනි, පරිප්පු, ලාංපුතෙල්,
පොල්තෙල්, ආදී නරක් නොවන දේවල් ඇරෙන්න සතියෙං දෙකෙං විකුණගන්න බැරි උනොත් අහක
විසික් කරන්න වෙන ජාති අපේ ගමේ කඩවලිං ගන්න තිවුනෙ නෑ. ආං ඒ වගෙ දේවල් ගන්න නං එකම
තැන පොළ තමයි. ඒ හිංදම සෙනසුරාදා දවසෙ අපේ ගමේ මිනිහෙක් කෙසේ වෙතත් ගෑනු අයනං මොනම
වැඩේ කරත් කරන්නෙ වරුවයි. අපෙ අම්මත් එහෙමයි. උදේට තාත්ත එක්ක ‘දළු කඩන්න‘ ගියහම
ඉර මුදුනක් වේගෙන එනකං බලං ඉන්නෙ දෙසිය පනහෙ වත්තෙ ‘මනිය‘ ගහනව ඇහෙනකං. ඕං හරියට
එකොලහට විතර ඇහෙනව මනිය ගහන සද්දෙ.
ටංටංටංටංටංටංටංටං....ටං...
ටං... ටං... ටං... ටං... ටං... ටං... ටං... ටං... ටං... ටං...
ඔය මනියෙ
සද්දෙං තමයි ගොඩක් අය දැනගන්නෙ වෙලාව. ඒ කාලේ ඔරලෝසුවක්, හෑන්පෝන් එකක් එහෙම තිවුන
කාලෙයක් නෙමෙයිනෙ.
ඔය මනියෙ
සද්දෙ ඇහෙනවත් එක්කම අම්ම කඩ කඩා හිටපු පේලිය විජහට ඉවරෙයක් කරනව. ඉවර කරල දලු
කවරෙ පැලට ගෙනත් ඉටි කොලේට හලල දලු කඩාපු කවරෙ නමල අකුලගන්නව. ඉං පස්සෙ පියාණං
අමතනව.
“මේ
බොලේ. ඒයි. තමිසෙට ඇහුණද?“
“මොකෝ“
“අද
පොලේ යන්න කීයක්හරි දෙනවකො“
“ඈ.....“
“පොලේ
යන්න කීයක්හරි“
“ආං
අර ගෙදර අල්මාරිය උඩ තියෙන ලැයිට්ටෙකේ පෙට්ටිය යට ඇති සුපියල් තුංසිය පනහක්. ඇරං
යනව“
එච්චර වෙලා
කඩපු දලු ටිකත් ගෝනියට දාගෙන අම්ම මාවත් අරං ගෙදර එනව.
අද වගේ විනාඩි
පාලොහකට සැරෙයක් බස් නොතිබිච්ච ඒ කාලෙ අපේ ගම මැදිං ගියෙ මතුගම ඉඳං එන බස් දෙක
තුනකුත්, අපේ ගමට එහා ගමට යන බස් එකත්, රත්නායක මාමගෙ වෑං එකත්, තව ලොරියකුත්
විතරයි. තව ඩිංගක් පාර දිගේ ටවුම පැත්තට ගියාම තියෙන නිකගොඩ හංදියට යතොත් අයගම
පාරෙං එන බස් එහෙක යාමේ පහසුවකුත් තියෙනව. ඒ කොයිහැටි වෙතත් අපිට හැමදාම පැයක් ඉතර
පාරෙ බලං ඉන්න වෙනවම තමයි. ඒ හිංදම ගෙදර ආ වෙලේ ඉඳං අම්ම මාව ඉක්මන් කරවනව. හරිම
වචනෙ තමයි ‘දක්කනව‘.
ඔය
ඇති ඉක්මනට නාහං...
ඉක්කන්ට
කාහං..
ඉක්කන්ට
ලැහැත්තිවෙයං....
අම්මත්
ලැහැත්ති වෙලා ඔලුවෙ පොල්තෙල් ඩිංගක් ගාල, මූනෙත් පවුඩර් තලියක් ගාගන්නව. ඉං පස්සෙ
මග දිගට පවුඩර් පිහිනව. මං ඉස්කෝලෙ අඳින නිල් කලිසමයි සුදු කමිසෙයි ඇඳගෙන ලැහැත්ති
වෙනව. මගෙ මූනෙත් හුස්ම හිරවෙන ගාන්ට පවුඩර් තලියක් උලනව. බඩු දාගෙන එන්න පෝර කවර
වගේ රෙද්දකිං මහල වටේට රතුපාට ඉටිකොලේකිං දාරයක් අල්ලපු බෑක්කෙකත් අරං අපි දෙන්න
පිටත් වෙනව. වැඩි හොඳට නිකගොඩ හංදියටම පයිං ගාටනව. අම්ම යන වේගෙට යන්න මට දුවන්නත්
වෙනව.
“ රට වෙනුවෙන්
දිවිපිදූ සුනිල් විජේසිරි සීලවංශ තරුණ මහතාට නිවන් සැප ලැබේවා“ කියල ලියපු බස්
හෝල්ටෙකේ අපි වගේම පොලේ යන අය රැළක්ම බස්සෙකක් එනකං ඉන්නව. එතන ඉන්න සෙනග දැකල
අම්ම
“බුදු
අප්පේ මෙතන ඉන්න සෙනග.... ඊළඟට එන බස්සෙකෙත් යන්න බැරිවෙයි වගේ“
කියල හූල්ලනව.
හෝල්ටෙකේ හිටපු අයත් අපිව දැකල.
“තවත්
කට්ටිය එනව. ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැතිවෙයි“
කියල හූල්ලනව
මට ඇහෙනව. එතන අපි අඳුරන හුඟක් අය ඉන්නව. ඉතිං හැමෝම “චරබර චරබර. චව් චව්“ ගාල
කියෝනව. වරිං වර අපි යන්න ඕනි දිහාවට විරුද්ධ දිහාව බලල.
“තාම
බස්සෙක නෑ.“
“දැං
පැය දෙහෙකට වැඩියි මාහිතේ“
“මේ
හුචක්කු මොලකැටි සේරම කැඩිලද මංද.“
ආදී ආඩපාලි
කියමිං බස්වලට බනිනව. ආයිමත් කියෝනව. සමහර වෙලාවට බර පටෝගෙන කංද අදින වාහනේක සද්දෙ
ඇහිල පාරට පැනල බලනව. ටිකකිං වංගුවෙං මතුවෙනව ලොරියක් දුං දාගෙන.
“ඉද්දකිං.
මේ කොහෙද යන ලොරි දංඩක්නෙ“
පාරට පැනපු අය
බනිනව. ඔය විදිහට එපාවෙනකං කල් මැරීමෙං පස්සෙ මී වදයක් බැන්ද වගේ දොරේ සෙනග
එල්ලගත්තු වම්පැත්තට බරවෙච්ච ‘සීටීබී හුංඩුවක්‘ දුං දාගෙන හෙමීට එතනට ඇවිල්ල
නවත්තනව. දොරේ හිටපු සෙනග පනහක් විතර බිමට බහිනව. එයාල සේරම බැහැල එක්කෙනෙක්ට බිමට
බහින්න ඉඩ දෙනව. ඔය අතරෙ කොන්දොස්තර කෑගහනව.
“ආ..
බයින්න බයින්න බයින්න..... බෑ... බෑ... බෑ..... නගින්න බෑ. කොහොමටවක් නගින්න බෑ
අයිං වෙන්න.“
ඒ උනාට අපෙ
අම්ම මං බෑඟිරිගහද්දි මාව බස්සෙක ඇතුලට ඔබනව. ඊළඟට උන්දැත් නගිනව. පුළු පුළුවං අය
නැගගන්නව. ආයිමත් දොරේ මී වදේ බඳිනව. කවුද මගෙ කකුල උඩ නැගල. වටේ ඉන්න සෙනග හිංද
මාව හිරවෙලා මිරිකෙනව. ඒ මදිවට දාඩිය. මාව කවුදෝ සීට් දෙකක් අතරට තල්ලු කරනව. මං
අම්මව හොයනව. එයා ඈත ඉඳං “ඔතන හිටහං“ කියනව.
පැයක් විතර
තැන තැන නවත්තල අංතිමට බස්සෙක මානානට එනව. සෙනග සේරම බහින්න පොරකනව. අම්ම මාව
අදිනව. මගෙ කකුල උඩ කවුද නැගල මට එන්න බෑ. අත ගැලවෙයි වගේ. අම්ම පුලුවං වෙර දාල
අදිනව.
“අතෑරල
වරෙං වරෙං“
“මගෙ
කකුල නෑ“
“තොගෙ
කකුල මොකා ගන්නද? වර විගහට“
වටේ ඉන්න සෙනග
එකෙක් දෙන්නෙක් හෙලවිච්ච ගමං මාව හුළඟිං ගහගෙන ගියා වගේ ඇදිල ගිහිං දොරෙං දොට්ට
විසිවෙනව. මගෙ කමිසෙ බොත්තං දෙකකුත් ගැලවෙල. මං ආයි එව්ව දාගන්නව. එකම ගාල
ගෝට්ටියයි. මිනිස්සු එහෙ මෙහෙ යනව. වෙලෙංදො කෑ ගහනව. අම්ම මාවත් ඇදගෙන සෙනග
මැද්දෙං පොලට යනව. මාත් ඒ පස්සෙං ඇදිල යනව. මුලු ටවුම පුරාම පාරවල් දෙපැත්තෙ හිටං
සෙල්ලං ගෙවල් වගේ ඉටි රෙදි හෙවිල්ලපු කඩ ලැලි. පාර දෙපැත්තෙ තියෙන ඒවයෙ තියෙන්නෙ
සෙල්ලං බඩු, රෙදි, පොත්, සුකුරුත්තං බඩු. පාර දිගේ ඇවිදින වෙලෙන්දොත් ඉන්නව.
“කපුරු
පෑට්ටෙයක්, ආයකටුකෑල්ලක්, රිබන්නිලාස්ටීක්“
එයිං කොටසක් විකුණන්නෙ
බැලුං බෝල, හැට්ටකටු, කපුරුබෝල, කොන්ඩෙ බඳින කලුපාට රිබන් පටි, සායවල් වලට දාන
ඉලස්ටික් පටි ආදිය.
සැමං ටිං
පියන් දෙකක් රෝද දෙකට දාල, බැලුං බෝල පටලයකිං වහපු මැටිපානක් වියගහ මැද හයිකරල,
රෝදෙ කරකැවෙනකොට බැලුං පටලෙට ඉරට්ටකිං ‘ටක ටක‘ ගාල වදින්න හදපු කරත්ත විකුනන
මිනිහෙක් එයිං එකක් ඇදගෙන යනව. තව ගොඩක් ලැල්ලක හයිකරල අතේ තියාගෙන යනව.
“ලිතායි...
පොතායි.... දෙකම පහායි... ඈපා..ලිතෑඈ“
තව එක්කෙනෙක්
කැලැන්ඩර්, ලිත්, එලාඑල පොත් විකුණනව.
“මාජන
සම්පතක් ගන්. අද්දවසේ වාස්නාවන්ත ජයි මල්ල රුපියල් පන්ලක්සනූඑක්දාස් හත්සිය
විසිතුනයි. මේ ජයමල්ල දිනාගන්න පුංචි රුපියල් දහයකින් ලස්සපතියෙක්වන්න“
ලොතරයි
කාරයෙක් ලොතරයි විකුණනව. තව වෙනම වෑන්නෙකක හූරන ලොතරයි විකුණනව. එතන සෙනග පිරිල.
“පහේ
කාසි මුදු මාල පෙන්දං කරාබුක්. ......... පහේ කාසි මුදු මාල පෙන්දං කරාබුක්“
පොළට හැරෙන
තැන ඉමිටේසන් මාල, වලලු, මුදු, කරාබු ආදිය විකුණන මිනිහෙක් ඉන්නව. ඇත්තම වගේ රත්තරං
පාට ආබරණ එයා විකුණනව. ඒ වුනාට එව්ව ටික දවසකිං පාට ගිහිං කලු වෙනව. එයා කියන
විදිහට එව්ව හදන්නෙ පහේ කාසි වලිං.
“දෙකප්පායි..
දෙකප්පායි... දෙකප්පායි“
ඊළඟට පොළට
ඇතුල්වෙන තැනම ඉන්නෙ හඳුංකූරුයි පපඩමුයි විකුණන කැරලි කොන්ඩෙ බෙල්ල ගාවට වවපු මිනිහ. එයා ළඟ
තියෙන ලාම්පුතෙල් ලිප උඩ තියෙන තාච්චියෙ පපඩම් රවුමක් සම්පූරනෙංම බැදල තියල
තියෙනව. මං ඒක දිහා බලාගෙනම අම්ම පස්සෙං ඇදිල යනව. මේ වටපිට බලන ගමන හිංද මගෙ
කකුල් එහෙ මෙහෙ වැදිල පටලැවිල වැටෙන්න යනව. මිනිස්සුංගෙ ඇඟේ හොස්ස වදිනව. ඒ වගෙ
වෙලාවට අම්ම ආපහු හැරිල මගෙ අත කැඩෙන තරං හයියෙං මිරිකල මට බනිනව.
“උඩ
බලං එන්නැතුව බිම්බලාගෙන සිහිකල්පනාවෙං වර“
එතකොටම අපි
එකාට එකා හයියෙං බෙරිහං දෙන. වෙලෙංදං ගොඩක් ඉන්න, පොල් අතු සහ ටකරං හෙවිල්ලපු දිග
මඩු ගොඩක් තියෙන පොළට ඇතුල්වෙනව. ඒ මඩු අතර පොලවෙ මිනිස්සු ඇවිදින හරිය වැහි වතුරත්,
පොලවෙ පසුත් මිනිස්සුන්ගෙ නිරන්තර පෑගීමත් නිසා මඩවෙලා තියෙන්නෙ. අපි ඒ මඩ වලවල්
උඩින් ‘චක් චක්‘ කියල අඩි තිය තිය යනව. ඒ හරියෙ පොලවට උඩින් වියන් වගේ ඉටිකොල
ගැටගහල ආවරණය කරල තියෙන්නෙ. ළූණු, පරිප්පු, මිරිස් ආදිය විකුණන තැන්වල ඉස්සරහ උඩට
දාල තියෙන්නෙ රතු පාට ඉටිකොළ. එතකොට ඉර එලිය අර බඩු ජාති උඩට වැටෙන්නෙ රතු පාටට. කුණු
වෙන්න ඉතාමත් කිට්ටු ළූණු ගෙඩියක් උනත් ඒ හිංද රතු පාටයි. ඔය විදිහට කොළපාට එළවලු
විකුණන අයත් කොළපාට ඉටිරෙද්දෙ පිහිට ගන්නව. වැස්ස වෙලාවට ඒ ඉටිකොලවලට මැදට වතුර
පිරිල ගෙඩ්ඩක් වගේ හැදෙනව. පාතිං තියෙන ඒ වගේ වතුර ගෙඩිවල ඔලුව වැදුනොත් නාන්න
වෙනව. සමහර එව්ව බර වැඩිවෙලා ලණුව කැඩිල අර වතුර සේරම එකපාර බිමට වැටිල හත් අට
දෙනාට නාන්න වෙනව.
බඩු කිරණ
ගමන්ම සේරම වෙලෙන්දො තමුං ලඟ තියෙන බඩුවල මිල ගණන් කියනව.
“අල
තියයි. ළූණු විස්සයි. අල තියයි. ළූණු විස්සයි.“
මෙතන මේ ගාන කියන්නෙ
පන්සීයටද, කිලෝ එකටද කියල දන්නෙ එයාම විතරයි. සමහරු මේ ගාන කිලෝ එකක කියල හිතල
අරගෙන සල්ලි දෙන්න යනකොටයි දන්නෙ ගාන කියල තියෙන්නෙ ග්‍රෑම් පන්සීයක බව. ඒ වුනාට ඒ
වගෙ වංචා නොකරන අයත් ඉන්නව.
“ගෝව
පන්සීයද්දායයි. බීට් පන්සීයප්පාලවයි“
තවත් සමහරු
බඩුවල ගනං කියන්න අකමැතියි. ඒ අය කියන්නෙ
“අල්ලාබයි,
ලූල්ලාබයි, තක්කාල්ලාබයි, වැටකොල්ලාබයි, පතෝල්ලාබයීඊඊ“
කියල විතරයි. එයා
කියන විදිහට ඒ බඩු ගන්න එක ලාබ උනත්, ලාබ කාටද කියල අපි දන්නෑ. මේ විදිහට කෑ
ගහන්නෙ ගොඩක් වෙලාවට එළවළු, පළතුරු ආදී දේවල් විකුණන අයයි. මේ විදිහට පොල ඇතුලෙ
ඇවිදින ගමන් වෙළඳං කරන අයත් ඉන්නව. ඒ අතරිං මොකද්දෝ ආලේපයක් විකුණන මිනිහෙක් මට
මතකයි. එයා
“කොන්දෙයැක්කුම්ට,
සීතල්ට, අතේපයේරුදාවට, දක්කැක්කුංට, බෙල්ලෙකැක්කුංට, මේ බාම්මෙකෙං ටියග්ගාන්න“
කියල ගොරහැඬි
විදිහට කියන ගමන් එයා අතේ තියෙන එයිං කුප්පියකිං ඩිංග ඩිංග තමන්ට ඉස්සරහට හම්බෙන
අයගෙ අතේ පයේ කොහේ හරි ඇසිල්ලකිං උලනව.
තවත් පිරිසක්
වෙළඳාමෙ යෙදෙනව. ඒ අයගෙ බඩු භාණ්ඩ කවදාවත් නරක් වෙන්නෙ නැති හිංද ඒ අය කෑගහන්නෙ
නෑ. අපෙ ආච්චම්මගෙ මල්ලි කෙනෙක් වන මිරිස් තුනපහ විකුණන ‘සිරිපාල ආත‘ත්, දුංකල
විකුණන ‘සුදු මාම‘ත් එහෙම කෑ ගහන්නෙ නෑ.
අම්මයි මමයිත්
පොලේ තැනින් තැන ඇවිද ඇවිද බඩුවල ගනං අහ අහ බඩු ගන්නව. බඩු ගන්නකොට පිළිවෙලක්
තියෙනව. මුලින්ම ගන්න ඕනි පොල්. නැත්තං හවස් වෙනකොට පොල්වලින් හොඳටික තෝරල ඉතුරු
වෙන්නෙ කලටි. පොල් අරන් මල්ලකට දාල පොල් වෙලෙන්ද ගාවම තියනව ඒක අපි ගෙදර යනකොට
තමයි ඉල්ල ගන්නෙ. එයිට පස්සෙ අල, ලූණු වගේ නොතැලෙන ජාති. අන්තිමට තමයි තක්කාලි වගේ
තැලෙන ජාති ගන්නෙ. ඔය විදිහට බඩු ගනිද්දි
ඉතුරු සල්ලි විදිහට හම්බවෙන මාරු කාසි සේරම මං ගන්නව. බඩු අරං ඉවරවෙලා පොල් ටිකත්
ඉල්ලගෙන පොලෙන් පිටවෙන තැනට එනව. එතන තියෙන්නෙ මාලු, මස් කඩ. කරේ තඩි රත්තරං
චේන්නෙකං දාං ඉන්න මයිල් පිරිච්චි මිනිහ තමයි මුදලාලි. ඒගොල්ල විසාල පිහි වලිං
මාලු කපනව. අපෙ අම්මත් මාලු පන්සීයක් අරං වැඩිපුර සොපිං කවරෙකත් දාලයි බෑක්කෙකට
දාගන්නෙ. හරක් මස් කඩේ නං මස් ඔතල දෙන්නෙ හබරල කොලේ. ඒකට යන්නෙ පිරිමි අය විතරයි.
හරක් මස් කෑවම පවු පිරෙන හිංද අපේ ගෙදරට හරක්මස් ගේන්නෑ.
එතනිං
පිටවෙනකොට තියෙන්නෙ බුන්දි, මොටැයි, සුයිට්, ඇඟිලි විස්කෝතු වගේ කෑම විකුණන තැං.
මගෙ ගාව තියෙන මාරු සල්ලි වලිං එව්වයිං මොනව හරි ගන්නව. ඒ හවසට කහට බොන්න. ඔය
එක්කොම අරං අපි එනව බස් ඉස්ටෑන්ඩෙකට. එතන ඉන්නව හිඟාකන අය බිම පෝරකවර එලල ඉඳගෙන.
සමහරු ගාව බෙලෙක්ක වල කාසි කීපයක් තියෙනව. අනික් අය ගාව අතේ තියං ඉන්නව. සමහරුට
කකුල් නෑ. සමහරුන්ට ඇස් පේන්නෑ. සමහරුං වයසයි.
“පිංකල
නෝන මහතුනි මගෙ දුක දැකලා......
හැකිනං
යමක් දෙනවද මට පිං සලකා..“
මගෙගාව තියෙන
කාසි වලිං ඒ අයට කීයක් හරි “දීහං“ කියල අම්ම
කියනව. මගෙ සාක්කුවෙං රුපියල ගානෙ ඒ අයට දෙනව.
එතනම “ටිලි ටිලි“ ගාන සද්දෙට සීනුවක් හොලවන
බොම්බයි මොටයිකාරය රැවුල් වගේ රෝසපාට බොම්බයි මොටයි විකුණනව. මාත් එයිං රුපියල්
පහක ගන්නව.
“දැං
ඇති ඔය යමං. ඔය මදෑ.“
අම්ම මාව ඇදං
යනව. පාරෙං එහාපැත්තෙ තියෙන පිටවේල්ලට බැහැල කකුලෙ මඩ හෝදගන්න. නැත්තං කකුල දියමිටියො
කනවලු. අපි බඩු මලු අරං ඇවිල්ල සෙනග බාගෙට පිරිල
ඉන්න බස්සෙකට නගිනව. එතකොට සීට්වල සෙනග. අපි හිටගෙන. අම්ම බඩුමලු ටික සීට්
අස්සට දානව. මාව සීට් දෙකක් අතරෙං තියනව. ඒ අතරෙ කවිකොල කාරයෙක් ඇවිත් කවිකොල
විකුණනව. අම්මත් කවිකොලයක් ගන්නව. රටකජු, වඩේ, සූකිරි, කඩල ආදිය විකුණන අයත් ඇවිල්ල
බස්සෙකේ තෙරපෙන මිනිස්සු අතර ඇවිද ඇවිද එව්ව විකුණනව. සෙනග පිරිල, දාඩිය දාල,
මිනිස්සුන්ව තැම්බුණාට පස්සෙ බස්සෙක යන්න පටං ගන්නව. පැයක් විතර තැනිං තැන නවත්ත
නවත්ත ඇවිල්ල අපේ ගෙවල්ගාවත් බස්සෙක නවත්තනව. අපි මිනිස්සුංගෙං බැනුං අහගෙන බඩුමලු
හොයල අරං, තව දහදොලොස් දෙනෙක් පාගගන බිමට බහිනව. අපිව වමාරල එලියට දාපු බස්සෙක දුං
දාගෙන යන්න යද්දි. අපි සුලිසුළඟකට අහුවුනා වගේ හේබාගෙන ගෙදර යනව.
එදාට රෑට උයල
කාල ඉවරවෙලා අම්ම ගෙනාපු කවිකොලේ කුප්පි ලාම්පු එලියෙං කියවනව.
//පෙට්ටිය යට ඇති සුපියල් තුංසිය පනහක්.//
ReplyDelete//බුන්දි, මොටැයි, සුයිට්, ඇඟිලි විස්කෝතු වගේ කෑම විකුණන තැං. මගෙ ගාව තියෙන මාරු සල්ලි වලිං එව්වයිං මොනව හරි ගන්නව.//
//රෝසපාට බොම්බයි මොටයි විකුණනව. මාත් එයිං රුපියල් පහක ගන්නව.//
රුපියල් දහයක සුයිට් ගත්ත කියමු.
එතකොට 10+5=15
මුළු වියදමෙන් සැලකිය යුතු කොටසක් මේ කඩචෝරු වලට යනව නේ. මෙයාව ගෙදර තියල පොලේ යන එක අම්මට ලාබයි වගේ.
මාන විකෝ
Deleteමං සුයිට් ගන්නෙ සුපියල් පහක. එතකොට ගාන දහයයි. අනෙ හැබෑටම මෙහෙමත් ගනං හැදිල්ලක්.
Maru Maru
ReplyDeleteආ. ඔව් මාරු කාසිත් හරියට ඕන වෙනව පොලේ යද්දි
Deleteමට ඒ දවස් මතක් උනා මේක කියවද්දී..
ReplyDeleteඔය ඉන්නෙ අපේ පලවැලේ තව ඈයො
Deleteමෙයාගේ ගම් පැත්තේ මිනිස්සු කතා කරනවා මාර ලස්සණයි. :D
ReplyDeleteතවත් ලස්සනට කතා කරන අය ඉන්නව. හැන්දෑවට තමයි ඒ අය පාරට පනින්නෙ.
Delete++++++++++
Delete"කවද්දත් යුත්ත්තුක්ක්කමට්ට්ටායිඊඊඊ - ආ.... මැගි අක්කාාා.... කවුඩ්ඩෝ.. හූ කියන්නෙ..? හූ කියාපිය තොගෙ අම්ම්ම්.... අා මුදල්ලාලි මහත්තෙයාආආආ... එන්නං ඈඈඈ..."
පොළේ යන එකත් මරු බං. වෙළෙන්දො ටික කෑ ගහන හැටියි, බඩු ටික කොහොම හරි ඇඟේ ගහන්න ද්ඟලන හැටීයි බලන් ඉන්නම වටිනව.
ReplyDeleteමම නං දැං පොලේ ගියහං කරන්නෙ................ දිහා බලන එක.
Deleteදැන් ඉන්න ළමයින්ට කොහෙද ඔහොම දෙයක්වත්......
ReplyDeleteමමත් පුංචි කලේ අම්මත් එක්ක යක්කලයි බලුම්මහරයි පොළවල් දෙකට යනවා.... මම ආසම සරුවත් බොන්නයි ඉඟුරු දෝසි කන්නයි තමයි.....
දැන් ඉතිං මොකුත්ම නෑ තමයි.....
අර වීදුරු දාපු වතුර පනිට්ටුවයි, බීම පනිට්ටුවයි අරං “කූල්ලෙයක් කූල්ලෙයක් කූල්ලෙයක්“ කියල කෑගගහ යන මිනිහ නේද ඒ කියන්නෙ. ඒ උනාට මිනිහගෙ අතේ තියෙන කබර කැලල පෙන්නල අපෙ අම්ම මට එව්ව බොන්න එපා කරනව.
Deleteඋඹ කෑවා ශ්‍රංග ......
Deleteමම තවම ඉඳලාමත් සරුවත් බොනවා...... කබර කැළලක් කියල උඹ මට ඒක එපා කෙරෙව්වා..... හික් හික්....
ඊළඟ සැරේ කූල්ලෙයක් සරුවත් නැතුව කූල්ලෙයක් බොන්නන්....
පොළ මතක් උනා. දැනටත් 'ගෙදර යන ගමන්' කඩේට වඩා පොලේ යන්න මුළු හිතින්ම කැමතිය
ReplyDeleteමම ආසම ගල් සියඹලා, ගඩිගුඩා, බොම්බයි මොටයි සහ හූරණ ටිකට්.
මමනං ටිකැට් හූරන්නෑ. මට එව්ව ඇදෙන්නෑ. එතකොට දුකයි.
Deleteමමනම් පෙරේදත් බදුරලිය පොළේ ගියා. (ඊට කලින් දවසේ මානාන පොළ හරහා ආවා) පොළ ඉස්සර තරම් ලස්සන නැහැ. ඉස්සර තිබ්බේ පොල් අතු මඩු සහ පස් පුරවලා උස්සපු බිමවල්. ඒවා අතරෙන් තියෙන ඉඩ කොටසේ තමයි මිනිස්සු ඇවිදින්නේ.
ReplyDeleteඒ කොටස අපේ පැත්තට හැමදාම වහින වැස්සෙන් අනිවාර්යයෙන්ම මඩ වෙලා තියෙන්නේ. ඒ මදිවට කුණු වෙච්ච එළවළු එහෙමත් දාන්නේ යන එන පාරට.
සෙරෙප්පු දාගෙන ගියත් බේරුමක් නැහැ.
දැන් සිමෙන්ති දාපු බිමවල්, ඇස්බැස්ටෝස් වහලවල් හැදිලා පොළ අලුත් වෙලා තිබුනට තාමත් ඒ ඇතුළේ තියෙන්නේ පරණ පුරුදු පොළමයි කියල හිතුනේ ගිය ඉරිදා පොළේ ගියපු වෙලාවේ.
සුරංග ඔය කියන්නේ කොයි කාලේද, මට මතක පොඩි කාලේ එළවළු විකුණන මිනිස්සු කොළ පාට ඉටි රෙදි සහ ළූණු විකුණන මිනිස්සු රතු පාට ඉටි රෙදි වහල විදිහට දාන කලාව තිබුනේ නැහැනේ.
මගේ මතකයේ හැටියට ඒක ආවේ ගොඩක් පහුවෙලා.
උඹට කමෙන්ට් එක ලියල ඉවර වෙද්දී ඒක පෝස්ට් එකක් තරමට ලොකු වෙලා. ඒ නිසා මුල කොටහ විතරක් මෙතන දාල ඉතිරිය පෝස්ට් එකක් විදිහට දාන්න තියා ගත්තා.
ලොක්කයියෙ,
Deleteමං මේ කියන්නෙ එකදාස් නවසිය අනූ තුන, හතර වගෙ. එය බදුරලිය පොලෙත් මං වෙලඳං කරල තියෙනව.
මමත් 92 වගේ ඉඳල පොලේ ගිහින් තියෙනවා, පොළේ යන එක පට්ට ආතල්, ඒත් කොළඹ තියෙන පොළවල් වල ඒ ආතල් එක නැහැ...
Deleteඔෆිස් ගිහින් එන ගමන් එපා වෙලා මළ පැනලානේ බඩු මළු උස්සගෙන එන්නේ...
අනික අපි පොඩි කාලේ අපේ ගෙදර 7 දෙනාට සතියට කන්න ගෙනාපු එළවළු සහ අනික් බඩු ප්‍රමානෙට වඩා වැඩි ප්‍රමාණයක් දැන් අපි තුන්දෙනාට ගේනවා.
එතනින් වයස අවුරුදු 2 පොඩි එකා මහ දෙයක් කනවා කියලයැ.
ඉතිරි බහුතරය පදමට නරක උනාම කුණු කුඩේට වැටිලා ආපහු මගේ අත් දෙකෙන්ම උස්සගෙන ගිහින් කුණු ගොඩට ගිහින් දාන්නත් එපැයි...
ඔය ලීස් ගස් එහෙම දවස ගානෙ කොටවෙලා සිකුරාදා වෙනකොට ඉතුරු කඳ විතරයි.
Deleteදියමිටියෝ කනවා කියන වචනේ දැන් ව්‍යවහාර වෙන්නේ නැති තරම් නේද? ඒ වගේම තමයි දියමිටියෝ කනවා කියන චර්ම රෝගයත් දැන් දකින්නට නැහැ. ඒ නිසයි ඒ වචනේ නොකියවෙන්නේ.
ReplyDeleteමෙන්න ඒ කාලේ අපේ පොළේ එකෙක්
"ටොපියා සියරට්ටියා බුලත්විටියා පෙපරමින්ටියා"
දියමිටියො කනව කියන්නේ පනුවො හම විදගෙන ඇතුල්වෙන එකනෙ.
Deleteහැක්.. නියමයි ශ්‍රංගයො.
ReplyDeleteඅපේ ටවුමෙ නං සෙනසුරාදයි අඟහරුවාදයි දවස් දෙකක්ම පොල තියෙනව. ඒත් සෙනසුරාද පොල තමයි සරුවට තියෙන්නෙ. ඒක පටං ගන්නෙ සිකුරාද හවස ඉඳල.
ඔය බෙලෙක් පියං දෙකක් හයි කරල තියෙන කරත්ත දැන් කලාතුරකින් තමයි දකින්න හම්බවෙන්නෙ. දැන් තියෙන චයිනීස් ප්ලාස්ටික් කෑලිත් එක්ක තරඟ කරන්න ඒව හදන උංට බැරුව ඇති.
මේ පොලට එලෝලු ගේන්න යන ලොරිවල එල්ලිලා හපුතලේ, බණ්ඩාරවෙල මාකට්වලටත් මම ගිහිල්ල තියෙනව. ඒවයෙත් නියම වැඩ තමයි තියෙන්නෙ.
Praසන්ன (ඔව් උෟම තමයි)
බැලුංබෝලෙ හයිකරපු බට නලාව ගැන ලියන්න බැරිවුණා. ඒකත් ඔය වගේම ලංකාවෙ දෙයක්.
Delete//බැලුංබෝලෙ හයිකරපු බට නලාව // පෑ..ඈ.. ඈ.. ආන්... මම්ම පප්පා.. :)
Deleteපොළේ යෑම මමත් බොහොම ආසකරන වැඩක්.
ReplyDeleteදැං බැරියැ දෙන්න එක්ක යන්න පොලේ.
Deleteමම පොඩිකාලෙ, අසූව දශකෙ මැද, අපේ ආච්චිලගෙ ගෙවල් කිට්ටුව පොලක් තිබ්බ ඒ පොල පටන්ගන්නෙ පාන්දර 3ට විතර, කලින් දවසෙ රැ 8 - 9 වෙනකොට ලොරි වලින් ආපු වෙලෙන්දො තමන් ගෙනාපු බඩු එලන්න පටන්ගන්නවා.
ReplyDeleteමේ පොලට බඩු ගන්න වගේම තමන් වගා කරපු බුලත්, එළවළු, අලජාති විකුණගන්නත් ගොවියො එනවා. ඒ බඩු පොළට ගේන්නෙ කරත්ත වල. පාන්දර 3 ට විතර බඩු පටවගත්ත කරත්ත 10ක් 15ක් එක පේලියට ලන්තෑරුම් එල්ලගෙන පාන්දර පාරදිගේ පොලට එනවා.
බුලත්, එළවළු, අලවර්ග ආදිය මිලදී ගන්න ආපු ලොරි උදේ 6 වෙනකොට ඒවත් පටවගෙන ආපහු යනවා.
පොලෙන් බඩු ගන්න සාමාන්‍ය ජනයා එන්න පටන්ගන්නෙ පාන්දර 5.30ට විතර. ඒ අය රස්සාවට යන්න කලින් ගෙදරට ඕනැ බඩු මිලදීගෙන ගෙදර ගිහින් තියල තමයි රස්සාවලට ගියේ.
උදේ 9 - 10 වෙනකොට පොලේ වෙළදාම ඉවර කරල වෙළෙන්දො බඩු අකුලනවා.
88/89 ජේවීපී භිෂණය කාලේ මේ පොල නැවතුනා, ජේවීපී කාරයෝ පොලේ වෙලෙන්දන්ට හිරිහැර කලා මංකොල්ල කෑව. පොළ බලාගත්ත බදු එකතු කරපු මනුස්සයා මරා දැම්මා. 90 දශකෙ වෙනකොට රාත්‍රි පොල දහවල් පොලක් උනා, දැන් ඒක හවස පොළක් වෙලා.
තව ටික කාලෙකින් ඕක ආයෙමත් රෑ පොලක් වෙයි.
Deleteඇයි සුරංග ඔයාට පොඩි දෙයක් අමතක වෙලා පොලේ....... කෝ ආනේ ඇහැට පේන කෙල්ලෙක් පොලට එනකොට වෙනම වචන සෙට් එකක් කියන්නේ වෙලෙන්දෝ....
ReplyDeleteසබර් ඇනේ,
Deleteමං පොඩිකාලෙනං එහෙම එව්ව උනා කියලා මතක නෑ. දැංනං එහෙම එව්ව වෙනව.
මොකක් මං ඇනේ ද ආ.......
Deleteහුටා පරි ජාලං මං දැක්කෙ ‘සබර් ඇනේ‘ වගේ පස්සෙනෙ දැක්කෙ ‘සබරෙ ඇනෝ‘ කියල. සබර් මිටි තියෙන එකේ සබර් ඇනත් තියෙන්න එපායැ නැද්ද?
Deleteමැවිලා පෙනෙනවා බං
ReplyDeleteඑල ද බ්‍රා
ඔය කියන තරං එලක් නෑ බං
Deleteමේ කියන විදියට උඹලගේ ගෙවල් තියෙන්නේ මම හිතපු හරියෙම තමා....
ReplyDeleteඔව් ඔව් හරියටම මිදුලේ .
Deleteපට්ට මචන්
ReplyDeleteඑසේය
Deleteපුදුමෙ කියන්නෙ මෙයාගෙ මතක ශක්තිය හා ගැලපීම. මෙතන බොම්බයි මොටයි කියන්නේ සීනි පොල්කොහු වලටද. මගේ ප්‍රියතම පොලේ කෑම ඒවා තමා. මටත් පොල අමුතු දෙයක් නෙවි. පුංචි කාලෙ අම්මගෙ හරි තාත්තගෙ හරි එක්ක පොලේ යනවා. අයිස්පලම් සීනි පොල්කොහු කන්න. නයි නටවනවා බලන්න. ඇයි බේත් තෙල් වෙලෙන්දා සර්ප භවනක්ම පොලට ගේනවා. දැන් නම් ඉතින් පොලෙන් ගන්න දේවල් නැති තරම්. ඉස්සර ගෙදර හදන එළවලු පළතුරු. වළං පැදුරු. කුස්සියේ කලමනා ආදි බොහෝ දේවල් මිනිස්සු පොලට ගෙනත් වික්කා. දැන් එහෙම නෑ. එකම වෙලෙන්දෝ ටිකක් හැම පොලටම යනවා.
ReplyDelete/පුදුමෙ කියන්නෙ මෙයාගෙ මතක ශක්තිය හා ගැලපීම. /
Deleteඅනේ එහෙම කියන්න එපා
මට නිකං ලැජ්ජාහේ.
ලැජ්ජා වෙන්ට කාරි නෑ. ආයෙ මොනවද සුපිරි ටිකිරි මොලයක් ඔයාට තියෙන්නෙ. ඕක චුටි මැණිකෙ දන්න නිසා තමා සීතල වතුර නාන්න එපා කියන්නැත්තේ.කොයිහැටි වුණත් අනේ පොලේ වෙලඳාම් කරපු හැටිත් ලියන්න. වන්දනා ගමන අතර මග තාම අලේ....
Deleteමමත් හරි කැමතියි බං නිවාඩුවට ගියාම පොළේ යන්න. නමුත් ඒක නිතර කෙරෙන්නේ නෑ. ඔය පොළේ බදු එකතු කරන පොරක් ඉන්නවා නේද රේන්ද කාරයා කියලා? එතකොට ඔය පොළේ කට්ටියට එක දවසක් යන්න වෙනවා තරාදි ලයිසන් කරන තැනකට, හොරට කිරන එක නවත්තන්න. උඹ දැකලා තියෙනවද තරාදියට බඩු අතෑරලා උඩ එන්න කලින් මල්ලට හලන වෙලෙන්දෝ? එතකොට අර බැලන්ස් වෙන කට්ටට ඇඟිල්ල තියලා තරාදි පඩි පැත්ත උඩට එන්න නොදී බඩු කිරන වෙලෙන්දො?
ReplyDeleteපිටකොටුවෙ මැනිං මාකට් එකේ නං බං බඩු විකුණන සමහරු මැජික් කාරයෝ සහ අව්ස් බැන්දුම්කාරයෝ.
හොරට කිරන්නො තව කොච්චර ඉන්නවද.
Deleteඔව් උඹත් එකෙක්. දැන් බලාපං උඹ මට දාන කමෙන්ට් රිප්ලයි දිහා. උඹ හොරට කිරලා හොරට දාන්නේ ඇපෙන් බේරෙන්න. දැන් බලාපං මේ රිප්ලයි එක්ක දිහා. හොරට නේද කිරලා තියෙන්නේ?
Deleteමම නම් අකැමති වැඩක් බං ඔය පොළේ යැවිල්ල.මම නම් කැමති පොළේ ගිහින් එන අය ගෙදර ඉන්න මට මොනවා හරි අරන් එනවා නම් තමයි.
ReplyDeleteකම්මැලිකම
Deleteමාවනං පොඩිකාලෙ ඇණ ගහලවත් ගෙදර තියන්න බෑ පොල දවසට .
අපිනං කවදත් කඩේ යනවා..
ReplyDeleteහැන්දෑවට වෙන්ටැ
Deleteසුන්දර මතකයන් ගොඩායි ....ස්තුතියි බන්
ReplyDeleteසීනි කෝපි තේ කිරි තේ
වෙරළු මසං ජමනාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ//
පොඩි බණ්ඩයි මුදලාලී
ගණන් ලියයි පොඩිහාමී….//
පිඟන් කෑලි සල්ලි අරන්
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ//
බයිසිකලෙන් කාර් එකෙන්
අස්ව කරත්තෙන් ආවත්….//
එක මේසේ කෑම කන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ//
සීනි කෝපි තේ කිරි තේ
වෙරළු මසං ජමනාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ//
ගායනය: පුෂ්පමාලා සුභසිංහ
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ඩී. ආර්. පීරිස්
එම ගීතය ඔබවෙත ගෙනආවේ සින්දු ඇනෝ විසිනි
Deleteරබර් සෙරෙප්පු දෙකක් දාල පොලේ ගිහිං මඩ චරි උඩ චෝක් චෝක් ගාල ඇවිදලා ඇඟිලි කරු අස්සෙන් මඩ මිරිකිලා උඩ මතු වුනාම මාර සනීපයි.. නොසෝද හිටියොත් කකුල් දිය මිටියෝ කන එක අහන්නත් දෙයක්යැ..
ReplyDeleteසත පනහක පකඩ අරගෙන රස කර කර අමාරුවෙන් කෑවා වගේ මතකයක් ඇවිස්සුනේ..
පකඩ කියන ජාතිය මං කෑවෙ මේ බදුල්ලට ආවයිං පස්සෙ. මේ දවස්වල පොලේ අලුත්ම ට්‍රෙන්ඩෙක ගල් සියඹලා. ඒ උනාට තවම හරියට ඉදිච්ච එව්ව නෑ.
Delete/හරක් මස් කෑවම පවු පිරෙන හිංද අපේ ගෙදරට හරක්මස් ගේන්නෑ./
ReplyDeleteඒ කාලෙත් එහෙමයි නේද?
පොළ හරි ජොලි තැනක් .. මම කඩුවෙල පොළට යනවා අම්මත් එක්ක. පොඩි කාලේ ඔහොම බස් එකේ නැගල උඩුපිල පොළට ගිහින් තියෙනවා
ReplyDeleteමෙව්වා කියෙව්වාම මොලේ කුරුවල් වෙනවා බන්. ඒ කාලේ තිබ්බ සරල ජීවිත එක්ක අපි දැන් ගෙවන්නේ මොනතරම් පවුකාර ජීවිතද කියල හිතෙනවා. කොයිතරම් සල්ලි හම්බුකරත්, සැප සම්පත් තිබ්බත් ලංකාවේ ගමක තියන සරල ජීවිතයක් ගෙවන්න තිබ්බනම් කොයිතරම් පහසුද කියල හිතෙනවා. පොස්ට් එක සුපිරි..
ReplyDeleteමචං මේ කතා කියවද්දි මගේ පුංචි කාලෙත් මතක් වෙනව මචං! දිගටම ලියහන් මචං කතා ටික හරිම රහයි!
ReplyDeleteela. ...
ReplyDelete