Follow by Email

Sunday, July 8, 2018

ඉඩං හෙවිල්ල - බ්‍රොකර්ලා



Add caption


“ෂෝක් ඉඩමක් තියෙනවලු පොතුපිටි දිහාවෙ, තේයක්කරයයි ගේයි.“


“කීයක් කියනවද?“


“ගානක් නං කිව්වෙ නැහ්ලු“

“කාගෙද ඉඩම?“


“මට කිව්වෙ මේ අපේ ගෙවල්ගාවයිය කෙනෙක්. ඒ ගොල්ලංගෙ මල්ලිගෙ පවුලගෙ මහ ගෙදරට අල්ලපු ගෙදර මනුස්සයගෙ නෑයෙක්ට පණිවිඩේ කියල තියෙන්නෙ ඉඩම අයිතිකාරයගෙ ළඟම හිතවතෙක්“


“මේ අයියලෑ මල්ලිගෙ පවුලලෑ මහගෙදර අල්ලපු ගෙදර එක්කෙනාට කිව්වං එක්කං යයි. ගනුදෙනුව කතා කරගත්තැකිලු ඉඩම බලල.“


“ඒ වුනාට අහල බලන්නකො කීයක් ඉල්ලනවද කියල?“

“හා මං අහල බලන්නං. හෙට කියන්නං“

අපි දෙන්නටත් පැලක් අටෝගෙන වැහ්ල ඉන්න ඉඩං කෑල්ලක් හොයා දෙන්න කියල චූටි මැණීකෙගෙ අම්මා දීපු කොන්තරත් එකෙ හැටියට ගැලපෙන ඉඩමක් හොයාගත්තු චූටි මැණිකෙගේ බාප්පා තමයි ඒ කතා කලේ. ඊටත් දවස් දෙක තුනකට පස්සෙ ඒ කතාවෙ ඉතුරු කොටහ.


“අර ඉඩමෙ ගාන ඇහුව“

“කීයක් කියනවද?“


“ඒකෙං දලු කිලෝ දහක් විතර කඩනවලු. දැං දලුත් සීයට කිට්ටුනෙ. ගේත් කාමර පහක එකක්. විසාල එකක්. දැනට ගෙයි කාමරේකුයි කුස්සියකුයි බැඳල වහලෙත් ගහලලු තියෙන්නෙ. තව කාමර හතරයි සාලෙයි විතරයි හදන්න තියෙන්නෙ.“


ඒ වෙත්දි මගෙ කනෙං දුං දාන්න පටං අරං ඉවරයි.

“ඉතිං ඕකෙ ගාන කීයලුද?“

“තිස් දෙකක් තමා කියන්නෙ“


මගෙ ඉස් මුදුනෙං ගින්දර පිටවෙද්දි අන්තිම විස්තරෙත් ඇහුවා.


“එතකොට ඔප්පු“


“ඔප්පුවක් ඕන්නැහ්ලු. ගරාම සේවක ළඟ ලියලලු තියෙන්නෙ“


එතනිං එහාට කියවෙන ටික කියන්න ටෙලිපෝන් එක මගෙ කණ ගාව හිටියෙ නෑ.

පස්සෙ දවසක ඒ ඉඩමෙ විස්තරේ හරියටම මගෙ කනට වැටුනා. ආණ්ඩුවෙ වන වගාව කපලා තේ හිටෝලා ඒකෙම ගේ කෑල්ලකුත් අටවද්දි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒකට විරුද්දව නඩුවක් දාලා. නඩුවෙං බේරිලා ගානක් සාක්කුවෙ දාගන්න හිතාගත්තු ඉඩං අයිතිකාරයා තමුන්ගෙ ඉඩම අක්කරයක් හැටියට අක්කරේට අලුත් බිම් ප්‍රමාණෙකුත් දාගෙන එක මනුස්සයෙක්ට විකුණන්න හදලා. ඔය ඉඩම අවට ඉන්න මිනිස්සුත් ඉඩම බලන්න ආ ගැනුංකාරයට අනුකම්පා කරලා ඉඩමෙ සුල මුල ඔක්කොම කනේ තියලා. ගැනුංකාරයා ඊට වැඩිය අංකූරෙක්. මිනිහා ඒ විස්තර ටික තමුන් දන්න බව ඉඩම අයිතිකාරයට කියලා ඉඩමෙ ගාන බොහොම අඩුවට හෙට්ටු කරගෙන. එතනිං පස්සෙ තමයි මේක දංවැල වගේ වෙන්නෙ. ගැනුංකාරයාත් එදිනෙදා වැඩ ටික කරගන්න තරං මොලයක් ඇති මිනිහෙක්. ඒ හංදා කීයටවත් ඒ ඉඩම තමුන්ගෙ සල්ලි දීල ගන්නෙ නෑ. ඒ හංදා මිනිහා ඉඩම තීරණය වෙච්ච ගානට වඩා ටිකක් වැඩි ගානකට ඒ ඉඩම විකුණන විත්තිය වෙනිං කෙනෙක්ට කිව්වා. එතකොට තමුන්ට මැදිං ගානක් කඩාගත්තැකි නෙ. එයාටත් මොලේ කලං ගානක් තියෙන හිංදා එයත් තමුන්ට ගානක් තියාගෙන තවත් කෙනෙක්ට පණිවිඩේ කිව්වා. ඔය විදිහට ඉඩම බලන්න යන හැම කෙනාම ඉඩම අවට අසල්වාසින්ගෙන් විස්තරේ දැනගෙන ඉඩම සල්ලි වලට ගැනීමෙ වැඩේ පැත්තක දාලා තමුන්ට වඩා මොලේ අඩු මැට්ටෙක්ට මේ ඉඩම විකුණා ගානක් සාක්කුවෙ දාගැනීමේ අරමුණෙං අර බ්‍රෝකර්ලගෙ වැලේ අගට එක්කහු වුනා. ඔය විදිහට අපේ බාප්පගෙ ගෙවල් ගාව අයියගෙං බාප්පගෙ කනට ආවෙ ලක්ස තිස් එකක ලංසුවක්. අපේ කනට එත්දි ඒක ලක්ස තිස් දෙක වුනා.


තවත් ටික දවසක් යත්දි අපි ඉඩමක් හොයන විත්තිය අහල ගං හත අටකම ප්‍රසිද්ද වුනා. ඒ ගංවල ඉන්න සේරම බ්‍රොකර්ල අපිට උපකාරෙට හිටිය. මෙතෙනදි විසේසෙන්ම ඔය බ්‍රෝකර්ල කියන අය අඳුරල දෙන්න ඕන.

ඉස්සර පතලක් ගානෙ මැණික් හම්බුවෙන කාලයක් අපේ ගංවල තිබුණා. ඒ දවස්වල පතලක් බැහැලා, ඉල්ලම පාදගෙන, හොරුංගෙං බේරන්න රෑට මුර කරගෙන, පොලිස්සියෙන් බේරිලා ගරලා යන්තං වාසියක් පාදගෙන ඒක මුදලාලි කෙනෙක්ට විකුණනවා. මුදලාලි ඒ ගල පනස් දහට අරගෙන බේරුවලට ගෙනිහිං ලක්ස ගානකට විකුණනවා. ඔය විදිහට බලත්දි මඩ නාගෙන බඩට නොකා නහින එකාලට වඩා සුදු සරමයි දැල් කමිසෙයි ඇඳං ටෝච් කඳ ඉනේ ගහං ඉන්න එකාලා වැඩි ගානක් හොයනවා. ඒ ගමන සුදු සරමයි, දැල් බැනියමයි, අස්ස පේන කමිසෙයි, අලුත් ටොච් එකයි, බැට්ටි කෑලි තුනයි, සෙරෙප්පු කුට්ටමයි ගන්න පුළුවං හැම එකාම මැණික් මුදලාලිලා උනා. අන්තිමට ටවුමෙං බාගයක් පිරෙන්න මැණික් මුදලාලිල.

කලකදී ඒ සේරම ඉවරවුනා. කුඹුරු ඉඩං, ගොඩ ඉඩං, ඇල දොලවල්, සේරම හෑරුවා. ගඟේ අඩියත් හෑරුවා. මහපාර යටිනුත් දෝනා ගියා. හාරන්න තැනක් නැතිවෙන්නම හෑරුවට පස්සෙ පතල් රස්සාවත් ඉවර වුනා. අන්න එතකොට අර මැණික් මුදලාලිලට කරන්න දෙයක් නැතුව ගියා. සමහරු නං බඩගිනි වෙත්දි සුදු සූට් එකෙන් මඩ සූට් එකට බැහැල කුලියක් කරන්න පටං ගත්තා. තව කීප දෙනෙක් ආණ්ඩුවෙ කන්තෝරුවලින් වැඩක් කරවා දෙන්නො බවට පත්වෙලා ග්‍රාම සේකර රාලහාමි එක්ක එක්කහු වෙලා ගමට ලැබෙන දේ ගසාකන්න පටං ගත්තා. ගමේ අයගෙනුත් ගාන කපා ගත්තා. තව කීප දෙනෙක් ත්‍රීවිල් කටුවක් අරගෙන හන්දියෙ රස්තියාදුව පටං ගත්තා. තව කොටසක් ගෙදර තියෙන සල්ලි කීය හරි නැති බංගස්තාන වෙන විදිහෙ බිස්නස් කරන්න පටං ගත්තා. ඔය විදිහට නන්නත්තාර ජීවිත ගත කරන අය අන්තිම වල්ල පට්ට ගහත් කපලා මුල් ටිකත් පැලුවට පස්සෙ, අන්තිම කිඹුල් හූණත් ඇල්ලුවට පස්සෙ, කලු බලල්ලු, අකුණු තැටි හෙවිල්ලත් යටිගං ගියාට පස්සෙ අතගැහුව වැඩේ තමයි බ්‍රෝකරකම.

මළ ගෙදරක කැරම් ගහන තැනක කට පියාගෙන ඉන්න බැරුවට


"මේ පැත්තෙ නැද්ද තේ කෑල්ලක් එහෙම ගන්න"

කියල අහපු ගමං කැරම් බෝඩ් එක වටේ හිටපු සේරම ටික


"තියෙනව. මං ඒ බිස්නස් තමා කරන්නෙ"

"තැනක තියෙනව ඉඩමක් අන්න ඉඩං. යං බලන්න."

"කොයි තරං එකද්ද හොයන්නෙ"


කියාගෙන අපිව වටකරගන්නව. ඒ බ්‍රෝකර්ලත් එක එක විදිහට වෙස් ගන්න පුළුවං අය. කොස් ගෙඩ්ඩක් කොලපතේ තියාගෙන බෝඹු කෝට්ටකිං දත්වහල්ල මැද මැද එන මිනිහෙක්ගෙං

"නැද්ද අයියෙ මේ හරියෙං අඩුවට කාර් එකක් හොයාගන්න"

කියල අහපු ගමං අර මනුස්සයා කොස් ගෙඩ්ඩ බිම දාලා බෝඹු කෝට්ට අකුලකට විසික් කරල සරම පාත දාගෙන තප්පර දෙකෙං කාර් සේල් කාරයෙක් වෙනව.

"තියෙනව. ගිය සතියෙත් මං කාර් හතරක් දුන්න. පස්ස තියෙන එකද්ද නැති එකද්ද හොයන්නෙ. තැනක තියෙනව මැණික් මුදලාලි කෙනෙක් පාවිච්චි කරපු ලාන්ස්‍රේකක් හීරිලවත් නෑ. අඩුවට දෙනව. ආයි නෑ ටොප්පෙකටම තියෙනව. දැං සල්ලි තියෙනවනං අද ගත්තැකි. හයිවේකෙත් යනව. දිර්ල නෑ. පැට්ටල් ලීටරෙං විස්සට එහා දුවනව. පොත එහෙමත් තියෙනව. මට පනහෙ කාඩ්ඩෙකක් ඇරං දෙන්න මං දැං කෝල් කොල්ල ගෙන්න දෙන්න. "

ඒ විදිහට කිතුල් හකුරු, මී පැණි, කිතුල් පිටි, ඔරිජිනල් කිතුල් පැණි, ලී, වල ඉඳං වාහන, ඉඩං විතරක් නෙවෙයි නැවක් උනත් හොයා දෙන්න මේ බ්‍රෝකර්ලට පුළුවං. ඒ්ක කොයිතරම් දුර දිග ගිහින්ද කියෙතාත් ඉඩමක දලු ටික කඩාගන්න කෙනෙක් නැති වුනාට හැම මිනිහම ඉඩම් බ්‍රෝකර්ලා, වාහනේකට හුලං ටිකක් ගහගන්න වින්කලයක් නැති වුනාට වාහන බ්‍රෝකර්ලා තුං හතරදෙනා එක ගෙදර, කපන්න කෙනෙක් නැතුව කිතුල් මල් නිකම්ම ඇරිල ගියාට හොඳ කිතුල් හකුරු තියෙන තැනකිං අඩු ගානට අරං දෙන බ්‍රෝකර්ලා ඕන තරම්. කොටිම්ම අපේ ගම් පලාතෙ ඉන්න හැම මනුස්සයම බ්‍රෝකර් කෙනෙක්. ඒ හැමෝගෙම අරමුණ කාගෙ හරි මරාලයක් තව කාගෙ හරි කරේ එල්ලලා අතර මැද නිකං ඉඳල ගානක් කඩාගන්න එක.


ඒ වගේ තමුං හෙනම කපටි බව හිතාගෙන ඉන්න බ්‍රෝකර්ල කීප දෙනෙක්ම අපිව තම්බන්න වතුර හැලි උණු කලා. තව දවසක් එහෙම එක්කෙනක් අහුවෙච්ච ගමං අපේ මාමණ්ඩි අපිට කතා කළා.


"මේ බලන්න මෙන්න මෙයා දන්න තැනක ඉඩමක් තියෙනවලු."

"හා"

ඊළඟට ඇහෙන්නෙ බ්‍රෝකර්ගෙ හිවල් හඬ

"මේ.... හලෝ....හලෝ...ඇහෙනවද?"

එතකොට මං බීරෙක් නොවන බව එයාට කියනව.

"ඇහෙනව ඇහෙනව"

"ආ....... මේ ඉඩමක් තියෙනව ෂෝක් එකක් ගන්නවද?"

"කියන්නකො විස්තරේ"

"මේ ටවුම කිට්ටුවම තියෙනව ඉඩමක්. ටවුමට විනාඩි දහයෙං එතෑකි. වතුර ලැයිට් තියෙනව. ඉඩමටම පාර තියෙනව. පාර කාපට් කරන්න සල්ලිත් පාස්වෙලා තියෙන්නෙ. ගන්නවද?"

"ගන්න කලිං ඉඩම බලන්න එපායැ. කොහෙද ඕක තියෙන්නෙ"

"ඕගොල්ලො කිව්වට දන්නෑ. බලන්න යනව නං මා එක්ක යතහැකි. ගන්නවනං තමා ඉතිං. දැං කීප දෙනෙක්ම ඇහිල්ල බලල ගියා. ගන්නවම කියල."

"ඉඩම තියෙන පාර කියන්නකො මට මෙහෙ ඉඳං ඉන්ටනෙට් එකෙං සිතියමේ බලන්න පුලුවං එතකොට"

"ගන්නවනං ඇහිල්ලම බලන්නකො. ගාන අඩු කරන්න පුළුවං."

"කවුද ඉඩමෙ අයිතිකාරය"

"මේ පැත්තෙ එක්කෙනෙක්. ඔයා දන්නෑ කිව්වට. ඒ දෙන්නට දැං වයසයි. ළමයි ඔක්කොම කොළඹ. තව කොටසක් ලන්ඩන් ගිහින් ඉන්නෙ. මේ දෙන්නත් ඉඩං විකුණල ළමයි ගාවට යන්න හදන්නෙ. ගන්නවනං කියන්න."

"එතකොට ඔප්පු එහෙම"

"ඉඩම ගන්නවනං ඔප්පුව බලතැහැකි. බලපත්තර ඔප්පු තියෙන්නෙ"


"එහෙම ජාතියක් නෑනෙ. බලපත්‍ර කියන්නෙ ආණ්ඩුවෙ ඉඩං වවාගන්න දෙන ඒව. ඔප්පු කියන්නෙ තව ජාතියක්. එතකොට ඔය ඉඩම අයිති රජයටනෙ."

"එව්ව තමා මෙහෙ හැමෝම ගාව තියෙන්නෙ. ඕන්නං නොතාරිස් ගාව ඔප්පුවක් ලියල දෙන්න පුළුවං. වෙන කවුරුවත් අයිතිය කියන්න එන්නෑ."

"ඕක ආණ්ඩුවෙ ඉඩමක් නෙ. ආණ්ඩුවෙ ඉඩං විකුණන්න තහනං නෙ."

අන්න එතකොට බ්‍රෝකරට මල් ගස් පිටිං පනිනව.

"මේ ඔයා ගන්නැත්තං කියන්න තව ඕන තරං ඉන්නව ඉඩං ගන්න අය. මේකට අල්ලපු ඉඩමත් බලපත්තර ඔප්පු තමා. ගිය සතියෙ ඉස්කෝලෙ මහත්තෙක් ගත්තෙ පේචස්සෙක අසූදාහ ගානෙ. ඒකත් මං අරං දුන්නෙ."

"ඔයා ඔය විකුණන ඉඩං ගැන ඔයාට වැඩිය මං දන්නව. බලපත්‍ර ඉඩං එහෙම විකුණන්න බෑ. හරිද?"

මේ අතරෙ අපේ මාමණ්ඩි බ්‍රෝකර්ට උත්තර දෙනව.

"ඔය අපේ ළමය අහුවල් දෙපාර්තමේන්තුවෙ වැඩ. එයා ඉඩං ගැන දන්නව"

එතකොට බ්‍රෝකර්ගෙ කට සද්දෙ බහිනව.

"ආ.... එහෙමද? මේ ඔයාට කවුරු හරි හම්බුනොත් කියන්නකො. මේ.... මගෙ ගාන පේචෙස්සෙක හැටයි. ඔයාටත් ගානක් තියාගෙන හැත්තෑව ගානෙ කාට හරි කතා කරන්නකො"


ඔය විදිහට තව බ්‍රෝකර්ල කීප දෙනෙක් ගින්දර වැඩි කරල, ලුණු ගොරක පදම වෙනස් කරල අපිව තම්බන්න හැදුවත් ඒවගෙන් හොඳටම තෙම්පරාදු වෙච්ච අපි දෙන්නා ඉඩං ගැන බොහොම වැදගත් පාඩං කීපයක් ඉගෙනගත්තා. එයින් වැදගත්ම එක තමයි බ්‍රෝකර් කියන දේ අහං ඉඳල ඒකෙ හැංගිච්ච ඇත්ත තේරුං ගැනීම. ඒ මේං මේ විදිහට.


"ටවුමට විනාඩි දහයෙං එතෑකි" (මේ විනාඩි දහය ගතවෙන්නෙ ජෙට් එකක ආවොත් තමයි. බයිසිකලේක තනියම ආවත් පැයකට වඩා ගතවෙනව - ගෙදර පොලිසියත් එක්ක එනව නං පැය දෙකටත් වැඩියි)

"මායිං මොනවත් ආරවුල් නෑ" (මේකට අල්ලපු ඉඩමෙ එකා නඩුවකුත් දාල තියෙන්නෙ)

"ඕන දෙයක් වවන්න පුළුවං. නියම පස" (අක්කපාන පැලයක්වත් හිටවන්න බැරි ගල් ගොඩක්)

"ගේ ගාවිං බස් යන්නෙ" (අධ්‍යාපන චාරිකාවක් හරි වන්දනා ගමනක් හරි ගිය එකක් තමා)

"ඉස්කෝලෙට හැතැක්ම කාලක් නෑ. ළමයි දාගන්න කිසි කරදරයක් නෑ" (හෙට අනිද්ද වැහෙන්න යන කනිෂ්ඨ විද්‍යාලයක්)

"පිරිසිදු ඔප්පු. දෙකට නමලවත් නෑ. ලැමනේට් කරලත් තියෙන්නෙ" (ආණ්ඩුවෙ ඉඩමකට හොර ඔප්පුවක් ලියපු එකක්. ණය ගන්න ගිය තැනදි අහුවෙනව)

"හෝටලයක් හදන්න නියම තැන. හොඳ ආදායමක් ගත්තැකි. ඉඩමෙ මායිමෙං දොලක් ගලනව. හරිම ලස්සන කැලේකුත් තියෙනව. සිරීපාදෙත් පේනව" (මිනිස්සු හෝටල්වලට එන්නෙ ගෑනියි ළමයි ටිකයි අරගෙන දනක්වත් වතුර නැති දොල පාරවල්වල පැනල දිය බුං ගහන්නයි; කැලේ රිංගලා හැකරැල්ලො, දෙපත් නයි, මුකටි, ගැරඬි, හාල් දණ්ඩො, කබරයි වගේ සත්තුයි තුංකිඤ්ඤ, වැරනියා පඳුරු, වල් හබරල, නං නොදන්න ගස් ජාතියි බල බලා කිනිතුල්ලන්ටයි හෝ හපුටුවන්ටයි කූඩැල්ලන්ටයි කියල කවෝගන්නයි; ඈතිං පේන තුංහුලස් කන්දක් දිහා බලල "අන්න සිරීපාදේ" කියල උඩ පැන පැන අප්පුඩි ගහල සතුටු වෙන්නයි; ඒ එක්කොමත් කරල එක සැරේ ලස්ස ගානක් හෝටලේ අයිතිකාරයට දීල පිං අනුමෝදං වෙන්නයි කියල හිතන බ්‍රෝකර්ල වෙනුවෙං සදාකාලික නිශ්ශබ්දතාවය)

"ඉඩමෙ කොටසක් වවල තියෙන්නෙ" (ආදායමක් ගන්න නං හිතන්න එපා. සමහර විට මේ කියන වැවිල්ල මාස දෙකක්වත් නැති තේපැල පනහක් හැටක්, නාරං පැලයක්, තැඹිලි ගස් දෙකක් වෙන්නත් පුළුවං)

"ඔප්පුවෙ පර්චස් හතලිහයි. රිසිවේසම තියෙනව තව හතලිහකට වඩා. එක්කොම අසූවක්" (ආණ්ඩුවෙ රක්ෂිත ආපහු දෙන්න වෙච්ච දවසට සනීප වෙයි)

"තේ වැව්වොත් හොඳ ආදායමක් ගන්න පුළුවං" (ඉතිං තොපි වවාගෙන ආදායම ගනිල්ලකො. තේ ගහක් වවල ආදායමක් ගන්න අවුරුදු දෙක තුනක් විතර කාලෙකුත් ඒ වගෙම වියදමකුත් යන බව අපි නොදන්නවැයි)


"ගංවතුරට අහුවෙන්නෑ. නාය යන්නෙත් නෑ" (ආණ්ඩුවෙන් වන්දිත් ගෙවල ඉඩමෙං අයින් වෙන්න කියල රතු දැන්වීමත් දීල ඇති)


"කීප දෙනෙක්ම ඉල්ලල තියෙන්නෙ. දැංම ගත්තොත් තමයි. නැත්තං කොයි මොහොතෙ විකිණෙයිද දන්නෑ" (ඒ පරම්පරා ගානක් තිස්සෙ විකුණන්න බැරුව තියෙන එකක්)


"අයිති එක්කෙනා රට ඉන්නෙ. මට තමයි බලාගන්න කියල තියෙන්නෙ. ඉඩම බලනව නං මං එක්කං ගිහිං පෙන්නන්නං" (ඉඩමෙ අයිතිකාරයා කියන ගාන වගේ හත් අට ගුණයක් වැඩි ගානක් බ්‍රෝකර්ගෙ අතරමැදි ගාන)

"අයිතිකාරය හම්බවුනොත් ගාන වැඩිකරනව. මං ගනුදෙනුව අඩුවට කරල දෙන්නං මට ගන්න විදිහට. ඉඩමට කැමති නං ගාන මගෙ අතට ගෙනත් දෙන්නකො. එදාම ඔප්පුව ලියමු" (නාල වරෙං. ඕන්නං මගෙ ගානෙ සල්ලයිට් බාගෙයක් අරං දෙන්නං. සල්ලි ටික අරං පනින්න ඔයිට ලේසි ක්‍රම ඕනිනං මං කියල දෙන්නං.)


අන්තිමට ඉඩමක් විකුණන්න තියෙනව කියල කවුරු හරි කියත්දිම මගෙ ඉස්සරහ දත් ඇන්ද ගාව නරක වචන පොරකන්න පටං ගත්තා. ඇත්තෙන්ම කවුරු හරි ඉඩමක් විකුණන්නෙ ඒකෙං මෙලෝ විදිහක වැඩක් ගන්න බැරි වුනහම කාගෙ හරි ඇඟේ ගහල ගානක් කඩාගන්න කියන එක අපිට උගන්නපු ඒ බ්‍රෝකර් මහත්තුරුන්ට ඒ විදිහට නරක වචන ඇහෙන්න දෙන එක හරි නැති හංදා අපිට ඉඩං එපා බවට නිවේදනයක් නිකුත් කරන්න මට සිද්දවුනා.