Follow by Email

Sunday, October 30, 2016

තේ සහ මම හෙවත් Tea and Me 2

ආච්චම්මාගේ කවියට තාලෙ අල්ලන්න මං උරුලෑවක් පිඹිනවා

“බොට ඔල්මාදෙද? බොලට ඉස්කෝලෙදි කියාදීල නැද්ද උරුලෑ පිම්බං නයියෙනව කියල“

කිරි නැංදත් ඒකට පෝර දානව

“ආ ඔව්වොව්. අර ගනේවිටේ පුතාගෙ ඉඩමෙදි අපේ සාංකුමාර එක දවසක් උර්ලෑ පිඹල ආවනෙ මහ විසාල බෙරව නයි පතයෙක්“

කිරි නැන්දා කයිවාරුවට වැටුනහම ආච්චම්මට එහා. ඒ අතරෙ මං දළුවල අරිම්බුවෙං නලා හදල පිඹිනව. තේ ගෙඩි කඩල ‘එප්පොල‘ ට විසි කරනව. මාළු ඒවා අල්ලං කනව ඇති. මට පිං සිද්ද වෙනව ඇති. අපේ තාත්තත් උදේට වැඩට යද්දි දොලේ ඉන්න මාළුන්ට හීල් බත් ගිහිං දානව පිංසිද්දවෙන්න. එයා කියන විදිහට ගොඩට ඇවිල්ල හම්බුකරං කන්න බැරි හිංදා මාළුන්ට කෑම ටික වතුරටම ගිහිංදාන එක පුරාම පිං සිද්ද වෙන වැඩක්. ඒකෙං ඉඳල හිටල ආඳෙක්, පෙතියෙක්, ලූලෙක්මා එහෙම බාගන්න පව මැකෙනව.


“උඹත්තොය කෙහෙම්මල් කටේ ගහං පූස් පූස් කිය කිය ඉන්නැතුව කඩහංකො දල්ලක් දෙකක්. ලොකුවෙද්දි ඉගෙනගන්න බැරි උණාට හම්බුකොරං කන්න පුලුවංනෙ කාගෙ හරි දලුටිකක් කල්ල දීල.“


ආච්චම්මා මට අණ දෙනවා.


“මං දන්නෑනෙ.“


“ඇයියකෝ අම්මයි අප්පයි දෙන්නමත් දළු කඩනව. බොට දළු කඩන්න බැයිද? ඒක යසයි. වරෙං මං කියාදෙන්න“


“මේං මේ දල්ල මෙතනිං කඩහං. මේක කඩන්නෙ මෙතනිං. මේක කඩන්නෙ ඩිංගක් උඩැහිං. හා කඩහං බලන්න උඹත්තෙකක්“

ආච්චම්මා කියන හැටියට ලෝකෙ තියෙන හැම දල්ලක්ම කඩන්න ඕනෑ තැන කට පාඩං කරගන්න ඕනෑ. හරියට පොඩි මැණිකෙගේ තේ ඉඩමේ දකුණු මායිමේ පේලියේ හත්වැනි ගහේ දකුණු කොනේ තියෙන දල්ල කඩන්න ඕනෑ මේං මෙතනිං කියා පොතක ලියා තියෙනවා වගෙයි. ඉතිං මං මට හිතෙන හැටියට අහුවෙන තැනිං අහුවෙන දල්ල කඩනවා.


“හා හා එතනිං නෙමෙයි. මේං මේ පුංචි  කොලේට උඩිං කඩහං.“


මං එතන ඉඳං සේරම දළු කඩන්නෙ පුංචි කොලේට ඉහලිං. ඔය විදිහට කීප විටක් බැනුං අහල පසේ බුදුන්ගෙන් බණ අහල වගේ දළු කැඩිල්ල පුරුදු වෙනවා. කාලයක් යද්දි මටත් ආච්චම්මගෙ වේගෙන්ම දළු කඩන්න පුළුවං වෙනවා. 

දවල් දොලහට වත්තෙ “මනිය ගහන“ සද්දෙට ආච්චම්ම දවල් එකොලහෙ ඉඳංම ඇහුංකන් දෙනව. ආච්චම්මට ඇහෙනවා අඩු හිංදා විනාඩි දහයෙං දහයට අපෙං අහනව 

“වත්තෙ මනිය ගැහුවද කිල්ලමෙයො“

ටික දවසකින් කිරි නැන්දා මේ වැඩේ තමුංගෙ වාසියට හරෝගන්නව. එයා දවල් එකොලහමාර වෙන්නත් කලිං

“නැංදම්මෙ මනිය ගැහුව ඇහුන්නැද්ද?“

කියල කියනවා. ආච්චම්මත් 

“හැබෑද? එහෙනං මේ ඩිංග කඩාගෙන යං මූව පිටක්කොල්ල එන්න“

කියනවා. ඉං පස්සෙ ඒ දෙන්නා ඒ වෙනකං කඩාපු දලු ඔක්කොම ගෙනැත් කලිං ගෙනත් දාපු දළු ගොඩටම දාලා, බොන්න ගෙනා වතුර බෝතලෙං බාගයක් විතර ඒකට හලනවා.


"වතර ඩිංගක් යහමින් දැම්මෙ නැහ්නං පොඩ්ඩෙං මැලවෙනව."


ආච්චම්මා වතුර හැලිල්ලට කරුණු දක්වන කොට කිරි නැන්දයි මායි දළු ගොඩ ගෝනියකට දාලා ලනුවකිං බැඳලා බයිසිකලේ ලැකිජ්ජෙකටත් පටෝනවා. මං නයිලෝන් ලණු දෙපොටිං ඒක තද වෙන්න ලැකිජ්ජෙකට තියලා බැඳගන්නවා.

“උපසේනෙකෙං ගෝනියක් ගනිං. ආර්ටියැස් එකෙනුත් එකක් ගනිං“

ගෝනියට පුරෝලා ඉතුරු දලුටික පෝර කවරෙකට දාලා හැඬල්ලෙක උඩිං තියාගන්න පුරුදු කරගත්තෙ මං. හැබැයි එතකොට කවරෙ බැල්ලෙක උඩ නිසා බැල්ලෙක වදින්නෑ. ඒ වෙලාවට ඉතිං අඩි පාර දිගේ යන මිනිස්සු අයින් කරගන්න කටේ පිහිට තමයි.

“හීං ආතේ ඕං අයිං වෙන්නෝ....“

“රංවොලාච්චියේ අහට්ට වෙන්නෝ“

“සඳෙයෝ පළ අහකට මැරෙන්නැතුව“

බල්ලෙක් හිටියොත් ඒක ටිකක් වෙනස්

“ දුප් බල්ලා දුප් දුප්“

හරකෙක්ට නං 
“හොයි කොටියා. හොයි. හොයි ජී...හ“

හැබැයි මාමගෙ බයිසිකලේ ගෙනාපු දවසට මේ මොනවත් ඕනි නෑ. එක රෝදයක් පොඩි රබර් මුලක් උඩිං පැන්න ගමං චේන්නෙක චේන් කේස් එකේ වදින සද්දෙයි මඩ්ගාඩ් එක රෝදෙ වදින සද්දෙයි සීට්ටෙකේ පැලිච්ච තැන ඈත්වෙලා එතැනට මගෙ පස්සෙං පලුවක් අහුවුනාම කියවෙන වචනෙයි ඇහෙන කාට උණත් හිතෙන්නෙ ලෝක විනාසෙ වෙනවා කියලයි. ඒ වෙලාවට පාරෙ ඉන්න අය අකුල්වලට පනිනවා. හරක් කඹ කඩාගෙන දුවනවා. බල්ලො සක්කොලක් නැතුව දුවනවා. ඒ නැතත් බයිසිකල් බෝලයක්, ග්‍රීස් බිංදුවක් දැකලා නැති සෙන්ටල් ඇක්සලේ විසින් පැටල් අතේ සෑම වට බාගෙකටම සැරයක් නගන “ජිර්ක්.. බිර්ක්...“ සද්දෙම ඇති හැතැක්ම බාගෙයක් දුරට ඇහෙන්න. මං මාමගෙ බයිසිකලේ අරං යනව දකිනකොටම ***** ආතා දැක්කොත් මට කියන්නෙ එකම දෙයයි.

“අනේ පුතේ මං හරප්පැටියව පාරයිනෙ බැඳ තියාතිව්වා. ඌව බය නොකර හීංසැරේ පලෙයං. මතකනෙ එක වංගියක් ඌ ඕකෙ සද්දෙට බයවෙලා මාවත් ඇදං අගලක් පල්ලෙ පැන්නා.“


ඉඳ හිටලා පාරෙ මෙහා කොනේ ඉන්න හරකෙක් පාරෙං අනික් පැත්තට පැනලා පාර හරහා කඹේ ඇදලා තිබුනොත් හරි ගැරඬියෙක්, ඇහැටගුල්ලෙක් ආදී සතෙක් පාර හරහා ගියොත් හරි ඇරෙන්න ඒඳඬු දෙකක්, පාලං දෙකක් හරහා යන මගේ ගමනට බාදාවක් නෑ. හැබැයි වැහි දවසක් වුනොත් පාර මඩ වෙච්ච තැංවල ලිස්සලා හොස්ස කට තලාගන්න අවස්ථා අඩු නෑ. එතකොට ගෙදර ආපු ගමං බයිසිකලේ ඉස්සරහ රෝදෙ දෙබලකට හිර කරලා හැඩල්ලෙක කෙලිං කරලා හදාගන්න ඕනි.


දලු ගෝනියයි, කවරෙයි දෙකම ඉස්තෝප්පුවෙ බිම සිමෙන්තියෙ හලලා වතුර ජොග්ගු දෙකක් පුරෝලා ඒකට හලලා දලු ගොඩ හොඳට අවුස්සලා අහුරු ලිහලා දලු ගොඩේ මැදිං වලක් හදන්න ඕනි. නැත්තං දළු රත්වෙලා තැම්බෙන්න පුලුවං. ඊළඟට වැඩ කොටස තියෙන්නෙ පුංචම්මට.


“පුංචියේ ආච්චම්ම කිව්වා උපසේනෙං එකයි ආර්ටියැස්සෙකෙං එකයි ගන්න කියලා“


පුංචම්මා කඩේ තියෙන හිස් කාඩ්බෝඩ් පෙට්ටියකිං පියනක් ඉරාගෙන ලිපේ අඟුරු කෑල්ලකිං බෝඩ්ඩෙක ලියනවා. ලාඩප්පා කෝට්ටක් කඩාගෙන ඒකෙ පැත්තක් අඟල් දෙක තුනක් දිගට පලලා ඒ කරුව අස්සෙ බෝඩ්ඩෙක රඳවනවා. ඉං පස්සේ ඒක පාර අයිනෙ පස බුරුල් තැනක කෙලිං අතට හිටෝලා තියනවා.


ටික වෙලාවකිං අහල පහල අයත් පාර අයිනේ මේ වගේ කිරි පෙට්ටි කෑලි, කාඩ්බෝඩ් කෑලි ආදියෙං හදාපු දුප්පත් බෝඩ් කෑලිත්, ලැකර් වලිං තහඩුවල ලියපු අහංකාර බෝඩ් කෑලිත් ලාඩප්පා කෝටු, පරණ කොහු ඉදල් මිටි ආදියේ උලගහලා පාර අයිනේ හිටෝලා තියලා තියනවා. ඒ බෝඩ් කෑලිත් පාර දිහා බලාගෙන හුළඟට නොවැටී ඉන්න උත්සාහ කරනවා. හැබැයි වැහි දවසට මේ කාඩ්බෝඩ් බෝඩ් ලෑලි එලුවංගෙ කං වගේ නිහතමානි වෙන්න වැඩිවෙලා යන්නෙ නෑ. එදාට තහඩුවල ඇඳපු බෝඩ් කෑලි තවත් අහංකාරයි. අදටත් දවල් එකොලහ දොලහ වෙද්දි සබරගමුවේ පාරක් දිගේ යන කෙනෙක්ට මේ විදිහෙ ඉංගිරිසි අකුරු ලියපු බෝඩ් කෑලි දකින්න පුලුවං.


දවල් දොලහේ සිට එක හමාර විතර පහුවෙනකං අපේ ගම පහුකරගෙන දලු ලොරි එලවං යන මයිකල් ෂූමාකර්ගෙ බාප්පගෙ පුත්තු සෑහෙන ගානක් ඉන්නවා. ලොරිය ගමන පටං ගන්න තැනදි, වංගුවකදි, නවත්තපු තැනකදි ඇරෙන්න අනික් වෙලාවට තියෙන්නේ ගුවනේ. ඒ හිංදා දළු ලොරිවලට අදාල ජාත්‍යන්තර ගුවන් නිතිය මිසක් මාර්ග නීති නෙමෙයි. තමුන්ට දලු දෙන ගොදුරු ස්ථාන ලං වෙනකොට බ්‍රේක් එක වෙනුවට හෝන් එකේ බෙල්ල පාගගන්න මේ පුත්තුංගේ එලවිල්ලට ඔරොත්තු දෙන ගෝලයෙකුත් ලොරියෙ පිටිපස්සෙ ඉන්නවා. හැතැක්ම ගානක් දුර තියා වුනත් තමුංගේ ලොරියට අයිති බෝඩ් එක කියවන්න තරං දුරදක්න ඇහැකුත්, තමුංගේ ලොරියට අදාල බෝඩ් කීපයක් එක තැන තිබුනොත් ඒවායේ ගෝනි ගණනේ එකතුව තප්පරයෙන් සීයෙං පංගුවකිං ගණනය කිරීමේ හැකියාවකුත්, එසැනිං අහක බලාගෙනම ඒ ගෝනි ගණන ගෝනි මිටියෙං ඇදගෙන ලොරියෙං ඉවතට විසිකරමින් “හරෙයාං“ කියා ලතෝනි දීමේ හැකියාවකුත්, නාය යන කන්දක් හෝ කඩා වැටෙන බිල්ඩිමක වහලෙ උඩ, කුලප්පු වුනු අලියෙක්ගෙ පිට උඩ, නෑඹිලියක් උඩ ආදී ඕනෑම තැනක නොවැටී සිටිය හැකි තරම් සමබරතාවකුත් මේ ගෝලයන්ට තියෙන්න ඕනෑ. 


මේ ගෝලයන්ට තරම්ම තීක්ෂණ ඇසක් සහ කනක් අපිටත් තියෙන්න ඕනෑ. හෝන් එකේ සද්දෙං ‘මේ එන්නේ අහවල් ලොරිය තමා‘ කියා හිතාගැනීමේ හැකියාවකුත්, එසැනිං පාරට පැනීමේ හැකියාවකුත්, තප්පරෙන් දෙසීයෙං පංගුවකදී ගුවනේ පාවී එන ගෝනි ගණන ගනං කර ගැනීමේ සහ ඒ අතරිං අලි රිංගන හිල් තියෙන කබල් ගෝනි තිබේදැයි හඳුනාගැනීමේ හැකියාවකුත්, එසැනිං ඒ කබල් ගෝනිය අල්ලා ආපහු ලොරියට විසිකර


“මේ රෙද්ද තියාගෙන වෙනිං එකක් දියං යකෝ“

“ මෙතන එකක් අඩුයි. තවේකක් දියාාාං“


ආදී වශයෙන් බිරුසන් දීමේ හැකියාවත් අපට තියෙන්න ඕනෑ. ලොරිය ගියාට පස්සෙ අපි අපේ ගෝනියත් අරගෙන ගෙදර එන්නේ අනික් අතිං බෝඩ් කෑල්ලත් අරගෙනයි. ඉස්තෝප්පුවෙ බිත්තියට හේත්තු කරන ‘බෝඩ් කණුවෙ‘ තියෙන කෝට්ට ඊළඟ පැයේදී අතා බල්ලොංව එළවන ආයුදේ බවට පත්වෙනවා.


ආයිමත් හවස දෙක වෙත්දී  මං ආවට පස්සේ ආච්චම්මයි, කිරි නැන්දයි කඩාපු දළු ටික අරං එන්න මං මගේ දවසේ අවසන් හයර් එක දුවනවා. ඒ දළු ටිකත් කලිං ගෙනා දළු ගොඩටම එකතු කරලා තව වතුර කෝප්ප දෙක තුනක් හලලා කවං කරනවා. ඉං පස්සේ ගෝනි දෙකට දාලා හොඳට තද කරනවා. නැත්තං දළු බර හිටින්නේ නැතිලු. අන්තිමට ගෝනියෙංම කඩාගන්න ලණුවකිං ගෝනියෙ කටේ හතර මුල්ල ඇදලා එක්කහු කරලා අරගෙන අදින ගැටයක් දානවා. දලු ගෝනි දෙක පතුරු බලන්සෙං කිරලා ගනං දෙක ආච්චම්මට කියලා ඒවා පාරට ගිහිං දාපුවම මගේ වැඩ ඉවරයි. (වැහි දවසට නං දළු ගෝනි තියන්නෙ ඉස්තෝප්පුවෙ වැහිපීල්ලෙං වතුර බිමට වැටෙන බටේ යටිං.) ටික වෙලාවකිං අවට අනික් අයත් තම තමංගේ දළු ගෝනි අරගෙන ඇවිත් පාර අයිනෙ හෙවනෙං තියාගන්නවා. ඉං පස්සෙ අයිනක බිම ඉඳගෙන කයිවාරු පටං ගන්නවා. රටේ තොටේ විස්තර, දවල් පෙවුත්ති වලට කියාපුවා, පිංකං, බණගෙවල්, දානෙ ගෙවල්, දේසපාලනේ, බඩු ගනං, මාලු බෑම, ගොයංවල ලෙඩ, ගොඩවෙදකං, දලු හොරට කිරන එවුං, හොඳ දුංකල තියෙන කඩවල්, නඩු  ආදිය ගැන මේ වගේ විද්වත් කතිකාවකට තව ඕනැ වෙන්නේ බුලත්විටක් විතරයි.


මේ පිංචා නැග සිටින්නේ මගේ කරේ තිබෙන දළු ගෝනිය උඩයි.

ටික වෙලාවකිං අට්ටි හතරකට දළු ගෝනි පටවාගත් ලොරි එකින් එක එන්න පටං ගන්නවා. ලොරිය නවත්තපුවම ඉස්සරහ ඉන්න 'මහත්තයා' බිමට බහිනවා. එයා අතේ බලන්සෙකුයි දළු ගනං ලියාගන්න පොතකුයි තියෙනවා. ලොරියෙ පිටිපස්සෙ තට්ටුවෙ බටයක් අස්සෙං ටිකක් දුර රිංගවල තියෙන යකඩ කොක්කෙ බලන්සෙ එල්ලලා දළු ගෝනි කිරනවා. ඉං පස්සෙ කිලෝ ගාන කියනවා. සමහර වෙලාවට ගෝනියෙං දළු ඩිංගක් ‍ඇදලා අරං බලනවා.

"විසි පහයි. මොකෝ මේ දළු මෝරල නේද හොඳටොම නැංදම්මෙ."

"මොන මේරිල්ලක්ද හරියට දවස් හතෙං කඩාපුව"

ආච්චම්මා උත්තර දෙනවා

"දළු තෙතයිනෙ නැංදම්මෙ. වතුර ගැහුවද?"

ඒකට ආච්චම්ම ගාව යස උත්තරයක් තියෙනවා.

"ඔය උදෙං කඩාපුවනෙ මහත්තය. තාම පිනි. ඒකවෑං මිසක් අපිනං දලුඔලට කිසියං කිසි දවසක වතුර ඩිංගක් ගහන්නෑ."

කිරපු දළු ගෝනි එකිං එක ලොරියෙ තට්ටුව උඩට විසි කලහම ගෝලයා ඒවා දළු ගෝනි අට්ටියට තියලා තද කරලා අනෙක් ගෝනි මට්ටමට එන්න පාගනවා. දළු අයිතිකාරයො තමුංගෙ දළු පොත් 'මහත්තයා' අතට දෙනවා. එයා තමුංගෙ පොතෙත් ලියාගෙන අයිතිකාරයගෙ පොතෙත් දළු ගනං දානව. දළු ගෝනියක කිලෝ ගණන දහයට වැඩි නං ගෝනියට කිලෝ එකකුත්, වැහි දවසක නං වතුරට කිලෝ එකකුත් අඩු කරනවා.

දළුපොතක්

නවීන දළු ගෝනියක්


ලොරියෙ ගෝලයා බලන්සෙ එල්ලන කොක්ක ලොරියෙ ඇතුල් පැත්තට නමනවා, 'මහත්තයා' ලොරියට නගිනවා. ලොරිය පිටත්වෙනවා. ගෝලයා දළු ගෝනි අට්ටියෙ මුදුනෙ ඉඳගෙන 'හරේයාං' කියලා බුලත්විටක් කන්න ගන්නවා. ආච්චම්මා දළු පොත පුංචිගෙ අතට දීලා


"බලහං මැණිකෙ මේකෙ ගාන"


කියනවා.


"හතලිස් හයෙං දෙකක්කපල හතලිස් හතරයි."


"ඇති එහෙනං ගෝනි දෙකට ඉතරයි කපල තියෙන්නෙ. වතර ඩිංගක් නෙගැහුවනං ඔය ටිකවහ් නෑ"









Thursday, October 20, 2016

ආශ්චර්යය

ජංගම දුරකථන නොතිබූ, හදිසි වැඩ නොතිබූ, කරන්ටෙක හෝ විදුලිය නොතිබූ ඒ කාලයේ දෙන්නෙක්ට වැඩි ගණනක් එක තැනකදී මුණගැහුනොත් විනාඩි දහයක් තරමවත් කයිවාරු ගැහීම අපේ ගමේ චාරිත්‍රයක්. එතකොට ගමේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය  වුනෙත් එහෙම එකිනෙකා හමුවී කයිවාරු ගැහීමයි. ඉතා වැදගත් කාරණාවක් නම් ගෙදරටම ඇවිත් කීවත් එහෙම නොවන පොදු දෙයක් නම් කියන්නේ කඩපිලේ, දොලේ, ළිඳ ගාව, දළු කඩන වෙලාවල්වලදියි. එහෙව් වෙලාවක තමයි මේ වසංගතෙත් පැතිරුණේ.


අපේ පවුලෙං මේ ලෙඩේට අහුවුනේ අපේ තාත්තගෙ නංගි. උන්දැටත් කියල තියෙන්නෙ වෙනිං කවුරුහරි. අපි දැනගත්තෙ උන්දැ අපේ මිදුල උඩිං යද්දි අපිටත් කියාගෙන හිංද.


“ජයක්කෙ ආං සාලාමි අයිය කිව්ව ෂෝක් දිහාවක් තියෙනවලු කුන්නෑගල දිහාවෙ. හාංදුරු කෙනෙක් ගල්ගුහාවක පංසලක් හදාගෙන සෙස්සාංති කොන්නවලු”


“ඇත්තෙයි මැණිකො”


“ඔව්වොව් ඔය එගොඩහ කීප දෙනෙක්ම වෑන්නෙයක් ඇරං ගීං තියෙන්නෙ. පෙලම්මිනිස්සු එදා ඉල්ලපුව එවෙලෙම හරියනවලු.”


“ඉතිං උඹලච්චනවද?”


“සාලාමි අයිය කිව්ව තව හත්තට දෙනෙක් හොයාගෙන යනව කියල. සාලාමි අයියට අර ගෙපලෙ ඈත්තෙක්ක නඩුවක් තියේනෙ. මටහ්හිතුනොත් මාච්චනව”


ඔන්න ඔහෙමයි අපේ ගමට දොළුකන්දෙ යාමේ රැල්ල කඩා පාත්වුනේ. අපේ ගමේ හිටි තරමක් කොඩිවින කරන්නෝ, කොඩිවින වලින් අසරණ වෙච්චි අය, නඩුහබවල අනුං පටලන්නෝ, නඩු හබ වල පැටලුනු අය, නිධං හොයන අය, පතල් කපන අය, ටිකට් හූරන අය, මහංසිවෙලා හම්බු කරන්න කම්මැලි අය, ආදී මෙකී නොකී සියළුම වර්ගයේ ආශ්චර්ය බලාපොරොත්තුවෙන අය අහල පහල ගම්, නියම් ගම්, හංදි, නගර ආදියේ තියෙන තරමක වෑං හයර්රෙකට අරං දොළුකන්දෙ යන්න පටං ගත්තා.  මේ වගේ පොදියකට අහුවෙලා අපේ නැන්දත් දොළුකන්දෙ ගියා. තනියම නෙමෙයි තමුංගෙ දෝනියන්දෑ වන ‘ලොකු චූටි’වත් අරගෙන.


දවස් දෙකකට පස්සෙ නැන්දා ආපහු ආවා. එදා හවස එකපාරටම නැන්දලගෙ ගෙවල් පැත්තෙං බල්ලො රොත්තක් කාවැටෙන සද්දෙ වගේ එකක් ඇහෙන්න පටං ගත්තා.


“අර මැණිකට එහෙම කං ඇහෙන්නැද්ද මංද. බලහං කොල්ලො අර බලුකොටියව කනවද කොහෙද අර කරුනෑ කඩේගාව දඩාවතේ යන බලු හැත්ත ඇහිල්ල. ගිහිං බලහං පොඩ්ඩක්.”


දවල්ට කාලා බූරු ඇ‍ඳට වැටිලා නිදං හිටපු අපේ තාත්තා මට කිව්වා. මාත් බිංදුවාව බේරාගන්න නැංදලගෙ ගෙදරට දිව්වා. මං යනකොට බිංදුවා උගෙ ටකරම අස්සට වෙලා පෝර කවරෙ උඩ බුදි. අහල පහලක බලු නකුටක් තරංවත් නෑ. අපිට කෝලහලයක් වගේ ඇහෙන්නෙ නැංදලගෙ ගෙදර තියෙන තනි පීකරේ කැසට්ටෙකෙං. ඒකෙ දාල තියෙන පීස්සෙකේ පෙට්ටිය කබට්ටෙක උඩ තිබුණා


“දොළුකන්දේ.......... ගල්ලෙන් විහාරයේදී පටිගත කළ........හිමිගේ ‍බෝධි පූජාව”


ගල්ලෙනක් ඇතුලේ තියන බෝධි පූජාවේ පීස්සෙකෙන් අපිට ඇහෙන්නේ දෝංකාර ගොඩක් එකතු වෙච්ච කෝලහලයක් විදිහටයි. ආච්චම්මයි නැංදයි ලොකු චූටියි කැසට්ටෙක තියෙන කබට්ටෙක ඉස්සරහ පැදුරක ඉඳගෙන වැඳගෙන ඉන්නවා. නැංද විතරක් පීස්සෙක අනික් පැත්ත දාන්න එක පාරක් නැගිට්ටා. ඒ තුන්දෙනා අර බුරාහැලෙන කැසට්ටෙක වන්දනා කරලා ඉවර වෙනකං මං බිංදුවත් එක්ක ඔට්ටු සෙල්ලමක් තිබ්බා.


පස්සෙං පහු දැනගත් විදිහට ඒ කැසප්පීස්සෙක දාලා වැඳගෙන හිටියහම හැමදේම හරියනවලු. මහා බලසම්පන්න පිරිත් වතුර වගේකුත් නැංදට ලැබිල තිබුණා. තලකැරලි, හුලං කෑලි පැකැට් බාගෙකුත් එක්ක එයිං පිරිත්වතුර ඩිංගකුත් අපේ ගෙදෙට්ට ලැබුණා. අපේ අම්මත් තාත්ත නිදං ඉද්දි එයිං ටිකක් තාත්තගෙ ඔලුවෙ ගෑවෙ එයාගෙ බීම නවත්තන්න. 


නැංද වගේම තවත් සෑහෙන පිරිසක් දවස් ගනං පෝලිමේ ඉඳලා පිරිත් වතුර අරං තිබුණා. ඒ වුනාට කාගෙවත් උවමනා එපාකං හරි නොගිය හිංදා මාස ගානකට පස්සෙ අපේ ගමේ අයගෙ දොළුකන්දෙ ගමන නැවතුනා. ඉං පස්සෙ "නීල හොරෙක්", "තක්කඩියෙක්" ආදී වශයෙං නීල කතාවෙන් බැනලා 'දොළුකන්දෙ හාමුදුරවං'ව පතුරු ගැහුවා. අනික් වෑන්වලට වඩා රුපියල් දාහක් අඩුවෙං දොළුකන්දෙ යන්න හයර්රෙක ගත්තු අපේ ගමේ වෑංකාරයෙක්ට නං හරිගියා. එයා රෑ බෝවෙනකං ඉඳලා ඒ පන්සල ගාව තියෙන ගස්වල මිනිස්සු ගැටගහපු පඬුරු ගලෝලා මාරු කාසි එකතු කරලා ගෙනැත් ටවුමෙ කඩවලට ‘පොඩි සල්ලි’ සැපයීමෙන් වෙනම ළාභයක් ලැබුවා.


එයිං පස්සෙ අපේ අම්මගෙ ලොකු නංගිගෙ ගේ ගාව තැනක් ආශ්චර්යය සපයන තැනක් බවට පත්වුනා. ඒ මැටි ගහල හදපු පොඩි ගෙයක්. ඒ ගෙදර මනුස්සයට හදිස්සියෙම වරමක් හම්බුවුනා. එයා ඒ වරමෙං තෙල් ගාන්න පටං ගත්තා. ඕනම ලෙඩක් තියෙන කෙනෙක්ට ඒ තෙල් ගෑවං හොඳවෙනවා, නඩු හබ දිනන්නත් ඒ තෙලම තමයි. තවටිකක් කල් යනකොට හතුරො හැඳිගෑවෙන්න, කුඩු කෙටෙන්න පොල් ගහන්නත් ගල් ගෙඩියක් තියලා එතන සංවර්ධනය කරල තිබුණා. තෙල් වගේම පොල් ගැහිල්ලත් නැගල යද්දි මිනිස්සු රෑ දවල් නැතුව මේ පොල්-තෙල් සෙල්ලමට පෝලිං ගැහුනා. අපිට නිදංගතව තියෙන ඇඳීමෙං නිදහස් වෙන්න අපේ අම්මා මාවයි නංගිවයි ඇදගෙන ඒ පෝලිමට එකතු වුනා. පෝලිම දිගට ‍සෙල්ලං ගෙවල් වගේ කඩවල් හැදුනා. බඩට දාගන්න පුළුවං කෑම ජාති අහස පොලව නුහුලන ගානට විකුණුනා. ඒ අතරෙ අන්තිම අමාරු ලෙඩ්ඩුන්ට තෙල් ගාන්න කපුමහත්තයව ඩැහැගෙන යන්න ගේ ගාව වාහන පෝලිං ගැහුනා. කපු මහත්තයා ඒ තැංවලට යද්දි ගෙදරට එන අයට තෙල් ගාන වරම කපු මහත්තයගෙ හාමිනේ අතට ගත්තා. තවටික දවසක් යද්දි ඒ ගෙදර බල්ලයි, පූසයි ඇර අනික් සේරම අය වරං ලාභියො වුනා. කපු මහත්තයා වරම ඇඟට අරං වෙව්ල වෙව්ලා කොයි අතට වැටෙයිද හිතා ගන්න බැරිතරං වැනෙමින් තෙල් ගාද්දි ගෙදර අනෙක් සුළු වරම් ලාභියොත් හැකි තරං වෙව්ලන්නත් වැනෙන්නත් පුරුදු උනා. සල්ලි නොගෙන පිනට කරන සේවයක් විදිහට ඒ වැඩේ ප්‍රසිද්ධ සිද්ධ වුනත් පෝලිමේ ඇවිත් ගෙදර මිදුලට ඇතුල්වෙනකොටම එතන ඉන්න ආවතේවකාරයෙක් නියෝගයක් දුන්නා.


“ආ... ඔය හැමෝම පඬුල්ලන්න පඬුරු අතට ගන්න... මාරු කාසි දාන්නෙපා.. කොල සල්ලි ඉතරයි”


අපිත් රුපියල් විස්සෙ කොලයක් කපුමහත්තය ඉන්න තැන තියෙන ඉලත්තට්ටුවට දාල සන්නිය හැදුන වගේ වෙව්ලන ලොකු කපුමහත්ත‍යගෙං තෙල් බිංදුව ගානෙ ගාගත්තා. රැයක් පිනිබාල අපි තුංදෙනාටම හුස්ම කටක් නැතුව හතිය හැදුනා. අපි ගෙදර එන ගමං පාමසියෙන් “ඇදුමට බොන රෝස පාට පෙතියි, සුදුපාට පෙතියි” අරං ආවා. මාසයක් විතර යද්දි ඒ දේවවරමෙං තෙල් ගාන තැනත් මිනිස්සුන්ට එපා වුනා. එතැනත් 'පල් හොරු', 'හොර ගුහාවක්' ආදී වශයෙං හඳුන්වමින් බැනවැදිලා එතැන අත්හැර දැම්මා.


මට මේ සේරම මතක්වුනේ ෆෙංෂුයි උගන්නපු දේව නියෝජිතයගෙ ෆේස්බුක් පිටුව අපේ අය හාන හැටි දැක්කමයි. 

එයාගෙ ෆෙංෂුයි කඩෙයක් මං දැක්කෙ රත්නපුරේ ටවුමෙදියි. ඒ මීට අවුරුදු හත අටකට උඩදියි. සමහර කඩවල්වල මුදලාලිගෙ මේසෙ උඩ පහේ කාසි පුරෝපු දීසියක ‘මහෝදර’ කෙනෙක් ඉන්දවලා තියන්න ගත්තෙ ඒ කාලෙදියි. ඉං පස්සෙ ෆෙංෂුයි ගැන දැක්කෙ මොකක් හෝ පත්තරේකයි. ඒකත් මහ පුදුම ක්‍රමයක්. ගෙදර ගෘහ මූලිකයගෙ රැකියාවෙ උසස්වීමක් ගන්න ඕනි නං මැද හිල්කරපු ෆෙංෂුයි කාසියක් ඔෆිස්සෙකේ මේසෙ යටි පැත්තෙං එල්ලා තියන්න, ගමන් බිමන්වලදී කරදර නොවෙන්න ලුණු ටිකක් වාහනේ නිරිත දිශාවෙ කාපට්ටෙක යටින් තියන්න, නිවසේ අගහිඟකං ඇතිවෙනවා නං කාසි පුරෝපු මුට්ටියක් ගෙදර දකුණු දිශාවෙන් වල දාන්න ආදී නොයෙක් අමුතු ක්‍රම ඒකෙන් කියා දෙනව. ඒ විතරක් නෙවෙයි ගෙදර එක එක දිශාවල්වල ලුණු, සීනි, මිරිස්, දෙහි ආදී ජාති තියන්නත්, මැදිං හිල්කරපු අරුම පුරුම කාසි, සීනු, කඩදාසි ආදිය එක එක තැංවල එල්ලන්නත්, ෆෙංෂුයි කඩවල තියෙන ඉබ්බො, ගෙම්බො, නයි, මුකටි, බස්සො, මීයො ආදී සත්තුංගෙ රත්තරං පාට පිලිම එක එක තැංවල තියන්නත්  ඒ ලිපිවල උපදෙස් දීලා තිබුනා. එතකොට ‘චිං’ ශක්තිය ආදී එක එක බල ශක්ති වැඩිවෙන බව කියා තිබුනා. ගෙදරට සෞභාග්‍යය වැඩිවෙන්න නිරිත දිශාවෙ මුල්ලෙන් තියන ලුණු ඩිංගක් උදව්වෙන්නෙ කොහොමද කියන එක මට එදා ගැටළුවක්.


නමුත් දැං ෆෙංෂුයි ජී උගන්වන අරුම පුදුම මන්තර ගුරුකම් කරලා වැරදිච්ච කෙනෙක්ට කවදාවත් එයාට බණින්න බෑ. ඔය තියෙන වීඩියෝවෙ එයා කියන ඉංග්‍රීසි මන්තරේ සිංහල අනුවාදනය බලන්න. මේක ප්ලේ වෙන්නෙ නැත්තං මගෙ ෆේස්බුක් එකවුන්ට් එකේ ඇති ඔය වීඩියෝ එක.





දෙවිවරුනි දේවතාවරුනි මාවෙත එන්න (දෙවිවරුන් දේවතාවරුන් කියන්නෙ දෙගොල්ලම එකයි නේද?)
මේ වසරේදී මම සෞභාග්‍යය බලාපොරොත්තු වෙනවා (අවුලක් නෑනෙ)
මම මහන්සියෙන් දක්ෂව වැඩ කරන්නම් (මෙන්න පොයින්ට් එක)
මම කිසිවිටෙකත් ණය නොවී ඉන්නම් (දෙවැනි පොට‍)


ඕක තමයි මන්තරේ. ඒ වගේම මේක තමයි සූත්තරේ. දැං බලන්න මේ කාසිය බිම නොවැටෙන්න නලල උඩ තියාගෙන හරියටම මන්තරේ නව පාරක් කියලා ගුරුකම හරියටම කරපු කෙනෙක්ට උනත් මේ කියන විදිහට සල්ලි නොලැබෙන්න පුළුවං. ආං එතකොට ෆෙංෂුයි ගුරු ගාවට ගිහිං 


"කෝ මගෙ වැඩේ හරිගියෙ නෑනෙ"


කිව්වොත් ගුරුජීට අනුගාමිකයගෙ කනෙං රිංගන්න පුළුවං වෙන්න තමයි මේ මන්තරේ අග පේලි දෙක හදල තියෙන්නේ. මෙතන අනුගාමිකයා දෙයියන්ට පොරොන්දු දෙකක් වෙනවා. එකක් තමයි මහන්සියෙන් සහ දක්ෂ ලෙස වැඩ කරන්නම් කියන එක. එහෙම වැඩ කරන කෙනෙකුට මේ ගුරුකම කළත් නැතත් සෑහෙන ගානක් උපයාගන්න ලැබෙනවා. තමුන් ඒ විදිහට වැඩ කළා කියලා ඔප්පු කරන්න බැරිවුනොත්? අවුරුද්දක් මහන්සියෙං දක්ෂ ලෙස වැඩ කළහම බෝනස් එකක්වත් ලැබෙන්නෙපායැ. ඒ වගේ මොනයම් හෝ ක්‍රමයකින් තමුං මහන්සියෙං දක්ෂ ලෙස වැඩ කළා කියලා ඔප්පු නොකලොත් අනුගාමිකයා එතනම දෙයියන්ට බොරු කරලා කියලා ගුරුජී කියන්න පුළුවන්. අනෙක තමයි කිසි විටෙකත් ණය නොවී ඉන්නම් කියන එක. ලංකාවෙ ඉන්න හැම මිනිහම මොකක් හරි ණයක් වෙනවම තමයි. එහෙම නැතුව බැලුවත් ලීසිං එකක්, නිවාස ණයක්, ණය කාඩ් එකක් නැති කෙනෙක් හොයන්න අමාරුයි. දෙවියොත් එක්ක මේ ගිවිසුම අවුරුද්දක් පුරාවට ක්‍රියාත්මකයි. ඉතිං මේ පොරොන්දු දෙක අවුරුද්දක් පුරාවටම රකින්න ලේසි නෑ. අතේ මාරු සල්ලි නැතුව හරි අපි අවුරුද්දකට එකපාරක්වත් යාළුවෙකුටවත් ණයවෙනවා. සල්ලි නැතත් බඩු මුට්ටු හරි ණයට ගන්න වෙනවමයි. එහෙම වුන ගමන් ගිවිසුම අහෝසියි. එහෙම බලාපුවහම මේ ගිවිසුම රකින්න පුළුවං කෙනෙක් මේ රටේ ඉන්නවද සැකයි. මේකෙ  අනික් පැත්ත ගත්තොත් මහන්සියෙන්, දක්ෂ ලෙස වැඩ කරන, ණය නැති මිනිස්සුන්ට අමුතුවෙන් මේ ක්‍රමයට සල්ලි හොයන්න ඕනි නෑ. ඒ කියන්නේ මේ පොරොන්දු රකින්න පුළුවන් අයට මේ පොරොන්දුව රකින්න ඕනි නෑ. ඒ අතින් ගුරුජීගේ මන්තරේ හරියටම හරි.


රකින්න බැරි පොරොන්දුවක් මත වස්තුව ලබාදෙන්න පොරොන්දු වෙන මේ උගුලට දැනටමත් කී දාහක් දෙනා අහුවෙලා ඇතිද? මේ උගුලට අහුවුනෙත් හම්බුකරන දෙයින් සතයක් ඉතුරු නොකළත් සක්විතිට අහුවුණු, අතේ ඇති දෙයින් ආයෝජනයක් නොකලත් පිරමීඩවලට සල්ලි හිරකරපු, නිකං තියෙන හිස් පොලවෙ පැළයක් හිටවන්නෙ නැතිවුනාට නිධං හාරන්න පෙරමුණ ගන්න පිරිසම තමයි. එකම අවාසනාව මේවායෙ ගොදුරු බවට පත්වෙන මිනිස්සුන්ට වේගයෙන් පෝසත් වෙන්න උවමනාව ඇතත් තමුං පෝසත්වෙන්න තෝරගන්න මාර්ගයේ තියෙන උගුල් දිහා බලලා නුවණින් විමසා බලන්න මොහොතකවත් වෙලාවක් නැති එකයි.

Thursday, October 13, 2016

මොන්ටිසෝරි



මොන්ටිසෝරියක්
පාට දෙකේ නිල ඇදුමක් අන්දලා, ඒ ඇඳුමටම තියලා ලේංසුවක් තුංහුලස්වට නමලා කට්ටක් ගහලා,  මොන බාසාවකටවත් අයිති නැති නමක් සිංහලෙං ලියපු කාඩ්බෝට් මලක් සාක්කුවෙ හයිකරපු අවුරුදු තුන හතරක් වයස ඇති ළමයිංව පාර දිගේ අඩවමින් අරගෙන යනවා ඔබ දැක ඇතැයි සිතමි. ඒ ගෙනියන්නේ නර්සරියටයි. එව්වාට ඩේ කෙයාර් කියාද කියති. මටත් හැමදාම උදේට නර්සරිවලට ඇදං යන ළමයි හමුවේ. එක ළමයෙක්ව ගෙනියන්නේ ඩීසල් ත්‍රීවිලර් එකකය. ඒකේ බීම බෝතල් ටිකක් ඇහිරුවා වගේ පොඩි ලමයි විස්සක් ඉතර අහුරාගෙන යන හැටි අපූරුය. අපේ ගෙවල් ලඟින් ඒ රථයට පටෝන ළමයාට ඩීසල් තීවිලර් එකේ සද්දයද පරද්දන තරං සද්දෙකිං ඇඬීමේ හැකියාව ඇත. තව ළමයෙක්ව අරං එන්නේ පැන්ට බෝතලයක් අනෙක්පැත්ත හැරෙව්වා වගේ අම්මෙකි. ළමයාව හරියට පාරෙ ගෙනියාම කෙසේ වෙතත් ළමයව අල්ලාගෙන යාමෙන් ඒ අම්මාව නං අඩි එකහමාරක් උස හයිහීල් කුට්ටමෙන් නොවැටී බේරේ. මං පොඩි කාලේ මේ කියන ජාතියෙ 'ඩේ කෙයාර්' හෝ 'නර්සරි' නොතිබුණත් අපේ ගමේ පන්සලේ මේ වගේ ළමයි ගාල් කරන තැනක් තිබුණි. ඒ පුස්ප නැන්දගේ මොන්ටිසෝරියයි. හරිම වචනය මොන්ටිසෝරිය වුවත් එයට 'මොට්ටසෝරිය', 'මොන්ටසෝරිය' ආදී උපහාස නම්ද පටබැඳී තිබිණි.



උදේ පාන්දරට බලෙං ඇහැරවා, බලෙං දත් මද්දවා, බලෙම්ම මූනෙත් කකුල් අතපයෙත් සබන් ගා ඒවා වතුරෙන් හෝදවා, මොනවා හෝ දෙයක් බලෙං ගිල්ලවා, මොකක් හෝ ඇඳුමක් අන්දවා මගේ ඇඬුම තඹේකට ගනන් නොගනිමින් “යම.... යම තෝ නැත්තං තොට දෙනව දෙකක් වැරනිය කෝට්ටක් කඩාගෙන පු* පැලෙන්න දැනගං.“ ආදී වශයෙන් තර්ජනය කරමින් මාව ඇදගෙන ගොස් පන්සලේ මොන්ටිසෝරියට දමා පුස්ප නැංදා මාව අල්ලා ගත් සැනිං පිස්සු බල්ලන් දුසිමක් විසින් ලුහුබඳිනු ලබන්නියක් මෙන් ආපසු දිවීමෙං අපේ අම්මාගේ “කොලුව මොන්ටිසෝරියට දැමීම“ අවසන් වෙයි. එවිට මමත් ඇති වීරියෙං දෙතුන් පාරක් කෑ ගසා පුස්ප නැංදාගේ අතත් විකා දැං ඉතිං අඬලා වැඩක් නැති බව දැනගෙන නිහඬ වෙමි. වරිං වර පැමිණෙන අම්මලා විසින් ‘ජෑකොඩියා‘, ‘වස්සලා‘, ‘හංසනී‘, ‘දසුනි‘, ‘දිනුකෙයා‘, ‘දිනුසා‘, ආදීන්වත් පුස්ප නැන්දගේ අත් අඩංගුවට පත්කර අපේ අම්මාට කිසිසේත් දෙවෙනි නොවන ආකාරයකින් දුවති. මොන්ටිසෝරි යන්න පටං ගෙන දවසක් දෙකක් ගතවෙත්ම වතුර බෝතලේ පොලවෙ ගසමින්, උඩ පැන පැන මහපාරේ බිම ඉඳගනිමින්, “වච ඉංඤ ජීපාාාාං“ කියා කෑ ගසමින් අම්මාගේ අතෙන් ගැලවීමට දඟලමින් බිරුසන් දෙන මා දකින කවුරුත් අපේ අම්මගෙන් අහන්නේ එකම පැනයයි.


“ළමය මොන්ටිසෝරි ඇරං යනවද?“


“ඔව් මේ මොන්ටිසෝරි යන ගමං“


අපේ අම්මාත් මගිං කඩාගත් වැරනිය කෝට්ටකිං මගෙ කකුල් කෙටි දෙකට පාරක් දෙමින් මගේ එක අතකිං අල්ලාගෙන මගේ මොන අවයව කොටස පාරේ ඇතිල්ලුනත් නොසැලී ඇදගෙන යමින් උත්තර දෙන්නීය. මමත් අම්මාගේ ඇදගෙන යාම අමාරු කිරීමට බිම ඉඳගනිමින් පාර අයිනේ ඇති ගස් ගල් පටලවාගෙන හැකි සෑම උත්සාහයක්ම දරමි. වැහි දවසක නං මඩවලකට පැන ඇඳුමේ මඩ ගාගැනීමෙන් සහ තෙමා ගැනීමෙන් හොඳ වැරණියා කෝටු පාරවල් හත අටක් ලැබ ගෙදර නවතින්නට පුළුවන. එදාට පිටේ වැවිලි මතුවෙන්නටම පාර ලැබේ. කෙසේහෝ මොන්ටිසෝරි පටං ගෙන මාසයක් විතර යත්දී මේ දිනපතා ඇඬීමේ සහ දිවීමේ චාරිත්‍රය දෙපාර්ශවයටම එපාවී අත්හැරෙනු ලැබෙයි.


පුස්ප නැන්දාගේ මොන්ටිසෝරියේ මුලින්ම කෙරෙන්නේ බුදුං වැඳීමය. මේකට අවශ්‍ය මල් ළමයින්ගේ අම්මලා ගෙදරින් ගෙනැත්දිය යුතුය. මගේ මල්වට්ටියට මල් කැඩෙන්නේ මොන්ටිසෝරියට යන ගමන් පාර දෙපැත්තේ ඇති ගස්වලිනි. බොහෝ වෙලාවට අතුලගෙ කඩේ ගාවදී මං මගේ මල් වට්ටිය පොලවෙ ගහන්නේ එතැනිං මං ඉල්ලන කඩචෝරුව අරන් නොදුන්නොත් පමණි. නැත්තං වටපිට බලබලා ගොස් මල් වට්ටිය ඇලකරගෙනද ඒවා බිම හලාගන්න පුළුවන. ඉතිං එහෙම අතුරු ආන්තරාවකට ලක් නොවී ගෙනා මලක් පුදා පුස්ප නැන්දා කියන පන්සිල් සහ ගාථා කියා අපි බුදුන් වඳිමු. සමහර වෙලාවට “මහ අසප්පුරුස ළමයි“ වසයෙං අපේ අාච්චම්මා ආදීන් විසින් හංවඩු ගැසූ ළමයි පුස්ප නැංදා 'බුද්දං සරණං ගච්චාමී' කියූ විට 'බැයිනං පලෙයං මල් හාමී' වැනි වෙනිං පද කියති.


බුදුන් වැන්ද පසු අපි පුස්ප නැංදාට එක පොදියට දනගසා වඳින්නෙමු. ඒ වඳින ගමං කකුල් පටලවා අනික් එවුං වට්ටන්නෙමු. අපි බුදුගෙයිං එලියට එනවිට දෙතුං දෙනෙක් එසේ කකුල් පටලැවී වැටී හොස්ස තලාගෙන හොරනෑ පිඹිමින් එති. ඉං පස්සේ තියෙන්නේ 'වියායාම කිරීමයි'. පුස්ප නැංදා කියන විදිහට අපි කළ යුත්තෙමු.


“නැගිටින්න“


අපි නැගිටිමු. බංකුවක් බිම පෙරලේ

“අත් ඔසවන්න“

අපි අත් දෙකම ඉහලට ඔසවමු.

“පාතහෙලන්න“

අපි “ද්‍රස්“ ගා ඇඳුමේ වදින ලෙස අත් පාත දමමු.

“ඉඳගන්න“

අපි ඉඳගනිමු. පෙරලිච්ච බංකුවේ කීප දෙනෙක් බංකුව නැගිට්ටවන්න යද්දි බංකුව වැටුන බව අමතක වුන කීප දෙනෙක් ඉඳගන්න ගොස් බිම ඇද වැටෙති. පුස්ප නැංදා හනික ඇවිත් වැටුන අයගේ අතපය තුවාලදැයි බලද්දී වැටුන අය ‘බිරුසන්‘ දෙති.

ඉං පසුව තියෙන්නේ “දත් - නියපොතු“ බැලීමය. අපි අත් මුනිං අතට හරවා ඉස්සරහට දික්කරගෙන “ඊ“ කියාගෙන ඉන්නෙමු. පුස්ප නැංදා ඇවිත් හැමෝගෙම අත් සහ දත් බලා “හොඳයි“ කියන්නීය. සමහරුංගේ දත් මැදලා නැතිනම්, නියපොතු කපා නැත්නං

“හෙටේනකොට දත් මැදං එන්න“

“හෙටේනකොට නියපොතු කප්පෝගෙන එන්න“

කියයි. එවිට අදාල ලමයා

“හා“

කියයි. සමහර ළමයින්ගේ දවස් කීපයක් බලා පුස්ප නැංදාම නියපොතු කපයි.

මෙයින් පස්සේ මොන්ටිසෝරියේ දවසේ වැඩ ආරම්භ කෙරේ. සමහර දවස්වලට තියෙන්නේ පුස්ප නැංදා බිස්ටල් බෝඩ් කෑල්ලක ඇඳලා දෙන පිංතූරෙ පුංචි කෑලිවලට ඉරාගත් පාට කඩදාසි වලිං ඇලවීමය. සමහර දවස්වලට පාට කරපු පොල්කුඩු, තේ කොල, පරිප්පු ඇට ආදියෙංද ඒ පින්තූරෙ අලවන්නට ලැබේ. අපි මුලින්ම කරන්නේ පින්තූරේ පොඟන තරමට එහි හැමතැනම ගම් උලාගැනීමය. අපට ගම් බෝතලයක් අල්ලන්න හම්බුවෙන්නේ එහෙමත් දවසකය. ඒ හංදා අහුවුන දවසේ පුලුවන් තරං ‘ගං‘ ඉවර නොකලොත් අලුත් ‘ගං‘ කුප්පියක් හම්බුවෙන්නේ නැත. අතේ ඇඟිලි පහෙන්ම ගං ගාන බැවින් පින්තූරයත් අතත් දෙකම ගංවලින් ස්වයංපෝෂිතය. ඉන් පස්සේ ගෙදරින් ගෙනා පරිප්පු ඇට මුල ලිහා අලවන්න පටං ගනිමු. පරිප්පු ඇටයක් බොහෝ වැර වෑයමෙන් අල්ලා පින්තූරේ වාටියේ අලවා ඇඟිල්ල ගන්නා විට පරිප්පු ඇටයද ආපහු ඇගිල්ලේ ඇලේ. ඉතිං අනෙක් අතින් ඒ පරිප්පු ඇටය ගලවා ආපහු පින්තූරයේ අලවමු. එවිට කලිං පරිප්පු ඇටේ ගැවුනු ගම්වල පමණක් නොව ඒ අතේ තිබෙන ගම්වලද ආනුභාව බලෙන් ආයිමත් පරිප්පු ඇටය ඒ අතෙත් ඇලේ. මොන හේතුවටදැයි නොදනිතත් පරිප්පු ඇට පමණක් නොව පොල්කුඩු, තේ කොල, කඩදාසි ආදී අපි අලවන්නට ගන්නා හැම ජාතියක්ම කැමති කඩදාසියේ නොව අපේ අතේ පයේ ඇලෙන්නමය. ඉතිං කුකුල් කේන්තිකාරයන් වන අපි මේ ‘ඇලෙන ජාති‘ ඇලවීමට අදාල තැංවල අලවන්නට අපොහොසත්ව ඒවා අතපයේ, ඩෙස් බංකු, ඇඳුං ආදියේ අලවාගෙන ඌරු ජුවල් නැග පින්තූර පොලවේ ගහන්නෙමු. උන්ඩි කරන්නෙමු. දෙකට ඉරා දමන්නෙමු. සමහරු ඒවාට “උඹ, තෝ, ගෑනි, බල්ලා“ ආදී කුණුහරුප කියා බනිති. සමහරු මයිසූර් පරිප්පු පොඩි වැඩි නිසා අතට අහුවෙන්නේ නැතැයිද එනිසා අලවන්නට බැරියැයිද කියා සාප කරද්දී තවත් සමහරු ගෙනා ඒ වගේ කීප ගුණයක් විසාල වටානා පරිප්පු ඇට අලවාගෙන තබාගන්න අසමත් වන ගම් බෝතල් බිම දමා පාගා ඒවාට දඬුවම් දෙන්නෝය. අවසානයේදී පුස්ප නැංදාට බොහෝවිට මෙයින් අඩකට වැඩි සංඛ්‍යාවක් ආපහු ඇලවීමට සිදුවන්නේය. 


තවත් දවස්වලට පොතේ අකුරු ලියන්නට ලැබේ. පුස්ප නැංදා තිත් ඉරි වලින් දෙකේ කාසියක් තරමට ලොකුවට ලියාදෙන අකුර උඩ අපි පැන්සලෙන් බොහෝ වාරයක් ලිවිය යුත්තෙමු. අපි කැමති ‘බිංදුව‘ ‘රයන්න‘ සහ ‘ටයන්න‘ යන අකුරුවලට පමණි. අනෙක් අකුරු ලියන්නට දුන්විට අපි අකමැත්තෙමු. ඒත් දෙන අකුර ලියන්නට ඕනෑය. ‘අ‘යන්න ලියන්න දුන්නොත් එය පටං ගන්නා ගැටය සහ අවසන් වන ගැටය අපේ අතිං දෙතුන් පාරට වඩා ලියවෙන්නේ නැත. ‘ක‘ යන්න, ‘ත‘යන්න, ‘න‘යන්න ආදී මොන අකුර දුන්නත් ඒ සියල්ල දහ ගමනක් එක උඩ ලියන විට එකම අකුර වගේ වන්නේය. තව දහ ගමනක් ලියන විට අකුරුවල තටු කෑලිද අකුරේ බඩටම යාවේ. දැන් එතන ඇත්තේ කට කැඩිච්චි කලයක් වැනි එකකි. අන්තිමට අකුර අඳුරාගන්නට නොව අකුර මොන හෝඩියට අයත්දැයි කියන්නට පන්සලේ හාමුදුරුවන්ටවත් බැරිය. සමහර විට විසි වතාවක් විතර ලියන විට අකුර හිල්කරගෙන යන පැන්සල පිටුව ඉරා දමයි.


මේ අතර පැන්සල්, මක්ක වලට වලිද ඇතිවේ. සමහරුන්ගේ අතින් වැරදීමෙන් අපේ පොත්වල ඇඳෙන පැන්සල් ඉරි මකා නොදුන්නහොත් අපි ඒ වෙනුවෙන් දිවි හිමියෙන් අනෙකාගෙ කෙස් උගුල්ලමු. ටොකු ඇනගමු. කොනිත්තමු. විකමු. වඩාත් දරුණු අවස්ථාවලදී පැන්සලෙන්ද අනින්නෙමු. පැරදුන කෙනා 


“වුස්වලැල්ලේ...... ලිලූගෙය වට වැස්සලෙග් අැල්ලා......“


කියාගෙන නඩුව කියන්නට යයි. පුස්ප නැන්දාද හීං කුකුලුවැල් කෑල්ලක් අරගෙන ඇවිත් වැරදිකාරයාට එකක් තලන්නීය. එවිට පැමිණිලිකාරයාට හිත හොඳවන අතර වැරදිකාරයා නලවාගන්නටද පුස්ප නැංදාට සිදුවේ.


චිත්‍ර අඳින්නට නම් අපි කොහොමත් කැමතිය. අපි අඳින 'අපේ පවුලේ අය' ඉන්නා චිත්‍ර බලන අය හිතන්නේ මොන්ටිසෝරියේ ඉන්න අපි සියළු දෙනාම ලේ නෑයෝ කියාය. ඒ හැමෝම අතේ ඇඟිලි පහද කකුලේ ඇඟිලි පහද විහිදාගෙන අත් දෙක දෙපැත්තට දික්කරගෙන සිටිනා කෝටු අතපය සහිත මිනිස්සුය. ඔවුන්ට පෙට්ටි වගේ ඇඳුංද අන්දා ඇත්තෙමු. මේ විදිහෙ පෙට්ටි ඇඳි උස කෝටු මිනිස්සු අම්මා සහ තාත්තාද, මිටි කෝටුකිතයි ළමයින්ද වේ. මේ අය අත් දෙපැත්තට විහිදාගෙන 'ගිනි ගිනි බෝලේ' කරන්නට මෙන් එක පෙලට සිටින අතර ඔවුන්ට පිටිපස්සෙන් උල් හැඩැති කඳුවලින් මැද කන්දෙන් ඉදිච්ච රඹුටං ගෙඩ්ඩක් මෙන් කෙඳි විහිදා 'ඉර මාමා' පායන අතර කලු පාට තුනේ ඉලක්කං රෑනක් ඊට උඩිං පියාඹා යන්නේ කෑම හොයාගෙනය. සමහර විටක මෙම චිත්‍රවල එක ජනේලයක් සහ දොරක් සහිත මාරිපෙට්ටියක් වැනි ගෙවල්ද තිබේ. මේවා පාට කිරීමේදී දම්පාට, රතුපාට, තැඹිලි පාට මිනිස්සුන්ද, නොයෙක් පාට ගෙවල්ද ඇතිවීම නොවැලැක්විය හැක. පියාඹන තුනේ ඉලක්කම් ටික හැර අනෙක් කිසිවක කලුපාට නොගෑමට අපි පරිස්සම් වෙමු. පරිස්සම් කරගත නොහැක්කේ පාට පෙට්ටිය පමණි. අපි දෑත බදා පාට උලනු ඔරොත්තු දී ගත නොහැකිව පාට කෑලි දෙකට තුනට කැඩී චිත්‍රයද ඉරා දමයි.


දවල් දවසට ලැබෙන වැදගත්ම වැඩය නම් සෙල්ලං කිරීමට ලැබීමය. පන්සල් මිදුලේ ඇති තරං වැලි ඇති බැවින් අපි ඒවා ගොඩවල් සාදා ඒවා “කෝම්පිට්ටු“ යැයි නම් කරමු. හරි හමං කෝම්පිට්ටුවක් හදන්න පොල්කට්ටක් පන්සලේ හොයාගන්නට නැත. කවුරු හෝ එලෙස නම් කරන “කෝම්පිට්ටුවක්“ පාගා එය හිමිකරුගෙන් බේරීමට දිවීම එක සෙල්ලමකි. දුවන්නට කම්මැලි “කෝම්පිට්ටු හිමියෝ“ අඬාගෙන පුස්ප නැන්දා ළඟට දුවති. නැත්තං වැලිවලින්ම දමා ගසති. මේ රණ්ඩු බේරන්නට බැරිවිට පුස්ප නැංදා වේවැල ලෙලවා


"ආයි දග කලොත් දෙනව සේට්ටම"


කියා බොරුවට සැර කර පැමිණිලිකරු සනසාලයි. දවල්ට කෑමට අපි ගෙදරින් ගෙනා දෙයක් කන්නෙමු. මට නම් මොන්ටිසෝරි යනවාට කප්පම් ලෙස එක එක පාටින් යුතු කේක් කෑල්ලක් හැමදාම 'කරුනෙ මාමගෙ' කඩෙන් අරන්දෙනු ලැබේ. මම ඒක බත් පෙට්ටියේ දාගෙන පියනෙනුත් වහගෙන කන්නේ අනෙක් අය ඉල්ලනු ඇතැයි බයටය. තව සමහරු ඒ වැනි කෑම ජාති ගෙනත්


"හූ...හූ....මේ දැක්කද මං ගෙනාවෙ ජෑං පාස්"


කියා බත්, කඩල, මුංඇට ආදිය ගෙනා අයට තමුංගේ ජෑංපාස් එක පෙන්නා ඉන්පසු එයිං කෑල්ලක් කඩාගෙන කා

"පුරාම රහයි. පැණීම පැණි රහයි"


කියා තවත් උජෝවඩති. පහුවදාට කඩල, මුංඇට, බත්, කිරිබත්, කවුපිකාරයෝද බත් පෙට්ටි පොලවෙ ගසා දෙමව්පියන්ගේ ඉහ නිකට හිඳ හෝ අනුන්ට පෙන්න පෙන්නා කන්නට පැණි රහ කෑමක් අරන් එති. ටික දවසකින් මේ ගෝරි බේරන්නට බැරි තැන පුස්ප නැන්දා අපූරු වැඩක් කලාය. එක දවසකට මොන්ටිසෝරියේ ළමයින්ට කෑම දෙන්නේ එක ළමයෙකුගේ ගෙදරකිනි. ඉතින් අපේ ගෙදරින් දෙන දවසට නූල්ඩස් එක්ක පොල් සම්බෝලය. 'දිනූෂාගේ' අම්මා හදන්නේ කඩලය. දසුනිලාගේ ගෙදරින් කෑම දෙන දවසට හොඳය. එදාට කෑම ජාති ගොඩාරියක්ද කිරිතේද ලැබේ. දසුනිගේ අම්මා අපේ ළඟට ඇවිත් 'කිරිවලට තේ දාන්නද?' කියාත් අසන්නීය. ඒ ගොල්ලන්ගෙ ගෙදර අය ගොඩාක් පෝසත් අය හින්දා එහෙම දෙන බව අපි දනිමු.


පුස්ප නැන්දා අපිට කටන්දරද කියා දෙයි. අපි කීප දෙනෙක් කටන්දර අහන්නට ආසාය. නමුත් අනෙක් අය කැමති රණ්ඩුකරගෙන දුව පැන නටන්නටය. පුස්ප නැන්දා කටන්දර කියන්නේ අපූරු ක්‍රමයකටය.


"ඔන්න එකමත්තෙක රටක හිටිය කුමාරයෙක්. කවුද.......?"


"කුමාරයෙක්"

අපි උත්තර දෙමු.


"ඉතිං ඔන්න දවසක්කේ කුමාරය කැලේ ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ගියා. කොහෙද.........?"


"කැලේට"


"ඔන්න ඉතිං කුමාරයට ගොඩාාාාක් බඩ්ඩග්ගිනිවුනා. මොකද්ද උනේ........?"

"බඩ්ඩග්ගිනි උනා..."


"අන්නහරි බඩගිනි උනා"


මේ අතරේ කොනිත්තාගැනිලි. ඇඟිල්ලෙං ඇනගැනිලි නිසා ඇතිවන පුංචි පුංචි වලිද සංසිඳවන්නට පුස්ප නැංදා වේවැල ඔසවාලයි. 


අවුරුද්දේ අංතිම වන විට අපිට කියාදෙන්නේ නැටුංම විතරය. පුස්ප නැන්දා සීනි පිට්ටු කටු දෙකක් වගේ පිත්තල පාට දෙකක් නූලක අමුනාගෙන ඇවිත් ඒ පියං දෙක "ටිංං ටික්" කියා හප්පමින් අපිට සිංදු කියා දෙමින් නටවයි. ඇය සිංදුවේ පදයක් රතුපාටින් කියූවිට අපිද ඒ පදයම නිල් පාටින් කිය යුත්තෙමු.


"අත දිලෙනා පය දිලෙනා වර වර ගානේ"


"අත දිලනා පයදිලනා ජරබරගානේ"


අපි වැරැද්දූ විට පුස්ප නැංදා තාලය පැත්තක දමා අපිට සැර කරයි.


"ජරබර ගානේ නෙමෙයි වර වර ගානේ"


අපිට මැවී පේන්නේ අතත් පයත් ගෝල්ලිප් පැකැට්කොල වගේ දිලිසෙන කෙනෙක් අත වනලා අපිට "වර වර" කියා අඬගසන හැටිය. අපේ ගෙදර අයත් මට අඬගසන්නේ "වර' කියලාය.


නැටිල්ල එහෙම පිිටිම්ම නරිනාටකයකි. නැටුමකදී කුරුල්ලෝ පියාඹන ආකාරය කරන විට සමහර අය ඇත්තටම කුරුල්ලෝ පිහාටු ගහනවා වගේම අත්දෙක උඩ පහල යවන හැටියට ඔවුන්ව ඇත්තටම උඩ නොයන එක ලෝක පුදුමයකි. අපි සමහරවිට නැටිල්ල අමතකව ඒ දිහා බලා සිටිමු. සමහරු අතපය ඉහල යවන්නේ රෙද්දක් හුළඟට වැනෙනවා වගේය. තවත් සමහරු බත්කූරෙක් පියාඹනවා වගේ පුළුවං තරං වේගෙං අත් ඉහළ පහල යවන්නේ ඇත්තටම උඩ යන්න වගේය. අපි වගේ සෝමාරියෝ අත්දෙක යංතං උඩ පහල යවන්නේ හුළඟට වැනෙන හබරල කොළ වගේය. මොන්ටිසෝරි යන ළමයි හෝ ඉස්කෝලේ එක දෙක වසරේ ළමයි සිංදු කියා නැටීමෙන් සන්තෝෂවන්නේ යැයි කවුරුන් හෝ කියත් නම් ඒ අමුම අමු බේගලයකි. නැටුං නැටීම හා සින්දු කීම පොඩි ළමයින්ට වදයකි. පනයන වැඩකි. මේ මොන්ටිසෝරි නැටුං කරුමයක් වන්නේ ගෙදර අය සහ පවුලේ අය දැනගත්විටය. දවාලට මොන්ටිසෝරියෙං ළමයි ගෙනියන්නට එන අම්මලා මේ නැටුං පුහුණු දැක ගෙදර පවුලේ, අහල පහල අය සමගත් 


"මුංට දැං නැටුං උගන්නනවා"


කියා කිවීමෙන් වැඩේ අනති. එවිට පවුලේ අය හෝ එවිට රැස්වී සිටින පිරිස.



"හා එහෙනං අද කියාදුන්න නැටුම නටල පෙන්නන්න"


කියති. එවිට ලැජ්ජාවෙන් ඇඹරුනොත් අම්මාගෙන් රැවුං ගෙරවුං ලැබේ.


"හෙට උඹට අතුලගෙ කඩෙං කිසිම කඩචෝරුවක් ඇරං දෙන්නෑ. නටහං නැත්තං අරං දෙන්නෑ"


"හූ... හූ... මෙයාට බෑ.. මෙයාට බෑ"


නරඹන්න බලා ඉන්නා අය කරන කෝචොක් එකෙන් අම්මා තවත් ඇවිස්සේ. ඉතිං අම්මාගේ නම්බුවත් මගේ කඩචෝරුවත් බේරාගැනීමට මතක විදිහට කතාවක් කියන්නා වගේ සිංදුව කියමින් ඒ අතරට තාලෙට කිසිසේත් නොගැලපෙන අතපය එහෙමෙහෙ වැනීමකින් සහ දනිස් නමා උඩ පාත යමින් රවුමක් කැරකීමකින් නැටුමක් වැනි විකාරයක් මවාපෑමට මට සිදුවේ.

Saturday, October 8, 2016

බෙහෙත්

ලෙඩක් ඇත්නම් එයට බෙහෙත් දෙන කවුරුත් දොස්තරලාය. දොස්තරලාගේ රස්සාව ලෙඩ්ඩු හොඳ කිරීමයි. ඉතිං පසුගිය දිනවල ලෙඩ තනතුරක් හෙබවූ මාගේ මේ ලිපිය දොස්තරලාට උපහාරයක්ම වේවායි පතමි.

තුන වසරේ ළමයින්ගෙන් 


"හා කියන්න බලන්න ඔයා කවුරු වෙන්නද කැමති කියලා"


ඇසූ විට පළමුවෙන්ම කියන්නේ


"මම ලොකුවෙලා දොස්තර කෙනෙක් වෙලා අසරණ රෝගීන් සියළු දෙනා සුවපත් කරනවා"

කියලාය. මමත් තුන වසරේ හිටිද්දී අපේ පන්තිය බාර "මිස්" ඔය ප්‍රශ්ණය ඇසූ කළ හැමෝම දොස්තරලා වෙන්න ඕනෑ බව කීවේය. ඒ දවස්වල අකුරු ලියන්න බැරුව හිටපු දිනූකයාත් කිව්වේ "දොස්තර" කියාය. හැබැයි මම නං කිව්වේ මම ගොවියෙක් වෙන බවය. මං දැනං හිටපු ආකාරයට ගොවියෙක් වෙලා කුඹුරට බැහැලා මඩ ඩිංගක් ගාගෙන පිට වේල්ලෙං මඩ හෝදාගත් ගමං රජ කෙනෙක් වෙන්න පුළුවනය. රජකමට කෙටිම පාර මං තෝරාගත්තේ ඒ නිසාය.


ඉස්සර අපේ අම්මා, මම, නංගී යන තුංදෙනා තට්ටුමාරුවට ඇදුම රෝගය කරපින්නාගත් නිසා අපි බෙහෙත් ගත්තේ කුමුදු මැඩං ගෙනි. කොන්ඩේ කැරළි ගැසුණු උන්දෑ ලෙඩුන් දිහා බලන්නේ පොලිස් රාළහාමි කෙනෙක් ඇඳුං අස්සේ ගංජා හංගගෙන සිටිනා සැකකාරයෙක් දිහා බලනා බැල්මෙනි. "මොකද?" කියා අසන්නේ "ඇයි වලියටද" වගේය. අපි පුටු ගැට්ටේ ඉඳගෙන ලෙඩේ කියන්න ඕනෑ.


"දැං දවස් දෙහෙක ඉඳං ඇදීම"


"ඇයි කලිං එන්න තිබුණෙ නැද්ද?....ආ......"


අපි කට පියාගෙන ඉන්නව. දොස්තර නෝන බෙහෙත් ලියනව. ඒ ලියන ගමං බනිනව.


"ලෙඩ වැඩිකරගෙන ආවම හරියනවද? ආ........"


එයා බෙහෙත් ලියල ඉවරවෙලා ආයිමත් අපිට ඔරෝනව. අපි විගහට කාමරෙං එළීයට පනිනව. බෙහෙත් දෙන ගෑනු කෙනා බෙහෙත් කවර හතරක් ලියල අම්මගෙ අතේ තියෙන කුප්පිය ඇරං ඒකට බොන බෙහෙතුත් පුරෝනව. ඊට පස්සෙ

"හතලිහයි"

කියනකොට අපි සල්ලි දෙන්න ඕනි. සල්ලි දුන්නම තමයි බෙහෙත් ටික හම්බුවෙන්නෙ.


ඔය විදිහට අපි සතියක් ඇර සතියක් වගේ කුමුදු මැඩං ගෙන් බෙහෙත් ගේනවා. කොච්චර බැනුං අහන්න උනත් මිනිස්සු යන්නෙම උන්දැගෙං බෙහෙත් ගන්නමයි. ඒ හංදා වැඩි කාලයක් යන්න මත්තෙං කුමුදු මැඩං රතුම රතු පාට කාර්රෙහෙකුත් ගෙනාවා.


අවුරුදු ගානක් තිස්සේ බෙහෙත් ගැනීමේ ප්‍රතිඵලයක් වසයෙං ඇදුමට බොන බෙහෙත් පෙත්තක් මහපාරෙ වැටිල තිබුණත්

"මේක ඇදීමට බොන බෙහෙත් පෙත්තක්"


කියලා කියන්න තරම් හැකියාවක් අපේ අම්මට ලැබුණා. හැමදාම ලැබෙන්නෙ එකම බෙහෙත් වර්ග ටික හින්දා අපේ අම්මා තමුංගේ පලපුරුද්දෙං අඩු වියදම් ක්‍රමයක් හොයාගත්තා. කෙලිම්ම බෙහෙත් ටික පාමසියෙං ගන්න. ඇදුමට හැමදාම ලැබෙන බෙහෙත් වර්ග හතරෙන් ලෙඩේට බෙහෙත පෙති වර්ග දෙකක් විතරයි කියලා අපේ අම්මා හොයාගෙන තිබුනේ. ඉතිං අපේ අම්මා කොපි පොතකිං කොලයක් ඉරල අරගෙන දොස්තර ලියනව වගේ කැතට නැතුව බොහොම ලස්සනට සිංහල අකුරෙන් ලියනවා බෙහෙත් තුණ්ඩුව. ඒකත් එක්ක හතරට නමලා රුපියල් පහලොවක් මගෙ අතට දෙනවා.


"ඉස්පිතාලෙ පාරෙ පාමසියෙං මේ බෙහෙට්ටික ගෙනපං"


මමත් එකයි විසිපහකට බාගෙ ටිකට්ටෙකක් ඇරං බස්සෙකෙං ගිහිං මානාන ටවුමෙං බැහැල පාමසියට ගිහිං අර තුණ්ඩුව දෙනව. ඒකෙ බොහොම පැහැදිලිවට බෙහෙත් වර්ග දෙක ලියල තියෙනව.


ඇදුමට බොන රෝස පාට පෙති රුපියල් 5 හක
ඇදුමට බොන සුදු පාට පෙති රුපියල් 5 හක

පාමසියෙ ඉන්න කෙනත් ඒ බෙහෙත් ජාති දෙක කවර දෙහෙක දාල දෙනවා. අපි ඇදුම හැදිච්ච ගමං ඒ බෙහෙත් පෙති වලිං එක පෙත්ත ගානෙ බොනවා. ඉං පස්සේ වෙවුල වෙවුල නිදාගන්නවා. ඒ බෙහෙත් වලට වෙව්ලිල්ලක් හැදෙනවා. අපිට හැමදාමත් "ඇදීම" තිවිච්චි නිසා සති දෙකකට විතර සැරයක් අපෙ අම්මගෙ බෙහෙත් තුණ්ඩුව අරං මං පාමසියට ගිහිං බෙහෙත් ගේනවා.


ඔය විදිහට කාලයක් ගිහිං ඇඟ ගැහෙන රෝසපාට පෙත්ත වෙනුවට එයිට වඩා පුංචි කහ පාට පෙත්තකුත් අපේ අම්මා හොයාගත්තා. ඒ බෙහෙතත් අපි කාලයක් බිව්වා. අන්තිමට ගෙදර හාල් තුනපහ වගේම අත්‍යවශ්‍ය ජාතියක් වුනේ 'ඇදුමට බොන පෙති'.


මං ඉස්කෝලෙ දහය වසරට විතර එනකං 'ඇදීම' තත්වෙන් තිබුණ මේ ලෙඩේ තවත් ඉදිරියට පියවරක් තියලා 'පීනස' බවට පත්වුනා. ඉංගිරිසි බෙහෙත් කොච්චර ගත්තත් සනීප කරන්න බැරිවුනා. මගෙ කටහඬත් අංජබජල් වෙලා ගෑනු කටහඬක් ආවා. ඉස්කෝලෙ එවුං මට කෝචොක් දාන්න පටං ගත්තා. මං ඔලුවෙ ජෙල් ගාන හිංදා පීනස හැදෙන බව අපේ මාම කිව්වා. ආච්චම්ම කිව්වෙ හැමදාම නාන හිංදා කියලයි. 


අන්තිමට මං 'උඩහ කුකුලෙ වෙද මහත්තයා' හම්බුවෙන්න ගියා. එයා දෙපාරක්ම 'කුඩු මුල්' වගයක් එක්ක අරිෂ්ඨ බොන්න දුන්නා. ඒකෙං යන්තං හොඳ වුනත් ලෙඩේ නිට්ටාවටම හොඳ වුනේ නෑ. ඊළඟ දවසෙ බෙහෙත් ගන්න ගියහම බෙහෙත් තෙලක් එක්ක කසායක් ලැබුනා.


"සතියක් යනකං මේ කසාය උදේ හවස බොන්න. මේ තෙල් ඔලුවෙ ගාන්න. හැබැයි නාන්න එපා"


හරියටම සතියක් යද්දි මගෙ පීනස සනීපයි. එයිං පස්සෙ මට හොඳ ගාම්බීර කටහඬක් ලැබුනා. මං ඉස්කෝලෙදි අපේ පංතියෙ ඉඳං තව පංති ගානක් දුරට ඇහෙන්න කෑගැහුවා. ගුරුවරුංගෙං ගුටි කෑවත් මට සංතෝසයි. ඒත් එක්කම මහ රෑට පින්නට අහුවෙලා නෑවත් මට කිබුහුමක්කත් යන්නැති තරං සනීපයක් ලැබුනා. ඒකටත් වෙනම සංතෝසයි. 


අපේ පවුල්වලත් ඉන්නව සාමාන්‍ය තරමේ වෙදකමක් දන්න අය. ඒ පවුලෙ වෙද්දු එකට හම්බුනාම ලෙඩ රෝග ගැන කතා වෙනවා. වටිනා වෛද්‍ය අදහස් හුවමාරු වෙනවා.


"මට මේ ගිය සතියෙ ඉඳං හෙබ්බිරිස්සාවක් හැදිල තාම නෑ හරි හමං හොඳක්. කන කෑමක් මෙලෝ රහක් නෑ."

පුංචම්මා ලෙඩ අඳෝනාවක් කියනව.


"අර සෙඩ්ඩෙක ලඟ මහත්තයගෙං බෙහෙට්ටිකං ගත්තනං ඉවරනෙ. ඒ මිිනිහෑ බෙහෙත් හොඳයි"


නැංදම්මා උපදෙස් දෙනව. එක එක දොස්තරගෙ බෙහෙත් පත්තියං වෙන්නේ ඊට අදාල අයට විතරයි. මේ අතරෙ මටත් කිඹුහුමක් තරම ගියොත් උන්දැ වෙදකම පටං ගන්නව.


"ඔය ළමෙයට හෙංබිරිස්සාව නේද දරුවෝ. අර බෙහෙත් වගයක් ඇති මං ගිය සුමානෙ මේ ළමයට ගෙනාපුව. වේලෙං හොඳ වෙනව."


"අනේ ඕව බීල හොඳද දන්නෑ"


මං අකමැත්ත පළ කරනවා.


"ආ.... මොනවක් වෙන්නෑ. පෙරේද මාමටත් හෙම්බිරිස්සාව හැදිල එක වේලයි එයිං බිව්වෙ හොඳවුනා."


සේරම වැඩ තියෙද්දි නැංදම්මා කබඩ්ඩෙකේ ලාච්චුව ඇදලා බෙහෙත් කවර ගොඩක් ගන්නවා. ඒවා බෙහෙත් කවර තුන හතර වසයෙං වෙනම සොපිං කවරවල දාල තියෙන්නේ. 


"මේං මේකද කොහෙද. කොහෙද මට මේ කන්නාඩි නැතුව පේන්නෑනෙ."


උන්දෑ බෙහෙත් කවරෙක බෙහෙත් අල්ලට හලල බලනව. බෙහෙත් පෙත්තක් බිමට වැටිල බිම දිගේ රෝල් වෙලා කබට්ටෙක යටට යනව. 


"අන්න බොලේ බෙහෙත් පෙත්ත ගියා. ඔන්න දරුවො ඔය කබට්ටෙක යට්ට ගියෙ හොයල ගන්න ඒක."


අපේ මස්සිනා කෝටු අතක් කබට්ටෙක යටට දාල බලනව. හොයාගන්න බෑ. අන්තිමට කොස්ස ගෙනත් අතුගාල ගත්තම මකුළු දැල් පිරිවරාත්තු බෙහෙත් පෙත්ත අහුවෙනව. ඒක පිහල මකුළු දැල් අයිං කරල ආපහු කවරෙටම දානව.


"ඒව මේ කලිං සැරේ මයෙ කොන්දෙ අමාරුවට ගෙනාපුව. හරිම හොඳ බෙහෙත් වාගයක්. මට වේලෙං සනීප උනා. මට කොච්චරවත් ඕක හැදෙන හංද මං මේ ඇරං තිබ්බෙ. හදිස්සියට බොන්න."


ආයිමත් තව කවරයක් ගන්නව.


"මේක මේ අර උණට ගෙනා ඒව. ඉස්පිතාලෙ දෙවෙනි මහත්තයගෙ බෙහෙත්. මේක වැඩක් නෑ. මෙ ළමයට කිසිම ගුනෙයක් උනේ නෑනෙ මේවෑං. තියං වැඩක් නෑ විසිකල්ල දානව."

ඒ බෙහෙත් ගුලිය බිමට දාන්නෙ අතුගාල විසි කරන්න. ඔය විදිහට බෙහෙත් කවර අටක් විතර ඇදල අදාල බෙහෙත් ජාති තියෙන කවර ටික හොයාගන්නව.


"ආ... මේ තියෙන්නෙ. මේක තමයි. මේකෙ අර ලොකු පැන්ඩෝල් පෙති පුස්කාල. ඒ ජාතියෙ බෙහෙත් පෙති අර අනික් බෙහෙත් කවරවොල තියෙනව. ආ.... එයිං අරං බොන්නකො."


අන්තිමට මට ඒ බෙහෙත් ජාති බොන්නම වෙනව. මේ විදිහට බෙහෙත් පෙති පුස් කනකං, බෙහෙත් සිරප් වර්ග අවුරුදු දෙක තුනක් යනකං පාවිච්චි වෙනව. සමහර වෙලාවට අහල පහල අය ලෙඩ උනහම 'උදව්වක්' වසයෙං ඒ අයටත්


"මේං මේ බෙහෙට්ටික බීහං. මං ඔය ගිය මාසෙ ගෙනාපුව මගෙ උණට. හුලං වැදිල නෑ මං කවරෙක ගැටගහල තිවුනෙ"


කියල ගිහිං දෙනව. ඒ විතරක් නෙවෙයි සමහර බෙහෙත් වර්ග පරීක්ෂා කිරිමත් මේ පවුලේ දොස්තරල නොමිලේම කරනව.


"පුතේ අර මාමට දෙන කැල්සියං පෙති හරි හොඳයිනෙ"


අපේ මාමණ්ඩිගේ තයිරොයිඩ් ග්‍රන්ථිය අයිං කරල හිංදා එයාට දවස ගානෙ කැල්සියම්වලට පෙති බොන්න තියෙනවා. ඒ බෙහෙත් ගැනයි මේ කියන්නෙ


"ඒ පෙතිවල ගුණ අගුණ අම්ම දන්නෙ කොහොමද?"


චූටි මැණීකෙ අහනවා.


"එයාට ඒ පෙති නැතුවහං ඇඟ වෙව්ලීමක් හැදෙනවනෙ. මටත් සමහර දවස්වල්ට මහන්සි වෙලා වැඩි උනහම ඇඟ වෙව්ලිල්ල හැදෙනව. මාත් බිව්ව බලන්න එයිං පෙත්තක්. හරියට හරිනෙ දරුවො ඒක. ඇඟ වෙව්ලිල්ල කොහෙං ගියාද නෑ,"

 අපි ඔළුවෙ අතදෙකම ගහ ගන්නව.