Follow by Email

Sunday, August 20, 2017

තොරණ හෙවත් Pandol-3

තොරණ 1
තොරණ 2


ඔය අතරෙ බීටියෙස් එකේ දළු ලොරිය එනව. ඒකත් සෙනග පහුකරල ගිහිං නවත්තනව. ලොරියෙ මහත්තය ඔලුව එලියට දාල සෙනග දිහා බලනව. එතකොට එතන ඉන්න කමල නැංදයි උන්දැගෙ දුවයි මනුස්සයයි තුන්දෙනාම ලොරිය ගාවට යනව. ලොරියෙ මහත්තය බිමට බැහැල කමල නැංදව පලවෙනියටත්, උන්දැගෙ දූව දෙවනියටත් ලොරියෙ ඉස්සරහට නග්ගගෙන ඉං පස්සෙ තමුනුත් නගිනව. කමල නැංදගෙ මනුස්සය ලොරිය පිටිපස්සෙං නැගල, දළු ගෝනි අට්ටිය උඩ ඉඳගෙන විට මල්ල දිගෑරගන්නව. ලොරියෙ ගෝලයත් එයාගෙ විට මල්ලට හවුල් වෙනව. එතකොට ලොරිය පිටත්වෙලා දුං වලාවක් ඉතුරු වෙනව. සෙනග අතරෙ ඉන්න ගෑනු අයගෙ කටවල්වලට පණ එනව.


"දැක්කද නිකං උංගෙ ලොරියක් වගේ නැගල ගියෑටි. මෙච්චෙල්ලා කතා කොර කොර හිටිය අපිත් මතක නැතිවුනා ලොරිය දැක්ක ගාං. "

"ඔය කෙල්ල ලොරියෙ මහත්තය එක්ක ලැහැත්තිලු. අම්මණ්ඩි ඩැයිබර එක්ක ලැහැත්තිලු"

"හැබෑට"

"දැක්කෙ නැතෑ අම්මණ්ඩි ඩයිබරයට හේත්තුවෙලා ගියා කෙල්ල මහත්තෙයෑ ඔඩොක්කුවෙ ගියා"

"අර උසාවියෙ වැඩ කොන්න දයානංද මල්ලි දැක්ක කිව්වෙ ඕකුං සත්තපුරේ චිත්තරපටි හෝල්ලෙකෙං දොට්ට බහිනව හිටං. කෙල්ලයි මහත්තෙයැයි වෙනමලු ඩැයිබරයැයි මහ අම්මණ්ඩියි වෙනමලු"

"මිනිහට වගක් නැති හැටි අම්ප"

"ඌට ඉතිං බොන්න ඩිංගක් ඇහ්නං මදෑ"

"අනෙයම්ප අපේ මිනිස්සු එහෙම උනානං අපිව තඩි ගහලම මරයි"


ඔය විදිහට ඒ පවුලත් පතුරු ගහන අතරෙ තව කට්ටියක් ඒවයෙං අකුරක් නෑර මතක තියාගන "හුම්" කිය කියා ඉන්නෙ පස්සෙ දවසක කමල නැංදව හම්බුනාම

"එදා පාලම ගාව ගෙදර ලොකුවක්කා කිව්වනෙ මෙහෙම කතාවක්"

"අර දයානංද මල්ලිත් මේ යසට ඉන්න කෙල්ලටයි කාටවක්කක් කරදරයක් නැති අක්කටයි පදයක් හදල තියෙන්නෙ"

"අනේ මං නං ඔව්ව විස්සාස කොලේ නෑ"

"වැඩියක්ම ඔව්ව කිව්වෙ කරුනෑ පවුල තමා"

"අනේ අක්ක ඔව්ව අහන්න යන්නෙපා. මං කිව්වයි කියලනං කියන්නත්තෙපා ඔන්න"

ආදී වසයෙං කියල උන්දැගෙ නූලට ගිනි තියන්න. මෙව්වා අහං ඉන්නකොට අපේ කං අලිකං වගේ වෙන එක නවත්තන්න අමාරුයි.

“චිත්‍රපටි බලන්න යන්න හොඳ නැද්ද අම්මෙ?“

මං අම්මගෙං අහනව.

“වහක්කට, ගහත්තොගෙ කට කල්ල විසිවෙන්න“

අම්ම මගෙ කට දෙපැත්තෙං අල්ලල මිරිකනව.

“බ්‍රිහියෑ.........ං...........“

සෙනග හැමෝටම ඇහෙන්න මං මගෙ ඇඬිල්ල පටං ගන්නව. හැමෝම මගෙ දිහා බලනව.

“මොකදක්කෙ ලමෙයඬන්නෙ“

හත් අට දෙනෙක්ම අහනව.

“මොකොවහ්නෑ මේ නිකං“

අම්ම බොරුවක් කියල හිනාවෙලා මගෙ පැත්තට හැරිලා මගෙ කකුල පාගනව.

“වහක්කට. නැත්තං හොස්ස තල්නව දැනගං“

අම්මගෙ තර්ජනේට මං සැලෙන්නෑ.


“මගෙ කකුල පාගන්නෙපායකෝ......“


හැබැයි ඒ සද්දෙ කාටවත් ඇහෙන්නෑ. ඊට උඩිං වී මෝලක සද්දෙ ඇහෙනව.

“ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  .............................“

හැමෝම ඒ සද්දෙට කං දික්කරද්දි කටවල් ඉබේම වැහෙනව. ඒ සද්දෙ ඇහෙන්නෙ අයිස් කිරිං වෑන්නෙකෙං කියලා හිතන පොඩි ළමයි අම්මලගෙ අතේ තියෙන පෝස්සෙක දිහා බලනව. මනුස්සයෙක් බුලත්විට කවරෙ සාක්කුවෙං අරං විටට කලමනා එකතු කරලා මදිවෙලා තිවුන දුංකොළ කෑල්ලක්, පුවක් කෑල්ලක් එහෙම කාගෙං හරි ඉල්ලගෙන විටක් හදලා කටේ දාගෙන විට කවරෙත් සාක්කුවේ දාගෙන පලවෙනි විට කෙල පාර ගහන්න තරං වෙලාවක් ගියාට පස්සෙ වීමෝල් සද්දෙ අපි ඉන්න කිට්ටුවට එනව. ඒ තමයි උලුමඩුවෙ ගෙදර ලෑම්මාට්ටරේ. ලලිත් මාමා ඒකෙ ඉස්සරහ හරහට දාපු ලැල්ලෙ මැදිං ඉඳගෙන ලෑම්මාට්ටරේ දෙපැත්තෙ අඬු දෙකෙං අල්ලගෙන ඉන්නව. එයාට දෙපැත්තෙං ලැල්ලෙ ඉඳං ඉන්න දෙන්න මාරුවෙං මාරුවට පාරට ටෝච් එළිය අල්ලනව. ලෑම්මාට්ටරේ ඉස්සරහ ලයිට්ටෙක තියෙන්න ඕනි තැන කලු කුඹලක් විතරක් තියෙනව. ලෑම්මාට්ටරේ පිටිපස්සෙං එල්ලිල එන සුරුට්ටු පෙට්ටිය වගේ එකේ ඇන්ද දෙපැත්තෙ පිරිමි අය ඉඳං ඉන්නව. තව පවුල් දහයක් පහලොවක ගෑනු අය පන්සලේ බෝධි පූජාවට ගියා වගේ මැද හරියෙ බිම  ඉඳගෙන ඉන්නව. ඒ අයගෙ ඔඩොක්කුවල ළමයිනුත් දුසිමක් විතර ඉඳගෙන ඉන්නව. අයගම පාර දිගේ ආපු ලෑම්මාට්ටරේ 'ග' යන්නයි 'ඩ' යන්නයි මැද්දට හල් අකුරක් දාලා සද්දෙ වෙනස් කරගෙන මානාන පාරට හැරෙන්න ලැහැත්ති වෙනව.


"ගඩ්ඩ   ගඩ්ඩ   ගඩ්ඩ   ගඩ්ඩ   ගඩ්ඩ   ගඩ්ඩ................................."


වංගුව සැර වැඩි හංදා ලලිත් මාමට දකුණු පැත්තෙං ඉන්න එක්කෙනා බිමට පනිනව. ලලිත් මාමත් අඬු දෙකෙං අල්ලගෙන දකුණු පැත්තෙං බිමට බැහැලා දෑත බදලා ඇදලා ලෑම්මාට්ටරේ බෙල්ල මානාන පැත්තට හරවන්නෙ පොල්ලත්තෙ ආත අයින කොටියව ගෙදර ඇදං යනව වගේ . ලෑම්මාට්ටරේ හොටේ බිම ඇනෙන ගාන්ට බිමට නැමිලා බෙල්ල වම් පැත්තට හරෝනකොට වම් පැත්තෙ හිටපු එක්කෙනත් බිමට පනිනව. ලෑම්මාට්ටරේ පිටිපස්සෙ හිටිය අයගෙනුත් පිරිමි හත් අට දෙනෙක්ම බිමට පනිනව. එයිං කාණ්ඩයක් දර්මසේන මාමෑ කඩේට දුවනව. තව කාණ්ඩයක් ගුණසේකර මාමෑ කඩේට දුවනව. ලෑම්මාට්ටරේ වංගුව හරෝගෙන බෙල්ල කෙලිං කරගෙන දිගටම යනව. ලලිත් මාමා ආයිමත් ලෑම්මාට්ටරේට ගොඩවෙලා ලැල්ලෙ මැදිං ඉඳගන්නව. ගුණසේකර මාමගෙ කඩේට ගිය අය සිකරැට් අරං පත්තු කරගෙන එනව. කඳු උඩ ගෙවල් තියෙන අය ආපහු ගෙදර යද්දි ඕනවෙන ඉටිපංදං ගිනිපෙට්ටි එහෙම අරං එනව. ඒ අය ආපහු ඇවිල්ල ලෑම්මාට්ටරේට නගින්න යද්දි මැදහරියෙ ඉඳං ඉන්න ගෑණු අයත් කෑ ගහනව.


"අනේ මල්ලියෙ මට ඩිස්පිං පෙති දෙක්කුයි හැට්ටකට්ටකුයි ගෙනද්දියංකො. හැට්ටෙට ගහං හිටිය දොඩං කට්ටත් කැන්න. හිටාං සල්ලි දෙන්න"


එයා සායෙ ඉනේ ඉලස්ටික් පටිය අස්සෙං ගහල තියං ඉන්න පෝස්සෙක ඇදල අරං සල්ලි කොලයක් අතට අරගෙන කඩේ යන කෙනාට දෙනව. ලෑම්මාට්ටරේ දිගටම යනව. දර්මසේන මාමගෙ කඩේට ගිය අයත් දර්මසේන මාමා වෙව්ල වෙව්ලා ලාච්චුවට අත දාගෙන සිකරැට් ටින්නෙක හොයනකං කඩේ ඉස්තෝප්පුවට වෙලා බලා ඉන්නව. ලෑම්මාට්ටරේ නවතින්නැතුවම යනව. ඒ අතරෙ ලෑම්මාට්ටරේ ඉන්න අය බස් හෝල්ටෙකේ ඉන්න අයට කතා කරනව.


"යංඅක්කෙ මේකෙම නැගල. මේ ඉඩ තීන්නෙ. පොඩියෙකා මයෙ ඔඩොක්කුවෙ තියාගන්නං."

"අනෙබෑ නංගියෙ මම්බස්සෙකේම එන්නං. මේ අනිත්තෑයත් ඉන්නොවනෙ"

"ඉතිං ඔය කොහෙ කොහෙ හරි එල්ලිල යං."

"අනෙ බෑ නංගියෙ අපි වෙනිම්මොහොක හරි නැගල එන්නං"


ඒත් ලෑම්මාට්ටරේ දිගටම යනව. ඒ අතරේ කඩේ ගිය අය ආපහු ඇවිල්ල ලෑම්මාට්ටරේට නගිනව. ලෑම්මාට්ටරේ ඒ වේගෙම්ම යනව. ඒ අතරෙ හෝල්ටෙකේ හිටපු කොල්ලො දෙන්නෙකුත් ගිහිං ලෑම්මාට්ටරේ පිටිපස්සෙ ලැල්ලෙ දාරෙ උඩිං ඉඳගන්නව. තවත් පැය බාගයක් විතර යනකං ලෑම්මාට්ටරේ සද්දෙ ඇහෙනව.


"ඒකෙ ගිහිං නං තොරණ බලන්න වෙන්නෙ හෙට උදේට තමා."

"ඒකයි මාත් නොගියෙ"

"පයිං ගියානං ඔයිට ඉස්මනට යන්න තිවුන"

"ඔව් හැබෑට ඉස්සර අපි සත්තපුරා ගිහිං පෙරෑර බල්ල එද්දි කාණ්ඩෙත්තෙක්ක එක පැයෙං එනව මානානෙ ඉඳම් පයිං"

"යංදම්ප පයිං ඔන්නොහෙ"

"බස්සෙකක්කාවොත් නගින්න බැරියැ"

"මේ පොඩියෙවුවොත්තෙක්ක බෑනෙ. මුන්ට කකුල් කඩිත්තුව හැදෙනවනෙ. අනික්ගාන මුංවත් උස්සං යන්න වෙන්නෙ."

ඔය විදිහට කතාවෙං පස්සෙ එතන ඉන්න පිරිමි කීපදෙනෙක් පයිම්ම ටවුමට යන්න පිටත්වෙනව. ඒ ගොල්ලොත් සෑහෙන දුරක් ගියාට පස්සෙ බලාහිටල එපා වෙච්චි කීප දෙනෙක්

"අනේ ඔය බඩකඩිත්තුව බල්ල වැඩහ්නෑ"

කියල තොරණටයි, බස් අයිතිකාරයින්ටයි, ඩිපෝ එකටයි, තොරණ හදපු කෙනාටයි හැමෝටම බැනලා තොරණ බලන්නම ඕන කියලා බෙරිහං දෙන තමුංගෙ ළමයින්ගෙ කං කෙටිත් මිරිකලා උංවත් ඇදගෙන ගෙදර යනව.

අන්තිමට වම්පැත්ත පාත් වෙච්චි ඉස්සරහ එක ලයිට්ටෙකක් විතරක් පත්තුවෙන එකැස් කන තනිදොරේ බස්සෙකක් එනව. හැමෝම පාරට පැනල කෑගහල බස්සෙක නවත්තගන්නව. බස්සෙකේ ඩයිබරයි කොන්දොස්තරයි දෙන්නම බෙරිහං දෙනව.

"බෑ බෑ මේකෙ තව නගින්න තැනක් නෑ. මේ පේන්නැද්ද"

අපි ඒ මොනවත් අහන්නෑ. අම්මා මාව බෙල්ලෙං අල්ලගෙන ගිනිපෙට්ටියට ගිනිකූරක් දානව වගේ  බස්සෙකේ දොරේ ඉන්න සෙනග පොදිය අස්සට මගෙ ඔලුව ඔබනව. ඉං පස්සෙ මාව තල්ලු කරන ගමං ඇතිවෙන හිඩස අස්සෙං අම්මත් රිංගනව. මාත් අතට අහුවෙන දෙයක් අල්ලගෙන නොවැටි ඉන්න බලනව.

"ඔය... මගෙ සරොං කෙටියෙ එල්ලෙන්නෙපා ළමෙයො"


එක මිනිහෙක් කෑගහනව. ඒ අතරෙ චන්දරෙ මාමලෑ නැංදා අයියවයි, අක්කවයි බස්සෙකට නග්ගලා කෑ ගහනව.

"අනේ මගෙ ළමයි දෙන්නා.... මාව දාල ලමයි දෙන්නව අරං යන්නෙපෝ"


බස්සෙක සැරදාලා යන්න හදනව. චන්දරෙ මාමලෑ නැංදා විලාප තියනව. ඒ ගමන බස්සෙකේ ඉන්න සෙනගෙං බාගයක් තරම එක සැරේ කෑ ගහනව.


"හෝව් හෝව් වෝව්."

"පොඩ්ඩක් ඉන්ඩෝ"

"තව යන්නෑය ඉන්නෝ"


ඔය විදිහට පවුලෙ එක්කෙනෙක් හරි බස් එකට රිංගගත්තු ගමං බිම ඉන්න එයාගෙ හත්මුතු පරම්පරාවම පවුලේ අවමංගල්‍ය උස්සවයකදි වගේ බිරුසන් දෙනව. ඔය විදිහට ලෑම්මාට්ටරේකිං හැතැප්මක් විතර දුරක් යන්න පුළුවං තරං වෙලාවක් දඟලලා සෙනග ගිලලා බඩගෙඩිය මහත්වෙච්චි බස් එක මගුල්ගෙදර කෑම මේසෙං නැගිට්ට කෙනෙක් වගේ තනි ඇහෙං පාර බලාගෙන  යන්න පිටත්වෙනව. බස් එක ඇතුලෙ වහලෙ හයිකරල තියෙන කාකටු පෙට්ටි වගේ එව්ව ඇතුලෙ පත්තුවෙන බලුප්වලිං යංතං එලියක් විහිදුනාට මනුස්සයෙක් අඳුරගන්න ඒ එළිය මදි. ඒ හංදා සීට්වල ඉඳං ඉන්න අයගෙ ඔඩොක්කුවල, සීට් පේලි අතරෙ අඩුක් කරල ඉන්න ළමයි අම්මල හොයාගන්න බැරුව බෙරිහං දෙනව. බස්සෙකේ හිටං ඉන්න පිරිමි සමහරු සැරිං සැරේ සීට්වල ඉඳං ඉන්න අයගෙ ඔලුවලට උඩිං දෙකට නැමිලා ඔලුව දික්කරලා ජනේලෙං ඔලුව දාලා "ප්පෲවැහ්" කියල විට කෙල පාරවල් ගහනව. බස්සෙකේ පිටිපස්සෙම ඉන්න කීප දෙනෙක් පිටිපස්සෙම තහඩුවට "දල් දල්" කියලා තලන ගමං සිංදුවක් කියනව. ඒ අතරෙ කොන්දොස්තර


"ටියට් ගන්න. ඔයි ටියට් ගත්තෙනැතියය ටියට් ගන්න. ඉස්ස්‍රා පයිස්කෝට්ටින්නවා."


කියල මිනිස්සු බය කරලා සල්ලි දෙන්නැති අයගෙං සල්ලි ගන්න හදනව. ඊළඟට පාර අයිනෙ සෙනග පොදිගැහිල ඉන්න තැනක් දකිනකොට කොන්දොස්තර කෑ ගහනව.


"නවත්තන්නෙපා...... යයියයියං"


ඒ වුනාට මිනිස්සු පාරට පැනල බස්සෙක නවත්තගන්නව. කොන්දොස්තර බෙරිහං දෙනව.


"බෑ බෑ බෑ බෑ... කිව්වං අහන්නකො. ඇඟිල්ලක්ගහන්නවක්කත් ඉඩ නෑ. පස්සෙං බස්සෙයක් එනව. ඒකෙ එන්න."


ඒ වුනාට මිනිස්සු එව්ව අහන්නෙ නෑ. ඉන්න අයගෙං හීනිම කෙනෙක් රිංගවල ඒ පස්සෙං ටිකෙං ටික මහත අයත් නගිනව. ඔය විදිහට වැඩිදුරක් යන්න කලිං අපිට ලෑම්මාට්ටරේ හම්බුවෙනව. ඒක කැඩිල. ලලිත් මාමයි තව කීප දෙනෙකුයි ඒක හදනව. ලෑම්මාට්ටරේ ආපු සෙනග බිමට බැහැල හිරි අරිනව. බයිසිකල්වලිං යන අය, පයිං යන අය එහෙම පහුවෙනව. තීවිල් ටිකයි දලු ලොරියයි පහුකරගන්න බැරිවෙනව. අන්තිමට බස්සෙක ටවුමෙ ඔරලෝසු කනුවටත් මෙහායිං නවත්තනව. 


"මෙතනිං බෑගන්න." 

කොන්දොස්තර ආයිමත් කෑ ගහනව. බස්සෙකේ පිටිපස්සෙම ඉන්න කෙනාගෙ ඉඳං හැමෝම එක සැරේ බස්සෙකෙං බහින්න පොරකනව. 


"කකුල් පාගන්නෙපා"


"තල්ලු කොරන්ඩෙපා ඕයි"


"පුතේ... ළමයෝ... වරෙං බහින්න"


"අනේ... මගෙ සෙරෙප්පුව...."


"අනෙයම්මේ.... හ්‍රී...........ං"


"අා.....ව් මගෙ කරාබුව...."


කකුල් පෑගිච්ච අය, ළමයි හොයන අය, අනුංගෙ කොණ්ඩෙ තමුංගෙ කරාබුව පටලගත්තු අය, හැමෝම බස්සෙක ඇතුලෙ කෑ ගහද්දි. බිමට බැහැපු කොන්දොස්තර දොරගාව ඉඳං බස්සෙකෙං බහින අයගෙං සැක කටයුතු අය අල්ලනව.


"සල්ලි දුන්නෑ නේද?"

"දුන්න"

"කෝ ටියට්ටෙය"

"ටිකැට් දුන්නෑ"

"බොරු කියන්නෙපා. බොරු නොකිය සල්ලි දෙනව"


සමහරු නං


"පෝස්සෙක අරගන්නවත් ඉඩක් තිවුන්නෑ"


"ටිකැට් දෙන්න පිටිපස්සට ආවෙනෑ"


කියලා ඇත්තම කියලා කොන්දොස්තරට සල්ලි දෙනව. එයා ඒවට ටිකට් දෙන්නෑ. මං සෙනග පොදිය එක්කම බිමට විසික්වෙලා ගිහිං වටපිට බලද්දි සෙනග අස්සෙං අම්මගෙ අත ඇවිල්ල මාව ඇදල ගන්නව. අපි බස්සෙකෙං එහාට වෙලා නැංදයි ආච්චම්මයි, චන්දරෙ මාමලෑ ගෙදර අයයි බහිනකං බලා ඉන්නව. ඒ කවුරුවත් බස්සෙකෙං බහින බවක් පේන්නැති හංදා වටපිට බලපුවාම ඒගොල්ලනුත් ටිකක් එහාට වෙලා අපි එනකං බලා ඉන්නව පේනව. 





Monday, August 7, 2017

තොරණ හෙවත් Pandol 2

තොරණෙ පලවෙනි දවසෙ එන සෙනග මදි වගේ කියල හිතුනොත් දෙවෙනි දවසෙම 'ලයිස්පීකරකට්ටක්' බැඳපු වෑංකට්ටක් අහලපහල ගංවල කෑගගහ ඇවිදිනව.

"අඤඤා ඤාඤ ඤා ඤඤඤඤ ඤඤඤාඤේ..............
ඤාඤා ඤාඤ ඤඤ ඤඤඤඤ ඤඤ ඤාඤේ............."


"ක්‍රාස් ටොහ් ටොහ් ටොහ්. දාදා දාදදදාදාදාදදා දාදාදාදා දාදා දදා දාදා දාදදදදා දාදාදාද"


උදේ ඉඳංම වාහනයක් යන්න පුළුවං හැම පාරකම කෑ ගගහ ඇවිදලා හොඳටම බැහැපු බැට්ටියකිං කරන්ටෙක ලෙවකන පීකර කට්ටට එයිට වැඩිය පැහැදිලියට යමක් කියාගන්න පුළුවංකමක් නෑ. ඒ වුනාට මේ අමුතු බාසාවෙං කෑ ගහන සද්දෙ ඇහුණ ගමං "ලයිස්පීකරයක් එනෝ" කියාගෙන පාරට දුවන අයට වෑංකට්ටෙ හොම්බෙයි පිටෙයි වටෙයි අලෝපු දැන්නීම්වල තියෙන විස්තර බලලා 'මේ කියන්නෙ තොරණ ගැන තමා' කියලා හිතාගන්න පුළුවං වෙනවා. කාරනාව සහසුද්දෙම්ම දැනගන්න හිතාගෙන පුංචම්මලෑ කඩේ ගාවදි විමලසේන මාමා පාරට පැනලා අත දාලා වෑං කට්ට නවත්තනවා.

"මොකද්දයියෙ එලවුස්සෙක"

ඩැයිබරගෙ පැත්තෙං වෑන්නෙක අස්සට තමුංගෙ ඔලුවයි උරිස් දෙකයි රිංගවන විමලසේන මාමා උදේ හිටං කියෝලා කියෝලා හකු ගෙවිලා, දිව දොට්ට ඇදිලා, මූණ රතුවෙලා, දාඩිය දාලා ඉන්න එලවුස් කරන මනුස්සයගෙං අහනවා.

"ඔය පස්සෙ දැන්නීමෙ තියෙන්නෙ බලනොවකො"

එයා විමලසේන මාමට කඩා පනිනව.

"දද දද්දෙ දද්දාදෙ දාද්දෙ දාදාදො"

පීකර කට්ටත් ගමටම ඇහෙන්න විමලසේන මාමාට බනිනව. ඒ අතරෙ අනික් අය ඇස් හීං කරගෙන වෑන් එකේ ඉස්සරහයි පිටිපස්සෙයි දෙපැත්තෙ වීදුරුවලයි අලවල තියෙන දැන්නීම් ටික කියෝනව.

"විසිතුරු මාතු පෝසක කතා වස්තුව රැගත් මහා තොරං රාජෙයා... මෙම මස දාහතර වැන්දා සිට ... විසියෙක වැන්දා තෙක් පෙදර්සනය කෙරේ."

මේ කියවිල්ලට වෑන්නෙකේ ඩයිබරට කේන්ති යනව. එයා වෑන්නෙකේ ඇංජිම හයියෙං රේස් කරනව.


"ඕයි ඉස්සරහිං අහට්ට වෙනවකො. අපි යන්නෙ තමිසෙලෑ බඩවල්ලුඩිංද? තමිසෙලා සේරම මේක කියෝනකං හිටියොත් අපිට යන්න වෙන්න අනිහ් සුමානෙ තමයි."


වෑන්නෙක ඉස්සරහිං හිටපු අය පරාණ බයේ අහකට වෙනව. වෑන්නෙකේ පිටිපස්සෙං හිටපු අයත් දුම් පාරට අහකට විසි වෙනව. තොරණ බලන්න එන්න ඉන්න සෙනගෙං තවත් හතර පස් දෙනෙක්ටවත් බනින්න හිතාගෙන වෑන්නෙක කැහැ කැහැ තවත් ගමකට යනව. ඒ අතරෙ හැමෝම එක්කහු වෙලා වෑංකාරයටයි එලවුස් කරන කෙනාටයි බයිනව.



"යකෝ පිං අතේ වැඩක් කරද්දිවත් මෙවුංගෙ කටේ සවුදම අඩු නැති හැටි."



"යන්ට නාකයි ඕක බලන්න"



"මග හිටියත් තල්ලුවක්කත් දෙන්න නාකයි"




*******************************************************************************


දවසක් දෙකක් යද්දි වෙනදා අහල නැති නලා සද්ද එහෙම අහල පහල ගෙවල්වලිං ඇහෙනව. සුදුවා එහෙමත් ගමං බිමං යද්දි වතුර විදින තුවක්කුවකිං අහල පහල ගස්වලට විදගෙන යනව. ඒවා දකිද්දි මට ඉවසං ඉන්න අමාරු වෙනව. මං අම්මත් එක්ක රණ්ඩුව පටං ගන්නව.


"අම්මෙයංකො"


"කොහෙද බොල"



"තොර්න බලන්නයංකො"



"හිටහං වියසල. ඕක මොකෙක්කක් කන්නෑ."



ඒ වැඩේ හරියන්නැති පාර මං මිදුලට බැහැලා ටිකක් දුරට වෙලා වැඩ පටං ගන්නව


"ඔල්ල වල්ලල්ලෑ තොලල ලැතිවුලොත්තේව ඒ....ඒ.....ඒ.... හිඥුම්.................
  වංකීඤෝ ඉග්ගෝලෙ විස්ත වා එවුග් වාව තොලල වලල්ල එග්ග ගියෙලෑ ගියාලා.... ආ..... ආ........
  ඔල්ල වල්ලල්ලෑ තොලල ලැතිවුලොත්තේව උවල තොලලග් අදා දීයව්වත....ආ.....ආ.....ආ....හග්"

මේ අන්තිම හග් එක ඇතිවෙන්නෙ කොන්ද හරහ වදින කොහුමිටි පාරත් එක්ක. මං අම්මගෙ කොහුමිටි පාරවල් ටික ඉතුරු කරන්න හිතාගෙන පණ බේරගෙන දුවනව. අම්මට අහු නොවෙන්න චන්දරෙ මාමගෙ කුඹුරෙ පිටවේල්ල ගාවට කිට්ටු කරාට පස්සෙ තව ටිකක් හයියෙං ප්‍රසිද්ධ නිවේදනයක්ම නිකුත් කරන්න මට පුළුවං වෙනව.


"අෆේ වහ එවුල්ලෙල්ලව වහ ලෝවෙයො. ලවයිව්ව තොලලග් වලල්ලවහ් එග්ග යල්ලෑ.....ඈ...... ඈ......"


මේ වගේ වෙලාවට මගෙ පින තිබ්බොත් චන්දරෙ මාමලෑ නැන්දා නෝනක්කව එවලා මාව එහෙට අරං යනව. ටික වෙලාවකිං නෝනක්කගෙ ආරස්සාව යටතෙ මාව ගෙදර එවනව. නැත්තං අපෙ අම්මා ඊළඟට මට තලන්නෙ කරාබු කෝට්ටකිං.



ඔය විදිහට දවස් ගානක් පන එපා කියල කෝලහල කලාට පස්සෙ අපේ අම්මා අහල පහල අයත් එක්ක තොරන බලන්න යන්න ලැහැත්ති කරගන්නව. හැමෝම එකට යමු කියල හිතාගෙන හිටියට අන්තිමට බැලුවහම අනික් හැමෝම එයිට දවස් දෙක තුනකට කලින් තොරණ බලන්න ගිහිං. ඉතුරුවෙලා ඉන්න අය එක්කහු වෙලා ඒ ගොල්ලන්ට දොස් කියනව.


"අපිට නිකමටවක් මතක්කොලේ නෑ. ආයිනං ගමනක් යන්න ඒගොල්ල එක්ක කතාවෙන්නෑ"



තොරණ ඉවර වෙන්න දවසක් කලිං දවසක හැන්දෑවකට ගමන තීන්දු වෙනව. එදා උදේ ඉඳලම මගෙං කිසිම වැඩක් කෙරෙන්නෑ. කොටිම්ම ඉස්කෝලෙ යන්නෙත් නෑ. ඉස්කෝලෙ ගියෙ නෑ කියල අපේ ගෙදරිං විරුද්දවෙන්නෙත් නෑ. ඒ හංදා උදේට කාපු වෙලාවෙ ඉඳල මගෙ වැඩේ වෙලාව බලන එක. ඒ අතරම සැරිං සැරේ අම්මට කංකෙඳිරිගාන එක.



"දැයියංකො අම්මෙ. නැහ්නං රෑවෙයි"


"මේ ගිණිකූටක අව්වෙ මොන තොරනද්ද බොල"


අම්මා මට පොල්බෑය උරුක් කරනව. ඔය විදිහට හැන්දෑ වෙනකම්ම මං එක එක විදිහට අම්මට කංකෙඳිරිගෑමත් අම්මා ඒ ඒ වෙලාවට කරන වැඩේ හැටියට අතේ තියෙන උපකරණ උරුක් කරලා මට තර්ජනේ කිරීමත් කරදරේ ඉවරයක්ම නැත්තං මාව කෙටිදුරක් එලෝගෙන යන එකත් සිද්දවෙනව. ඒ හංදා හවස් වෙත්දි මට අම්ම ඉන්න කිට්ටුවකටවත් යන්න අමාරුයි. අපේ අම්මගෙ ලැහැත්තිය පටං ගැනෙන්නෙ එහාපැත්තෙ කංදෙං ඇහෙන චන්දරෙ මාමලෑ ගෙදර නෝනක්කගෙ කෑගැහිල්ලත් එක්ක


"දයා නැංදේ......."


එව්වට උත්තර දෙන්න ඕන ගෙදර ඉන්න ළමය වසයෙං මං


"ඕ......."


"අපි නං ලැහැත්ති වෙනවා."


"හා... අපිත් ලැහැත්තිවෙන්න"


"හා....."


"හා....."


මෙච්චර වෙලා ඒ ගැන වගේ වගක් නැතුව හිටපු අම්මා එක පාරටම වඩිග පටුන නටන්න පටං ගන්නව.


"තොට මං කීවලියක් කිව්වද ලැහැත්ති විය කියල. ලැහැත්ති වැනිං විජානියට"


මං තොරන බලන්න යන්න බෑ කිව්ව වගේ අම්ම මට කඩං පනිනව.


"ඉතිං මං කිව්වෙ."


"තෝ කිය කිය හිටියා මිසක් ලැහැත්තිඋනායැ."


"මූනෝදං ඇහිල්ල ලැහැත්තිවිය. කාහං බට්ටිකක්. ආයි එහෙ ගිහිං බක්කන්න නෑ."


අන්තිමට දොලට නොයා පිටවේල්ලෙං දත මැදල මූණ හෝදගෙන ගෙදෙට්ට එනකොට අම්මත් මගෙ බුරුසුව ඇදල අරගෙන මට බත් පිඟානක් දෙනව. 


"විජානියට කාහං"


අම්ම මගෙ බුරුසුවෙං දත් මදින අතරෙ මං බත් අහුරු දෙක තුනක් ගිලලා ඉතුරු ටික හෙලපල්ලට විසි කරනව. තව විනාඩි දහයක් පහලොවක් යද්දි අපි දෙන්න ලැහැත්තිවෙලා මූණ පුරා පවුඩර් තට්ටුවකුත් ඔලුව පුරා තෙල් තට්ටුවකුත් ගාගන්නව. අම්ම මගෙ පැන්සලකුයි කොපි පොතේ මැද පිටුවයි කඩාගෙන ලියුමක් ලියනව.


බොලේ අපි තොරන බලන්න යනව. 
චන්දරේ මල්ලිලෑ ගෙදර අෑය එක්ක. 
යතුර ගලයට. තමිසෙත් බත් කාලා එනවා.

                                                                   මීට **වතී

අපි කුස්සිය පැත්තෙං දොර වහලා දෙහි ගහ යට ගල් ගෙඩ්ඩ යටිං යතුර තියලා ලියමන කෝට්ටක උලගහල දොරේ අමුණල තියල දොට්ට බහිනව. නැන්දත් අපේ මිදුලට ගොඩවෙනව. ඒ පිටිපස්සෙං ආච්චි අම්මත් දනිස්සට අත්දෙක තියාගෙන හතිදාගෙන කන්ද නගිනව. අපි දෙන්නව විතරක් දැක්කම ආච්චම්මට හිතට හොඳ මදි.


"කෝ ලොකු ළමෙය යන්නැද්ද?"


"ඒ මිනිහ එනව නැතෑ.  කෝ මැණිකො සූටි"


"ඌ එනකං ඩිංගක් හිල්ල වරෙල්ල."


"ඒකි එක්ක ගිහිං බෑ. සෙල්ලම්බඩු ඉල්ලනව. මං බොරුවක් කියල තියල ආවෙ"


"පොඩි එකෙක්යැ නැංදම්මෙ. එන වෙලේක එන්නැතෑ"


අපි හතර දෙනා ආයිමත් අපේ මිදුලෙ ඉඳං කන්ද උඩට නගින්න පටං ගන්නව. ඒ අතරෙ චන්දරෙ මාමලෑ කුඹුර මැදිං අඩිපාර දිගේ චන්දරෙ මාමලෑ ගෙදර නෝනක්කයි, අයියයි, නැංදවයි ඉස්සර කරගෙන, අපේ ඉංග්‍රීසි පොත තරං උසට සරමත් ඇඳගෙන ඒ පිටිපස්සෙං චන්දරෙ මාමත් එනව. අපි හතරදෙනා අරුම පුදුම විදිහට පේලියට ගමනක් යනව දකින පාරෙ ඉන්න කලු බල්ලා අපිව ඉව කරන්න ඇවිත් ආච්චි අම්මගෙං කුඩ පාරක් කනව

"ජී....ග් ගේ...රි බලු නරකාදිය.... ජී...."


අපේ ගෙවල් පහුකරල එක වංගුවක් උඩහට ගිය ගමං චන්දරෙ මාමලගෙ ගෙදර අය අපි එනකං බලං ඉන්නව පේනව. අපිත් එතන්ට ආපු ගමං අපි හැමෝම කතාව පටං ගන්නව.


"කෝ නංගියෙ චූටි"

"කෝ සෝම්පාලයිය යන්නැද්ද"

"ඒකිව ගෙදර තියල ආව."

"චූටි දන්නැද්ද තොරන බලන්න යනව කියල"

"මුංගෙ තාත්ත එයි නංගියෙ සෑ වෙලා"

"පීසේන මල්ලිට එහෙම කන්න ඉව්වද?"

"කඩේ දෝනි එහෙම ඊයෙ ගියාලු."

"කරුම්මාමා ඕබන්නෙකක් අරං දුන්නලු"

"දවල් උයපුව ඇති"

"අපෙ තාත්ත මටත් එකක් අරංදෙනව කිව්ව"

"බස් තියෙයිද මංද"

"මට විතරයි අරංදෙනව කිව්වෙ"

"නෑ. තාත්ත අරං දෙනව කිව්වෙ මට"

"බස් තියෙයි හැබැයි සෙනග හිටියි සූ ගාල"

"ඇයි තාත්තෙ සෙනග සූ ගාන්නෙ"

"අම්මෙ මටත් ඕබන්නෙකක් ඇරං ඕනි"

"මිනිස්සු සූ ගාන්නෑ ළමයො. සෙනග ගොඩක් ඉන්නව කියන එකයි සූගානව කියන්නෙ"

"තෝ එකේක ජාති ඉල්ලන්න ලැහැත්ති වෙනව නං දැම්ම කියහං තෝවත් ගෙදර ගිහිං දාතියල එන්න"


ඔය විදිහට කයිවාරු කියෝ කියෝ නිකෝඩහන්දියට කිට්ටු වෙද්දි එතන පන්සලේ මරණාදාර රැස්වීමට තරං සෙනගක් එක්කහුවෙලා බස් එනකං බලා ඉන්නව. අපිව දැකල එතන ඉන්න අය හූල්ලනව.


"තව කට්ටිය එනව."

"බස් පනහක් තිවුණත් මදිවෙයි"


අපේ කාණ්ඩෙත්


"සෑහෙන සෙනගක්නෙ"

"බස්සෙකක් නෙමෙයි කෝච්චියක් තිබ්බත් මදි"

"කෝච්චිත් පාරෙ යනවද තාත්තෙ"

"පයිං තමා යන්න වෙන්නෙ"


වගේ ඒවා කියල ඒ සෙනග ගොඩටම එක්කහු වෙනව. ඉං පස්සෙ එතන ඉන්න අයත් එක්කත් අර විදිහටම කියෝනව. එහෙම කියෝල කියවන්න දෙයක් නැතිවුනහම බස්කාරයින්ට බයිනව.


"මේ යකඩ කැටි එකක්කත් ඕනි වෙලාවට නෑනෙ"

"දැන්නීමෙ තිවුනෙ රාත්රීය පුරාවට බස්සේවා කියාත්මකයි කියල"

"ඩිපෝ එකේ උං වැඩකරන්නෙ උන්ට ඕන හැටියටනෙ"

"උං බස් ගෙදර ගිනියනවනෙ"

ඒ අතරෙ කන්ද නැගගෙන එන බස්සෙහෙක සද්දෙට මිනිස්සු හැමෝම ඒ පැත්ත බලං ඉන්නව. ටික වෙලාවකිං රෝද බඩේ ගෑවෙන්නම පාත් වෙච්චි ලොරියක් වංගුවෙං මතුවෙනව. මිනිස්සු ඒක දැකලත් බයිනව.

"නිදකිං ලොරි දණ්ඩක්නෙ"

"මං හිතුවෙ බස්සෙකක් කියල"

ලොරිය අපිව පහුකරගෙන යද්දි හැමෝම ලොරිය දිහා කන්න වගේ බලනව. ලොරිය එලෝන එක්කෙනත් ඒ වගේම සෙනග දිහා බලනව. සෙනග ආයිමත් චර බර ගගා කතාව පටං ගන්නව. ඒ අතරෙ එතනිං යන ටීවිල් එහෙම සෙනග පහුකරගෙන ගිහිං නවත්තනව. එහෙම කරල සෙනග ගොඩේ ඉන්න තමුං අඳුරන කෙනාට විතරක් කතා කරනව. එතකොට එයා විතරක් ගිහිං තීවිල්ලෙකට නගිනව. ඉං පස්සෙ සෙනග එක්කහු වෙලා එයාට බනිනව.

"තව ඕන්තරං ඉඩ තිවුනා."

"මේ බැරි අමාරුකාරයෙක් දාං ගියානං මොකද"

මේ අතරෙ තනියම තොරණ බලන්න යන පුබ්බයිසිකල්කාරයොත් ඉන්නව. ඒගොල්ලත් සෙනග ගාවිං නවත්තල තමුං අඳුරන කෙනෙක් හිටියොත් බයිසිකලේ පොල්ලෙ නග්ගගෙන එක්කං යනව. එතකොට මිනිස්සු තීවිල්ලෙකේ ගිය කෙනා අතෑරලා බයිසිකලේ පොල්ලෙ ගිය කෙනාට බයිනව.