Follow by Email

Sunday, April 30, 2017

ගුවන් විදුලිය හෙවත් Air Electricity - 3

ගෙදර මිනිහ බීල ඇවිල්ල රණ්ඩු කරද්දි ගෙදර ගෑනිගෙ දත් එකිං එක අඩුවෙනව වගේ කලක් යද්දි අපේ තාත්තගෙ අඩන්තේට්ටං හිංදා රේඩිවේකෙ කෑලිත් අඩුවුනා. මාසෙකට දෙතුං පාරක් කෙරෙන ඉංගිරිසි වෙදකමට සැරිං සැරේ ගලෝල මුලිම්ම කැඩුනෙ SW -MW මාරු කරන රවුම. රවුම කැඩුනට රවුම හයිවෙන කූර ඉතුරු උනා. ඉං පස්සෙ SW -MW දෙක අතර මාරු කරන්න ඕනි උනහම පිහිය තලේ හරි මේස හැන්දක මිට හරි එහෙමත් නැත්තං පෙති ඉස්කුරුප්පුනිය හරි අර ගෙන ඒ කූරෙ මැද තියෙන පැල්මට රිංගවල කරකැව්ව. අපේ තාත්තට SW-MW මාරුවෙන්න වැදිල හිටපු දවසක කූර වැරදි පැත්තට කරකවන්න ඇති වීරියෙන් පිහිය තලේ කරකැවීම හිංදා පැල්මෙන් දෙකට බෙදිල තිවුන කූරෙ එක තටුවක් කැඩුනා. එයිං පස්සෙ ඒක කරකවන්න පුලුවං උනේ ඉතුරු තටුවෙ අගිං උල් අඬුවෙං අල්ලලා කැරකීමෙං විතරයි. ඒ වෙනකොට ඒරියල් එකෙත් අන්තිම පුරුක් දෙක ගැලවිලා ගොක් අත්ත කපාපු පොල් ගහ වගේ වුනා. අත්බෙහෙත්, ඉංගිරිසි බෙහෙත් කරලා අන්තිමට පිටිපස්සෙ තියෙන තහඩුවෙ තියෙන තඹ පාටිං ඇඳපු පාරවල් ටික හැට්ට කට්ටෙං හූරන කටු චිකිත්සාවත් අහන්නෙ නැති තරමට රේඩිවේක ඇට්ටර උනා. රේඩිවේක “රේඩි කබල“ බවට පත්වුනා.

මේ තියෙන්නෙ කූර - පිංතූරය අලි බබාගෙං


එක දවසක් හැන්දෑවක පුරුදු විදිහටම සරම පැත්තක් හරියක් වගේ උඩට උස්සගෙන බිමට කෙල ගගහ ගුන්තිලක මාමලගෙ වැට මායිමෙං තාත්තා මතුවෙනකං අපි බලාගෙන හිටියා. ඇඳිරි වැටීගෙන එනකොට තාත්තා වැට මායිමෙං මතුවුනා. හැබැයි එදා තාත්තගෙ සරම දෙපැත්තම එකම උසින් කොටුවක් වගේ තිබුණා. බිංදුවට ලැගල ඉන්න පුළුවං තරං දිග පෙට්ටියක් තාත්තගෙ කරේ තිබුණා. වෙනදට කුස්සියෙ දොරකඩට එහායිං තියෙන ගල්ගෙඩිය උඩ කකුල් තියාගෙන කකුලෙ ඉන්න කූඩැල්ලො අරං දාන්න නැවතින තාත්තා එදා කරේ තියෙන පෙට්ටිය අරගෙන කුස්සියෙං ගෙට ඇතුල් උනේ පෙට්ටිය උලුවස්සෙ නොවදින්න කොන්දත් පාත් කරගෙන.

“ඔය මේසෙ උඩ පිහදාං විගහට“

තාත්ත පෙට්ටිය කරේ තියාගෙනම අණ දුන්නා. මං මේසෙ පිහදාන්න කුස්සියෙ තියෙන වලං බාන පාංකඩේ අරං ආවා.

“ඕක නෙමෙයි අර හොඳ රෙද්දකිං පිහාං“

ඒ ගමන අම්මා විගහට රෙදි පෙට්ටිය අවුස්සල පරණ සරොං පලුවක් අරගෙන මේසෙ උඩ තිවුණ වතුර, පොල්තෙල්, විට වට්ටියෙං හැලිච්ච හුණු කුඩු, එහෙ මෙහෙ ගමං ගිය කඩි දෙතුං දෙනෙක් ආදී අඩුම කුඩුම සේරම එක ගොඩට පිහල දැම්මා. තාත්තා පෙට්ටිය මේසෙ උඩිං තියල ටෝච්චෙකත් අරං එලියට බැස්සෙ කකුලෙ කූඩැල්ලො අරං දාන්න.

“මේක මොකජ්ජෑඈ...“

නංගි ඇඳට නැගල මේසෙ උඩට නගින්න හදත්දි තාත්තා මිදුලෙ ඉඳං කෑගැහුවා. 

“ඔහෙ තිහාල්ල ඕක මං එනකං“

අම්මත් හැන්ද අතේ තියාගෙනම ඇහිල්ලා පෙට්ටිය දිහා බැලුවා. ඒ පෙට්ටියෙ පිට පැත්තෙ පීකර දෙකේ කැසට්ටෙකක් ඇඳල තිවුනා. 

“මොකද්දෝයි මේ“

කූඩැල්ලො අරංදාල ගෙට ඇහිල්ලා කමිසෙ ගලෝල රෙදි වනන ලීයෙ දාන තාත්තගෙං අම්ම ඇහුව.

“ඉන්නොවකො වියසල. පෙන්නන්න. තවුසෙ ගිහිං මට කහඩ්ඩිංගක් වක්කොන්නොවකො“

තාත්තට කහට ඩිංගක් වක්කොල්ල දෙන්න අම්ම කුස්සියට ගියා. තාත්තා කහට බීල ඉවර වෙනකං නංගියි මායි ඒ පෙට්ටියෙ තියෙන එක මොකද්ද කියලා හිත හිතා කැරකුනා. අපේ කුතුහලේ උපරිමේට ආවට පස්සෙ තාත්තා මේසෙ උඩ තිවිච්ච පෙට්ටිය අරං ඇඳ උඩිං තිබ්බා.




ඊළඟට ආයිත් සැරෙයක් මේසෙ අස් කෙරුවා. මේසෙ උඩ තිවුනු පරණ බෙහෙත් බෝතල්, කුප්පි, බෙහෙත් කවර, එහෙම කුණුමුල්ලට දාලා මේසෙ උඩිං දෙතුං දෙනෙක්ට ඉඳගන්න තරං ඉඩක් අස්කෙරුවා. ඊළඟට නියපොත්තෙං කොනහල පෙට්ටියෙ පියනට අලෝල තිවුණ ඇලෙන ඉටිකොල කෑල්ලෙ කොන පාදගෙන හීං සැරේ ගැලෙව්වා. ඊළඟට පියං දෙක ඇරල ඒකෙ තිවුන ඉටි කොලයක් දිගෑරියා. ඉටි කොලේ ඇතුලෙං අමුතුම හැඩේ රිජිපෝං කෑලි දෙකකුත් අරං ඇඳේ කොනකිං තිබ්බා. ඊට පස්සෙ

“ඔය පෙට්ටිය අල්ලගනිං“

කියලා පෙට්ටිය අස්සෙං දිග පෙට්ටියක් වගේ එකක් එළියට ඇදල ගත්තා. මගේ කට ඇරුනා. අම්මට “ආ..“ කියවුනා. අම්මගෙ අතේ තිවුණ හැංදෙං හොඳි බිංදුවක් මගෙ කකුලට හැලුනා.

අපේ අහලපහල කිසිම ගෙදරක නොතිබිච්චි තරං ලොකු පීකර දෙකේ කැසට්ටෙකක් තාත්තගෙ අතේ තිවුනා.





“ඔය පෙට්ටියෙ යට තීන රිජිපෝං කෑලි දෙක ගං. ඇරං මේසෙ උඩිං තියහං“

මං පෙට්ටියෙ අඩියෙ තිවිච්ච රිජිපෝං කෑලි දෙක අරං මේසෙ උඩිං තිබ්බා. ඒ දෙක එක එක අතට තියලා බලලා අන්තිමට කැසට්ටෙකේ දෙකොණට ගැලපෙන්න අච්චුව වගේ හයිකරලා පෙරලෙන්නැතුව තියන්න හදාගන්න අපිට පුළුවං උනා. 

කැසට්ටෙකේ මැද තියෙන කෑල්ලක් ඩිංගක් උඩට කරපු ගමං කබරයෙක් පිඹින්නා වගේ මහා “සෝ“ සද්දයක් මතුවුනා.

“හත්තිකේ හොද්ද උතුන්නවද කොහෙද“

හොද්ද උතුරලා ලිප පල්ලෙ හැලිලා ලිප නිවුනා කියල හිතාගෙන අම්ම කුස්සියට දිව්ව. 

“නෑඕයි මේකෙ සද්දෙ ඒ“

තාත්තා පැහැදිලි කරා. ඊළඟට මීටරේ කටුව දුවන පාරෙ පැත්තකට වෙන්න යංතං මතුවෙලා තිවුන රවුං කාලක් කරකවන්න පටං ගත්තා. අර සෝ සද්දෙ අස්සෙං තැනිං තැන

“සෝ.............................හග්..සෝ..............................බග්....සෝ....................“

කියල සේවා අහුවෙන්න ගත්තා. ඒ වුනාට කිසිම සේවයක් මනුස්ස කටහඩක් තේරුංගන්න අහන්න තරං හොඳට අහුවුන්නෑ. ඊළඟට තාත්තා රේඩිවේකෙ උඩු පැත්ත අතගගා හෙව්වා හෙව්වා හෙව්වා .... අන්තිමට 

“බලහං කොල්ලො මේක උඩ ඒරියල්ලෙක තියෙනවද කියල“

කියලා මට කිව්වා. ටෝච්චෙක අල්ලලා බලලා මං ඒරියල් එක හොයාගත්තා. ඊට පස්සෙ ඒක රේඩිවේකට හයිවෙලා තියෙන පැත්ත හොයාගන්න තවත් වෙලාවක් ගියා. අන්තිමට ඒක හරහට තිවුනට ඕන අතකට දිගාරින්න පුලුවං බව රේඩිවේකෙ පෙට්ටියෙ තිවුන පොතේ පිංතූර බලලා පැහැදිලි කරගෙන අපි ඒරියල් කූර දිගෑරියා. පරණ රේඩිවේකෙ ඒරියල් කූරටත් වඩා දිගට දිගෑරියට පස්සෙ ආයිමත් රේඩිවේකෙ සේවා අල්ලන රවුම කැරකෙව්වා. මීටරේ අන්තිම හරියට සේවයක් අහුවුනා. 

“න්නැලවෙන තුම්පත් රෑ නේ...ටනක් ටනක් ටනක්... සිරසයි පාන තියන්නේ“

හරියටම කියතොත් අපේ ගෙදර මේසෙ උඩ ඉඳං ඇත්තම මිනිහෙක් කතා කරන විදිහට පැහැදිලිවට සද්දෙ ඇහුනා. ඒ විතරක් නෙවෙයි වෙනදට වඩා පැහැදිලිව සංගීතෙත් ඇහුනා. අපේ කටවල් ඇරුනා. මං ඉපදුනාට පස්සෙ අපේ ගෙදර හතරදෙනාම එකට හිනාවුනේ එදා තමයි. ඒ විතරක් නෙමෙයි ඒරියල් කූරක් රේඩිවේකට ඇත්තටම ඕනි කොටහක් කියලා අපි තේරුම් ගත්තෙත් ඒකෙං. 

ඇත්තටම ඒ කැසට්ටෙකේ සේවා අහුවෙන්න ඒරියල්ලෙක නැතුවම බෑ. සිරස අහුවෙන්න නං ඒරියල් එක උඩට දික්කරල තියන්න ඕනි. සවන අහුවෙන්න නං ඒරියල්ලෙක හරහට හරෝල තියන්න ඕනි. ඒරියල්ලෙක කොටකරල තිවුනොත් සෝ සද්දෙ විතරමයි. එයිට අමතර වසයෙන් ඒකට සමහර සේවා අහුවෙන්නෙ අපි ළඟ ඉද්දි විතරයි. අපි ඈතට යද්දි සේවෙ පැහැදිලි නැතිවෙලා යනව. ඒ හිංදා අපි කවුරුහරි රේඩිවේක කිට්ටුවට වෙලා ඉන්න ඕනි. සමහර වෙලාවට කැසට්ටෙක ඉස්සරහිං කවුරුහරි යනකොට සද්දෙ වෙනස් වෙනව. ඒ හංදා අපි ඒකටත් කම්බියක් ඇමුණුවා. වැඩි කාලයක් යන්න කලිං කැසට්ටෙකට ඒරියල්ලෙක නැතුව බැරුව වගේ ඒරියල්ලෙකටත් කම්බිය නැතුව බැරිවුනා. වෙනදට ඒරියල් එකට විතරක් අහුවෙන සේවා සේරමත් කම්බිය නැති උණහම ඉස්ට්‍රයික් කෙරුවා.


බැට්ටියක දැන්වීමක්

අලුත් කැසට්ටෙකට බැට්ටි කෑලි හයක් ඕනි. ඒවත් අලුත්ම ඒව වෙන්න ඕනි. කැසප්පීස්සෙකක දෙපැත්ත අහපු ගමං බැට්ටි සේරම බහිනව. පරණ රේඩිවේක වගේ ටෝච්චෙක අහක දාන ඉඳුල් කන්න මේ අලුත් කැසට්ටෙක කැමති උනේ නෑ. ඒ හංදා අපේ ගෙදර ණය පොතෙත් බැට්ටි කෑලි ගාන වැඩිවෙන්න කලිං තාත්තා බැට්ටියකුත් ගෙනාවා. ඒත් එක්කම කැසට් පීස් කීපෙකුත් අපේ ගෙදරට ආවා. මුලිම්ම ආවෙ කවිබණ කැසට්. සමහර දවස්වලට බීල ඇවිල්ලා රණ්ඩුවෙන්න හේතුවක් නැතුවහම තාත්තා එයිං කැසට් පීස්සෙකක් කැසට්ටෙකට ඔබලා ඒක මුළු ගමටම ඇහෙන්න කෑගැස්සෙව්වා.


“සත්තපුරේ සිරිලක් පැංසියවුස්සායතනයේ කාලීන කවිබණ මාලා අංක දහ හතර මත්පැන් පානයේ ආදීනව මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කෙරෙයි. ටංක ටකං දඟර පටං....... බුංංං...“


අපේ ගෙදර කැසට්ටෙක නැන්ද ගෙනා කැසට්ටෙකට වැඩිය ලොකු එකක් හිංදා නැන්දගෙ ලොකුකම බැහැල ගියා. ඒ හංදා මට නැංදලගෙ ගෙදර යන්න තිවුණ තහනමත් නැතිවුනා. තහනම අයිංවෙලා කාලෙකට පස්සෙ මං නැන්දලගෙ ගෙදර ගියේ වෙනිං මොකද්දෝ වැඩකට. ගෙට ඇතුල්වෙන දොරකඩට කෙලිං ඉස්සරහ බිත්තිය අයිනෙ තිවුණ කබඩ්ඩෙක උඩ නැංදගෙ කැසට්ටෙක මල් පෝච්චි, බෝනික්කො වටකරගෙන දොරකඩ දිහා බලාගෙන හිටියා. හැබැයි අපේ කැසට්ටෙකට නැති අමුතු ආරක්සාවක් ඒ කැසට්ටෙකට තිබුණා. ඔව්, ඒ කැසට්ටෙකේ මැදිං දර මිටිය බැන්ද වගේ ටියුබ් පටි කෑල්ලකිං ගැටගහල තිවුනා.

නැන්දගෙ කැසට්ටෙක


ඒ වෙලාවෙත් කැසට් පීස් එකක් ඒක ඇතුලෙ රිංගගෙන කෑගගහ හිටියෙ. කැසට් පීස්සෙකේ සද්දෙට අමතර වසයෙං කැසට්ටෙක අස්සෙං විල්බැරැක්ක රෝදෙයක් කැරකෙනව වගේ සද්දෙකුත් ඇහෙමින් තිබුණා. අපේ තාත්තා අනාවැකි කියපු විදිහටම පියසේන මාමා කැසට්ටෙකට 'මැකෑනිස් වැඩේ' කරල තියෙන බව මට හිතා ගන්න පුළුවං උනා.


කැසට් පීස්සෙකේ එක පැත්තක් ඉවර උනා. අපේ ගෙදර කැසට්ටෙක නං ඒ වෙලාවට 'ටබක්' කියලා නැවතිලා කැසට් පීස්සෙක වැඩකරන සුවිච්චෙක උඩට ඇහිල්ලා සද්දෙ නවතිනවා. ආයි කවුරුවත් ගිහිං දෙවෙනි සුවිච්චෙක ඔබලා දොර ඇරලා පීස්සෙක අරං අනික් පැත්ත දැම්මොත් ඇරෙන්න ඒක වැඩ කරන්නෙ නෑ. හැබැයි නැංදලගෙ කැසට්ටෙක එහෙම උනේ නෑ.


පීස්සකෙ ඉවර උනාට කැසට්ටෙක නවතින්න කැමති උනේ නෑ. නැවතිලා ඉන්න ඇට්ටර පීස්සෙක කරකවන්න කැසට්ටෙක උත්සාහ කලා. තමුංව බලෙං කරකවන්න හදන කැසට්ටෙකට විරුද්දව පීස්සෙක අභ්‍යන්තර සටනක් ආරම්භ කලා. කැසට්ටෙක අස්සෙ වීමෝලක් දැම්ම වගේ "වර වර වර වර වර වර" කියල සද්දෙයක් ආවා. අපි හැමෝම ගල් ගැහිලා බලං හිටියා. තප්පර ගානක සටනකිං පස්සෙ 'දකස්' ගාලා Play සුව්ච්චෙක උඩට පැන්නා. උඩට ආවා නෙවෙයි උඩට පැන්නා. අඩි දෙකක් තරං උඩට විසිවෙච්ච සුවිච්චෙක බිත්තියයි කබඩ්ඩෙකයි අස්සෙං බිමට වැටුනා. ඒත් එක්කම කැසට් එකේ දොරත් 'දහ්' ගාලා ඇරුනා. අනෙක් කැසට්වල දොර ඇරෙන්නෙ ඇඟිලි දෙකක් දාන්න පුළුවං තරම ඉඩක් හිටින්න උනත් මේ කැසට්ටෙකේ දොර ඇරුනෙ ලොරියකට බඩු පටවන්න ඒකෙ පිටිපස්ස දොර අරිනව වගේ හරහටම වැටෙන්න. ඒ වේගෙට කැසට් පීස්සෙක විසිවෙලා සාලෙ මැදක් තරම ගිහිං බිම වැටුනා. උඩිං ආපු මේ අරුම පුදුම බාන්ඩෙ බලන්න හොස්ස දාපු බිංදුවව එලෝපු මම කැසට් පීස්සෙක අහුලගත්තා. නැංදා කොස්සෙං කබඩ්ඩෙක යට අතුගාලා සුවිච්චෙක හොයාගත්තා. ඒත් එක්කම ඉස්කුරුප්පු ඇන දෙක තුනකුත් හම්බවුනා.

"මේ තියෙන්නෙ කැසට්ටෙකේ ඇන ටික. මේක නැතිවෙලානෙ ඊයෙ පීසේන මේක මේ ටියුප්පටියෙං ගැටගැහුවෙ"

නැංදා ඒ ටිකත් අරං කබඩ්ඩෙකේ ලාච්චුවට දාල වැහුවා. 

මීට අවුරුදු දෙකතුනකට කලිං අපේ ගෙදරට ලොකු සෙටප් එකක් ගෙනත් තිබුණා. ඒ හංදා අපේ තාත්තා පරණ කැසට්ටෙක කාඩ්බෝඩ් පෙට්ටියක දාලා මට එව්වා. මං හදපු ඇම්ප් එකේ දෙපැත්තෙ පොඩි පීකර් දෙක විදිහට තාමත් පාවිච්චි වෙන්නෙ ඒ කැසට් එකේ පීකර් දෙක.

ඔය දෙපැත්තෙ තියෙන්නෙ ඒ බපල් දෙක තමා.

*****************************************************************************

බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගිහිං ඔබේ ඡන්දය ලබාදෙන්න. දැනටමත් සොඳුරු අතීතයෙන් බිඳක් පළවෙනි තැන අල්ලලා. දෙවෙනි තැන අටං අයියා අල්ලලා. තුන හතරත් ඒ කිට්ටුවම ඉන්නවා. මගෙත් ලිපි එකක් ඒ ලැයිස්තුවේ තියෙනවා.


බ්ලොග් පෝස්ට් වලට ඡන්දය දෙන්න මෙතැන ඔබන්න. එතැන පහල තියෙන ලිපි ලැයිස්තුවෙන් ඔබ කැමති ලිපි එකේ සිට තුන දක්වා ගණනක් මත ක්ලික් කරලා ලැයිස්තුවට පහලින් ඇති VOTE බොත්තම ඔබන්න. එවිට Facebook, Twitter හෝ G+ අතරින් ඔබ ලියාපදිංචි වී ඇති සමාජ ජාලයක් පාවිච්චි වී ලොග් වන ලෙස ඔබෙන් ඉල්ලනු ඇති. එයින් කැමති සමාජ ජාලය තෝරා ලොග්වන්න. ඔබේ ඡන්දය පාවිච්චි කිරීම අවසන් වනු ඇත.



Friday, April 21, 2017

ගුවන් විදුලිය හෙවත් Air Electricity - 2

රේඩිවේක ආයිමත් කට අරින්නෙ රෑට හතට විතර. තාත්තා ගෙදර ඇවිත් එයාගෙ ධර්ම දේසනාව පටං අරගෙන ටිකක් වෙලාවක් ගියාට පස්සෙ හදිස්සියෙම


"ර්ර්රංග.... අද සේඩිවේකෙ නාට්ටි තියෙනවද?"

කියල අහනව.

"ඇයියද මුවම්පැලැස්ස තියෙනොවනෙ"

මං උත්තර දෙනව.


"කීයටද් තියෙන්නෙ ක්හ්ං"


"දැම්පටං ඇරං ඇති"


තාත්තා තමුංගෙ කට වහල රේඩිවේක දානව.


"ටික්"


ඊළඟට ලොකු රවුම කරකෝන ගමං පීකරේ කිට්ටුවට කන දික්කරනව. ආයිමත් චිමිනි ලාම්පුව රේඩිවේකෙ කිට්ටුවට අල්ලල මීටරේ කටුව දිහා බලනව. මීටරේ එක කොනක ඉඳං අනික් කොනට යනකං ලොකු රෝදෙ කීප සැරයක්ම කරකැව්වට මුවම්පැලැස්ස තියෙන සේවෙ අහුවෙන්නෑ. ඒ ගමන රේඩිවේක බැනුං අහනව.


"මේ බඩකැවුත්ත ඒගාන අහුවෙන්නෑ."


තාත්තා ඒකට වෙදකං කරන්න පටං ගන්නව. මේකට පළවෙනියටම කරන්නෙ ගොඩ වෙදකං. අත්බෙහෙත් හැටියට ඒරියල්ලෙක පුළුවං තරං උසට දිගාරිනව. ඊළඟට ඒරියල් එකට ගෙදර තියෙන තරමක් කම්බි හොයල අමුණල එක කොනක් ජනේලෙං එලියට දානව. නැත්තං පුවක් කපන පිහියෙ මුවහත පැත්ත ඒරියල්ලෙකට ගාවනව. නැත්තං රේඩිවේක එක එක අතට හරෝල බලනව. මුනිං අතට තියනව. රේඩිවේක වටේ එක එක තැංවලට තට්ටු කරනව. ඇල කරනව. ඒත් මේ කිසිම අත්බෙහෙතකිං මුවම්පැලැස්ස තියෙන සේවෙ අහුවෙන්නෑ. ඒ හිංද තාත්තා බටහිර වෙදකමට යොමුවෙනව.


"මේ ඕයි"


තාත්තා අම්මට කතා කරනව.


"ඕ"


"අර කෙල්ලගෙ ඕඩිකොලොං බෝතලේ දෙනොව මෙහෙ"


අම්මා නංගිගෙ ඕඩිකොලොං බෝතලේ තාත්තට දෙනව. තාත්ත රේඩිවේක මේසෙ උඩ උඩුබැලි අතට හරෝල තියල විට වට්ටියෙ තියෙන පිහිය ඇරං ලයින් කඩන පොඩි රවුමයි, අඬ අඩුවැඩි කරන රවුමයි දෙකම යටිං පිහිය තලේ දාලා උස්සලා ඒ රවුං දෙකම ගලෝනව. ඒ රවුං දෙක උඩ පැනල මේසෙ දිගේ රෝල් වෙනව. මං ඒ දෙක අල්ල ගන්නව. ඊළඟට ඒ රවුං දෙක ගලෝපු තැන යටිං තියෙන කූරු දෙක දිගේ හොඳට යටට බහින්න ඕඩිකොලොං දානව. දාල පිඹිනව. ආයිමත් රවුං දෙක හයිකරනව. ඉං පස්සෙ ඒ දෙකම හත් අට පාරක් දෙපැත්තට කරකෝනව.

"ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ්"

"යාහුප් බාහුප් කාඋප් යඋප් හෙප් හොප්"

එතකොට රේඩිවේකත් තමුංගෙ රවුං කරකැවෙන හැටියට බහුබූත කියනව. ඉං පස්සෙ තාත්තා රේඩිවේක මුනිං අතට තියලා රේඩිවේකෙ පස්ස පැත්තෙ පියන අරිනව. බැට්ටි බටෙත් ගලෝනව. එතකොට රේඩිවේක අස්සෙ පදිංචි වෙලා ඉන්න කැරපොත්තො එහෙමෙහෙ දුවනව. තාත්තා ගුරුලේත්තුවෙ තියෙන දුංකල ගුලිය ලිහල දුංකල නැටි කෑල්ලක් අරං ඒකෙං කැරපොත්තංව එළියට ඇදල දානව. ඉං පස්සෙ සේවා අල්ලන රවුමෙ යටි පැත්ත කියල හිතෙන තැනටයි තවත් කොහෙද අහුමුළු දෙක තුනකටයි ඕඩිකොලොං දාල පිඹිනව. ආපහු බැට්ටි බටේ හයිකරල රේඩිවේක නැගිට්ටෝල අරගෙන අතට අහුවෙන ලොකු පොඩි රවුං සේරම හත් අට වතාවක් දෙපැත්තට කරකැව්වට පස්සෙ ඒ වෙදකමත් ඉවර වෙනව. සමහර දවස්වලට ඒ වෙදකමත් හරියන්නෙ නැතුවහම තාත්තා බොහොම දරුණු තීරණයක් අරගෙන


"මේකෙ රවුං මලකඩ අල්ලල."


කියලා ඕඩිකොලොං වෙනුවට කුප්පි ලාම්පුවෙ තියෙන ලාම්පුතෙල් ටිකක් රේඩිවේකෙ ඒ තැංවලට දානව.


ඔය සේරම කරලා යංතං සේවෙ අල්ලගෙන බලනකොට නාට්ටියෙ අන්තිම කොටහ. නැත්තං නාට්ටිය ඉවර වෙලා අන්තිමට නිවේදකය 


"ලබන සතියේත් මේ වේලාවටම ඒ බවර් සහ සමාගම ඔබ වෙතට ගෙන එයි... ටනනං ටනනං ටනනං ටනනං ටට්ටා ආාාාා .... මුවංං   පැලැස්ස...."


කියල කියනව. ආං එතකොට අපේ තාත්තට යකා වැහෙනව.


"ඉඳකිං රේද්ද... මේ කැවුතුකැටිය"


කියලා රේඩිවේක බිම දාලා ඇඳයට්ට විසිවෙන්න පයිං එකක් ගහනව. ඒ වෙලාවට බැට්ටි බටේ පැන්නොත් රේඩිවේකෙ සද්දෙ නවතිනව. එහෙම නැත්තං රේඩිවේක තාත්තට ඔලොක්කුවට වගේ ඇඳයට ඉඳං දෙමළ සිංදුවක් කියනව.


"ඩඟර පටං ඩඟර පටං..ටං ටං ටං ටටං ටටං. ආඩාාා....... අඩේ ...... පූඩා....."


ඒ වෙලාවට මං කොස්ස ඇඳ යට්ට දාලා රේඩිවේක ඇදල අරං ඒකෙ සද්දෙ වහනව.


මුවම්පැලැස්ස ඇරුණම ආයිත් තිවුනෙ "රහස් පරීක්ෂක නාට්ටිය" කියල එකක්. කඩිගුලක් උඩ ඉඳගත්ත කෙනෙක් උඩ පැනල පස්ස බදාගෙන කෑ ගහනව වගේ බොහොම බයානක සද්දයක් ඒ නාට්ටියෙ මැද හරියෙ දාන හිංදා මං ඒක අහන්න බයයි. ඒකෙ තියෙන්නෙත් බය හිතෙන කතා. ඒ බය හිතෙන දේවල් සේරම අහං ඉඳල මං රෑට දොට්ට යන්නෙ ඇස් දිස්ටි මානෙ තියෙන හැම ගහක් කොලකටම ටෝච්චෙක අල්ලල ඒ කොයියම්ම එහෙකවත් හොල්මනක්වත් ඇටරැකිල්ලක්වත් ලේ පෙරාගත්ත ගෑනියෙක්වත් නෑ කියල සහ සුද්දෙම්ම දැනගෙන. ඒත් අමතර ආරස්සාවට අම්මත් මගෙ පිටිපස්සෙම්ම ඉන්න ඕනි. 


මේ රේඩිවේක කියන භාණ්ඩෙ වැඩකරන විදිහ ගැන විජය පත්තරේ ලිපියක් කියෙව්වට පස්සෙ මට අපේ රේඩිවේක වැඩිදියුණු කරන්න ඕනි වෙනවා. ඒ හංදා එහෙං මෙහෙං හොයාගත්තු තඹ කම්බි, යකඩ කූරු එක්කහු කරලා පොල්කට්ටක් විතර ලොකු මකුළු දැලක් වගේ අරුම පුදුම ඇන්ටනාවක් මං හදාගන්නව. ඊළඟට බැට්ටි වෑර් කෑල්ලක් හොයාගෙන ඒක පලල ඒක අස්සෙ තියෙන කම්බි ටික අරගෙන එකිං එකට කොනිං කොන තියල අඹරලා දිග කම්බියකුත් හදාගන්නව. අන්තිමට ලාඩප්ප කෝට්ටක අමුණපු ඇන්ටනාව මිදුලෙ හිටෝල ඒකෙං ඇදගෙන ආපු කම්බිය ඒරියල් එකට ඇමුණුවහම SW පැත්තෙ වෙනදටත් වඩා සේවා අහුවෙනව. ඒ සේවාවල සමහර බාසාවල් මං ජීවිතේට අහලත් නෑ. එයිං එක සේවයක් මෝටරයක් කැරකෙන සද්දෙං මුළු දවසම "ට්ර්ර්ර්ර්රර්" කියනව. තව එක සේවෙක මිනිහෙක් සැරිං සැරේ


"පප්පා................ චාලී........................ඉස්සා................ ටැංගෝ"


කියනව. තව එක සේවයක් දවස පුරාම


"කීකීක් කීක් කීක් කීකීක් කීක් කීකීක් කීකීක් කීක්"


කියනව. ඒව පිටසක්වල රේඩියෝ සේවා කියල මට හිතෙනව. මේ ඔක්කොම ගෙදර කවුරුවත් නැති දවස්වල දවල්ට විතරයි. අනික් වෙලාවට මගෙ ඇන්ටනාව අටුවෙ හංගල තියෙන්නෙ මගෙ පර්යේසන ගැන දැනගත්තොත් තාත්තා මගෙ "ඇස් දෙකේ ඉඳං පට්ට ගහන" හිංදයි.


ඔය විදිහට මගෙ පර්යේසන වලිං "සමස්ත ඉංදීය ගුවංවිදුලිය" කියල එකක් හොයාගන්න මට පුළුවං වෙනව. දවාලක ඒ සේවෙ අහපු වෙලාවක ආපහු සේවෙ වෙනස් කරන්න බැරිවෙලා රෑට අපේ තාත්තා රේඩිවේක දාපු ගමං සමස්ත ඉංදීය ගුවන්විදුලිය සිංහලෙං ප්‍රවුත්ති කියන්න පටං ගන්නව. එදා ඉඳං හැමදාම අපේ තාත්තා රෑට ප්‍රවුත්ති අහන්නෙ ඒකෙං. සමහර දවස්වල හවසට කඩේ ගාව කයිවාරු ගහන අය


"මන්නං පවුත්ති අහන්නෙ වෙරිටාස්සෙකෙං. ඒකෙං කියනව හරියටම ඇත්ත විස්තරේ"


කියද්දි අපේ තාත්තා ඒ පම්පෝරියට දමා ගහන්නෙ සමස්ත ඉන්දීය ගුවංවිදුලියෙං.


"එයිට වඩා ඇත්ත කියනව හැබැයි අර සමස්ත ඉංදියා ගුවංවිදිලියෙං. හරියට හතකුග් ගාන්ට පටං ගන්නෙ. බලාහිටිය වගේ කියනොව. හොඳට අඬ තියෙන සේවෙයක්. මීටරේ මැද හරියකට අහුවෙන්නෙත්."


ඔය අතරෙ තමයි "ශ්‍රී ලංකා බුවංවිදුලිස් සංස්තාවේ වෙළඳස් සේවයයි" කියන සේවෙ තමුංගෙ පැටි පැටවු රෑනත් එක්ක FM පැත්තට පනින්නෙ. FM නැති අපේ රේඩියෝ වලට ඒ පැනිල්ල නොදැනුනාට ඒ පැනිල්ලත් එක්ක ජීවිතේට අහපු නැති අලුත් සිංදු රේඩිවේකෙං ඇහෙන්න ගන්නව. කැසට් තියෙන ගෙවල්වල අය නං


"දැන්නං වෙළඳ සේවෙ පැහැදිලියි කියන්නෙ මේ ළඟ ඉඳං කතා කොන්නොව වගේ"


 කියල කියනව. ඒව අහං ඉන්න අපේ ගමේ අනික් අයත් පුළුවං හැටියෙං තමුන්ටම කියල කැසට්ටෙකක් ගන්නව. ගෙදර තියෙන පරණ රේඩියෙක අල්මාරියට දානව. නැත්තං අටුවට විසික් කරනව. ඒ රැල්ලට අහුවෙන අපේ නැංදත් මාසෙයක් දළු කඩාපු සල්ලි එක්කහු කරල ඉතුරු ටික මාසෙයක් ගානෙ ගෙවන පොරොන්දුව පිට තනි පිකරේ කැසට්ටෙකක් ගේනව.



අලුත් කැසට්ටෙක ගෙදර ගේන ගමං අපේ මිදුලෙං පාතට බහින නැංදා ගල්වැටිය උඩ නතරවෙලා කැසට්ටෙකේ පෙට්ටියෙ පිටිං ඇඳපු රූපෙ විතරක් අපිට පෙන්නනව.


"මේං මේ ජාතියෙ සූපේ තියෙන ජාතියෙ එකක් ගෙනාවෙ."


"ඕක එලියට ඇරං පෙන්නන්නකො නැංදෙ අපිටත්"


නංගියි මායි කියනව.


" බෑ බෑ බෑ බෑ. මෙතෙන්නං එළියට ගන්න බෑ. ගෙදර ගිහිං තමා එලියට ගන්නෙ. ඕන්නං තව ටිහිකිං එන්න බලන්න ඕන්නැං."


එයිං පැය බාගෙකට විතර පස්සෙ නැන්දලගෙ ගෙවල් පැත්තෙං මහා හයියෙං ඇහෙන මහ පිරිත අපේ කං අස්සට රිංගනව. මං නැංදලගෙ ගෙවල් පැත්තට අඩිය උස්සනකොටම අපෙ අම්මා මට බයිනව.


"තෝ යන්නෙපා උංගෙ ලොක්කං බලන්න. ගියොත් අඬු කඩ්නොව දැනගං."


අම්ම ඉලපත අතට ගනිද්දි මං නවතිනව. රෑ වෙලා ගෙදර එන තාත්තත්


"මොකද්ද අර මැණිකලෑ ගෙවල් දිහාවෙං මහ හයියෙං එකාකාරෝම බලියනව ඇහෙන්නෙ ඕයි"


කියල අම්මගෙං අහනව. ඒ නැංදලෑ ගෙදෙට්ට ගෙනාපු අලුත් කැසට්ටෙක බවත්, ඒක හැංදෑවෙ ඉඳංම ඔය විදිහට බලියන බවත් අපේ මිදුලෙදි ඒක දිගෑරල පෙන්නුවෙ නැති බවත් ඕන්නැං බලන්න එහෙට එන්න කියපු බවත් මං කියනව. මට උංගෙ ලොකුකං බලන්න යන්න නොදීපු බව අම්ම කියනව. ඒ සේරම අහගෙන ඉන්න තාත්තා ඒ ගැන අනාවැකියක් කියනව.


"ඔය කොයික ගෙනාවත් වැඩහ්නෑ. පීසේන මල්ලි ඕකටත් වැඩිකල් නොගිහිං මකබාස් වැඩේ කොරයි."


එදා ඉඳං හැමදාම මහ පාන්දර දෙකට තුනට නැන්දලගෙ ගෙදර කැසට්ටෙක මහ සද්දෙට පිරිත් කියද්දි අපිව උඩ විසිවෙලා ඇහැරෙනව. බිංදුවා ටකරමත් පෙරලගෙන පෝර කවරෙත් පටලවගෙන මිදුලට පනිනව. ඒ සද්දෙට කලබල වෙලා වත්තෙ කුකුලොත් ඇහැරිලා නිදිමතේ අඬලනව. රේඩිවේකෙ උදෑසන දම්ම චිංතාව කියන  සද්දෙට අපේ ගෙදර කුස්සියෙ වලං මුට්ටිත් හෙල්ලෙනව. පාන්දර දේශාභිමානී ගීත ඇහෙද්දි අපේ තාත්තා එඩිතරව නැගී හිටිනව.


"අම්ප මේකි මේ කෙහෙම්මලක් ගෙනැත් බලියෝන හැටි. කිසියම්ම කිසි මිනිහෙට්ට නිංගක් ඇහැ පියවන්න නෑනෙව."


උදේට ඉර පායලා, පාංකාරයත් ඇවිල්ලා, ළමයි ඉස්කෝලෙත් ගිහිල්ලා, අනික් ගෙවල්වල අයත් වැඩට යද්දි නැංදයි, මාමයි දෙන්නත් වැඩට යනකොට කැසට්ටෙකත් කට වහගෙන තමුංගෙ දෑවැද්දට හම්බුවෙච්ච පෙට්ටිය ඇතුළට රිංගල නිදාගන්නව. ආයිමත් හවසට ඒ දෙන්නා ගෙදර ආපු ගමං කැසට්ටෙක එලියට ඇවිල්ලා ගමටම සිංදු අස්සවන්න පටං ගන්නව. ඒ සද්දෙට මූන දෙන්න බැරුව අනික් ගෙවල්වල රේඩියෝ සේරම කට පියාගෙන ඉන්නව. අපි නිදාගනිද්දිත් රෑ නමේ ප්‍රවුත්ති ප්‍රකාශය නැන්දලගෙ ගෙදර ඉඳං කන්ද නැගගෙන ඇහිල්ලා අපේ ගෙදර දොරෙං රිංගලා අපේ කං වලට අනිනව.


මේ විදිහට ගමටම රේඩියෝ අස්සවන එකේ ආනිසංස හැටියට නැන්දගෙ නමට තියෙන කඩේ ණය පොතේ දවස් තුන හතරකට සැරයක් බැට්ටි කෑලි හතර ගානෙ ලියවෙනව.





බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගොස් ඔබ කැමති බ්ලොග් ලිපි තුනකට ඡන්දය දෙන්න. මෙතැන ඔබන්න.

Thursday, April 13, 2017

අවුරුදු සෙල්ලං හෙවත් The donkey game and other games


"වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි........ මේ තමයි අපේ ජාතියේ ඒ බැඳියාව සංකේතවත් කරන, ඒ අනභිබවනීය, ඒ සාර්වත්‍රික, මනෝ බද්ධීය, ඒ ... ඒ.... ඒ.... මා හැඟි හැදියාවේ එකතුව හුවා දක්වන මා හැඟි වස්තුව. එවැනි රටක ඉපදුනු අපි අපේ මාහැඟි සංස්කෘතියේ මහා උත්කර්ශවත් මවුලී මංගල්ලයේ උත්කෘෂ්ඨ වාත්සල්‍ය ගෙනහැර දක්වන මහා ආනන්දනීය විභූතිමත් අද්විතීය මුවදොරකටයි මේ පැමිණ තිබෙන්නේ. දේශයේ අංක එකේ නාලිකාව අකුරු තුනේ නාලිකාව සහ දැම්මොත් ගනු බැරි බැංකුව එක්ව ඔබගේ ඉස්තෝප්පුවේ පාපිස්ස උඩට ගෙන එන හෙළයේ මහා අසිරිමත් මංගල්ලය ඉර මගුල මහා දැවැන්ත සංස්කෘතික චිත්තාකර්ශනයයි මේ.  අපේ එදා තිබූ සුහැදියාව, සුනම්‍යත්වය, ඒ මහා ජවාස්කන්ධය රටට ගමට කියාපෑ අපේ ඉපැරණි මහා ග්‍රාමීය සංස්කෘතික පෙළහැරේ ශක්තිය, තේජාන්විත බව, උත්කෘෂ්ඨත්වය, මෙව්වෑක පිළිඹිබු කළ අපේ හෙළ ජන ක්‍රීඩා ගැනයි අපි මේ කොලබොක්කාව වැව්තාවුලේ තේජාන්විත වනස්පතියක් මූලයේ මස්තක ප්‍රාප්තවී විශ්ලේෂණය කොට ඔබ හමුවේ පරිශිෂ්ඨ කිරීමට බලාපොරොත්තු වන්නේ.......



අදත් ඒ සඳහා අප සමග ඒ සඳහා පිළිවෙතින් සුසැදිව පේවී සංගෘහිතව සිටින්නේ තුම්මුල්ල සරසවියේ ජේස්ට කටකතාචාර්ය අත්තනඇට පොරෝ මහතා, ඔබතුමා පිළිගන්නවා මේ සභාවට ගවුරවයෙන්, ඒ වගේම මහාචාර්ය ජිරාප් මුට්ටියප්පෙරුම මහතාත් සාදරයෙන් පිළිගන්නවා මේ විද්වත් කතිකාවතට, ඒ වගේම නාට්‍ය හා රංගකලා මහාචාර්ය අසුවල් වංසේ නාසාදික මහතා සහ ඒ වගේම විශාරද කලාවේදිනී අසුවල් මහත්මියත් මේ සභාවට මහත් බෞමානයෙන් යුක්තව පිළිගන්නවා.



මා පළමුවෙන්ම යොමුවන්නට කැමතියි අපේ නාසාදික මහතා තුමා වෙත, ඔබතුමා මේ සම්බන්ධයෙන් ප්‍රවිශ්ඨයක් ලබාගන්නැයි මා ඉල්ලා සිටිනවා."


"හොඳයි හට්ටි, මං පැරණි ජන ගියකිං මෙයට පිවිසෙන්නම්."


"තක්ක..... තකිඳ..... දික තක දිග ............
දිගත තකිද තක තා..... තා....ආාාආාාාා...........

සිප්පි හයක.......... දෑතට අ...ර.......... ගෙන සොලවා.....ආාාා........
එක්කොම ටික.......... බිමට දමපු කළ සොඳවා..........ආාාාා........
හයම උඩට .............. කට ඇරගෙන........ සිට ලෙසටා....ආාාාා......
බොක්ක දමපුඌ...... ලෙස කියුවයි......... පිරිස ඥෙදා.....ආාාාා......"


ජිං තකබුං තක බුං තක තක තක බුං බුංබුං තකතකතංබුං තකං දොහ්"


"හට්ටීඊඊ. මං ඒ ගායනා කලේ අපේ පංච කෙලිය ගැන..... එහි මූලාරම්භය ගැන...... කියවෙන පල්ලම් පත්තුවේ ගැමියන් අතර වියවහාර වන ජන ගීයක්. එහි සඳහන් වෙන්නේ පංච කෙලින පිරිස අතරින් යමෙක් මේ පන්ච බෙල්ලන් හය දෙනා අතට ගෙන වැරෙන් සොලවා... මෙන්න මෙතන මේ පංච බෙල්ලන් සෙලවීම..... ගැන..."



"හට්ටී.... මට සමාවෙන්ඩෝන............ මේ නාසාදික මහත්මා................ මේ කියන රත්තරං වටින කතාවට මට......... යමක් එක්කාසු ගරන්ඩ ඉඩ දෙන්ඩ............ ඔබතුමා... සඳහන් කලා.... බෙල්ලන් වැරෙන් සොලවන්ඩ ඕනැ කියා..... නඹුත්.... අද බලන්ඩ අබේ ඛොල්ලො ඛෙල්ලො ඛාටවද් බෑ අඩුහ්ම ගානෙ පංච බෙල්ලො ටිකවත් හරියාකාරව හොල්ලගන්ට..... අපේ එක ඛෙල්ලෙක් ඉන්නවද හරියට මේ බෙල්ලෙක් හොල්ලාගන්න..... මේ ... පංචා බෙල්ලෙක් හොල්ලා ගන්න පුළුවං... නෑ.... අද බෑ...... ඒ හංදා අපි ගේන්ඩෝන අබේ මැල්ලුං මුට්ටිය ආපහු.... පර සුද්දා එදා අපෙං අරංගිය ඒ.... මැල්ලුං.... මුට්ටිය ආපහු ගෙනත් කවන්ඩෝන මේ ඛොල්ලන්ට ඛෙල්ලන්ට.... මොකකටවත් නෙවෙයි..... අඩුම ගානෙ......අඩ්ඩුම ගානෙ පංච බෙල්ලො ටිකවත් හොල්ලන්ඩ තරං හයියක් මේ මාත්තුරු භූඹියෙ තියෙන්ඩ අපි එතෙන්ටයි හට්ටී යන්ඩෝන..... ආං එදාටයි අපේ පංච දැමීම, පොර පොල් ගැහීම,   අං ඇඳීම, ගුඩු පැනීම, පීරිසි කුට්ටං ඇල්ලීම වගේ ජන ක්‍රීඩා..... නැගී හිටින්නෙ...."



මේං මේ ආකාරයේ කතාවක් අනිවාරයෙන්ම අවුරුදු දාට ඔබේ ගෙදර රූපවාහිනියෙං බලන්නට පුළුවනි. හැබැයි ඒ කියන ජන ක්‍රීඩා බලන්නට ඔබේ හය හතර නොදත් දරුවාට ඕනෑ උනොත් එව්වා ජන කලා කටුගෙයිවත් නැති බවත් කියා දෙන්නට ඕනෑය.


ඇන්කර් පෙට්ටියක අලෝපු තැනිං ගලවලා දිගෑරලා, වටේට තියෙන හතරැස් කොටු, දිග කොටු කෑලි ටික කපලා දාලා ඇරගෙන ඒකෙ ඇතුල් පැත්තේ කන කොකාගෙ පාට උඩිං පැටිග්ගම් එහෙකිං ඇඳපු පංචි කොලයක් අපේ මාමා හදල තිවුනා. ඒක නැත්තං මාමා ඉස්කෝලෙං ගෙනා රටහුණු කැටේකිං බිම සිමැන්තියෙ උනත් පංචියක් ඇඳගන්න පුංචම්මට පුළුවං. ලොකු පුංචම්මලගෙ පවුල් දෙකේ උදවිය ආපු දවසට සිංදු කියනවට අමතරව පංචි දැමිල්ලත් කෙරෙනවා. එදාට ආච්චම්මගෙ කබඩ්ඩෙකේ තියෙන පංචි බෙල්ලො ටික තමුංව ඔතල තියෙන හඩු ලේන්සුවෙං මිදිලා හුස්ම ගන්නවා. කට්ටිය අඩු දවසක නං මටත් පංචි දාන්න හම්බු වෙනවා. නැත්තං අනික් අය සාලෙ බිම ඉඳගෙන පංචි දාන අතරෙ සාලෙ අයිනෙ තියෙන වි ගෝනියක් උඩට වෙලා ඒ දිහා බලා ඉන්නත් මට පුළුවං. හැමදාම අයියයි අක්කයි දෙපිලට බෙදිලා අන්තිමට දිනපු පැත්ත පැරදුනු පැත්තට නින්ද යනකම්ම හූ කියන මේ සෙල්ලම කෙරෙන්නෙ පවුලෙ කට්ටිය එක්කහු වෙච්ච දවසක විතරයි.

ඒ වුනාට අවුරුදු සෙල්ලං කියන්නෙ එ්ව නෙවෙයි.


“මේ ගමන සෙල්ලං කර්න්නැද්ද මැණිකෙයක්කෙ?“

පළවෙනි රතිඤ්ඤෙ පත්තු වෙන්නත් කලිං, පාංකාරයට කේක් ඕඩරේ දෙන්නත් කලිං, කොටිම්ම කොහා අවුරුද්දට කෑ ගහන්න “ක“ යනු “හ“යනු පාපිලි ටික හොයාගන්නත් කලිං අපේ ගමේ අය පුංචම්මගෙ කඩේට ඇහිල්ල අහන්නෙ ඒක. 


“ආයි නං කවම කවරදාකවත් කරන්නෑ කියල ගියපාරම කිව්වෙ ඒකනෙ. මෙතන රණ්ඩු බේරන්න බෑනෙ අපට“


“ඒකට බීපු එවුන්ට එන්න නොදි හිටියං ඉවරයි. ඒක අප්බලාගන්නං. මේ ගමනත් සෙල්ලං කරමු“


ඔය විදිහට දහ අතේ පොරොන්දු දුන්නට පස්සෙ මහගෙදර සෙල්ලං කෙරුවාවට ඉඩ හැදෙනව.
ඒ අතරින් ඉස්කෝලෙ යන පොඩි ළමයි, ගෑණු ළමයි වගේ අයට සෙල්ලං කරන්න හැදෙන්නෙ අඹ ගහ යට. අවුරුද්දට කලිම්ම පටං ගන්න මේ සෙල්ලම් කෙරුවාව නොනගතේට නැවතිලා ආයිමත් හුස්මක් අල්ලලා පටං ගන්නෙ නැකතට කෑවයිං පස්සෙයි. ලැල්ලකට ගලකිං ගැහුව වගේ ඇහෙන “ටක්“ ගාන සද්දෙට කාසි පුරෝපු සාක්කුවක් තියෙන ඕනිම ක්‍රීඩාශීලී ළමයෙක් ඇදිල යනව.


“මේ පහාඩුයි.... මේ පහාඩුයි....“


ආ වැඩියි“

“මේ පහත් වැඩියි“


“මේ දහයම අඩුයි... මේ දහයම අඩුයි“

රුපියල් දෙකේ, පහේ කාසි ජෝඩු දාල බිමට වැටෙනව

“කැටේ හොල්ලල ගහන්නෝනෙ. හරෝල ගහන්න බෑ.... හරිද?“


“ටක්“


“මට කැටේ... මට කැටේ.... අල්ලන්නෙපා“


වැඩි වෙලාවක් නොගිහිං එතන ගාලගෝට්ටියක් වෙද්දි අපේ ආච්චම්මයි, පුංචියි කෑ ගහනව.


“ළමයි කෑගහන්නෙපා..... පොලිස්සියෙං පනියි කෝලහලෙ මොකද බලන්න“


ඔය අතරෙ සමහර "අලුකුත්තේරු එවුං" එකෙක් කැටේ ගහද්දිම කැට ලැල්ලට 'චීන පටස්' ගුලි වලිං ගහනව.  කැටපොලේ ඉන්න අය පණ කඩාගෙන දුවනව.


රුපියල් පහක් අරං එන ගල්කොටුවෙ ආනන්දය රුපියල් පනහ හැට අරගෙන ආපහු යද්දි නාවලවත්තෙ ළමයි අවුරුද්දට වැඳල හම්බුකරගත්තු රුපියල් දහය පහලොවත් නැතුව ගෙදර යනව.


අහල පහල වැඩිහිටි ක්‍රීඩකයො පාර දිගේ යද්දි මේ වගේ කැට පොලක් දැක්ක ගමං නවතිනව. බයිසිකලේ පැටල්ලෙක බිමට හිටින්න හේත්තු කරල හරි එහෙමත් නැත්තං බිත්තියකට හේත්තු කරල හරි කැට පොල ගාවට කිට්ටු කරල එතන ඉන්න කෙනෙක්ගෙං 


"මේ.... මෙතන සෙල්ලං කරනෑය කොහෙද ඉන්නෙ ළමෙයො?"


කියල අහනව.


"අර එහා පැත්තෙ අයිනෙ මඩුවෙ"

පොඩි එවුං උත්තර දෙනව. පාර අයිනෙ කැට පොලක් තියෙනව කියන්නෙ ඒ පිටිපස්සෙම තැනක කුට්ටමේ සෙල්ලං කෙරෙන තැනකුත් කෙරෙනව කියන එකයි. ඒ විත්තිය දන්න අය දන්නව. ඔය විදිහට අපේ පුංචම්මලෑ මහගෙදර පිටිපස්සෙ තියෙන මාමගෙ කාමරේ එක 'සෙල්ලං කරන තැනක්' බවට පත්වෙනව. කලු මාමගෙ කඩේ ඉස්සරහ කැට පොල තියෙනව කියන්නෙ එයිට පිටිපස්සෙ කෝපි ගාලෙ 'සෙල්ලං කරන' තැනක් තියෙනව කියන එකයි. ඒ විදිහට ගම පුරාම පාරක් ගානෙ අඩු නැතුව සෙල්ලං කරන තැං තියෙනව.


ඒ තැංවල හුඟක් වෙලාවට ඉන්නෙ පිරිමි අය විතරයි. ඔට්ටු ඇල්ලිල්ලත් කැට ගැහිල්ලට වඩා ගානිං වැඩියි.

"මේ සීයප්පරදි"


"මේ දෙසියප් පරදි"


"ආ මේ දෙසිය දිනුං"


කුට්ටම අනල දුන්නම, ඒක කපන කෙනා කොලේ කියනව. කුට්ටම අනපු කෙනාම කොලෙං කොලේ දෙපැත්තට බෙදාගෙන බෙදාගෙන යනව. හැමෝම සද්ද නැතුව බලං ඉන්නව. හරි කොලේ වැටිච්ච ගමං උම්බලකඩ කෑල්ලක් දැක්ක බලල්ලු ටික වගේ හැමෝම පොරකනව.


"ඒක මගේ ඒක මගෙ"


"නෑ නෑ මං දිනුං ඇල්ලුවෙ"


සුදුවැලිපොත ආතර් කඩේ ගාව වගේ සමහර තැංවල ඔට්ටු අල්ලන්න පුළුවං රුපියල් පන්සීයෙං එහා ගණං විතරයි. ඒ රස්නෙ කඩේ ඉස්සරහ තියෙන කැට පොලටත් දැනෙන හිංදා එතනත් කාසි ඔට්ටු අල්ලන්න බෑ. අඩුම ඔට්ටුව දහය. ඒ වගේ තැංවලට එන සමහර ක්‍රීඩකයො මුළු සෙල්ලම් පොලේම තියෙන සල්ලි ටික තමුංගෙ ඔඩොක්කුවට ගන්නෙ පැය බාගෙං. එතන ඉන්න හැමෝම හින්දපු ගමං සල්ලි ටිකත් ඔඩොක්කුවට දාගෙන තව සෙල්ලම් පොලකට යනව. ඒ විදිහට දිනපු ලස්මගෙ අයියා ඒ සල්ලි වලිං අලුත්ම අලුත් ලොරියක් ගෙනැත් අවුරුද්දෙං පස්සෙ දළු එක්කහු කලා. හැබැයි ඊළඟ අවුරුද්ද වෙද්දි එයා ලොරියත් නැතුව පුස්සයිකලේටම වැටුනා.


හැම අවුරුද්දෙම අඬන පුංචම්මත් අනික් පුංචම්මත් තුමංගෙ දරු පවුල් පිරිවරාගෙන මහගෙදරට එන දවසට රෑට පවුලෙ අයයි, විස්වාසවන්තම කීප දෙනෙකුයි එක්කහු කරගෙන වෙනම සෙල්ලං පිටියක් තියනව. එදාට මාත් අපේ අම්මත් ඇර අනික් හැමෝම කොල කුට්ටමේ සෙල්ලමට යනව. අයියයි, අක්කයි, පුංචම්මයි, බාප්පගෙං සල්ලි ඉල්ලගෙන ඔට්ටු අල්ලනව. අපේ ආතත් රුපියල් සීයක් ගෙනත් ඔට්ටු අල්ලනව. ඒක පැරදුනහම කාමරේට ගිහිං ලාච්චුව ඇරල, ටින්නෙක ඇරල, පෝස්සෙක ඇරල තව රුපියල් සීයක් අරං එනව. ඒකත් පැරදුනහම ආයිත් ගිහිං ඒ විදිහටම සීයක් අරං එනව. අපේ තාත්තා රුපියල් දාහක් විතර පැරදුනහම කාඩ් කුට්ටම පොලවෙ ගහල නැගිටිනව. අඬන පුංචම්මයි, අයියයි, අක්කයි පැරදුනහම බාප්පව බදාගෙන අඬනව.


"අනී ජෝගේයපි ඔයා ජුක් මාංචියෙං ඔයච චල්ලි චික පලාද කෙලුවාආාා"


"අනී තාත්තී..... අපි ඔයාගෙ සල්ලි නහත්ති කෙලුවා...."


මං කඩදාසි කුට්ටමේ තියෙන නැට්ටුව ඉන්න කොළ දෙක අරගන්නව. ඊට පස්සෙ පැදුරු දෙක අකුලල තියනව.


 සූදුවට යන්න හොඳ නැති බවත් ඒ හංදා පවුසිද්ද වෙන බවත් පන්සලේ හාමුදුරුවො බණට කියනව. ඒ හංදා උපාසක උපාසිකාවො කවුරුවත් කැට පොලකට, බූරු පොලකට යන්නෙ නෑ. ඒ අය වෙනුවෙං පන්සලට හැරෙන තැන ගෙදර ඉන්න රඹුටං ආතා ගෙදර ඉස්තෝප්පුවෙ වෙනම සෙල්ලමක් පටං ගන්නව. මුලිම්ම සල්ලයිට් කැට දෙකක් හැමෝටම පේන්න පැදුරෙං තියනව. ඉං පස්සෙ


"ආ... හැවෝම පහ ගානෙ දාන්න"


ඉතිං මිනිස්සු රුපියල් පහ ගානෙ පැදුරට දානව. ඊට පස්සෙ රඹුටං ආතා සුරුණ්ඩු කරපු කඩදහි කෑලි ටිකක් හොලෝල පැදුරට දානව. සල්ලි දාපු අය ඒ ටික පොරකාල ගන්නව. එතනිං අංක එක, නැත්තං ලොකුම අංකෙ තියෙන තුණ්ඩුව ලැබිච්ච එක්කෙනා සබං කෑලි දෙක දිනනව. රඹුටං ආතා පහේ කාසි ටික එක්කහු කරගන්නව. රුපියල් විස්සක් විසිපහක් වටින සබං කැට දෙක දීලා රඹුටං ආතා රුපියල් පනහක් විතර එක්කහු කරගන්නව. ඒ විදිහට සබං කැට, පවුඩර පෙට්ටි, සබං පෙට්ටි, කතුරු, වීදුරු, පිඟං, ඉටි මැටිකෝප්ප, ඉටි බේසං, කම්බි ලේන්සු, ඇලමේනියං මුට්ටි, තාච්චි, පිත්තල හැඳි, කොකිස්සච්චු, සල්ලි දාන ඉටි කැට, විතරක් නෙමෙයි සෙනග ඉන්නවනං කලිං අවුරුද්දෙ තෑගි හම්බුවෙලා අඳින්නැතිව තියාගත්තු සරොං, චීත්ත, ගෙදෙට්ට එන අය ගෙනාපු කේක්, විස්කෝතු එහෙමත් නොම්බර ඇදිල්ලට තියනව.


මෙතන බූරු කුට්ටමක්වත් කැටයක්වත් නැති හංදා ඒක සූදුවක් නෙමෙයි. ඒ හංදා පන්සල් ගිහිං ආපහු යන හුඟක් අය රඹුටං ආතගෙ 'නොම්මර අදින' තැනට ගිහිං, පන්සලේ පඬුරු දාල ඉතුරු වෙච්ච මාරු කාසි ටිකත් ඉවර කරල යනව.


මේ විදිහට ක්‍රීඩාවෙ යෙදෙන ගමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අල්ලන එක අවුරුදු කාලෙට පොලිසියෙං කරන සෙල්ලමක්. ඒ ගොල්ලොත් එන්නෙ සරං කමිස ඇඳගෙන. කැට පොලක් ළඟ ලොකු අය පදින පුබ්බයිසිකල් හත අටක් නවත්තල තිවුනොත් එතන 'බූරු පොලක්' බව පොලිසිය දන්නව. ඒ වෙලාවට කැට පොලේ ඉන්න ළමයෙක්ගෙං පාර අහගෙන බූරු පොලට පනින සෙල්ලමට පොලිසියෙ අය දස්සයි. ඒ හංදා කැට පොලක, බූරු පොලක එහෙම 

"ඔන්න පොලොස්"


කිව්වත් තප්පරෙන් දහයෙං පංගුවකදි බූරු පිටියෙ ඉතුරු වෙන්නෙ පැදුරු දෙකයි, නැට්ටුව ඉන්න කොල දෙකයි විතරයි. කලාතුරකිං හොඳටම බීපු දුවාගන්න බැරි කෙනෙක් ඇරෙන්න පොලිසිය පැන්නත් අහුවෙන දෙයක් නෑ. ඒ වගේ අයත් පොලිසියට ගෙනිහිං පහුවදාට ගෙදර එවනව. 


ඔය විදිහටම අවුරුදු දවසක රඹුටං ආතගෙ ගෙදර මිදුලේ 'නොම්මර ඇදිල්ල' කෙරීගෙන යද්දි පොලිස් ජීප්පෙක ගේ ගාව පාර අයිනෙ නැවැත්තුවා. තලත්තෑනි ගෑණු අය, පිරිමි අය වටවෙලා ඉන්න හිංදා පොලිසියෙ රාලහාමි කෙනෙක් පාරෙ ඉඳං 


"ඔතන ඔය සූදුවක් නේද?"


කියල ඇහුවා. රඹුටං ආතා අත්දෙක පිටිපස්සෙ පිහිදන ගමං නැගිට්ටා.


"නෑ රාලාමි අපි මේ නොම්බර අදිනව."


පොලිසියෙං රඹුටං ආතවයි, පැදුරු දෙකයි, සබං කැට, පවුඩර් බෙලෙක්ක, කතුරු, සැමන් ටිං, කම්බි ලේන්සු, සබං පෙට්ටි, ඉස්කෝතු පැකැට්, වීදුරු පිඟං බඩු, ආදී නොම්මර අදින තෑගි ටිකයි පටවගෙන ගියා. එතන හිටපු මිනිස්සුංවත් එලෝල දැම්මා.


අවුරුද්ද ඉවරවෙලා, අලුත් ඇඳුංවල බුලත් කහට ගැවිලා, අතේ සතේටම හිඳිලා, අන්තිම අවුරුදු උස්සවෙත් ඉවර වෙලා, කොහාගෙත් කට රිදුනට පස්සෙ මිනිස්සු තමුං කරපු සෙල්ලං ගැන කියනව.


"අපේ එකා දොලොද්දහක් පැරදිල."


"විමලෙය අල්මාරියෙ තිවිච්ච දහදාහමත් පැරදිල ගෑණිගෙ චේන්නෙකත් තුන්දහකට උකස් තිවුවලු. ඒකත් පැරදි කියන්නෙ"


"අර එගොඩහ එකෙක්ගෙ බයිසිකලේනෙ ඔය ඉස්ටුවංගෙ ළමෙයට රුපියල් දහදාහකට තියල තියෙන්නෙ. බූරු පොලෙදිම"


"රාජ නං බරගානක් දිනුංලු. මොකක් හරි ගෙනෙයි හෙටානිද්ද"



"ආතර් කඩේ ගාව නං ගුටි කෙලියක් ගිහිං කොටියෑ දද්දෙකක් කල්ලලු කුමාරෙය"


ගුනොවද්දන මාමත් ඉස්තෝප්පුවට ගොඩවෙන්නෙ ඒ වගේ කතාවක් කියාගෙනමයි.


"අර බලිපොලේ පිහියැනුමක් ගිහිං දෙන්නෙක් මහ ඉස්සිතාලෙ කියල අපෙ දූ කිව්වෙ"


"හැබෑට ගුනොවද්දන"


අපෙ ආතත් අහනව.


"ඒකනෙ මාමෙ මං ඔය කිසියම්ම සූදුවකට යන්නැත්තෙ. පිහැයැනුං කන්න ඕන්නෑනෙ නිකං. අනික සූදුව හොඳ එකක් නෙමෙයිනෙ. අපරාදෙ පවුසිද්ද කොරගන්න බෑ, මං නං පංසල් ගිහිං එනගමං හිතුනොහ් නොම්බර ඇදිල්ලට ඉතරක් යනව. මොකක්කත් වදෙයක් නෑ. පිනේ පවේ හැටියට හම්බුවෙනව.  මට නං මේ ගමනත් පීරිසි කුට්ටං හයක් ඇදුන. ආං කබඩ්ඩෙකේ තිවුව එහෙම්මොම"


ආත කරබාගෙන විටකට පුවක් ගෙඩියක් ලියනව. 











Tuesday, April 4, 2017

ගුවන්විදුලිය හෙවත් Air Electricity - 1

ඊයේ පෙරේදා හදිස්සියේම අර කොනකිං පටංගෙන ලියාගෙන ලියාගෙන යන දොස්තර නෝනා රේඩියෝ වැඩසටහනකට යන්න බ්ලොග් ලියන දෙන්නෙක්ට අවස්ථාවක් හොයලා දුන්නා. ඒක දැක්කයින් පස්සෙ මටත් හිතුනා රේඩියෝ ගැන ලියලා දාන්න.


පහ වසරේ සිස්සත්ව පෙරහුරු ප්‍රශ්ණ පත්තරේ ප්‍රශ්ණවලට "රේඩියෝව හොයාගත්තේ කවුද?" කියලා ඇහුවම අපි ලිව්වේ "ගුග්ලි එල්මෝ මාර්කෝනි" කියලයි. ඒ මාර්කෝනි කියන කෙනා කොයි දීපංකරේක ඉන්න කෙනෙක්දැයි දන්නේ නැතත් රේඩියෝ නැතිබංගස්ථාන කරන මකබාස්ල නං අපේ ගමේ මං දන්න කීප දෙනෙක්ම හිටියා. එයිං එක්කෙනෙක් අපේ පවුලේ කෙනෙක් විදිහටත් බොහොම ආඩම්බරෙං කියන්න පුළුවං.


මං පොඩි කාලේ අපේ ගමේ ගෙවල්වල "ගෑනි" ඇරුණහම තොරතුරු දැන ගැනීමේ අනික් ක්‍රමය උනේ රේඩිවේක. ඉංග්‍රීසියෙං Radio කියලා ලිව්වත් සිංහලෙං "ගුවන්විදුලි යන්ත්‍රය", "රේඩියෝව" කියලා ලිව්වත් අපි ඒකට කිව්වේ "රේඩිවේක", "රේඩියේක" නැත්තං "රේඩීක". ඉස්සර මිනිස්සු රේඩිවේකට "කතා පෙට්ටිය" කියලා කිව්ව බව ඉස්සර කාලෙ කතා ලියන අය පත්තරේ ලිව්වත් එකදාස් නමසිය තිස් ගනංවලවත් එහෙම කියාපු කෙනෙක් නොහිටිය බව අපේ ආතා මට කිව්වා. ඒ විතරක් නෙමෙයි රේඩිවේකට "වෑර්ලස් එක" කියල කියන කෙනෙක්වත් අපෙ ආතගෙ මතකෙ හිටියෙ නෑ. ටෝච්චෙකට "බැටලිය" කියන අපේ තාත්තගෙ අම්මත් කිව්වෙ "රේඩිවේක" කියලා.


අපේ ගෙවල්වල තිවුණ බැට්ටිකෑලි වලිං වැඩකරන බඩු තුනෙං වටිනාම එක උනේ රේඩිවේක. අනික් දෙක ටෝච්චෙකයි බිත්තියෙ එල්ලන ඔරලෝසුවයි. ගෙට හොරු පැන්නොත් ගෙනියන්නෙත් රේඩිවේකයි, ඔර්ලෝසුවයි ටෝච්චෙකයි. ඒ හංදා හුඟක් අය දුර ගමනක් යද්දි ඔරලෝසුව රෙදි දාන කාට්බෝට් පෙට්ටියෙ අඩියෙං හංගලා, ටෝච්චෙක ඉනේ ගහගෙන රේඩිවේකත් අතේ එල්ලගෙන අරං යනවා. ජෑංහාමි මාමයි, නන්දසේන බාප්පයි අපේ ගෙවල්ඔල එද්දිත් ගෙදර තියෙන රේඩිවේක ගේනව. ඒ කාලෙ හුඟක් බස්වල රේඩිවේකක් නැති හංදා සමහරු එහෙම ගමං යද්දි තමුංගෙ අතේ තියෙන රේඩිවේකෙ ඒරිල් කූරත් පුළුවං තරං දිගට ඇදලා බස්සෙකේ හැමෝටම ඇහෙන්න සිංදු දාගෙන යනව.

අපේ ගෙදර තිවුණ රේඩිවේක වගේ එකක්


අපේ ගෙදර තිබුනෙ UNIC කියන වර්ගෙ රේඩිවේකක්. ඒකෙ පැත්තක දැල් රෙද්දකිං වහපු ලොකු පොඩි හිල් විසි අටක් තියෙන රවුමකිං තමයි සද්දෙ එන්නෙ. ලයිං අල්ලන්න ලොකු රවුමයි, ලයිං කඩන්න පොඩි රවුමයි, සද්දෙ වැඩිකරන්න රවුමයි බීල ආවහම තවත් ටිකක් අඬ වැඩි කරන්න Tone කියල ලියපු තව රවුමයි තිබුණා. ඒකට බැට්ටි කෑලි තුනක් දාන්න පුළුවං. පිටිපස්සෙ තියෙන බොත්තං දෙක ඇරලා පිටිපස්සෙ පියන අයිස්කිරිං වෑන්නෙකේ පිටිපස්සෙ දොර වගේ උඩට අරින්න පුළුවං. ඊළඟට බැට්ටි කෑලි දාන ඉටි බටේ ඉස්ප්‍රීන්නෙක පැත්තට තද කරලා පන්නල ගන්න ඕනි. බැට්ටිකෑලිවල වල ගැහිච්ච පස්ස පැත්ත උඩට තියෙන්නත් අග මොට්ටුව පහලට එන්නත් විදිහට බටේ එලියට ගත්තොත් බැට්ටි කෑලි තුනම පෝලිමට කකුල උඩට දාගන්නත් පුළුවං. ආං එතකොට අපේ තාත්ත නං උඩ පනිනව.


“හත්තිලව්වයියාවයි මේ මොලකැටි ටික සේරම වැහ්නනෙ කකුලඋට්ට“


බැට්ටි කෑලි චුරුපැනල ඉස්ම වැක්කෙරිල තිවුනොත් ඒවා අතේ ගාගන්නෙ නැතුව කැන්ද කොලයකිං හරි පින්න කොලයකිං හරි අල්ලලා පරිස්සමට අරගෙන පුළුවං තරං උඩිං හෙලපල්ලට විසි කරන්න ඕනි. අපේ ගෙදරිං විසිකරන සමහර බැට්ටි කෑලි රත්නෙ බාප්පගෙ කුඹුර පුරං කොටද්දි හම්බුවෙනව. ඊළඟට පරණ  පාංකඩයක් අරං බටේ හොඳට පිහදාලා ගන්න ඕනි. ඒත් මලකඩ ගඳ වගේ තියෙනවනං තෙත රෙදි කෑල්ලකිං පිහදාන්න ඕනි. ඉං පස්සෙ ටෝච්චෙකේ තියෙන බැට්ටි කෑලි ටිකයි මේසෙ උඩ තියෙන පරණ බැට්ටි කෑලි ටිකයි අරගෙන බිස්ටල් පැකැට්ටෙකේ ඊයං කොලේ දික් අතට තීරුවක් වෙන්න නමල අරං ඒකට ටෝච් බලුප්පෙක තියල හරි එහෙම නැත්තං කම්බි කෑල්ලක ටෝච්චෙකේ බලුප්පෙක අමුනගෙන හරි එක එක බැට්ටි කෑල්ලෙ එලිය බලන්න ඕනි. එයිං එළිය වැඩිම බැට්ටි කෑලි තුන ටෝච්චෙකට දාලා ඊළඟට එලිය වැඩිම බැට්ටි කෑලි ටිකෙං තුනක් අරං රේඩිවේකෙ බටේට දාන්න ඕනි. ටෝච්චෙකට දාන්න තරං එළිය හොඳ බැට්ටි කෑලි නැත්තං අපේ තාත්ත  අම්මට මෙහෙම කියනව.


"මේ ඒයි... තමිසෙ හවසට මැණිකෙලෑ කඩෙං බෙලෙත්තහඩුව තියෙන ලස්සපාන කෑලි තුනක් ඇරං එනව. අර නිල්පාට කඩදහි ඔතපු එක එහෙම ගේන්නෙපා. ඒක ඉහ්මන්ට බහිනව."


අපේ අම්ම ඒකට උත්තර දෙන්නෙ මෙහෙම.


"මැණිකෙලෑ කඩේ තියෙන්නෙ අර මොනොවදෙව්ව ජාතිය ඉතරයිනෙ"


"මොන ජාතියද?"


"අර මොකාදෙකා ඉන්න ජාතිය. මොකද්ද යස නමක් කියනව ඒකට. මට මතක නෑනෙ"


“අර නමේ ඉලක්කම මැද්දෙං කොලදීයෙක් පයින රූපෙ තියෙන එකද“


“ආන්නේක තමා“


"එහෙනං ඒකවග් ගේනොවකො. හැබැයි එව්වෑ එයාකාර එළියක්නං නෑ."


බැට්ටි දාපු බටේ රේඩිවේකට දාල පියන වහල අඬ වැඩිකරන රවුම කරකැව්වම 'ටික්' කියල සද්දෙකුත් එක්ක වෙනදට වඩා හොඳට සද්දෙ එනව. රේඩිවෙකේ මැද තියෙන බුරිය වගේ එකත් මනුස්සයෙක් කතා කරද්දි දිව පේනව වගේ රේඩිවේකෙ සද්දෙ විදිහටම රතු පාටට නිමි නිමී පත්තු වෙනව.


රේඩිවේකෙ SW ලයින් අල්ලන එක ඉඳිකට්ටට නූල දානවටත් වැඩියෙං අමාරුයි. ලයින් අල්ලන රවුම කලු කූඹියෙක්ගෙ අණ්ඩක පළල විතර දුරක් කරකවද්දි “ජෘෘක්..බෘෘක්“ කියලා ලයින් රොත්තක්ම මාරු වෙනව. අඩි බාගයක් විතර දුරකට ඕන හැටියෙ ඉඩකඩ ඇතුව ඉන්න පුළුවංකම තිවුණත් සේවා ඔක්කොම ඉන්නෙ තැංතැංඔල රංචු ගැහිලා බුරුතු පිටිං. රේඩිවේකෙ ඒරියල්ලෙක දිගෑරල තිවුණත් අකුලල තිවුණත් අහුවෙන සේවාවල වෙනසකුත් නෑ. ඉංග්‍රීසි, සිංහල, දෙමළ, හින්දි තවත් මොනවද නොදන්නා බාසාවල් කියන සේවා ඒ විදිහට මීටරේ දිගේ එක එක මණ්ඩි අල්ලගෙන කියෝ කියෝ ඉන්නකොට ඒ මැදට මීටරේ කට්ට ගෙනිච්චහම ඉස්කෝලෙ ඉන්ටෝල්ලෙක වගේ සේවා දෙක තුනක් එකපාර කියෝනව. ඇහැට ගිය රොඩ්ඩක් ගන්නවවගේ බොහොම පරිස්සමිං ඉවසීමෙං ලොකු රෝදෙ කරකෝල එක සේවයක් තනියෙං අල්ලගත්තයිං පස්සෙ ඒක බඩිං ඉන්න ගෑණු කෙනෙක් වගේ පරිස්සං කරගන්න ඕනි. ඒ වගෙ වෙලාවට අපෙ අම්මා


“ආ බොලේ තමිසෙට කහඩ්ඩිංගබ්බොනොව“


කියල අපේ තාත්තට බොන්න කහට බෙලෙක්කෝප්පෙ මේසෙ උඩිං ගෙනත් තියපු ගමං


“විදුලි බල මණ්ඩලයේ සමන්තගේද, ඕසට්‍රේලියාවේ සාමාගේද, නැන්දනියමූද මැටිල්ඩා ඇලිස් තිසේලා මැතිණිය කලුරියකෙලින්.....“


කිය කියා හිටපු රේඩිවේක එක පාරටම


“සන්තෝසවෙන්න පීතිමෙන්න එන්න මිට්ටයෝ... හැන්ද කාලා කාල දිපං මීමට කුරු කොස්“


කියලා සිංදුවක් කියන්න පටංගන්නවා. නැත්තං දුම්මැස්ස උඩ බලල්ලු දුසිමක් පොරකනව වගේ වලං පිඟං කෝප්ප පොඩිවෙන සද්දෙං දෙමළ සිංදුවක් කියනව.


එහෙම ගැස්සිල්ලක් වෙන්නෙ නැතුව පරිස්සං කරගෙන සේවයක් අල්ලගත්තත් ටික වෙලාවක් යද්දි “චුහූඌඌඋඌඌඌ ක්“ කියලා සද්දයක් පිටිපස්සෙං කෑ ගහනව. එහෙම නැත්තං කියන දේවල් පැහැදිලි නැතිවෙනව. එතකොට


“මෙන්න සන්දෙයා ප්‍රවුත්තික් ප්‍රකාශය රම්‍යාවලිගසේකර ඉතින්.“

කියලා පටං ගන්න ප්‍රවුත්ති කිවිල්ල

“චාචාචාචකචාචාචාචා චාචාච චාචාචාච චාචා චෑචීච“

කියල කාටවත් නොතේරෙන බාසාවකට හැරෙනව. ඒ හංදා චන්දරෙ මාමා හැමදාම කියන්නේ


“හමුදාවෙං පයින එවුං අල්ලනවට වැඩියෙං අමාරුයි රේඩියේකෙං හරිහමං සේවෙයක් අල්ලගන්න“

කියලයි.


MW පැත්තෙ සේවා අල්ලන්න ඒ තරං අමාරු නෑ. ඒවා ඉන්නෙ ටිකක් ඉඩ ඇතුව. ලංකාවෙ සේවා විතරයි අහුවෙන්නෙත්. ඒකෙත් සේවා එක උඩ යන ලෙඩේ ටිකක් තියෙනව. ඒ හංදා රේඩිවේක හැන්දෑවට පන්සිල් කියද්දි ඒත් එක්කම බැරල් පලුවකට තඩිගගහ කියන දෙමළ සිංදුවකුත් අහන්න අපිට පුළුවං.


රේඩිවේකෙ SW පැත්තෙං තියෙන තවත් උදව්වක් තමයි අකුණු ගහනවද කියල දැනගන්න පුළුවං එක. රේඩිවේකෙ සද්දෙ අතරිං රත්වෙච්චි තෙල් තාච්චියට වතුර බිංදුවක් වැටුන වගේ යංතං “චරස්“ ගාල සද්දයක් ආවොත් ඒකෙ තේරුම දිස්ත්‍රික්කෙ කොහෙට හරි වහිනව කියන එකයි. නිවිතිගල, කොලොන්න, ඇලපාත දිහාවෙ වැස්සත් අපේ ගමේ රේඩිඔලට ඒක දැනෙනවා.


හැබැයි පත්තර පිටුවක් දික් අතට ඉරනව වගේ නැත්තං පොලියෙස්ටර් යාරයක් ඉරනව වගේ දිගට “චරාාාාස් රස්“ ගාලා සද්දයක් ආවොත් ඒකෙ තේරුම කිට්ටුව පාතම හෙන ගහන බවයි. මේ වෙලාවට රේඩිවේක නොවැහුවොත් අර කෙහෙල්මුවේ වගේ හෙන ගහන යකඩෙ කඩා පත්වෙන්නෙ රේඩිවේකටම තමයි.


හැමදාම හවස තුන වෙද්දි රේඩිවේකෙ හිංදි සිංදු වැඩසටහනක් තියෙනව. ඒකෙ නිවේදකය කතා කරන්නෙ බත් කන්නැති පොඩි ළමයි බය කරන්න “ඔන්න බබෝ හග්ගුඩු බිල්ලා“ කියල බය කරනව වගේ ගාම්බීර සද්දෙකිං. එයා සිංදුවක් දාන්න කලිං ඒ සිංදුව ලියන්න කඩදාසිය හදපු තැන ඉඳං විස්තරේ සේරම කියනව.


“එදා ඉංදි තිරය වර්නවත් ගල උරංගථෝලා චිත්‍රපටයෙනුයි මේ ම්යුරු ගීදය. මෙම ගීදයට රංගනයෙන් ධායකබූවේ අසුවල් කපූර් සමග නර්ගීස්. ගායනා කලේ ලදා මංගේස්කාර් සමග මණ්නාඩේ. සංගීතවත් කලේ අසුවල් සාමි.“

ඉං පස්සෙ ලංකාවෙ කඩවල්, ඉස්කෝල, ගෙවල් සේරගෙම තියෙන සර්පිනා සේරම එකපාර අලි ලව්වා පාගවනව වගේ බයානක සද්දෙකිං සංගීතෙ පටං ගන්නවා. ඒ වගේ සද්දයක් සිංහල චිත්‍රපටිවල දාන්නෙ කොල්ලට කඩුවෙං කොටන්න හරි වෙඩි තියන්න හරි කිට්ටුවෙනකොටයි. ඒ සද්දෙ සෑහෙන වෙලාවක් තිවුණට පස්සෙ අපේ නැන්දා වලං ටික දොලට ගිනිහිං හෝදන්න කලිං ඇලමිනියං වලඳෙ අඩියෙ තියෙන දංකුඩ ටික හැංදෙං හූරන සද්දෙං, එහෙම නැත්තං පොඩි චූටියා ඇඟිල්ල කපාගත්තං කෑගහන සද්දෙං ගායිකාවක් සිංදුවට මුල පුරනව.


“ආාාාා........................................................................................................... දිලි බරිඊඊඊඊඊඊ ඒ........... සා............ආාාාඅ“


ඒ ඇදිල්ල ඉවර උනාට පස්සෙ වඩිග පටුනට බෙරගහනව වගේ බෙර පහලොවක් විතර ගහල තමයි සිංදුව තාලෙකට යන්න පටං ගන්නෙ.

හිංදි සිංදු වැඩසටහන ඉවර උනාට පස්සෙ සදේසීය සේවෙට කරකවන්න ඕනි. ඒකෙ තියෙන්නෙ ළමා පිටිය. එදා දවසෙ උපන්දිනේ තියෙන ළමයින්ගෙ නං ටික කියල ඉවර උනාට පස්සෙ හැමදාම දාන උපන්දින සිංදුව දානව. ඊළඟට චිත්‍ර එවපු අයගෙ චිත්‍ර පෙන්නනව. පෙන්නනව කියන්නෙ “අහවල් විද්‍යාලෙ අහවල් ශ්‍රේණියෙ ඉගෙනගන්න අහවල් නංගි අපිට මේ චිත්‍රය එවල තියෙනව. ඒ චිත්‍රෙ ගොඩාක් ලස්සනයි. එතකොට අහවල් විද්‍යාලෙ අහවල් ශ්‍රේණියෙ ඉගෙනගන්න අහවල් අක්කා මේ චිත්‍රය එවල තියෙනව. ඒ චිත්‍රෙ ගොඩාක් ලස්සනයි“ කියාගෙන යන එකයි. ඒව අමාරුවෙං අහං හිටියට පස්සෙ තමයි මං අහන්න බලං ඉන්න “කොටස් වසයෙන් විකාසය වන ගුවංවිදුලි ලමා මාලා නාටකය........... තක බොං තක බොං තක බොං..... ජාපනේට.... පාලමක්“ පටංගන්නෙ. ඒ නාට්ටිය වගේම “ඔබේ දැනුමට“ කියල එක එක්කෙනා ලියල එවපු රුවන් වැකි, ලෝකෙ ලොකුම, පොඩිම, දිගම, කොටම, පරණම ආදී එක එක ජාති කියවෙන ඒවත් මං පාඩං කරගන්නව. පහුවදාට ඉස්කෝලෙ ගිහිං අනික් අයගෙං අහනව.


“ලෝකෙ පොඩිම හෙලිකොප්ටරේ මොකද්ද“


 එතකොට උචිතයි ලස්මයි දෙන්නා කම්පා වෙනව එයාල එව්ව දන්නැති එක ගැන. එතකොට මං උජාරුවට උත්තරේ කියනව.

“රොබින්සන් කියන හෙලිකොට්ටරේ“

ඒ උනාට ගල්කොටුවෙ ආනංදය, දිනුකය එහෙම මට බයිනව.


“තොගෙ පණ්ඩිතකං කියෝල මෙතන අපිට කියල හොක්ක තලෝගන්නෙපා“


රේඩිවේකෙං කෙරෙන ලොකුම වැඩේ තමයි පවුත්ති කියන එක. පවුත්ති කියන්න කලිං වෙනම වාදනයක් ඇහෙනව. මට මතක විදිහට ඉස්සරම තිවුනෙ

"ටංටංට ටංටංට ටංටංට ටංටංට තකට බිම කටක දොහ්"

කියලා එකක්. අපේ ආතා කියන විදිහට ඒ තාලෙං කියන්නෙ "ඇන්නැන්ට පුළුවංද තුංහවුල පරදන්ට" කියන එකලු. පස්සෙ කාලෙක චන්දිරිකා මැතිනි දිනුවට පස්සෙ ඒ වාදනේ වෙනස් උනා.


"ඩක්ක ඩක්ක ඩක්ක ඩකර ඩක්ක ඩක්ක ඩක්ක ඩකර ඩකර ඩකර ඩා ඩා ඩක්ක ඩක්ක ඩක් ඩා ඩහ්"


ඒ වාදනෙං පස්සෙ බිංදුවා අපි කන දෙයක් ඉල්ලනකොට කෙඳිරිගානව වගෙ


"කූහ්.......... කූහ්......... කූහ්........ කූඌඌක්"

කියලා සද්දෙකුත් දාල තමයි පවුත්ති කියන්න පටංගත්තෙ. හවසට නං පටං ගන්නෙ "මෙන්න සන්දයා ප්‍රවුත්තික් ප්‍ර්කාසය" කියලයි. උදේට නං කතා කරන්නෙ "උදා" කියල කෙනෙක්ට. දවල්ට නං "දිවා" කියල කෙනෙක්ට.

ඒ කාලෙනං ප්‍රවුත්තිවල කියවෙන්නෙ යුද්දෙ ගැනම තමයි.

“ඊයේ සන්ද්යා කාලයේදී ඉරට්ටකුලම් ප්‍රදේසයේදී එල්ටීඩී ත්‍රස්තවාදීන් සහ යුද හමුදාවේ සොල්ලාදුවන් අතර ගැටුමකින්............“


කියලා පටං ගන්න කතාවෙ අගට මැච් එකේ ලකුණු ගාන වගේ හමුදාවෙ මැරිච්ච, අතුරුදහන්, තුවාලවෙච්ච ගනං එක්ක කොටින්ට වෙච්ච ආපදා ගැනත් කියනවා. ප්‍රවුත්තිවල අගට සතියක් හමාරක් පරණ පිටරටවල්වල ප්‍රවුත්තියකුත් කියනව. ඊළඟට කන බොන බඩුමුට්ටුවල ගනං කියලා මරණ දැන්වීං කියද්දි අපේ අම්මා රේඩිවේක වහන්නෙ “මූසලයි“ කියලා.


ඒ දවස්වල “ධීවර නවෝදය“ කියලා එකකුත් තිබුණා. වී අහුලල ඉවර වෙලා ඇතුල්පතේ තියෙන හාල් ටික නෑඹිලියට හලනව වගේ සද්දෙකුත් සැරිං සැරේ එන සිංදුවක කොටහක් දාල තමයි ඒක පටං ගන්නෙ

“ඔබ තනිනෑ ඔබත්තෙක්ක අපිච්චින්නවා“


ඒකෙදි කියන්නේ “අහවල් වරායෙන් අසුවල්දා මුහුදු ගිය අසුවල් පුතා ධීවර යාත්‍රාව මේ වනතෙක් ගොඩබිමට පැමිණ නැත. තොරතුරක් දන්නේ නං කියන්න“ එහෙමත් නැත්තං “අසුවල් පුතා ධීවර යාත්‍රාවේ සිටින අසුවලාටයි පණිවිඩය. ලොකු අම්මා ආන්තරා උනා වහාම ගොඩබිමට පැමිණෙන්න“ වගේ පණිවිඩ. ඒකෙදි අපි ජීවිතේට දැකල නැති “ඇට නගුල් පරවු“ වගේ මාලුංගෙ හිට මිල ගනංනුත් කියවෙනවා.


කවුරු හරි ඒ වෙලාවට රේඩිවේක වහල දාන්නෙ “නිකං බැට්ටි පිච්චෙනව“ කියලයි.