Sunday, May 31, 2015

වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma - 5



ටෝච්චෙකෙං එළිය බලාගෙන  මං වෙලාව කිව්ව.

“දැං වෙලාව...... එකොළහයි හතලිස් පහක් වෙනව. “

“හරියටම හරිද? බොට පේනවෑ දැංවත්“

“හරියටම හරි ආච්චම්මෙ“

“හා එහෙනං බුදියගං ඇහැරං ඉන්නැතුව“

කරේ තිවිච්ච කුරුඳු තෙල් කුප්පියෙං කුරුඳු තෙල් ටිකක් කණ දෙපැත්තෙ ගාගෙන අපි සියලු දෙනාම නැවතත් ඇඳුම් රෙදි, පෙරෙදි අස්සට රිංගල නිදියන්න පටං ගත්ත. යංතං නින්ද යාගෙන එනකොට ආයිත් උන්දැ මට කියනව. 

“ආයි පාංදර දෙකට දෙකහමාරටවත් ඇහැරින්න ඕනි කරුණා කොරන්න“

“හාච්චම්මෙ“

මං තනිවචනයෙන් උත්තර දුන්න. ආයි බැරියැ ටෝච් හොයන්න.
කොහොමිං හරි ආච්චම්ම ගාන්ට වෙලාවට අපිට ඇහැරෙව්ව. රංඔල ආච්චම්මගෙ එක දුවෙක් නැගිටින්න ගිහිං බාගෙට නැගිටල “අදිසි හස්තයකින් ඔසවන ලද්දාක් මෙන් (ජී.බී.සේනානායකගෙ යොවුන් පරිවර්තනවල තියෙන්නෙ එහෙමයි) දඩිස් ගාල බිම වැටුන. එයා ඇද වැටීමෙන් නැගූ ශබ්දය අහල පහල නඩවල සිටි ගැටයන්ගේ නින්ද බිඳ දමා ශරීර කෙලින් සිටවීමට උපකාර උනා.

“ආ.......වූ........“

“තොට මක්කෙලාද බොල මගෙ ඇඟ උට්ට ඇදං වැහ්නෙ“

පසුව හොයල බලද්දි ආච්චම්මගෙ නියෝග අකුරටම පිළිපැදපු අපේ නඩේ රංඔල ආච්චම්ම සිය දියනියන් දෙන්නා තමංගෙ වස්තරේට තියල හැට්ටකටු වලින් අමුණගෙන තිබුණ. හැට්ට කටුවකින් ඇමිනී සිටි දියණිය සිය මව හැරදා නැගී සිටීමේදී ඉහත අකර තැබ්බයට මුහුන පෑවා.
අපි නැගිටල දත් හැලෙන තරං හීතල වතුර කටේ පුරෝගෙන දත් මැදල මූණ ගල්වෙන සීතල වතුරෙං මූණ හේදුව. වැසිකිලිය පැත්තෙ පලාතෙ යන්න බැරි තරං සුපිරිසිදු, සුගන්ධවත්, මන පිනවන, බඩ කලඹන, සිත් පොපියන බැවින් මම එදෙස යාමෙන් වැලකුණා. ඉං පස්සෙ ආච්චම්ම අපේ සේරගෙම අතේ ගිනියන ගමං මලු විතරක් තියාගෙන අනික් එව්ව එකට එක්කාසු කොරල එතැන තියෙන කඩෙං තියන්න නියම කොලා. මගෙ ගමං මල්ලත් එතැනම තිව්ව. ආච්චම්මගෙ ‘සැහැල්ලුව‘ විතරක් ගෙනිච්චාම ඇති. අපි නඩේ ආයිමත් ‘කරුණා කරන්න‘ පටං ගත්තා. එතැං පටං මගෙ කරේ තිබුණ බෑක්කෙක වෙනුවට ආච්චම්මගෙ උරෙස්සෙ එල්ලං යන ‘ගෑනු බෑක්කෙක‘ කරේ එල්ලං යන්න මට සිදුවුනා. ‘කවුරුවත් දැකල හිනාවුනොත්‘ කියල පෙරවං හිටපු රෙද්දට ඇතුල් පැත්තෙං ඒක එල්ලගත්තත් වැඩි දුර යන්න ලැබුන්නෑ.

“කෝ, බෑක්කෙක?උඹ ඒක නැති කරාද?“

ආච්චම්මා සිය බෑක්එක නැති වී ඇති බවට සැකකරමින් ම ගෙන් විමසුවා.

“නෑ, මේ තියෙන්නෙ“

මං රෙද්ද අස්සෙං බෑක්කෙක අරං පෙන්නුවා.

“ඕක පේන්න තියා ගනිං. නැත්තං මං දන්නෙ කොහොමද බෑක්කෙක නැතිවෙලාද කියල“

ආච්චම්මාගේ නියෝගය හමුවේ මෙතෙක් වෙලා රෙද්ද අස්සේ තිබුණ බෑගය රෙද්දට පිටිං හැමෝටම පෙනෙන්න එල්ලං යන්න මට සිද්ද වූනා. හිමිදිරි පාන්දර සීතල මැදිං මකර තොරණ පහුකලාට පස්සෙ තමයි ඇත්තටම සමනල කන්ද නැගීම ආරම්භ වෙන්නෙ. එතන ඉඳං යකඩ වැටවල් හිටෝල, පඩි බැඳල, පාර දෙකට බෙදල පිලිවෙලක් කරල තියෙයි. අත්වාරුවට යකඩ වැට අල්ලා ගන්නා ලෙස ලද උපදේසයෙන් මම යකඩ වැඩ ඇල්ලුවා.  සීතලට යි හුළඟටයි අහුවෙලා යකඩ වැට රුපියල් දෙකේ අයිස් පැකැට්ටෙකක් වගේ හීතලයි. වැටට තියපු අත මං හිතන්නත් කලිං වැට අතෑරියා. පස්සෙ ආච්චම්මට  ඉස්සර වෙන්න කියල එයා පෙරවං ඉන්න බෙස්සීට් එකෙං පස්සෙං නැට්ට වගේ ඇදීගෙන යන කොටහ අරං, ඒකෙං වැට අල්ලන්න පුළුවං වුනා. ටික දුරක් යනකොට රෝස පාට බෙස්සීට් එකේ මං පාවිච්චි කළ කොන වෙනත් පැහැයකින් දිදුලන්නට වූ නිසා අති අලංකාර රෙද්දක් ලැබීමේ භාග්‍ය ආච්චම්මට ලැබුනා. වන්දනාවෙ ගිහිං ආ පසුව හිරු පායා ඇති මනරම් දහවලක  රෙදි හෝදන ආච්චම්මා ඒ පිළිබඳ සිය සන්තෝෂය මුළු දොළටම ඇහෙන්න පවසා සිටියා.

“කොයි අසමජ්ජාති එකෙද්ද මංද මයෙ අලුහ්ම බෙස්සීට්ටෙකේ ලාටුවක් උලල. බලපංකො ලාම්පුතෙල් දාලවත් යන්නෑ. මේක මං පහුගිය වංගියෙ කරුංක විකුණල ගත්තෙ ගමනක් ගියං පොරෝජං වෙන හංද. දැං ඉතිං මේක හොඳා බල්ලට“

ඕං ඔය වෙලාවෙ තමයි පඩිපෙලේ හිටු හිටු ගමං තැං තැංවල ගිමං අරින නඩ හින්ද අපිට ඉදිරියට යන්න ඉඩ නැතිඋනේ. ඒ වෙලාවට තමයි ආච්චම්ම මේං මෙහම ගායනා කරන්නෙ.

“දෙන්න අපට සංහිඳේ - දුන්න අයට පිං ලැබේ“

මෙතන “සංහිඳේ“ කියන්නෙ ඉඩ, නැත්තං අවකාශය. “ඉඩ දෙන්න“ කියන එක අකැප වචනෙයක්ලු.  එහෙම කිව්වහම පිරිස එහාට මෙහාට වෙලා ඉඩ දෙනව. තවත් සමහරු තමුං කකා බිබී ඉන්න දේ ආච්චම්මට දුන්නෙ, ‘මෙයා ඉල්ලන්නෙ අපි කන දේ වෙන්නැති‘ කියල හිතාගෙනයි. ඒ වගේ වෙලාවට එතැන නැවතිලා තමුං කීවෙ ‘මෙන්න මේකයි‘ කියන එක තේරුං කරදීමට පැය ගානක් ගත කිරීමට ආච්චම්මා ක්‍රියා කරන බැවිං අපේ නඩේ වරිංවර කෑලි දෙකට තුනට කැඩුනා. ආයෙත් හඬනගා කෑ ගැසීම්, මාව උඩ පහල යැවීම් මගින් නඩේ අමුනා ගන්න ආච්චම්මා සමත් වෙනවා.

ඇහැල කනුව කියන හරියට ඩිංගක් එහාට මෙහාට වෙන්න වෑං එහෙක රෝදෙයක් විතර රෝදෙයක් තියෙනව. ඉස්සර සිරිපා මලුවට උඩිං ගිහිං කන්දෙ වැදිල කඩා වැටිච්චි ආස්යන්තරාවක රෝදෙලු ඒක. එතැනදි ඔය කතාව කියල සිරීපාදෙ තියෙන අනුහස් ගැන කියන්නත් ආච්චම්ම සැලකියයුතු වෙලාවක් ගන්නා අතර එතැනදි ආයිත් පංසිල් ගන්නත් ඕනි.  ඉං පස්සෙ ආයි දනිස් කටේ වදින ගානට මහගිරිදඹේ නැගල මලුවට ඇතුල් වෙනව. ආං එතකොටම ආච්චම්මගෙ මූණට ඉර පායනව. උංදැට එවරස් කන්ද නැගපු ටෙංසිංට හෝ හඳට ගිය ආම්ස්ටෝංට දැනුන වගේ සතුටක් ඇති වෙනව. මලුවට ගොඩවූ සැනිං සිය නඩේ මුල්ලකට කරගන්න උන්දැ අපිට මේං මෙහෙම අවවාද කරනව.

උඹල කවුරුවත් නැතිවෙන්නෙහෙම එපා. බැරිවෙලාවත් අතරමං උනොත් අර පිකරේ බැඳල තියෙන ආදාර ගන්න කාරියාලෙ ලඟට ගිහිං එතන නං කියන මනුස්සයට කියල අපට අඬගස්සන්න ඕනි. එහෙමත් බැරි උනොත් ආපහු මකර තොරණ ගාවට කරුණා කොරල අපි එනකං ඉන්න ඕනි. එක එකා අඬගැහුවට යන්නෙහෙම එපා.“

අපි ‘හා කියල ඔලුව වනනව.

“අනික හැටං පාරෙ එහෙම කරුණා කොරන්න එපා. පලාබජ්ගල පාරෙම මිසක්“

ඒකටත් අපි ‘හා‘ වක් කියනව.

එයිං පස්සෙ ආරම්භ වන්නේ මහා සෙනග ගොඩේ තෙරපෙමින් සිය නඩේ මගෑරෙන්න නොදී සිරිපා වැඳ ගැනීමයි. ඕං ඔය අවස්ථාවෙ අපේ ආච්චම්ම නියම ක්‍රමයක් භාවිතා කරනව. ඒ තමයි එකාට එකා අල්ලගෙන සිය නඩය එකට ඈඳීම. ආච්චම්ම මාව අල්ලගෙන අනික් අතිං රංඔල ආචිචම්මගෙ ලොකු කෙල්ලට ආච්චම්මගෙ රෙද්දෙං අල්ලගන්න කියනව. එතකොට තවකෙනෙක් මාව අල්ලගන්නව. එයාව තව කෙනෙක් අල්ලගන්නව. අනික් පැත්තත් එහෙමයි. අංතිමට අපේ නඩේ ආච්චම්ම වෙත ඇමුණූ වැල් දෙකක් වෙනව. ඉතිං අපි ශ්‍රී පාද පත්මෙ වඳින්න සෙනග ගොඩට එකතුවෙනව. උදේට කොහොමත් සෙනග වැඩි නිසා එතන තෙරපෙනව වැඩියි.

“වරෙං ඉස්සරහට වරෙං....

ආච්චම්ම මාව අදිනව. මට යන්න බෑ කවුරුහරි මගෙ කකුල උඩ නැගල. කකුල තියෙන්නෙත් මං ඉන්න තැන නෙවෙයි.
“වරෙං ඔතන ටැක්ගැගෙන්නැතුව“

ආයිත් ආච්චම්ම මාව අදිනව. මං ඇති වීරියෙං කකුල ඇද්ද. මට පඩි දෙකක් විතර පහලිං හිටිය එකෙක් බැලන්ස් නැතුව එහෙට මෙහෙට වැනුන. මිනිහ වෙන්නැති මගෙ කකුල උඩ ඉන්නැත්තෙ. අවසානයේ මං මගෙ කකුල අරගෙන ඉස්සරහට ඇදුන. ඔය විදිහට අපේ නඩේ ශ්‍රී පාද පත්මය වෙතට සේන්දු වුනා. ඒකට මං හිතන්නෙ සෑහෙන වෙලාවක් ගියා. ශ්‍රී පාද පත්මය ලඟ කපු මහත්තෙක් ඉන්නව. එයාගෙ රාජකාරිය තමයි එතැන්ට එන අයව වැන්දැයිං නොවැංදැයින් එතනිං අයිං කොරන එක. ඒත් එව්ව කොහෙද අපේ ආච්චි අම්ම එක්ක. උන්දැ පළමුව ගිහිං එතැන හිටගත්ත. ඊළඟට බෑක්කෙකට අතදාල අර දොඩං ගෙඩ්ඩක් විතර විසාල කාසි පොදිය හෙව්ව. ඒ අතරෙ කපු මහත්තෙය.

“අම්මෙ විගහට වැඳල අහට්ට වෙන්න අනික් අයටත් වැඳගන්න“

ඒ කිව්වට ආච්චම්ම සැලෙයි. බීරී අලින්ට හෙඩ් පෝන් දැම්ම වගේ. දෙනෝ දාහක් මැද උන්දැ අර පඬුරු මල්ල ලිහන්න බැලුව. උන්දැට ලිහන්න බෑ සොපිං කවරෙ තදට ගැටගැහිල. ඉතිං ඒක ලිහන්න මට සිද්දඋනා. ඉං පස්සෙ උන්දැගෙ අතට කාසි ටික දාගෙන සොපිං කවරෙ බෑක්කෙකට දාල ආයිත් පඬුරුටික අතට අරං ශ්‍රී පාද පත්මය උඩට එළල තියෙන සුදු රෙද්ද උඩට දැම්ම. ඊළඟට දහ ගමනකට වැඩිය නළල එතැන ඇනල ඇනල වැංද. මේ සියල්ල කරන්න ගත වෙච්ච කාලෙට දහ දෙනෙක්ට වඩා එතැන වඳින්න තිබ්බ. ඒවන විට කපු මහත්තෙයට එතැන ඉන්න බැරි වෙන විදිහට ආච්චම්ම අරක්ගෙන ඉවරයි. ඉතිං එතඅං පටං ආච්චම්ම අපිව වන්දන්න පටංගත්ත. ඒ කියන්නෙ අපි වඳිනකොට උන්දැ අපේ ඔලුව තල්ලු කරනව. ඉතිං අපේ ඔලුව ‘දිඩිස්‘ ගාල අර සුදු රෙද්දට යටින් තියෙන ශ්‍රී පාද ලාංඡනේ වදිනව. සමහර වෙලාවට එතැන තියෙන කාසිවල ලාංඡනේ අපේ නළලෙ හිටිනව. රංඔල ආච්චම්මගෙ දුවගෙ ඔලුව අනින හැට බලං ඉඳපු මට නියම කල්පනාවක් ආව.  ආච්චම්ම මගෙ ඔලුව අනිද්දි මං නලලට අත්දෙක තියාගත්ත. එතකොට මගෙ නලල අතේ අතේ වදිනව අත සුදු  රෙද්දෙ වදිනව. ගැටුම අඩුවෙලා මං බේරෙනව. තමුංගෙ මුළු නඩේම වන්දගන්නකං ආච්චම්ම නෙමෙයි එතනිං අඩියක් හෙල්ලුනේ. ඒ අතරෙ අතර මැදිං පැනල අනේ නඩේ අස්සට රිංගපු එකෙක් දෙන්නෙක්ගෙ ඔලුත් හයියෙං අනින්න ආච්චම්ම සමත් උනා.

ශ්‍රීපාද පත්මෙ වැන්දයිං පස්සෙ ආයිත් යනව සමන් දෙයියන්ගෙ දේවාලෙට. එතන යාතිකාව කියනකං ඉඳල නළලෙ මොට්ටු තියාගන්නව. ඒ කහපාට මොට්ටුව මං අතිං පිහදා ගන්නව. නැත්තං මගෙ නළල නලියනව. ඉං පස්සෙ ආයි ආච්චම්ම තමංගෙ නඩේ අරං දොලොස්මහේ පහන ලඟට යනව. ඒක මහ විසාල පහනක්. පූජාවක් වසයෙං දැල්ලුවට මොකද හුඟක් දෙනා කරන්නෙ ඒක වටේ ඉඳං ගිනි තපින එක. ඔය අතරෙ සමහර අය තමුං ගෙනාපු පොල්තෙල් බෝතල් වලිං ඒ පහනට තෙල් දාන්න හදනව. මොන, ගල් වගේ මිදිල තියෙන පොල්තෙල් ආයි හෙල්ලෙන්නෙවත් නෑ. ගසල, පිඹල, වන මොනව කලත් පොල්තෙල් නෙවෙයි මෙල්ල වුනේ. ඉතිං සද්දාවන්ත උපාසක ඇත්තො අර තෙල් බෝතල එහෙං පිටිංම අර පහනට දානව. ටිකකින් රත් වෙලා ගිනියම් වෙන බෝතල්  ටිල්“ යන හඬින් පුපුරල බෝතල් කටු විසිවෙද්දි අදාල අයගේ හත්මුතු පරංපරාවටම පිං අනුමෝදං වෙනව.

ඔය හැම අවස්ථාවක් මාරුවෙන වෙලාවෙම සිය නඩේ නං ලැයිස්තුව කියල ගනං හදල සැකහැර දැනගන්න ආච්චම්ම පෙළඹෙනව. ඒ වගේම හදිසියෙ එක් එක් පුද්ගලයා වෙනමම විගණනය කරන්නත් වෙනව. ඊටත් පස්සෙ තමයි උත්කර්ශවත්ම මොහොත.   
ඝණ්ටාරෙ නාද කිරීම.
ඔය ඝන්ටාරෙ නාද කරන්න පුළුවං අවස්ථා තුනක් සිරිපාදෙ කරුණා කරපු අයට විතරයි. ඒක නොදන්න එවුවො පලවෙනි පාර ගිහිං හැටවරක් විතර ඝන්ටාරෙ ගැහුවත් අපෙ ආච්චම්ම ගන්ටාරෙ ගහන්නෙ අදාල වාර ගනන විතරයි. අපේ ආච්චම්ම වාර තිස් ගණනක් ගිහිං තියෙන හිංද උන්දැ ඒ තිස් ගානම නාද කරනව. මං අදාල වාර ගණන ගනං කරන්න ඕනි. ඒක මගෙ රාජකාරි ලැයිස්තුවෙ එක කොටහක්. උන්දැ ඝන්ටාරෙ ගහනකං බලා ඉන්න බැරි එවුං ඒ අතරෙ පිංසෙන්ඩු වෙනව. ඝන්ටාර නාදෙ රතු පාටිං අනික් වචන නිල් පාටිං
ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං..........................
ටාං.......................... ටකං.......................... ටාං.......................... ටාං.......................... ටාං..........................

“අනේ ආච්චියේ අපිටත් දෙන්නකෝ...........“

ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං..........................

“ආච්චි ඕක අද දවසෙම ගහනවද?“

ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං..........................

“ආච්චියේ අනේ අපිටත් ඉතුරු කරන්න.“

ටාං.......................... ටාං.......................... ටකං.......................... ටාං.......................... ටකං..........................

ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං..........................
ටාං.......................... ටාං.......................... ටාං..........................ං  ..........ං...........ං............ං.......

ආච්චම්ම ගන්ටාරෙ ගහල ඉවරයි. ඉං පස්සෙ අනික් අයත් තමුං ගිය වාර ගණන අනුව ගන්ටාරෙ ගහන්න ඕන. ඝන්ටාරෙ ගහල  ඉවර උනහම තමයි අප මෙතෙක් පුල පුලා බලා සිටි අවස්තාව. ආච්චම්ම ආධාර දෙන වෙලාව. ආධාර දෙනව කියන්නෙ අර පීකරේ බැඳල තියෙන කාර්යාලෙට ගිහිං සල්ලි දීල පීකරෙං නම කියවන එක.

“ආ. මේක දීල මගෙ නම කියල වරෙං“

ආච්චම්ම රුපියල් පනහක් මගෙ අතට දීල කියනව. විස්සෙ කොළ දෙකයි දහයෙ කොල එකයි. මං සල්ලිත් අරං කාර්යාලෙට යනව‍. එතනිං දෙනව සල්ලි අරං රිසිට් එකක්. ඒකට කියන්නෙ‘ පිං පත්තරේ‘ කියල. අපේ ආච්චම්ම ඔය ‘පිං පත්තරේ‘ පණ වගේ රකිනව. ලංකාවෙ කොයි සිද්දස්ථානෙං වුනත් ගත්ත‘ පිං පත්තර‘ උන්දැගෙ අල්මාරියෙ සාරි අට්ටිය අස්සෙ තියෙනව. ඒ රිසිට් ටික තමයි ආච්චම්ම පිනට දුන්න කියල දිවිය ලෝකෙට යන්න ඔප්පු කරන්න තියෙන එකම සාක්කිය (පහු කාලෙක 2002 අවුරුද්දෙ ගං වතුරෙං ආච්චම්මගේ අල්මාරියත් පිං පත්තර ටිකත් ගංවතුරෙං විනාස උනා). ටිකකිං පීකරෙං ආච්චම්මගෙ නම කියවෙනව.

“කලවානේ සිට පැමිණි ඇම්.ජී. මැගිනෝනා මාතාව ශ්‍රී පාදස්ථාන අරමුදලට රුපියල් තිහක ආදාර මුදලක් පරිත්‍යාග කරනවා. ඇයටත් නඩේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වාසනාව චිර ජිවනය සමන් දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා“

රුපියල් විස්සක් මගෙ උඩ සාක්කුවෙ ඉදං දෙකේ ඉලක්කමේ කට ඇරගෙන මට හිනා වෙනව. ඒ අතරෙ අපි ඉර සේවෙ බලන්න කියල ලෑස්ති වෙනව. මං උස නැති හංද තාප්පෙ දිහා බලං ඉන්නව. ටිකකින් මෙහෙම ඇහෙනව.

“කාලගුණ තත්වය අයහපත් වීම නිසා අදදින ඉර සේවය දක්නට නොලැබෙන බව කාරුනිකව දන්වා සිටිමු“

අපරාදෙ බලං හිටියෙ“ කියමින් අපි ආපසු කරුණා කරනව. ඒ එන අතරෙ මග දිගට කඩවල තියපු බඩුත් ආපහු අරං එනව. ඔය අතරෙ ඉහළට කරුණා කරන නඩ හම්බ උනහම ආච්චම්ම රතු පාටිනුත් අපි නිල් පාටිනුත් මෙහෙම කියනව.

“වඳින්න යන මේ නඩේට“

“සම්මා සම්බුදු සරණයි“

එතකොට ඒ නඩෙං මෙහෙම කියනව
“වැඳල බහින මේ නඩේට“

“තිසරණ සරණේ සරණයි“

ඒ අනුව තවත් නඩේකට අපි එහෙම කියනව. ආච්චම්ම රතු පාටින්

“වඳින්න යන මේ නඩේට“

රංවල ආච්චම්මගෙ දුව ඇතුළු අපි

“සුමන සමාං... දෙවි පිහිටයි“

අනික් නඩේ කොලු රැල

“එහෙම කිව්ව ඒ නංගිව“

“අරං යන්නෙ මමම තමයි“

ආච්චම්මට ඇහිල සිහි එලවාගන සිය වකුටු පිහිය බෑගයෙන් සොයා ගන්නා විට කොලු නඩය දුන්නෙං විද අල්ලන්නට වත් බැරි තරං දුර ගොසිනි. ඒ අතර මගදි හමුවූ සමහර කාන්තාවෝ

“තව දුරට ආන්ටී.....ඊ...“
යැයි ආච්චම්මාගෙන් ඇසූවිට

“කට. කට. කට. කට කරුණාවයි“
කියා සැර කිරීමටද ආච්චම්මා කටයුතු කලාය.
සමහර අයගේ කකුල රත්තවාතෙට පැලීමෙන් රිදුම් දීමත්, තවත් සමහර අයගේ කකුල් රිදීමත් ආදී අමාරුකං බැරිකං අතරේ අපි හවස එක පමණ වන විට පලාබද්ගලට බහිනව. ඉං පස්සෙ පෙර කී පන්සලට ගිහිං අපේ පඬුරු ඔරලෝසු ගලවල පිං කැටේට දානව. ඉං පස්සෙ අපි බෑක් තියපු කඩෙන් බතුත් කාල පිටත් වෙනව. ඔය අතරෙ ගෙවල්වල ඉන්න අය කට ඇරං බලං ඉන්න බව දන්න හිංද රසකැවිලි කීපයක් ගන්නත් සිද්ද වෙනව. මං වතුර විදින කැමරාවකුයි, මස්කට් පැකැට්ටෙකකුයි, තල කැරලි පැකැට්ටෙකකුයි ගන්නව. ආච්චම්ම දූල හැමෝටමත් එක්ක ගන්නව.

එයිං පස්සෙ තියෙන්නෙ ගිලීමලෙං රත්තපුරටත්, එතනිං මානානටත් එන එක. සමහර දවස් වලට මානානෙං අපේ ගමට එන්න බස් නැති උනහම අපේ ආච්චම්මගෙ තුංවැනි දූගෙ ගෙදර නැවතිලා ඉඳල පහුවදා තමයි ගමට එන්නෙ. කවුරුත් ගෙදර යන්නෙ ආච්චම්මට වැඳල අවසර අරං.

ඔය ගමන ගිහිං ආවයිං පස්සෙ දවස් දෙකක් විතර යනකොට ගමනට සහබාගි වෙච්ච අය කැවුං, අලුව ආදී දෙයක් හදාගෙන ආච්චම්ම බලන්න එන්න ඕනි. නැත්තං  විසුං හමාරයි. හදිසියෙං වත් එහෙම එකෙක් ආවෙ නැතොත් ආච්චම්ම මෙහෙම කියනව.

“ආයිනං ඕකුංට ගමනක් යන්න කතා කොරන්නෑ

ටික දොහකිං මගෙ වතුර විදින කැමරාව කැඩිල හෙල පල්ලට විසිවෙනව.








ප.ලි:- “ඔය කතාව දැංවත් ඉවර කෙරුවනං නේ හොඳ. නැත්තං ඕක මෙගා ටෙලි නාට්‍යක් වගේ වෙනව.“යැයි කියා අවවාද අනුශාසනා කළ චූටි මැණිකෙගේ අවවාදය පරිදි මෙම නාටකය මෙතෙකිං නිමියේය. තවත් කථාංගයකින් හමුවෙමු.




78 comments:

  1. මචං ආච්චිඅම්මගෙ වන්දනාගමනෙ ඊලග කොටස එනකන් මග බලාගෙන හිටියෙ... ......බොහොම ස්තූතියි.!

    ReplyDelete
    Replies
    1. ටිකක් ප්‍රමාද වුනා. දංනැද්ද ඉතිං මේ කන්තෝරුවල වැඩ.

      Delete
  2. :D :D :D :D :D :D :D
    achchamma siriipaadhe witharamada yanne ?
    ithuruwath liyana kam balan innawa (Y)

    ReplyDelete
    Replies
    1. මොකෑ නැතුව. උංදැ අටමස්ථාන, සොලොස්මස්ථාන ආදී සියලුම තැංවල ගීං තියෙනව.

      Delete
  3. සුපර් මචෝ.. මේ චූටි මැණිකෙට කියහං උන්දැගේ වැඩක් බලාගෙන ඉන්න කියලා.. කියවන අපේ ඉල්ලීමට තමයි උඹ ලියන්නෝනේ. අහ්!, මේ ටිකේ මාත් බදුල්ලේ ඉන්නේ. ඒක නිසා ඉතින් මටනම් ලියන්නම වෙන්නේ නැතිවෙයි වගේ. හැක්. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. //මේ චූටි මැණිකෙට කියහං උන්දැගේ වැඩක් බලාගෙන ඉන්න කියලා//
      ඔය ඉතිං ටොමියට නිදන පොට්ටෙකත් නැති කරන වැඩක්.

      Delete
  4. නියමයි. චූටි මැණිකෙට නොකියා අළුත් කතාවක් ඔය විදියටම රහට, දිගට ලියහන් මචෝ :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කොයි? එයා තමා ඉස්සරෝම කියවන්නෙ

      Delete
  5. Replies
    1. ආං හොඳයි. මටත් ඕනැ ප්‍රසිද්ධිය තමා. හික් හික්.. බැලුවං මාත් දේස පාලුවෙක් වගේ

      Delete
  6. / අදිසි හස්තයකින් ඔසවන ලද්දාක් මෙන් /

    රංඔල ආච්චම්මගෙ දූ සිඟිත්ත වැටිච්චි වැටිල්ලට හරියටම හරියන්නෙ අදිසි පාදයකින් කකුල් මාට්ටුවක් දැම්මාක් මෙන් කිව්වනං...හෙහ්

    / ඔය ඝන්ටාරෙ නාද කරන්න පුළුවං අවස්ථා තුනක් සිරිපාදෙ කරුණා කරපු අයට විතරයි. /

    මළ ජංජාලයයි..වස වැරැද්දක්නෙව වෙල ඇත්තෙ. මම සිරීපාදෙ ගිහිල්ල ඇත්තෙ එකෝම එක පාරයි. ඉතිං මම ගන්ටාරෙ එක පාරක් නාද කරා. අඩේ ඒ කියන්නෙ මම එහෙම කරපු එක ඉන්තේරුවෙම්ම වැරැද්දක් ..එහෙම නේද?

    අර කතාවක් තියෙන්නෙ සිරීපාදෙ එක පාරක්වත් නොගිය එකත් මෝඩයා. එක පාරකට වඩා යන එකත් මෝඩයා කියල. අන්න ඒ ආප්පෝතදේසෙ අකුරටම අනුගමනය කරල මම මෝඩයෙක් නොවී වැලකුණා...හෙහ්,හෙහ්,ඇත්තම කිව්වොත් මම සිරීපාදේ එක පාරක් නෙවෙයි එකහමාර පාරක් ගියා. පළවෙනි පාර දවල් යාලුවෙකුගෙ ගෙදර රහමෙර පානය කරල රෑ කරුණා කොරන්ට පිටත්තුනා. සමං දෙයියො කෝප උනාද මංද බාගයක් දුර යනකොට මයෙ කෙණ්ඩා පෙරලිච්චි. කොහොමවත් යන්ට බෑ එතනිං එහාට, ඒ පාර ඒ ලඟ කඩේකිං ලුණු දියකරපු වතුර බුජං බාගයක් විතර බීල එතනම තිබ්බ ලී මැස්සක ඇලවෙලා බුදියගත්ත.අනික් අය මළුවට ගිහිල්ල එනකල් එහෙම්මම ඉඳල එවුන් දෙන්නෙක්ගෙ කරේ එල්ලිල පහලට කරුණා කරා. මම දෙන්නෙක්ගෙ කරේ එල්ලිල පහළ බහිනව දැකල ඔය උඹලගෙ ආච්චම්මල වගෙ වයසක උදවිය බොහොම පැහැදුනා. " බලන්ට මේ ළමයා මෙච්චර අමාරුකමකුත් තියාගෙන නෙව මේ වගෙ පුන්න කරුමයක් කරන්නෙ..අනේ සාදු..අනේ සාදු...අනේ..සාදු..."

    බැන්දයිම් පස්සෙ අපේ ගෙවල් අහල පහල ජෝඩුවකුයි එයාලගෙ ගෙදර අයයි එක්කල සිරීපාදෙ කරුණා කලා. ඒ පාරනං දෙයියංගෙ පීටයි, බුද්දස්සරණයි...කිසි අවුලක් නැතුව කරුණා කලා...

    එතකොට ආච්චම්ම එක්ක සිරීපාදෙ කරුණා කිරිල්ල අහවරයි.. ඊලඟට මොකද්දෑ? උඹ ආච්චම්ම එක්ක වට වන්දනාවෙ ගියෙ එහෙම නැත?

    ReplyDelete
    Replies
    1. //අඩේ ඒ කියන්නෙ මම එහෙම කරපු එක ඉන්තේරුවෙම්ම වැරැද්දක් ..එහෙම නේද?//
      මම දන්න තරමින් නං එකපාරක් ගිය අයට උනත් තමං ආවෙ එකපාරයි කියල දැනුං දෙන්න ඝන්ටාරෙ ගහන්න පුලුවං.

      //රහමෙර පානය කරල රෑ කරුණා කොරන්ට පිටත්තුනා. සමං දෙයියො කෝප උනාද මංද//
      වෙන්න බෑ. එහෙම උනානං මම ගිය ගමං වලින් පළවෙනි පාර ඇරි වෙන එක පාරක්වත් කරුණා කරන්න හම්බෙන්නෙ නෑ.

      Delete
    2. රවි මහත්තෙයා, තමුන්නැහැ කොල්ල තියෙන්නෙ බරපතල වැරැද්දක්. කොයි අහ ගියත් සිරීපාදෙනං බීල යන්ට නාකයි. ඔය සමං දෙයියන්නෙ අනුහස් හරියට බල පවත්තන තැනක්. උන්නාංසෙගෙ හාස්කං මගෙ මේ නේත්තරා දෙකට දැකල තියෙයි. එව්වත් පස්සෙ කියන්නං.

      ඝන්ටාරෙනං කෝම ගැහුවං මොකද.... සද්ද පූජාවනෙ.


      වට වංදනාවෙත් ගියා උන්දැ එක්ක. ඒකෙ ලියන්නත් දෙයක් ඇත්ද කියල කල්පනා කොරේ

      Delete
  7. කාලෙකිං සීරීපාදෙ කරුණා කොළා. සංහිඳක් ලැබුණාම ආපහු වනදනාවක යමු. කරුණාවයි!

    ReplyDelete
    Replies
    1. එහෙම කියපු ඒ මැට්ටට

      මගේ ගානෙ තෑන්ක්ස් එකයි

      Delete
  8. චූටි මැණිකේ ඉක්මන් කරන්ට කීව හන්දද මන්දා මේ කොටස කලින් කොටස්වලට වඩා වෙනස් කියලා හිතුණා. කතා විලාශය වෙනස් වෙලා. කලබලෙන් ලීවාවත්ද?

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි කුමාරිහාමි. මටත් එහෙම හිතුන. වස වැරැද්දයි උනේ. මට ඕනැ කොරල තිවුනෙ ඉරිදටවත් ඊළඟ කොටහ දාන්න. ආයි එහෙම නොවෙන්න වැඩ කරන්නං. ඇත්තටම වටින උදව්වක් කලේ.

      Delete
  9. චූටි මැණිකෙටබම්බු ගහගන්ඩ කියහං බං

    ReplyDelete
    Replies
    1. කට ... කට.... කට... කරුණාවයි. එයැයි මේ එක්කොමත් කියෝනොව. දෙයියෝ බත් පතයි පැදුරයි කොට්ටෙයි, කොම්පීටරෙයි, තල පරිගණකෙයි නැති කොරන්ට එපා.

      Delete
  10. අතුරු ආන්තරාවක් නැතුව කට්ටිය කරුණා කරල ඇවිල්ල තියෙන්නෙ. ආච්චිගෙ බලේ තමයි බොල. නැත්තං රංඔල ආච්චිට තමුංගෙ දූල දෙන්න නැතුව තමයි ගමට යන්න වෙන්නෙ.

    2002 ගංවතුරෙදි මඩට යටවෙච්ච මහන මැෂිමක්. අල්මාරියක් වගේ ලට්ට ලොට්ට කලවානෙ ඉන්න අපේ මාම කෙනෙක්ගෙ ගෙදරත් තියෙනව.

    චූටි මැණිකෙ කියන විදියට වැඩ කරන්නැතුව ආච්චම්මත් එක්ක වට වන්දනාවෙ ගිය හැටිත් ලියහං.

    ReplyDelete
    Replies
    1. - එම-
      (මෙහි එම යන්නෙහි තේරුම ඉහල කොමෙන්ටුව බලන්න යන්නයි)

      Delete
  11. ටාං..........................
    මම ගිහින් තියෙන්නේ එක පාරයි.හැබැයි ඉතින් ඝන්ථාරේ ගහන්ට බැරි වුනා නොවැ.එක නිසා ඔන්න දැන් ගැහුවා.අපිත් එක්ක ගිය නඩේ ඇයො කරුණා කෙරුවේ නම් රහමෙර සමගින් නොවේ මල් සහා පැණි සමගින් ලු.

    ReplyDelete
    Replies
    1. මෙතැන බබලත් ඇත්තොත් ඉන්න අල්ල පනල්ලෙ ඔහොම ගාංටාරෙ ගහන එක හරිද?

      Delete
  12. හතරවෙනි වතාවටත් හිතේ හැටියට සිරීපාදේ කරුණාකරා සුරන්ගලෑ අච්චම්මාට පිංසිද්ධවෙන්න...
    සමන් දේවාලේ පෙරහර එහෙම බලන්න එන්නේ නැද්ද අච්චම්මා හැබෑට...?

    ReplyDelete
    Replies
    1. නැත්තං. ඒකට ගිහින්නෙ අපේ ආච්චම්ම දංසලක් කියල අපිව අරං ගිනිකන හෝටලේකට රිංගුවෙ.

      Delete
    2. හෝටලේ නම සප්තපාදි හෙම නෙමෙයි නේද..:)

      Delete
    3. මේ සප්තපාදී එකේ චෙෆ් ද?

      Delete
  13. කවදාවත් සිරිපාදේ ගිහින් නැති මෝඩයෙක් තමා මෙන්න මේ කොමෙන්ටුව කොටන්නේ. මං මේ කතාව මුල ඉඳල අගට පස් පාරකට වඩා කියෙව්වා කියහන්කෝ. කලින් මුකුත් කෙටුවේ නැත්තේ කොටන්න යන වෙලාවෙත් ආපහු සැරයක් කියවන්න පටන් ගත්තු නිසයි. කියල වැඩක් නෑ මේ ලිවිල්ල නං.

    මේක කියවගෙන යද්දී පොඩි කාලේ සිද්ද වුනු හුඟක් දේවල් මතක් උනා. ගොඩක් අය (වැඩිපුර නෑයෝ තමා) පොඩි ළමයි කවදාවත් ලොකු වෙනවයි කියල හිතාගෙන නෙවෙයි වැඩ කරන්නේ. ඒ පොඩි කාලේ සිද්ද වෙන දේවල් ලොකු උනාමත් හිතේ ලොකුවටම තියෙනවා (මගේ හිතේ වැරැද්ද ද මන්දා). ඒවායින් මං ඉගෙන ගත්තු ලොකුම පාඩම තමයි කවදාවත් පොඩි ළමයෙක්ට එහෙම නොසලකන එක ..

    (මට මල පනින අනික් දේ තමා ලොකු එවුන් එකතු වෙලා පොඩි උන්ව මඩෝන එක . පොඩි එකාට මල පැනල අඬන කන්ම සමහර හරක් මේ වැඩේ කරනවා. පොඩි එකාගේ මනසට මේක කොහොම බලපානවද කියන එක ගැන ඒ මෝඩයන්ට වගේ වගක් නෑ. අම්මල තාත්තලත් ලමයව බිල්ලට දීල ආතල් ගන්නවා. මෑරෑටි පොඩි එකෙකුට පාරක් ගහල මට්ටු කලාට කමක් නැහැ මෙහෙම මෝඩ ආතල් ගන්නේ නැතුව)

    ReplyDelete
    Replies
    1. මුලින්ම බ්ලොග් එකට ආවේ අටම්පහුර පැදගෙන හොඳේ..

      Delete
    2. රොටිය බබෝ, උඹ තමයි මගෙ මේ ලිවිල්ලෙ නියම තැනිං අල්ල ගත්තෙ. අනික් අයට ඒක වැටුනෙ නැත්තෙ ඒ අයට උන්නෙ නියම නෑදෑයො හිංද. ඒ අය කවදාවත් තමංගෙ පොඩි එවුන්ට වද දීල සතුටු වෙන අය නෙවෙයි හිංද කාටවත් මේක ඔලුවට වැටුනෙ නෑ. ඉතිං හැමෝටම වගේ අහුවුනේ මේකෙ තියෙන හාස්‍යය කොටස විතරයි. ඒක ඒ අයගෙ වරද නෙවෙයි. ඒක ඒ ඇත්තොංගෙ පිංකාර කම. හොඳ නෑදෑ පරපුරක් ලබන්න පිනක් තියෙයන්ට ඕනැ.

      ඔය උඹ කියන ජාතියෙ කාලකන්නි තිරිසං දෙමාපිය, නෑදෑ සනුහරෙයක් ඉන්න ඇත්තෙ මං වගේ පව්කාරයො කීප දෙනෙක්ට විතරයි බං. දැං ඉතිං මට බනිමු බලන්න කවුරුත්.

      Delete
    3. /ඔය උඹ කියන ජාතියෙ කාලකන්නි තිරිසං දෙමාපිය, නෑදෑ සනුහරෙයක් ඉන්න ඇත්තෙ මං වගේ පව්කාරයො කීප දෙනෙක්ට විතරයි බං. දැං ඉතිං මට බනිමු බලන්න කවුරුත්./
      බනින්න දෙයක් නෑ ඇත්තටම නෑදෑයො ගැන මේ විදිහට කියන එක මගෙ ඔලුවට යන්නෙත් ප්‍රබන්දයක් විදිහට. මට තියෙන්නෙ නෑදෑයො ගැන සුරංගට තියන අත්දැකීම් වලින් විරුද්ද පැත්ත.

      Delete
    4. මචං, උඹ අම්ම තාත්ත ගැන කතා කරන විදියට මම නං ඇත්තටම විරුද්දයි. අමතක කරන්න බැරි තැන් සැහෙනට තියෙනවා කියල තේරෙනවා. ඒත් කවදාවත් දෙමව්පියෝ ගැන නං එහෙම හිතන්නවත් එපා. තමුන්ව පව්කාරයෙක් විදියට හිතන්නත් එපා. ඒ ඒ කාලවල අම්මල තාත්තලට සිද්ද වෙන දේවලුත් එක්ක අපට අඩුපාඩු වෙන්න පුළුවන්. ඒත් ළමයි විදියට ඒ ඔක්කොම අමතක කරන්න ඕනෙය කියන තැන තමා මම ඉන්නේ

      Delete
    5. උඹ හරි. උඹ පොඩි කාලෙ බිම ඉඳගෙන බත් කද්දි තාත්ත උඹට පයිං ගහල නැතුව ඇති බත් පිඟානත් එක්ක මුනිං වැටෙන්න. උඹේ තාත්ත උඹට බත් කවන්න ඇති වඩාගෙන. එහෙව් තාත්තලට වැඳහල්ල බං මල් තියල. උඹේ තාත්ත උඹ ඉස්කෝලේං දුන්න ගෙදර වැඩ කරද්දි උඹේ කනට ගහන්ට නැතුව ඇති. එයා උඹට එව්ව ලියන කියන හැටි කියා දෙන්න ඇති. ආං තාත්තල. ඉන්න පැත්තකට හැරිල මාත් වඳින්නං.

      Delete
    6. /ඔය උඹ කියන ජාතියෙ කාලකන්නි තිරිසං දෙමාපිය, නෑදෑ සනුහරෙයක් ඉන්න ඇත්තෙ මං වගේ පව්කාරයො කීප දෙනෙක්ට විතරයි බං. දැං ඉතිං මට බනිමු බලන්න කවුරුත්./
      බනින්න දෙයක් නෑ ඇත්තටම නෑදෑයො ගැන මේ විදිහට කියන එක මගෙ ඔලුවට යන්නෙත් ප්‍රබන්දයක් විදිහට. මට තියෙන්නෙ නෑදෑයො ගැන සුරංගට තියන අත්දැකීම් වලින් විරුද්ද පැත්ත.

      අනේ කම්මලෝ උඹ ඉන්නේ පොලවේ පය ගහලයි කියල මං හිතුවේ . මචං ඌ උගේ කතාව ලියාගන යයි , උඹ ඇවිත් ඔය විදිහට උඹේ අදහස කියහං , ඒකයි බ්ලොග් කියන්නේ

      Delete
    7. Rotiya Baba

      මචං, උඹ අම්ම තාත්ත ගැන කතා කරන විදියට මම නං ඇත්තටම විරුද්දයි. අමතක කරන්න බැරි තැන් සැහෙනට තියෙනවා කියල තේරෙනවා. ඒත් කවදාවත් දෙමව්පියෝ ගැන නං එහෙම හිතන්නවත් එපා. තමුන්ව පව්කාරයෙක් විදියට හිතන්නත් එපා. ඒ ඒ කාලවල අම්මල තාත්තලට සිද්ද වෙන දේවලුත් එක්ක අපට අඩුපාඩු වෙන්න පුළුවන්. ඒත් ළමයි විදියට ඒ ඔක්කොම අමතක කරන්න ඕනෙය කියන තැන තමා මම ඉන්නේ

      ඌ කියල හිත නිදහස් කරගන නෝමල්වෙයි බං , කියන්න දීහං ,

      මං එහෙමට ඉගන ගත්ත මිනිහෙක් නෙමෙයි මචංලා . මට හිතෙන්නේ , බ්ලොග් කියන්නේ නිදහසේ හිතෙන දැනෙනදේ ලිවිල්ලට කියලා , මෙහෙම නිදහසක් අපේ සල්ලි වලින් පොතක් ගැහුවත් ලැබෙන්නේ නැ ,

      අපේ අදහස කමෙන්ට් එකක් විදිහට දෙන්න පුලුවන් ,

      හැබැයි අරක එපා මේක එපා කියන්න , කමෙන්ට් කාරයෙක් විදිහට අපිට අයිතියකි නැ.

      එහෙම කරල ලියන ්අන් එව්වා ඇහුවහම මෙව්වා බ්ලොග් වෙන්නේ නැ

      Delete
    8. කම්මලයි, රොටියා බබයි ඒ දෙන්නට හිතෙන දේ තමයි ඔය කියල තියෙන්නේ අටම්... හිර කරං ඉඳලා නෑ...

      අනෙක් අතට අටම් කියල තියෙන්නේ ඒ දෙන්නට එහෙම කියන්න එපා කියන...

      දැන් මොකද වෙන්නේ එතකොට :-) :-)

      Delete
    9. සුරංගයා උඔ ලියපන් නිදහසේ ඇත්ත.. බොරැ කැටයම් වලට වඩා හිතරිදුනත් ඇත්ත එල ද බ්‍රා

      Delete
  14. ලක්ෂපාන යුද හමුදා කඳවුරෙන් තමයි ඒ කාලේ (1980 දශකයේ) ශ්‍රීපාද වන්දනා සමයේදී පොලීසියට අමතරව ආරක්ෂාව සැපයුවේ. මම දවසක් උදේ 9.00 ට විතර ගියා බලන්න කොහොමද අපේ ආරක්ෂක මුරය කියලා.

    සියල්ල හොඳින් සිදුවෙනවා. මට එක පාරටම හිතුණා ශ්‍රීපාද මුදුනටම යන්න. සෙබළු දෙන්නෙක් එක්ක, අවි ආයුධ රහිතව ගියා. නිල ඇඳුම පිටින්.

    හරිම රසවත් අත්දැකීමක්. වන්දනා නඩ වලින් බඩ පැලෙන්න කන්න බොන්න ලැබුණා.

    මේ ආච්චි අම්මගේ තවත් කතා ඉදිරියටත් එයි නේද?

    ReplyDelete
    Replies
    1. ආං එහෙමයි විචාරක මහත්තෙයා ඒ කාලෙ. ඇත්තට ඒ දවස්වල හමුදාවෙ නිල ඇඳුමට රටේ තිවුන සැලකිල්ල අපරිමානයි. දැං එහෙම නෑ.

      තව ඉදිරියට ලියන හැම එහෙකම උන්දැ ඉන්නව.

      Delete
  15. දවාලේ කෑමේකත් අමතක වෙච්චි මේක කියවන්ට ගෙහුං..
    මේ රටාවට සෑහෙන්න මනාපයි ඈ...
    මගෙ බ්ලොග් රෝලටත් එකතු කරගන්නව..
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. දවාලට නොකා ඉන්නවනං හොඳා. දවාලට කෑවං හරි අමාරුයි.

      Delete
  16. ආච්චි එක්ක ගමන වදයක් නොවුන පිරිසක් හිටියද , උන්දැට හැමදාම ගමන් එක්ක යන්න.?

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙක් හිටිය. බලෙං අල්ල ගත්ත අය. උන්දැ තරහ වෙයි කියල එන අය.

      Delete
  17. මාත් ශ්‍රීපාදේ ගිහින්ම නෑ ඒත් මේක කියෙව්වම මටත් ගියා වගේ දැණුනා. හරිම ලස්සනට ලියවිලා ...

    ReplyDelete
    Replies
    1. වරක්වත් යන්න. අඩුමගානෙ ලංකාවෙ භූ විෂමතා වෙනසවත් දකින්න

      Delete
  18. සුරංග, ඔබ කවදා හරි මේව පබ්ලිශ් කරන්න. මායාරන්ජන් ගෙ, පියදාස කහඳගමගේ ගෙ, කතා වගේ මේවයෙ තියන අනන්‍යතාව අති විශිෂ්ඨයි.ඔබට තේරෙනවද මන්දා? අව්‍යාජ ගැමි කම සැබෑවට මෙහි තියනවා. ඔබ අපිව ඒවයෙ ජීවත් කරවන්නෙ ඔබ හරිම අවංකව, නිර්ව්‍යාජව මේවා ලියන නිසා.

    මෙවා පබ්ලිශ් කරන්න.කරපු කළෙක කියන්න මගේ අනාවැකිය හරි නේද කියා.

    ReplyDelete
    Replies
    1. දැං කාලෙ පොතක් ප්‍රසිද්ද කරන්න තරං මුදලක් අතේ තියෙන්නත් එපායැ.මේකත් පබ්ලිශ් කිරීමක් තමයි නෙ. ඔයාල තමයි මෙව්ව අනික් අයට කියන්න ඕනි. එතකොට ඒ අය තවත් අයට කියයි. ඔය විදියට ප්‍රචාරය වෙයි. බොහොම ඉස්තූතියි මගෙ ලිවිල්ලට වටිනාකමක් දුන්නට.

      Delete
  19. ගයත්‍රිගේ කතාව මාත් අනුමත කරනවා. පොතක් ගහපන් කොහොම හරි. චුටි මැණිකේ වලි දැම්මොත් විශ්වාස භංගයක් ගේනවා කියහන් බ්ලොගාල එකතු වෙලා. මචන් මට හිතා ගන්න බැරි මේ කොයි කලේ ගැනද කියන්නේ කියල.
    //ඒ අතරෙ අතර මැදිං පැනල අනේ නඩේ අස්සට රිංගපු එකෙක් දෙන්නෙක්ගෙ ඔලුත් හයියෙං අනින්න ආච්චම්ම සමත් උනා//.
    අපට නම් වැඩිය ඔහොම නෑදෑයෝ හිටියේ නැහැ. අපේ තාත්තගේ අම්ම (කිරි අම්මා ) නම් සැරයි. අපි කටවල් වහගෙන තමා හිටියේ එයා ගාව.
    මම 2000 දී කසාද බැඳපු වෙලේ මගේ අලුත් බිරිඳයි එයාගේ පවුලේ කට්ටියයි අරං ගියා. මම අත් දිග කමිසයක් ඇඳන් නැග්ගේ. අපේ අම්මගෙන් නම් කන් කරච්චලේ තිබ්බේ උඹ රුසියාවේ හිටියට කමක් නැහැ. ජම්පරයක් ඇඳපන් අරක මේක කියල. හැබැයි ඊට අවුරුදු විස්සකට විතර කලින් තාත්ත, අම්ම හා නඩයක් එක්ක ගිය ගමන තමා වඩා හොඳ. ඒ පාර කාපු සිනි සම්බෝලයි සුදු පාන් වලයි රහ තවම දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. පොතක් ගහන්න මේ ලියවිල්ල හොඳ මදි කියල මං ඉංතේරුවෙංම දන්නව. ආං පොතක් ලියන්න හොඳා අපේ රවි මහත්තැං. මේ අනූ ගනංවල අග විච්චි සිද්දි. අනේ ඉතිං අලුත බැඳපු මනමාලයටත් මට වගේම වෙලා තියෙන අපූරුව

      Delete
  20. වන්දනාව එහෙනම් මෙතනින් නිමියේය. අඩේ උඹ මලුවෙදිත් රුපියල් විස්සක් මාටියා ගැහුවා නේද දෙයියංගේ සල්ලිවලිං?

    දැන් වහ්හාම පට්ටාං ගනිං වට වන්දනාව ගැන ලියන්න.

    (චූටි මැණිකේ මූට බකට නොඇද ඉන්නවද ප්ලීස්)

    ReplyDelete
    Replies
    1. රැපියල් විස්සක් කියන්නෙ දෙයියෝ තව තුනක් දැම්මම මගෙ මාසෙ සීසන් එකේ ගානනෙ.

      Delete
    2. බොග ගද නැති වෙනකොට නැතුව යන උඹ රස ගද බ්ලොග් දකිනකොට එනව ඩුඩ්ඩෝ

      Delete
    3. චුටි මැනිකේ මේ අපේ කොල්ලාග් කකුලෙන් ඇදලා ගුටි කන්න එපා.

      Delete
  21. ගැහුවා නේද දෙය්යන්ට දුන් පඬුරෙන් විස්සක්. දවසකට වත් පුතයා සුරංගයා.
    පොල්ගහවෙල ඉස්ටෙසමේ ඉඳන් පාන්දර 1ට කියවන්නෙ. හිනාවෙනවා අහන්ට කවුරුත් නෑ
    (එලකිරි වගේ පස් වතාවක් කරුණා කර ඇත. මුල් වතාවේ සිටම ඝාන්ටාර ගැසුවෙමි. ඔය කියන සමන් දේවාලය ගැන නම් නිච්චියක් නොමැත)

    ReplyDelete
    Replies
    1. පාන්දර පිනිබාංට පුලුවෙනි තොප්පියක්වත් දාගන්න. සමන් දේවාලෙයක් එතැන තියෙනව. ඒකටත් යන්න එපායැ. ආයි ගියාම බලන්නකො

      Delete
  22. මටත් මං ඉස් ඉස්සෙල්ලම සිරිපා කරුණා කොරපු හැටි මතක් උනා.මං හිතන්නේ පලවෙනි පෝස්ට් එකෙත් මං කොමන්ටුවක් දාන්න ඇති.ඒ කතාවේ කියපු,අපේ නඩේ ගුරා උන ආච්චිත් අර ගණ්ඨාරේ ගහන්න ගත්තම නැවැත්තුවෙම නෑ,බලන් යද්දි කතාව දන්නෙ,එයා 90 සැරයකටත් වඩා සිරිපා කරුණා කොරලා තියෙනවා බොලව්!!!

    ReplyDelete
    Replies
    1. දෙයියෝ. ඒ කියන්නෙ උන්දැ අවුරුද්දට දෙතුං වතාවෙ ගිහිං තියෙනව. ඉතිං ඒ වගෙ කෙනෙක් ඝන්ටාරෙ ගහන්න ගත්තම අනික් අය ගෙදර යනකංම එයා ඝන්ටාරෙ ගහනව. ඒ නිසා අලුත් නීතියක් ගේන්න ඕන. වෙනිං ලොකු ඝන්ටාරයක් හයි කරල නීතියක් දානව ලොකු ඝන්ටාරෙං එකක් පොඩි ඝන්ටාරෙං දහයයි. එතකොට අනූ තුං වතාවක් ගිය කෙනෙක් ඇත්නං ලොකු ඝන්ටාරෙං නවයයි, පොඩි එකෙං තුනයි. කොහොමද ටිකිරි මොලේ?

      Delete
    2. අපේ එකෙක් ඉන්නවා වයස 25 යි සිරිපාදෙ කරුණාව 65 යි.

      Delete
  23. පස් හය වතාවක් ඔය ගමන ගිහිං තියෙනවා.ආපහු කරුණා කරන්න පුළුවන් වේවිද දන්නෙත් නෑ .

    ReplyDelete
    Replies
    1. ආයිත් වලියක් (වාරයක්) යං, බණ්ඩිය අඩු වෙන්නත් කියල

      Delete
  24. අනේ හම්මේ, උඹලගේ ආච්චි මරු බං. අන්න ඒකටත් එක්ක අපේ එක්කෙනා.. එයා කට වරද්දගෙනයි අපි චාටර් උනේ.. වෙලාවක ලියන්න ඕන ඒ සින්එකත්..

    ReplyDelete
    Replies
    1. හෙනං ලියමු ලියමු. අපිටත් බලන්න.

      Delete
  25. මේ වගේ ගියපු තව ගමන් බිමන් නැද්ද බං...
    ආච්චි එක්ක පාන් ගේන්න කඩේකට ගිය ගමනක් හරි කමක් නැහැ ලියපන්...
    මම සිරීපාදේ හය හමාර වතාවක් ගොහුන් තියෙනවා.
    ඒත් මම ඒක සලකන්නේ හත් පාරක් කියලයි. නැත්නම් ඉතින් ඝාන්ටාරේ ගහද්දි බාගේ ගහන්න විදිහක් නැහැනේ... හෙහ් හෙහ්...

    අර චුටි මැණිකේ කියන උන්දැට තමුන්ගේ වැඩක් පොළක් බලාගෙන ගෙදරට වෙලා ඉන්න බැරිද දන්නේ නැහැ නේද උඹට බාල්දි පෙරළන්නේ නැතුව...

    ReplyDelete
    Replies
    1. කඩේ යන්න ඕන්නෑනෙ. ආච්චම්මගෙ ගෙදරම කඩෙයක් තිවුන. ඒකෙ හැටිත් වෙනම කියන්නං.

      පුරා එක ගහන්නෙ ටාං... කියල. බාගෙ ගහන්නෙ ටකං.. කියල.

      හා.හා. කට කරුණාවයි. මාලු පිනි දෙකක් එක්ක බඩ්ඩිංගක් කන්න තියෙන එක නැති කොරහල්ලකො සේරම එක්කහු වෙලා.

      Delete
  26. ආය ඉතිං මෙනවා කියන්නද එල ද බ්‍රා..
    උඔට ඔහම ලියන්න නෑදා පරපුරක් හරි ඉන්නවා මට අම්මගෙවත් තාත්තාගෙවත් නෑදැයෝ එක්ක ඉලව් මගුල් නෑ..
    වෙලාවක බෝතලයක් ගහලා කතා කරමු..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. රුපියල් අසූවෙ පොල් රා බෝතල් .

      Delete
  27. මම නම් තාම සිරීපාදෙ කරුණා කරන්න බැරි උන එකෙක්. ඒත් මේ ටික කියවද්දි නම් මාත් ඒ නඩේ එක්ක ගියා වගේ දැනුනා...
    අටං අයියගෙ පාර දිගේ තමයි මමත් ආවෙ... සුබ පැතුම්...

    ReplyDelete
  28. උඹේ කතා සේරම රොස් පරොස් ඇරල නොනටයි, ලොකූටයි කියෙව්වා බං. මටවත් මුලදි තේරුනේ නෑ උඹට මේතරං මිනිස්සු හිනස්සවන්න පුළුවං කියලා. මේක තමා හැකියාව. ජීවිත අත්දැකීම් සියල්ලම ඌණනයෙන් හො අතිශයෝක්තියෙන් වුණත් මෙහෙම ලියන්න පෙළඹුනොත් උඹට මාර දුර ගමණක් ගිහෑකි.

    ReplyDelete
  29. එක හුස්මට මේ ටික කියෙව්වා බන්. හවස් වරුවෙම මෙලෝ වැඩක් කලේ නෑ.. හෙහ් හෙහ්
    නෑදෑයෝ ගැන මට තියෙන්නේ ඉතින් වෙනස් හැඟීමක්. මට ඕනේ මට පුළුවන් තරමින් උන් හැමෝටම උදව් කරන්න. මොකද අපිට නැති බැරි වෙලාවේදී එයාල අපිත් එක්ක හිටපු නිසා.


    උඹේ මේ වචන කියවද්දී මට අපේ තාත්තලාගේ පවුලේ අය මතක් වෙන්නේ. දැනට තාත්තගෙ පවුලෙන් ඉතිරි වෙලා ඉන්නේ ලොකු තාත්ත විතරයි. එයාගේ කටින් තාම සමහර වෙලාවට ඔය වචන එනවා හෙහ් හෙහ්


    ReplyDelete
  30. යකෝ ඔක්කොම කියෙව්වා එක හුස්මට. උඹේ ලියවිල්ල මරු

    ReplyDelete
  31. සුරා මලේ ...ඇත්තටම අපේ තාත්තගෙන් පොඩිකාලේ මම ලබපු අත්දැකීම් උඹට ගොඩක් සමීපයි..... එතුමා මගේ අධ්‍යාපනයට උදව් කලේ නැතත් පාඩුවේ A/L වලට පාඩම් කරන්න දුන්නනම් අද අපි ගොඩාක් ඉහල තැනක...... ඒත් සුරා එක වෙලාවකට හිතෙනවා අපි පොඩි කාලේ ඒ කටුක අද්දැකීම් ලබපු නිසා අද ඕනෑම සමාජයක ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන්න හැකියි කියලා.... ඒත් මම අපේ කොල්ලෝ දෙන්නට සිත් රිදෙන කිසිම හැසිරීමක් කරන්නේ නෑ..... ඒ වගේම හැකි සෑම විටම මම විදපු කටුක අද්දැකීම් උන්ට කියා දෙනවා

    ReplyDelete
  32. චූටි මැණිකේට බංබු ගහගන්න්න කියලා තව ටිකක් ලිව්වනන්ම් මරු..

    ReplyDelete