Follow by Email

Sunday, May 17, 2015

වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma - 2

මං හීනෙං ආස්යාත්තරාවක් එලෝගෙන අපේ ගමට උඩිං යනව. ඒ යන ගමං සාක්කුවෙං දිලිසෙන කොල තියෙන අමුතුම රට ටොපි ජාතියක් කාල කොලේ බිමට දානව. අපේ ඉස්කෝලෙට උඩිං යද්දි මං එයිං කොළ කීපයක්ම බිමට දැම්ම. ළමයි එව්ව අල්ලගන්න පොර කනව. කරුණාවතී මිස් එහෙමත් මිදුල්ට බැහැල උඩ බලං ඉන්නව. මං ඒ දිහා බලන්නැතුව ඉස්සරහටම යනව. බලන්න නාකයි ඔය ගුරුවරු දිහා. හැමදාම ගෙදර වැඩ දෙන එකට එහෙම තමා කොරන්න ඕනි. තව ඩිංගක් එහාට යද්දි මානානෙ ටවුමත් පහු වෙනව. කඩ සාප්පුවල ඉන්න අය පවා පාරට බැහැල  මං උඩිං යන හැටි  බලනව. ගිය සිංහල අවුරුද්දට දවස් දෙහෙකට කලිං මං කරුංක විකුණන්න ගිය වෙලාවෙ මට  රතින්න පෙට්ටියක් නිකං දුන්න පැසං සුනිල් මුදලාලිත් මිදුලෙ ඉන්නව. මං මගෙ සාක්කුවට අතදාල සල්ලි මිටියක් අරං ඒකෙං අලුත්ම දාහෙ කොලෙයක් බිමට දැම්ම එයාට අහුලගන්න. එතැනිං එහාට රත්තපුරේ. හැම තැනම තට්ටු ගනං උස කඩ, හෝටල්. මං ඒකත් පහුකොරගෙන තවත් ජියර් එකක් දාල ඉස්සරහට යනව. ඉං එහාට දිවිය ලෝකෙ. ගෝල්ලිප් පැකැට්ටෙකේ තියෙන රත්තරං ඊයං කොළවලිං ඔටුනු හදාගෙන ඔලුවෙ දාගෙන, සාරි ඇඳගත්ත දෙවිගොල්ල වළාකුළු උඩ පුටු තියං ඉඳගෙන ඉන්නව.  මලක්, පහනක්, හඳුංකූරක්වත් අරං ආවනං පූජ කොරල ඉල්ල හිටින්න තිබුන කසිප්පු විකුණන කලු මාමයි, එව්ව හදන්න දන්න එවුනුයි සේරොම අල්ලල අපායට අරින්න කියල. මං ඒ හැමෝටම සාදු කියල වැඳල ආයිත් ඉස්සරහට යනව. හීනියට ගන්ටාර සද්දෙයක් ඇහෙනව. 
ටාං... ...... ටාං......... ටාං............. ටාං.................
ටාං....... පටාං ... සලබලාං........ 

“ඕක තමයි මැණිකෙ උඹට මං කිව්වෙ ඕව එක පිළිවෙලකට අහුරල තියහං කියල. බලහං විච්චි හරිය“ 

ආච්චි අම්ම කාට ද බණිනව. අපරාදෙ මට ඇහැරුනා.

“ලොකු දුවේ, ටෝච්චෙක අරං ගිහිං දොළ ගාවිං පත්කොල හතරක් කපං වරෙං“ 

ආච්චම්ම නියෝග දෙනව . බත් ඔතන්න කෙහෙල් ගහෙං කපා ගන්න ‘කෙහෙල් අග්ගිස්‘ ගහෙං කැපූ සැනිං ‘කෙහෙල් කොල‘ නියන නාමය  අතෑරල ‘පත් කොල‘ කියන නම වැළඳ ගන්නව.

“ඔය ගමං අරූටත් ඇහැරෝපං“

කාටද බොලේ ඒගමන ඇහැරොවන්න යන්නෙ? මට වෙන්න බෑ. මාමට වෙන්න ඇති.

“පුතේ...., පුතේ.........., ළමෙයෝ........., ළමෙයෝ......., පුතේ....“ 

අම්ම ඇහිල්ල මාව හොලෝනව. මං නිදි වගේ ඉන්නව.

“නැකිටහං, කොලුවෝ....... මේ ..... නැකිටහං..... අන්න ආච්චම්ම කතා කොන්නොව“ 

උන්දැ ඒ ගමන පෙරෝන රෙද්දෙනුත් අදිනව.

“ළමෙයෝ.... නැකිටහං...... ඔන්න තොට ඕන රෙද්දක් කොරගනිං“ 

අම්ම පත්කොළ කපන්න යනව.
අම්ම කෙහෙල් කොළ ටික කපං ඇවිල්ල ඊළඟ වඩිය ටිකක් දරුණුවට මාව ඇහැරෝනව. එතැනදි දරුකම පැත්තක තියල සුරතල් නාම කීපයක් අත්හදා බැලීමට සිද්දවෙනව.

“ළමෙයෝ..... නැකිටහං..... අන්න බස්සෙකත් ඇහිල්ල..... නැකිටහං..... කොල්ලෝ..... නැකිටහං...... අනේ මංද තොට කිව්වට අහන්නෑනෙ. නැකිටහං යකෝ, ඉදකිං තෝ වගේ බස්සෙක්..... “ 

පළමු සුරතල් නාමයෙන්ම ඇයට මදක් කේන්ති ගොස් ඇති බවත් ඊළඟට අතේ ඇති එකිං මට දෙසාබාන බවත් තේරුණු මම ඇඟ හිරි ඇර “මොකදැ“ අහනව.
“නැකිටහං අන්න හැමෝම ලැහැත්තිවෙලා ඇහිල්ල“

අප්පට සිරි. හැමෝම බඩු මුට්ටු එල්ලගෙන සෙරෙප්පු එහෙමත් දාගෙන මං එනකං පාරට වෙලා බලං ඉන්න දර්ශනයක් මගෙ හිතේ මැවෙනව. මං පැදුරෙන් බිමට බැහැල පැදුර අකුලනව. ඉං පස්සෙ දොර, උලුවහු, අල්මාරි, මේස පුටු ආදියෙං පාර අහගෙන කුස්සියට යනව. දුම (දුම්මැස්ස) ගාවට උස ගින්දර පත්තුවෙන ලිප් දෙක අතරින් බිම ඉඳගෙන ඉන්න ආච්චි අම්ම මට පේනව. මට මතක් වෙන්නෙ සින්දුවක පදයක්

“අම්මා වටකර ලිපගිනි මෙලවෙනවා.....“

උන්දැ හැන්දක් අරං වරිං වර ලිප් දෙකේ තියෙන ඇතිලි දෙකට අණ දෙනව. ඒ අතරෙ අම්මටත්, පුංචි අම්මටත් කටින් අණ දෙනව. ඒ අතරම උන්දැගෙ ආහාර ජීර්ණ පද්ධතියෙ අනික් කෙළවරත් නොයෙක් කංකලු නාද නිකුත් කරනව. කොහොමත් හැමදාම උදේට උන්දැ ලිප ලඟින් ඉඳගත්තම ඒ නාදය අපිට ඇහෙනව. එය වරක් මෝටර් බයිසිකලයක නාදයක්ද, වරෙක මලකඩ කෑ දොර අසව්වක නාදයද, තවත් විටෙක ඉතා දුර්ලභ කුරුල්ලෙකුගේ නාදයද අනුකරණය කරනව.

“කට හෝදගනිං“ 

අම්ම මට අණ දෙනව. කලේ වහල තියෙන බෙලෙක් කෝප්පෙ අරං ඒකට කලෙං වතුර ටිකක් නමාගෙන කටට උගුරක් දාගන්නව. ඉං පස්සෙ කට වහල ඒ වතුර ටික “කොච කොච කොච කොච කොච කොච කොච කොච“ නදින් අට වරක් හොලවනව. ඊළඟට කට උඩට හරවල “ගා ගුරු ගුරු ගුරු “ කියල උගුරෙ තියං වතුර ටික නටෝනව. දැං ජනේලෙ ගාවට ගිහිල්ල ‘පචස්‘ කියල අර ටික විසි කරනව. නැවත වරක් ඒ ආකාරයටම කරනව. දැං ඇති. ඊළඟට සීනි දාපු කහට ටිකක් හම්බුවෙනව. මං ඒටික බොනකොට “ආ“ කියල අලුව කෑල්ලකුත් හම්බුවෙනව.

“කක්කුසි යනවනං දැංම පලෙයං, ආයි කොහෙවක් මගදි තැනක් නෑ“ 

ආච්චම්ම අනතුරු හඟවනව. මං වැසිකිලියට යනව. විනාඩි දහයක් විතර ගියාට පස්සෙ ආපහු එනව.

“මූන හෝදගෙන ලැහැත්ති වෙයං“ 

මං අඟුරු කෑල්ලක් හොයනව. නැති තැන පත්තුවෙන දර කෑල්ලක් ලිපෙං අරං මිදුලට ගිහිං වතුර එකක ඔබනව. “චාව්“ කියල නිමුනම අඟුරු කෑල්ල කඩාගෙන දත මදිනව. ඊට පස්සෙ මූනෙ වතුර ටිකක් ගානව. ඇස් දෙකේ කොං හතරෙ තියෙන කබ නියපොත්තෙං කඩනව. ආයි වතුර ටිකක් මූනෙ ගානව. අත් දෙකෙත් වතුර ගානව. ඉතුරු වතුර ටික කකුල දෙකට හලා ගන්නව. අහවරයි. මං නිවිච්ච ගිනි පෙනෙල්ලත් අරං ගෙට එනව.

“කොහෙද උඹ ඔය ගිනිපෙල්ල ගිනිච්චෙ?“

“දත මදින්න අඟුරු ගන්න“

“එතකොට උයන්නෙ කොහොමද බලහං“ 

හරියට මං මුලු ලිපේම තියෙන දර ටික ගත්ත වගේනෙ ආච්චි අම්මගෙ කතාව.

“මං ගත්තෙ එක කෑල්ලයි. ඒකට ලිප නිමෙනවයැ“ 

මං කරුණු පැහැදිළි කිරීමක් කොළා.

“මුගෙ කටනං සෑහෙන්න වැඩියි. බලහංකො එකටෙක කියාගෙන එන හැටි“

ආච්චි අම්ම සාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක් මතු කළා.

“එකටෙක කිව්වයැ. මං ඉතිං උත්තරේ දුන්නෙ“

මමත් ලේසියෙං ඇරියෙ නෑ.

“මුගෙ දට්ටික කඩන්න ඕනි. “

ආච්චි අම්ම දන්ත ශල්‍ය උපකරණය ලෙස හැඳිමිට උරුක් කරමින් බැන වැදුන.

ඉතිං ඔය මදෑ, ආච්චම්මත් පුංචිත් මට බැන වැඳීම පටං ගනිද්දි මං මට ඔය ගමන යන්න බැරි බව අම්මාට තරයේම කියා හිටිය.  ඒ වුනාට ගමන යන එක බාදා උනොත් ඒක “මූසල“ බවත්, “මොකක් හරි මගදි උනොත්“ මට ඒකට වග කියන්න වෙන බවත් කියා පෑමත්, පසුව මාමා පැමිණ “අනෙ අම්මෙ කෑනොගහ ඉන්න“ කියා ආච්චම්මගෙ කට වැහීමත් නිසා මං ආපහු හිත හදාගත්ත. හැබැයි ආයි මොනව හරි කිව්වොත් උන්දැට කරන දේ මං දන්න බවත් මං අම්මට කිව්ව. මගදි අවස්ථාවක් ලැබුනොත් උන්දැට ඕකට වැඩක් දෙන්නත් මං මතක තියාගත්ත.

මං සුදු කමිසෙ ඇඳල පුංචම්මගෙ පුතාගෙං ඉල්ලං ආපු දික්කලිසමත් ඇන්ද. බැනියං කියල ජාතියක් තිවුනට ඒවයෙ ඕන කමක් මට තිබුනෙත් නෑ. තිබුනත් ගන්නත් බෑ. අපේ ගෙදර ‘ලංකැට්‘ කියල එකක් තිබුන මතකයි. ඒක ඇංදෙ තාත්ත දුර ගමනක් යනකොට විතරයි. මට ඒකක් තිබුනෙත් නෑ. සෙරෙප්පු දෙක දාගෙන සාලෙට යනකොට නඩේ ටික දෙනෙක් ඇහිල්ල මඩුවට වෙලා ඉන්නව. විජේසේන මාම වරිංවර ටෝට්චෙක පත්තු කරල වෙලාව බලනව. එයත් තඩි බෑක් බෙරෙයක් ගෙනැහ්ල. ටිකෙං ටික නඩේ එක්කහු වුනා. බත් බැඳල ඔක්කොම කොරල ඉවරයි. ආච්චම්ම තාම සැරසෙනව. 

“ඔය ඇති අම්මෙ, ඕ හැටි මොකද්ද“ 

පුංචි ඇහිල්ල ආච්චම්මව ඉක්මං කොරෝනව.

“ඉඳහං, එහෙම කලබොලේට ලැහැත්ති වෙන්න මං මැසිමක්යැ“ 

ආච්චම්ම ඔසරිය ඇඳල, කොණ්ඩෙ ගුලියක් බැඳල, මාලෙයක් දාල, දැං පවුඩර් දානව. මූන හොල්මනක් වගේ සුදු වුනාට පස්සෙ ආයිත් පිහිනව. අන්තිමට ආයි ඔසරිය හදනව. ලේංසුව තුංහුලැස්වට නමල ඒකෙ උල හරියෙං ටිංගක් අහුවෙන්න ඉනේ ගහගන්නව. අවසං වතාවට ආයිත් රවුමක් කැරකිල අල්මාරියෙ කන්නාඩියෙං අඩුපාඩු බලනව. යංතං හරි වගේ. 

“මැණිකේ, මට උඹේ සැං කුප්පියෙන් ඩිංගක් දීහං“

අප්පට සිරි මුන්දැ ඒ ගමන සැං ගහන්නත් පටං අරං. මාමගෙත්, පුංචිගෙත් හිනාව මැද්දෙ කලුපාට බෝතලේ රත්තරං පාට අස්ප ඔලුව ඇඳපු සැං කුප්පියෙං ටිකක් හැට්ටෙ වටේට හලාගෙන ඒකෙ පුස්ඹ බලල උන්දැ සෑහීමකට පත්වෙනව. බෝතලේ අරං තියන ගමං පුංචම්ම මටත් එයිං ටිකක් ඉහිනව. හැඩවැඩ වීම් අහවර වෙලා අවසානයට ආච්චම්ම සාලෙට එනව. ඒ එන ගමනුත් ආයි පාරක් මූන පිහිනව.
 
“ආ, විජේසේන එහෙමත් ඇහිල්ල ඉන්නෙ. කොහෙද, මේ මුට ඇහැරින්න කිව්වට ඇහැරුන්නෑනෙ.“ 

ආච්චම්ම ආයෙත් මාව පාවල දෙනව. යකෝ මං ඇහැරුන්නෑ කියල උන්දැට ලැහැත්තිවෙන්න බැරිඋනේ කොහොමද? උන්දැට දෙන දඬුවම මං ටිකක් දරුණුවට ලියාගත්ත.

“කෝ, රංඔල නංගි එහෙම තාම නැද්ද?“

ආච්චම්මට සැකයි සිය පිරිවර අවසන් මොහොතෙ මග ඇරියද කියල.

“අර පාරට වෙලා ඉන්නෙ.“

පාර අද්දර හොල්මං වගේ ලා එළියට පේන කිහිප දෙනා පෙන්නල විජේසේන මාම කියනව.

“එහෙනං අපිච් පාරට යං දැං බස්සෙකත් එයි.      හා, එහෙනං වැඳහං හැමෝටම“ 

ආච්චම්ම මට අණ දෙනව. මේ තමයි ගමනේ උත්කර්ෂවත්ම වෙලාව. ආතට මුලින්ම වඳින්නෝනෙ උන්දැ මට යහමින් සලකයි. වන්දනා ගමනක් යද්දි වඳින්න ගිහාම කීයක් හරි හම්බුවෙන් බව මං දන්නවනෙ. 

“ආතෙ මං යනව“

මං ආතට වඳිනව. 

“ආ.... හා .හා හොඳා හොඳා. හිටහං ඩිංගක්“ 

ආත ඇඳෙං නැකිටල ගිහිං අල්මාරිය උඩ අතගාල යතුරක් අරං, ඒකෙං මහ මේසෙ දකුණු ලාච්චුව අරිනව. ඒකෙ තියෙන බෙලෙක් ටිං එක අරං ඒක ඇරල ඉඳිකොල පෝස් (පර්ස්) එක ගන්නව. ඒකෙං රුපියල් පනහක් අරං මට දෙනව.

“ඉඳා, මේක ගනිං. උඹ මේකෙං ඕනැ එකක් අරං කාහං“

ගමන සුභයි. වැඩේ ගොඩ නිල් පාට කොලේ සාක්කුවෙ දාගත්ත මං විගහට කඩ හිමි, වෙළඳ ව්‍යාපාරික, මොන්ටිසෝරි උස්සවේටත් තෑගි දෙන, පුංචි අම්ම ලඟට ගිහිං දණ ගහල වැංද.

“පුංචියෙ අපි යනව“

“ආ. මේක පිටිපස්සෙ සාක්කුවෙ දාගනිං, නැතිකරගන්නැතුව. “ 

පුංචම්මත් එකට ඔතපු කොල කීපයක් දෙනව. මං විගහට ඉතනිං අහක්වෙලා ගැනල බලනව . රුපියල් හැත්තෑවක්. තව ඉතුරු .... පාටසාලාචාර්ය, සද්ගුණවත් මාම ඉන්නවනෙ. මං විගහට එයා හොයාගෙන යනව. මාම කුස්සියට වෙලා අලුව කෑල්ලක් කකා කහට බොනව. 

“මං යනව මාමෙ“

මං මාමට වඳිනව. 

“හා හොඳා“ 

මාම කලබලේට අත වෙනුවට කහට කෝප්පෙ මගෙ ඔලුවෙං තියනව. මං නැගිටිනව. කීයක්වත් නෑ. මාමට වැඩේ අමතක උනාද. සිරිත් විරිත් දන්නැද්ද. එක රුපියල් තිහක් දුන්නනං මොකද? ආයි උන්දැට බයිසිකලේ හෝඳන්න මං එහෙම වතුර ගෙනත් දෙන්නෑ. මං බුම්මගෙන යනව. අන්තිමට අම්ම ඉන්නව. එයාටත් මං වඳිනව. එයා නං සල්ලි දෙන්නෑ. එයා කරන්නෙ මගෙ සල්ලි හංගන තැන හොයාගෙන එතනිං සල්ලි ගන්න එකනෙ. 

“ආච්චම්මටත් වැඳහං“ 

අම්ම කියනව. ඒ මොකටද එයත් අපි එක්ක යනවනෙ. කමක් නෑ වඳිමුකො කීයක්වත් දෙන්නැතෑ. මං වැංද. හැබැයි උන්දැ බැලුවෙවත් නෑ. එයා ඉතිං කවදක්වත් මට කීයක්වත් දෙනවයැ. අද වැඳීල්ල පාඩුයි.

“යහ්, යහ්, තව ඩිංගෙං බස්සෙක එයි“

ආච්චම්ම අපිව දක්කන්න පටං ගත්ත. අම්මයි, පුංචියි, මාමයි ආච්චම්මට දණ ගහල වැංද. අපි පාරට ආව. ඒ පස්සෙං මාමත් ආච්චම්මගෙ දිග බෑක්කෙක අරං පාරට ආව. විජේසේන මාම අලුව පෙට්ටියයි එයාගෙ බෑක්කෙකයි ගත්ත. ආච්චම්ම ආතට වැන්දෙ නෑ. හරිනං වැඩිමහල් අයට වඳින්න එපායැ.

පාරෙ හිටිය නඩේ අනික් අය. රංඔල ආච්චම්ම, උන්දැගෙ දූල දෙන්න (මේ දූල ටික ජම්බල වගේ රෝස පාටට පිම්බිල ඉන්න හිංද ඒ ගෙදෙට්ට ගමේ අය කිව්වෙ ජම්බල ගෙදර කියල), රාජ මාම, තවත් ගෑනු පිරිම් පහක් හයක් එක්ක. නඩේ දැක්ක ගමං ආච්චම්ම ගත්ත නායකකම අතට, අර කෙල්ලෝ දෙන්නව ගත්ත වහල්කමට, 

“හා, උඹල දෙන්නත් ආවද.“

“හිහික්. ඔව් නැන්දෙ“ 

උං දෙන්නත් සිරික්කිය දාල හිනාඋනා. අපේ ගමට විටිං විට ටේල් බයිසිකල්වල නැගී සංගලාස් දාපු කොල්ලො පැමිණෙන්නත්, අහල පහල තේ කඩවල ටොපි, චොකලට් විකිනෙන්නත්, රංඔල ආච්චම්මට ඉසේ කැක්කුම ඇතිවෙන්නත්,  ඉවහල් වූ ඒ දෙන්න එතකොට ඉස්කෝලෙ අන්තිම පන්තිවල හිටියෙ. 

“හිනාවෙන්න, බොල හිනාවෙන්න තියාගන්නෙපා. ඔහොම හිනාවෙලා තමා අංතිමට නැති මංගල්ල ඇතිවෙන්නෙ. උඹල බස්සෙකෙං බැස්සට පස්සෙ ආයි එක එකා දිහා බල්ල හිකි හිකි ගාන්න ලෑහැත්ති වෙනව නෙමෙයි. අන්තිමේදි මහ එවුංට තමා ඒවයෙනුත් වදේ“ 

උදේ පාංදර මනුස්සකමට හිනා වෙච්ච කෙල්ලො දෙන්නට ආච්චම්ම පොලිස් පොතේවත් නැති විදිහට බයිනව. උං දෙන්නත් කුටු කුටු ගාල මූනු පුලුටු කොරගත්ත. අපේ ආච්චම්මට මොකාගෙ උනත් ඇදෙයක් තියෙනවමනෙ. ඒ එක්කම රංඔල ආච්චම්ම එක්ක උන්දැ පටංගත්ත කයිවාරුවෙං අපි මද සැනසිල්ලක් ලැබුව. ඔය අතරෙ මං ගාවට කිට්ටු කොරපු අපේ මාම,

“ආ මේක තියාගෙන ටොපි කන්න“ 

කියල කොල කීපයක් මගෙ අතේ මිට මොලෝල සුරුස් ගාල මාරු උණා. මං විගහට අත දිගෑරල බැලුව. අයිස් අප්ප රුපියල් විස්සෙ කොල හතරක්. මාම නං දෙයියෙක් මං මීට පස්සෙ මාමට නිකනුත් වතුර ගෙනත් දෙනව. බයිසිකලෙත් කඩෙං ගෙනා පාටටම එනකං හොඳට අතුල්ලල හෝදනව. මේකෙං ගන්නෝන හූනු බිත්තර පැකැට්ටෙකක්. ඒවට ඉටිවලිං හදාපු හමුදාකාරයෙක් හරි කුරුල්ලෙක් හරි, සිංහයෙක් වෙනිං මොකෙක් හරි හම්බෙනවනෙ. ඉතුරුටික තියාගනනොව මාස තුනක් සීසං ගන්න පුලුවං. මං පාර අයිනෙ ‘ජන සමෘද්ධි මාවත“ කියල පාරෙ නම ගහල හිටෝල තියෙන කොංකිරිට් එක උඩිං ඉඳගත්ත.

15 comments:

  1. //ආච්චි අම්ම දන්ත ශල්‍ය උපකරණය ලෙස හැඳිමිට උරුක් කරමින් බැන වැදුන//
    හැක් නියම කතාව.
    තාම ඇබිත්ත කොලුවට බෑග් තඩිය හම්බ වෙලා නැතුව වගෙයි. ඔහොම යංකො බලන්න.

    (කොමෙන්ට් වලට සුලුවෙන් හෝ පිළිතුරු සපයන්නේනම් මැනවි.)

    ReplyDelete
    Replies
    1. //තාම ඇබිත්ත කොලුවට බෑග් තඩිය හම්බ වෙලා නැතුව වගෙයි. ඔහොම යංකො බලන්න.//
      ඒකනෙ යාහෑල්ල කියන්නෙ දිගට ඇදෙනව

      Delete
  2. අච්ම්මා එක්ක ගමන නරකම නැහැ එහෙනම්.පටන් ගැන්මේදීම රුපියල් 200/-කම සම්මාදම් ලැබිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Manoj Fernando ඉස්සර ඉඳං මගෙ හැටි එහෙමයි. අහුවුන තැනිං ගන්නව. නැත්තං කොහොමද මේ තත්තෙට එන්නෙ

      Delete
  3. / මාමගෙත්, පුංචිගෙත් හිනාව මැද්දෙ කලුපාට බෝතලේ රත්තරං පාට අස්ප ඔලුව ඇඳපු සැං කුප්පියෙං ටිකක් හැට්ටෙ වටේට හලාගෙන .../

    බැලැක් නයිට් සැං බෝතලේ උඹ ඔය කියන්නෙ...

    වන්දනා කතාව යනව නියමෙට...ලියහං ඔය ගැම්මටම ඩම්මෙක අල්ලල...

    ReplyDelete
    Replies
    1. තමුන්නැහැල තමා මාව මේ ගොඩට ඇදගත්තෙ.

      Delete
  4. //පස්සෙ දොර, උලුවහු, අල්මාරි, මේස පුටු ආදියෙං පාර අහගෙන කුස්සියට යනව// ගමන සුභයි.. ඔහොම යං..
    (අර ඉස්සෙල්ල පෝස්ට් එකේ අකුරු යසට තිබ්බනේ බං.. මේකේ මොකෝ පොඩි උනේ? අපි වයසක උන් මේවා කියවන්න අමාරුයි..)

    ReplyDelete
    Replies
    1. ඊළඟ එක ඩිංගක් ලොකුවට දාංඥං

      Delete
  5. //පැදුරෙන් බිමට බැහැල// කොහොමොදෑ බොල පැදුරෙන් බිමට බහින්නේ ? හේ හේ නියමයි මල්ලි.
    //අපේ ගමට විටිං විට ටේල් බයිසිකල්වල නැගී සංගලාස් දාපු කොල්ලො පැමිණෙන්නත්, අහල පහල තේ කඩවල ටොපි, චොකලට් විකිනෙන්නත්, රංඔල ආච්චම්මට ඉසේ කැක්කුම ඇතිවෙන්නත්, ඉවහල් වූ ඒ දෙන්න එතකොට ඉස්කෝලෙ අන්තිම පන්තිවල හිටියෙ. // ධනවාදයේ වර්ධනය - හා හා

    ReplyDelete
  6. මං මෙතන දාපු කමෙන්ට් එක ෂුවර් එකටම උඹේ ස්පෑම් ෆෝල්ඩර් එකේ ඇති. පොඩ්ඩක් ඒක අරං ගොඩිං තියාපං හොඳ එකා වගේ.

    ReplyDelete
  7. Kathawa ela. Yako api kannadi daana wayasaka un bolaw. Aye ahawalak dodawanne nethiwa akuru loku korahan. Phone eken kiyawanne. Ehunai. Jaya wewa..!!

    ReplyDelete
  8. සුරංග, ඔබ කවදා හරි මේව පබ්ලිශ් කරන්න. මායාරන්ජන් ගෙ, පියදාස කහඳගමගේ ගෙ, කතා වගේ මේවයෙ තියන අනන්‍යතාව අති විශිෂ්ඨයි.ඔබට තේරෙනවද මන්දා? අව්‍යාජ ගැමි කම සැබෑවට මෙහි තියනවා. ඔබ අපිව ඒවයෙ ජීවත් කරවන්නෙ ඔබ හරිම අවංකව, නිර්ව්‍යාජව මේවා ලියන නිසා.

    මෙවා පබ්ලිශ් කරන්න.කරපු කළෙක කියන්න මගේ අනාවැකිය හරි නේද කියා.

    ReplyDelete
  9. අපි නම් මලේ සිරිපාදේ යද්දී හැතැප්ම දෙක හමාරක් විතර කුරුවිටට යනකල් පයින්ම තමයි ගියේ... අනේ ඉතින් කුරුවිට ඉඳල එරත්නට බස් එකේ යන්න ඕන චප්ප චුරුස් වෙලා...... අපේ ගමනට පොලොස් ගැට මාළුව අනිවාර්යෙන් හදනවා... මුලින්ම මම සිරිපාදේ ගියේ 1981 අපේ ආතා එක්ක තමයි ..එයා තමයි නඩේ ගුරා ... ඒකාලේ අලි සයිස් කැසට් තඩි උස්සං යනවා..... දාන්නේ මොහිදීන් බෙග්ගේ කැසට් පටි.... අර බුදුන්ගේ අමා ධර්මේ ..... වගේ සින්දු

    ReplyDelete
  10. නියමයි..
    ලස්සනට ලියල තියනවා..
    ජයවේවා!!

    ReplyDelete