ඔය කාරනා
කටයුතු අතරෙ පුරුදු විදිහටම ආච්චම්ම ‘දළු ටික කල්ල ඉවර කරගන්නත්‘, ‘කහට බොන්න
ඩිංගක්‘ හදාගන්නත් කටයුතු කරනව. අපේ ගමේ මිනිස්සුන්ට තේ ගහ හිංද අතට යහමිං සල්ලි
හම්බ උනත්, ජීවිතකාලෙම ඉන්න වෙලා තියෙන්නෙ ‘තේ ගහ බදාගෙන‘. හරියට දවස් අටෙං නමයෙං
දළු කඩන්න ඕනි. නැත්නං දලු මේරුවහම ලොරියට දෙන්නත් බෑ, මෝරපු ටික පිහියෙං කපල
විසික් කරල ආයි දලු ඇදෙනකං බලං ඉන්න වෙනව. ඒක හිංද අපේ ගමේ මිනිහෙක් හිරේ දාල
හිටියත් දවස් හත පනින කොට මරහඬ දෙනව ‘මට යන්න දිය.. දලු ටික ගස් යනවෝ.... “ කියල.
ඔය දර්මතාවෙ
ආච්චම්මටත් පොදුයි. ආච්චම්මත්, ආතත්, බාල පුංචම්මත්, මාමත් එක ගෙදරම හිටියත්, ඒ
පුංචම්මයි මාමයි දෙන්න කසාද කරගෙන නැති උනත්, ආතට ඇරි අනික් තුංදෙනාටම වෙන වෙනම
දලුපොත් තියෙනව. ඒ කියන්නෙ ඒ අයට වෙනවෙනම තේ ඉඩං තියෙනව. ඉතිං ඔය කවුරු උනත් ගමනක්
බිමනක් යන්න තියෙනවනං තමුංගෙ ‘දළු ටික‘ කඩල ඉවර කරන්න ඕනි. වෙනදට ආච්චම්ම සතියට දවස්
හතරකටත් වැඩිය කාලෙයක් දලු කැඩුවට මෙදා දවස් දෙකෙං ඉවර කරන්න ඕනි හිංද ‘කිරි නැංද‘
හරි ‘රාජමානික්කංගෙ පවුල‘ හරි අඬගහ ගන්නව.
ඉතිං ඔය
විදිහට ලැහැත්ති වෙන ආච්චම්ම ‘කහට බොන්න‘ කියල හදාගන්නෙ ‘හැදි කැඋං‘ හරි ‘අලුව‘
හරි තමයි. කැඋං හදන්න අපෙ ආච්චම්ම තරං ‘කප් ගහපු‘ කෙනෙක් නෑ කියල උංදැම කියනව. ඩිංග
එහා මෙහා වෙනකොට තමුංගෙ ගම් පලාතෙ පුරාජේරුව පටං ගන්න ආච්චම්ම
“හරිහැටි
කැඋං ගෙඩ්ඩක් උයාගන්න ගෑනියෙක් නෑ මුළු කුකුලු කෝල්ලෙටම. ඒකටත් පස්දුං කෝල්ලෙ
ගෑනියෙක්ම ඉන්න ඕනි.“
ඔය පස්දුං
කෝරලේ හැදිච්චි හැටි හරියටම කීවෙ ගරු අගමැතිතුමානෙ. ඉං පස්සෙ ‘දිවයින‘ පත්තරේ
‘කිංබානට්‘ තුමා හරියටම ඒක විග්‍රහ කරල තිවුන මේං මෙහෙම. මේ ඒකෙ සාරාංසය
ඔය
පස්දුං කෝරලෙං දුන්න පස් වලින් හැදුව එක නුවරක්. ඒක තමයි ‘වැඩු පස්‘ නුවර. ‘වැඩු‘
කියන්නෙ ‘ගෙනාපු‘ කියන එකනෙ. ගෙනා පස් වලිං හැදූ නුවර ‘වැඩු පස් නුවර‘. ඔය වැඩුපස්
නුවර හරි ප්‍රසිද්ධයිලු ‘රා‘ වලට ඉතිං දවසක් ‘වැඩුපස් නුවර‘ රා වලිං සංතර්පනය
වෙච්ච කෙනෙක් එයිංම රා මුට්ටියක් (සරම නෙමෙයි) උඩට උස්සල පෙන්නල එව්වයෙ ගුණ වර්ණනා
කරන්න ගිහිං මිනිහට වචන පැටලිල කියල තියෙන්නෙ.
“එම්බා
කොළ, හික්... මේවා ‘පඩුවස් නුවර‘ රා ය“
ඕං ඔය
විදිහට ‘වැඩුපස්‘ කියන එක ‘පඩුවස්‘ බවට අකුරු මාරුවෙං කියවුනාට පස්සෙ මහජනතාව
කල්පනා කරල තියෙනව, මේ නමත් ඉතා අනගි නමකි. මිං පසුව ඒ නමිං මෙනුවර පඬුවස් නුවර ලෙස නම් කරමු
කියල. දැං වැටහෙනවනෙ. පස්දුං කෝරලේ පස් වලිං තමයි පඬුවස් නුවර හැදිල තියෙන්නෙ.
අපේ ආච්චම්ම
කැඋං හදනවනං ඒකට යංතංවත් සම්බන්ද වෙන්න කිසිම ගෑනු කෙනෙක් කැමති නෑ. මොකද
ඩිංගක්වත් එහා මෙහා උනොත් උංදැ වරද පටෝනව උදව් කල එකාට.
“හුනුවොල
එකී හරියට පිටි ඩිංග තැංබුවෙ නෑ. ඒකයි කැඋං මෙච්චර අමු“
“කරුණගෙ
ගෑනි පිටි හලන්න දන්නෑ. ඒකි කැට හිටින්න හලල“
“චන්දරේගෙ
පවුල පු* වන වනා හිටියට සීනි ඩිංග උනුකොල්ල දෙන්න දන්නෑ“
ඒ හිංද අපෙ
ආච්චම්ම හැමදාම කැඋං හදත්දි උදව්වට කවුරුවක් නෑ. එදාට පිටි ඩිංග කොටන්න මෝලට යන්නෙත්
මං. පිටි ඒදන්න, සීනි උනු කරන්න තියා ලිපට දර කෑල්ලක් දාන්න තරමට එකෙක් ඒ අහලකටවත්
කිට්ටු වෙන්නෑ. ඒකෙං හිතාගත්තෑකිනෙ උංදැගෙ කටේ තරම. ආච්චම්මට දර ටික කිට්ටු කොරල
දෙන්නෙත් මං. අපෙ ආච්චම්ම කුස්සිය පැත්තෙ මඩුවෙ ඉඳං කැඋං හදත්දි කවුරුවත් ආවට කැඋං
ගෙඩ්ඩක් කන්න තහනං. කාට හරි කැඋං ගෙඩ්ඩක් ඕනි නං කැඋං හදල ඉවර වෙනකං ඉන්න ඕනි.
කුස්සියෙං
එලියෙ වෙනම හදපු මඩුවෙ තියෙනව ‘බ්ලොක් ගල්‘ දෙක ගානෙ තුං පැත්තෙං තියල හදපු ලිපක්.
ඒ ලිපේ තමයි කැඋං උයන්නෙ. ඒ ලිප ගාව එක උඩ එක හරහට තියපු බ්ලොක් ගල් දෙකකට උඩිං
‘පෝර කවරෙයක්‘ එළල, ඒක උඩිං ආච්චම්ම ඉඳගන්නව. ඊළඟට හිල් හිල් තියෙන තෙල් හැංදත්,
පීරිසි කෝප්පෙත් ආම්පන්න ලෙස අරගන්නව. පිටි දිය කරල හදපු කැඋං හදන සාවරෙත් ලඟිං
ගෙනත් තියාගන්නව. ලිපේ තියපු තාච්චියෙ තෙල්ටික රත්වෙනකොට ආච්චම්මගෙ කැඋං හදන මහා
මෙහෙයුමත් පටං ගන්නව.
බේසමේ තියෙන
කැඋං සාවරේ පීරිසි කෝප්පෙට අරං පැංසලක තරම ගනකමට වැලක් වගේ තාච්චියට වක්කරද්දි
බිංදුව වගේ තියෙන ආච්චම්මගෙ කටත් අට වගේ වෙනව. ඒ කැඋම පිපීගෙන එනකොට ආච්චම්මගෙ
කටත් උස අඩුවෙලා පළල වැඩිවෙලා හිනාවක් මෝදු වෙනව. එතකොට ආච්චම්ම කැඋම අනික් පැත්ත
හරෝනව. ඔය අතරෙ උංදැගෙ ආහාර මාර්ගෙ පහළ කෙලවරිං නලා සද්දෙකුත් පිටවෙනව. දෙපැත්ත
ගාංට පිච්චුන කැඋම තෙල් හැංදෙං බාගන්න ආච්චම්ම ඒක වලඳක කටේ හිර කරපු කිරි ගොට්ටකට
දානව. එතකොට කිරිගොට්ටෙ හිල් අස්සෙං බේරෙන වැඩිපුර තෙල්ටික වළඳට වැටෙනව.
ආයිත් පිටි
සාවරෙයක් තාච්චියට “චාආආආ...උ“ කියල වක්කරනව. ඔය විදියෙං ආච්චම්ම කැඋං
හදල, එව්වයෙ තෙල් බේරුනාට පස්සෙ පත්තර පිටු එලපු කාට්බෝට් පෙට්ටියක අහුරල කොහු
ලනුවකිං බඳිනව. ගෙදර ඇයටත් කැඋං ටිකක් ඉතුරු කරල ඒ ටික වෙනම වළඳක දාල තියනව.
ඔය විදිහට ලැහැත්ති වෙන ආච්චම්ම ගමනට කලිං දවසෙ වරුවක්ම ගතකරන්නෙ උංදැගෙ අල්මාරිය සහ ඇඳ අතරෙ. එදාට උංදැගෙ අල්මාරිය අස්සෙ තියෙන සේරම ‘අටම්පහුරු‘ ටික බලාගන්න අවස්තාව හම්බෙන හිංද මාත් ඒ අහලම කැරකෙනව. මුලිංම ආච්චම්ම අල්මාරිය ඇරල එක එක තට්ටුවෙ තියෙන රෙදි ගොඩවල් වෙන වෙනම අරං උංදැගෙ ඇඳ උඩිං වෙන වෙනම තියනව. එක රෙදි ගොඩක් ඇඳ උඩිං තියල රෙද්දෙ ගැටේ ලිහල ආයි තද කරගෙන ආපහු හැරිල ඊළඟ
රෙදි අට්ටිය හීං සීරුවට ගන්නව. ඒ එක්කම රෙදි ටිකට යටිං එලල තිබිච්ච කහ ගැහිච්චි
පත්තර පිටුවත් ඇදිල එනව. සමහර වෙලාවට ඔය රෙදි ගොඩවල් අස්සෙ ඉඳං ‘කරදලි‘ පැනල යනව,
කපුරු බෝල බිමට වැටෙනව. මං ඒ කපුරු බෝල ඇහිඳල දෙනව. ආච්චම්ම කොස්සක් තියාගෙන
‘කරදලින්ට‘ වැඩේ දෙනව.
රෙදි ගොඩවල් සේරම එලියට ගත්තට පස්සෙ උංදැ එව්වගෙං එකිං
එක අරං වෙන වෙනම දිගෑරල බලල තනියෙංම කියෝල, නමල වෙනම තියනව. ඕං ඉස්සෙල්ලම සාරියක්
අරං ඒක දිගාරිනව. ඒකෙං පරණ සුවඳක් එනව. ආච්චම්ම ඒකෙ එක පොටක් දිගෑරල ඉහලට උස්සල
අල්ලගෙන ඒකෙ ‘අලගියතැං මුලගිය තැං‘ කියවනව.
“මේක තමයි උඹලයෙ මාම ඉස්සිස්සෙල්ලම ඉස්කෝලෙ
උගන්නංන ගිහිං ගත්ත පඩියෙං මට අරං දුන්නෙ. ඒ කාලෙ හොඳ සාරියක් හැත්තැ පහක් ඉතර
වෙනව. මේක නං එයිට අඩුයි හුඟක්, මේව අඳිංන බෑ ලිහෙනව. මේව හොඳා වියං බඳින්න
ගන්නනං“
ඒක එක ගොඩකිං තියනව. ඉං පස්සෙ රෝස පාටට හුරු, දංපාට මල්
තියෙන තව එකක් ගන්නව.
“මේං මේක තමා ජෝකපාල චූටිව (මේ කියන්නෙ අඩන
පුංචම්ම) බලන්න ආපු වෙලේ ගෙනාපු සාරිය. ඒ දවස්සොල චූටි සාරි අඳිංනැති හිංද මේක මට
දුංනෙ. මේක නං ඒ කාලෙ ඕනි ගමනක් බිමනකට ඇංදැකි.
දැං නං මේ ‘පැටං එක‘ පරනයි. මේක හොඳා ජනේල වැහෙන්න තිර මහන්න ගන්නනං.“
ඉස්සර ගෙදරක දානෙයක් දෙද්දි, එතනිං ගියං කොටහලු මගුල්
වලදි සෙනගට ඉන්න හදන මඩුවෙ ඉහලිං ටකරමට යටිං වියනක් ආකාරෙට බඳින්න වගේම ඒ මඩුව
වටේට ඇතුල පිටට නොපෙනෙන්න වහන්නත් සාරි ගන්නව. ඒ වගේම දොර රෙදි, ජනෙල් රෙදි වෙනුවට
දැම්මෙත් තරමක් පරන ‘සිලික් සාරි‘.
ඔය විදිහට ‘අඳින්න ඇහැකි‘
හා ‘වෙනිං වැඩකට ගන්න‘ වසයෙං සාරි වෙං කරනව.
ඉං පස්සෙ චීත්ත, ආයි හැට්ට, බෙස්සීට්, සාලු ආදියත් වෙං කරනව. ඔය වෙං කිරිල්ලෙදි
සමහර වෙලාවට ‘අඳින්න ඇහැකි‘ ගොඩයි ‘වෙනිං වැඩකට ගන්න‘ ගොඩයි මාරු වීමෙං උංදැගෙ තේරීම
ආපහු මුල ඉඳං කරන්න වෙනව. ගොඩවල් වලට වෙං කරල ගත්තයිං පස්සෙ ‘අඳින්න ඇහැකි‘ ගොඩවල් ටිකෙං ගමන යන්න හොඳ ඇඳුං ආයිත්
තෝරනව. ඒ විදිහටත් තෝරල ගත්ත රෙදි තමයි වන්දනාවෙ යාමට සුදුසුකං ලබල ආච්චම්මගෙ දිග
බෑක්කෙකේ ඇතුලට රිංගන්නෙ. ප්‍රතික්ෂේපිත රෙදි ටික ආපහු අල්මාරිගත කිරීමට පලමුව මට
වැඩක් පැවරෙනව.
“මෙතෙංට වෙලා කට බලියං ඉන්නැතුව ගිහිං මේකට
දාන්න හොඳ පත්තර කරදහි ටිකක් හොයං වරෙංකො“
පුංචම්මගෙ ඇඳේ පැදුරට යටිං තියෙන පත්තර ටිකෙං ‘සුවඳ‘
පත්තරේ හරි ‘සඳරේනු‘ පත්තරේ හරි අලුත්ම එකක් මං අරං එනව. ඒ පත්තරවල ‘කෙල්ලො කොල්ලො
මූනු ඉඹින‘ හැටි පිංතූර තියෙන පිටු ඇරල ඉතුරුටික ආච්චම්මට දෙනව. උංදැ ආයිමත්
අල්මාරියෙ තට්ටුවක් ගානෙ පිහදාල ඉවර වෙලා අර පත්තර පිටු එලල ඊට උඩිං රෙදි ගොඩවල්
ටික අඩුක් කරනව. ඉං පස්සෙ අල්මාරිය වහල යතුර අතට අරං ආපහු හැරිල මයෙ දිහා බලනව.
“පලෙයං මෙතන මගෙ කට දිහා බලං ඉන්නැතුව“
මං අල්මාරියෙ යතුර හංගන තැන දකී කියල වෙන්නැති එයා එහෙම
කියන්නෙ. අල්මාරියෙ යතුර හංගන්නෙ අල්මාරිය උඩ තියෙන ‘ටංක පෙට්ටිය‘ යට කියල මං
දන්නව. ඒක හිංද මං එතනිං යනව යන්න.
හවස් වෙනකොට අපේ පියානං විසින් පොල් මලකුත් කපං එනව. ඒක
කොලපත පිටිංම ඉස්තෝප්පුවෙ තියල තියෙනව. කොහු ලන්නකුත් හොයල ගෙනත් තියනව.
ගමන පිටත් වෙන්න කලිං දවසෙ අපේ අම්මයි, මායි, නංගිවත්
අරං මහ ගෙදෙට්ට යනව. එදා රෑට අපි ‘බීපු බයිල‘ අහන්නැතුව නිදාගන්නව. ආච්චම්මට උදේට
වියාගන්න ලේසිවට අම්ම ඉන්න හිංද උංදැට වාසියි. සිරීපාදෙ යන්න වගේ නෙමෙයි මෙදා පාර
මගෙ රෙදි දාගන්නෙ මගෙ ඉස්කෝලෙ බෑක්කෙකේ. ආච්චම්මගෙ රෙදි එයාගෙ දිග බෑක්කෙකේ. මෙතැං
පටං උදේ ඇහැරිල ලැහැත්ති වෙන තැන දක්වාම පරන පුරුදු විදිහමයි.
ආච්චම්ම ලැහැත්ති වෙලා ඔසරියෙ පොට තියද්දි බස්සෙක එනව.
කලිංම ලැහැත්ති වෙලා හිටපු මං පාර අද්දරට එනව. බස්සෙක එතන පහුකරගෙන ගිහිං පංසල
ගාවිං හරවගෙන ආපහු ගේ ලඟට එනව. බස්සෙක ඇතුලෙ පත්තුවෙන බලුප් එලියෙං ‘බාප්ප‘ ව
පේනව. එයා ඩැයිබර ගාව හිටගෙන ඉන්නව. මට බාප්පව පේන්නෙ බස් ඔක්කොටම අයිති එක්කෙනා
වගේ. බාප්ප කියන හැටියට තමා ඩැයිබර බස් එලොවන්නෙ. දේවාලෙත් ‘බස්නායක නිලමෙ‘ කෙනෙක්
ඉන්නව කියල දැනං උන්නට එයාට අයිති මොන බස්ද කියල මට තාම හොයාගන්න බැරි උන බව
හිතමිං මං බස්සෙක ලඟට යනව. අද බාප්පගෙං අහන්නෝන ඒක ගැන.
බස්සෙක ඉස්සරහ මැදිං ඉංගිරිසි අකුරෙං TATA කියල ලියල තියෙනව.
අපිත් ගෙදරකට ගිහිං එනකොට ඒ ගෙදර අය අපිට ටටා කියනව. තව පැත්තකිං 1210 කියලත්,
අනික් පැත්තෙං ‘නදී‘ කියල බස්සෙකේ නමත් ලියල
තියෙනව. බස්සෙකේ ඇතුලෙ ඉඳං පුංචම්මත්, අයියත්, අක්කත් බිමට බහිනව. ඒ අය ගෙට යනව
ආච්චම්මගෙ ලැහැත්තිවීම බලන්න. පුංචම්මනං කුස්සියටම යනව. එයා ගිහිං වලං සේරම වහුං
ඇරල කන්න උයල තියෙන ජාති බලනව. අල බැදුමෙං එක කෑල්ලක් අරං ‘ජිංගක්‘ කාල බලල “සසයි“
කියනව. ඉං පස්සෙ ආත ඉන්න කාමරේට යනව. මුලු ලෝකෙම පෙරලුනත් අපෙ ආත නිංදෙං අහරින්නෙ
උදේ හතත් පහුවෙලා. ඉතිං පුංචම්ම ආතගෙ කාමරේට ගිහිං ආතට කතා කරනව. ඒ කරල ආත ටිප්පෙක
යන්න ආපු නැති එක ගැන කියල අඬනව.
ඔය අතරෙ බස්සෙකේ ඩැයිබරයි, කොංදොස්තරයි, අපෙ මාමයි එකතු
වෙලා දර ටික බස්සෙකේ වහලෙට පටෝනව. බඩු ගිනියන්න ලේසි වෙන්න ඒකෙ වහලෙ හදල තියෙන්නෙ.
ඒකට නගින්න වෙනම ඉනිමගකුත් බස්සෙකේ පිටේ හයිකරල තියෙනව. එක්කෙනෙක් වහලෙ, අනික්
එක්කෙනා ඉනිමගේ මැද, මාම බිම. බිම ඉඳං දෙන දර මිටිය මැද ඉන්න එක්කෙනා අරං වහලෙට
දෙනව.
ඔය අතරෙ බාප්ප පුවක් මල අරං ඒක කොහුලනුවකිං බස්සෙකේ
ඉස්සරහ රැවුලට තියල බඳිනව. එයාට ඒ වැඩේට ටෝච්චෙක අල්ලන්නෙ මම. වංදනා ගමනක් යන
වාහනේක ඉස්සරහ පුවක් මලක් ගැට ගහන්න ඕනි. ඊළඟට බෝඩ්ඩෙකක් දාන්න ඕනි “විශේෂ චාරිකා“ කියල. එච්චර ඉඩ නැත්නං “විශේෂ“ කියල දැම්මත් ඇති. නැත්තං මග දිගේ ඉන්න අය
බස්සෙකට අත උස්සනව.
ඉං පස්සෙ ආච්චම්මයි මමයි දෙන්නත් අපේ බඩු මුට්ටු අරං
බස්සෙකට නගිනව. හැමෝටම වැඳීමෙං උපයාගත් යංකිසි මුදලකුත් මගෙ කලිසං සාක්කුවෙ
තියෙනව. මං එනකං අම්මයි නංගියි මහගෙදර ඉන්න බව දැනගත්තයිං මං විසේසයෙං සතුටු වෙනව.
එතකොට තාත්ත බීල ඇහිල්ල සංඩු නොවෙන බව මට විස්සාසයිනෙ.
ආච්චම්ම බස්සෙකේ
එහාට මෙහාට ගමං කරල වීදුරු අරින්න පුලුවං, බස්සෙකේ මැද හරියෙ සීට්ටෙකක් තෝරගන්නව.
එතන ඉඳගන්න ගිහිං ආයිමත් ‘චූටිල‘ ඉන්න තැනට දුරයි කියල වෙනිං තැනකට යනව. ආයිත් ඒ
සීට්ටෙකේ හේත්තුවෙන කෑල්ල බුරුලයි කියල තවත් තැනකට යනව. ආච්චම්ම මුලු ජීවිත කාලෙම
ඉංන තැනක් හොයනව වගේ ඔය විදිහට සංගීත පුටු තරඟෙ වගේ එහෙට මෙහෙට මාරුවෙලා අංතිමට
සීට්ටෙකක් තෝරගන්නව. එහෙම තෝරගත්ත සීට්ටෙකේ ඉඳගත්තට පස්සෙ එයාගෙ දිග බෑක්කෙකයි,
මගෙ බෑක්කෙකයි දෙකම සීට්ටෙකට උඩිං තියෙන රාක්කෙට දානව.
ඔය විදිහට අපි හරිබරි ගැහෙද්දි බස්සෙක ගමන පිටත් වෙන්න
හදනව.
“ජෝගපාල මහත්තෙයා එහෙනං හරි නේද?“
බස්සෙකේ ඩැයිබර අහනව.
“හා.. හරි රත්නෙ. යං එහෙනං“
බාප්පත් අවසර දෙනව. ආං එහෙමයි අපේ බාප්ප තමයි බස්සොලට
ලොක්ක. ඉතිං බස්සෙකත් “ බර බර බර බා.....
බාං........... “ කියල ඉස්ටාක් වෙලා ඉස්සර බලුප් එහෙම පත්තු කරගෙන යන්න
පිටත් වෙනව. ඒ පිටත් වෙච්ච ගමං වංදනාවෙ යන
අනික් අයගෙ ගෙවල් වලටත් යනව. ගිහිං ඒ ඒ තැංවලිං ගන්න තියෙන බඩු මුට්ටු ආදියත්
පටවගන්නව. අයගම පාරෙං එන අය උදේ පහයි කාලට එන බස්සෙක ටිකක් කලිං අරං එනව. උදේට
ටවුමට එන්න තියෙන බස් ඔක්කොම ඩැයිබරල ගෙවල් ඔලට ගෙනියන නිසා එයාල එයිං එක බස්සෙහෙක
නැගිල එනව. ටවුම පහු කරල ටිකක් දුර ගියාම පාර අයිනෙ තියෙන උල්පතකිං විසාල ගැලුං
වලට වතුර පුරෝගන්නව. පිට පලාත්වල තියෙන වතුර අපිට බොන්න අමාරු හිංදලු එහෙම කරන්නෙ.
ඒ වෙනකොට ගමන යන හැමෝම වගේ එක්කහු වෙලා ඉවරයි. ‘පෑබොටුව‘ හංදියෙං අවසං වංදනාකාර පවුල එකතු වෙනකොට දෙල්වල කංද මුදුනෙං
ඉර එළිය පොලවට එබිකං කරනව.
උඹේ ලියැවිල්ලනම් පට්ටයි හරිය
ReplyDeleteවල්ල පට්ට උනානං සල්ලි
Deleteආයේ කියන්ඩ දෙයක් නෑ...සුපිරි ම සුපිරි....!!!
ReplyDeleteඑ්ත් බන් මට සමහර වචන තේරුනේ නෑ...
"අටම්පහුරු" කිව්වේ බඩු ද?
"කරදලි " කියන්නේ කැරපොත්තන්ටද?
කරදලි කියන්නෙ අපි අර දැලියො කියන උංටම තමා.
Deleteරූපෙ දැකල තියෙයිද මංද. කළු පාටට හුරු පොඩි සත්තු ජාතියක්. හැඩේ සුට්ටක් ඉතර කැර පොත්ත වගේ. ඒත් උංට වඩා කුඩයි. පරණ ගෙවල් වල තිබ්බ ට්‍රංක පෙට්ටි වල එතකොට රෙදි අල්මාර් වල වැහි වැහැල හිටිය. දැං නංආසාවට දකින්නත් නෑ.
රෙදිවලිං එන කපුරු සැවැන්දර මිශ්‍ර පරණ සුවදයි දැලියොයි කියන්නෙ ගහට පොත්ත වගේ. හිහි.
අපේ ගෙදරත් උන්න. දැං නං නෑ
මේ කියන්නේ කාවෝ වෙන්න ඇති.
Deleteකරදලි කියන්නෙ කාවො නෙමෙයි. කාවො අලුපාට පොඩි සත්තු ජාතියක්නෙ. අරුං කැරපොත්තො වගෙම තමයි. ඊට වැඩිය පොඩ්ඩක් පොඩියි.
Deleteඅටංපහුරු කියන්නෙ ‘හරුබස්ස‘ කියන එකටනෙ. කරදලි කියන්නෙ කැරපොත්තා වගේ එකෙක්. ටිකක් ඩෙකරේසන් වැඩියි.
Deleteකාවෝ නොවෙයි. කැරපියොංට ටිකක් පොඩි ජාතියක්.
හරුබස්ස කියන එකත් පැහැදිලි කරපන් බලන්න.
DeletePathum,
Deleteහරුබස්ස කියන්නෙ බං සබ්බ සකලමනාවට
දලු වවන එකනං මාර කට්ටක් කන්න වෙන වැඩක් තමයි.
ReplyDeleteඉස්සර ඔය ලේලන්ඩ් බස්වල එහෙම හුඩ් රැක් එකට පහලින් වම් පැත්තෙ සයිඩ් එකෙන් පටෝන බඩු වීදුරුවෙ වැදෙන්නැති වෙන්න ගාඩ් එකක් තිබුණ මතකයි.
එහනෙං දැං නමෝ විත්තියෙන් ගමන පිටත් උනානෙ. දැං හොඳම හරිය එයි නේද?
තේ ගහ ගැනනං කතා කරන්න වෙනම කතා මාලාවක් ලියන්න ඕනි. ඒකත් ලියන්නං හොඳේ.
Deleteහිංදි චිත්තරපටිවල තියෙන බස්වලනං එහෙම තියෙනව. බදුල්ලෙත් එහෙම එක බස්සෙකක් තියෙයි වටේම දැල් ගහල. ඒක තියෙන්නෙ බන්දනාගාරෙ.
කරදලි කියන්නේ කාවො වෙන්නැති.
ReplyDeleteයකෝ ටුවෙල්ව්ටෙන් එකට රැවුලකුත් තියෙනවා ඈ? :D
බස් එක ස්ටාට් කරන "බර බර බර... බා... බාං" මදි බාං. උඹ අර තලු මරන සද්දේ වචනෙට හරවන්න කරපු පර්යේශණ, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, වෙච්ච මහංසිය මේකට වෙලා නෑ. ආයෙ බලාපං.
වෙනද වගේම සුපිරි ශෛලිය.
මට ඒ සද්දෙ හරියට එන්නෑ.. සමාන මොකක් හරි වචනෙයක්වත් තිවුනනං
Deleteබස් එක ඈත එනකොට වැඩට යන්න බස් හෝල්ට් වල ඉන්න කට්ටිය බස් එකට නගින්න ලෑස්තිවෙනවා පේනවා. බස් එකට ඈත තියා අත අල්ලන "පුරුදු කාරයෝ" දැක්කාම මගෙ කට කොනක සමච්චල් හිනාවක් ඇඳෙනවා. විශේෂ චාරිකා බෝඩ් එකයි පොල් මලයි දැක්කාම බස් හෝල්ට් මූණුවල ඇඳෙන්නේ එක එක හැඟීම්. උන්ව ගනං නොගෙන, හෝන් පාරකුත් ගහගෙන, තවත් සැරදාගෙන ගහගෙන යන බස් එකේ ඉස්සරහ වීදුරුවේ වම් පැත්තේ පාත කොනෙං ඒ මූණු විසාල වෙලා අතුරුදහන් වෙලා යන හැටි දැක්කම ඇති වෙන්නෙ "රජ්ජුරුවෝ උඩයි උඩයි - ගූ කොල්ලෝ බිමයි බිමයි" හැඟීමක්.
ReplyDeleteඉතුරු කොන පාදලත් දීල තියෙන්නෙ
Deleteබුහෑක්ස්
ReplyDeleteපස්ට කියන්නෙ හොදම එක
ඉතුරු ටිකත් දා ඉක්මණට
ලබන සතියෙ පොලේ ගිහිං ඇහිල්ල තමා ඉතිං
Deleteඅපේ අම්මාට මුල්ම පත්වීම ලැබිල තියෙන්නෙ දෙල්වල ඉස්කෝලෙට. ඒ පැත්තෙ මිනිස්සු බොහොම අහිංසක හොද මිනිස්සු කියනව අම්මා කියනව. දෙල්වල ළමයි ඒ දවස්වල ගුරුවරුන්ට කතා කරල තියෙන්නෙ"නෝන මහත්තය" කියල.
ReplyDeleteහරිම අහිංසක මිනිස්සු ඉන්නෙ. ඒ දවස්වල ඒ පැත්තෙ මිනිස්සු හරිම ප්‍රසිද්ධයි කිරි පිහියෙං ඇනල මිනී මරන්න
Deleteනියම ගැමි ශෛලිය. ඉතා රසවත්.
ReplyDeleteඋඹලගේ තාත්ත කපාගෙන ආපු පොල් මල තියෙද්දී ,ඇයි බාප්පා පුවක් මලක් බැන්දේ බස් එකේ?
උබ උවමනාවෙන් කියවල, මේ ලගදි එක ටෙලි නාට්‍යයක මම දැක්කා ගැණු කෙනෙක් කුස්සියෙ ඉදන් බීම වීදුරු දෙකක් හදාගෙන එනවා, අමුත්තන්ට අල්ලන්නෙ තේ කොප්ප දෙකක්. සුරංගත් කරල තියෙන්නෙ ඒවගේ දෙයක්.
Deleteපොල් මල් පුවක් මල් දෙකම බස්බදින එකේ , මෙතෙන්දි මොකක් බැන්දද මන්ද
Deleteඑතන ඇත්තටම මට ටැපලුනා. අප පියා ගෙනාවෙ පුවක් මලක් බවත් බසේ බැංදේ එයම බවත් මෙහිලා සංශෝධනය කරමි.
Deleteමීට
විශ්වාසී
සුරංග
එලකිරි..ඔහොම යං සහෝදරයා
ReplyDeleteඑළකිරි බොන්න කලිං රත්කරන්න ඕනි. හීටරෙං රත් කලොත් ලාටුවක් වගේ බැඳෙනව හීටරේ වටේට. මං ඒක අද්දැකීමෙං දන්නව.
Deleteමට නම් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොතක් කියවනවා වගේ අව්‍යාජ ගැමිකම උතුරනවා. මාත් ගමේ තමා. ඉපදුනෙත් හැදුනෙත් ඉන්නෙත් ගමේ. මේක හරිම නිර්ව්‍යාජයි.නවකතාවක් වගේ රසවත්. දිගටම ලියන්න.අපි කියවනවා.
ReplyDeleteඅනේ තමුන්නැහැගෙ ගම කියන්නකො. මට අවුරුද්දට ඇහිල්ල දවසක් දෙකක් නවතින්න. මට දැං යන්න ගමක් නෑ.
Deleteකියලා වැඩක් නැහැ සුරංග.... බොහෝම රසවත්.
ReplyDeleteඔබට බොහෝමයක්ම ස්තුතියි! නොදැනීම අතීතයේ කිමිදෙන්නට ලැබුණ. හරිම සතුටුයි//
මට මේ මතක් වුනේ..... ඒ කාලේ අපේ ආත්තම්මා කැවුම් බදිනකොට පලවෙනි කැවුම් ගෙඩිය යක්කුන්ට කියලා වීසිකරනවා. ඒකට මොකක්ද නමකුත් කියනවා.... මට හරියට මතක් වෙන්නෙත් නැහැනේ, මේ විගහට....
පෙර්ත කැවුම නේද ඇනෝ ඒකට කියන්නේ. මේං තවත් රසවත් මතක ගබඩාවක් වන ඇනෝවෙක්.
Deleteකොහොමටත් මුලින් හදන කැවුම කොලිටි එකට එන්නේ නැති නිසාද දන්නේ නැහැ ඒක යක්කුන්ට පෙරේතයින්ට විසික්ක කරන සිරිත ඇති උනේ...
Deleteඅපේ අම්මත් ඉස්සර ඔය වගේ කොටහක් විසික්ක කලා කියල මට මතකයි...
කෝඳුරු කැඋම ගැන වෙන්නැති ඔය කියන්නෙ. ඒක කෝඳුරුවංට කන්න. ඕනම කෑමක් තැනකිං තව තැනකට ගෙනියනවනං ගිනිහිං කන්න කලිං ඒ කෑමෙං කෑල්ලක් විසි කරන්න ඕනි. නැත්තං බඩේ අමාරු හැදෙනව.
Deleteඉස්සර රේඩියෝ එකේ ගියා ගැමුණු විජේසූරිය ඉදිරිපත් කරපු 'මේ ඇහුණද' කියලා කතා මාලාවක්. ඒකේ හැම චරිතයක්ම කලේ ගැමුණු විජේසූරියමයි, විවිධ කටහඬ මැවීමේ ඔහුගේ දක්ෂතාව නිසා.
ReplyDeleteමේ ආච්චම්මාගේ වචන කියවනකොට මට මතක්වෙන්නෙම ඒ හඬ නළු නාට්‍යයයි.
නළා සද්දෙ ගැන කියවනකොට ආච්චම්මාගේ පුක (ක.කා : කුණු හරපයක් නොවේ) මතක් වෙන්නෙ නැද්ද ඔයාට
Deleteමටත් පුලුවං තව එක කටහඬක් අනුකරණය කරන්න.
Deleteඑයාට හිතෙනවා ඇති ඔයාගේ පුක පලන්න
Deleteහැම එකටම සද්දයක් දාන උඹ අර නලා හඬ සද්දයකින් නොලිව්වේ එක ගැන බලවත් විරෝධය.
ReplyDeleteහැමදාම වගේ පට්ට පට පට ශ්‍රඟ :D
//“මේක තමයි උඹලයෙ මාම ඉස්සිස්සෙල්ලම ඉස්කෝලෙ උගන්නංන ගිහිං ගත්ත පඩියෙං මට අරං දුන්නෙ. ඒ කාලෙ හොඳ සාරියක් හැත්තැ පහක් ඉතර වෙනව. මේක නං එයිට අඩුයි හුඟක්, මේව අඳිංන බෑ ලිහෙනව. මේව හොඳා වියං බඳින්න ගන්නනං“//
ජස්ට් ලයික් මයි ලවින් ග්‍රෑන්ඩ්මදර්
ආච්චම්මගෙ වාත නලා හඬද? ඒක බොහෝවිට සමාන වන්නේ යමහ ඩීටී 125 ට්‍රේලක් සද්දෙකට
Deleteආච්චිගෙ අල්මාරිය අස්සෙ අටම්පහුර මොනව කරනවද?
ReplyDeleteසියලුම අටංපහුරු ඒක අස්සෙ දුක් විඳිති.
Deleteමේ කැවුම් හැදිල්ල අහගෙන ඉඳල අපේ අත්තම්මගේ කැවුම් හැදිල්ල මතක් උනා. ලියන්න ඕනේ කිය කියා හිටියට කම්මැලියි නේ අප්පා.... එක්කෝ ඔන්නැහැ.. සුරංග ලියල තියෙන්නේ යසට.
ReplyDeleteඅපෙත් ඔය අත්තම්මගේ අල්මාරි, පෙට්ටගම්, කාමරේ වගේ 'පුජනිය' ස්ථාන වලට වෙනම ආරක්ෂාවක් දීල තිබ්බ. අපි ඔතනට ගියත් අපේ අත්තම්මට ඉව වැටෙනවා. ආයේ ඉතින් කිරිමේල් තමයි! සාරි සහ අනෙකුත් ආභරණ වල උප්පත්ති කතා වැඩිපුරම අහන් ඉන්නේ අපේ අක්කා. මම නම් හීන්සීරුවේ මාරු වෙලා යනවා. අවුරුදු දවස් වලට තමයි නියම වැඩේ! පස්සේ ලියන්නම්කො එව්වා.
මගේ වෙලාවට මම නම් වැඩිය අත්තම්ම එක්ක ට්‍රිප් ගිහින් නැහැ. හැබැයි ගමනක් ගියොත් ආයේ නැහැ සතියක් යනකල් කියන්න කතන්දර එකතු වෙනවා. ලියමු ලියමු..
ආං බලන්න. මේ ලමයගෙ නොදන්න කම. ඔය වයසක උණ්දැලගෙ පුරාජේරුව ටිකක් අහං හිටියම උංදැලගෙ ඉහ නිකට අතගා ගන්න ලේසියි.
Deleteඅනේ අම්මේ... ඔය වයසක උන්දලාගේ ඉහ නිකට නම් අතගාගන්න මට කොහොමත් ඕනේ නැහැ. ඉස්සර ඉඳන්ම එහෙමයි. ඔහොම උන්දලාගෙන් මම ගන්නෙත් නැහැ දෙයක් ලේසියෙන්. කවුද දන්නේ කුම්භාණ්ඩයෙක් වෙලා හෙම ආවොත් දීපු දේට මම කරන දේ බලන්ට කියල?
Deleteඒක නෙවෙයි බං අර පත්තරෙන් හංගගන්න "කෙල්ලො කොල්ලො මූණු ඉඹින" රූප තියෙන කොල ටිකට මොකද වෙන්නෙ...? ඒ ටික කියන්නෙ නැතුව ශේප් උනා නේද..? :D
ReplyDeleteඒ ටික ආච්චම්ම දැක්කොත් පුංචිට කචල් වැටෙනව. ආච්චම්මට අකුරු කියවන්න බෑ. රූප විතරයි පුලුවං.
DeleteHabaatama ayye e paththara pitu tikat mko kle???
ReplyDeleteඒ ටික ආයිත් පැදුර යටට තමයි.
Deleteමූ ඒ ටික හංගගන්නවා ඇති....
Deleteආත ටිප්පෙක යන්න එන්නේ නැති එක ගැන පුන්චාම්මා අඩන විදියත් දැම්මා නම් මසුරන්.
ReplyDeleteසුවඳ පත්තරේ දැන් නැහැ නේද?
සුවඳත් නෑ, සඳරේනුත් නෑ. දැං ඉතුරු සුජීව ප්‍රසන්න ආරච්චි විතරයි. ආ... තව මහේස් සත්සර මද්දුම ආරච්චිත් තාම ඉන්නව
Deleteඅදත් සුපිරි, ආච්චම්ගෙ තව දෙබස් ටිකක් තිබුනනන් තවත් සුපිරි. කමක් නෑ අනිත් කොටස ඉක්මනට දාපන් කොලුවො.
ReplyDeleteඉරිදා පොලේ ගිහිං ආවට පස්සෙ තමයි.
ReplyDeleteඔය විදියට ට්‍රිප් එකක් ගියේ නෑ දැන් අවුරුදු 15-20 කින් විතර. මේක කියවන කොට ඉතින් ගියා වගේ තමයි. එල
ReplyDeleteගියා කිව්වට ගියාම නෙමෙයි පටං ගත්ත විතරනෙ.
Deleteඅඩේ ශ්‍රංග උඹ තව මොන මොන වැඩ වලටද ටෝච්චෙක අල්ලල තියෙන්නෙ.. ?
ReplyDeleteඋඹලෑ සාවරෙට අපෙ පැත්තෙ කිව්වෙ සාරුව කියල....
අර නලා සද්දෙ හැම කැඋමකටම එනවය...?
පොල් කඩන්න, පාර පෙන්නන්න, ආදියට තමයි.
Deleteසමහරක් කැඋං සඳහා පමණකි.
අනේ කොල්ලො මාරම ලස්සනය් කතාව
ReplyDeleteහෙහ්...මේ ටික නම් නොම්මර එකයි....
ReplyDelete/ “හුනුවොල එකී හරියට පිටි ඩිංග තැංබුවෙ නෑ. ඒකයි කැඋං මෙච්චර අමු“/
/ “කරුණගෙ ගෑනි පිටි හලන්න දන්නෑ. ඒකි කැට හිටින්න හලල“ /
/ “චන්දරේගෙ පවුල පු* වන වනා හිටියට සීනි ඩිංග උනුකොල්ල දෙන්න දන්නෑ“ /
“ ඉතිං තවත් මෙතෙංට වෙලා කට බලියං ඉන්නැතුව ගිහිං ඊලඟ කෑල්ල ලියහං, උඹ කොල්ලො මට පුලුහං තරං කෝචොක් කොන්නව නේද? ඉඳහංකො මම උඹෝව අල්ලගන්නං වෙලාවක කං කෙටිය මූලග්ගිම්ම "“
Ado kiyawanta parakku una. Ayeth mamma mia story eka. Athal kithal buumi thel. Amma gahai kossen. Patta wagema walla patta.. +++++++++
ReplyDeletegood....
ReplyDelete