Follow by Email

Sunday, February 26, 2017

පොජෙට්ටෙක 3 - පිටගංකාරයෝ





හැමදාම මහරෑට කවදාවත් ඇහිච්ච නැති තරං මහා සද්ද තියෙන වාහන පාරෙ යද්දි ඇල්ල බැඳිල්ල ජයටම කෙරෙන බව අපේ ඔලුවලට වැටුනා. ඒ එක්කම පෙජෙට්ටෙකේ වැඩ කරන්න පිටගංකාරයො රංචු පිටිං ගමට සේන්දු වුනා. ඒ අයට නවාතැං දීලා අමතර ගානක් හොයාගන්න පුළුවං කම තිබුණත් අපේ ආච්චම්මයි ආතයි තමුංගෙ මාන්නෙ ඉස්සරහට දාගත්තා.

"මන්නං ඔය එකේක ජාතියෙ පිටගංකාරෙයො ගෙවල්ලස්සෙ දාගන්නෑ ගුනොවද්දන ළමෙයො. කොයි දීපංකරේකිං එනවද, මොක්කුද, කායෙකවුද නෙදැන මේ කාලෙ රෑට රැයක්කෙලිවෙන්න ගේක නවත්ත ගත්තැක්ද මංහාන්නෙ."

අපෙ ආත ඉස්තෝප්පුවෙ සාකච්ඡා මණ්ඩපේදි ප්‍රකාශ කෙරුවා.


"ඔය ටීවියෙකේ පෙන්නන නාට්ටිඔලත් බෝඩිංකාරයො අන්තිමට ගෙදර මිනිස්සුන්ට මොකක් නමුත් ආසනාසියක් සිද්ද කොල්ලනෙ යන්නෙ. අනික හිටිගමං අපේ ගෙවල්ලොල්ට ගෑල්ලමිස්සියෝ එනව. අනිග්ගාන මොකක් නමුත් වැරැද්දක් සිද්ද උනායිං පස්සෙ වැඩහ්නෑ."


ආච්චම්මත් රූපවාහිනියෙන් ලබාපු දැනුමෙන් ඒ කතාවට පෝර දැම්මා.


"ආං හරි නැංදම්මෙ, දැම්මේයපේ ගෙදර ඉන්නෙත් මායියපේ හීම්මැනිකෙයි ඉතරයිනෙ. ඔය තව ඕන්තරං ඉඩ තීන්නෙ. ඒ උනාට අපිටාපේ නිදහසේ ඕනැ වෙලාවක දොරජනෙල් පියංටික වහදාල ඕන්දිහාවක යන්න තීන්නෝනැ. මාද්දෙන්නෑ කුලියටනං කිසියම්ම කිසි කෙනෙට්ටම්මප."


ගුනවර්දන මාමත් ඒ කතාවට වතුර ඩිංගක් දාල වටේට වැටකුත් බැන්දා. ඒ වුනාට ගුනවර්දන මාමගෙ වැට ගැලවෙන්න වැඩි දවස් ගියේ නෑ.


"අම්මයි තාත්තයි ඉතරක් තනියෙං මහගෙදර ගෙදර ඉන්නෙපා. අපේ ගෙදෙට්ට වෙලා ඉන්න. අපියපේ දෙමාපියන්ට යුතුකං සලකන්නෝනැ."


කියලා හදිසියෙම ගුනවද්දන මාමවයි, හීම්මැනිකෙ නැන්දවයි තමුංගෙ ගෙදරට ගෙන්නගෙන නවත්තා ගත්තු ගුනවද්දන මාමගෙ දූ වෙච්චි **න්ති අක්කා හිස්වෙච්චි මහගෙදර ඩෝසර්කාරයෙක්ට කුලියට දුන්නා. ඩෝසර්කාරයා තමුංගෙ බිරිඳත් එක්ක ඇවිත් ඒ ගෙදර පදිංචි වුනා.


මේ කාලේ මහතුං මාමගෙ ලොකුදුවත් කසාද බැඳලා පවුල පිටිං ඇවිත් මහගෙදරම පදිංචි වෙලා හිටියෙ. අවස්ථානුකූලව වලියක් ඇදගෙන තමුංගෙ ලොකු දූව ළමා ළපටිත් එක්කම ගෙදරිං එළවපු මහතුං මාමා  ගෙට උඩහිං ගෙපලක් කපලා කනු හිටෝලා කාමරෙයි කුස්සියයි තියෙන ලෑලි ගෙයක් හැදුවා. කසාද බඳින්නැතුව ගෙදරම හිටපු බාල දූව කොළඹ ගාමන්ටෙහෙක රස්සාවට යැව්වා. මහතුං මාමා තමුංගේ පුතාවයි බිරින්දෑවයි අරගෙන ලෑලි ගෙදර පදිංචියට ගියා. හිස් වෙච්චි ගෙදර කුලියට දුන්නා. පහුවෙලා රස්සාවට ඇවිත් බෝඩිමක් නැතුව හිටපු ඩ්‍රැයිවර් කෙනෙකුටත් ඒ ගෙටම අල්ලලා ලෑලිවලින්ම කාමරයක් අටවලා කුලියට දුන්නා. ඔය විදිහට මහපාර අයිනෙ ගෙවල්වල පිටගංකාරයො රංචු පිටිං පදිංචි වෙනකොට ඒ ගෙවල්වල හිටපු අය තමුංගෙ ගම ඇතුලෙම සරණාගතයො විදිහට පැල්කොටවලට ගාල් උනා.


පොජෙට්ටෙකේ වැඩට යන අය තමුංගෙ රස්සාවෙ වගතුග ගම වටේට බෙදාහැරියා.

"බර වැඩක් ඇත්තෙම නෑ"

"කාලෙ කම්බියත් තනියෙං උස්සන්න දෙන්නෑ"

"බදාම එක්කොම අනන්නෙ මැසිං ඔලිං"

"අර ඩෝසරේ හැන්ද පොවන්න බැරි හරියෙ පස් ඩිංගක් තිවුනොත් උදැල්ලෙං හූරල දාන්න ඉතරයි මට තියෙන්නෙ."

"නිකම්මයි ඉන්න තියෙන්නෙ"

"කොන්කිරිට් දාද්දි හෝස්සෙක අල්ලං ඉන්න ඉතරයි ඩිංගක් අමාරු"

ඒ විස්තරවල හැටියට හැම වැඩක්ම කරන්න මැසින් තියෙනවා. වැඩට යන අයට තියෙන්නෙ ඒවයෙ සුයිච් ඔබන්න ඉතරයි. ඒ හිංදා ජෙජෙට්ටෙකේ වැඩ කරන කවුරුවත් කරන්නෙ කුලී වැඩ නෙමෙයි. හැමෝම එතන වැඩ කරන ලොකුම එක්කෙනාට ඩිංගක් පහල මට්ටමේ අය. මේ කතන්දර හිංදා වටපිටාවෙ ගම්වල ඉන්න කම්මැලි කමට රස්සාවලට නොයන අය, හොරෙං කෙහෙකං කපන පොල් කඩන අය, ගෑනිගෙං හම්බුකොරං කාලා නිකං ඉන්න අය, රස්තියාදුකාරයො, ආදී යංතං හුස්ම ඩිංග වැටෙන පිරිමි සේරම එකා දෙන්නා පෙජෙට්ටෙකේ රස්සාවට ගියා. කිලුටු ඇඳං අනුංගෙ කුලියට යනවට වඩා දිග කලිසමයි කමිසෙයි ඇඳලා හමුදා සපත්තු දෙකක් දාලා කහපාට ඉටි තොප්පියක් දාගෙන මේ රස්සාවට යන්න කවුරුත් කැමති වුනා. ඒ හංදා උපන්දා ඉඳං සරමෙන්ම හිටපු අයත් කකුල්දෙක දෙපැත්තට දාලා දික්කලිසම ඇන්දා.

"ආම්බලහල්ලකො විජේසේනත් දික්කලිසමක් ගහං යනොව කවදාක්කත් නැතුව"

"තවටික කාලෙකිං දෙමලුත් අඳියි දික්කලිසං"

"වෙන්දට නං මේ හරියටම දික්කලිසං අඳිනෑයට හිටියෙ අපේ පුතා ඉතරයි"

"දැං හැමේකාම මහත්තුරු වෙලා"

කිය කියා අපේ ආච්චම්මා දොරකොඩ ඉඳං ඒ අයට ඇද ඇල්ලුවා.

වෙනදට උසස්පෙල ඉවරවෙච්චි ගමං හමුදාවට බැඳෙන්න ඉලංදාරි රංචුවක්ම හිටියත් මේ කාලෙදි ඒ ඉලන්දාරි ටිකත් සේරම පෙජෙට්ටෙකටම බැඳුනා.

"ඔබ අපට අවශ්‍යයි"

"රට රකින්න පෙරට එන්න" 

"වීර පුතුනි මේ ඔබ මව්බිමට අවැසි කාලයයි"


කියලා ලොකු බැනර් පාර පුරා ඇදලා. පෝස්ටර් අලෝලා, පීකර බැඳං ගමක් ගානෙ කෑ ගගහ ඇවිදලා ආණ්ඩුවෙන් දන්න සේරම දහංගැට දැම්මත් ඒ අවුරුදු දෙක තුනේම අපේ ගම් පලාතෙං හමුදාවට බැඳුනෙ තමුං යාලුවෙච්චි ගෑල්ලමයව බැඳගන්න බැරිවෙච්චි කොල්ලො කීප දෙනෙක් විතරයි. ඒ අයට ඕනි වුනේ ප්‍රේමයෙන් පැරදිලා හමුදාවට ගිහිං හැකි ඉක්මනින් මැරිලා පෙට්ටියක බැහැලා එන්න. එතකොට තමුංව දාලා ගිය ගෑල්ලමයා ඇවිත් සඳරේණු පත්තරේ කතාවල ආකාරයට තමුංගෙ පෙට්ටිය බදාගෙන අඬනවා ඇති කියලා ඒ අය හිතං හිටියා.


ඒ කාලෙ ඉහළම වැටුප ලබපු හමුදාවෙ අයට තිබුණු තැන පෙජෙට්ටෙකේ වැඩකරන අයගෙ පඩියට යටවීමත්, පෙජෙට්ටෙකේ වැඩට ගියාට පරානෙට හානි වෙන්නෙ නැති කමත් නිසා අපේ ගමේ වීර පුතුන් ගාන බිංදුවටම බැස්සා. අපේ තාත්තගෙ පලවැලේ අයගෙනුත් බහුතරයක් පෙජෙට්ටෙකේ රස්සාවට යද්දි අපේ තාත්තත්, තව කසිප්පු වලින් දුවන කීප දෙනෙකුත්, අපෙ ආතගෙ වයසෙ පිරිමි ටිකකුත් විතරක් ගමේ පිරිමි පුලුටු විදිහට ඉතුරු වුනා.


මුල්ම කාලේ උදේ හවස පෙජෙට්ටෙකේ වැඩට යන අයව අරංගියේ ලොරිවලිං. හුඟක් අය ඉඳගෙන ගියෙ ලොරියෙ තට්ටුව වටේ තියෙන ඇන්දෙ. ලොරියෙ ඇන්දෙ ඉඳගෙන කිසිම දෙයක් අල්ලන්නැතුව යාමේ ත්‍රාසජනක වැඩේට පරාණ බය ඇති කීපදෙනෙක් විතරක් තට්ටුවෙ ඉස්සරහ ඇන්ද අල්ලගෙන හිටගෙන, ලොරියෙ වේගෙට කටට රිංගන හුලං කකා හිටියෙ ඇන්දෙ ඉඳං යන අයගෙ ඇනුම්පදත් අහගෙනයි. වැඩිකල් නොගිහිං ලොරියෙ ඇන්ද උඩ ඉඳං ගිය එක්කෙනෙක් පාරට වැටුනට පස්සෙ ලොරි ඇන්දෙ බංකු හයිකරලා නොතෙමෙන්න ඉටිකොල හෙවිල්ලපු කූඩුවකුත් හයිකලා. සේවකයො වැඩිවෙලා අපේ ගම හරහා යන ලොරි ගාන තුනක් දක්වා වැඩිවෙද්දි වැඩට යන මිනිස්සු ගෙනියන්න එක ළඟ නොම්බර තියෙන අලුත්ම බස් දෙකකුත් පෙජෙට්ටෙක ගානෙ පාරට වැටුනා. ඒ බස් දෙකේ වෙන වෙනම MOTOR POOL, DAM SITE කියලා බෝඩ් දෙකක් ගහලා තිබුනා. ටවුමෙ ඉඳං අපේ ගම කිට්ටුවට එනකොට බස් දෙකෙං එකකවත් පුඩ්බෝඩ්වල ඉඩ නෑ. ඒ හංදා අපේ ගමෙං පෙජෙට්ටෙකේ වැඩට යන අයට යන්න වුනේ හිටගෙන. නැතිනං සීට්වල වාඩිවෙලා. ඒ හංදා හවසට වැඩ ඉවරවෙලා එද්දි අපේ ගමේ අයට පුඩ්බෝඩ්ඩෙකේ එන්න ඉඩ දෙන්න අනික් අයට සිද්දවුනා.

ග්‍රැෆික් නිර්මාණය කළේ - මං තමයි


එයිං එක බස් එකක ගුවන් නියමු තනතුර දැරුවෙ බ්‍රේක් එකට අඩු වටිනාකමකුත්, හෝන් එකටත් ඇක්සලේටරයටත් අපමණ අගයකුත් දුන්නු ***** බාස්ගෙ දෙවැනි පුතා. හන්දියෙ ඉන්න වැඩට යන කීප දෙනාව නග්ගගෙන පුඩ්බෝඩ් දෙකම පිරෙන්න මිනිස්සු පොදි දෙකකුත් එල්ලගෙන ගුවනට නගින බස්සෙක වංගුවලදී විතරක් යංතං පොලවට ගෑවීගෙන පාලමට උඩිං පාවීගෙන පුංචම්මලගෙ ගෙවල්ගාවට පාත්වෙනකොට අජිත් මුතුකුමාරණට "සුදු අරලියා මලඅඅඅඅඅඅ.." කියාගන්නත් වෙලාව මදි. පියාඹන සත්තුන්ට ඇරෙන්න පයිං යන සතෙකුටවත්, මිනිස්සුන්ටවත් ඒ බස්සෙකෙං කරදරයක් වෙලා තිබුනෙ නෑ.


අපේ ගෙවල්ගාව *** මාමත් පෙජෙට්ටෙකේ වැඩ කරන අයට බත් පාර්සල් සැපයීමේ ඕඩරයක් බාරගත්තා. දවල් කෑමට උදේ පාන්දර හතරෙ ඉඳං උයලා බත් පාර්සල් බැඳලා ඒවා ගිලෙන බඩේ අයිතිකාරයගෙ නම බත් පාර්සලේ ඔතපු කොලේ උඩ කාබන් පෑනෙං ලියලා එකොලහ විතර වෙද්දි එන බත් එක්කහු කරන ලොරියට දෙනවා. ඒ ආදායමෙන් *** මාමා අලුතිං හදාගෙන යන ගෙයි කාමර දෙකේ වැඩ ඉවර කරලා පෙජෙට්ටෙකේ වැඩ කරන මිනිස්සුන්ටම කුලියට දුන්නා. පහුකාලීනව *** නැන්දාගෙ තට්ටම උඩට කුප්පි ලාම්පුව පෙරලීමෙන් කෑම වෙළඳාමට බාදාවක් ඇතිවුනත් *** මාමගෙ පවුල ඔලුව ඉස්සුවෙ පෙජෙට්ටෙකෙන්.


පෙජෙට්ටෙකේ වැඩ කරන අය අපේ ගමට එක එක ජාති ගෙනාවා. එයින් වටිනා කියන සම්පතක් තමයි "බෝරවෑර්". පෙජෙට්ටෙකේ වැඩට ගිහිං ගෙදර එන ඕනිම කෙනෙක්ගෙ ළඟ බෝරවෑර් තිබුනා. 


"මෙව්ව එක පාරිං අයිං කොන්නොව. ආයි ගන්නෑ. සුද්දංගෙ වැඩ එහෙම තමා."


පෙජෙට්ටෙකේ වැඩ කරන අය කිව්වෙ එහෙමයි. ඉඳිවැල් කම්බියට වැඩිය ඩිංගක් ඝනකම තනි කම්බි පොටක් තියෙන බෝරවෑර් අපේ ගමේ අයට නැතුවම බැරි වස්තුවක් වෙන්න වැඩිකලක් ගියෙ නෑ. ඒ දවස්වල මදුවැලක්, පෝටවැලක් හොයාගන්නවට වඩා ලේසියෙං බෝර වෑර් දෙපොටක් හොයාගන්න පුළුවංකම තිබුනා. සෑහෙන ප්‍රයෝජනයක් තියෙන පොල් ගහට කප්රුක කියන්නා වගේ බෝර වෑර් වලටත් "කප්වෑර්" කියන්න පුළුවං තරං ප්‍රයෝජන ගොඩක් අපේ ගමට ලැබුනා.


රෙදිවැල් බඳින්න, වැටවල් බඳින්න, බැට්ටිකෑලිවල එළිය බලන්න, පනිට්ටු කොක්ක කැඩුනම පොටවල් හත අටක් දාල එල්ලං යන්න හදාගන්න,  මලගෙවල්වල ඡන්ද රැස්වීංවල එහෙම රැලි එල්ලන්න, තෙල්දිය මුට්ටිය වටේ හයිය හිටින්න වෙලන්න, ගෙයිං පිටට තාවකාලිකව බලුප්පෙකක් ඇදගන්න, රේඩිවේකෙ සේවා අහුවෙනව හොරයිනං ඒරියල්ලෙකට අමුණන්න, බල්ලගෙ දංවැල කොටයි නං ඒක ටිකක් දිග හිටින්න හත් අට පොටක් දාල අමුණන්න, යංතං ඇවිදගන්න පුළුවං වයසෙ අච්චාරු කුක්කො බැඳ තියන්න, කවරවල කටවල් ගැටගහන්න, රිටි බඳින්න, කුඩ නන කැඩුනහම තව නනෙයක් තියල ගැටගහන්න, සබන් කපන්න, පුපුරපු පිහිය මිටි කැති මිටි වගේ ඒවා වෙලන්න, කුල්ලෙ ගැටිය වටේ හයිය හිටින්න වෙලන්න, පන්දලං බඳින්න, රඹුටං ගස්වල ටකේට ඈඳන්න, පුබ්බයිසිකලේ ප්‍රේම් පොල්ල වටේ ලස්සනට හිටින්න ඔතන්න, ආදී සියළුම විදුලි සහ බැඳිලි කටයුතු කරගන්න උදව්වුනේ බෝරවෑර් තමයි.


ඒ ඇරුණම මේසන් හැඳි, ඇණ ගලවන යතුරු, ඉස්පැන්ටර්, ඉස්කුරුප්පුනියං, අඬු, කියත් තල, මිටි, මට්ටං ලීී, වගේම තලේ මැදිං මිට හයිකරාපු ජපං මේසන් හැඳි, බූරු කුට්ටමේ තියෙන තනි කොලේ ගහේ හැඩේ තියෙන ජපං සවල් ආදී අමුතු ආවුදත් සමහරු ගෙනාවා. එව්වත් එකපාරක් පාවිච්චියට අරං අහක විසිකරන්න සුද්දෝ කොයිතරං පෝසත් ඇද්ද කියල අපි හිතුවා. පෙජෙට්ටෙකේ වඩු මඩුවෙ පෝමන් කමක් කරපු මනුස්සයත් අමුතුම ලැලි ජාතියකින් හැඩතල කපලා ලොරියක කාපට් යට දාගෙන ඇවිත් ඒ ලී කෑලි ටික පුරුද්දලා අපේ පුංචම්මගෙ ළමයට සෙල්ලං අස්සයෙක් හදල දුන්නා. ඒ අස්සයට ලොකු අඩුවක් වෙලා තිබුණු ඇස්දෙක මං කාබන් පෑනකිං ඇන්දා.


මේ අතරෙ හානියට පත්වෙන ඉඩංවලට වන්දි දෙන්න ආණ්ඩුවෙන් නිලධාරින් එව්වා. ගෙපලෙ අජිත්, හන්දියෙ ජගත්සිරි, ආදී ගමේ ඉන්න ගොඩ පෙරකදෝරු නඩේ ඒ මහත්තුරුන්ට ගමේ ඉඩකඩංවල විස්තර දුන්නා. 


"මේ ටික මේ පොඩිමහත්තය මාමගෙ ලොකු දූගෙ. අක්කර කාලට වඩා නෑ"


අපෙ අම්මගෙ තේ අක්කර බාගෙ කාලට ලියපු නිලධාරීන් ඉතුරු අක්කර කාල ගෙපලෙ අජිත්ටත්, ජගත්සිරිටත් බෙදල දෙන්න ඇති. ඒ විදිහටම ගමේ මිනිස්සුංගෙ ඉඩං ඇහෙං මැනල වන්දි දීපු හංදා අන්තිමට වන්දි දෙත්දි ගමේ ඉඩම්හිමි අයට සොච්චම් මුදලකුත් ගොඩ පෙරකදෝරු නඩේ අයට ඒ වගේ හත්අට ගුණයකුත් ලැබුනා. ජීවිතේට කුණුහරුප නොකියපු අපේ මාමත් එදා ගෙදරදි කුණුහරපයක් කිව්වා. අපේ පන්තියෙ හිටපු ***ගෙ තාත්තත් හිටියෙ එයිට සම්බන්ධ කාර්යාලෙ ඉඩං සම්බන්ධ තනතුරක. වන්දි ගෙවීම අහවර වෙනවත් එක්කම ***ගෙ ලොකු අක්කව දෑවැද්දට කාර් එකකුත් එක්ක ගැලපෙන තැනකට බන්දලා දෙන්න ***ගෙ තාත්තට පුළුවං උනා. අපේ අම්මට වන්දි විදිහට ලැබුණු රුපියල් අනූ දෙදහත් කල්යල් බලලා පුංචම්මා ඩැහැගත්තා.


ජපන්නුංගෙ කොම්පැනියෙ ඔපිස්සෙක තිවුනෙ මානානෙ ටවුමෙ. එතන ඉස්සරහ අලුත්ම ජීප් දෙකක් හැමවෙලේම තිබුණා. ඒ කිට්ටුවම වැසියෙක් වෙලා හිටිය අපේ පන්තියෙ දිලන්තයා සුද්දංගෙ ඔපිස්සෙකෙං අහකදාන කොලකෑලි අහුලං මට ගෙනැත් දුන්නා.


"රංජොහ්, උඹට තේරෙනවනං මේං මෙව්ව කියෝල බලහං. මටක්කියාදියං."


ඒවයෙ අගක් මුලක් නොතේරුණත්


Kajima Kumagai Hazama joint venture

කියන කොටසිං යමක් කමක් අහුලගන්න මට පුළුවං උනා. පෙජෙට්ටෙකේ වැඩකරන අය "කේකේච්චෙක" කියල කියපු සමාගමේ මූලෝප්පත්තිය මං පුංචම්මගෙ කඩේ ඉස්සරහ ඇදබෑවා.


"ඕක ඔය සමාගං තුනක්නෙ. මට හම්බවුනා අර ටවුමෙ තියෙන සුද්දංගෙ ඔපිස්සෙකෙං උස්සපු කොලයක්. ඒකෙ තිවුන විස්තරේ හැටියට කජිමා කුමගායි හසමා කියල සමාගං තුනක් එක්කහුවෙලා ඔය වැඩ කරන්නෙ."


"වෙන්නැති වෙන්නැති. ඔය සුද්දො හරි එකමුතුයි. වැඩක් කොරන්න ගියහං පංගු පේරු බලන්නෑ. හොරකං නැති හංදා එකමුතුවෙං වැඩ කොන්නොව ඇති"


ගුනොවද්දන මාමත් දුංකල මිටිය තෝරන ගමං මගෙ කතාවට ලුණු ගොරක දැම්මා. ඒකෙං ඩිංගක් උඩගිය මං තවත් මගෙ පණ්ඩිතකම පෙන්නුවා.


"කොටිම්ම අර බස් දෙකේ බෝඩ් දෙකත් වැරදියි. අර Motor Pool කියල බෝඩ්ඩෙක ගැහුවට ඒක හරිනං waterfall වෙන්න ඕනි. එතකොට තමා දිය ඇල්ල වෙන්නෙ. දැං තියෙන බෝඩ්ඩෙකේ තේරුම "මෝටර් මෝඩයා" කියන එකනෙ. අර අනික්කෙකේ Dam site කියනෙකත් Dam side වෙන්න ඕනි."


ඊළඟ වාරවිභාගෙං මං අඩුවෙං ලකුණු ගත්තෙ එදා "ලොකුකං" කියෝල ඇස්වහට අහුවෙච්චි හිංද කියල අපේ අම්මා අවුරුදු ගානක් මට බැන්නා.




88 comments:

  1. ඉතිං දෙමෙල්ලු දැං කලිසං අඳිනවද?

    ReplyDelete
    Replies
    1. දැන්නං කාටත් කලිසම අඳින්න පුලුවං. හැබැයි ඒ කාලෙ බෑ.

      Delete
    2. එහෙනං දැන් සම අයිතිවාසිකම් ලැබිලා...!!!

      Delete
    3. සම කෙසේ වෙතත් තමුන්ට ඕනි හැටියට ඉන්නවත් පුළුවං.

      Delete
  2. ගමේ කොල්ලන් ආමි එකට බැඳුන හේතුව නම් කුජීතයි

    ReplyDelete
    Replies
    1. පෝර බෙහෙත් නැත. ටිකක් තිත්තයි.

      Delete
    2. පෝර බේත් නැත ද, වල්නාශක නැත ද?

      Delete
  3. අපේ බාප්පා සැදූ තුන් තේරවිල්ලක්.

    "සා ස්නාන පාර ජලය"

    ReplyDelete
    Replies
    1. තේරුම හොයාගන්න බාප්පම ඕනෑ වේ.

      Delete
    2. මේ සටහන කියවන කොට තමයි මතක් වුනේ. මේකට සම්බන්ධයි.

      Delete
    3. උත්තරේ කිව්වොත් ගුණසිරි බුල්ටො එකක් එවනව නැවේ.

      Delete
    4. ඩ්‍රැකියගේ පුසනප්ප්යක් ලදපමක්

      Delete
    5. ඔය ගොලු බාසාවෙං කියල තියෙන්නෙ ඩැකියගෙ පුස්ලෝඩම ගැන වෙන්ටැ.

      Delete
    6. "සා ස්නාන පාර ජලය"

      සා = හා
      ස්නාන = නාන
      පාර = මං
      ජලය = දිය

      හානාන මංදිය

      මානාන් හංදිය

      Delete
    7. "සා ස්නාන පාර ජලය"

      සා = හා
      ස්නාන = නාන
      පාර = මං
      ජලය = දිය

      හානාන මංදිය

      මානාන් හංදිය

      Delete
  4. //පේ ගම් පලාතෙං හමුදාවට බැඳුනෙ තමුං යාලුවෙච්චි ගෑල්ලමයව බැඳගන්න බැරිවෙච්චි කොල්ලො කීප දෙනෙක් විතරයි. ඒ අයට ඕනි වුනේ ප්‍රේමයෙන් පැරදිලා හමුදාවට ගිහිං හැකි ඉක්මනින් මැරිලා පෙට්ටියක බැහැලා එන්න. එතකොට තමුංව දාලා ගිය ගෑල්ලමයා ඇවිත් සඳරේණු පත්තරේ කතාවල ආකාරයට තමුංගෙ පෙට්ටිය බදාගෙන අඬනවා ඇති කියලා ඒ අය හිතං හිටියා.//මෙ කතාව ඇත්ත. මෙහෙම හේතුවක් නිසා හමුදාවට ගිහින් මැරුණ කෙනෙක් සම්බන්ද කතාවක් මමත් දන්නවා වෙලාවක ලියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. රසිකලොජිස්ට් ඒකාලෙ ලංකාවේ හිටියනං බලන්න තිබුනා මේවයෙ ඇත්ත නැත්ත.

      Delete
  5. අපරාදෙ බොලාටත් තිවුනෙ පොජෙට්ටෙකේ ඔපිස්එකේ වැඩට යන්න. එහෙනං සුද්දං‍ගෙ සිංහල අපේ ඉංගිරිසි වලට පෙරලන වැඩේවත් කරන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. අඩුවයයිං ගන්නෑනෙ.

      Delete
    2. එංගලන්තයේ පොඩි ළමයිනුත් ඉංග්‍රීසි කතා කරනවා සට සට ගාලා එකට අපේ එවුන්

      Delete
    3. එංගලන්තේ හිඟන්නොත් ඉංගිරිස් 'සිරිස් බිරිස්' ගගා කතා කරනවලු

      Delete
    4. අපේ උං කතාකරන්නෙ ඒඊඅයිඕයූ කියලනෙ. ඒකයි අවුල.

      Delete
    5. එංගලන්තෙ ඉතරක් නෙමෙයි ඔය අපිරිකාවෙ කාපිරින්ටත් පුලුවං.

      Delete
  6. //තමුංව දාලා ගිය ගෑල්ලමයා ඇවිත් සඳරේණු පත්තරේ කතාවල ආකාරයට තමුංගෙ පෙට්ටිය බදාගෙන අඬනවා ඇති කියලා ඒ අය හිතං හිටියා.// ගංවල ඉන්න කොල්ලො දැන්වත් මේ තත්වෙන් එළියට ඇවිල්ල ද?

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං අනන්තයෙන් ආ තරු කුමරාගෙයි තැරි කුමරියිනෙ උන්ගෙ ලොකු එක.

      Delete
    2. උතරු මැද පළාතේ ඇත්ත කතාව ඕකයි

      Delete
    3. තවමත් එහෙම පසුගාමී ජීවිත තියෙනවා. සමහරු නං බුකිය හිංදා ගොඩගිහිං.

      Delete
  7. ඔහොම පොජෙට්ටෙහෙක වැඩට ඇවිල්ල කෑම දීපු ගෙදර බින්න බැස්ස පොරක් අපේ අහල පහලත් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. කාලා රහවැටිල

      Delete
    2. ඉනාවක් කාල වෙන්ටැ මයෙ හිතේ.

      Delete
    3. එහෙනං. ගොඩකවෙල ඉන්නෙ කොඩිවිනකාරයො නෙ.

      Delete
    4. ඔය කසුනටත් අහසිං බිමට වැටෙන්න වැඩේ දෙන්න පුලුවං ඕනනං

      Delete
    5. ඊට කලිං ගමට බස්හෝල්ටෙකක් හැදුවනං නාකද? තාමත් බස් නවත්තන්නෙ දෙල්ගහ යටනෙ.

      Delete
  8. //ටවුමෙ ඉඳං අපේ ගම කිට්ටුවට එනකොට බස් දෙකෙං එකකවත් පුඩ්බෝඩ්වල ඉඩ නෑ. ඒ හංදා අපේ ගමෙං පෙජෙට්ටෙකේ වැඩට යන අයට යන්න වුනේ හිටගෙන. නැතිනං සීට්වල වාඩිවෙලා.// මොකක්ද බං මේ හරුපෙ තේරුම. බස්එකේ ඇතුලෙ ඉඩ තියෙද්දි පුබ්බෝට් එකේ යන්නෙ මොකාද?

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි. බස්සෙකේ වැඩිම ඉල්ලුම තියෙන්නේ පුබ්බෝට් එකට. හැමෝම යන්න කැමති එකෙ.

      Delete
    2. සිට්වල වාඩි වෙන්නේ නැතුව සීට්වල හිටගෙන යන කට්ටියත් ඉන්නවද?

      Delete
    3. සීට්වල හිටං යන කට්ටිය මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නේ....

      Delete
    4. ලෝකෙ අනික් ගම්වලට වඩා අපේ ගම වෙනස්. ඒ අපේකමට ගරු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කොඳු කඩාගත්ත ප්‍රමාණයත් ඉහළයි.

      Delete
  9. ඔය බෝරවෑර් කතාව අපේ රවියන්නාන්සෙත් කියල තිබුණ. කවුරුවත් බෙල්ලෙ වැල දාගන්න ඕව පාවිච්චි කළේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හයිය මදිනෙ. ඒකයි.

      Delete
  10. බොලේ රවිය නෙමෙයිනෙ බලාගෙන යනකොට බොලාමනෙ ඒකත් කියල තියෙන්නෙ.

    http://ranrandil.blogspot.com/2015/05/322-7.html?showComment=1432923424691#c6365372963157000580

    ReplyDelete
    Replies
    1. එයින් ටිකක් මෙතනට අඩුයි නේද?

      Delete
  11. තවේකක්, බොලාගෙ චිත්තරෙත් මරුවට ගැලපෙනව.

    ReplyDelete
    Replies
    1. චිත්තරේ නෙමෙයි ග්‍රැපික් ග්‍රැපික් .

      Delete
  12. පොජෙට්ටෙකක් ගැන ලියද්දි ගෑනු හුටපටේකට,බීලා සිංදු කියන එකකට දාගත්තු වලියක් ගැන අනිවාරෙන්ම ලියවෙන්න ඕනෙ :D

    ReplyDelete
    Replies
    1. එව්වා මලගෙවල්, දානෙගෙවල් වලත් වෙන සරල සිද්දිනෙ.

      Delete
  13. ටවුමෙ ඉඳං අපේ ගම කිට්ටුවට එනකොට බස් දෙකෙං එකකවත් පුඩ්බෝඩ්වල ඉඩ නෑ. ඒ හංදා අපේ ගමෙං පෙජෙට්ටෙකේ වැඩට යන අයට යන්න වුනේ හිටගෙන. නැතිනං සීට්වල වාඩිවෙලා......මට නොතේරුණු එකම කතාව ඕක තමයි

    ReplyDelete
    Replies
    1. හුඟක් එවුන් යන්න කැමති පුබ්බෝට් එකේනෙ. ඉතිං මුලින්ම නගින එවුන් පුබ්බෝට් එකේ තැනක් අල්ලගන්නව. අන්තිමට පුබ්බෝට් එකෙ ඉඩ නෑ. ඉංපස්සෙ එන එවුංව ඇතුල්ට තල්ලුකරනව. ඕක අපේ ඉස්කෝලේ යන බස්සෙකෙත් වෙනව.

      Delete
  14. //අපේ අම්මට වන්දි විදිහට ලැබුණු රුපියල් අනූ දෙදහත් කල්යල් බලලා පුංචම්මා ඩැහැගත්තා.//

    මොනවා උනත් සුරංග පුන්චම්මට වැරද්දක් නම් පටවනවමයි නේද?
    ඔහොම තියන සල්ලි ටික එක එකාට දීල දාන්නේ බොලයි අම්මට පිස්සුය?

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි උනේ. අපේ අම්මගෙ විතරක් නෙවෙයි, තව හුඟක් අයගෙ සල්ලිත් ඒ පාරෙ ගියා

      Delete
  15. හැමදාම වගේ එක දිගටම රස වින්දා ....උබේ ලියවිල්ල මරු.

    ReplyDelete
    Replies
    1. අද ඉඳලා ඉතුරු කොටහ ලියන්න ඕනෑ

      Delete
  16. උඹට මේ රස කතාව ලියන්න ඉඩ සලසලා දුන්න සරණ බළල්ගෙඩියාට පගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. ඒකිට හිතුනහං සමහර වෙලාවට ඔය වගේ විගඩං නටනව.

      Delete
    2. ඩූඩයියට අකුරක් වැරදිලා.... #පගේ ප්‍රණාමය...# මං හිතන්නෙ ‘ක‘ යන්න වෙනුවට වැරදිලා ග යන්න වැටිලා...

      Delete
    3. වරදින එකේ නම් සීමාවක් නෑ ඩිල්ෂාන්. නමුත් උඹේ නිවැරදි කිරීම නම්...

      Delete
  17. නැන්දගෙ තට්ටම උඩට කුප්පිය වැටුනෙ කොහොමද බං ?

    ReplyDelete
    Replies
    1. ඒක මේ කුප්පියෙ කුප්ප කමට වෙච්චි වැඩක්නෙ.

      Delete
    2. මටත් තිබ්බ පස්නයක්.. :)))

      Delete
  18. මේක තව ඇදලා ලියපන් පොඩි පොඩි සිද්දි රහට විස්තර කරලා තව ලියපන් මචෝ

    ReplyDelete
    Replies
    1. තව එක කොටහකට වඩා ලියන්න බැරිවෙයි නේද?

      Delete
  19. ///කියලා හදිසියෙම ගුනවද්දන මාමවයි, හීම්මැනිකෙ නැන්දවයි තමුංගෙ ගෙදරට ගෙන්නගෙන නවත්තා ගත්තු ගුනවද්දන මාමගෙ දූ වෙච්චි **න්ති අක්කා හිස්වෙච්චි මහගෙදර ඩෝසර්කාරයෙක්ට කුලියට දුන්නා. ඩෝසර්කාරයා තමුංගෙ බිරිඳත් එක්ක ඇවිත් ඒ ගෙදර පදිංචි වුනා.///

    මේ ඩෝසර් කාරයගෙ නම මහින්ද ද...
    පස්සේ කාලෙක සියදිවි හානි කර ගත්තද...

    ReplyDelete
    Replies
    1. නෑ මේ බුවාගෙ නම නිමල්ද කොහෙද? පහුකාලීනවත් ජීවත්ව උන්නා.

      Delete
  20. දැන් මේ බ්ලොග් යත් මෙලෝ රහක් නැ No sexy at any time ?

    මිත්තර කලණ කියන්නේ

    ReplyDelete
  21. අනේ මං මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉඩ තියෙන වෙලාවට කියවනවා. රසට තියේ.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා මගේ පනේ ඔයා එහෙමම කරන්න

      Delete
    2. එහෙම ක්‍රමයක් තියෙයිද?

      Delete
  22. අම්මගෙ අනුදෙදහ පුංචම්ම කෙළ ගත්ත හැටිත් ලියපං.

    ReplyDelete
    Replies
    1. ඒක හරිම අනුවේදනීය සිදුවීමක්.

      Delete
  23. ////ඊළඟ වාරවිභාගෙං මං අඩුවෙං ලකුණු ගත්තෙ එදා "ලොකුකං" කියෝල ඇස්වහට අහුවෙච්චි හිංද කියල අපේ අම්මා අවුරුදු ගානක් මට බැන්නා.////:D
    පොජෙට් එක ගැන ලියන පොජෙට් එක නම් මරු....

    ReplyDelete
    Replies
    1. ඒකත් පොජෙට්ටෙකක් තමයි.

      Delete
  24. පොජෙට් වල වන්දි ගෙවන වෙලාවෙදි 'සමහරක්' නිලධාරියො බොහොම බරට වංචා කරන බව නම් සහතික ඇත්ත.
    ඒ වගේම සමහර නිලධාරියො නිකන් තියන ඉඩමට පොල් පැල කෙහෙල් පැල දාන්න කියලා එව්වටත් එක්ක ගාන එකතු කරලා වන්දිය වැඩි කරලත් දෙනවා.හැබැයි එහෙම අය අඩුයි.
    හරි හමන් ප්‍රොජෙක්ට් එකක් යනවා කියන්නෙ පවුල් බර ගානක් ගොඩ යන සීන් එකක්.ඒ කතාව නම් සහතික ඇත්ත.
    ජයවේවා..!!

    ReplyDelete
  25. නියමයි සුරංග...මේ කතා මෙහෙම වෙලා තියෙන බවනම් සහතික ඇත්ත බව හිතාගන්න පුලුවන්. හරි සමීපබවක් දැණෙනවා.

    ReplyDelete
  26. //ඒ විස්තරවල හැටියට හැම වැඩක්ම කරන්න මැසින් තියෙනවා. වැඩට යන අයට තියෙන්නෙ ඒවයෙ සුයිච් ඔබන්න ඉතරයි. ඒ හිංදා ජෙජෙට්ටෙකේ වැඩ කරන කවුරුවත් කරන්නෙ කුලී වැඩ නෙමෙයි. හැමෝම එතන වැඩ කරන ලොකුම එක්කෙනාට ඩිංගක් පහල මට්ටමේ අය. මේ කතන්දර හිංදා වටපිටාවෙ ගම්වල ඉන්න කම්මැලි කමට රස්සාවලට නොයන අය, හොරෙං කෙහෙකං කපන පොල් කඩන අය, ගෑනිගෙං හම්බුකොරං කාලා නිකං ඉන්න අය, රස්තියාදුකාරයො, ආදී යංතං හුස්ම ඩිංග වැටෙන පිරිමි සේරම එකා දෙන්නා පෙජෙට්ටෙකේ රස්සාවට ගියා. කිලුටු ඇඳං අනුංගෙ කුලියට යනවට වඩා දිග කලිසමයි කමිසෙයි ඇඳලා හමුදා සපත්තු දෙකක් දාලා කහපාට ඉටි තොප්පියක් දාගෙන මේ රස්සාවට යන්න කවුරුත් කැමති වුනා. ඒ හංදා උපන්දා ඉඳං සරමෙන්ම හිටපු අයත් කකුල්දෙක දෙපැත්තට දාලා දික්කලිසම ඇන්දා.

    "ආම්බලහල්ලකො විජේසේනත් දික්කලිසමක් ගහං යනොව කවදාක්කත් නැතුව"

    "තවටික කාලෙකිං දෙමලුත් අඳියි දික්කලිසං"

    "වෙන්දට නං මේ හරියටම දික්කලිසං අඳිනෑයට හිටියෙ අපේ පුතා ඉතරයි"

    "දැං හැමේකාම මහත්තුරු වෙලා"/
    මාර විවරණයක්නේ දීල තියෙන්නේ සුරංග. මාර්ටින් වික්‍රමසිංහ, අමරසේකරලා වුනත් මේ වගේ දේ ලියල තියනව.ගම වෙනස් වෙච්ච හැටි. මේ ලිවිල්ල් වඩා සමීප බවක දැනෙනවා.

    ReplyDelete
  27. මරු පොජෙට්ටෙක......!

    ReplyDelete
  28. ඔය ඉටි කතාව ගාල්ලේත් තියෙනවා .. අපි නම් පොලිතීන් වලට මිසක් ප්ලාස්ටික් වලට කවදාවත් ඉටි කියුවේ නෑ.. ඉටි තොප්පි, ඉටි පුටු කියද්දී මට හෙන අප්සෙට්.. හැක් :))

    ReplyDelete
  29. බැලුවාම බොලෑ පුන්චම්ම අදහන්න වටිනා පරානයක්නේ බං . යකෝ ගෙවල්ගානේ බ්ලෙන්ඩර් විකුනන්න යන මාර්කටින් බිස්නස් එකක් පටන්ගන්න පුන්චම්ම කියාපු ඩෑල් එක මම හිතන්නේ. පුන්චම්මගේ සල්ලි ඇදීමේ හැකියාව ගැන වෙනම බ්ලොග් පොස්ට් එකක් ලියන්න ඕන ශ්‍රන්ගයෝ..

    ReplyDelete
  30. මම ඔයාගේ බ්ලොග් එක හරහා අනිත් බ්ලොග් වලට යන්නනේ ඒක නිසා ටික්කගේ බ්ලොග් එක මේකේ එල්ලන්නකෝ

    ReplyDelete
    Replies
    1. ඒකෙ නම මොකද්ද? මට මතක නෑනෙ

      Delete
  31. ඈ බොල ශ්‍රංගයො. බොලා මේ පොස්ට් එක ගිය මාසෙත් පබිලිස් කොරා නේද..?

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. මේ සුරංග මල්ලියේ ... හැබෑට ඔය පොජෙට්ටේක තියෙන්නේ කොයි හරියේද? අපේ පුංචි අම්ම ඉන්නේ මෝල්කාව කියන ගමේ... ඔය ගමට මතුගම පැත්තේ ඉදල යනකොටත් ඔය කුකුලේගඟ හමුදාවට සම්බන්ධ නිවාඩු නිකේතනයක් හම්බ වෙනවා.... ගුගල් මැප් එක බැලුවත් මට සුරංගගේ ගම කොහෙද කියල හොයාගන්න බෑ හැබෑට ඔය ගමේ ගුගල් මැප් කෑල්ලක් දාන්නකෝ බලන්න

    ReplyDelete