Follow by Email

Thursday, September 29, 2016

තේ සහ මම හෙවත් Tea and Me


ගූගල් සමාගම

කවිඳු ජයසිංහ මහතා

 අපිට බොහොම ලෙංගතු සමාජ සේවකයන් දෙදෙනෙක් මේ සතියේ සිය උපන්දින සැමරුවා. පලමුවැනියා GOOGLE සමාගම. දෙවැනියා අපේ හිතවත් කවිඳු ජයසිංහ මහතා. ඔහු තමයි සොඳුරු අතීතයෙන් බිඳක්  ලියන්නෙ. ඔබ දෙපලටම සුභ උපන්දිනයක් වේවායි පතමු.

තේ ගහ ගැන මූලික වැටහිමක් දුන්නට පස්සෙ මං හිතුවා මමයි තේ ගහයි ගැන ලියන්න. මගේ ජීවිතෙන් සෑහෙන කොටසක් ගොඩනැගීමට උරදුන්නේ තේ ගහ. ඒ නිසා මමත් තේ ගහත් අතර බැඳීම අවුරුදු විසිගානක් පරණයි. අදටත් තේ ගහක් දැක්කම ළපටි තේ දල්ලක් කඩාගෙන ඒකේ කොලටික කඩා දාලා නාරටියෙ පොත්ත අයින් කරලා කටේ දාගෙන හපන එක මගේ පුරුද්දක්.

අපේ තාත්තා තේ ගහ සම්බන්ධ සකල කලාවම දැන උගත් කෙනෙක් උනත් එයා දන්න කිසිම කර්මාන්තයක් අද වෙනකං මට කියාදීලා නෑ. ඒ හංදා මට තේ ගහ ගැන හුඟක් දේවල් ඉගෙන ගන්න වුනේ පළපුරුද්දෙන්. නමුත් මට දළු කැඩිල්ල කියල දුන්නෙ අපේ ආච්චම්මා. එහෙව් මගේ තේ ගුරුතුමියගේ පොටෝවක් මගේ පරණ කොම්පියුටරේ හාඩ් එකේ තිබිලා හම්බවුනා.


ආච්චම්මා සමග ලොකු නංගී 2009 අවුරුද්දේදී
අවුරුදු හතරේ පහේ කාලයේ පටන් මගේ දවල් දවසම ගතවුනේ ආච්චම්මා, ආතා, මාමා, පුංචම්මා ආදීන් ජීවත් වුණ මහ ගෙදරයි. පුංචම්මාගෙන සහ ආච්චම්මාගෙන් නොයෙක්වර ලැබෙන විරුදාවලි ලබමින්, "පණ්ඩිතකං" වලට බැනුම් අසමින් එහිම රැඳී සිටියේ අම්මාත්, තාත්තාත් දෙදෙනාද හවස්වරුව එතැන ගෙවන නිසාත්, මගේ සාක්කුවට සහ බඩට එතැනින් බොහෝ යහපතක් උදාවුන නිසාත්ය. ඒ කාලයේ මම "දර පලන්න", "ගස් නගින්න" බැරි, කණ ඇහෙන්නේ නැති, පත්තරෙයක් අතට ගත්තහං මෙලෝ සීයක් නැති "ගොනෙක්" හෝ "බූරුවෙක්" යන විරුදාවලිය බොහොම වැර වෑයමෙන් ලබාගෙන තිබුණා. 


අඩිපාර


ආච්චම්මගේ තේ කෑල්ලට ප්‍රධාන පාරෙ ඉඳං මේ වගේ අඩිපාරක් දිගේ හැතැක්මක විතර දුරක් යන්න තියෙනවා. ගොඩක් අය දළු කඩල ගෝනිවල දාලා අරං එන්නේ කරේ තියාගෙන. ඒ වුනත් මේ පාරෙ යන්න පුලුවං තව වාහන දෙකක් තියෙනවා. එකක් පුබ්බයිසිකලේ. අනික විල්බැරැක්කේ. 


විචක්ෂණ ඥාණයක් ඇති 'දුනුකෙයියා ගලෙං එහා' කාන්තාවක් වුනු අපේ ආච්චම්මා මට අවුරුදු දහතුනක් විතර වෙද්දි මගේ එක් 'පොරෝජනයක්' අඳුරගත්තා. ඒ තමයි 'පුබ්බයිසිකල් පැදීමේ' හැකියාව. මාමටත්, පුංචම්මාටත් පුබ්බයිසිකල් දෙකක්ම තිබුණත් ආච්චම්මට ඕනි වෙලාවට ඒ දෙන්නගෙං කෙනෙක්ව බයිසිකලෙං ගමනක් යවාගන්න හරි අමාරුයි.

"මට දැං වැඩත්තීනව"

"මං මේ ඉස්කෝලෙ හිල්ල ආගමං. හුස්මක් කටක් ගන්න දෙන්නකො අම්මෙ."

ඔය වගේ මොකක් හරි කියල, තව පැයක් විතර ඉඳල තමයි ඒ දෙන්නා බයිසිකලෙං ගමං යවන්න පුළුවං. ඒ වුනත් ආච්චම්මගෙ වචනෙට කීකරු මං ඒ වැඩේට ගැළපෙනවා. ඒ හංදා ආච්චම්මා පුංචම්මටත් මාමටත් ආක්ඥාවක් දැම්මා.

"බොලාට බැයිනං නිකා හිටාල්ල. සු***ට මං කියන වෙලාවට බයිසිකල්ලෙක ගෙනියන්න දියල්ල"

"හා ඒකට මක්වෙනවෑ"

කියල පුංචම්මයි දෙන්නම දෙපයිං උත්තර දුන්නා.

සන්දා, අඟහරුවාදා, බදාදා, බුරහස්පතින්දා යන දවස් ටික පහුවෙනකං මට පොඩ්ඩ ඇතිනං සැල්ලෙක අරින ආච්චම්මා සිකුරාදාට ඉර පායද්දි සෑහෙන හොඳ වෙනවා. සිකුරාද හවස් වෙද්දි තවත් හොඳයි.

"බොට හෙට පංතියන්න තීනවෑ?"

"හෙට නෑ අනිද්ද උදේට සේනයියෑ පංති තියෙන්නෙ."

"හා එහෙනං හොඳා. මං 'කිරි ගෑනිට' පණිවිඩේ අරින්නං හෙට එන්න කියල. එබෝවිටේ දලුඩිංග කඩාගන්න."

සෙනසුරාදා උදේම ආච්චම්ම ගෙදරිං පිටත්වෙන්නෙ 

"උඹ එහෙනං තව ටිහිකිං කහට ඩිංගත් ඇරං, බයිසිකලෙත් ඇරං වරෙං"

කියාගෙනයි. දළු දාල ගොනියයි, දළු කඩන කවරෙයි, ‘වතර බෝතලෙ‘යි එයා අරං යනවා. තව පැයකට විතර පස්සෙ පුංචම්ම හදල දෙන කෑම බීම, කහට පුරෝපු උණුවතුර බෝතලේ, සීනි පුරෝපු මාමයිට් කුප්පිය ආදිය පොලේ ගෙනියන බෑක්කෙහෙකට දාගෙන මං බයිසිකලේකට නගිනවා. ඔය බයිසිකල් දෙකෙං පුංචි ගාව තියෙන බයිසිකලේ ටිකක් හොඳ තත්වෙ තියෙනවා. ඒත් ඒකෙ තියෙන සීට්ටෙක පොල්ලෙලි සීට් එකක්. බයිසිකලේ පාර හරහ තියෙන 'සබර මුලක්' උඩින් පනිද්දි ඉහමොලත් උඩ පනිනවා. වලක එහෙම වැටුනොත් මොලෙත් ගෙඩි දානවා. ඒ වුනාට අනික් පහසුකං අතිං ඒ බයිසිකලේ හොඳයි. ලොකු 'ලැකිජ්ජෙකක්' වගේම ඩබල් ඉස්ටෑන්ඩෙකක් තියෙනවා. වීදුරු බෝතලේට පහේ කාසියෙං තලනව වගේ සද්දෙ එන බැල්ලෙහෙකුත් තියෙනව. ලැකිජ්ජෙකේ තියෙන නයිලෝන් ලණු දෙපටිං 'හරකෙක් දිගේලි කරන්න පුළුවං'. චේන්නෙකට තෙල් ඩිංගක් දාල ගත්තං මල් මසුරං වාහනේ.

රබර් මුල් උඩිං පැනගෙන, වලවල් බේරගෙන, හීං බෝවිටිය, වැරනිය අතුවල වැදීගෙන මං බයිසිකලේ පාගනව. ඇංජිමක් නැති අඩුව බයිසිකලේට නොදැනෙන්න

හ'ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............... 

කියල කටිං සද්ද කරනව.

කන්දක් එහෙම අදිද්දි

"ව්රැං ව්රෑං..... ජිශ්...........රෑඈෑෑං"

කියල ජියර් මාරු කරනව. සමහර වෙලාවට පන්ති යන ලමයි කූඩැල්ලංගෙනුයි, තුත්තිරිගස්වල පින්නෙනුයි බේරෙන්න සායවල් කැටි කරගෙන පොලවෙ තෙතට ලිස්සනවට සෙරෙප්පු අතේ අරං එනව මට මුණගැහෙනවා. ඉතිං මං මගේ වාහනේ කැසට්ටෙක දානවා.


“අං
ජනං දේවි ඔන්න 
වඩිනවා ආාාා...
හ්...හ හ්....හ
හනු
මංත වලිගෙ 
වන වන 
හෙනවා.“


බයිසිකලේ පදින ගමං එන්ජිමේ සද්දෙත් පවත්තගෙන සින්දුවකුත් කියාගෙන යන එක ලේසි නෑ. සේරටම එක කටයිනෙ තියෙන්නෙ.

ආච්චම්මගෙ ඉඩම ගාවට ගිහිං බයිසිකලේ ඩබල් ඉස්ටෑන්ඩ්ඩෙක ගහල නවත්තපු ගමං මං අඩුම කුඩුම මල්ල අතට අරං බලනව කවරෙ ඇතුලෙ තේ වතුර හැලිලද කියලා. එහෙම හැලිල තිබ්බොත් ආච්චම්ම දකින්න කලිං කවරෙ තියෙන බඩු ටික එලියට අරං කවරෙ ගසල වතුර ටික හලනව. ඉං පස්සෙ තමයි බයිසිකලේ බෙල්ලෙක ගහල මං ආපු බව දන්වල ඉඩමට ඇතුල්වෙන්නෙ. 


"ආච්චම්මෙ මං ආවෝ"


ආච්චම්මත් කිරි නැංදත් දෙන්නම දළු කවරෙ ඔලුවෙ එල්ලගෙන දළු කඩනවා. ආච්චම්මට මං ආපු සද්දෙ ඇහුනෙ නෑ වගේ එයා දළු කඩනවා. මං ආයි පාරක් කෑගහනවා.


"ආච්චම්මේ,....... කිර්නැංදේ....... මං ආවෝ"


"ආන්නැංදෙ සුරම්පුතා ඇහිල්ලා"


ආච්චම්මා ආපහු හැරිලා ඉඩමෙ මායිම දිහා බලනව.


"කොඕ....... මට පේන්නෑනෙ"


"අරින්නෙයර පරගහගාව"


"ආ....... සු*** උඹ ආවද?"


"හිටහං අපි මේ පේලියෙ ඩිංගිත්ත ඉවර කරල එන්නං."


කිරි නැංද ආයිමත් අකමැත්තෙං දළු කඩනවා. ඒ දෙන්න එනකං මං දළුවල අරිම්බුවෙ මැද කූර අයිංකරල දාල අරං නලා පිඹිනවා. එප්පොලේ මාලුන්ට කන්න පරගෙඩි විසිකරනවා. ඇඹිල්ල කොල කඩාගෙන කනවා. තේ ගෙඩි කඩල අරං ඉලක්කෙට විසි කරනවා. ඉඩමෙ තැනිං තැන තියෙන පොල්ගස් යට පොල් තියෙනවද බලනවා. ඒ අතරෙ ආච්චම්මයි කිරි නැංදයි ඉඩමෙ කොනක තියෙන කොටේ ගාවට එනව. එතන තමයි කඩං ආපු දළු ටික හලන්නෙ. කිරි නැංදට කලිං ආච්චම්ම එතන්ට එනව. ඇවිත් මගෙ කනගාවට කරල කුටු කුටු ගානව.


"ආපු ගාං කෑගහන්නෙපා බොල. අරුංදැ හදිස්සිකොරල කඩපු පේලිියත් මගදාල එන්න හදනව"


"හා"

ඊළඟ සිකුරාද වෙනකං මට ඒ ටික මතකයි. සෙනසුරාද උදේ වෙද්දි තමයි අමතක වෙන්නෙ.


බිමට එලපු ඉටිකොලයක් උඩට දලු ටික හලලා ඒ දෙන්නා පාං කනවා. ආච්චම්ම මටත් පාං කෑල්ලක් දීලා

"මේ මගෙ හොඳියෙකේ ගාගෙන කාහං"

කියනවා. ආච්චම්ම කන පිඟානෙං හොඳි කන්න හිරිකිත හංදා මං ඒව කන්නෙ නෑ.

"මංකාලාවෙ"

ඉතිං ආච්චම්මා මගෙ ගුණ වර්ණනා කරනව.

"කිල්ලමෙයො හොඳේ මේ මූ හිටියට මුගෙ ආනාදිකම සුළුපටු නෑ. මූ කවුරුවක්කක් අතිං අල්ලපු කිසියං දෙයක් කන්නෑනෙ. ඒකට අපේ ජෝකපාලගෙ ජුවයි, පුචයි. මං මේ කට අස්සෙ තියෙන දෙයක් උනත් ඔහොක්කොල්ල ඇදල දුංනත් අපෙයාච්චම්ම අපිට කැත නෑ කියල හිට කනව ඒක. ඒකට මූ. මුගෙ ආනාදිකම ඉහටත් උඩිං"

ඒ දෙන්න පාංකාල කහට බීල ඉවරවෙලා ආපහු දළු කඩන්න යනව.

"හිටහං තව දළු මඩි දෙකක් කඩපුවහං අරං යන්න. උඹට කම්මැලිනං වරෙං අපි ඉන්න හරියට."

මාත් ආච්චම්ම කඩන දළු පේලිය දිගේ එයාගෙ පස්සෙංම යනව. ආච්චම්මයි කිරි නැංදයි දෙන්න තරඟෙට ගමේ ඕපදූප බෙදාහදාගන්නව.

"ලිවේරිස්ගෙ එකී ආයි මිනිහෙක්කෙක්ක ගිහිං කියන්නෙ ඇත්තද කිල්ලමෙයො"

"අනෙන්නැංද මේ බනකතාකොන්නොව. ඒකි මිනිහෙක් ඇරං ගෙදර ඇහිල්ල. අර ඉන්නෙ ජෝඩුදාල යස මහිමට"

"හැබෑ...ට...... අර මිනිහයි ළමයි දෙන්නයි මැරිල තුංමාසෙ ගියෙත් නෑ නේද?"


ඔය විදිහට ගමේ ඕපදූප බුරුතු පිටිං හුවමාරු වෙද්දි ආච්චම්මා ඒක විවිධප්‍රසංගයක් කරන්න මහන්සි ගන්නවා.


"ඔන්න කිල්ලමයො මං කියනව කයියක්."


ඉතිං ආච්චම්මා මං හැමදාම අහල පුරුදු ඒ කයිය කියනව.


සටපට ගගා පොඩි තේ දළු               නෙළනවද....
වටපිට බලනකොට පොඩි දළු          කැඩෙනවද....
එතකොට අනේ කංකානම               බණිනවද....
නැත්තං අනේ මං අමතක                 වෙනවාද...

පතල් කවි, පාරු කවි, පැල් කවි, ආදී නොයෙක් ජන කවි තිබුනට. මේ තමයි මං අහල තියෙන එකම 'දළු කැඩිලි' කයිය.





51 comments:

  1. උඹ ඇයි තවම උඹේ නම සු*** කියලා ලියන්නෙ. දැන් අපි හැමෝම දන්නවනෙ උඹේ නම සුරංග කියලා.

    මමත් මේ ලඟදි උගන්නපු පාඩමක තිබුන කෑල්ලක් මෙතලට ඔබන්නම ඒක අදාල වගෙ පේන නිසා. ඒ තමයි තේ හොයාගත්ත හැටි.

    චීන අධිරාජයෙක් එලිමහනෙ විවේකයෙන් ඉන්නකොට සේවකයෝ රත්කරකර හිටපු වතුර එකට ලඟ තිබුණු තේ පඳුරකින් හුල‍ඟෙ ගහගෙන ආපු කොල ඉත්තක් වැටිලා වතුර එක අප්සෙට් වෙලා. සේවකයෝ වතුර එක විසි කරන්න හදනකොට අධිරාජය පොඩ්ඩක් හෝව් පොඩ්ඩක් හෝව් කියලා වතුර එකෙන් ටිකක් තොලගාලා බලලා ඒ රසයට කැමති වෙලා.

    ඔන්න ඔහොමලු තේ බීම උපන්නෙ.

    එතකොට tea bag එකේ උපතත් ඔය වගේම තමයි. තේ සාම්පල් යවපු aerated කඩදාසි බෑග් වලින් තේ කොල එලියට ගන්නවට වඩා බෑග් එක කම්මැලි කමට එහෙමම වතුරට දැම්මත් ඒ වැඩේම වෙනවයි කියලා හොයාගත්ත කම්මැලි Chefලා සෙට් එකක් තමයි tea bag හොයා ගත්තෙ

    ReplyDelete
    Replies
    1. චීන කුමාරියක් තම පෙම්වතා එනතුරු රෑ මග බලා සිටි තැන තිබුණු ගගේ අත්තක් වතුරේ තිබිලා තේ බීම හොයා ගත්තැයි කියනවා නේද ?

      Delete
    2. ඔය තරු ටිකට අදාල අකුරු දැම්මහම හැදෙන්නෙ ඒ දවස්වල මට කියන අන්වර්ත නමක්.

      තව කතාවක් තියෙනවා චීන කුමාරයෙක් හා එයාගේ කෑල්ල කුමාරිකාව හැමදාම හම්බවුනේ තේ ගහක් යටලු. ඉතිං දවසක් ඔය කුමාරයට යුද්දෙකට යන්න හිතිලා තමුංගෙ චීනිට කිව්වලු.

      “මං යුද්දෙට ගිහිං එන්නං එතකං මාව මතක් වෙන්න මේ ගහේ දලු ටිකක් කඩල කාබරේ වතුර එහෙක දාල තියං ඉන්න“

      කියල. ආං එහෙම තියං හිටපු දල්ල ටික දවසක් යනකොට වතුරෙ පැහිල වතුර එක රතුපාට උනාලු. ඉතිං අර චීනි ඒක බිව්වලු. මාර රහයිලු. ඉතිං ඒ තේ තමයිලු.

      Delete
    3. ඔය තරු තුනට කන්නා වගේ අකුරු තුනක් ආදේශ කලොත් කොහොමද ?

      Delete
    4. තේ ඉපදීම ගැන මෙච්චර කතා දැක්කේ දැන්නේ.

      Delete
  2. Oh yes,,same taste remain,like in your other writings surang!anyway try to write something about Badhulla too.

    ReplyDelete
    Replies
    1. මෙහෙ තේ වගාව ගැන මගෙ දැනුම අල්පයි. ඒ හංදා ටිකක් හොයල බලල තමයි ලියන්න වෙන්නෙ.

      Delete
  3. සිරා ලියමන... හැබැයි අර අඩිපාරේ ෆොටෝ එක ගත්තු කැමරාව හරි ෆෝන් එක හරි තියනවා නම් ඒක අරගෙන බයිසකලේ රෝදේ ඉස්සරහින් තියලා "ව්රැං ව්රෑං..... ජිශ්...........රෑඈෑෑං" ගාලා පාගහන්... ;)

    ReplyDelete
    Replies
    1. ඒ කැමරාව තිබුනේ හුන්ඩායි සන්තාපේ කාර් එහෙක වහලෙ බෝලෙක හයිකරලා. දන්නවනෙ කාගෙද කියලා. ඔය පලවෙනි උඵන්දින සැමරීමට අදාල සමාගමට අයිති එකක්.

      Delete
    2. සන්තාපේ... ඒ මොකක්ද බොල ඒ.

      Delete
  4. උඹ ආච්චම්මාඅපේ ටල් අම්මාවාගෙයි , එයා දැං නැ , එයාට ගමෙි අය කියන්නේ චේ ගු වෙරා අම්මන්ඩි කියල අනේ පව් උන්දැ ඒ ගැන හං කවි සියක්,, දන්නැ

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චම්මට ගිනිකිකිලි කියනවලු. වෙනිං නං අහල නෑ.

      Delete
  5. මගේ යාළුවෙක් චේන් එක පැනලා මළා.

    ReplyDelete
    Replies
    1. උගේ යාළුවෙක් මොලේ වයර් පැනල ගොන් කමෙන්ට් දානව

      Delete
    2. තෙල් දැම්මනං චේන්නෙක පනින්නෙ නෑ.

      Delete
    3. රේසරේ දැති ගෙවිල වෙන්නැති. අපරාදෙ.

      Delete
    4. මගේ යාලුවෙක් සිරිකොතට දීල මළා.

      Delete
    5. දීගයක් වෙන්නැති.

      Delete
    6. නෑ සංහිඳියාවට. යහපාලනේ .

      Delete
  6. ආච්චම්ම කෙල්ල කාලෙ ලස්සනට ඉන්ට ඇති බොල.

    ReplyDelete
    Replies
    1. එහෙම හිටිය බව ආත කියනව. ආච්චම්මනං එව්ව ඇහෙන මානෙක හිටියත් බුරාගෙන පනිනව.

      Delete
  7. සු*** කීන නමේ අපිටෝනෙ විදියට හිස්තැං පුරෝගඤ්ඤංකො.

    ReplyDelete
    Replies
    1. ආං හරි. හැබැයි ලීනව නෙමෙයි ඔන්න

      Delete
  8. දළු කයිය නියමයි සුරන්. උපන්දින සුභ පැතුමටත් ස්තුතියි . උඹහැට තේ ගහ වගේ තමයි අපිට තක්කාලි පැලයක් , බටු පැලයක් දකින එක දැන් උනත් එළවළු පැලයක් දකින එක.

    ReplyDelete
    Replies
    1. ඒ කවිය ඇත්තටම ජනකවියක්. හදපු කෙනෙක් දන්නෑ. අපේ මුල් කාලෙට සම්බන්ද මොනයම්ම හෝ දෙයක් දැක්කම අදටත් ඒකට ඇදෙන ගතියක් තියෙනව නේද?

      Delete
  9. අපි සෙල්ලං කරන්නෙ තේ වතුවල...
    අපට තේ කොලවල ලොකු වැදගත්කමක් තිබුණා....
    තුවාලයක් වුණ ගමන් තේ දළු හපලා තුවාලේ උඩින් තියන්න පුලුවන් එක....

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේට හරියටම හරි කෝපි දළු. ඒවයෙ කහට ගතිය තේ දළුවලට වැඩියි. ඉක්මන්ට සනීප වෙනව.

      Delete
  10. හැක. උඹට කොහොම හරි බයිසිකල් පදින්න චාන්ස් එකක් ආපු එකම මදැයි ඔය හේතුව හින්ද.
    ඕපදූප කියොනකොට අහං ඉන්නවනං කිරි නැන්ද දළු නොකැඩුවත් කමක් නැතිවෙයි.

    අර වගේ දළු කයියක් ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියෙන්නෙ ඔච්චරමයි.

      Delete
  11. තේ අක්කරයකින් දැන් කියක් විතර අදායමක් ගන්න පුලුවන්ද මචං .දැන් කිලෝ එකකට කියක් ගෙවනවද කලාවන හරියේ

    ReplyDelete
    Replies
    1. කිලෝ 400 - 600 තමයි. සමහරු නං කියනවා 1000ක් පුලුවං කියල. ඒ බොරු. මං පහුගිය ටිකේ බලාපු තේ ඉඩං කීපෙකම කිලෝ 1000 ක් පුලුවං කියල පුරසාරං කිව්ව. ඒ වුනාට එච්චර බෑ.

      දැං කිලෝ එකක් 70 ක් විතර වෙනවලු.

      Delete
    2. දළු කිලෝව 68/- 74 /- අතර වෙනව. අක්කරේකින් වැඩිම උනොත් කිලෝ 800 යි.

      Delete
    3. කම්මලේ වෙන්දේසි මලට අනුව දළු හිමියාට ලැබ්ය යුතු ගාන හදා ගන්නේ කොහොමද?

      Delete
  12. එළ මචං...
    මේක තමයි මමත් අහල තියෙන එකම තේ කයිය...

    ReplyDelete
  13. ආච්චම්මා බලං ගියාම උඹට හොඳ මාර්ගෝපදේශකාවියක් නෙව . දළුකවි කියල ජාතියක් ඇහුවෙත් අදයි. ඇත්තටම අර සු*** කියල දාන්නෙ ඇයි බං?

    ReplyDelete
    Replies
    1. /ඔය තරු ටිකට අදාල අකුරු දැම්මහම හැදෙන්නෙ ඒ දවස්වල මට කියන අන්වර්ත නමක්./

      Delete
  14. අච්චම්මා මාර ස්වීට්. සුරංගගේ මූනත් පොඩ්ඩක් විතර ඒ වගේ :D

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා ඒ පවුලේ කෙනෙක් නෙවෙයි. අරං හදාගත් කෙනෙක්. ඒ හිංදා එහෙම මූණුවරක් එන්න හැටියක් එන්න හැටියක් නෑ නේද?

      Delete
    2. කමෙන්ට් එක දාන වෙලාවේ ඒ ගැන දැනගෙන හිටියේ නෑනේ :P

      Delete
  15. මාත් දළු කයියක් අදමයි දැක්කේ. කිතුල් හකුරු ගුලියක් කකා,තේ කහට කෝප්පයක්බොනකොට වගේ රහක් දැනෙනවා මේ ලිවිල්ලේ

    ReplyDelete
  16. සු ... ඉතුරු ටික ගෙස් කරපල්ලා

    ReplyDelete
  17. සායවල් කැටිකරගෙන යන ගෑණු ළමයි දැක්කම අංජනම් දේවිගේ කැබරේ එකක් දැක්ක හනුමන්තා වගේ බයිසිකලේ කැලේට යනවා.

    ReplyDelete
  18. උඹට දාන්න වටින අන්වර්ථ නම පදබන්ධන කියලා. මොකද මේ බ්ලොග් අවකාසේ උඹ තරම් වචන බන්ධාන කරලා ලියන එකෙක් නොදැක්ක නිසා.

    ReplyDelete
  19. "ඒකට අපේ ජෝකපාලගෙ ජුවයි, පුචයි. මං මේ කට අස්සෙ තියෙන දෙයක් උනත් ඔහොක්කොල්ල ඇදල දුංනත්"

    උබේ ලිවිල්ල හාපික් ඇඩි පරාදයි.

    ReplyDelete
  20. දළු කයිය ඇහැව්වමයි. ආච්චම්මා සිරියාවන්තයි. ආඩම්බරයි .ඇත්තමයි.

    ReplyDelete
  21. පුංචම්මා පොල්ලෙලි සීට් එකක් දැම්මෙ ඇයි ...එතකොට එයාට වයස කීයද

    ReplyDelete
  22. යාං මලයගේ ලියුං කියුං නං පංකාදුයි, පොඩි කොස්සකට තියෙන්නෙ අර උඩහ දිල්රුක් ගොයිය කිව්වා වගේ පද බන්ධනේ තමයි! කියවන එක කෙසේ වෙතත් ලිහා ගන්නම වරුවක් යනව!

    අන්තිමට බොලගේ ආත්තම්මගේ පින්තූරෙකුත් දැක්කා බොහොම සතුටුයි !

    ReplyDelete
  23. කවිය මරු සුරංග. අච්චම්ම ආයෙත් කරලියට ගේනවා එහෙනම්.

    ReplyDelete
  24. හැම ලියවිල්ලක්ම කියෙව්වා. නියමයි. මැවිල පේන විදියට ලියන එක හැමෝටම බැරි දුර්ලභ හැකියාවක්.
    තවත් එකක්. මගෙ ගමත් උඹගෙ ආච්චි ආව පස්යොදුන් කෝරළේ, බුලත්සිංහල ආසනයේ.

    ReplyDelete