Follow by Email

Friday, September 23, 2016

ලෙඩ්ඩු බැලීම හෙවත් Patient watching

ලෙඩක් නැතුව ඉස්පිතාලෙ යනවා නං ඒ හෙදියෝ, සාත්තු සේවිකාවෝ, දොස්තරලා සහ ලෙඩ්ඩු බලන්න යන අයයි. අනෙක් හැමෝම ඉස්පිරිතාලෙ යන්නේ ලෙඩකට බෙහෙත් ගන්නටය.


ඉස්පිතාලෙ, ස්ප්‍රිතාලෙ, ඉස්සිතාලෙ ආදී නොයෙක් නං වලින් හඳුන්වන්නේ රෝගී හල හෙවත් රෝහලම තමයි. සාමාන්‍යෙයං කට වහරට ලේසි වචනය “ඉස්පිතාලෙ“  වුනාට දැං හැමෝම ඒකට කියන්නෙ “හොස්පිට්ල් එක“ කියාය. ඕනෑම ඉංග්‍රීසි නාම පදයකට “එක“ යොදා ඒක සිංහලට හරවන්න පුලුවන්. ඒ වගේම ඉංග්‍රීසි ක්‍රියා පදයකට “කරනවා“ යොදා ඒකත් සිංහලට හරවන්න පුලුවන්. ඒත් මදිනං ඉංග්‍රීසි නාම පදයට “-ලයිස් කරනවා“ කියා යොදා ඒකේ ක්‍රියා පදයත් හදන්න පුලුවන්. ඒ විදිහට ඉංග්‍රීසියෙන් “හොස්පිට්ල් ඇඩ්මිට්“ කියන එක සිංහලට “හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරනවා“ කියා හෙළ බසට හරවන්න පුළුවන්. ඒත් නැත්තං “හොස්පිට්ල්“ යන නාම පදය “ලයිස් කර“ සිංහලෙන් “හොස්පිට්ලයිස් කරනවා“ කියා ක්‍රියාපදයක් හදන්නත් පුළුවන. මේ හංදා දැං කවුරුවත් ඉස්පිතාලෙ නොනැවතී “හොස්පිටලයිස්“ම කරන්නේය.


මිනිස්සු ඉස්පිතාලේ නවතින්න අකමැතිය. ඒ හංදා ලෙඩක් හැදුනහම කරන්නේ “පයිවෙට් බෙහෙත් දෙන“ තැනකට ගිහිං බෙහෙත් ගන්නා එකය. එතැනදී දොස්තර මහත්තයා ලෙඩාව “ඉස්පිතාලෙ නවත්තන්න“ හැදුවත්


“අනේ නවතින්න නං බෑ. මේ ටික බීලා අඩුවක් නූනොත් හෙටත් ආයිමත් එන්නං“


කියලා බේරෙන්නට පුළුවන. නැත්තං මිනිස්සු හිතාගෙන ඉන්නේ නොමිලේ බෙහෙත් දෙන ඉස්පිතාලෙට යන මිනිස්සු දුටුවිට දොස්තරවරු


“මේ මොන කරදරයක්ද? මුන්ට බැයිද හවසට සල්ලි දීල බෙහෙත් ගන්න එන්න? හිටු තොපිට ආයිමත් ඉස්පිතාලෙ නොඑන්න ගුලියක් අඹරන්න.“


කියා හිතලා ලෙඩාව නිකරුනේ ඉස්පිතාලෙ වාට්ටුවක නවත්වා පැයෙං පැයට ඉංජෙක්ෂන් ඇන, පැය බාගෙං බාගෙට ලේ ගෙන, හැම වේලකටම බෙහෙත් පෙති සේරුවක් පමණ පොවා දස වද දී ලෙඩාව හපයක් කොට ආයි ඒ පැත්ත පලාතෙ නොඑන තත්වෙට පත් කරන බවයි.


ඒ වුනාට මාරාන්තික අවස්ථාවකදී, ළමෙක් හම්බුවීමකදී ඉස්පිතාලෙ නවතින්නම වන්නේය.  එක්දාස් නමසිය පනස් ගනන්වලදීද ළමයි හම්බුවීමට ඉස්පිතාලෙ නැවැත්තූ බව අපේ තාත්තාගේ උප්පැන්නෙ බැලුවහම පැහැදිලි වන්නේය. එහි තිබෙන ආකාරයට ළමයා උපන් බව දැනුං දෙන්නේ කලවානේ ග්‍රාමීය ආරෝග්‍ය සාලාවේ ප්‍රධාන වෛද්‍ය මුලාදෑනිතැන වන දොන් හැක්ටර් සීබල් ප්‍රනාන්දුය.


අපිට නිතරම ඉස්පිතාලෙ යන්න වෙන්නේ “ලෙඩ්ඩු බැලීමට“ය. සාමාන්‍යයෙං ලෙඩ්ඩු බලන්නේ දොස්තර කෙනෙකි. අපි කරන්නේ අපේ හිතවත් එක ලෙඩෙක් බලන්නට යාමයි. ලෙඩ්ඩු බලන්නට හැම තිස්සෙම යන්නට බැරිය. ඒකට වෙලාවක් ඇත. උදේ පහාමාරෙ ඉඳං හයාමාර වෙනකං වගේ වෙලාවක්ද, දවල්ට සහ හවසටත් ඒ වගේ වෙලාවල්ද තිබේ. ඒ වෙලාව වෙනකං ඉස්පිතාලෙ ගේට්ටුව ගාව පොදිකන මිනිස්සු රෑනත්, ගේට්ටුව ගාව මුරකරන කෙනාත් අතර හටන බලා ඉන්නට ආසා හිතේ. මිනිස් සේනාවේ පිටිපස්සෙං එන තල්ලුවට ගේට්ටුව ඉස්සරහම ඉන්න අයව ගේට්ටුවට හිරවී ගේට්ටුව “ජිරි බිරි“ නාදය දෙයි. ඒත් එක්කම ගේට්ටුව ඉස්සරහම පේලියේ අය ලතෝනි දෙයි.


“තල්ලු කරන්නෙපා.... මරන්නද හදන්නෙ තල්ලුකොල්ලා....?“


එතකොට ගේට්ටුව මුරට ඉන්නා සුදු සරම කමිස ඇඳපු කෙනා බිමට බුලත්කෙල පාරක් ගසා “සැල්ලෙක“ දමයි.


“පොඩ්ඩක් ඉන්නවලකො. නැත්තං තමුසෙලවත් වාට්ටුවෙ නවත්තන්න වෙනව අතපය කඩාගෙන“


ඒ අතරෙ මුරකාරයාගේ කනට කුටු කුටු ගා එක්කෙනෙක් දෙන්නෙක් ගේට්ටුව අයිනේ තියෙන කපොල්ලෙං රිංගන්නේ මුරකාරයාගේ අතට තමුංගේ අත තියාගෙනමයි. ඒ වෙලාවට මුරකාරයා සෙනගට පිටුපාලා කමිස සාක්කුවට අත දාගෙන ආපහු හැරෙනවා.


 හරියටම වෙලාවට ගේට්ටුවේ අගුල පන්නද්දිම එතෙක් වෙලා ගේට්ටුව ගාව තෙරපෙමින් හිටි සෙනග සේනාව, උණුවතුර බෝතල්, මිරිස් හොදි බෝතල්, හිස් බීම බෝතල්වලට පුරවපු කහට බෝතල්, බත්මුල්, බනිස් ද පියන් රෝල් ද ආප්ප ද ඉඳියප්ප ද පිරවූ කඩදාසි කවරද, අලුතෙං හොදා වේලා ගෙනාපු රෙදි පොදි ද ආදී කොට ඇති ආම්පන්න පෙරදැරිව මුරකාරයාවත් පෙරලාගෙන, ගේට්ටුවත් අඹරාගෙන, සෙරෙප්පුවල පටි කඩාගෙන, බෑක්වල අඬු ගේට්ටුවේ උල්වල පටලාගෙන, සාරි පොටවල් පාගාගෙන “හැකි තරං වෙලා අපේ ලෙඩාගේ රූ සපුව බලාගන්නෙමු“යි යන ඒකායන අරමුණෙං ඉස්පිරිතාලෙ ඇතුලට කඩා වදිනවා.


මේ විදිහට කඩා පනින සේනාව තමුංගෙ වේගෙ අඩු කරන්නෙ ගේට්ටුවෙං සෑහෙන දුරක් ගියාට පස්සෙ මුරකාරයාට තමුංව අල්ලගන්න බැරි වග තහවුරු කරගෙනයි. ඉං පස්සෙ තියෙන්නෙ වාට්ටු හොයන සෙල්ලම. ඉස්පිතාලෙ වාට්ටු තියෙන්නෙ එක පිලිවෙලකට නෙමෙයි. පලවෙනි වාට්ටුවෙං පස්සෙ තුං වෙනි වාට්ටුවට. ඊළඟට හත. ආයි දකුණට හැරුණහං දෙක. ඉතිං මුළු ඉස්පිරිතාලෙම වාට්ටුවක් ගානෙ ඇවිදලා, තව හත් අට දෙනෙක්ගෙං අහලා තමයි වාට්ටුව හොයාගන්නෙ.


සමහර ප්‍රසිද්ධ අය ලෙඩ්ඩු වුනහම ඒ අයව බලන්න පෝලිමේ ඉන්න ඕනි. ඒ නිසා අනික් ලෙඩ්ඩුන්ට කරදරයි. විශේෂයෙන්ම ගමේ ප්‍රසිද්ධ ගුරුවරයෙක්, ග්‍රාම සේවක කෙනෙක්, මුදලාලි කෙනෙක් එහෙම ඉස්පිතාලෙ නැවතුනොත් මේ වැඩේ වෙනවමයි. ඒක ලෙඩාගෙත් හොඳ පන යන කාරනාවක්. මුලිම්ම යන කෙනා තමුං ගෙනාපු පාර්සලේ ලෙඩාගෙ අතට දෙනවා. අතපය හොල්ලන්න බැරි කෙනෙක් වුනත් අතට කටු ගහල, සේලයිං දීල තිවුනත් ඒක අතට ගන්නම ඕනි. සමහරු නං ඒක ලෙඩාගෙ ඇඟේ  පුළුවං තරං ගෑවෙන්න බඩ උඩිං හරි තියනවා. ඉතිං අත හොල්ලන්න බැරි ලෙඩා හොම්බෙං හරි අර පාර්සලේට අත ගහනවා. නැත්තං ඒක ලොකු කමක් හැටියටයි සලකන්නෙ. ඉතිං ඒ පාර්සලේ ලෙඩාට රඳවගන්න බැරුව රූටලා වැටෙන්න යනකොට “ලෙඩා ලඟ ඉන්න කෙනා“ සුටුස් ගාලා අර පාර්සලේ අරං ඇඳගාව තියෙන කබට්ටෙකේ ලාච්චුවට දානවා. හුඟක් වෙලාවට මේ පාර්සලේ තියෙන්නෙ ක්‍රීම් කැකර් පැකට්ටෙකක්, හෝර්ලිස්, නෙස්ටමෝල්, වීවා වගේ කිරි ජාති වලිං පැකැට්ටෙකක්, කෙහෙල් ඇවරියක් වගේ දෙයක්. ලෙඩෙක් බලන්න යන වට්ටෝරුවෙ තියෙන්නම ඕනි ජාති තමයි ක්‍රීම් කැකර්, මාමයිට්, හෝරලිස් නැත්තං වීවා.  සමහර අය “සල්ලිකාරකම“ පේන්න මිදි එහෙමත් ගෙනියනවා. ඒ වගේ වෙලාවටනං ඒ කවරෙ කබට්ටෙකට දාන්න “ලෙඩ්ඩු බලන්නා“ ඉඩ දෙන්නෑ.


“හා හා ඕක තැලෙයි තැලෙයි. ඕක දෙන්න දැං කන්න. පහුවෙද්දි නරක් වෙන්න පුලුවං“


ඉතිං අනෙක් “ලෙඩා බලන්න“ ආපු අය කෙළ ගිල ගිල බලං හිටිද්දි අමාරුවෙං හරි අර මිදි වල්ලම කන්න ලෙඩාට සිද්දවෙනවා. නැත්තං ඒක ලොකුකමක් හැටියට තමයි සැලකෙන්නේ. ඒ අතරෙ තමුං ගෙනාවෙ ඉතා මිල අධික ජාතියක් වන “මිදි“ බව අනික් හැමෝම දැනගත්තාදැයි තහවුරු කරගන්න මිදි ගෙනාපු ලෙඩ්ඩු බලන්නා බොහොම උජාරුවෙං වටපිට බලනවා. ඔය එන හැමෝම ලෙඩාට වෙච්චි සන්තෑසිය අකුරක් නෑරම විසි තිස් වතාවක්ම පවුලෙ අයගෙං අහල දැනගෙනයි එන්නෙ. ඒ වුනාට සහසුද්දෙම්ම දැන දැනත් ආයිමත් මුල ඉඳලම විස්තරේ අහනවා.


“හැබෑට ඉතිං මොකද්ද උනාය කියන්නෙ“


තමුං ලෙඩාට මිදි වැනි වටිනා කියන දෙයක් ගෙනැත්දීලා දැං ඒක කවලාත් ඉවර නිසා ලෙඩා තමුන්ට උත්තර දෙන්නට ණයයි කියා හිතාගෙන ලෙඩ්ඩු බලන්නා අහනවා. අසරණ ලෙඩාත් බොහොම අමාරුවෙං විස්තරේ මුල හිටංම කියනවා.


“හනෙහ්... ඔන්න ... මං ... ඈට කාල.... හේම ..... නිදංඉන්න කොට.... මයෙමේ... පපුව හිර..... හිරවීගෙන ..................“

ඒකෙං තෘප්තියට පත් නොවෙන ලෙඩ්ඩු බලන්නා විස්තර කිරීම අතරතුර ප්‍රශ්ණ අහනවා. ඒවටත් උත්තර දෙන්න ඕනි. ඒ මදිවට උපදෙසුත් දෙනව.


“ඇයි ගෙදර අයට කිව්වෙ නැද්ද?“

“යංතං හැදීගෙන එනකොට ඉස්පිතාලෙ එන්නනෙ තිවුනෙ“

“සිද්දාර්ත තෙල් ටිකක්කත් ගාගන්න එපෑ“

“ඔය ඔක්කොටම වඩා හොඳා තෙල් ඩිංගක් මතුරෝ ගත්තනං“


ඒ අතරෙ ඇඳගාව තියෙන දොස්තර ලියාපු කොල පවා අරං බලනවා. තමුන්ට තේරෙනවා වගේ. ඇස්රේ ගත්තු කාඩ් තිබුනොත් ඒවත් උඩට කරලා අල්ලලා බලල


“මෙන්න මෙතන තමයි මේ තියෙන්නෙ ගුලියක් වගේ හැදිල.“


කියලා රෝග විනිශ්චයත් කරනවා. ඔය සේරම කරලා බලල


“එහෙනං මං යන්නං. තව පුරාම වැඩ තියෙනව. මේ නෑවිල්ල බැරිකමට ආවෙ“

කියලා යන්න ලෑස්තිවෙනවා. අන්න එතකොට ලෙඩා තමුන්ට බැරි අමාරුකං කොයිතරං තිබුණත් ඇඳෙං පොඩ්ඩක් උඩට ඉස්සිලා හරි ගරුසරු දක්වලා

“අනේ බොහොම පිං මේ තරං වියදමක් කරගෙන මාව බලන්න ආවට“

කියලා දීර්ඝ පිංදීමක් කරන්න ඕනි. එතකොට ලෙඩ්ඩු බලන්නා


“ඒව නං මොනවද? මං කොහොමටත් ඕන කෙනෙක්ගෙ දුකකදි පිහිටට එනවා“


කියලා අනෙක් ලෙඩ්ඩු බලන්නන්ට පේන්න උජාරුවට පුම්බගෙන යන්න යනවා. ඒ ගමන අනික් ලෙඩ්ඩු බලන්නොත් කුපිත වෙනවා. ඒ අයත් තමුං ගෙනාපු තෑගි ලෙඩාගෙ ඇඟේ ගහලා තමුං ගෙනාපු ඒවත් ලෙඩාට කවන්න හදනවා. කලිං ලෙඩ්ඩු බලන්නාට කියපු විස්තරේ ඇහුනෙ නෑ වගේ ආයිමත් විස්තරේ අහනවා. තමුන්ගෙ හිතට හරියන තරං ලෙඩාට වද දුන්නට පස්සෙ ඒ අයත් යන්න යනවා. අන්තිමට ලෙඩාගෙ ගෙදරිං එන අය ලෙඩාට හම්බුවෙච්ච කවර ටික දිගෑරලා බලල ඒවා වර්ගීකරණය කරනවා. ආප්ප, ඉඳියාප්ප, බනිස්, කෙහෙල්ගෙඩි ආදිය කුණු ගොඩට හරි බල්ලෙක්ට හරි දානවා. ක්‍රීම් කැකර් පැකට් එහෙම අනික් ඇඳංවල ඉන්න ලෙඩ්ඩුන්ට දෙන්න අහනවා. නැත්තං වෙනිං කාගෙහරි ඇඟේ ගහනවා. කිරි පැකට්, හොඳ විස්කෝතු, ඇපල්, දොඩං ආදිය විතරක් ගෙදර ගෙනියනවා.


බබ්බු හම්බෙච්ච අම්මලාටත් එහෙමයි. එයාලා බලන්න යන අය වැඩියක්ම බලන්නේ ළමයගෙ අම්ම ගැන නෙමෙයි ළමය ගැන. සමහර වයසක අය ළමය වඩාගන්න හදනවා, තව අය ළමයගෙ කකුල්, අතපය, නහය එහෙම ඇද කියලා ඒවා දැම්ම හදන්න ඕනි කියනවා. තවත් අය ළමයගෙත්, දෙමව්පියංගෙත් සමානකං බලනවා. ළමයා ගෑණු දරුවෙක් නං “කෙල්ලෙද්ද ඉන්නෙ“ කියලා අහනවා. ඒ අතරෙ ළමයා ලැබුණ කාන්තාවට මිරිස් හොදි පොවනවා. අන්තිමට ළමයටත්, අම්මටත් ඇති පදං වද දීලා ඒ අයත් යන්න යනවා.


මේ හිංදා දැං ඉස්පිරිතාලවල ලෙඩෙක් බලන්න යන්න දෙන්නෙ දෙන්නෙක්ට විතරයි. ඒ වුනත් අපේ ඔපීස් එකේ ඉඳලා ඉස්පිතාලෙට මාරුවක් හදං ගිය සුමතිපාල අයියා හිංදා අපේ එවුන් නං ඕන වෙලාවක ලෙඩෙක් බලන්න යන්න හොර පාරක් හදාගෙන තියෙන්නේ.


කාලෙකට ඉහතදි අපි දෙන්නත් අපේ අම්මගෙ මල්ලිව බලන්න රත්නපුර ඉස්පිතාලෙට ගියා. වාට්ටුව හොයාගෙන ඇඳත් ගොයාගත්තත් අපේ මාම ඇඳේ නෑ. ඉං පස්සෙ අහල පහල ඇඳංවල හිටපු ලෙඩ්ඩු බලාගත්ත අයගෙනුත් ඇහුවම


“අර කෙට්ටු එක්කෙනා නේද? දැං හිටියනෙ“


කියලා උත්තර ලැබුනා. විනාඩි පහක් හයකට පස්සෙ අපේ මාමා අපි දෙන්නටත් වඩා නීරෝගිමත් විදිහට එයාගෙ ඇඳගාවට ආවා.


“ආ... මං මේ ගියා අර අපේ ඉස්කෝලෙ මිස් කෙනෙක්ගෙ යාලුවෙක්ගෙ මල්ලිගෙ ළමය නවත්තල ඉන්නව ළමා වාට්ටුවෙ. ඒ ළමය බලන්න ගියෙ. ඒ ළමයෑ නහයෙ................. වෙලා.“


“දැං කොහොමද මාමෙ මාමගෙ ලෙඩේ.“


“තව ඉතිං චුට්ටක් චුට්ටක් ඉතර තියෙනව. ඒක වැඩියෙ ගානක් නෑ. නමුත් මේ කලන්තෙ වගේ හැදෙන එක තවම එතරම්ම අඩුවක් නෑ“


“කෑම එහෙම මොනවද කන්න කිව්වෙ“


“ආ..... කෑම මං ඕනි දෙයක් කනව. අර ඩයබිඩිස් තියෙන හංද දෙන්නෙ ටිකක් අමුතු කෑම. ඒව නං කන්න බෑ. මිසීලගෙ හිත රිද්දන්න බැරි නිසා මං ඒව වෙනමම අරං තියල බලන්න එන කෙනෙක් අතේ යවනව විසික් කරන්න. බඩගිනි වෙනකොට මං හිමීට කැන්ටිමට ගිහිං  ලෙඩෙක් බලාගන්න කෙනෙක් වගේ මට ඕනි ජාති කාල එනව. හැබැයි ඉස්පිතාලෙං ගහ්ලබු පලුවක් දෙනව මෙන්න මෙච්චර හිටී එක කෑල්ල. ඒකනං මං කනව එහෙම්පිටිම්ම“


මාමා බඹයක් විතර දිගක් අත් දෙක දෙපැත්තට කරල පෙන්නුවා. ඒ තරං දිගට ගස්ලබ්බක් තියා පතෝල කරලක්වත් හැදෙන්නැති නිසා අපි දෙන්නට ඒක විස්සාස නැති වග අපේ මූනෙං පේන්න තිබුනම මාමා ඒක රියනක් විතර අඩු කරල පෙන්නුව.


“එච්චර කොහොමත් මෙන්න මෙච්චරනං හිටී කොහොම හරි. ඔව් මීට නං පොඩි නෑ“


අන්තිමට ඉස්පිතාලෙං දෙන්නෙ අඩි එකහමාරක් විතර දිග පරාක්‍රමබාහු වර්ගයේ ගහ්ලබු පලුවක් බව අපිට ඒත්තු ගන්වන්න මාමට පුළුවං උනා. ඉතිං මාමට කිඹුහුමක් තරංවත් අසනීපයක් නැති බව සහසුද්දෙම්ම දැනගෙන මාමට වැඳල එන්න හදනකොට මාම අපිට මෙහෙම කිව්වා.


“හා හොඳයි යන්න එහෙනං. අද දවල්ට මගෙත් ටිකට් කපයි. මං අදත් ඉඳල හෙටම යනව.“


මට මේ කතාව මතක්වුනේ චූටි මැණිකෙගෙ පුංචම්මගෙ පුතා බලන්න ගිය වෙලාවෙදි. මිනිහ තාමත් රත්නපුරේ මහ ඉස්පිරිතාලෙ.


ලෙඩෙක් ඉස්පිතාලෙ නිකං වාට්ටුවක නවත්තනවට වඩා නම්බුවක් වෙන්නෙ “අයිසියු එකේ“ දැම්ම කිව්වම. 


“නිකං වාට්ටුවකද ඉන්නෙ“


කියල ගමේ අය සවුත්තුවට වගේ අහද්දි


“නෑ........ඈෑෑෑෑ . අයිසියු එකේ. දැඩිසත් කාරෙ. ඔක්කොටම බට දාලා. ටීවී හිටං හයිකල්ලා“


කිව්වම තමයි


“හාාාානේඒඒඒඒඑ..... ඇත්තද“


කියලා කාන්තාවංගෙ අත් කම්මුලට එන්නෙ. ඉතිං අපේ මලයත් ඒ නම්බුව අපිට අරං දුන්නා. මිනිහා සිහියක් පතක් නැතුව නව දොරටම බට දාලා මැසිං හයිකරලා අයිසියු එකේ දාලා ඉන්න බව මුළු පවුල පුරාම විදිලි වේගෙං පැතිරිලා ගියා. එදා මොබිටෙල් කොම්පැනියට සරුයි. සිය මුණුබුරා ගැන තමුංගෙ ශෝකය අනෙක් අයට වඩා වැඩි බව පෙන්නීමට චූටි මැණිකෙගේ ආච්චම්මා “කොලුව නැතුව මගෙ උගුරෙං පල්ලට මොකවක් ගිලෙන්නෑ“ කියලා ආහාර වර්ජනේ පටං ගත්තා. සිය මෑණියන්ට නොදෙවෙනි අපෙ නැංදම්මාත් “අනේ අසරණ කොලුව ගැන මට දුකේ බෑ“ කියලා තමුංගෙ නගාගෙ කොලුවා වෙනුවෙං ආහාර වර්ජනේ පටංගත්තා. ඒ විතරක් නෙමෙයි. “මං දැං වේල් තුනකිං වතුර ඩිංගක්වත් බිව්වෙ නෑ. මේ කොලුට වෙච්චි දේ හිංදා“ කියලා නිතරම අනික් අයව දුරකථනයෙං දැනුවත් කළා. මේ යන විදිහට ගියොත් ආහාර වර්ජන රැල්ලේ අතුරු විපාක තමුන්ටත් බලපානු ඇති බවට ඇතිවූ සැකය නිසා දුරදක්නා නුවනින් යුතු චූටි මැණිකෙගේ මලයා වහාම සිය ඥාති නැන්දෙක්ව නිවසේ නවත්තා ගත්තේ අම්මට උදව්වට හොඳයි කියා වුවත් එහි අරමුණ වුනේ ඉදිරියේ පැමිණිය හැකි සාගතයෙන් මිදීම වන්නට පුළුවන්. ඒ අතරේ ලෙඩාගෙ තාත්තාට පපුවෙ අමාරුවක් හැදුනා. ලෙඩාගෙ නංගී තමුංගේ සියලුම දෛනික රූපලාවන්‍ය කටයුතු අතෑරියා. අන්තිමට අපිට දුක පෙන්නන්න ක්‍රමයක් නැත්තටම නැතිවුනා.


දවසට වේලකට ලෙඩා බලන්න යන්න දෙන්නේ දෙන්නෙක්ට විතරක් වුනත් ඇතිවුණ තදබදය හමුවේ වේලකට ලෙඩා බලන්න අට දෙනෙක්ට වඩා හිටිය නිසා ලෙඩා බලන්න දවස් දෙකකටවත් කලින් ඇපොයිමන්ට් දාන්න වුනා. අන්තිමට අපි දෙන්නගෙං එක්කෙනෙකුටත් සෙනසුරාදා දවල්ට ලෙඩා බලන්න පුලුවං කම ලැබුනා. අන්තිමට එදාට යෙදුනු හිතවත් බ්ලොග්කරු රවීන්ද්‍ර බණ්ඩාරයන්ගේ ප්‍රත්‍යාවලෝකන උත්සවයටත් නොඉඳ අපි ලෙඩා බලන්න ගියා.


එතැන බලන්න වටිනා දර්ශනයකි. අපි ජීවිතේට නොදැක්ක ඥාතින් එතනය. සමහරුන්ට අඩු ටයි එක පමණි. අත් දිගට ඇඳ සපත්තු දමා චාලි චැප්ලින් වගේ ඇවිදින මාමලා, ඩෙනිම් ඇඳ ජපං ක්‍රමයට ඇවිදින නැන්දලා ආදීන් මගේ හිතේ තිබූ දුක සැනෙකිං තුනී කලේ ගෝදම්බ රොටියක් වගේයි. ඒ අතරේ සමහරු තමුංගේ ගමේ කෙනෙක්ගේ නංගි කෙනෙක් බැඳපු ගමේ ඉස්කෝලෙ මහත්තයගෙ පුතා වන කොහෙදෝ ඉස්පිතාලෙක දොස්තර මහත්තයෙක් ලවා අයිසියූ එකේ දොස්තර මහත්තයාට කතා කරවන්නට හදයි. ඒ අය හිතන විදිහට එහෙම කතා කළ විට අයිසියූ එකේ දොස්තර මහත්තයා හංගාගෙන සිටින මහා ආශ්චර්ය සම්පන්න බෙහෙතක් විද ලෙඩාව නිංදෙං ඇහැරියා මෙන් සනීප කරවා අද හවසම ගෙදර යවනවා ඇත. තවත් මාමෙක් ඒ විදිහට කවුදෝ කෙනෙක් ලවා රසායනාගාරයට කතා කරවා දවස් ගනනක් තිස්සේ කළ යුතු ලේ පරීක්ෂාවක්ද පැයෙං කරවන්න හදයි. එයා හිතන විදිහට දවස් ගනන් ගතවන අවක්ෂේපවීම් අදාල රසායන ද්‍රව්‍යවලට තර්ජනය කර එක මිනිත්තුවෙං කරවාගත හැකිය. තවත් කෙනෙක් කියන පරිදි මේ ඉස්පිතාලෙ හරියට වෙදකං කරන්නේ නැත. එයාගේ ගමේ යස අගේට හිටපු කෙනෙකුත් මේ ඉස්පිතාලෙ ගෙනැත් නවත්තලා බොහොම අමාරුවෙලා බලෙං ටිකැට් කප්පවාගෙන ‘නවලෝකෙ‘ ගෙනිහිං සනීප කරගෙන ඇත. යස අගේට හිටපු මිනිහෙක් නං ඉස්පිතාලෙ නැවැත්තුවේ මොකදැයි ඇහුවානං එයත් එක්කත් තරහ වෙන්න තිබුණා.  ඒ අතරේ පැරණි එදිරිවාදිකං නිසා එකිනෙකා නුරුස්සන කාන්තාවෝ එකිනෙකාට ඉහලිං යන්නට පුරාජේරු විකාශනය කරනවා.


“අපේ එක්කෙනාට අද වෙඩින් එකකට යන්න තිබුනෙ. දැනුත් මනමාල ජෝඩුවම කතා කළා. කොහොම හරි එන්න කියලා.“


“අපිටත් අද හදීඊඊසි ගමං දෙකක්ම තිබුනා“


“අද අපේ දුවට එක්සෑම්මෙකක්. ඒකයි මාත් දවල්ටම බලන්න ආවෙ. එයා ...................... ඩිග්‍රිය කරනවනෙ“


“මං අද බස්සෙකේ ආවෙ. හරි අමාරුයි. අපේ දෝනි හිටියනං මාව ගෙනත්දානවා. එයාට දැං ඉස්කූටර් ඩ්‍රයිව් කරන්න පුළුවං.“


ඒ අතරේ ලෙඩ්ඩු බලන්නන් ඇතුලත් කරගැනීමේ යුද්දෙ ඇරඹුනා. අනික් අය කටුව ගහන්න හැදුවත් අපි කලිං වෙන්කරවං හිටපු අවස්ථාව උදුරගන්න ඒ අයට බැරිවුනා. ලෙඩෙක් බලන්න අපි ගියා කියලා අමුතුවෙන් වෙන සෙතක් නැති හංදා චූටි මැණිකේ විතරක් පුංචම්මා එක්ක යවලා මං ඉස්පිරිතාලෙ ඉස්සරහ ලෙඩ්ඩු බලන අය වෙලාව එනකං බලං ඉන්න කොටසේ ඉඳගෙන අවට සිරි නරඹමින් හිටියා. ටිකකිං පුංචම්මාත්, නංගීත්, චූටිමැණීකේත් මං ඉන්න පැත්තට එනවා මං දැක්කා. මාත් ඒ අයත් අතර දුර අඩුවන වේගයට සමාන වේගයකිං ඒ අයගේ මූණූ බ්‍රේක් ලයිනරයක හැඩය ගන්නවා මට පෙනුනා.


“ඉහි ඉහි ඉහි ඉහි ඉහිග් ගිග්ගිග්“


ඩිමෝ බට්ටෙක් ඉස්ටාට් කලා වගේ එක පාරටම දෙනෝදාහක් ඉස්සරහ පුංචම්මා මාව බදාගෙන අඬන්න පටංගත්තා. වටේ පිටේ හිටපු මිනිස්සු දරුණු අපරාදකාරයෙක් දිහා බලනවා වගේ මට ඔරවන්න පටංගත්තා. ඒ අයගෙ හිතේ මා ගැන ඇතිවුණු සිතුවිලි මොනවාදැයි අදටත් මං දන්නෑ. පුංචම්මගේ දුවත් තමුංගේ අම්මට සහයට ‘අත්වැල් ගායනයක්‘ ආරම්භ කරන්න හැදුවත් මං එකපාරක් ඔරවා බැලීමෙං ඒ කටයුත්ත අසාර්ථක වුනා. පුංචම්මා විතරක් තමුංගෙ ගායනය කරගෙන ගියා.


“අලේ එහෙ එහෙ හේ.....ය්ක්...... අලෙ වයෙ වුතා“


“ඇයි පුංචම්මෙ මොකද, වෙලා තියෙන්නෙ“


“ගතා ගොලල්ලෑ....ඇහැ ඇහැ ඇහැ...ඌෟෟෟ....“


බැරිම තැන මං චූටි මැණිකෙගෙං ඇහුවා


“මොකද වෙලා තියෙන්නෙ“


“මොකවත් නෑ. පුංචිට දුක හිතිලා.“


ඔය විදිහක විනාඩි හත අටක සාර්ථක ඇඬීමකින් පස්සෙ හවස එක වෙද්දි පුංචම්මගෙ ටෙලිපෝන් එක නාද වෙන්න  පටං ගත්තා. එයා ඒවට උත්තර දුන්නා. එකක් ඉවර වෙන්න එකක් ආදී වසයෙන් සංවාද ගනනාවකට පස්සෙ අපිට ඒ කතාබහවල සාරාංශයක් ලැබුණා. පැය දෙකෙං ඉස්පිතාලෙට එන්න පුලුවං දුරකින් ඉන්න එක නෑදෑයෙක් ‘මේ දරුවගෙ ලෙඩේ වෙනුවෙං බොහෝම දුර දේවාලෙක පූජාවක් තියන්න ගිය නිසා බලන්න එන්න බැරිවුන‘ බව කියා තිබුනා. ඒ විදිහටම තවත් අය නොයෙක් විදිහෙ පුද පූජා, බෝධි පූජා ආදිය තියලා තිබුනා. ඒ වගේම සමහර අය එයාලා ඉන්න හරියෙ ඉස්පිරිතාලෙට ලෙඩා මාරුකරගන්න බලන්න කියලත් තිබුනා. එතකොට එයාලට බලන්න එන්න කිට්ටු බවත්, ඒ අය අඳුරන දොස්තරලා ලවා ලෙඩාව හොඳට බලවන්න පුළුවන් බවත් කියලා තිබුනා. 


හවස මුරේට ලෙඩා බලන්න ඉන්න අයට ඉඩ දීලා තව පැයකිං විතර අපි දෙන්නා එන්න ආවා. ලෙඩා බලන්න ආපු අය මහ මගට වියදං කරපු සල්ලියි, ටෙලිපෝන් කෝල් වලට වියදං කරපු සල්ලියි සේරම එක්කහු කරලා ඒ පවුලෙ අයට දුන්නනං ‘නවලෝකෙ‘ නවත්තන්න තිබුණ තමයි. අපි ලෙඩා බලන්න ගියා කියලා අමුතු වෙදකමක්වත්, සුවයක්වත් වෙන්නෙත් නෑනෙ. ඒ උණාට “අපිත් බලන්න ගියා“ කියන නම්බුව නෑනේ. ඒ හංදා තව කෙනෙක් ලෙඩ වුනත් අපි ලෙඩ්ඩු බලන්න යනව.











56 comments:

  1. අර මනුස්සයට ඉක්මනට ගුණයක් ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා...

    ඔහේ මේක ගොමා සංවිධානෙන් අවසර අරන්ද පළකොළේ...? ;)

    ReplyDelete
    Replies
    1. නෑ.... මං එයාලට රට යන්න ටිකට් ඇරං දෙනවා.

      Delete
  2. ඒක නෙවේ, ආන් ලක්සේ පැනලා... ආපහු උඩට ගිය වෙලේ දැක්කේ...

    ReplyDelete
    Replies
    1. එහෙනං.... දැං එන්ජින් බෝර් කරන්න කාලෙ හරි නේද? ප්ලග් සෙට් එකත් මාරු කරමු.

      Delete
  3. //ඕනෑම ඉංග්‍රීසි නාම පදයකට “එක“ යොදා ඒක සිංහලට හරවන්න පුලුවන්//

    එතකොට වෙසක් එක පොසොන් එක හැදුනේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. දැං ඔය වෙසක් කියන වචනෙ ඉංගිඑිසියෙං ලියන්නෙ wesak කියලනෙ. එතකොට පොසොන් කියල ඉංගිරිසියෙන් ලියන්නෙත් Poson කියලා. ඕව සිංහලට ගනිද්දි ‘එක‘ දාල ගන්නව. එච්චරයි. පැහැදිලිද...............?

      Delete
    2. වැරදියි. හලාන්තයකින් අවසන් වන වචන වලට පමණයි එක යන ප්‍රත්‍යය එකතු කරන්න පුලුවන්. වෙසක් පොසොන් යනු ඉංග්‍රීසි වචන නොවේ.

      Delete
    3. ආච්චියේ......... මෙන්න මේ සීයා මගෙ හෝඩිපොත ගත්තෝ....

      Delete
  4. Replies
    1. ඔය සිංහල අසහනේ නැතිවෙන්න සෙනෙහෙකොල කොටලා බීපන්

      Delete
    2. ඔයාට අසහනේ උනාට ඒ අසහනේ පිට හොඳට ලියල තියෙනවනෙ. ලියන්න උතුමාණනි දිගටම.

      Delete
  5. ලෙඩ්ඩු බැලීම කිව්වම Patient Looking නෙවෙයිද බාං?

    ReplyDelete
    Replies
    1. Looking කියන එකට අර මධුර ගොයියා කියන්නේ "අවලෝකනය" කියලා... ;)

      Delete
    2. මේක ඇවිල්ල චිත්‍රපටි, රූපවාහිනී වගේ නැරඹීමක්නෙ. එතකොට ‘වොචින්‘ තමා හරි.

      Delete
  6. නාරි හා ප්‍රසව සායනයට රත්තොටින් වතු වල වැඩ කරන ද්‍රවිඩ කාන්තාවන් ද එති වරක් එසේ පැමිණි කාන්තාවක් " රෙන්නතුංග මාතියාගේ ක්ලිනික් කෝද තීනවා " කියා මගෙන් ඇසීය​. මම තොල් සපාගෙන ඇයට සායන කාමරය පෙන්නුවෙමි. රණතුංග මහතා සිටින ඉසව්වක සිනහ වීමටද නොහැක​.

    ReplyDelete
    Replies
    1. යාපනේ මිනිස්සු කිරිබත් කන්න කතා කලේ නැද්ද? ඒකත් ඔය වගේම තමයි. යාපනේ දෙමලෙන් කිරිබත් වලට කියන්නෙ පෂ්චාත් බාගෙට කියන නමට ‘සෝරු‘ දාලනෙ.

      Delete
  7. මං කියන්නේ හොස්පිටිතාලය කියායි

    ReplyDelete
    Replies
    1. ‘ඉස්‘ වෙනුවට ‘හොස්‘ දාන්නත් පුලුවං තමා. විස්කෝතු වලටත් ඔය විදිහට ‘විස්‘ වෙනුවට ‘බිස්‘ දාන්න ඇහැක්.

      Delete
  8. Replies
    1. උට ගුණයක් නෑ හරි හමං. මිනිහට විසක් දීලලු.

      Delete
    2. දැං මිනිහට ගුනයි. ඉරිදා ටිකට් කපයි

      Delete
  9. උඹේ අර ගේට්ටුව ගාව ලඩ්ඩු සොරි බලන්න එන එවුවො පොරකන හැටි ගැන විස්තරේනං නියමයි.

    අර ළමයගෙ නහයෙට මොනව වෙලා ද බං තිත් දාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මට මතක නෑ. ඔව් මතක නෑ

      Delete
  10. ඔහොම එකාපාරක් මාත් ICU හිටපු ලෙඩෙක් බලන්න දෙන්නෙක් ඇතුල්ට ගිහිල්ල එකෙක් එළියට ආපු වෙලාවෙ තුංවෙනිය විදියට එතන කාඩ් එක මාක් කරන එකාට කියල ඇතුල්ට ගියාට පස්සෙ එලියෙ හිටපු ඒ ලෙඩාම බලන්න ආපු ගෑනු කෙනෙක් නටපු නාඩගමක් හින්ද තව පොඩ්ඩෙං හෙන කෙලියක් වෙන්න තිබ්බ. අම්මප ඔය ගෑනුම තමයි වැඩ ඔක්කොම අවුල් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නයියාගේ නෝනේ බ්ලොග් නොබලන බවට මෙන්න සාක්කි

      Delete
  11. දැං උඹත් අර මාගල් රවී අයිය වගේ කෑලි ඉතුරු කරන්න හදනවද?

    ෆෝ වටි සයිකල් - මග
    අන්ඩ ද ටී ත්‍රී - මග

    ReplyDelete
    Replies
    1. එව්වා කවුරුවත් කියවන්නෙ නෑණේ.

      Delete
  12. මම නිකරුණේ ලෙඩ්ඩු බලන්න යන්න හරිම අකමැතියි...
    එයිටාමතරව අලුත ඉපදෙන පොඩි එව්වෝ බලන්න යන එකත් නතර කලා...
    කාට හරි උදව්වක් ඉල්ලුවොත් විතරයි මම හොප්පිටල් යනවා ඒ උදව්ව කරලා දීල එන්න...
    ඒ ඇරෙන්න මම හොප්පිටල් යන්නේ මගේ තියෙන අටෝරාසියක් ලෙඩ රෝග වලට...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි. මං ඉන්නකොට බලන්න එනවට කැමතිත් නෑ. ඒත් සමහරු ආසයිනේ

      Delete
    2. මං කම්මැලිකමට ගෙදර හිටලා "ළෙඩ උනා" කිව්වත් අපේ ඔපිස්සකේ අය එනවනෙ මාව බලන්න

      Delete
    3. බයට වෙන්නැති

      Delete
  13. මගේ යාලුවෙක් ඉස්පිරිතාලෙදි මළා.

    ReplyDelete
    Replies
    1. ජොස්තරල ස්ට්‍රයික් වෙලාවක නේද?

      Delete
    2. බයවෙලා වෙන්ටැ

      Delete
  14. මල් ටිකකුයි, කාර්ඩ් එකකුයි යවපු කෙනෙක් මොනවා කියයිද?

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ චිත්තරපටිවලයි, තෙල්නාට්ටි වලයි විතරයි මල් ගෙනියන්නෙ කියලා. හැබැහින් එහෙම දැකල නෑනෙ

      Delete
    2. මං හිතුවෙ චිත්තරපටිවලයි, තෙල්නාට්ටි වලයි විතරයි මල් ගෙනියන්නෙ කියලා. හැබැහින් එහෙම දැකල නෑනෙ

      Delete
  15. ලෙඩා දන්නවනං අර ගහල තියෙන බට ටිකයි ටීවී ටිකයි ගලෝගෙන මැරෙනවා

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් ටීවී ගලවන්න ගිහිල්ල මළා.

      Delete
    2. ඌ එක ගමනක් බට ගලවං මැරෙන්න හැදුවලු.

      Delete
    3. ඌ එක ගමනක් බට ගලවං මැරෙන්න හැදුවලු.

      Delete
  16. //හිස් බීම බෝතල්වලට පුරවපු කහට බෝතල්,//
    හිස් බීම බෝතලේට ආයෙම බෝතලයක් පුරවන්නේ කෙසේද?

    // එයා හිතන විදිහට දවස් ගනන් ගතවන අවක්ෂේපවීම් අදාල රසායන ද්‍රව්‍යවලට තර්ජනය කර එක මිනිත්තුවෙං කරවාගත හැකිය.//

    සැටිපිකට් ට්‍රුත් ලු .

    ReplyDelete
  17. බලන්න එන වුන් කොච්චර වාතයක්ද කියල දන්නෙ ලෙඩාම තමයි.

    ReplyDelete
  18. මේකෙ කොපියක් අපේ රෝහලේ මූණු පොත් පිටුවෙ දාන්න අවසරද.

    ReplyDelete
    Replies
    1. මක්වෙනවද දාන්න දාන්න

      Delete
  19. අඩේ කාලෙකින් අඬන පුංචම්මා කරලියට ගෙනැල්ලා. මරු අනේ ඔහොම යං ඔහොම යාංං.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ එයා නෙවෙයි.මේ බිරින්දෑ පාර්ශ්වයේ එක්කෙනෙක්

      Delete
  20. හැක් හැක්... සුරංග පුංචි අම්ම ගැන ලියල තියෙන එක මරු. ගතා ගොලල්ලෑ

    ReplyDelete
  21. පුංචි අම්මගේ ඇඩිල්ල ඉක්මනින් ඉවරවුන එක නම් අපරාදේ.... හිහ්.

    ReplyDelete
  22. //ඒ අතරේ සමහරු තමුංගේ ගමේ කෙනෙක්ගේ නංගි කෙනෙක් බැඳපු ගමේ ඉස්කෝලෙ මහත්තයගෙ පුතා වන කොහෙදෝ ඉස්පිතාලෙක දොස්තර මහත්තයෙක් ලවා අයිසියූ එකේ දොස්තර මහත්තයාට කතා කරවන්නට හදයි. // ඒ පරිච්චේදය නම් නියමයි. සුරංගගේ නිරීක්ෂණ ශක්තිය නම් ඉහලයි.

    ReplyDelete
  23. ක්‍රීම් ක්‍රැකර් භංග වේවා..!
    යකෝ මුං ඕන ලෙඩෙක් බලන්න අරන් යන්නෙ අර කොට්ට සයිස් ක්‍රීම් ක්‍රැකර් නෙව.ගෙඩ්ගරට එන මිනිහෙක් වත් කන්නෙත් නෑ ඔව්ව.
    ලෙඩාගෙ විස්තරේ ආයෙ ආයෙ අහන එක නම් පුදුම කරදරයක් තමයි අප්පා.ඒත් ඉතින් මුකුත් කියන්නත් බෑ නෙ.හිතවත් කමටනෙ අහන්නෙ.තව දෙයක්,ඔය දෙන උපදෙස් හරි හදල දෙන කන්ටැක්ට් හරි වැඩ කරන වෙලාවල් තියනවා හොඳටම.
    හොඳම වැඩේ තියන තත්වෙ බලලා කරන්නෙ මොකද්ද කියල තීරණේ කොරන එක.
    ජයවේවා..!!

    ReplyDelete