දැනට සති කීපයකට පෙර මෙලොව උපන්, කල්‍යාන මිත්‍රගේ පුත්‍ර
රත්නයටත්, කල්‍යාන මිත්‍රගේ
සමාජ සේවා කටයුතුවලට උරදුන් කල්‍යාන මිත්‍ර මැතිනියටත් තුනුරුවන්ගේ ආශිර්වාදය
රැකවරණය ප්‍රාර්ථනා කරමු.
අපි කොතැනකට
වුනත් ගිය පයිං එන සිරිතක් නැත. වෙනිං රටවල්වල ඇතත් අපේ රටේ නැත. අපේ රටේ ඇතත් අපේ
ගමේ නං ඇත්තේම නැත. ඒ හංදා එහෙම නොඑන හේතු හොයාබලන්න වටී.
ගිය පයිංම
ආපහු ඒම කියන්නේ මොකද්දැයි කවුරුත් දන්නවා ඇත. බැරිවෙලාවත් ගෙදරකට ගිය සැනිං ආපහු
ආවොත්
“හුහ්
උං උඩ ගිය තරං. ගෙට ගොඩවෙන්නෙවත් නැතුව ආපහු ගියහැටි බලහල්ලකො“
ආදී වසයෙං
අසාගන්න පුලුවන. ඒ හංදා අපේ ගෙදර හොද්ද කරවී වලං ගිනිගත්තත්, ගෙට හොරු පැන්නත්, ළමයි
බිල්ලො අල්ලං ගියත්, ගිය පයිං ආපහු ඒම හිතන්නවත් හොඳ නැත. මේ ආකාරයට කොතැනක හෝ
ගිහිං ටික වෙලාවක් රැඳී සිටින්න වීම කැමැත්තෙං හෝ අකමැත්තෙං වන්නේය. මගුල් ගෙදරක
ගියොත් මගුල් ජෝඩුව එනකං ඉන්න ඕනෑය. ආයි කන්න දෙනකං ඉන්න ඕනෑය. ආයි පොටෝ ගහනකං
ඉන්න ඕනෑය. මළ ගෙදරකත් පැයක්කත් ඉඳලා එන්න ඕනෑය. ගෙදරකට ගියත් ‘කහට ඩිංගක්
බීලයන්න‘ ඉන්න ඕනෑය. ඉතිං මේ ඉඳිල්ල එපාවෙන හිංදා කරන්න වෙන වැඩක් තිබේ.
ඒ වනාහි
සංවාදයයි. කතාබස් කිරීමයි. අපේ ආච්චම්ම කියන හැටියටනං ‘කෙබර කියවිල්ලයි‘. නැත්තං
ඇත්තෙංම කියතොත් කයිවාරු ගැහිල්ලයි. කයිවාරු කෙලීම
කියන්නේ ලේසිපාසු වැඩක් නොවුණත් ඒකටත් කෙලපැමිනියෝ අපේ ගමේ එමටයි. අපේ පවුලේ
කයිවාරු කෙලින්න උපන් හපන් අපෙ ආතා ඒ කියන්නේ අර සුපර් ඉස්ටාර් ආච්චම්මගෙ
සාමිපුරුසයාය. ආතගෙ කයිවාරු කියවිල්ලට "කෙබර කෙලිනවා" කියලා ආච්චම්මා
පිප්පුවට මං හරිම ආසයි ඒ කයිවාරු අහන්න. "ඩීයැස් හාමු", "දඩ්ඩි
හාමු", "බණ්ඩාරනායක උන්නැහේ" ආදී දේශපාලනඥයින් ගැන ආතා කියන කතාවල
යාංතං වගේ බොරු අඩංගු උනත් ඒවායේ තියෙන පරණ විස්තර වලට මං හරිම ආසයි. ඉස්සර සුද්දගෙ
කාලෙ අහස් බෝක්කුව බඳින්න ගෙනාපු කාබේරිංගෙ වැඩ ගැනත්, සත පහේ කොලේ දෙකට ඉරලා සත
දෙකක් හා සත තුනක් විදිහට වියදං කරන්න හදල තිවුන හැටි, ජපනා කොළඹට බෝම්බ දාපු හැටි,
ඒ වෙලාවෙ කාලතුවක්කු වගේ පේන්න ලී කොටවල කලුතෙල් ගාලා අහසට උරුක්කරලා තිබුන හැටි
ආදිය ගැන මං ඇසින් දුටු සාක්කි ඇහුවෙ ආතගෙං තමයි. ඔය කොයිහැටි වෙතත් ආතා ආච්චම්මව
කසාද බැඳලා ගෙනාපු මගුල ගැන කියනව ඇහෙද්දි නං ආච්චම්මා මාව ගෙන්නල කෑගහනව.
"ඔය මිනිහා කියන කෙබර අහන්නැතුව පොතක් පත්තරෙයක් බලහං"
ආතා
ආච්චම්මව බලන්න ගිය ‘මුල් වංගියේ ‘ ඇරං ගියපු ‘පවුඩර බෙලෙක්කෙ‘ පුංචි එකක්ය කියලා ආච්චම්මා ආතගෙ මූනවත්
නොබලා දොර රෙද්ද පිටිපස්සෙ හැංගුන බව කියනකොට ආච්චම්මට කොයි තුංලෝකෙ හිටියත්
යස්සයා ආරූඪ වෙනවා. ආතා පස්දුං කෝරලේ හිට කුකුලු කෝරලේට ආච්චම්මව කැංදං ආපු පෙරහැර
ගැන කියද්දි මගුල් සූට්ටෙක හැටියට ඇඳපු කිතුල්ගොඩ මුදලාලිගෙං ඉල්ලා ගත්තු කෝට්ටෙක
ගැන කියන්න වෙනම වෙලාවක් ගන්නවා. ඒ කෝට්ටෙකේ බොත්තං විදිහට තිවිල තියෙන්නෙ රැජිනගෙ
රූපෙ තියෙන “රංපවුං“. තාර පාරක් නොතිබිච්චි හංද ආච්චම්මලෑ ගමේ ඉඳං අපේ ගමට
එනකං මගුල් පෙරහැර පයිං එද්දි ඉස්සර වෙලාම රබංකාරයො දෙන්නෙක් රබං ගගහ ආපු
විත්තියත් ඔය විස්තරේට අඩංගුයි. කාගෙං බැනුං ඇහුවත් හැන්දෑවට ආතගෙ නිංදට බාදා
කරමින් ආතගෙ ඇඳ ගාව බිම ඉඳගෙන ඔය කයිවාරු අහන එක පොත් පත්තර කියවන තරමටම මට රහ
වැටිලා තිවුනෙ.
ආතගෙ
කයිවාරුවට තවත් එකතුවෙන කීප දෙනෙක් තමයි ආතගෙ මස්සිනාල දෙන්නා ඒ කියන්නෙ ආතගෙ බාල දුව
බැංද කෙනාගෙ තාත්තයි එකම පුත්‍රයා බැඳපු
කෙනාගෙ තාත්තයි. මේ දෙන්නා ආතට අහුවෙන්නේ කලාතුරකිං උනත් ඒ අහල පහලම හිටපු ගුණවර්ධන
මාමා නිතරම ආතගෙ කයිවාරුවට එක්කහු උනා. ආතට වඩා අවුරුදු පහලොවක් තරම බාල උනාට ගුණවර්ධන
මාමා අපේ ආතට සෑහෙන දුරිං නෑ කමට පුතා. හවස තුන හතර වෙද්දි ගුණවර්ධන මාමා කුඩේකුත්
ඇරං මහගෙදර ඉස්තෝප්පුවට ගොඩවදින්නේ කෙබර බර ඔලුව දෙකට නමාගෙන. ඒ වෙලාවට හංදි කැක්කුං, අතපය කැක්කුං, ඉන්න හිටින්න
බැරි කොංදෙ අමාරු, ආදී ලෙඩ
දාහක් තිවුනත් අපේ ආතත් සාලෙට ඉබේම එවෙනවා. ඒ වෙලාවට මාත් එතෙන්ට ඇදී එන එක
වලක්කන්න අමාරුයි.
“මං
මේ ඩිංගක් නිදාගන්න කියල බැලුවෙ ගුනොවද්දන. මේ බතල කරිටි ඩිංගක් හිටොවන්න කියල
ගියා අව්කූටකේ ඉන්න අමාරුවෙ දමල ගහල ආව එන්න“
“මාටත්
මේ ගෙදර ඉන්න කම්මැලි කමට පාට්ට ආ ගමං මාමෙ. මාම කොහෙංද බතල කරිටි ගෙනාවෙ“
“ආං
අර එබෝවිටේ ආඩතාඩෙ දුවාපු වැල් දෙකතුනක් තිවුන. මං එන ගමං ඇදං ආව. නිකං ඇන තියන්න.“
“මාමට
කියන්න මාමෙ..“
මේං මේ වෙලාවෙ
ගුණවර්දන මාමා කුඩෙත් පැත්තකිං තියලා පුටුවකිං ඉඳගෙන හේතුතවකුත් දාගන්නව.
“ඔන්නොය
එක ගමනක් මං ගමනක් ගිහිං එද්දි කොහෙද මංද දිහාවකිං ගෙනාව නිකමට බතල කරිටි
දෙකතුනක්“
මේ කොහෙද
මංදා දිහාව යනු එකෝමත් එක රටක් වැනි එකකි. මේ කයිවාරුවල ‘කොහෙද මංදා
දිහාවක්‘, ‘කවුද මංද මිනිහෙක්‘, ‘මොනවද මංද ජාතියක්‘ ආදිය බහුලය.
“ඉත්තීඊඊං“
ආතාත් වැඩේ
ඇදගෙන යන්න ඇලපිල්ලක් දානව.
“ඉතිං
කියන්නෙ මාමෙ මං ඒ ටික එහෙම්ම ගෙනාවට හිටොවන්න බැරි උනා. එහෙම්ම දොරකොඩ තීල මේ අපේ
ගෙදර එක්කෙනා අතුගාද්දි කොලසුඩු එක්ක
ගල්වැටියෙං පල්ලට අතුගාල දාල.“
“හීංමැණිකෙ
ලමෙය දකින්නැතුව වෙන්නැති“
“අනෙමංදන්නෑ
මාමෙ. ඉං පස්සෙ මාස දෙහෙකිං ඉතර පස්සෙ ගල්වැටියෙ ගල් දෙක තුනක් යංතං ඉස්සිල තිවුන.
මං ඉතිං එච්චර ගනං ගත්තෙ නෑ ඕක“
“ඔය
ඌරු මීයො හාරනවනෙ ගුනොවද්දන ලමෙයො. උංට පුදුමාකාර හයියත්තියෙන්නෙ“
“මාත්
හිතුවෙ එහෙම තමා මාමෙ. ඒ උනාට ටික දවසක් යද්දි ආයි අර ගල්ගෙඩි ටික තවත් ඉස්සිල. ඒ
ගමං මං කඩේ අයියලෑ ජෑසූරියටත් අඬගැහුව. පස්සෙ ඌත්තාව. මට තනියෙං අර ගල්ගෙඩි
පෙල්ලන්න බෑනෙ. ඒ ගමන අපි දෙන්නත් එක්ක යංතං ගල්ගෙඩි දෙකතුන ඉස්සුව බලන්න මොකද මේ
කියල. මාමාට කිව්වට විස්සාස කොන්නෙකක් නෑ මහ විසාල බතල ගෙඩි හතාටක්ම තිවුන. අර මං
ගෙනාපු බතල කරිට්ටක් පැලවෙලා ගල්වැටිය අස්සට මුල්ලැදල. බතල බහින්න ඉඩ නැතුවං යටිං
තියෙන ගල් පුපුරන්න බැරි හිංද අල බහින්න බහින්න උඩිං තිවිච්චි ගල්ගෙඩි උඩ ගිහිල්ල.
එයිං බතලෙයක් රාත්තල් හතරකට වැඩී මාහිතේ. ඒ ගමන මං අපික්කොටහක් තියාගෙන, කඩේ
අයියලටක් කොටහද්දීල මෙහෙටත් එව්වද කොහෙද.“
“ආ
වෙන්නැති වෙන්නැති ගුනොවද්දන. ඔව්වගෙ සිද්දි අනංත සිද්ද වෙනව. ඉන්නකො මට වෙච්චි යස
වැඩක් කියන්න.“
මෙයිට හපං
එකක් කීමේ ආසාවෙං ආතා ගෙට ගිහිං බුලත්විට වට්ටියත් ගේනව.
“ඔයිං
කන්නකො ගුනොවද්දන විටක්. මං තව පුවක් ගෙඩියක් කපන්නං. ආ... ඉතිං මට වෙච්චි වැඩේ
කියන්නංකො.“
ආතා පුවක් කපන
පිහියයි පුවක් ගෙඩියකුයි ඇරං ආයිත් පුටුවෙං වාඩි වෙනව.
“ගුනොවද්දනට
මතකද අපේ ඔය මැරිච්චි තෝමස් සිංඥෝ. මේ අපේ මේ ගොල්ලංගෙ ලොකු අයිය. අර පහුගිය කාලෙ
මලේ“
“මොකෝ
මට මතක නැත්තෙ. මාග්ගියානෙ මරනෙට“
“ආං
හරි. මිනිහ ඉස්සර මෙහෙ එද්දි හිස්සතිං
එන්නෑ. දොහක් මිනිහා මෙහෙ එද්දි මහ විසාල ගෝනිමල්ලක් බැඳං ආව.“
මේ වෙලාවට ආතා
අත්දෙක දෙපැත්තට විහිදුවලා ගෝනි මල්ලෙ විසාලෙ පෙන්නනව.
“මේං
මෙච්චර හිටී ගෝනි මල්ල. ඕකෙ මිනිහ ගේනව නොයෙක් ජාති. අපිට මෙහෙ හාල්, පොල්
ඕනහැටියෙ තිවුනට මිනිහත් ගේනව අපිට හාල්පොල්. මාත් ඉතිං මිනිහට යනකොට එව්වයෙංම
මල්ලක් හරිගස්සල දෙනව. අතටත් කීයක්හරි එක්ක. ආ.... ඉතිං කියන්න බැරි උනානෙ. මිනිහ
ඔය ගෙනා මල්ල ගැට ගහල තිවුන වැල් පොටකිං. එකම කොලෙයක්කක් නෑ. මං හිතුව මදුවැලක්
කියල. ඕක ලිහල දාල වැල් කෑල්ල විසික් කොරල තිවුන මිදුලෙ ආං අර බුලත් වැල කිට්ටුව.
මාං ඉතිං ඕක ඒ හැටි ගනං ගත්තෙ නෑ. පස්සෙං පහු කාලෙක මං බුලත් කොලෙයක් කඩන්න යද්දි
මේං බොලේ අර වැල් කෑල්ලෙ හීං කොල ඇහිල්ල. බැලුවං බතල කොල“
“ආ.....“
“එහ්හෙනං..
හෙහ් හෙහ් හෙහ්. අරයකා මල්ල ගැටගහං ඇහිල්ල තියෙන්නෙ බතල වැලකිං. පස්සෙ මං නිකා
ඉන්න ගමං ඒ වැල් කෑල්ල කිරිමුල් නොකැඩෙන්න ඇරං ගිහිං හිටෙව්ව පිල්ලෑවෙ පාවරේ
අයිනක. විස්සාස කොරන්න ගුනොවද්දන. වැඩි කාලෙයක් ගියෙනෑ මා හිතේ බෑස්ස අල
බෑ...හිල්ලක් හොඳේ පුදුමාකාර ඉදිහට. පස්සෙ
මං එව්ව ගැලෙව්වෙ යකඩෙ ගිනිහිල්ල. කොලපතෙං එකයි අලේ. රාත්තල් අට හිටී එක අලෙයක්.
උස්සං ඇහිල්ල උරපත ඇදුං දෙනව. එයිං ටිකක් මං මැනිකෙගෙ කඩේ තියල වික්කත් එක්ක. ගිය
සුමානෙ ඕං ඒකෙ අංතිම අලේ ගලොවං ආවෙ. වේල් දෙකක් කෑව ඒකත්. දැන්නං වැලත් මැරිල.
තිවිච්චි තැනක්කත් නෑ.“
ආතා අංතිම
සාක්කියත් විනාස කරල දානව.
“හැබෑට
මාමෙ. මට දෙන්නකො පුවක් කෑල්ලක්“
ඔය අතරෙ තමයි
පුංචම්මා ඔතනිං ගෙට යන්නෙ.
“ආ ගුනවද්දන අයිය දැංද ආවෙ.“
“නෑ
දැං ඩිංගක් වෙලයි මැනිකෙ. අපි මේ බතල ගැන කතා වෙයි වෙයි හිටියෙ“
“මාස ගානකිං බතල නං කෑවෙනෑ ගුනොවද්දන අයියෙ. මං මේ ගමන
පොලෙංවත් ගේන්න ඉන්නෙ“
පුංචම්ම ගෙට
යන ගමං කියාගෙන යද්දි ආත බිම බලාගෙන විටකට පුවක් ලියනව. ගුණවර්ධන මාමා ආයිමත්
කයිවාරුව පටං ගන්නව. ඒ ගමන ගඟේ මාලු ගැන කතාව. ගුනවර්ධන මාමා රියනක් දිග ආඳෙක්
බාද්දි අපේ ආතා තංගුස් දෙපොට දාලා බඹයක් දිග එකෙක් බානව. එයිට පස්සෙ ගුණවර්ධන මාමා
බිලී පිත්ත නැතුව උන පඳුරක යොත ගැටගහලා නැගි අතක් දිග එකෙක් බානව. ඔය විදිහට රෑ
වෙනකං කයිවාරුව ඇදිල යද්දි තව තව කතංදර ඇදෙනව. මාව එතනිං පලවාහරින්න ආච්චම්මයි,
පුංචම්මයි දැඟලුවත් මං එතනිං හෙල්ලෙන්නෑ.
ඒ උනාට ආතගෙ
මස්සිනාල දෙන්න ආපු දවසට ආත නිතරඟෙංම කයිවාරුවෙං දිනනව.
“හැඩිගල්ලෙ
මල්ලියෙ ඒ ආඳා මං හිතන්නෙ බඹේකට වඩා දිගයි. මං හිතුවෙ පිඹුරෙක් කියල“
“මංනං
දැකල නෑ අයියෙ ඒ තරං එවුං. අඩි දෙකහමාර තරං දිග ඈයොනං ඉන්නව ගංවතුර කාලෙට අපේ
ලියදිඔල“
සත්‍යවාදී
මිනිහෙක් වන හැඩිගල්ලෙ ආතා ඒ කයිවාරුවෙදි නිතරඟෙං පරදිනවා. මේ කතාවට ආතගෙ අනික්
මස්සිනා වන මීගම ආතා අහුවුනොත් කියන්නෙ වෙනම කතාවක්.
“ෂීඊඊඊඊ.. ඔය පරාන ගාත අකුසල කර්මෙ කියන්නෙ
ලේසි පාසු එකක් නෙමෙයි. ඒ කාලෙ බුදුහාංදුරුවොං ඉපදින්නත් ඉපිටහ කාලෙක ගෑනියෙක්
එලුවෙක් මරල ඒ එලුවගෙ ඇඟේ ලොං ගාන්ට ආත්ම ගානක් ඉපිදි ඉපිදි ඉසගැසුං කෑවලු. මං නං
ගැටෙය සංදියෙවත් සතෙක් මරල නෑ. දැං ඔය අපේ බාල මලෙය එහෙමනං දඩයං කරල ගෙනැත්
තියෙනව. මං කවම කවර දාකවත් ඒ කිසියංම එකක් කන්නෑනේ.“
මෙයිං අපෙ
ආතගෙ ලොකුකං බැහැල ලැජ්ජාව නගිනව.
“මං
මේ නිකමට කිව්වෙ. දැංනං මං මාලුබාන්න ගිය කාලෙයක්කත් මතක නෑ.“
එයිං පස්සෙ
ආතගෙ කයිවාරුව ආයිමත් නැගල යන්නෙ ඩීයැස් හාමු අඩි හයකට වඩා උස බවත් උන්නැහැගෙ අත්
දෙක දනිස් දෙක ගාවට දිග බවත් මේයැස් දෙකෙංම ඒ බව දැකල තියෙන බවත්
කියමිනි. සිය මස්සිනාලා දෙන්නගෙං එක්කෙනෙක්වත් ඩී.එස්.සේනානායක පන පිටිං දැකල නැති
බව ආතා හොඳහැටි දන්න හිංදා ආතට මේ ගමන බයක් නැත.
Superb as always..
ReplyDeleteWe care always
DeleteSuperb as always..
ReplyDeleteඅම්බෝ මං 3. කියවලා එන්නම්.
ReplyDeleteබස්වල වගේ. සීට්ටෙක අල්ලල තියල කඩේට යනව.
Deleteෂෝක් කතාව. දැන් කොහෙද අනේ මිනිස්සුන්ට මෙහෙම නිර්මාණශිලී විදිහට කතා කරන්න ඉඩක්. කෙබර වුනත් නිර්මාණශිලි විදිහට ඉදිරිපත් කරලා. අද ඒ මානසික නිදහස අපේ වැඩිහිටියන්ගෙන් ඈතට ගිිහින්. අනෙ අච්චම්මගෙ මගුල ගැනත් ලියන්න.
ReplyDeleteඅම්මපා අනේ ඔයා කෞයි ලෝකෙන් ඉඳලද ආවද මගේ සුන්දරී ආයිස් අම්මා ...අපව දමා යන්නෙපා
Delete// දැන් කොහෙද අනේ මිනිස්සුන්ට මෙහෙම නිර්මාණශිලී විදිහට කතා කරන්න ඉඩක්. //
Deleteලෝකේ ඉස්සරහට යද්දි ලංකාව පස්සට ගියේ ඔහොම කෙබර කෙළ කෙළ හිටපු නිසා වෙන්න බැරිද ? හරියට බැලුවොත් දෙලොවටම නැති වැඩක් නේ...
ඒ උනාට ඔය කයිවාරු අස්සෙං බේරිල ඉතුරුවෙන ඇත්ත සත්ත පොඩ්ඩ ඉතිහාසෙත් එක්ක වැලලිලා යන්ට නොදී බේරෙනව මං වගේ පුනීලයෙක් ලඟ හිටියම
Delete"Reading maketh a full man; conference a ready man; and writing an exact man" යනුවෙන් ෆ්‍රැන්සිස් බේකන් සාමිවරයා කියා ඇත්තේ ඒ නිසාය. බේගල් කෙලීමේ දක්ෂයන්ගේ, එම හැකියාව පොලිෂ් කරගැනීම හඳුන්වන්නේ conference නමිනි. සුරංග සීයාගේ අාතා ප්‍රමුඛ වැඩිහිටියන්ගේ බේගල් සම්මන්ත්‍රණයද එවන් (ever) ready man කෙනෙකු බිහිකිරීමේ ව්‍යායාමයකි.
Deleteඅපි සිතින් නොසිතා ඇසින් නොදැක ඇඟිලිතුඩු වලින් යතුරුපුවරුවක් මත හෝ smart මුහුණතක් මත සිතන්නට පුරුදු වන පරපුරකි. එය අපට යහපතක් කරන්නේ යැයි මට නොසිතේ.
අපේ ලොකුඅම්මා කෙනෙක් හිටියා එයාගේ දුවගේ නම් චින්තා . එයා අපිට පල්ලහින් කුඹුරේ අල හැදුවා. අල ගලවලා ඉවර වෙලා අල වල විශලත්වය විස්තර කරේ මෙහෙමයි .. " කරුනංගි උඹට කියන්න කරුනංගි අල එරිලා තිබ්බා කියන්නේ මේ අපේ චින්තා විතර ඇති එක අලයක් ඔන්න.."
ReplyDeleteපට්ට යකෝ...!
Deleteහෙහ් හෙහ් . ඔය කියන ලමයත් තැනිං තැන ගැට තියෙන හම සිනිඳු ළමෙක්ද?
Deleteනියමයි. සමහරවිට කථාව පවත්වාගෙන යාමටත් 'තරඟයෙන්' දිනීමටත් කියන කෙබර මුසාවාදා ගණයට නොවැටෙනවා ඇති. එයින් කාටවත් වෙන හානිහක් නෑනෙ.
ReplyDeleteඔය වැඩේ = ටීවී බැලීම. එකම දේ කයිවාරුවෙං ජාතික විදිලිබල පද්ධතියට බලපෑමක් නැත.
Deleteකමියගෙ ළමයටත් ගෑණිටත් පින්දුන්නට කමියට පින්දීල නැහැනෙ. හැක්
ReplyDeleteඅරවයින් කොටහක් මාත් ඉල්ලා ගන්නං.. කොහොමත් පොඩි එකාට දැම්ම ඔව්වයින් වැඩක් නෑනේ.. :)
Deleteපිං නෙමෙයි මෙව්වා ආසිරිවාද. සබං කැට හතරටයි පවුඩර ටිං එකටයි යන ගාන ඉතුරුනෙ මේම කොලාම. ඔය ගමං ළමයි බලන්න යන හැටිත් ලියන්න වෙයි වගේ.
Deleteකෙබර කියල කියන්නේ ඔය වගේ අතිශයෝක්තියෙන් කියන ඒවාට මයේ හිතේ.. දැන් නම් කියන්නේ නයි අරිනවා කියල.. ඔය වගේම තමයි ලොකු කම් කතා කරන එක.. එකට කියන්නේ පුරසාරම් දොඩවනවා නැත්නම් වංශේ කබල් ගානවා කියලා.. කාගේ හරි විස්තරයක් දිගට දිගට කියනකොට කියන්නේ පට්ටන්තරේ දිග අරිනවා කියලා.. ඔය එකකටවත් අයිති නැතුව අනුන්ගේ දේවල් කතා කරනකොට ඒවා ඕපාදුප.. ඉස්සර අපිටත් කාලයක් තිබ්බා (කාලය තිබ්බා) වැඩිහිටියෝ එකතුවෙලා ඔහොම කතා කරන තැන්වලට වෙලා අහගෙන ඉන්න.. දැන් හිතන්නවත් බෑ. අනික එහෙම තැනක් වෙලාවක් තිබ්බත් දිගින් දිගට අහන ඉන්නකොට අපුලක් දැනෙනවා..
ReplyDeleteසුභ පැතුමට ස්තුතියි.. මන් ගෙදර ඉන්න වෙලාවක වරෙන් දෙන්නත් එක්ක පොඩි එකාවත් බලල බත් කටක් කාල කහට ඩිංගක් බිලා පරණ කතාවක් දාගෙන ඉඳල යන්න.. භාග්‍යා නම් ඉස්පිරිතලේටම ආවා. හාන් රෙදි එහෙම හෝදලා දෙන්න එයයි එනවා කියුවට කෝ එදායින් පස්සේ කතාවක් වත් නෑ නොවැ.. :)
අතේ පත්තුවෙන කෙබර කියල කියන්නේ ඔය වගේ අතිශයෝක්තියෙන් කියන ඒවාට මයේ හිතේ.. දැන් නම් කියන්නේ නයි අරිනවා කියල.. ඔය වගේම තමයි ලොකු කම් කතා කරන එක.. එකට කියන්නේ පුරසාරම් දොඩවනවා නැත්නම් වංශේ කබල් ගානවා කියලා.. කාගේ හරි විස්තරයක් දිගට දිගට කියනකොට කියන්නේ පට්ටන්තරේ දිග අරිනවා කියලා.[නෙලුම් යායේ ගරු කොමන්ට් එක ]
Deleteඑල එල කියමනක් .සර් .අහ වල්ලාට ගැලපෙන අකාරයෙන් බොක්කටම වදින්න ලියලා තියනවා
මේ ඇනෝ කොමෙන්ටෙක මටනං තේරුංගන්ට අමාරුයි. පුංචි කලන බලන්න එන්ට ඕනෑ. හැබැයි ළමයට කරදර නොවෙන තාලෙට.
Deleteමේක උඹට නෙමෙයි බන් අර පැන්සොන් ගිය මුහුණ පරණ පිත්තල සත 5 කාසිය වගේ ගුරුලේත්තු කන්දක් තියෙන පොර ගැන
Deleteගුරුලේත්තු කන්දක් =ගුරුලේත්තු කඳක්
Deleteගුනොවද්දන නිකං ජයවොඩ්ඩනේ වගේ.. ආතා පොශ් විදිහට කතා කොරන්නෙ නේහ්?
ReplyDeleteඅපෙත් උන්න නියම ටොම්පච්යො දෙන්නෙක්.අහස්කූරු අරින්න එහෙම සෙට් වෙනවා.අන්තිමට අපේ කං වල කෙල.. හිනා වෙලාම.'ස්ටෙබ්ලයිසර්' කියල කියන්නෙ.. මොකෝ ස්ටෙබ්ලයිසර් කියන්නෙ මොකද්ද වත් දන්නැතිව ඕක ගැන පැය ගානක් කතා කොලා..
ජයවේවා..!!
‘ර්ධ‘ කියන අමාරු අකුරු දෙක හලල නිකම්ම යන ‘ද්ද‘ ආදේශ කිරීම කටවහරේ පහසුවට කරාපු එකක්.
Deleteඕවා මොන කයිවාරුද...
ReplyDeleteඅපේ පන්සලේ පෙරහැර ඉවර වෙලා කාටද අලි පැටියෙක් අමතක වෙලා ගිහින්... මෙන්න සයිස් අලි පැටියා!
ඌට කන්ඩ දීලම අර බණ කියල එකතු කරපු බූදලේ ඉවර වුනයි කියල රවි කියල තිබ්බ...
Deleteඔයි අලි පැටියාගෙ කරේ පටියක් තිවුන්නැද්ද?
Deleteඅන්න කාලෙකින් උඹෙන් සුපුරුදු පොස්ට් එකක්.. ඊළඟ කොටහත් දාහන් ඉක්මනට ..
ReplyDeleteඔය වගේ බොරුකාර මිත්‍රයෙක් ගැන මටත් ලියන්න පොස්ට් ගොඩක් තියෙනව බන්.. ලියාගන්න විදිහක් නැතුව ඉන්නේ බොරු නමක් දාල ලිව්වත් ඌ හංගන්න බැහැ පළාතේම ප්‍රසිද්ද නිසා උගේ බොරු පතන්.. ඌ මා එක්ක හෝඩියේ හිටං එක පන්තියේ.. ඌ අපේ එවුන්ට කියපු පළවෙනිම බොරුව තමා කොකා කෝලා කොම්පැනියෙන් ටැප් ලයින් එකක් උගේ ගෙදරට දාල තියෙන්නේ කියල.. ඒ හින්ද උන් හිතිච්ච හිතිච්ච වෙලාවට කොකාකෝල බොනවලු.. අපි ඒ කාලේ එව්වා කට ඇරගෙන අහන් හිටියේ.. සෙල්ලන්ද බන් ගෙදර ටැප් එකෙන් කොකා කෝලා එනවා කියන්නේ..හැක්..
ඒකාගෙ නම වතගොත වෙනස් කරලා මට ලියලා එවන්න. මං ඒක දේශීයකරණය කරලා දාන්නං. හොයන්න බැරි වෙන්න. නැත්තං අපි ඕක පින්ට් කරලා මිනිහගෙ දොරේ අලෝමු. මට කලුතර ඉඳං සුපියල් තුන්සීයේ පැට්ටල් ටිකේ දුරනෙ.
Delete"ඩීයැස් හාමු", "දඩ්ඩි හාමු", "බණ්ඩාරනායක උන්නැහේ" සරම හින්දා වෙන්ටැ
ReplyDeleteබන්ඩාරනායක උන්නැහැත් හාමු තමා. එයා ඒ වකවානුවෙ තිබ්බ දේශපාලනික තත්ත්වය උඩ, හාමුකම වලව්වට සීමා කරගත්ත. එළියට බැස්සහම "උන්නැහැ..."
Deleteඅපෙ ආතාත් ඔය උන්නැහෙගෙ ‘සඟවෙදගුරුගොයිකංකරුඔක්කොමහොරු‘ එකට සලකලා චංදෙ දුන්නලු
Deleteකයිවාරු හෙවත් කෙබර යටින් අර ආශීර්වාදය සහ රැකවරණය දාලා තියෙන්නේ මොකෝ? :P
ReplyDeleteඒකත් කෙබරයක් වගේ පේනවද?
Delete//ආතා ආච්චම්මව බලන්න ගිය ‘මුල් වංගියේ ‘ ඇරං ගියපු ‘පවුඩර බෙලෙක්කෙ‘ පුංචි එකක්ය කියලා ආච්චම්මා ආතගෙ මූනවත් නොබලා දොර රෙද්ද පිටිපස්සෙ හැංගුන බව කියනකොට ආච්චම්මට කොයි තුංලෝකෙ හිටියත් යස්සයා ආරූඪ වෙනවා.// ඒ කලෙත් එහෙමද?
ReplyDeleteඅර අන්තිම සක්කියත් ඉවර කරපු හැටි නම් අපුරුයි.
දැං වගේ නෙමෙයි. පවුඩර බෙලෙක්ක. අපි පොඩි කාලේ තිවුනෙ පවුඩර්ටිං. දැං තියෙන්නෙ ටැල්ක්ද?
Deleteඅල බැස්සෙ බතල විතකරයිද. හොඳ වෙලාවට වෙන මොනවත් බැහැල නෑ.
ReplyDeleteඔය ආතගෙ නෑයෙක් වෙන්න ඇති අර කෙබර චන්දනය. හැක්..
අපෙ ආතගෙ නෑයන්ට මහත්තය කෑල්ල තිවුනනෙ. පංසලේ පීකරෙං නම කියන්නෙ ‘පොඩි මහත්තෙය මහත්තෙයා‘ කියලයි. ආං එහෙමයි හැමෝ ලව්වම මහත්තයා කියෝගන්නෙ.
Delete/ දැනට සති කීපයකට පෙර මෙලොව උපන්, කල්‍යාන මිත්‍රගේ පුත්‍ර රත්නයටත්, කල්‍යාන මිත්‍රගේ සමාජ සේවා කටයුතුවලට උරදුන් කල්‍යාන මිත්‍ර මැතිනියටත් තුනුරුවන්ගේ ආශිර්වාදය රැකවරණය ප්‍රාර්ථනා කරමු./
ReplyDeleteමොනවද බං සුරංග මේ නිකං අනවශ්ය විදිහට වචන නාස්ති කරන්නෙ? මේකත් අර අලුත් මාළු විකිණීමට තිබේ වගෙ තමයි.
ඔන්න බලපං මුලිම්ම " දැනට " ..දැනට කියල කියන්ට ඕන නෑනෙ. අතීතයක් ගැන කියනකොට වර්තමාන කාලයට සාපේක්ෂව තමයි කියන්නෙ. දැනට සති කීපයකට පෙර නැතුව ඊයේ සිට සති කීපයකට පෙර කියල කියන්නෙ නෑනෙ. හරි දැනට කපල දාපං..
ඊලඟට " මෙලොව උපන් " ..මෙලොව නැතුව වෙන කොහෙ හරිත් ළමයි ඉපදෙනවය? මෙලොව උපන් කෑල්ලත් අයිං කරපං...
ඊළඟට " කළ්‍යාණ මිත්‍රගේ පුත්‍ර රත්නය " .....ඇයි බං කළ්‍යාණ මිත්‍රගේ කියල ආය අමුතුවෙන් කියන්න ඕනද? නැතුව ආය..හරි හරි... කළ්‍යාණ මිත්‍රගේ කෑල්ලත් අයිං කරපං හොඳද?
ඊගාවට " කල්‍යාන මිත්‍රගේ සමාජ සේවා කටයුතුවලට උරදුන් කල්‍යාන මිත්‍ර මැතිනියටත් " කළ්‍යාණ මිත්‍රගෙ සමාජ සේවා කටයුතුවලට ඒ මැතිණිය නැතුව උඹෙ අර ටිකිරි සඳමාලි ගිහිල්ල උර දෙන්නද? ඒකත් නිකං තේරුමක් නෑනෙ...කපපං ..කපපං...
රයිට් දැං බලාපං මොනවද ඉතුරු වුනේ කියල...හරි...
" සති කීපයකට පෙර තුනුරුවන්ගේ ආශිර්වාදය රැකවරණය ප්‍රාර්ථනා කරමු."
අන්න බලපං කොච්චර ලස්සනද කියල...ෂෝට් ඇන්ඩ් ස්වීට්..උඹල මේ එහෙම නෙවෙයි මහා පදරංග ජාතකේ වගෙ රටේ නැති අනවශ්‍ය විස්තර ලියනව. සංස්කරණය නොහොත් එඩිටිං කියන්නෙ කොල්ලො ඔන්න ඕකට..තේරුණෙයි..දැං වහාම අර උඹ දාල තියෙන බඩවැල වගෙ දිග වාක්‍යය මේ විදිහට කෙටි කරල දාපං..තේරුණෙයි?
ප්‍රාර්තනාවක් නොකරමු කියන්නෙ නෑනෙ කවදාවත්, ඒ හින්ද "කරමු" කෑල්ලත් කැපුවට කමක් නෑ.
Deleteඊළඟට "තුනුරුවන්ගේ" කියනකොටම ආශිර්වාද, නැත්නම් රැකවරනය තමයි ඔබ්වියස්ලි. එහෙම නැතුව තුනුරුවන්ගෙ පිහිටෙන් තොට කෙලවියන් කියන්නෙ නෑනෙ. ඒ හන්ද ඔය "රැකවරණය ප්‍රාර්තනා" කියන කොටස අනවශ්‍යයි.
ඒ අනුව පින්වත්නි, ඔය වාක්ය තව දුරටත් කප්පාදු කර "සති කීපයකට පෙර තුනුරුවන්ගේ" කියා ලියනන්න යෝජනා කරමි.
රවී, බොට අමතක වුනාද අපි ඔෆිස් වල ඉඳන් බ්ලොග් කියවනවා කියලා...යකෝ මෙහෙම තනියම හිනා වෙනකොට අහල පහල වුන් බලනවා මූට පිස්සුද කියලා.... :D
Deleteඑහෙමත් ලියන්න පුලුවං තමයි. මේක කාටවත් එඩිට් කරන්න බැරිව හංද. නැත්තං කාකපාද දාල වාක්ය වනසයි.
Deleteරවියයි ඇනෝයි දෙන්නම එඩිට් කොරලත් වැඩේ කම්මුතු නෑනෙ අම්මපා. "සති කීපයකට පෙර තුනුරුවන්ගේ" කියන එක බැලුවාම එතනම අනවශ්‍ය වචන කීයක්ද බලාපල්ලා.
Deleteදැං කළ්‍යාන මිත්‍රගෙ පුත්තරයා සති කීපයකට පෙර මිසක් මාස කීපයකට, නැතිනං අවුරුදු කීපයකට පෙර උපන්නා නම් ඕකට දැං ආශිර්වාද කරලා වැඩක් ඇත? ඒ කෑල්ල වැඩක් නෑ. එතකොට කළ්‍යාන මිත්‍රයා බෞද්ධයෙක් නිසා දරු පැටියට තුණුරුවන්ගේ ආශිර්වාදය නැතුව ශාන්ත මරිය තුමියගෙවත්, සර්වබලධාරී දෙවියන්වහන්සෙගෙවත් අල්ලාගෙ වත් ආශිර්වාදය ඉල්ලලා වැඩක් නෑනෙ. ඒ කෑල්ල නිකම්ම තේරුමක් නැති කෑල්ලක්. උඹට ඕනෙම නම් ඇනෝ ඉතුරු කරපු " සහ " ඉතුරු කරන්න පුලුවං, නමුත් පෙරළි කොමා දෙකක් විතරක් ඉතුරු කොලාම කළ්‍යාන මිත්තරයා බලයිද දන්නේ නෑ උඹට පිස්සුය කියලා. ඔන්න ඔහෙ ඒකත් කපලා දාහං.
තිතක්වත් තියන්නද?
Deletehttp://nelumyaya.com/
ReplyDeleteදැම්මාද?
Deleteමරු නයි ඇරිල්ලක් තමයි ශ්‍රන්ගයෝ බොලැයි සීයල සෙට් එක ඇරල තියෙන්නේ. මටනං කයිවාරු ගහන ඇවුන් බොරුවට කියවන අවුන්නම් අරහන් බන්. අනේ වාසනාවන් මෙහෙනම් වැරදියටවත් වැස්සට කියලාවත් මමනම් අහලවත් දැකලවත් නැහැ අදවෙනකන්. ඒක තමයි හැබෑම වාසනාව. කිසි කරදරයක් නැහැ මිනිස්සුන්ගෙන් කියල.
ReplyDeleteආං ටික්කෝ වැරදුන තැන. සවන් දීමෙන් දැනුම වර්ධනය කිරීම කියන්නෙ එක් අධ්‍යාපන ක්‍රමයක්. අඩුමගානෙ බොලා ඉස්කෝලෙදි අසා ලිවීමවත් ලිව්වද?
Deleteබලං ගියාම උඹලයි ආච්චම්ම කරලාර බැඳල තියෙන්නේ ගැලපෙනම කෙනා නොව බං , ආතා අච්චාම්මට එහා
ReplyDeleteසංසාරේ පතා අාපු විදිහටනොවැ. නැත්තං කුකුල් කෝරලේ උන්නු මිනිහා දුනුකෙයියාගලෙං එපිටහ පස්දුං කෝල්ලෙං පෙලවහක් ගනීද?
Delete/සත පහේ කොලේ දෙකට ඉරලා සත දෙකක් හා සත තුනක් විදිහට වියදං කරන්න හදල තිවුන හැටි,/
ReplyDeleteමෙයිට ආතල් අර අම්බලංගොඩය ඉස්කෝලෙදි සීයෙ කොලේ දෙකට ඉරල කැන්ටිමෙං දෙසීයක කෑම කාප සීන් එක...
මේකනං හැබෑම සීන් එකක්ලු. සුද්දගෙ කාලෙ එවෙලෙම අච්චු ගහල දුන්නයි කියල කියන්නෙ. බොහෝවිට මේ දෙවැනි ලෝක යුද්දෙ කාලෙ වෙන්න පුලුවං. ඔය අගලවත්ත රත්නපුර පාර හදාපු කාලෙලුනෙ. සමහරවිට මේක නෝට්ටුවක් නොව ටෝකන් එකක් වවුචරයක් වෙන්න පුලුවං.
Deleteඒකනං කෙබරයක් නෙමෙයි. එහෙම දෙකට ඉරිය හැකි සතපහේ නෝට්ටුවක් ඇත්තටම තිබුණා.
Deleteඅපේ අන්දිරිස් ආතත් දවසක් ඇල්ලුව ලූල් පැටියෙක්, විල්බැරැක්කෙන් එකයි. ඇයි අපේ බාප්පගෙ වට්ටක්ක ගෙඩියට වෙච්ච සංගෙදිය? ඒකෙං බාගෙයක් කපාගෙන දිසාපතිගෙ මළගෙදෙට්ට ගෙනිච්ච. අනික් බාගෙ වැහි වතුර පිරිල, අලි රංචුවක් බැහැල නෑවත් එක්ක. එක අලියෙක් ගැඹුරු දියේ ගිලිල මළා. ඒ හේනෙ තමා අර ෆෘට්සැලඩ් ගහ තිබ්බෙත්.
ReplyDeleteදවසක් අපේ තාත්තයි බාප්පයි ගහක් කපන්න ගියා. ඒ ගහ උදේ හිටං රෑ වෙනකල් කපල, රෑ වාඩි ගහගත්තෙ ගහේ කැපුං කට්ටෙ අස්සෙ. පහුවදා ආපහු ටවුමට ඇවිත් ආයෙ ඊට පස්සෙංදා ගහ කපන්ඩ යනකොට, ඒ කැපුං කට්ටෙ ඇතුලෙ පවුලක් පදිංචි වෙලා. සෑහෙන්න අමාරු උනා උං ටික එළවගෙන ගහ කපන්න.
ඇයි දවසක් මං නයෙකුට ටෝච් එකෙං ගහල...
ඕං ඔය වගේ ලියුං ගහනව මාත් හිටපු ගමං මැනුං වැඩ පරක්කු උනාම හේතු දක්වන්න. අපරාදෙ කියන්න බෑ අපේ ලොකු මැඩනුත් ඉඳහ් කියල අස්සං කරනව. බලන එකා සතියක් හොල්මං
Deleteහෙක් මරු බං ! ආතාටයි අච්චාම්මටයි පරපුර ගෙනියන්න උඹ වගේ එකෙක් ඉන්න එකම මදැයි :)
ReplyDeleteඔය අම්මගෙ පැත්තෙ පරංපරාවනෙ. අපෙ අම්ම ඇරං හදාගත්තු ලමෙක් හිංද ඒ ජාන අම්මට නෑ. මටත් නෑ,
Deleteකල්‍යාණ මිත්‍රටයි කල්යානිටයි ඩ්‍රැකී පවුලේ උණුසුම් සුභ පැතුම්....!!!
ReplyDeletehttps://en.wikipedia.org/wiki/The_Adventures_of_Baron_Munchausen
ReplyDeletehttp://www.mediafire.com/?b1mb8rry351k117
Deleteමෙතනිං සිංහල පීඩීඑෆ් එක බාගන්නැහැකි...
වැඩිදුර විස්තර http://sinhalapothak.blogspot.com/2013/08/manchosan-charika.html
Deleteබාන ලදී. බෙදාහැරීමට බලාපොරොත්තු වෙමි.
Deleteමෙන්න මේ රයිටින් ස්ටයිල් එක මරේ මරු . අනික ඔයාකාර සිද්දි පුදුමා...කාර විදිහට මතක තියාගෙන කොයියම්ම විදිහකින් හරි ලියන්න පුළුවන් කීයන් කී දෙනාටද ?
ReplyDeleteතිලකෙ මහත්තෙයා, ඔව්ව මොනවද අපේ දෙපාර්තමේන්තුවෙ අයියලා කරාපු වැඩ කියද්දි උං ඒ අහල තිවිච්ච පිකට් ගාන හිටං කියනව.
Deleteමරු කෙබර.. හිහ්,
ReplyDeleteදුප්
Deleteඉස්සෙල්ලාම ගුනොවද්දන ගැන කියෝන කොට , මට තේරුනේ මේ කියන්නේ ගූ-නොවද්දන මාමා ගැන කීල. පස්සෙයි තේරුනේ මේ කින්නේ Gunawardana මාමා ගැන කීල.
ReplyDeleteසුරංග පුතෝ, උඹල වගේ නිර්මආනිකයෝ, කියවන අපේ පිනාටය් ඉපදිලය්තින්නේ, නැතුව උඹලගේ දස්ස කමට නෙමේ , ඕන් කිව්වා ..
ඉස්තුතියි සුරංග.
ලොන් හැල්ලිච් පින්බර මන්.