Follow by Email

Saturday, October 24, 2015

කඩ කෙරුවාව හා ළමයි බැලීම (The shop doing and Children watching) - 1


කඩෙයක්



මගෙ පොලේ ගමන ගැන මං කියල ඇතිනෙ. ඒ වග ආයි මොටද? අද කියන්න යන්නෙ කඩ කෙරුවාව හා ළමයි බලාගැනීම ගැන. ඒකත් බලන්නකො.


මං ඉස්කෝලෙ අට වසරට විතර එනකං කරපු පොලේ යාමට කණකොකා ඇඬුවෙ පුංචිගෙ නාස්තියත් එක්ක සිදුවෙච්චි බාප්පගෙ පිරිහීමත් සමගයි. ඒ කාලෙ වෙනකොට අතපය ටිකක් උස මහත වෙලා කටහඬත් අමුතුම ආකාරෙක එකක් වෙලා තිවුනු මට පොලේ යාම මදිකමක් වෙලයි තිවුනෙ. ඉස්කෝලෙ එවුං පොලේ එනකොට මං හැංගෙන තැනට වැඩේ සිද්දවෙලා තිවුන. මගෙ කියවීමේ පිපාසාව හිංද හාල්මැස්සො ගොටු ගහන පත්තර එකක් නෑර කියවීමෙං මගෙ කාර්යක්ෂමතාව පහල බැහැල බාප්පගෙං ටොකු කන්න වෙලා තිවුන. එයිට අමතරව මං පොලේ බඩු ගන්න එන ගෑනු දිහා බලං ඉන්නව කියල අසත්තක කතාවකුත් පුංචම්ම ගොතෝල තිවුන. ඒ ඔක්කොම එකතුවෙලා මගෙ පොලේ යාම කැපිල ඒ රස්සාව පුංචම්ම කරන්නත් ඒ වෙනුවට මං පුංචම්මගෙ කඩේ ඉන්නත් වැඩ කටයුතු යෙදුනා. ඉබ්බ දියේ දැම්මට ඇන්නෑවෙ කිව්වලු. මාත් එක පයිං වැඩේට කැමති වුනා.


පහුවදා උදේට පුංචි පොලේ යන හිංද සිකුරාදා රෑට මං ඉන්නෙ මහගෙදර. එදා රෑට හොඳට කන්නත්, සාලෙ පැදුරක දිගෑරිල කනක් ඇහිල නිදාගන්නත් චාන්සෙක ලැබෙනව. පහුවදා උදේට තියෙන ගාලගෝට්ටිය විඳින්න ඉතිං කන්න බොන්න නිදන්න එහෙම එපායැ හොඳට. කොහොමටත් පහුවදාටත් එක්ක එදා රෑට කන්න ඕන.


ඒ දවස්වල පුංචිගෙ ලමයගෙ වයස අවුරුදු තුනක් විතර ඇති. සෙනසුරාද උදේ පහට වෙද්දි පුංචම්ම ළමයව ඇහැරෙන්නෙ නැති වෙන්න ඇඳ උඩ තියල නැකිටිනව. ඉං පස්සෙ දඩබඩ ගාල ලැහැත්ති වෙනව. පුංචම්මගෙ බාසාවෙං ලැහැත්ති වෙන්නෙ එහෙමයි. එතකොට මාත් නැකිටින්න ඕන. ඒ එදා දවසෙ වැඩ සටහන අහගන්න. පුංචම්ම ලැහැත්තිවෙන ගමංම මට උපදෙස් දෙනව.


“සුරංගෝ“


“ඇයී. මේ එනෝ“


“කෑගහන්නෙපා බොල. ලමෙය ඇහැරෙයි“


මං පිලිකන්නෙ ටැප්පෙක ගාව ඉන්න පුංචි ලඟට යනව


“උලේල ආං එලි හාක් අලිං. අඔක්.    අඹ්ඹ්ක්“


පුංචම්ම දත් මදින ගමං බුරුසුව ගිරිය අස්සෙ ගහගෙන දත් මදින ගමං කියල වාක්‍ය අවසානෙට දෙපාරක් කාරනව.


“මොකද්ද කිව්වෙ පුංචියේ.“


“පාං හයක් ගනිං“


“හා“


“සල්ලි තිවුනොත් හවසට දීහං. නැත්තං හෙට දෙන්නං කියාං“


“හා“



පුංචි ගෙට ඇවිත් ඇඳුං අඳිනව.


“නාලවත්තෙ නැංද හරි, වෙනිං කවුරුවක් හරි සල්ලි ඉල්ලං ආවොත් නෑ කියහං. පුංචිගෙං ඉල්ලගන්න කියහං“


“හා“


 “නංගි ඇහැරුනාට පස්සෙ බලාගනිං. අරහෙ මෙහෙ යන්න දෙන්නෙපා. අර මගෙ කහපාට හැට්ටෙ සාලෙ රෙදි ගොඩෙං ගෙත් දියං“


“හා“


මං උංදැගෙ හැට්ටෙ හොයල ගෙනත් දෙනව. අංතිමට එයා ඇඳල ඉවරවෙනව. ඉං පස්සෙ බෑක්කෙකයි කුඩෙයි අතට අරං ආච්චම්ම නිදං ඉන්න ඇඳ ළඟට ගිහිං කතා කරනව.


“අම්මෙ මං යනවා.“


“ඈ.... මොකද්ද? පාංකාරෙය ඇහිල්ලද“


ආච්චම්ම මෙලෝ විකාරෙං එලෝ ඉඳං අහනව.


“නෑ. නෑ මං යනව“


“උඹ කොහෙද යන්නෙ“


ඇයි අම්මෙ. අද සෙනසුරාදනෙ. පොලේ යන්න එපෑ“


“ආ.... ඒක මිසක්ක.“


“අම්ම එහෙනං මැනික් බලා ගන්න. මං යනව.“


“කෝ කෙල්ල“


“තාම නිදි. ඇහැරුනාම මොනවහරි දෙන්නකො. දැම්ම ඇහැරවන්න එපා හොඳේ.“


පුංචිගෙ ළමය ඇහැරුනොත් පුංචිට දොට්ට බහින්න නොදී මරහඬ දෙන විත්තිය ආයෙ කියන්න දෙයක්යැ. තමුංගෙ අම්ම ගමනක් යනව කියපු ගමං උංදැගෙ බෙල්ල බලාගෙන බිමට නොබැහැ ඉන්න එකත් බැරිවෙලාවත් තමුංව අම්මගෙං ඇදල අරං තියාගත්තොත් එහෙම ගත්ත එකාගෙ ඉහේ කෙස්ටික හිඳින ගමං ලතෝනි දීමත් ඒ ළමය උප්පත්තියෙංම ගෙනා සහජ හැකියාවක්.


“උඹ පලෙයං. මං බලාගන්නං ළමෙය. උඹ භයවෙන්නෙපා“


ආච්චම්ම ඇඳෙං නැකිටල “හාආආආක්“ කියල ඈනුමක් ඇරල උඩු ඇංදෙ දත් කුට්ටමත් හරියට හදාගෙන වැනි වැනී එනව. එතකොට පුංචම්ම ගෙයිං එළියට බහින්න දොරකඩ. ළමය ඇහැරවන්න එපා කියන්න පුංචම්ම කට අරින්න කලිං ආච්චම්ම නිදං ඉන්න ළමෙයව වදෙං පොරෙං උස්සගෙන කිහිල්ලෙ ගහගන්නව. ආච්චම්මගෙ කිහිල්ලෙදි නිංදෙන ඇහැරෙන ළමෙය ආතබූත නැතුව වටපිට බලනව. තමුං මේ ඉන්නෙ කොහෙද යන්නවත්, තමුංට එකපාරටම වඩාගත්තෙ මොන කෙහෙල්මලකටද යන්නවත්, තවම රෑද දවල්ද කියන එකවත් නොදැනගෙන හෝන්දුමාන්දුවෙං ඉන්න ළමයට අවස්ථාව වටහා ගන්න උපකාර පිනිස ආච්චම්ම පැහැදිලි කිරීමක් කරනව.


“උඹ නාඩ හිටිං. අම්ම පොලේ ගියාට හවහට එනවනෙ. මං බෝ බලාගන්නං. අම්ම එක දාසක් නැතිවුනහං මොකදැ“


තමුං ළමෙයව හරියටම බලාගන්නා බවට ඇස්පනාපිටම සාක්කි වසයෙං පුංචම්මට පෙන්නීමට ආච්චම්ම එහෙම කරද්දි තමුංගෙ අම්මා පොලේ යන වගත්, උංදෑ අද දවසටම ගෙදර නැති වගත් දැං තමුංගේ යුතුකම වන්නේ මරහඬ දී මෙතන දෙකක් කිරීම වගත් දැනගන්නා ළමෙයා සංගුව පිඹින්න පටං ගන්නව.


“බුහප් බුහුප් බුහුප් පූඌඌඌඌආආආහ් ....ආක්..ආක්................... බ්‍රෑඈඈඈඈඈඈඈග්.......... මච අව්ව එග්ග යල්ල ලීවාආආආආආග්..........“


මේ අවසං ‘ආග්‘ එකත් සමගම ළමයා හුස්ම හිර උනා වගේ කට ඇරිල සද්ද නැතිව කකුල් අතපය සේරම ගසමින් දඟලනව. මේ වෙලාවට ළමයත් එක්ක ආච්චම්මත් වැටෙන්න පුළුවං හිංද මං ඒ ළඟම ඉන්නව.


“ඔය ඉතිං නාඩ හිටිංකො. බොගෙ දැඟලිල්ලට මගෙ සෙද්දත් කැන්න“


ඒ එක්කම ළමය ආයිත් ඇඬිල්ල පටං ගෙන “උඹ. තෝ“ ආදියෙන් බැනවදින්න පටං ගන්නව. මේ සියල්ල විඳ දරාගනිමින් කුටු කුටු ගගා මොනවද කියමින් පුංචම්මා බස්සෙකට නගිනවා. උංදැ බස්සෙකට නගිනවිට ළමයා සිය ජවනිකාවේ උච්චතම අගය පෙන්වමින් ආච්චම්මගෙ ඔලුවට දෑත බදා ගුටි අනිමින් “ගෑනියේ මට යන්න දීපාං“ කියා බනිනව.


පුංචම්මා නැග්ග බස්සෙක පිටත් වෙනවත් සමගම සිය ඇඬීම පලක් නැති බව දැනගන්නා ළමයා ඇඬීම නවත්තනව. ඒත්තෙක්කම සිය සංදර්ශනයේ පළමු කොටහ නිමා කරන ආච්චම්මා තමුං සෑහෙන්න මහංසි වෙලා මේ ළමයා බලා ගන්නා බව සිය දියණියට පෙන්වූයේ යැයි සෑහීමකට පත්ව


“බැහැපං බිමට මට සෙද්ද ඇඳගන්න“


කියා ළමයාව බිමිං තියනවා. තමුංගෙ කැඩිච්චි ‘සෙද්ද‘  ඇඳගෙන ‘කහඩ්ඩිංගක්‘ බොන්න කේතලේ ලිපෙං තියන්න කුස්සියට යනව. වැස්සක් වැහැල පෑව්වා වගේ නිසලතාව බිඳෙන්නෙ ආත ඉඳහිට පිටකරන නලා නාදෙං විතරයි. ආච්චම්ම කේතලේ ලිපෙං තියල ලිප ළඟ තනි රකින අතරෙ මං සාලෙට වෙලා පාර බලන්නෙ පාංකාරය එනකං. වැඩිවෙලා නොගිහිං පාං කාරය එනව. දෙපාර හෝන්නෙක ගහනකොට මං බයිසිකලේ ගාව.


“පාං කියද්ද “


“හයක්“


පාං පෙට්ටිය වහපු ඉටිරෙද්ද පාං පෙට්ටියට තදවෙන්න දාපු ටියුප්පටිය පන්නල ඉටි රෙද්දෙ පැත්තක් උස්සල පාං හයක් අරං ගඩොල් අහුරනව වගේ දෙකක් එක පැත්තටත් අනික් දෙක ඊට උඩිං හරස් අතටත් වසයෙං හිටින්න අහුරල මගෙ අතට දීල එයා යනව. මං පාංටික අරං ගෙට යනකොට ආච්චම්ම ගෙයි ඉඳං කෑ ගහනව.


“සු***, බලහං අන්න පාංකාරය බීග්ගහනව“


“හරිහරි මං ගත්තා“


“විගහට පලෙයං. නැත්තං යයි“


“මං ගත්තෝ.“


“ආ එහෙනං කමහ්නෑ. මං හිතුව බොගෙ කන ඇහෙන්නෑනෙ“


මං පොතක් පත්තරයක් කියවනකොට කවුරුවත් කතා කලත් දැනෙන්නෙ නැති හිංද මගෙ කන ඇහෙන්නෑ කියල කතාවකුත් ආච්චම්මයි පුංචියි ගොතල  තිවුන.


තව වැඩිවෙලා නොගිහිං කඩේට මිනිස්සු එන බව දන්න හිංද මං මල් හතරක් කඩං ඇවිල්ල පොල්තෙල් ගැලුමෙං තෙල් ඩිංගක් පානට දාල පාන පත්තු කරල හඳුංකූරු දෙකක් පත්තු කරල බුදුං වැඳල කඩේ ලැලි ටික අරිනව. තවත් හඳුංකූරක් පත්තු කරල හාල් ගෝනියෙ හිටෝනව. ඒ ටික ඉවර වෙනකං පුංචිගෙ ලමෙය මගෙ පස්සෙං කැරකෙනව. උගෙං කඩේ තියෙන බඩුමුට්ටු බේරගන්න අමාරුයි. වෙනදට ආච්චම්ම මට කඩේ ලැලි එකකට වඩා අරින්න දෙන්නෑ. උංදැ හිතන විදිහට පුංචම්මවත්, බාප්පවත් කඩේ නැතිවෙච්ච ගමං මේ කඩේට පනින්න හොරු රංචුවක්ම ඉන්නව. ඒ වුනාට ඇඳිරි නීතිය දවසට හොරෙං බඩු විකුණනව වගේ යංතං එක ලැල්ලක් අස්සෙං බඩු දෙන්න බැරි හිංද මං පුංචිට කියල ඒ නීතිය අයිං කරගත්ත.


ඒ ටික ඉවර වෙනකොටම ආච්චම්ම කඩේට එනව.


“මොටදැ දැම්ම කඩේ ඇරියෙ. දැම්ම මිනිස්සු එන්නෑ“


එතකොටත් මං පළවෙනි පාංගෙඩිය නාලවත්තෙ බාල ලමයට විකුණල ඉවරයි.


“පුංචි කියල ගියෙ උදෙංම කඩේ ඇරහං කියල“


“එහෙනං ඕනැ එකක්.         අද පාං කරවෙලා නෑ. ඊයෙනං අඟුරු වෙලා තිවුන“


ආච්චම්ම පාං ගෙඩියක් ගානෙ මිරිකල ඒකෙ වහල්ල “කරස්“ ගානවද බලනව. ඊළඟට හාල් අහුරක් කටේ දාගෙන යනව. ආච්චම්මට පාණ්ඩුව හැදිලයි කියල පුංචි කියන්නෙ මේ හාල් කෑම නිසා. උදේ අට විතර වෙනකොට කඩේ ගාව සෙනග එකතු වෙනව. වැඩි දෙනෙක් පොලේ යන අය. ආං එතකොට ආච්චම්මගෙ ස්වර්ණමය කාල සීමාව උදාවෙනව. උංදැ රෙද්ද වරක් තද කරල ඇඳගෙන පාරට බහිනව.


“ආ. හුනුවොල ලමෙයො. මොකෝ බෝ අද පාංදරම පොලේ යන්නෙ?“


“අද දලු කඩන්න දෙමලු දෙන්නෙක් ආව. උංට දවල්ට බතුද්දෙන්නෙපෑ. වියන්න පරක්කු වෙන හිංද කලිං යනව“


“ආ... ඒක මිසක්ක. ඉතිං බොලෑ ලොකු එකීට පුලුවන්නෙ උයාතියන්න“


“ඒකිට අද පන්තිනෙ. ඔය ආවෙ මා එක්කම. අර ඉන්නෙ“


හුනුවල නැංද, මැංගුස් ගහ යට හෙවනෙ ඉන්න තමුංගෙ දෝනියැංදව පෙන්නනව. ආච්චම්ම ඇස් කරකෝල ඒ දිහා බලනව.


“බොගෙ තව මොකක් කලු වෙන්නද? ඔය ඉන්නෙ මහඑකා වගේම කලුවට. අව්වෙ හිටියහං ටිකක් මක් වෙනවද?“


ආච්චම්ම සඳමාලි අක්කට ආඩපාලි කියනව. මා එක්කවත් වැඩිය කතා නොකරන එයා ලේංසුවෙන් මූණ පිහදාගෙන විරිත්තනව. කලුපාට මූනෙ සුදුපාට දට්ටික පැහැදිලිව පේනව.


“ඕනැ එහෙකට විරිත්තන්නෙපා දන්නවද? බොගෙ ඔය විරිත්තිල්ල විනාසෙකට මුල වෙන්න පුලුවං“


සඳමාලි අක්කාගේ හිනාව බෝම්බෙයක් ගැහුව හා සමාන බවට පෙන්වමින් ආච්චම්ම එයාට දොස් පවරනව. ඒ කියන විදිහට පවුලක ගෑනු ලමයෙක්ගෙ හිනාව හිංද ඒ ළමයගෙ පවුලෙ දෙමව්පියං කවිකොල ගහන්න දරං දරුනු විදිහෙ සාහසික විදිහට මැරෙන්න පුලුවං.


 ඒ අතරෙ කඩේට සැරිං සැරේ එන සෙනගට බඩු දෙන්නත්, ඒ ගමංම පුංචිගෙ ලමෙය කොහෙද ගියේ කියල බලන්නත්, විඩිං විඩේ ආච්චම්ම, “ළමෙය කොහෙද බලපං“ කියනකොට ළමයා අසුවල් තැන අසුවල් වැඩේ කරමින් ඉන්න බව කියන්නත් යාම නිසා මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ වෙනව. පුංචිගෙ ළමයත් විටින් විට ටැප්පෙක ලඟ ‘වතුරෙ නැටීම‘, පිහියක් අරං ‘ගස්වලට කෙටීම‘, ගෙයි බඩුමුට්ටු පෙරලීම, පාර දිහාවට යාම ආදී නොයෙක් ‘ඇට්ටර වැඩ‘  කරමින් මාව ඒ තැංවලට ගෙන්වා තමුංව ආපහු ගෙට ඇදගෙන ගෙන්වාගනු ලබනව.


පැය බාගෙයක් තරම ගත වෙද්දි ආච්චම්මගෙ වාග් ප්‍රහාර වලිං බැටකෑ මිනිස්සු රැල බස්සෙහෙකට නැගල පිටත්වෙනව. ආච්චම්මත් පාරෙ දෙපැත්තමත් බලල තවත් කිසිදු මනුස්ස පුලුටක් නැති බව සැකහැර දැනගෙන කනගාටුවෙන් ආයිත් රෙද්ද ලිහල ඇඳං ගෙට එන්න පිටත් වෙනකොටම තවත් දෙතුං දෙනෙක් පාරට එනව.


“බොලා ටිකක් පය ඉක්මං කල්ල ආවනං යන්න තිවුන. බස්සෙක දැං ගියෙ. තාම ඇති නිකෝඩ හංදියටත් පල්ලෙ. ආයි වරුවකටත් බස්සෙකක් තියෙයිද විස්සාස නෑ“


“යේකනෙ මෙනිකේ. සීසේන මාතිය අම්බෙලා කානු කපන්න යෙන්න කීල විත්තරැව්වනෙ. නැත්තං යෙන්න තිවුන“



පෝරකවරෙයක් කිහිල්ලෙ ගහගෙන පොලේ යන්න ඇහිල්ල හිටපු සුප්පරමනියං පාරෙ අයිනට බුලත් කෙල පාරක් එහෙම ගහල ආච්චම්මට කියනව.


“උඹෙ ගෑනි නේද අර සංකරෙයත් එක්ක පැල්ල ගියෙ“


“නේ මෙනිකේ. ඒ පෙනියගෙ පවුල“


“එහෙනං අර කනක්කපුල්ලෙගෙ ගෑනි කිව්වෙ උඹේ ගෑනියි පැල්ල ගියෙ කියල“


“නේ මැනිකෙ. ඒ පොරු. පෙනියගෙ පවුල තමා පැල්ල ගියෙ. දෙං දෙෂියපනා වත්තෙ යින්නෙ“


ඒ දවස්වල අපේ ගමේ වතු දෙමල මිනිස්සුංගෙ පුද්ගලිකත්වයට තිවුනෙ ඒ වගේ තැනක්. සිංහල හැම මිනිහටම මාත්තියා, මෙනිකේ, නෝනා කියන්නත් පෙරලා තමුන් විසිං උඹ, තෝ ආදියෙන් ඇමතුම් ලබන්නත් ඔවුන්ට සිදුවුනා.


ඔය විදිහට ආච්චම්මගෙ අධීක්ෂණය යටතේ නඩ හතරක් පහක් බස්සෙකේ නැගල, ආතත් ඇඳෙං නැකිටල ඇවිල්ල බුලත්විටක් කද්දි, ඔරලෝසුවෙත් වෙලාව දහය විතර වෙනව. මගෙ බඩේ බඩවැල් එකට ගැටගැහිල ඇඹරෙද්දි පුංචිගෙ ළමය විටිං විට ඇවිල්ල ඉස්කෝතු පැකට්, චොකලට්, බනිස් ආදිය අරං යන්න හදනව. ඔව්ව අරං කැඩුවට කන්න බැරුව විසිකරන විත්තිය මම දන්න හිංද මං ඒවත් වලක්වනව. ඒකිටනං උදේට කිරි බෝතලෙයක්ම පොවනවනෙ. අන්තිමට ආච්චම්මට තවදුරටත් ‘පොලේ යන ගොදුරු‘ නැතුව උන්දැ ගෙට එනව. පොඩි ඒකී බඩගිනියි කියල මරහඬ දෙද්දි ආච්චම්ම


“ටිකක් හිටහං. තාම උදේට කිරි බීපු ගමංනෙ. ඔයහැටි මොකද්ද බඩකින්නක්. මේ කහට ඩිංගක් ඉතරක් බීල මං යසට ඉන්නෙ“


කියල ඒකිගෙ කට වහනව. අන්තිමට ආච්චම්ම උදේට උයන්න ලිප ලඟිං ඉඳගන්නකොට උදේ එකොලහට විතර ඇති. 

57 comments:

  1. කණට ඇහිච්ච සද්ද, වචන හොඳ රහට යොදාගෙන ලියවෙන අව්‍යාජ ලියවල්ලක් සුරංග. මේක වෙනමම ආරක් . නියමයි !

    ReplyDelete
    Replies
    1. තමුන්නැහැට බෝම ඉස්තූතියි. මටත් තමුන්නැහැගෙ ලිවිලි ගැන කිව්වෙ අපිත්තෙක්ක එකට කන (බොන) වසංත ඇල්ලෙගම කියන ඔබතුමාගෙ පාසල් මිත්‍රයා. බොහොම ලොකු ගවුරවයක් මට මේක.

      Delete
  2. ෂා චිත්‍රපටියක් වගෙ....මැවිල පේනවා

    ගමේ මිනිස්සු පාන් කන්නෙ නැද්ද පාන් 6 ක් විතරක් ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. සෙනසුරාදට පාං විකිනෙනව අඩුයි. සේරම මිනිස්සු දවල්ටත් එක්ක බත් උයනව. නැත්තං උදේට පාං කාල දවල්ට පොලේ ගිහිං ඇවිල්ල ආයි උයන්න එපායැ. ඒක හිංද දෙවේලටම හරියන්න බත් හැලියක් තමා.

      Delete
    2. අදටත් සමහරක් ගං වල මිනිස්සු පාං කන්නේ නැ , මේ ඊයේ පෙරෙයිදා දවසක මං එහෙම පලාතක පාං ගෙඩි දෙකක් හොයන්ඩ කිලෝ මිටර් පහලවක් විතර ගියා

      එහෙම හොයං ආපු පාං ගෙඩි දෙකත් හරිනැ කියල බැනුනුත් ඇහුවා

      Delete
  3. //පාං පෙට්ටිය වහපු ඉටිරෙද්ද පාං පෙට්ටියට තදවෙන්න දාපු ටියුප්පටිය පන්නල ඉටි රෙද්දෙ පැත්තක් උස්සල පාං හයක් අරං//
    මේ ටික කියෝනකොට ඉස්සර මෙහේ බයිසිකලෙන් පාං ගේන බුවා මතක් උනා. දැං තියෙන්නෙ බීතෝවන් ගෙ පාං නෙ.

    //මං පොලේ බඩු ගන්න එන ගෑනු දිහා බලං ඉන්නව කියල අසත්තක කතාවකුත් පුංචම්ම ගොතෝල තිවුන.// මේක අසත්තක කතාවක් කියල විශ්වාස කරන්න බෑ බං.

    ReplyDelete
    Replies
    1. //මේක අසත්තක කතාවක් කියල විශ්වාස කරන්න බෑ බං//
      ආං බලමු බොගෙ කැත ගතිය. බොල හිතන්නෙ මං අර ඇන්ටිල දෙකට නැමිල අල ලූනු තෝරනකොට හැට්ටෙ කර අස්සෙං බැලුව කියලද? නැත්තං ඉස්සරහ වෙලෙංදගෙං බඩු තෝරන්න දෙකට නැවෙද්දි සායෙ පිටිපස්සෙං උඩහට යනහැටි බැලුව කියලද? ඈ?

      Delete
    2. අපොයි නෑ. මේ ටිකෙන්ම හිතාගත්තැකි බොලා බලලම නෑ කියල. :D

      Delete
    3. ඇස් ආදරෙන් පුරෝනා - හිත පාළුවෙන් ගලෝනා
      ඔබ මගෙම වෙන්න ඕනා - මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ ……

      හැක හැක :D

      Delete
    4. අඩේ පත්තරේ. ප්ලීස් ඩෝන්ට් ඊට් මී.

      Delete
  4. වෙනදට පහුවෙලා ඇවිත් කොමෙන්ට් කරාට ඔන්න අද කලින්ම ආවා.

    තිලක අයිය කිව්ව වගේ හරිම රහ ලියවිල්ලක්. කඩේ ඉතුරු ටිකත් දාන්ඩ. තවම 11ට විතර ඇතිනෙ. පුන්චම්ම එනකොට රෑ වෙනවනෙ. එතකල්ම ලියන්ඩ. පොලනම් එක පෝස්ට් එකෙන් ඉවර කරානෙ. මේක පෝස්ට් දෙක තුනක් විතර යයි මගෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. දෙකෙං ඉවර කරන්න ඕනැ. වැඩිය දිගාරින්ට නාකයි

      Delete
  5. Achchammala ohommayi.. hak hak.. Uyanna patta kammaliyi. .

    ReplyDelete
    Replies
    1. ඔව් අප්ප. අපෙ ආච්චම්ම බත් හැංදෙං සතියක් ජීවත් වෙනව

      Delete
  6. හත්වලාමයි. නින්දෙන් ළමයෙක් ඇහැරවන විදියද ඔය?

    මමත් ඉස්සර කාලේ අපේ අක්කා එහෙම නින්දෙන් ඇහැරවන්නේ දෙකක් ඇනලා. බැනලා. නැත්තම් කුචි කවලා. එයා එහෙම කරන්නේ මුලදී 'චුටි නංගි' කියපු ගමන් ඇහැරෙන්නේ නැති නිසා. මට නින්ද ගියාම ඇහැරවන්න හරි අමාරුයි. හැබැයි කකුලෙන් රිදෙන්න ඇදල බිමට දාන එකයි, ගහගෙන යන එකයි, මහා හය්යෙන් බනින එකයි, කුචි කවන එකයි මට දරාගන්න බැරි දුකක් ඉතිරි කරන්නේ. විශේෂයෙන් උදේ කීයට ඇහැරෙවත් ඒකෙ වේදනාව ඉවසගන්න බැරි තරම්. නමුත් මගේ එකවරම නින්දෙන ඇහැරෙන්නේ නැති ගතිය ගියේ කැම්පස් ආවට පස්සේ. එතකල් මම ඒ වදයට ලක් උනා. ඒ නිසා මම තදට හිතාගත්ත දෙයක් තමයි මගේ දරුවෙක්ට නම් උදේ ඇහැරවන්න කොතරම් අමාරු උනත් ආදරෙන් කතා කරලා ඇහැරවනවා කියන එක. අදටත් මම කොතරම් අමාරු උනත් කෙනෙක්ව දෙතුන්පාර ඇහැරවන්න උනොත් කිසිම වෙලාවක ඒ දේවල් කරන්නේ නැහැ.

    හිනා උනාට ආච්චම්මගේ ගති වලින් වැඩිපුරම මට පෙනෙන්න බැරි දෙයක් තමයි හිංසනය. අපේ අත්තම්මත් සරපරුසයි. නමුත් මෙහෙම හිංසා කරලා නැහැ. මේ තරම් නොකර මගේ හිත ගොඩක් තැලිලා තියෙන නිසා මේක පෙනෙන්නේ අලුගෝසුකමක් වගේ.

    නිවාඩු දවස් වලට ( සති අන්තේ) දවල් වෙනකල් නිදාගන්න මමත් ආසයි. සමහර වෙලාවට මමත් උදේ කෑම අතාරිනවා. නමුත් පොඩි දරුවෙක් ඉන්නකොට ඒ ළමයා බඩගින්නේ තියන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. කොටිම්ම කඩේ වැඩකරන උඹට තේ ඩිංගක් වත් හදල දෙන්නේ නැද්ද සුරංගයා ?

    මම මුඩ් එකේ අවුලක්ද මන්ද, මට මේක විඳිනවට වඩා විඳවීල්ලක් විදියටයි පෙනුනේ.

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවට ආච්චිල කවන්න ගියත් ඔයවගේ තමයි...... රටේ තියන ඔක්කොම ජාති ගෙනැත් කාපන්.. කාපන්.. කටේ ඔබනවා ඉස්මුරුත්තාව හැදෙනකන්..කැවෙ නැත්නං බැනල බැනල අනේ දුවේ මේ බලහන් මේ ළමය කන්නෙ නැ හයින් ඉන්නවා...ලෙඩක් නං දොස්තර ලගට එක්ක පලයං....කියල අම්මට කෑගහනවා.

      Delete
    2. උපේ
      ඒම තමා. අපේ ආච්චම්මලගෙ වැඩ. ඔයිට වඩා දරුනු විදිහටත් මට සලකල තියෙනව. එව්ව වැඩක් නෑ. මං ඔව්ව හිතේ තියං ඉන්නෑ. සේරම ලියල දානව. සෙනසුරාද දවසටම හරියන්න මං සිකුරාද රෑට කනව. එතකොට අවුලක් නෑනෙ.

      පැනිකු
      එහෙව් ආච්චම්ම කෙනෙක් ඔයාට ලැබිල තියෙන්නෙ පෙර පිනට. ඔය කාහං කියන එක අපෙ ආතගෙනං ප්‍රසිද්ධ කියමනක්

      Delete
    3. අපේ අම්මා නම් අර කෑම ගැන ඉවරයක් නැති චෝදනා කරන කෙනෙක්. එක වේලක් කෑවේ නැත්තම් ඔන්න ගේ දෙක කරනවා. ඔලුව ගිනි අරගෙන වගේ දුවනවා. එයා කන්නෙත් නැහැ. පොඩි එකා හාමත් වෙයි කියලා ඩෙන්ගා නටනවා. එක සුප් එකක් හදනවා, ඒක බිව්වේ නැත්තම් තව එකක් හදනවා. කෝල් කරනවා, SMS ගහනවා. දරුවාගේ අම්ම ගෙදරට පය ගහන්නේ ළමයට සේලයින් දෙන්න බලාගෙන. බලනකොට මෙලෝ ප්‍රශ්නයක් නැහැ.

      Delete
    4. අනේ බොලයි ගෙදර අවුරුද්දට එන්න කියල මට ආරාදනා කොරහංකො

      Delete
  7. උඹ මොකද පොලේ එන ගෑනු දිහා බලන්නෙ...?

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතිං උඹ බලන්නෙ කැමරාව අස්සෙන්නෙ.

      Delete
    2. හෙනං සූම් කරල කාරිය බලන්න බැරිය අගේට

      Delete
    3. වීඩියො කැමරාවෙ වීව් ෆයින්ඩර් එක කියන්නෙ ඕකට කියාපු බඩ්ඩ. අර ඉස්සර තිවුන වී.එච්.එස් කැමරා වල එකනං ඇහැටම තියල බලන්න එපායැ. ඔය දුර ඉන්න සත්තු එහෙම බලන්න හොඳා

      Delete
    4. ඌ බැලුවම තොට මොකෝ... බොරු කියන්නෙ මොකටද මාත් ඒ දවස් වල පොලේ ගියා අම්මත් එක්ක.. ගෑණු බලන්න...

      Delete
  8. අඩේ මේ ඉන්නෙ අඬන පුංචම්මා නේද. පාර අයිනෙ තියෙන වහල දාපු ගේ වෙන්නැති මහගෙදර. බස්පාරට මායිම් වුණ. මිනිස්සුන්ට පුදුම වදයක් තියෙන්න ඇත්තෙ ආච්චම්මගෙන්. හපෝයි ඕපා දූප ලොරියක්. අදත් කතාව තාත්විකයි විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. නෑ.නෑ. මේ උංදැ නෙමෙයි. මේ බාලම පුංචම්ම

      Delete
  9. Ada meka nam pattama post eka. Ube sound effects nam elama kiri. Choz choz choz baraaz baraazzz. Ado uba podi kaleth podiyata indala ne ne. Genu diha bala bala.. Hak hak haya wewaa..

    ReplyDelete
    Replies
    1. ඕං බලමු මට වැටිච්චි නවනිංගිරාව

      Delete
  10. ඒ කාලේ ලමයි බලාගන තියෙන හැටි. :O

    මේ ඔයා අර පොලේ එන අය දිහා බැලුවානේ? පුංචි අම්මලා බොරු කියන්නේ නෑ...:P

    ලමයා අඬන හැටිත් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. /ලමයා අඬන හැටිත් හරිම ලස්සනයි./
      අනෙ අම්මප මෙයා දැකල නෑ එහෙම ඇඬිල්ලක්. පනුව දගලන්න වගේ දඟලන ගමං ඒ අඬන ඇඬිල්ලට හොස්ස බිම උලන්න හිතෙන්නෙ

      Delete
    2. ඒ වගේ ලස්සනට දැන් අපේ පොඩි එකත් අඬනවා...
      ඒත් ගහන්න නම් හිතෙන්නේ නැහැ...

      Delete
  11. 'Shop doing' විස්තරේ නියමයි

    ReplyDelete
    Replies
    1. ආං එහෙමයි අපි ඉංගිලිසි හෙලුවට පෙරලන්නෙ.

      Delete
  12. නියමයි. කියලම වැඩක් නැහැ කතාව

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැති හිංද තමා බබෝ ලීවෙ.

      Delete
  13. //එයිට අමතරව මං පොලේ බඩු ගන්න එන ගෑනු දිහා බලං ඉන්නව කියල අසත්තක කතාවකුත් පුංචම්ම ගොතෝල තිවුන.//
    කෙල්ලො ගස් යවන කතාවකුත් තිබුන එහෙන් මෙහෙන්.
    වචන තුන හතරකින් ඒව කියල ලිස්සන හැකියාව වැඩි දියුනු කරගත්තෙ පත්තර මල්ලි සර්ගේ ලිස්සන ක්ලාස් ගිහිල්ලද?

    ඔය දූසමාන අවමාන ගැන නම් වැඩි විස්තරයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි වගේ. ආච්චි, පුන්චි බාප්පල ගැන මොනව ලිව්වත්

    ReplyDelete
    Replies
    1. අනේ ආයිබොවන්ට මං එහෙම අසප්පුරුසයෙක් නෙමෙයි. මට මොටද ඔව්ව බලල. ආයි ඒ ගෑනු අය කුමනාකාරයේ කිරිගොටු ඇන්දත්, කුමනාකාරයේ රැලි පාලං ඇන්දත් මයෙ බඩ පිරෙනවයැ.

      Delete
  14. අඬන පුංචිඅම්මා අඬන්නේ නැති වෙලාවට හෙන දරුණුයිනේ බං. හොඳවෙලාවට දත් මැදලා ඉවරවුනේ. නැතිනම් තව දෙබස් කියවන්න එපායැ අර විදියට.

    ReplyDelete
    Replies
    1. නෑනෑනෑ. මේ එයා නෙමෙයි. මෙයා තමයි බාල පුංචම්ම. මෙයා හරිම දරුනුයි.

      Delete
  15. එල ද බ්‍රා
    දිව උලුක් වෙනවා යකෝ උඔ ලියන ඒවා කියවන්න ගියාම..

    ReplyDelete
    Replies
    1. ශබ්ද නගා කියවීමෙන් වලකින්න.

      Delete
  16. ලස්සනයි - තාත්විකයි. චාලි චැප්ලින් ගෙ ෆිල්ම් වල හාස්‍යයට යටිං දුවන දුක්විඳින මිනිස්සුන් ගැන යථාර්ථය මේ ලියවිල්ලෙනුත් අඩුවක් නැතුව රසවිඳින්න පුළුවන් සුරංග. සුරංගගෙ ළමා කාලය එක්ක බලනකොට දැන් ඉන්න තත්ත්වය ගැන මාාර ආත්ම තෘප්තියෙක් දැනෙනව ඇති නේද? මටත් සමාන අත්දැකීම් තියෙන නිසා මට එහෙම හිතෙනවා.

    /“යේකනෙ මෙනිකේ. සීසේන මාතිය අම්බෙලා කානු කපන්න යෙන්න කීල විත්තරැව්වනෙ. නැත්තං යෙන්න තිවුන“/
    විත්තරැව්ව කිව්වෙ මොකද්ද සුරංග?

    අර පොතක් කියෝනකොට හාත්පස මොකක්කත් ඇහෙන්නැති ගතිය නං මයෙත් තියෙනව අඩුවක් නැතුව...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත සංපූරණෙං ඇත්ත. මට දැං හෙනම ආත්ම තෘප්මතෘප්තියක් දැනෙනව. අද මං තනියෙංම හම්බුකොරං කනවනෙ.

      විත්තරැව්ව = විස්තර ඇහුව

      අර පොතක් කියෝනකොට හාත්පස මොකක්කත් ඇහෙන්නැති ගතිය ඒකට කියන්නෙ අවධානය.

      Delete
    2. /අද මං තනියෙංම හම්බුකොරං කනවනෙ./

      ඒක නෙවෙයි මං කිව්වෙ. කන් ඇහ‍ෙන් නැතිය, ගෑණු දිහා බලනවය, නුහුගුනේ ය, සු***යා ආදී වශයෙන් පහත් කරලා කතා කළ උන්ගෙ ඇස්පනාපිටම සුරංගට දියුණු වෙලා ජීවත් වෙන්න ලැබීම ගැන...

      Delete
  17. ළමයි බැලිල්ලට අපෙ අත්තම්ම නම් කිව්වෙ බං ළමයි මේච්චලේ කියල. ඒ වචනෙ අහල තියද? වසු මේච්චලේ, කුකුල් මේච්චලේ තව එතකොට එළු මේච්චලේ.... ඒ තව නා නා ප්‍රකාර මේච්චල් වර්ග...:)

    ReplyDelete
    Replies
    1. මේච්චල් කිරීම වෙනුවට ආංබං කිරීම තමයි යෙදෙන්නෙ.
      “මුං ටික ආංබං කරන්න බෑ අලි බැලුවත්“
      ආදී වසයෙං ළමහයින්ට බැනීම අපේ ගමේ චාරිත්තරයක්

      Delete
  18. Baby sitting යන්න children watching ලෙසට වෙනස් වූ අයුරු පෝස්ටුවේ මුලදීම වටහා ගතිම්.. හැක්...
    අච්චම්ල තමා දවසටත් ආචචම්මල නැත්ද සුරංගෙ හිහි..

    ReplyDelete
    Replies
    1. ඔය Baby sitting කියන එක සිංහලේට ගන්නවනං කියන්නෙ “බබා ඉඳගැනීම“ කියන එකනෙ. දැං කොහෙද ඉඳං ඉන්න බබ්බු. දැං ළමයි කරන වැඩ බලන්න ඕන. ඒ හිංද ඒක children watching

      Delete
  19. උඹේ පොස්ට් එකක් කියවල ඉවර වෙන හැම වතාවෙම මට හිතෙන්නේ අපරාදේ තව ටිකක් තිබුනනම් කියලම තමයි. උඹේ ලිවිල්ල මසුරන්. පුන්චම්මගේ දූ සිඟිත්තා දැන් ලොකු ඇති නේද බන්.. අනේ උන්ට දැන් මතකත් නැතුව ඇති පුංචි කාලේ උන්ව බලාගත්තේ උඹ කියල.

    ReplyDelete
    Replies
    1. උංට මතක ඇතිග මහඋන්ට අමතකයි.

      Delete
  20. උඹ අපූරුවට හිතේ රූප මැවෙන්න ලියල තියනව... මාත් ඉස්සර සීයත් එක්ක පාන්දර නැගිටලා පොලේ ගියා බුලත් අරං...වෙන මොහොකටවත් නෙවෙයි යන්නෙ, බුලත් පොළ ඉවරවෙලා සීය අරන්දෙන උණු උණු කිඹුලා බනිස්, මාළු පාන් කාල තේ බොන්ඩ...

    ReplyDelete
    Replies
    1. /උණු උණු කිඹුලා බනිස්, මාළු පාන් /

      අපි ඒ ලෙවල් පාඩං කරන කාලෙ පාන්දර දෙකට යනව බේකරියට උණු උණු මාළු පාං කන්න... සජ්ජ ගෙ කමෙන්ට් එක කියවද්දි කටට දැනුන ඒ උණුසුම් රස...

      Delete
  21. යකෝ අර පොඩි එකා බඩගිනියි කියනකල් බකං නිලාගෙන ඉන්න උඹලගේ ආච්චම්මට පුළුවන් උනේ කොහොමද බං...
    මොනව උනත් ලියවිල්ල සුපිරියි මචං...
    දවසේ ඉතිරියත් ඉක්මණට දාපං...

    ReplyDelete
  22. ශ්‍රංගලුතෙංලිව්නැද්ද?

    ReplyDelete
  23. ගමේ කඩේ වැඩ .......අතිශයින් වචනේ මතක නෑ සුරංග ළමයෝ, කියවල සෑහෙන විනෝදයක් ලැබුන.

    ReplyDelete