පොලක් |
“දැන වෙළඳං
නොදැන ගොයිතැං“
ආං එහෙමයි අපේ
ආත වෙළඳං ගැන කියන්නෙ. වෙළඳාම හැමෝටම කරන්න පුලුවං දෙයක් නෙවෙයිනෙ. එහෙම බැරි එවුන්ට කියන්නෙ ගොයිතැනක් කරන්න කියල. මේ
කියන්න යන්නෙ මං කළ වෙළඳං ගැන.
මං පොඩිකාලේ
ඉඳංම එක එක රස්සාවල් කලා කියල ඔය කවුරුවත් දන්නෑනෙ. ආ. ඒකට කමක් නෑ. ඒ අතරිං
වෙළඳාං අතේ වැඩ කරන්න වුනේ කඩේ සහ පොලේ. කඩේ පසුවට තියල දැං කියන්නං පොලේ වෙළඳාං
කළ විදිහ.
අපෙ අම්මගෙ
බාලම නගා කසාද බැංදෙ පොලේ වෙළඳං කරන කෙනෙක්ව. එයා එතකොට මයෙ බාප්පනෙ. ඉතිං බාප්පගෙ
ගෝලය හැටියට පොලේ යන්න මට අවස්ථාව ලැබුනා. ඒ කාලේ මට වයස අවුරුදු දොලහක් විතර ඇති.
ඒ රස්සාවෙ හැටියට මං සිකුරාද හවස සහ සෙනසුරාද වැඩ කරන්න ඕන. ඒ කියන්නෙ මානාන පොලට
විතරයි මං යන්න ඕන. ඒ වුනාට අවුරුදු කාලෙට එහෙම සිකුරාද, සෙනසුරාද, ඉරිද, සංදා
දවස් හතරම වැඩ. තවත් පොලවල් දෙහෙක යන්න ඕන.
සිකුරාද හවසට
ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇහිල්ල හවස් වරුවෙ මං පුබ්බයිසිකලේ අරං මානාන පොලට යනව. ඒ ගිහිං ටික වෙලාවකිං අපේ ගමේ
තිවුනු සෙනග අදින ලොරිය වන හිච්චි මාමගෙ ලොරිය ටවුමට එනව. ඒකෙ දාල පුංචම්ම එවාපු
පහුගිය සතියෙ ඉතුරු අල, ලූණු, පරිප්පු ගෝනි ටික ලොරියෙං බාගෙන කරේ තියං පොලේ
බාප්පට අයිති මඩුවෙං ගිහිං දාන්න ඕන. ඔය වැඩේ ටිකක් අමාරු වෙන්නෙ අපේ ඉස්කෝලෙ මං
අඳුරන අය බස් ඉස්ටෑන්ඩෙකේ හිටියොත්. ඒත් මේ වැඩේ නොකලොත් මගෙ ජොබ්බෙකට කෙලවෙනව. ඒ
හිංද ඒ වගෙ වෙලාවට මං සෙනගට, වාහන වලට මුවාවෙවී අඩියට දෙකට පොල පැත්තට පනිනව.
ඔක්කොම මලු ටික ගෙනිහිං දාල එතන ඉන්න වෙනිං වෙලෙංදෙක්ට අර මලුටික පෙන්නල ‘එහෙනං
බාප්ප එනකං බලාගන්න‘ කියල මං එනව ආපහු. ඒ එනකොට බාප්පත් කොළඹ ගිහිං ගෙදර ඇවිල්ල.
එයා කොළඹ ගිහිං බඩු අරං එව්ව පොලේ එන ලොරියකට පටෝල බස්සෙකේම එනව.
හවස් වෙනකොට
පොලට යන ලොරි පෝලිමට මානාන ටවුම බලා යනව. ඒ සේරම බදුරලිය, පොල්ගම්පොල ආදී පැතිවල
එව්ව.
ඩී.පී.
ජයසිංහ සහ සහෝදරයෝ
තොග
සහ සිල්ලර වෙලෙංදෝ
පොල්ගම්පොල
ඩී.සී.වික්‍රමාරච්චි
සහ පුත්‍රයා
සාමාන්‍ය
වෙලෙංදෝ
ලත්පඳුර
- බදුරලිය
ආදී වසයෙං නං
ගහපු ලොරි පුංචම්මගෙ කඩේ ගාවිං යද්දි මහ හයියෙං හෝන්නෙක ගහගෙන, බාප්ප පේන්න
හිටියොත් එයාට මොකක් හරි විහිලුවකුත් කරගෙන යනව. එදා හවසට බාප්ප පුංචිව කුස්සියෙ
පිලිකන්න පැත්තට එක්ක ගිහිං පුංචිගෙ මූණ දෙපැත්තම ඉඹිනව මං දැකල තියෙනව. ඉං පස්සෙ බාප්ප
එයාගෙ තරාදි පඩි තියෙන ලී පෙට්ටියත් ඉටිකොල පොට්ටනියත් පුබ්බයිසිකලේ බැඳගෙන පොලට
යනව. එයා රෑට ඉන්නෙ පොලේ. බඩු හොරු ගනියි කියල බයට.
පහුවදා
උදේට
යංතං එලිය වැටීගෙන එනකොට බාප්පගෙ උදේ බත්මුල ඇරගෙන මං යනව
පොලට. ඒ වෙනකොට පොලේ වෙලෙංදො සමහරක් අය නිදි. බාප්පනං ඇහැරල දත මදිනව. එයා
මූන
හෝදං ඇහිල්ල කොනක ඉඳං පටං ගන්නව ඉටිකොල එලන්න. මුලිංම මඩුවෙ පිටිපස්ස
පැත්තෙං
බිත්තියක් වගේ හිටින්න ඉටි කොලයක් ඇදල ගැටගහනව. නැත්තං ඒ පැත්තෙ තියෙන මඩ
සහ ජරාව
එක්ක මිනිස්සුන්ට බඩු එපා වෙනවනෙ. එයිං පස්සෙ මඩුවෙ පොලවට එලනව කලුපාට ගනකම
ඉටි
රෙද්දක්. ඒකෙ තියෙන මඩ තට්ටුව ඇති කුඹුරක ලියද්දකට. එයිං පස්සෙ ගන්නව ගෝනි
මිටිය.
අරං එයිං එක එක වෙන වෙනම දිග අතට පොල්ලක් වගේ වෙන්න රෝල් කරනව. ඒ ගෝනි රෝල්
අඩි
දෙකක් විතර පරතරයෙං ගැටි විදිහට අර කලු ඉටි රෙද්ද උඩිං මඩුවෙ ඉස්සරහිං
පේලියට තියනව. එතකොට ඉටිකොලේ සමානව කොටස් වලට බෙදෙනව පාත්ති වගේ. ඒවටත්
උඩිං එලනව
පලාපු ගෝනි පලු වෙන වෙනම. ඒවට තමයි අල, ළූණු, රතුළූණු ආදිය දාන්නෙ. මං ඔය
ගෝනි ටික
එලල දුන්නහම බාප්ප පලමුවෙංම කිලෝ දහයෙ අල ‘කෑල්ලක්‘ ඒකට හලනව. ඉං පස්සෙ වෙන
වෙනම අනික්වත්
දානව. පරිප්පු ජාති දාන්නෙ රතු ඉටි රෙද්දකටයි, කහ ඉටි රෙද්දකටයි. රතු
මයිසූර්
පරිප්පු රතු ඉටි රෙද්දෙ, කහ මයිසූර් සහ වටාන පරිප්පු කහ ඉටි රෙද්දෙ. තවත්
ඉටි
රෙද්දකට උඩිං පත්තර එළල ඒකට හාල්මැස්සං කවරෙත් හලනව. වෙන වෙනම ඉටි කවර වල
මිරිස්,
තුනපහ, කහකුඩු එහෙමත් දාල එව්වට වෙන වෙනම හැඳිත් තියනව. ඒ වැඩේ ඉවර උනහම
මඩුවට
ඉස්සරහිං මිනිස්සු යන එන හරියට උඩිං රතුම රතු පාට ඉටිකොලයක් ඇදල ගැටගහනව.
ඒක අපේ
මඩුව ඉස්සරහ වියනක් වගේ තියෙනව. වැස්සෙං අව්වවෙං ආරක්ෂාවට කියලයි ඒක ගැට
ගහන්නෙ. ඒ
ඉටිකොලේ හරහ එන ඉර එලිය වැදිල මයිසූර් පරිප්පුයි, මිරිස් කුඩුයි, ළූණුයි
රතෙං රතට
දිලිසෙනව. ඒ එක්කම බාප්ප ලී පෙට්ටියෙං ගත්ත තරාදිය මඩුවෙ වහලෙං එල්ලෙන
ලණුවක
ගැටගහල එයාගෙ උසට හදා ගන්නව. ලෑලි පෙට්ටිය එයාට ඉඳගන්න විදිහට තියා ගන්නව.
සොපිං
කවර රුපියල් දෙකේ, රුපියලේ, සතපනහෙ සහ චිකන් කවර වසයෙං වෙන වෙනම කණුවක
එල්ලනව.
පරිප්පු, මිරිස් තුනපහ දාන ගොසරි කවර ටික වෙනම තියාගන්නව.
ඒ එක්කොම ඉවර
කරල ලෑලි පෙට්ටිය අස්සෙං ගත්ත හොඳ ගෝනිය දෙකට නමල තමුං ඉන්න තැනම ඉස්සරහිං තියා
ගන්නව. ඒක අස්පංසසට තමයි සල්ලි දාන්නෙ. ඒ ගෝනියට උඩිං කාසි ටිකක් දාල තියනව. ලොකු
කොල තියෙන්නෙ ගෝනියෙ කටිං අස්සෙ. සාමාන්‍ය කොල තියෙන්නෙ ගෝනියෙ දෙකට නැවිච්ච පලු
දෙක අතර. බාප්ප හඳුංකූරු දෙකක් පත්තු කරල අල, ලූණු, පරිප්පු, මිරිස්, තුනපහ
හාල්මැස්සො සේරටම දුං අල්ලනව. සල්ලි ගෝනියටත් අල්ලනව. අන්තිමට තරාදියටත් අල්ලල
එකක් මඩුවෙ කණුවක ගහල අනික රටළූණු ගොඩේ එක ගෙඩියක ගහනව. ඒ ටික කරල ඉවර වෙනවත්
එක්කම මං කොලෙයක් අරං අද දවසෙ බඩුමිල ලියාගන්නව. ඒක පාඩං කරගන්න ඕන.
පලවෙනි ගනුදෙනුකාරය
ඇහිල්ල බඩු ගත්තයිං පස්සෙ බාප්පට දෙන සල්ලි එයා අතේ මිට මොලවල ‘කරස්‘ කියල
ඇඟිලිගැට කඩනව. ආයෙත් ඒ සල්ලිය ‘හුම්හ්‘ කියල ඉඹිනව. එයිං පස්සෙ තමයි ඉතුරු සල්ලි
දෙන්නෙ.
පලවෙනි
වෙළඳාමෙං පස්සෙ බාප්ප බත්මුල අරං තේ කඩේට යනව කන්න. එයා ගියහම මම රතු පරිප්පු රතු
ගොසරි කවර වලටත්, කහ පරිප්පු කහ ගොසරි කවර වලටත් දාල පන්සීයෙ, දෙසිය පනහෙ පැකැට්
විදිහට ගැටගහනව. මිරිස් කුඩු හා කෑලි මිරිස් රතු ගොසරි කවර වලටත්, තුනපහ කුඩු ලා
කොලපාට කවර වලටත්, කහකුඩු කහපාට කවර වලටත් දාල සීයෙ සහ පනහෙ කවරත් කිරනව. මනුස්සයෙක්
ඉල්ලපු ගමන් දෙන්න පුලුවං හිංද ඒක ලේසියි.
බාප්ප කෑම කාල
එනකොට මං වෙළඳං දෙක තුනක් කරල අහවරයි. තව පැයක් දෙකක් යනකොට පොලේ සෙනග පිරෙනව. ඒ
එක්කම පොල මහා ගාලගෝට්ටියක් බවට පත්වෙනව. හැමෝම මංතරෙයක් වගේ ලාබයි ලාබයි කියනව.
මලු, කූඩ ආදිය එල්ලගෙන එන ගෑනු අය අපෙං ගනං අහනව.
අල
කීයද?
රටාල පංසිය තියයි ලංකාල පංසියතලියයි
බාප්ප ගනං
කියනව. සමහරු ගනං අහල “ස්ඌ“ කියල විස්මය පලකරල යනව. තව සමහරු තෝරල බලල “හරිනැහ්“
කියල යනව. තවත් සමහරු තෝරල දෙසිය පනහක් ගන්නව. ඒ වුනාට බාප්පටම ඇලිච්ච පාරිබෝගික
සෙට්ටෙකක් ඉන්නව. ඒ අය ගනං ඇහිල්ලක් බැලිල්ලක් නෑ ආ ගමං
මට
අල පන්සීයයි ලූනු පංසියයි .............................................. දාල
තියන්න මං එන්නං
කියල යනව.
එතකොට මං ඒ සේරම කොලේක ලියාගෙන බාප්පට කියල කිරෝල ගනං හදල බඩුටිකත් සොපිං කවරෙක
දාල තියනව. ඒ අය ඇවිල්ල
ගාන
කීයද?
අහපු ගමං
බාප්ප එයා ඉල්ලපු බඩු මල්ලට දාල තියෙන තුණ්ඩුව අතට අරං
එකසිය
අනූ පහයි. එකසිය අනූවක් දෙන්නකො
කියනව.
සමහර වෙලාවට
අපේ ඉස්කෝලෙ යන ළමයි හොඳ ඇඳුං ඇඳල සැං පවුඩර් එහෙම දාල අම්මල එක්ක පොලේ එනව. ඒ
වෙලාවට මං මූන හංගගන්නව. නැත්තං ඒ අය හිනහ වෙන්න පුලුවං. දවසක් අපේ පංතියට එහා
පංතියෙ කෙල්ලෙක් තව කෙල්ලෙක්ට මාව පෙන්නල.
අර
ලමෙය පොලේ මුදලාලි කෙනෙක් ගාව බඩු කරගහනව
කිව්ව එක මට
හොඳට මතකයි.
සමහර වෙලාවට
මට ගනං මතක නැතිවෙනව. ඒ වෙලාවට බාප්පගෙං රැවුමක් ගෙරවුමක් වරදින්නෙත් නෑ. දවල්
වෙනකොට සමහර බඩු භාණ්ඩ විකිනෙන්නැති හැඩක් පේන්න තිවුනොත් බාප්ප මාව ක්‍ෂේත්‍ර
චාරිකාවක යවනව.
ගිහිං
ලංකාල කීයද කියල බලං වරෙං
මං බාප්පගෙ
ගෝලය කියල දන්න හිංද පොලේ වෙලෙංදො මට ගනං කියන්නෑ. ඒ හිංද මං කරන්නෙ පාරිභෝගිකයො
වෙලෙංදංගෙං ගනං අහනකං ඉඳල ඒව මතක තියාගන්න එකයි. තැං කීපෙක රස්තියාදු ගහල ගනං
අහගෙන ඇවිල්ල මං බාප්පට කේලම කියනව.
රංසිය
ගාව තිස්පායි, සුමතියයි කලුවයි දෙන්න ජරාවක් ගෙනැත් තිහට දෙනව. ඒකට තමා සේරම සෙනග
යන්නෙ. උං තෝරන්න දෙනව.
බාප්ප මිල
සංශෝධනය කරනව. ඒ අනුව නවමිල රුපියල් තිස්පහයි. මං මගෙ මිල දර්ශනයත් සංශෝධනය තරල
සාක්කුවට දාගන්නව. මිනිස්සු තෝරල ආසනාසි කරපු අල, ලූණු ගොඩවල් එක්කහු කරල ආයි
ගොඩවල් ගහනව. ඔය අතරෙ තියෙන පැත්තක් නරක් වෙච්චි අලයි ලූනුයි මං වෙනම කවරෙකට
එක්කහු කරනව. ඒවගෙ නරක් වෙච්චි පැත්ත කපල දාල හොඳටික කන්න ගන්න පුලුවං. මං ඒ ටික
ගෙදර ගෙනත් අම්මට දෙනව මට බැදල දෙන්න කියල.
ඔය අතරෙ සමහර
වෙලාවට සල්ලි මාරු කරගන්න වෙනව. ඒවගෙ වෙලාවට බාප්ප මට රුපියල් පන්සීයක් දෙනව.
මාරු
කරං වරෙං
කියල. එතකොට
මං ගිහිං වෙලෙංදො කීප දෙනෙක්ට වැඳල යංතං ඒක මාරුකරං එනව.
දවල් එක විතර
වෙනකොට පුංචම්ම අපි දෙන්නට බත් අරං පොලට එනව. බාප්ප මුලිංම ගිහිං කාල එනකං පුංචම්ම
ලොකු මුදලාලි වෙලා පෙට්ටිය උඩිං ඉඳගන්නව. බාප්ප මාසෙකටම සැර කරන ටික ඒ පැය බාගෙට
පුංචි ගොරෝනව. පුංචිගෙ කටේ සැර හිංද වෙලඳං බහින්න පුලුවං බව දන්න හිංද බාප්ප
ඉක්මනට කාල එනව. එයිං පස්සෙ තමයි මං කන්න යන්නෙ. මාත් කාල ආවට පස්සෙ බාප්පගෙං රුපියල්
දාහක් විතර ඉල්ලගෙන පුංචි යනව යන්න.
හවස වෙනකොට
බඩු ගේන ලොරියෙ මුදලාලි ඇවිල්ල කොළඹ ඉඳං බඩු ගෙනාවට සල්ලි ඉල්ලගන්නව. එයා ගනං හදල
බලල කිලෝ එකට රුපියල ගානෙ අය කරගන්නව.
හැන්දෑ වෙනකොට
සෙනග ඇහිල්ල ඉවරයි. සෙනග එකා දෙන්න යන එන අතරෙ මං බාප්පගෙං අවසර අරං හඳුංකූරු
විකුණන වෙලෙංද හම්බෙන්න යනව. එයා ගාව තියෙන ‘පංචාවතී‘ හඳුංකූරු පැකැට්ටෙකක්
රුපියල් පහක් දීල ගන්නව. ඒ හඳුංකූරු අඟල් දෙකකට වඩා දිග නැති උනාට සුවඳයි. ඒව
පත්තු කරල පැකැට්ටෙකේම තියෙන සිදුරක ගහන්න ඕන. සමහර වෙලාවට පරණ රෙදි හෝදල ගෙනත්
විකුණන ආච්චිගාවට ගිහිං මගෙ සයිස්සෙකට හරියන සුදු කලිසං තියෙනවද බලනව. මං මගෙ
මුල්ම සුදු කලිසම ගත්තෙත් එතනිං රුපියල් හැත්ත පහකට. ඉස්කෝලෙං දෙන සුදු රෙද්දෙං
මහන්න පුලුවං එක සූට්ටෙකක් විතරයි. ඒක හිංද මං මගෙ සති තුනක පඩි එකතු කරලයි ඒ
කලිසම ගත්තෙ.
හැන්දෑවෙ
පහමාර හය වෙද්දි පොලේ එන සෙනග ඇවිල්ල ඉවරයි. ඒ වෙනකොට පොළ අකුලන්න පටං අරං. පැකැට්
බඩු සේරම වෙන වෙනම කවරවල දාල අහුරන්න ඕන. ගොඩවල් ගහල තියෙන බඩු වෙන වෙනම ගෝනි වලට
අහුරන්න ඕන. පත්තර, සොලිං කවර ආදිය ලැලි පෙට්ටියට දාන්න ඕන. තරාදියත් දාන්නෙ ඒ
පෙට්ටියටමයි. තෙමිච්ච ඉටිකොල තියේනම් ඒව වෙනමම මිටියක් බඳින්න ඕන. බඩු ගෝනිවලට දාන
වැඩ තනියෙං පුලුවං උනාට බාග, කාල වගේ පිරිච්ච ගෝනි දෙක තුනක් එක්කහු කරල එක කවරෙට
දානව වගේ වැඩ තනියෙං බෑ. බාප්පත් ඒ වැඩ වලිං ටිකකට උදව් වෙලා ඉං පස්සෙ සල්ලි ගනං
කරනව.
ගෝනි වලට
දමාපු බඩු වෙන වෙනම ගැට ගහල ඒව මාරුවෙනවට මාකර් පෑනෙං බාප්පගෙ නමේ කෑලි දෙකේ මුල්
අකුරු දෙක ලියනව. ඒ අකුරු දෙක දැක්ක ගමං නාට්ටාමි දන්නව කාගෙද මේව කියල. ලොකු බඩු
මලු නැත්තං අපි දෙන්නම බඩුටික ලොරියට පටෝනව. එතන එකම යුද්දෙයයි.
“මොක
හු** කරන්නෙ. දිය ඔය ප** උඩට ටිකක් උස්සල“
“ඒකනං
දෙන්න බෑ මෙතන. වර ආං අර මුල්ලට“
“ගං
මේක විගහට බි** කහ කහ ඉන්නෙ“
“හූ....
හීං ඇටේ හූ“
ඔය අතරෙ එනව
පොල අතුගාන අය. ඒගොල්ලං බිම බලාගෙන බොහොම පරිස්සමට ඇවිදිනව පරන ගෝනියක් අතිං අරං
කරේ එල්ලගෙන. එකෙක් ලීස් සුද්දකරපු තැනක බිම ඉඳගෙන ඒ කොල ගොඩ තෝරනව. තව එකෙක් ගෝව
සුද්ද කරල අහක දාපු කොල ගොඩක් ළඟ ඉඳං ඒකෙ කොල තෝරනව. ඉඳල හිටල එතෙන්ට එන හරකෙක්ට
කෙහෙල් ආරෙකිං ගහල එලෝල ඒ අය දිගටම තමුංගෙ වැඩේ කරගෙන යනව. අපි ඉන්න මඩුව හරියෙ
උංට එන්න දෙන්නෑ. උං “ලෝක හොරු“ හැටියට බාප්ප මට හඳුන්වා දීල තියෙන්නෙ. මං දවල්
දවසෙ එකතු කරපු බාගෙට නරක් වෙච්චි අල ලූණු මල්ල මඩුවෙ වහලෙං එල්ලනව. බඩු පටෝල අහවර
වෙලා සල්ලි මල්ලෙං ටෝච්චෙක අරං මඩුවෙ බිම හැමතැනම පරික්සා කරනව. ඔය විදිහට ඉස්සර
දවසක් බාප්පට බිම තිවිල රුපියල් පනහක් හමුබවුනාලු. බිම අස්සක් මුල්ලක් ගානෙ
බැලුවහම අතට අහු නොවිච්ච අලෙයක්, ලූණු ගෙඩ්ඩක් එහෙම සමහර වෙලාවට හම්බුවෙනව. එව්වත්
මගෙ බාගෙට කුණු මල්ලට යනව. අහක දාපු සොපිං කවර පවා ගසල බලල සැකහැර දැනගෙන අපි යන්න
යනව.
මඩුවෙ
පිටිපස්සෙ තියෙන පුබ්බයිසිකලේ අරං බාප්පයි මායි ටවුමෙ හෝටලේකට යනව. බාප්ප ගොඩක්
දවසට යන්නෙ ගීතිකාලගෙ හෝටලේට. ආං එදාට බොක්ක ගැහි ගැහි මං ඉන්නෙ හොස්ස බිමට පාත්
කරගෙන. සමහර දවස්වලට ගීතිකා කඩේ හිටියොත් මං මුල්ලකිංම ගිහිං වාඩිවෙනව. තමුංගෙ
පංතියෙ හතරවෙනිය වෙච්චි එකා කුණු නාගෙන, ලූණු හාල්මැස්සං සුගන්ධයෙන් යුතුව තමුංගෙ
කඩේ ඉන්නව දැක්කොත් පහුවදාට පංතියෙ හැටහුටාමාරක් ඉදිරියෙ ඕකි මගෙ සායම අරින බව මං
හොඳටම දන්නව. දෙපැත්තෙං වේපස් තට්ටු දෙකක් තියෙන පාට තුනේ කේක් කෑල්ලක් කාල සීනි
දාපු පේන්ටියක් බීල බාප්පයි මායි පාරට බහිනව. එතකොට පොලේ අහකදාපු ලීස්, ගෝව කොල
අහුලපු අය ඒව පුරෝපු ගෝනි අරං හෝටලේ පස්ස දොරෙං කුස්සියට රිංගනව.
බාප්ප
බයිසිකලේ පාගද්දි එක අතකිං සල්ලි බෑක්කෙකත් අල්ලගෙන අනික් අතිං ටෝච්චෙකත් අල්ලගෙන ඒ
අතේම මගෙ සාගත මල්ලත් එල්ලගෙන මං බයිසිකලේ පොල්ලෙ ඉඳං ඉන්නව. ඉස්සරහට එන වාහනවල
එලිය ඩිම් කෙරුවෙ නැතොත් ටෝච්චෙක ඒ වාහනේ මූනට අල්ලල පත්තු කරල නිමන්න ඕන දෙපාරක්.
එතකොට ඒ වාහනවල එලිය පාතට කරනව. එහෙම නොකරපු වාහනයක් අපිව පහුකරද්දි බාප්ප
“බොගෙ
අම්මට හැ**** වේ* බල්ල“
කියල ඒ රථයෙ
රියදුරාට සුභාසිංශන පතනව.
අපේ ගේ ගාවිං
මාව බස්සල සල්ලි බෑක්කෙක ඇදල රුපියල් තිහක් ඇරං බාප්ප මගෙ අතට දෙනව. ඒ තමයි මගෙ
පඩිය. මං කරුවලේම පල්ලම බහිනව. වෙනද වගේම අම්ම දොරකඩ බලං හිටල මං එනකොට ගෙට යනව.
අදත් තාත්ත බීල. එයා ඇස් කරකෝල මගෙං අහනව
“තෝ
කොහෙද බල ගියෙ?“
“පොලේ
ගියා. බාප්ප එක්ක“
තාත්ත
තොරතෝංචියක් නැතුව මට බයින්න පටං ගන්නව. නාගෙන ඇහිල්ල බත් කාල නිදාගන්නකනුත්
බනිනව.
“තොට
මේ ගෙදර එක වැඩක් කොරන්න බෑ. එක එක වේ** පුතාල එක්ක අවලමේ යන්න පුලුවං. තෝ දැං
මහලොකු එකෙද්ද බොල? ඇහ් ක්හ්ං.......................................“
ඇඟේ මහංසියට
මට නිංද යනව. මට සංතෝසයි . මාත් හම්බුකොරන මිනිහෙක්. හෙට උදේට අල, ලූණූ එකට දාල
බැදුමක් කෑහැකි.
Puka dige roos paaan. Ada pole gihin mama eka.. Danga dagan danga dagan...
ReplyDeleteඒයි මෙන්න මෙයා නටනෝ
Deleteළමා ශ්‍රමිකයෙකුගේ කතාව අනුවේදනීයයි
ReplyDeleteඒකාලෙ හැටියට ඒක එතරම් ලොකු දෙයක් නෙවෙයි. ගොඩක් ලමයි ඔහොම වැඩ කලා.
Delete//එදා හවසට බාප්ප පුංචිව කුස්සියෙ පිලිකන්න පැත්තට එක්ක ගිහිං පුංචිගෙ මූණ දෙපැත්තම ඉඹිනව මං දැකල තියෙනව.//
ReplyDeleteඑදා හවසට විතරක්? :P
//පරිප්පු ජාති දාන්නෙ රතු ඉටි රෙද්දකටයි, කහ ඉටි රෙද්දකටයි. රතු මයිසූර් පරිප්පු රතු ඉටි රෙද්දෙ, කහ මයිසූර් සහ වටාන පරිප්පු කහ ඉටි රෙද්දෙ.//
පාටවලින් වැඩක් ගන්න හැටි බාප්පා දන්නවානේ?
//චිකන් කවර//
මේ මොනවද?
චිකන් කවර කියන්නෙ අඬු දෙක තියෙන ප්‍රමාණයෙන් කුඩාම සොපිං කවරෙට. එකක් රුපියලක් වගේ තමයි වෙන්නෙ. පොඩ්ඩි කඩේට ගිහිල්ල ඉල්ලල බලන්න. හැබැයි ඉතිං හොඳට මතක අැතිව චිකන් නැති කඩේකිං ගිහිල්ල ඉල්ලන්න. නැත්තං කවරෙත් එක්ක කුකුළෙකුත් හම්බවෙයි. :D
Deleteඅනික් දවසටත් ඒ දෙන්න ඉබගන්නව. මට කියලා තියෙන්නේ ඒ වෙලාවට අහක බලාගන්න කියලා
Deleteමම නම් හිතන්නේ අර ලොරියෙයන උන් බාප්පට කෑගහගෙන යන දේවල් ඔස්සේ බාප්පා වැඩිදුර කල්පනා කරලා සිද්දවෙන දෙයක් තමයි ඔය ඉඹිල්ල.
Deleteඔච්චර මැරිලත් දුන්නෙ තිහද ස්‍රන්ග? දුක හිතෙනව .
ReplyDeleteමොකක් කරන්නද? ෂූරාකෑම
Deleteපොලේ කෙරුවාව ඔහොම තමයි නේද? දැං දැං නං පොලේ වැඩට ලමයි යනව මං දැකල නෑ. සුරංග මාර මහන්සියක්නෙ වෙන්නෙ රුපියල් තිහකට...
ReplyDeleteහෝටල් කෑම නං අරහං උනා ඈ...
ටවුන් වල කොයි හෝටලෙත් ඔහොම තමයි.
Deleteඅපෝද කියන්නෙ හෝටල් කෑම. මම නං දන්න එකම හෝටලෙයයි තියෙන්නෙ කුණු නැතුව කෑම දෙන
Deleteඅදනං ස්‍රංගගෙ පොළේ වෙළඳාම ගැන සෑහෙන්න විස්තරයක් තියෙනව.
ReplyDeleteඔය පොළවල් වල ඉන්නකොට කුණුහරුප ෆිල්ටර් එකක් කන්දෙකට දාගෙන තමයි ඉන්නෝන. නැත්තං ඒව කුණුහරුප කියල අමතක කරන්න ඕන.
ඔය බිමට එලන ලොකු ගෝනියට/ඉටිකොලේට කියන්නෙ පඩංගුව කියල.
සජ්ජගෙත් තියෙන්නෙ පඩංගුවක්නං...
Deleteඒක බිමට එලන්න බෑ බොල. ඒක එලන්න පුලුවං මොනිටරේට.
Deleteපඩංගුව කියන්නෙ ගෝනියට විතරද ප්‍රසා...?
Deleteගෝනිය හෝ අර පොලිතින් වලින් එන ලොකු රෝල්වල තියෙන පාට පාට ඉරි තියෙන එක හෝ මොකක් හරි බිමට එලන එකට.
Deleteමෙයා දන්න දේවල්...
Deleteඊලඟ පාර ලංකාවට ආව හැටිය ප්‍රසා එක්ක චිකන් බෑග් ගන්ට යනවලු...:D
චිකන් එක්ක බෑග් ලු.
Deleteනෑ බොල මං ඇහුවෙ වෙන එකක්.
Deleteඔය චිකන් කිව්වම මතක් උනේ. අපේ එකෙක් කුකුල් මසක් ගේන්න ගිහිං කඩේ එකා ඇහුවලු
Delete“මහත්තෙය අර බහිරවය කියන එකෙං දෙන්නද?“ කියල
හෙහ්..බහිරවය..ඒක මරු බං...:)
Delete"ඇඟේ මහංසියට මට නිංද යනව. මට සංතෝසයි . මාත් හම්බුකොරන මිනිහෙක්. "
ReplyDeleteමේං මේ කැල්ලට සතුටයි දුකයි එකතු වෙච්ච (අනුකංපාවක්ද... සාංකාවක්ද) මංද මොකද්දෝ මෙවුව එකක් හිතට දැනුන..
බොලා ගේ විස්තරේ කියෝන කොට මට මතක් උනේ අනූ ගනං වල මුල මැනිං මාර්කට්‍ටුවෙ තාත්තගෙ එලෝලු බක්කියේ විස්තරේ. බොලා සිල්ලරනෙ වික්කෙ. මම තොග උදේ 9ට විතර කෑල්ලක් කඩල සිල්ලරත් වික්ක. පිටෝටුවෙ මාර්කැට් එකේ ආතල් කෝටියයි බං....
මැනිං මාරකැට් එකේ මාත් දවසක් දෙකතුනක් ඉඳල තියෙනව. උදේ පහාමාරට, හයට විතර නැගිටල එන්නෙ ගෙදරින්. ආතල් කියන එක කියල වැඩක් නෑ තමයි. හැබැයි ඉතිං ඒකෙ ඉඳල විස්තර ලිව්වනං ස්‍රංගයට ලියන්න වෙන්නෙ **** ටිකක් විතරයි.
Deleteඑහෙනං එහෙනං කුණුහරුප කියන්නෙ වැඩකරන ජනතාවගෙ භාෂාව. හරිනං මැයි දිනේට පෙලපාලි යන්න ඕන.
Delete“දියව් දියව් අපට දියව්. දෙන හු*** අදම දියව්. ලොකු ප*** අපට දියව්“
ආදී වශයෙං සටං පාට කියලයි.
ලාබයි ලාබයි කියලා කෑ ගැහුවෙ නැද්ද බං...?
ReplyDeleteමට එහෙම කෑගහන්න ලැජ්ජ හිංද තමයි මගෙ පඩිය අඩු උනේ
Deleteඑකදිගට කියවන් යන්න ආසා හිතෙන විදිහට ලස්සනට ලියලා තියෙනෝ..........
ReplyDeleteස්තුතියි ආරියන්
Deleteඔය ගම්වල කොටු පනින කේස් එහෙම තිබුනෙ නැද්ද ?
ReplyDeleteචික්කිතරක් අහන එව්ව. (තිවුන තිවුන. නැතුව මොකදැ තිවුන)
Deleteමරවල වැඩ අරන් රුපියල් 30 ද දුන්නෙ , නිකමටවත් මාටිය ගහන්න හිතුනෙ නැද්ද?
ReplyDeleteඅපිත් ඉස්කෝලෙ යන කාලෙ වැලි ගොඩ දැම්ම එක ටැක්ටර් ලෝඩ් එක 100 යි.
ඒක මෙහෙමනෙ. මං වැඩිය ලාබයි කියල කෑගහන්නෙ නෑ. මට ගනනුත් බැයිලු. මෙලෝ සියෙං එන්නෙත් නැහ්ලු. කොටිම්ම මයෙං වැඩක්ම නැතිලු. ඒක හිංද මට පිනට වගේ රුපියල් තිහක් දෙනවලු.
Deleteතාම ඉන්නවද ඕකා , යාන්තමට මතක් කරල දියං ,,,, පුචේ පුචේ ගාගන එනකොට
Deleteඅමු රහයි පැණි රහයි කුණු රහයි ඔක්කෝම තියෙනවා. හරියට පළතුරු කඩවල හදන පෘෘට් සැලඩ් එක වගේ.පොල සජීවි කරණය කරලා තියෙනවා.හැබැයි මරුසි ආච්චම්මත් පොලට ඇන්න ගියා නම් ඔය බඩු ආයෙ ගෙදර ගේන්න ඉතිරි වෙන එකක් නෑ මයෙ හිතේ. උන්දෑ මිනිස්සු මරලා හරි ඔක්කෝම විකුණාවි.
ReplyDeleteඅපේ ආච්චම්මගෙ වෙලදං ගැන මං හීං සීරුවෙ කියන්නංකො. හෙක් ඒක වෙනමම කෝස්සෙකක්. ඇග කිලිපොලා යනව
Deleteසුරංගම්ල්ර් ගේ පෝස්ට් මට ඉතා විශේෂයි.
ReplyDeleteපලමු හේතුව. මං ආසම කතා ජාතියක් තමයි අතීත අත්දැකීම් memoirs. මං කියවන්න කැමති මගේ කාලයට ඉස්සර, එහෙම නැත්නම් මගේ ලමා කාලයේ ඒවා. සුරංගම්ල්ර් ලියන්නෙ ඊට ගොඩක් මෑත ඒවා. ඒත් මට මේවාගේ ශයිලිය නිසා පරණ කාලයේ ඒවා කියවන තරම් වින්දනයක් ලැබෙනවා. සමහරවිට ඊටත් වඩා.
දෙවනි එක. මන් සාමාන්‍යයෙන් ස්ක්‍රීන් එකෙන් වැඩිය කියවන්න ආස නෑ.
ආස පොත් හාර්ඩ් කොපී තමයි. එනිසා දීර්ඝ පෝස්ට් කියවන්න අමාරුයි. මට සුරන්ගම්ල්ර් ට දෙන්න පුලුවන් හොඳම කොම්ප්ලිමන්ට් එක තමයි ... මට සමහරවෙලාවට අමතකවෙනවා මං මේ කියවන්නේ මං ආස නැති e මාධ්‍යයෙන් නේද කියල. ( හැබැයි මේක පොතක් කලොත් මං තවත් හුඟක් ආසයි )
මන් එකදවසක් කිව්ව වගේ " මගේ හපන්කම් " සෝවියට් පොත හැමදාම මේ බ්ලොග් එක කියවන කොට මතක් වෙනවා.
සුරංගම්ල්ර් කියවල තියනවද විජයතුංගගේ Grass for my feet ? ඔබට ඊට වඩා හොඳට ලියන්න පුලුවන්. සුරංගම්ල්ර් 1900- 1930 අතර ඉපදිලා පොතක් ලිව්වොත් ඒක මගේ favorite memoirs වෙයි. දැනටත් ෆේවරිට් බ්ලොග් memoir ( අනිත් අය තරහවෙන්න එපා. මේක වෙනම ශයිලියක්. වෙනම කැටගරියක් )
ප්‍රා , මමත් සුරංගගෙන් ඉල්ලුව ආච්චම්මගෙ කතා විතරක් නොලිය වෙන එකක් ලියන්න කොහොමද බල්ලන්න කියල, ඇත්තටම සාර්ථකයි. මටත් හිතුන දෙයක් තමයි සුරංග අවුරුදු 40- 50 කට පෙර අතීතය ලියන වයස කෙනෙක් උනානම් අපේ වයසට තවත් ගොඩක් රස විදින්න තිබුන.
Delete( ආච්චිගෙ කතාත් ලියපන් අමතක නොකර )
දෙන්නම කියන හිංද ආයෙත් ගේන්නංකො උංදව කරලියට. Grass for my feet නං කියෝල නෑ. හොයාගන්න ඕන.
DeleteGrass for my feet එකේ පරිවර්තනයකුත් තියනව. " මා පයට තණ නිල්ල "
Deleteමම දන්න යාලුවෙක් ඉන්නවා ඌත් පොලේ බඩු වික්කා අද වෛද්‍යවරයෙක්
ReplyDeleteමගෙ යාලුවෙක් පොලේ බඩු විකුණල මලා
Deleteඑහෙනං එහෙනං දුප්පත් මිනිස්සු තමා එහෙම ගොඩ යන්නෙ. දැන්නං දොස්තරලත් වෙලෙංදොනෙ.
Deleteමොකෑ අර මළේ
මලා ඇනෝ දැකපු කල්
Deleteතොරණේ සම්පුර්ණ විස්තරේ අඩුවක් නැතුවම ලියල තියෙනවා...
ReplyDeleteහෙනං ලොක්කයියෙ. බෝ මට අර රා පොට්ටෙක තියෙන තැන කීවෙ නෑ.
Deleteඒවා තියෙන්නේ අත්වැල්තොට පැත්තේ...
Deleteපැලෑඳ පැත්තෙ ඉන්න මිතුරු තොමෙකුත් සමහර වෙලාවට ඒ උදව්ව කරනවා...
අත්වැල්තොට නම් මට ඒ උදව්ව කරන්නේ මගේ මාතලී කෙනෙක් සහ අපේ තාත්තගේ මිත්‍රයෙක්, මලක් හැදුවොත් මට කෝල් එකක් දීලා කියනවා...
එන බව කිව්වේ නැතුව අහම්බෙන් ගියොත් උන් දෙන්න බීල ඉවර කරපු හිස් මුට්ටිය තමයි දකින්න වෙන්නේ...
ඔය කොතනටත් පෙර දැනුම් දීමක් කරලා යන්න ඕනේ...
තව අපේ ගෙවල් අහල පහල අස්සකට වෙන්න පොල් රා පොට් එකක් දාල තියෙනවා.
ඒක දාපු මුල් කාලේ ඒ කිව්වේ 2001, 2002 වගේ කාලෙකදී ඒවා පාවිච්චි කලා ඇරෙන්න මෑතකදී ඒ පැත්තේ ගියේ නැහැ...
එතන හරි අපුරු සමාජයක් තියෙන බවක් මිත්තරයෙක්ගෙන් දැන ගත්තා...
වෙලාවක ඔළුව දාල බලන්න ඕනේ...
මමත් දවස් දෙකතුනක් පොලේ ගිහින් තියෙයි. බඩු අරගෙන නෙවෙයි. මගෙ යාලුවෙක්ගෙ අම්ම පොලේ බිස්නොස් කරා. ආසාවෙන් කියවන්න පුලුවන් විදිහට මේ කතා ලියල. මමත් මේ ඉට්ටැයිල් එකට ලියන්න ටරයි එකක් දාලා බලන්නෝනෙ.
ReplyDeleteඅනේ මලේ දැංවත් පොල පැත්තෙ යන්න. තව ටික දවසිං ඕකත් ඉවරයි
Deleteපරන අතීතයන් මතක් වුනා.මම ඉස්කොලේ නිවාඩු මාසේක ජොලියටත් එක්ක බාප්පගේ පුතත් එක්ක නුවරඑළියේ පොලේ ගියා පලතුරු විකුනන්න..හොද ආදායම..
ReplyDeleteහවස් වේගෙන එනකොට ක්ලාස් එකේ කෙල්ලෝ ටිකක් කඩාපාත් උනා එතෙන්ට.කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා..උන් මාව අදුරන්නේ නැ වගේ සල්ලි දීලා මට අරවා මේවා කියලා අඹගෙඩි වගයක් අරගෙන ගියා...
ආං අවස්ථාව . ඔය ඉල්ලලම අඹ අරගෙන ගිහිං තියෙන්නෙ
Deleteසැහෙන කාලෙකින් එන්න බැරි වුන සුරංග ළමයෝ. කටවහක් නැහැ විශිෂ්ටයි. සෑහෙන්න දුකයි හැබැයි කියවන කොට. අනිත් යටත් කියවල සතුටු වෙන්න මෙතන දැම්ම.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1218-02
ආං මං මේ කියන්න හිටියෙ. මේ මාත් හරි ආසයි ඔය රුසියාව කියන රට ගැන විස්තර දැනගන්න. අනේ ලියන්නකො බලන්න ඒ ගැන තොරතුරු බිඳක් (බිඳක් කිව්වෙ පිටු හැට හැත්තෑවක්)
Deleteඅපොයි පොතක් ලියන්න වෙයි වගේ.
Deleteඅති විශිෂ්ටයි... බාප්පුච්ච තාම යහතින් ඉන්නවයි මචන්..
ReplyDeleteඔව්. මිනිහගෙ ජීවිත කාලෙං හොඳ හරිය අහවරයි.
Deleteඅඩේ ආච්චි අම්ම එක්කොරගෙන පොලේ ගිය කතා එහෙම නැතෙයි.
ReplyDeleteකාලයක් මම නැවතිල හිටිය ක්වාටර්ස් එක තිබ්බෙ පොළත් එක්කම උඩහින්. එහෙ පොල තිබ්බෙ බදාදා. කලින් දවසෙ රෑම එනව වෙළෙන්දො. අපිත් ඔය හෙමිහිට යනව රෑවෙන්ට ඇරල පොළ පැත්තට. අපිටම සෙට් වෙච්ච මැදිවයසෙ වෙළෙන්දො දෙතුන් දෙනෙක් හිටිය. උං එක්ක මලක් කාරිය ගහල උංගෙන්ම සක්මහර දවසට බතුත් කාල එනව. ඒ ගැන තියනව සෑහෙන විස්තරයක් ලියන්න.
ReplyDeleteප්‍රා එක්ක එකඟයි. සුරංගගෙ මතක සැමරුම් අති විශිෂ්ටයි....:)
Math pole pol wikunanna udawu Kerala wathawak rupiyal hathalihak Hamba Karen thiyenawa.. kohomada Polak dawasata wessama thiyena charter Eka..
ReplyDeleteමචං සුරං තමංගෙ මහන්සියෙන් හම්බ කරපු මුදලක් අතට ගත්තම මාරම පීලිං එකක් තමා ඔය කාලෙට දැනෙන්නෙ මචං. මම පොඩි කාලේ සල්ලි හොයන්න කොප්පරා වේලල තියෙනව. පොල් කටු පුච්චල අඟුරු විකුනල තියෙනව ආයෙ පොල් ඉරට ගාලත් තියෙනව. මම ඉස්සෙල්ලම ජොබ් එකක් කලේ උසස් පෙල ඉවර වෙලා ලඟ තිබ්බ පොල් ලෙලි රට යවන කොම්පැනියක රු 10,000 පඩියට වැඩ කරා. පස්සෙ කැම්පස් යද්දි පොඩි රිසර්ච් එකකට සෙට් වෙලා වැඩ කලා පැය 3ට රු500ට. හෙහ් පස්සෙ කැම්පස් අවුට් වෙලා පොල් කැඩුව (PP) දවසට 4000යි. මචං උඹේ ලියවිල්ල නම් සුප්ප මචං. මේ පෝස්ට් සේරම කියවන ගමං!
ReplyDelete