Sunday, May 20, 2018

දානෙ 3

ඊළඟ වටේ පටං ගත්තෙ රෑ අටට විතර.

“අම්මෙ මට ලොකු තාච්චියක් එහෙම ඕනි“

චූටි මැණීකේ තමුංගෙ මෑණියන්දෑ ඇමතුවා.

“දැං මොකටෙයි සුදු පුතේ තාච්චි? උදේට තිවුනං මදෑ“

“දැං ඕනි. කට්ලිස් හදන්න එපෑ“

“දැං ඔව්ව හදා තිව්වම පොඟනවනෙ සුදු පුතේ. අනික පින්නි වෙයි හෙට දවල් වෙත්දි. කඩවල්ලොල කරන්නා වගේ අපිට ලේසිවට සවුත්තුවට දෙන්න නරකයි. දානයක්නෙ.“

මේ වගේ වෙලාවට මට කට පියාගෙන ඉන්න අමාරුයි. ඒ හින්දා කට ඇරියා.

"අපි එව්ව සේරම බැදල අරං එවලෙම ලැමිනේට් කරනව. එතකොට පොඟන් නෑ"

ඒ හරුපෙ මොකද්ද තේරුං ගන්න බැරුව නැන්දම්මා උඩ බිම බලද්දි චූටි මැණිකේ මට දුන්නු අවවාදය ඉංග්‍රීසියෙන් ලියන්නෙ මෙහෙමයි.

"Man, close your mouth" (මෙතැන Man = මනුස්සයෝ, Your = තමුන්නෙ, mouth = හැකර කට වෙන්න ඕනැ)

ඉං පස්සෙ තව ටිකක් පැහැදිලිවට කාරණාව කිව්වා. 

“නෑ නෑ අම්මෙ දැං ඒ ටික හදල තියල උදේටයි තෙලේ දාල බදින්නෙ“

“අනේ මංද. මං ඔය විපිරියාස කෑම හදන්න දන්නෑනෙ. ආං අර මේසෙ යට ඇති තාච්චියක්. මේ ලිප ගාව යටත් ඇති ඕන්තරං. එයිටත් ලොකු එකක් ඕන්නැං අටුවෙත් ඇති. ඕන එකක් ගන්නකො. මං යනව විස්නු දෙයියංගෙ කතාව බලන්න“

නැන්දම්මා බත් පිඟානත් අරගෙන අඩි තුනට සාලෙට පැනගත්තා. මං මේසෙ යට තිබුණු විසාල තාච්චිය එලියට ඇද්දා. බල්ලෙක් නාවන්න ගෙනියන තරං වෙර වීරියෙං ඇද්දට පස්සෙ තාච්චිය එලියට ආවා. ඒක පුරෝල තිබුණු දේ දකින ඕන කූඹියෙක්ට සන්තෝසෙට සිහි නැතිවෙනව.

“ආ... ඒකෙ පැණි“

ආයිමත් අපි කුස්සියෙ ඉඳං කෑ ගැහුවා. ඒ අතරේ මං මේස හැන්දක් තාච්චියට ඔබලා පැනි ඩිංගක් අරං කටට හලාගත්තා...///// කිතුල් පැණි කොච්චර කෑවත් දයබිඩිස් හැදෙන්නෑ. සීනි වගේ නෙමෙයි.

“අම්මේ...“

“ඇයි ළමීනේ“

උත්තරේ සාලෙං ලැබුණා.

“මේකෙ පැණිනේ.“

“එහෙනං ඉතිං වෙනිං එකක් ගන්න“

අපි ලිප ගාව යට තිබුණ හැලි වලං ගාල ඇදල බැලුවත් එතන තිබුණෙ ආප්ප තාච්චියක් විතර පොඩි එකක්. ඒක ඇතුලෙ හිටපු යන්තං රැවුල ඇදිච්චි, සාමාන්‍ය පෙළ ලියන වයසෙ කරදලි ටිකකුත් අපිව දැකල ලැජ්ජාවෙන් හට්ටියක් අස්සෙ රිංගල හැංගෙද්දි උං අතර හිටපු ගුවන් දලියෙක් ඉගිලිලා ගියා. අපි ආයිමත් කෑ ගැහුවා.

“මේක මදි.“

“අනේ ඉතිං ළමයො ඔය එකක් හොයා බලල ගන්නකො. හැම දේම මං අතට දෙන්න ඕනද? පිට ගෙදරක වගේනෙ හැසිරෙන්නෙ“

ගේ වටේ රවුමක් ඔතන්න තරං දිග නෝක්කාඩුවක් සාලෙං ගලාගෙන ආවා. 

“අටුවෙ තියෙනව කියපු එකවත් බලමුද“

දිගං නැන්දා මගෙ දිහා බලල කිව්වා. ඕං පිරිමියෙක් වෙන එකේ අවාසිය.

"ටෝච්චෙකක් නැතුව කොහොමද මේක උඩට නගින්නෙ. තිත්තපල් කරුවලයි."

මං ගැලවීමට කරුනු ඉදිරිපත් කලා.

"මල්ලී... ඔය ටෝට්චෙකක් ගෙනත් දෙනවකෝ.."

චූටි මැණිකේ පිඟං රාක්කෙ දෙදරවන තරං සද්දෙට කෑ ගැහුවා.

"මේ තියෙන්නෙ අරං යනවකො ඕනි එකක්."

ඒ අක්කගෙ මල්ලිම බව තහවුරු කරන්න ජනෙල් වීදුරු දෙදරන තරං සද්දයක් සාලෙං ඇහුනා. දිගං නැන්දා සාලෙට ගිහිං ඒ සේරම ගෙනාවා. නැවක හෙඩ් ලයිට් එකට ගැලපෙන තරං ලොකු චාජ් කරන ටෝච්චෙකක්, ගිලින්නට පහසු හැඩයෙං හදාපු රානී සඳුන් සබන් කැටයක් වගේ ටෝච් එකක්, පටියකිං ඔලුවෙ පළඳන්න පුළුවං විදිහෙ පතල් ටෝච් එකක්, කීටැග් එකක් විදිහට අමුණන්න හදාපු ගිනිපෙට්ටි සයිස් ටෝච් එකක් ඒ අතර තිබුණා. ඒවා පත්තු කරල බලන තැන පරණ කොටියා ලකුණ ටෝච් එකක් එහෙම හිටියා නං ලිපට පැනලා බැට්ටිකෑලි ටික පුපුරුවගෙන දිවිනහ ගන්න තිබුණා. නැව් ටෝච් එකේ සුවිච්චෙක ඉස්සරහට දාන්න අලවංගුවක් ඕන. ඒ සුවිච්චෙක ආපස්සට ගන්න විදිහ ඒ වෙද්දි හොයාගෙන තිබුණෙ නෑ. එහෙම තල්ලු කරල පත්තු කලත් ඒකෙ එලියෙං යන්තමට හරි පේන්නෙ ටෝච් එකේ බලුප් එක තියෙන තැන විතරයි. සබං හැඩේ ටෝච් එක ඊට හපං. ඒක උඩට හැරුණම පත්තු වෙනව බිමට හැරුණම නිමෙනවා. හොර පොල් කැඩිල්ලට, රෑට ආත ගහට එන වවුල්ලු, මාකඹයි එලවිල්ලට, අමාවක දවසට හඳ බලාගන්න ඇරෙන්න මට හිතෙන හැටියට ඒකෙං ගන්න පුළුවං එකම ප්‍රයෝජනේ සාමාන්‍ය පෙළට සම්භාවිතාව උගන්නන එක විතරයි. කීටැග් ටෝච්චෙක අතට ගන්නකොටම පියං දෙක දෙපැත්තට ඇරිලා ඒක ඇතුලෙ තිබුණු බොත්තං සයිස් ඔරලෝසු බැට්ටි දෙක, ඉස්ප්‍රීන්නෙකක්, තව ඉටි කෑලි ටිකක් වංගෙඩිය අස්සට, මිරිස් ගල යටට ආදී සොයාගන්න ඉතාමත් පහසු තැංවලට විසිවුනා. පතල් ටෝච් එක ඒ වෙත්දි තමුන්ගෙ බැට්ටි කෑලි ටික ඔරලෝසුවටයි, රිමෝට් එකටයි උගස් තියලා එව්වා සින්නවෙලා ඉවරයි. ඒ හංදා සමස්ත මහජන චීන සමූහාණ්ඩුවටම පිං අනුමෝදං කරන්න මං ඒක අවස්ථාවක් කරගත්තා. චීන්නුන්ට සම්බන්ධයක් නැතත් ඒ පිං අනුමෝදනාවෙ අපර කොටසට ගෙදර ඉන්න පිරිමි දෙන්නවත් ඇතුළත් උනා.

"තාත්තල පුතාල දෙන්නගෙං එක්කෙනෙට්ටවත් බැයිද අම්ප හරිහමං ටෝච්චෙයක් ගෙනත් තියාගන්න"

සාලෙට ඇහෙන්නෙ නැති ගානට නිර්භීත විදිහට අදහස් පළ කරපු මට අවසානෙට පිහිටට හිටියේ අපේ නැන්දම්මගෙ ටෙලිපෝන් එක. එකපාරක් චාජ් කරහම ඊළඟ පුර පසලොස්වක වෙනකංම චාජ් එක අල්ල හිටින, ඕන බොකලමක් අස්සට සිග්නල් ඇදගැනීමේ ආකර්ශන බලයක් තියෙන, බහුබූත සිංහල වචනවලිං හදපු මෙනුවක් තියෙන ඒ පෝන් එකේ ඉහ මුදුනෙං එලිය පිටවෙන කොටුවක්  හදලා ඒක විදුලි පන්දම හැටියට මෙනුවටත් ඇතුලත් කරල තිබුණා. හතර පැත්තටම එබෙන මැද බොත්තම උඩු අතට තප්පර දෙක තුනක් ඔබාගෙන හිටියම තිරේ ඉටු කලා කියල හරියක් දාලා පෙන්නුවා. එතකොට පෝන් එකේ ඉස් මුදුනෙං කලාමැදිරි බල දෙක හමාරක විතර එලියක් දකින්න තිබුණා.

මං පුටුවක් උඩට නැගලා අටුවෙ ලැල්ලක එල්ලිලා  ජනේලෙ ග්‍රිල් එකකට අඩිය තියාගෙන අටුව පුරාවට කට හරවලා බැලුවා. අතපය හතරින්ම උඩ එල්ලිලා හිටපු හන්දා ඒ වෙලාවෙ ටෝච්චෙක විදිහට වෙස්මාරු කරපු පෝන් එක තිබුණෙ මගෙ කටේ ඉස්සරහ දත් හතර පහට හිරවෙලා. විසාල සාස්පාං, විසි තිස් නමකට දෙන දානෙකට එක පාර මාලු පිනි හදන්න තරං විසාල ඇතිලියක්, එක්දාස් නමසිය අසූ ගනංවල ළමයි නාවපු පරණ යකඩ බේසමක්, කඹ රෝල්, ගැරුං වට්ටියක්, චිමිනි ලාම්පුවක්, පරණ ලයිට් එකක්, දෙපැත්ත කලු වෙච්චි ටියුබ් ලයිට් මිටියක්, කොලපත්, වයර් කෑලි, වීදුරු බෝතල්, බෙහෙත් තෙල් කුප්පි, හිස් දසමුලාරිස්ට බෝතල්, බට පොතු කූඩ, කුඹුරු උදලු තලයක්, උලුවහු කඳං දෙක තුනක්, රීප්ප හත අටක්, බණ්ඩි කියතක්, වෑයක්, පරණ වෙසක් කූඩු වගේ සෑහෙන දේවල් තිබුණත් ඒ අතරෙ තාච්චියක් තිබුණෙ නෑ. මං කට පහලට හරවලා අටුව උඩ විස්තර විචාරෙ බිම ඉන්න අයට ඉදිරිපත් කලා.


“ඒහ අඅ ආහ් ඉඅහ් ඈ“

“කට ඇරල කියන්නකො අනේ. මොකද්ද කිව්වෙ“

“ංඒ ඕහ් එහ අංඅ ංඈ“

“මොකක් කියනවද මංද“

අන්න ඒ වෙලාව වෙද්දි අපේ නැන්දම්මගෙ නෑයෙක්ට, නැත්තං යාලුවෙක්ට උන්දැට කතා කරන්න ඕන වෙලා අපේ නැන්දම්මට කෝල් එකක් ගත්තා. නමුත් අවාසනාවට ටෝච් එක හිටියෙ උන්දැගෙ බෑනගෙ කටේ. ඒ වගේම ඒ පෝන් එකේ බාසාවෙංම කියතොත් පැතිකඩ අස්සෙ හඬ නාදය කියන එක නාද හා කම්ප. බවට හරෝල තිබුණෙ. ඒ හංදා නොකියා සමාගමේ තේමා නාදය

“ඉටිපන්දං.. ඉටිපන්දං ... ඉටිපන්දං කෝ“

කියල මගේ දිවත් උඩුතල්ලත් අතර නින්නාද දෙද්දි, මගෙ නහයට හරි කෙලිං යටිං තිරය එලිය ඔටෝමැටික් කරමිං එන. ඇම. කියලා පෙන්නද්දි ජල සන්නිය හැදිච්ච මිනිහෙක් වෙව්ලන තරං තදිං මගෙ දත් කුට්ටම දෙදරවාගෙන උඩුතල්ල කිචිකවාපු ටෙලිපෝන් එක ලිස්සලා බිමට වැටුනා. පියන පින්ලන්තෙ දිහාවටත්, මූනතේ ඉලක්කං ටිකත් එක්ක පට්ටම ගැලවිලා පිඟං රාක්කෙ යටටත්, බැට්ටිය ගැලවිලා MADE IN CHINA කියන අකුරු ටික උඩට හිටින්න දොරකඩ දිහාවටත් විසිවෙද්දි අමතන්නා එක්ක අපේ නැන්දම්මගෙ තියෙන හොඳ හිතටත් කනකොකා ඇඬුවා. එන ඇමතුමක් විසන්ධි කිරීම කියන්නෙ අපේ ගම්පලාත්වල මූනට මුලිච්චි වුනත් කතා නොකර යන්න තරං වටින වරදක්.


“අර ඒකත් කැඩුව.“


“ඔය දහිරපට්ටම කටේ තියං ආයි වචනයක් කීහැක්ද. ඕං ඔය පුටුව අල්ලන්න මට බහින්න“

“ඉතිං කිව්වනං හරිනෙ ටෝච්චෙක ගන්න කියල. අපි ගන්නවනෙ.“

“ඒක කියන්න කට අරින්න එපෑ. එතෝට කොහොමත් ඕක බිම තමා“

“කෝ චාච්චිය“

“ඔහෙ ඇති චාච්චියක් නෑ.“

“එහෙනං වෙනිං මොනවද තියෙන්නෙ“

“ඒක ඇර අනික් එක්කොම ජාති තියෙනව.“

ඒ ගමන දිගං නැන්දා කුස්සියෙ ඉඳලා සාලෙ දිහාවට බෙරිහං දුන්නා.

“අක්කෙ. අටුවෙත් නෑ“

ඒ අතරෙ මං ටෙලිපෝන් එකේ කෑලි ටික එක්කහු කරලා අමුණලා සම්පූර්ණ ටෙලිපෝන් එකක් බවට පත්කලා.

“අනේ මන්දා මේ ළමයින්ට මං නැතිදාක කිසිම දෙයක් තනියම කරගන්න බැරි වෙනව.“

ඒ වාක්‍යෙය අන්තිම තිතේ නැගලා නැන්දම්මත් කුස්සියට ආවා. පරණ චිත්තරපටියක සිංදුවක් බෙලෙක් පිඟානෙං නව ආරට සංගීතවත් කරමින් ඒ පිටිපස්සෙං මාමණ්ඩිත් ආවා. 

“මේ ඒයි ඔයාවත් බලන්නකො අටුවෙ අර ලොකු චාච්චිය තියෙද කියල. මේ ලමයින්ට ඒක හොයාගන්න බැරිවෙලා.“

“ඒ චාත්තිය නෙ ඕගොල්ලංගෙ ඩොම්පි නැන්ද ඇරංගියෙ උන්දෑ පුතෑ ලොකු කෙල්ලගෙ කොටහලුවට දොදොල් හැඳිගාන්න කියල“

“ඒක ගෙනැත් දුන්නැද්ද“

“කොහෙ ගෙනත් දෙන්නද? දැං උං මගදි දැක්කං අහක බලං යන්නෙ එදා අපේ ලකිය උංගෙ පොඩි කොල්ලව කන්න එලවං ගියාට පස්සෙ“

“ඉතිං ඒයි බලන්න.................. මේ මිනිස්සුන්ට බඩුවක් මුට්ටුවක් දුන්නං ගෙනත්දෙන්න මතක නැති හැටීඊඊඊඊ..... ආයි නං ඉල්ලුවට දෙන්න නාකයි“


“ආයි දෙන්න ඉතිං තීන්නෙපෑ“

"ඕක කලිං කියන්න තිබුන්නැද්ද. අපරාදෙ මං දැලි නාගෙන අටුවෙ නැග්ග"

මාත් මගෙ නෝක්කාඩුව ඒ මැද්දට දමා ගැහුව. කවුරුවත් ඒක ගනං ගත්තෙ නෑ.

“කෝ අම්මෙ එතකොට අර අම්ම සීට්ටුවක් දාල ගත්ත චීනච්චට්ටි චාත්තිය“

“ඒක අර රෝල්මඩුවෙ ලිපේ පුතේ. ඒකෙත් එහෙම් පිටිම්ම තෙල්දිය එකක්. ඔයා මට මතක් කල එක හොඳයි. ඒකට ගින්දර දාන්න බැරිවුනා.“

“එහෙනං මේ පැණි ටික අස්කරල මේ චාත්තිය වත් දෙන්න“

එතකොටම දිගං මාමා සාලෙ ඉඳං කෑගැහුවා.

“අක්කේ, එන්ඩෝ. මෙන්න පටං ගත්තා“

ඒ එක්කම ටීවී එකෙං ටිංකිරි කට හඬක් ඇහෙන්න ගත්තා.

“රාධා ඉන්න සමග මා. එන්නම් සමග ඔබ මා.“

ඒ සද්දෙත් එක්ක කන් දෙක කෙලිං කරගත්තු නැන්දම්මා අතේ තිබුණු පිඟාන සින්ක් එකට අතෑරලා යන්තං අත හෝදගෙන වතුර කෝප්පෙත් අරං සාලෙට දුවන ගමං අපිටත් උපදෙසක් හලාගෙන ගියා.

“ඕක මොහොකට හරි දාල ගන්නකො.“

අපි තුන්දෙනා පුස්කර් නගරෙ හනුමන්තා පාරෙ සන්තෝස් රාටිගේ ගෙදර අය වගේ මූනෙං මූණ බලාගත්තා. ඊළඟට තිබුණෙ පැනි හැලිය පිටුවහල් කිරීම. ඒ ගැන විස්තර කරන එක සෙල්ටික් බාසාවෙ වචන කියෝන තරං අමාරු වැඩක්. අන්තිමේදි කුල්ලෙ තිබුණු මිරිස් කරල් ටික සොපිං කවරෙකට දාලා, පෝර කවරෙ තිබුණු දෙල් අටුකොස් ටික කුල්ලට දාලා, පෝර කවරෙට පනිට්ටුවෙ තියෙන හාල් ටික දාලා, ඒ පනිට්ටුවෙ අඩිය පැලිලා බව දැකලා වෙනිං පනිට්ටුවක තිබුණු සිල්ලර තුනපහ, කොත්තමල්ලි, සූදුරු, උම්බලකඩ, සුදුළූණු වගේ ජාති ටික අඩිය පැලිච්ච පනිට්ටුවට දාලා බේරගත්තු පනිට්ටුව හෝදල අරං ඒකට තාච්චියෙ තිබුණු පැණි ටික දැම්මා. ඒ වෙත්දි ආයිමත් ටීවී එකේ වෙළඳ දැන්වීම් පෙන්නන්න පටං අරං. ප්‍රේක්ෂකයො ටික කුස්සියට ආවා.

“ඉතිං ඕකනෙ ළමෙයෝ මං කිව්වෙ. අර දරුවත් අටුවෙ ඇරල දුඹුලු නාවන්නැතුව පළවෙනිවැම්ම ඔය තාච්චිය ගත්තනං අහවරනෙ.“

නැන්දම්මා ඉනට අත්දෙක ගහගෙන දොස් පැවරුවා.

“අනෙයම්මෙ කෑනොගහ ඉන්න.“

චූටි මැණිකෙ පිපිරුවා.

“ඕං පේනවද. ළමයින්ට යමක් පැහැදිලි කර දෙන්න බෑ. අපි වයසට යද්දි කොහොම බැණ අඬගහයිද?“

ඊළඟට සාලෙං කැඳවීම ලැබෙනකං නැන්දම්මා කලුතර දිස්ත්‍රික්කයෙ පහුගිය අවුරුදු ගානක් ඇතුළත ළමයි දෙමාපියන්ට නොසැලකීම ගැන සුවර්ණවාහනේ පෙන්නපු කතන්දර එකිං එක දිගාරින්න පටං ගත්තා. ඒ අතරෙ මං පිහියෙයි පොල් ගෙඩියෙයි උදව්වෙං සාඩිං ටිං කඩද්දි, චූටි මැණිකේ දෑසින් රූරා හැලෙන කඳුලැලි සහිතව බොහොම දුකින් ලූණු කැපුවා, දිගං නැන්දා ලිපෙං බාගත්තු අර්තාපල් හැලියක් බේසමට හලාගෙන සැරිං සැරේ

“හුයි..“

“පිච්චෙනවා“ 

  කියන ගමං එව්වයෙ පොතු ඇරියා.

අනික් අය සාලෙට වෙලා නිදිකිරා වැටෙන ගමං රාත්‍රී ඉංග්‍රීසි පුවත් ප්‍රකාශයට තනි රකිද්දි අපි තුන්දෙනා ඒ සේරම ජාති තෙලේ දාලා බැදලා, තලලා, චොප්ප කරලා අරං කට්ලස් බෝල හදලා ගෙදර තියෙන තරමක් තැටි, පිඟං ආදියේ අහුරලා පිජ්ජෙකට දැම්මා. බෝංචිවල මැහුං කපලා දෙපැත්තෙ නූල් ඇරලා හුස්ම ගන්න බැරිවෙන්න කවරෙකට දාල ගැටගැහුවා, ලීස් ගස් කොලෙන් කොලේට පතුරු ගහලා සුද්ද කරල හෝදද්දි මධ්‍යම කඳුකරේ සාරවත් පස ඛාදනය වෙලා ගිහිං කොරහෙ අඩියෙ තැන්පත් වුනා. ඒ සේරම ඉවර වෙලා අන්තිමට ඇස් පිහාටු තුනටිය ගාවටම පාත් වෙද්දි අපිත් බිත්තිවල වැදි වැදී ගිහින් ඇඳංවලට ඇදං වැටුනා.


72 comments:

  1. පට්ට උපමා ටික..

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං දස්ස ලියන්නොනෙවැ.

      Delete
  2. මං කියෝලා ගියා

    ReplyDelete
  3. කියෙව්වා. වෙනදා එන නාගයින් වවුලන් වැස්සට හසුවී ගස්ගල් වල සෙවන පතන නිසාවෙන් මම පලමු කොටම පැමිණියා අපුරුම භාෂා ශෛලියක්. එක තියෙන්නෙ ඔබට පමණයි මා මිතුර.අර ෆෝන් එක කියන්නෙ නැති වර්ගයේ එකක් වෙන්න ඇති. නාගරිකරණයට ගොදුරු නොවුන ගැමි ගෙදරක ක්‍රියාකාරකම් සජීවීව සිතින් විඳගත්තා. අපූරුයි විශිෂ්ටයි. අතිවිශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. "පලමුකොට" පවු අප්පා!

      Delete
    2. මොන මගුලක්ය. නාගරීකරණය කියන එක ඉස්මුදුනිම්ම තියෙනවා. කොටිම්ම මිනිට්ටු පහේ දුරිං රයිස් කඩේකුත් තියෙනව.

      Delete
    3. සුජිය මොන ලෙමන්පෆ්ද දන්නෑ කන්නෙ?

      Delete
    4. ඔබත් පළමු කොමෙන්ටුව කියා තුන්වෙනි කොමෙන්ටුව දමා කිච උනාද?
      සමාජයෙන් කොන් උනාද??

      ඇඩ්මින් ඇපෘවල් බ්ලොග් වල පළමු කොමෙන්ටුව දැමීමේ සති අන්ත පාඨමාලව දැන් පැවැත්වේ.
      පාඨමාලා කාලය පැය 02 යි.
      ගාස්තුව සාකච්ඡා කරගත හැක.

      විමසීම් னයා සහ වවුලා ඇකඩමි ඔෆ් කොම්මෙන්ටිං.

      Delete
    5. තොපලෑ ඊනියා පන්තියට ඒ ලමිස්සිව එවන්න හැටියක් නෑ.

      Delete
    6. එවපියකො මොකද වෙන්නෙ බලන්ඩ! ඇයි? උන්දැ නිසා අපි පාරාජිකා වෙයිද?

      Delete
  4. ඉවසීම නම් හොඳයි මොනව නැතත්, ඔතන මම හිටියනම් මොකක්හරි අංචියක් අැදaගන්නව නැන්දම්මා එක්ක

    ReplyDelete
    Replies
    1. මං උන්දැට ගරු කරනවා. උන්දැ මාව බේරගන්න සෑහෙන උත්සාහ කරා. අපේ වෙඩිම දවසෙ අපි දෙන්නා ගෙයින් දොට්ට බහිද්දි නැන්දම්මා “අනේ මේ ළමයාව බේරල අරින්න මං කොයිතරං උස්සාහ කලාද. මට ඒක කරගන්ට බැරිවුනා“ කියලත් ඇඬුවා. එදා ඒ කියූ කාරනාව අදයි මට වැටහෙන්නෙ. ඒ හංදා නැන්දම්මා මට මොක කිව්වත් මං කට හොල්ලන්නැත්තෙ ඒකයි.

      Delete
    2. මේ දවස්වල කඩෙං වගෙයි කෑම බීම එහෙම? කොහෙද නැවතිල ඉන්නෙ?

      Delete
    3. තාම ඉස්තිරේට තැනක් නෑ.

      Delete
  5. තව නෑනා කෙනෙක් ඉන්නවනං කොහොම හරි බළපිටියෙ හරි රජ්ජම හරි එකෙකුට බන්දල දීපං නැන්දම්මා හැදෙයි නූලට තිතට.

    ReplyDelete
    Replies
    1. උන්දැගෙ ඔය යමක් ඒත්තු ගන්නන්න අමාරු ගතිය ඇරෙන්න වෙනිං අවුලක් නෑ. ඒකත් ආතගෙං ආ පුරුද්ද.

      Delete
    2. මාත් කියෝලා ගියා

      Delete
  6. යකෝ තෝ අදහන්න එපැයි.
    මම නම් දෙකක් නෑ කස්ටිය ෝලිං කරනව මහ රෑම

    ReplyDelete
    Replies
    1. අපි ජීවත් වෙන්නත් එපෑ ඉතිං.

      Delete
    2. හැක්
      සිරාවටම පුදුමයි තෝ ගැන මට.
      අම්මප මම තාච්චියක් ඉල්ලුුවොත් තාච්චිි 5ක් වත් පෝලීීමේ එනව.
      ලොකු කම නෙමේ බං වැඩිහිටියන්ට ගරුකරන්න දන්නැති මද්දගෙ බලු කට නිසාාා.

      Delete
  7. අර දෙදරවපු මල්ලි වෙන්ඩැති ඕලෙවෙල් කොළා කිව්වෙ ටික දවසකට ඉස්සර?

    ReplyDelete
  8. නොකිය ටියුන් එක හරියටම හරි බං...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. උංටත් ලැයිට් කපනව

      Delete
  9. ඒක නෙමෙයි අර උඹලැයි වෙරි ගහ කැපුවද ඉතිං?

    ReplyDelete
    Replies
    1. තාම නෑ. මං එහෙ යන්නෑ දැං.

      Delete
    2. ඔවු, දැං මූට වෙරි වෙන් නෑ.

      Delete
  10. අනේ ඉතින් කරුමේ පඩිසන් දෙන්න ගත්තාම ඔහම තමයි.....බැදපිය වෙන කසාදයක්...

    ReplyDelete
    Replies
    1. සාඩිං සේරම එක මුහුදෙ එව්වා. ලේබලේ විතරයි වෙනස්

      Delete
  11. මේ දානේ ගැන විස්තරේ ඉවර වෙනකොට සුරංග මලයාගේ හිතේ නැන්දම්මා ගැන තියෙන තරහ මරහ ඔක්කොම අපි දැන ගන්නවා. ඊට පස්සේ ඉතින් දවසක මේ ටික ප්‍රින්ට් අවුට් අරගෙන ලියුම් දාලා තැපැල් කරනවා. එතකොට ආය ඒ පැත්ත පළාතේ ගිහිං ඉවරයි. එහෙම නොකර ඉන්ඩ නං ඉතිං අපිටත් ඔය කිතුල් හකුරු කෑල්ලක් ලැබෙන වැඩ පිළිවෙලක් ගැන හිතුවොත් හොඳා....

    ReplyDelete
    Replies
    1. ලොක්කො බොලා නැන්දම්මට බ්ලොග් ගැන තේරුං කරල දෙන්න ගිහිල්ල පැණි තාච්චියක (සොරි, බාල්දියක) ගිලිල මැරෙන්න හිතුනොත් එහෙම ඕං අපි නෑ.

      Delete
    2. සුරංගම්ල්ර් ගේ මේ ලියවිලි ලියවැල් වගේ අතුරු ආන්තරාවක් නැතුව රිංගන් යන විදිහට ලියන ඒවා. තමංගෙ ගම ගැන ලියන ඒවට වෙනස් මේවා

      Delete
    3. අනේ ලොක්කයියෙ අපව බේරන්ටය.

      Delete
    4. එහෙමනන් අපිට කිතුල් හකුරු ලබෙන පිලිවෙලක් හදන්ටය....නොකිව්වා කියන්ට එපාය...

      Delete
  12. යකෝ මේක කියෝල බොලාගෙ පාඨකයො වෙච්ච මිනිස් ප්‍රාණියො කීප දෙනෙක්ම හිනාව ඉස්පොල්ලෙ ගිහිල්ල දැඩි සත්කාර ඒකකේ කියල අන්න සුවර්ණ වාහිනී නිවුස් වල ගියා.

    ReplyDelete
    Replies
    1. හෙනං උන් ගංවතුරෙං බේරුනා.

      Delete
  13. දානෙට කට්ටස් හදන්න සැමැන් කඩනකොට හොඳ වෙලාවට බොලෑ නැන්දම්ම එතන හිටියෙ නැත්තෙ. එහෙම ඉඳලත් මොකුත් කිවුවෙ නැත්තං උන්දැ ශුවර් එකටම වෙජිටේරියං.

    ReplyDelete
    Replies
    1. එතෝට ටිවියෙකේ කතාව පටං ගත්තනෙ.

      Delete
  14. මගෙ කොමෙන්ටු මට දකින්න ඉඩ හරින්න
    ඔබෙ ඇප්රූවල් සිහිනෙන් මා මුදන්න.

    -කො.ක.ස.ස.-

    ReplyDelete
  15. සුපිරි ලියවිල්ල... චිත්තරූප මැවන විදිහට ලියලා...

    ReplyDelete
  16. නියමයි ... උපමා නම් මරු වෙනදා වගේම... 👍👍👍👍

    ReplyDelete
    Replies
    1. පුවත්පත්කලාවේදියෙක්ගෙන් මෙවැනි ඇගයුමක් ලැබීම බෝ සතුටට කාරණයකි.

      Delete
  17. යකෝ මුං දානයක් දෙන්න දඟලන දැඟලිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ආං ඒකයි අපේ වෙනස. මෙව්වා නිකම්ම කේතලෙං සේවිස් එහෙකට කියල උයෝගන්නවට වැඩිය පිනෙං වැඩීයි.

      Delete
    2. ඔව් මං දැක්ක තව කස්ටියක් වී ඇට අතිං සුද්ධ කරනව දානෙකට දෙන්ඩ. එතකොට ලබන ආත්මෙ තවුතිසාවෙ ෆස්ට් ක්ලාස් සීට් එකක් බුක් වෙනවලු...

      Delete
    3. අපේ ඔපිස් එකේ ඩයල් එකකුත් එහෙම දානෙකට සම්බන්ධ වෙලා. "මිසිංටත් නිකං ඉන්ට ගමං වී ඇට ඩිංගක් පොතු ඇරල දීල මේ පිනට දායක වෙන්ටැ බැරියැ" කියල අපේ ගෙදර අනික් කෙනා ලව්වා ගිනිපෙට්ටි පියනෙං එකක් විතර ඇස්ස නොකැඩිච්ච හාල් ඇට තෝරොවගෙන ගියා.

      Delete
  18. අයියා දැන් ඉන්න හිටින්න තැනකුත් නැතිව ඇති නේ...අඩු මුදලට සැප පහසු නවාතැන් පහසුකම් අපෙන්.....

    ReplyDelete
    Replies
    1. පැදුරු කොට්ට ගෙනා යුතුද?

      Delete
  19. ටිකයිනෙ තියෙන්නෙ... ඉස්සර වගේ දිගට ලියන්නෙ නැත්තෙ මොක්ද.... ලියන්නෙත් ඉදල හිටල නිසා ටිකක් දිගට ලියමු....

    ReplyDelete
  20. හරිම ලස්සනට ලියල. අපිත් දානෙ ගෙදර හිටිය වගේ දැනුණේ.

    ඉතුරු ටිකත් කියවන්න ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
  21. ආ.. ටෝච් ඕන්නං ඩ්‍රැකිය ගාව තියෙනව බැට්ටි බැහැපු කෑලි පහේ னයින්ට ගහන ඒව.

    ReplyDelete
    Replies
    1. සමහර නයි ඉන්නව උන්ට නං බැට්ටි කෑලි විසි අටක් විතර දාතැකි

      Delete
  22. තොගෙ උලව් ආප්ට ඇප්රූවල් එක අයිං කර නොගත්තොත් මං ආයි කමෙන්ට් දාන්නෑ. (හොරෙං ඇවිත් කියෝල යනව විතරයි) ඕං කිව්ව! මං ඔය නයා වගේ නෙමෙයි දැනගං!!

    ReplyDelete
    Replies
    1. ඒක අයිං කරපු ගමං කොයි හරි යන එකාලා ඇවිල්ලා මෙතන එක එකාට බැන අඬගහල යනව.

      Delete
    2. උඹේ තැනට ඇවිත් එක එකාට එක එක කියන එවුංට හරිහමං උත්තරයක් දීහංකො - වැඩේ ඉවරනෙ... මයෙ අහ ඇවිත් එක එක කියන්ඩ ආව උන්ට මං නියම උත්තරේ දුන්න ඒ ඒ වෙලාවෙම. දැං එකෙක් එන්නෑ ඒ වගේ වැඩ කරන්ඩ.

      Delete
    3. එතකොට වෙන්ට ඕන හරිය වෙලා හිත රිදෙන්න ඕන අයගෙ හිත් රිදිල ඉවරයිනෙ. ඇයි අපි කාගෙවත් මල්වැනි සිත් තලන්නට මේ කෘෘර ඇනෝවන්ට ඉඩ දෙන්නේ?

      Delete
  23. මෙිවිවා ක්‍රමන්ත්‍රණ මන් දාපු කොමෙින්ටුව නැ......

    ReplyDelete
    Replies
    1. ඒකට ටෝච්චෙකක් ගහල බලන්න ඕන

      Delete
  24. මරු බං. චාච්චිය හෙවිල්ලෙ වැඩේ නිසා උඹට එදා විස්නු දෙයියන්ගෙ කතාවත් මිස් උනා නේද?

    ReplyDelete
    Replies
    1. මං ඒක බලන්නෑ. මොකද්දෝ හේතුවකට මට ඒකෙ ඉන්න අර බඩ තඩි පැටියව පේන්න බෑ.

      Delete
  25. නැන්දම්මා එකක් ඔලුව ගහගෙන මාමා ඉන්නේ ටෙලිවිෂන් නාට්‍යය නිසාය.

    ReplyDelete
    Replies
    1. /නැන්දම්මා එකක් ඔලුව ගහගෙන/ උන්දැ කොණ්ඩෙට කටු ගහන්නෑ. පස්යාලේ පංචකල්‍යානී කේශවර්ධනාලේප තෛලය ගාලා කොණ්ඩෙ ගොතල බඳනව විතරයි.

      Delete
    2. වැරදියට ලිව්වම වෙන ප්‍රශ්න මම අහන්නේ. ලියන්න ඕන වුනේ .........
      නැන්දම්මා එක්ක ඔලුව ගහගෙන මාමා ඉන්නේ ටෙලිවිෂන් නාට්‍යය නිසාය. :)
      නැත්නම්
      මාමා, නැන්දම්මා එක්ක ඔලුව ගහගෙන ඉන්නේ ටෙලිවිෂන් නාට්‍යය නිසාය.

      Delete
  26. නැන්දම්ම තනියෙං දානෙ උයිනකං බලං ඉන්න තිබ්බෙ.. හැක්!

    ReplyDelete
  27. සුරංග පුතේ...
    උඹ දානේ අරන් එනකං දහම් පාසලේ ලමයි ටික බඩගින්නේ බලා සිටි.
    - ලොකු හාමුදුරුවෝ.

    ReplyDelete
  28. දානේ තවතවත් ප්‍රමාද විමෙන් ඔබ දේව උදහසට ලක් විය හැක නර පනුවා...ඉක්මන් කරනු...

    මිට

    බඩ ගින්නේ දැවෙන
    දෙ⁣යියෙක්..

    ReplyDelete