Follow by Email

Saturday, June 23, 2018

නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං

නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ ඒ විද්‍යාඥයින්ගෙ උවමනාව මේ ලංකාවෙ සේරම ළමයින් පන්තියේ අන්තිමයා කරල, සිස්සත්වෙ පාස් එකෙක් බේතකටවත් හොයාගන්නට නැති කරල, සාමාන්‍ය පෙළ, උසස් පෙළ පාස් එකෙක් සිංහල බෙහෙත් බඩු කඩේකිංවත් ගන්නට නැති කරල එංගලන්තේ ඉඳල ආසියා මහද්වීපය හරහා අපිට

"හූ.. ඇද්ද තොපිට.... දැං පාස්ද? (Who enough for yous..........now pass?)"

කියා කෝචොක් දාන එක කියලයි. ඒ අතරෙ ප්‍රංශය, ඉතාලිය, ජරමනිය, ආදී රටවල සුද්දො, ඕමාන් කුවේට් අඩුබාබි සවුදියරාබි ආදී මැදපෙරදිග රටවල්වලට ගෘහ සේවිකා ඇබෑර්තු වගේ රටවල ඉන්න ඔලුවෙ කඩවැස්ම බැඳගත් තම්බි, පකිස්තානේ හෙරොයින් වවන තම්බි, ඇෆ්ගනිස්තානේ බෙලි කපන තම්බි, නේපාලේ කඳු නගිනා ෂරපා නාටාමිලා, ඉන්දියාවේ පරිප්පු හේං ගොවියෝ, මාල දිවයිනේ කරෝල වාඩිවල එව්වෝ සේරමත් තම තමන්ගෙ බාසාවෙන් කෝචොක් දාලා අපේ රටට අනුරාධපුරෙං පහලට වස්තරයක් අඳින්න නැතිකර පුත්තලමෙන් උඩ හරියේ දැලි ගාන්නත් පුළුවං.

ඒ නිසා ඉස්කෝලෙ යන, ඉගෙනගන්නා ළමයින් දවසේ පැය විසිහතරෙම ඇස් දෙක ඇරගෙන අච්චු පොත් ටිකටත් ලියන පොත් ටිකටත් අනිමිස ලෝචන පූජාව කරන්න ඕන. ඒ පූජාව කරන වෙලාව වැඩිවන තරමට වාර විභාගයේ ලකුණු වැඩිවෙනවා. එක වාරයක් ඩිංගක්වත් ඇහැ පියවන්නෙ නැතුව පොත්ම පාඩං කලොත් පන්තියේ පලවෙනියා නොවෙයි බාගවෙනියා නැත්තං බින්දු වෙනියා වෙන්නත් පුළුවං.

උපන්දා ඉඳං මේ වෙනකං මට නිදාගන්න හම්බවෙලා තියෙන පැය ගාණ බැලුවම මට හිතෙන්නේ මං පහුගිය ආත්මෙක කාගේ හරි නින්දට බාධා වෙන අකුසලයක් කරල තියෙනව කියල. සමහර විට තනි බැට්ටි කෑල්ලෙං වැඩ කරන

"කිඤි කිඤික් කිඤි කිඤික්"

කියා මහ පාන්දර කැකිරි පලමින් මිනිස්සුන් ඇහැරවන රුපියල් හැටේ එලාම් ඔරලෝසුව හදන්නට ඇත්තේ මං වෙන්න ඇති. එහෙමත් නැත්තං එළිවෙන පාන්දර වෙනකං තියෙන සංගීත ප්‍රසංග සංවිධායකයෙක් වෙන්න ඇති. එහෙමත් නැත්තං සිකුරුටි මහත්තුරුන්ට නිදාගන්නට නොදී රෑ මැදියමේ ඇහැරවන ඕඅයිසීයෙක් වෙන්න ඇති. ඇඳ මකුණෙක්, සයිලන්සරය ගලෝලා බීට් එක තියෙන කටක් අමුණා ගත් ටූ ස්ට්‍රොක් මදුරුවෙක් වෙලා හිටියා වෙන්නත් පුළුවන්. ඒ කොයිහැටි වෙතත් මට මතක ඇති කාලේ ඉඳං නින්දයි මායි අතර සම්බන්දෙ බළලෙකුයි වතුරයි අතර සම්බන්ධෙටත් වඩා දුරයි.

මට වයස අවුරුදු දහයක් විතර වෙනකං මගේ නින්දට කෙලින්ම බලපෑවේ කලු මාමාගේ කසිප්පු වඩියේ සාන්ද්‍රණය. හැන්දෑවේ තුන හතර වෙද්දි තාත්තා ගෙදරින් දොට්ට බැහැල යනවත් එක්කම අම්මගෙයි මගෙයි පෙර සූදානම පටං ගන්නව. අම්මා විගහට බතක් හොද්දක් හදන අතරේ මං පහුවදාට ඉස්කෝලෙ ගෙනියන්න තියෙන පොත්ටික පොත් බෑක් එකකට දාගෙන ඉස්කෝලෙ අඳින කලිසමත් කමිසෙත් පත්තර පිටුවක ඔතල ඒකටම දාගෙන ඊටත් උඩිං සපත්තු කබල් දෙකත් තියල හිර කරල බෑක් එක වහල ගෙනිහිං ගෙට උඩු පැත්තේ කැකිල්ල ගාලේ හංගනව. ඉටිපන්දං කොට කෑල්ලකුයි, පොල්කට්ටකුයි, ගිනිපෙට්ටියකුත් ඒ කිට්ටුවම හංගනව. අපේ තාත්තට දෙපයට තාර පෑගෙන්න බැරි හේතුවක් තිවුන හින්ද උන්දැ වැඩිමනක් ගමන් ගියේ අඩි පාරවල්වල විතරයි. ඒ හංදා තාත්තා මහපාරෙන් ඇවිත් ගෙට උඩු පැත්තෙං කන්ද දිගේ පහලට එන්නෑ. ඒ කියන්නෙ අපි බඩු හංගන පාරෙ තාත්ත එන්නෑ.

උයාගන්නා හොද්දයි බතයි මොකක් වුනත් ඇඳිරි වැටෙන්න කලින්ම එයිං පුලුවං තරං අපේ බඩට ගිල්ලන අම්මා ඊළඟට රැක්මේ බලා ඉන්නෙ තාත්තා එනකං. ගුණතිලක මාමලාගේ කොස් ගහ යටින් උන්දෑ මතුවෙන හැටි බලා ඉන්නා අපිට පළවෙනි දැක්මෙන්ම තාත්තා ගිලල තියෙන කසිප්පු ප්‍රමාණෙ හිතාගන්න පුළුවං. සරම හරියක් වගේ උඩට උස්සාගෙන නයික් ලාංඡනේ හදාගෙන මඩේ යනව වගේ එනව නං එදාට අම්මට බඩ කට පුරා හම්බවෙනව. ඒ වගේ දවසට ඉඩක් ලැබිච්චි ගමං නංගිවත් කිහිල්ලෙ ගහගන්න අම්මා මාවත් අරගෙන ගෙදරින් පැනගන්නව. ඒ ගමංම කලිං මග තියපු පොත් බෑක් එක, ඉටිපන්දං, පොල්කටු, ගිනිපෙට්ටියත් කැකිල්ල ගාලෙං ඇදගන්නව. එහෙම පැනගන්න අපි අම්මගෙ මහගෙදරට, චන්දරේ මාමලාගේ ගෙදරට, හාමිලවත්තෙ පේම නැන්දලාගේ ගෙදරට, හංසනීලගෙ ගෙදරට හරි අපිට හොඳයි කියල හිතෙනා ගමේ වෙනිං ගෙදරකට හරි යනව. ඒ වගේ ගෙදරකට ගිහිං දොරට තට්ටු කරල හරියන් නෑ.

"නංගියේ."

"සුනිල් මල්ලියේ"

"පේමක්කේ"

ආදී වසයෙන් දහ පාලොස් ගමනක් හරි කෑගහන්න ඕන. එහෙම කෑ ගහන අතරේ ගෙදර අය මේ කතා කරන්නෙ කවුද කියල රහසෙං සාකච්ඡා කරනව. එතකං අපි කෑ ගහනව. ඒ අතරෙ අම්මා මං ලව්වත් කෑ ගස්සනව.

"නැංදේ,

"සුනී මාමේ"

"පේම නැංදේ"

ආං එතකොට ගෙදර කවුරු හරි දොර පොල්ලක් හරි කැපෙන ආවුදයක් හරි අරගෙන දොර ගාවට ඇවිල්ල ගේ ඇතුලෙ ඉඳං මෙහෙම අහනව.

"කවුද?"

එතකොට අපෙ අම්මා උත්තර දෙනව.

"අපි අපි මේ අපි"

"අපි කියන්නෙ කවුද?"

"අපි මේ අපි අපි"

ආයිමත් ගේ ඇතුලෙ කට්ටිය රහසිං කතා වෙනව. ඒ අතරෙ අම්මා මගෙ කොන්දට ඇඟිල්ලෙං අනිනව.

"කතා කරපිය භූරුවො. අපි කියහං"

මට යකා වැහෙනව.

"අපි කියල හරියන්නෑ. අපි කවුද කියල නම කියන්න ඕනි"

"ඉතිං තෝ කියහංකො"

"මට බෑ අම්ම කියන්න"

"මං තොගෙ බෙල්ල මිරිකන්න කලිං කියපිය"

අන්තිමට මං අපේ නං ගං ඇතුවම කියනව.

"නැන්දෙ අපි මේ සෝම්පාලලෑ ගෙදර සුරංගයියම්මයි"

ආං එතකොට ගෙදර අය හිරෙං නිදහස් වුනා වගේ දොර ඇරල දොර පොලු, පිහිය, කිනිසි එහෙම හංගගන්නව. අපි ගෙට ඇතුල්වෙනව.

ටික වෙලාවක් වැල්වටාරං කියවල ඉවසං ඉන්න බැරිම තැන ගෙදර අය අපි ආපු කාරනේ අහනව.

"මොකද අක්කෙ මේ රෑවෙලා."

ඒ වගෙ වෙලාවට අපේ අම්මා දෙන්නෙ එකම එක උත්තරයයි.

"මොකවක් නෑ අපි මේ නිකං ආවා"

මහ රෑ ජාමේ අත දරුවෙකුත් වඩාගෙන, නීල් ආම්ස්ට්‍රෝං එක්ක හඳට ගොඩබැස්ස තරං විසාල බෑග් එකක් පිටේ එල්ලාගත්තු ළමයෙකුත් අතිං ඇදගෙන ගෑනියෙක් ගෙයින් දොට්ට බහින්නේ නිකං නෙවෙයි කියල ඕන කෙනෙක්ට තේරුං යනව. ඒ වුනාට අපේ අම්මා කටේ තොලේ නොගෑවී බොරු කියන්නේ 'ගෙදර මිනිහගෙ නම්බුව' බේරගන්න. අම්මා හිතන හැටියට එහෙම කීවාම ඒ ගෙදර අයත් "මේ නං ඇත්තම තමා" කියල හිතාගෙන තාත්තගෙ නම්බුව බේරනවා. ඒ වුනාට වැඩිකල් නොගිහින් අපි තුන්දෙනා මහ රෑ ජාමේ ගෙවල්වලට කඩාවදින්නේ 'මහ එකා' බීගෙන ඇවිත් හිංදා කියල හැමෝම දැනගත්තා.

මේ වගේ මහ රෑට නිකං යන ගමන්වලදී අම්මගෙ මහගෙදරට ගියොත් එදාට

"තොට ඕනමයි කියල කොරගත්ත මගුල තමා ඔය"

කියල ආතගෙන් බැනුං අහගන්න පුළුවං. අනික් ගෙවල්වල අය නං අම්මාට 'ඔය මිනිහා අතෑරලා ආණ්ඩුවෙ ඉඩමක පැලක් අටවං ජීවත් වෙන්න' කියලා උපදෙස් දෙනව. මේ කාගෙන් නමුත් අවවාද උපදෙස් අරගෙන තියෙන හැටියට පැදුරු කඩමල්ලක් එලාගෙන නිදාගන්න කොට රෑ දහයත් පහු වෙනවා. පස්සෙ කාලෙදි මේ විදිහට යන්න තැනක් නැතුව ග්‍රාමසේවක කාර්යාලෙ ඉස්තෝප්පුවෙ රෑ එලිවෙනකං නිදාගත්ත මං පහුවදා උදේ ඉස්කෝලෙට ගිහින් ශිෂ්‍යත්ව විභාගේ ලියල ලකුණු එකසිය හැටක් ගත්තෙ දෛවයේ සරදමකින්ද, ඉරණමේ කෝචොක් එකකින්දැයි මට තේරුං ගන්න අමාරුයි.

සමහර දවස්වලට තාත්තගෙන් බේරිලා ගෙදරිං පැනගන්න වෙන්නෙ අම්මට උන්දැගෙං ගුටි හත අටක් ලැබිලා දතක් දෙකක් කැඩිලා මූණත් ඉදිමුණාට පස්සෙ. ඒ වගේ දවස්වලට තඩිස්සි මූණක්, ලේ හැලෙන කටක් පේන්න තියෙද්දි ගෙදරකට ගිහිං

"අපි මේ නිකං ආවෙ"

කියා අමුවෙන්ම බොරු කියන්න බැරි හන්දා අපි පාර අයිනේ වහල දාපු කඩ පිලක, ගහක් යට, කාගේ හරි ඉඩමක හදපු මඩුවක, එහෙමත් නැතිනම් නිකම්ම එළිමහනේ ඉඳගෙන උඩ බලාගෙන ඉර පායනකං බලා ඉන්නවා. නංගිට හීතල හැදෙනවට අම්මාගේ සාය ඒකිට පෙරෝල අම්මා යට සාය පිටින් ඉන්නව. පැදුරක් වෙනුවට පිටේ ඇනෙන ගල්, කොට්ටෙ වෙනුවට පොත් බෑග් එක ඔලුවට තියාගෙන උඩ බලාගෙන හිටියත් ඒ වෙලාවට හිතේ බයක් නෑ. ඒත් ඒ වගේ දවස්වලට පින්නත් එක්ක එන හීතලයි, මැසි මදුරුවො ඉහ ඉද්දර කවි කිය කියා කොනිත්තන හින්දයි, අම්මා සැරෙන් සැරේ

"ඔය මිනිහගෙ අඬු හතර කැඩෙන්නෑනෙ දෙයියම්පල්ල"

"ඔය හුජ්ජ පෙරන ගස් බල්ලන්ට හොඳස්සිද්දවෙන්නෙපා"

වගේ පුපුරා හැලෙන ගමං

"හනී.... සිදෙනෝ"

කියල බෙරිහන් දෙන හන්දයි මගේ නින්ද ඉස්කෝලෙ ඉන්ටෝල් එකටත් වඩා කොට වෙනව.

පහුවදා එළිවෙන පාන්දරට දොලකින්, පිටවේල්ලකින්, කාණුවකින් නැත්තං මොකක් හරි දිය වලකින් මූණ අතපය හෝදගෙන, වැලි ටිකකිං, කෝටු කෑල්ලකිං දත මැදගෙන, ඉස්කෝලෙ ඇඳුම ඇඳගන්න මං ඉස්කෝලෙට යද්දී අම්මා මගේ කලිසමයි කමිසෙයි දෙකත් ඔතාගෙන නංගිවත් වඩාගෙන ගෙදර යනවා. ඒ වෙලාවට තාත්තගෙ වෙරි බැහැල. එදාට උදේට බඩට මොනවත් නැති හින්දත්, දවල්ට දත්මිටි වගේ බර ආහාරයක් ගැනීම හින්දත් දවාලට නින්ද මගේ අහලකටවත් එන්නෙ නෑ.

සමහර දවස්වලට තාත්තගෙ වෙරි අඩුයි. එදාට ගෙදරින් පැනල යන්න තරං අවදානමක් නෑ. ඒත් එදාටත් අපිට නින්දක් නිදාගන්නට බැරි වෙන්නෙ තාත්තගෙ කියවිල්ල අහං ඉන්න වෙන හින්ද‍. දම්ම පදයෙ එක ගාතාවකිං පැයක් හමාරක බණක් කියන්න හාමුදුරුවන්ට පුළුවං වෙනව වගේම අපේ තාත්තටත් යක්කු ගස් නගිනකං කියවන්න එක වචනයක් වැරදුනහම ඇති. හේතුවක් නැති වුනත් හේතුවක් හැදෙන කං තාත්තා අම්මගෙ පවුලෙ අයට බණිනවා.

"තොපේ පවුලෙ හැත්ත වගේ එවුන්ට තමා බොල හාමුදුරුවො බණටත් කියන්නෙ "හොන්තු ඥාතියො" කියල.  ක්හ්ං. ආ...න්නේකයි හේතුව. අර තොපේ පවුලෙ උගතෙක් ඉන්නෙ ගුරෙක්. අහං උගෙං ඌ දන්නවද කියල ඒකවත්. ක්හ්ං. ආ...න්නේකයි හේතුව."


ඒ කියවිල්ල ඉවර වෙන්නෙ තාත්තා ඉඳගෙන ඉන්න පුටුව උඩම නින්ද ගිහින් ඇදගෙන වැටෙන්න ගියාට පස්සෙ. ඒ වගේ වෙලාවට උන්දෑ අපේ ඇඟට කඩා පනිනව

"තොපි මං මේ පුටුව පල්ලෙ වැහ්ල බෙල්ල කැල්ල මැර්ල යනකංද බලා හිටියෙ"


සමහර දවස්වලට තාත්තාගේ වාසනාවට වලියට හොඳ හේතුවක් හම්බුවෙනව. එදාට අපේ අහල පහල මිනිස්සුත් වසලා හමාරයි. තාත්තා අම්මාගේ බෙල්ලෙං අල්ලා ලිප උඩට තල්ලු කරල කැත්තෙන් කොටන්න හදනකොට නංගිත් මාත් අඬු හතර හතර අතට විහිදගෙන ගිරියටින් බෙරිහන් දෙනව. ඒ සද්දෙට වලිය නැවතුනේ නැතොත් ගේ ඇතුලේ සද්ද පූජාව නංගිට බාරදීල ගෙදරින් දොට්ට බහින මං යටිගිරියෙන් කෑ ගහගෙන හෙලපල්ලට දුවනව

"වීසේල වාවේ... වෙල්ල චාච්චා අව්වාව වලලෝ"

ඒ සද්දෙට අහල පහල ගෙවල්වල මිනිස්සු තමුන්ගේ ගේ ඇතුලේ පත්තුවෙන එකම කුප්පි ලාම්පුවත් නිමලා 'ඒ අය දුර ගමනක් ගිහින්. ගෙදර කවුරුවත් නැති' බව පෙන්නනව. ඒ වුනාට තමුන්ගේ ලොකු එකා මිනියක් මරණ බව ඇහෙනකොට ආච්චි අම්මා තිරේ උඩට උස්සල එලිය වැඩි කරපු කුප්පි ලාම්පුවත් අරගෙන මහගෙදර දොර ඇරගෙන එළියට පනින්නේ නැන්දාටත් පියසේන මාමාටත් බැණගෙන

"වරෙව් බොල. අර පොඩියෙකා කෑ ගහන්නෙ මොකද බලපිය"

නැන්දත් කුස්සියෙ තියෙන ලාම්පු කුප්පිය අරගෙන ඇවිත් ආච්චි අම්මගෙ ලාම්පුවෙ දැල්ලෙං ටිකක් ණයට අරගෙන ආච්චි අම්ම එක්කම ගෙයින් දොට්ට බහිනව. මෙලහට අම්මගෙ බෙල්ලයි කඳයි වෙන්වෙලා ඇති කියල හිතාගෙන සිහිය නැතිවෙන තරමට බය වෙලා ආපහු ගෙදරට දුවන මගෙ පිටිපස්සෙං ආච්චි අම්මයි නැන්දයි දුවනව. නැන්දයි ආච්චි අම්මයි අපේ මිදුලට ගොඩ වෙද්දි අම්මා නංගිවත් ඇදගෙන ගෙයින් දොට්ට පනිනව. ඒ පස්සෙං දොට්ට බහින තාත්තව ආච්චි අම්මට අහුවෙනව.


"මොකද්ද ලොකු එකෝ තෝ මේ කොරන අලජ්ජ වැඩේ"


"අම්මට වැඩහ්නෑ අම්මෙ මං මුංව මට්ටු කොන්නේව ක්හ්ං.."


"තෝ මෙතන මිනී මරාගත්තං අර පැටවු බලන්නෙ කවුද බොල"

නැන්දත් මැද්දට පනිනව.

"ලොකුවයියෙ උඹට මේ හොඳිං කියන්නෙ අරකිට ගහන්නෙපා"

"තෝ කවුද බොල මට චන්ඩිකං දාන්න  ක්හ්ං.."

"ඉනඩුවයියාවයි මේ බල්ලෙක් හැදුවනෙ මාත්"

"ඉතිං උඹ මා උපංකොටම බෙල්ල මිරිකන්නෙපෑ  ක්හ්ං.."

"දැං උනක් වප්පිහියක් තියේ නං තොගෙ බොකු දොට්ට අදිනව තමා බොල"

 ඒ වලිය අතරෙ අම්මයි මායි නංගියි ඔලුව හැරිච්ච අතේ පුලුවං තරං දුවනව. එදාටත් අපේ රෑ ගෙවෙන්නෙ අගුපිලක නැත්තං ගහක් යට. එදාට බය යට කරගෙන නැගිටින කේන්තිය එක්ක මං අම්මට පොරොන්දුවක් දෙනව.

"අම්ම මට දිප්පිහිය මැද දෙන්න. මං හෙට ඕකා බුදියපු ගමං හොරෙම්ම බෙල්ල කපන්නං. ඊට පස්සෙ අම්මටයි නංගිටයි දලු ටිකක් කඩාගෙන කාල බීල හිටියැකි"

"උඹ හිටහං පුතේ මං ඕකට වහ ටිකක් දෙන්නං මැරිල යන්න. උඹ ඉගෙන ගනිං"

"අම්ම හිරේ යන්න ඕන්නෑ. මං ඕකව මරල පිහියත් ඇරං ගිහිං පොලිසියට කියන්නං මහ එකා අම්මට තඩිගහන හංද මං ඌ මැරුව කියල."

"එහෙම නැත්තං අර ගාතාවෙ 'පීතු පාදං නමාමහං' කියල තියෙනව වගේ ඕකගෙ කකුල නමල මැහුව නං හරි"

ඒ විදිහට සංසාරෙ කැරකෙනව වගේ අවුරුදු ගානක් ගුටි කකා නිදි මරාගෙන ගස් ගල් යට ජීවත් වුනත් මට තාත්තට පිහියෙං අනින්න බැරිවුනා. අම්මත් හැමදාම බොරු කිය කියා 'මිනිහගෙ නම්බුව' බේරුව. එක පාරක් විතරක් ඇවිදගන්න බැරිවෙන්න ගුටි කාපු අම්මව ඉස්පිරිතාලෙ නවත්තන්න වෙච්ච හන්දා පොලිස්සියෙ ඇන්ටරියක් වැටුනා. අම්මා ඉස්පිරිතාලෙං ගෙදර ආපු ගමං පොලිස්සියට ගිහිං

"මට කිසි අමාරුවක් නෑ."

කියල පොලිස්සියෙ රාලහාමිලගෙනුයි ඇන්ටරි ලියන පොලිස් හාමිනේගෙනුයි බැනුං අහගෙන ඇන්ටරිය අයිං කරගත්තා. අපිව ආයිමත් ගුටි කන චක්කරේ මුලට වැටුනා. ඒ කාලෙ වෙද්දි සිස්සත්වෙ පාස් වෙච්ච උෂ්නෙ ඔලුවට ගහපු මම ජයන්තියෙං ජාතික පාසලට මාරු වුනා. එතනදි හම්බුවෙච්ච එක යාලුවෙක් මාව තමුන්ගෙ ගෙදර නවත්තගත්තා. එදා ඉඳං අවුරුදු තුනක් යනකං රෑ නමයෙ ඉඳං උදේ පහට වෙනකං එක පිම්මෙ නිදාගන්න මගෙ නින්ද කැඩුනෙ හීනෙං බය වුනොත් විතරයි. ඒත් එක්කම අපේ තාත්තත් බීගෙන ඇහිල්ලා රණ්ඩු කරන එක නැති වුනාලු.



96 comments:

  1. "....අපේ තාත්තත් බීගෙන ඇහිල්ලා රණ්ඩු කරන එක නැති වුනාලු".ඒකියන්නෙ ‍තෝ තමයි පරහට හිටල තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව ඒක තමයි

      Delete
    2. ලොක්කගෙ ඇරියස් එක සෑහෙන්ට තිවිලා තියෙනව මා එක්ක. කොටිම්ම මාව දෑහැට පේන්න බෑ. මං ගෙදර නැතුවම රණ්ඩු අඩුයි. ඒක තේරුං යද්දි මට අවුරුදු දාහතරක් විතර ඇති. ඒ ගමන තමයි මං ගෙදරින් පිට වුනේ.

      Delete
  2. සුරංග මලයා මගෙ පපුවට වැදිච්ච ලියවිල්ලක් කාලෙකට පස්සේ. මම මේකෙ ප්‍රින්ට් අවුට් එකක් අරගත්තට කමක් නෑනේ? එහෙම අමාරු කාලෙක කඩාකප්පල් නොවී ඉගෙන ගෙන අද කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්ඩ පුලුවන් වීම ගැන සන්තෝස වෙයන් මලයා...

    ReplyDelete
    Replies
    1. අච්චු ගහනවනං තවත් හොඳයිනෙ. ඒකෙනුත් ප්‍රචාරයක් වෙනවනෙ. සන්තෝස වෙන්න කියන්නෙ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික් සමාජවාදී ජනරජයේ මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න මං සෑහෙන්ට හොඳිං ඉන්නව. පිං සිද්ද වෙච්චාවෙ

      Delete
  3. සංසාරේ තමයි බං.....උඹ ගැන බොහොම ආඩම්බරයි කොල්ලො...ඇත්තටම ආඩම්බරයි!

    ReplyDelete
    Replies
    1. ආඩම්බර වෙන්ට එපෑ. රූප සම්පත්තියෙං අඩුවක්ද, ඥාන සම්පත්තියෙං අඩුවක්ද,

      Delete
    2. සංසාරේ.... ආන්න ඒකයි අවයවය !

      Delete
    3. ඇනෝ,

      "අන්න ඒකයි ඒකෙ අවයවය..." එහෙමයි ඒක කියන්න ඕන..

      තෑන්ක්ස් මතක් කලාට...:)

      Delete
    4. සුරංග,

      තොගෙ රූප සම්පත්තියයි ඥාණ සම්පත්තියයි ගැන මොකටද පොළොස් කොට්ටෝරුවො මම ආඩම්බර වෙන්නෙ? මොකෝ මම උඹෙ අප්පොච්චය?

      Delete
  4. ලංකාවේ ගොඩක් ගැමි පවුල් වල කතාව ඔය වගේ තමයි. නාගරික පවුල් වල වුණත් කසිප්පු කියන තැනට අරක්කු ඇවිත් ඔය හා සමානම කතා සිද්ධ වෙනවා.. ඇත්තටම කියනවානම් ගෘහස්ත හිංසනය කියන එක ලොකේ හැමතැනම සිදුවෙන දෙයක් ... ඒකට මැදිවෙලා ළමයින්ට විඳවන්න වෙන එක හරි කණගාටුදායකයි..බිරිඳ හා සැමියා අතර ඇතිවන අනවබෝධය , සාකච්චා කර තීරණයක් ගන්න බැරිකම ගැටළුව අමතක කරන්න මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමු වීම වගේ දේවල් මීට හේතුවෙන්න පුළුවන්... මේ වගේ පසුබිමක හැදුන ළමයි අරක්කු තියා බියර් එකක් ලඟින් යන්නත් බයවෙන්න ඕනි වැඩිහිටියන් වුණාම.. මොකද තමන් අතිනුත් දෙමව්පියන් අතින් සිදුවූ වැරදි වෙන්න පුලුවන් අරක්කු , කසිප්පු වල බලපෑම නිසා කියලා හිතෙනවනේ...ඒ අම්මා තමන්ගේ මනුස්සයා ආරක්ෂා කරන්න බොරු කිව්වා වගේම ගොඩක් අම්මලා , බිරින්දෑවරු ගුටි කකා ගෙයින් එළියට විස්තරේ නොයවා ඉන්නවා... හරිම ශෝකාකූලයි .. ගෘහස්ත හිංසනය, ළමා හිංසනය සහ ගහණ අපරාධ ලෙස සලකන්න ඕනේ...( වර්තමාන වැඩිහියන්ට හොඳ පාඩමක් )

    ReplyDelete
    Replies
    1. මාත් සමහර දවස්වලට කලාතුරකින් කෙලිං ඉන්න බැරි තරමට බීල තියෙනව නොවැ. එදාට මට එහෙම වලි දාගන්න හිතිල නෑ නොවැ. එහෙම බලාපුවම අවුල තියෙන්නෙ බීමෙ නෙමෙයි. මනුස්සයගෙ හිතේ. බිව්වම මනුස්සයා ඇතුලෙ ඉන්න අමනුස්සය එලියට එනවා.
      අපේ ගංවල ගෘහ නිර්මාණ ශිල්පයත් මේකට හේතු වුනා කියල මට හිතෙනවා.

      Delete
    2. //"අපේ ගංවල ගෘහ නිර්මාණ ශිල්පයත් මේකට හේතු වුනා කියල මට හිතෙනවා."// මේ සිද්ධිය සහ ඒ හා ආසන්නයෙන් යන තවත් සිදුවීම් (මව් පිය දෙපාර්ශවයේ එක් අයෙක් හෝ දෙදෙනාම හෝ අයතා ගණු දෙනු වලට පෙළැඹීම හෝ "අදාල ගණු දෙනු" හරියට සිදු නොවෙන නිසා එක් අයෙක් ගැන සැක පහළ කරනවා ..වගේ) ගැන තමයි මම නොකියා කියන්න හැදුවේ...

      Delete
  5. අයියේ පාන්දර හෙන ගැහුවා වගේ.කටිටාකඩුවා කියනවා වගෙ මොන කරදර තිබුනත් ඉගෙනිමත් කරගෙන කාටවත් කරදරයක් නොවි ජිවිතේ ගෙනියන්න පුලුවන් විම ⁣ගැන සතුටු වෙයන් අයියේ...

    ReplyDelete
    Replies
    1. ඒකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයටත්, මේ රටේ යහපත් පුරවැසියො වෙච්ච මගේ යාලුවගේ පවුලෙ අයටත් පිං සිද්ද වෙනවා. ඒ හයිය නොහිටින්න මං අද හිරේ විලංගුවෙ වැටිලා ආවුද පෙන්නන්න අරං ගිහිං.

      Delete
  6. ඇති යාන්තම් නින්දෙන් ඇහැරිලා බ්ලොග් එක මතක් වෙලා.

    ReplyDelete
  7. සතුටුයි සුරංග මේ වගේ තත්වයක් යටතේ ඉදලත් ඔබතුමා ඉගෙන ගත්ත එක ගැන.....ඉස්සර අපේ ගමෙත් පවුල් කිහිපයකම තත්වය ඔහොම තමයි.
    කසිප්පු නොබී ඔහොම හැසිරෙන පුද්ගලයොත් ඉන්නව....

    ReplyDelete
    Replies
    1. මේක සම්පූර්ණයෙන්ම ගෘහ නිර්මාණය ගැන ප්‍රශ්නයක් කියල මං කියන්නෙ. මට ඉගෙනගන්න උදවු කරපු මගේ මිත්‍රයාගෙ පවුලෙ අය වගේම නිපොන් ශ්‍රී ලංකා අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයත් මතක් කරන්න ඕනැ. නැත්තං මෙලහට මං හිරේගිහිං ආවුද පෙන්නන්නත් එක්ක ගිහිං.

      Delete
  8. හිනාවට යටින් කඳුළු බේරෙන කතාවක් බං!

    ReplyDelete
    Replies
    1. ගනං ගන්ට එපා ඔන්න. අර අටමයි කණ්ඩයි එක්ක හිටි පොටෝ එකෙං තමා තමුන්නැහැව හරියටම දැක්කෙ.

      Delete
    2. ඒ ෆොටෝවෙ හැටියට හැලපෙ මිටි වෙලාද කොහෙද

      Delete
    3. මට පෙනුනෙ පරණ කෝරාල කෙනෙක් වගේ.

      Delete
    4. තොප්පියක් දාගත්ත නං ඔය බොගේ දාල තියන ඇඳපු රූපෙ වගේම තමා ඇරපු අතක් නැහැ :-D

      Delete
    5. හැලපයා කිව එක හරියටම හරි.

      Delete
  9. හිත හිරිවැටුන කතාවක්.මමත් හිතනවා ඔයා හිතන විදිහට ගෘහ නිර්මාණ ශිල්පය එකහේතුවක් වන්නට ඇති කියලා.ගම් ගෙවල් වල එක කාමරයයි සාලයයි කුස්සියයි. දෙමාපියන්ගේ පෞද්ගලිකත්වයට වැට බැඳිලා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි. හැබැයි එව්වා විසඳගන්න දැනුමක් තමුන්ටම තියෙන්න ඕන.

      Delete
    2. සාලෙ හූනුබිජු පැකට්‍ටුවක් හලල ස්‍රංගයටයි නංගිටයි අහුලං කන්න දුන්නනං වැඩේ ගොඩ

      Delete
    3. අනෝ, සාලෙයි කාමරෙයි දෙකම එකටනෙ. ඒ දෙක අතර දොරක් නෑ

      Delete
  10. මාර සීන්ස් එකක්නෙ බං මේක. මොනව උනත් උඹ මිනීමරුවෙක් නොවී ඔය තත්වෙන් ඉන්නෙක ගැන සතුටු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාත් ඒ ගැන සතුටු වෙනව. පස්සෙ කාලෙදි පැක්ටේරි රස්සාවෙනුත් මොනයම්ම හෝ හේතුවකට මයෙ අතිං එකෙක් නොමැරි බේරුණා.

      Delete
  11. ආප්ප ඇප්රූවල් ඉවත් කිරීම ගැන මගේ බලවත් මෙවුව එක.

    -සභාපති, කො.ක.ස-

    ReplyDelete
    Replies
    1. මෙව්වා තමුන්නැහැගෙ අණිං කෙරිච්ච දේවල්.

      Delete
  12. බොහොම දුක හිතෙන කතාවක්. දැන් හැදෙන පරම්පරාවට මේ වගේ දේවල් වලට මුහුණ දීමට සිදු නොවේවායි ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. මෙව්වා තවමත් මධ්‍යම කඳුකරේ තේ වතුවල ටකරං තහඩු යට සිද්ද වෙනවා. එකම වෙනස අපිට එව්වා තේරුං යන්නෙ නෑ. අපිට උංගෙ බාසාව බෑනෙ. මෙයිට අමතරව අම්මලගෙ නොහැදියාවෙන් ළමයි අසරණ වෙනවා. එහෙව් අම්මෙක් දැං තියං ඉන්නෙ කීවෙනි මනුස්සයද කියල උන්දැවත් දන්නැතිලු. උන්දැගෙ ලොකුම ළමය දහිරියවන්තයා මිනිහා කඩදහි කවර අලෝල දොස්තර ගොල්ලන්ට විකුණලා ගානක් හොයාගෙන නංගිලා මල්ලිලටත් වියදං කරගෙන තමුනුත් ඉගෙන ගන්නවා. එහෙව් කඩදහි හොයාගෙන ආ දවසක් අපේ ගෙදරටත් ගොඩ වැදුනා. දැං ඒ ළමයගෙ පොත් පත් වියර වෙනකොට අපේ ගෙදර එන්න කියල තියෙන්නේ. එව්ව අපිට පුළුවං හැටියට අරං දෙනව.

      Delete
  13. අපේ තාත්තා බීලා ජෝගි දැම්මා හැබැයි අම්මට කිසිම දවසක පාරක් ගහලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ තාත්තාට දන ගහල වැන්දට පවු නෑ. ළමයින්ට හිතේ සැනසීමෙං ඉන්න දුන්න එකම පිනක්. සාදු සාදු සාදු!

      Delete
  14. මේක කියවද්දි මට සිරාවටම ඇඩුනා මචං...
    ඔය මට්ටමේ ඉදල උඹ අද ඉන්න තැන ගොඩක් සතුටුයි...
    ගං ගෙවලවල ගෘහ නිර්මාණය ගැන උඹ මතු කරපු කාරණය හරි වැදගත්...

    අපේ තාත්තත් ජීවත්ව හිටපු කාලෙ කණ සාක්කුවට වැටෙනකල් බිව්ව ඩයල් එකක්...
    එකම එක දවසයි අම්ම එක්ක ලොකු රණ්ඩුවක් වෙලා අම්මට ගැහුවෙ...
    අපේ මළයට ඒ වෙද්දි වයස අවුරුදු තුන හතරක් ඇති, බයටම ගේ මැද්දෙ කක්කා ගියා...
    අම්ම තාත්ත එක්ක රණ්ඩු උනේ යාළුවො එක්ක බොන්න ගිහින් ගෙදර එන්න පරක්කු උනා කියලා...
    එතනින් එහා ආයෙ එහෙම දෙයක් උනේ නැහැ...

    හැබැයි මට අද හිතෙනවා තාත්ත එදා හරිද කියලත්... ;(

    ReplyDelete
    Replies
    1. ඒ අතිං ලොකු මාමා සාධාරණයි කියල කියන්න පුළුවං. ලොකු නැන්දනෙ වලිය මුලිං පටං අරං තියෙන්නෙ. පොඩි අයියට වෙච්ච සංගදිය මටත් වුනා පොඩි කාලෙ. අපේ ආතා මැරිල අහක් කරපු ගමං. හැබැයි නිකං නෙමෙයි. අප පියානෝ මට දුන්න පයිං පාරට මාව ගල් වැටියෙං පල්ලට වැටුනා. වැඩිය නෑ අඩි පහක් ඇති ඕන්නං. ඒ දවස්වල මගෙ වයසත් අවුරුදු පහක්නෙ. ඒ ගමං මට මල මුත්තර පහ වෙච්චි පාර අම්මා මාව එහෙම්මම කුඹුරෙ පිට වේල්ලෙ ඔබල හේදුවෙ. මාලු නං කැමති වෙන්න ඇති. අම්ම නං කිව්වා “තොගෙ අන්ඩ කැඩිය tree dog“ කියල.

      Delete
  15. You are not alone Durango, this is my story too. Sorry I don't know how to type in Sinhala.

    ReplyDelete
    Replies
    1. Don't worry. I can understand it. I have mentioned a little about it. Truth is more brutal.

      Delete
  16. ලියන්න කියන්න දේවල් හිතට එන්නේ නැහැ බන්.. තමුන්ට තියන ප්‍රශ්නෙට තියන එකම උත්තරේටත් තවත් ප්‍රශ්න දාහක් අහන මිනිස්සුන්ට උඹව ලොකු ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. මට වැඩිය සිය දහස් වලියක් ගුටි කාපු එකාලා අපේ ගමේ ඉන්නවා. උං අදටත් පවුලට දර දිය අදිනව. උංගෙ බිරින්දෑවරුත් ඒ කරුම ගෙවනව. මං එතනිං අතෑරලා දාල ආපු හන්දා දිනුවා.

      Delete
  17. මේක කියෙව්වම සුරංග ගැන සතුටු හිතුණ, මේ තරම් දුරක් තනියම ආපු එක ගැන. ගොඩක් දුක හිතුණේ සුරංග ගැන නෙවෙයි සුරංග ගේ අම්ම ගැන. ඒ මනුස්සය කොයි තරම් නම් කාලයක් දුක් විඳලද.. ජීවිතේ අන්තිම කාලේ හෝ ටිකක් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා කියා පතනවා ඇයට.

    අපි දන්නා ඇන්ටි කෙනෙකුත් හිටියා ඔය ඉරණමට මුහුණ දීපු. එක පාරක් මහත්තයා ඇවිත් ගේ පෙරලනකොට කිලෝමීටර් දෙකක් විතර පයින් ඇවිත් අපේ ගෙදර, ආවේ පාන්දර දෙකට විතර නිසා අපට කතා කරලා නැතුව, එළියේ දොරකඩ එලි වෙනකම් වාඩි වෙලා හිටපු. ඒ මනුස්සයට නම් අදටත් සැනසීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපෙ අම්මා තවමත් මහගෙදර. තාත්තටයි තමුන්ගෙ සහෝදර සහෝදරියන්ටයි කඹුරනවා. උන්දැව ගානට අන්දගෙන මගෙන් ඈත් කරගත්තා. මං හෙටානිද්දට මගෙම කියල ගෙයක් හදාගත්දාට පොලිසියෙ ඇන්ටරියක් දාලා උන්දැව මං ඉන්න තැනට ගේනවා.

      Delete
    2. සුරංග ගේ පැතුම ඉක්මනින් ඉෂ්ට වේවා කියල ප්‍රර්ථනා කරනවා.

      අර මම කිවුව ඇන්ටි නම් ඇත්තටම පවු. හැබැයි එයත් ටිකක් හොඳ නැති වැඩක් කළා. ඔහොම රෑ නිදියන්න එනකොට, අපේ ගෙදර විස්තර ගිහින් අනිත් ගෙවල් වල කියනවා, ඒ ගෙවල් වල විස්තර අතිනුත් දාලා අපේ ගෙදර කියනවා. ඒ වගේම එයා මහත්තයටයි, එයාගේ අම්මටයි, ඔක්කොටම බනිනවා, සුරංග ගේ අම්ම වගේ නෙවෙයි. එහෙම බැලුවම තමන්ගේ මනුස්සයාගේ නම්බුවත් බේරාගෙන, තමන් හොඳින් ඉන්න බව පේන්න බොරු කිය කියා හරි, සුරංග ගේ අම්මා ජීවත් වුණු විදිය වෙනස්. ඒ නිසා ඇයට ජීවිතේ අවසන් කාලේ හරි, සුරංග ගේ ලඟට ඇවිත්, සැපක් සැනසීමක් විඳින්න ලැබේවි.

      Delete
    3. අපේ අම්මා වැඩිය කතා කරන්න කැමති නෑ. උන්දැගෙ කතාවෙ වේගෙ වැඩියි. ඒ හංදා වැඩිය තේරුං ගන්න අමාරුයි.

      Delete
  18. යාලුවා දැං පාඩුවේ ඉන්නවද බං

    ReplyDelete
    Replies
    1. යාලුවා කිව්වෙ මාව ගෙදර නවත්තගෙන සලකපු යාලුවද? මිනිහට දැන් ජයයි. පවුලෙ කොල්ලො තුන් දෙනාම මදි නොකියන්න හම්බ කරන් ජොලියෙ ඉන්නව. මං තවමත් මහගෙදර හැටියට සලකන්නෙ ඒ ගෙදර. ඒ දෙමව්පියො තමා මගෙත් දෙමව්පියො. හදිසියට උපදෙස් ගන්නෙත් ඒ දෙන්නගෙං තමා.

      අපේ මහ තැන ගැනනං අහන්නෙ, උන්දැ තාම ජීවතුං අතර කියල දන්නවා. එච්චරයි. උන්දැව තාත්තා කමිං අයින් කලේ අපේ මගුල දවසෙ රෑ.

      Delete
  19. සුරංග මලයෝ
    හරිම ආඩම්බරයි
    කොලබ මුඩුක්කු නිවාස කිට්ටුවක ළමා කාලේ ගතකල මම අනන්තවත් ඔය වගේ ජීවිත දැකල , උන්ව ලගින්ම
    ආශ්‍රය කරලා තියෙනවා . ඒ වගේ නාරවලකින් එලියට පනින්න මාරම පිනක් තියෙන්න ඕනේ .

    දෙමව්පියන් විසින් නොසලකා හැරීම නිසා ළමා කාලයම අතිශය දුක්බර ජීවිතයක් ගත කරපු මිනිහෙක් මම .
    අදින්න හරි ඇදුමක් නැතිව, class යන්න සල්ලි හොයා ගත්තේ ගෙවල් ගානේ ගිහිල්ල o /L ටියුෂන් දීල .

    සැබැ ගුරුවරු සහ යහළුවෝ නිසාම අද පිටරටක ඉහල රැකියාවක් කරනවා .කිසිම කෙනෙක් ගැන වෛරයක් නැහැ .
    හැබැයි අද මගේ දෙමාපියන්ගේ සහෝදරයන්ගේ ඉටු දෙවියා මම.

    තාත්තා කෙනෙක් උන දවසට , කිසිම දරුවෙකුට වෙනසක් නොකර ආදරය කරපන්.
    ළමා හිත් තැලුනහම , ඒවා ලේසියෙන් ඉවත් වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. /කිසිම දරුවෙකුට වෙනසක් නොකර ආදරය කරපන්.
      ළමා හිත් තැලුනහම , ඒවා ලේසියෙන් ඉවත් වෙන්නේ නැහැ/

      මේ කියමන ශේක්ෂ්පියර්ගෙ කියමනකට වඩා වටී.

      Delete
  20. ඔබට මගේ උත්තමාචාර ය...!!! Nethu Ahalya.

    ReplyDelete
    Replies
    1. එව්වා නැතත් මෙව්වා කියවන එකම මදැයි. ඉස්තුතියි අවාට.

      Delete
  21. මගෙ පොඩි කාලෙ මතක් වුනා බං.

    ReplyDelete
    Replies
    1. බොලාගෙත් මුල් කාලෙ මෙහම්මද බං?

      Delete
  22. සුරංගම්ල්ර් ගැන ඇත්තටම ආඩම්බරයි.


    http://getbusylivingblog.com/write-letters-to-heal-pain-release-anger-let-go-and-start-living/

    ReplyDelete
    Replies
    1. I just read that article. Couldn't finish it yet. But surely tell that they hadn't been facing for a terrible situation as ours. I hope that is the difference between our communities.

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. mage kathawata ittuwen yana kathwak

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ බහුතර දුප්පත් ජීවිතවල පොදු කතාව

      Delete
  25. තාත්තගේ බීමත්කම නිසා ලෙසටම කට්ට කාපු පවුලක් බං අපිත්.. උඹ වැඩිමලා උනා වගේ මම පවුලේ බාලයා.. ශාරීරක හිංසනයක් නොතිබ්බට ඊට දෙවෙනි නැති ආර්ථික මානසික හිංසනයක අපි හිටියේ.. නමට ලොකු රස්සාවක් කරපු 'ගාඩ් මහත්තයෙක්ගේ' පවුල ළමයි විදියට අපි ඒ කාලේ පුදුම අසරනවීමක් වෙලා හිටියේ.. කාලයක් තිබ්බ අපිට එක වේලක් කෑවම ඊළඟ වේල කවද කොහොම හම්බ වෙයිද කියල හිතාගන්න බැරිව හිටපු.. බඩට කාපු රෑ ගානට වඩා නොකා කොට්ටයක් බඩට තියාගෙන නිදා ගත්ත රෑ ගණන වැඩි ඇති.. උඹ තරම් අව්‍යාජව රහට ඒවා ලියා ගන්න බැරි උනාට.. මේවා කියෝනකොට ඒ අතීතය සට සට ගාල ඔළුවට එනවා.. :)

    ReplyDelete
    Replies
    1. එහෙව් අතීතයක් තියෙන පවුලක ලොකු ළමයා පහුගිය දවසක අපේ ඔපිස් එකට ඇවිල්ලා මගෙන් ඉල්ලනවා බදුල්ල නගරෙ සිතියමක්. නැත්තං ඇඳල හරි දෙන්නලු. කිය ගියත් කමක් නැතිලු. ඒ තවත් අලුත් ව්‍යාපාරයක් පටං ගන්න.

      Delete
    2. හෑ.. උඹව අඳුනනවද? :) නැත්නම් රාජකාරි විදියට විතරද ආවේ? මොකක්ද බං අලුත් ව්‍යාපාරේ? මම දන්නෙත් නෑ..

      Delete
    3. මාව අඳුරගන්න බැරිවුනා. පස්සෙ මමයි විස්තරේ කිව්වෙ. ඉං පස්සෙ සෑහෙන වෙලාවක් කතා කලා. හැම වාක්්‍යක් මැද්දටම "අනේ ඇත්තටම අඳුරගන්ට බැරිවුනා මල්ලි" කියල වාක්‍යයක් කිව්වා. පස්සෙ ගූගල් මැප් වලින් තමුන්ට අවශ්‍ය ආකාරයේ සිතියමක් හදාගන්න හැටි කියා දීලා යැව්වා. වියාපාරෙ නං මොකද්ද මන්දා.

      Delete
    4. කමියගෙ අයිය බදුල්ල උකස් කරන්නද දන්නෑ හදන්නෙ. හැක්..

      Delete
    5. නෑ නෑ උන්නැහැයි, හාමිනෙයි, දෝනියි පොඩි පින්සලක් අරං ළමා ළපටින්ගෙ දෑස් පාදන වැඩේ කරන්නෙ. ඒ හංදා මුන්දැට වඩා බදුල්ලෙ තැනක් තියේ.

      Delete
  26. හොඳට පැය 7 8 නිදාගෙන.. දුකක් නොවිද කාලකන්නි වෙන අයට හොඳ ආදර්ශයක් මේක.... තාමත් තාත්තට අය්යව පෙන්නන්න බැරිද?

    ReplyDelete
  27. මගේ කථාවට 99.999 ක් ම සමානයි. අපිත් ගෙදර නිදාගත්තට වඩා නිදාගත්තේ අනුන්ගේ ගෙවල්වල, පිදුරු ගොඩවල්වල, දරමඩුවල, ගස් යට. මාත් අන්තිමට ගෙදරින් ආවා. ආවා කිව්වට ගෙදරින් එලෙව්වා කිව්වොත් හරි. හැබැයි උඹට වගේ බාර ගන්න යාලුවෝ හිටියේ නෑ. පලවෙනි දවසේ බස් හෝල්ට් එකක හිටියා. පස්සේ පන්සලක. ඊටත් පස්සේ අතඇරලා දාපු ගෙවල්වල, මඩුවල. අපේ රටේ කුලී වැඩ හැටියට තියෙන හැම වැඩක්ම මම කරලා ඇති. උසස් පෙලට ඉස්කෝලේ ගියේ මාස තුනයි. සල්ලි නැතිව නතර උනා. මම අදටත් ඔරලෝසුවක් බඳින්නේ නෑ. ඒ මම ඒ ලෙවල් විභාගෙට ලියනකොට වෙලාව බලන්න ඔරලෝසුවක් තිබුනේ නැති නිසා. උසස් පෙල ඉහලින්ම පාස් උනා. හැබැයි ලෝ ෆැකල්ටි යන්න එක ලකුණක් මදි උනා. ඒක නිසා කැම්පස් ගියා. ඊට පස්සේ කැම්පස් ස්ටාෆ් ගියා. පස්සේ ඒකත් අතඇරලා වෙන ජොබ් එකකට සෙට් උනා. අද මම සාමාන්‍ය මට්ටමින් ජීවත් වෙනවා. හැබැයි එදා විඳපු දුක නිසා අරක්කු ටිකක් කටේවත් තියන්නේ නෑ. මමත් දවසක මගේ කථාව දාන්නම්.

    ReplyDelete
    Replies
    1. පේමසිරිJune 26, 2018 at 4:31 AM

      "මම අදටත් ඔරලෝසුවක් බඳින්නේ නෑ. ඒ මම ඒ ලෙවල් විභාගෙට ලියනකොට වෙලාව බලන්න ඔරලෝසුවක් තිබුනේ නැති නිසා..."
      මොකද්ද බං ඒ ලොජික් එක? මං පොඩි කාලෙ චීස් කන්න ආසයි, හැබැයි සල්ලි තිබ්බෙ නෑ. ඒත් අද සල්ලි තියෙන නිසා කනවා. ඒත් උඹ?

      Delete
    2. මටත් ඔය ඇඳුං ටික ඇරෙන්න ආබරණ, පළඳනා වගේ දේවල් නං එල්ලං ඉන්න බැරි අමාරුවක් තියෙනව. කොටිම්ම ඒකෙ වාසියක් විදිහට මගුල් මුද්ද දාන්නෙත් නෑ.......

      Delete
  28. මේ වගේ උඹේ අර පැට්ටරි කතාවත් දාහං.

    ReplyDelete
    Replies
    1. ඒකත් කොරන්න බැරි හේතුවක් තියෙනවනෙ.

      Delete
  29. ආඩම්බරයි උඹ ගැන. අර 'පීතු පාදං නමාමහං' කථාවනම් මරු

    ReplyDelete
    Replies
    1. ඒකට නම් මටත් ඉල ඇදෙන්න හිනා

      Delete
    2. අපිට පාලි තේරිච්ච හැටි තමා ඔය

      Delete
  30. උඹ විඳපු දුකේ හැටියට උඹ අද ඔහොම ඉන්න එක ගැන මාර සතුටුයි. තාත්තාගෙ fault එක හොයලා repair කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. උන්දැව රෙපෙයාර් කරන්න නං අතේ පයේ හයිය තමා එකම බේත.

      Delete
  31. ඔබ හඑිම දෛරියවනත කොල්ලෙක් කියලා නිව හැකි. ඔහොම ප්‍රහ්න තියන ගෙවල් බහුලයි. කෙසේ වෙතත් ඔබ ජීවිතේ හදාගත්ත එක ගැන සතුටුයි. මොනවා වුනත් අම්මයි තාත්තායි අහක දාන්න එපා. එයා ගෙනාව දේවල් එයා ගෙනියයි.
    විචාරත දියණිය

    ReplyDelete
    Replies
    1. බෝම ඉස්තූතියි විචාරක ලොකුවක්කේ.

      Delete
  32. ඔබ මුහුනපාපු ප්‍රශ්ණ එක්ක මේ ආපු දුර ගොඩක් වටිනව.

    දෙයියනේ කියල මට ඔය ප්‍රශ්න ලොකුවට තිබ්බෙ නෑ. මොකද අපේ තාත්ත නංගිට ගොඩක්ම ආදරේ නිසා බිව්වට කචල් දැම්මෙ නෑ.
    හැබැයි පොඩි කාලේ ඉඳලම බීමත්කමේ ආදීනව හොඳට අත්වින්ද. ඇත්තටම කිව්වොත් මම අ යන්නට පස්සෙ ඇහුවෙ හු යන්න. මම පොඩිකාලෙම අපි දන්න ආත කෙනෙක් ඒ ආච්චිඅම්මගෙ දත් ඔක්කොම ගැලෙව්වේ කසිප්පුවල බලයෙන්. බේබදුකම වගේම නුගතකමත් එකට එකතුඋනහම වැඩේ ටිකක් අවුල් යනව. තව ආරෙන් එක කඩප්පොලිකමත් එකතුඋනහම පට්ටම පට්ට. පවුලේ කොහිපදෙනෙක්ගෙ බීමත්කමේ ආදීනවත් හොඳට විඳල තියන නිසා මමනං බොනපැත්තට සෙට් උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මම නං බිව්ව. දැනුත් අවුරුද්දකට හමාරකට සැරයක් අහුවුනොත් බොනව. ඒ කියල මට නං වලි දාගන්න හිතෙන්නෑ.

      Delete
    2. මම හිතන්නෙ බීපුවහම වලි දාගන්න එක ජානවලින් හරි පෙර ආත්මයෙන් හරි අරගෙන එන එකක්. බොන හැමෝම වලි දාගන්නෙ නෑනෙ.

      Delete
  33. සුරංග අයියෙ තව එකක් කියන්න ඕනි. ඒ කාලෙ තාත්ත කරපු දේවල් වලට අද හිතේ තරහින් ඉන්න ඕනි නෑ. අද පුළු පුළුවන් හැටියට ගිහින් තාත්තව බලල එන්න. ඒක තමයි එයාට දෙන්න පුළුවන් හොඳම දඬුවම.

    (අපේ අම්මගෙ අම්ම එයාගෙ අම්මට ඒ දඬුවම දුන්න)

    ReplyDelete
    Replies
    1. ඒකට කාලයක් තියෙනව මල්ලි. මිනිස්සුන්ට අවබෝධය ලැබෙන කාලයක් එනව. එතකං පැත්තකට වෙලා ඉන්න එක තමා හොඳ

      Delete
    2. කාලය ගොඩක් වෙලාවට නිවැරදි උත්තර දෙනව

      Delete
  34. උඹ හොඳින් ඉන්නවනෙ..එච්චරයි බං.
    රෙස්පට් සුරා .. එකෙන්ම

    ReplyDelete
  35. උඹගෙ කතාව අර නමා මහං කොටස ඇරුණහම කේන්තිය, ශෝකය පිරුණු කතාවක් මල්ලි... (ඒකට නං මූඩි මූණ පළාගෙන හිනාවක් එළියට පැන්නා - නවත්තගන්ඩ බැරි)

    උඹගෙ නංගි මොකද දැං කරන්නෙ? උන්දැගෙත් ජීවිතේ කඩාකප්පල් කරාද බොලගෙ (නොවෙන) තාත්තා?

    උඹ ඔය තත්ත්වෙ ඉන්න එක ලොකු දෙයක් සුරංග... පහුගිය අත්දැකිම්වලින් තමංගෙ ජීවිතේ අනාගතය වෙනස් කරගන්ඩ තීරණය කරන්ඩ එපා. (මං උපකල්පනය කරපු දෙයක් ගැන කිව්වෙ. මං වැරදි නං මං ඒ ගැන ආයෙ කතා කරන් නෑ.)

    අන්තිමේ කියන්ඩ තියෙන්නෙ, අපේ මහතුව දවසක් කිව්ව;

    “අපේ තාත්ත උනාට, තාත්ත අපේ නෙමේ“ කියල...

    තාත්තෙක් ඉන්ඩ ඕනෙ බං, තමුංගෙ ළමයිට හරි වැරැද්ද කියාදීල, සමාජ‍ෙට හුරු කරල, සමාජ‍ෙ ජීවත් වෙන්ඩ පාර කියා දෙන්ඩ. ළමයි ලොකු උනාම උන්ට හොඳ යාළුවෙක් වෙන්ඩ. උංගෙං ගන්ඩ තියෙන දේ තමුංගෙ ජීවිතේට එකතු කරගන්ඩ. අපේ තාත්තා උන්නෙ එහෙමයි. (උන්දැ ඉපදිලා ඉන්න තැනක වැඩි වැඩියෙන් හරියන්ඩ ඕනෙ!) තාත්ත බිව්ව තමයි, ඒ බජව්වලට ගිහිං. ඒත් බීල ආපුදාට හරි ජොලි. අපේ අම්ම දහපදුරාවෙ බණිනව බොනවට. ඒත් තාත්ත ඒකට කොමිටල් කරනව...

    ReplyDelete
    Replies
    1. නංගිත් එකතු තාත්ත එක්ක. මේ ළඟදි අපේ නැන්දම්මට මුලිච්චි වෙලා තිබ්බ අම්මයි නංගිවයි. උන්දැ ඉතිං දෙන්නව ටීවිල්ලෙකේ දාගෙන ගමනාන්තෙට ගෙනිහිං ඇරලුවලු. අම්ම විතරයි කතා කොලා කියන්නෙ.

      ලොකු ඩැකී මාමා උපං තැනක තවත් ඒ විදිහෙම ආතල් එකේ ඇති. එතුමාට මේ හත්තිලවු සසරෙං එතෙර වෙන්ට ලැබේවා!

      Delete
  36. ඇයි බන් අපේ තාත්තලා බිලා එහම රන්ඩු කරේ? මම පාටියකට හරි ගිහින් බිපු දවසට පොඩි මෙන්ඩා නිදිද කියලා සදු ගෙන් අහලා තම්යි ගෙට එන්නෙත්..

    ReplyDelete
  37. උඹ මේ හැටි කට්ටක් කාල ශිෂ්‍යත්ව විභාගේ ලියල ලකුණු එකසිය හැටක් ගත්ත කියන එක මාර ගේමක් බං, මට ඇත්තටම දුක හිතුන. ඔය කිව්ව ගානට වඩා කිහිපයක් තමයි මටත් තිබ්බෙත් 91 දි . මට මතක විදිහට ඒ පාර ආනන්දෙට 168, රෝයල් 173 යි, ඒ කියන්නෙ උඹට අඩු තරමේ අපේ සහෝදර ඉස්කෝලෙ වෙච්චි නාලන්දෙට හරියන්න තිබ්බ :(

    උඹේ වෙලාව හොඳ උනා නම් ඒ විදිහට ගොඩක් දේවල් විසඳන්න තිබ්බ... ජිවිතේ හරි පුදුමයි බං !!!

    ReplyDelete
  38. සුරංග මල්ලි. උඹ නියම පොරක්. අපේ ගෙවල් ළඟ හිටි මනුස්සයෙක් හැමදාම ගැනිට ගහනවා. එයා ගෑනු ළමයි හතර දෙනා අරගෙන අපේ ගෙදර එනවා. අපේ තාත්ත සහ අම්මා කිව මිනිහ ඇත හැරලා යන්න කියල. ඇහුවේ නැහැ. එක දවසක ඒ දෙන්නගේ රණ්ඩුව ට මැදිවුණු පිදි ළමය තාත්තගේ කකුල් පාරක් වැදිලා පස්සසේ මැරුණා. පොලිසියේ නිසා ශේප් වුනා. බිරිඳ ඒ වෙලෙවේ තමයි ගියේ. දැන් ඉතුරු ළමයි තුන්දෙනා හුඟක් හොඳින් ඉන්නවලු.

    විහිළු තිබුනට කතාව යටින් ගලාගෙන යන්නේ සංවේදී කතාවක්. උඹට ජය

    ReplyDelete
  39. කියෙව්වේ දැනුයි සුරංග. මෙච්චර කටුක ළමා කාලයක් ගත කරපු උඹ, හරි සැහැල්ලුවෙන් විහිළු තහළු කරන්නේ කොහොමද කියලා පුදුමත් හිතෙනවා. සමහර විට ඒකම වෙන්න ඇති හේතුව... හිත කීරි ගැහෙන කතාවක්.

    ReplyDelete
  40. 70 දශකයේ රත්නපුරේ ඈත ගම්වල ඉපදුන අපි 90% අනූවකට වැඩිය ලමා කාලේ ගත ක⁣ලේ සුරංගට සර්ව සමව තමයි....
    ඒත් දැන් අවුරුදු 10කට විතර කලින් ඉඳල අේ තුමා නම් හරිම අහිංසකයි ...

    ReplyDelete