Follow by Email

Thursday, March 30, 2017

ඉතා කෙටි කලබල හීන - Extreamely short busy dreams - 1

අපේ ගමේ මිනිස්සු හුඟ දෙනෙක් වී කුන්නියක දෙහෙක ගොයිතැංබත් කරගෙන, දල්ලක් දෙකක් අහුලගෙන, සබර ගහක් දෙකක් හූරගෙන, කුරුඳු පැලැහැට්ටක් දෙකක් තලාගෙන එදා වේල පිරිමහගෙන ජීවත් වෙච්චි අය. ඒ උනාට ඉක්මනිං පෝසත් වෙන්න හදපු උත්සාහවන්තයොත් හිටියා. කහට වතුරෙං කලවං කරපු අරක්කු විකුණපු කලු මාමගෙ පවුල, ගොඩ පෙරකදෝරුකං කරපු ගෙපලෙ අජිත්, මාසෙට සීනි මිටියෙ හමාරෙ පෙරන සූරියසේන, සීට්ටු දාන අතුල වගේ කීප දෙනෙකුත්, කුම්මැහි කඩකාරයො කීප දෙනෙකුත් ඒ උත්සාහවන්තයො ගොඩට අයිතියි. ඒ ඇරුනම කලිං කලට එන "ගර්කිං වගාව", "වැලි ගොඩදැමිල්ල", "වීයෝසී බඩු හෙවිල්ල", "කිඹුල් හූනො, කලු බලල්ලු, ආදී සත්තු හෙවිල්ල", "තඹ සත හෙවිල්ල", "ගල්පොත්තක් ගානෙ නිදං හෙවිල්ල", "දඬු ලේං හං වේලිල්ල" වගේ ඉක්මනිං පෝසත් වෙන ක්‍රමත් ගමට කඩා වැදෙද්දි ඒවා දෝතිං බදල අල්ලගන්න කොටසකුත් ගමේ හිටියා.  එක ජාවාරමක් ඇවිල්ල ගිහිං අනෙක එනකං ඒ අය පතල් කැපුවා, ටිකට් හීරුවා නැත්තං දිනුං ටොපි ඇද්දා. අදටත් මේ ජාවාරංවලට අහුවෙච්ච අයගෙං ගොඩගිය කෙනෙක් නැති තරං.

"අදික තහ්නාව විනාසෙට මුලයි."

අපෙ අම්ම ඉස්සර මට කියන්නෙ එහෙම. ඒ හංදා අපේ අම්මා අපිට තහ්නාවෙං ගොඩ ගහන්න දුන්නෑ. තමුංගෙ අතට එන සේරමත් ඉවර කරලා තහ්නාව නැති කලා. මගේ පොත් අස්සෙ, අහුමුලුවල තිවුණු තහ්නාවත් ඒ පාරෙම ඇරල දැම්මා. ගමේ අනික් ගෑනු අය සීට්ටු දාලා සල්ලි ඉතුරු කරද්දි අපෙ අම්මට අහුවෙන සල්ලි ඉතුරු උනේ කඩවල්වල ලාච්චුවෙ. කඩවල්වල ණය පොත් අස්සෙ අපෙ අම්මගෙ නම උස්සගෙන හිටපු ඉලක්කම් බලං හිටියෙත් අපේ ගෙදර කවුරුහරි ඇවිල්ලා මුදලාලිට සල්ලි දීලා තමුංව නිදහස් කරයි කියලයි. ඒ හංදා අපේ අම්මා පවුලෙ නාස්තිකාරම ළමයා හැටියට ඔටුන්න දාගෙනයි හිටියෙ.


"බොලෑ අම්මට්නං ලස්සයෙද්දුන්නක් මෙහෙක් කොන්නොකොට ඉවර කොන්නොව"

ආතා ඉඳං ඉන්න පුටුවෙං බාගෙට නැගිටලා මගෙ මූණටම මූන කිට්ටු කරලා දකුණු අතේ මැදැගිල්ලයි මහත ඇඟිල්ලයි එක උඩ එක ලිස්සෝලා බල්ලන්ට "ඉජුහ්" කියන විදිහ කරන ගමං කියනව.


"තවුසෙට සල්ලියද් දැක්කං ඒක වියදං කොන්නකං නින්දෙයන්නෑ නේදෝයි.. ක්හ්ං"

අපේ තාත්තා බීගෙන ඇහිල්ල කියනව. ඒ උනාට බුදු බණේ වාසියට හරවගන්න අපෙ අම්මා දෙන්නෙ වෙනම උත්තරයක්

"අපියදහිල්ල හෙටමැරෙද්දන්නෑ. මහ්නංඕන්නෑ ගොඩගහං ඉන්න. මැරිච්චහං ගිනියන්නයැ"


ඒ හංදා තාත්තා හම්බු කරන සල්ලි පැදුරු, කොට්ට, කමිස අත, වී කවර අස්සේ, දුමේ, ලැයිට්ටෙකේ පෙට්ටියේ, බට පැලැල්ලේ වගේ ඉතා රහසිගත තැංවල හැංගිල්ලත් අපේ අම්මා එව්වා හොයාගෙන වියදං කෙරිල්ලත් සතියකට දෙකකට සැරයක් ඒ හිංදා ඇතිවන මහ වලිත් එක්ක අපේ ගෙදර දියුණුවක් කියා එකක් තිබුණෙම නෑ.


අපෙ අම්මගෙ බාල නංගි වෙච්චි පුංචම්මා, ආතා, ආච්චම්මා, අපේ තාත්තා, අඬන පුංචම්මා, ලෝකපාලු බාප්පා, අනික් පුංචම්මා, ගුණපාල බාප්පා, ගමේ අය, අහල පහල අය සේරම අපෙ අම්මට මේ ගැන දොස් කිව්වා.


"එපා ලොක්කක්කෙ නහත්ති කොරන්න"


"ලොකුජුවේ නහත්තිකොරන්නෙපා"


"ඕ තරං නහත්තිකොරන්නෙපා ජයක්කෙ"


ඒ හැමෝම එකම පද හතර මාරුකර කර කිව්වට අපෙ අම්මට නහත්තියෙං ගැලවෙන්න විදිහක් කිව්වෙ නෑ. ඒ හංදා අපෙ අම්මා ඒ හැමෝටම කිව්වෙත් එක සමාන උත්තර.


"අනෙක් කටවහං හිටං මැයිකෙ"


"උඹොලට වැඩහ්නෑනෙ මයෙ වැඩ"


"නහත්තියම්මොකද්දැ කඩෙම්බඩු ගෙනාවහං"


මේ වගේ අපේ අම්මාට විරුද්දව රැස්වෙන කමිටුවෙ පළවෙනි තැන ගන්නෙ බාල පුංචම්මා. සමහර වෙලාවට කඩේ බඩුදීමත් ටික වෙලාවකට ඇන හිටිනවා. මේ කමිටු හැමදාම රැස්වෙලා, එකම කතාව කට රිදෙනකං කියෝල අවසං කෙරුවා. අපේ අම්මත් තමුංගෙ නාස්තිය දිගටම කරගෙන ගියා. අපේ තාත්තත් සල්ලි ගෙදෙට්ට ගේන්නැතුවම ඇරියා. ඒ හිංදා දෙපැත්තෙම්ම කටු රැහැලා ඉතුරුවෙන පං ගහ වගේ මගේ ආර්ථිකෙත් හීං වෙලා ගියා.


කාලයක් යද්දි බාල පුංචම්මා කසාද බැන්දා. ඒ කසාද බැන්දෙත් පොලේ වෙළඳං කරන වෙළෙංදෙක්ව. පුංචම්මගෙ කඩෙත්, බාප්පගෙ පොලේ වෙළඳාමත්, තේ ඉඩංවලින් එන ආදායමත් එක්කහු වුනාම ඒ දෙන්නට සෑහෙන සල්ලියක් තිවුනා. ඒ හංදා කේටියෙස්සෙකේ වැඩ කරපු විජේ මාමා හොරකං කරල අහුවෙලා රස්සාවෙං දොට්ට වැටිච්ච වෙලාවෙ  එයාගෙ තැපැල් නයින්ටිය සල්ලිවලට ගත්තෙත් අපේ පුංචම්මා.


ඒ ගෙවල් මණ්ඩියෙ මිනිස්සුංට දළු ලොරිය එනකං පාර බලාගෙන ඉන්න බැරි හංදා මාසෙ මුල දළු පඩි දෙන දවසට අවට ගෙවල් දහයක පහලොවක දළු පඩි ගන්න බාර වෙන්නෙ අපේ පුංචම්මට. දවල්ට ලොරියෙං දෙන දළු පඩිය හවසට ඒකෙ අයිිතිකාරයගෙ අතේ තියන හිංදා මිනිස්සු අපේ පුංචම්මව විස්සාස කලා.


"මැණිකෙ කවදාක්කත් මිනිහෙට්ට සුපියලක්කත් අඩුවෙං දෙන්නෑ වැඩිය දුන්නොත් මිසක්ක"


"මට අපේ ගෙදරෙවුන්ට වැඩියෙං මැණිකෙ නංගි විස්සාසයි"


පුංචම්මා ගෙදර නැති දවසට හදිස්සියෙවත් දළු පඩි ගෙව්වොත් එදාට ඒව ගන්නෙ මම. ලොරියෙ ඉස්සරහ සීට්ටෙක උඩ තියල තියෙන දළු පඩි කොලේ පහල කෙරෝලෙ STAMP කියල ලියල තියෙන තැන ඉංග්‍රීසියෙං නම ලියල දළු පඩි කොලෙත් සල්ලි දාපු ලියුං කවර ටිකත් ගන්න එක පුංචම්ම මට පවරලයි තිබුණෙ. එතැන ඉඳං හවසට පුංචම්මා එනකං සල්ලි දාපු ලියුංකවර ටික උම්බලකඩ කෑල්ලක් වගේ පරිස්සං කරන එකත් මගෙ රාජකාරිය.


දැහැමෙං සෙමෙං වෙච්චි මේ කටයුත්ත එක පාරටම හයියෙං වෙනස් උනා. මුලිම්ම සිද්දවුනේ මිනිස්සුංගෙ දළු පඩිය පුංචම්මගෙ අතිං ඒ අයගෙ අතට ලැබෙන්න දවස් දෙක තුනක් ගතවෙන එක. දළු පඩි ලැබිච්ච බව නොකියා පුංචම්මා ඒ සල්ලි තියාගත්තා. වෙනදට වඩා දළු පඩිය පරක්කු වෙත්දි මිනිස්සු ලොරියෙ මහත්තයගෙ තුනටියට පය තියලා කරට නගින්න හැදුවා.


"කෝ මහත්තය දලු සල්ලි?"


"කලිං හිිටිය ආනංද මහත්තෙයත් අපේ සල්ලි ඇරිය පිල්ලි"


තමුංගෙ කරේ යන්න ආපු එවුංව කොන්ද නමලා බිමට දාපු ලොරියෙ මහත්තයා ඒවට උත්තර දුන්නා.


"මැණිකෙගෙ අතට දුන්නා."


මිනිස්සු ලොරියෙ මහත්තයා සැක කලාට පුංචම්මව සැක කලේ නෑ.


"අනේ යන්න මහත්තය. මැණිකෙයපිට බොරු කොරන්නෑ."


අන්තිමට කතාව හගිස්සද්දි පුංචම්මා දළු පඩි ටික නොදී තියාගත්තු බවට ඔප්පු උනා.


"මේක හැමදාම මං ගන්න එකයි වරද. දවසක් පරක්කු වුනහං කළ හොඳ සේරම ඉවරයි. ආයිගන්නෑ කාගෙවත් පඩි"


පුංචම්මා සැරෙං කෑගහල මිනිස්සුංට සල්ලි ටික දුන්නා. මිනිස්සුත් බයාදුකමට වචනයක් කියල සල්ලි ඇරං ගියා.


"අපි මැණිකෙ සැකකොලා නෙමී"


"අපි හිතුවෙ ලොරියෙ මහත්තය හොරකං කොලා කියල"


ආයෙ කාගෙවත් දළුපඩි නොගන්න බවට කිරිටොපි බෝතලේ මූඩියට අත තියලා "අම්ප" කියල දිවුරපු පුංචම්මා ඊළඟ මාසවලදිත් අනික් අයගෙ දළු පඩි ගත්තා. ඒ පාර මිනිස්සුංගෙ දළු පඩි බේරන්න සතියක් විතර ගියා. අනික් මාසෙ ගමේ අයගෙ දළු පඩි අරගත්තෙ මම. එදාම පුංචම්මගෙ අතට සල්ලි කවර ටික දුන්නත් දවස් දෙක යද්දි කට්ටඩි මාමගෙ පවුල මගෙ ඇඟට ගොඩවුනා.


"මොකද්ද ළමයො ඔය ලමය අපෙ දළු පඩි ඇරං කොලේ. අපි මැණිකෙගෙං ඇහුවං කිව්වෙ ඔය ළමය දළු සල්ලි ඇරං මැණිකෙට දුන්නෑ කියල."


මං බඹ දෙකක් උඩ ගිහිං බිම වැටුනා.


"මං පෙරේද දවල්ම පුංචිගෙ අතට දුන්නා."


මං මගේ නිදොස් බව ලොවට හඬ නගා කිව්වා. අන්තිමට කට්ටඩි මාමගෙ බිරින්දෑවත් අරගන පුංචම්ම ගාවට ගියහම පුංචම්මා ඊට ලොකු බොරුවක් ගෙතුවා.


"ආ... මං හිතුවා ඒ අපේ සල්ලි කියල. මූ මට ඒක කිව්වෙ නෑනෙ."


වැරැද්ද මගෙ පිට පටෝලා පුංචම්මා එයාගෙ සල්ලි ආපහු දුන්නා. මං පුංචම්මට උත්තර බඳින්න කට අරින්න යද්දි "කට වහප්" කියලා මගෙ කට වැහුවා. ඉං පස්සෙ මාසවලදිත් පුංචම්මා ලොරියෙන් දළු සල්ලි ගන්න මාව යවන්න හැදුවෙ මාව බිල්ලට දෙන්න වග තේරුණ හිංදා මං වැඩේ මගෑරියා.


තව ටික දවසක් යද්දි බාප්පා පොලට බඩු ගේන සල්ලිත් ටිකෙං ටික කේඬෑරි වෙලා ගිහිං නැත්තටම නැති උනා. ඒ වෙනුවට බ්‍රහස්පතින්ද හවසට ***ගම බාප්පලගෙ ගෙදරිං සල්ලි ඉල්ලගෙන බාප්පට දෙන්නත් ආයෙමත් සඳුදා හවසට ඒ සල්ලිය ***ගම බාප්පට දෙන්නත් රෝලක් පුංචම්මා හදාගත්තා. ඒ අතරෙම ආතගෙ දිලිසෙන අල්ලු දෙකක් තියෙන ලාච්චුවෙ ඉස්කෝතු බෙලෙක්කෙ ඇතුලෙ තියෙන ඉටි බුජමෙ දාල තිවුනු පංකොල පෝස් එක අස්සෙ තිවුන මැණික් ගලක් අල්ලපු මුද්ද නැතිවුනා. ඒකට අපේ අම්මව අල්ලන්න පුංචම්මා බොහොම ලොකු උත්සාහයක් දැරුවත් ඒ වෙනකොට පුංචම්මා කියන දේවල්වලට තිවුනෙ අඩු සැලකිල්ලක්. හැමදාම හැන්දෑවට ඉස්තෝප්පුවෙදි ආතගෙ කයිවාරුවට අහුවෙන ඕනැම කෙනෙක්ට ආතගෙ මුද්දෙ තිවුන මැණික් ගලේ වග විස්තර එක්කම අහන්න ලැබුනා.


ඊළඟට ගෙදර තිවුන අනික් රත්තරං බඩුත් අතුරුදහං වුනා. සුදුපාට වෙසක් කොලවල ඔතල රතුපාට පෙට්ටිවල දාල තිවුන මාල, මුදු, රෙදිපොටවල්වල ඔතල තිවුන වළලු අතුරුදහං වුනා. බාප්පගෙ කරේ තිවුණ චේන්නෙක රැයක් එලිවෙද්දි අතුරුදහං වුනා. එදා දවසේම කොට්ට, පැදුරු, ඇඳං, මෙට්ට, පත්තර, රෙදි ගොඩවල් ඇද ඇද අපි බාප්පගෙ චේන්නෙක හෙව්වා. හම්බුන්නෑ. එයිට දවස් දෙකකට පස්සෙ මාමාලගෙ ගෙදර අල්මාරියෙ තිබුණ නැන්දගෙ මගුල් මුද්දත් අතුරුදහන් වෙලා තිබුණා. 


තමුංගෙ කේන්දරේ නරක බව දැනිච්ච ආච්චම්මත්, බාප්පත් පුංචම්මගෙ කබඩ්ඩෙකේ පරිස්සමට තියල තිවුණ තමුංගෙ රත්තරං බඩු ඉල්ලද්දි එව්වා කබට්ටෙකේ ලාච්චුවෙ තියෙන බවත්, ඒ ලාච්චුවෙ යතුර නැතිවෙලා බවත් පුංචම්මා කිව්වා. වැඩි දවස් යන්න කලිං කොහෙ හරි තිවිලා යතුර හම්බුවුනහං ඒ සේරම දීල දාන බවත් ආයි කිසියම්ම දවසක කාගෙවත් ඉටිගෙඩියක් පරිස්සං කරන්න බාරගන්නෙ නැති බවත් පුංචම්මා හැමෝටම ගොරවලා කිව්වා. 


දෙවෙනි පුංචම්මගෙ රත්තරං බඩු ටික ඉල්ලාගන්න අපේ පුංචම්මා හොයාගත්තෙ වෙනමම ක්‍රමයක්.


"චූටියක්කෙ උඹේ රත්තරං බඩුටික දියකො මට මගුල් ගෙදරක දාං යන්න. ජෝකෙ අයියෑ චේන්නෙකත් දියංකො. **ටත් දාංයන්න. අපේ රත්තරං බඩු සේරම ලොකු කල්ල හදවන්න දුන්න මතුගම සමම්පැලස්සෙකට. තාම හම්බුන්නෑ. මේ මගුල් ගෙදර නොයත් බෑනෙ. **රලෑ ළඟම නෑයො"


හිත උණුවෙන දෙවෙනි පුංචම්මා තමුංගෙ රත්තරං බඩු සේරම පොට්ටනි කරලා පුංචම්මට දුන්නා. සති දෙකකට විතර පස්සෙ ඒ රත්තරං බඩු ටික පොට්ටනිය පිටිං ආපහු බාරදුන්න පුංචම්මා 


"අපිට ඒ ගමන යන්න බැරිඋනා. මේං උඹේ බඩුටික"


කියලා ආපහු ආවා.


ටික දවසකිං පුංචම්මා ස්නයිපර්කාරයෙක් වගේ උනා. ගෙදර පැත්තට හැරෙන සමහර මිනිස්සුංගෙ මූණු දැක්ක ගමං 


"මං ගෙදර්නෑකියං"


කියලා ගෙට පැනලා ගෙදර පිලිකන්නේ, වත්තෙ කොහේ හරි හැංගෙන්න පටං ගත්තා. එහෙම පුංචම්මා හැංගෙන සැරයක් ගානෙ ඒ හැංගිල්ලට හේතු වෙච්චි අය ගෙදර ඉස්තෝප්පුවෙ පේන්න ඉන්න ගෙදර කෙනෙක් අල්ලගෙන පුංචම්මා ගැන නෝක්කාඩු කිව්වා.


"නංගි මගෙ චේන්නෙකයි බේස්ලට්ටෙකයි ඉල්ලගත්තා මගුල් ගෙදරක යන්න. තාම දුන්නෑ"


"ගිය මාසෙ මගෙ වලලු ජෝඩුවයි රුපියල් පංසීයකුයි ඉල්ලගත්තා මතුගමෙං වතුරෙ දම්මල ගෙනත් දෙන්නං කියල. තාම දුන්නෑ"


"ගිය පාර මගෙ සීට්ටුව ගත්තා තාම මගෙ සල්ලි දුන්නෑ"


වැඩිකල් නොගිහිං බැංකු, උකස් කඩ වලිං දවසට ලියුං දෙක තුනත් එන්න පටං ගත්තා. මේ සේරටම හේතු අහන අයට හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා වගේ උත්තර පුංචම්මගෙං ලැබුනා. වැඩි දවස් නොගිහිං දෙවෙනි පුංචම්මත් දෙබර කූඩුවක් වගේ මූණ හදාගෙන මහගෙදර ගාවිං බස්සෙකෙං බැස්සා. මළ ගෙදරකට ගොඩවෙන්නා වගේ මහගෙදර ඉස්තෝප්පුවට පැන්නා.


"අලේයව්වේ... චාච්චේ.... එහෙග් එහෙග් එහෙග්.... අවි ඉවලයියව්වේ..."


"මොකෝ චූටියෙ. කොලුට මොකක්කක් කරදරෙයද්ද?"


ආච්චම්මා චීත්තෙ ගැටේ සුටුස් ගාල තදකරන ගමං ඇහුවා.


"මොකෝ කෙල්ලට උනේ"


කොන්ද දිගාරින්නැතුවම පුටුවෙං නැගිට්ට ආත ඇහුවා. පැය කාලක් විතර වද හිරිහැර කරලා, ගසල, පිඹලා, තර්ජනේ කරායින් පස්සෙ අපිට විස්තරේ අහන්න ලැබුනා.


"වැනිකෙයෆෙං ඉල්ලංඟාපු සත්තලං බඩු මාලුකොල්ලා...ආ..ආ.ආා"
"වට ගෙලද්දුල්ලෙව්වා එග්ගොම ඉවිතේසංඥෙව්වා ...ආ ...ආා"
"ෆාත වෙලස්සිද්දා සැගේත වැංගුවත ෆෙල්ලුවා... ආ ...ආ ...ආා"
"වැංගුවෙං තවා ගිව්වේ වේවා සෝල්ගෝද් ගියලා ... ආ ...ආ ...ආා"


පවුලේ අය එක්කහු වෙලා බලද්දි පුංචම්මා වෙලා තිවුණු ණය කන්දරාවෙ දිග පළල දැනගන්න ලැබුණා. සමහර බඩු මුට්ටු නැතිවීම ගැන වැරදිකාරයා විදිහට තීන්දු කරල තිබුණු අපේ අම්මට ඒවයෙං ගැලවීමක් ලැබුණා. අන්තිමට පවුලේ ඇති හැකි අය පුංචම්මා රටට වෙලා තිබුණු ණය ගෙව්වා. ආච්චම්මා බදුරලියෙ ටවුමෙ තිවුණු තමුංගෙ ඉඩං දෙකක් විකුණුවා. පුංචම්මගෙ ණය ටිකක් ගෙවලා හිත හැදෙන්න ඉතුරු සල්ලිි වලිං ගෑස් ලිපකුයි සිලින්ඩරේකුයි ගෙනාවා.  බාප්පත් පොලේ කඩ කාමර දෙක විකුණලා දාලා සිකුරුටි රස්සාවකට ගියා. දෙවෙනි පුංචම්මා තමුංගෙ ටිං බෙලෙක්කවල, අල්මාරියෙ, සීට්ටුවල, බැංකුවෙ තිවුණ සල්ලි සේරම යොදවලා තමුංගෙ රත්තරං බඩු බේරගත්තා. පවුලෙ අනික් අයගෙ රත්තරං බඩු හුඟක් බැංකුවට සින්න වෙලා වෙන්දේසියෙ ගියා. පුංචම්මගෙ හොඳ නම හේදිලම ගියා. 


එක දෙයක් ඉතුරු උනා. 


පුංචම්මා ඒ විදිහට සල්ලි දාලා කලේ මොකක්ද කියන්න කාටවත් හොයාගන්න බැරිවුනා. මටත් ඒ ගැන ඉඟියක් දැනගන්න අවුරුදු දොලහක් විතර බලං ඉන්න සිද්දවුනා. අවුරුදු දොලහකට වැඩි කාලෙකට පස්සෙ ඉතිහාසෙ ආයිමත් සිද්දවුනා.





65 comments:

  1. එකත්තෙකටම පුංචම්මා සක්විති රනසිංහ ගාව ඒ සල්ලි ආයෝජනේ කොරන්ටැති...

    ReplyDelete
    Replies
    1. ඒකාලෙ සක්විති රණසිංහ කියන්නෙ ඉංග්‍රීසි සර් කෙනෙක්

      Delete
  2. ආ..අහන්ටම හිටියෙ..අමතක උනා...උඹ මේ නම දාන්ට බස්සිගෙං අවසර ගත්තද?

    ReplyDelete
    Replies
    1. මමත් අගට එනකල්ම කියෙව්වා කවි පොත ගැන යමක් ඇති කියල... හෑ බදුල්ලෙ ළමයො කොහෙන්යැ මේ පඳුරු තැලිල්ල උගත්තෙ...කවුද මේවට වග කියන්නෙ...

      Delete
    2. හොඳ වෙලාවට පේටන්ට් දීල නෑ මාහිතේ ඔය නමට.

      Delete
  3. සල්ලිවලට මොකද උනේ කියලා දැනගන්න අපිත් අවුරුදු දොලහක් ඉන්න ඕනෙයි

    ReplyDelete
  4. දැං කියහංකො බලන්න අවුරුදු දොලහකට පස්සෙ උන දේ මොකක්ද කියල. උඹලෑ පුංචම්ම අහුඋනේ සක්විතිටද, දඬුවං මුදලාලිටද නැත්තං කොතලාවල උන්දැට ද?

    ReplyDelete
  5. මේ පොස්ට් එකෙයි මාතෘකාවෙයි සම්බන්ධෙ මොකක් ද ? අර අන්තිමට අඩන ටික නම් කියවල තේරුම් ගන්න අමාරුයි.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. නෙද්දකිංග්, මෙහෙම කියෝල බලහං

      මැණිකෙ අපෙං ඉල්ලං ආපු රත්තරං බඩු මාරු කොල්ලා...ආ..ආ.ආා"
      මට ගෙනත්දුන්නෙව්වා එක්කොම ඉමිටේෂන් එව්වා ...ආ ...ආා"
      පාට වෙනස් හිංදා සැකේට බැංකුවට පෙන්නුවා... ආ ...ආ ...ආා"
      බැංකුවෙං තමා කිවුවෙ මේවා රෝල්ගොල්ඩ් කියලා... ආ ...ආ ...ආා"

      Delete
    2. ප්‍රසා ඇත්ත කියපං , මේ තරං හොදට පුංචම්මගෙ බාසාව තේරෙන්නෙ ඔය වගේම ගෙදර උන්දැත් අඩනවද ?

      Delete
    3. ආයෙත් අහල. හැක්..

      Delete
    4. උත්තර දෙන්න තව කොටහක් තියෙනව

      Delete
    5. දැන්නේ තේරුනේ ප්‍රසන්නය ලිව්වට පස්සේ ශ්‍රංග ලියල තිබ්බේ මොකක්ද කියල. හපෝයි

      Delete
    6. කියල වැඩක් නෑ.. මම පස් පාරක් විතර කියෙව්වා බැරිම තැන අතැරලා දැම්ම.. ප්‍රසන්නය කියපු එකත් එක්ක ආයේ බැලුවම තමා ඔන්න හරි ගියේ.. හෙහ් හෙහ්

      Delete
  6. උඹ හේතුව කියලා punchi අම්මාව බය කළා නේද සැරයක්
    දමිත්

    ReplyDelete
    Replies
    1. //උඹ හේතුව කියලා punchi අම්මාව බය කළා නේද සැරයක්// අන්නේකයි.. :)

      Delete
    2. අනුමාන කළ හේතුව කියලා බයකොලා තමයි

      Delete
  7. කිරිමේල් කේස් එකන්නෙ

    ReplyDelete
    Replies
    1. හෙනම්මා මිනීමැරුමක් නොවී බේරුනා

      Delete
  8. දන්න කාලෙ පුරාවටම හැමට වඩා නුඹෙ අම්මා
    ගන්න ගන්න කාසි පොදිය නිති වියදම් කර දැම්මා
    මෙන්න බොලේ ඒ මදිවට කරපි වැඩක් පුන්චම්මා
    ඉන්න වුණා දොළොස් වසක් මොකදැ කලේ පුන්චම්මා........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පුංචම්මා කරපු හරිය දැන උන්නත් අපෙයම්මා
      කටිං කෙළ බිඳක් තරමත් හැලුවේ නැහැ නොව උන්දා
      මුලු පවුලෙම නම්බුව ඈ ආසනාසි කල හන්දා
      තව සතියෙන් කියනෙමි මම ඈකල දේ අප අන්දා

      Delete
  9. Punchi amma sakwithi ,දඬුවම් wagee පිරමිඩ wath kalada

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ පිරමීඩ තියා රිජුකෝණාස්‍රයක්වත් තිබුන්නෑ ඔන්න.

      Delete
  10. අවුරුදු 12 කට පස්සේ මොකෑ උනේ... ඒකත් ඉක්මනින්ම කියල දැම්මනම්..

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් කම්පනා කොලේ

      Delete
  11. FCID එක දාන්න තිබුණේ සුරං අයියගෙ ගමේ නෙහ් අෆ්ෆා.
    මුදල් කලමලාකරනය කියන්නෙ ඕකට නේද?

    ReplyDelete
    Replies
    1. මුදල් කාලා මළා කරණය තමා

      Delete
  12. Oya nama ahak karahan malliye post eken padiri nowi...
    Anunge $%%$wal bota motada...

    ReplyDelete
    Replies
    1. මෙව්වා අනුංගෙ නෙවෙයි අයියා අපේ බාසාව. ඊළඟ කොටස එනකං මට බයින්නෙපා ඔන්න.

      Delete
  13. මට මතක විදිහට සල්ලි වලට උන දේ ගැන ඉගියක් සුරංග බයිසිකල් එක ගත්ත හැටි ගැන කියද්දි කියල තිබ්බ.....

    ReplyDelete
    Replies
    1. ඔව් එව්වා මතක තියාගන්න ඕනැ. එම්සීකිව්වලට අහනව

      Delete
  14. හොර මිනිහගේ නම මොකක්ද බං

    ReplyDelete
    Replies
    1. Yeh, that's the answer

      Delete
    2. ඔය ඉතිං.. ගම කනවනෙ

      Delete
  15. අවුරුදු දොලහක් යන්න කලින් කියහං පුංචම්ම සල්ලි වලට මොකද කලේ කියලා.

    ReplyDelete
    Replies
    1. සතියක් ඉන්න වියසලා

      Delete
  16. අනේ මන්දා අපිට හිතා ගන්න අමාරුයි උබම කියහන් ...ඇත්තටම පුංචි අම්මට මොනවා හරි ලොකු ප්‍රශ්නයක් තිබුනද දන්නේ නැහැ ...

    ReplyDelete
  17. පුංචි අම්මව කවුරුහරි බ්ලැක් මේල් කොරන්ට ඇති මයෙහිතේ ...........

    ReplyDelete
  18. අපිද්දැං අවුරුදු දොළහක් ඉන්න ඕනද හිටං
    හය්යෝ ටෝ නං.
    එදා අර පුටුවට එහා වෙලා ඉදං කියපු ජාති ඒවැං මට බ්ලොග් පෝස්ට් හැටක් විතර ලියතෑකි ඇයි අප්පා. මට පොටෝවක් වත් අල්ලන්න දුනනෙ නෑනේ. :-D :-D :-D

    ReplyDelete
    Replies
    1. ඉදිං ලියාකො. ඊළඟපාර සං මාන යක් ගන්ට

      Delete
  19. බොලාගෙ අම්ම ළඟ තිබ්බ සුපියල් දොළොස්දාහ පුංචම්මා ගත්තෙත් ඔය වංගියෙමද බං.

    ReplyDelete
    Replies
    1. ඒකත් මේ කාලෙට අයිතියිද කොයිද?

      Delete
  20. පුංචි අම්මගෙ නස්පැත්තියට හේතුව උඹ කලින් කිවුව වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. කිව්වද? මට මතක නෑනෙ.

      Delete
  21. ණයක් ගෙවන්න තව ණයක් ගන්න ඇති.ඒ ණය ගෙවන්න වෙන්න ඇති එක එක්කනාගෙ බඩු ගන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ණය වෙන්න තරං දෙයක් තිබ්බෙ නෑ.

      Delete
  22. ඔය හේතුව සුරංග කලින් කිවුව වගේ මතකයි, මොකක් හරි වෙන මනුස්සයෙක් එක්ක තිබුණු ආරෝවක්..

    ඔය වගේ ගෑනු උදවිය ඉන්නවා.. පිරිමි උදවියත් ඇති, මට ආශ්‍රය කරන්න ලැබිලා නෑ. අපි අර රට වටේ ගිහින් බෝඩිම් හොයල අන්තිමට නතර වුණු බෝඩිමේ ඇන්ටිත් එම මයි. හතර අතට ණය වෙලා, ගෙදරත් උගස් වෙලා, සල්ලි වලින් මොනවා කරනවද කියල දෙවියො තමයි දන්නෙ..

    එක පාරක් ණයක් ගෙවන්න තියනවා කියල අපෙන් බෝඩින් ෆීස් කලින් ඉල්ල ගත්තා. (සාමාන්යෙන් අපි ඒ ඉන්න කාලේ, ඉන්න මාසෙට වඩා මාස 3ක් 4ක් ඉස්සරහට බෝඩින් ෆීස් ගෙවල තිබුණේ.. මොකද සැරින් සැරේ ඉල්ලගන්න සල්ලි ඉස්සරහ මාසෙන් කැපෙන්න කියලා, කීප පාරක්ම ඉල්ලගනිපු නිසා. ඇන්ටිට දුවලා දෙන්නෙක් ඉන්න නිසා, සහ අපිත් රැකියාවට ගිහිපු අලුත, සල්ලි ගැන වැඩිය වගකීමක් නැති ගෑනු ළමයි නිසා, අපිත් ඉල්ලුවම වැඩිය අදි මදි නොකර සල්ලි දුන්නා, හැබැයි, මතක දුන්නු ගණන් මතක තියාගත්තා.)

    කොහොමහරි, සල්ලි අඩු පාඩුවක් ඇති, අසනීපයක් ද දන්නෙත් නෑ, පවු අහිංසක මනුස්සයා කියල සල්ලි දුන්නම, මෙන්න බොලේ ඊළඟ සතියේ පවුලේ නෑදෑයෝ හැමෝටම එන්න කියලා ගෙදර ලොකු බර්ත්ඩේ පාර්ටි එකක්!

    ඇන්ටි ණය ගෙවන්න අමාරු වෙන්න වෙන්න, අපේ බෝඩිම් ගාස්තු වැඩි කරන්න හැදුවා අසාධාරණ විදියට. පස්සේ අර කලින් ගෙවපු සල්ලි ටික කැපෙනකම් හෙමීට වෙන බෝඩිමක් හොයාගෙන, අපි එහෙන් ආව.

    ReplyDelete
    Replies
    1. අන්නේකයි. අපි සමහර වෙලාවට සල්ලි දෙන එක මිනිස්සු වාසියට ගන්නවනෙ.

      Delete
  23. නෙලුං සම්මානෙ ගැන ටිකිරිගෙත් සුකිරිගෙත් පසු ප්‍රතිචාර දැනගන්න කැමතියි.අදාල රූප රාමු සමගින් රසවත් විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. එව්ව ලියන්න ගිහිං මාව කොංවෙලාම යයි.

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. ඉතුරු ටිකත් ලිවුවනම්

    ReplyDelete
  26. උඹලගේ පුන්චම්ම පාර්ලිමේන්තුවට යවන්න වටිනවා..

    ReplyDelete
  27. දැන් මේවා ලියල නෑදෑයෝ තරහ කොර ගන්නවා නෙමෙයි ඕන්

    ReplyDelete
  28. මතකයි මතකයි.... පුංචම්මා අර සංගීතෙ බලන්න ගිය වෙලාවෙ සැට් වෙච්ච එක්කෙනාට සල්ලි දුන්නා නේද?

    ReplyDelete
  29. පුන්චම්මගේ හැටියට උඹ ඔහොම ඉන්න එකත් මදැයි. පොඩ්ඩක් හොයා බලාපං, උඹලවත් උගස් කොරලද දන්නේ නෑ.

    ReplyDelete
  30. තාම හීනෙ ඉතුරු කෑල්ල දැක්කෙ නැද්ද බොල.

    ReplyDelete