Follow by Email

Saturday, January 21, 2017

ප්‍රජනන සෞඛ්‍යය




පහුගිය කාලයේ අපේ රට වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්වුනේ සෙක්ස් හෙවිල්ලට බව ගූගල් සමාගම අපිට කෝචොක් දැම්මේය. "හොඳා එහෙනං "porn" හොයාපු එවුං වැඩියම ඉන්න රටවල් එලියට දාහං" කියා ගූගල් එකෙන් ගේම ඉල්ලන්න එකෙක්වත් හිටියේ නැත. දැං ආයෙමත් සමලිංගිකත්වයට අනුමැතිය දෙන්නට යන බව කියා බුකියේ ජෝගියක් පටංගෙන ඇත්තේය. මං මේවා ගැන එතරං තැකීමක් නොකලේ 'සූටිං මාටිං බැලීම', 'පේස්බුක් එකේ උඩ පහල යාම', 'අන්තර්ජාලයේ ඇඩ් බැලීම', වැනි අටෝරාසියක් වැදගත් වැඩ මට තියෙනා බැවිනි. නමුත් මේ තරං උඩ දමන සෙක්ස් ගැන නොලියා බැරිය. එබැවින් වයස අවුරුදු දහතුනට අඩු එවුං මේවා කියවා නොබැලුවාට කම් නැත.


මං පොඩිකාලේ පටං කියෙව්වේ තරමට නොගැලපෙන ඒවාය. මං ලංකාදීප පත්තරේ කියවන්නට පටංගත්තේ අවුරුදු හත අටේ කාලයේදීය. එබැවින් අපේ වයසේ එවුන්ට වඩා සමාජයට හොස්ස පොවන්නට මට හැකිවිය. එබැවින් රටේ ලෝකේ සිද්ධවෙන දේවල් කිසිවකට මගෙන් බේරී හැංගෙන්නට බැරිවිය. 


ඒ කාලයේ 'ගැට්ටක් අයිනේ සිටින ආරච්චි' වැනි නමක් ඇති නලුවා තරුණියක්ව දූෂණය කර හිරේ ගිය වග පත්තරේ තිබුණි. මට තේරුං ගිය ආකාරයට දූෂණය යනු දූවිලි ගාලා ඇඳුං පැලඳුං සවුත්තු කිරීම වැනි දෙයකි. ඒ අනුව කොලපත් පැදීම, පෝරකවරයක නැග හෙලපල්ලමට ලිස්සීම, ගුටි ඇනගැනීම, ඔට්ටු තැබීම, කන්තෝරු පැනීම වැනි සෙල්ලං නිසා අපිත් ඉසේ කෙස් ගානට දූෂණය වී ඇත. නමුත් ඒක හිරේ දාන්නට තරං වැරැද්දක් වන්නේ කොහොමදැයි මට හිතාගන්නට නොහැකිය. මේ ගැන මාමාගෙන් ඇසූ නමුත් මාමා එය ඇහුන්නෑ වගේ හිටියේය. උත්තර දෙන්න බැරි ප්‍රශ්න වලට ඇහුන්නෑ වගේ සිටීම මාමාගේ සිරිතයි. ඒ ගමන අහන්නට ඉතුරු උනේ තාත්තා විතරය. මහගෙදරදී දලු ගෝනියට දලු දාන්නට උදව්වෙන ගමං මං තාත්තාගෙන්


"තාත්තේ දූෂණය කියන්නේ මොකද්ද?"


යැයි ඇසුවේ පුංචම්මා ඇතුළු හත් අට දෙනෙක්ගේ ජනතාවක් මැදය. උත්තරේ ලැබුනේ ලෝකයට යොමා සිටි මගේ හොස්සකට සමතලා වෙන්නටය.


"යස... යසම යස කුණුහරුප අහන්න යනවට. තවේකක් දෙන්න තිවුනේ සෝම්පාලයියෙ දතක් හැලෙන්නම"


පුංචම්මාත් ඒකට පෝර පස් දැම්මේය. පත්තර කියවිල්ලෙන් මාව 'යංකිසි දවසක' අන්තිම නරක මිනිහෙක් වන බව ආච්චම්මා අනාවැකියක්ද කිව්වේය.


ඒ විදිහට මගේ උත්තර නැති ප්‍රශ්න ගොඩට තවත් එක ප්‍රශ්නයක් ඉතුරු විය. තාත්තාගෙන් ලැබුණු උත්තරය අනුව හිතාගන්නට පුළුවන් උනේ ඒක 'උඹ' 'තෝ' 'බල්ලා' අාදියටත් වඩා ඉතාමත් තදබල කුනුහරපයක් බවයි. එයින් පස්සේ ඉස්කෝලේදී දරුණු වලියක් ඇදුනු අවස්ථාවක දෙකකදී මම මේ 'දූෂණය' නැමති ප්‍රබල කුණුහරපය කියා කීප දෙනෙක්ටම බැන වැදුනා මතකය. මේ ගැන පැමිණිල්ල චන්ද්‍රා මිස්ගේ කනට ගිය අවස්ථාවේදී මුළු හෝල් එකේම සිටි ගුරුවරු හතර දෙනාම එකතුවී මගේ මේ නවතම කුණුහරපයට හිනාවුන හැටිද මතකය. 


අතට අහුවන සේරම කියවීම එකම පරමාර්ථය කරගත් මට ඒ කාලයේදි කියවන්නට ලැබුණු තවත් පත්තර කීපයකි. ඒවා ගෙනාවේ පුංචම්මාය.

සුවඳ
මගේ හදවතේ සුවඳ ඔබට දැනේවා

කියා නම තැබූ පත්තරය එයින් එකකි. මේවා පොඩි ළමයින් කියවන පත්තර නොවන බැවින්ද, මං එව්වා කියවනු ඇතැයි හිතන්නට බැරි නිසාද, මේ පත්තර මහගෙදර අතන මෙතන දමා තිබුණි. ඒවායේ තිබුනේ සතිපතා පලවන කතන්දරය. මමත් කතන්දර කියවන්නට හරිම ආසාය. මට ගේනා ළමා පත්තරවල තිබුනේ කතන්දර එක දෙකකි. අනෙක්වා ඉරි අඳින්න, යාකරන්න, හිස්තැං පුරවන්න, ආදී මට මිනිත්තු පහකින් ඉවර කළහැකි මොන්ටිසෝරි වැඩය. ඒ වුනාට මේ පුංචම්මා ගෙනෙනා පත්තරවල ඇත්තේ කතන්දර විතරමය. ඉතිං මට ළමා පත්තර වලට වඩා පුංචම්මාගේ පත්තර හිතට අල්ලලා යාම අරුමයක්යැ. ඒ මදිවාට 'සඳරේණු' නම් පත්තරේ තිබුණු 'කොමිටෙල් විජිතය' කියන කතාවත් සුවඳ පත්තරේ තිබුණු 'දමින්ද සමරක්කොඩි' කියා පොලිස්කාරයෙක් ලියන 'බැරැක්කයේ ජීවිතය'ද මොකද්ද කියන එකෙත් තියෙන ඉළ ඇදෙන කතා කියවන්නැතුව ඉන්නට පුළුවනෑ.


පුංචම්මාගේ පත්තරවල තිබුණු කතාවල හිටිය අයට තිබුණු ලොකුම ගැටළුව ඒ ගොල්ලන්ට කසාද බඳින්න හැටියක් නැතිකමය. ගෙවල්වලිං විරුද්ධවීමය. ඒ හිංදා ඒ ගොල්ලෝ අතන මෙතන හම්බුවෙවී අඬමින් සහ මූනු ඉඹිමින් කාලය ගතකලෝය. ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් මූනු ඉඹිනවා හැබැහිං දැක නොතිබූ මට ඒ වගේ ඉඹිලිවල පොටෝ බලන්නට පුළුවං උනේ ඒ පත්තරවලිනි. ඊට අමතරව පෝර කොම්පැනියකින් අැවිත් හන්දියේ ඉස්කෝලෙ ඉස්සරහ එල්ලපු රෙද්දක පෙන්වූ චිත්‍රපටියේද මූනු ඉඹිල්ලක් තිබුන නමුත් මිනිස්සු හූ කියන්නට පටංගත් නිසා අම්මා මාවත් ඇදගෙන ගෙදර ඒමෙන් ඒක බලන්නට බැරිවිය.


පුංචම්මා ගෙනෙනා පත්තර ජාතිය මාරු වුනේ වසර ගණනක පෙම් සටනකින් පසු 'වහ බොනවා' යැයි තර්ජනය කර ආතාගෙන් බලහත්කාරෙන් ලබාගත් කැමැත්තෙන් පසුව පුංචම්මාත් බාප්පාත් කසාද බැඳීමෙනි. ඒ විවාහයත් සමගම පුංචම්මාත් බාප්පාත් මහගෙදර කාමරයක පදිංචි වූ අතර 'ප්‍රියාදරී' නම් පත්තරයක් පුංචම්මාගේ ජාතික පුවත්පත බවට පත්විය. මේ පත්තරේ කලාප කීපයක් ඒ දෙන්නාගේ කාමරේ සීසීකඩ තිබූ අතර කොට්ටයක් අනික් පැත්ත ගැසීමෙන්, බෙඩ් සීට්ටෙකක් යට බැලීමෙන් හෝ මෙට්ටය ඔසවා බැලිමෙන් එයින් පත්තරයක් හොයාගැනීමට හැකියාව තිබුණි. 


අලුත බැඳපු කාන්තාවන්ගේ කතන්දර ඒ පත්තරවල තිබුණි. ඒ කතන්දර පටංගැනුනේ


"එයා S ලෙසත් මම M ලෙසත් හඳුන්වන්නම්. මම S අයියාව අඳුරගත්තේ අපේ කඩේදියි. එයා අපේ ගෙවල් ළඟ පාලමක් හදන තැනක වැඩ කලේ. එයා එයාගෙ යාලුවා P අයියාත් එක්ක මගේ යාලුවා W අක්කාගෙ පස්සෙන් යන ගමන්...."


ආදී වසයෙනි. කතාව මැදට යනවිට ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසි හයෙන් වැඩි ගානක් කතාවට පැටලිලා හමාරය. මේ කතාවල හැටියට මේ ඉංග්‍රීසි කැපිටල් අකුරු දෙකේ 'සම්බන්ධයට' ගෙදරින් 'ගොඩාක්' අකමැති වී ඒ දෙන්නා පැනයන්නේය. ගිහිං නවතින්නේ තවත් ඉංග්‍රීසි කැපිටල් අකුරකගේ ගෙදරය. ඒ ගෙදර මේ ඉංග්‍රීසි අකුරු දෙක නවතින්නේය. එදා රෑ මේ ඉංග්‍රීසි අකුරු දෙක ඒගොල්ලංගේම ලෝකයක තනිවී "ගොඩාක් සතුටු" වන්නේය. මෙන්න මෙතැනදී මේ ගොඩාක් සතුටු වීම මොකක්දැයි මට තේරුං ගැනීමට අමාරුය. සමහර විට හොඳට කන්න බොන්නට ලැබීම නිසා වන්නට පුළුවන. නැතිනං දැං ගෙදර අය සහ අනෙක් ඉංග්‍රීසි කැපිටල් අකුරු වලට මේ ජෝඩුවගේ සම්බන්ධයට තවදුරටත් 'අකමැති' වන්නට බැරි නිසා වන්නට පුළුවන. මේ ප්‍රශ්ණය ඔඩුදුවන්නට පෙර පත්තරේ ඒ පිටුව පහුවදා මගෙත් එක්ක ඉස්කෝලෙ යන්නේ ඒ නිසාය. ඒ පිටුව කියවූ හුඟක් දෙනෙක්ගේ මතය වන්නේ බදාගෙන ඉන්නට, ඉඹින්නට ලැබෙන හිංදා සංතෝසයක් ඇතිවන්නට ඇති බවය. නමුත් එක්කෙනෙක් කිව්වේ දෙන්නා එක්ක 'හෙලිමෙං' ඉඳීම මේ සන්තෝසයට හේතුවන්නට ඇති බවය.


නමුත් මේ පත්තරය දිගින් දිගටම කියවීමෙන් මේ කියනා වැඩේ මොකද්දැයි අහුලා ගන්නට පුළුවන් විය. මේ පත්තරේ 'ඔබගේ සැමියා/බිරිඳ තෘප්තිමත් කරන ආකාරය' කියා වෙනමම පාඩං රැසක් තිබුනා නොවැ. ඒවායේ තිබූ කරුණු කාරනා තේරුං ගන්නට මට උවමනා උනේ 'යෝ' යන්නෙන් පටං ගන්නා වචනයකත් 'ලි' යන්නෙන් පටං ගන්නා වචනයකත් තේරුම දැනගැනීමට පමණයි. එතැන් පටං මේ කියනා සන්තෝෂදායක කටයුත්ත මොකක්දැයි කාටත් කියාදෙන්නට මටත් හැකි විය. මේ ගැන මගේ දේශනා ඇසීමට පන්තියේ කොල්ලන් ඉතාමත් ලැදිකමක් දැක්වූ අතර අතරින් පතර සමහර ශ්‍රාවකයන් කියා සිටියේ මේ වැනි දර්ශන තමුන් අල්ලපු ගෙදර ජනෙල් රෙදි අතරින් අංශුමාත්‍ර වශයෙන් දැක ඇති බවයි. 



මේ කාලයේදී සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනය විෂයට අදාල වැඩමුළුවකට අපේ මාමාද සහභාගී විය. ඒ කාලයේ ඉඳහිට එවැනි වැඩමුළු ගුරුවරුන් වෙනුවෙන් පවත්වන ලදී. වෙනදා ඒ වැඩමුළුවලදී කියාදෙන දේවල් ගෙදර ඇවිත් අනික් අයටද කියන මාමා මේ වැඩමුළුවෙන් පසු ගෙදර ඇවිත් ඒ ගැන මොකවත් කිව්වේ නැත. වෙනදා මෙන් නොව මේ වතාවේ මාමාට බෑග් එකක්ද, සුදු ටී ෂර්ට් එකක්ද, තොප්පියක්ද, පොතක්, පෑන් ආදී තෑගි ගොඩක්ද ලැබී තිබුණි. ඒ හැම එකකම අතු දෙකක් වටකුරු කර තැනූ ලාංඡනයක් වටේට කහපාටින් ලොකු අකුරින්

යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන

 කියා ලියා තිබුණි. මේ වනවිට අපේ මාමා සිටියේ කසාද බැඳලා නමුත් කැන්දන් එන්නට තව මාස කීපයක් තිබෙන සමයකය. ඉතින් හැම සිකුරාදාම හවසට "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" කියා ලියූ බෑග් එකේ රෙදි කඩමාලු කීපයක් දමාගෙන බයිසිකලේට පැට්ටල් බෝතලයකුත් පොවාගෙන අපේ මාමා සිය අනාගත බිරිඳගේ ගෙදර යන්නේ සති අන්තය ගත කිරීමටය. මහ වැසි ඇති සීතල දවස්වලට අපේ ආතා ගෙදර ඉස්තෝප්පුවට වී ඉන්නේ "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" කියා හංවඩු ගසා ඇති ටී ෂර්ට් එක ඇඳගෙනය. ඒ මදිවාට අපේ ආච්චිඅම්මා දලු කඩන්න යනවිට අව්ව සැර වැඩි නිසා "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" නමැති තොප්පිය දාගෙන ඉන්නේ


"මේ අපේ පුතාට වැඩසටානකට ගිහිං හම්බුවෙච්චෙකක්"


කියා අනෙක් අයටද කියන ගමන්ය. 


මේවාට හිනාවෙවී සිටි මට ඊළඟ අවුරුද්දේ නවය වසරේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය අච්චු පොතට 'ප්‍රජනනය' නමින් පාඩමක්ම ලැබුනා නොවැ. නවය වසර පන්ති හතරටම සෞඛ්‍ය සහ අනිත්තෙක ඉගැන්වූ ගුරුතුමියට මේ විලිලැජ්ජා සහගත පාඩම උගන්නන්නට හිත හදාගන්නට බැරිවූ බැවින් එය භාරවූයේ 'ශිෂ්‍ය උපදේශනය' කියා බෝඩ් ලෑල්ලක් ගැසූ කාමරය අස්සේ හිටි ගුරුතුමාටය. එතුමා එක දවසක පන්ති හතරම එකට එක්කාසු කර ඒ පාඩම කදිමට ඉගැන්වූයේ නොදන්නා එවුන් රැසකට සම්පූර්ණ දැනුමක් ලබා දෙමිනි. ඒ වැඩසටහනින් කීප දොහක් යනතෙක් සමහර කෙල්ලන්ට කොල්ලන්ගේ මූන බලන්නට බැරි ලෙඩක් මතුවිය. අපි එදා පොතේ ඇඳගත් පින්තූර මූ අැත්තටම එල්ලාගෙන ඉන්නවා නොවැයි ඔවුන්ට සිතෙන්නට ඇත. නමුත් ආපසු හැරී බලනවිට අකාලයේ කාලකන්නි වන්නට ගිය ජීවිත කීයක් නම් එදා ඒ පාඩමෙන් උගත් දේවල් නිසා රැකෙන්නට ඇතිදැයි සිතේ. ඒ පාඩම පෙළ පොතට ඇතුළත් කළ කෙනාට මගේ ගෞරවය හිමිවිය යුතුය.


මේ කාලයේදී නොසන්ඩාල වැඩවලට ප්‍රසිද්ධියක් ලබා සිටි අපේ පන්තියේ අයෙක් රුපියල් තිහක් වටිනා පත්තරයක් ගෙනාවේය. ඒ පත්තරය තමුංගේ ලොකු අම්මාගේ පුතාගේ යාළුවෙක්ට වෙනිං යාළුවෙක්ගෙං ලැබී පිළිවෙලින් තමුං අතට ආ බවත් පත්තරේ ඇත්තටම අයිතිකරු හරියටම කවුරුන්දැයි නොදන්නා බවත් අපේ මිත්‍රයා කීවේය. ඒ පත්තරයේ තිබූ කතන්දර සහ නිරිවස්තර පින්තූර අපේ සිත තදින් බැඳගත් අතර පාඨකයෝ බහුල වීම නිසා පත්තරයේ පිටු වෙන වෙනම බෙදාහැර එකවර වැඩි ගණනකට කියවීමට ලබාදීමට සිදුවිය. General English අච්චු පොතද මේ පත්තරයේ දිග පළලටම මුද්‍රණය කර තිබීම පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අනේක වාරයක් පින් දෙමින් ඉංග්‍රීසි හල්කඳුරු තිත්ත වූ අය පවා මැදට තිහේ පත්තරෙන් පිටු ඩබලක් දමාගෙන ඉතා උනන්දුවෙන් General English පෙළ පොත කියවූහ. මේ ආරංචිය අනෙක් පන්තිවලටද පැතිර යාම නිසා කාලච්ඡේදයක් අවසානයේ ගුරුවරයා පන්තියෙන් පිටවන විටම 


"අනේ පිටුවක් දියල්ලා බං. ඊළඟ පීරියඩ්ඩෙකේ ගෙනත් දෙනව."


කියමින් පින්සෙන්ඩුවන කොල්ලන්ගෙන් අපේ පන්තියේ කොට බිත්තිය පිරී යයි. දවස අවසන් වනවිට පත්තරේ ගෙදර ගෙනියන එකා තේරීමට තුණ්ඩු දැමීමට හෝ 'හෝ දහය විස්ස' කියන්නට පවා සිදුවිය. කොල්ලන් මේ තරම් රහ කරමින් බලන්නේ මොකක්දැයි දැනගැනීමේ ආසාවක් කෙල්ලන් තුලද තිබූ නමුත්


"මේවයෙ තියෙන්නේ බොලගෙ ග** අ** තියෙන එකම තමයි"


කියා සැක දුරු කිරීමට පාලිතයා ක්‍රියා කලෙන් නැවතත් ඒ ගැන විමසීමට එඩිතර සිසුවියක් අපේ පන්තියේ ඉතිරි නොවීය.


 අන්තිමට දහය එකොළහ වසරවල සහ උසස්පෙළ හාර පන්සියයක් වූ සිසු කැලගේ අතින් අත යමින් සිත් සතන් නිවා සැනහූ පත්තරය ඊළඟ සතියේ රට එක්සේසත් කළ රජතුමෙකුගේ නමින් නම් කළ වෙනත් පාසලකට ගියේ එවැනිම සේවාවකටය.


මීලඟට අපට නිල් චිත්තර පටියක් හෙවත් 'බ්ලූ' එකක් බලන්නට අවස්ථාව ලැබුනේ හදිසියේ රටයන කෙනෙක්ගෙන් අපේ පාසල් සගයෙකුගේ ගෙදරකට ඩෙක්කෙක් ලැබීමෙනි. ඊළඟ සතියේම පත්තරේ ගෙනා නොසන්ඩාලයා බ්ලූ පීස් එකක් ගෙනාවේය. ඩෙක්කෙක ඇති ගෙදර වැඩිහිටියන්ගෙන් නිදහස් වන දවසක් උදාවෙන තෙක් අඟල් දහයේ තල පරිගණකයක් තරම් විසාල පීස්සෙක රැක ගැනීමේ කොන්ත්‍රාත්තුවට කර ගැසුවේ මමය. මේක අස්සේ තියෙන්නේ මොකද්දැයි බලාගන්න ඩෙක්කෙක් ගමේ වෙන කාටවත් නැති නිසා බයවෙන්නට දෙයක් නැත. මං ඩෙක් පීස්සෙක ගෙදර ගෙනගොස් අල්මාරියේ දමා


"මේක මං පාරෙ තිවිල අහුලගත්තෙ. මට පස්සෙ වෙලාවක ගලෝලා බලන්න. පරිස්සං වෙන්න අල්මාරියෙ දාතිව්වා"


කියා අම්මාට කීවෙමි. ඕනෑ දහිරවාට්ටුවක් ගෙදර ගෙනැත් ගලවා බැලීමේ මැකෑනික් කමක් මගේ ඉහේ තිබූ ඒ කාලයේ මේකත් සිය පුත්‍රයාගේ එවැනි දහිරවාට්ටුවක්ම බවට විස්වාස කිරීමට අම්මා පසුබට නොවූවාය.


නියමිත දවස උදාවිය. ඩෙක්කෙක අැති නිවසේ  දෙමව්පියන් දුරක පිහිටි තමුන්ගේ ඉඩමේ දළු කඩන්නට යන දවස උදාවිය. එදා දවසේ අපේ පන්තිවල සිසුන් රැසකටම බඩේ අමාරු, දතේ අමාරු ආදී නොයෙක් ලෙඩ ඇතිවිය. සිය රෝගී දරුවන් ගෙදර දමා දෙමව්පියෝ දවසේ වැඩවලට ගියහ. අපිද ලෙඩේ පසෙක දමා පුබ්බයිසිකල්වල නැගී අදාල නිවසට ගියෙමු. ඩෙක් පීස්සෙක භාරකරු බැවින් මා යන තෙක් වැඩේ පටන්ගන්නේ නැත. 


මම යනවිටත් ගේ ඉදිරිපස තිබූ සෙරෙප්පු කුට්ටං ගණන පෝය දවසක රජමහා විහාරයක් ඉදිරිපිටවත් දකින්නට බැරිය. හන්ටර් සමාගමේවත් එදා ඒ ගෙදර පිලිකන්නේ තිබූ තරං බයිසිකල් ගොඩක් තියෙන්නට විදිහක් නැත. ගෙයි සාලයේ බිම පවා සෙනගය. සමහරු මේස උඩය. කීප පොලකින් කාන්දු වී ඇති රහස නිසා අපේ අහල ගංවල පවා කොල්ලන් එදා ලෙඩවී ඇත. මේ තරම් කොළු රැලක් සිටින තැනක හුස්ම ගන්නා සද්දයවත් නො  ඇසෙන තරං නිෂ්ශබ්දතාවයක් 'විනාඩියක නිෂ්ශබ්දතාවයක්' පවත්වන විටකවත් දකින්නට බැරිය. ජනෙල්වල සියළු තිරරෙදි දමා ඇතුළ නොපෙනෙන ලෙස වසා ඇත. ටීවියෙකේ ශබ්දය බින්දුවටම අඩුකර ඇත. එක ජනේලයකට එකා බැගින් වටපිට බැලීමට ඔත්තුකරුවන් යොදා ඇත. කවුරුන් හෝ ආවොත්  වහාම ඩෙක් පීස්සෙක එළියට ගැනීමට සූදානමින් රිමෝට්ටෙක අතේ තබාගත් එකෙක් ඉදිරියෙන්ම සිටී. ඒ වහාම ඩෙක් පීස්සෙක ඩැහැගෙන හංගා ගැනීමට සූදානමින් ලොකු ටීෂර්ට් එකක් ඇඳි එකෙක් බිම ඉඳගෙන සිටී. තවත් එකෙක් අත වෙනත් දෙමළ චිත්‍රපටියක ඩෙක් පීස් එකක් ඇත්තේ නිල් චිත්‍රපටිය වෙනුවට ඩෙක්කෙක ඇතුළට පැනීමටය.


එදා ඒ ඩෙක්පීස්සෙක බැලූ සෙනග කන්දරාව දුටුවානං එහි රඟපෑ නළු නිලියන්ටද ලැජ්ජා හිතෙනවා ඇත. දර්ශනය දෙවරක් බලා අවසානයේ අහල පහල අයට නොදැනෙන්නට සද්ද නැතිව, ගෙදර වත්තේ විවිධ දිශාවලින් දෙන්නා බැගින් ප්‍රේක්ෂකයන් පිටවී ගිය ආකාරයට සද්ද නැතුව ගමනක් යන්නට දිගුදුර මෙහෙයුම්වල යෙදෙන සීල් භටයන්ටවත් බැරිය.


පසු කාලීනව සීඩී ධාවන යන්ත්‍ර සහ කැමරා පෝන් කලඑළි බැසිමත්, ළමයින්ට කොම්පියුටර් ලැබීමත් නිසා මෙවැනි සාමූහික ත්‍රාසජනක කටයුතු පුද්ගලික මට්ටමට පත්විය. බොහෝ නිවෙස්වල අධිවේගී අන්තර්ජාල පහසුකම් වලින් කෙරෙන්නේද එවැනි ජවනිකා අතළඟට ගෙන ඒම බවද නොරහසකි. 


නමුත් මේ සියල්ලෙන්ම කෙරෙන්නේ දැනුමක් ලබාදීම නොව තවතවත් හැඟීම් උසිගැන්වීම පමණි. නවය වසරේ පෙළ පොතේ ප්‍රජනනය පාඩමෙන් කළ සේවාවෙන් කොටසක් හෝ කළ හැකි උපදේශන සේවාවක් තවමත් සමාජගතවී නැත. එදා එම පාඩම පාසල්වල ඉගැන්වීමට පටන්ගැනීමෙන් පසු අපේ ගම් ප්‍රදේශයේ අවුරුදු දාහතරේ පහලොවේ ගැහැණු ළමයින් ගැබ් ගැනීම් සහ හොරෙන් පැනයාම් ගණන විශාල ලෙස අඩුවී ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් ROOMS කියා බෝඩ් ගැසූ තැන්වල ආදායමේ අඩුවක් නැත. එයින් කියවෙන්නේ දැන් තරුණ තරුණියෝ 'පාවිච්චි වෙන්නට' හෙවත් අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වාගන්නට දන්නා බවය. විවාහ වනතෙක් ගැටළු ඇති නොවී ජීවත් වන්නට ඒ දැනුම ප්‍රමාණවත්ය.


නමුත් විවාහයෙන් පසු ජීවිතය ගැන හරිහමං උපදෙස් ලැබෙන්නේ අල්ප වශයෙනි. මංගල සබාවලදී තලත්තෑනි අයගෙන් නව යුවලට උපදෙස් ලැබෙන්නේද රට වෙනුවෙන් හැකි ඉක්මනින් ළමයි හදන්න කියාය. නමුත් තමුන්ටත් දරුවාටත් කරදරයක් නොවන ලෙස දරුවෙක් හදාගන්නා ආකාරය කියාදෙන කෙනෙක් නැත. උපත්පාලන ක්‍රම ඇතත් ඒවායේ අතුරු ආබාධ ගැන කියාදෙන කෙනෙක් නැත. මගුල් පින්තූරයේ කෙට්ටුවට ඉන්නා මනමාලිය වසර දෙක තුනකින් 'අලි බාගයක්' වන්නේ උපත් පාලන පෙති නිසා බව කියා දෙන්නට කෙනෙක් නැත. 


එබැවින් විවාහ ජීවිතයේ ගැටළුවලට උපදෙස් දෙන්නේද ඉරිදා පත්තරේ අග පිටුවේ සිටිනා ජාවාරම්කාරයෝය. ඒවා වෙත ඇදෙන ජීවිතවල අවසානය කෙලවර වන්නේ කොතැනින්නදැයි කිසිවෙක් දන්නේ නැත. නොයෙක් දික්කසාද නඩුවලින් අඩකට වඩා හේතුවී ඇති සැඟවුනු හේතුවද දෙන්නා දෙපොලේ සිටීම සහ ලිංගිකමය වශයෙන් ඇති ගැටළු බව දැක ඇත්තෙමි. 


ඉතින් මේ සමාජයීය ගැටළු වෙනුවෙන් මෙම ලිපිය කියවන ඔබට කළහැකි යමක් තිබේ. ඔබ අතරින් මේ විෂය සම්බන්ධව පුළුල් දැනුමක් ඇති බොහෝ දෙනෙක් සිටිනු ඇත. ඔබ දන්නා දේ ලියා ප්‍රසිද්ධ කරන්න. ඔබ සහභාගී වන මංගල උත්සව වලදී විවාපත් යුවලට සිය ඉදිරි ජීවිතයට අවශ්‍ය වියහැකි දැනුම ලබාදෙන්න. එහෙමත් නැතිනම් මෙහි පහත කොමෙන්ට් වශයෙන් හෝ පලකරන්න. එය සමාජයට කරන උදව්වකි. මක්නිසාද යත් ලිංගික ගැටළු මානසික සහ සමාජයීය යන අංශ දෙකෙන්ම බලපාන බැවින් ලිංගික ගැටළු ඇති පුද්ගලයා අසමත් පුද්ගලයෙක් වන්නේ ඔහු අවට සිටින සමාජයත් අසමත් කරමින්ම වන බැවිනි.

63 comments:

  1. අපිනං හතේ අටේ කාලෙ ඔය පත්තර පිට්ටැන්නෙ ගස් බෙන අස්සෙ නිදං කරල තමයි තිබුණෙ. 11 දි නං සභ්‍ය පින්තූර තියෙන කාඩ් පැක් එකක් ටිචර්ලට මාට්ටු වෙලා යන්තං උපරිමාධිකරණයට යන්නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන් උනා.

    ReplyDelete
    Replies
    1. බෙනේ අස්සෙ පුස්තකාලෙ. ඉතිං ඕකට වතුර පිරුනෙ නැද්ද?

      Delete
  2. ඔය චයිනීස් VCD ප්ලේයර් සමහර ඒවයෙ එක ගෙදරක සීඩීයෙකක් බලනකොට අහල පහල ගෙවල්වල රූපවාහිනී තිරවල ඒ ෆිල්ම් එක නොමිලේ නරඹන්න ලැබෙන සීන්ස් වගේකුත් ඒ කාලෙ තිබුණ වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඒකට විකාශනය කරන ටීවියෙකේ ඇන්ටෙනා ජැක්කෙක ගැලෙව්වම හරි.

      Delete
  3. බොලා කියල තියෙනව වගේ තාමත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙ ඔය ලිංගික අධ්‍යාපනය කියන්නෙ කුණුහරුපයක් කියන මතය තමයි තියෙන්නෙ. ඒකෙන් වෙන්නෙ වෙනත් ක්‍රම මගින් ඒ අධ්‍යාපනය ලබන්න බැරි ගම්බදව වෙසෙන ගොඩක් දෙනෙක් නිරපරාදෙ අනාත වෙන එක. මාත් එක හෙලාම කියන්නෙ ඔය දේ හංගගෙන ඉන්නැතුව හත අට ශ්‍රේණියෙ ඉඳලවත් විෂයමාලාවට අැතුලත් කරල කියල දෙන්න ඕන එකක් කියලයි.හැබැයි ඉතිං තාමත් ඉස්කොල වල ඉන්න වයසක ගුරාලනං ඕකට කැමති වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට සමහර ගුරුවරු නං ප්‍රැක්ටිකල් හිට කරල පෙන්නල තිබුන.

      Delete
  4. ඇත්ත කතාවක් හරියටම ලියල තියෙනවා සුරංඟ අයියේ... ඔය විස්තර තියෙන යූටියුබ් චැනල් එකක් දැං තියෙනවා නේද?
    ජය!

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒකෙ ලිංකෙක මෙතන දහං. එව්ව නෙමෙයි කොහොමෙයි උඹේ විබාග පෙතිපල. අම්ම බෝව ගෙදරිං එලෙව්වද?

      Delete
    2. මටනං ආරංචි වෙච්ච විදියට ළඟදිම එලෝන සීන්ස් එකක් තමයි තියෙන්නෙ.

      Delete
    3. එලෙව්වොත් අර ගොඩකවෙල කඩමණ්ඩියෙ බස් නවත්තන දෙල් ගහයට පෙට්ටි කඩෙයක්වත් අටෝමු මලේ.

      Delete
    4. අනේ එව්ව ගැන කතා කොරල වැඩක් නෑ ආයිබොං.. ආයෙ කුරු‍ටු ගානවා.. ;)

      Delete
    5. මෙන්න ලිංකෙක

      https://www.youtube.com/channel/UCJ2U7UVtVXj0XQJboKBclbA

      Delete
  5. මම මුලින් ම ඔය ජාතියේ එකක් බැලුවේ ඉස්කෝලේ ප්‍රදර්ශනෙකදී කොල්ලෙක් ගේ කොම්පියුටර් එකේ දාල. ඊට පස්සේ සුරංගල වගේ ඉස්කෝලේ කොල්ලෝ සෙට් එකම අපේ ගෙදර ආපු වෙලාවක ඩේක් පීස් එකක් බැලුවා.. තාත්තාට වැඩේ මාට්ටු වුණා එදා නම්.. මොකද කොල්ලන්ට උයල කෑම දෙන්න තත්තා ගෙදර හිටියේ.. තාත්තා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් ඉඳල අපි ඕක දා ගත්තා.. ටිකක් වෙලා යද්දී තාත්තා බයිසිකල් එකේ එන සද්දේ ඇහිලා අපි දඩ බඩ ගාලා පීස් මාරු කරන්න ගිහින් හිර වුණා හරි මොකක් හරි වුණා. තාත්තා එද්දී ටීවී එකේ මොකක් හරි සීන් එකක් හිර වෙලා තිබුනා. හෙහ් හෙහ් තාත්තා නොදැක්කා වගේ සාලේ හරහා ගේ ඇතුලට ගියා..මම කූල් වෙලා හිටියත් පස්සෙවත් මට වචනයක් වත් කිව්වේ නෑ.. හෙහ් හෙහ්..

    ඔය ගැන අධ්‍යාපනය නම් හරිම වැදගත්. කරුණු කාරනා දැන ගන්න අපිට තරම් අමාරුවක් දැන් ඉන්න ළමයින්ට නැති වුනත්, හරි අවබෝධයක් ලබා දීලා අනවශ්‍ය ප්‍රශ්න වලින් ළමයින් ව ගලවා ගන්න එක නම් හැමෝගෙම යුතු කමක්. මගෙන් නම් කවුරු ඇහුවත් ඔය ඕනේ එකක් කියල දෙනවා කියල තමයි මම හිතා ගෙන ඉන්නේ.. වෙලාවට තාම පොඩි වුන් අහල නෑ හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. තාත්තා නං නියම අවබෝධයක් සහිත කෙනෙක්. සමහර වැඩිහිටියො හිතං ඉන්නෙ ඔව්ව එකක් බැලුවහම ළමයා මිනියක් මැරුවා හා සමාන වැරදිකාරයෙක් කියලනෙ.

      Delete
    2. හොඳ වෙලාවට තාත්ත එනකොට ඇඳගෙන ඉන්න සරමෙං ටීවීයෙක වැහුව වගේ සීන් එකක් නොවුනෙ.

      Delete
    3. ටීවියෙකේ සුයිච්චෙකෙං වැහුවනං හරිනෙ.

      Delete
  6. මේ පිලිබඳ කියාදීම තමයි කරන්න ඕන. මේ පිලිබඳ බටහිර රටවල්වල ඔය ඉගෙන්වීම් කෙරෙනෙවා, ඒත් යම් ප්‍රමානයකට අඩු වයස් ගැබ් ගැනීම් වෙනවා. නමුත් කඩේකට ඇවිත් කොන්ඩොම් එකක් ගැනීම ඔවුන්ට ප්‍රශ්නයකුත් නෙමේ. ඒ ගැබ් ගැනීම් නම් වෙන්නේ නොදැනුවත්කම නිසා නෙමේ. යෞවනයේ ඇති නොඉවසීම නිසා වෙන්න ඇති.

    මේ රටේ ලිංගික අධ්‍යාපනය පිලිබඳ කෙටියෙන් මෙහෙමයි.

    Other compulsory subjects
    Children must also study:

    sex and relationships education (year 7 onwards)
    religious education (RE)
    They may not have to take exams in these subjects.

    Sex and relationship education
    Sex and relationship education (SRE) is compulsory from age 11 onwards. It involves teaching children about reproduction, sexuality and sexual health. It doesn’t promote early sexual activity or any particular sexual orientation.

    Some parts of sex and relationship education are compulsory - these are part of the national curriculum for science. Parents can withdraw their children from all other parts of sex and relationship education if they want.

    All schools must have a written policy on sex education, which they must make available to parents for free.

    https://www.gov.uk/national-curriculum/other-compulsory-subjects

    ReplyDelete
    Replies
    1. ඒ වගේම බාලක සහ බාලිකා පාසල් සියල්ල මිශ්‍ර පාසල් කිරීමත් වැදගත් වෙන්නේ නැද්ද?

      Delete
    2. අනේ මන්දා සුරංග ඒ තුලින් මේ කාරනාවට මොන වගේ බලපෑමක් කරන්න පුලුවන්ද කියලා. මම පෞද්ගලිකව නම් මිශ්‍ර පාසල් ක්‍රමයට කැමතියි. සාපේක්ෂව් ඒ තුලින් යම්කිසි අවබෝධාත්මක මිනිහෙක් හෝ ගැහැනියෙක් බිහිවෙයි, නමුත් සෙක්ස් එඩියුකේශන් එකට එයින් සෙතක් වෙයිද...මේ පිලිබඳව අධ්‍යයනය කරපු අය ඉන්නවා නම් අදහසහ් දාන්න නියමයි.

      Delete
  7. යකඩෝ බලං යනකොට බොලාට මොනවා හරි උගන්නල තියනව!

    අපිට තිබ්බෙ පෙට්ටි රූපසටහන් වගේකුයි මෙලෝ යකෙකුට තේරෙන්නේ නැති විකාරයි විතරයි...

    අර කියපු පත්තරවල තිබ්බ ඉස්කෝලෙන් උගන්නපුවට වඩා යමක්, හරි සීදේවි පත්තර පොඩ්ඩ 😂😂😂

    ReplyDelete
    Replies
    1. සීදේවි කියල එකකුත් තිවුනා තමා.

      Delete
  8. අනිවා ...අපි ගුරුවරුන්ට ඔ්ය ප්‍රශ්ෙන ෙහාඳටම දැෙනනව.අෙප් මට්ටෙමන් අපි ට්‍රයි කරනව දරුෙවා දැනුවත් කරන්න.ඉස්සරට වඩා දැන් ෙහාඳයි.ඒ්ත් 8 ළමය අෙතත් බ්ලූ පීස් තිබිල අහුෙවනෙකාට මක් කරන්නද කියල හිකා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. "මක් කරන්ඩද කියල..." හෑ...?

      Delete
    2. මක් කරන්නද ඉතිං ඒක ටීචර් ගෙදර අරං යනව මිසක්ක. හැක්..

      Delete
    3. එහෙම එව්වා අහුවුනොත් කරන්න තියෙන්නෙ ළමයව පුද්ගලිකව පැත්තකට අරං ඒවායෙ තියෙන ජාති කරන්න යන්න එපා කියලා කියන එකයි. ඔව්වා එකක් දෙකක් බැලුවා කියල ළමයෙක් නරක් වෙනවා නං මේ මාවත් එහෙම පිටිම්ම නරක් වෙලා තියෙන්න එපෑ.

      Delete
    4. තොපෙ ඇස් පොට්ටද? මං ඇහුවෙ ටීචර් ඊලගට ලියල තිබ්බ වචන තුන ගැන. මොකද්ද කොර ගන්ඩ බෑය කියන්නෙ?

      Delete
    5. හෆොයි ඩ්‍රැකී... බ්ලඩ් එකවුන්ට් එන්ඩ් වෙලා. ඩ්‍රැක්‍යුලා ලොස්ට් වෙලා අනේ.!!!

      Delete
  9. වල් පාඩම http://transyl2014.blogspot.ca/2016/09/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. හරිම වල් වැඩක් නේ.

      Delete
  10. උඹේ මේ තියන දැනුමෙන් හොඳ සල්ල්ලියක් උපයන්න පුළුවන් ශ්‍රන්ගයෝ..යාන් හෑල්ල ලිංගික උපදේශන සේවාව කියල එකක් පටංගමු.. පත්තරේ ඇඩ් එකක් එහෙම දාමු VPP මගින් මුද්‍රිත උපදේශන කට්ටලය එවනවා කියල.. වැඩේ නැගල යාවි.. බැරි අමාරුකම් තීන උදවියට නිවසට පැමිණ සේවය සපයනවා කියලත් දාමු.. ඒ වැඩේට අපි ගම් මට්ටමෙන් නගර මට්ටමෙන් හොඳ හැකියාව තියන උදවිය හයර් කරමු පාර්ට් ටයිම් එම්ප්ලෝයීස්ල විදිහට.. මොකද ලංකාව පුරාම ඉන්න ක්ලයන්ට්ල උඹට තනියම සේවය සපයන්න අමාරුනේ..හැබැයි ඉතින් චූටි මැණිකෙ කැමති වෙයිද මන්ද..

    ReplyDelete
    Replies
    1. අකමැති උනොත් ඉතිං පිලේ ලගින ටොමිය තමයි. මොකද උටනෙ ඉන්න හිටින්න තැන නැතිවෙන්නෙ.

      Delete
    2. ශ්‍රංගය ප්‍රායෝගික උපදේශනය දෙන්න යන එකටනං චූටි මැණිකෙ කැමති වෙන එකක් නෑ. හැක්..

      Delete
    3. කටුනායක නියෝජිත විදිහට මාව දාපිය

      Delete
    4. දැනටමත් උපදේශනේ සහ උපකාර ලාවට කෙරෙන තැනක්නෙ.

      Delete
  11. මම වයස අවුරුදු 30ක් පමණ වන එක් දරු මවක්මි. පසුගිය සතියේ මගේ ස්වාමි පුරුෂයා මදක් අසනීපව නිවසේ නතර වූ නිසා, මම මගේ වාහනය ගෙන රැකියාව බලා පිටත්ව ගිය අතර, සැතපුම් 2 ක් පමණ ගිය පසු වාහනයේ එන්ජිම රත්වූ නිසා, වාහනය නැවත හරවා ගෙන නිවසට පැමිනියා. එසේ පැමිණි මා දුටුවේ මාගේ ස්වාමි පුරුෂයා, අප නිවසේ සේවය කරනා මෙහෙකාරිය සිප ගනිමින් සිටිනා අයුරුයි. මා දැන් කුමක් කළ යුතුදැයි වැටහීමක් නොමැති අතර, ස්වාමි පුරුෂයා හා එක් වීමද නවතා දමා සිටිමි. කරුණාකර මට උපකාර කරන්න.

    ඒකට සිරිල් අයියා දුන් පිළිතුර මෙසේය..

    හිතවත් සොයුරිය,
    සැතපුම් 2 ක් වැනි ඉතා කෙටි දුරක් ධාවනයේදී පවා ඇන්ජිම රත්වීම බොහෝ විට කාබරේටරයේ දෝශයක් විය හැකිය. වාහනය පන ගැන්වීමට පෙර ඇන්ජිමේ තෙල් ප්‍රමාණය හා රේඩියේටරයේ වතුර ප්‍රමාණය නිවැරදි මට්ටමට තිබේ දැයි පරික්ෂා කරන්න. එමෙන්ම නියමිත කාළයෙදී හා දුර ප්‍රමාණය ධාවනය කිරීමෙන් පසු වාහනය සර්විස් ඉස්ටේසමකට දමා, සර්විස් කරවා ගැනීමටද අමතක නොකරන්න. මින් පසු මේ ගැටළුව මතු නොවනු ඇත. මේ උපදෙස් ඔබට උපකාරි වූයේ යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. එවිට සැමියා අනාචාරයේ සිපගැනීම නවත්තනු ඇත.

      Delete
    2. කාබෙරේටරේ නෙවෙයි බං රේඩියේටරේ.

      Delete
  12. 'කොමිටෙල් විජිතය' ලියුවේ දෙරනේ සංඛ අමරජිත් ගොයියා 'දමින්ද සමරක්කොඩි' ටනං මක් උනාද දන්නැ ඒ කාලේ ත් ඒකා si කෙනෙක් හන්දා දැං ci ඇදලවත් ඇති

    ReplyDelete
    Replies
    1. ආං හරි ඒකා තමයි. ඔය කොමිටෙල් කියෝලා මං හිනාවෙනකොට අපේ ගෙවල්ඔල අය කිව්වෙ මුට පිස්සු කියලා. අපේ පුංචම්මා ඒක කියවන්නෑ. දුක උහුලන පෙම් සිතට කොමිටෙල් ඔට්ටු නෑ.

      Delete
  13. ඈ බං ශ්‍රන්ගයෝ... උඹ චානුක උයන්ගොඩව දන්නවද.. සඳරේණු කියෙව්වනම් නොදැන ඉන්න විදිහක් නැහැ..

    ReplyDelete
    Replies
    1. හැබෑට එහෙම කෙනෙකුත් මොකක් හරි එකක් ලිව්ව තමයි.

      Delete
  14. යකෝ මේ හොඳයිනේ!

    මේකේ ගෑනු වර්ෂන් එක ලියන්න පුළුවන් මට, හැබැයි ඉතින් සභාවේ සිනා හා හූ හඬ මැද තමයි ලියන්න වෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. අනෙහ්.. අපිනං හිනාවෙන්නෑ. ඔන්නොහෙ ලියන එකයි ඇත්තෙ.

      Delete
    2. නිර්නාමිකව ලිව්වනං.

      Delete
  15. ඔය වැඩේ ගැනත් STI/STD ගැනත් අපේ දැනුවත් වීම ටිකක් මදි.

    දැනුවත් අයවත් හරි අවධානයක් යොමු නොකරන පැත්තක් ඔය.

    විශ්විද්යලවල ඉන්න ළමයි පවා වගේ emergency contraceptive පෙති සමනය උපත් පාලන ක්‍රමයක් විදියට පාවිච්චි කරනවා. ඒවා ක්‍රියාත්මක වෙන යාන්ත්‍රනය වගේම නිරන්තර භාවිතය බොහොම භයානක බව දන්නෙත් නෑ එයාල.

    විවාහ වෙලා උසස් අද්යපනයට විදේශගත වුන සමහර අය අනපේක්ෂිත ගැබ් ගැනීම නිසා අනපේක්ෂිත ගැබ් ගැනීම් නිසා කරදර වලට මුහුණ දුන් අවස්ථා වගේම ඔවුන්ගේ බිරින්දෑ වරුන්ට අධ්‍යාපනය අතහැර දැම්ම වුන අවස්ථා තිබුන. තරුණ අය ගොඩක් වෙලාවට මේවා අහන්නේ සමවයසේ වෛද්‍ය ශිෂ්‍යන්ගෙන්. සමහර වෙලාවට එයාල කියන දේවලුත් පැටලිලි සහගතයි. අපේ තව මිත්‍රයෙක් හිටිය මේවා ගැන අනිත් අයට තොරතුරු දෙන. ඔහු ඖෂධ වේදියෙක්. නමුත් ඔහු උපත් පාලන ඖෂධ ගැන කියූ බොහෝ දේවල් ඔහුගේ පුද්ගලික සාම්ප්‍රධායික මත මිසක් වෛද්‍ය විද්‍යාත්මක මත බව ටිකක් ඒ ගැන සොයනකොට තේරුණා.

    මම දන්නා තරමින් කිසිම උගත් ධනවත් දෙමව්පියෙකුට ළමයි කසාද බන්දලා දෙන්න පෝරුවේ නග්ගන්න නැකත් බලන්න මගුල් කන්න සුදු රෙදි එලන්න තියෙන උනන්දුව ඇත්තේ නෑ ඒ අයව ප්‍රසව නාරිවේද වෛද්‍යවරයෙක් ලගට එක්කගෙන ගිහින් පවුල් සැලසුමක් සදහා උපදේශනයක් අරගෙන දෙන්න. කසාද බැන්දත් ලිංගික අධ්‍යාපනයක් නැති මිනිස්සු අපි අතරේ ගොඩක් ඉන්නේ. අඩුම තරමේ ළමයි කසාද බන්දන්න කලින් පවුල් සැලසුමක් ගැන ඔවුන්ට කියල දෙන්න දෙමවුපියෝ උනන්දු වෙනවා නම් ලොකු දෙයක්.

    //මගුල් පින්තූරයේ කෙට්ටුවට ඉන්නා මනමාලිය වසර දෙක තුනකින් 'අලි බාගයක්' වන්නේ උපත් පාලන පෙති නිසා බව කියා දෙන්නට කෙනෙක් නැත. //

    Yasmin නමැති Bayer නිෂ්පාදනයක් තිබේ. Weight gain එකක් බොහෝවිට ඇත්තෙම නැති බව කියවේ. එය රු. 1000-1500 අතර මිලක් වේ. එහි අඩංගු වන්නේ පෙති 21 පමණි. මිතුරි පෙතිවල මෙන් dummy tablets නොමැති නිසා කල්පනාවෙන් භාවිත කල යුතු බව කියවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇයි කොන්ඩොම්, ලංකාවේ සිල්ලර කඩවල පවා අපි පොඩි කාලේ සිට විකුණන්න තියෙනවා නේ!

      අනික ගම්වල ප්‍රජා සෞඛ්‍ය සේවාවලින් ඔය උපදේශන දෙනචා නේද, බැඳපු අයට?

      Delete
    2. රසිකොලොජිස්ට්,

      ඊට හරි උත්තරයක් දෙන්න අමාරුයි. වැඩිය එළිපිට කතා නොවෙන මේ වගේ දෙයක් ගැන වෛද්‍ය වෘත්තියට සම්බන්ධ නැති අපට අදහසක් එන්නේ, ආශ්‍රය කරන සීමිත ප්‍රමාණයෙනුත් මේවා ගැන කතා කරන අයෙගෙන් පමණයි නේ. ඒ නිසා මෙහිදී මගේ අදහස අන්ධයා අලියා ගැන කිවා වගේ වෙන්න පුළුවන්.

      ඇසුරු කරන අය සැලකු විට, විශ්වාසදායක නිත්‍ය ලිංගික සහකාරියක් ඇසුරු කරන අය කොන්ඩම් පාවිච්චිය ගැන තිබෙන්නේ එතරම් කැමැත්තක් නොවේ.

      ජීවත් වූ ප්‍රදේශ සැලකුවිට, අර්ධ නාගරික සහ නාගරික ප්‍රදේශ වල ඉන්න බැදපු අයට එහෙම එහෙම හරිහමන් උපදෙසක් ලැබෙන බවක් නම් දන්නේ නෑ.

      කොහොම වුනත් ඔය ගැන ගමේ-රටේ ජීවත් වෙන surangamlrට මට වැඩිය හොද උත්තරක් දෙන්න පුළුවන් ඇති.

      Delete
    3. ගම්වල ඉන්න මිඩ්වයිෆ්ලත් වැඩිය හෙවිල්ලක් බැලිල්ලක් නෑ. ඔය ප්‍රීති කියන ජාතිය වුනත් කඩවල්වල තිබුනට ගන්නෙ නෑ කවුරුවත්. ඇයි ඉතිං කඩේ මුදලාලි කියනවනෙ කඩේට එන හොමෝටම "අහවල් ගෙදරට මෙව්වා සතියට පැකැට් තුනක් විතර ගෙනියනවා" කියලා.

      Delete
  16. S අයියා ලියල තියන ලිපිය ගොඩක් වටිනව.දන්න කියන A,B,C,D ... උදවියට මේක බලන්න කියන්නම්. ස්තූතිය !

    ReplyDelete
    Replies
    1. මේ නම කියවන්නේ කෝමද?

      Delete
  17. අපි ඩේක් එක ගෙන්වේ දවසට රුපියල් 100 ට කුලියට ...
    එලි වෙන කන් බැලුවා ...
    ගෙදර ගෙනිහින් පත්තරේ ගේනකොට ටික දවසක් යනකොට පිටු පෙරලන්න බැහැ ඒවා ඇල්ලීලා

    ReplyDelete
    Replies
    1. නොදකිං අම්ප වෙනිං එකෙට්ට බලන්න තියල නෑ.

      Delete
  18. අඩේ මරු බන් ඈ....මගේ ළමා වියත් ගෙවුනේ ඔයිට සමාන ප්‍රශ්ණ වලින් තමයි බන්.
    Porn ගැන හොයලත් ලංකාව 15 බන්....

    ReplyDelete
    Replies
    1. අන්න අපිට තමා ඒ සම්මානෙ නං.

      Delete
  19. මගේ නම් අදහස අතට අහුවෙන හැම දේම කියවන්න ඕනි. ඇහැට පේන හැම දේම බලන්නත් ඕනි. අන්තයට නොයා බැලන්ස් එකේ ජිවත් වෙන්න ඒටික ප්‍රමාණවත්. මං දන්න තරමින් මේ ලෝකෙ හොඳඳඳඳම කියලා දේවල් නෑ වගේමයි නරකයියියියි කියලා දේවලුත් නෑ.

    ReplyDelete
    Replies
    1. අඩුමගානෙ හොඳම කියලා කිසිම කෙනෙකුත් නෑ. හැමදේම කලවං.

      Delete
    2. ඇත්ත අනේ කළුත් නෑ සුදුත් නෑ අළුපාට.

      Delete
  20. අපිට මුල්ම ප්‍රජනන පාඩම කියලා දුන්නේ හතරේ පංතියේ ඉද්දි අපේ බයිලා කල්ලියේ හිටපු තේ වත්තක SD කෙනෙක් ගේ පුතෙක්. අපි එයාට කිව්වේ ප්‍රියංක කියලා (http://helmalu.blogspot.com.au/2015/04/blog-post.html)

    මිනිහා එයාලා අය්යලා බලපු ඩේක් පිස් එකක තිබුණු මුඛ ලිංගික ක්‍රියාවලියක් සම්පුර්ණයෙන්ම අපිට කියලා දුන්නා . එහෙම දේවල් වෙන්න පුළුවන් බව දැන ගත්තේ විශ්ව විද්‍යාලයේ අපි හිටපු නේවාසිකාගාරයට කොල්ලෝ ගෙනැත් බලපු වීඩියෝ වලින් තමයි. එතෙක් ඒ සිද්ධිය ඇත්තක් කියලා මට හිතුනේ නෑ..

    ReplyDelete
  21. 95/96 කාලේ පත්තරයක් රු.50ක්. අද සල්ලි වලින් රු.500ක් වගේ. මම ඉස්සර ඔව්වාට සල්ලි වියදම් කරන්නේ නෑ. ගොඩක් එවුන් ගිහින් ගන්න බය නිසා, උන් සල්ලි එකතු කරලා දුන්නම මම ගිහින් අරන් එනවා. පිටකොටුවේ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට යන තැන පලතුරු කඩ ලග තිබ්බ පත්තර ලෑල්ල, පිලියන්දල සුපර් මාර්කට් එකේ තිබ්බ ලෑල්ල, මහරගම දැන් කාගිල්ස් එක තියන තැන තිබ්බ පෙට්ටි කඩය තමා ප්‍රසිද්ද පොට්.

    ReplyDelete
  22. ලංකාවේ ප්‍රජනන සෞඛ්‍ය ගැන බහුතරයකගේ දැනුම ආකල්පය මේ ටිකෙන් කියවෙනවා කියලා තමයි මට හිතෙන්නේ

    // ඉතින් හැම සිකුරාදාම හවසට "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" කියා ලියූ බෑග් එකේ රෙදි කඩමාලු කීපයක් දමාගෙන බයිසිකලේට පැට්ටල් බෝතලයකුත් පොවාගෙන අපේ මාමා සිය අනාගත බිරිඳගේ ගෙදර යන්නේ සති අන්තය ගත කිරීමටය. මහ වැසි ඇති සීතල දවස්වලට අපේ ආතා ගෙදර ඉස්තෝප්පුවට වී ඉන්නේ "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" කියා හංවඩු ගසා ඇති ටී ෂර්ට් එක ඇඳගෙනය. ඒ මදිවාට අපේ ආච්චිඅම්මා දලු කඩන්න යනවිට අව්ව සැර වැඩි නිසා "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" නමැති තොප්පිය දාගෙන ඉන්නේ//

    ReplyDelete
  23. යාන්හෑල්ලට ආවේ පලමු වතාවටය.ඒ අම්බලන්ගොඩයාගේ කීමට උබේ මේ පොස්ටුව කියවීමටය 😊 යන්නට කලින් "උබ ගියාට කමක් නෑ අපේ පටි රෝල් කරනව එහෙම නෙවෙයි"කියා මට තරයේ අවවාද කරා මට න් මතකය.ඒ මං මොන විදියට ලියුවත් ගොඩයත් මාට්ටු වෙන නියතය.ඒ නිසා මගේ හිතේ කැකෑරෙනදේ ලිවීමට නොහැකි වීම ගැන කනගාටුය.😐තත්වය හරී සෝචනීයයි පින්වත 😈මේ ලියන්නට කතාව අපි දෙන්නටම නොවුන වගනම් ඉදුරාම කිවහැකිය.ඔය පත්තර පිස්සුව අපිට ආවේ 9 වසරේ වගේ මට මතකය.රසදුන,සරාගී,ශ්‍රීදේවි වගේ ඒවා තිබුනා මට්ගකය.දිනක් මගේ ගමේ මිතුරෙක් එයින් පත්තරයක්ද ගෙන වැසිකිලියට ගොස් සිහි මුර්ජාවී මහා අලකලන්චියක් විය.තාත්තා දොර කඩා බලනාවිට මේකා පත්තර පිටු සමග මාට්ටුය.හරිම කතාව කියන්නට බැරිය.එතරම් අසික්කිතය ලොල් සහගතය.අන්තිමට උගේ නම වෙනුවට පත්තරේ නම ඌට පටබැදුනේය.😂පොඩිකාලේ ඇතිවුන ඒ නිල් පිස්සුවනම් තවම හොදවෙලා නැත.😆

    ReplyDelete
  24. //ඒ කාලයේ 'ගැට්ටක් අයිනේ සිටින ආරච්චි' // උඹත් දාන නම් හේ හේ. ඉල ඇදෙන්න හිනා වුණා. ඉස්සෙල්ලම ඕව ඉගෙන ගත්තේ තාත්තා ළඟ තිබ්බ පොතක් කියවල. ඒ මදිවට එයා ගාව කාඩ් සෙට් එකක් තිබුන පිටරට නිළියෝ නාන ඇඳුමින් ඉන්න. මට මතක විධිහට අපේ උසස් පෙළ පන්තිය තිබ්බේ කෙළවරක. පහල ඉඳන් උඩට යන්න ඩෙස්ක් බංකු තියෙනේ නිසා උඩම පේලියේ ඉඳන් "මරදානෙන් " ගෙන "පින්තූර පොත් " හ්ම් කියෙව්වා. කවුරු හරි ආවොත් ටකස් ගාල අර අන්තිම බන්කුවන් පහළ තියන ඉඩට දානවා. අපට ඇප්ලයිඩ් මැත උගන්වන්න ආපු සර් කාරයත් ගාණක් බෝඩ් එකේ ලියල යන්නේ අන්තිම පේලියට. ඕන් ඔහොමයි වැඩි විස්තර දැන ගත්තේ.

    ReplyDelete