සාමාන්‍ය පෙළ විභාගය ලියා ඉවරය. මේ ගමන අපේ මස්සිනාද සියළු බාධක ජයගෙන විබාගේ ලිව්වා. කවුද බෝයිට නිකං ඉන්න නොදෙන අයියලා කණ්ඩායම වගේ අපේ මලයාටත් විභාගෙට කචල් අදින්නට මාර දූතිකාවෝ සහ දූතයෝ රංචුවක්ම හිටියා. පළමුවෙන්ම විභාගෙට සති දෙකක් තියා ගෙදරට කඩා වැදුනු සාමාන්‍ය පෙළත් අසමත් දූතිකාවක්
“පුතේ මේ සටහන් පොත්වල අසුවල් අසුවල් ජාති අඩුයි. අපේ ජූචඥං උගංඥලා චිබුඥා”
කියා අපේ මලයාගේ ඔලුවට හැට්ටකට්ටෙන් ඇනලා තිබුණා. ඉං අනතුරුව උන්දෑගේ දියණියද නේවාසිකවම කඩා පත්වී
“මල්ලිලට මැත්ස් වලට සිලබස් කව කරල නෑනේ”
කියා සටහන් පොත් පෙරලන විටම අපේ මලයා තමුංගේ අක්කාට මිස්කෝල් එකක් ගසා ඇමතුමක් ගෙන්නා ගත්තා. පවුලේ විභාග කොමසාරිස්වරු ඇවිල්ලා විෂය නිර්දේශයේ අවුල් නිරවුල් කරන්න හදන බවත් කාරුණිකව දැනුං දුන්නා. නත්තලට කලිං රතිඥ්ඥා පත්තු වුනා. පැයකට අධික අඛණ්ඩ දුරකතන සංවාදෙකින් පස්සේ සියලුම පවුලේ විභාග උපදේශකවරුන්ට අපේ මලයා වසන නිවස අතහැර යාමට නියෝග කෙරුනා. ඒ වගේම විභාගය අවසන් වනතෙක් මලයා සමග කිසිම සෘජු හෝ වක්‍ර සන්නිවේදනයක් පැවැත්වීමත් තහනම් කෙරුනා.
"හුහ්, උන්දලාට මං කිව්ව ඕනි හරිය."
චූටි මැණිකේ කනෙං අයිං කරපු පෝන් එකෙන් මං කමිසයක් මැදගත්තා.
විභාගෙට විනාඩි දහයක් තරම තියා විභාග සාලාවට ගියහම ඇති බවත්, එයිට කලිං ගිහිං එක එකා කියන විකාර අහලා ඔලුව අවුල් කරගන්න ඕනා නැති බවත්, විභාගේ ලියලා ඉවර උනගමන් ගෙදර එන ගමන්ම ප්‍රශ්ණ පත්තරේ අටට නමලා ගඟටම විසිකරලා ආවත් කමක් නැති බවත් මගෙනුත් අවවාදයක් විදිහට මලයාට දුන්නේ යුතුකමක් හැටියටය. කී හැටියටම ඒ අවවාද අකුරටම පිලිපැද්දත් විභාගේ අතර මැද දවසකදී එදා තිබූ ගනං ප්‍රශ්ණ පත්තරේ හෙනටම අමාරු බවත්, එහෙම ගනං ජාති දැක්කෙම එදා බවත් කියා මලයා නාහෙන් අඬන්න පටං ගත්විට නම් පවුලේ කාටවත් ඒකට උත්තර නැතිවිය.
හැමෝම එකතු වී, විභාගෙ ආයි පාරක් කරන්න පුලුවං බවත්, පුතා පාස්සුනත් නැතත් අපි නොබනින බවත්, ඔය දැං අසුවල් අසුවල් අය සාමාන්‍ය පෙල පාස් නැතත් ලස්සෙට කොඩිය දමා, කෝටිය රිටේ අමුණගෙන ඉන්නා හැටි බලා පුතාට හිත හදාගන්න පුලුවන් බවත්, මේ ගේදොර වතුපිටි, ඉඩ කඩං හරකබාන (මේ බාන මාත් දැක නැත) පුතාට තියෙන බවත්, කියා නලවා ගන්න බැරිවුනා. ඒ හිංදා මං පැනලා මයික්කෙක අරගත්තා.
“මොකද යකෝ කෙල්ලෙක් වගේ නාහෙං අඬන්නේ. හනේ මංදා මෙහෙමත් පිරිමි. මං දැක්කමයි කොල්ලෙක් අඬනව විබාගෙ අමාරුයි කියල.”
කියා කී විට ඇඬිල්ල එතකින්ම නතර වූ අතර පහුවදා පටන්ම
“මේ විභාගෙ පේල් වුනත් මිනිහෙක්ට ගොඩ යන්න තව ඕනෑ තරං ක්‍රම තියෙනවා. බලහං මටත් බෑ තමයි. ඒ වුනාට මං මේ පුල්ලාතල් එකේ ඉන්නේ. හිටාල්ලකො කොල්ලො වගේ”
කියමින් මලයා තමුංගේ යාළුවන්ගේ දුක් ගැනවිලිද විසඳූ බව විස්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුනා. ඒ වනවිටත් විභාග භීතිකාව නිසා රින්සෝ, දීවා, ආදී රෙදි සෝදන ද්‍රව්‍යද, හාපික් ආදී වැසිකිලි පවිත්‍රකාරකද පානය කොට සිය ආහාර මාර්ගය සහ මූත්තරා බොක්කද සුද්ද කරගත් විභාග අපේක්ෂකයන් හත් අට දෙනෙක්ම ඊළඟ ප්‍රශ්ණ පත්‍ර දෙක තුනකටත් සුද්ද ලෙසම "ඒ බී" අරගෙන තිබුනා.
දෙදාස් දෙක අවුරුද්දේ අන්තිම කාලය වනවිට මාත් ප්‍රශ්ණ පෙළ විබාගේ ලියා අහවරයි. එතෙක් කල් “ඉගෙන ගනිං”, “පාඩං කොරහං, කියා මාමාගෙන් තිබූ තර්ජනද නැතිවී යාමත් සමගම මට අවලංගු කාසියක් තත්වයට වැටෙන්නට සිද්ධ වුනා. අපේ මාමා හිතාගෙන හිටිය හැටියට පාඩං කරන ලමයි පැය විසි හතරම ඇහැරගෙන සිටිය යුතුය. මාමා රෑ දොලහට හෝ ඇහැරුනොත් මං ඇහැරිලා පාඩං කරමින් ඉන්න ඕනෑ.
ඒ විදිහේ හිරේ වැටිලා ඉඳලා එක පාරටම මං යන එන තැනක් කවුරුවත් හොයන්නේ නැති වීමත්, හොරෙන් නොව එලිපිටම දවල් දවසම නිදන්න පුලුවන් වීමත්, ටීවියෙකේ චිත්තරපටි කොයි තරම් බැලුවත් කවුරුවත් එපා නොකීමත් නිසා ඇතිවූ මානසික කලකිරීමෙන් ඉන්න හිටින්න බැරිවිය.
මේ වනවිටත් මම ලොකු පුංචම්මාගේ ඉඩමේ දලු කඩා දීම අතිරේක ආදායමක් ලෙස කරගෙන ගියත් අතට ලැබෙන ගාන මදිවීම නිසා වෙනත් ආදායමක් ලැබෙන වැඩක් කරන්නට ඕනෑ විය. ඒ කාලයේ අපේ තාත්තාගේ දුරින් නෑදෑයෙක් වන මල්ලී කෙනෙක් කොළඹ පැත්තේ ලොකු බිල්ඩිමක් හදන බව මගේ කනට වැටුනා. සතිගානක් බලා හිටීමෙන් පස්සේ ඒ බාප්පා ගෙදර එන වෙලාවක් බලා උන්දෑට පින්සෙන්ඩු වීමෙන් මටත්
“එතන රස්සාවක් දෙන්න පුළුවංද බලන්නං”
බවට පොරොන්දුවක් ලැබුණා. සතියකට විතර පස්සේ මට රස්සාවට එන්න කියා පණිවිඩය ලැබුණා. අතේ එක්කහු කරගෙන තිවුන ගානත් සාක්කුවට දාගෙන, තියෙන රෙදි පාංකඩ ටිකත් බෑග් එහෙකට දාගෙන බස් එකට නැග්ගේ පාර කියන්න හිටපු තුණ්ඩු කෑල්ලකුත් එක්ක. ගෙදර ගාවින් බස් එකට නැගලා මතුගමිං බැහැලා කොළඹ යන බස් එකක නැග්ගා. දෙහිවල කියන්නේ කොතන තියෙන එකක්දැයි නොදැන පාර දිගේ කඩවල්වල බෝඩ් එකක් ගානේ කියව කියවා, කොයි වෙලේ බහින්න වෙයිද දන්නැති හිංදා පණ බයේ බාගෙට ඉඳගෙනයි හිටියේ. පළවෙනියටම “ගාලු පාර, දෙහිවල” කියලා කඩේක බෝඩ් එකක් දැකපු තැනින් බැහැලා ලොතරැයි කූඩුවල ඉන්න අයගෙං පාර අහගෙන මහරගමට යන බස් එකට නැග්ගා. එතැනිං මහරගමට ඇවිත් ආපහු හත් අට දෙනෙක්ගෙන් පාර අහගෙන මාළඹේ යන බස් එකට නැංගා. අන්තිමට අදාල හංදියෙන් බැහැලා අලුතිං හදන බිල්ඩිම අයිති කෙනාගේ පොටෝ සාප්පුවෙන් ඇහුවම මාව **සිරි බාප්ප වැඩ කරන තැනට ගෙනැවිත් දැම්මා.
එදා පටං මමත් අත්වැඩකාරයෙක් විදිහට රස්සාව පටංගත්තා. ගිනියං වුන කොළඹ අව්වේ කරකුට්ටං වෙච්ච පොලවේ යකඩෙන් ඇනලා බවුන්ඩේසම් කැපිල්ලත්, ගල් වැලි, සිමෙන්ති, වතුර, බදාම ඇදිල්ලත්, කොන්ක්‍රී සහ බදාම ඇනිල්ලත්, ඒ ඔක්කොටම වඩා බැනුං ඇහිල්ලත් පුරුදු වෙන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. කොන්ත්‍රාත්කාරයා වුන **සිරි බාප්පත්, මමත්, අපේ ගම් පලාතෙංම එතන වැඩට ගිහිං හිටපු චූටිඅයියත් යන අපි තුන්දෙනා බාගෙට හදපු බිල්ඩිමේම නතර වෙලා උයාපිහාගෙන කාලා හිටියා. හැමදාම රෑට නිදාගන්න යද්දී “හෙට නං යනව යන්න.” කියලා හිතාගෙන නිංදට වැටුනත් පහුවදාට ආයිමත් නැගිටලා වැඩ කරන්න හිතෙනවා. වෙන මොනවත් නිසා නෙමෙයි දවසට රුපියල් තුන්සීයක් ලැබෙන හිංදා. අපේ ගෙදර කාටත් වඩා සල්ලියක් මට ලැබෙන හිංදා මට උජාරුවෙන් ඉන්න පුලුවං.
ඒ විතරක් නෙමෙයි “කෝපි කඩේ” පොඩ්ඩෙ විදිහට රඟපාන නලුවා අපි වැඩකරන තැන කිට්ටුවෙන්ම කඩෙයක් දාගෙන ඉන්න නිසා මට කඩෙං බඩු ගන්න ගියහම නලුවෙක් එක්ක කතා කරන්නත් පුලුවං. ඒ විතරක් නෙවෙයි, “කෝපි කඩේ” ඩිංගි මහත්තයගේ පැල තවාන තිවුනෙත් එතන නොවැ. මට ගමේ ගිහිං කියන්න පුරාජේරු සෑහෙන තියෙනවා.
මේ අතරේ තමුංගේ ලොකු දුව කොටහලු වෙච්චි ආරංචිය ලැබුණු දවසෙ හවසම **සිරි බාප්පා මටත්, චූටි අයියටත් තුණ්ඩුවක් දුන්නා.
“මේං බොල දෙන්නගෙ පඩි ගණං. හෙට හවසට මහත්තයට මේ තුණ්ඩුව දීලා ඒ සල්ලි ඉල්ලගෙන වරෙල්ල ගමේ”
පහුවදා බිල්ඩිම අයිති මහත්තයා ආවෙ නැති හංදා අපි දෙන්නට ඉං පහුවදා වෙනකං ඉන්න සිද්දවුනා. එදා හවස එතුමා ආවා. අපි දෙන්නව පැත්තකට අඬගහලා අපි හීනෙකිං අහන්නවත් නොහිතපු කතාවක් කිව්වා.
“මල්ලිලා **සිරි අයියා මට ලොකු පොල්ලක් තියල පැනලනෙ. හාඩ්වෙයාර් එකෙං මං කිව්වා කියල සෑහෙන බඩු ප්‍රමාණයක් අරං. මගෙන් වැඩ කරපුවට වැඩිපුර සල්ලිත් අරං. දැං එයා ආපහු වැඩට එන්නෙත් නැතිලු.”
අපි දෙන්නා අපිට බාප්පගෙන් ලැබුණු තුණ්ඩුව ඉදිරිපත් කළා.
“මං ඔයාලගෙ පඩි ගෙවන්නං. ඔයාලට පුළුවංද දිගටම වැඩ කරලා මේ වැඩටික ඉවර කරන්න?”
මහත්තයා අපේ ඊළඟට හිටපු හෙඩ් බාස් වන පියරත්න අයියගෙනුත්, අපෙනුත් ඇහුවා. අන්තිමට අපි දිගටම එතන වැඩ කරන්න පොරොන්දු වුනා.
ඒ අතරේ **සිරි බාප්පගේ ලොකු දුවගේ කොටහළු මගුල් ගෙදර ගිය අපේ අම්මව
“ඒ හරියෙ කුඩ්ඩො ඉන්නව, උං රුපියල් දහයටත් මිනී මරණවා. රෑට ඇහිල්ලා දැලි පිහියෙං බෙල්ල කපල කරේ තියෙන චේන් උස්සනවා. ඒකයි මං කිව්වෙ එන්න කියලා. ඔන්න මං එහෙම දන්නෑ ආවෙ නැතුව මොකක් හරි උනාට.”
ආදී වශයෙන් කියා බය කරන්නත් බාප්පා කටයුතු කරල තිබුණා. ඒ හංදා මට සාමාන්‍ය පෙල වෙනකං ජපන් සිස්සත්වෙ දීපු ජපන්නු මාව බලන්න එනවාලු යැයි පණිවිඩයක් එවලා අපේ අම්මා මාව ගෙදර ගෙන්නුවා. ජපන්නු බලන්න ගෙදර ආපු මට තමුං කිව්වේ බොරුවක් බවත් එහෙම කරන්න සිද්දවුනේ බාප්පා මේ මේ ආදී වසයෙන් එව්වා කියා බය කරපු හිංදා බවත් අම්මා කියා හිටියා. ඒ හංදා බාප්පා කරලා තිබුණු හොරකම් වංචා ආදියත් අම්මගෙ කනේ තියලා පහුවදාම මං ආපහු වැඩට ගියා. කට්ටිය මදි වෙනකොට චූටි අයියා උගේ මල්ලිලා පවා වැඩට ගෙන්න ගත්තා.
අපි හදාපු බිල්ඩිම. අද |
අන්තිම දවස් කීපයේ රෑ දවල් නැතුව වැඩ කරලා නියමිත දවසට බිල්ඩිම අංගසම්පූර්ණ කරලා බාර දෙන්න අපිට පුලුවං උනා. කහවත්තේ ගුරුගේ මුදලාලි ඇතුළු සම්භාවනීය අමුත්තෝ නැකතට පීත්ත පටිය කපලා බිල්ඩිම විවෘත කරද්දි චූටි අයියයි, උගේ මල්ලිලා ටිකයි, මමයි බිල්ඩිම පිටිපස්සේ බිම කාඩ්බෝඩ් ටිකක් එලාගෙන දවස් ගානක් නැතිවෙච්ච නින්ද පොලියත් එක්ක අරගත්තා. කන්න බොන්න අඩු නැතුව දීලා අපිට සංග්‍රහ කරන්න බිල්ඩිම අයිති මහත්තයා කටයුතු කලා. ඒ අතරෙම මට විතරක් මෙහෙම කිව්වා.
“සුරංග කැමති නං මෙතන වැඩ කරන්න. ස්ටුඩියෝ එකේ පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න පුලුවං. ලොකු පඩියක් නම් දෙන්න බැරි වෙයි. වෙඩින් තියෙන කාලෙට නම් හොඳ ගානක් හොයාගන්න පුලුවන්”
ආපසු ස්ටුඩියෝ එකේ වැඩට එන පොරොන්දුව පිට මාසක් තුනක් තිස්සේ හම්බ කරපු සල්ලිත් අරං මං ගෙදර ආවා. රුපියල් විසි හතර දාහක් විතර මගෙ අතේ තිබුණා. මං මහරගම ටවුමෙ හැමතැනම ඇවිදලා කමිස දුසිමක්ම ගත්තා. දෙහිවල ටවුමෙත් ඇවිදලා තවත් ඇඳුං ගත්තා. ජීවිත කාලෙට හම්බ කරපු ලොකුම සල්ලියෙන් හරි හමං අඳින්න ඇඳුං ටිකක් අරගෙන, හොටලේකින් බඩ පිරෙන්න කාලා වේටර්ටත් රුපියල් විස්සක්ම දුන්නා. ගෙවල්වලටත් ඇපල්, දොඩං, මිදි, නාරං, පුහුල්දෝසි ආදිය අරගෙන ගමේ ආවා. දවස් දෙක තුනක් ආඩම්බරකමෙන් කොළඹ විස්තර කිය කියා ඇවිද්දා. කෝපි කඩේ ටෙලිනාට්ටියෙ පොඩ්ඩෙයි, ඩිංගි මහත්තයයි දෙන්නම මං අඳුරන අය බව කියද්දි ආතයි, ගුනොවද්දන මාමයි දෙන්නම
“හැබෑඈඈට...”
කියලා බොහොම ලොකු විස්සාසෙකිං මයෙ දිහා බැලුවා.
ඒ අතරේ පුංචම්මා මං නොදන්නා රහසක් කිව්වා.
“උඹලෑ අම්මා තාත්තට හොරෙං නංගිගෙ චේන්නෙක උගස් තියලා. දැං සින්න වෙන්න යන්නෙ. ඒක නැතිවුනොත් නං උඹලෑ තාත්තා අම්මව මරයි.”
අන්තිමට අම්මගෙත් එක්ක කීප විටක් රණ්ඩු කරලා ඒක ඇත්ත බව මං තහවුරු කරගත්තා. අපෙ අම්මා ඒක උගස් කරලා කහන්තැන්නේ දානෙ ගෙදරට ලොකු ඉස්කෝතු පෙට්ටියක් ගිනිච්චලු. ඉතුරු සල්ලි වියදං උනාලු. උගස් තියපු රිසිට් එකත් නැතිවෙලාලු.
“මං ඒක බේරලා දෙන්නං. උඹ ගාව තියෙන සල්ලි දීහං. උකස් කඩේ මනුස්සයා මං අඳුරනව. රිසිට්ටෙක නැතුව මට ගත්තැකි”
අන්තිමට පුංචම්මා මගෙ අතේ ඉතුරුවෙලා තිබුණු රුපියල් විසිදාස් ගානම ඉල්ලගත්තා. පන්තියකට රුපියල් තුන්සීය ගානේ උසස් පෙළ විෂය තුනට අවුරුදු දෙකකට පන්ති යන්න ඒ ගාන තිබුණ නං හොඳටම ඇති. අම්මව මරණෙන් බේරගන්න මාස තුනක දාඩිය මහන්සිය පුංචම්මගෙ අතේ ගුලිකලත් අන්තිමට මාසෙකින් විතර අහද්දි චේන් එකවත්, සල්ලිවත් මට ලැබුනෙ නෑ.
“චේන්නෙක සින්න වෙලා. දැං දෙන්නැහ්ලු. උඹේ සල්ලි මං පස්සෙ දෙන්නං”
මං කට වහගත්තා. මට වෙන ඉන්න හිටින්න තැනක් තිබුනෙ නෑ. මට ඉන්න හිටින්න තැනක් හදාගන්නකං පුංචම්මා හිටපු අම්මගේ මහ ගෙදරත්, මාමගෙ ගෙදරත් විතරයි මට ඉතුරු වුනේ. පුංචම්මගේ කටේ බලය පාවිච්චි කරලා මේ තැං වලින් මාව දොට්ට දාන්න පුළුවං කියලා මං දැනගෙන හිටියා. පුංචම්මා මගේ අසරණ කමෙන් මාව ගැටගැහුවා, කටත් වැහෙන්නම.
මං ආපහු කොළඹ ආවා. උසස් පෙළට ඉස්කෝලෙ පටං ගන්නකං මං ස්ටුඩියෝ එකේ වැඩ කලා. මාසෙට රුපියල් දෙතුං දාහක් හම්බ කරගත්තා. උසස් පෙළ පටං ගත්තට පස්සෙත් මගුල් ගෙවල් වැඩි කාලෙට මට පණිවිඩයක් ලැබෙනවා. එතකොට ඉස්කෝලෙ යාම බල්ලට දාලා මං කොළඹ යනවා. එක මගුල් ගෙදරක වීඩියෝ කරන්න ලයිට් ඇල්ලුවම රුපියල් පන්සීයක් ලැබෙනවා.
ඒ අතරේ මං අපේ ගෙදර අය වැටකට නොගෙන අතෑරලා දාලා තිබුණු අක්කර කාලක විතර තේ ඉඩමක් සුද්ද කරලා ඒකේ කනාටු ගැහිලා තිබුණු ගස් ටිකේ දලු කඩන්නත් පටං ගත්ත හින්දා මගෙ ඉස්කෝලෙ යාම කෙරුනේ සතියට දවස් දෙක තුනක් වගෙයි. ඒ ඉඩමෙත් ආදායම මට කලිං අම්මා මග රැකගෙන ඉඳලා දලු ලොරියෙ මහත්තයගෙං ඉල්ලගත්ත මාස බොහොමයි. අන්තිමටම තේ ඉඩමත් අම්මටම දීලා මං නිකං හිටියා. අම්මා ආයෙමත් ඒ ඉඩම කැලේටම යන්න ඇරියා.
පළවෙනි පාර මං උසස්පෙළ පේල්. මට ඉගෙනීමත්, සල්ලිත් දෙකම නැතිව ගියා. පලවෙනි පාර වගේ නෙවෙයි, දෙවෙනි පාර ඉස්කෝලෙ යන්න ඕනි නැති නිසා විෂයන් තුනටම පන්ති ගියා. ඒ නිසා මං උසස් පෙල පාස්. හැබැයි ප්‍රතිඵල එද්දි මං තේ පැට්ටේරියේ රස්සාව පටං අරගෙන ඉවරයි. මං පැට්ටේරි යද්දි මගෙ යාලුවො තුංවෙනි පාර උසස්පෙල ලියල කැම්පස් ගියා. මට ආයිමත් තුන්වෙනි පාරක් ඉගෙනගන්න ඕනකමක් තිබුනෙ නෑ. සල්ලි අතේ ගැවසෙන්න පටං අරං ඒක නැතිවුනොත් ජීවත් වෙන්න අමාරු බව මං දැනගෙන හිටියා.
පුංචම්මා ඒ වෙනකොට තමුංගෙ සේසතම නාස්ති කරගෙන ඉවරයි. පවුලෙ අයගෙ රත්තරං බඩු පවා හොරකං කරලා උගස් තියලා රටට ණයවෙලා තිබුණා. අන්තිමට එයා බාප්පයි, ළමයි දෙන්නයි එක්ක මහගෙදරින් අයින් වෙලා ටිකක් දුරකින් වෙනම ගෙයක් අටවගෙන පදිංචි වුනා. ගේ ඉස්සරහම කඩ කෑල්ලක් අටවගෙන අහල පහල වතුවල දෙමල මිනිස්සුන්ට වෙළඳාමකුත් කරගත්තා.
ඒ කාලෙ වෙනකොට තමයි මට මොටෝ බයිසිකලයක් ඕනි වෙලා තිබුණේ. රෑට වැඩ ඉවරවෙලා එන්න බස් නැති හංදත්, අනික් අය හැමෝම බයිසිකල් අරගෙන තිබුණ හංදත්, ඒ ඔක්කොටම වඩා කෙල්ලෙක් යාලු කරගන්න බයිසිකලයක් ඕනි හිංදත් රුපියල් අසූ දාහකට බයිසිකලයක් හොයාගත්තා. ඒ වෙනකොට මගෙ අතේ තිබුණු සල්ලි ටිකට තව විසිදාහක් එකතු වුනානං මදි පාඩුව පොලියට ගන්න ක්රනමයක් මට තිබුණා. ඒ හංදා මං අවුරුදු පහක් පරණ මගේ ණය මුදල වන රුපියල් විසිදාහ පුංචම්මගෙං ඉල්ලුවා. උන්දෑ මට බැනලා එලෙව්වා. නමුත් මං හිටියෙ බැනුං අහලා කට වහගන්න වයසක නෙමෙයි.
ඒ වෙනකොට පුංචම්මා කලක් තිස්සේ මුලු පවුලෙම සල්ලි මකර කටේ ගිල්ලලා කරපු විජ්ජාව මොකද්ද කියන්න කවුරුත් දැනං හිටියෙ නෑ. මමත් ඒ ගැන දැනං හිටියෙ නෑ. හැබැයි “මුන්දෑ ඔය සල්ලි වලට කලේ මෙන්න මේකයි” කියලා කවුරු හරි බොරුවක් උනත් ගොතලා කිව්වනං මුළු පවුලම එකහෙලාම පිළිගන්න තත්වයක් තිබුණා.
මං ඒ සැකේ ප්‍රයෝජනයට ගත්තා. වස්තු බීජය විදිහට පුංචම්මගේ දිනපොතක තිවුනාය කියලා බාප්පම සනාථ කරපු පුංචම්මගේ පරණ ප්‍රේම සම්බන්ධයක් අරගෙන කතාවක් ගෙතුවා. ගොතලා අපේ අම්මගෙ කනේ තිව්වා.
“ඔන්න අම්මේ අම්මගෙ නංගිට ගිහිං කියන්න. මගෙ සල්ලි නුදුන්නොත් පුංචම්මා හැමෝගෙම සල්ලි හොරකං කරලා ***දසිරි මහත්තයට දුන්නයි කියලා මං බාප්පට කියනවා. මට ***දසිරි මහත්තයා පහුගිය දවසක් හම්බවුනා. මිනිහා මාව අඳුරන්නෑ. හැබැයි මිනිහා පුංචිගෙං සල්ලි අරං වාහනේකුත් ඇරං. මට සාක්කි ඇතුව පෙන්නන්න පුලුවං. පිහි ඇනුමක් යන වැඩක් වෙන්න යන්නෙ. අම්මගෙ නංගි බේරගන්න ඕනි නං මගෙ සල්ලි තව සතියෙං ඕනි”
අම්මා මට බල්ලෝ, හරකෝ කියා බැන්නත් මං මගේ තීරණේ වෙනස් කලේ නෑ.
“තොට සහගහයි. ඒකිට දැං මේ වෙලාවෙ සල්ලි නැතුව ඉන්නෙ. ඇට විකුල්ලා සල්ලි දෙන්නද? රට වටේටම නයයි. තොට ඉස්සර ඒකි ඇඳුං කැඩුං හිට අරන්දීල තියෙනව. තොට ඒ ගුණේවත් නෑ”
අම්මා මට දහ අතේ බැන්නත් මගේ තීරණේ වෙනස් උනේ නෑ. අන්තිමට සතියෙං සතිය පුංචම්මා අපේ අම්ම අතේ රුපියල් දහදාහ, පන්දාහ ආදී කොටස් වලිං රුපියල් විසිදාහ එව්වා. අන්තිම පන්දාහෙ වැඩිපුරම තිබුනෙ දහයෙ, විස්සෙ කොල, කිලෝ එකක විතර කාසි ගොඩකුත් තිබුණා. දාහෙ කොලේ පටං සත පනහ වෙනකං ලංකාවෙ පාවිච්චි වුන සේරම සල්ලි ඒ පන්දාහ ඇතුලෙ තිබුණා. පුංචම්මා ඒ සල්ලි ටික දෙන්න ළමයිංගෙ කැට පවා කඩන්න ඇති. මට දුකක් හිතුනෙ නෑ. මගෙ හිත ඇතුලෙ හිටපු අවුරුදු දාසයේ කොල්ලා හිනාවුනා. ඌ අවුරුදු පහක් ඉවසලා දිනුවා. පහුවදාම පැළෑඳ ලොරියෙ සුමින්දයා මට තව තිස්දාහක් පොලියට දුන්නා. ඒ සල්ලි සේරම එකතු කරලා මං බයිසිකලේ ගත්තා.
ආ
DeleteEla bro
ReplyDeleteජයිමවීවා
Deleteමුලදි හිනාවෙලා කියෝගෙන ආවට අන්තිම හරියට එනකොට සෑහෙන වේදනාවක් දැනුන සුරංග මලයො.
ReplyDeleteමොනව උනත් උඹලයෙ බාප්පට වැඩිය අර පොටෝ සාප්පු කාරය හොඳ මනුස්සයෙක් කියල මට හිතෙනව. කොහොමත් පවුලෙ එවුවොම තමයි හැම දේටම කැපිල්ල දාන්නෙ.
අනික විභාගෙ ලියල රස්තියාදු ගහල කාලකන්නි වෙන් නැතුව ඔය වගේ අත්දැකීමක් ගන්න තියෙන එකත් වාසනාවක්.
එහෙනං, අදත් ඒක මට මාර හයියක්. ඔපිස් එකේ ලොක්කියො එක්ක වලියක් දාගන්න වෙලාවට මං කියන්නේ. මට රස්සාව නැති උනත් බදාම අනල මෙයිට වඩා ගානක් හොයන්න පුලුවං කියල.
Delete//චූටි මැණිකේ කනෙං අයිං කරපු පෝන් එකෙන් මං කමිසයක් මැදගත්තා.//
ReplyDeleteහැක්... මදැයි බැටරිය පුපුරන්නැතුව බේරුනා.
මදැයි මං බේරුණ එක
Deleteඅනික උඹල හදල තියෙන්නෙ පොටෝ සාප්පුවක්ද නැත්තං සෙලියුලර් ටවර් එකක් ද?
ReplyDeleteඒක විවිධාංගීකරණය කරලා
Deleteඒක විවිධාංගීකරණය කරලා
Deleteඑනකොට එනවා හිනාවෙවී
ReplyDeleteයනකොට යනවා කතා නොවී
නැති ඈයෝ ඇති ඈයෝ
කාටත් නැති ඈයෝ
කවුද මැව්වෙ මේ ඈයෝ
නෑදෑයෝ... හයියෝ...නෑදෑයෝ.....
ඉරිසියාව ලෝකෙට උපදින්නේ
ඕන්න ඔය නෑදෑයින් ගෙන් නේ
දහක් ගත්තොතින් ඒ අය ගොන්නේ
හොඳ නෑයෙක් කලකිනි හමුවන්නේ
දුකේ දි ඕනෑ ඈයො යි නෑයෝ
එහෙම නොවේ නම් මොකට ද නෑයෝ
මගේ හැඟුමෙ හැටියට නෑදෑයෝ
හොඳ හිත ඇති යාළුවො නම් නෑයෝ
මාමා නැන්දා ලේලි බෑනා
අප්ප කුඩප්පා හා ලොකු නෑනා
නෑ කම උරුමය අඬහැර පානා
යන එන ඉන්නා කිසි දින නේනා
මඟුල්තුලා වල දී වටවෙන්නා
අතමිට ඇති කල වටේ නටන්නා
දියුණුව දැක්ක ම අඬා වැටෙන්නා
කොච්චර කෙරුවත් නෑ යි කියන්නා
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා.
ලඟකදි මේ පැත්තකවත් නාවේ මොකදෝ...
Deleteසින්දු ඇනෝ නැති දවසට සින්දු කොහෙන්දෝ....
හැමදාම ආවා බන් ...කොමෙන්ටුවක් කොටන්න බැරිවුනාට ...ජයවේවා !!!
Deleteමාරයි.
ReplyDeleteශුවර් නෑ නේද
Deletemacho me koheda vidyala handiyen kottawa pareda
ReplyDeleteමාළඹේ පාරෙ
Deleteඇඬෙනවා... එල! සතියක් ඉන්නේ නැතුව මේක ඉවරයක් කරපං..
ReplyDeleteඉතිං ඉවරයිනේ සර්.
Deleteඑහෙමද? ඒ වුනාට කියෝල ඉවර වුනාම හිතට අඩුවක් දැනුනා.. :(
Deleteමෙහෙම ළමයි කීයක් නම් මගෙ පන්තිවල ඉන්නැති ද කියල මට හෙන දුකක් දැනුනා....
ReplyDeleteඅදත් ඉන්නවා. ගිය සතියට කලිං සතියේ චූටි මැණිකේ එහෙම දරුවෙක්ට පොත් වගයක් අරං දීලා තිබුනා
Deleteආයෙම මුලටම ගියා නේද.හඳේ නොපෙනෙන පැත්ත වගේ ජීවිතවල කාටවත් නොපෙනෙන නොදැනෙන දුක් වේදනා හැංගිලා තියෙනවා. පෙල ගැස්ම සාර්ථකයි.
ReplyDeleteලියන්න ගිය එක නෙවෙයි ලියවුණේ
Deleteඋබේ තියරිය හරියටම හරි. ඇරියොත් අරිනව අද නෙමෙයි හෙට හරි ඊට කලින් සියදිවි නසාගන්න එක හොඳයි කියල නොකිය කියපු මට ඇරපු මගෙ මාම කෙනෙක්ගෙ පුතෙක් සියදිවි නසාගත්ත. වැඩේ කියන්නෙ මචං මම දැන් ලෝඩ් කරපු තුවක්කුවත් අල්ලං බංකුවක වාඩි වෙලා ඉන්නව මගෙ වාරෙ එනකං. ඒත් "කර්මා" කියන එකා මැද්දට පැනල උන්ව විනාස කරනව මිසක් මට උන්ට වෙඩි තියන්ට දෙන්නෙම නෑ. 🤔
ReplyDeleteඇඩෙන ඇත්ත හිනා යන විදියට අපට කියල දෙන සුරංගta මගේ ආචාරය.
ReplyDeleteඑව්වා කියවන ඔබට මගේ උත්තමාචාරය
Deleteකොළඹ ඉඳන් වනන ගමේ ගැමි සුන්දරත්වය ඇතුලේ ඇති හැබෑව තමයි ඔය. කලාතුරකින් ලිවීමේ ටැලන්ට් එක ඇති එකෙක් මේ වගේ අකුරු කරයි.
ReplyDeleteඒත් කියාගන්නට ලියාගන්නට නොහැකි උන් (මාද ඇතුලුව) දස දහස් ගානක් ඉන්නව බොලව්.
ඔය ගම සුන්දරයි කියන උන් මට පේන්න බැරි ඒකයි
නගරේ එතරම් සුන්දර වන්නේ මිනිස්සුන්ට ඕනෑ තරම් වැඩ ඇති නිසාත්, අනුංගේ රෙද්දවල් හොයන්න වෙලාවක් නැති හිංදාත්ය
Deleteඔව්
ReplyDeleteඅඩෝ හිනාවෙන්න බලාගෙන කියෙව්වත් බොහොම කණගාටුදායක අවසානයක්. කොහොම උනත් උඹ මේවායෙන් සෑහෙන්න පන්නරයක් ලබල තියන හැඩයි.
ReplyDeleteමාත් ලිය්නන ගියේ සාපේ ලියපු උන්ට උපදේසයක් ලියවුනේ වෙනිං එකක්.
Deleteගම හිතන තරං සුන්දර නෑ කියන කතාව මාත් හැමදාම හැම තැනම කියන ගමේ එකෙක්.. මෙව්වගෙන් තව තව ඔප්පු වෙන්නෙ ඒක..
ReplyDeleteනියම ලියවිල්ල මචං
බදුල්ලත් නගරයක් නං, මං ඉන්න අවටත් සුන්දර නෑ හිච්චි බඩයියේ.
Deleteඒක තමා ඇත්තම ඇත්ත. ගම සුන්දර පරිසරය විතරයි. මිනිස්සුන්ගේ හිත් අන්තයටම පිරිහිලා. කේලම් කෙටවීම්, බෙලි කැපිලි,ඕපාදූප, කී නොකී හැම දෙයක් වගේම ඊර්ශ්‍යාව ඔඩුදුවපු මිනිස් රැලක් තමා ගම්වල ( බොහොමයක්) ඉන්නේ.
Deleteදැනුනා . සාර්ථක බ්ලොග් සටහනක්
ReplyDeleteබොහොම ඉස්තූතියි. සතුටුයි.
Deleteසාපෙල විභාගෙ මතක් කරන ස්මාරකයක් තියෙන්නෙ එහෙමත් කෙනෙකුට. මේ බිල්ඩිම සුරංග ගෙ සා.පෙළ ස්මාරකය.
ReplyDeleteමටත් අපේ ගෙදරම තිබුනා එහෙම ස්මාරකයක්...
Deleteමමයි තාත්තයි, මල්ලියි එකතු වෙලා ගෙදර එහා පැත්තේ හදපු අපේ වැඩපොළ, අත්වැඩ දුන්නේ මල්ලි...
වහල ගහද්දි තාත්ත තව එයාගේ යාලුවෙක් කතා කර ගත්තා...
පසු කාලීනව ඒ ගොඩනැගිල්ල කඩලා කොටසක් ඉතුරු කරගෙන වෙනස් කලා...
කාටත් සාපෙල ස්මාරක තියෙනවා. සමහර එව්වා එලියට දාන්න බෑ. ලැජ්ජයි.
Deleteලස්සනයි..... ගොඩක් දුකයි... දිගටම ලියන්න සුභ පැතුම් - sri
ReplyDeleteමිං පස්සේ දුක නොහිතෙන්න ලියන්නං. ඉස්තූතියි.
Deleteදියුණුවට අඩිතාලම දැමු අධිෂ්ඨාන පාරමිතාවක්.
ReplyDeleteආං හරි. එතන තමයි මං ගමෙං දොට්ට පය තිව්ව මුල් තැන.
Deleteජය බෝලී නාත් ! නියම ලිවීම....
ReplyDeleteජයින් ජයිම වීවා....
Deleteඒ හන්දියට කියන්නේ විද්‍යාල හන්දිය කියලා
ReplyDeleteමේ වගේ කතා මගෙ පංතිවලට ළමයින්ගෙන් ඕනෑ තරම් අහලා තියෙනවා.ඒත් මේ කතාව ඒ ඔක්කොටම වඩා
ReplyDeleteසංවේදියි.
මෙයිට වඩා අසරණ වුන ජීවිත මං දන්නවා. දකිනවා. ලියන්නං වෙලාවක.
Deleteමම ඔබට ගරු කරමි.
ReplyDeleteරැස්පට්.
Deleteමචන් මම මුල ඉඳලම උඹගේ බ්ලොග් එක කියවනවා. අද ජීවිතේ පළමු වතාවට බ්ලොග් එකකට comment එකක් දාන්නේ. උබගේ කතාව බොක්කටම වැදුනා. උබට ජය මචන්.
ReplyDeleteඉස්තූතියි.... ඔබ මෙය කියවන හැම විටකම මට එය දැනේ.
DeleteNiyama kathaawa aiya..jaya
ReplyDeleteදුප් කිව්වෙ ඇතුලට. හුහ් .. කෝච්චියෙ දොරේ එල්ලිල යන්න..
Deleteඔය වගේ සිද්ධි අපේ අම්මට,ලොකුඅම්මට, ලොකු මාමට, අම්මගේ අම්මට එහෙම වෙලා තියනව. හැබැයි මගෙ දෙමවුපියන්ට පිං සිද්දවෙන්න අපිට එහෙම වෙන්න ඉඩ තිබ්බෙ නෑ.
ReplyDeleteමොනවා උනත් හිතට දැනෙන කතාවක්. උඹ අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි අයියෙ.
දැං ඉන්න එවුන්ට වල් පැලයක් උදුර ගන්න පණ නෑ බං අයියේ... ඒ අතිං උබ නම් සුපිරියි. බලමුකෝ 'වස විස නැති' එකෙන් වත් වැඩක් වෙයි ද කියලා..
ReplyDeleteජය!
සුරංග මලයෝ
ReplyDeleteඋබේ කතාව කියවද්දී , මට මාවම පෙන්න ගත්තා
දැන් පිටරටක ජීවත් උනත් , මගේ ළමා කාලය , දෙමව්පියන්ගේවත්
ආදරය නොලබපු , මහා කාලකන්නි කාලයක් .
මොකක්දෝ බලවේගයකින් මුණගැහුණු හොද ගුරුවරු සහ යාලුවෝ නිසා
ඉහලටම ඉගෙන ගත්තා පවුලේ කිසි කෙනෙකුට ලං වෙන්න බැරි ලෙස .
එත් වෛරයක් නම් නැහැ කා ගැනවත්. අතීතයට වෛර කරනවට
වඩා , එවැනි වැරැද්දක් මගේ අතින් මගේ දරුවෙකුට නොවන්න මම හැම තිස්සෙම වග
බලා ගන්නවා
මුලින් හිනාවුනු පස්සේ ඒ හිනාව අතුරුදහන් කරවපු අපූරු කථාවක්.. ජය සහෝ...
ReplyDeleteසුරංග මලය කාල තියන කටු දැක්කහම අපිට වස විලි ලැජ්ජාවේ බැරුවා බං !
ReplyDeleteමොකද ඇත්ත ඇවිල්ල හිටං බෝලාගේ අත්දැකීම වලට සමාන කරහම ඇත්තටම මම නං කොහෙත්ම දුක් විඳලා නෑ ...
අපටත් පවුලෙන් යම් යම් අඩු ලුහුඬුකම් සිද්ද උනත් මේ තරම් දැනුනේ නැත්තේ අපිට උදව්වට කවුරු හරි හැම තිස්සෙම හිටිය හන්ද ...
ඒ උනාට බෝලාගේ පවුලේ එවුන්ගෙන් බාගයක් බෝගම්බරට ගෙනත් උල තියල හතර වාහල් කොරන්ඩ එපායැ !
මට හිතෙනවා උඹ උඹේම කියල මොකක් හරි සයිඩ් එකෙන් අටවා ගත්ත නම් සෑහෙන්න දුර යන්න පුළුවන් හාදයෙක් කියල ... උඹ වගේ හිත හයිය දහිරිය තියන එවුන් අනුන්ට නෙමෙයි ආණ්ඩුවට උනත් කඹුරන එක පාපයක් ...
කියෙව්වා බන්
ReplyDelete