Saturday, May 14, 2016

නවක වදය nuisance for novice



මෙන්න මේක තමයි මට හම්බුවෙච්චි නෙලුං තෑග්ගෙං ගනිපු කොම්පිවුටර් පෙට්ටිය. කලිං පෙන්නන්න බැරිවුනා.


මේ දවස්වල  රටේ බයිට්ටෙක නවක වදයයි. ඔන්නොහෙ ඕන කෙහෙම් මලක් වෙද්දෙං කියලා මාත් දන්න නවක වදය ගැන ටිකක් ලියා දමන්න මං කල්පනා කලා.


මං කැම්පස් ගිහිං ඇත්තේ දෙපාරයි. එක පාරක් කැළණියේ වෛද්‍ය පීඨයට ගියේ උසස් පෙළ කාලෙ ඉස්කෝලේ ප්‍රදර්ශනයකට ගෙනා නයි, පොලොං, කුනකටු, හාල්දණ්ඩො, දෙපත් නයි, පලාබරි ආදීන් අඩංගු බෝතල් ටිකක් ගිහිං දෙන්න ගියා. එදා කථිකාචාර්ය මහත්තැං කෙනෙක් අපිට කැන්ටිමෙං වඩේ එක්ක පේන්ටි ඇරං දීලා “ඔයාලත් මෙහෙට එන්න මහංසි ගන්ට” කිව්වා මතකයි. එදා "හා" කියලා ඔලුව වනපු පහලවත්තෙ ප්‍රදීපයටවත් මටවත් ආයි ඒ පැත්ත පලාතෙ පස් පාගන්නවත් බැරි වුනා. ආයිත් පාරක් ඌව වෙල්ලස්ස කැම්පස් එකට ගියේ මගේ යාලුවෙක්ව ඉන්ටවු එහෙකට ගෙනිහිං ඇරලවන්න. එයිට අමතරව මං කැම්පස් ගිහිං නෑ. හැබැයි එහෙම කියලා නවක වදේට අහුනොවී ඉන්න වුනෙත් නෑ.


මං සා.පෙ වෙනකං ඉස්කෝලෙ ගියේ ජාතික පාසලට. සා.පෙ පාස් උනාට පස්සෙ මට ඕනැ උනේ දොස්තර කෙනෙක් වෙන්න. ඒ කාලෙ අපි දැනං හිටිය ලොකුම සල්ලිකාරයො ජාතිය දොස්තරලා. මානාන ටවුමෙ අලුත් කාර් තිවුනෙ දොස්තරලට වෙච්චි නානායක්කාර මහත්තය සහ අපේ ගෙදර අයට ඇඳීමට බෙහෙත් දීමෙන්ම හොඳ ගානක් හොයාගත් කුමුදු මැඩංට විතරයි. ඒ හංදා දොස්තර කෙනෙක් වෙන්න නං සයන්ස් කරන්න ඕනැ බවත් සයන්ස් හොඳටම උගන්නන්නෙ මධ්‍ය මහා විද්‍යාලෙ බවත් පාර තොටේ හම්බුවෙන හැම කෙනාම කියන්න පටං ගත්තා. සල්ලි වලට තියෙන අධික තණ්හාව හින්දත්, හුඟක් දෙනා කියන දේ හරියි කියන මතය හිංදත් මාත් මධ්‍ය මහා විද්‍යාලෙට යන්න තීරණය කලා.


ඔය මධ්‍ය මහා විද්‍යාලෙ තියෙන්නෙ ජාතික පාසලේ ඉඳලා කිලෝමීටර් දෙකක් විතර ටවුමෙං අනික් පැත්තට වෙන්න. අපේ ගමේ ළමයි සමාන වශයෙං ඔය ඉස්කෝල දෙකේම හිටියා. අපි දෙගොල්ලංම දෙපැත්තකිං ටවුමට ඇවිත් එක බස්සෙකේ තමයි ගෙදර ආවෙ. කොටින්ම කියතොත් ඉස්කෝල දෙකේම එවුං එකාට එකා හොඳ යාලුවො.


ඕං ඉතිං මාත් මගේ රස්සාව එහෙම හමාර කරලා ජාතික පාසල ඇතෑරලා මධ්‍යමහා විද්‍යාලෙට ගියා. පළමුවෙනි දවසෙ මධ්‍ය මහා විද්‍යාලෙම උපන්න උසස් පෙළ ළමයින් හෙවත් ඒකෙ උරුමක්කාරයොත්, පිටිං ගිය අපිත් එක හෝල් එහෙකට දාලා පින්සිබල් සෑහෙන දරුණු කතාවක් කලා. ‘පිට පාසල් වලින් ආපු දරුවන්ට රැග් කරන්න යන එවුං හම්ම ගහන’ බවට එතුමා දිවුරා කියා සිටියා. ඉන් පස්සෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයාත් කතා කරමින් ‘නවක සහෝදර සහෝදරියන් ලෙංගතු කමින් පිළිගන්නා’ බවත් ‘අපි සියළු දෙනාම විදුහල් මාතාවගේ නම බබුලුවමින් රටේ දීප්තිමත් සිසු කැලක් මෙන් පෙරටම යායුතු’ බවත් කියා හිටියා. එයාගෙ කතාවෙං උතුරා ගිය සෙනෙහස නිසා මගෙ  උගුරත් හිරවුනා. ඒ හිරවීම මගඇරුනෙ දහතුනේ ළමයි එකතු වෙලා අපිට කෝඩියල් එක්ක කේක් කෑල්ල ගානෙත් දුන්නට පස්සෙයි. මෙවන් සහෝදර කැලතක් අපිට මේ කපේදි හම්බු නොවෙනවා ඇති කියලා මට හිතුනා. මාත් ඒ කියාපු විදිහට විද්‍යාලෙ නම මොන ඉටිගෙඩියක් කරලා හරි බබුලුවනවා කියලා මං හිතාගත්තා.



එයිං දවස් දෙකකට විතර පස්සෙ අපේ ඉස්කෝලෙ‍ යාම පටං ගත්තා. තට්ටු තුනේ විද්‍යාගාර ගොඩනැගිල්ලෙ පහලම තට්ටුවෙ දෙපැත්තෙ පන්ති කාමර දෙකයි. එයිං එකක දහතුන වසර ගණිත, විද්‍යා පංතිය. අනිකෙ දොළහ වසර ගණිත, විද්‍යා පංතිය හෙවත් අපි. පලවෙනි දවසෙ උදේ වරුවෙ සේරම පීරියඩ් උගන්නපු (උගන්නනවට වඩා කලේ පාසලේ කීර්ති නාමය රැකගන්න හැටි කියාදීමත්, පිටිං එන එවුං තමා මේක කන්නේ කියා නොකියා කීමත් තමයි.) නිසා ගැටළුවක් උනේ නෑ. නමුත් අනතුරක් වෙනවා ඇතැයි සේයාවක් නිකං හොල්මං කලා. ඒ හොල්මන වැඩ කරන්න පටං ගත්තෙ ඉන්ටෝල් වෙලාවෙ.


දහතුන කලා පන්තිවල කොලු රෑනක් ඇවිත් අපේ පන්තියෙ දොරෙං එබිකං කරලා බලලා 


“එයි ෂ් ෂ්... මේ උඹ උඹ වරෙං”


කියලා පන්තියෙ ඉස්සරහම පේලියෙ හිටපු අලුතින් ආපු එකෙක්ට ඇඟිල්ල දික් කරා. 


“උලම වගේ වටපිට බලන්න නෙවෙයි. වරෙං “


එයාව නිකම්ම නැගිට්ටුනා.


“ඉක්මනට වරෙං”


එයාව පඩිපෙලේ උඩට අරගෙන ගියා. ඉතුරු අපි ටික බිරන්තට්ටු වෙලා හිටියා. එදා මගෙ වෙලාව හොඳයි. මං ගෙදරිං ගෙනා බත්මුල දිගෑරගත්තා. බත් කන වෙලාවට සතෙක් සර්පයෙක්ටවත් කරදර කරන්නෙ නෑනෙ. මං ඉන්ටවල් එක ඉවර වෙනකං බත්මුල ලෙවකෑවා. විටින් විටේ අපේ පන්තියෙ කෙල්ලන්ව දහතුනේ පන්තියො කෙල්ලො විසිනුත් කොල්ලන්ව ඒ පන්තිවලම කොල්ලො විසිනුත් ඔය විදිහට අරගෙන ගියා. සමහර කෙල්ලො ආපහු ඇවිල්ලා මේසෙ මූන ඔබාගෙන ඇඬුවත් එක්ක.


එහෙම ගිහිං ආව එවුංගෙං මොකද වුනේ කියල ඇහුවම උං නොයෙක් කතා කිවුවා.


“ගෙදර විස්තර අහලා, ඉං පස්සෙ සිංදුවක් කියන්න නිව්වා”

“කෙල්ලෙක් ඉන්නවද ඇහුවා. මෙහෙ කෑලිවලට බැස්සොත් ** ** කරකෝනව කිව්වා”

“කංදෙක අල්ලගෙන විසි එකක් උඩ පනින්න කිව්වා”

“කට වැඩියි කියලා කට මිරිකුව බං”

“උජාලා ගෑව බං. මේ බලහං කමිසෙ නිල්”

“රුපියල් විස්සක් ගත්ත බං”

“හෙට එනකොට චොකලට් බිස්කට් පෙට්ටියක් ගේන්න කිව්ව”


කෙල්ලන්ට වෙලා තිවුනෙ ඊට වෙනස් වැඩ. මං ඒව අහගත්තෙ අනික් කෙල්ලංගෙං


“දැං තියෙන ලව් එක නවත්තන්න කිව්වලු. අර කෙට්ටු උස එකාට කැමති වෙන්න කිව්වලු”

“ගවුම දනිස්සෙං පහලට වැටෙන්න දිගට මහන්න කිව්වලු”

“කොන්ඩෙ වවන්න කියල කොන්ඩ ගස් ගැලවෙන්නම කොණ්ඩෙං ඇද්දලු”

“සිරික්කිය වැඩියි කියල බැන්නලු”

“පේමන්ටෙක දිගේ හාවො පයින්න කිව්වලු”

“සිංදු කියන්න කියල, ඒක කිව්වට පස්සෙ ලව් සිංදු කියන්නෙ මගුල් විසේද ඇහුවලු”

“හෙට එනකොට පනහෙ චොකලට්ටෙකක් ගේන්න කිව්වලු”

ඔය විදිහට කියපු දේ කිරීමෙන් සහ සල්ලි බාගෙ තියෙන බවට එලිවෙච්ච එවුං විසින් චොකලට්, විස්කෝතු ආදී අල්ලස් ලබාදීමෙන් රැග් එක සමත් වෙන්න සෑහෙන පිරිසකට පුලුවන් උනා. එකපාරක් දෙකකට වඩා එකෙක්ව ඔය වැඩේට ගත්තෙ නෑ. සමහරුංව එහෙම ගනිද්දි අනික් රැග්කරුවො කෑගැහුවා.


“ඒයි ඒයි. උට ඉන්න ඇරහං. අපි උගෙං ඊයෙ චොකලට් ගෙන්නුව”


හැබැයි ‘මේ ලෝකේ ඉන්නා සුන්දරම කෙල්ල මං තමයි. සියළුම කොල්ලෝ මාගේ එක බැල්මට වසඟ වේ’ කියල හිතාගෙන ලලනෝපචාරී මොනවද එව්වා දාගෙන, ලේන්සුව ගවුමෙ පටියෙ ගහගෙන, කෝල බැලුම්, නෙතඟ කැලුම්, ඩබල් බැලුම් දාගෙන ඉන්න හදපු කෙල්ලො එකෙක් දෙන්නෙකුටත්, කලිං මේ ඉස්කෝලෙ කොල්ලෙක් එක්ක වලියක් දාගෙන හිටිය අලුතින් ආපු කොල්ලෙකුටත්  සෑහෙන කාලයක් වදවෙන්න වුනා.


මේ ආදී වසයෙං රැග් එකට ලක්වෙච්ච සෙනග අතරේ මං මගේ සුපුරුදු උපාය දැම්මා. හැමදාම මං බත්මුලෙං බේරුනා. ඒත් කල පවු තියේනං වලක්වා ගන්න බෑ. එක දවසක් මට ගෙදරිං බත්මුල ලැබුනෙ නෑ. එතකොට මං එම්.බි.බි.එස් කරලා එකතු කරගෙන තිවුන සල්ලි වලිං ගෙදරට සල්ලි දෙන එක නවත්තල සතියයි. එදා ඉන්ටවල් එකට මොකවත් නොකා හිටිය මාව අහු උනේ දහතුන විද්‍යා පංතියෙ අක්කල රෑනට. ඒ නඩේ හිටපු කැත්තට පොල්ල වගේ කට සැර, කොණ්ඩෙත් කපල කොල්ලෙක් වගේ ඉන්න අක්කට මාව ඇහැ ගැටුනා.


“ආ.... මේ ඉන්නෙ. මූ හැමදාම දවල්ට බත්මුල දිගෑරගෙන කට්ටි පනිනව. වරෙං යන්න”


තවත් මරුමුස් අක්කල රෑනක් මාව උංගෙ පංතියට දක්කගෙන ගියා.


ගුරුමේසෙ ගාව හිටෝල තියල මගෙං ප්‍රශ්ණ කරන්න පටං ගත්තා.


“මේසෙට හේත්තු වෙන්නැතුව කෙලිං හිටපිය”


මං සිරුවෙං හිටගත්තා. මෙතැන සිට ප්‍රශ්න රතුයි, උත්තර නිලුයි, පසුබිමෙන් ඇහෙන කතා දම්පාටයි.


උඹ කපටි කමට බත්මුල දිගෑරගෙන කනව නේද ඉන්ටෝල්ලෙක ඉවර වෙනකම්ම. කෝ අද උඹේ බත්මුල.”


හම්බුන්නෑ


“ඒ මොකද? උඹෙ ගෑනි ගමේ ගියාද”


“හිහිහී...හිචි හිචි”


“ගෙදරිං බත් හම්බුන්නෑ”


“ඇයි උඹලෑ ගේ බිමට කඩං වැටුනද?”


“ඥෑ... ගෙදෙට්ට දෙන්න සල්ලි තිවුන්නෑ”


“ංආආආආා....”


“ඇයි උඹ ඉන්නෙ අම්මයි තාත්තයි එක්ක නෙවෙයිද”


“ඥෑ”


“බෝඩිමේද?”


“ඥෑ”


“මොකද උඹ ගෙදර යන්නැත්තෙ?”


“මාව ගෙදරිං පැන්නුවා”


“තෝ ගෙදරිං හොරකං කලාද. අල්ලගනිං කං දෙකෙං. ගහපං දන. “


තප්පර දෙකෙං මං දනගහගෙන කං දෙකත් අල්ලගෙන. වටවෙලා ඉන්න රංචුවත් වැඩි වුනා. නයි නටෝනව බලන්න වගේ. කදමලු බැඳගෙන නැන්ද මාම බලන්න යන රිලව දිහා බලනව වගේ හැමෝම මා දිහා බලනව.


“හා.. දැං කියපං මොකද්ද උඹ කරපු වැරැද්ද ගෙදරිං එලවන්න”


“මං මුකුක් කොලේ නෑ. තාත්ත හැමදාම බීල ඇහිල්ල රණ්ඩු කරනව. ඉං පස්සෙ දවසක් මට ගහල ගෙදරිං පැන්නුව”


“අනේ... පවූඌඌඌඌඋ”


අක්කගෙ පරිවාර සේනාව "ඌ" යන්නෙං පංතිය ඒක නින්නාද කරා.


“මේ.. උඹල කට වහපල්ලා. මං මුගෙං අහන්නෙ”


අක්කා මීටරේ රූල වනලා තමුංගෙ රෑනෙ කටවල් වැහුවා.


“එහෙනං උඹ කොහෙද ඉන්නෙ”


“කලිං හිටියෙ අම්මලෑ මහගෙදර, එහෙං යන්න කිව්වට පස්සෙ දැං ඉන්නෙ මාමගෙ ගෙදර”


“බොරු නේද කියන්නෙ”


“නෑ.. ඇත්ත අපේ පංතියෙ ආනංදගෙං අහන්නකො.”


“ඒකත් මං අහගන්නංකො. උඹ බොරු කියල තිබ්බොත් බලාගමු. නැගිටාං”


ආයිත් තප්පරෙං මං නැගිටලා.


“උඹ ක්ලාස් යන්නෙ කොහෙද?”


“තාම යන්නෑ”


“එතකොට උඹ සාමාන්‍ය පෙල ලියල නිවාඩු කාලෙ මොකද කලේ”


ඒ දවස්වලත් සා.පෙ අහවර වෙච්ච ගමන් ප්‍රතිපල එන්න කලින් හැමෝම පන්ති යනව.


“මං රස්සාවක් කලා”


“තෝ බොරු නේද කියන්නෙ ආයිත්. සුමාලියෝ ගෙනහං අර මගෙ කාකටු පෙට්ටියෙං පෑනක් මුගෙ ෂර්ට් එකේ ඉරි අඳින්න”


“අනේ නෑ. මේ ඇත්ත කියන්නෙ. ඒකත් ආනන්දගෙං අහන්න බොරුද කියල. අනේ මගෙ කමිසෙ නං ඉරි අඳින්න එපා. මෙච්චරයි තියෙන්නෙ”


“ඒ... පවූඌඌඌ බං... ඔන්නොහෙ යන්න ඇරහං. ඔයා යන්න මල්ලි.”


මේ වනවිට මගෙ කතාවෙං වටේ හිටපු රෑනගෙ බොක්ක උනුවෙලා තිවුනෙ. ඒ විරෝධය එක්කම තවත් ප්‍රශ්ණ ඇසීමෙන් පලක් නොවන බව දැනගත්ත හිංදා ප්‍රශ්ණ කරපු අක්කා මං ලවා යංතං පැල්කවියක් වගේ සිංදුවක පද හතරක් කියවලා මගේ කමිස සාක්කුවෙ පෑන් ඉරකුත් ඇඳලා එයාගෙ බොරු දරදඬුභාවය පෙන්නලා මාව ආපහු යැවුවා. එදාම එයාලා මං කියාපු දේවල් ඇත්ත බව ආනන්දයගෙං අහල තහවුරු කරගෙන තිවුනා. මාත් දවස් ගානක් පෑන් ඉර තියෙන කමිසෙ ඇඳලා ඒ බව තවත් තහවුරු කලා. එදා ඉඳං කවුරුහරි මාව මඩවන්න ලැහැත්ති වුනොත් අර අක්කල රෑන මාව බේරගන්න එකාවන්ව මීටරේ රූල්, කොසු ආදිය ඇරගෙන පෙරට එනව.


“ඒයි ඔය මල්ලිට ඉන්න දීපං හරිද. තොපේ ඔලු පලනව උට අත තිබ්බොත්”


ඒ වගේම සමහර වෙලාවට කැන්ටිම පැත්තෙ ගියොත් ඒ අයගෙ වියදමෙන්  මාලු පාං එකක්, රෝල්ස් එකක් ආදියත් ලැබෙන අවස්ථාවනුත් තිවුනා වෙන්ට පුලුවන්.


ඔය විදිහටම ආයිත් පාරක රැග් එක කෑවෙ මං පලවෙනි වතාවට සුපවයිසර් කෙනෙක් හැටියට තේ පැට්ටේරියෙ රස්සාවට ගිය කාලෙ. සතියක් විතර දවල් වැඩ පුහුණු වුනාට පස්සෙ එක දවසක් මාව රෑ වැඩට යෙදෙවුවා දළු මැලවීමෙ අංශයට. රෑ වෙනකොට ඇතිවෙන සීතල හිංදා දළු මලවන්න රස්නෙ ගන්නෙ  තේ වියලනයෙන්. 

තේ වියලනයේ දර දාන කොටස


එදා රෑ දොලහ වෙද්දි ඒ ලිපට දාන දර කොට එකක්වත් පත්තු වෙන්නෙ නෑ. මට ඒකෙ ලෙඩේ හොයාගන්න බැරිවුනා. පහුවදා උදේ වෙද්දි දළු මැලවීම කෙසේ වෙතත් හීතල සුලඟ වැදිලා ගහේ තිබුනට වැඩිය හොඳට තේ දළු ටික පන ගහලා ඇවිත්. ආයිත් ඕනිනං ගහේ හයිකරන්නත් පුලුවං. කොළම කොල පාටයි. ඒ දර්ශනයෙන් අමන්දානන්දයට පත්වෙච්චි ටී මේකර් හෙවත් කර්මාන්ත ශාලා නිලධාරීතුමා මට ඇමතුවෙ මෙන්න මෙහෙම.


“ඕයි තමුසෙ රෑ තිස්සෙ මෙතන @$වැද්දද? ගෑනුංගෙ &*වල් බැලුවද? බලනව ලක්ෂ ගානක දලු. මං මේක කන්නද? @$#^#$#*&&^#%^%. දැං ඉතිං තමුසෙ මේකට ගෙවනව.”


එදා වැඩකරපු කම්කරුවොත්, අනෙක් අංශෙ වැඩ කරපු සුපවයිසරුත් ලිපට හුලං එන පංකාවෙ මෝටරේ නවත්තලා මට අන්නපු බව පස්සෙං පහු හොයාගන්න පුලුවං වුනා. වෙච්ච දේට හිත කලකිරුන මං දවස් ගානක් වැඩට ගියෙත් නෑ. මං නිසා ලක්ස ගානක් පාඩුවක් උනා කියලා හිතං හිටියත් පස්සෙ කාලෙක දැනගත් විදිහට දවල් දවසේ ඒ දළු ටික මලවලා අඹරලා අරගෙන තිබුනා. කිසිම පාඩුවක් වෙලා තිබුනෙ නෑ.


ටික කාලයක් ඔය විදිහට මට නොයෙක් කෙනෙහිලිකම් උනා. ඒත් එක්කම මට කචල් ඇදපු සුපවයිසර්වරයාව හොඳ යාළුවෙක් කරගන්න මට පුළුවන් උනා. මට ඒකට වියදම් උනේ සිගරට් දහයක් පහලොවක් සහ ඩේල්කානගී ලියාපු “හිත් ගැනීම” කියන පොතේ එක පරිච්ඡේදයකුත් විතරයි.


තේ වියලන යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය මං දන්නා විද්‍යාව එක්ක කලවං කරලා ඒක වඩාත් කාර්යක්ෂම වෙන්න සීරුමාරු කරන්න පසු කාලීනව මට පුලුවන් උනා. අදටත් ඒ ක්‍රමය පාවිච්චි වෙනවානං පැක්ටේරියට දවසට රුපියල් තුන්දාහක විතර දර ඉතුරු වෙනවා ඇති.


අන්තිමට කියන්න තියෙන්නෙ නවක වදය කියන එක අධ්‍යාපන ආයතනවල විතරක් නෙවෙයි අපි අලුතින් යන හැම තැනකම තියෙන දෙයක්. යම් කෙනෙක් අලුතින් එක කෙනෙකුට තාඩන පීඩන කරනවානං ඒක ඒ යම් කෙනාගේ ඉරිසියාව, හීනමානය හෝ මානසික රෝගයක්. නමුත් ඒ හිරිහැරවලට ලක්වෙන කෙනාට පුළුවන් තමුන්ට හිරිහැර කරන්න හදන කෙනාව පක්ෂපාත කරගන්න. ඒ වගේම එයාට තමුංගෙ නරක ගතිගුණයෙන් ගැලවෙන්න උදව් කරන්නත් පුලුවන්. කරන්න තියෙන්නෙ එකම දෙයයි.

ඒ මනුස්සයාගෙ හිතේ වැරද්ද තියෙන තැනට නිවැරදි හැඟීම එන්නත් කරන්න.









87 comments:

  1. //ඒ මනුස්සයාගෙ හිතේ වැරද්ද තියෙන තැනට නිවැරදි හැඟීම එන්නත් කරන්න.
    එකෙන්ම.
    //හිරිහැරවලට ලක්වෙන කෙනාට පුළුවන් තමුන්ට හිරිහැර කරන්න හදන කෙනාව පක්ෂපාත කරගන්න.
    ඒකටත් හොඳ ඉවසීමක් තියෙන්න ඕන.හැබැයි සමහර අයව කොහොමටවත් හදන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. අපේ අම්මයි ඒ පවුලෙ අක්කල නංගිල ටිකයිත් මේ සම්මෙට හදන්න පුලුවං අය නෙමෙයිනෙ.

      Delete
  2. //නවක වදය කියන එක අධ්‍යාපන ආයතනවල විතරක් නෙවෙයි අපි අලුතින් යන හැම තැනකම තියෙන දෙයක්. යම් කෙනෙක් අලුතින් එක කෙනෙකුට තාඩන පීඩන කරනවානං ඒක ඒ යම් කෙනාගේ ඉරිසියාව, හීනමානය හෝ මානසික රෝගයක්. නමුත් ඒ හිරිහැරවලට ලක්වෙන කෙනාට පුළුවන් තමුන්ට හිරිහැර කරන්න හදන කෙනාව පක්ෂපාත කරගන්න. ඒ වගේම එයාට තමුංගෙ නරක ගතිගුණයෙන් ගැලවෙන්න උදව් කරන්නත් පුලුවන්. කරන්න තියෙන්නෙ එකම දෙයයි.

    ඒ මනුස්සයාගෙ හිතේ වැරද්ද තියෙන තැනට නිවැරදි හැඟීම එන්නත් කරන්න.// අනුමත කරනවා එකෙන්ම .. හැබැයි අපේ සමහර අය්යලා හදන්න බෑ ලේසියෙන් ..

    ReplyDelete
    Replies
    1. ආං ඒ වගේ අයියලා සඳහා සිංහල අභ්‍යාස වචන සමග සාක්කි රහිත අතපය භාවිතා කිරීම් පත්තියං වේ. අර මග නැගුමෙ අවසන් පියවරේ වගේ.

      Delete
  3. අපි MBBS කලේ අපේ ලොකු තාත්තා අපේ ගේ හදද්දී ඒකට බදාම සපයන්න... අපේ ඉස්කෝලෙත් ඔය වගේ සහ ඔයිට දරුණු රැග් සීන් තිබුනා..

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං තමුංගෙ දේටනෙ. ඔය රැග් කරන එවුං දෙන්නෙක්ට තුන් දෙනෙක්ට නෙලන්න මටත් ඒ කාලෙ හරි ආසාවක් තිවුනා.

      Delete
  4. අපි නම් ඕවා තිබුන තැන්වල ඕවා නවත්තලා තියෙනවා... ඒ ගැන අදටත් ආඩම්බරයි...

    ReplyDelete
    Replies
    1. පස්සෙං පහු ආයෙත් පැල උනාද දන්නෑ. ඒ වගේ කුණු කබරයො ආයි එනවනෙ කාලෙකිං

      Delete
    2. යකෝ මිඩිලීස්ට් වල තම්බි මෙහෙන් යන ඩ්‍රයිවර්ලට රැග් කරනව ද ?

      Delete
  5. උඹ විදියටම තමයි මාත් කැම්පස් ගිහිල්ල තියෙන්නෙ. ඒ මොරටු කැම්පස් එකට අපේ අයිය කෙනෙක් (ලැබ් ඇසිස්ටන්ට්) ගිය ගමන. ලැබ් එකටත් ගිහිල්ල, කැන්ටිමෙන් කාල අන්තිමට මොනවද ගැජමැටික් පුරෝපු කාමරේක පැය බාගයක් විතර කාමර අඩස්සියෙ හිටිය. ඒ තමයි පළමු සහ අවසාන කැම්පස් ගමන.
    බොලා ගානට අක්කල ටික ශේප් කරගෙන තියෙනවනෙ. තව ටිකක් දුක පෙන්නුවනං අක්කල ගානෙ බොට දවල්ට කන්නත් තිබ්බ. හැක්.
    උසස් පෙළදි අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු එවුවො ලවාත් කළේ ගිනිකූරකින් ලැබ් එක වටේ මැන්නීම වගේ ඒව තමයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මම කොලම්බු කැම්පස් යනවා රෑට... රෙස්ටුරන්ට් ගිහින් බොන්න සල්ලි නැති උනාම....

      Delete
    2. Praසන්ன
      ඒ වගේ කුඩා මිනුම් ඒකක ලබාදීමෙන් අදහස් කලේ හොතික විද්‍යාවෙ මුල් පාඩම කියා දෙන්න වෙන්නැති.

      මා තලං
      ඒ දවස්සල කැම්පස් එකේ පෙරුවද?

      Delete
    3. දැන් කියල මහ වෙනසක් යෑ.

      මඩ පෝස්ට් එකක් දානවා

      සිරිකොතට යනවා


      1600/- ගන්නවා

      Delete
  6. අර මොනිටරේ CPU එක උඩ තියල තියෙන්නෙ බොලාගෙ බෙල්ල දික් වෙන්න ද?

    ReplyDelete
    Replies
    1. උඹ බෙල්ල දික්කොරගත්තෙ ඒ කරමෙටද?

      Delete
    2. අපිට ඔය වගේ උඩ තියල තියෙන මැෂින් හම්බඋනේ නවසිය බර ගනං වල ටෙක් ශ්‍රී ලංකා යනකොට තමයි. 286 මැසිම උඩ මොනෝක්‍රෝම් CRT මොනිටරේ තියල.

      Delete
    3. අපහාස කරන්ඩෙපා මේක කෝටු දුවන වරිගෙ එකක් හරිය. ඒ කලිං තිවිච්චි පකිස් පෙට්ටි වර්ගෙ නෙමෙයි දැං එන්නෙ ට්‍රංක පෙට්ටි මොඩල් එක. මේක උඩ ඔයාකාර බර පටවන්නත් බෑ.

      Delete
    4. අඩේ IBM මැසිමක්...... ඕක ෆට්ට බාන්ඩෙ අයියා....

      Delete
    5. නෑ මලේ මේක හුලං පොඩ්ඩා (HP) එකක්

      Delete
  7. විස්සවිද්යාලෙකට වේවා, ඉස්කෝලෙකට වේවා, වැඩකරන තැනකට වේවා අලුතෙන් එකතුවෙන පුද්ගලයෙක් එතනට එන්නෙ චකිතයක් එක්ක. රැග් කළා හෝ නොකළා ඒ බවක් දැන හෝ නොදැන. ඒ වගේ සබකොලයය් චකිතයක් එක්ක ඒ තැනකට අනුගත වෙන්න උත්සාහ කරන උදවිය වධයට ලක් කිරීම මහා බලු වැඩක්.
    ඔය නවක වධය අනුමත කරන එවුං නාකි උනාමත් මතක තියන් ඉඳල රැග් කරන්න ඕන හරි නම්. හැරමිටියෙන් යනකොට පැන්න ගමන් හැරමිටිය උදුරලා විසි කරනව. උගේ හොම්බ බිම ඇනුනම කියනවා "නාකි උනාම සිද්ධ වෙන තත්වේ ගැන හරි ආකාර අවබෝධයක් වෙන්න සහ ඉස්සරහට කොහොමටත් හොම්බ බිම ඇනෙන නිසා ඒ අත්දැකීමට දැන්ම තියාම පුරුදු පුහුණු කරන්නයි ඒ වැඩේ කලේ" කියල. "අනිත් එක නාකි උනාම සමහරු හොම්බෙන්ම යනව, සමහරු දනගාගෙන යනව, බඩගාගෙන යනව, හැරමිටියක් අරගෙන ඇවිදින් උඹ කෙලින් ඇවිදින එක ඔට්ටු නෑ. උඹත් යන්න ඕන හොම්බෙන්. ඒ නිසයි උඹේ හැරමිටිය විසිකලේ" කියල සමානාත්මතාවය ගැන දේශනෙකුත් දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මේ සජ්ජයියෙ. ඕකට උප සංස්කෘතිය කියලත් කියනව නේද?

      Delete
    2. හෙක් ....සජ්ජ නියම අදහස.

      Delete
    3. සජ්ජා,

      නියම කතාව බං...++++++++

      සුරංග,

      අපෙ අත්තම්ම හිටියනං ඕකට කියාවි හුප සඟිසිස්කුරුතිය කියල.

      Delete
    4. සජ්ජා,

      නියම කතාව බං...++++++++

      සුරංග,

      අපෙ අත්තම්ම හිටියනං ඕකට කියාවි හුප සඟිසිස්කුරුතිය කියල.

      Delete
  8. // ඒ වගේ සබකොලයය් චකිතයක් එක්ක ඒ තැනකට අනුගත වෙන්න උත්සාහ කරන උදවිය වධයට ලක් කිරීම මහා බලු වැඩක්. //


    +++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ආං ඒකනෙ සරසර මහත්තෙයා මාත් කියන්නෙ. ඊළඟ සැරේට හිතුනොත් මං ලියනවා ඒ විදිහට අනුගත වෙන්න බය වෙච්චි කොටසක් අනුගත කරගත් හැටි. ඉස්කේ බොහොත් සුන්දර් ලඩ්කීලා හේ ප්‍රේම් කහානී හෝතේ.

      Delete
  9. ඉස්සරහට තමන්ට අභියෝගයක් වෙයි කියන බයට හීනමානයෙන් පෙලෙන කොන්ද පණ නැති උන්ගෙ වැඩක් විදිහට තමයි නවක වදය ගැන හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අර කොම්පිවුටරේ වැඩ කරන්නෙ හාංසි පුටුවක ඉදං ද? :)

      Delete
    2. මේකෙ වැඩ කරන්නෙද? ඉටි පුටුවක ඉඳං තව කොට්ටෙකුත් තියාගන්නව යකට පුටිං.

      Delete
  10. කොස්වත්තේ ඉස්කෝලේ නේද මේ කියන්නේ?

    ඕකේ අපේ අම්මලාගේ පරම්පරාවම (අම්මයි, පුංචි අම්මලා තුන් දෙනයි) ඉගෙන ගෙන තියෙනවා. ඒ විතරක් නොවෙයි අපේ ආච්චියි, තාත්තයි, එක පුංචි අම්මා කෙනෙකුයි උගන්නලාත් තියෙනවා. මාත් දවසක් දෙකක් ගිය බව මතකයි!

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ හරියටම හරි නේ. මං ඉතිං ඉස්කෝලෙ ලිව්වෙ නෑ. හරිනෑනෙ. දැං ඉතිං හරි.

      Delete
  11. උඹේ අලුත් කොම්පියුරේට සුභ පැතුම්....... කම්පියුටරේ ගත්තාට පස්සේ උඹ බිසී වෙලා තියෙන එකයි අපිට තියෙන අවුල.......

    ReplyDelete
    Replies
    1. මූ දැං අලුත් කොම්පීටරේ පිහිදදා ඉන්න එක විතරලු කරන්නෙ.
      ටිකිරි සඳමාලිට කන්න දෙන්න එකෙක්වත් නෑලු. හැක්.

      Delete
    2. මේක ආයි පිහදාන්න දෙයක් නෑ. මේකෙ ඔය නරක ඇමරිකන් කාරයන්ගෙ ජරාවල් එහෙම දාන්නෑනෙ.

      Delete
  12. ///ඒ මනුස්සයාගෙ හිතේ වැරද්ද තියෙන තැනට නිවැරදි හැඟීම එන්නත් කරන්න.////

    එකඟයි.. ඒ වගේමහරියට කරන්න පුලුවන් නම් නියම ක්‍රමය ඒක තමයි..
    ඒක ඇත්ත අද වෙනකොට ගොඩක් තැන්වල රැග් එක යනවා..

    ReplyDelete
    Replies
    1. මෙව්වා පටං ගන්න ඕන ඉස්කෝල වලිං. අනික මිනිස්සුන්ට තියා සත්තුන්ට උනත් ඕනෑවට වඩා නිදහස හා ඕනැවට වඩා නොමිලේ දුන්නොත් එව්වයෙ අගයක් නෑ. ඒ ගැන වෙනම ලියන්නං රටේ අජ්ජහපනය කියලා.

      Delete
  13. උඹේ පරණ කතා කියවද්දි මගේ බොක්ක උණුවෙලා වැක්කෙරුනා සෙනිකවම. අර අක්කලට වගේ. දැං බලාගෙන ගියාම උඹ අපිව අන්දලා තියෙන්නෙත් ඔය කෙරමෙටමනෙ. මීට පස්සෙනං උඹේ අඬෝවැඩියාවල් වලට බිංදුවක්වත් දුක හිතන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒම හිතන්නෙපා බුදු සර්. මං ඇත්තනෙ කිව්වෙ. තමුන්නැහැලා මා ගැන අනුකම්පාකල්ලා මට පීට වෙන්ඩ. මේ බලන්ඩ තමුන්නෑල වෙනුවෙං ටයිප් ගහලා ගහලා ඇඟිලි අගිස් ආප්ප හැඳි වගේ වෙලා. ජුක ඥැජ්ජ අප්පා ඈෑෑෑෑෑෑෑෑෑෑෑ

      Delete
  14. //අන්තිමට කියන්න තියෙන්නෙ නවක වදය කියන එක අධ්‍යාපන ආයතනවල විතරක් නෙවෙයි අපි අලුතින් යන හැම තැනකම තියෙන දෙයක්. යම් කෙනෙක් අලුතින් එක කෙනෙකුට තාඩන පීඩන කරනවානං ඒක ඒ යම් කෙනාගේ ඉරිසියාව, හීනමානය හෝ මානසික රෝගයක්. නමුත් ඒ හිරිහැරවලට ලක්වෙන කෙනාට පුළුවන් තමුන්ට හිරිහැර කරන්න හදන කෙනාව පක්ෂපාත කරගන්න. ඒ වගේම එයාට තමුංගෙ නරක ගතිගුණයෙන් ගැලවෙන්න උදව් කරන්නත් පුලුවන්. කරන්න තියෙන්නෙ එකම දෙයයි./
    -මචෝ, මේ කතාව එක්ක නම් මම සම්පූර්ණයෙන්ම එකඟයි...
    කියන්න ඕන දේ සහසුද්දෙන්ම කියලා තියෙනවා...

    ReplyDelete
  15. Rag is no good people doing thing. It no sutabal to animals evan. This mantal sick rag senior idiyets must drive away campes schools also. Any level rag is rag and it not humanity. Campes management must action stric to this blady rag idiots.

    ReplyDelete
    Replies
    1. මොනවද ගොබ්බයෝ මේ ලියල තියන ඉංග්‍රීසි

      Delete
    2. Ratathota,

      Very truth. open mouth put chokolat.I also tell any rag no good. no rag is good.

      Delete
    3. Ratathota: your english I like me too teach ok.

      Delete
    4. මේ ආණ්ඩුවෙන් කුලියට බ්ලොග් ලියන්න දාපු එකෙක්...

      Delete
    5. වට් අ සිම්පල් ප්ලෑන් ඉංග්ලිෂ්

      Delete
    6. Meestar Ravi, I layik if you olso rite dis tayip English blog posts. You rite very fanny. dis vil meyk yuwar fanny mor fanny.

      Delete
    7. Pra,

      Yers, yers my deer thank you so much, I alredi istated righting inglish. I am righting about Mara our good king first.

      istart is like this....

      " I wright this thinking thinking and thinking and after that. August election I give my like to mister mahinda. He is our one king. He kill prabakaran at north laguun. He is very brev man. Our populasion no remenber that. Sinhalaya remember two weaks robet noks say. noks also say sinhalaya phool kevum eating giant."

      Delete
    8. Keep it up Ravi.

      Mahinda sar is our one and oonly king. He is brev man and very pond of women too. .....All sri lanka women like his moostache....

      Delete
    9. අනේ මන්ද බං උඹල, ඌට පුළුවන් විදිහටනෙ ලියල තියෙන්නෙ,

      Delete
  16. මරු බං කතාව. උබට අර අක්කා ලව් කරන්න පටන් ගන්න ඇති කියල මට හිතුනෙ..

    අපෙ ඉස්කෝලෙට පිටින් ආපු එකෙක්ටත් උබ කියපු මේ දේම පල දුන්නා..
    //කලිං මේ ඉස්කෝලෙ කොල්ලෙක් එක්ක වලියක් දාගෙන හිටිය අලුතින් ආපු කොල්ලෙකුටත් සෑහෙන කාලයක් වදවෙන්න වුනා.//

    ඒ ඇරෙන්න අපෙ උන් කාටවත් නවක වදේ දෙන්න ගියෙ නැහැ

    ජය !!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට අපේ... අවුරුද්ද මැදදි ආපු එකියක්ව හාවො පැන්නුව බං කොරිඩෝව මැද්දෙ. විශේෂයෙන්ම කෙල්ලො ටික. ඕකට මැදට පයින්න ගියා කියල මටත් "කට වහපං ශුක්‍රාණුවා" කිව්වා.

      Delete
  17. සමහර මිනිස්සුන්ගේ හිත් වලට හැංගිලා තියන විස වලට මොන තරම් ප්‍රති විස එන්නත් කලත් පලක් නැහැ. කොහොම උනත් ඒ මිනිස්සුන්ව අඳුරගත්තම ඒ විසෙන් අපට හානියක් නොවෙන විදියට ජිවත් වෙන්න පුළුවන්. වෙනද වගේම රස වින්දා කතාව.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නොවැලැක්විය හැකි කචල් වලට කියන්නෙ "ගෝතකරුම". එව්ව ගෙවන්නම වෙනව.

      Delete
    2. මම ඉගෙන ගත්තේ බාලිකා පාසලක. අපි අතරේ නවක වධය තිබුනේ නැ , ඒත් අළුතෙන් උසස් පෙළට ආපු කොන්ඩේ කොටට කපපු දණ්ඩක් වගේ උස ගැහැණු ළමයෙක්, අළුත් ළමයෙක් කියලා හිතාගෙන මට නවක වධය දෙන්න ලස්තිවුන මතකයක් මට තියෙනවා :)

      Delete
  18. උබගේ ලියවිල්ලෙන් මටත් ඉස්කෝලේ රැග් කලේ මතක් උනා

    ReplyDelete
    Replies
    1. උඹලෑ පැට්ටේරියට අලුතෙන් එන ළමයින්ට රැග් එක දෙන්නෙ නැතෙයි.

      Delete
    2. මෙන්ඩයියලෑ පැට්ටේරියට එන ළමයින්ට දෙන රැග් එක තමයි ඉඳිකට්ටට නූල දැමීමට හුරු කිරීම

      Delete
    3. නැහැ බන් මට ඒකිගේ බ්‍රා සයිස් ඒක බලන්න දෙන ඒක

      Delete
  19. සරසවිවල පමණක් නෙමෙයි හුඟක් තැන්වල නවකයන්ට හා බලයෙන් අඩු අයට වද දෙන එක තියනවා. හුඟක් තැන්වල අහුවුනාම දඬුවම් විඳිනවා. සරසවිවල ඒක මහා ලොකු අවශ්‍ය දෙයක් එයට එරෙහිව කතා කිරීම මහා කුමණ්ත්‍රනයක් කියන එක තේරුම් ගන්න අමාරුයි. ඔයතරම් ඕනෙ නම් නවක වදය දෙන්න. හැබැයි අහුවුනාම ලොකු තියරීස් නොදා දඬුවම් විඳින්න ලෑස්තිවෙලා

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද? වහනව පාරවල්. කරනව පිකටිං. දියව් දියව්... අපට දියව්...

      Delete
  20. ගස්ලබ්බට මුලින්ම රැග් චෝදනා එක්ක උනේ හා වසරෙදි.ශිෂ්‍යත්වෙන් ආපු එකෙක්.නිවාඩු කාලෙක හිතවතෙකුගෙ ගෙදර ගියාම මූට මගෙ ගැන විස්තර අර හිතවතා කියලා.මටත් කිව්ව.මම පංති නායකයා.මම හෙව්ව හෙව්ව අර කියපු කෙනාව හොයාගන්න බැරි උනා.පහුවදා හොයාගත්තා මනුස්ස කමට කතා කරා..මූ කතා කරේ නෑ.මගෙ මොකෝ කියල හිටියා.පහුවදා මූ අම්මව ඉස්කෝලෙට එක්කගෙන ඇවිත් මම රැග් කරා කියලා.අළුත් උන් එන්න කලින් අපි කතා උනත් රැග් ගැන එකෙකුට වත් මුකුත් කලේ නෑ.ඒත් ගස්ලබ්බට ලොකුවටම චෝදනාව ආව.හැබැයි එතනම ඉඳන් ටීචගෙන් ගේම ඉල්ලුවා.ටීචටත් තේරුණා සීන් එක... ඊට පස්සෙ විවිධ අවස්ථා වල රැග් වෙලා තියෙනවා පුකෙන් දුම් විසි වෙන්න.. ඇත්තටම බ්‍රේන් වොශ් උනා වගේ.අදටත් ජීවිතේම රැග් එකක් වෙලා තියෙද්දිත් කාගෙන ඉන්නවා.. ඕක බං බාරගන්න විදිහෙ වෙනසක් තියෙන්නෙ. තමුන්ගෙ හිත පිරිසිදුයි නම් රැග් වෙන්නෙ රැග් කරන්න එන එකා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට දැං කන රැග් එක ආතල් නේ මහතාණෙනි.

      Delete
    2. වයිෆ ජේලර් වගේ උනාට ඒක ආතල්.ඒත් උදේ හවස තෙල් ගාගෙන රෙක්සින් එකක් උඩ නිදාගෙන ඉන්න එක නම් ආතල් නෑ.

      Delete
    3. හැමදාම තෙල් ගාගෙන?

      Delete
  21. පරපීඩක මානසිකත්වය පාසල් වලටත් යාම

    ReplyDelete
    Replies
    1. ගෙවල්වලිංනේ පාසලට අරං එන්නෙ.

      Delete
  22. හිතේ බයෙන් එන එවුන්ව තව චාටර් කරලා ගත්තම අන්තිමට උන්ට ඉගෙන ගන්න එක හරි රස්සාව හරි එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය සීන් එකෙං දවස් ගානක් වැඩට ගියෙ නෑ.

      Delete
  23. රැග් එක ඉස්කෝල වලට රිංගන්න අපේ මීඩියා වලින් සෑහෙන මෙහෙයක් කරන්න ඇති...
    මට මතකයි අපි ටියුෂන් ගියපු ගුරාල දෙන්නෙකුත් රැග ගැන රහ කරකර කිව්වා...

    ReplyDelete
    Replies
    1. ඔව්ව එහෙම කියන්නෙ කැම්පස් යාමේ ආශාව වර්ධනය කරන්නනෙ.

      Delete
  24. ඔය වගේ වදයක් වින්ද කෙනෙක්ම තවත් කෙනෙක්ට එහෙම වදයක් දෙන්නෙ කොහොමද කියල මට හිතාගන්න බෑ.. කැම්පස් වල එහෙම රැග් වුන අයමයි නේ රැග් කරන්නෙත්..

    ReplyDelete
    Replies
    1. ඉරිසියාවනෙ. අපි කෑවනං තොපිත් කාහල්ලා කියන දේ තමයි ඔය තියෙන්නෙ.

      Delete
  25. අඩා මගේ කතාවත් ඔව්වගේමයි

    ReplyDelete
  26. මගේ ඉස්කෝලේ කාලේ කථාවට සමාන කථාවක්, මමනං කැම්පස් එකක් ළගින් වත් ගිහිං නෑ. අර ඩෙල් කානගි ගේ පොතනම් කියවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ පොත කියෙව්වනං මහත්තයෝ විස්ස විජ්ජාලෙ නොගියටයි. ඒක ඇතුලෙ සම්පූර්ණ මනෝ විද්‍යාව තියෙනව.

      Delete
  27. ස්‍රංඟ අයියා අපිත් ඉස්සර ඔය කැලෑසි වලට අලුතෙන් ආපු කාලේ ‍රැග කෑවා... යාන්තං සිදුවකිං බේරුණා....

    ReplyDelete
    Replies
    1. ආ... බොට ඊළඟට මේක කන්ට වෙනව මලේ. බලං හිටාං.

      Delete
  28. හප්පේ යන්තන් සුරංග ලියල. //ඒ වගේම සමහර වෙලාවට කැන්ටිම පැත්තෙ ගියොත් ඒ අයගෙ වියදමෙන් මාලු පාං එකක්, රෝල්ස් එකක් ආදියත් ලැබෙන අවස්ථාවනුත් තිවුනා වෙන්ට පුලුවන්.// නියම පොරක්නේ බන් උඹත්

    ReplyDelete
    Replies
    1. ඒව ලැබෙන්ට පෙර පින තියෙන්ට ඕනෑ. මේ මං වගේ පස් සරීර දරන (පාංශුදේහධාරී), රූප රජ්ජුරුවො (රූපරානිගෙ පිරිමි එක) එකෙක් දැක්කං කොයි කාන්තාවගෙත් පොකැට්ටෙක උණුවෙනවා. අත්දුටුවයි පැත්තක්කයි.

      Delete
    2. අත්දුටුවයි පැත්තක්කයි. :)

      Delete
  29. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/4043-nuisance-for-novice

    ReplyDelete
  30. කවදත් කියනවා වගේ උබේ ලිපිය සුපිරි..මම නම් සැහෙන්න කැම්පස් එකට ගියා අඩුවට කෑම කන්න..කැන්ටිමේ කෑම හෙන ලාබයි ඇතුලේ උන්ට ටෝකන් තියෙනව උන්ට තවත් ලාබයි..ටෝකන් නැතත් අපිටත් ලාබයි..

    "ඒ මනුස්සයාගෙ හිතේ වැරද්ද තියෙන තැනට නිවැරදි හැඟීම එන්නත් කරන්න"සහ හිත් දිනාගැනීම ගැන ලිපියක් ලියන්නකෝ සහෝ.මේ ගැන එහෙන් මෙහෙන් කියවල තිබ්බට අද්දැකීම් එක්ක ලියන උබේ විලාසෙන් කියවන්න පට්ට ආසයි

    ReplyDelete