Follow by Email

Saturday, June 10, 2017

කනපිට මාකෝනි

පහ වසරෙ දරුවෙක්ගෙන් රේඩියෝව හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් උත්තරේ ලැබෙන්නේ

"මාකෝනි"

කියලයි. රූපවාහිනිය හොයාගත්තෙ කවුද ඇහුවොත් කියන්නෙ 

"ජෝන් ලොගී බෙයාඩ්" 

කියලයි. ඒ දැනුමට තවත් යමක් එකතු කරන්නයි මේ කතාව.

**************************************************************************







රෑ කෑමට පස්සෙ අරළු පෙති බීපු කෙනෙක් උදේ පාන්දරම දවස පටං ගන්නව වගේ සද්ද ගොඩක් නැන්දලගෙ ගෙවල් පැත්තෙං ඇහුනා.


මේ සද්දෙං කියන්නෙ එදා දවසෙත් පියසේන මාමා වැඩට ගිහිං නෑ කියන එකයි. හුඟක් දවස්වලට මේ වෙලාවට ආච්චිඅම්මත් චූටිවත් ඇදගෙන අපේ ගෙදරට එන්නෙ 


“පීසේන අදත්තර රේඩිවේක කඩාලනව. කනක්කැහිල ඉන්න හැටියන්නෑ. කං බීරිවෙනව“

කියාගෙනයි. ඔය සද්දෙට නිකම්ම ඇදිල යන කෙනෙක් අහල පහලක හිටියනං ඒ මං විතරයි. ඉතිං මං අඩියට දෙකට පල්ලම බැහැල කන්ද නැගල නැන්දලගෙ ගෙදරට ගියා. මං යද්දි පියසේන මාමා සාලෙ මේසෙ උඩ රේඩිවේකෙ පලු දෙක දෙපැත්තට ගලෝල මදේ වෙනම තියල. බැට්ටි කෑලි දාපු බටේ වෙනම තියල. ඒකෙ දෙපැත්තට වෑර් දෙපොටකට අමුණපු හැට්ටකටු දෙකක් තියල ටියුබ් පටියකිං වෙලල. රේඩිවේකෙ මූනෙ ඇලිල ඉන්න පීකරේ විතරක් විටිං විටේ බඩ විරේක වෙන සද්දෙ පිට කරනව. පියසේන මාමා ඉස්කුරුප්පු නියනක් අරං රේඩිවේකෙ මදේ තියෙන පෙට්ටි හැඩේ කෑලිවල මැද තියෙන රවුං කරකෝනව. එකක් ඩිංගක් කරකවපු ගමං පීකරේ බොහොම ගාම්භීර විදිහට

“බර්ර්ර්ර්රර්ර්ර්ර්“

කියනව. ආයිමත් අර රවුම ආපස්සට කරකැව්වහම ඒ සද්දෙ නවතිනව. ඊළඟට තව එකක් කරකවනව. ඒ ගමන මරණාසන්න රැහැයියෙක් තමුංගෙ අවසන් කැමති පත්තරේ කියවනව වගේ කං කලාඳුරු ගැලවෙලා විසික්වෙන සද්දයක් එනව. දොරකොඩ පඩිය උඩ ඉන්න බිංදුවා (මේ කීවෙනි බිංදුදැයි මතක නැත) කං ගොටු දෙක හොඳට උඩට උස්සලා ගේ පැතත් බලනවා. ඒකත් හරියන්නෑ. පියසේන මාමා ඒ කරකවපු එකත් ආපිට කරකවන්න බලනව. එක වගේ පෙට්ටි හය හතක් තියෙන හංදා දැං කරකවපු එක මතක නෑ. ඒ ගමන දෝසෙ හරියනකං එව්වා එකිං එක කරකවනව. ඒ හැම කරකැවිල්ලකිංම අජීරනේ තව තවත් දරුණු විදිහට වැඩිවෙනව. අන්තිමට දරුණු මල පෙරේතයෙක් වැහිච්චි පිස්සෙක් සොහොනට දුවන්න කලිං හූ තියනව වගේ ලතෝනියක් පීකරෙං පිටවෙනව. රේඩිවේකත් ආතගෙ සොහොනට දුවයි කියල බයවෙලාද කොහෙද පියසේන මාමා රේඩිවේක වහන සුයිච්චෙක හොයන්න වටේ පිටේ අතගාල හරියන්නැති තැන බැට්ටි බටෙං හැට්ට කට්ට පැන්නුවා. 


“අනේහ් හත්තිකේ“


නැංදා කුස්සියෙ ඉඳං බෙරිහං දුන්නා. පියසේන මාමත්, ඒ පිටිපස්සෙන් මාත් කුස්සියට දිව්වා. නැංදා එක කකුලක් ඉඳුල් වතුර කොරහෙ ඔබාගෙන බංකුවෙ ඉඳං බෙරිහං දෙනව. 


“මොකද උනේ“


පියසේන මාමා අැහුවා.


“මං ලිපේ දරකෑල්ලක් අදිද්දි ආං අර කැවුතු කැටිය මගෙ කකුලට වැන්නා“


නැංදා වං අතිං කකුල බදාගෙන අනික් අතිං ලිප ගාව බිම වැටිල තියෙන පලුවක් නැති සේසතක් වගේ එකක් පෙන්නුව. 


“ආ..... මේ බවුත්තෙක. මං ඒක ලිපේ තියල තිවුනෙ රත්වෙන්න“


පියසේන මාමා කුඩ නනේක අගිස්සට මැදිවෙන්න තඹ සතයක් දෙකට නමල හදපු බවුත්තෙක අහුලගෙන ලිපට දාලා ගිනි අඟුරු ටික එක්කහු කරල බට කුඹලෙං පිම්බා. බවුත්තෙකට ඇතිවෙන්න ගින්දර වැටුනට පස්සෙ නැන්ද ගාවට ඇහිල්ලා කකුලෙ පිච්චිලා තියෙන තැන බැලුවා. ඒක හරියට පේන්නැති හංදා ආපහු ගිහිං රේඩිවේකෙ බැට්ටි බටේ ගලෝලා ඒකෙ බැට්ටිකෑලි ටික ටෝච්චෙකට දාලා බලද්දි ටෝච්චෙකේ අඩිය නෑ, ආයිමත් පරණ යකඩ බඩු පෙට්ටිය ඇදලා ඒකෙ තියෙන ටෝච් අඩි වලිං එකක් අරගෙන ටෝච්චෙකට දාලා තද කරලා බැලුවා. ඒ අතරෙ ටෝච්චෙකට උප්පත්තියෙම්ම අයිති අඩිය බිංදුවගෙ ටකරම අස්සෙ තිවිල හොයාගන්න මට පුළුවං වුනා. ඒ විදිහට අමුණපු ටෝච්චෙකේ එළියෙං නැංදගෙ කකුලෙ හරහට දම්පාටට හැරිල තිවුන පිච්චිල්ල ඉඳුල්වතුර කොරහෙ බොරපාට අතරිං බලාගන්න අපිට පුළුවං වුනා. ඉං පස්සෙ චූටිව පොඩිකාලෙ නාවපු බේසමට වතුර පුරවල ඒකෙත් නැන්දගෙ කකුල ඔබල තිව්වා. ටික වෙලාවක් ගිහාට පස්සෙ නැන්දා වලං අල්ලන පාංකඩෙං කකුල පිහදාගෙන ඒකෙ කුකුල් තෙල් ටිකක් ගාගන්නව.


ආයිමත් පියසේන මාමා රේඩිවේකෙ වැඩ පටං ගන්නවා. බැට්ටි බටේ ටියුබ් පටිය පැනල බැට්ටි කෑලි රෝල්වෙලා ගියත්, වෑර් එකට ගැවිල ගින්දර විසිවුනත් ඒ හැදිල්ල නවතින්නෙ නෑ. සමහර වෙලාවට මං අහන ප්‍රශ්න වලට උත්තර බඳින්නත් පියසේන මාමට සිද්දවුනා.


“මොකද්ද මාමෙ මේ බෙහෙප්පෙති වගේ කෑල්ල“


“ඒක කරන්ටෙක යන කෑල්ලක්“


“මේ බටේ එතකොට“


“ඒක සේවා අහුවෙන කෑල්ල“


“සේවා අහුවෙන්නෙ බටේ අස්සෙං යද්දිද?“


“ඔව්“

“එතකොට බටේ අස්සෙං නොගියහම?“

“නෑ. බටේ අස්සෙං තමයි යන්නෙ“


“සේවෙ දන්නවද බටේ අස්සෙංම යන්න ඕනි කියල?“


“හ්ක්ම්“


“මේ පනුවො මොක්කුද?“

“ඒ කෑලි“

“ඒක මොකටද?“

“කරන්ටෙක අඩු කරන්න“

“ඉතිං කරන්ටෙක අඩු කරන්නෙ මොකද?“

“නැත්තං සේවෙ අහුවෙන්නෑ“

“මේ බැරල්ලෙකක් වගේ එකෙං මොකද වෙන්නෙ?“

“ඒකෙං කරන්ටෙක යනව“

“ඉතිං ඒවෑනුත් කරන්ටෙක යනව නං ඒව නැතුව මේ බෙහෙප්පෙතිම දාන්න තිවුනනෙ?“

“හ්ක්ම්“


ඔය අතරෙ සැරිං සැරේ වෑර් පොටවල් පාස්සන්නත් ඕනි වෙනව. එතකොට පියසේන මාමා කුස්සියට ගිහිං ලිපේ දාපු බවුත්තෙකේ මිට ලිප ගාව තියෙන වලං අල්ලන පාංකඩෙං අල්ලල අරං අඩි දෙකට දුවගෙන එනව. සමහර වෙලාවට බවුත්තෙක ගෙනාවයිං පස්සෙ පාස්සන තැන අමතකවෙලා ආපහු මුල හිටං හොයනව. එතකොට බට ටොපියක් වගේ රතුවට තිවිච්චි බවුත්තෙක නිමිල. ආයිමත් බවුත්තෙක ලිපට දාලා ඇවිල්ලා හරියටම පාහන තැන හොයනව. ඒ වෙලාවට මං ඒ තැන හරියටම මතක තියාගන්නව.


මට මතක තියෙන කාලෙ ඉඳං නැන්දා අලුතින් කැසට්ටෙක ගේනකං අවුරුදු හය හතක් තිස්සේ පියසේන මාමා හැදුවේ ඉස්සර ආත ගෙනැහ්ලා පාවිච්චි කරපු රේඩිවේක. පියසේන මාමගෙ රේඩියෝ හැදිල්ල ගැන කියද්දි අපේ තාත්තා කියන්නෙ

“රේඩිවේකක් මුලිම්ම හැදුව සුද්දවත් ඔච්චර කාලයක් රේඩිවේකක් හදන්නැතුව ඇති“

කියලයි.

 කැසට්ටෙක ගෙනාවයිං පස්සෙ ඒ වෙනකං ගෙදර පාවිච්චි කරපු රේඩිවේක පියසේන මාමාට ගොදුරු උනා. ඒ වුනාට පියසේන මාමට නව තාක්‍ෂෙනත් එක්ක ඉස්සරහට යන්න සෑහෙන උවමනාවක් තිවුනා. ඒ හංදා පියසේන මාමා අලුත ගෙනා කැසට්ටෙකටත් නැන්දා ගෙදර නැතිවෙනකං ඉඳලා ඉස්කුරුප්පු නියන තිබ්බා. 

වැඩි දවස් යන්න කලිං කැසට්ටෙකේ බඩ මැදිං ලොකු ටියුප් පටියක් බැඳුනා. ඒරියල් කූර උඩ ගිහිං වහලෙ උලු පේලි දෙකක් අතරෙ රැඳුනා. එතන ඉඳලා කැසට්ටෙකේ ඉස් මුදුනට ඉඳිවැල් කම්බියක් ඈඳුනා. වෙනදට සිංදු අටක් කියලා “ටොහ්“ ගාලා නවතින කැසට්ටෙකට හිතුවක්කාරකමට වැඩ කරන්න නිදහස ලැබුනා. ඒ හිංදා සිංදු අට කියල ඉවර වෙනකොට කැසට් පීස්සෙක නවත්තන්න කවුරුවත් හිටියෙ නැතොත් කැසට්ටෙක


“ජරබර ජරබර ජරබර“


කියලා ගෝරනාඩු කලා. ඒ වෙලාවට කවුරුහරි ගිහිං පීස්සෙක නවත්තන සුවිච්චෙක එබුවොත් ඒ සන්තෝසෙට තුංහුලස් ලාංඡනේ ඇඳපු සුවිච්චෙක උඩ ගිහිං ඉටිකොලේ වැදිලා බිම වැටුනා. පීස්සෙක එලියට ගන්න ඒ සුවිච්චෙක ආයි පාරක් එබුවොත් කැසට්ටෙකේ දොර ඇරිලා පීස්සෙක දොට්ට විසික් වුනේ ඉංගිරිසි බෙහෙත් බොන්න අකමැති කෙනෙක් දිවේ ඇලිච්චි පැන්ඩෝල් පෙත්තක් තුක්: කියල විසිකරන්නා වගෙයි. ජයසූරිය බාප්පගෙ මී වස්සව ගැට ගහන්න බලෙං ඇදගෙන යනව වගේ සේවා අල්ලද්දි එහාට මෙහාට යන කටුවත් ඇදේට යන්න පටංගත්තා. කම්බි කෑල්ලෙං බැඳිල ඉන්න අකමැති වෙච්චි සමහර රෝද තමුංගෙ කොට්ට පැදුරුත් අරගන හෙලපල්ලටම ගියාට පස්සෙ ඒ තැන ගත්තෙ නූල් බෝලෙ මැද බටේ, පෑංවල පිට බටේ, දත්බෙහෙත් මූඩි වගේ ඒව. සමහර දවස්වලට ගායිකාවො කියන සිංදු කැසට්ටෙකෙං ඇහුනෙ අමරදේවගෙ හඬිං. පුන්සිරි සොයිසා සිංදු වමනෙ දැම්මා. පියසේන මාමට ආයිමත් කැසට්ටෙක ගලෝල හදන්න සිද්දවුනා. ඒ ගමන බොහොම හිමීට කියන සිංදුත් අංක එකේ වේග රිද්ම ගීත බවට පත්වුනා. එව්වා ඇහෙන්න ගත්තෙ ලේන්නු රංචුවක් පොරකනව වගේ. අන්තිමට පෝය දවසට බණ අහන්න ඕනැ උනහම ආච්චිඅම්මා හීංසැරේ වේල්ලෙං එගොඩවෙලා අපේ ගෙදරට ආවා.


“ලොකු ළමෙයො. ඔය බණ ඩිංගක් දහංකො මට අහං ඉන්න.“


බණ අහල ඉවරවෙලා පිංදීලා රේඩිවේකෙ පීකරේ දිහාවට හැරිල වැඳලා ඉවර උණාට පස්සෙ


“ගෙදර තිවිච්චි පරණ රේඩි කබලත් පියසේන කඩා දැම්මනෙ“


කියන්නත් ආච්චි අම්මා අමතක කලේ නෑ.


ඒ කාලෙදිම නැන්දා ගෙනාපු ටීවී එකත් පියසේන මාමට පෙනුනෙ තමුංට ජාතියන්තරේ ජයගන්න ලැබිච්චි අවස්ථාවක් විදිහට. ටීවියෙක බලන්න ගෙනාපු බැට්ටියෙංම අඩිරූලක් විතර දිග ඉටිපංදමක් ඉතර මහත ටියුබ් බලුප්පෙහෙකුත් පත්තු කරන්න පියසේන මාමා ඉගෙනගත්තා. ඒ දෙකම එක ජැක් එකෙං අමුණලා ටියුබ් බලුප් එකට සුවිච්චෙකක් දැම්මෙ ඕන වෙලාවට බලුප්පෙක දාන්නත් අනික් වෙලාවට ටීවියෙක විතරක් බලන්නත් පුලුවං වෙන්නයි. ඒ වුනාට ටීවියෙක බලන ගමං බලුප්පෙක පත්තු කරන්න සුවිච්චෙක දැම්මහම කැප්රෝල් දාන සෙල්ලං පිස්තෝලෙක සද්දෙ ත් එක්ක එළියක් විසිවෙලා පුළුටු ගඳක් පැතිරුනේ වෑර් පොදියකුත් උනු කරගෙනමයි. 


ටික දවසක් යද්දි පාලොස්වක දවසට හොල්මං පේනව වගේ පේන ටීවී බැලිල්ල හොඳට පේන තත්වෙට ගන්න පියසේන මාමට ඕනැවුනා. ඒකට කොට්ට ගහ මුදුනෙං යන සික්නල් ටික විතරක් මදි බව පියසේන මාමට තේරුං ගියා. ඒකට සික්නල් අල්ලන මුරකාරයො කීප දෙනෙක්ම ඕන කලා. ඒ හංදා වහලෙ මුදුනෙං යන සික්නල් ටික අල්ලගන්න ආච්චම්මගෙ පරණ ‘කුඩ රොඩ්ඩෙ‘ රෙද්ද ගලෝලා පැත්තකට දාලා කුඩේ ඇටසැකිල්ල අරං වහලෙ මුදුනෙ මුදුං උලුකැටයක් හිල්කරලා හිටෝපු ලීයක ගැටගැහුවා. ඒ පිහිටෙං වැහි දවස්වලට ගෙට නිකම්ම හම්බුවෙන වතුර ඩිංග එක්කහු කරන්න චූටිව පොඩිකාලෙ නාවපු බේසම පිහිටට හිටියා. කුසුංසිරි බාප්පලෑ ගෙදර තිවිච්චි පරණ ඇන්ටනාවක සුංබුං ටිකක් ගෙනත් කම්බි කෑලිවලින් පුරුද්දල හදාපු මකුලුවෙක්ගෙ ඇටසැකිල්ල වගේ ඇන්ටනාව අඟහරු ලෝකෙ දිහාවට හරෝල කිතුල් ගහ කිට්ටුව ‘ආත ගහේ‘ බැඳ තිවුනා. කොට්ට ගහ මුදුනිං යද්දි ඇන්ටනාවෙ පැටලෙන සිග්නල් ටිකයි, වහලෙ මුදුං උලු පේලිය දිගේ යද්දි කුඩ නනවල ඇමිණෙන සිග්නල් ටිකයි, අඟහරු ලෝකෙං බිමට වැටෙද්දි ආතගහේ තියෙන හබකට අහුවෙන සිග්නල් ටිකයි ඔක්කොම වයර් පොටවල් දිගේ ඇහිල්ලා උගුරැස්ස ගහේදි මුනගැහිලා තවත් කම්බි පොටවල් දෙකක් දිගේ ගෙට එද්දි අතර මගදි ඒවගෙ දිග මදිවුනා. කැලේට ගිහිං ගහක් කපාගන්න, ගඟ අයිනෙ තියෙන උණ පඳුරකිං උණ ලීයක් කපාගන්න වගේම හිඟපාඩුවක් වෙච්චි වෙලාවක කෙක්කක් දවුඩලා පාරෙ තියෙන ටෙලිපෝන් වයර් දෙකෙං රියන් දෙකතුනක් කපාගන්නත් තහනමක් අපේ ගමේ කාටවත් තිබුණෙ නෑ. ඒ හංදා පියසේන මාමාට වයර් නැතුව හුඟ වෙලාවක් බලං ඉන්න උනෙත් නෑ. 


අන්තිමට මේ ඇන්ටනා තොගේ දැකපු අපේ අම්මා මට අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කෙරුවා.


“මේ ගෙදර කොල්ලො හුඟක් නෑ. උඹ එහෙම වැහි වෙලාවට, විදිලි කොටන වෙලාවට එහෙම පීසේන මල්ලිලෑ ගෙදර දිහාවෙ යනව එහෙම නෙමෙයි. ගියොත්තඬු කඩනොව.“


මේ තරං ඇන්ටනා දාලත් රූප පැහැදිලි නොවිච්ච හංදා ටීවියෙක ගලවලා බලන්න පියසේන මාමට සිද්දවුනා. එක පාරක් නෙමෙයි දහ දොලොස් වතාවක් ටීවියෙක ගලවද්දි ටිවියෙකේ තියෙන ඇන ටික පියසේන මාමාගෙ කාර්යක්ෂමතාවට බාධාවක් වුනා. ඒ හංදා එස් පහ සංකල්පෙට අනුව ඇන අයිංවෙලා ඒ වෙනුවට ටිකක් මහත ටියුප් පටි දෙකකිං ටීවියෙකේ පලු දෙක එක්කහු කරලා බැඳුනා. එතකොට ඕන වෙලාවට පාංකාරයගෙ පාං පෙට්ටියෙ ඉටිකොලේට දාපු පටිය පන්නනව තරං ලේසිවට ටිවියෙකේ පටි දෙක පන්නල අභ්‍යන්තරේ දකින්න පියසේන මාමාට පුළුවං උනා. මේ විදිහට නිතරම ගැලවීම නිසා බුරුල් වෙච්චි චැනල් කඩන රවුමටත් දෙපොට දාපු ටියුප්පටි කෑල්ලකිං හදපු තොණ්ඩුවක් දාලා ටීවියෙකේ පිටේ එල්ලන්න සිද්දවුනා. මං අන්තිමට දකිද්දි ඒ ටීවියෙක තිබුනේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙං බලෙං ටිකට් කප්පගෙන මරදන්කඩවල වෙදමහත්තය ගාවට ගෙනියන ලෙඩෙක් වගේ.

පියසේන මාමගෙ හැකියාව ඉලෙක්ට්‍රොනික් අංශෙට විතරක් අයිති එකක් නෙවෙයි. එයිට වඩා දුර ගිය දැනුමක් පියසේන මාමට තිබුණා. කරන්ටෙක නැති කාලෙ ගෙදරක තිවුණු වටිනම බඩුව තමයි ලයිට්ටෙක. ඒකෙ නිපල්ලෙකක්, වේපරයක් මාරු කරගන්න එහෙම දන්න කියන අය හිටියෙත් කීප දෙනෙක් විතරයි. පියසේන මාමත් බොහොම අමාරුවෙං සල්ලි ටිකක් හොයාගෙන පරණ ලයිට් කබලක් ගෙනාවා. ඒක එතකොටත් වැඩ කරන්නෙ නෑ. ඒ හංදා ඒක හදන්නම වෙනවා. රේඩියෝ හදනව වගේ නෙමෙයි ලයිට් හදන වැඩේට යතුරු, ඉස්කුරුප්පුනි, වගේ සුළු ආවුද වගේම මිටි, පිහියා වගේ බර ආවුද එහෙමත් ඕනැ වුනා. බවුත්තෙකෙං වැඩක් නැති හිංදා නැන්දා ලිපේ අළු අරං දාත්දි බවුත්තෙකත් උගුරැස්ස ගහ මුල අළු ගොඩට වැටුනා.

උත්සාහෙ අතාරින්නෙ නැතුව දිගටම වැඩ කරද්දි ලයිට්ටෙකේ සමහර යකඩ කෑලි නමන්න හිට සිද්දවුනා. ඒ හංදා ගෙදර තිවුනු කිරි කපන පිහියට එහෙමත් යකඩ කපන කටුවක් වෙනුවට වැඩ බලන්න සිද්දවුනා. දවස් ගානක් නොකා නොබී වැඩ කරලා ලයිට්ටෙකේ තිමිනියත් පොඩි කරගෙන, මැන්ටලෙයි වේපරෙයි දෙකමත් කුඩු කරගන්න පියසේන මාමට පුළුවං උනා. ඒ කෑලි ටිකත් කඩෙං ගෙනැත් දාලා හදාපු ලයිට්ටෙක මුලිම්ම පත්තු කරන වෙලාවට ඒ පැත්ත පලාතෙවත් ගියොත් මාව ඇස්දෙකේ ඉඳං පට්ට ගහන බවට අම්මා දිවුරලා තිබුණා.

ඒ හංදා ඒ උත්කර්ශවත් දවසෙං පස්සෙ දවසෙ නැන්දලගෙ ගෙදරට යද්දි දොරකොඩ රෙදි වැලේ පැත්තක් අඟුරු වෙච්චි සරමක් වනල තිබුණා. සාලෙ මේසෙ ඉටිකොලේ වෙනුවට පත්තර කොල දෙකක් එලල තිවුනා. සාලෙ මැද හරියෙ බිම කලුපාටට රවුමක් ඉතුරු වෙලා තිබුණා. වහලෙං රොඩු වැටෙනවට සීලිම වගේ ගහල තිබුණු ඉටි රෙද්දෙ මැද හරිය උණුවෙලා ලොකු රවුමක් හැදිල තිවුනා.


"කෝ ආච්චම්මෙ ලැයිට්ටෙක?"


මං ආච්චම්මගෙං ඇහුව.


"අන්න පිලිකන්නෙ ඇති. ඊයෙ රෑ පීසේන ඒක පත්තු කොරන්න ගිහිං සරමත් ගිනි තියාගෙන මේසෙටත් ගිනි ඇවුලුනා. තාපොඩ්ඩෙදි ගේත් ගිනිගන්නව. පස්සෙ ඔන්න මැණිකා අර බලට්ටක් ඇරං ඇහිල්ල ඒක ඇදල දොට්ට විසික් කෙරුව. ලාම්පුතෙල් බෝතලේකට වැඩිය අහක්ගියා"


මං ගිය ගමන අම්ම දැනගන්න කලිං මං ආපහු ගෙදර ආවා.

*********************************************************************************


දැං අර කලිං ප්‍රශ්න අහපු පහේ පන්තියෙ දරුවගෙන්ම තව ප්‍රශ්නයක් ඇහුවැකි.


"ගුවන්විදුලියයි රූපවාහිනියයි දෙකම නැති බංගස්තාන කලේ කවුද?"


48 comments:

  1. කථාව රහට ලියල තියෙනවා, අදහසක් නැද්ද පොතක් ලියන්න ? හැබැයි පීසේන මම වගේ පිස්සු ඩයල් මමනම් දැකල නෑ.
    සුජීව කොකාවෙල

    ReplyDelete
    Replies
    1. මෙයිට වඩා විද්‍යාවෙන් නගුට ගිනිතියාෙගන නටන ජීවිත තිෙයනවා. ඉන්නකො එව්වත් දිගාරින්න

      Delete
  2. //අන්තිමට දරුණු මල පෙරේතයෙක් වැහිච්චි පිස්සෙක් සොහොනට දුවන්න කලිං හූ තියනව වගේ ලතෝනියක් පීකරෙං පිටවෙනව //
    හිනා ගිහිල්ලා පන ගියා බං
    මාකෝනිට පියසේන මාමා සෙට්වුනානම් මාර්කෝනි අගහරු ලෝකෙටත් රේඩියෝ සිග්නල් යවනවා

    ReplyDelete
    Replies
    1. මේ වාගෙම තවත් එක මනුස්සයෙක් අපේ ගමේ හිටියා.

      Delete
  3. යකෝ බලාන ගියාම පියා මාර එක්ස්පෙරිමැන්ටල් පොරක්නෙ. ඔය විස්තර ටික අහනකොට මට මතක්උනේ පිටරට කාටුං වල තියෙන ඔය වගේ විද්දාඥ්ඤ ඩයල්.

    ReplyDelete
    Replies
    1. නැන්දගෙ කකුලෙ තුවාලෙට පවා එක එක විදිහෙ අලුත් බෙහෙත් තියල අත්හදා බැලුවනෙ ඔය මනුස්සයා

      Delete
  4. ඔය පැට්ටෝල් ලාම්පු එක්ක සෙල්ලං දාන වැඩේ මාත් කාලයක් කළා. හැබැයි ඔය වගේ ටොපියක්නං සෙට් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. නිපල්ලෙක ගාවිං ඩිංගක් හරි ඇලවෙලා තිවුනොත් ඉතිං ලාම්පුතෙල් පාර මූනෙම තමයි.

      Delete
  5. මේව වෙන්නෙත් උඹටමයි වුන දේවල් ලියන්න පුළුවනුත් උඹටමයි

    ReplyDelete
    Replies
    1. ලිව්ව කියන්නෙ මේක ලිව්වෙ බලහත්කාරෙං. මට සති ගානකට මොනවත් ලියාගන්න බැරිවුනා. බ්ලොග් ලියන්නො කීප දෙනෙක්ටම ඔය විදිහට ලියාගන්න බැරිව ගිහිං තියෙනව. ආං ඒකට මොකක් නමුත් ප්‍රතිකාරයක් කරන්න වෙයි.

      Delete
  6. ඔය බිංදුවා 1,2,3 4 වගේ අපේ ගෙදර බල්ලන්ගේ නම් මාරු වුණේ මේ පාර ටොමි ඊලඟ පාර ජිමි කියන පිළිවෙලට එක පාර බල්ලෝ දෙන්නෙක් හැදුවොත් උන් දෙන්නා ටොමි සහ ජිමි ලෙස නම් ලබනවා. පියසේන මාමා නම් නියම වෑර්ලස් ඔස්තාර් කෙනෙක් වගේ..

    ReplyDelete
    Replies
    1. දැං අලුත්ම රටාව තමයි කෑලි දෙකක් තියෙන නං දැමිල්ල. දෝනි රෝසා දිසානායක වගේ කෑලි තුනේ නං පවා තියෙනවා.

      Delete
  7. මෙහෙම ලියන්න එපා බං වටපිටේ ගෙවල්වල ඉන්න එවුන් හිතයි මං ගංජා ගහනවා කියලා

    ReplyDelete
    Replies
    1. එතකොට වටේ පිටේ ඉන්න අය දුවං එන්නෙ "අනේ බං සුට්ටක් දියංකො. මේ කේ ජී කියන හජ්ජරාව මෙලෝ කමකට නෑ" කියාගෙන.

      Delete
  8. හනේ අම්මේ...මේ කතා නම් මාරු...පොතක් කලොත් මොකෝ හැබැටම

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් මට ඉඳල හිටලා ගම හරහා යන්න තියෙන චාන්සෙකත් නැතිවෙනවා. අනික ඉතිං මෙව්වට සල්ලි යට කරන්නෙ කවුද? එක ගමනක් එහෙම පොතක් වගේ පලකරන්න සුදුසුද බලන්න දීලා අහගත්ත හරිය මදෑ.

      "මේ ළමයා. වෙන මොකුත් වැදගත් දෙයක් ලිව්වනං මොකද? අර අපේ පක්‍ෂයෙ අසුවල් වෙබ් අඩවියෙ තියෙන ලිපි කියවලා ලියන හැටි එහෙම පුරුදු වෙන්න" කිව්වනෙ.

      Delete
  9. මං මේක එෆ්බී එකේ ෂෙයා කලා බං. මට තාම අමාරුයි මේක කියවලා.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ ඉතිං මං මේකෙ මුකුත් මහප්ප්‍රාන අකුරු ලියලත් නෑනෙ.

      Delete
  10. ලියල තියන විදිහ කතාවටම ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. දෙකම නිකං මකබාස් වගෙයි?

      Delete
  11. අන්න ජාතික වස්තු හම්මෝ මගෙ බඩ :D

    ReplyDelete
    Replies
    1. අතගා ගත්ත නං හරි ටිකක්. කෑම කාපු ගමංද කියෙව්වෙ?

      Delete
  12. හෆොයි..... ඔයවගේ තව 10-15ක් හිටියනං ලංකාවටම ඇති....

    ReplyDelete
    Replies
    1. ගමකට ඒ වගේ කෙනෙක්වත් ඉන්න ඕන තමයි.

      Delete
  13. හුකෑස් බං...
    පියසේන වගේ ඩෑල් එකක් ඉන්නව බං මෙහෙත් හැබැයි පොර නාගන්නෙ නෑ කෝම හරි ගොඩ දාන්න මයයි ටයි එක බැරිම වුනොත් අයි සී එක ගිහිං කියනව එච්චරයි දන්නෙ මං හිතන්නෙ
    ඒ දවස් වල අපිටත් අයි සී එක කියන්නෙ හෙණ ලෙකු කෑල්ලක් ඉතිං හැක් ඇයි අප්පා ඔය සුකුරුත්තම හැම එක්කම යනවනෙ ඒක ගියාම හදන්න බෑ කියලමයි ක්යන්නෙ හැබැයි ටවුන් එකට ගෙනිච්චම ඕන මගුලක් හරි හැක්..

    ඔය තඹ කාසි බවුත් එකක් මටත් තිබ්බ කියාංකො හැබැය මගේකේ අගට ලී මිටක් ගහ ගත්ත ඒ හංද කඩමලු ඕන වුනේ නෑ

    හිනා කෝටියයි බං හැක්

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයා ඔය එව්වා කඩෑලුවට ඒවයෙ තියෙන කෑලිවලිං කෙරෙන වැඩේවත් දන්නෙ නෑ. අනික ගලවන්නෙ හොඳට තියෙන බඩුමුට්ටු. කැඩිච්ච ඒව නෙමෙයි.

      Delete
  14. බෙහෙත්පෙති = සෙරමික් කන්ඩෙන්සර් (අපි කිව්වේ නම් පරිප්පු ඇට)
    පණුවෝ = රෙසිස්ටර්
    බැරල් = ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර්

    බටේ කිව්වේ මොකක්ද ??

    ඔය කරකවන කෑලි IF ට්‍රාන්ස්ෆෝමර් වෙන්නැති. ආයේ ටියුනින් කන්ඩෙන්සර් එකෙත් කරකවන්න පුළුවන් ඒවා තියනවා. ඕක කරකවල වෙනස් කලාම ආතල්. 88.8 න් අහන එක අහුවෙන්නේ 100.5 වගේ.

    මගේ මුල්ම බවුත් එක ස්පෝක් කම්බියක ගෙජ් 18 තඹ කොයිල් එකක් ඔතල ලී මිටකුත් ගහල හදාගත්තේ. හැබැයි වැඩ කරද්දී වෙනම පොල්තෙල් පහනක් ළඟ තියාගත්තා.

    ඔහොම මකබාස් ඩයල් ඉන්නවා ගොඩක් තැන්වල. මාත් දැකල තියනවා. හැබැයි ඒක මේ විදියට ආතල් එකේ විඳින්න පුළුවන් උඹේ ලිවිල්ලෙන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. බටේ කිව්වෙ RF කොටසෙ එන පෙරයිට් එක වටේ ඔතපු කොයිල් එකටනෙ.

      Delete
  15. බොගේ ලිවිල්ල නං පස්ට ඈ......

    ඔය පියසේන මාම හරි දැනුමක් ලැබුණන් සෑහෙන දුරක් යන්න තිබ්බ මිනිහට තිබිල තියෙන උණේ හැටියට

    ReplyDelete
    Replies
    1. මිනිහ ගිය දුර කියතොත් තව පොඩ්ඩෙදි අපි දෙන්නම දවසක් මහපාරෙදි දෙරිගහල මැරෙනව විලිලැක්ජා නැති තාලෙකට.

      Delete
  16. වෙනදා වගේම සුපිරියටම තියෙනවා. එලම.

    ReplyDelete
    Replies
    1. හැබැයි කලකට පස්සෙ නේද?

      Delete
  17. කවුද දන්නේ ඔය පියසේන මාම කියන්නේ අර මාකෝනි කියන හාදයගේ ඊළඟ ආත්මෙද කියල...

    ඔච්චර හරියක් කරලත් නැන්දා ඒ මනුස්සයට උදළු පාරක්වත් ගහපු නැති එක තමයි අදහන්න වටිනා කාරණය...

    ReplyDelete
    Replies
    1. මාකෝනිට වඩා උසයි. මං හිතන්නෙ රාහු විතර. අති දීර්ඝෝ මහා මුරුක කියල කියනවනෙ.

      Delete
  18. සුරංගම්ල්ර්ට සිංදු ලිව්වෑකිද?

    http://www.metrolyrics.com/video-killed-the-radio-star-lyrics-buggles.html

    ReplyDelete
    Replies
    1. මං මේක බැලුවා. මොකුත් තේරුං ගන්න බෑනෙ. ආයි අහන්න දෙයක් නෑ. ඉංග්‍රීසි සාහිත්‍යට ලැයිට් කණුවක්නෙ ගත්තෙ.

      Delete
  19. නියම කතාව මක බාස්ලා ගැන..

    මගෙ ජිවිකාවත් ඔක තමා දෙයක් හදන්න අරගෙන එනකෙට දහපහලෙස් දෙනෙක් බාස් වැඩ කරලා එක විනාස කරලා.සමහර වෙිලාවට එ වගෙ උපකරණ ලස්සනට තියන්න තමයි වෙන්නේ...

    කියන්න ඔිනි දෙ ලෙසට කියලා තියනවා.මරැ..

    ඔය බටෙි කියලා තියෙන්නේ am වලදි පාවිච්චි කරන කෙයිල් එක වෙන්න ඔිනි..

    ReplyDelete
    Replies
    1. එව්වනං කියල මොටද? එක ගමනක් අපේ එකෙක් මට ගෙනාවා සෙටප්පෙකක් හදන්න. "රටිං ගෙනැත් ටික කාලයක් ඇහුවා. මේ පහුගිය දාසක හිටි ගමං සද්දයක් නැතුව ගියා. වෑරෙක බුරුල්වෙලාද කොහෙද" කියල තමයි ගෙනාවෙ. විස්සාසෙට ගන්න ටුවෙන්ටි ටූ වෝල්ට් ඩුවල් පවර් සප්ලයි එක ඇන ටිකත් එක්කම වාෂ්ප වෙලා. පවර් සප්ලයි දාලා බලද්දි සිස්ටම් අයිසී එකට බබා ලැබෙන්න කවුදෝ මකබාස් වැඩේ කරලා. අතිං කයිට්. සෙට්ටෙක අහක. සමහර ටීවී එනකොටම එච් අවුට්ටෙක ඇනෙත් එක්කම නෑ.

      Delete
    2. ඒ ගැන නමි මෙනවාට කියනවද ? කියනොට කියන්නේ මගදි කැඩුනා වගෙ...

      Delete
  20. හම්මේ.. පියසේන මාම තමයි දවසකටවත් මිනිහ.. හෙහ්..

    කොමෙන්ට් ඔක්කොම කියවගෙන ආවේ මේ ටික කවුරුවත් කෝට් කරලද බලන්න.. මට වැදුනම තැන..
    //මං අන්තිමට දකිද්දි ඒ ටීවියෙක තිබුනේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙං බලෙං ටිකට් කප්පගෙන මරදන්කඩවල වෙදමහත්තය ගාවට ගෙනියන ලෙඩෙක් වගේ.// හෙහ් හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. හරියටම කියතොත් ඕං ඔය විදිහට ටියුප්පටි වලිං ඔතල තමයි තිවුනෙ.

      Delete
  21. පියසේන මාම දැන් මොකෝ බං කරන්නේ.. කොහොම වෙතත් විදිමත් අධ්‍යාපනයක් ලැබුණානම් පියසේන මාම හොඳ ඉලෙක්ට්‍රොනික් ටෙක් කෙනෙක් වෙන්න තිබ්බ.. විදිමත් දැනුමක් නැතුව CRT TV එකක් ගලෝල ජීවිතේ නැතිකරගන්නේ නැතුව බේරුනා එක වාසනාවක් කියලයි මම හිතන්නේ.. Flyback එකෙන් කරන්ට් එක වැදුනානම් උන්දැ එලොව යනවනේ බං ඔන් ද ස්පොට්..

    ReplyDelete
    Replies
    1. කතාව අමිබලන්ගෙඩ අයියේ එහෙම උනා නමි උන්දැට වෙච්ච දෙ උන්දැවත් දන්නෙ නැ...

      Delete
  22. Kiyawanna asa hithenawa.. Niyamai..

    ReplyDelete
  23. Kiyawanna asa hithenawa.. Niyamai..

    ReplyDelete
  24. ඒ කාලේ රේඩියෝ එකේ මුවන් පැලැස්ස යි මොණරතැන්නයි අහපු හැටි මතක් වුණා.

    ReplyDelete
  25. මේක කියෙව්වහම මට මතක් උනේ අපේ අම්මගේ බාල සහෝදරයා හෙවත් පොඩි මාමව ....

    නොම්මර් එකේ මක බාස්, මිකනික් වැඩ කළාට හරියට බලපුවහම දන්නා මගුලකුත් නැහැ නොදන්නා මගුලකුත් නැහැ !

    හදනවා කියල කාපු TV/රේඩියෝ, රයිස් කුකර්, ගෑස් ලිප්, ෆ්‍රිජ් ලොවෙත් නැහැ :-)

    මාම කිව්වට හරියටම කිව්වොත් *** මීම ***

    දැනට අවුරුදු 20 කට විතර එහා අපේ තාත්ත මාසෙකට රුපියල් 60-70 දහ හොයපු වායුසමීකරණ බිස්නස් එක තාත්ත නැති උනාට පස්සේ මේ යකා ට බාර දුන්න, අන්තිමට කඩේ බිස්නස් එකේ බඩු විකුණලයි ණය ගෙව්වේ :-D

    පීසේන ගැන කියවනකොට මට මතක් උනේම මේ යකාව .... ඒ වෙලාවට ගඟේ මාළු ඇඟේ නටනවා අම්මපා !!!

    මුන් දෙන්න ගැන කියවල, මාකෝනි වලේ ඉඳල නැගිටලා පපුවේ අමාරුවක් හැදිලා ආපහු මළා කියන්නෙ :-D

    ReplyDelete
  26. මාත් පොඩිකාලෙ ඔබතුමාගෙ මාමා වගෙම තමයි. දන්න ඒකම දේ ඔන ඉලෙක්ට්‍රික් බඩුවක් ගලෝන ඒකම තමයි. 1% විතර තමයි හැදුවා කියල කරෙ. ඔය අැනටනා විදිහට කුඩ කැලි අටවන් ජාතික රුපවාහිනියෙ මායාබන්ධන බැලපු හැටි අායෙමත් මතක්කරලා දුන්න ඒකට බොහොම පිං

    ReplyDelete