Follow by Email

Thursday, April 13, 2017

අවුරුදු සෙල්ලං හෙවත් The donkey game and other games


"වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි........ මේ තමයි අපේ ජාතියේ ඒ බැඳියාව සංකේතවත් කරන, ඒ අනභිබවනීය, ඒ සාර්වත්‍රික, මනෝ බද්ධීය, ඒ ... ඒ.... ඒ.... මා හැඟි හැදියාවේ එකතුව හුවා දක්වන මා හැඟි වස්තුව. එවැනි රටක ඉපදුනු අපි අපේ මාහැඟි සංස්කෘතියේ මහා උත්කර්ශවත් මවුලී මංගල්ලයේ උත්කෘෂ්ඨ වාත්සල්‍ය ගෙනහැර දක්වන මහා ආනන්දනීය විභූතිමත් අද්විතීය මුවදොරකටයි මේ පැමිණ තිබෙන්නේ. දේශයේ අංක එකේ නාලිකාව අකුරු තුනේ නාලිකාව සහ දැම්මොත් ගනු බැරි බැංකුව එක්ව ඔබගේ ඉස්තෝප්පුවේ පාපිස්ස උඩට ගෙන එන හෙළයේ මහා අසිරිමත් මංගල්ලය ඉර මගුල මහා දැවැන්ත සංස්කෘතික චිත්තාකර්ශනයයි මේ.  අපේ එදා තිබූ සුහැදියාව, සුනම්‍යත්වය, ඒ මහා ජවාස්කන්ධය රටට ගමට කියාපෑ අපේ ඉපැරණි මහා ග්‍රාමීය සංස්කෘතික පෙළහැරේ ශක්තිය, තේජාන්විත බව, උත්කෘෂ්ඨත්වය, මෙව්වෑක පිළිඹිබු කළ අපේ හෙළ ජන ක්‍රීඩා ගැනයි අපි මේ කොලබොක්කාව වැව්තාවුලේ තේජාන්විත වනස්පතියක් මූලයේ මස්තක ප්‍රාප්තවී විශ්ලේෂණය කොට ඔබ හමුවේ පරිශිෂ්ඨ කිරීමට බලාපොරොත්තු වන්නේ.......



අදත් ඒ සඳහා අප සමග ඒ සඳහා පිළිවෙතින් සුසැදිව පේවී සංගෘහිතව සිටින්නේ තුම්මුල්ල සරසවියේ ජේස්ට කටකතාචාර්ය අත්තනඇට පොරෝ මහතා, ඔබතුමා පිළිගන්නවා මේ සභාවට ගවුරවයෙන්, ඒ වගේම මහාචාර්ය ජිරාප් මුට්ටියප්පෙරුම මහතාත් සාදරයෙන් පිළිගන්නවා මේ විද්වත් කතිකාවතට, ඒ වගේම නාට්‍ය හා රංගකලා මහාචාර්ය අසුවල් වංසේ නාසාදික මහතා සහ ඒ වගේම විශාරද කලාවේදිනී අසුවල් මහත්මියත් මේ සභාවට මහත් බෞමානයෙන් යුක්තව පිළිගන්නවා.



මා පළමුවෙන්ම යොමුවන්නට කැමතියි අපේ නාසාදික මහතා තුමා වෙත, ඔබතුමා මේ සම්බන්ධයෙන් ප්‍රවිශ්ඨයක් ලබාගන්නැයි මා ඉල්ලා සිටිනවා."


"හොඳයි හට්ටි, මං පැරණි ජන ගියකිං මෙයට පිවිසෙන්නම්."


"තක්ක..... තකිඳ..... දික තක දිග ............
දිගත තකිද තක තා..... තා....ආාාආාාාා...........

සිප්පි හයක.......... දෑතට අ...ර.......... ගෙන සොලවා.....ආාාා........
එක්කොම ටික.......... බිමට දමපු කළ සොඳවා..........ආාාාා........
හයම උඩට .............. කට ඇරගෙන........ සිට ලෙසටා....ආාාාා......
බොක්ක දමපුඌ...... ලෙස කියුවයි......... පිරිස ඥෙදා.....ආාාාා......"


ජිං තකබුං තක බුං තක තක තක බුං බුංබුං තකතකතංබුං තකං දොහ්"


"හට්ටීඊඊ. මං ඒ ගායනා කලේ අපේ පංච කෙලිය ගැන..... එහි මූලාරම්භය ගැන...... කියවෙන පල්ලම් පත්තුවේ ගැමියන් අතර වියවහාර වන ජන ගීයක්. එහි සඳහන් වෙන්නේ පංච කෙලින පිරිස අතරින් යමෙක් මේ පන්ච බෙල්ලන් හය දෙනා අතට ගෙන වැරෙන් සොලවා... මෙන්න මෙතන මේ පංච බෙල්ලන් සෙලවීම..... ගැන..."



"හට්ටී.... මට සමාවෙන්ඩෝන............ මේ නාසාදික මහත්මා................ මේ කියන රත්තරං වටින කතාවට මට......... යමක් එක්කාසු ගරන්ඩ ඉඩ දෙන්ඩ............ ඔබතුමා... සඳහන් කලා.... බෙල්ලන් වැරෙන් සොලවන්ඩ ඕනැ කියා..... නඹුත්.... අද බලන්ඩ අබේ ඛොල්ලො ඛෙල්ලො ඛාටවද් බෑ අඩුහ්ම ගානෙ පංච බෙල්ලො ටිකවත් හරියාකාරව හොල්ලගන්ට..... අපේ එක ඛෙල්ලෙක් ඉන්නවද හරියට මේ බෙල්ලෙක් හොල්ලාගන්න..... මේ ... පංචා බෙල්ලෙක් හොල්ලා ගන්න පුළුවං... නෑ.... අද බෑ...... ඒ හංදා අපි ගේන්ඩෝන අබේ මැල්ලුං මුට්ටිය ආපහු.... පර සුද්දා එදා අපෙං අරංගිය ඒ.... මැල්ලුං.... මුට්ටිය ආපහු ගෙනත් කවන්ඩෝන මේ ඛොල්ලන්ට ඛෙල්ලන්ට.... මොකකටවත් නෙවෙයි..... අඩුම ගානෙ......අඩ්ඩුම ගානෙ පංච බෙල්ලො ටිකවත් හොල්ලන්ඩ තරං හයියක් මේ මාත්තුරු භූඹියෙ තියෙන්ඩ අපි එතෙන්ටයි හට්ටී යන්ඩෝන..... ආං එදාටයි අපේ පංච දැමීම, පොර පොල් ගැහීම,   අං ඇඳීම, ගුඩු පැනීම, පීරිසි කුට්ටං ඇල්ලීම වගේ ජන ක්‍රීඩා..... නැගී හිටින්නෙ...."



මේං මේ ආකාරයේ කතාවක් අනිවාරයෙන්ම අවුරුදු දාට ඔබේ ගෙදර රූපවාහිනියෙං බලන්නට පුළුවනි. හැබැයි ඒ කියන ජන ක්‍රීඩා බලන්නට ඔබේ හය හතර නොදත් දරුවාට ඕනෑ උනොත් එව්වා ජන කලා කටුගෙයිවත් නැති බවත් කියා දෙන්නට ඕනෑය.


ඇන්කර් පෙට්ටියක අලෝපු තැනිං ගලවලා දිගෑරලා, වටේට තියෙන හතරැස් කොටු, දිග කොටු කෑලි ටික කපලා දාලා ඇරගෙන ඒකෙ ඇතුල් පැත්තේ කන කොකාගෙ පාට උඩිං පැටිග්ගම් එහෙකිං ඇඳපු පංචි කොලයක් අපේ මාමා හදල තිවුනා. ඒක නැත්තං මාමා ඉස්කෝලෙං ගෙනා රටහුණු කැටේකිං බිම සිමැන්තියෙ උනත් පංචියක් ඇඳගන්න පුංචම්මට පුළුවං. ලොකු පුංචම්මලගෙ පවුල් දෙකේ උදවිය ආපු දවසට සිංදු කියනවට අමතරව පංචි දැමිල්ලත් කෙරෙනවා. එදාට ආච්චම්මගෙ කබඩ්ඩෙකේ තියෙන පංචි බෙල්ලො ටික තමුංව ඔතල තියෙන හඩු ලේන්සුවෙං මිදිලා හුස්ම ගන්නවා. කට්ටිය අඩු දවසක නං මටත් පංචි දාන්න හම්බු වෙනවා. නැත්තං අනික් අය සාලෙ බිම ඉඳගෙන පංචි දාන අතරෙ සාලෙ අයිනෙ තියෙන වි ගෝනියක් උඩට වෙලා ඒ දිහා බලා ඉන්නත් මට පුළුවං. හැමදාම අයියයි අක්කයි දෙපිලට බෙදිලා අන්තිමට දිනපු පැත්ත පැරදුනු පැත්තට නින්ද යනකම්ම හූ කියන මේ සෙල්ලම කෙරෙන්නෙ පවුලෙ කට්ටිය එක්කහු වෙච්ච දවසක විතරයි.

ඒ වුනාට අවුරුදු සෙල්ලං කියන්නෙ එ්ව නෙවෙයි.


“මේ ගමන සෙල්ලං කර්න්නැද්ද මැණිකෙයක්කෙ?“

පළවෙනි රතිඤ්ඤෙ පත්තු වෙන්නත් කලිං, පාංකාරයට කේක් ඕඩරේ දෙන්නත් කලිං, කොටිම්ම කොහා අවුරුද්දට කෑ ගහන්න “ක“ යනු “හ“යනු පාපිලි ටික හොයාගන්නත් කලිං අපේ ගමේ අය පුංචම්මගෙ කඩේට ඇහිල්ල අහන්නෙ ඒක. 


“ආයි නං කවම කවරදාකවත් කරන්නෑ කියල ගියපාරම කිව්වෙ ඒකනෙ. මෙතන රණ්ඩු බේරන්න බෑනෙ අපට“


“ඒකට බීපු එවුන්ට එන්න නොදි හිටියං ඉවරයි. ඒක අප්බලාගන්නං. මේ ගමනත් සෙල්ලං කරමු“


ඔය විදිහට දහ අතේ පොරොන්දු දුන්නට පස්සෙ මහගෙදර සෙල්ලං කෙරුවාවට ඉඩ හැදෙනව.
ඒ අතරින් ඉස්කෝලෙ යන පොඩි ළමයි, ගෑණු ළමයි වගේ අයට සෙල්ලං කරන්න හැදෙන්නෙ අඹ ගහ යට. අවුරුද්දට කලිම්ම පටං ගන්න මේ සෙල්ලම් කෙරුවාව නොනගතේට නැවතිලා ආයිමත් හුස්මක් අල්ලලා පටං ගන්නෙ නැකතට කෑවයිං පස්සෙයි. ලැල්ලකට ගලකිං ගැහුව වගේ ඇහෙන “ටක්“ ගාන සද්දෙට කාසි පුරෝපු සාක්කුවක් තියෙන ඕනිම ක්‍රීඩාශීලී ළමයෙක් ඇදිල යනව.


“මේ පහාඩුයි.... මේ පහාඩුයි....“


ආ වැඩියි“

“මේ පහත් වැඩියි“


“මේ දහයම අඩුයි... මේ දහයම අඩුයි“

රුපියල් දෙකේ, පහේ කාසි ජෝඩු දාල බිමට වැටෙනව

“කැටේ හොල්ලල ගහන්නෝනෙ. හරෝල ගහන්න බෑ.... හරිද?“


“ටක්“


“මට කැටේ... මට කැටේ.... අල්ලන්නෙපා“


වැඩි වෙලාවක් නොගිහිං එතන ගාලගෝට්ටියක් වෙද්දි අපේ ආච්චම්මයි, පුංචියි කෑ ගහනව.


“ළමයි කෑගහන්නෙපා..... පොලිස්සියෙං පනියි කෝලහලෙ මොකද බලන්න“


ඔය අතරෙ සමහර "අලුකුත්තේරු එවුං" එකෙක් කැටේ ගහද්දිම කැට ලැල්ලට 'චීන පටස්' ගුලි වලිං ගහනව.  කැටපොලේ ඉන්න අය පණ කඩාගෙන දුවනව.


රුපියල් පහක් අරං එන ගල්කොටුවෙ ආනන්දය රුපියල් පනහ හැට අරගෙන ආපහු යද්දි නාවලවත්තෙ ළමයි අවුරුද්දට වැඳල හම්බුකරගත්තු රුපියල් දහය පහලොවත් නැතුව ගෙදර යනව.


අහල පහල වැඩිහිටි ක්‍රීඩකයො පාර දිගේ යද්දි මේ වගේ කැට පොලක් දැක්ක ගමං නවතිනව. බයිසිකලේ පැටල්ලෙක බිමට හිටින්න හේත්තු කරල හරි එහෙමත් නැත්තං බිත්තියකට හේත්තු කරල හරි කැට පොල ගාවට කිට්ටු කරල එතන ඉන්න කෙනෙක්ගෙං 


"මේ.... මෙතන සෙල්ලං කරනෑය කොහෙද ඉන්නෙ ළමෙයො?"


කියල අහනව.


"අර එහා පැත්තෙ අයිනෙ මඩුවෙ"

පොඩි එවුං උත්තර දෙනව. පාර අයිනෙ කැට පොලක් තියෙනව කියන්නෙ ඒ පිටිපස්සෙම තැනක කුට්ටමේ සෙල්ලං කෙරෙන තැනකුත් කෙරෙනව කියන එකයි. ඒ විත්තිය දන්න අය දන්නව. ඔය විදිහට අපේ පුංචම්මලෑ මහගෙදර පිටිපස්සෙ තියෙන මාමගෙ කාමරේ එක 'සෙල්ලං කරන තැනක්' බවට පත්වෙනව. කලු මාමගෙ කඩේ ඉස්සරහ කැට පොල තියෙනව කියන්නෙ එයිට පිටිපස්සෙ කෝපි ගාලෙ 'සෙල්ලං කරන' තැනක් තියෙනව කියන එකයි. ඒ විදිහට ගම පුරාම පාරක් ගානෙ අඩු නැතුව සෙල්ලං කරන තැං තියෙනව.


ඒ තැංවල හුඟක් වෙලාවට ඉන්නෙ පිරිමි අය විතරයි. ඔට්ටු ඇල්ලිල්ලත් කැට ගැහිල්ලට වඩා ගානිං වැඩියි.

"මේ සීයප්පරදි"


"මේ දෙසියප් පරදි"


"ආ මේ දෙසිය දිනුං"


කුට්ටම අනල දුන්නම, ඒක කපන කෙනා කොලේ කියනව. කුට්ටම අනපු කෙනාම කොලෙං කොලේ දෙපැත්තට බෙදාගෙන බෙදාගෙන යනව. හැමෝම සද්ද නැතුව බලං ඉන්නව. හරි කොලේ වැටිච්ච ගමං උම්බලකඩ කෑල්ලක් දැක්ක බලල්ලු ටික වගේ හැමෝම පොරකනව.


"ඒක මගේ ඒක මගෙ"


"නෑ නෑ මං දිනුං ඇල්ලුවෙ"


සුදුවැලිපොත ආතර් කඩේ ගාව වගේ සමහර තැංවල ඔට්ටු අල්ලන්න පුළුවං රුපියල් පන්සීයෙං එහා ගණං විතරයි. ඒ රස්නෙ කඩේ ඉස්සරහ තියෙන කැට පොලටත් දැනෙන හිංදා එතනත් කාසි ඔට්ටු අල්ලන්න බෑ. අඩුම ඔට්ටුව දහය. ඒ වගේ තැංවලට එන සමහර ක්‍රීඩකයො මුළු සෙල්ලම් පොලේම තියෙන සල්ලි ටික තමුංගෙ ඔඩොක්කුවට ගන්නෙ පැය බාගෙං. එතන ඉන්න හැමෝම හින්දපු ගමං සල්ලි ටිකත් ඔඩොක්කුවට දාගෙන තව සෙල්ලම් පොලකට යනව. ඒ විදිහට දිනපු ලස්මගෙ අයියා ඒ සල්ලි වලිං අලුත්ම අලුත් ලොරියක් ගෙනැත් අවුරුද්දෙං පස්සෙ දළු එක්කහු කලා. හැබැයි ඊළඟ අවුරුද්ද වෙද්දි එයා ලොරියත් නැතුව පුස්සයිකලේටම වැටුනා.


හැම අවුරුද්දෙම අඬන පුංචම්මත් අනික් පුංචම්මත් තුමංගෙ දරු පවුල් පිරිවරාගෙන මහගෙදරට එන දවසට රෑට පවුලෙ අයයි, විස්වාසවන්තම කීප දෙනෙකුයි එක්කහු කරගෙන වෙනම සෙල්ලං පිටියක් තියනව. එදාට මාත් අපේ අම්මත් ඇර අනික් හැමෝම කොල කුට්ටමේ සෙල්ලමට යනව. අයියයි, අක්කයි, පුංචම්මයි, බාප්පගෙං සල්ලි ඉල්ලගෙන ඔට්ටු අල්ලනව. අපේ ආතත් රුපියල් සීයක් ගෙනත් ඔට්ටු අල්ලනව. ඒක පැරදුනහම කාමරේට ගිහිං ලාච්චුව ඇරල, ටින්නෙක ඇරල, පෝස්සෙක ඇරල තව රුපියල් සීයක් අරං එනව. ඒකත් පැරදුනහම ආයිත් ගිහිං ඒ විදිහටම සීයක් අරං එනව. අපේ තාත්තා රුපියල් දාහක් විතර පැරදුනහම කාඩ් කුට්ටම පොලවෙ ගහල නැගිටිනව. අඬන පුංචම්මයි, අයියයි, අක්කයි පැරදුනහම බාප්පව බදාගෙන අඬනව.


"අනී ජෝගේයපි ඔයා ජුක් මාංචියෙං ඔයච චල්ලි චික පලාද කෙලුවාආාා"


"අනී තාත්තී..... අපි ඔයාගෙ සල්ලි නහත්ති කෙලුවා...."


මං කඩදාසි කුට්ටමේ තියෙන නැට්ටුව ඉන්න කොළ දෙක අරගන්නව. ඊට පස්සෙ පැදුරු දෙක අකුලල තියනව.


 සූදුවට යන්න හොඳ නැති බවත් ඒ හංදා පවුසිද්ද වෙන බවත් පන්සලේ හාමුදුරුවො බණට කියනව. ඒ හංදා උපාසක උපාසිකාවො කවුරුවත් කැට පොලකට, බූරු පොලකට යන්නෙ නෑ. ඒ අය වෙනුවෙං පන්සලට හැරෙන තැන ගෙදර ඉන්න රඹුටං ආතා ගෙදර ඉස්තෝප්පුවෙ වෙනම සෙල්ලමක් පටං ගන්නව. මුලිම්ම සල්ලයිට් කැට දෙකක් හැමෝටම පේන්න පැදුරෙං තියනව. ඉං පස්සෙ


"ආ... හැවෝම පහ ගානෙ දාන්න"


ඉතිං මිනිස්සු රුපියල් පහ ගානෙ පැදුරට දානව. ඊට පස්සෙ රඹුටං ආතා සුරුණ්ඩු කරපු කඩදහි කෑලි ටිකක් හොලෝල පැදුරට දානව. සල්ලි දාපු අය ඒ ටික පොරකාල ගන්නව. එතනිං අංක එක, නැත්තං ලොකුම අංකෙ තියෙන තුණ්ඩුව ලැබිච්ච එක්කෙනා සබං කෑලි දෙක දිනනව. රඹුටං ආතා පහේ කාසි ටික එක්කහු කරගන්නව. රුපියල් විස්සක් විසිපහක් වටින සබං කැට දෙක දීලා රඹුටං ආතා රුපියල් පනහක් විතර එක්කහු කරගන්නව. ඒ විදිහට සබං කැට, පවුඩර පෙට්ටි, සබං පෙට්ටි, කතුරු, වීදුරු, පිඟං, ඉටි මැටිකෝප්ප, ඉටි බේසං, කම්බි ලේන්සු, ඇලමේනියං මුට්ටි, තාච්චි, පිත්තල හැඳි, කොකිස්සච්චු, සල්ලි දාන ඉටි කැට, විතරක් නෙමෙයි සෙනග ඉන්නවනං කලිං අවුරුද්දෙ තෑගි හම්බුවෙලා අඳින්නැතිව තියාගත්තු සරොං, චීත්ත, ගෙදෙට්ට එන අය ගෙනාපු කේක්, විස්කෝතු එහෙමත් නොම්බර ඇදිල්ලට තියනව.


මෙතන බූරු කුට්ටමක්වත් කැටයක්වත් නැති හංදා ඒක සූදුවක් නෙමෙයි. ඒ හංදා පන්සල් ගිහිං ආපහු යන හුඟක් අය රඹුටං ආතගෙ 'නොම්මර අදින' තැනට ගිහිං, පන්සලේ පඬුරු දාල ඉතුරු වෙච්ච මාරු කාසි ටිකත් ඉවර කරල යනව.


මේ විදිහට ක්‍රීඩාවෙ යෙදෙන ගමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අල්ලන එක අවුරුදු කාලෙට පොලිසියෙං කරන සෙල්ලමක්. ඒ ගොල්ලොත් එන්නෙ සරං කමිස ඇඳගෙන. කැට පොලක් ළඟ ලොකු අය පදින පුබ්බයිසිකල් හත අටක් නවත්තල තිවුනොත් එතන 'බූරු පොලක්' බව පොලිසිය දන්නව. ඒ වෙලාවට කැට පොලේ ඉන්න ළමයෙක්ගෙං පාර අහගෙන බූරු පොලට පනින සෙල්ලමට පොලිසියෙ අය දස්සයි. ඒ හංදා කැට පොලක, බූරු පොලක එහෙම 

"ඔන්න පොලොස්"


කිව්වත් තප්පරෙන් දහයෙං පංගුවකදි බූරු පිටියෙ ඉතුරු වෙන්නෙ පැදුරු දෙකයි, නැට්ටුව ඉන්න කොල දෙකයි විතරයි. කලාතුරකිං හොඳටම බීපු දුවාගන්න බැරි කෙනෙක් ඇරෙන්න පොලිසිය පැන්නත් අහුවෙන දෙයක් නෑ. ඒ වගේ අයත් පොලිසියට ගෙනිහිං පහුවදාට ගෙදර එවනව. 


ඔය විදිහටම අවුරුදු දවසක රඹුටං ආතගෙ ගෙදර මිදුලේ 'නොම්මර ඇදිල්ල' කෙරීගෙන යද්දි පොලිස් ජීප්පෙක ගේ ගාව පාර අයිනෙ නැවැත්තුවා. තලත්තෑනි ගෑණු අය, පිරිමි අය වටවෙලා ඉන්න හිංදා පොලිසියෙ රාලහාමි කෙනෙක් පාරෙ ඉඳං 


"ඔතන ඔය සූදුවක් නේද?"


කියල ඇහුවා. රඹුටං ආතා අත්දෙක පිටිපස්සෙ පිහිදන ගමං නැගිට්ටා.


"නෑ රාලාමි අපි මේ නොම්බර අදිනව."


පොලිසියෙං රඹුටං ආතවයි, පැදුරු දෙකයි, සබං කැට, පවුඩර් බෙලෙක්ක, කතුරු, සැමන් ටිං, කම්බි ලේන්සු, සබං පෙට්ටි, ඉස්කෝතු පැකැට්, වීදුරු පිඟං බඩු, ආදී නොම්මර අදින තෑගි ටිකයි පටවගෙන ගියා. එතන හිටපු මිනිස්සුංවත් එලෝල දැම්මා.


අවුරුද්ද ඉවරවෙලා, අලුත් ඇඳුංවල බුලත් කහට ගැවිලා, අතේ සතේටම හිඳිලා, අන්තිම අවුරුදු උස්සවෙත් ඉවර වෙලා, කොහාගෙත් කට රිදුනට පස්සෙ මිනිස්සු තමුං කරපු සෙල්ලං ගැන කියනව.


"අපේ එකා දොලොද්දහක් පැරදිල."


"විමලෙය අල්මාරියෙ තිවිච්ච දහදාහමත් පැරදිල ගෑණිගෙ චේන්නෙකත් තුන්දහකට උකස් තිවුවලු. ඒකත් පැරදි කියන්නෙ"


"අර එගොඩහ එකෙක්ගෙ බයිසිකලේනෙ ඔය ඉස්ටුවංගෙ ළමෙයට රුපියල් දහදාහකට තියල තියෙන්නෙ. බූරු පොලෙදිම"


"රාජ නං බරගානක් දිනුංලු. මොකක් හරි ගෙනෙයි හෙටානිද්ද"



"ආතර් කඩේ ගාව නං ගුටි කෙලියක් ගිහිං කොටියෑ දද්දෙකක් කල්ලලු කුමාරෙය"


ගුනොවද්දන මාමත් ඉස්තෝප්පුවට ගොඩවෙන්නෙ ඒ වගේ කතාවක් කියාගෙනමයි.


"අර බලිපොලේ පිහියැනුමක් ගිහිං දෙන්නෙක් මහ ඉස්සිතාලෙ කියල අපෙ දූ කිව්වෙ"


"හැබෑට ගුනොවද්දන"


අපෙ ආතත් අහනව.


"ඒකනෙ මාමෙ මං ඔය කිසියම්ම සූදුවකට යන්නැත්තෙ. පිහැයැනුං කන්න ඕන්නෑනෙ නිකං. අනික සූදුව හොඳ එකක් නෙමෙයිනෙ. අපරාදෙ පවුසිද්ද කොරගන්න බෑ, මං නං පංසල් ගිහිං එනගමං හිතුනොහ් නොම්බර ඇදිල්ලට ඉතරක් යනව. මොකක්කත් වදෙයක් නෑ. පිනේ පවේ හැටියට හම්බුවෙනව.  මට නං මේ ගමනත් පීරිසි කුට්ටං හයක් ඇදුන. ආං කබඩ්ඩෙකේ තිවුව එහෙම්මොම"


ආත කරබාගෙන විටකට පුවක් ගෙඩියක් ලියනව. 











38 comments:

  1. දාන්න ලේසියි ගන්න අමාරුයි කියන , සුනඛ යුවලක් ඉන්න ලාංචනය සහිත බැන්කුව ගැන නේද ඔය කිව්වෙ? සුරන්ග, චුටි මැනිකේ සහ බිළාල ජෝඩුව ඇතුලු සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. //"අනී ජෝගේයපි ඔයා ජුක් මාංචියෙං ඔයච චල්ලි චික පලාද කෙලුවාආාා"// :D

    මරු පෝස්ට් එක බං...

    ReplyDelete
  3. අම්මප අපි පොඩි කාලෙ කළාට දැන්නං පංච අදින ‍පොඩි එකෙක් හොයාගන්න එක මාර අමාරු වැඩක්.

    ReplyDelete
  4. ඔය බූරු සීන් එකනං මේ පැත්තෙත් ජයටම යනව අවුරුද්දට. දිනන එවුවංට වැඩිය කෙලෝගත්ත එවුවො තමයි වැඩි.

    ReplyDelete
  5. අවුරුද්දට කලේලි බහින මොංගල් මහාචාරියංගෙන් මේ ගමන බේරුනෑකි හැටලයිට් ගත්ත හින්ද.

    ReplyDelete
  6. සුරංග මලයටත් ටිකිරි සඳමාලි, තලේ ඇතුළු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  7. ගමේ අවුරුදු කන විදිය ලියල පෝස්ට් එකක් දායි කියල බලාපොරොත්තුවෙන් හිටියෙ

    ReplyDelete
  8. වෙනද වගේම සුපිරි ලිපියක්,
    සුබ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  9. දැන් කව්ද බං පංච දාන්නේ ?

    මටනං කැටයක් ගහලා කුට්ටමක් කැපුවේ නැත්තං අවුරුදු නෑ වගේ.....

    ReplyDelete
  10. මේ ටිකේම ටිවිඑකේ තියෙන්නේ රටේවත්නැති ගැමි ක්‍රීඩා ගැන තමයි:D...අර මුල් කොටස මරු...

    සුරංගටත්, චූටිමැණිකෙ අක්කටත් සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  11. අලුත්ම ගැමි ක්‍රීඩාව අද ජාතික රූපවාහිනියෙ සිංහල අවුරුදු උලෙලේ පෙන්නුවා. නළලෙ බැලුං තියං ඩාන්ස් කිරීම.

    ReplyDelete
  12. සුභ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  13. සුරන්ගටත් සුරන්ගගේ නෝනා ටිකිරි සඳමාලිටත් පැටවුන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. //සුරන්ගගේ නෝනා ටිකිරි සඳමාලිට// හුටා....

      Delete
    2. එතකොට සුරංගයද පැටවුංගෙ තාත්ත. හුටා....x2

      Delete
  14. සුභ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. බලන් ගියාම සුරංග ලගෙ ගමේ ලොකු සල්ලි කාරයො නෙ ඔක්කොම ඉඳල තියෙන්නෙ, දහදාහේ, පාලොස්දාහේ ඔට්ටු දාන්න තරම් ...

    මම හැදුනේ වැඩුණේ අගනුවරින් දුර, නමුත් නගරබදව. සිටි සෙන්ටර් එකේ පොෂ් පිරිසත්, කුඹුරු වෙල් යායවල් තියන ගම්බදත්, දෙකම අපට දුරයි, දෙකටම නැති ගන්ධබ්බ සංස්කෘතියක් අපට තිබුණේ.. හැමදාම අපට ඔය අවුරුදු ක්‍රීඩා සහ ගම්බද අවුරුදු අසිරිය පෙනුනේ අපට කවදාවත් විඳින්න නොලැබුණු සුන්දර අත්දැකීමක් විදියට. දැන් මේක කියෙව්වම, උතුරු දකුණ මාරු වුනා :)

    //"අනී ජෝගේයපි ඔයා ජුක් මාංචියෙං ඔයච චල්ලි චික පලාද කෙලුවාආාා"//
    ඉතින් උගත් පාඩම් කොමිසමේ තීරණ අනුව අඬන පුන්චම්මා ඊළඟ අවුරුද්දේ ඔට්ටු නොදා හිටියද? නැත්නම් අපේ රටේ උගත් බුද්ධිමත් චන්ද දායකයෝ වගේ හැම අවුරුද්දෙම ඔට්ටු දාල ඊට පස්සේ ම ඇඬුවද?

    ReplyDelete
  17. අවුරුදු ජන ක‍්‍රිඩා කියන්නේ බයිසිකල් රේස් ගමහරහා දිවිම ලිස්සව ගහ කොට්ට පොර කඹ ඇදිම හා අවුරුදු කුමරිය තේරිම විතරද ?
    සුබ අළුත් අවුරුදුදක් වේවා.

    ReplyDelete
  18. මේ පාර මාත් ඔන ඔහේ ඔට්ටුවක්වත් අල්ලලා බලනවා පිනේ පවේ හැටියට හම්බුවුනොත් ආයෙ :-D

    ReplyDelete
  19. අපි නම් කලේ දවස පුරාම ගම වටේ ගිහින්ගනදෙනු කරන එක. ලොකු කෙනෙකුට සත පහක් දීලා බලා ඉන්නවා. එතකල් ඒ ගෙදරින් දෙන කැවිලි කකා ඉන්නවා

    ReplyDelete
  20. අන්න අවුරුදු නං අවුරුදු

    ReplyDelete
  21. මේකද උඹ අර නොනගතේ වෙලාවෙ ලියපු post coital post එක? ;)

    ReplyDelete
  22. සිරාවටම ඔහොම සුදූ ගහනවද ගම්වල? ඇහුවමයි. මේක මුල කෑල්ල නම් කොමඩි නාට්‍යයකට මරු.

    ReplyDelete
  23. හෙහේ.
    සුදු කෙලිය කියල දැම්මම උසාවියෙන් රුපියල් දෙසිය පණහයි ගහන්නෙ බං කුජීතයි
    මේ ලෝකෙ රහක් නෑ

    ReplyDelete
  24. පංච දැමීමේ ක්‍රීඩාව දැන් කාලේ දරුවෝ දන්නේ නැතුව ඇති මයේ හිතේ.. අපේ ලොකු අම්මළහ තිබ්බ රාමු කරලා වීදුරුවක් දාපු පංච පෙතක්.. අවුරුදු කාලෙට ගෙදර හැමෝම එකතුවෙලා පංච දානව රෑ දොළහ පහු වෙනකම්. ඒ කාලේ තිබ්බ අවුරුදු සිරිය දැන් නැහැ බන් ගම්වල. ඒ කාලේ කැවිලි පීරිසි අරන් අහල පහල ගෙවල් වලට යන්නේ මම තමා. අපේ පැතිවල ජනප්‍රියම කාර්ඩ් ක්‍රීඩාව තමා තිස් එක ඇදීමේ ක්‍රීඩාව.. ඒ කාලේ ඉතින් අහල පහල ගෙවල්වල කට්ටිය එකතු වෙලා සල්ලි වලට තිස් එක අදිනවා. බහුතරයක් දවස් වලට මමනම් අන්තිම සතේටම පරාදයි. ඒ හැමදේටම මුල්තැන ගත්තු ඒ කාලේ ඒ තරුණ වයසේ හිටපු උදවිය කසාද බැඳලා දැන් ඒ අයටත් කසාද බඳින වයසේ දරුවන් ඉන්නවා කියහන්කෝ. ඒ දරුවන්ට අවුරුද්දට තියා පාරක තොටක දකින්නත් නැති තරම්. අපි පුංචි කාලේ අපේ ගම අවුරුදු දවස් වලට සුර පුරයක්.

    බූරු ගැහිල්ලට නම් මගේ කිසිම මනාපයක් නැහැ. මොකද එතන කිසිම ක්‍රීඩාවක ස්භාවයක් නැහැ. වැඩිපුරම තියෙන්නේ මංකොල්ල කෑමේ ස්භාවයක්. අපේ පැතිවල සමහර බූරු පිටි ලක්ස පනහ හැට ගනුදෙනුවෙන තැන්. ඒ තැන්වලට පනින්න පොලිසියට හයියක් නැහැ බන්.

    ReplyDelete
    Replies
    1. කොහොමද මල්ලි විසි නමෙන් ගස්සන කොට.

      Delete
    2. උඹත් එහෙනම් තිස් එක ඇදපු හාදයෙක් ඈ.. ඒ කාලේ අපි අවුරුදු සමරපු හැටි මතක් වෙනකොට පපුව කඩන් වැටෙනවා බං..අද වෙද්දී මිනිස්සු රුපියල් සත අතරේ අතරමං වෙලා කියලයි මට හිතෙන්නේ..

      Delete
  25. හිත සතුටින් නම් හැමදාම අවුරුදු නේද සුරංග මල්ලි. ඉතින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා මං ප්‍රාර්ථනා කරනවා. සිංහල අවුරුද්ද, වෙසක් සැමරුම් මේ හැම දේම අයිති විද්‍යුත් මාධ්‍ය කරවන් ඇත්තන්ටයි කියලා මං හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
  26. මේ අවුරුද්ද කුජීතයි.. දාපු ඔක්කොම බොකු.. :/ අන්තිමට 13 හවස ඉඳල 14 දවල් වෙනකං ලයිට් තිබ්බෙත් නෑ..

    ReplyDelete
  27. ශ්‍රංගය මේක දාල අවුරුදු කන්න ගිහිල්ල තාම වෙරි බැහැල නැද්ද.

    ReplyDelete
  28. අඩේ උඹ ඉන්නෙ සුදුවෑලිපොත පෑත්තට වෙන්නද ? මම නිතර ඒ පෑත්තෙ යනවනෙ..

    ReplyDelete
  29. පංච කෙළිය නැත්නං දකුණෙ අපිට අවුරුදු නෑ වගේ. ඒ වුණාට දැං පංච දාන්න කිරි කවඩි ටිකක් හොයා ගන්නවට වඩා ලේසියි කළුනික හොයනවා

    ReplyDelete
  30. අපිට නම් මේවට වැඩියේ තිබුනේ නැකතට කිරිබත් කිපු ගමන් වෙලට ගිහින් එල්ලේ ගහන එක.

    ReplyDelete
  31. අපිටත් පොඩි එව්වො විදිහට සල්ලි වලට සෙල්ලම් කරන්න හම්බ උනේ අවුරුද්දු කාලෙට කරන කට ගැහිල්ල විතරමයි :)

    නෑදෑ ගෙවල් වලදී නම් ලොකු උදවිය දිනුවොත් ගොඩ වෙලාවට ආපහු සල්ලි බෙදල දෙනවා පොඩි එවුන් අතර, එහෙම නැතිව පැරදුනෝතින් හුළං !

    ReplyDelete