"කනබොන දෙයක් තනියම වළඳන්න එපා"
කියා කවි පදයක් කීවේ ගිය සතියේ ඉරිදා පොලේදී පල්ලියට යන පාලම ගාව අයිනේ වාඩිවී සිටි යාචක මනුස්සයෙකි. තමුන් කනබොන දෙයක් අනුන්ටත් දී කෑම අපේ ගමේ සිරිතයි. මේ අතින් අපේ පුංචම්මාගේ පවුලේ අය ඉතා ඉස්තරම්ය. මාරි ඉස්කෝතු කාලක් ගෙදර හතර දෙනා විසින්ම බෙදාගෙන කෑමේ 'ක්ෂුද්‍ර බෙදහදාගැනීමක්' ඒ පවුලේ අයගේ ඇත. ඒ අය කලිං ආත්මේ කූඹි පවුලක සාමාජිකයින් වන්නට ඇතැයි සිතෙන්නේ සමහර කෑම වර්ග බෙදාගත් විට එක්කෙනෙකුට ලැබෙන පංගුවෙන් සාමාන්‍ය කඩියෙක්ටවත් වේල පිරිමහගන්න බැරි නිසාය. ඒ වගේ ලේවකෑම් වලට අපේ නැංදම්මා කියන්නේ 'හිඟෝටු කෑම' කියාය.මේ කියන්න හදන්නේ ඒවැනි 'හිඟෝටු කෑමක්' ගැන නොව අපේ ගෙවල් මණ්ඩියේ පවතින බෙදාහදාගැනීමේ චාරිත්‍රය පිළිබඳවය.
එක දවසක් අපේ ගෙදරට දවල් බත්වේල පහුවී ආ නෑයෙකුට කන්න දෙන්නට බත් ඩිංගක් ගෙදර ඉතුරුව නොතිබීමෙන් ඉතා දුකට පත් අපේ අම්මා එදා ඉඳන් සෑම වේලකටම වැඩිපුර එක් කෙනෙකුට බත්වේලක් ඉව්වාය. අපේ ගෙදරට පිටිං කෙනෙක් එන්නේ එහෙමත් දවසක නිසාත්, එහෙම එන කෙනෙක් උනත් එන්නේ කෑම වේල් මගඇරෙන විදිහට වීමත් නිසා හැමදාම වගේ තුං වේලට බත් වේල් තුනක් ඉතුරු වේ. හැමදාම එහෙම ඉතුරුවන බත් දිනපතා හෙලපල්ලට විසික් කිරීම නිසා ඉතා නුදුරේදීම රත්නෙ බාප්පාගේ කුඹුරද ගොඩවී අපේ ඉඩම පිට්ටනියක් මෙන් විසාල වනු ඇතැයි අපේ තාත්තා කිව්වේය. ඒ වුනත් සිය මතය අත් නොහැරි අපේ අම්මා තවමත් ඒ චාරිත්‍රය නොකඩවා ඉටු කරන්නේ තමුන් ආණ්ඩුවේ චක්‍රලේඛ ගැසීමේ කටයුත්ත බාර ගැනීමට ඉතා ගැළපෙන බව පෙන්වමිනි.
ගැටපොලොස්, කොස්, දෙල්, මසක් මාළුවක්, මයියොක්කා, කෑලෑදෙල් ආදී හැමෝම ප්‍රිය කරන කෑමක් හදනවිට ගොයං කයියකට තරම් ඉවීම අපෙ අම්මාගේ සිරිතය. ඒ විදිහට අපේ ගෙදර කොස් තම්බන්නේ වෙද පප්පාගේ අරිෂ්ඨ කල්දේරමට නොදෙවෙනි වළඳකය. ගැටපොලොස් උයන්නේ එගොඩ මෙගොඩ නොපෙනෙනා කොරහක් විතර ඇතිලියකය. දර හිඟයක් නැති නිසා උදළු මිටි තරං ලොකු දර කෑලි දමා ලිප අවුලන විට කුස්සියේ වහලෙ උඩ වුනත් තියෙන හොද්දක් නටන්නේය. චිමිනි බැඳ නොමැති බැවින් කුස්සියේ පිරෙන දුමින් පෙනහළු පිරී කැස්ස ඇතිවීම අනිවාර්යවේ. ලිපට ඉහලින් බිත්තියේ ඇති කවුලු දෙකක් හරහා කුස්සියෙන් දොට්ට පනින දුම් කඳ 'අකනිට්ටක් බ්‍රහ්ම ලෝකෙට' වෙනකං යන බවත් ඒ හංදා බ්‍රහ්ම ලෝකවල ඉන්නා අයටත් කැස්ස හැදෙන බවත් අපේ තාත්තා කියයි. නමුත් මේ සියල්ල මැද විරාජමානව නොසැලී ඉන්නා අපේ අම්මා පොල්කටු හැඳි දෙකට කැඩෙන තරං හයියෙන් මහා කොස්, දෙල් හැලි කූරුගාමින්ද, සැමවිටම කොනක් ලිපට වැටී ගිනිගන්නා දැලි පාංකඩවලින් ඇතිලිවල කනෙං අල්ලාගෙන ආම්බං කිරීමෙන්ද කුස්සිය පුරා ආදිපත්‍ය පතුරුවමින් හැලි වලං හරඹ කරන අතරේ අපි කුස්සියට යන්නේ වතුර ඩිංගක් නොබීම බැරිකමක් උනොත් පමණි. එහෙම යතත් මම නං "අම්මෙ මං එනෝ" කීමෙන්ද, තාත්තා නං "ඔන්න තමිසෙ ඩිංගක් එහෙට්ට වෙලා ඉන්නොව මට වතුර ඩිංගක් නමාගන්න" යැයි කීමෙන්ද අනතුරු අඟවන්නේ කුස්සිය වසාගෙන ඇති දුම් වලාව අතරේ 'පොග් ලයිට්' නැති අපිව අම්මාගේ ඇඟේ සහ හැලිවලං වල හැපෙන්නටත් වැරදීමකින් කකුල ඉඳුල් වතුර කොරහක එබෙන්නට, පිහියක් උඩ තැබෙන්නත් ඇති අවදානම මගඅරවා ගැනීමටය.
මේ විදිහට හදාගන්නා හැලියක් බිමට බාගත් ගමං අපේ අම්මා කරන්නේ ගෙදර තියෙන තරමක් ඉටි දීසි, බෙලෙක් මැටිකෝප්ප, ආදියට ඒ හැලියේ අඩංගු ජාතිය බෙදීමය. 'බොරලුගොඩගේ දවල් කෑම පාර්සලය' බෙදීම සිහිකරමින් හැන්දේ නොපිටින් තද කරමින් අඟල නූලට තද කරමින් භාජනවලට අපේ අම්මා බෙදන බෙදිල්ල දකිනා විට 'win zip' වැනි මෘදුකාංග වලින් කෙරෙන්නේ මොන බම්බුවක්දැයි සිතෙන්නේය. මේ බෙදිල්ලේ කෙලවර ඇත්තේ මගේ නමය.
"ළමෙයෝ, මේ ටික ගිහිං දියං උඹලෑ නැංදලෑ දිහාට. පීසේන මල්ලියාසයි කොහ්කන්න. ගිහිං දියම්පුතේ මේටික විජහට"
මේ කියන්නේ අපේ 'දැතිහුලහ නැංදා'ගේ නිවස ගැන බව දත යුතුය. දුං දමන කොස් බෙදූ බෙලෙක් මැටිකෝප්පයක් අතිං තියා අඬුවකිංවත් අල්ලන්නට අමාරු බව සයිවර් කඩ වලින් බෙලෙක් කෝප්පවල ප්ලේන්ටි බිවූ අය දනිති. එබැවින් මම වැඩේට අදිමදි කරමි.
"ඕක නිවුනහං ගිනියන්නං. තාම පිච්චෙනව. කිට්ටු කොරන්න බෑ."
"ඕ හැටි පිච්චෙන්නෑ. මේ බලහං මං අල්ලන්නෙ. රහ්නෙ පිටිං ගිහිං දියං නැහ්නං නිමුනහං කන්න බෑනෙයැ."
අන්තිමට අම්මා කොත නොපැළඳූ චෛත්‍යයක් වැනි කොස් කන්දක් පිරවූ, ඉස්තිරික්කයක් මෙන් රත්වුන, බෙලෙක් මැටිකෝප්පය විජය පත්තර පළුවකිං වසා මගෙ අතට දෙන්නේ "හිමීට පලෙයං" කියමිනි. තප්පර පහෙන් අත ගිනියං වන බැවින් මේ භාජනය 'හෝ දහය විස්ස' කියන වෙගෙං අතින් අතට මාරු කළ යුතුය. ඒ නිසා ටෝච්චෙක පත්තුකර උරෙස්සටත් බෙල්ලටත් හිරවන පරිදි තබා ගැනීමෙන් අත් දෙකෙං එකක් නිතරම නිදහස්ව තැබිය යුතුය. ඒත් මේ භාජනය අපේ ගෙදරිං පහල ඇති කරාබු ගහේ කරුවකත්, අපේ වත්ත මායිමේ ඇති අරලිය ගහේ දෙබලකත්, නැන්දලාගේ ගෙදර පහල ඇති නාරං ගහේ අත්තක් කැපූ තැනක බිලයක කටේත් තබා වරිං වර අත් දෙකම නිමාගත යුතුය. නැන්දලාගේ වත්ත පාමුලදීම
"චූටී දොර ඇරපාං.... මේසෙ උඩ අස්කොරල තියහාං.. බිංදුවව අල්ල ගනිං... නැහ්නං ඕක මගේ කරේ නගී"
කියා කෑ ගහගෙනම මාර්ගය ඉඩ ලබාගත යුතුය. නැතිනම් නැංදා දොර අරින තෙක් භාජනය දොරකොට බිම තැබීමට සිදුවන අතර බිංදුවාගේ හොස්ස ඒ අස්සේ රිංගන්නටද පුළුවන. අන්තිමට නාරං ගහේ බිලයේ කටින් මගේ අතට ගන්නා මැටිකෝප්පය නැන්දලාගේ ගෙදර මේසය උඩට දමා අත් දෙකට පිඹ ගනිමින්
"කොස්ඩිංගක් ගෙනාවා"
කියා කරේ තිබුණ ටෝච්චෙක අතට ගන්නට මට පුළුවන.
මගේ ගමන් මග |
සමහර දවස්වලට චන්දරේ මාමලෑ ගෙදර, සුනිල් මාමලෑ ගෙදර, කරුණෙ මාමලෑ ගෙදර ආදී ගෙවල්වලටත් මේ ගමනම යන්නට මට සිදුවෙයි. යන ගමන් අත පිච්චෙන නිසා පිඹගෙන ගියත් ආපසු එන විට ලොකු ගස්, ආතගේ සොහොනට හැරෙන තැන, හුළඟට හෙලවෙන කෙහෙල් අතු ආදිය නිසා මම එන්නේ බිම බලාගෙනය. වරක් දෙවරක් වවුලන්ට, පඳුරු අස්සේ සිට පැන දුවන හාවුන්ට, බල්ලන්ට ආදීන්ට බයවීම නිසා 'පීටර ආතා' ගෙන්වාගෙන මට තෙල් මතුරවන්නටද අපේ අම්මාට සිදුවිය.
මස්, මාලු ආදී 'පිලී' ජාති උයා ලිපෙන් බාගත් ගමං හොද්දෙං ටිකක් අරගෙන කුස්සියෙන් දොට්ට විසිකරන්නේත්, එව්වා තවත් ගෙදරකට ගෙනියන අවස්ථා වලදී ඒ භාජනය සමග අඟුරු කෑල්ලක්, යකඩ ඇනයක්, පිහියක් වැනි දෙයක් අරගෙන යන්නේ යක්කු, පෙරේතයන්ගේ බැල්ම වලක්වා ගැනීමටය. මදි නොවෙන්න බෙදනා නිසා හොද්ද භාජනයේ කට ගාවටම පුරවා ඇත. එවිට හොද්ද කැලැත්තෙන්නේ නැතිවෙන්නත්, භාජනයේ කට හොදිවල මතුපිට පෘෂ්ඨයට සමාන්තරවත් තබාගන්නට වන්නේය. නැත්තං හොද්ද අල්ල උඩ හලාගෙන බෝනස් පිලිස්සීමක්ද ලබන්නට හැකිවේ. සමහර දවස්වලට එවැනි 'පිලී ජාති' ගෙනගිය විට ඒ ගෙදර කෙනක් මාව ආපහු මගක් දුරට ගෙනත් අල්ලන්නේත් තමුන්ට 'හොද්ද කන්න' නොදුන් කොල්ලාව බය කිරීමට බලා සිිටිනා එවැනි අමනුස්සයින්ගෙන් මාව බේරාගැනීමටය. කුණුහරප කීමෙන් සහ හෙලුමෙං සිටීමෙන්ද යක්කු බය කර එළවන්නට පුළුවන. සරම ඔසවා 'එක පුලියේ' ක්‍රමය අනුගමනය කරමින් මහසෝනාද බය කිරීමට 'ගුනොවද්දන මාමාට' හැකිවී තිබේ.
සමහර වටිනා කෑම ජාති එහෙම හැමෝටම ගෙනිහිං දෙන්නට තරම් මදිවන්නේය. එවිට ඒවා යැවෙන්නේ අපටත් තමුංගෙ ගෙදර හදන හැම දෙයක්ම දෙන ගෙදරකට දෙකකට විතරය. එදාට අනෙක් ගෙවල් මගහැර අදාල ගෙදරටම යන්නට වෙනත් අවශේෂ මාර්ග අනුගමනය කරන්නට වන්නේය. උදාහරණයක් ලෙස කියතොත් නැංදාගේ ගෙදරට නොදී සුනිල් මාමලෑ ගෙදරට යමක් ගෙනියන්නේ නම් වෙනදාට නැන්දලාගේ ගෙදර මිදුල උඩින් යන පාර අනුගමනය කළ නොහැක. හැතැක්මක් දුර තියා වුවත් බිංදුවා මාව අඳුරා ගන්නා බැවින් උගේ හිතවත්කමිං බේරී සද්ද නොකර යන්නට බැරිය. බිංදුවාගෙන් බේරුනත් නැංදලාගේ මිදුලේ සිට සුනිල් මාමලාගේ මිදුලට ගොඩවෙන්නට අඩි පාර ඇත්තේ තේ යායක් මැදින් නිසා තේ ගස් ඇඟේ වදින සද්දය මාගලක් බිමදිගේ ඇදගෙන යනවා වැනි සද්දයක් ඇසේ. එවිට නැංදා 'හොරු එනවාදැයි' බලන්නට බැටලියත් එලිය කරගෙන මිදුලට පනී. එවැනි දවස්වලට චන්දරේ මාමාගේ කුඹුරේ නියරක් දිගේ කරුවලේම ගොස් කුරුඳු ගාලක් මැදිං යන්නට මට සිදුවේ.
මේ ලෙසට මට කරදරයක් නැත්තේ අල්ලපු ගෙදර ඉන්නා *** අයියාගෙන් පමණි. අපේ කුස්සියෙන් විහිදෙන සුගන්ධයෙන් ලිප උඩ අවීචියේ පැහෙන්නාක් මෙන් පැහෙන්නේ මොකක්දැයි කීමේ *** අයියාගේ හැකියාව ෂර්ලොක් හෝම්ස්ගේ දුංකොළ පිළිබඳ දැනුම පරදවයි. හරියටම හොද්ද බාන වෙලාවට සරමත් දෙකට නවාගෙන අතකින් පිඟානකුත් අරගෙන මායිමේ ගල්වැටියෙන් පැන අපේ් කුස්සියට ගොඩවෙන *** අයියා
"නැංදෙ මටත් ඩිංගක් දෙන්නකො"
කියා ඉල්ලන්නේය.
"***පුතේ මං දැං මේ එහෙටත් ගෙනියන්න තමා හැදුවෙ. පුතා කන්න මේ බතුත් තියෙන්නෙ. මං ළමයින්ට ගිනියන්න බෙදා දෙන්නං"
කියා අපේ අම්මා *** අයියාගේ කුස පුරවන්නේය. *** අයියාට තමුන් දෙදරු පියෙක් බව මතක් වන්නේ බඩ පිරුණු පසුය.
මෙලෙස අනෙක් ගෙවල්වලට අපේ ගෙදරින් ගෙනයන දීසි, මැටිකෝප්ප ආදිය එවෙලේම හිස්කර හිස් භාජනය මගේ අතට දීම සිරිත නොවන්නේය. ඒ භාජනය ආපසු අපේ ගෙදරට එන්නේද එවැනිම කෑමක් පුරවාගෙනය. බොහෝවිට සිදුවන්නේ එවැනිම විශේෂ කෑමක් ඒ නිවසේ හැදූ පසුව අපේ ගෙදරටත් ගෙනැවිත් දී හිලව් කරගැනීමය. මේ ලෙසට බෙදහෙදාගෙන කෑම අපේ ගෙවල් මණ්ඩියේ චාරිත්‍රයක් නමුත් එක ගෙදරකට හොරෙන් අනෙක් ගෙදරට ගෙනගොස් දුන් දෙයක් පිළිබඳව පසුව ආරංචි වීමෙන් හොඳ හිත පළුදුවන අවස්ථාද විරල නොවේ.
මේ ආකාරයට තමුංගේ ගෙදරට අවට ගෙවල්වලින් 'එක එක ජාති' ගෙනා පිඟන් තමුන්ගේ කුස්සියේ මේසයක් උඩ හිඳ හූල්ලනු දකින අපේ 'දැතිහුලහ නැංදාට' "මාත් මොනව හරි හදන්න ඕනෑ" යයි සිතේ. නමුත් උප්පත්තියෙන්ම සෑම දෙයකම වලිගයෙන් අල්ලා ගැනීමේ සහජ හැකියාවක් ඇති නිසා උන්දෑ හිතන්නේ අසල්වැසියෝ තමුන්ට ගෙනැත් දෙන්නේ ගෙදර වැඩියෙන් උයාගන කාගත නොහැකිව ඉතුරුවන දෙයක් බවයි. එනිසා උන්දෑත් එවැනි දෙයක් උයා මේසෙ උඩට වී හූල්ලන පිඟන් හමුදාවගේ අප්පල්ල වැනි බඩවල් පුරවා ආපසු පලවා හැරීමට ඉටා ගත්තී ඒ අදහස ක්‍රියාත්මක කලාය. සෙනසුරාදා පොලේ ලාබෙටම තිබූ ජාතියෙන් කිලෝ එකක්ම ගෙනාවාය.
"පොඩි බඩුවක් ගෙනාවා ඉව්වහං එවන්නංකෝ"
කියා අපේ ගෙදර තිබූ ගැරුං වට්ටියක් තරම් විශාල ඇතිලියක්ද ඉල්ලා ගත්තාය.
"මැණිකා අද මොනවහරි හදනවා. අපිටක් ගේනව කිව්වා. එතකං ඉන්නවකො බත්කන්න"
කියා අම්මා අපේ බත් කෑමද පරක්කු කලාය. නමුත් බඩ පනුවන් බඩවැල් අවහිර කර, ටයර් පුච්චා, උද්ගෝෂණය කරන්නට වූ බැවින් පිඟානක් පුරවා බත් හමුදාවක් යවා එය සාමකාමීව විසුරුවා හරින්නට අපට සිදුවූ අතර, නැංදාගේ 'පොඩි බඩුවක්' නැමැති කෑම හෙට ලැබේයැයි හිතා නිංදට වැටුනෙමු. මට නිංද ගිය පසුව, අපේ අම්මා පළවෙනි හීනය දැක බයවුනාටත් පසුව, ඇසුන නැංදාගේ කටහඬින් අපි දොරපොලු අතට ගත්තෙමු. දෙගොඩ හරි ජාමෙට ගෙවල්වලට එන්නේ හොරු බව අපි දනිමු.
"මං මං මේ මං ලොකු අයියෙ... අපි මේ පොඩි බඩ්ඩක් ඉවුවා. මෙහෙටත් ගෙනාව ඩිංගක්"
හීන තටාකෙට මූන ඔබාගෙන සිටි මම කුප්පියක් පත්තුකරන විට නැංදා අපේ ගෙදරින් නැංදලාගේ ගෙදරට 'කෑම' ගෙනගිය මැටිකෝප්පයක් තවත් එවැනිම සංචාරයක යෙදුනු ඉටි භාජනයකිං වසා ගෙනැවිත් අපේ මේසය උඩ තබා තිබුණාය.
"කන්න... කන්න දැංම හීතල වෙයි නැහ්නං. මංඥනව තව කරුනයියලෑ ගෙදෙට්ටයි, චන්දරෙ අයියෑ ගෙදෙට්ටයිත් ගෙනියන්න එපෑ. අැතිලිය හෙට ගෙනැත් දෙන්නං"
කියා නැංදා යන්නට ගියාය. අඩ නින්දේ සිටි අම්මාද, තාත්තාද, මමද ඒ දෙසවත් නොබලා නිදා ගත්තෙමු. නැංදා ගෙනා කෑම මොකක්දැයි බැලුවේ පහුවදාය.
අපේ ගෙදර වේලක් උයා අහවර වන විට ඉඳුල්වතුර කොරහේ ඉතුරුවන ද්‍රාවණය බඳු දෙයක් මැටිකෝප්පය පුරවා තිබුනේය. හැංදක් දමා කාල්ගෑමෙන් පසු එහි තිබී වැටකොලු කෑලිද අසුවූ බැවින් එය නැංදා විසින් සාදන ලද වැටකොළු හොද්දක් බව අපි දැනගත්තෙමු. නැංදා සෙනසුරාදා පොලෙන් වැටකොලු කිලෝ එකක්ම ගෙනා බව පසුව අපි දැනගත්තෙමු. නැංදාගේ වැටකොලු හොද්ද අපි එකහෙලාම වර්ජනය කළ නමුත්
"කවුරුවක් ගෙනත් දුන්නහං පොඩ්ඩක් හරි කන්න ඕනි. නැත්තං හරිනෑ. ගෙනා කෙනාගෙ හිත සවුත්තු වේනන පුලුවං"
කියා සිය උදෑසන ආහාරයට නැංදාගේ වැටකොලු හොද්ද එකතුකර ගැනීමට අපේ අම්මා ක්‍රියාකලාය. එදා හවසට අම්මාට කිරිමරාජ පැකැට්ටෙකක් ගෙනත් දීමට අවශ්‍ය විය හැකි බව තාත්තාගේ නිගමනය විය.
//කුස්සිය වසාගෙන ඇති දුම් වලාව අතරේ 'පොග් ලයිට්' නැති අපිව අම්මාගේ ඇඟේ සහ හැලිවලං වල හැපෙන්නටත් වැරදීමකින් කකුල ඉඳුල් වතුර කොරහක එබෙන්නට, පිහියක් උඩ තැබෙන්නත් ඇති අවදානම මගඅරවා ගැනීමටය.// හෙනහුරදා දවසේ මූණේ හිනාවක් පැළන්දුවට ශ්‍රන්ගට පිං. අම්ම හොඳ කරුණාවන්ත බෙදා හදාගෙන කන කෙනෙක්. කොච්චර හොඳද. අපේනම් සිංහල අවුරුද්දට තමා කෑම බෙදුවේ.
ReplyDeleteඔතන ෙබදාහාදාගැනීම වෙග්ම තමයි ෙපාඩ්ෙඩන් ගහමරා ගැනීමත්. කෙස් ගහේ වෙනස. කෙසේදයත්, අවුරුද්දෙං බාගයක් වගේ තමයි අපි අසල්වැසි අයගෙන් කොටසක් සමග මාස 6ක් හොඳින් ඉන්නවා අනික් කොටස සමග තරහයි. ඊළඟට තරහ අය හොඳ වෙලා හොඳ අය තරහ වෙනවා. ඒකත් වෙනම දෙයක්.
Deleteඅපේ ගෙදරයි පල්ලැහැ ගෙදර ( ජේන් අක්කලා ) ගෙදරයි අතරත් ඔය මාළු පිණි හුවමාරුව ජයටම කෙරුණා . ජේන් අක්කා උයන අලකොළ , අබ, සුදුලුනු දම තෙලෙන් තෙම්පරාදු කර උයන කොස් එක එහෙම මගේ ප්‍රියතම කෑම. අපේ අම්මා මාලූ දීසිය වහලා දෙන කෙසෙල් කොලේ උඩ තියන්නේ අඟුරු කෑල්ලක් (යක්කු එලවන්න) ජේන් අක්කා පොඩි යකඩ ඇන කෑල්ලක් තියෙනවා. මොනවා තිබ්බත් එමින් ගමන් දිසියේ තියෙන කොස් ඇටේකට දෙකකට වැඩේ දෙන එක මගේ සිරිතක්. හරි ජොලි කාලේ අප්පා ..
ReplyDeleteදැනුත් ජේන් අක්කලෑ ගෙදරින් කෑම එවන්න කෙනෙක් නැතුව උන්දැම ගෙනැත් දෙනව ඇති. ඉං පස්සෙ අම්මත් එක්ක කියනව ඇති “මල්ලි හිටිය කාලෙක උනානං ඔහෙක් කරද්දි අපේ ගෙදෙට්ට ඇවිල්ල මේක ගෙනැත් ඉවරයි“ කියල.
Deleteසිතියමේ විදියට රවුමේ යන්නේ ඇයි? කෙලින්ම ගියා නම් වෙලාව ඉතුරු වෙනවනේ. හම්බවෙන යක්කු ගානත් අඩුවෙනවා.:P
ReplyDeleteගෙවල් පහක් කතාවෙලා එක ගෙදරක එක මාලුව ගානේ උයාගත්තානම්, හැමදාම රෑට මාලු පහක් එක්ක බත් කන්න තිබ්බා.
ඉරිදා උදේම හරියට බඩගිනි දැනුනා.:(
අන්න මමත් හිතුව ඕක. මේකා කරන්නෙත් සිතියම් සම්බන්ධ වෙන රස්සාවක් මයෙහිතේ. කොප්ප ගහලද කොහෙද විබාග පාස්වෙලා, දැන් නිකං මේ වගේ සිතියං කෑල්ලක්වත් ඇඳගන්ඩ බෑ. (හිටං)
Deleteමං හිතන්නෙ ශ්‍රංගයගෙ අම්මට රත්නෙ බාප්පාගේ කුඹුර ගොඩකරන්න තාම පුලුවං වෙලා නෑ.
Deleteගෙවල් දිහා බලන්න.. ඔය ඇඳල තියෙන්නේ පැති පෙනුම (side elevation)
DeletePlan view නම් වහල විතරක් කොටුවක් වගේ පේන්න එපැයි.
සුරංග ගේ සිතියම් දැනුම හොඳයි :)
මෙඩුසා,
Deleteමේ තමයි හරස්කඩ. අපේ ගෙදර ඉඳං පල්ලම බැහැගෙන ඇවිත් කුඹුරෙන් එගොඩවෙලා නැ‘දලගෙ ගෙදරට යාම.
පෙසන්නයියා,
නෑ බං ගිලා බහිනවා. යටිං තලප මීයො හාරනවනෙ.
මානවිකා අක්කේ,
අනේ මාව බේරගත්තාට පිංසිද්ද වෙනවා.
විචාරක මාමණ්ඩි,
Deleteඅනේ ඉතිං ඔහොම කිව්වනුයි මට මතක් උනේ. අපි රස්සාවට බැඳිච්ච අලුත අපිට දුන්නු ලෙච්චර් වල හැටියට අපේ හැමෝම හිතං උන්නෙ අපි ඇන්ද සිතියං ටික නැත්තං හමුදාවෙ අයට යාපනේ තියෙන්නෙ කොහෙද කියලවත් හොයාගන්න බෑ කියලනෙ. ඕං ඉතිං යුද්දෙ අහවර උන අලුත අපේ එවුං ටික ගියා යාපනේ. යුද්දෙ අහවර වෙලා තුවක්කු බට නිවුනා ඉතරයි. ඔන්න මුර කපොල්ලකදි අපේ එකීලව බයිට් එකට ගත්තලු හමුදාවෙ කොල්ලො ටික. අපේ එකීලත් නිකා ඉඳල නෑ. උනුත් පුරාජේරුව කිව්වලු.
“හුහ් අපේ මැප්ස් ටිකයි ග්‍රිඩ්ස් ටිකයි නැත්නම් ඔයාල වෝ එක කරල හමාරයි“
ආමි එකේ කොල්ලන් සැට්ටෙක
“ආ.... ඒක තමා මේ අපේ ආටි මන්නාරමට ගැහුවම බොම්බායට වැටෙන්නෙ“
ඒ හමුදාවේ කොල්ලන් සැට්ටෙකට මගේ උත්තමාචාරය.
මමත් උබ වගේ ෆුඩ් ඩිලිවරි කොරල තියෙනව පොඩි කාලෙ. මටනං එපාම කල වැඩක්.
ReplyDeleteගිය අවුරුද්දෙ නම් අවුරුද්දක් විතර හංගේරි කෙල්ලෙක් එක්ක සිංහල කෑම ඒකිටත් ඒකිගේ හංගේරි කෑම මටත් සම සමව කන්ට ලැබුන.
සමහරක් කෑම කන්ටම බැරි උනත් මට තියෙන සුන්දර ගතියක් වෙන කියන්ට ඕන දේ මූණටම කියන එකත් අහගෙන ඊට පහුවදාට මට හම්බෙන්නේ බ්‍රෙක්ෆස්ට් ලන්ච් ඩිනර් තුනම වෙන වෙනම පෙට්ටි වලට දාල.
ටික කාලයක් මගේ කෑම කාල පැය බාගයක් විතර දැවිල්ලට අඬන නිසා මේකි දැම්ම නමක් "ටිකී'ස් ක්‍රයින් ෆුඩ්ස්" කියල.
දවසක් මේකි එයාලගෙ ගෙදර ඩිනර් එකට එන්න කියල ගිහිල්ල කන්ට වාඩි වෙලා බලනකොට මේ ගෑනිගේ මිනිහ එක සැරේ මේසේ ඕපන් කරල කියපි "මේ බලපන් අද උබට කන්න තියෙන්නේ හංගේරියන් ක්‍රමයට හදපු ශ්‍රී ලංකන් රයිස් ඇන්ඩ් චිකන්" කියල.. 😂😂😂
ඔය හංගේරියාවෙ මිනිස්සු බඩගින්න පෙරටු කරගත් ජාතියක් වෙන්ට ඕනෑ. රටේ නම තියෙන්නෙම හංග්රි කියලනෙ. ඉතිං සැරට දීලවත් බඩගින්න මට්ටු කරන්න හදන්නැති.
Deleteඔය කෑම බෙදාහැරීම සඳහා අපේ ගෙදර වැඩියෙම්ම පාවිච්චිකොළේ මඩක්කු.
ReplyDelete1969 දී, මගේ බාප්පාගේ පුතා, සල්ලි කරුමයක් සඳහා කොළඹ මහ රෝහලේ නැවැත්තුවා. (සල්ලි කරුමය කොළේ අද සු/කු/ප්‍රසිද්ද අජිත් නිවාඩ් කබ්රාල් උන්නැහේගේ පප්පා වන, සල්ලි වයිද්දිය කබ්රාල් උන්නැහේ) පිටකෝට්ටේ ඉඳලා ඇස්වාට්ටුවට එක බස්සෙකෙන්, කෑම එකක් අරගෙන මම යනවා. නමුත් මගේ අක්කගේ නැන්දම්මා තුමිය (ඒ පවුලේ අය අඟහරුවාදා සිකුරාදා නාන්නේ නැහැ) ඒ බත් එකටත් අඟුරු කෑල්ලක් තියලා බඳිනවා. දවසක් ඉස්පිටිතාලේදී අර අයිය බත් එක ලිහුවම, ඒ අඟුරු කෑල්ල දැක්ක තව ලෙඩෙක්, හානේ මමත් අඟුරු කෑල්ලක් හොයා හොයා හිටියේ දත් මැදගන්න කියලා ඒක ගත්තා.
අඟුරු කෑල්ලක් තැබීමෙන්, ආහාර වලින් නිකුත්වන විවිධ වායු වර්ග උරාගෙන, ආහාර පිලුනුවීමේ වේගය අඩාල කරනවලු නේද?
මැටි කෝප්පෙට මඩක්කුව කියල කියන්නෙ මම දන්න විදියට කෑගල්ල පැත්තෙ විතරයි , මම හරිද විචා.
Deleteඔව් ඇනෝ. එහෙම වෙන්න පුළුවන්. මමත් කෑගල්ලේ මිනිහෙක්නේ. ඔය භාජනයට වැලිමඩ පැත්තේ කියන්නේ අඩි වළඳ. තව පැතිවල තවත් යෙදුම් ඇති.
Deleteඅඟුරු කෑල්ලේ සිස්ටම් එක ඒ දවස්වල ගෙදරකින් තව කෙනෙකුට දෙන "ටේක් අවේ" හරි "හෝම් ඩිලිවරි" වලදිද
Deleteවුන බව මටත් මතකයි අඟුරු කැල්ල තිබ්බේ කෑම එක අරන් යනකොට මළ පෙරේතයින්ගේ ඇහැ නොගැටෙන්න කියලා අපේ ගමේ ආච්චි කියනවා. අමතක වුනොත් ඒ බත් එක කන්න එපා කියලා පනිවිඩය කියන්න තව කෙනෙකුට යන්න වෙනවා. පව් ඒ මිනිස්සු හරිම සුන්දරයි. ඒ වගේම ලිඳක් කැපුවාම හරි ලිඳ සුද්ධ කිරීමේ මහා කර්තව්‍යය ඉවරවුනාම, අලුත් වතුරට අඟුරු කැට කීපයකුයි, වතුසුද්ද මල් අහුරකුයි දානවා.
දර අඟුරු කියන්නෙ නියම ටූප්පේස්ට් එකක්නෙ. ඉස්සර මාත් දත් මැද්දෙ ඒවයිං. විචාරක මාමේ ඔය අඟුරු හිංදා කෑම වල තියෙන විෂ වායු අයිං වෙන කතන්දරේ කිව්වෙ දොරමඩලාවෙ හරි ඒ වගේ වෙනත් විද්වත් සභාවකදි හරිද? ඔය මඩක්කුව කියන කතාව මං අහල තියෙන්නෙ ඉස්සර සිංහල පොතේ තිවුන මුදලිහාමිගෙ කතාවෙංද කොහෙද? මඩක්කුව කියන්නෙ මැටිකෝප්පෙට තමයි ඔන්න.
Deleteඅරුණ මහතා,
අඟුරු වලින් වතුර පිරිසිදු කිරීමක් නං වෙනව ඇති. දැං තියෙන වතුර පිල්ටරවල යටිපැත්තෙ තියෙන ‘ඇට බෝල සැට්ටෙකෙත්‘ අඟුරු කැට තියෙනවනෙ. ලිං සුද්ධ කෙරුවාව නං වෙනමම වැඩක් තමයි. ලිඳේ ඉන්න මාලු ටික වෙනම බේසං වලට අරං තියාගන්න ඕනිනෙ, ලිඳ පිරුනහං ලිඳට දාන්න.
අම්මෝ ඔය කෑම ඩිලිවර් කරන වැඩේ මට නම් එපාම කරපු රාජකාරියක්.
ReplyDeleteහොද්ද zip කරන කතාවටයි, කුස්සියට යන්ඩ ෆොග් ලයිට් දාන්නෝනැ කතාවටයි තමා වැඩිපුරම හිනා ගියේ!!!
අනේ අප්පේ දැක්ක කල්. මෙතෙක් කලක් කොහෙද හිටියේ?
Deleteමචං උඹ මොහාන් රාජ් වගේ පොරක් නේ බන්.. හැම තැනම මැජිකල් රියැලිසම්...පට්ටයි.
ReplyDeleteකොච්චි මිරිස් බලල ආවෙ. අද අඳුර ගත්තේ.
Deleteගාන්ධර්වයො, උඹලැ තාත්ත මාර හාස්ය රසයක් තියෙන පොරක්නෙ. අපේ තාත්තත් ඔය වගේ. දවසක් අපේ අම්ම හදපු ප්ලේන්ටියක් බීල, තාත්ත ඉන්නව මොකවත් කියන් නැතුව. සීනි වැඩිකමට තොල් ඇලිල...
ReplyDeleteදවසේ කමෙන්ට් එක දැති හුලහ
Deleteඔපිසර හාන්දුරුවන්ට තිවුනෙ ලොකු ඔපිසර හාන්දුරුවංට හොස්ස කූඹි ගුලක් ගාවට යහපත් කරන්ඩ කියන්න.
Deleteයකෝ උඹේ උපමා ටික කියෙවුවට පස්සෙ එන හිනාව නවත්තගන්න සෑහෙන ට්‍රයි එකක් දෙන්න උනා.
ReplyDeleteඔය ෆුඩ් ට්‍රාන්ෆර් වැඩේ මේ පැත්තෙ කෙරුනම උනත් ඒ ගෙනාපු බාජන සමහර වෙලාවට මාස ගානක් ඔය කොහේ හරි පැලවෙලා තියෙනව.
බලාගෙන යනකොට වින්සිප් හොයාගෙන තියෙන්නෙත් හෙලයෙක් වෙන උඹලයි අම්ම. ආඩම්බරයිනං සෙයා කරන්න. හැක්..
තෝ කොහෙ මකබෑවුනාද නයෝ?
Deleteකොහේ මකබෑවෙන්නද දැති හුලහො. ඔය ඉන්නෙ.
Deleteඑහෙම ගිය බාජන සමහර වෙලාවක වෙනිං ගෙවල් වලිං තමයි ලැබෙන්නෙ. අපෙ ඔපිස් එකේ එකෙග්ගෙ තාත්ත තමයි බත්මුල හරියටම ZIP කරන්නෙ. සබන් කැටෙයක් ඉතර බත්මුල දිගෑරියම බ්ලොග්ගලක් විතර ලොකුයි.
Deleteඅපේ අම්ම මොනව හරි ඉව්වහම කණක් ඇහිල ඉන්ඩ නෑ ඒක එයාගෙ අම්ම උයන හැටි, ලොකු අක්ක උයන හැටි, එයා ඒ ගොල්ලංගෙං උයන්ඩ ඉගෙන ගත්ත හැටි වගේ විස්තර වලිං අපේ කන් පුරෝනව. දවසක් ඔය වගේ වෙලාවක අපේ තාත්ත කතාවක් කියන්ඩ පටං ගත්ත.
ReplyDeleteඕං එක ගමක ගමරාළ කෙනෙක් හිටිය. එයා හේනට ගිහිං වැඩ කරද්දි දවල් කෑම එක අරං හාමිනේ ආව. ඉතිං ගමරාළත් කන්ඩ පටං ගත්ත.
හාමිනේ හදාගෙන ඇවිත් තිබ්බ, කැකිරි මාලුවක්. ගමය කන අතරෙ හාමිනේ කියනව, "ඔය විදියට කැකිරි උයන්ඩ මං ඉගනගත්තෙ අපේ අම්මගෙං... එයා ඔයිටත් වඩා රසට උයනව. අපේ නංගිල එකෙජ්වත් අම්මගෙං ඒක ඉගන ගත්තෙ නෑ..." ඔය වගේ විස්තර.
ගමෙය බත් එක බිමිං තියල, හේනෙ තිබ්බ ගහකට නැග්ගලු. නැගල, හයියෙං කෑගහල කියනවලු,
"කැකිරි මාලුව හොදා.....යි. කැකිරි මාලුව හොදා....යි..."
ෂුවර් නේද 'කි' යන්න කිවුවයි කියල.
Deleteඒ මාලුව ගැන අහන්ඩ තියෙන්නෙ දේශකයගෙං තමා
Deleteමිස්ටර් වැම්පයර් නරකද ආයෙ කතා මල්ල පොලොවේ ගැහැව්වනම්. හෙණද මං අහන්නෙ මෙතන පොඩි පොඩි කතා කියන්නෙ? අපි කියවන්නෙ නෑ කියලා හිතුවද?
Deleteඩ්‍රැකී ආපහු පටන් ගන්න. අපිත් ආසාවෙන් කියෙව්ව බ්ලොග් එකක්.
Deleteඅපේ ගෙදර නං එව්වට එකම උත්තරයයි ලැබෙන්නෙ.
Delete“ඉස්සර අපෙයම්ම උයනව මීස්සොදි යස මහිමට“
“හ්ම්“
“අපෙ ලොක්නංගිටප්පුලුවං එහෙම්ම ඒ ඉදිහටම“
“හ්ක්ං“
“ගමේ නංගිත් දන්නව ෂෝක්කේටක් කැහ්ක් කැහ්ක්.... කැහ් කැහ් කැහ්...කෑඈක්... ඔය වදුල ඩිග්ගද්දියග් බට ක්කැහ්ක් කැහ්ක්“
“ඕක තමා කිව්වෙ තමිසෙට කටවහං කන්න කියල“
ඉවරයි.
Aru & suji,
Deleteමොකෝ නොලිය? තාම ලියනව මාසෙකට එකක් විතර. බ්ලොගට රී ඩිරෙක්ෂන් ගෙවලයෙක් වැහිල මේ දවස්වල, එලෝගන්ඩ තොයිලෙයක් නටනව.
උඹ අර අන්තිමට ලියල තියෙන්නෙ කුනුහබ්බ අයිය කියල, එහා ගෙදර සුගතෙයට නේද?
ReplyDeleteඒ කොහොමෙයි ඌ ගැන මං ලිව්වද කලිං.
Deleteබඩ පිරෙනවා ඕයි මේක කියෙව්වහං...............
ReplyDeleteඑහෙනං තව පාරක් කියෝල රෑට කන්නැතුව බුදියගනිං. හැක්..
Deleteබ්ලොග්ගෙක කන්නද හදන්නෙ?
Deleteමටත් පොඩ්ඩ බැරිවෙනකොට කැස්ස හැදෙනව බං. විශේෂයෙන්ම දුමට. මට උඹේ මුල් ඡේද කියවලා කැස්ස හැදුනයි කියහංකෝ.
ReplyDeleteවතූ ඩිංගබ්බොන්න....
Deleteනියමයි සුරංග
ReplyDeleteඔතන හැලප සහ සීනි පිට්ටු අඩුයි.
Deleteමගෙ යාලුවෙක් බෙදාගෙන කාල තනියෙම මලා.
ReplyDeleteඅපරාදෙ. බෙදපු එවුන් ටිකත් අරගෙනම යන්නයි තිබුණෙ.
Deleteමැරෙන්න තිබ්බෙත් බෙදාගෙන. එතකොට හැබැයි අංසබාගෙ වගේ වෙයි නේද?
Deleteමේක කියවලා බඩගින්නකුත් ආවා... අපේ ගෙවල්වලත් තාම මේක කරනවා.. හරි ශෝක් වැඩේ....
ReplyDeleteවැටකොලු හොද්දට ඔය තරං ආසද?
Deleteහප්පේ.. මේක නං. අපේ ගෙදරට වම් පැත්තේ ගෙදර පොල් ගාල , ගාපු පොල් එක බල්ලොයි කපුටෝයි කාලා යනවා මම දැකල තියෙන හින්ද ඒ ගෙයින් මොකක් ආවත් කන්නේ අපේ ගෙදර බලුස් විතරයි.
ReplyDeleteනැංදලගෙ ගෙදරින් ගේන ඒව බල්ලං බලලුං කන්නෙත් නෑ. පහත් බිම් සංවර්ධනයට විතරයි ගන්නෙ.
Deleteඅදටත් අපේ අම්මගේ මේ සිරිත තියෙනවා. හොඳ දෙයක් ඉව්වොත් අඩුම තරමේ අල්ලපු ගෙදරටවත් ගිහින් දෙන්න ඕන.
ReplyDeleteඒක ඉතිං ඒ පරපුරෙං ඉවර වෙයි වගේ. මාත් කාලයක් අවට ක්වාටස් වලට එහෙම දුන්නා. දැං වටේ එවුං තරහයි.
Deleteඒ මොකද බං වටේ උන් තරහ කරගත්තෙ. ගෑණු ගෑණු කේස් එකක්වත්ද?
Deleteතව පොඩ්ඩෙන් හිනාව ඉස්පොල්ලේ යනවා...
ReplyDeleteමරු මචං...
එහෙම ගියොත් පිට කොන්දට ඔරවන්න ඕනෑ.
Deleteකැලෑදෙල් රෙසිපීස් මොනවද?
ReplyDeleteමං නං කාල ඇත්තේ මාළුව ඉතරයි. කැලෑ දෙල් ඇට පුච්චලත් කෑහැකි. වායු විමෝචනය ඉතාමත් අධික වෙනවා. සුගන්ධවත් වෙනවා.
Deleteකැලෑ දෙල් මාලුව හදන හැටි ලියන්න පුලුවන් ද... පින්තූර සමග... දෙල් ගෙඩියේ සහ උයන්න ගන්න කෑලි වල ...
Deleteහිනස්සලා ඒමදිවට බඩගිත් වැඩි කරන්ඩ එපා යකෝ.
ReplyDeleteමෙව්වටත් හිනා යනවද මද්දයියෙ. කෑමක් පිංතුරයක්වත් නැතුව බඩගිනිත් වෙනවද?
Deleteයකෝ අයිය නෙමෙයි මල්ලි.
Deleteකැලෑදෙල් රෙසිපීස් මොනවද??????
ReplyDeleteතේ පැල සිටවීමේ සිට කතාව කියන්න පුලුවනි ද?
තේ ගහේ කතාව එතරම් ජනතාවක් කියවන්නෑ සර්. ඒ හංදයි නොලිය හිටියෙ. ඒක නීරසයි කියල කීඵ දෙනෙක් කිව්වා. තේ ගහ ගැන මං දන්න විස්තර ටිකට අපේ පවුලෙ එකෙග්ගෙං විස්තර අහලා හරියටම දැනගෙන ලියලා ඊමේල් එකක් එවන්නං.
Deleteකෑම ඩිලිවරි කරන එක දැන් නම් ඇත්තේම නෑ වගේ. ඒත් තියෙනවා. කෑම භාජනය උඩින් අඟුරු කෑල්ලක් තියන්නේ මයෙ හිතේ විෂබීජ නාශකයක් විදිහට වෙන්න ඕනි එහෙම කරන්නෙ. මටත් වැඩියම හිතට අල්ලල ගියේ කුස්සියේ ෆොග් ලයිට් කතාවට තමා. වෙනද වගේම රහයි.
ReplyDeleteදැං අ ගුරු නැති හංදා ඒ වෙනුවට ගන්නේ ලයිෆබෝයි කැටෙයක්. කෑම වල විෂබීජ කොයින්ද අප්පා තවත්.
Deleteඅපි දන්න බ්ලොගර් කෙනෙක් විනෝදාංශයක් (දැනට ) ලෙස තේ පැල හිටවන්න තීරණය කරලා තියනවා තම ඉඩමේ පර්චස් 20-30ක. පැල 2000ක් විතර. මගෙන් ඇහැව්වා . ඒ ගැන විස්තර. ඒ කියන්නේ ඉතා කුඩා තේවතු හිමියන් එය කරන්නේ කොහොමද කියලා. මගේ දැනුම ඉතා සීමිතයි. සුරංගම්ල්ර් ගේ උපදේශයක් තියනවද ? එහෙම නැත්නම් පෝස්ට් එකක් ලියන්න අදහසක් තියනවද?
ReplyDeleteපර්චස් 20-30ක තේ පැල දෙදහක් හිටවන්න බෑ මං හිතන්නෙ. ඔය කියන්නේ සාරස ගැනනං ඒයාට මං දන්න විස්තරේ ඊමේල් කරන්නං. පෝස්ට් එකක් ලිව්වට වැඩිය කවුරුත් කියවන්නෑ.
Deleteසුරංග ඔලොක්කුවට ලිව්වට, මේ බෙදාගැනීම හරිම හොඳ දෙයක් නේද? දැන් බලන්න "පීසේන මල්ලියාසයි කොහ්කන්න" කිවුවම එතන තියන සමගිය හා සෙනෙහස නිසා නේ එහෙම දෙයක් කරන්නේ. විශේෂයෙන්ම මේක කියවල බඩගිනි වෙලා ඉන්නකොට පොඩි සුරංග බාජනෙත් උස්සන් ඇවිත්
ReplyDelete"චූටී දොර ඇරපාං.... මේසෙ උඩ අස්කොරල තියහාං.. බිංදුවව අල්ල ගනිං... නැහ්නං ඕක මගේ කරේ නගී"
කියනවනම් කොච්චර හොඳයිද මම අහන්නේ. :)
දුම පිරුණු කුස්සියයි, බාජන වලට බෙදන විදියයි ඇහුවම හරි හිනා. අර ඇත පිච්චෙන බාජනේ රෙදි කෑල්ලක් හතරට පහට නවල අල්ලන්න එපාය. *** අයියා ගෙදර ඇවිත් කනවා කියන්නේ සුරංග ගේ අම්මාගේ රසවත් ඉවීම ගමේම ප්‍රසිද්දයි වගේ.
//අපේ ගෙදර වේලක් උයා අහවර වන විට ඉඳුල්වතුර කොරහේ ඉතුරුවන ද්‍රාවණය බඳු දෙයක් මැටිකෝප්පය පුරවා තිබුනේය// අම්මේ මේක මරු කතාව. නැන්දා මේක කියෙව්වොත් නම් වැටකොළු හොද්දක් ඔලුවටම නවාවි ගමේ ගිය වෙලාවක.
දැං මෙහෙමනෙ... මං මේක පත්තරේට ලිව්වා වගේ ලිව්වොත් කවුරුවත් බලන්නෙ නෑනෙ. ඉතිං මං ඒවා වැල් වටාරං ගොඩක ඔතල තියන්නෙ ඒකයි. හරියට දිරෙව්වොත් ඔයාට වගේ මේකෙ ‘අභ්‍යන්තරේ‘ අහුවෙනවා.
Deleteඉතාමත් රසවත් සටහනක්. ඔව් ලඟදි කියෙව්ව හොඳ බ්ලොග් ලිපියක්. ස්තූතියි!
ReplyDeleteඔබේ ඇගයීම මට මහත් සන්තෝෂයක්. ඇත්තෙන්ම.
Deleteලියපන්කො කොල්ලෝ ඇස්වහ කටවහ ගැනත්. උබට හොද experience ඇතිනේ
ReplyDeleteදවසක් දා අපේ ඉස්පිරිතාලෙ මිසී කෙනෙක් මට දවල්ට කන්න බත් මුලක් ඇන්න ආවා. වෙනම බැදපු මාළු පාර්සලේකුත් තිබ්බා. ඒක දිග අරිනකොට ඉස්සෙල්ලම තිබුනෙ පත යකඩ ඇණයක්.
ReplyDeleteඔහේ ඒ ගෑල්ලමයට ඇණයක් වෙලා ඉන්න ඇති ඒ කාලෙ.
Deleteඑකක් නෙමෙයි, ඇණ ගෙන ඇති හුඟක්
Deleteමේක කියෙව්වම නම් සිරාවට ඔය කියපු කෑම ජාති උණු උණුවෙන් කන්න මහ පෙරේත කමක් ආවා. නියමෙට ලියල තියෙනවා. ඔය ජොබ් එක මමත් කරලා තියෙනවා. හැබැයි වැඩි දුරක් නැතිව. දුම දාන කුස්සියක දුම් සුවඳ විඳින්නත් හෙන ආසාවක් ආවනේ හෙහ් හෙහ්..
ReplyDeleteකැස්ස හැදෙයි බලාගෙන.
Deleteසහෝ.... මටත් එපාකොරපුම ජොබක් ඔාක. ඔාකෙ පොඩි කෑල්ලක් ම්ස්ඩ මයෙහිතේ. ඔය පිලීජා එහෙමනම් නැන්දගෙ ගෙදර යනකොට බගයක් වගේලු ඉතිරිඋනය කියන්නෙ. මගදි කවුරුත් කෑවෙනෑලු ඔාන්...
ReplyDeleteමෙච්චර ලස්සනට ලියන්න පුළුවන් කොල්ලො ඉන්නවද අප්පා!
ReplyDelete