ළමයා ජාතියේ මොකක්දෝ එකක් බවට කවුද මංදා
ලොක්කෙක් කියා තිබේ. අපේ අම්මානං ඉස්සර කියන්නේ "මුං හදාගත්තට වඩා හොඳයි ගඟට විසික්කෙරුවනං" කියාය. අනවශ්‍ය ඕනෑ දෙයක් කුකුලේ ඟගට
විසිකරන එක අපේ ගමේ සිරිතකි. ගඟට මොනවා විසි කෙරුවත් ගඟෙං ගොඩගන්න නං මාලුවෙක්, මැණික් ගලක්, වැලි කූඩයක්, කට්ට කඳක් හෝ මළ මිනියක් වෙන්න ඕනෑය.
ළමයෙක් අළුත උපන්නොත් චිත්‍රපටි වල ඉන්න
ගැමියෝ අහන්නේ “සරමක්ද කම්බායක්ද“ කියාය. ඒ වුනාට අපේ ගමේ
අය අහන්නෙ "කොල්ලෙද්ද කෙල්ලෙද්ද" කියලාය. කොල්ලෙක් නං "පරම්පරාව ගෙනියන්න එකෙක් ඉන්නවා ඇති යංතං" කියා ප්‍රතිචාර ලැබෙන අතර. කෙල්ලෙක්නං "දැම්ම හිටං දෑවැදි හදා තියහල්ලා" කියා උපදෙස් ලැබේ. අපේ ආච්චම්මා කියන
විදියට නං කොල්ලෙක් උපන්නොත් කුරුල්ලෝ පවා සංතෝෂ වෙනවලු. "අපිටත් වී කරලක් කන්න ගොවිතැං කරන්න
එකෙක් උපන්නා"
කියලා. උන්දෑ කියාදීපු කවි දෙපදයක් තියෙනවා. ඔලුව වනවනා පොලවෙ වලවල් හාරන ගමං කටුස්සො
කියන්නෙ මේ දෙපදයලු.
"කොල්ලං වලලං
කෙල්ලං ගෙටගං"
මේකට හේතුව කොල්ලො කටුස්සන්ට කරදර කරන
හින්දලු. නැට්ටෙං අල්ලල විසික් කිරීම වගේ සෑහෙන අකටයුතුකං කොල්ලංගෙං කටුස්සන්ට
වෙනව කියනවනෙ.
අපි උප්පැත්තියෙන්ම “බලන්න යන්න“ රුසියෝ. කාගෙ හරි, මොකක් හරි වැදගත් දෙයක් සිද්ධවුන ගමං අපි සේරම දේවල්
පැත්තක දාලා ඒක “බලන්න“ යන්නේ පැටිපැටවු අතිං
කටිං එල්ලගෙනයි. “බෝම්බයක් පිපිරිච්චි එකක්, මිනියක් මැරිච්ච එකක්, වහබීමක්, පිහියා ඇනගැනීමක්, ගුටිකෙලියක්, ඇක්සිඩමක් හැප්පිච්ච එකක් (අපෙ ආතගෙ ශබ්දකෝෂයෙනි), සිද්ධවෙච්ච ගමං අපේ ගමේ අය එතැන වටකරගන්නේ ගෝල්දේශෙ අය
අරිෂ්ටෙ බොන්න දුවනවා වගේය.
ඒ ඇරුණම වැඩි කලබලයක් නැතුව හීංසැරේ හවස්සතේ
ගිහිං බලා එන්න යන කාරණාත් තිබේ. ගෙදරකට අලුතිං පිට කවුරුහරි ඇවිල්ල නැවතීම, කැබිනට්ටෙකක්, පුටු සැට්ටෙකක්, කැසට්ටෙකක්, ටීවියෙකක් ගෙන ඒම ආදිය
එයින් සමහරක්. ඒ වගේ දේවල් සිද්ධවුන විට ඒ ගැන අහගෙනම යන්ට නරකයි. නොදන්නා තාලෙට
වෙනිං උවමනාවකට වගේ ඒ ගෙදරට ගිහිං ගෙදර අයගෙ කටිංම වචනෙ එළියට අරගෙන,
“ආ... එහෙමත් එකක් උනාද? අපි
කවුරුවහ්ම දන්නෑ ඔය වගක්. මං මේ දෙහිගෙඩ්ඩක් ඉල්ලං යන්න ආගමං. ඉතිං කියංකො නංගියෙ
විස්තරේ“
කියා ඕපාදූපේ මුලහිට දැනගෙන, ඒ ගෙදර දෙහි
ගහේ සන්තකේටම තියෙන දෙහි ගැට දෙකත් හිඳගෙන ඇහිල්ලා ගම වටේම විස්තරේ පතුරවන්නත්
පුලුවන.
“ඒ ඇහිල්ල ඉන්න හාදය මට පේන හැටියටනං නෝන කෙල්ල යාළුවෙලා
ඉන්න එකාද කොහෙද? දෙන්නම එක තැනමයි බාන පිටිං. උං දෙන්න
නාන්න යන්නෙ හිටං එකට“
ඒක අහන අනෙක් අයත් පාවට්ට කොළ, ඉඟුරු ඉත්තක්, කහ අලෙයක්, කරපිංච ඉත්තක්, සම්ප කොලෙයක්, එඬරු කොළ මිටක් ආදී නොයෙක් ජාති හොයන්න යන විදිහට ඒ
ගෙදරට ගිහිං ඒකෙ අලුත්ම විස්තරේ හොයං එනවා.
මේ කාරණා දෙකටම තෑගිබෝග ඇරං යන්න ඕන නැත.
ඇඳං ඉන්න වස්තරේ පිටිං යන්න පුළුවන.
ඔය වගේ නැතුව තෑගිබෝග අරං බොහොම පිලිවෙලකට
යන්න ඕන තැනක් තමයි අපෙ අම්ම කියන විදිහට“බබ්බු
බලන්න යාම“, “ළමයි බලන්න යාම“, ආච්චම්මගෙ බාසාවෙං
කියතොත් “පැටිය බලන්න යාම“, නැත්තං චූටි මැණිකෙ කියන හැටියට කියතොත් “පොඩි
එක්කෙනා බලන්න යාම“. අලුත උපං ළමයෙක් බලන්න මුලින්ම ඉස්පිතාලෙට
යන්නේ ළමයාගෙ අම්මගෙ අම්මාය. ඒ යන්නේ තමුංගෙ දුවට කන්න කිවුලෙං බත් මුලක් බැඳගෙන
තව හෝරලිස් බෝතලයක් පිරෙන්න මිරිස්සොදි හදාගෙනය. ළමයා හම්බුවීම
හිංදා පාං කියාගන්න බැරුව ඉන්න සිය දෝනියැන්දැට අර මිරිස්හොදි බෝතලෙං බාගයක් පොවා
ඉතුරු ටික බත් මුලට දමා ගිල්ලවන්න වෙන කවුරු ගියත් බැරිය.
අපේ ගෙවල් කිට්ටුව ඉන්නා *** බාප්පාගෙ
පවුලට(මේ කියන්නෙ Wife මිස Family නොවේ) බාලම ළමයා හම්බුවුන
වෙලාවෙ ඒ වගේ ‘මිරිස්සොදි පොවන්න‘ යන්න
කෙනෙක් හිටියේ නැත. *** බාප්පා සිය බිරින්දෑව පන්නගෙන ඇහිල්ලා තිවුනේ ගිනිමඩු බලන්න
ආපු ගමන්ය. ඒ හංදා ‘දෑවැද්ද නැතුව දූව ගෙන ගිය‘ බෑනාට
කළගුණ සැලකීමක් වශයෙන් ඒ දෙමාපියෝ ‘උං
දෙන්න ඉන්න දිහා බලාගෙන බත් කෑවෙත්‘ නැත.
එයිට දෙවෙනි වීමට අකමැති වුන *** බාප්පගෙ
දෙමාපියෝ ‘අපිත් උං ඉන්න තැනක පස් පාගන්නෑ‘ කියා
දැනුං දුන්නෝය. මේ විදිහට තමුංගේම උත්සාහයෙන් දියුණුවූ *** බාප්පාගේ පවුලට සිය
තුංවෙනි දරු උපතේදී ‘මිරිස්හොදි‘ බොන්නම වුනේ අපෙ
ආච්චම්මගෙනි.
“*** මල්ලිගෙ පවුලට ළමෙය හම්බුනා. අද පාංදර“
කියා පණිවුඩේ ගෙනාවේ ඉස්පිරිතාලේ වින්නඹු
නෝනෙක් වන ‘තෝර නැන්දා‘ය. එදා දවල්ට සිය බිරින්දෑත්, අලුත උපන් දියණියත් බලන්න යාමේ අරමුණ ඇතිව ‘විජහට මොනව හරි උයාගන්න‘ ගෙදර
දුවන්න හැදූ *** බාප්පාගේ කනට මීපැණි වක්කලේ අපේ ආච්චම්මාය.
“හිටාං
*** පුතේ. මං එන්නං බෝත්තෙක්ක කෙල්ල බලන්න යන්න. මං එක්කොම ලැහැත්ති කොරගන්නං. උඹ
මොකවක් ගෙනියන්න ඌමනා නෑ,
පස්වනක් ප්‍රීතියට මේකත් එකතු කොට හයවනක් ප්‍රීතියෙන්ම
පිනාගිය *** බාප්පා ඉර දෙයියෝ රත්නෙ බාප්පලෑ මුදුං වහලෙ කෙලිං ආච්චම්ලෑ
එලිපත්ත දිහා බලනකොටත් බස්සෙකට නගින්න පාරට ඇවිල්ලාය. අපෙ ආච්චම්මාත්
“දැම්ම
ගියා කියල වැඩහ්නෑ *** ළමෙයො. ලෙඩ්ඩු බලන්න දෙන්නෙ දොලහටනෙ“
ආදී වසයෙං කියමින් පවුඩර උලමින්, සාරි පොට හදමින් බස් කීපයක්ම ටවුම බලා යනතෙක් හැඩවැඩ
වුනේ මටත් නොයෙක් විට සැරවැර කරමින්ය. ඒ අතරේ *** බාප්පා ඉස්තෝප්පුවේ ඉඳ ආතගේ ‘කෙබර‘ වලට
‘හ්ං‘ කියමින්ද, ඒවාට
කිසිසේත් නොගැලපෙන උත්තර දෙමින්ද නොයිවසිල්ලෙන් පාරට දත නියවා උන්නේය.
අන්තිමට මහා රෙදි බරක් දාන බෑක්කෙකක්
කරගහගත් *** බාප්පාත්, ‘රහ්නෙ පිට‘ යන
විශේෂණ පදය සහිත බත්මුලක්, මිරිස්හොදි සහ ‘වතර බෝතලේ‘ ආදිය දැමූ ඉස්තිරික්කයක් මෙන් රත්වූ බෑක්කෙකක් ටිකක්
දුරට වෙන්න අතේ එල්ලාගත් ආච්චම්මාත් ‘පිටිගලකන්ද‘ බස්සෙකට නගිනවා අපි බලාගෙනය. සිය ‘රහ්නෙපිට ජාති‘ අඩංගු
බෑක්කෙකෙං කීප දෙනෙකුගේ ඇඟවල් පුච්චා දමා සෙනග ටික එහාට මෙහාට කර, මුහුද දෙබෑකොට ඉන්දියාවට පයිං ගිය නීල මහා යෝදයාගේ ලොකු
අම්මා මෙන් සීට්ටෙකක් අද්දර ඉඩ ඇති තැනකට ගිය ආච්චම්මා
“මේක
ටිකක් අල්ලගනිං ළමෙයො“
කියා සිය රක්තතප්ත බෑක්කෙක ඉඳං හිටි කෙල්ලකගේ
ඔඩොක්කුවට දමා ඇයවත් “උයීයීයී“ කියා පුච්චා දමා ඒ සීට්ටෙකද දිනාගත්තේ අසුරු
සැනේටය. එතැනිං එහාට කතාව මට කිව්වේ *** බාප්පාමය.
*** බාප්පාත් ආච්චම්මාත් ඉස්පිරිතාලෙට වෙලාවට යන්නට ඇත. අපේ ආච්චම්මාගේ ‘කට කැඩිච්ච‘ කතා නිසා නොයෙක් වර පීඩාවට පත්ව සිටියත්, උන්දෑගෙන් නොයෙක්විට ‘ඇදකුද‘ ඇහුවත්, ඒ සියළුම නරක මේ හොඳට හිලව්කළ *** බාප්පා, සන්තෝසෙං හිටියේ කොල්ලො දෙන්න හම්බුවෙච්ච වෙලාවෙ වගේ නැතුව මේ වතාවෙ අනික් අයට පේන්න හරි සිය බිරිඳට ‘තාවකාලික අම්මෙක්‘ ලැබීම නිසාලු.
ආ.... කියන්න අමතක වුනානෙ. ළමයෙක් බලන්න
ගියහං ළමයගෙ හැඩහුරුකම් බලා අම්මගෙං, තාත්තගෙං ආව කොටස්
මොනවදැයි කීම සිරිතක්.
“ඔය තියෙන්නෙ තාත්තගෙ නහය ඒ විදිහටම“
“අම්මගෙ විදිහමයි ඔලුව. දිගටියට“
ආදී විදිහට බැලූ බැල්මට කීම වගේම, තව හොඳට හොයල බලල දිග පළල මැනල පරිමාණයට අනුව සමමිතියත් බලපු අය කියන්නෙ.
“තාත්තගෙ කපාපු පළුව“
කියලයි.
මෙහෙම කිව්වහම දෙමව්පියන්ගෙ හිත සන්තෝසයි. සිය බිරිඳට ‘හොර මිනිහෙක්‘(මේකට වෙනිං හොඳ වචනයක් අපේ ගමේ තිබ්බෙ නෑ) හිටිය කියල හිතපු සැමියෙක් උනත් ඒ වගේ කතාවකින් හිත හදාගන්නවා. ඒ බව දන්න සමහර බිරින්දෑවො,
“බලන්නකො අම්මෙ මේ චූටියගෙ නහය අපේ මෙයාගෙ වගේමයි තුංහුලැස් නේඒඒද....“
කියලා කියෝගන්නවත් එක්කලු.
ඉතිං අපෙ ආච්චම්මත් ගිහිං සිය බාගෙට නිවිච්චි මල්ලත් පෙල්ලෙන්නැති වෙන්න පැත්තකිං තියලා අලුත උපං බිළිඳියව හීංසැරේ අත්තඩංගුවට ගත්තලු. ඉං පස්සෙ සිරිත ක්‍රියාත්මක කලාලු. ඒ කියන්නෙ අම්මගෙයි, තාත්තගෙයි ගැජමැටික් ළමයට සමාන කිරීම. ළමයව හරෝල කරල බලල අපේ ආච්චම්මට සමානකමක් හොයාගන්නම බැරිවුනාලු. ඉස්සර මේ සිරිතේ ඉතිහාසයෙ හැම තැනකම අලුත උපන් ළමයා සහ දෙමව්පියන්ගෙ මොකක් නමුත් සමානකම් කීපයක්ම හමුවෙලා තියෙනවා. ඒත් කොතනකවත් නොවිච්ච මේ කිසිම සමානකමක් හොයන්න බැරි අවස්ථාවට කොහොම මූණ දෙන්නද හිතාගන්න බැරුව දෙගිඩියාවට පත්වෙලා හිටපු අපෙ ආච්චම්මා අන්තිමට ඇත්තට මූල් තැන දීල තීන්දුව දුන්නලු.
“මේඒඒඒඒ නං *** පුතේ උඹෙ ළමෙක් නෙමෙයි. උඹෙ ළඟිංවත් ගිහිං නෑ. නහයත් උඹෙ වගේ නෙමෙයි මුක්කංනෙ“
ළමයි හම්බුවෙච්චි ගෑනු අයට ‘මිරිස්සොදි‘ දකිනකොටත්, බලල්ලුන්ට සිද්දාලේප දුන්නා වගේ අප්පිරියයි. හැබැයි **** බාප්පගෙ පවුල එක හුස්මට ‘මිරිස්සොදි‘ එක බිව්වෙ අපෙ ආච්චම්ම දියරයක් නොවන හින්දලු. තමුංගෙ බිරිඳ ගැන හොඳ අවබෝධයක් තිවුන හිංදා *** බාප්පා අපේ ආච්චම්මගෙ ‘කට කැඩිච්චි කතාව‘ කනකට ගත්තෙ නෑ. හැබැයි එයිං මතුවට අපේ ආච්චම්මට ගමේ කාගෙවත් ළමයි බලන්න යන්න සිද්දවුනේ නෑ.
ළමයි බලන්න යද්දි තෑගි තෝරන්න කලිං කවුරුත් හොයන්නෙ ළමයා පිරිමිද, ගෑනුද කියල විතරයි. ඒ ඇඳුං සූට්, සාලු, පැනල් රෙදි වගේ ඒව තෝරද්දි ගෑනු ලමෙක්නං රෝස පාට, කොල්ලෙක්නං නිල් පාට එව්වගෙං ගන්න ඕන හිංදයි. සමහරු ළමයගෙ ඇඳට උඩිං එල්ලල තියන “ට්‍රීරූම් ට්‍රීරූම්“ කියල කැරකෙන සෙල්ලං බඩුත් ගිහිං දෙනවා. නැත්තං ටිකක් ලොකුවට පේන්න තියෙන “බේබි සෙට්“ එකක් අරං යනවා. ලේසිම ජාතිය තමයි සබං පවුඩර්. අම්ම තාත්තගෙ හිතවත් කං අනුව ළමයා ඉස්කෝලෙට බාරදෙන කාලෙ වෙනකං ගාන්නයි උලන්නයි තරම සබං පවුඩර් හම්බුවෙනවා. අපෙ මාමගෙ බාල ලමයට හම්බුවෙච්චි සබං පවුඩර ටිකත් ඒ විදිහට ළමයගෙ ඇඳගාව ජනෙල් පඩිය උඩ අට්ටි ගහල තිවිලා ඒක උස වැඩිකමට ළමයගෙ ඇඟට පෙරලිලා ඒ කාලෙ හරි හෙයියම්මාරුවකුත් උනා.
අපේ නංගි උපන්නෙ මට අවුරුදු නමයෙදි. ඒ දවස්වල හැමෝම නංගිට තෑගි ගෙනාවට මට මොනවත් ලැබෙන්නෙ නෑ. ඒ හංදම මං පුදුම තරහකිං හිටියෙ. ඇයි යකෝ මටත් ගෙනකො ‘විජේ‘ පත්තරයක් තරම. නැත්තං හූණු බිත්තර පැකැට්ටෙකක් ගෙනාවත් රුපියල් පහයිනෙ. අන්තිමට “මට තෑගි මොකවක්කත් නොගේන එකෙට්ටවත් කහට වක්කොරන්න මං එහෙම වතුර පෝච්චිය ලිපේ තියන්නෑ“ කියල ප්‍රකාශයක් නිකුත් කරල මං ගුටිත් කෑව.
ඒ හංදා මං කාගෙ හරි බබෙක් බලන්න යන්න කලිං බබාගෙ අම්මට හරි තාත්තට හරි කතාකරලා තොරතුරු ගන්නවා. මං රතුපාටිං, දරුවගෙ පියා නිල් පාටිං සහ නිගමනය වරහං ඇතුලෙ.
“මේ කීවෙනි බබාද බං හයවැනියද?“
“නෑ යකෝ තොට පිස්සුද? මේ තුංවැනියා“
(ඒ කියන්නෙ තව දෙන්නෙක් ඉන්නවා)
“හරි හරි වැරදුනා මචං. ලොකු එක්කෙනා දුවනෙ. පහේ ඉන්නව කිව්වෙ නේද?“
“බොට මංඥංද ලොකු එකා කොල්ලා. ඌ තුනේ“
(ලොකු දරුවා තුන වසරෙ පිරිමි දරුවෙක්)
“හරිනෙ. අර දවසක් උඹ හරහට වඩංගියෙ දුවනෙ නේද, බෙහෙත් විදින්න ඇහිල්ල“
“යකෝ ගෑනිට ඇහෙන්න කියන්නෙපා. අපේ කෙල්ල දැං මෝන්ටිසෝරියෙ“
(දෙවැනි දරුවා මොන්ටිසෝරි යන දියණියකි)
“හරි හරි මට පැටලුනා. ඒ අර අපේ පියන්තෙයගෙ ළමයනෙ. ඉතිං කියහංකො මේ ගමනත් කෙල්ලෙක්ද?“
“නෑ බං කොල්ලෙක් කොල්ලෙක්“
(අලුත උපන් දරුවා නිල් පාට තෑගි ලබන්නෙකි)
“ඉරිද දවල්ට අපි එනවා එහෙනං තිබ්බා.“
ඔය විදිහට දත්ත ගත්තහම තාත්ත දන්නෙත් නැතුව සිය පවුලෙම විස්තර ගන්න පුළුවනි. ඉං පස්සේ තෑගි ගන්නා විට මුලින්ම ලොකු දරුවො දෙන්නට තෑගි අරංගන ඉතුරු සල්ලි වලින් අලුත උපන් දරුවාට ගන්නවා. අලුත උපන් දරුවාට හැමෝම තෑගි දෙතත් එයාට ඒවා ගැන වගක් නැත. නමුත් ලොකු දරුවන්ට කවුරුත් තෑගි නොදුන්නට එයාලාට තමුන්ට තෑගි නොලැබුන බව හිතට දැනේ. ඒ හංදා මම මුලින්ම කරන්නේ ලොකු දරුවන්ට තෑගි දීලා එයාලත් එක්ක වැඩි වෙලාවක් කතා කරන එකයි. ඒ වගේ මගෙත් එක්ක හිතවත් වුණු දරුවො කීපදෙනෙක්ට අදටත් මාසෙකට වතාවක් දෙකක් කාටුන් චිත්‍රපටි යවන්න මං බැඳිලා ඉන්නවා. ඔය විදිහට තෑගි දීමෙන් මං මගේ කුඩා කාලයටත් සලකාගන්නවා.
හැබැයි ඉතිං අර පරණ සිරිත, ඒ කියන්නෙ දරුවාගෙ හැඩරුවේ දෙමව්පියන්ට ඇති සමානකං කියන සිරිත අමතක කරන්න හොඳනෑ. ඒ හංදා මාත් “බොරුවට“ ඒ වගේ හැඩහුරුකං කියනවා.
කාලෙකට ඉහත අපි දෙන්නා ඒ වගේ ගෙදරක ගියා “පොඩි එක්කෙනෙක්“ බලන්න. එදා තව කීප දෙනෙකුත් එහෙ හිටියා. දරුවගෙ තාත්තා වන අපේ හිතවතා ඇඟපත උස මහතට තියෙන පෙනුමට ඉන්න කෙනෙක්. ඕං ඉතිං ටිකකිං මිනිහා කාමරේ ඉඳං වඩාගෙන ආවා ජම්බල ගෙඩ්ඩක් වගේ (ඇස්වහක් කටවහක් නෑ) දරුවෙක්. ඕං නියම අවස්ථාව කියන්න උදාන වාක්‍යයක්. ඉතිං මං කිව්වා කටට ආපු වාක්‍ය.
“තාත්තගෙ සයිස්ම වෙයි ලොකු වෙනකොට උඹ වගේම තමයි මූණූවර එහෙම“
අපේ හිතවතා ඒකට ප්‍රති උත්තර දුන්නා.
“මේ පහළ ගෙදර පොඩි එකා බං. අපේ එක්කෙනාට වයිෆ් කාමරේ කිරිපෝනව“
හදිසි වැඩක් තිවිච්චි හිංදා අපි ඉක්මනට ගෙදර ආවා.
//සමහරු ළමයගෙ ඇඳට උඩිං එල්ලල තියන “ට්‍රීරූම් ට්‍රීරූම්“ කියල කැරකෙන සෙල්ලං බඩුත් ගිහිං දෙනවා// මේවා ප්ලස්තික් පියනක් වගේ එකකින් එල්ලෙන ඉටිරෙදි මල් එහෙම තිබ්බ ඒ වා අපේ පොඩි නන්ගී එහෙම ඉපදෙන කාලේ
ReplyDeleteඒකට කිව්වේ කුරුළු කොට්ටේ කියලා. අපි පුංචිකාලේ දරුවන්ට ලැබුනේ එංගලන්තෙන් ගෙනාව කුරුළු කොට්ට.
Deleteඊට ආසන්නයෙන් යන එකක් මෙන්න මෙතන තියනවා.
Deletehttp://www.aliexpress.com/store/product/FREE-SHIPPING-Baby-Toys-for-0-12-Months-Hand-Bed-Crib-Musical-Hanging-Rotate-Bell-Ring/1901293_32437836648.html
අදටත් ඒ පරණ කාලේ ඒවම ගන්න තියෙනවා...
Deleteහැබැයි පුදුම ඉක්මණට කැඩෙනවා...
අපේ තාත්තා නගා පුංචි කාලෙ හැදුව ඔයිං එකක්. කාඩ්බෝට් රවුමක් කපල ඒක වටේට සරුවපිත්තල, මල් අනං මනං එල්ලල ඒ බරට රවුම කිරිගොට්ට වගේ වුනා. ඒක නූලක් දාල පොඩි මෝටරයකිං එල්ලල තිවුනෙ. ඒ කාමරේ ඉඳං අනික් කාමරේට අටුව දිගේ වෑර්රෙකක් ඇදල එතැනිං බැට්ටි කෑලි දෙකකිං කරන්ටෙක දීල තිවුනෙ කැරකෙන්න. ඔන්න ඉතිං ඕක දැම්මං කුරූඌඌඌඌඌඋ ගාල සද්දකෙිං මෝටරේ කරකැවෙනව. නගා ගල්බීතවෙලා බලං ඉන්නව. නූල මෝටරේ එතිල ඇඹරිල යනව විතරයි. ඔන්න ටිකකිං අර ඇඹරුං දිගෑරි දිගෑරි අර කිරිගොට්ට කැරකෙනව. දවස් කීපයක් ගිහිං නූල ඇඹරිල වැඩිකමට නංගිගෙ මූනට අර දහිරවාට්ටුව කඩා වැටුනා.
Deleteමදෑ...හැඩරුව කියන්න ගිහින් ගුට්නොකා බේරුනා.
ReplyDeleteඑහෙනං. තව ඩිංගෙං ගෙදර ඇහිල්ල වෙනම කනව
Delete//ඉං පස්සේ තෑගි ගන්නා විට මුලින්ම ලොකු දරුවො දෙන්නට තෑගි අරංගන ඉතුරු සල්ලි වලින් අලුත උපන් දරුවාට ගන්නවා. අලුත උපන් දරුවාට හැමෝම තෑගි දෙතත් එයාට ඒවා ගැන වගක් නැත. //
ReplyDeleteමේ කතාවට නම් සම්පුර්ණයෙන්ම එකඟයි සුරංග මල්ලි. පුංචි දරුවොන්ගේ හිත් වලට මේක ගොඩක් බලපානවා. පොඩි උන් එක්ක වැඩ කරන්න ඕනේ බොහොම පරිස්සමට. නැත්නම් අපි වැඩිහිටියෝ විදියට පොඩි උන්ගේ හිත් වලට ඉරිසියාව, වෛරය ඇතුල් කරන්න මූලික වෙනවා...
මමත් කියන්න හිටියේ මේ කතාවමයි . සහතික ඇත්ත
Deleteමේකට උඹට මගේ ෆුල් රැෂ්පට් එක. මෙඔ වචනෙ ඉගෙන ගත්තෙ පත්තර මල්ලිගෙන්.
Deleteඑකෙන්ම ඩූඩයියා :D මේං පත්තර මලිගෙ රෙෂ්පට් එක.හැක්
Deleteවැඩේ කියන්නේ සුරංග ළමයා අපය උපන්දින උත්සව වලට ආරාධනා ලැබුනම අපිත් කරන්නේ ඒකමයි. අහනව තව ළමයි ඉන්නවද වයස හෙම. සමහර වෙලාවට දෙමපියෝම කියනවා. නැහැ එයාගේ නෙමේ මෙයාගේ උපන්දිනේ කියල. නමුත් අපි මොකක් හරි පොඩි තෑග්ගක් හරි ගෙනි යනවා අනිත් ළමයින්ට.
Deleteඔය ළමයි ගැන මට පුළුවං විශේෂ උපාධියකට උගන්නන්න. මං ළමයි පස් දෙනෙක් බලාගන තියෙනව මගෙ ජීවිත කාලෙට
Deleteඅපෙ මල්ලි ඉපදුනාට පස්සෙ එයාව බලන්න කට්ටිය එනකොට මාත් බැලුවේ මට මොනවද ගෙනාවේ කියලා... නැතිනම් මට යකා වැහෙනවා... සමහර අය ගෙනාවා... ගේන්නෙ නැති අයට මං කතා කරන්නෙවත් නෑ.....
ReplyDeleteසුරංග තමන්ගෙ අද්දැකිමෙන් හිතල වැඩ කරපු එක හොඳයි... එතකොට එහෙම ප්‍රශ්න නෑනෙ...
මදෑ හැඩ හුරුකන් කියන්න ගියා...
:D
දෙන්ඩ නරකයි එහෙම උන්ට වතුර උගුරක්. මගෙ බාප්ප වෙන එකෙක් ඉන්නවා. හැබැයි ඌ මට බාලයි. මිනිහා පොඩිකාලෙ කොහෙහරි ගෙදරකට ගියහම ටික වෙලාවක් ගිහිං අහනව “අපිට තේ ටිකක් දෙන්නැද්ද“ කියලා.
Deleteඉල්ලගෙන කෑමක් නෙවෙයි ඒක.... ඉල්ලගෙනබීමක්....
Deleteඔය වගේ කාටත් අමතක වෙන වෙලාවට තමුන් ගැන හොයල බලන වැඩිහිටියන්ව ළමයින්ට හොඳට මතක හිටිනවා. සුරංග ලොකු ළමයි අමතක නොකරන එක හොඳ පාඩමක්.
ReplyDeleteසමහර අම්මලා හරි ආසයි පැට්ටව වඩාගන්න දෙන්න.ඒත් සමහරු පට්ටම අකමැතියි.. දැන් දාඩිය නේද අයියෙ..? දූවිල්ලනෙ අරක මේක.. ඒ වගේ අම්මලාගෙ ළමයි ලං වෙනකොටත් අපට බයයි.
හොඳම වැඩේ කියන්නෙ මට ඔය පොඩි එවුන්ගෙන් අම්මගෙ තාත්තගෙ ලක්සන මුකුත්ම පෙනෙන්නෙ නෑ නෙව..
ජයවේවා..!!
කවුද බං මේ තරු තුනේ බාප්පා ?
ReplyDeleteඅර හදිසි වැඩේ එවෙලේ හැදිච්ච හදිස්සියක්ද?
//අර හදිසි වැඩේ එවෙලේ හැදිච්ච හදිස්සියක්// සිය පණ බේරාගැනීම සඳහා ආමාශය පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක්.
Delete//ඔය විදිහට තෑගි දීමෙන් මං මගේ කුඩා කාලයටත් සලකාගන්නවා//
ReplyDeleteඅපි හැමෝම ඔය විදියට අපේ අතීතෙට සලකගන්න වෙලාවල් අනන්තයි. හිතේ තියෙන දේවල් උඹ වචන කරන හැටි දැක්කාම පුදුමත් හිතෙනවා බං
+++++++++
Deleteඅතීතෙට සලකන්න කියන්නෙ මට තව ලිස්සන බෝට්ටු පදින්න, RC ප්ලේන් එකක් සෙල්ලං කරන්න ආදී කොච්චර ආසා තියේද?
Deleteඋඹලයෙ ආච්චම්මගෙ අර කතාවට පස්සෙ තරු බාප්පට අර මිරිස් හොඳි බෝතලෙන්ම උන්දැට කෙලින්න හිතෙන්නැති.
ReplyDeleteමොනව උනත් උඹට පොඩිකාලෙ සිද්ධවෙච්ච අකටයුතුකම් වලින් ඉගෙනගත්ත දෙයින් අද ළමයින්ට ඒ වගේ අවැඩක් සිදු නොවෙන්න වගබලාගන්න එක ලොකු දෙයක්.
ඔව්ව ඉතිං අනික් අයටත් ආදර්සෙට ගන්න කියලා බුකියටත් දාමු නේද?
Deleteඅර අන්තිම කේස් එකෙන් පස්සෙ සුරංගයට ළමයි බලන්න යන්න දෙන්නැතිලු හාමිනේ. හැක්..
ReplyDeleteනෑ ඉං පස්සෙ ගියා. එහෙම මෑතකම ගිය ගමනකදි මං දැක්කා මහා කඳු පල්ලමක දෙවැටක් විතර ඉඩ තියෙන පාරක Freelander ජීප්පෙකක් යනවත්. ගමේ මිනිස්සු ඒක බලන්න ආවෙ හුලුඅතු පත්තු කරගෙන
Deleteදුප්...
Deleteඅනික අර උඹේ ඉන්වෙස්ටිගේෂොං එකත් මරු. ඔය විදියට තව මොන මොනව හොයාගන්නවද දන්නෑ පෝං එකෙන් අහල.
ReplyDeleteගෙවල්වල ඒ වෙලාවට ඉන්නෙ කවුද නැත්තෙ කවුද ආදියත් හොයතෑකි.
Delete//“මේ පහළ ගෙදර පොඩි එකා බං. අපේ එක්කෙනාට වයිෆ් කාමරේ කිරිපෝනව“//
ReplyDeleteපහල ගෙදර ළමයට ඉහළ ගෙදර මිනිහගෙ හැඩ රුව තියෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි. වතුර ගලන්නේ පහළ තැනින් කියල කථාවකුත් තියෙනවනෙ.
හි හි අත්දැකීමෙන් කියන කතා වත්ද??
Deleteතට්ටු 29 ක් පහළට කියන්නේ ලේසි පහසු හෙයියන්මාරුවක්ද...
Deleteහවසට 1 ඉඳන්නෙ 29 ට නගින්නේ.
Deleteඋඹ යකෝ මේ පාර අන්ධයටත් පේන සයිස් ෆොන්ට් එකක් නෙ දාලා තියෙන්නේ . උඹට කවුරුවත් කඩප්පුලි කතාවක් කිව්වද අකුරු පොඩි වැඩි හරි කියලා?
ReplyDeleteඋඹේ කතාවක් තනියම හිනා නොවී නම් මම කියවලා නෑ. අද හිතේ හැටියට හිනාවුනා මොකද මං විතරයි ගෙදර.
උඹ කතාව ඉවර කරපු හැටි මරු.
ලොකු අකුරෙං ලියන්නෙ අන්ධයින්ට නෙමෙයි. අන්ධයින්ට කොච්චර ලොකු අකුරෙං ලිව්වත් පේන් නෑනෙ. ඔහොම ලියන්නෙ කණ ඇහෙන් නැති උදවියට. ලොකු අකුරෙං ලිව්වම, හයියෙං කියෝ ගන්න පුලුවං නෙ.
Deleteඩබල් රූල් පොතේ ලිව්වෙ. මයෙ අකුරු හරිගස්සගන්නත් එක්ක. ඒකයි ලොකු.
Deleteබලහං ඉතිං මේ ෆෝන් මගුලෙං හිතේ හැටියට කමෙන්ටුවක් ගහන්ඩ බැරි හැටි
ReplyDeleteඔව්ව හොඳයි පෝන් දැකල නැති අයට පෝන් බලන්න. ඔය මිලදී ගැනීම්වලදි “ප්‍රින්ටරයක් සමග අන්දිරිස් පෝන්නෙකක් නොමිලේ“ කියල තියෙන තැනකිං මාලු අමාත්‍යංශෙට අච්චුගසන්නාවක් ගත්තනං හරි. පින්ටරේ ඔෆිස්සෙකට පෝන්නෙක වෙන කාටද?
Deleteසුරං, උඹටත් අමාත්‍යාංශ උපදේසක කමක් ගන්න හොඳ සුදුසුකමක් තියනවනෙ.
Deleteසුරංග,
Deleteමේක එච්ටීසී බොල. ඒකියන්නෙ, හොම්බ තලනව චාටර්කලොත්.
ප්‍රසෝ,
උපදේශක පත්වීම් දෙන්නෙ බං හැට වෙනකනුත් එල්ලිල ඉදල, තවත් ටික කාලෙයක් රාජ්ය සේවයෙ ඉන්ඩ ඉල්ලන නාකි ගෙවලයන්ට. සුරංගට අපහාස කරන්ඩ එපා. ඌ එල කොල්ලෙක්. (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි)
අපේ කුමාර අයියගෙ ලොකු පුතා ඇහුවලු, අපේ අම්ම එයගෙ නංගි බලන්ඩ ගිය වෙලේ, "ගෙදර ළමයි දෙන්නෙක් ඉන්නව කියල දන් නැද්ද?" කියල...
ReplyDeleteආං දවසකටවත් දරුවො. දුකත් හිතෙනව.
Delete+++++++++++++++++++++++++++++++
ReplyDeleteVintage Surangamlr !
එච්චරට පරණයිද?
Deleteඅපිව හිනා ගස්සන්වට උඹට පිං බං.
ReplyDeleteඑපිං බලෙං මට සුරසැප ලැබෙන්ටයි.
Deleteමදැයි දරුවෙක් බලන්න ගිහිං හැඩහුරුකං කිව්වා.ඇත්තටම ඌ වාගෙ වෙන්න ඇති නේද බං.උගෙ හොඳ වෙලාවට පවුල දරුවට කිරි දිදී හිටියෙ.
ReplyDeleteමොනවත් හැඩයක් හිතා ගන්න බැරිව ඔක්කොම එක වාගෙ පෙනෙන අලුත උපන් පුචි එකා කවුරු අහවලා වගේ යි සාස්තර කියන එක අපේ රටෙන් තවමත් අයින් වෙලා නැති හැටි !
ReplyDeleteදැන් මදැයි බොලේ අනුන්ගේ ළමයි බැලුව..මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්වත් සුභාරංචියක් කියහන් අපිටත් තෑගී අරන් බදුලු එන්න ඊළඟ වතාවේ ලංකාවට ආවාම..
ReplyDeleteමං ඕක නොකිය හිටියෙ මෙච්චර දවසක්, ඩ්‍රැකියානියි මායි අවුරුදු තුනක් තිස්සෙ ඔය කතාව ඇහුව...
Deletehttp://ranrandil.blogspot.com/2016/07/128.html?m=1
Deleteමං චූටි එකා කාලෙ අපේ තාත්ත මට කියන්නෙත් පොඩි එක්කෙනා කියල...
ReplyDeleteඔය කියන්නෙ දැනට අවුරුදු 60 කට විතර ඉස්සර වෙන්නැති නේද?
Delete#$@%&$#@$%!!!!!!
Deleteඅපේ උන් මක්කුද බං.... කොහොමත් ගෝත්‍රික ජාතියක්නේ... සුද්දොත් ඔහොමමයි කියලා අර රන්දිල් ලියලා තියෙන්නේ.. සුද්දියෙක්ගේ එකක් පරිවර්තනේ කොරලා හකලා...
ReplyDeleteඋඹේ ලිවිල්ල පරණ ඉස්ටයිල් එකටම ඇවිත් ඈ... පංකාදු පහයි.. මල් හතයි... ඔය සංසන්දනේ කොරන එක තමයි බං මටත් පෙන්නන්න බැරි. යකෝ කෑ වගේ උනත් පිට එවුන්ට තියන රුදාව මොකක්ද. එකෙක් ඇවිත් කියනවා තාත්ත වගේ කියල, තව එකෙක් ඇවිත් කියනවා අම්ම වගේ කියල, තව එකෙක් කියනවා මාම වගේ කියල.. ඔය තැම්බුම් හොද්ද දීල අපේ අම්මට මට දෙන්න කිරි නැති උනා කියල තාත්ත අදටත් බණිනව..මෙවුනුත් අර ගෑණු වගේනෙ. උඹෙන් ළමයි ඉල්ලනව නේද හෝ ගාල..
ReplyDeleteඔය අන්තිමට කියපු සිදුවීම අපේ පොඩි එකා බලන්න මුං ජෝඩුව ආව වෙලේ සිදු වූවක් නොවන බව සලකන්න..
ReplyDeleteමගේ ඉඩමත් මැනලා දියං
ReplyDelete