Follow by Email

Sunday, June 26, 2016

තුන් සක් රිය 2


මං ඔය පෞරාණික ත්‍රීවිල් ගැන කිව්වට ත්‍රීවිල් වල වර්තමානය ගැනත් කියන්න එපෑ. නේද? ඔය කලිං කියපු කොලපත්ගොටු කීපෙ ඇරෙන්න වෙනිං කුලී වාහනයක් තිබුනෙ නෑ අපේ ගංවල. ඔය ගංවල ත්‍රීවිල් එකක් තියෙන කීපදෙනෙක් එක්කහු වෙලා මානාන ටවුමෙ මුලින්ම හයර් යන ත්‍රීවිල් පොලක් දැම්මා. බස් නවත්තන පොල බස්පොල වගේ ත්‍රීවිල් නවත්තන පොල ටීවිල් පොල උනා. ඔය විදිහට පෙරහැර පොල, තොවිල් පොල, ආදී පොලවල් බර ගානක් තියෙනවනෙ. ඉතිං ඔය තීව්ල් පොලේ ටීවිල් දෙක නැත්තං තුන නැවැත්තුවෙ කඩ පේලියක් ඉස්සරහ. උදේ හිටං රෑ වෙනකං ඔහේ තීවිල්ලෙකට වෙලා දත නියවාගෙන ඉන්න කීප දෙනාට දත නියවාගෙන හිටියත් කමක් නෑ වගේ. සමහරුන්ට දවසකට හයර් එකක්වත් නෑ. එන හයර් එකවත් තමුං කියන ගානට අඩුවෙං යන්නෙත් නෑ. 


ඉතිං ඔය කාලෙදි හයර් එකක් කියලා එන්නෙ අලුත උපං ළමෙක් ගෙදරට එක්කං යාම, ගෙදරකට අලුතිං කැසට්ටෙකක්, ටීවියෙකක් ගෙනියෑම (ටීවියෙකේ පෙට්ටිය, ඒ කියන්නෙ හිස් පෙට්ටිය ගිනියන්නෙ වහලෙ උඩ ගැටගහල. එතකොටනෙ ගමම දැනගන්නෙ ටීවියෙකක් ගේනව කියල), මගුලක් බලන්න යාම, ලයිස්පීකර් සැට්ටෙකක් බැඳං එලවුන්ස් කිරිමට යාම, දාන වලට හාමුදුරුවරු වැඩැම්මවීම, වගේ විශේෂ අවස්ථාවක් ඉතරයි. ඔය වගේ ගමනක් ගියහම ඒ ගෙදරිං කන්න බොන්න හිට හම්බුවෙනව. ඒ තරං ඉහළ තත්වයක් ඒ කාලෙ තීවිල් එලෝන අයට තිබුනා. ඒ දවස්වල ටවුමෙ මැණික්කාරයො, කඩ මුදලාලිල ගානටම ඉහළ පැලැන්තිය තමයි තීවිල් එලෝන අය. ඒ කවුරුත් අතේ ඔරලෝසුවක්, චේන්නෙකක් බැඳල, කරෙත් චේන්නෙකක් දාලා, නිල්පාට පෝසත් සරොං ඇඳලා එහෙමත් නැත්තං දික්කලිසං ඇඳලා එක පිලිවෙලකට තමයි උන්නෙ. ඒ ගොල්ලං තීවිල්ලෙකේ ඉස්සරහ සීට්ටෙකේ එක පැත්තකට හැරිල ඉඳගෙන, උරිස්ස තීවිල්ලෙකේ බටේකට හේත්තු කරගෙන, යතුරු අටක් දහයක් තියෙන, මල්, මාලු, ධර්මචක්කර, දිග ඉස්ප්‍රිං වගේ රබර් වැල්, අස්සට වතුර පුරෝල සෙල්ලං මාලු දාපු බෝකොල, ආදී හැටහුටාමාරක් අරුමෝසං එල්ලපු යතුරු කැරලි කරකෝ කරකෝ තමයි උන්නෙ. එක පැත්තකට වට තුනයි. අනික් පැත්තට වට තුනයි. ආයිත් ආපස්සට වට තුනයි.



ඔය විදිහට ත්‍රීවිල් තුනකිං පටං ගන්න මානානෙ තීවිල් පොල තව ටික කාලයක් ගිහිං, ඒ කියන්නෙ මං සිස්සත්වෙ එහෙම පාස්වෙලා ඒ ලොකුකම පිට ජාතික පාසලට ගිය කාලෙ වෙනකොට තීවිල් පහලොවක් විස්සක් ඉතර තියෙන තැනක් බවට පත්වෙලා ඉවරයි. ඒ වගේම ටිකක් මැදි වයසෙ "තීවිල් එලෝන අය" වෙනුවට සාමාන්‍ය පෙලින් ඉහලට ඉගෙනීම අමාරු වෙච්චි, ඒ වුනාට සල්ලි තියෙන, වයස විසිගනංවල "තීවිල් කාරයො" බිහිවෙලා ඉවරයි. මේ එක්කම තිවිල්ලෙකත් මැදි වයසෙන් තරුණ වයසට අඩිය තියනව.


ඉස්සර තීවිල්ලෙකේ නම විතරක් ගැහුවට මේ තීවිල්කාරයො තීවිල්ලෙකට නොයෙක් ආලවට්ටං දානව. නිකම්ම තට්ටෙ වගේ තියෙන තීවිල්ලෙකේ නලලට පොඩි තොප්පි කෑල්ලක් වගේ එකක් හයිවෙනව. ඒක හයිකරන්නෙ මූනට ඉර එලිය වැටීම වලක්කන්න උනත් තීවිල්ලෙකේ නාකි පෙනුම ටිකක් ඒකෙං මග ඇරෙනව. ඒත් එක්කම නිකම්ම නිකං කලුපාට ඉපල් කෑල්ලක් වගේ තියෙන තීවිල්ලෙකේ මූන පිහින "බාරියාව"ට උඩිං ටිකක් මහත පාට පාට පටිකෑලි ඇලවෙනව. ආයිත් ඉස්සරහ මූනෙ උඩිං අඟල් තුන හතරක පටියක් කලුපාට වෙනව. ඒත් එක්කම තීවිල්ලෙකේ නමටත් නොයෙක් වෙනස්කම් වෙනවා. ඉස්සර නිකම්ම "සමන්" කියලා ගහපු නම දෙකට බෙදිලා

සමන්                                             මල්ලි

කියලා තීවිල්ලෙකේ කම්මුල දෙපැත්තෙ වදිනවා. ඔය විදිහට "සුදු පුතා", "චූටි මල්ලි", "චන්ඩි මල්ලි", "පාල අයියා" වගේ නං තීවිල් වලට වැටෙනවා. ඔය අතරේ තමුංගෙ බිරිඳට, පෙම්වතියට තියෙන ආදරේට සමහරු තිවිල්ලෙකේ නම ගහන්නෙ "සුදු               මැණිකේ", "රේණු", "සේපාලි" ආදී වශයෙන්. සමහරු තමුංගෙ ළමයින්ට තියෙන ආදරේ වැඩිකමට "හැඩකාරී දුව සඳමාලී" වගේ නං ගහගන්නවා. ඒක දැකලා ඒ ගෙවල් පැත්තෙ රවුං ගහන කොල්ලො ගානත් වැඩිවෙනව. අපේ පවුලෙං මුලිම්ම තිවිල්ලෙක ගෙනාවෙ ලොකු පුංචම්මගෙ පුතා. උගෙ තීවිල්ලෙකේ පිටිපස්සෙ මැද වීදුරුවෙ ලොකු ජම්බු පොකුරක් ඇඳල ඊට උඩිං ලොකුවට "ජම්බු" කියලා ලියල තිබ්බා. ඌ ඒ දවස්සල යාළු කරං හිටියෙ අපේ පන්තිවල හිටපු ඉහත කී පලතුරේ නමිං හැඳින්වෙන, පස්ස ලොකු කෙල්ලෙක්ව.



ඔය විදිහට නං විතරක් වෙනස් කරලා මදි හින්දාද කොහෙද පොඩි පොඩි වාක්‍ය වදින්න පටං ගන්නව තිවිල් එකේ පිටිපස්සෙ. ඒකට ඉඩ තියෙන්නෙ පිටිපස්සෙ වීදුරුවට යටිං. රුපියල් දහයෙ කොලේ පලල තරං උසට. කළු පාටට හුරු දුඹුරු පාට රෙද්දේ සුදු පාට අකුරිං වැකි ලියවෙනවා. මුලින්ම ලියවුනේ "අතහිත - මහජන බැංකුව" වගේ වැකියක්. නමුත් සමහරුන්ට අතහිත ලැබුනෙ අම්මගෙං තාත්තගෙං, නෑදෑයංගෙ. එතකොට මේ වැකිය වෙනස් වුනා.


"අතහිත අම්මාගෙන් හොඳ හිත තාත්තාගෙන්"

"අතහිත නැන්දම්මාගෙන්"

සමහර තීවිල් අරං තිවුනෙ පිටරට ගිය බිරිඳ, අක්කා, නංගී එවාපු සල්ලි වලිං. ඒවායෙ ලියල තිවුනෙ


"අතහිත බිරිඳගෙනි"

"අතහිත අක්කාගෙනි"


ඔය වැඩේ බිල්ඩිංවල සමරුඵලක හයිකෙරිල්ල වගේ ටික කලක් කෙරුනත් පස්සෙං පහු ලීසිං සමාගම් එහෙම ආවත් එක්කම කාගෙවත් "අතහිත" නැතුවට ඕනැ කෙනෙක්ට තීවිල් ගන්න පුලුවං උනා. ඉතිං ඔය 'අතහිත'ට වෙං වුන තැන සිංදුපද අරක් ගත්තා. ඒත් මුලින්ම ආවෙ මව්ගුණ.


"කලාවැවේ නිල් දියවර අපෙ අම්මා......"

"අම්මා පෙව් කිරි කඳුලින් මේ ලොව මෙතරම් හැඩවුනේ"


ආදී වශයෙං පටං ගත්ත සිංදු කෑලි කලිං කලට ජනප්‍රිය වෙන සිංදුත් එක්ක වෙනස් වුනා


"විසිරුනු පෙති යලි මලක් නොවේ නැගනී"


"සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්"


"කලු වුනාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී"


හැබැයි සිංදු වලටත් වැඩි කල් ඔය පස්ස කෑල්ලෙ එල්ලිලා ඉන්න බැරිවුනා. සමහර සින්දු පද වෙනස් වුනා.


"සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්"


"අයිසැක් නිවුටන් අපිත් දකින්නැති ගනන් හදන්නැති ඒ කාලේ
කැම්පස් යන්නට ලකුණක් මදි ඇති ඒකයි තවමත් මහපාරේ"


ඒ අතරෙ ජීවන අත්දැකීම්, ආප්තෝපදේශ, අවවාද ආදී නොයෙක් වැකි මෙතැන අරක්ගත්තා. දැං ත්‍රීවිල්වල පිටකොන්දෙ තියෙන්නෙ ඉංග්‍රීසි රුවන් වැකි.



මේ වගේම එක එක ස්ටිකර් වැඩ කරන තැන් දෙක තුනක්ම ටවුම අවට බිහිවෙන්නෙ ඔය එක්කමයි. බංකු කොටයක් උඩ ඉඳගෙන. නැත්තං ඒක උඩ නැගගෙන තීවිල්වල අකුරු අලවන "ප්‍රීති කුමාර" ඒ දවස්වල සෑහෙන පෝසතෙක්.


ඔය වගේම තමයි තීවිල් එහෙකට නැතුවම බැරි "සෙට්ටෙක". ඕකට මුලින්ම කිව්වෙ කැසට්ටෙක කියලා. තීවිල්ලෙකට එන පොඩි බැට්ටිය මාරු කරලා ඒ වෙනුවට ටිකක් ලොකු බැට්ටියක් දාලා කැසට්ටෙකක් හයි කලාම ඒකට ලැබෙන හයර් වැඩිවෙනවා. කවුරුත් කැමතියිනෙ සල්ලි ගෙවල යන එකේ සිංදුවකුත් අහන්න. කැසට්ටෙකක් හයි කලා කියලා මිනිස්සුන්ට පෙන්නන්න ඕනැ හිංදා තීවිල්ලෙකේ ඉස්සරහ නලලෙ කොනකිං හයිකරනවා ඒරියල් කූරක්. ඒකෙ මුල තියෙන ප්ලාස්ටික් කෑල්ලෙ ලියල තියෙනවා KOSHI කියලා. ඉස්සරම ආපු කැසට්වල කැසට් පීස් දැමිල්ලත්, රේඩියෝ දැමිල්ලත් ඇරුනුකොට වෙනිං මොනවත් දාන්න බෑ. ඔය කැසට්ටෙකත් එක්කම කැසට් පීස් ගබඩාවකුත් තියෙන්න ඕනෑ. සමහරු තීවිල්වලට හයිකලේ ජපන් වාහනවලිං අයින් කරපු විසාල කැසට්. ඒ වගේ එකක් මලලසේකර ශබ්දකෝෂය වගේ දෙකක් විතර ඝණකමයි. බරත් ඒ වගේම ඇති. එව්වා තීවිල්ලෙකේ වෙනම පෙට්ටියක් ඇතුලෙ හයිකරලා අල්මාරි යතුරු තහඩුවකුත් අල්ලලා තියෙන්නෙ. දැං නං රිවස් කැමරා, අඟල් හතේ තිර තියෙන සිනමා ශාලා වගේ එව්වත් තියෙනවා. ඉස්සර වගේ කැසට් දාන්නෙ නැති හංදා දැං තීවිල්වල තියෙන සිංදු අහන එව්වට කියන්නෙ නිකම්ම "සෙට්ටෙක" කියලා.

මෙන්න මෙව්ව තමයි සෙට්


ඔය තිවිල්ලෙක කොහොම හදලා ආවත් ඒකෙ සමහර තාක්ෂණික අඩුපාඩුත් තියෙනවා. ආං එව්වා හදලා මිසක් අපේ අයියලා "වන්ඩිය" පාරට දාන්නෙ නෑ. මුලිම්ම රෙද්ද. රෙද්ද කිව්වෙ තීවිල්ලෙකේ වහලෙ සහ පිටකොන්ද වහල තියෙන ඝනකම රෙද්ද. තීවිල්ලෙකක් අලුතින්ම එනකොට තියෙන ඔය රෙද්ද වචනයේ අර්ථයෙන්ම රෙද්දක්. ඒක වැස්සකට ඔරොත්තු දෙන්නෙ නෑ. අනික ඒක හයිකරලා තියෙන්නෙත් රැලි හිටින්න. නිකම්ම නිකං පැලක් හෙවිල්ලුවා වගෙයි. ඒ හංදා මුලින්ම ඔය රෙද්ද ගලෝලා දාලා අලුතිං රෙද්දක් ගහන්න ඕනැ. ඒ කරද්දි වහලෙ මැදට එන බට ටික මැදිං කපලා අඟල් කීපයක් උස්සලා හදාගන්නත් ඕන. ඉං පස්සෙ රෙද්ද හොඳට ඇදලා හයිකරගන්න ඕන. ආං එතකොට රෙද්ද නිකම් මැද්දා වගේ තියෙනවා. තව ලෙඩක් තමයි ඔය රෙද්ද දෙපැත්තෙං වතුර බේරිලා ඇතුලටත් හැලෙන එක. ඒකට වෙනම පීලි දාන්න ඕන. අන්තිමට ඒ වතුර ටික ඉස්සරහිං දුරට විසිවෙන්න පොඩි පුනීල වගෙ ගැජමැටික් එහෙකුත් හයිකරන්න ඕන. තිවිල්ලෙකේ සයිඩ් කන්නාඩි (හරිම සිංහල වචනෙ හොඳේ) කොහේ හරි වැදුනොත් ගැලවිලා වැටිලා බිඳෙනවා. ඒ හංදා ඒකට වෙනම වයර් කෑල්ලක් දාගන්න ඕන ගැලවුනත් බිම නොවැටෙන්න. ඔය තීවිල් එක කැපෙන ප්‍රමාණය සිමා කරපු කට්ට දෙකක් තියෙනවා. එයිට වඩා කැපෙන්නෙ නෑ. ආං ඒවා කපලා අයිංකරලා දාන්න ඕන. අපේ රටේ ප්‍රවාහන අවශ්‍යතා අනුව සීමා මායිම් රහිත ධාවනයක් තියෙන්න ඕනෑ. ඉස්සරනං තහඩුවෙ යටි පැත්තට මල නොකන තීන්ත ගාන්නත් ඕන. ඒ වගේම තමයි බිමට කාපට් දාන්නත් ඕන. හුලං කපාගෙන ඉස්සරහට යද්දි කැපෙන හුලං ටිකක් රියදුරුගෙ මූනටත් එන්න ගැජට් වගයකුත් තියෙනවා. මට අහුනොවිච්ච මේ වගේ දෝෂ නිරාකරණය කිරීම් තියෙනවනං තව කියන්න ඕනෑ.

උපරිම වැඩ දැමූ රථයක්


මේ විදිහට එකම අච්චුවෙං එක බඩවැල කඩාගෙන එන තීවිල් සේරම අන්තිමට විවිධාකාරයෙන් වෙස් මාරු කරගෙන වෙනස් අය බවට පත්වෙනවා. "මුහුණ හදවතේ කැඩපතයි" කියලා කියනව වගේ මේ එක එක ත්‍රීවිල් එකෙන් ඒකෙ හිමිකාරයාගේ හදවත, සිතුම් පැතුම් කියවෙනවා. තීවිල්කරුගෙ හිත ත්‍රීවිල්ලෙකේ පිටෙනුත්, හැසිරීම වටෙනුත්, පිළිවෙල ඇතුලෙනුත්, ආගම භක්තිය ඉදිරියෙනුත්, ආදී වශයෙන් එක් එක් ස්ථාන වලින් පෙන්නනවා. 


මං කලිං කිව්ව වගේ තීවිල් තුනක් විතර තියෙන, "තීවිල් එලෝන අය" නැත්තං "තීවිල් ඩැයිබරල" හිටපු මානාන ටවුමෙ තීවිල් පොල ටික කලක් යනකොට "තීවිල් කාරයො" ඉන්න "පාක්කෙක" බවට පත්වෙනව. අවට ඉස්කෝල වලින් සාමාන්‍ය පෙළ යංතං පහුකරලා උසස් පෙළ පැනගන්න බැරිවෙන, අයියලා රැසක් සල්ලි හොයන ලේසි ක්‍රමයක් බවට ප්‍රසිද්ධ තීවිල් රස්සාවට බහිනවා. පරණ කීපදෙනා හැලිල යද්දි මේ අලුත් පිරිස තමුංගෙම උප සංස්කෘතියක් හදාගන්නවා. 


මේ පිරිසගෙන් බහුතරයටත් සල්ලි එතරම් වැදගත් නෑ. වාහනේ "පීනෑස්සෙක" ගෙදරින් ගෙවනවා. කන්න බොන්නත් ගෙදරින් හම්බුවෙනවා. හයර්රෙකක් දුවල කීයක් හරි ගත්තම ඇති. ඒ සල්ලි වලින් තමුන්ට කැමති ස්ටයිල් එකක් කරගෙන, තීවිල්ලෙකටත් කැමති ආට්ටෙකක් දාගන්නයි තියෙන්නෙ. මේං මේ කාලෙ තමයි තීවිල්ලෙකට "වන්ඩිය" කියන නම ආදේශ වෙන්නෙ. හැබැයි ඒක පාවිච්චි කරන්නෙ ඒ අය සහ ඔවුන්ගෙ යාළු මිත්‍රයො විතරයි.



මේ විදිහට පාක්කෙකට එකතු වෙන තීවිල් ගාන වැඩිවෙනවත් එක්කම ඒක ලොතරැයි කූඩුව ගාවට වෙනකම් දික් වෙනවා. එතනිං එහාට පාක්කෙකට "වන්ඩියක්" දාගන්න එක දැං ඉස්කෝලෙකට ළමයෙක් දානවටත් අමාරු වැඩක් වෙනවා. ආං එතකොට විකල්ප බිහිවෙනවා. ගංවල ඉඳලා නගරෙට එන්නෙ නැතුව තමුංගෙ ගමේම හන්දියක් අල්ලගෙන, තමුංගෙම පාක්කෙකක් හදා ගන්නවා. ඔය විදිහට දැං ගමක් ගානෙ, හන්දියක් ගානෙ "වීල් පාක්" තියෙනවා. ඒවගෙං හැදිච්ච "එක්සත් ත්‍රීරෝද රථ සංගම්" ගණනාවක් තියෙනවා.



ඔය විදිහට වෙනස් වෙච්චි තීවිල් පාක්වල අයියලාගෙ ස්ටයිල් සහ වන්ඩියෙ නම්බර් එක අලුත්වීම මත ඉස්කෝලවල සාමාන්‍ය පෙල සහ ඉන් ඉහලට හිටිය නංගිලාගෙ හිතේ කිරුළ ඔවුන්ට ලැබුනා. සමහරු හැමදාම ඉස්කෝලෙ ඇරෙන වෙලාවට පාසල ගාව කැරකිලා "එකම මලක්" පතාගෙන පස්සෙන් ගියා. ඒ අතරෙ සමහරු "දවස් හතට වර්ග හතක්" තියාගෙන හිටියා. මෑතක් වන තුරුම අපේ ගම්වල ගෑල්ලමයින්ගෙ කුළුඳුල් ප්‍රේම කතා හත අටකම හිමිකාරයෝ මේ "වීල් අයියලා" තමයි. 


හැබැයි සමහර "පුදුම ලොකු එකක්" දෙන නංගිලාට ට්‍රයි කරලා කෙලවෙච්ච අයියලා අදාල නංගි පාක් එක ගාවිං යනකොට එක පෙලට හෝන්නෙක ගැසීම, විසිල් ගැසීම වගේ ක්‍රම වලිං "මිදි තිත්තයි" කිව්වා. 


ත්‍රීවිල් එක්කම බැඳිච්ච තවත් දෙයක් තමයි Room for rent. ඉස්සර මේ වගේ කාමර කුලියට දෙන තැන් හිඟ කාලෙ පෙම්වතුන්ට ප්‍රේමයෙන් එහා ගිය දේකට උදව් වුනෙත් පාලු පාරවල්වල නවත්තල දෙපැත්තෙ කැන්වස් දෙකම වහපු ඉඳහිට මදක් පැද්දෙන ත්‍රීවිල්ම තමයි. පස්සෙ කාලෙක ටියුෂන් පන්ති ආශ්‍රිතව බිහිවුන "කාමර කුලියට" ස්ථානවල ප්‍රධාන සැපයුම්කරු වුනෙත් ත්‍රීවිල්ම තමයි. කට්ට පෑවිල්ල තියෙන දවස්වලටත් දෙපැත්තෙ වැහි ආවරණ දාගෙන එන ත්‍රීරෝද රථ ටියුෂන් පන්ති ඉවරවෙලා යන ළමයි රංචුව අතරින් අදාල කෙනාට කිට්ටු කරනවා. සැනෙකින් වැහි ආවරණය ඇතුලින් තීවිල්ලෙක ඇතුලට පැනගන්න අදාල තැනැත්තිය කවුදැයි හරියටම දන්නෙ කීප දෙනෙක් විතරයි. අදටත් මේ ව්‍යාපාරය ඒ විදිහටම කෙරෙනවා ඇති.


මං දන්න කියන එක්තරා "ත්‍රීවිල් අයියෙක්"ට වුන සිදුවීමක් මෙයට සම්බන්ධයි. මේක ඔහුම මට කියපු දෙයක්. ඔහු මගේ මිතුරෙක්ද, ඥාතියෙක්ද කියලාවත් කියන්නෙ නෑ. ඔහුට මේ සටහන ජීවිතේට කියවන්න නොලැබුනත් මීට අදාල ඇයගෙ ජීවිතේට සම්බන්ධ අය දැනගන්න පුලුවන් නිසයි චරිත හංගන්නේ. මේ අයියා එක හිතින්ම ආල වඩන්නේ අපේ ගමේ නංගියෙක්ට. ඒ නංගිලගේ ගෙදරට නොයෙක් හේතු මවමින් ඇගේ දර්ශනය ලබන්න ඔහුව අරං යන්නේ මම. ඇගේ තාත්තා අපේ පවුලෙ අයත් එක්ක ලොකු හිතවත් කමක් තියෙන හිංදා මට ඒක ලේසියි. නමුත් ඇගේ කැමැත්ත මේ අයියට ලැබෙන්නේ නෑ. හැබැයි "අයියා" සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ප්‍රේම කතාවල ඉන්න දර්ශීය ප්‍රේමවන්තයෙක් තරමටම ඇයට ලව්. ඈ යන එන තැන දුරිං ඉඳං ඇගේ පරෙස්සම බලනවා. ඇය පන්ති ගිහිං එනකං, ඇය බස්සෙකට නගිනකං, ඊට මීටර් ගානක් දුරින් තීවිල්ලෙක නවත්තගෙන මේ "අයියා" ඇය දිහා බලං ඉන්නවා. ඇයට දූවිල්ලෙංවත් අනතුරක් නොවෙන්න ඇයව පරිස්සං කරන්න. මේ කියන "අයියාගේ" ප්‍රේමය ඒ තරං නිර්මල, සුනිමල, අවංක, එකක්.


ඔය අතරෙ "අයියා"ට හදිසි හයර් එකක් සෙට් වෙන්නෙ තවත් තීවිල් යාලුවෙක්ගෙං. 


"මචං මං හදිසි හයර්රෙකක් යනව රත්නපුරට. මං *හිරු එකට ගිහිංදාපු කපල් එකක් ඉන්නව. තව පැය කාලෙං ගිහිං උං දෙන්නව ගෙනැත් **** සර්ගෙ ක්ලාස් එක ඇරිල එන සෙට්ටෙක ඇතුලට ගානට කෙල්ලව බස්සපං. මං උඹේ ගාන හවසට දෙන්නං"



අතිජාත මිත්‍රයගෙ ඉල්ලීම පරිදි නියමිත වෙලාවට වැහි ආවරණවලිං වටේ ආවරණය කරපු තමුංගෙ තිවිල්ලෙකත් අරං "අයියා" ලැගුම්හලේ දොරකඩටම යනවා. දෙරකඩ ඉන්න සේවකයාට තමුං ආවෙ අසුවලාගෙ වාහනේ වෙනුවට බව කියනවා. සැනෙකිං සේවකයා ලැගුම්හල ඇතුලට යනවා. ටිකකිං වාහනේ පිටිපස්සෙ සීට්ටෙකට දෙන්නෙක් නගින බව "අයියා"ට දැනෙනවා. ඔහු "හරිද" කියල අහන්න මැද කණ්ණාඩියෙන් පිටිපස්ස බලනවා. ඒ මොහොතෙ ඔහු දකිනවා පිටිපස්සෙ ආසනේ ඉන්න ඇයව. "අයියා" දූවිල්ලෙනුත් පරිස්සං කරන්න හදන, එක හිතිම්ම ආල වඩන ඇය වෙනිං කොල්ලෙක් එක්ක "අයිය"ගෙ තීවිල්ලෙකේම පිටිපස්සෙ සීට්ටෙකේ. 


මෙහි දැක්වෙන ඡායාරූප ත්රීවිල් සහ බයික් ආර්ට්ස් Treevel And Bike Arts ෆේස්බුක් පිටුවෙන් පිටපත් කරගතිමි.










82 comments:

  1. වෙලාව මදි වුනා කියවන්න........ පස්සේ කියවන්නම් බං........

    ReplyDelete
    Replies
    1. බොට ඉතිං වෙලාව නෑනෙ. හාකො හාකො

      Delete
  2. අන්තිම කතාව නම්, දුක හිතෙනවා අනේ. පෝස්ට් එක මරු. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ අපිට නැතත් නගාට ජලක් වෙනවනං හොඳා

      Delete
    2. නංගිට ජලක්? කායො මීලා හිංගියෙ අලි ජලක් ද?

      Delete
  3. අල්ලන්ටයි තියෙන්නෙ ලොරියකට ඇබරිලා යන්න

    ReplyDelete
    Replies
    1. පස්සද? පව්නෙ මෙයා. ජෝඩුවම

      Delete
  4. Replies
    1. අයියට පස්සෙං ගියාට දාගන්න බැරුවුනා

      Delete
  5. Replies
    1. පව් නෑ පව්නෑ. බේරුනා

      Delete
  6. //කැන්වස් දෙකම වහපු ඉඳහිට මදක් පැද්දෙන ත්‍රිවිල් //

    ReplyDelete
    Replies
    1. මතක නේද පීකේට ඇඳුං සපයපු පැද්දෙන කාර්

      Delete
    2. මටත් මතක් උනෙ ඒක

      Delete
  7. අන්තිම කථාවෙ අයියා හොඳ බේරිල්ලක් බේරිලා

    ReplyDelete
    Replies
    1. බේරිලා නෙවෙයි උගෙ යාලුවා ඌව බේරුවා

      Delete
    2. මුලදී දුක හිතුන පොර ගැන. ඉයන් ගේ කතාව හරි.

      Delete
  8. කලවානේ මැණික් කර්මාන්තය ගැනත් කතාවක් ලියන්න!

    ReplyDelete
    Replies
    1. මැනික් ගල් කපන්නෙ මැසිමෙන්ද ?

      Delete
    2. නෑ අයියෝ...මෙයා ඒකවත් දන්නෙ නෑ

      Delete
    3. ගල් කපන මැසිං තියෙනවා. අපෙ ලොකු පුංචම්මගෙ දුවත් කාලයක් වැඩකලා ගල් කපන තැනක. එතන කැපුවෙ දියමන්ති. හොඳ පඩියක් හම්බුවෙනවා දස්සයින්ට.

      Delete
  9. Malliye kiwwath wage pathal waadi ganath liyapanko......

    ReplyDelete
    Replies
    1. පතල් නේද? ලියන්නං ලියන්නං. දැංනං මතකත් නෑ. හින්නිමහත්තය ආතගෙංවත් විස්තර අහගන්න වෙනව.

      Delete
  10. ටීවීල් කියන්නේ වෙනම කල්ට් එකක්... තොරණ හංදියේ ජිනේ අයියගේ ටීවීල් එකේ පිටිපස්සේ තිබුනේ..
    "වයසට ගියත්... හවසට ගෙදර..."
    තව මට වැදුන එකක් තමයි...
    "අපිට පුප්පන නයි... මුගටි මරන් කයි..."

    ටීවීල් ගැන ලියලා අපේ ඉවාන් සම්මානෙටත් ලක් උනා නොවෑ...
    "කරුමෙ ඩබල්... පින සිංගල්.."

    ReplyDelete
    Replies
    1. ඉවානයව මතක් උනා මටත් ඔය වැකි ටික දැක්කම..

      Delete
    2. හෙනං හෙනං. අදත් හම්බුනා ඒ වගේ මරු රථයක්. ඉවාන් පවුලුෂා තමයි මුලින්ම වීල්ලෙකක් බ්ලොග්වලට ලයින් කලේ. නේද?

      Delete
  11. ත්‍රීවීල් අයියල ලංකාවෙ නිල නොලත් ව්‍යාපාර බොහොමයක සාඩම්බර සාමාජිකයො....!

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්ත. ගෑස් සිලින්ඩරේ ඉඳං බෝම්බ කඩු කිනිසි දක්වා.

      Delete
  12. දැන්නං ඉතිං ඇල්.සී.ඩී. ටීවී තියෙන නිසා පෙට්ටිය උඩ බැඳගෙන යන්න වෙන්නෙ නෑ.
    මොනවද බං පෝසත් සරොං කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කාලෙ මැණික්කාරයො ඇන්ද නිල්පාට සරං ජාතියට මං දාපු නම තමයි ඒක.ගුරුගේ මුදලාලිල වගේ අය නෙමෙයි. ටෝච් තියං පාරෙ ඉන්න අය.

      Delete
  13. ඔය රෙද්ද ගහනකොට රෙද්දට අමතරව ඇතුලෙන් අපෝස්ටරි එකත් ගහනව බෝඩ් වලින්. එතකොට අර පිටිපස්සෙ ඉටිකොලේ වෙනුවට වීදුරුවක් දානව ප්‍රේම් එක හයිකරල.

    ReplyDelete
    Replies
    1. මැක් ෆොයිල් එකක් නෙමෙයිද දාන්නෙ?

      Delete
    2. මැක් ෆොයිල් දාන්නෙ වහලෙටනෙ. මම කියන්නෙ පස්සෙ සීට්ටෙකත් එක්ක තියෙන දෙපැත්ත ගැන.

      Delete
  14. ඔය හැඬල් එක ඕනවට වඩා හරෝන කෑල්ල ගලෝල දාන හින්ද තමයි ඕව පාර මැද කොන්ඩරි ගහන්නෙ.
    බොබ් මාලෙගෙ ස්ටිකර් ඔය වැඩි හරියක කොහේ හරි අලෝල තියෙනව.

    ReplyDelete
    Replies
    1. බොබ්මාලෙ නෙමෙයි හරිම නම "බොම්මාලෙ". එයත් තීවිල් පැදපු හාදයෙක්ය කියනවලුනෙ.

      Delete
  15. අර අන්තිම අයියගෙ යාලුව නං යාලු වෙසින් ආපු සක්කර දෙයියොද කොහෙද.

    ReplyDelete
    Replies
    1. උං හිතලමයි ඒ වැඩේ කරල තියෙන්නෙ. මුට සත්‍යාවබෝධය දෙන්න. මූ තවම බැඳලා නෑ. අරකි නං බැන්දා. බැන්ද එකා නං ආලපාලුවෙක්ලු.

      Delete
  16. ත්‍රීවීල් අලංකරණ කලාවට ඉස්සර තිබුනෙ ලොරි බොඩි කලාව නේද? දැන් අභාවයට යමින් පවතිනවා. උතුරු පලාතෙ තාම ටිකක් තියනවා

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඔය ලොරිවල පැත්තක අස්සං කරල තියෙනවා බොඩි සෑදීම:- කියලා. දැනටත් අම්පාර පැත්තෙං එන හාල් ලොරිවල ඔය කැටයංපාර තියෙනවා.

      Delete
  17. සමහර ත්‍රීවීල්වල ගහල තියන වාක්‍ය හිතට වදින ඒවා...
    අන්තිම කතාව කියෙවුවම දුක හිතුනා.... හැබැයි එයාට ඇත්ත තේරෙන්න ඇති... ඒක හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත සීන්නෙක මං ඉහල ලියලා ඇති. මට දුක ඒ කෙල්ලගෙ තාත්ත ගැන. හරි හොඳ මිනිහා. කෙල්ලගෙ අම්ම වගේ නෙමෙයි.

      Delete
  18. //කඩ මුදලාලිල ගානටම ඉහළ පැලැන්තිය තමයි තීවිල් එලෝන අය//

    මට මතක හැටියට / හිතං හිටියෙ වීල් එක ඉස්සර තිබ්බ ටැක්සියට ආදේශ උනා කියල. ඉස්සර ටැක්සි කාරයොත් කරාල වගේ හිටිය නිද්හස් නිවහල් පොරවල්. ඒත් බුවාල මුදලාලිල වගේ ඉහල පැලැන්තියට වැ‍ටුන්නෑ. දන් තීවීල් බුවාල වගේ කොහොමහරි ගේමක් ගහල ටැන්සියක් ගත්ත පහල පන්තියේ බුවාල.

    ReplyDelete
    Replies
    1. අපේ ගංවල තේ වගාව හිංද තමයි ඔය වෙනස. විස්සාස කරන්ඩ ඇස් පෝටර්තුමනි, තවමත් අල්මාරියෙ, ලිපගාව වලලාපු ටිං එකේ, දුමේ වලං අස්සෙ සල්ලි ලස්ස ගනං හංගන අය ඉන්නව සිංහරාජය පැත්තට වෙන්න.

      Delete
  19. යකඩ බට වෙනුවට වැඩ දාපු සුදු යකඩ බට, හොද සීට් සෙට් එකක්, රේඩියෝ එක දාපුවහම උඩ එන කාර් ඒරියල් එකක්, . ඇලෝයි වීල් සෙට් එකක් , ජැක් කරල මූණ කෙලින් කිරීමක්, ජැමෙයිකන් කොඩියක්, වැඩි ඉඩක් ඕනෙනම් ත්‍රී වීල් එක දෙකට කපල අඩි එක හමාරක් දික් කරල මූණට මූණ බලාගෙන යන්න පොඩි සීට් පටියකුත් ගැහුව හැකි.

    ReplyDelete
    Replies
    1. ජැක් කරන්නෙ Y බාර් එක ඇද උනාම නෙමෙයිද?
      මූනට මූන බලාගෙන යන්න සෙනග පටවන්නෙ කෝමද යන්න පුලුවන් උපරිම ගාන 3 වෙන කොට.

      Delete
    2. ඇයි දැන් සොෆ්ට් ටෝයි එහෙමත් පිටින් අලවන්නේ වඳුරෝ වගේ එවුං...

      Delete
    3. ඇයි තොරන වගේ පාට පාට ඇල් ඊ ඩී ලයිට් පතුරු, බස් වල හෝන්, සිකුරිටි සිස්ටම් විත් රිමෝට් කී.

      Delete
    4. ප්‍රසා, ඔර්ජිනල් එද්දි මූණ පොඩ්ඩක් පස්සට තියෙන්නෙ , ගත්ත ගමන් මූණ කෙලින් කරනව, තුන්දෙනා යන නීතිය නෑ බං උදේට මාලිගාවත්ත පැත්තෙ ඔහොම හදපු ඒව වල ළමයි 8 දෙනෙක් විතර යනව.

      සජ්ජා, දගර වලිග ලප වානර වගේ එවුන්ව එල්ලනව තමයි.
      අපේ ඔෆීසිය අහල පහල ත්‍රී වීල පුරේනෙ , මේවට දාන සෙල්ලම් දැක්කම ඕකක යන්නෙ නෑ. පතෝල මැහි බදිනව වගේ හදන්නෙ

      Delete
    5. ඇයි බොරු සුදුයකඩ සයිලන්සර්. පැජරෝ වල වගේ පිටිපස්සේ ටැංකියකුත් එල්ලලා සවලකුත් හයි කරනව..

      Delete
    6. මං අද දැක්කා 4 වරක් 4 ගහපු ඉස්පයිල්ලෙකක් පිටේ බැඳං යන තීවිල්ලෙකක්. ඊළඟ එකට දාන්නං.

      Delete
  20. මමත් ලියලා තියෙනවා ත්‍රීරෝද රුවන් වැකි කියලා පෝස්ට් එකක් මගේ ඩෙනිමෙ.

    අපේ පැතිවලට ත්‍රීවීලර් ආපු කාලෙ, (ඇත්තටම ත්‍රී වීලර් මුලින්ම ආවෙ බස්නාහිර පළාතට විතරයි. ඒදවස් වල නුවර හෙම ත්‍රීවීලර් නෑ) මිනිස්සු ඒවා දිහා බැලුවෙ එච්චර හොඳ ආකල්පෙකින් නෙවෙයි. ඔහොම ගෞරවයකිනුත් නෙවෙයි. අවඥාවෙන්. ඒක බජාජ් ස්කූටර් එකටම කෑලි පාස්සලා හදපු දර අ‍ටුවක් බව නම් අඳුනගන්න පුලුවන් කම තිබුනා. ගත්තෙත් උඹලෑ වගෙ යමක් කමක් පුලුවන් මිනිස්සු නෙවෙයි, අර බයික් එකකට වඩා නොතෙමි යන්න හැකි විකල්පය නිසයි. එහෙම නැතිනම් හොඳ වාහනයක් ගන්නකල් පාවිච්චි කරන්නයි.

    ReplyDelete
    Replies
    1. තීවිල්ලෙකක් ගන්නෙ ප්‍රධාන වශයෙන් "නෙතෙමි යන්න". ආං ඒකයි ප්‍රධාන අරමුණ.

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මකන්නෙපා. මැකුවොත් යන්න වෙන දිහාව දන්නවනෙ.

      Delete
    2. මහ උලු ගෙදර නේද බං?

      Delete
  22. ඉස්සර ටැක්සි දිව්වෙ මයිනර් කාර්නෙ.මට මතක විදියට ගල්කිස්සේ හන්දියේ තිබුන හෝටලයක මුදලාලිට අයිති ටැක්සි වගයක් තිබුන ෆෝක්ස්වාගන් බීට්ල්. කඩේ නම මතක නෑ. ඒ ටැක්සි වල නම්බර් ප්ලේට් එකේ ඉලක්කම් රතු පාට.70/77 ආන්ඩුව කාලේ මතකද සෙනසුරාදා ඉරිදා වාහන තහනමක් තිබුනා.ඒ දවස්වලට ඔය ටැක්සි වලට දුවන්න පුලුවන්.මුලින්ම ආව ටීවීල් සුරංග කියනවා වගෙ ප‍තෝල මැස්සක් වගෙමයි.එන්ජින් එක ඩ්‍රයිවර්ගෙ සීට් එක යට.පස්ස රෝද දෙකට ගියර් පෙට්ටිය සම්බන්ද වෙලා තිබුනෙ චේන් දෙකකින් දෙපැත්තේ.ඔය චේන් වල ස්ප්‍රොකට් ගෙවුනහම කරස් කර්ස් ගගා ස්ලිප්වෙවී යනව කන්දකදි එහෙම.පෙට්‍රල් ගාන වැඩි නිසා ටික කාලයක් යනකොට මයිනර් ටික ඉබේම අයින් වුනා.
    ඔය ටීවීල් වලට හයිකරන ගැජමැටික් නිසා බර වැඩිවුනහම වෙන දේ තමයි වැඩියෙන් පෙට්‍රල් පිච්චෙන එක.ඔය ටීවීල් අයියලා කවුරුවත් ඒ ගැනනම් හිතන්නේ නැතුව ඇති.

    ඔය බජාජ් ටීවීල් එන්න කලිනුත් ඔය වාහන තිබුනා.හැබැයි ඒවා වෙස්පා ස්කූටර් හදන පියාගියෝ කියන ඉතාලි කොම්පැනිය හදපුවා.වැඩි හරියක් තිබුනේ ඩිලිවරි වෑන් වගේ බඩු ගෙනියන ඒවා.බොහොම කලාතුරකින් පැසෙන්ජර් ඒකක් දෙකාක් තිබුනා. දන්නවද වෙස්පා හදන පියාගියෝ සමාගම කලින් හදලා තියෙන්නේ ප්ලේන්.දෙවෙනි ලෝක යුද්දෙන් ඉතාලිය පැරදුනහම ප්ලේන් හදන්න තහනම් කරලා.ඒ පාර ගොඩ යන්න ක්‍රමයක් හැටියට තමයි වෙස්පා ස්කූටරය ඩිසයින් කරල තියෙන්නේ. හිතුවට වඩා සාර්තක වෙලා.තව ටීවීල් බ්‍රැන්ඩ් එකක් තිබුනා ඒකත් ඉතාලි ලැම්බ්‍රෙටා.ඉස්සෙල්ලම ලංකාවෙ හදපු ස්කූටරයත් ලැම්බ්‍රෙටා එකක්.70 ගනන්වල ඔය ජා ඇල කාර්මික ජනපදයේ තමයි ඒවා හැදුවේ හෝ එකලස් කලේ. කහපාට ඒඅවා තමයි වැඩියම තිබුනේ.අපි කිව්වේ ලැම්බ්‍රෙටා මදුරුවා කියල.

    ReplyDelete
    Replies
    1. ගල්කිස්සෙ හෝටලෙ ලඟ
      ආතර් අය්ය හෝටලෙ ලඟ
      සර් ඩ්‍රයිවිං කාර්.. අයි නෝ ඕල්ද බාර්
      ඕල් සිලෝන් ‍ටුවර් ගොයිං අයි ගිව් මයි කාර්

      Delete
    2. මම හිතන්නෙ ඔය කියන්නෙ වසන්ත බේක් හවුස් එක ගැන. අපෙ පිරිවෙන හන්දියෙත් මයිනර් ටැක්සි තිබ්බ. ඒව දුවපු අයත් අන්තිමට ත්‍රීවිල් එකට බැස්ස.

      Delete
    3. කුමාරතුමා සෑහෙන දෙයක් කියලා තියෙනවා. ඒ විස්තරේ නං හරිම වටිනවා. ඇස්පෝටර්තුමාගෙ ඔය සිංදුවත් යාංතං මතකයි වගේ. ඒකයැ වැඩේ ඉන්දික මහත්තයත් ඇවිත් තියෙන්නෙ. මාව බ්ලොග්වලට ගෙනැත්දාල තමුන්නැහැ කොයි ගියාද?

      Delete
  23. දැන් ත්‍රීවීල් ඇති බොල.
    වෙනෙ මොනාහරි ලියාපිය.

    ReplyDelete
    Replies
    1. මෙය ශ්‍රංගයගේ ආච්චිගේ කොමෙන්ට් එකක් බව සලකන්න.

      Delete
    2. ලබන සැරේ වෙනිං වාහනයක් ගැන ලියඥ්ඥං

      Delete
  24. මාත් ලියන්න ඉන්නේ ටීවීල් ඔලින් සමාජෙට වෙන වාසි අවාසි ගැන එකක්. මොන තරම් නරක තිබුනත් කරදරයක් උනාම පිහිටට එන්නෙ ත්‍රීවීල් කාරයෙක්.

    ReplyDelete
    Replies
    1. හප්, එතකොට මං ලියන්නෙ මොනවද? අනේ වෙනිං දෙයක් ගැන ලියන්න. ලියන්නකො ගූගල් සමාගම ගැන. අනේ තීවිල්ටික අතාරින්ට.

      Delete
    2. හරි හරි.. අඬන්නේ නැතුව හිටපං. ගංවතුර වගේම ත්‍රීවීල් එකත් උඹම බදු ගනින්කෝ. අනික අපි ලිව්වට උඹ ලියන්නා වගේ සුපිරියට කතා මවන්න බෑ නෙ. බ්ලොග් කියවන එවුන්ට ගංවතුරක් ගැන කතාවක් ඇහුනු ගමන් මතක් වෙන්නෙ උඹව...

      Delete
  25. 1990 දී විතර වගේ අපේ තාත්ත තිරෝද රථයක් ගන්න සල්ලි එකතු කරන්න පටන් ගත්තා. මට මතක විදිහට ඒ කාලේ තිරෝද රථයක් 45,000/- ට ආසන්නද කොහෙද...
    තාත්ත කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා රුපියල් 30,000/- ක වගේ ගාණක් එකතු කරගෙන තිරෝද රථයක් ගන්න. අල බහිනකල් ඉන්න පුළුවන් හැබැයි තැම්බෙනකල් ඉන්න බැරි කතාව වගේ ඉක්මණින් තිරෝද රථයක් ගන්න හිතාගෙන ඒ මුදල දීල ඉතිරිය කොටස් වශයෙන් ගෙවන්න දෙනවා කියපු dealer කෙනෙකුට ඒ මුදල බැඳලා තිබුනා...
    ඒ දවස් වල ලීසිං එහෙම නැති නිසා සහ තාත්ත බැංකු එක්ක ගණුදෙනු කරපු නැති නිසා තමයි එහෙම කරන්න සිද්ධ වෙන්න හේතුව...
    අර මනුස්සයා අපේ තාත්ත වගේ දහ පහළොස් දෙනෙක්ගෙන් සල්ලි අරගෙන පැනල ගිහින්...
    ඔන්න ඔහොමයි අපේ "ත්‍රිවිල්" හීනේ අවසන් උනේ...

    ReplyDelete
    Replies
    1. කලිං කලට ඔයවගේ එක එක ගිනිගෙඩි අපේ ගංවලට පාත් වෙනවනෙ ලොක්කයියෙ. ඔය දැං පාත්වෙලා තියෙන්නෙ පිරමීඩකාර හැත්තක් ඒ වගේ. හැබැයි එව්ව සහගහන අපරාද? තිස්දහක් කියන්නෙ අවුරුද්දක් පවුලකට හොඳහැටි කාල බීල ඉන්න පුලුවං සල්ලියක් නේද ඒ කාලෙ.

      Delete
    2. ///තිස්දහක් කියන්නෙ අවුරුද්දක් පවුලකට හොඳහැටි කාල බීල ඉන්න පුලුවං සල්ලියක් නේද ඒ කාලෙ.///

      ඊටත් වඩා වැඩි ගාණක්ද කොහෙද මචං...
      ගමේ ගොඩේ වියදං ගොඩක් වැඩි නැහැනේ...

      Delete
    3. ශ්‍රංගය කියල ‍තියෙන්නෙ 2500 බන්දුල තියරිය අනුව.

      Delete
  26. 1960 දශකයේදී අපි දැකපු ත්‍රිරෝද රථ, ඉතාලියේ නිෂ්පාදනය කළ, 'වෙස්පා' වර්ගයේ ඒවා. එම රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණයි පාවිච්චි කලේ. විශේෂයෙන්, සිසිල් බීම සමාගම්, බිස්කට් සමාගම්, එවැනි රථ පාවිච්චි කළා.

    මෙන්න පින්තූරයකට ලින්ක් එක.

    https://s-media-cache-ak0.pinimg.com/736x/36/d7/0c/36d70c7f51c27a440719b2e93d2ae347.jpg

    කැමතිනම් වෙස්පා ස්කූටර් එකකුත් බලන්න.

    https://s-media-cache-ak0.pinimg.com/564x/7a/49/6d/7a496dcf676787579139efc79d7badc7.jpg

    ReplyDelete
    Replies
    1. ඒ වෙස්පා එක හේත්තු කරලා තියෙන කොළපාට ගැජට් එක මොකක්ද ලොකු අයියෙ?

      Delete
    2. හලේ මලේ............. මමත් බැලුවා බැලුවා ගැජට් එක හොයාගන්න. නුමුත් බැරිවුනා හිටං.

      Delete
    3. ඩූඩ්, ඒ ස්කූටරේ ගත්තම ප්‍රොමෝෂන් එකක් විදියට දවසක කාලයක් සඳහා නොමිලේ පාවිච්චියට දෙන ගැජට් එකක්.

      Delete
  27. දවසක් ආච්චියෙක් හැප්පුනලු ත්‍රීවිල් එකක .....
    ගෙදර ඇවිත් කිව්වලු ලයිට් දාගත්ත ලොකූ වෑර්ලස් එකක් ඇවිල්ල මාව හප්පං ගියා කියල ........

    ReplyDelete
    Replies
    1. නෑ............අදමයි ඇහුවේ.

      Delete
  28. වීල් එක,ආටා එක,ට්‍රයිශො එක,ත්‍රී වීලර් එක,ටැක්සිය කොච්චර නම් කියනවාද මේ පොඩි වාහනේට..
    ජීප් රෙද්දෙන් ටෙන්ටෙක ඩබල් ගහලා ගත්තාම අවුව සැර වදිනවා අඩුයි.
    පිටිපස්සෙ මඩ්ගාඩ් දෙක ගලවන ඈයොත් ඉන්නවා රිංගන්න ලේසි වෙන්නෙ.
    කොළඹ නුවර පාරෙ කජුගම තියනවා පාක් එකක් ටීවීල් ඔක්කොම එකම විදිහට මොඩිෆයි කරලා එකම පැත්තට ඉස්සරහ රෝදෙ හරොලා තියන් ඉන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කජුගම තියෙන්නේ ටීවිල් පාක් එකක් නෙවෙයි, 2nd hand එව්වා විකුණන තෙනක්.

      Delete