Sunday, January 21, 2018

මග නොදැන ගිය ගමන

අපි දෙන්නාට මෙතෙක් කලකට ගමං යාමේ උණක් තිබුනේ නෑ. තියෙන දෙයක් උයා පිහාගෙන කාගෙන දවසෙන් වැඩි කොටහක් බුකිගත වීමෙන් රටේ ලෝකෙ දෙයක් හොයාගෙන ගෙට වැදී ඉඳීමෙන් සසර ගෙවා ගැනීම තමයි අපේ එකම අරමුණ උනේ. උපන් දා සිට ඊළඟ පැය අපේ ඉරණම කොහොම විසඳෙයිද කියා නොදන්නා අරුම පුදුම කල්ලතෝනි ජීවිත දෙකක් දෙපැත්තක ගෙවපු අපි දෙන්නාගේම පොදු මතයේ හැටියට මනුස්සයෙක්ට හම්බකරගෙන කන්න රස්සාවකුත්, ඉන්න හිටින්නට තැනකුත්, අඳින්නට ඇඳුං දෙක තුනකුත් ඇතිනං ඒ තමයි ජීවිතේ සැප. ඉතිං අපි දෙන්නා එයිට අමතර වසයෙන් හැමදාම හවසට කාටුන් එහෙමත් බලන හංදා අපේ ජීවිතේ සුඛෝපභෝගී එකක් නෙවැ. (කවදා හරි දවසක ආණ්ඩුවෙ ගෙවල් නැති තැනකට ස්ථාන මාරුවක් ලැබුනොත් එදාට මේ සැප හබක් බව හැබෑව)


මෙහෙම ඉන්නා අතරේ මොකද්දෝ කතාවක් ඇදීගෙන ගිහිං ඒ කෙළවර මට දැනගන්නට ලැබුණා චූටි මැණිකේ උපන්තේකට අනුරාජපුරේ ගිහිං නැති බව. කොටිම්ම අවුරුදු විස්ස ලබන තෙක්ම උන්දෑ ගිහිං තිබුණේ දකුණු පලාතෙං ගාල්ලටත්, බස්නාහිර පලාතෙං කොළඹටත් විතරයි. මගෙත් එක්ක නුවරඑළිය හරහා නුවරට ගිය ගමං කීපෙත් එක්කහු වුනාම රටෙං මහා ලොකු පදාසයක්ම චූටි මැණිකේ අඩිය තියපු තැං නෙවෙයි. ඒ ගමන අපි කල්පනා කළේ මේ ඉන්න අල්ල පනල්ලේ අනුරාධපුරේ ඇවිදින්නට ගියොත් හොඳයි කියල. 


ඒකට අවශ්‍ය ලොකුම අඩුව වන වාහනේ අපි කලින්ම අරගෙන තිබුණා. අපි මේ වෙනකං ඒකෙන් කළේ වාහනේ දුං සහතිකේ ගන්නට දුං අල්ලන ස්ථානයට යාම, අඩු පාඩුවක් ආවොත් හදන්නට ගැරිජ් එකකට යාම, ආදායං සහතිකේ ගන්නට බස්නාහිර පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යාම, අවුරුද්දකට වතාවක් වාහනේ බාරෙ අලුත් කරන්නට කතරගම යාම, මාසෙට සැරෙයක් ගෙදරට බඩු මුට්ටු ටික ගේන්නට මීටර් දෙසීයක් විතර දුරිං ඇති සුපර් මාකට් එකට යාම, ඉඳලා හිටලා ගමේ ගිහිං ඒම විතරයි. ඒ හංදා වාහනේ අටානූවක් හංදි දිගෑරෙන්නට මේ වගේ ගමනක් ගිහිං ඒම අවුලක් නැති වග අපිට හිතුනා. ඉතිං වැඩිකල් නොයවාම මං අපේ ඔලු කාර්යාලයට (head office) කතා කෙරුවේ අනුරාධපුරේ තියෙන අපේ දෙපාර්තමේන්තුවට අයිති නිවාඩු නිකේතනය වෙන් කරගන්න. එතනිං දැනගත්තු විදිහට මේ මහා භද්‍ර කල්පය ඉවර වෙනකං එක දවසක්වත් ගන්න බැරි තරමට හැමදාටම එතන පොත් (book) වෙලා ඉවරයි. අපිත් එක්ක එකට ඉගෙනගත් දන්නා අඳුරන අය ඒ අහල පහල කිලෝ මීටර් විස්ස තිහ දුරින් හිටියත් අපේ ඕනාවට යන ගමන කාටවත් කරදරයක් වෙන්න යන එක හරි නෑ. ඒ අතරේ දියතලාවෙ පුහුණු වෙච්චි කාලෙ අපිට අල්ලපු කාමරේ හිටිය අපේ කණ්ඩායමේ කෙනෙක් අපි දෙන්නට නවතින්න අපේ දෙපාර්තමේන්තුවට අයිති පූට්ටු කඳවුරක් ලෑස්ති කරල දුන්නා. ඉස්සර කාලෙ ලංකා මැනුම් කරද්දි තාවකාලික මැනුම් කඳවුරු විදිහට පාවිච්චි වුන මේ පූට්ටු කඳවුරු සමහර ඒවා දැං මේ විදිහට ස්ථිරේටම එක එක තැන්වල හයිකරල තියෙනව. එයින් අනුරාධපුරේට ගෙනත් හයිකරපු එකක් තමයි අපේ නවාතැන.


දැං ගමනට වාහනෙත්, නවතින තැනත් ලැහැත්තියි. ඊළඟට බලල් කටයුතු. අපි පහුගිය සැරේ ගමේ ගිය වෙලාවේ අධ්‍යයනයකිං සොයාගත් පරිදි බළලුන්ට කේ.පී හතරක ප්‍රමාණයත්, නාන්න තරං ලොකු වතුර බේසමකුත්, තැම්බූ මාලු පන්සීයක් විතර සහ හාල්මැස්සන් දෙසිය පනහක විතර ප්‍රමාණයකුත් පිඟන්වලට දමා තියා ගියවිට අහල පහල ගෙවල්වල පදිංචි 'ටීචර්' සහ 'බෑනා' ඇතුළු සියලු බළලුන්ට පැය 48 කට වැඩි කාලයක් පූස් සොමියක් ගන්නට පුළුවන්. ඒ හංදා මෙදා සැරෙත් ඒ පූස් සොමිය ගන්නට අපි සතොසෙ මාලු කඩේ සාදර අනුග්‍රහයෙන් (අපේ වියදමින්) පාටියක් සෙට් කරල දුන්නා. 


වැඩක් කරන්න යද්දී කිසිම බාධාවක් සිද්ධ වුනේ නැතොත් හරි නැති හංදා නන්නාඳුනන විෂබීජ කණ්ඩායමක් මට උණ මිශ්‍රිත හෙම්බිරිස්සාවකුත් ඒ මදිවාට උගුරේ මහා සෙංගෙඩි ඵලදාවකුත් දෙන්නට තීරණය කලා. අන්තිමේ දී දෙපාරක් බෙහෙත් අරගෙන උණ එළවා දැම්මත් අනික් ලෙඩ ටික එළවන්නට තවත් වෛවර්ණ බෙහෙත් පෙති, කරල් එක්ක බිව්වහම පාවෙන වර්ගයේ පැණියකුත් දෙන්නට වුනා. 

අපි දෙන්නාට සතියකට ඇතිවෙන තරං රෙදි පිරවූ බෑක් දණ්ඩක්, ලීටරේ වතුර බෝතල් මහ ගොඩක්, බල බැංකු (power bank), ආරෝපක (charger), දත්ත රැහැන් (data cable), සූරිය පැනල ආදී අත්‍යාවශ්‍ය බඩු ලන්දක්, පොල්තෙල්, හඳුංකූරු, අලුත් ඇඳුමක් ආදී පූජා භාණ්ඩ පටවාගෙන අමතක වෙච්චි දේවල් මොනවාදැයි බලන්නට පැය ගානක් සැරින් සැරේ එව්වා කොනක ඉඳන් ගැන බැලීමෙන් තවත් පැය ගානක් පරක්කු වුනායින් පස්සෙ උදේ පාන්දර පහට විතර අපි දෙන්නා ගෙදරින් පිටවුනා. 

මහියංගනේ කිට්ටුවදී දිය සලකුණු තැබීමට නතර වූ තැනක්

ඒ වෙත්දිත් හත් අටදෙනෙකුගෙන්ම පාර අහගෙන ඒවා මතක තියාගන්නට ගිහිං මගේ ඔලුවේ ඇඳිලා තිබුණු සිතියම තම්බි තොප්පියක් වගේ එකක්. ඒ හංදා මහියංගනයෙන් එහාට පාරෙ ඉන්නා මිනිස්සුංගෙං පාර අහගන්නට අපි තීරණය කරගත්තා. ගූගල් සිතියම පාවිච්චි කරන්නට ගිහිං නුවරදී මට්ටු වුනායිං පස්සෙ ආයෙමත් ඒ ගැන හිතන්නටවත් මං කැමති නෑ. එයිං ගන්නට පුළුවං ලොකුම ප්‍රයෝජනේ ටෙලිපෝන් එකේ බැටරිය බස්සා ගැනීමත්, තමුන් ඉන්න තැන කාටවත් විස්තර කරන්නවත් බැරි විදිහට අතරමං වීමත් කියන දෙක විතරයි. ඒ හංදා අපි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාව, ත්‍රීරෝද රථ සංගම්, කඩපාලු සංගම්, බෝක්කු සංගම්, ඒකාබද්ධ ටියුෂන් සිසු එකමුතු, කොළපාට බෝඩ් සහ ශ්‍රී ලංකා පොලීසිය කියන මං සලකුණු වලට මුල් තැන දුන්නා.


පළමුවෙන්ම මහියංගනයෙන් දඹුල්ලට යන පාර කියාදුන්නේ බස් එකක් එනතෙක් බස් නැවතුමක සිටි කෙනෙක්. ඒ මහතා පෙන්වා දුන් පාරෙ පැයට හැතැක්ම හතලිහේ වේගෙන් පැය බාගයක් විතර මංගැච්චුවට පස්සෙ අපි පළවෙනි මංමුලා වැල පාගාගෙන බව මට දැනෙන්න ගත්තා. ඒ බව තහවුරු කරපු පාර අයිනේ සිටි ටියුෂන් යන දරුවෙක් කීවේ අපි ඉන්නේ අම්පාරට යන පාරේ බවත් තවම එහෙං දඹුල්ලට යන්ට පාරක් නැති හන්දා, ආපහු මහියංගනේට ගිහිං අසුවල් බේකරිය ලඟින් ඇතුලට පාරෙ යන්න ඕන බවයි. අපි ආපහු හරවාගෙන පැයට හැතැක්ම පනහේ වේගයෙන් මහියංගනේට ඇවිල්ලා එතනිං දඹුල්ලට යන පාර හොයාගත්තා. එයිං පස්සෙ හම්බුවෙන හැම හන්දියකින්ම නැවතිලා එක්කෙනකුගෙන් පාර අහගත්තා. ඊළඟට පළවෙනියටම හම්බුවෙන කෙනාගෙන් ඇත්තටම ඒ 'අසුවල් දිහාවට' යන පාරද කියල තහවුරු කරගත්තා. ඒ විදිහට අහලත් සමහර වෙලාවලදී පාරවල් වැරදිලා කිලෝමීටර් අට දහය ඉබාගාතේ ගිය වෙලාවලුත් තිබුණා. සමහරු පාර කිව්ව විදිහට ඒ හරියෙ ග්‍රාමසේවක රාලහාමිටත් පාර වරදිනව.

"කෙලීම්ම ගිහිං ඇල ගාවින් මේං මේ පැත්තට හැරෙන්න"

එක්කෙනෙක් අතින් පෙන්නපු දිහාව හරියටම වැටෙන්නෙ ඔරායන් තරු රටාව ඇතුළට හරි සෙනසුරුගෙ වළලු සෙට්ටෙක මැදට හරි. 

"ඔය ඉස්සරහිං තියෙනව ලොකු ................ ගහක්. එතනිං මෙහෙක්ට"


ඒ කියන ............. ගස් ජාතිය මං දන්නැති බව කිව්වම පාර කියපු කෙනා මූන වට්ටියක් වගේ කරගෙන මා දිහා බලං ඉඳලා ඒ ගස් ජාතිය අඳුරගන්න හැටි විස්තර කළා.


"ඉස්කෝලයක් හම්බුවෙයි. ඊට කලින් තියෙන හංදියෙන් දකුණට නිපොන් පාලම"

තව එක්කෙනක් වමට අත දික් කරල කිව්වා. අපිත් ඉස්කෝලෙ හම්බුවෙනකං ගිහිං ආපහු හැරිලා ආවා. එතකොට පාළම වමෙන් දකුණට මාරු වෙලා.


ඒ පාරවලුත් සෑහෙන හොඳයි. සමහර පාරවල්වල පාර පළල් නොකරම කාපට් දාලා මැද ඉරත් ගහලා. අසෝක අධිරාජ්‍යයාගේ පරම්පරාවේ ලේලන්ත රථයක් මූනට එනකොට වාහනේ කිහිල්ලෙ ගහගෙන නියරකට පනින්න ඕන. එහෙම නැත්තං ඇස්දෙක පියාගෙන කලිං කරපු පින් සිහි කරගන්න ඕන. ඒ අතරෙ තැනින් තැන බුලත් කොලේ හැඩේට හෑරිච්ච අලි නාවන්න පුළුවං වළවලුත් තියෙනව. නොදැක එව්වයෙ වැටුනොත් වාහනේ විතරක් නෙවෙයි වාහනේ යන මිනිස්සුංගෙ ඇටකටු වලිනුත් සීනු හඬ මතුවෙනව.


ඒ විදිහට පැය ගානක් රස්තියාදු වීමෙන් පස්සේ දඹුල්ලේ රත්තරං පන්සලේ බුදු පිළිම වහන්සේ දකිත්දී ජීවමාන බුදුහාමුදුරුවන් දැක්කා තරං සන්තෝසයි. අපි කොහොම හරි දඹුල්ලටම ඇවිල්ලා නොවැ. ඒ වෙත්දිත් බදුල්ලේ ඉඳලා දඹුල්ලට එන්න පැය 6 කට වැඩි කාලයක් ගත්තු එකම එළවන්නා විදිහට මම වාර්තාවක් තියල ඉවරයි. එතන ඉඳලා ඒ9 පාරෙ කෙලින්ම අනුරාධපුරේට කියල හිතාගෙන දකුණට හරවලා ඉස්සරහ බලත්දිම වට රවුං, හන්දි පෝලිමක් අපි එනමග පිලිගන්නට බලං ඉන්නව. ඒ හන්දා පාර අයිනෙ නවත්තලා කාගෙන් හරි පාර අහන්න හදත්දිම අපිට ආශිර්වාද ලැබෙන්න ගත්තා.

"මේ ... ඕක අහකට ගන්නෝ... මෙතන අපේ පාක්කෙය. පේන්නැද්ද?"


"මෙතන කස්ටමස්ලගෙ වාහන විතරයි"


"No parking"

"පෑං... පැක් පැක්... බීක් .......කොපිරට කොපි රට, දං ගර පට කුඩ, දං ගර පටකුඩ"


ත්‍රීරෝද සංගම්, රෙදි කඩවල සිකුරුටි මහත්තුරු, එලෝලු ලොරි, වැලි ටිපර්, හාල් ලොරි, ඩබල් කොන්දොස්තර දාපු පුල් එන්ටටෙන්මන්ට් වීඩියෝ කෝච් අපේ පස්සෙං එලෙව්වා.

අපි ආරක්ෂාව පතා සුදුපටිධාරී ට්‍රැෆික් මහත්තුරු දෙන්නෙක් ළඟ නැවැත්තුවා. එතනට අරක්ගත්තු කවුරුත් හිටියෙ නැති නිසා අපට ඉතුරු වටරවුම් ප්‍රහේලිකා ටික විසඳගන්න ක්‍රමේ අහගන්න පුළුවං වුනා. එතන ඉඳං අපේ ජනප්‍රියම ක්‍රමේ වුනේ පොලිසියෙං පාර අහන එක.


ඒ9 පාරට අපි සියුමැලි වැඩියි කියල තේරුං යන්න මහ වෙලාවක් ගියේ නෑ. ලංකාවේ දකුණු කෙලවරේ තියෙන හැම ගමකින්ම යාපනේ බලා විදින ලේලන්ත රථ ඔක්කොම යන්නෙ ඒ පාරෙ. කොටිම්ම ඇන්ටාක්ටිකාවෙන් සයිබීරියාව හරහා ආක්ටික් වෙනකං යන එව්වත් යන්නෙ ඒ පාරෙ වෙන්න ඕන. එක හෝන් පාරෙං පාරෙ තියෙන වාහන ටික පිඹල අහකට කරන එහෙව් බස් යන්තරවල හුලං පාරට අපිව නිකම්ම වැනිල යනව. පිටේ හයිකරපු නගුල් උස්සගෙන තව යායක් බලා ඉගිලෙන ටැක්ටරයක්, එලෝලු අදින ඩිමෝ බට්ටෙක්, ලෑන්මහත්තයෙක් ඇරෙන්න වෙනිං වාහනයක් පහුකරන එක අපිට කරන්න අමාරු වැඩක්. 


අන්තිමට අනුරාධපුරේ පූජා නගරෙට කිට්ටු වෙත්දි දවල් දොලහ පහුවෙලා ඉවරයි. ජයග්‍රාහී පැය 7 ක විළිලැජ්ජාසහගත ගමනකිං (පැයට හැතැක්ම විසිගානක වේගෙකිං) අනුරාධපුරේට සේන්දු වෙච්චි අපි ඉතාමත් මරි මෝඩ විදිහට ගිනියං දවාලේ සිද්ධස්ථාන වඳින්න යන්න පටං ගත්තා. ආයෙමත් පාර අයිනේ හිටිය ටියුෂන් ළලනාවියෝ දෙන්නෙක්ගෙං පූජා නගරෙට යන පාර ඇහුවා. 

"මෙහෙං යන්නත් පුලාං.."


එක්කෙනක් දබරැඟිල්ලෙං රවුමක් ඇඳල පෙන්නුවා.


"ඔආලට ඕන්නං මේං යන්නත් පුළුවං"


අනික් එක්කෙනා වමට කැරකුණ වාලම්පුරියක් වගේ ඇඳල පෙන්නුවා. අපි වාලංපුරිය තෝරගත්තා. ඒ පාර අපිට වැරදුනේ නෑ. පළවෙනි වට රවුමෙම සේරම සිද්ධස්ථානවලට යන පාරවල් ලකුණු කරල තිබුණා. කෙලින්ම ශ්‍රී මහා බෝධිය ගාව වාහන නැවතුමේ නවත්තල සෙරෙප්පු සේරමත් වාහනේම දාල තියල තෙල් බෝතලෙයි, හඳුංකූරු පෙට්ටියයි අරගෙන සැදැහැ සිතින් තාර පාරට අඩිය තිබ්බා. සුදු ඉරේ හිටිය පොලිස් රාලාමි වන්දනා නඩ ආපු බස් දෙකක් එක හස්ත සංඥාවෙන් නවත්තලා අපිට පාර පනින්න ඉඩ හදල දුන්නා. මල් විකුණන කඩ තියෙන්නෙ අපි කලින් හිටපු පැත්තෙ බව දැක්කෙ එතකොටයි. ආයිමත් සුදු ඉරෙං මෙහාට පැනලා මල් කඩ තියෙන පැත්තට කිට්ටු කළා. 


දෙමළ චිත්තරපටිව ඉන්න මැරයො වගේ ලොකු මාල දාගෙන, උඩු රැවුල වවාගෙන කමිසෙ බොත්තං හතරම ඇරගෙන මහ සද්දෙට කෑ ගහන මල් මුදලාලිලා තමුන්ගෙ කඩේ ඉඳං යාර ගානක් එළියට අත් දික්කරගෙන අපිට තර්ජනේ කලා. 


"මේන්ඩ... මෙං ගන්ඩ මල් ආ....හ්"


"ඔය නෝනා... මල් ගන්ඩ මේං.. ඔයෙ යන්ඩෙපා"


බොහොම බයානක පෙනුමක් තිබුණ මල් මුදලාලි කෙනෙක් අපි වගේම බයවෙලා හිටිය මල් මිටක් අපේ අතට දීල සල්ලි ටික උදුරගත්තා. තව තැනකිං හතර කොන නවපු කාඩ්බෝඩ් කෑල්ලක් උඩට මල් ටිකක් ගුලි ගහල හදපු "මල් වට්ටියකුත්" අපේ අතට පැන්නා. ඒ මල් සේරම උඩු අතට හරවලා පූජා කරන්න සුදුසු තත්වෙකට හදාගන්න අපිට තවත් විනාඩි ගානක් ගියා.


ඒ වෙත්දි ශ්‍රී මහ බෝධියට ඇතුල්වෙන පඩිපෙල ගාව ඉහලින් ගේට්ටුව වහල ඉවරයි. 


"පූජා වට්ටි ගන්නෙ තව පෑකින්. දැං ගත්තට කන්ලව් කරන්නෑ. කප්මාත්තුරු කෑමට ගීල්ල"


ගේට්ටුවට ඇතුලෙං හිටිය සුදු සූට් ඇඳපු අය ගේට්ටුවෙං පිට හිටපු පළතුරු වට්ටි ගෙනා සැදැහැවතුන්ට තරවටු කලා. 

"අයියෝ... ඒ තරං වෙලා ඉන්න බෑනෙ"

සැදැහැවන්තියක් පලතුරු වට්ටියෙ වහපු මැස්සෙක් එලෙව්වා.

"කරන්දෙයක් නෑ"

සුදු සූට් කාරයා ගෙරෙව්වා.


චූටි මැණිකෙගෙ මූන බිමට පාත් වුනා.


"මේ මල් වට්ටිය තියන්න බැරිවෙයිද?"


මං මල්වට්ටිය අරගෙන ගේට්ටුව ගාවට කිට්ටු කලා. බනිස් කෑල්ලක් දැක්කම ලකියගෙ කං දෙක කඩාහැලෙනව වගේ අසරණ මූනක් හදාගෙන සුදු සූට් කාරයෙක් දිහා බැලුවා.


"මහත්තයා... අනේ මේ අපි වෙනුවෙං මේ මල්වට්ටිය පූජා කරන්න පුළුවනිද? ඔබතුමාට බොහොම පිං."

සුදු සූට්කාරයා මගෙ මූන බැලුවා. 


"කෝ දෙන්න."

සුදු සූට් කාරයා මගෙ අතින් ගත්ත මල් වට්ටිය ශ්‍රී මහ බෝධියෙ මල් අස්න උඩිං තියද්දි පහල මලුවෙ ඉඳං චූටි මැණිකෙ හිනා වුනා.

116 comments:

  1. යකෝ ගූගල් මැප් දෙයියටබඒව මේව කියන්න එපා. මද්දල රස්තියාදුව යන්නෙ ඔක බලල තමා ප්ලෑන් හදාගන්නෙ දෙයියනේ කියල 4ක් 5ක් ම ගියා ඕකෙ පිහිටෙන්.
    සුදු සූට් මාමල ඉන්නවද බොධිය ගාවත්. අනික මොකක්ද ඒ කපු මහත්තුරු කතාව. ?
    ⁣යකෝ බුදු හාමුදුරුවෝ පිට දීපු ගහටත් උන අරකගෙනද?

    ReplyDelete
    Replies
    1. දැං එතනත් පලතුරු පූජා තියෙනවා

      Delete
  2. පොසොං පෝය වෙනකං අනුරාජපුරේ වන්දනාව ලියල ආයේ තොර්ණ පටංගමු...

    පාර නොදැන ගියඑකමයි හොඳ, නැත්නම් බොලා මේක ලියන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ලියන්න දෙයක් නැතුවට ලිව්වෙ

      Delete
  3. ඔයි තීන්නෙ කතාව.
    මම හිතුවෙ උඹල පූස් පරම්පරාවත් ඔය කාර් එකේ පටෝගෙන මන්ද නාව කාරනාව යන්න අපේ වන්දනාවෙ එක්ක ගියැයි කියල.

    අපිත් එකපාරක් කොල්ලො සෙට් එක ගිහිල්ල දවල් 12 ට විතර තමයි සිරි නරබන්න පටං ගත්තෙ. එදා රෑ කරපු විකාර ටිකනං බ්ලොග් එකකම ලියන්න ඕන. ඒත් අපිට එහෙම එකක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අර කොන්ක්‍රීට් බලය කාගෙද?

      Delete
    2. ආ.................... වෙන කාගෙද. ඉතිං.

      Delete
    3. මටත් සිහිවුනේ ඒ සින්දුවම තමයි!

      Delete
  4. අපි නම් ගුග්ල් දෙයියන්ගෙන් පාර අහගන කැලෙත් ගිහින් තියනවා.

    ReplyDelete
    Replies
    1. කැලේ යාම ලේසියි. පාරවල් නෑ නොවැ

      Delete
    2. People travel in foreign countries with Google Maps. I have done so several times. you just have to be careful not to trust it completely.

      Delete
    3. යැස් ඔෆ් කෝස් ඉට් සීම්ස් දේ හැව් ඇඩඩ් සම් එරර්ස් දෙයා ටු ඇවොයිඩ් යූසින් ඉට් පෝ පොපෙසනල් යූස්.

      Delete
  5. ගමන යන්න ඉස්සර අපේ මාගල් රවියාණන්ගෙන් ඔය අනුරාජපුරේ අභ්‍යන්තර මාර්ග පද්දතිය ගැන අහගෙන ගියානං බොලා දෙන්නට මේ ආත්මෙම නිවං යන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. උන්දෑ දන්නෙ උමං මාර්ග ගැන විතරයි නෙ.

      Delete
  6. ඔබේ ගමන් විස්තරේ සමහර තැන් වලදී මට මගේ පියා මතක් උණා. කොයි ඔෆිස්වලත් ඔය සර්කිට් බන්ග්ලෝ තියෙන්නේ ලොක්කන්ට මිසක් පොඩ්ඩන්ට නෙවේ. අපේ අයත් රාජ්‍ය පරිපාලනේ සර්කිට් බුක් කරන්න ගියාම ඒ අයගේ අමමලා තාත්තලා මතක් කරනවා. ඒ වගේම මගේ පියා කියන විදියට මේ රටේ මිනිස්සුන්ගෙන් 80 % කට වඩා පිරිසකට පාරක් කියන්න බෑ. කිවුවොත් එහි කියන හැරෙන තැන් කිලෝමීටර් ගණන් වැරදියි. ඒ වගේම අනුරාධපුරේ කියන්නේ ලංකාවේ වැඩිම වටරවුම් තියන නගරයයි. වටරවුම් 52ක් තියනවා .ඒ නිසා ඔය තරමින් අනුරාධපුරේ වැඳ පුදාගත්ත එක හොඳයි. ඔබේ සැලසුම් සහගත බව මේ ගමන් විස්තරේ මනාව තියනවා . ඒ නිසා හොඳින් අනුරාධපුරේ වඳින්න ඇති යයි සිතනවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඉතුරු ඩිංග කියවලා මේ කොමෙන්ට් එක ඉල්ලා අස්කර ගනියිද.

      Delete
  7. කාලෙකින්. නියමයි.

    ReplyDelete
  8. ඔය දිය සලකුණ තිබ්බෙ කවුද ..

    මේකෙ දෙවැනි කොටසත් තියෙනවද

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒක මේ හිටගෙන කරන අයගෙ වැඩක්.

      ලිව්වොත් තියෙයි.

      Delete
  9. අපි දෙන්නත් ගිය සතියෙ ඔය පැත්තෙ ගියා ඕන්. අවුකන ගිහින් දෙපාරක් පාර අහපු උන්දැල වැරදියට කිව්වෙ. ගූගල් මැප් දෙයිය පාර පෙන්නන්නෙ අනික් පැත්තටයි. ආසාවෙන් කියෙව්ව.

    ReplyDelete
    Replies
    1. එතෝට රිවස්සෙකට එන්න ඕනා.

      Delete
  10. දැන් ඉතින් ඊලග පෝස්ට් එක 2019 ජනවාරියෙද දාන්නෙ

    ReplyDelete
  11. අම්මෝ වට වන්දනාවෙ ගිහින්. හිනාව නවත්වත්ත ගන්න බෑ ඔලු ඔෆිස්. පොත් කිරීම. බළල් කටයුතු. නියමයි නියමයි.නියමයි.

    ReplyDelete
    Replies
    1. අපේ කාරියාලෙනං ලිපි ඔලු පවා තියෙනව.

      Delete
  12. මේක හරිම රසවත් ලියමනක්.

    //ඉතිං අපි දෙන්නා එයිට අමතර වසයෙන් හැමදාම හවසට කාටුන් එහෙමත් බලන හංදා අපේ ජීවිතේ සුඛෝපභෝගී එකක් නෙවැ.// මේ කතාව ඇත්ත.

    “If you have food in your fridge, clothes on your back, a roof over your head and a place to sleep you are richer than 75% of the world. If you have money in the bank, your wallet, and some spare change you are among the top 8% of the world’s wealthy. If you woke up this morning with more health than illness you are more blessed than the million people who will not survive this week. If you have never experienced the danger of battle, the agony of imprisonment or torture, or the horrible pangs of starvation you are luckier than 500 million people alive and suffering. If you can read this message you are more fortunate than 3 billion people in the world who cannot read it at all.”

    මම ගොඩක් ගමන් බිමන් යන්නේ ගූගල් මැප් එක බලන් තමයි, හැබැයි ලංකාවේ නම් මැප් එක බලන් ඩ්‍රයිව් කරලා නෑ. එක පාරක් මැප් එක බලන් ගිහින් බස් එකෙන් බහින හෝල්ට් එක හොයාගෙන බැස්ස. බස් එක මාව පහු කරන් ඉගිල්ලෙනකොටම කොන්දොස්තර පිටිපස්ස දොර ළඟ ඉඳන් "හා මැප් එක බලන් නේද පාරෙ යන්නෙ" කියල කෑගහපි. කොහොමහරි බස් එක ඇතුලෙදි මැප් එක ඕපන් කරන බල බල ඉන්න බව එයා දකින්න ඇති. කොළඹ පැත්තේ යනකොට පුරුදු නැතත් පුරුදු වගේ යන්න කියල පොතේ තියන නිසා, මට මේක ටිකක් අප්සට්, මොකද වටේ පිටේ ඔක්කොටම ඇහුණ නේ මම නුහුරු කෙනෙක් කියල.

    හැබැයි අර කොළ පාට බෝඩ් නම් ගොඩක් ප්‍රයෝජනයි තමයි. ගෑනු ළමයෙක් ට පරිස්සමට ගමනක් යන්න නම්, පොලිස් නිලධාරීන්ගෙන් ඇරුණම, ලොතරැයි කූඩු වල මාමලගෙනුත් ගොඩක් වෙලාවට හරි උත්තර ලැබෙනවා. ඕව තමයි මගේ ට්‍රැවල් ටිප්ස්. සුරංගට නම් වැඩක් නැති වෙයි. වෙන කාටහරි වත් ප්‍රයෝජනවත් වෙයි නේ.

    ඉතුරු ටික ඉක්මනට ලියන්න. හරිම ආසයි කියවන්න. අපි අන්තිමට අනුරාධපුරේ ගිහිපු වෙලාවේ (අපි කෝච්චියේ ගිහින් අටමස්ථානෙ ඇවිද්දේ පයින්) ඔය වගේ දවල් ඇවිදිනකොට මගේ සෙරෙප්පුව කැඩුන. අව්වේ නිරුවත් දෙපයින් තමයි ඔක්කොගෙම ඇවිද්දෙ. එදා නම් එපා වුනා නමුත් දැන් මතක් කරද්දීත් ආසයි.

    ReplyDelete
    Replies
    1. අපි ගමං ගිහිං එක්කහු කරන්නෙ මතකයන්. එව්වා එවෙලෙට වැඩක් නෑ. පහු කාලෙකදි තමා හප හපා ඉන්න මරු. ඒ අතිං මේ කොමෙන්ට් එක පුරාම ඇත්ත.

      Delete
  13. ඔයින් ගියා මදැයි. මම ආසම අර ඩික්ෂනරි වදන් වලට..අනුරාධපුරේ වටරවුම් හා රබර් හැතැප්ම වලින් පාර අහගෙන අතරමං වුනු හැටි අහන්න මගබලා ඉමි.

    ReplyDelete
  14. කොහොමත් මිනුම් පටියේ වුන් ගුගල් දෙයියගේ සිතියමට ඉරිසියයි, උන්ගේ ජොබට කෙලවෙයි කියල.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් විලි ලැජ්ජාවෙන් කියන වගනම් අපි ඔය ගූගල් පොලවෙං සෑහෙන වැඩ අරගන්නවා. එව්වා කොයි තරංද කියතොත් රෙදි නැත්තටම නැති වෙනව.

      Delete
  15. මම උබට මුනු පොතෙ කෙමෙන්‍ටුවක් දැම්මා ...යකො මට පොඩි පන්විඩයක් ඩෙන්න එපයෙ,,,මම ඉන්නෙ පුරෙ නෙමයි..එ උනට ජය ශ්‍රි මහා බො සමිදු ලග තියන පරාතනා ගස...රුවන් වැලි සැය ලග ප්‍රාර් තනා ගල ගැන කියන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියතොත් මෙන්ඩයියේ අපේ ඔපීසියෙ අයයි, බුකියෙ අයයි, අහල පහල අයයි, හතර පේරුවෙ උපාසක උපාසිකාවොයි, පාරෙ යන අයයි, පවුලෙ අයයි සේරමත් හිතාගෙන උන්නෙ අපි මේ අනුරාධපුරේ ගියෙ සංසර්ගෙ කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා...... ඒත් ළමයි හම්බෙන්නැති තැන ළමෙක් හදාගන්න කියලනෙ. ආ වෙලේ ඉඳං "අරෙහෙම කරන්නෙපැයි" "අහුවල් වෙලාවට අහුවල් තැනට යන්නෙපැයි" කිය කියා උපදෙස්. අපේ ගෙදර අනික් එක්කෙනාගෙ මූන හාල් සේරු විසිපහක් උයන කල්දේරමක් විතර වුනා.

      Delete
    2. මොකක්වත් නොලිය යන එක හරි මදි නිසා මාත් ඔන්න මේ කමෙන්ට් එකට සම්මාදම් උනා... ඔන්නොහේ කයි කතන්දර කියන එවුන්ට පේන්නත් එක්ක හදපන් ළමයි පෝලිම අවුරුද්දට එකා ගානේ..

      Delete
    3. අනෙ නැහැ මචො මම විහිලුවට්වත් එහම හිතුවෙ නැහැ....අනුරදපුරෙ කියන්නෙ ලමයි දෙන තැනක් නෙමයිනෙ..

      Delete
    4. මෙදා පාර රුවන්පුරේ පොතුගුල් විහාරෙට ගිය ගමන අපිව පිළිමගෙට එක්කරගෙන බටුඇට දෙකක් උසනැති බොහොම හුරතල් සාමණේර නමක් අපිට කිව්ව එහා පැත්තෙ තියන හප්පඩ වතුර පිරිච්චි පොකුණෙන් වතුර බිව්වම ළමයි හම්බ වෙනව කියල. එනගමන් හීනියට බහින ගමන් හාමිනේගෙ කනට කරල ඇහුව බබ්බු වතුර බිව්වැයි කියල.

      තා පොඩ්ඩෙන් පඩි පේළි 70-80 ක් කරනං ගහල ඉස්පිරිතාලෙ ඉඳන් තමයි මේ කොමෙන්ටුව කොටන්න වෙන්නෙ.

      ඔය ගැන අහන එවුන්ගෙන් මම නම් දැන් අහන්නෙ ඇයි අහන්නෙ එකෙක් හදල දෙන්නද කියල ? තව එව්ව තියනව ප්‍රසිද්ධියේ බැහැ හික් ... හික් ... :-D

      Delete
  16. අඩො..මෙ අනුමැතිය ඉල්ලන්නෙ මොකද,,මෙවා අපෙ බ්ලොග්..

    ReplyDelete
  17. මමනම් ගුගුල් දෙයියන්ව දැඩි ලෙස විශ්වාස කරනවා...
    අනික නොදන්න පාරක ගමනක් යද්දී ගුගුල් දෙයියා අධාරයෙන් වටපිටාව පේන හැටි ගැනත් අවබෝධයක් ගන්නවා...

    පුසන්ට කන්න දෙන්න ඔච්චර මහන්සි වෙන්නේ මොකටද බං. උන්ව ප්‍රිජ් එකේ ඩීෆ්‍රිසර් එකට දාල ගියානම් ආයේ ආවට පස්සේ එළියට ගන්න ඉතාරයි තියෙන්නේ...

    ඔය එක එක රජයේ අහවල් එව්වට අයිති සර්කිට් බංගලා තියෙනවා නේද, මහ අලුකුත්තේරු වැඩ කරනවා ඒවායේ. වතාවක් අපි එහෙම එකක් පොත් කලා. අපි අදාළ දවසේ ගියාට පස්සේ කිව්වා පොත් කලාට වැඩක් නැහැ අදාළ ආයතනයේ ලොක්කෙකුට ඕනේ නිසා ඒ බංගලාව එයාට දෙන්න වෙනවා, අපිට පලයන් කිව්වා...
    ඉතින් අපි ගියා, අන්න එහෙමයි තොරණේ වරුණාව...

    ආ, අනික උඹේ ලියවිලි රටාව පොඩ්ඩක් අවුල් වෙලා වගේ...
    මේ පෝස්ට් එක ලිව්වේ චුටි මැණිකෙද, එහෙමත් නැත්තං ගෙදර ඉන්න පුස් මොටෙක්ද...

    ReplyDelete
    Replies
    1. ගූගල් වීථි දසුන නං හරි වටිනව. ඒකෙං හරියාකාරව බලාගෙන ගූගල් පොලවෙං සිතියමක් ඇඳල කුඤ්ඤ ගහලා ටෙලිපෝන් එකට දාගත්ත නං මේ කරදර නෑ. ඒ වුනාට කම්මැලි කම කොහෙ දාන්නට ඉතිං.

      Delete
  18. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ගාවම ඉඳගෙන, අවසිහියෙන් (බීල ඉන්න) සුදු සූට් මහත්තුරුත් ඉන්නවා දැක්කේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ අය ඒ වෙලාවෙ දවල්ට කන්ට ගිහිං වෙන්ටැ.

      Delete
  19. ගූගල් දෙවියන් වහන්සෙව එහෙම අවතක්සේරුවට ගන්න එපා , උන්නාන්සෙ වගේම උන්නාන්සෙගෙ කතාකරන අංගනාව අපිව අනිවා හරි මාර්ගෙ යවනව. නුවර කොළඹ වගේ තැන් වල oneway උන්නාන්සෙට පොඩ්ඩක් පැටලෙනව තමයි, ඒ වෙලාවට අනික් ක්‍රම අත්හදා බලනව කැපයි.
    මම ඉස්සර පාරවල් හොයන් ගියේ ගුණසේන එකේ map එකෙන් . පාරෙ තියන කොල පාට බෝඩ් එකේ තියන km ගාන බලල මීටරේ 0 කරල ගියාම තැන හොයාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනේ ඒ අංගනාව. ඕං අපි නුවර ගෙහුං ගෙදර එන්න පාර හොයාගන්න බැරුව මං ටෙලිපෝන් එකෙං අපි ඉන්න තැන ඉඳලා බදුල්ලට පාර තෝරලා ඔයි අංගනාවට හංදියක් ගානෙ පාර කියන්නත් නියම කරලා ටෙලිපෝන් එක අපේ ගෙදර අනික් එක්කෙනාගෙ අතට දුන්නා.

      "ඕකෙං දැං පාර කියයි. ඒක බලං ඔයා පාර හරියට කියන්න"

      "හා"

      ඔන්න අපි ටික දුරක් ගියා. අංගනාව කෑ ගැහුව

      "දෲහන්ද්‍රද් මීත්‍රස් ත්‍රර්න්........ "

      අපේ ගෙදර අනික් එක්කෙනත් කෑ ගැහුව

      "මීටර් දෙසීයයි ලු. ඉතුරු ටික ඇහුන්නෑ. මේ වාහන සද්දෙට ඇහෙන් නැතුව ගියා. ඒක ආයි අහන්න බැයිද?"

      "එක පාරයිනෙ කියන්නෙ"

      "එහෙමද? මං දන්නෑ. නැත්තං හරියට අහගන්න තිවුනා"

      "කොහොමත් මට මේක තේරෙන්නෑ ඔයාම බලාගන්න. නැත්තං අයිනකිං නවත්තන්න මං කාගෙං හරි පාර අහං එන්නං"

      මං ටෙලිපෝන් එකේ පිහිටීම් අක්‍රීය කරල සාක්කුවට දාගත්තා.

      Delete
  20. ලස්සනට ලියල තියෙනවා .

    කොහොමාරි කමක් නෑ යාං හෑල්ල චූටි මැණිකේ එක්ක අනුරාජපුරේ වැදගත්තා නේ . ඒක තමයි වටින්නේ .

    ReplyDelete
    Replies
    1. ඊළඟට යන්නෙ දකුණු පලාතෙ හරි පොලොං නරුවෙ හරි තමා

      Delete
    2. දකුණේ වරෙන්.. නවාතැන් කෑම බිම මගේ ගානේ ගාල්ලේ ඉන්නකං..

      Delete
  21. //ආදායං සහතිකේ ගන්නට බස්නාහිර පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යාම//
    බොලා ඉන්නේ බදුල්ලේ නෙවද? මොකෑ බස්නාහිර පැත්තෙ ගියේ?

    //මගේ ඔලුවේ ඇඳිලා තිබුණු සිතියම තම්බි තොප්පියක් වගේ එකක්//
    තේරුනේ නෑ ශ්‍රංග

    ReplyDelete
    Replies
    1. ඒ වනාහි මේක ලියාපදිංචි කරල තියෙන්නේ අපේ හාමිනාගෙ මහ ගෙදර ඇඩ්ඩස් එකට නිසායි.

      තම්බි තොප්පිය කියන්නෙ ඉඳි ආප්පෙ වගේ පැටලුනු එකක් නෙ.

      Delete
  22. මට සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රධාන නගර ඔක්කොගෙම වගේ ප්‍රධාන පාරවල් මතකයි.. තවම කාගෙන්වත් අහන්නේ නැතුව යන්න අමාරු අනුරාධපුර ටවුන් එකේ විතරයි. අන්නෙහෙමයි අනුරාධපුර වටරවුම් කතාව..

    ගූගල් මැප් ඒ හැටි අවුල් නෑ නේද? මම දිග ගමනක් යනවා නම් ගොඩක් වෙලාවට යන්න කලින් ගුගල් මැප් එක බලල යන්න ඕනි පාරවල් සහ ස්ථාන ගැන අදහසක් ගන්නවා.. කවදාවත් යන අතරනම් මැප් එක බලාගෙන ගිහිං නෑ..

    පහුගිය නොවම්බරේ මම අනුරාධපුරේ ගියා මගුලකට.. යනකොට පොලොන්නරුව පැත්තෙන් ගියේ.. පහුවෙනිදා එනකොට ආවේ දඹුල්ලට ඇවිත්.. දඹුල්ලට එනකොට රෑ හතයි.. කළුවර නිසාම මම පන්සල ඉස්සරහින් බකමුණ පාරට හරවන්න කලින් නිකමට එතන හිටපු වීල් කරයෙක්ගෙන් ඇහුව.. අපොයි අහපු මෝඩකම කියල හිතුනේ මේකා හෙන දේශනාවක් දුන්න ඒ වෙලාවේ යන්න එපාය අලි ඉන්නවය කියල.. අපේ උන්දා හෙනට බයවුනා පොඩි උනුත් ඉන්න නිසා ඉඳල යමු කියුව.. අලින්ට බයේ අපේ ගමන නවත්වනවද හාන්දුවනේ.. මම ගෙදර උන්දැට පොඩි බොරුවක් කියුව අලි ඉන්නේ බකමුනෙන් එහාට විතරයි ඉතින් අපි බකමුණට ගිහින් තීරණේ කරමු යනවද නැද්ද කියල කියල බකමුනට එනකං ඇදල ආව.. මොන අලිද? අලි හිටියත් උන්ට පැයට කිලෝමීටර් අසූවට සීයට අපේ පස්සේ එළවන්න පුලුවනිය? හැක්. බකමුනට ඇවිත් කියුව දැන් අලි ඉන්න හරිය ඉවරයි ඒක නිසා බය නැතුව යමුයි කියල.. :))

    ReplyDelete
    Replies
    1. අනුරාදපුරේ නව නගරය තමයි අමාරු, කොහෙ ගියත් මයිත්‍රීපාල සේනානායක මාවත. සුද්ද නගරය අමාරු නෑ

      Delete
    2. සිංහ කණුව ලඟින් හැරිලා මල්වතුඔයෙන් එගොඩ උනාම නම් මටත් පොඩි සහනයක් දැනෙනවා.. ඒ උනාට තාම ඔය නගර දෙක සුද්ද වෙන්නෙවත් නව වෙන්නෙවත් කොහොමද කියලවත් හිතා ගන්න බෑ.. :)))

      Delete
    3. කලන මිතුරු කට කට කට,
      අපේ එක්කෙනා තාම දන්නෑ බකමූනෙ පාර අයිනට අලි එනව කියල. දැනගත්තනං අපිට වනජීවී එකෙං දෙන්නෙක් කුලියට ගන්න වෙනව.

      Delete
    4. සුද්ද නගරෙ කියන්නෙ ශුද්ධ නගරෙ නෙවෙයි. සුද්ද කරන නගරෙ. යන යන එකා සුද්දයි.

      Delete
    5. කමියෝ.. උඹ කොච්චර අලි ගැන දන්නවා උනත් උඹ හිතන් ඉන්නේ උඹ හැටේ වේගෙන් එලවනකොට අලියට උඹේ පස්සෙන් එලවන්න බැරි නිසා උඹ ආරක්ශාකාරියි කියලනේ.. එක හැබැයි පුතෝ වැරදි සිතුවිල්ලක්. අලියා උඹේ ඉස්සරහාට පාරට පැන්නොත් උඹට යන්න වෙන්නේ අලියාගේ බඩ යටින් තමා. ඔය වගේ නොගිහින් බැරි ගමනක් යන්න ගිහින් මහ රෑ එකට දෙකට විතර ලාහුගලදි වෑන් එක අලියාගේ වදින්න ඔන්න මෙන්න තියෙන්න යාන්තමට නවත්තගත්තා. කලිසමේ බඩ එලිය නිගිහින් බේරුනේ අනූ නමෙන්. ඒත් මගේ වාසනාවට ලාහුගල උපන් හාදයෙක් මගේ වාහනේ හිටියා. උගේ උපදෙස් අනුගමනය කරලා ජීවිතේ බේරාගත්තා මිසක් එදා තා පොඩ්ඩෙන් කලිසම හෝදන්න වෙනවා ඩ්‍රයිවින් සීට් එකත් එක්කම. ඒ වගේම වස්ගමුවේදි සෆාරි ජීප් එක අලියාගේ නොවදි බේරුනේ අඩි දෙකෙන් තුනෙන්. වංගුවේ වේගෙන් ගිහිපු සෆාරි ජීප් එකේ එකා පොළොවේ පස් කාගෙන ගිහින් තමයි වාහනේ නවත්ත ගත්තේ අලි පැටියාගේ වදින්නේ නැතුව. ඇතින්න පැන්නා පැනිල්ලක් සෆාරි ජීප් එක දිහාවට එදත් තා පොඩ්ඩෙන් කලිසම හෝදන්න වෙනවා. ඒ කතාන්දර සියල්ලම ඉස්සරහට ලියන්නම්කෝ.

      Delete
    6. ගතහැකි ආදර්ශය- අලි ඉන්න අහක යද්දී සබන් කෑල්ලක් ගෙනියන්න. නැත්තං බඩ වේලන්න බෙහෙත් බොන්න

      Delete
    7. නෑ බං.. මට ඔය කියපු අලි සන්තැසිය වෙලා තියෙනවා හබරණ- ට්‍රින්කෝ පාරේදීත් හබරණ පොළොන්නරුව පාරේදීත්.. අලියා පාරේ අයිනේ ඉඳල එක පාරටම පාර පැත්තට හැරුණම බඩුම තමයි. මාත් සෑහෙන්න කල්පනාවෙන් තමයි ගියේ.. දඹුල්ල බකමුණ පාර දැන් ඉස්සර වගේ නෙවෙයි ගොඩක් පළලයි.. අනික දෙපැත්තේ කැලේත් ගොඩක් එලි කරලා.. විශේෂම දේ ඒ වෙලාවට මරෝ කියල තඩි ටිපර් එනවා පෝලිමේ වැලි අරගෙන දඹුල්ල පැත්තට ගිනි කන වැටෙන ලයිට් දාගෙන.. ඒ ටිපර් කේස් එක නිසා අලි දැන් පාරට එන්නේ නෑ ලේසිවට.. ඔය ඔක්කොම කැල්කියුලේට් කරලාත් යන්නම් ඕනි නිසාත් අර කියුව වගේ බඩ හීතල කරගෙනත් තමයි සිංහයා වගේ ආවේ අනිත් උන් බය නැති වෙන්ට.. හෙහ්..

      Delete
  23. මායි යාලුවෙකුයි දවසක් සුදුපටිධාරීංගෙං පාර ඇහුව රාජගිරියෙදි. එතන උන්න සාජන් පාරත් කියල දීල, අපි කොහෙද කියල අහල ඒ ළඟ මනුස්සයෙක්ගෙ නම කියල උන්දැව දන්නවද කියලත් අහල, ලයිසන් එක චෙක් කරල දඩ කොළේකුත් ලියල දුන්න ගෙවන්ඩ කියල. අවුරුද්දකට විතර පස්සෙ අර ගෙවපු දඩ කොල්ට ගෙව්වෙ නෑ කියල උසාවි එන්ඩ කියල සිතාසියකුත් එව්ව.

    එදා ඉඳං ඔය සුදුපටිකාරයන්ඩ ඇහැක් ඇරල බලන්නෑ මං...

    ReplyDelete
    Replies
    1. ඔච්චර දෙයක් වෙන්න උඹ අනිවාර්යෙන් னයෙක් යටකරන් එන්න ඇති.

      Delete
    2. මේ අයියේ අපි අහුවුණාට උයාගෙ ගජබින්න වලට පලිස් අන්කල්ලා අහුවෙන්නෑ හරිය

      Delete
    3. මට නං පොලිසියෙන් නුවරදි අවසරේ දුන්නා ඩබල් ඉර කපල යූ ටර්න් එකක් ගහන්න.

      "නැත්තං ඔයා හරවගෙන එන්න ගිහිං ආයි පාර වරද්දගන්නව"

      කියල කිව්වා.

      Delete
  24. කාලෙකින් පටිට ලිපියක්..ඔය දැන ගෙන යන ගමන් වලට වඩා ගතියක් ඔිය නොදැන යන ගමන් වල තියෙ අයියේ....

    ReplyDelete
    Replies
    1. එහෙනං. එහෙම ගිහිංනෙ වංගියක් අපි පින්නවල අලි අනාථාලාරෙටත් ගියෙ.

      Delete
  25. කවුදඩෝ....මෙි අපේ කොමෙින්ටු පෙන්නන්න අවසර දෙන්නැත්තේ...

    ReplyDelete
    Replies
    1. සීල් ගහන කෙනා කෑමට ගිහිං.

      Delete
  26. සුරංචියෝ ඔන්න සූටි මැණිකෙව අතරමං කොරනවා හෙම නෙවෙයි. අතරමං වෙන පාටක් තියේ නං හැට්ට කට්ටකින් සාය අමුණ ගන්ට බොලා ගේ කලිසමේ. මතකනේ මා එක්ක සිරී පාදේ කරුණා කරද්දී කොරපු දේවල්!! උඹේ අනාදි කොම හිංද ඒ කෙල්ලව අතරමං කොරනවා හෙම නෙවෙයි ඕං. එහෙම කලොත් ආයෙ කිසියම්ම කිසි දවසක උඹව වට වන්දනාවේ එක්ක යන්නේ නෑ.
    මීට
    ආච්චම්මා

    ReplyDelete
    Replies
    1. ඔය කට්ටකාඩුවේ ලොකු මල්ලි මයා අපට හඳුන්වා දුන්නේ දම්පාට ජීවන. කට්ටකාඩුව තමයි දැනට තියෙන කතා පැට්ටේරිය.

      Delete
  27. මම නම් දැන් වැඩ ඇරිලා ගෙදර යන්නෙත් ගුග්ල් බලාගෙන. ජිවිතේට නොගිය පාරවල් වලින් එක්කන් යනවා.. හෙහ් හෙහ්

    පාරවල් අහන වැඩේට හරි ජොලි.. එක එක විදියට පැහැදිලි කරලා දෙන අය ඉන්නවනේ..

    ReplyDelete
    Replies
    1. දැං පාරවල් බ්ලොක් වෙන එව්වා පවා සුටුස් ගාලා පෙන්නනවලු නේද?

      Delete
  28. සුපිරි. ලියාන් ඉතුරු ටික...

    මමත් මේ දුවගෙන ආවේ හැබැයි ගූගල් මැප්ස් අවුලක් නෑ කියන්න. මම කියන්න ආපු ටික අනික් අය ලුණු ඇඹුල් ඇතිව කියලා තියන නිසා මෙතනින් නවතිමි...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා බැනුං අහල එපාවෙලා තියෙන්නෙ ඔන්න.

      Delete
  29. පිස්සු හැදෙන ගමන කිව්වලු. යකෝ මං යන විදිහට ගියානං උඹට වරදින්නෑනෙ. බදුල්ලෙං කඩවතට ඇවිත් එතනිං නුවර පාරෙ දිගටම ගිහිං, අඹේපුස්ස හන්දියෙං (පියදාසගෙ තලගුලි පහු කරපු ගමං) වමට දානව. කුරුණෑගලිං අනුරාධපුර පාරට හරෝනව. එච්චරයි. ආයි යනකොට එහෙම කරහං...

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක ලාම්පුතෙල් මුද්දරේ එක්කහු කරන්න වෙයි ඒ පාරෙං යන්න තෙල් ගහන්න. මතකෙයි ලාම්පුතෙල් මුද්දරේ?

      Delete
    2. හපොයි මුද්දරද? එහෙම කාලෙයක් තිබුණ මතකයි. තාත්ත රජයෙ සේවයෙ හින්ද අපිට මුද්දර තිබුණ්නෑ.

      Delete
    3. පාර නම් හරියටම හරි.. හැබැයි තලගුලිය ජිනදාසගේ.. පියදාසගේ නෙවෙයි..

      Delete
  30. උඹ දන්නවද, මං අනුරාධපුරේ ගැන තීසීස් එකක කළා. ඒ වෙනකොට අනුරාධපුරේ පස් පගල තිබ්බෙ නෑ. ඒ උනාට ඒකට මට ඒ+ හම්බුණා.

    ReplyDelete
    Replies
    1. උඹට ඒ ප්ලස් දුන්න එකත් අනුරාධපුරේ පස් පාගපු එකෙක් නොවෙන්න ඇති.

      Delete
    2. ඒ පස් වලිං මොකැයි කොලේ?

      Delete
    3. ප්‍රසා, අඩෝඃ...! අපේ ලොකු සර්ට අරක මේක කියන්ඩෙපා හරිය? උන්දැ සඟිස්කුරුත ත්‍රිකෝණෙ වැඩ කොළේ. අභයගිරියෙ වැඩි හරියක් කැණීම් කොළේ උන්දැගෙ පාටිය.

      සුරංග, ඒ පස් ටික පස්දුන් කෝරළේට ගෙනිහිං වගුරු බිම් ගොඩ කළා.

      Delete
    4. ඒක වෙන්ටැ වැඩූ පස් නුවර වෙලා පස්සෙ පඬුවස් නුවර වුනේ

      Delete
    5. අභේගිරියෙ කැනීම් කළානං අපේ අර රවියයිය ඒ කාලෙ ඔතපු රොකට් වල ශේෂ වූ කොටස් හෙම හොයාගන්න ඇති නේද?

      Delete
  31. පස්සෙ මං තුංපාරක් අනුරාධපුරේ ගියා. එයිං දෙපාරක්ම මායි අශෝක හෙවත් දේවාරූඪයෙන් ටීවී හදන පොර යි ගියෙ. පළවෙනි පාර කෝච්චියෙ ගිහිං පාන්දර පහේ ඉඳං හවස දෙක වෙනකං පයිං ඇවිද්ද. තොලුවිල, ප්‍රාචීණතිස්ස, අභයගිරි සංකීර්ණය, ඇතුල් නුවර, මහමෙව්නා උයන හරියෙ. දෙවෙනි පාර කෝච්චියෙ ගිහිං බයික් එහෙකිං ගියා වටේ - පංකුලිය, ගල්පාලං, විජයාරාම, බටහිරාරාම... ඒ යද්දි තමයි තේරුණේ අනුරාධපුරේ විහාරාරාම ගැන හරිහමං සිතියමක් නැති බව. පස්සෙ මං එකක් හැදුව. ගූගල් සිතියම ඇසුරිං.

    ReplyDelete
    Replies
    1. අම්මපා මට බැරි වුණානෙ ගස් ගෙම්බියෙක් වෙලා හිටං කුට්ටම් පොකුණෙ ඉඳලා ඇඟට පනින්න.සිතියම කණපිට ගහන්න.

      Delete
    2. දැං ඉතුරු පයින එක විතරයි. සුජියක්ගේ පැනල බදපිය ඩැකියගෙ පිට කොන්දම.

      Delete
    3. සුජී, ආයි මොනවද "ගස්ගෙම්බියක් වෙලා හිටං" කියන්නෙ? කොහොමත් ගස් ගෙම්බි තමා...

      සුරංග, ඕකි පැන්නනං මයෙ පිට කොන්දට එහෙම්ම බුලංකුළමෙ වෙදමහත්තෙය ගාවට යන්ඩ වෙන්නෙ ඇම්බියුලන්ස් එකේ.

      Delete
  32. බ්ලොග් එක මතක නැහැ ඒත් බ්ලොග් එකක තිබුන පොස්ට් එකක් එහෙන් පිටින්ම උස්සලා ලක්බිමෙ රිද්මෙ දාලා තිබුනා.(හොල්මන් කාර් ගැන)..........

    ReplyDelete
    Replies
    1. https://worldbeyondworld.blogspot.com/2018/01/world-famous-ghost-cars.html

      උස්සන්න දෙයක් නෑ බං ලියපු එකාම තමයි පත්තරෙත් දාල තියෙන්නෙ.

      Delete
    2. ප්‍රසන්නයියාවත්, සින්දු ඇනෝවත් දෙන්නාම ජාතික වස්තු හැටියට නං කරනවා හොඳයි හිටං.

      Delete
    3. අන්න එහම කියපන්...ඒ උනාට දන්න ඉස්සර අපෙන් අහන්න තිබුඅනනෙ..

      Delete
    4. ජාතික වස්තු හැටියට නං කොරල පිළිම එහෙම හදනව නෙමේ ඕං. ආයෙ මක්කටෙයි ඔළුවෙ ඉඳං ගූ නාගෙන ගිනි අවුවෙ හිටං ඉන්නෙ.

      Delete
  33. ඔන්න සුරංග උඹේ ලිවීමේ අනන්‍යතාවය ආයෙත් මතුවෙලා. පොස්ට් එක එල. මං ඒත් බැලුවා අවුද්ද මුල්ම උඹ මොකෑ මේ නිවාඩු දාගෙන අනුරාධපුරේ ගියේ කියලත්. ගූගල් පාවිච්චි කරන්න එපා. ෆෝන් එකට වේස් දාගන්න. ගූගල් වලට වඩා හොඳයි. අතරමන් වෙන්වා අඩුයි.
    https://play.google.com/store/apps/details?id=com.waze&hl=en

    ReplyDelete
  34. මටත් බං පාරවල් මතක තියාගන්න එක තමා අවුල. හිතටත් හරි නෑ ගමනක් යන කොට. දැන්නං දෙයියන්ගේ පිහිටෙන් ගූගල් ඇන්ටි මඟ දිගට කතා කර කර යන නිසා අවුලක් නැතිව වැඩේ ගොඩ දානවා. මේ ළඟදි වෙඩිමකට ගියා හෝටලේ ගාවට යනකම්ම දන්නෑ එතෙන්ට ආපු විත්තිය. බලන කොට මීටර් 100 ක් විතර මැප් එකේ වැරදයිට මාක් වෙලා.. හැක්

    ReplyDelete
  35. සුරංග කාර් එකත් තියන එකේ හාමිනත් එක්ක රට වටේ යන්න බැරිවය.

    booking.com, Tripadvisor, lakdasun, google maps

    ඔය ටික තියනවනම් ඕනේ දීපංකරේක යතහැකි

    ReplyDelete
  36. ශ්‍රන්ගට පාර කියපු කෙනෙක් මේක කියවල දාන කමෙන්ට් එකක් කියවන්න ආසයි

    ReplyDelete
  37. අනුරාධපුරේ එන්න කලින් Google Street View එකෙන් පාර බලලා කොලයක ලියා ගත්තා නම් යන්න ඕනේ පාරවල් ටික එක එකෙනාගෙන් අහන්න ඕනේ නැහැනේ මම අ/පුර ඉන්නේ.

    කැමතිනම් මගේ සින්ඩියට බ්ලොග් එක එකතු කරන්න http://sithuwilisatahan.com

    ReplyDelete
  38. මේකනම් පට්ට කථාව. මුල ඉදන් අගටම එක දිගට හිනා වෙවී කියෙව්වෙ.

    ReplyDelete
  39. මට නම් දෙයියනේ කියල පාරවල් හොයාගෙන යාමේ මෙව්වා එකක් තියනවා. ඒත් ගුගල් දෙයියන් ගේ පිහිට ඕන කරන හැම වෙලේම ගන්නවා. මොකද දෙයියන්ට පිටින් යන්න ගිහින් මග වරද්දාගෙන තියනවා ඔය සුරංගලගේ බදුලු පුරේ දීම.

    ReplyDelete
  40. මට නම් උදේ ගිය පාරේ හවස එන්න මතක නෑ..ඒ තරම් කල්පනාව හොදයි..හැබැයි ලංකාවේ හතර වටේම වගේ වාහන පදවල තියෙනවා..ගොඩක් වෙලාවට ගුඋගල් දෙවියන්ගේ පිහිට තමා..මොකද අපේ උන් වැඩිපුර ගමන් යනේ ජාමේ නෙ පාරක් අහන්න මොකෙක්වත් නෑ. ඒ වගේම සංචාරක මණ්ඩලයෙන් නිකුත් කරපු මාර්ග සිතියමකුත් තියෙනවා මන් ගාව..ඔය දෙකම බල බල යන්නේ..පාරක් අහනවා නම් අහන්නේ ත්‍රි විල් පාර්ක් එකකින් හරි සුදු පටි මාමා කෙනෙක් ගෙන් විතරයි

    ReplyDelete
  41. ජන්දෙ අහවරය් බොල.තෝ තාම ඉන්නෙ පෝලිං බූත් එකේද. වහාම ගෙදර ගොස් මේකෙ ඉතුරු ටික අපට සපයනු.

    මීට මැ.කො.

    ReplyDelete
  42. ලස්සනයි අයියේ. ගූගල් මැප් තියෙද්දී මොකද පාරවල් අහන්න ගියේ?මොනා උනත් හොඳ ලියවිල්ලක්.

    ReplyDelete
  43. ඔියැයි තාම අතරමං වෙලයි..

    ReplyDelete
  44. යකෝ අද 28, ඉස්සෙල්ල කොමෙන්ට් එක දාල සති දෙකක්ම ගිහිල්ල. ඒ මදිවට වද පෙති වලින් වඳ කරනව කියලත් හොයාගෙන. බොලා මේක ලියන්නැද්ද?

    ReplyDelete
  45. "ඉස්කෝලයක් හම්බුවෙයි. ඊට කලින් තියෙන හංදියෙන් දකුණට නිපොන් පාලම" මෙතනින් මහවැළි ගඟට දැම්මනම් දෙයියනේ කියලා සෝමාවතිය වැඳලා ගෙදර යන්නත් තිබුනා මීට කලින්! ජය වේවා!!

    ReplyDelete
  46. ඇවිදින එකෙන් ලබන සන්තෝසේ ඉතින් වෙන කිසි දේකින් ලබන්න බැරි විනෝදයක්නේ.. කදිම සටහනක්!

    ReplyDelete